Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    18 - ඇමෙරිකානු ප්‍රතිසංස්කාරකයෙක්

    ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි ඊමේ පණිවිඩය ලෝ දන හට ලබා දීම දේව සැලැස්ම විය. එම සුපුවත ප්‍රකාශ කිරීමේ පෙරමග දූතයන් ලෙස දෙවියන්වහන්සේ විවිධාකර පුද්ගලයන් තෝරාගත් සේක. මේ සඳහා තවත් ප්‍රතිසංස්කාරකයෙකු තෝරා ගැනීමට අදහස් කළ උන්වහන්සේ ඇමෙරිකාවේ විසූ විලයම් මිලර් නමැති තැනැත්තා වෙත තමන් අවධානය යොමු කළසේක. විලියම් මිලර් වනාහි යුතුකම අගය කළ අවංක ගොවියෙක් විය.ශුභාරංචියෙහි දිව්‍යමය බල අධිකාරිය ගැන හෙතෙම මුලදී අනුමාන කළ නමුත් සත්‍යතාව දැකගැනීමේ අවංක ආශාවක් ඔහු තුළ ජනිතව තිබිණි. අනෙකුත් ප්‍රතිසංස්කාරකයන් මෙන්ම විලියම් මිලර් ද දිළිඳු ජීවිතයක් ගත කළේය. ජීව ශක්තිය වැය කරමින් වැඩ කිරීමට ද ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ජීවත් වීමට ද ඔහු බාල වියෙහි සිටම හුරු පුරුදු විය. ඔහුගේ පවුලේ අය තුළ පැවැති චරිතාංග අතර නිවහල්ව ජීවත් වීමේ චින්තනය ඔහුගේ ඉදිරි කාර්ය භාරයට රුකුලක් විය. තවද, නිදහස්ව දිවි ගෙවීමේ ආත්මය මෙන්ම සියලු කරදර විඳ දරාගැනීමට ශක්තියක්ද, දේශාභිමානයෙන් දැවෙන්නාවූ ආත්මයක් ද ඔහුට ජන්මයෙන්ම උරුමව තිබුණේය. ඔහුගේ පියා ඇමෙරිකානු යුද්ධ හමුදාවෙහි කපිතාන්වරයෙක් විය. යුද්ධ සමයේ ඔවුන් මුහුණ පෑ අසිරුතා සහ කම්කටොළු මිලර්ගේ තරුණ වියෙහි ජීවිත රටාව හැඩ ගැස්වීමෙහි ලා බලපෑවේය.GrHSin 361.1

    ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය සම්පන්න දේහයක් දැරූ හෙතෙම කුඩා කල සිටම බුද්ධිමය වශයෙන් ද ප්‍රගුණ ස්වභායක් පෙන්නුම් කළේය. වයසින් මුහුකුරා යත්ම මෙම බුද්ධිමය ප්‍රඥාව කැපී පෙනෙන්නට විය. ඔහුගේ මනස ක්‍රියාශීලී වූ අතර එය මනාව වර්ධනයව තිබුණේය. දැනුම ලැබීමේ පිපාසයක් ඔහු තුළ විය. උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඔහු සතු නොවීය. එසේ වුවද විවිධ විෂයන් හැදෑරීමේ ආශාවද විමර්ශනශීලී චින්තනයකින් කරුණූ හැදෑරීමේ ශූරත්වයද මගින් ඔහු අපක්ෂපාතී වූ විනිශ්චයක් කිරීමට හැකියාවක් ඇත්තා වූ පුළුල් දර්ශනයකින් යුත් තැනැත්තෙක් විය. ඔහුට සදාචාර සම්පන්න වූ කැළැල් රහිත චරිතයක්ද තිබුණි. අවංකකම, සැකසුරුවම, කරුණාව සහ ත්‍යාගවන්තකම පිළිබඳව ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් විය. ශ්‍රම ශක්තිය වෑයමකින් යුතුව යෙදවීමෙන් හෙතෙම බාල කාලයේ පටන්ම කැපී පෙනුණේය. මම සියලු වෑයම් මධ්‍යයේ වුවද ඉගෙනීමේ පුරුද්ද ඔහු අත් නොහළේය. ඔහු සම්මාන සහිතව සිවිල් හා යුද්ධමය වගකීම් ගණනාවක් ඉටු කළේය. ධන සම්පත් සහ ගෞරවය ලැබීමේ මාවත ඔහු ඉදිරියේ විවෘතව තිබුණේය.GrHSin 361.2

    විලියම්ගේ මව අව්‍යාජ භක්තියෙන් යුත් සැදැහැවතියක් වූවාය. ඇයගේ ශ්‍රද්ධාව මිලර්ගේ ළමා ජීවිතය කෙරෙහි බලපෑමක් ඇති කිරීමෙහි ලා සමත් විය. තරුණ විය පසු කිරීමත් සමගම හෙතෙම දේව භක්ති අයගේ සමාගමට සම්බන්ධ විය. යහපත් අවංක පුරවැසියන් වූ ඔවුහු කාරුණිකවූ ත්‍යාගශීලී අය වූහ. ඔවුන්ගේ ගුණාංග ඔහුගේ දිවියට මහත් බලපෑමක් ඇති කළේය. කිතුණු ආයතන මධ්‍ය යේ දිවිගෙවූ ඔවුන්ගේ ජීවිත රටාව ඒ පරිසරය අනුව හැඩගස්වනු ලැබීය. අනෙකුත් අයගේ ගෞරවාදරයට සහ විශ්වාසයට ඔවුහු භාජන වූහ. එවන් ජනප්‍රියතාවක් අත්කර ගැනීමට උපකාරයක් වූයේ බයිබලීය ගුණ දහම් අනුගමනය කිරීමය. එහෙත් මෙවන් යහපත් තිළිණ මත කෙතරම් දුරට අප්‍රසන්න බලපෑමක් එල්ල කරනු ලැබුණේද යත් ඔවුන්ගේ සිත් සතන් හි දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව මතවාදයක් ගොඩ නගනු ලැබීය. මෙවන් ජන කොටසක් සමග සහභාගීත්වය පැවැත්වීම කරණකොටගෙන එම මතවේදයන් සහ චින්තන පිළිගැනීමට මිලර්ද මගපෙන්වනු ලැබිණි. බයිබලීය විෂයන් අර්ථකථනය කිරීමේ දී එකල පැවැති විග්‍රහයන් පිළිගැනීම ඔහුට අසීරු කරුණක් විය. එම ඉගැන්වීම් මගින් ගොඩ නැගුණු ඇදහිලි ක්‍රමවේදයද ඔහුගේ සිතට පහන් වීමක් ලබා දීමට අසමත් විය. බයිබලයේ ඉගැන්වීම් පසෙකලා ගොඩ නැගුණු එම නූතන ඇදහිලි ක්‍රමය ඔහුගේ සිතට අස්වැසිල්ලක් නොවීය. නූතන දර්ශනවේදය තුළ ඔහු අවුරුදු දොළසක් පමණ පැවතුණි. මේ වන විට හෙතෙම තිස් හතර වන වියට පා තබා තිබුණේය. එකල ශුද්ධෝත්මයාණෝ ඔහුගේ සිතට කථා කළසේක, ඔහු තවමත් පව්කාරයෙකු බව උන්වහන්සේ ඔහුට ඒත්තු ගැන්වූ සේක.මිනී වළට ඔබ්බෙන් ප්‍රීතිය ඇතිවන බවක් ඔහුගේ දහම් වේදය තුළ දැක ගැනීමට හැකියාවක් නොවීය. අනාගතය තුළ අඳුර පිරී පැවැතියේය. එකල ඔහුගේ චින්තනයෙහි රජකළ හැඟීම් පිළිබඳව ඔහු පසු කාලයේ දී මෙසේ විස්තර කළේය.GrHSin 362.1

    “මිනිසා විනාශ වන්නේය යන චින්තනය බියකරු සිත සලිත කරවන එකකි. සියලු දෙනාම ජීවිත සිදුවීම් පිළිබඳව ගණන් දිය යුතුය. මාගේ හිසට ඉහළින් තිබූ අහස පිත්තල වියනක් මෙන් විය, මා පයගසා සිටි පොළොව යකඩ පලසක් බඳු විය. සදාතනය එය කුමක්ද? ඒ අතර, මරණය - එය පැවතුණේ ඇයි? මා මේ ගැන ගැඹුරටම කල්පනා කළ අතර ප්‍රශ්නය වඩ වඩාත් ව්‍යාකූල වන්නට විය. මේ ගැන වැඩි වැඩියෙන් හේතු කාරණා සොයන්නා වූ අතර තීරණයක් කරා පැමිණීම අපහසු විය. කල්පනා සිතුවිලි නවතා දැමීමට උත්සාහ කළද, ඒවා පාලනය කරගැනීම අපහසු විය. මම ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව සිටි නමුත් එයට හේතුව ගැන අවබෝධයක් මට නොවීය, මම මැසිවිල් කීවෙමි, දෝෂාරෝපණය කළෙමි. එහෙත් එය කවරෙකු ගැනදැයි නොදනිමි. වැරැද්දක් ඇති බව මට දැනී ගිය නමුත් හරි දෙය සොයා ගන්නේ කෙසේද, එය ඇත්තේ කිනම් තැනකදැයි දැන නොසිටියෙමි. මම ශෝක විලාප නැගුවෙමි, නමුත් කිසිම බලාපොරොත්තුවක් පහළ නොවීය.”GrHSin 362.2

    අනාගත ස්ථාවරයක් නැති මෙවන් තත්ත්වයක් උඩ ඔහු මාස ගණනාවක් රැඳී සිටියේය. හදිසියේම එම තත්ත්වය වෙනස් විය. ඔහු එම තත්ත්වය වචනයට නගන්නේ මෙසේය, “හදිසියේම ගැළවුම්කාරයාණන්ගේ චරිතය මාගේ මනසෙහි ස්ථානගත විය. එය ඉතා පැහැදිලි විය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් අප විසින් කරන ලද පාපයේ ශාපයේ දුක් විඳීම්වලින් අපට මුදවාලීමට ඒ සඳහා තමන්වහන්සේ විසින්ම වන්දිය ගෙවීමට තරම් කාරුණික වූද , යහපත් වූද, තැනැත්තෙක් සිටින බව මට පෙනී ගියේය. එවන් තැනැත්තෙක් කෙතරම් මනෝහර සෙනෙහෙබර ආදරණීය අයෙකදැයි මට එම මොහොතේ දීම දැනී ගියේය. එවැනි උත්තමයෙකුගේ දෑත්වලට වැටී එතුමාණන්ගේ දයාකරුණාව විශ්වාස කරන්නට මට හැකි වේ නම් එය අගනා මිහිරි අත්දැකීමක්වනවාට සැකයක් නැති බව මට දැනුණි. ඒ සමඟම ප්‍රශ්නයක් නැගී ආවේය. එවන් තැනැත්තෙක් ජීවත්ව සිටින බව ඔප්පු කළ හැක්කේ කෙසේද? එවන් ගැළවුම්කාරයෙක් ජීවත් වූ බවට සාක්ෂියක් ශුද්ධ බයිබලයෙන් හැරෙන්නට වෙනත් මාධ්‍යයකින් සොයාගැනීම අපහසු බව මට පෙනුණි.GrHSin 363.1

