Go to full page →

2 පරිච්ඡේදය - මනුෂ්‍යයා පාපයට වැටීම. GCSinh 2

ස්වර්ගීය දූතයෝ නිතර ඒදන් උයනට පැමිණ ආදම් ඒව දෙදෙනාට ඔවුන් කල යුතු වැඩ ගැනද, සාතන්ගේ කැරලි ගැසීම සහ වැටීම ගැනද දැනමිතිකම් දුන් බව මම දිටිමි. දේව දූතයෝ සාතන් ගැන ඔවුන්ට අනතුරු අඟවමින් යම් අවස්ථාවක ඔහුව මුණ ගැසෙනවා ඇත කියාද පාපයට වැටුණ එම සතුරාට අසු නොවන පිණිස එකිනෙකාගෙන් අත්ව නොසිටින ලෙසද ඔවුන්ට අවවාද කළහ. සම්පූර්ණ කීකරුකම තුළ පමණක් ආරක්ෂාව තිබෙන බැවින් දෙවියන්වහන්සේ කියා දුන් සියල්ල ඒ ආකාරයෙන්ම ඉටුකරන මෙන් ඔවුන්ව දැනුවත් කළහ. කීකරු වුවහොත් සතුරාට ඔවුන් කෙරෙහි බලයක් නැති බවද පැවසූහ. GCSinh 2.1

සාතන් මුලින් කළේ ඒව මුළා කරගැනීමය. ඇය තම පුරුෂයාගෙන් ඈතට ගියාය, ඊළඟට තහනම් ගස ළඟ බලාපොරොත්තු වූවාය. සර්පයාගේ හඬට සවන් දුන්නාය. මෙයින් කෑ දවසෙහි නුඹලා ඇත්තටම නසිනවා ඇතැයි කිවූ දේව වචනය සැක කරන්ට වූවාය. ඇය ඇත දිගු කොට එයින් ගෙන කෑවාය. එය ඇසට ප්‍රියව කටට රසව තිබිණ. තමන්ගේ යහපත සඳහා වූ දෙයක් වළක්වා තිබීම ගැන දෙවියන්වහන්සේ සමග අමනාප වූවාය. ඇය තම පුරුෂයාට ගෙනැවිත් දෙමින් ඔහුව රැවටුවාය. සර්පයා කිවූ සියල්ල ඔහුට පවසමින් සර්පයාට කථා කිරීමට හැකිව තිබූ බලය ගැන ඇය පුදුමය පළ කළාය. GCSinh 2.2

ආදම්ගේ මුහුණෙහි දුකක් සහ තැති ගැන්මක්ද, භයක්ද මතුව පෙනෙනවා මම දිටිමි. ඔහුගේ සිතෙහි අරගලයක් හටගෙන තිබුණා වැනිය. ඔහුට හැඟී ගියේ ඇයට සතුරා මුණ ගැසී ඇති බව හා දැන් ඉතින් ඈ මැරෙන්ට ඕනෑ බවය. ඒවට ආදම් මහත් සේ ආදරය කළේය. මහත් සිත් තැවුලකට පත් ඔහු ඇය සමගම මැරෙන්ට සිත ගෙඩියෙන් කෑවේය. සාතන් මහත් ප්‍රීතියට පත්විය. ඔහු ස්වර්ගයේදී කැරලි ගසා කණ්ඩායමක් ඔහු අනුව යන්නට එක්කරගෙන තිබිණ. දැන් ඔහු ඒව රවටාගෙන ඈ ලවා අයගේ පුරුෂයාවද පාපයට වට්ටාගෙන තම පක්ෂයට එක කර ගත්තේය. GCSinh 2.3

මනුෂ්‍යයාගේ වැටී යාම ගැන ප්‍රවෘත්තිය මුළු ස්වර්ගය පුරාම පැතිර ගියේය. ස්වර්ගයෙහි වූ ගීත නාද නතර විය. දේව දූතයෝ තම ඔටුනු ගළවා දුක ප්‍රකාශ කළහ. මුළු ස්වර්ගයම නොසන්සුන් තත්ත්වයක මුහුණුවරක් ගැණින. වරද කළ යුවල ගැන තීරණයක් ගැනීමට සම්මන්ත්‍රණයක් පැවැත්විණ. ජීවන වෘක්ෂයේ ගෙඩි ගෙන කා එම යුවල නොනසින පව්කාරයන් බවට පත්වේදෝ කියා දේව දූතයෝ බියට පත්වූහ. නමුත් වරද කළ යුවල ඒදන් උයනෙන් පිටමං කරන බව දෙවියන්වහන්සේ පැවසූ සේක. ජීවන වෘක්ෂය රැකවල් කරන පිණිස එවෙලේම දේව දූතයන් යවන ලදී. සාතන්ගේ සැලැස්ම වූයේ ආදම් ඒව දෙදෙනා පව්කරන්ට සලස්වා ජීවන වෘක්ෂයෙන්ද ගෙඩි ගෙන කා සදාකාල පව්කාරයන් බවට පත්කර පාපය අමරණභාවයට පත්කිරීමය. ආදම් ඒව යුවල උයනෙන් පිට කිරීමටද ජීවන ගස රැකවල් කිරීමටද දේව දූතයන් යවන්නට යෙදිණ. මෙම දේව දූතයන්ගේ අත්වල දිලිසෙන කඩු වැනි යමක් පෙනෙන්ට තිබිණ. අකීකරුකම නිසා ස්වර්ගයෙන් පිටමං කරනු ලැබූ සාතන් ආදම් ඒව යුවල ඒදන් උයනෙන් පිටමං කිරීම ගැන අතිශයින් සතුටට පත්විය. GCSinh 2.4

______________________________________
උත්පත්ති 3 වන පරිච්ඡේදය කියවන්න. GCSinh 2.5