Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 24—මවගේ වගකීම

    සැමියාගේ සම හවුල්කාරිය: තම සැමියාගේ සම සහකාරිය ලෙසින් සිටීමට ආරම්භයේදී දෙවියන්වහන්සේ සැලසුම කර වදාළ ආකාරයට ස්ත්‍රිය ස්වකීය ස්ථානය ගත යුතුය. නාමික වශයෙන් පමණක් නොව, යථාර්ථයෙන්ම සැබෑ මව්වරුන් ලොවට අවශ්‍යව ඇත. කාන්තාවගේ සුපැහැදිලි කර්තවයන් පුරුෂයාගේ කර්තවයන්ට වඩා උතුම් ශුද්ධ ඒවා යැයි අපට නොබියව පැවසිය හැකිය. කාන්තාව තම කාර්යයෙහි ශුද්ධ භාවය අවබෝධ කරගෙන දෙවියන්වහන්සේගේ ශක්තියෙන් හා උන්වහන්සේ කෙරෙහි භය භක්තියෙන් තම ජීවිත කාර්යය ඉටු කරත්වා. ඇය තම දරුවන් මෙලොව ප්‍රයෝජනවත් කමටත් මතු ලොවෙහි වසනටත් පුහුණු කරත්වා.AHS 71.1

    මව නි‍වසේ රැජිණ වන අතර දරුවෝ ඇයගේ යටත් වැසියන් වන්නාහ. ඇය තම මාතෘත්වයේ ගෞරවය තුළ ස්වකීය නිවස නැණවත්ව පාලනය කළ යුතුය. නිවසෙහි ඇගේ අනුබලය අති උත්කෘෂ්ට විය යුතු අතර ඇය පවසනා දේ දරුවනට නීතිය විය යුතුය. ඇය ක්‍රිස්තියානි කාන්තාවක නම්, දිව්‍ය පාලනය යටතෙහි ඇය දරුවන්ගේ ගෞරවය දිනා ගනු ඇත.AHS 71.2

    ඇය දරුවන්ගෙන් තම නියෝග ලබනා තුරු බලා සිටිනා වහලියක නොව, ඔවුනට මග පෙන්වන, ආදර්ශයෙන් උගන්වන රැජිණක බැව් දරුවනට වටහා දිය යුතුය.AHS 71.3

    සිත් ගන්නා සුළු වටිනාකම සැසඳීමක්: තමන්ගේ වැඩ කටයුතු කලාතුරකින් අගය කරන මව නිතර තම ශ්‍රමය අව තක්සේරුවට ලක් කොට, ගෙදර දොරේ වැඩ සාමාන්‍ය දේ සේ සිතන්නීය.දිනෙන් දින සතියෙන් සතිය විශේෂ ප්‍රතිඵලයකින් තොරව ඇය එකාකාරී වැඩ සමුදායක නිරත වන්නීය. තමන් කර තිබෙන බොහෝ සුළු සුළු දේ දවස අවසන ඇයට අමතකය. සැමියා කර තිබෙන වැඩ හා සසඳන විට කියන්ට තරම් දෙයක් තමන් කර නැතැයි ඇය සිතන්නීය.AHS 71.4

    බොහෝ විට ආත්ම තෘප්තියෙන් නිවසට එන පියා තමන් එදින කළ දේවල් ගැන පුරාජේරු කියයි. දරුවන් බලාගෙන, කෑම පිස, ගෙදර අස් පරස් කොට තැබීම හැර මව එතරම් දෙයක් එදින නොකොට ඇති බැවින් ඇය තමාට සාත්තු සප්පායම් කළ යුතු බැව් ඔහුගේ කථාවෙන් ඇඟවේ. ඇය මිලට ගෙන හෝ විකුණා නැත. ඇය කුඹුරු කොටා නැත. ඇය කාර්මික වැඩ කර නැත. එහෙයින් ඇය ගත වෙහෙසෙන දෙයක් කර නැත. හෙතම තමන් මැවිල්ලේ ස්වාමියා යැයි තමා ගැන සිතන්නා සේ නිදහසේ විවේචනය කරයි. දෝෂාරෝපනය කරයි. විධාන පනවයි. දවස පුරා අධික ලෙස වෙහෙසුනද තමන් කර ඇති දෙයක් දකින්ට අසමත් වන බැවින්ම අධෛර්යයට කිඳා බසින මව මහත් දුෂ්කර තාවයට පත් වන්නීය.AHS 72.1

    කඩතුරාව ඉවත ලා පියාණන්වහන්සේ දකිනා ලෙස මවගේත් පියාගේත් දවසේ වැඩ කටයුතු දැක සැසඳිය හැකි නම් එම ස්වර්ගීය එළිදරව්ව ගැන ඔවුන් මවිත වනු ඇත. එවිට පියා තම කාර්යයන් දෙස වඩා සාධාරණ අයුරින් බලනු ඇති අතර මවට තම කාර්යයන් වඩා නැණවත්ව, මහත් උත්සාහයෙන් හා ඉවසීමෙන් යුතුව කර ගැනීමට නව දිරියක් හා ශක්තියක් ලැබෙනු ඇත. මෙලෙස ඇය තම කාර්යයෙහි වටිනා කම දැන ගන්නීය. පියා කාලීන තාවකාලික දෑ සමගින් කටයුතු කරන අතර මව දැනටත් සදාකාලයටත් සරිලන සේ දරුවන්ගේ සිත් හා චරිත වර්ධනයෙහි නියැලී සිටින්නීය.AHS 72.2