    “මට අවශ්‍ය වන මෙබඳු මිදුම්කරුවාණන් කෙනෙකු සිටින බව ශුද්ධ බයිබලය තුළින් මට දැකගැනීමට හැකියාව උදාවිය. වැටී ගියා වූ ලෝකයේ අවශ්‍යතාවන්ට පරිපූර්ණ අයුරින් පිහිට විය හැකි ප්‍රඥප්ති මාලාවක් වර්ධනය කර ඉදිරිපත් කිරීමට ලෝකෝත්තර ආනුභාවයකින් පහස ලැබූ පොතකට හැකියාවක් අත්විය හැක්කේ කෙසේ ද යන්න මට මහත් ගැටලුවක් විය. ශුද්ධ ලියවිල් වනාහි දෙවියන්වහන්සේගෙන් ලැබුණු එළිදරව් කිරීමක් බව පිළිගැනීමට මට පුළුවන් විය, එම ලියවිලි මාගේ එකම ප්‍රීතිය විය. යේසුස්වහන්සේ තුළ මට මිත්‍රයෙකු සොයා ගැනීමට හැකි විය. දස දහසක් සහෝදරයන් අතරෙන් මාගේ ජීවිතයේ මුල් තැන මිදුම්කරුවාණන්ට හිමි විය. ඊට පෙර අඳුරුව තිබූ පරස්පර විරෝධීන්ගෙන් ගහණ වු ශුද්ධ ලියවිලි දැන් මාගේ පාදයන්ට පහනක් විය. මාගේ මාර්ගයට ආලෝකයක් විය. මාගේ මනස තැන්පත් ස්ථාවරයකට පත්විය. මාගේ ආත්මයට තෘප්තියක් උදා විය. සැඩ රළ පහරින් පීඩාවට පත්වූ මාගේ ජීවිතයට දෙව් සමිඳාණන් නොසැලවෙන්නා වූ පර්වතයක් බව මට සාක්ෂාත් විය. ශුද්ධ බයිබලය හැදෑරීම මාගේ ඒකායන අභිමතාර්ථය විය. මම ශුද්ධ බයිබලය ඉගෙන ගත්තේ මහත් ප්‍රීතියකින් බව නොපැකිළ පවසමි. ශුද්ධ බයිබලයේ අඩංගු ධර්මතාවන්ගෙන් අඩක් හෝ එතෙක් මා නොදැන සිටි බව මට දැකගත හැකි විය. බයිබලයෙහි අලංකාරයත් තේජස්ශ්‍රීයත් මා මෙතෙක් කලක් දැක නොතිබුණේ මන්දැයි මම විස්මිත වීමි. ශුද්ධ බයිබලීය කරුණු මා ප්‍රතික්ෂේප කර තිබුණේ කෙසේද යන්න මට ප්‍ර හේලිකාවක් විය. මාගේ හදවතට අපේක්ෂා කළ හැකි සෑම දෙයක්ම ශුද්ධ බයිබලයෙහි එළිදරව් කර ඇති බව මට පැහැදිලි විය. මාගේ ආත්මයෙහි ඇති සෑම රෝගයකටම පිළියමක් ශුද්ධ බයිබලයෙහි එළිදරම් කර ඇති බව දැක මම විස්මිත වීමි. වෙනත් ප්‍රකාශන කියවීමෙයි ආශාව මාගෙන් ඉවත්ව ගියේය. දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ලබාගැනීම මාගේ වෑයම විය.” (Bliss, S;”Memoirs of Wm. Miller,“pp. 65-67).GrHSin 363.2

    තමා විසින් කලින් ප්‍රතික්ෂේප කළ ආගම දහම තමා දැන් සිය කැමැත්තෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස පිළිගත් බව මිලර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ශුද්ධ ලියවිල්ලෙහි පසුතලය වූ දිව්‍ය අධිකාරී බලයට එරෙහිව ඔහු විසින් ප්‍රබල තර්ක ඉදිරිපත් කර තිබිණි. ඔහුගේ දේව භක්තියෙන් තොර මිතුරෝ දැන් ඔහුට එරෙහිව එම තර්ක ඉදිරිපත් කරමින් පිළිතුරු ඉල්ලා සිටියහත ඔවුන්ට පිළිතුරු දීමට එම අවස්ථාවේදී ඔහු තුළ සූදානමක් නොවීය. එහෙත් ඔහු මෙසේ තර්ක කළේය. ´ශුද්ධ බයිබලය දෙවියන්වහන්සේගෙන් වූ එළිදරව් කිරීමක් නම්, එහි ඇතුළත් ප්‍රකාශන තුළ එකිනෙක සමඟ සබඳතාවයක් ඇත. විෂයන් සම්බන්ධව පරස්පර විරෝධි මත ඇතුළත් විය යුතු නොවේ. තව ද, එම හෙළිදරව් කිරීම් මිනිසාට ගුරු හරුකම් දීම සඳහා දෙන ලද්දේ නම්, එකී ඉගැන්වීම තමාට තේරුම්ගත හැකි වන පරිදි යෝග්‍ය වීම අනිවාර්ය වන්නේය. එම නිසා ශුද්ධ ලියවිල්ල තමා විසින්ම අධ්‍යයනය කළ යුතු යයි ඔහු තීරණය කර ගත්තේය. මතු පිටින් පෙනෙන්නා වූ ශුද්ධ ලියවිලිවල විරෝධතා ප්‍රකාශන සමනය කර එකඟතාවකට පත් කිරීම ඔහුගේ ඒකායන වෑයම විය.GrHSin 364.1

    කලින් තිබූ සියලුම මති මතාන්තර ඉවතලමින් ශුද්ධ බයිබල් අටුවාවන් පසෙකලමින් ශුද්ධ බයිබලීය පද පමණක් උපකාරී කර ගනිමින් බයිබලයේ අඩංගු ධර්මතාවන් ඉගෙන ගැනීමට ඔහු වෑයම් කළේය. යම්කිසි ආකාර පදනමක් මත, ක්‍රමානුකූලව තම අධානය කරගෙන යාමට ඔහු අදිටන් කරගත්තේය. තම අධ්‍යයනය උත්පත්ති පොතෙන් ආරම්භ කළ හෙතෙම පදයෙන් පදය විග්‍රහ කරමින් යථාර්ථය සොයා ගැනීමට වෙහෙසුණේය. බයිබල් විෂයන් සම්බන්ධව අනාගතයේ දී කිසිම විටෙක ලජ්ජාවට පත් නොවන අයුරු පුළුල් දැනුමක් ලබාගැනීමට ඔහු උත්සුක විය යම්කිසි විෂයක් ගැන නොපැහැදිලි තත්ත්වයක් මතු වූ විට එම විෂය පිළිබඳව අදහස් දක්වා ඇති අනෙකුත් සෑම ශුද්ධ ලියවිලි පාඨ සමඟ එය සංසන්දනය කරමින් සුපැහැදිල අර්ථයක් ගොඩ නඟා ගැනීමට ඔහු වෑයම් කළේය. GrHSin 364.2

    යම්කිසි පාඨයක වූ සෑම පදයක්ම එහි අන්තර්ගත විෂය සමඟ ගැළවීමකට ලක් කර එය එම විෂය පිළිබඳව ලියවී තිබූ වෙනත් බයිබල් පද හා ගැළපෙන්නේ නම් පමණක් ඔහු සෑහීමකට පත් විය. යම්කිසි පාඨයක් අවබෝධ කරගැනීමෙහි අපහසුතාවක් උදා වු විට, එම විෂය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නා වූ තවත් පාඨයක් හමුවන තුරු ඔහු අවංක විග්‍රහයක යෙදුණේය, සෑහීමකට පත්වන තුරු ඔහු අධ්‍යයනය අවසන් නොකළේය. දිව්‍යමය ආලෝකමත් කිරීමක් ඉල්ලමින් යාච්ඤාවෙන් යුතුව විලියම් මිලර් ශුද්ධ බයිබලය අධ්‍යයනය කළ අතරේ දී කළින් අඳුරේ ගිලී තිබු ධර්මතාවන් සහ ඉගැන්වීම දැන් පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තේය. “ඔබවහන්සේගේ වචනය එළිදරව් වීමෙන් ආලෝකය ලැබේ, එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.” යන ගීතිකාකාරයාගේ වදන්හි සත්‍යතාව ඔහුට අත්දකින්නට හැකි විය. (ගීතාවලිය 119:130)GrHSin 364.3

    දැඩි උනන්දුවකින් යුතුව හෙතෙම දානියෙල් සහ එළිදරව් පොත් අධ්‍යයනය කරමින් වෙනත් බයිබල් පාඨ අධ්‍යයනය කළ ක්‍රමවේදයම අනුගමනය කළේය. ඔහු දැරූ වෑයම සාර්ථක ඵල දරමින් දිවැසි වැකි හා සංකේත තේරුම් ගැනීමට පුළුවන් වීමෙන් ඔහු ඉමහත් ප්‍රීතියට පත් විය. මීට පෙර පවසන ලද අනාවැකි වචනානුසාරයෙන්ම ඉටු වී ඇති බව ඔහු දුටුවේය. අනාවැකි තුළ ගැබ් වී ඇති විවිධ රූපාලංකාර, උපමාලංකාර, උපහැරණ, ප්‍රතිරූපාකාර ආදියෙහි තේරුම එම පද යෙදුම් හා බැඳිව විස්තර, වචන අනුසාරයෙන් තේරුම්ගත යුතු බව ඔහුට සාක්ෂාත් විය. “ශුද්ධ බයිබලය වනාහි එළිදරව් කරනු ලැබූ සත්‍යතාවන් පද්ධතියක් බව තේරුම් ගැනීමෙන් මම සෑහීමකට පත් වීමි. එහි අඩංගු දෑ ගවේෂණයට යෙදෙන තැනැත්තේ මෝඩයෙකු වුවද, ඔහුට කිසිසේත්ම වරදින්නට හැකි නොවේය”යි ඔහු පවසයි. (“Bliss, Memoirs of W.m. Miller”p. 70). පුරුකෙන් පුරුක සම්බන්ධ වෙමින් ඉදිරිපත් වූ සත්‍යතා දම්වැල ඔහුගේ වැයම ඵල ගැන්වීමෙහි ලා ඉවහල් විය. අනාවැකි මාවතේ පෙරටම යන්නා වූ අතරේදී ඔහුට ලැබුණු ප්‍රගතිය ඔහුගේ සතුටට හා සෑහීමට හේතු විය. ස්වර්ගීය දූතයෝ ඔහුගේ මනස හසුරුවමින් ශුද්ධ ලියවිලි ඔහුට විවෘත කරමින් යථාර්ථය තේරුම් ගැනීමට ඔහුට උපකාර වූහ. GrHSin 365.1

