Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 59—යහපත් විපාක

    විශ්වාසවන්ත දෙමාපියන්ට යහපත් විපාකයක් ඇත: දෙමාපියන් තම දරුවන් හට නිසි අධ්‍යාපනයක් ලැබ දුනහොත්, තම දරුවන් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් වු චරිතයක් බිහි කිරීමට තමන් ලබා දුන් සැලකිලිමත් පුහුණුවේ ප්‍රථිඵල දැක ඔවුන් සතුටට පත්වනු ඇත. ස්වාමීන්වහන්සේට භය භක්තිය දක්වනු පමණක් නොව, අනිකුත් පවුල් කෙරෙහි දක්වන ස්වකීය අනුබලය කරණකොට ගෙන උන්‍වහන්සේට ‍ගෞරවයත් මහිමයත් ගෙන දෙන මනාව විධිමත් වූ ද මනාව හික්මවනු ලැබුවා වු ද පවුල් ලොවට ඉදිරිපත් කරමින් දෙවියන්වහන්සේට උපරිම මෙහෙයක් ඉටු කරන ඔවුන් තම යහපත් විපාක ලබනු ඇත.AHS 173.1

    ඔබගේ දරුවන්ට බුද්ධිමය හැකියාව සහ සුචරිත පුහුණුව ලැබ දෙන්න. ස්ථිරසාර, පිවිතුරු ප්‍රතිපත්තීන්ගෙන් ඔවුන්ගේ යොවුන් සිත් සවිමත් කරන්න. ඔබට අවස්ථාව සැලසී තිබියදී දරුවන් තුළ උතුම් ස්ත්‍රී හා පුරුෂ භාවයට පදනම දමන්න. ඔබගේ ශ්‍රමයට දහස් ගුණයෙන් විපාක ලැබෙනු ඇත.AHS 173.2

    ඇය (සැබෑ භාර්යාව සහ මව) තම ශක්තිය සහ සැනසීම පිණිස දෙවියන්වහන්සේ දෙස බලයි නම්, තම දෛණික කර්තව්‍යයන් උන්වහන්සේගේ ප්‍රඥාව සහ භය භක්තිය තුළ ඉටු ක‍රන්ට සිතයි නම්, ඉන් ඇය තම සැමියා ස්වකීය හදවතට බැඳ තබා ගන්නා අතර තම මවගේ ආදර්ශය අනුකරණය කිරීමට සුචරිත ශක්තිය ඇතිව ගෞරවනීය ස්ත්‍රීන් හා පුරුෂයන් වනු පිණිස තම දූ දරුවන් වැඩෙනු ඇය දකිනු ඇත.AHS 173.3

    සග සතුට නිවසින් ඇරඹෙයි: ස්වර්ගයත් පොළොවත් එදා එ‍ඬේරුන් සුර දුතයන්ගේ ගී නාදයට සවන් දුන් අවස්ථාවේදී තිබුණාට වඩා අද ඈත් වී නැත. මිදි උයන් වලදී හා කෙත් වතු වලදී සාමාන්‍ය වැඩ පල කළ සාමාන්‍ය මනුෂ්‍යයන් දිවා කාලයේදී සුර දූතයන් හමු වී ස්ව‍ර්ගීය පණිවිඩකරුවන් හා සුහදව කථා බහ කළ කාලයේදී මෙන්ම තවමත් මනුෂ්‍යයෝ ස්වර්ගයේ දැඩි අවධානයට ලක් වූවන්ව සිටිති. සාමාන්‍ය ජීවිත ගත කරන අපට ස්වර්ගය ඉතා ළඟ විය හැකිය. දෙවියන්වහන්සේගේ විධානය අනුව ‍යනෙනා අයවළුන්ගේ පියවර ස්වර්ගයේ බැස එන දේවදූතයන් බලා ගනු ඇත.AHS 173.4

    පොළාව මත ජීවිතය ස්වර්ගීය ජීවිතයේ ආරම්භය වේ. පොළොවේදී ලබන අධ්‍යාපනය ස්වර්ගීය ප්‍රතිපත්ති දැන හඳුනා ගැනීමේ මුල් අවස්ථාව වේ. මෙහි ජීවිත කාර්යය එහි ජීවිත කාර්යය සඳහා ලබන පුහුණුවකි. චරිත ස්වභාවය සහ ශුද්ධ සේවය තුළ අප දැන් සිටිනා තත්ත්වය අප මතු සිටිනා ස්වභාවයෙහි නියත පෙර දැක්මකි.AHS 174.1