    දිව්‍ය පැවරුම් කාර්යය: තමනට අයත් කාර්යයන් සතුටු සිතින් භාර ගන්නා මවට තම ජීවිතයෙහි අගය වැටහී යයි. මන්ද ඇයට ඉටු කිරීමට යම් කාර්ය භාරයක් දෙවියන්වහන්සේ දී තිබේ. මෙහි ලා ඇය තම මනස සීමා කර ගන්ට හෝ දුබල කර ගන්ට අවශ්‍ය නැත.AHS 72.3

    මවගේ කාර්යය ස්වාමින්වහන්සේගේ අවවාදය හා අනුශාසනය තුළ දරුවන් හදා වඩා ගැනීමට දෙවියන්වහන්සේ විසින් පවරන ලද්දකි. දෙවියන්වහන්සේට ප්‍රේම වීම හා භය භක්තිය දැක්වීම ඔවුන්ගේ මෘදු සිත් අභියස නිතර තැබිය යුතුය. වංචා රැවටිලි, අසත්‍යවාදී කම හා වැරදි කිරීමෙන් ඔවුනට වරදක් පෙන්වා දෙන කල එය දෙවියන්වහන්සේගේ අනුශාසනාවක් ලෙසින් ඔවුනට ඉගැන්විය යුතුය. මෙසේ කුඩා අයවළුන් කියන කරන සියල්ල දෙවියන්වහන්සේගේ මහිමයට හේතු වන සේ ඔවුන්ගේ සිත් දෙවියන්වහන්සේට සම්බන්ධ කළ හැකිය. පසු කාලයේදී ඔවුන් තම ආශාවන් සහ යුතුකම් ‍අතරෙහි සුළ‍ඟේ වැනෙන බට දණ්ඩක් සේ නොකඩවා දෙපසට නොනැමෙනු ඇත.AHS 72.4

    ජීවිතයේ සියළු ක්‍රියාකාරකම් අතරින් මවගේ අති ශුද්ධ යුතුකම තම දරුවන් කෙරෙහිය. එහෙත් යම් ආත්මාර්ථකාමී වින්දනයක් අරභයා මෙම යුතුකම කොපමණ වරක් පසෙකට දමනු ලැබේද? තම දරුවන්ගේ වත්මන් මෙන්ම සදාකාලික යහපතට අදාළ දෑ දෙමාපියන්ට පවරනු ලැබ ඇත. ඔවුන් දරුවන් නිසි ලෙස පාලනය කරමින් දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙන අයුරින් දරුවන්ට මග පෙන්විය යුතුය. දිව්‍ය ව්‍යවස්ථාව ඔවුන්ගේ ප්‍රමිතිය විය යුතු අතර ප්‍රේමය සියළු කාරණා පාලනය කළ යුතු වේ. AHS 73.1

    තම පවුල තුළ කිතුණු කම වැඩීමට දෙවියන්වහන්සේ පත් කොට තිබෙන නියෝජිතවරිය මව වන්නීය. ඇදහිල්ල තුළින් ඔවුනට ගැළවීම ලබන්ට හැකි වන්නේ දෙවියන්වහන්සේගේ දීමනාව වන අනුග්‍රහය කරණ කොට ගෙන පමණකැයි තම දරුවනට උගන්වමින්, දෛණික වැඩ කටයුතු හා සැප වින්දනයන්හිදී බයිබල් දහමෙහි ආභාෂය අප පාලනය කළ යුතු කෙසේ දැයි පෙන්වා ලමින්, ඇය බයිබල් දහම ආදර්ශයෙන් පෙන්විය යුතුය.අපටත් ඔවුන්ටත් ක්‍රිස්තුස්වහන්සේ අර්ථවත් වන අයුරු සහ මිදීමේ මහා සැලැස්ම තුළ එළි දැක්වෙන උන්වහන්සේගේ කරුණාව, යහපත් කම, ප්‍රේමය පිළිබඳව මෙම නිරන්තර ඉගැන්වීම සිතෙහි ශුද්ධ මතක සටහනක් ජනිත කරවනු ඇත. AHS 73.2

    යාවජීව කාර්යයක්: තම කාර්යයයෙහි ශුද්ධ භාවය අවබෝධ කරගෙන, කාන්තාව තම යාවජීව කාර්යය භාර ගනිත්වා මෙලොවෙහි ප්‍රයෝජනවත් භාවයටද මතු ලොව සඳහා සුදුසුකම් ලැබීමටද ඇය තම දරුවනට උගන්වත්වා. අපි කිතුණු මව්වරුන් අමතන්නෙමු. මව්වරුන් ලෙස ඔබගේ වගකීම වටහා ගන්ටත් තමන් පිනවීමට නොව දෙවියන්වහන්සේ මහිමයට පත් කරන්ටත් ජීවත් වන මෙන් අපි උදක්ම ඉල්ලා සිටින්නෙමු. තමන් පිනවා නොගත් ක්‍රිස්තුස්වහන්සේ දාසයකුගේ ස්වරූපය තමන් වෙත ගත් සේක.AHS 73.3