    අතීතයේ දී අනාවැකි සම්පූර්ණ වී තිබුණ අන්දම අනුව අනාගතයේ දී සම්පූර්ණ විය යුතු අනාවැකි ද සම්පූර්ණ වෙනවා ඇතැයි ඔහු තීරණය කළේය. එකල පැවැති ජනප්‍රිය සංකල්පයක් වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මික රාජ්‍ය පාලනය පිළිබඳ ඉගැන්වීමය. එම දසුන අනුව ලෝකයේ අවසානයට පෙර ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණ අවුරුදු දහසක් භූමික රාජ්‍ය පාලනයක් කරනවා ඇතැයි යන්න පවසන ලදී .මෙන්න ඉගැන්වීමක් ශුද්ධ බයිබලය තුළ අන්තර්ගතව නැති බව තම අධ්‍යයනයෙන් තහවුරු වීමෙන් ඔහු සෑහීමකට පත් විය. බයිබලීය ඉගැන්වීම අනුව යේසු සමිඳාණන් පුද්ගලිකව මෙලොව පැමිණෙන දවසක් ඇත. එහෙත් ඉහත සඳහන් ඉගැන්වීම අනුව උන්වහන්සේගේ පැමිණීමේ දවසට පෙරාතුව මෙම භූතලය මත අවුරුදු දහසක සාමයෙන් පිරි ධර්මිෂ්ඨ රාජ්‍යයක් පිහිටුවනු ලබනවා ඇත. එමගින් ස්වාමීන්වහන්සේගේ මහත් දවස, බිහිසුණු දවස, මිනිස් අවධානයෙන් තවත් ඈතට යොමු කරනු ලබනවා ඇත යන මෙම ඉගැන්වීම මිනිස් සිතට සැනසිලිදායක චින්තනයක් උදා කරදෙන නමුත්, එම දහම ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ ගෝලයන්ගේ දෙසුම්වලට පටහැනි වූවක් ශූද්ධ බයිබලය සාක්ෂි දරයි. මක්නිසාද යත් කිතු සමිඳාණන් ඉගැන්වූයේ ලෝකයේ අවසන් දවස, එනම් අස්වනු නෙළීම උදාවන තෙක් තිරිඟු සහ කිරිඳි එක්ව වැඩෙන බවයි. (මතෙව් 13: 30, 38-40). එම කාලවකවානුවේදී “නපුරු මනුෂ්‍යයෝත් රැවටිලිකාරයෝත් රවටමින්ද, රැවටෙමින්ද වඩ වඩා නරක් “වන බවද, “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව” ද අපට දක්වා තිබේ. (2 තිමෝති 3:13,1). අන්ධකාරයෙහි රාජ්‍යය කිතු සමිඳාණන්ගේ දෙවැනි පැමිණීමේ දවස දක්වා ක්‍රියාත්මකව පවතිනවාය යන ඉගැන්වීම සත්‍යයකි. ඒ ඉරණම දවසේදී, අඳුරේ රාජධානියේ පංගුකාරයෝ කිතු සමිඳුන්ගේ ශ්‍රී මුඛයේ හුස්මෙන් දැවී යන්නෝය, උන්වහන්සේගේ ඊමේ ප්‍රකාශ වීමෙන් ඔවුහු විනාශ කරනු ලබති. (2 තෙසලෝනික 2:8).GrHSin 365.2

    සකල ලෝ වැසි ජනතාව කිතුනු දහම පිළිගනු ලැබීම සහ කිතු සමිඳාණන් ආත්මික ලෙස රාජ්‍ය පාලනයක නිරත වීම යන දහම අපෝස්තුළුවරුන් විසින් ආරම්භ කළ මුල් සභාවෙහි ඉගැන්වීමක් නොවීය. එහෙත් දහ අට වැනි සියවසේ මුල් කාලයේදී මෙම ඉගැන්වීමෙහි පිළිගැනීමක් ගැන කිතුණු ඉතිහාසයෙහි සඳහන්ව ඇත. වෙනත් ව්‍යාජ ඉගැන්වීම් මෙන්ම මෙම ඉගැන්වීමෙහි ප්‍රතිඵලයද නපුරුදායක විය. ස්වාමීන්වහන්සේගේ පැමිණීම බොහෝ දීර්ඝ කාලයකට පසුව සිදුවන්නේ යැයි මෙම ඉගැන්වීම මගින් සහතික කරනු ලැබීම නිසා උන්වහන්සේගේ පැමිණීමේ පෙරනිමිති පිළිබඳව තැකීමක් නොකිරීමට මිනිස් අවධානය වෙනතකට යොමු කරනු ලැබීය. සත්‍යය විකෘති කරමින් ඉදිරිපත් කරනු ලැබූ එම ඉගැන්වීම මගින් දේව ජනතාවට ආරක්ෂික බවක් සහ සැක රහිත උසස් බලාපොරොත්තුවක් ඇති විය. යේසු සමිඳාණන්ගේ පැමිණීම උදෙසා අවශ්‍ය සූදානම් වීමේ උවමනාව මෙම ඉගැන්වීම මගින් අතපසු කරනු ලැබීය. GrHSin 366.1

    ක්‍රිස්තුස්වහන්සේ පුද්ගලිකව මෙලොවට පැමිණීම ගැන ශුද්ධ ලියවිල්ලෙහි උගන්වා ඇති බව මිලර්ට ඒත්තු ගියේය. ඒ පැමිණීමේ සංසිද්ධිය ගැන පාවුල් මෙසේ පවසයි: “මක්නිසාද ස්වාමින්වහන්සේ මහත් ශබ්දයක් ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයක ඇතුව ස්වර්ගෙයන් බස්නා සේක.” (1තෙසලෝනික 4:16,17). ගැළවුම්කාරයාණන්වහන්සේ මෙසේ පැවසූ සේක.”ඔව්හූ මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් ද මහත් තේජසින් ද අහසේ වළාකුල් පිට එනවා දකින්නෝය.” “මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.” (මතෙව් 24: 30,27) උන්වහන්සේ ස්වර්ගීය සේනාව සමග එනවා ඇත. “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කළ,” “උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරන්නෝය. (මතෙව් 25:31;24:31).GrHSin 366.2

    යේසු සමිඳාණන්ගේ පැමිණීමේදී මිය ගියාවූ ධර්මිෂ්ඨයෝ මළවුන්ගෙන් නැගිටුවනු ලබති. මෙම සිද්ධිය පාවුල් වාර්තා කරන්නේ මෙසේය, “අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව. නුමුත් අන්තිම හොරණෑව පිඹින කළ මොහොතකින්, ඇසිපිය හෙලන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනූ ලබන්නේය. එකළ මළාහු නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසාද දිරන සුළු වූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය.” (1 කොරින්ති 15:51-53). යේසු සමිඳාණන්ගේ දෙවැනි පැමිණීම විස්තර කරමින් තෙසලෝනිකවරුන්ට යැවූ ලිපියෙහි පාවුල් මෙසේ පවසයි:” ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුඛ වන පිණිස වළාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතර ස්වාමින්වහන්සේ සමග සිටින්නෙමුව.” (1 තෙසලෝනික 4:16,17).GrHSin 367.1

    ක්‍රිස්තු සමිඳාණන් පුද්ගලිකව පැමිණෙන තුරු, උන්වහන්සේගේ සෙනඟට රාජ්‍යය ලබාගත නොහැකිය. කිතු සමිඳාණෝ මෙසේ වදාළ සේක. ” මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳින සේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසි එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන් කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේ ද එළුවන් වම් පැත්තේ ද සිටුවන සේක. එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියන සේක. මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත්තෙනි, එන්න, ලෝකයේ පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.” (මතෙව් 25:31-34). මෙසේ අප ඉදිරිපත් කර ඇති ශුද්ධ ලියවිලි පාඨයන්ගෙන් සනාථ වන්නේ මනුෂ්‍යපුත්‍රයාණන් නැවත වඩින්නා වූ කල්හි මිය ගියා වූ දමිටුවන් අමරණය පැළඳ ගෙන, මළවුන්ගෙන් පිබිදී එන බවත්, ජීවත්ව සිටින්නාවූ දමිටුවන් වෙනස් කරනු ලබන බවත්ය. මෙම විශිෂ්ඨ වෙනස් කරනු ලැබීම් මගින් ඔවුන්ව රාජ්‍යය ලබාගැනීම සඳහා සූදානම් කරනු ලැබේ. පාවුල් මේ පිළිබඳව මෙසේ පවසයි: “මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්ට බැරි බවත් දිරන ස්වභාවයට නොදිරන ස්වභාව උරුම කරගන්ටත් බැරි බවත් කියමි.” (1 කොරින්ති 15:50). මිනිසාගේ වර්තමාන ස්වභාවය මරණයට ගොදුරු වන සුළුය. ඔහු ජරාවට පත් වන්නේය. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය අමරණීයය; එය සදාකල් පවතියි. එහෙයින් වර්තමාන ස්වභාවය සමගින් මිනිසාට දෙවියන්වහන්සේගේ මනරම් රාජ්‍යයට ඇතුළු විය නොහැක. නමුත් යේසු සමිඳාණන් නැවත පැමිණි විට උන්වහන්සේ තමන් ජනතාවට අමරණ භාවය හිමි කරදෙන සේක. මෙතෙක් උරුමක්කාරකම පමණක් හිමිව සිටින ජනතාවට දේව රාජ්‍යයෙහි අයිතිය හිමි කරදීමට උන්වහන්සේ ඔවුන්ට ඇරයුම් කරන සේක.GrHSin 367.2