    ස්වර්ගයට සුදුසුව: සෑම පවුලකම, සභාවකම සහ සැම ආයතනයකම ස්වර්ගීය සැලැස්ම ඉටු වීමත්, ස්වර්ගීය දිව්‍ය විධිමත් භාවය සහ එකඟතාවය පැවතීමත් දැකීමට දෙවියන්වහන්සේ අපේක්ෂා කරන සේක. සමාජයට මෙම ප්‍රේමය මුසුවීනම්, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයෙන් මිලට ගත්තවුන් කෙරෙහි කිතුණු දානශීලය තුළ හා කිතුණු ලාලිත්‍ය සහ ආචාරශීලී කම තුළ උතුම් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වන සැටි අප දැකිය යුතුය. අපගේ සියලු පවුල් තුළ, අපගේ ආයතන තුළ හා අපගේ සභාවන් තුළ ආත්මික විපර්යාසයන් දක්නට ලැබෙනු ඇත. මෙම අධ්‍යාත්මික පෙරළිය සිදුවන කල, ඉහත කී කණ්ඩායම් දෙවියන්වහන්සේ විසින් ලොවට ආලෝකය දීමට භාවිතා කරනු ලබන උපකරණ වනු ඇති අතර මෙලෙස දිව්‍ය හික්මවීම සහ පුහුණුව තුලින් ස්ත්‍රීහු හා පුරුෂයෝ ස්වර්ගීය සමාජය සඳහා සුදුස්සන් කරනු ලබන්නාහ.AHS 174.2

    නැණවත් දෙමාපියන්ගේ කර්තව්‍යය ලෝකයා විසින් කිසි දිනෙක අගය නොකෙරෙනු ඇත. එහෙත් විනිශ්චය පටන් ගෙන පොත් විවෘත කරන කල්හි, ඔවුන්ගේ කර්තව්‍ය දෙවියන්වහන්සේ එය දකිනා ලෙසින් දර්ශනය වනු ඇති අතර මනුෂ්‍යයන් සහ දේවදූතයන් ඉදිරියේදී ඊට යහපත් විපාක දෙනු ලබන්නේය. විශ්වාසවන්ත මාර්ගයක හදනු වඩනු ලැබූ එක දරුවෙකු ලෝකයට ආලෝකයක් වී ඇති සැටි පෙනෙනු ඇත. දරුවාගේ චරිත වර්ධනය කෙරෙහි සුපරික්ෂාකාරීව සිටීමට නිදි නැති රෑ කාලයන්, නිමක් නැති සාංකාවන් හා උණු කඳුළු කැට වැය වී ඇත. එහෙත් එම කාර්යය ඥානාන්විතව කෙරී තිබෙන අතර “ඔබ කළ දේ ඉතා හොඳය” යනුවෙන් දෙවියන්වහන්සේගේ වචන එම දෙමාපියනට ඇසෙනු ඇත. දරුවන් තම සිත් පිවිතුරු, ප්‍රේමනීය සිතිවිලි වලට විවෘත කොට, ප්‍රේමනීය උපකාරී ක්‍රියාවන් කරනා විට, ඔවුන් තමන් පිට උන්වහන්සේගේ අලංකාර චරිත ස්වභාවය පැළඳ ගන්නා බැව් දරුවන්ට කියා දෙත්වා. මෙම වස්ත්‍රය මෙලොවේදී ඔවුන් ප්‍රිය ජනක හා ප්‍රේමනීය පුද්ගලයන් සේ පෙනීමට සලසන අතර මතු ‍ජීවිතයේදී රජාණන්වහන්සේගේ මාලිගයට ඇතුළ් වීමට එය ඔවුනට ඇති සුදුසුකම වන්නේය. උන්වහන්සේගේ පොරොන්දුව නම්:AHS 174.3

    “ඔවුහු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර පැළඳ මා සමග අවිදින්නෝය.”AHS 174.4