    ලොව දූෂිත ආභාෂයන්ගෙන් පිරී යයි. සිරිත් හා විලාසිතා තරුණ පෙළ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. උපදෙස් දීමට, මග පෙන්වීමට හා දුසිරිතෙන් වළකා ලීමට මව අපොහොසත් වුවහොත් ඇගේ දරුවන් අයහපත පිළිගෙන යහපත් දෙයින් ඉවත්ව යනු ඇත. “දරුවා හික්මවන්නේ කෙසේද ඔහුට අප කුමක් කළ යුතු දැයි උගන්වනු මැනවි”. යනුවෙන් යදිමින් සැම මවකම තම ගැළවුම කරුවාණන් වෙත නිතර යත්වා. දෙවියන්වහන්සේ ස්වකීය වචනයෙහි දී තිබෙන උපදෙස් ඇය අනුගමනය කරත්වා. ඇයට අවශ්‍ය වන පිරිදි ප්‍රඥාව දෙනු ලබනු ඇත. AHS 73.4

    දිව්‍ය සමානකමක් ඇඹීම: දෙවි කෙනෙකු ඉහළ වැඩ සිටින අතර, අයහපත් අනුබලයට එරෙහි වීමට තම දරුවන්ට ඉගැන්වීමට වෙර දරන විශ්වාස වන්ත මව මත දිව්‍ය සිංහාසනයෙන් නික්ම එන ආලෝකය හා මහිමය පතිත වේ.වැදගත්කම අතින් ඇයගේ අන් කවර කාර්යයක් වුවද ඊට සම කළ නොහැකිය. කලා කරුවකු ලෙස කැන්වස් කඩක් මත ලස්සන රුවක් ඇඳීම හෝ කිරි ගරුඬ ගලකින් රුවක් කැපීම වත් ගත් කතු වරයකු ලෙස උතුම් සිතිවිල්ලක් නිසි වදනින් ලිවීම හෝ සංගීතඥයෙකු ලෙස කන්කළු රාවයක් නිපදවීම ඇයගේ කාර්යය නොවන්නේය. දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය ඇතිව ඇයට කිරීමට තිබෙන්නේ මිනිස් සන්තානයෙහි දිව්‍ය සමානත්වය ගොඩ නැංවීමය. AHS 73.5

    මෙය අගයන මව තම ප්‍රස්ථාවන් අමිල කොට සලකනු ඇත. තම දරුවන් අභියස අති ශ්‍රේෂ්ඨතම ජීවිත රටාව දක්වා ලීමට තම චරිතව තුළ හා තම පුහුණු ක්‍රම තුළ ඇය දැඩි ප්‍රයත්නයක් දරනු ඇත. තම දරුවන් පුහුණු කිරීමෙහි ලා නිසි උපරිම ශක්තිය යොදවනු පිණිස මහත් ඉවසීමෙන් හා දිරියෙන් යුතුව ඇය තම හැකියාවන් දියුණු තියුණු කර ගන්ට වෙහෙසෙනු ඇත. දෙවියන්වහන්සේ කුමක් පවසා තිබේ දැයි ඇය පියවරක් පාසා විමසනු ඇත. ඇය ඉමහත් උනන්දුවෙන් උන්වහන්සේගේ වචනය (බයිබලය) හදාරනු ඇත. තම වැඩ කටයුතු තුළ ස්වකීය දෛණික අත්දැකීම් සැබෑ ජීවනය වන්නා වූ තැනැන්වහන්සේගේ ප්‍රතිඡායාවක් වනු පිණිස, ඇය තම දෑස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි රඳවා තබනු ඇත. සියල්ල ගැන ගණන් දෙන්ට වන භයංකර දවසේදී තම කාර්යය සෝදිසියට ලක් කෙරෙන බවත් එහෙයින් තම දිවියේ සැම මොහොතක්ම මිල කළ නොහැකි තරම් අගනා බවත් සැම මවකටම හැඟී යත්වා. තම නොදරුවන්ගේ පා නිසි මග යැවීමට යුතු කමින් බැඳී සිටිය වුන්ගේ නොදන්නා කම හා නොසැලකිල්ල හේතු කොට ගෙන මනුෂ්‍යයන්ගේ බොහෝ අසමත් වීම් හා අපරාධ සිදුවී ඇති බැව් එවිට පෙනී යනු ඇත. ශුද්ධ කම, සත්‍යය හා බුද්ධි බල මහිමයේ ‍ආලෝකයෙන් ලොව එකළු කළ බොහෝ දෙන ඔවුන්ගේ අනුබලය හා සාර්ථකත්වයට තුඩු දුන් ප්‍රතිපත්තීන් උදෙසා යැදසිටි කිතුණු මවකට ණය ගැති බැව් එවිට පෙනී යනු ඇත. AHS 74.1