    එකල පැවැති පොදු කිතුණු දහමක් වුයේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊමට පෙරාතුව විශ්වය පුරා සාමය පවතින්ට යන බවට වූ ඉගැන්වීමය. විලියම් මිලර්ගේ ශුද්ධ ලියවිලි අධ්‍යයනය එම ඉගැන්වීම වැරදි බව සාක්ෂාත් කළේය. ක්‍රිස්තු සමිඳාණන්ගේ ඊමට පෙර සිදුවන බවට වූ ඒ ඉගැන්වීමෙහි සිද්ධීන් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ උන්වහන්සේගේ නැවත පෑමිණීමෙන් පසුව බව මිලර්ගේ මනසට ප්‍රබල අයුරින් ඒත්තු ගියේය. ඒ සමගම එකල ලෝකයේ පැවති තත්ත්වයන්ද කාලයාගේ ලකුණුද අනාවැකියෙහි සඳහන්ව ඇති අයුරින් පවතින බවද, ඔහුගේ අධ්‍යයනය මගින් සනාථ විය. මෙම පෘථිවිය වර්තමාන ආකාරයෙන් පැවැතීමට නියම කර ඇති කාලය අවසන් වීමට ආසන්නය යන නිගමනය කරා එළඹීමට ඔහුගේ ශුද්ධ ලියවිලි අධ්‍යයනය ඔහුට බල කළේය.GrHSin 368.1

    “මාගේ මනසට තදින් කාවැදී ගිය තවත් සාක්ෂියක් නම් ශුද්ධ ලියවිල් ලෙහි සඳහන් සිද්ධීන් ඉටුවීමේ කාල පිළිවෙලය,” යනුවෙන් ඔහු පවසයි. “අනාගතයේදී සිදුවන්නේ යයි කියා ඇති දිවැසි පැවසීම් බොහෝ අවස්ථාවන්හිදී, කියා ඇති කාල පරාසයක් තුළ ඉටු වී තිබේ. එවන් සිද්ධීන් සමහරක් මෙසේය : ජලගැල්මට පෙර දවස් හතක කාලය සහ කළින් කියා ඇති දවස් හතළිහක තද වැස්ස, (උත්පත්ති 7:4;) ආබ්‍රහම්ගේ වංශය අවුරුදු හාරසියයක් විදේශගතව තම ස්වාමිවරුන්ට සේවය කරන අයුරු (උත්පත්ති 15:13.) රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාගේද පූප සාදන්නාගේද සිහින තෙදිනක් ඇතුළත ඉටුවන බව, (උත්පත්ති 40:12 -20); ඵාරාවෝගේ අවුරුදු හත, (උත්පත්ති 41:28-54;) කාන්තාර පාළුකරයේ අවුරුදු හතළිහක් ඔබ මොබ යාම, (ගණන් කථාව 14:34;) අවුරුදු තුනහමාරක සාගතය (1 රාජාවලිය 17:1) වසර හැත්තෑවක වහල්කම (යෙරෙමියා 25: 11:) නෙබුකද්නෙශර්ගේ කාල සත, (දානියෙල් 4:13- 16;) යුදෙව්වන් වෙනුවෙන් නියම කරන ලද සති හත සමග තවත් සති හැට දෙකක් සහ සතියක කාල පරාසය-සති හැත්තෑවක කාලය, (දානියෙල් 9:24-27) මෙවන් ජීවිත කාල වකවානුවක් තුළ ඉටුවේ යයි අනාවැකි බසින් කී සිද්ධීන් එකී නියමිත කාලයක් තුළදීම ඉටුවීම මාගේ තීරණ ගැනීම් කෙරෙහි” (Bliss, “Memoirs of Wm. Miller,” pp. 74,75).GrHSin 368.2

    මෙලෙස තමාගේ බයිබලීය අධ්‍යයනය කරණකොටගෙන ඔහුට සැකයෙන් තොරව සාක්ෂාත් වූයේ ශුද්ධ ලියවිලෙහි සඳහන් අනාවැකි කාල වකවානු ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම තෙක් විහිදී පවතින බවය. එකී ලකුණු වනාහි දෙවියන්වහන්සේ විසින් තමන් දිවැසිවරුන් ලවා පවසා ඇති “උන්වහන්සේ පිළියෙල කළ කාලවල්” පිළිබඳව කර ඇති ප්‍රකාශන බව ඔහු විශ්වාස කළේය. දිවැසිවර මෝසෙස් මේ පිළිබඳව විස්තරයක් කර ඇත “රහස් වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් ... එළිදරව් කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය” (ද්විතීය කථාව 29:29). මේ අතර දෙවි සමිඳාණන් ආමොස් දිවැසිවරයා ලවා මෙසේ පවසනසේක. “සැබවින්ම ස්වාමි වූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස් තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.” (ආමොස් 3:7). එම නිසා දේව වචනය අධ්‍යයනය කරන්නා වූ සිසුන්ට සත්‍යතාවේ ශුද්ධ ලියවිලි මගින් මනාව තේරුම් යන්නේ ආශ්චර්ය සම්පන්න මෙම සංසිද්ධිය පිළිබඳවද විස්තරාත්මක කරුණු එළිදරව් කරනු ලැබ ඇත යන්නය.GrHSin 369.1

    තම අධ්‍යයනය තුළින් පැමිණි තීරණය ගැන විලියම් මිලර් මෙසේ පවසයි: “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ... ප්‍රයෝජනවත්ව තිබේ. (2 තිමෝති 3:16) “මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසිකලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය.” ( 2 පේතෘස් 1:21) “මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්නා සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙනීම සඳහා ලියන ලද්දේය.” (රෝම 15:4) ශු. බයිබලයේ අඩංගු කාල නිර්ණයන් පිළිබඳව වූ කොටස් බයිබලයේ අනෙකුත් ප්‍රකාශන හා සමානව අපගේ අවධානයට යොමු විය යුතු බව මට සාක්ෂාත් විය. දෙවියන්වහන්සේ ස්වකීය මෛත්‍රී-කරුණාව කරණකොටගෙන අපට එළිදරව් කිරීමට සුදුසු යයි තීරණය කර දෙවා වදාරා ඇති කාල නිර්ණ අනාවැකි කිසිම අයුරකින් හෝ නොසලකා හැරීමට නොහැකි බව මට ඒත්තු ගියේය. (Bliss “Memoirs of Wn. Miler,” p. 79).GrHSin 369.2

    දෙවෙනි පැමිණීම පිළිබඳව පැහැදිලිව එළිදරව් කර ඇති අනාවැකිය දානියෙල් 8: 14 විය. ඒ මෙසේය: “රෑ දහවල් දෙදහස් තුන්සියයක් පසුවන තුරුය. එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේය.” ශුද්ධ බයිබලයේම පාඨයන් මගින් අනාවැකි වටහාගැනීම විලියම් මිලර්ගේ අදහස වූ නිසා අනාවැකි සංකේතවල දවසක් මගින් අවුරුද්දක් පෙන්නුම් කරන බව ඔහු තේරුම් ගත්තේය. (ගණන් කථාව 14:34; එසකියෙල් 1:6). මේ අනුව දිවැසි දවස් 2300 ක් හෝ අවුරුදු 2300 ක් වූ කාල පරාසය යුදෙව්වන්ට දෙවියන්වහන්සේ දුන් නියමයන් ලබා දී තිබු නිශ්චිත කාලයට වඩා ඉදිරියට විහිදී යන බව ඒත්තු ගිය මිලර් දිවැසි කාලයේ අවසානය යුදෙව්වන්ගේ දේව මාළිගාව හා සම්බන්ධව නැති බව තේරුම් ගත්‌තේය. ක්‍රිස්තියානි යුගයට අදාළ වූ ශුද්ධස්ථානය වන්නේ මෙම භූමිය බව එකල පැවැති පොදු පිළිගැනීම විය. ඒ අනුව විලියම් මිලර් මෙම නිගමනයට පැමිණියේය. පොළොව ස්ථානය නම් එය පවිත්‍ර කිරීම යනු භූමිය ගින්නෙන් පවිත්‍ර කරනු ලැබීම යයි ඔහු තීරණය කළේය. දවස් දෙදහස් තුන්සියයක් වූ අනාවැකි කාලයේ ආරම්භය සොයාගත හැකිවේ නම් දෙවෙනි ඊම සිදුවන කාලය තීරණය කරගත හැකිවන බව ඔහුගේ විශ්වාසය විය. එවිට ගින්නෙන් දැවී විනාශ වන්නාවු ඒ අග්නි ජාලය සිදුවන දවස එළිදරව් කරගත හැකිවන බව ඔහු විශ්වාස කළේය. වර්තමාන තත්ත්වයේ විනාශය දකින්නා වූ ඒ දවසේදී “සෑම ආකාර උඩගුකමක් සහ බල තණ්හාවක්ම, උදාරම් ලෙස හැසිරීමක් සහ නිෂ්ඵලතාවක්ම, දුෂ්ටකමක් හා තාඩන පීඩනයට ලක් කිරීමක්ම නිමාව දකින්නේය.” ඒ දවසෙහිදී “ශාපය පොළෝ තලයෙන් ඉවත් කරනු ලබත්ය, මරණය විනාශ කරනු ලබන්නේය, දේව සේවකයන්ටද, දිවැසිවරුන්ට සහ ශුද්ධවන්තයන්ටද උන්වහන්සේගේ නාමයට බිය ගරුසරු දක්වා අයටද තිළිණ දානය කරනු ලබන්නේය, පොළොව විනාශ කළ අයව විනාශ කර දමනු ලබන්නේය.” (Bliss, “Memoirs of Wm. Miller ” p. 76).GrHSin 370.1

    ඉමහත් උනන්දුවකින් යුක්තව විලියම් මිලර් අනාවැකි පිරිසා බැලීමට ප්‍රබල උත්සාහයක යෙදුණේය. ශුද්ධ ලියවිලි පිරික්සමින් දහවල් කාලයේ පමණක් නොව නිදි මරමින් රාත්‍රී කාලයද ඔහු මේ සඳහා මිඩංගු කළේය. මහා පරිමාණයේ වැදගත්කමක් දැරූ අලුත් විෂය මාලාව කෙරෙහි හෙතෙම මහත් අවධානයක් යොමු කළේය. දානියෙල් 8 වැන්නෙහි දවස් දෙදහස් තුන්සීයෙහි ආරම්භය සොයා ගැනීමට හෝ අසමත් විය. දානියෙල් හට ලබාදුන් දසුන ඔහුට තේරුම්ගත හැකිවන අයුරින් පහදා දීමට ගාබ්‍රියෙල් දූතයා අණ ලැබූ නමුත් හෙතෙම දානියෙල්ට ලබා දුන්නේ අඩ විස්තර කිරීමක් පමණකි. සභාව මත පතිත වන්නා වූ භයානක හිංසා පීඩා සංහාරය එළිදරව් කිරීමත් සමගම දානියෙල්ගේ කාය ශක්තිය ඔහු කෙරෙන් පලා ගියේය. හෙළි කරන්නාවු දේවල් තවදුරටත් දරාගැනීමට දානියල්ට හැකියාවක් නොවූයෙන් දේව දුතයා ඔහුගෙන් ඉවත්ව ගියේය. අනාගතය ගැන ඇසීමෙන් දානියෙල් ක්ලාන්ත විය, ඔහු දවස් ගණනක් ලෙඩ වී සිටියේය. “මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි; නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේ” යයි දානියෙල් පවසයි. (දානියෙල් 8:27).GrHSin 370.2

    “ගාබ්‍රියෙල් මොහුට මේ දර්ශනය තේරුම් කරදෙන්න “යි දෙවියන් වහන්සේ තම පණිවිඩකරුවාට පවසා තිබුණේය. මෙම අණ පිළිපැදිය යුතුය. එයට කීකරුවීමෙන් ටික දිනකට පසුව දේවදූතයා දානියෙල් වෙතට පැමිණියේය. ගාබ්‍රියෙල් දූතයා දානියෙල් අමතමින් මෙසේ පැවසීය. “එම්බා දානියෙල්, තේරුම් ගැනීමේ දක්ෂකම නුඹට දෙන්ට දැන් පිටව ආවෙමි... ඒ නිසා කාරණය කල්පනා කොට දර්ශනය තේරුම් ගන්න.” (දානියෙල් 9:22,23). දානියෙල් අටවැන්නෙහි වූ දර්ශනයෙහි එක්තරා වැදගත් කොටසක් පමණක් විස්තර නොකර තිබිණ. දර්ශනයෙහි කාලය පිළිබඳව නිශ්චිතයක් දූතයාගේ විස්තර කිරීමෙහි අඩංගු නොවීය. එහෙයින් දර්ශනය තේරුම් කරදීමට දෙවන වර පැමිණි දූතයා කාලය පිළිබඳ ප්‍රශ්නය තේරුම් කරදීමට විශේෂ අවධානයක් යොමු කළේය.GrHSin 371.1

    දූතයා ස්වකීය විස්තර කිරීම මෙසේ කරගෙන ගියේය. “නුඹේ සෙනඟත්, නුඹ ශුද්ධ වූ නුවරත් ගැන සති හැත්තෑවක් නියම කර තිබේ. එබැවින් නුඹ මෙසේ දැනගෙන තේරුම් ගන්න. එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩ නගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේප ලත් තැනැත්තා දක්වා සති හතක්ද, සති හැට දෙකක්ද තිබෙන බවය. කැළඹීම් සහිත කාලවල දී වුවත්, වීදියත් අගලත් (ප්‍රාකාරයත්) නැවත ගොඩ නගනු ලබනවා ඇත. සති සැට දෙකකට පසු ආලේප ලත් තැනැත්තා සිඳ දමනු ලැබේ. කිසිවෙක්ද ඔහුට නොවන්නේය. (එසේ වන්නේ තමා වෙනුවෙන්ම නොවේ) ... ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිර කොට සතිය මැදදී යාගයත්, ආහාර පූජාවත් නවත්වන්නේය.” (දානියෙල් 9:24,2527)GrHSin 371.2

    දානියෙල් අටෙහි සඳහන් දර්ශනයෙහි දානියෙල්ට තේරුම් ගැනීමට නොහැකි වූයේ කාලය පිළිබඳවය. එනම් “රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසුවන තුරුය, එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේය,” යන්නය. මෙම දර්ශනයෙහි අර්ථකථනයක් දීමට දෙවන වර පැමිණි ගාබ්‍රියෙල් දූතයා “කාරණය කල්පනා කොට දර්ශනය තේරුම් ගන්න”යි දානියෙල්ට පැවසුවාට පසුව හෙතෙම දානියෙල්ගේ අනවබෝධයට හේතු වූ දෑ විස්තර කිරීමට පටන් ගත්තේය. “නුඹේ සෙනඟත්, නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියම කර තිබේ.” මෙහි “නියම කර තිබේ” යන්නෙහි මුල් අදහස වන්නේ වෙන්කර තිබේ යන්නය. සති හැත්තෑවකින් අදහස් වූයේ අවුරුදු හාරසිය අනූවක් යුදෙව්වන් උදෙසා වෙන් කර තිබෙන බවය. දේව දූතයා පැවසූ පරිදි අවුරුදු හාරසිය අනූවක් කපා හැර ඇත්තේ කුමකින්ද? අට වන පරිච්ඡේදයෙහි සඳහන්ව ඇති කාල වකවානුව වන්නේ දවස් 2300 යේ අනාවැකිය පමණකි. එම නිසා වසර හාරසිය අනූවක් කපා හැර ඇත්තේ වසර දෙදහස් තුන්සීයෙන් බව පිළිගත හැක. එසේම, මෙම කාලපරිච්ඡේද දෙකම එකම වසරකින් ආරම්භ විය යුතු යයි නිගමනය කළ හැකිය. දේව දූතයාගේ විග්‍රහය අනුව, සති හැත්තෑවක කාලයේ ආරම්භය වන්නේ යෙරුසලම නැවත පිහිටුවා ගොඩ නගන්නට ආඥාවක් නිකුත් වීමේ සිද්ධියත් සමගය. මෙම ආඥාව නිකුත් කළ දිනය තහවුරු කරගත හැකි වේ නම් දවස් දෙදහස් තුන්සියයක් වූ දීර්ඝ කාලීන අනාවැකියෙහි ආරම්භයත් තීරණය කරගත හැකි වන්නේය.GrHSin 371.3

    මෙම ආඥාව එස්රා 7: 12-26 දක්වා වූ පදවල අන්තර්ගතව ඇත. සෑම පැතිකඩක්ම ඇතුළුව මෙම සම්පුර්ණ ආඥාව නිකුත් කරනු ලැබුවේ පර්සියාවේ අධිරාජයා වූ අර්තක්ෂස්තා විසින් ක්‍රි: පූ: 457 දීය. නමුත් යෙරුසලමෙහි පිහිටි දෙවි සමිඳාණන්ගේ මාළිගාව “කෝරෙෂ්ගේ ද, දාරියුස්ගේ ද, පර්සියාවේ රජවූ අර්තක්ෂස්තා ගේ ද නියෝගය හැටියට ගොඩනගා”නිම කරන ලද බව එස්රා 6:14 දක්වයි. මෙම රජවරුන් තිදෙනා විසින් වසර 2300 යේ අනාවැකියෙන් ඉල්ලා සිටි නියෝගය පරිපුර්ණ ලෙසින් නිකුත් කරන ලදී. එම නියෝගය ඔවුන්ම කැමැත්තෙන් ස්ථාපිත කරන ලදුව අඩු ලුහුඩුකමින් තොරව නිකුත් වීමත් සමගම වසර 2300 යේ පටන්ගැන්ම ආරම්භ විය. ආඥාව සම්පූර්ණ වශයෙන් නිකුත් කළ දිනය වන ක්‍රි: පූ: 457 අනාවැකියේ ආරම්භය ලෙස ගණන් ගනු ලබන්නේ නම් සති හැත්තෑවක කාලය තුළදී ඉටුවිය යුතු සිද්ධීන් අකුරටම ඉටු වී ඇති බව සාක්ෂාත් විය.GrHSin 372.1

    “යෙරුසලම නැවත පිහිටුවා ගොඩ නගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේප ලත් තැනැත්තා දක්වා සති හතක්ද, සති හැට දෙකක්ද තිබෙන බව” දක්වන ලදී. මෙයින් දැක්වෙන්නේ එම කාල පරාසය සති 69 ක් නැතහොත් අවුරුදු 483 ක් වන්නේය යන්නය. ආඥාව නිකුත් වූ දිනය ක්‍රියාත්මක වූයේ ක්‍රි: පූ: 457 සරත් සෘතුවේදීය. මේ දිනයේ සිට වසර 483 ක් ගෙවී ගිය කල්හි ක්‍රි: ව: 27 සරත් සෘතුව උදා වන්නේය. ඒ අවස්ථාවේදී මෙම අනාවැකිය සම්පූර්ණ විය. මෙසියස්වහන්සේ යනු ආලේප ලත් තැනැන් වහන්සේය. ක්‍රි: ව: 27 හි සරත් සෘතුවේදී ක්‍රිස්තුස්වහන්සේ යොහන් වෙතින් බව්තීස්මය ලබා ශුද්ධාත්මයාණන්වහන්සේගේ අභිෂේකය නැතහොත් ආලේපය ලැබූ සේක . “දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද, නාසරීය යේසුස්වහන්සේ ආලේප කළ බව” පේතෘස් ප්‍රකාශ කරයි. (ක්‍රියා 10:38). ගැළවුම්කාරයාණන්වහන්සේ තමන් පිළිබඳව මෙසේ ප්‍රකාශ කළසේක: “ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට උන්වහන්සේ මා ආලේප කළසේක” (ලුක් 4:18). තමන්ගේ බව්තීස්මයෙන් පසුව, “යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරමින් කාලය සම්පූර්ණ විය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”යි ප්‍රකාශ කළසේක. (මාර්ක් 1:14,15).GrHSin 372.2

    ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිර කරන බව පවසන ලදී. මෙම වලංගු ගිවිසුමෙහි සතිය අනාවැකියෙහි සඳහන් සති හැත්තෑවේ අන්තිම සතියයි. යුදෙව්වන් සඳහා දෙනු ලැබූ කාලයෙහි අන්තිම සතිය මෙය වන්නේය. ක්‍රි: ව: 27 සිට ක්‍රි: ව: 34 දක්වා වූ මෙම වකවානුවෙහි මුල් කාලයේදි ක්‍රිස්තුස්වහන්සේ පුද්ගලිකවත්, පසුව උන්වහන්සේගේ ගෝලයෝත් යුදෙව්වන්ට ශුභාරංචිය ප්‍රකාශ කළහ. රාජ්‍යයේ ශුභාරංචිය රැගෙන ගෝලයන් යන්නා වූ අතරේදි ගැලවුම්කාරයා ඔවුන්ට මේවන් උපදෙසක් ලබා දුන් සේක. “අන්‍යජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී, ඉශ්‍රායෙල් වංශයේ ඇතිවූ බැටළුවන් වෙතට යන්න” (මතෙව් 10:5, 6).GrHSin 373.1

    “සතියේ මැදදී යාගයත්, ආහාර පූජාවත් නවත්වන්නේය.” යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් පසුව වසර තුන හමාරක් ගෙවී ගිය විට ක්‍රි: ව: 31 දී අපගේ ක්‍රිස්තු සමිඳාණෝ කුරුසිය මත තම ජීවිතය පූජා කළ සේක. කල්වරියේදී පුදකරන ලද මෙම අති උත්කෘෂ්ට පූජාවත් සමගම වසර හාර දහසක් පුරා දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන් වෙත යොමුව පැවැති පුද පූජා පද්ධතිය නිමාවට පත් විය. සංකේතයක් වූ පූජා මාලාව මූර්තියට ඉඩ දී නිමාවට පත්විය. GrHSin 373.2

    යුදෙව් ජනතාව වෙනුවෙන් වෙන් කරන ලද සති හැත්තෑව නොහොත් අවුරුදු 490 අප දැක ඇති පරිදි ක්‍රි: ව: 34 දී නිමාව දැක්කේය. මෙම වසරේදී යුදෙව් “සැහෙන්ඩ්රින්” මන්ත්‍රණ සභාව නොහොත් යුදෙව් ආගමික ශ්‍රේෂ්ඨාධිකරණය යේසුස්වහන්සේ වදාළ ශුභාරංචිය ප්‍රතික්ෂේප කළේය. ඔවුහු ස්තේඵන්ව වේදසාක්ෂිකරුවෙකුගේ මරණයට පත් කළෝය, කිතුණු අනුගාමිකයන්ට හිංසා පීඩා කළෝය. දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟට පමණක් මෙතෙක් සීමා කර තිබු ගැළවීමේ පණිවිඩය එදා පටන් සකල ලෝකයා සඳහා දානය විය. පැමිණි වධ හිංසා පීඩා නිසා යෙරුසලමෙන් පලා යන්නට බල කරනු ලැබූ ගෝලයෝ “ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශ කළෝය” “පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශ කළේය.” දිව්‍ය මගපෙන් විමක පහස ලැබූ පේතෘස් සේවා කණ්ඩායම් සියයකට මුළාදෑනියෙක් වූ දේව බිය තිබූ කොර්නේලියස්ට ශුභාරංචිය විවෘත කරමින් එය පහදා දුන්නේය. දේව පණිවිඩය බෙදා දීම සඳහා දැඩි උත්සාහයක් ගත් පාවුල්ට ක්‍රිස්තුස්වහන්සේ කථා කරමින්, “මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍යජාතීන් වෙතට යවන්නෙමි”යි කියා විශේෂ වැඩ කොටසක් ඔහුට පවරා දුන්සේක. ඔහු එකී කාර්ය භාරය විශිෂ්ඨ ආකාරයෙන් ඉටු කළේය.GrHSin 373.3

    දිගු කාලීන අනාවැකියෙහි සිද්ධීන් මෙතෙක් අකුරටම ඉටු වී තිබිණ. මතභේදයකින් තොරව සති හැත්තෑවේ වකවානුව ක්‍රි: පූ: 457 දී ආරම්භ වූ බවද එය ක්‍රි: ව: 34 දී නිමාවට පත්වූ බවද සාක්ෂාත් විය. මේ අනුව දවස් දෙදහස් තුන්සියයක් වූ කාල පරාසය අවසන් වන දිනය නිශ්චිතවම තීරණය කරගත හැකි වන්නේය. සති හැත්තෑවක් - දවස් 490 - අනාවැකියෙහි දවස් 2300 න් කපා හැරිය කල්හි දවස් 1810 ක් ඉතිරි වන්නේය. දවස් 490 ක් ඉකුත්ව යාමත් සමගම තවත් දවස් 1810 ක සිද්ධීන් ඉටු විය යුතුව තිබේ. ක්‍රි: ව: 34 සිට වසර 1810 ගෙවී යාමත් සමගම ක්‍රි: ව: 1844 වසර වෙන අවධානය යොමු වන්නේ ය. ඒ අනුව දානියෙල් 8: 14 හි අන්තර්ගත දවස් 2300 ද 1844 දි නිමාව දකින්නේය. මෙම දිගුකාලීන අනාවැකිය එහි නිමාව දකිත්ම දෙවියන්වහන්සේගේ දේව දුතයාගේ සාක්ෂිය අනුව “ශුද්ධ ස්ථානය පවිත්‍ර කරනු ලබනවා ඇත.” ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊමේදී බවට විශ්වීය චින්තනයක් විය. අනාවැකිය තුළින් ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ සිද්ධිය ඉටුවන්නාවූ කාලය නිශ්චිත වශයෙන්ම පෙන්නුම් කර දී ඇත.GrHSin 374.1

    විලියම් මිලර් සහ ඔහුගේ සහකරුවන් විශ්වාස කළේ අනාවැකියෙහි දවස් 2300 නිමවන්නේ 1844 වසන්ත සමයේදී බවයි. එහෙත් අනාවැකිය අනුව එය එම වසරේ සරත් කාලයේ නිම වීම පෙන්නුම් කළේය. ක්‍රිස්තුස්වහන්සේන්ගේ දෙවන පැමිණිම 1844 වසන්ත සමයේ සිදුවේ යයි බලාපොරොත්තුව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ බලාපොරොත්තු සුන්වී ගියේය. සැවොම මහත් වියවුලකට පත් වූහ. කෙසේ වුවද දවස් 2300 යේ අනාවැකිය 1844 දී නිමාවට පත්වන්නේ යයි වූ පදනමට සෘතුව වෙනස් වීම මගින් කිසිම හානියක් සිදු නොවීය. ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ විශිෂ්ඨ කර්තව්‍යය 1844 දී සිදුවිය යුතු බවට වූ කල්පිතය කිසිසේත් වෙනස් නොවීය.GrHSin 374.2

    ශුද්ධ ලියවිලි අධ්‍යයනයෙන් විලියම් මිලර් ස්වකීය අදහස් ගොඩනගා ගත්ය. ශුද්ධ ලියවිලි ඉගෙනීමට පටන්ගත් විට තමා මෙබඳු තීරණයකට පැමිණෙනවා ඇතැයි මිලර් කිසිසේත් කල්පනා කළේ නැත. තමාට එළිදරව් කිරීමට ලැබුණේ දෙවියන්වහන්සේගෙන් බව ඔහු විශ්වාස කළේය. තමාගේ තීරණාත්මක නිශ්චිතයන් තමාගේම වෑයමින් සොයාගත් මතයත් යයි ඔහු පිළිගත්තේ නැත. ශුද්ධ ලියවිලි ප්‍රකාශන මගින් ඉදිරිපත් කළ සාක්ෂි, නොසලකා හැරීමට බැරි තරම් ප්‍රබල විය.GrHSin 374.3

    බයිබලය හැදෑරීම සඳහා ඔහු වසර දෙකක් අඛණ්ඩව කාලය ගත කළේය. එයින් පසු හෙතෙම ගාම්භීර නිගමනයකට පැමිණියේය. දේව වචනයෙන් ලැබූ ස්ථිරසාර ප්‍රකාශන සහතිකය නිසා ඔහු එම නිගමනය නිවැරැදි යයි විශ්වාස කළේය. තමන්ගේ ජනතාව මුදාගැනීම උදෙසා ක්‍රිස්තුස්චහන්සේ පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම නිගමනය කරා ඔහු පැමිණියේ 1818 දීය. වසර දෙකක් පුරා බයිබලය හදාරා ඔහු ප්‍රකාශ කළේ තවත් අවුරුදු විසි පහකින් පමණ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සිදුවන බවය. විලියම් මිලර් මෙසේ පවසයි. “සමෘද්ධිමත් නව යුගයක උදාව බලාපොරොත්තුවෙන් මාගේ සිත ප්‍රීතියෙන් උතුරා ගියේය. මිදීම ලැබුවන්ගේ සිත් සතන්හි ජනිත වන්නාවූ මහත් ආනන්ද ජනක ආස්වාදය සමග පංගුකාරකමක් ඇති කරගැනීමට මාගේ හදවත ඉමහත් බලාපොරොත්තුවකින් උතුරා ගියේය. ශුද්ධ බයිබලය මට අලුත් පොතක් බවට පත් විය. බයිබලය තර්කානුකූල ප්‍රකාශනවලින් පිරි රස බොජුන් බඳුනක් යයි මට හැඟී ගියේය. අඳුරුවූ ද, ගුප්තවූ ද, නොපැහැදිලි වූ ද ඉගැන්වීම් බයිබලයෙහි අඩංගු යයි මා මෙතෙක් කල් සිතා සිටි නමුත් ඒ ඉගැන්වීම් පිළිබඳව වූ අඳුර මාගේ සිතෙන් පහව ගියේය. ශුද්ධ වූ පිටු තුළින් ප්‍රභාමත් වූ පැහැදිලි ආලෝක දහරාවන්ගෙන් සකල අඳුරු දෑ ඉවත්ව ගියේය. කෙතරම් තේජශ්‍රී මහිමතාවෙන් සහ දීප්තියෙන් සත්‍යතාව බැබළෙන්නට වීද යත් පූර්වයෙහිදී දේව වචනය තුළ මා දුටු පරස්පර විරෝධතා මෙම නොගැලපීද පහව ගියේය. ශුද්ධ බයිබලයෙහි සමහර ඉගැන්වීම් පිළිබඳව මා සෑහීමකට පත් නොවූවද, එකී කරුණු ගැන පූර්ණ අවබෝධයක් මට ඇති විය. කෙසේ වුවද, මෙතෙක් අඳුරේ ගිලී තිබූ මාගේ මනස ශුද්ධ බයිබලයෙන් නික්ම ආ ප්‍රභාසර ආලෝකයකින් කොපමණ දීප්තිමත් වීද යත් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම මට සතුට හා සාමය උදා කළේය. බයිබලයෙහි අඩංගු ඉගැන්වීම් තුළින් එවන් අත්දැකීමක් උදා වේ යයි මින් පෙර කිසිදිනක මට කල්පනා නොවීය. (Bliss “Memoirs” of Wm Miller” pp. 76, 77).GrHSin 375.1

    “ඉදිරියෙහි ඇත්තාවූ ඉතා කෙටි කාලය තුළදී ක්‍රියාත්මක වීමට නියමව ඇති ඉතා භාරදුර සිද්ධීන් පිළිබඳව මා තුළ වූ වගකීමක චින්තනයකින් මාගේ සිත වෙළී ගියේය. මාගේ මනසෙහි ඉතා ප්‍රබල ආකාරයකින් වෙනසක් ඇති කිරීමෙහි ලා හේතු කාරක වූ සාක්ෂි අනුව ලෝකයාට මාගෙන් ඉටු විය යුතු වූ වගකීම් භාරය ගැන වූ සිතුවිල්ලෙන් මාගේ සිත සලිතව ගියේය.” (Bliss “Memoirs of Wm. Miller”, p. 81). තමා ලැබූ ආලෝකය තවත් අයටත් බෙදා දිය යුතු යයි ඔහුගේ සිත ඔහුට වද දෙන්නට විය. දේව බිය නැති අයගෙන් බාධා පැමිණෙතැයි ඔහු කල්පනා කළ අතර තමන් ආදරය කරන්නාවූ ගැළවුම්කරුවාණන් මුණගැසීමේ බලාපොරොත්තුවෙන් දිවි ගෙවන්නාවූ කිතුණු සැමගේ සහයෝගය තමාට ලැබෙනවා ඇතැයි ඔහු විශ්වාස කළේය. ස්වර්ගීය පණිවිඩය පිළිගැනීම පිළිබඳව ඔහුගේ සිත එක්තරා බියකින් සලිත වී ගියේය. ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත්වන්නා වූ මහිමාන්විත මුදවා ගැනීමේ ක්‍රියාවලියෙන් දේව ජනතාව උද්දාමයට පත්වනවා නියතය. ප්‍රමාණවත් ශුද්ධ ලියවිලි අධ්‍යයනයක් මගින් සත්‍යතාව පැහැදිලිව අවබෝධ කරගන්නේ නැතිව, ඇසු පමණින් මෙම දෙවන ඊමේ දහම බොහෝ අය පිළිගන්නවා ඇද්ද යන්න ගැන ඔහු තුළ චකිතයක් විය. බයිබලීය අධ්‍යයනය මගින් තමා ලැබූ දහම් ආලෝකය තවත් අය සමග බෙදා ගැනීමට ඔහු තරමක් පසුබා සිටියේය. යම් හෙයකින් තමාගේ තීරණය සත්‍යය නොවේ නම් තමාගේ ඉගැන්වීම් මගින් තවත් අය නොමග යැවීමේ වරදට තමා පාත්‍ර වේ යයි බියක් ඔහු තුළ ඇති විය. තමා ගත් තීරණය නැවත වරක් පුනරීක්ෂණය කිරීමට ඔහු සිතා ගත්තේය. තමාගේ සිතට පැමිණි සෑම ගැටළුවකටම විසඳුම් සෙවීමට ඔහු අමතක කළේ නැත. ළහිරු රැසින් තුෂාර බිංදු පලා යන්නාක් මෙන් දෙවියන්වහන්සේගේ වචනය නැමැති ආලෝක රැස් වළල්ල ඉදිරියෙහි සැම විරුද්ධතාවක්ම පහවී ගිය බවට ඔහුගේ හදවත සාක්ෂි දැරීය. දහම් හරය නැවත නැවතත් නිරීක්ෂණය කරමින් අවුරුදු පහක් ගත කළ හෙතෙම තමා බැසගත් නීරණ නිවැරැදි යයි සෑහීමට පත් විය.GrHSin 375.2

    තමා ඉගෙන ගත් දහම් මාලාව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිව උගන්වා තිබෙන බව තහවුරු වීමෙන් පසුව මෙම ධර්මතාවන් තුළ තවත් අයව දැනුවත් කළ යුතුය යන්න දැඩි ලෙසින් ඔහු තුළ පෙළඹීමක් ඇති කළේය. “මාගේ රාජකාරී කටයුතුවල යෙදී සිටියදී මාගේ සවන්හි නිරතුරුවම රැව් පිළිරැව් දුන් විධානයක් විය. “ලෝකයා මුහුණ පා සිටිනා වූ අවදානම ගැන ඔවුන් දැනුවත් කරන්නයි මාගේ සිත මට බල කළේය. එසකියෙල්ගේ පොතෙහි බයිබල් පද දෙකක් මාගේ චින්තනයෙහි නව බලපෑමක් ඇති කරන්නට විය. “එම්බා දුෂ්ටය නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කථා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ අයුතුකම නිසා නසනවා ඇත. එහෙත් ඔහුගේ ලේ නුඹේ අතින් අය කරන්නෙමි. එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත. නුඹ නුඹේ ප්‍රාණය ගළවා ගත්තෙහිය.” (එසකියෙල් 33:8,9). දුෂ්ටවූ පව්කරුවන්ට හරියාකාරව අනතුරු ඇඟවීම ලබා දුනහොත් ඔවුන් විශාල වශයෙන් පසුතැවිලි වෙනවා නොඅනුමාන. බවද මම ඔවුන්ට මෙම භයානක තත්ත්වය කියා නොදුනහොත් ඔවුන්ගේ ලේ වල වගකීම මාගෙන් ඉල්ලා සිටිනවා නියතය යන්නද මට හැඟුණි. (Bliss, p. 92).GrHSin 376.1

    අවස්ථාවන් උදාවූ පරිදි ඔහු තම දැකුම විවිධ අයට ඉදිරිපත් කළේය. යම්කිසි දේවගැතිවරයෙක් තමාගේ පණිවිඩයෙහි භාරදූර ස්වභාවය වටහාගෙන එම ඉගැන්වීම් ප්‍රචාරය කිරීමට තම කාලය මිඩංගු කිරීමට ඉදිරිපත් වෙනවා දකින්නට පුළුවන්කම ලැබෙන ලෙස ඔහු යාච්ඤා කළේය. එසේ වුවද, පණිවිඩය ලබාදීමට තමන්ගේද, පුද්ගලික වගකීමක් ඇති බව ඔහුගේ චින්තනය ඔහුට බල කළේය. ඔහුට එම බල කිරීමට අවනත නොවීමට නුපුළුවන් විය. ‘ගොස් ලෝකයාට අනතුරු ඇඟවීම කරන්න. ඔවුන්ගේ මරණය ගැන, නුඹ වගකිව යුතුය. ඔවුන්ගේ ලේ වල වන්දිය නුඹෙන් ලබා ගන්නෙමි. යන වදන් මාගේ සිතෙහි දෝංකාරය දෙන්නට විය. සිතට වද දෙන්නාවූ මෙම චින්තනය දරා ගනිමින් හෙතෙම වසර නවයක් කල්ගත කළේය. 1831 වන වසද්දී ඔහු තමාගේ ඇදහිල්ලෙහි හේතු කාරණා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ කර්තව්‍යය ආරම්භ කළේය.GrHSin 376.2

    එලිෂා තමාගේ ගොවිපළෙහි කෙතක් හාමින් සිටියදී දේව සේවයට ඔහුව කැඳවනු ලැබීය. අනාගතවක්තෘ තනතුරට කැපවීමට ඔහුට කැඳවීම ලැබුණේය. තමාගේ නගුල අතහැර මිනිසුන් අතරට ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අභිරහස් විවෘත කරන්නැයි විලියම් මිලර්ටද කැඳවීමක් ලැබුණේය. බියෙන් ගැහෙමින් හෙතෙම තම කාර්ය භාරය ඉටුකිරීමේ සේවයට අවතීර්ණ විය. දිවැසි ප්‍රකාශන පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් ඔහු තම ශ්‍රාවකයන්ගේ අවධානය ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණිමට යොමු කළේය. තමාගේ වචනවල පහස ලැබු ජනතාවගේ උනන්දුව සහ සැලකිලිවන්ත භාවය වර්ධනය විමත් සමගම ඔහු ශක්තිය සහ දිරිය ලැබිය, එඩිතරකමින්ද වර්ධනය විය.GrHSin 377.1

    ස්වකීය සහෝදර බැතිමතුන්ගේ ඉල්ලීම අනුව පමණක්ම ඔහු දෙවියන්වහන්සේගේ හඬ අසමින් තම බයිබලය සොයා ගැනීම් ප්‍රසිද්ධියේ කියාදීමට එකඟ විය. හෙතෙම දැන් පනස් වියෙහි පසුවූ පුද්ගලයෙක් විය. ප්‍රසිද්ධියේ දේශන පැවැත්වීම ඔහුට නුහුරු දෙයක් විය. තමා ඉදිරියෙහි ඇති කව්‍යය ඉටු කිරීමට සුදුසුකමක් තමාට නැති බව ඔහුගේ හැඟීම විය. එසේ වුවද, කාර්ය භාරය ඉටුකිරීමේ කටයුත්තට අත ගැසූ මුල් දිනයේ පටන්ම දෙවියන්වහන්සේ වෙත ආත්ම දිනාගැනීමේ කාර්යය මහත් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. ඔහුගේ පළමු දෙසුමත් සමගම ආත්ම පිබිදීමේ ක්‍රියාදාමයක්ද උදා විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනෙකු හැර පවුල් තිහක සියළුම පුද්ගලයෝ සමයානුකූල හැරීමකට ඇතුළු වූහ. දේශනා කිරීමේ ඇරයුම් ඔහු ලුහු බැඳ ආවේය. විවිධ ස්ථාන වෙත පැමිණ දෙසුම් පවත්වන්නැයි බැතිමත්හු ඔහුට ආරාධනා කළහ. සෑම ස්ථානයකදීම වාගේ ඔහුගේ වෑයමට ප්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේගේ වැඩ උදෙසා ආත්ම පිබිදීමක් ඇති විය. පව්කරුවෝ ක්‍රිස්තුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තෝය. කිතුණු බැතිමත්හු වඩාත් ගැඹුරු කැපවීමක් කරා යොමු වූහ. බයිබලයේ සත්‍යතාව සහ කිතුණු ආගම පිළිගැනීමට දේව දෘෂ්ඨිකයන්ට සහ මිථ්‍යා දෘෂ්ඨිකයන්ට එකසේ බලපෑම් ඇති විය. ඔහු සේවය කළ ජනතාව මෙවන් සාක්ෂියක් දීමට පැකිලුණේ නැත. වෙනත් දේශනාකරුවන්ට ළගා විය නොහැකි පංතියක මනවලට ළඟා වීමට ඔහු සමත් විය. ආගමේ සම්පත් වූ විශිෂ්ඨ දේවල් කෙරෙහි පොදු ජන මතය පිබිදවීමට ඔහුගේ දේශනා යොමු වී තිබිණ. ලෝක සැප සම්පත් කෙරෙහි යොමු වී තිබූ මිනිස් අවධානයටද ඉන්ද්‍රියයන් පිනවීම සඳහා වූ මිනිස් අපචාරයන්ටද විරුද්ධව හඬක් නැගීමද ඔහුගේ දෙසුමින් සිදු විය.GrHSin 377.2

    ඔහුගේ දහම් ප්‍රචාරක දෙසුම් කරණකොටගෙන සෑම නගරයකම පාහේ සියයකට ආසන්න බැතිමත්හු හෝ සමහර අවස්ථාවන්හිදී සිය ගණන් බැතිමත්හුද ගැළවීමේ මාර්ගයට පිවිසියහ. එම ජනපදවල පිහිටි සෑම ප්‍රොතෙස්තන්ත නිකායකටම අයිති දෙව් මැදුරු, ඔහුට විවෘත විය. ඔහුගේ සේවය ඉල්ලා වැඩිපුරම ඇරයුම් ලැබුණේ දේවස්ථානවල දේවගැතිවරුන්ගෙන්ය. ඇරයුමක් නොලද ස්ථානයක් වෙත ගොස් සේවය කිරීම ඔහුගේ සම්මුතියට පටහැනි විය. ඒ අතර ඇරයුම් ලැබූ සංඛ්‍යාවෙන් අඩක් හෝ ඉටුකිරීමට තරම් ඔහුගේ කාලය ප්‍රමාණවත් නොවීය.GrHSin 378.1

    ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම සිදුවන නිශ්චිත වකවානුව ගැන වූ විලියම් මිලර්ගේ ඉගැන්වීමට බොහෝ දෙනෙකු ගේ එකඟතාව දිනාගැනීමට නොහැකි වුවද ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණිමේ නිශ්චිතතාවද, එහි ආසන්නතාවද ගැන බොහෝ දෙනා කල්පනා කරන්නට වූහ. ඒ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයට බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඔහුගේ සේවාව පිළිබඳව සමහර විශාල නගරයන්හි ප්‍රබල උනන්දුවක් දැකගත හැකි විය. සමහර රේන්දකරුවෝ තම මත්පැන් සැල් වසා දමා එම ස්ථාන ආගමික රැස්වීම් ශාලා බවට පරිවර්තනය කළෝය. සූදු පොළවල් වසා දැමිණ. දෙවියන්වහන්සේ විශ්වාස නොකළ අයද, දුරාවාරය නිසා සමාජයෙන් කොන් කරනු ලැබූ අයද දේවස්ථාන කෙරෙහි උනන්දුවක් දක්වන්නට වූහ. දේවස්ථානයට යෑමේ පුරුද්ද අත්හැර දමා තිබූ අය නැවත දේවස්ථානයන්හි පහස ලබන්නට උත්සාහ කළේය. විවිධ කිතුණු නිකායන් යාච්ඤා රැස්වීම් පැවැත්වීම ආරම්භ කළේය. සෑම පැයකදීම විවිධ පෙදෙස්හි යාචඤා රැස්වීම් විය. මධ්‍යහනයේ දේවස්ථාන කරා පැමිණි ව්‍යාපාරිකයෝ දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් උන්වහන්සේට යාච්ඤා කළෝය. අතිශයෝක්ත ආගමික කැළඹීමක් නොතිබූ අතර සෑම අයෙකුගෙන්ම මනසෙහි ආගමික හැඟීම් රජ යන්නට විය. ඔහුගේ ආගමික සේවාවද මුල් කාලීන ප්‍රතිසංස්කාරකයන්ගේ සේවාව හා සම විය. ඔවුන්ගේ අරමුණ වූයේද බැතිමතුන්ට දැනුම ලබාදී ඔවුන්ගේ හෘදය සාක්ෂියට තට්ටුකර පිබිදීමක් ලබාදීමය.GrHSin 378.2

    වසර 1833 දී දේශනා කිරීම සඳහා බලපත්‍රයක් විලියම් මිලර් සතු විය. ඔහු සාමාජිකත්වය දරූ බැප්ටිස්ට් සභාවෙන් එම බලපත්‍රය ලැබිණ. එම නිකායේ බොහෝ දේවගැතිවරුන්ගේ අනුමැතිය මිලර්ගේ සේවය සඳහා ලැබුණේය. ඔවුන්ගේ නිල අවසරය ඇතිව මිලර් තම සේවා කටයුතු දිගටම පවත්වාගෙන ගියේය. ඔහු විවිධ ස්ථානයන් වෙත යමින් දේශනා කිරීමේ කර්තව්‍යයෙහි යෙදුණේය. එසේ වුවද, ඔහුගේ සේවය ප්‍රධාන වශයෙන් යොමු වූයේ නිව් ඉංග්ලන්ඩ්හි සහ මධ්‍යම ජනපදයන්හි ජනතාව වෙනුවෙන්ය. මුල් කාලයේ වසර ගණනාවක්ම ඔහුගේ විය හියදම් සඳහා වැය වුණේ ඔහුගේම පසුම්බියේ මුදල්ය. පසු කලෙක වුවද, ඔහුට ඇරයුම් ලබා දුන් පෙදෙස් කරා යාමට පවා ප්‍රමාණවත් මුදලක් ඔහුට කිසි දවසක ලැබුණේ නැත. ඔහුගේ ප්‍රසිද්ධ රැස්වීම් මගින් ඔහුට ප්‍රමාණවත් ආදායමක් හිමි වෙනවා වෙනුවට සෑම රැස්වීමක්ම ඔහුගේ සම්පත් හීන කිරීමෙහි ලා සමත් විය. ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමයේදී ඔහු මහත් අග හිඟකම්වලින් ගැහැටට පත් විය. ඔහු ලොකු පවුලක පියෙක් විය. සැවොම එක්ව සහභාගිත්වයෙන් යුතුව ඔහුගේ ගොවිපළෙහි සේවය කළෝය. අරපරෙස්සම් සහිතව කටයුතු කිරීම මගින් ඔවුන්ට ගොවිපළේ ආදායමෙන් ජීවත් වීමටද ඔහුගේ සේවය කරගෙන යාමටද පුළුවන් විය.GrHSin 379.1

    ක්‍රිස්තුස්වහන්සේගේ කඩිනම් පැමිණීමේ සාක්ෂි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් විලියම් මිලර් වසර දෙකක් සේවය කරන අතරේදී, ක්‍රිස්තුස්වහන්සේ විසින් දක්වන ලද තමන්ගේ පැමිණීමේ පෙර නිමිතිවල අන්තිම ලකුණු සිදුවිය. උන්වහන්සේ මෙසේ පැවසු සේක: “තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය.” (මතෙව් 24: 29). දෙවියන්වහන්සේගේ දවස උදාවීමට පෙරාතුව සිදුවන්නා වූ පෙර නිමිති පෙන්වා දෙමින් යොහන් ස්වකීය එළිදරව් පොතහි මෙසේ පවසා ඇත. “අත්තික්කා ගසක් තද සුළඟින් සෙලවී, එහි අකාල ඵල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය.” (එළිදරව් 6:13). 1833 නොවැම්බර් 13 වනදා මෙම අනාවැකිය අකුරටම ඉටු කරමින් තාරකා වර්ෂාව සිදුවිය. එම සංසිද්ධිය ප්‍රදේශ ගණනාවක් පුරා දර්ශනය විය. එතෙක් වාර්තා වී තිබු ඉතා පුදුමාකාර තාරකා ඇදහැලීම එදා සිදුවිය. අමෙරිකා එක්සත් ජනපදය පුරාම සකල අහස්තලය පැය ගණනාවක් පුරා තාරකා යුද්ධයක සිරි ඉසිලිය. මෙම දේශයෙහි ජනපද පිහිටුවා ගෙන විදෙස් ජාතීන් එහි පදිංචි වීමෙන් පසුව මෙදින ඇතිවූ අන්දමේ සංදර්ශනයක් ඊටපෙර සිදුවී තිබුණේ නැත. ජනතාවගෙන් සමහරෙක් මෙම තාරකා සංදර්ශනය දැඩි ප්‍රීතියෙන් සහ කුතුහලෙන් බලා සිටිමින් වින්දනයක් ලැබූ අතර තවත් සමහරෙක් භීතියෙන් සහ චකිතයෙන් කැළඹීමට සහ කම්පනයට පත් වූහ. ඒ සිද්ධියෙන් ඇතිවූ උත්කෘෂ්ටතාවය අද පවා බොහෝ අයගේ සිත් සතන්හි තවමත් රැඳී පවතී. උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර යන සිව් දිශාවේම තද වර්ෂාපතනයකට වඩා ඝණත්වයකින් තාරකා කඩා වැටෙන්නට විය. නිලඹරම චලනය වන්නාක් සේ පෙනී ගියේය .... මෙම තාරකා ප්‍රදර්ශනය පිළිබඳව මහාචාර්ය සිලිමන්ගේ සඟරාවේ සඳහන් කර ඇත්තේ උතුරු අමෙරිකාව පුරා එය දැකගත හැකි වූ බවයි .... වළාකුළු රහිත එදින අහස ශාන්ත භාවයක් දැරීය. අළුයම දෙවන හෝරාවේ සිට උදෑසන තද එළිය වැටෙන තුරු අතිශය දීප්තිමත් කාන්තියක් විහිදුවන ප්‍රභා සම්පන ආකාශ වස්තුන් නිමක් නැති සංදර්ශනයක් අහස පුරා පැවැත්වූ බව පැවසිය හැකිය.” (Devens, R. M. “American Progress: The Great Events of the Greatest Century,” Ch. 28, par. 1-5).GrHSin 379.2

    “උත්කෘෂ්ටාලංකාරයෙන් කිසිම අඩුවක් නොතිබූ ඒ සංදර්ශනයෙහි ශෝහා විභූතිය විස්තර කිරීමට කිසිම භාෂාවක් සමත් නොවේ .... එම දසුන නුදුටු කවරෙකු හට හෝ එහි මහිමාලංකාරයෙහි ශ්‍රේෂ්ඨත්වය ගැන කල්පනා කිරීම පවා අපහසුය. සමස්ත තාරකා මණ්ඩලයම අහසෙහි මුදුනට එක් රොක් වී එකවරම තාරකා සෑම දිශාවකටම විදුලි වේගයෙන් මුදා හරින බවක් දැක්වුණි. සංදර්ශනයෙහි භූමිකා පෑ තාරකා දහස් ගණන් පසුපස තවත් දහස් ගණන් හඹා යන්නට විය. මෙතරම් විශාල තාරකා ගණනාවක් මෙම අවස්ථාව සඳහාම නිර්මාණය කර ඇති බවක් පෙනී ගියේය. සැඩ සුළං පහරකට ලක් වූ අත්තික්කා ගසක් සැඩ පහරට ඔරොත්තු දීමට නොහැකිව එහි ඵලදාව බිම හෙලන්නාක් මෙන් අහස් ගැබද තාරකා පොළොව වෙත හෙලන්නට විය. (Reed, F. in Christian Advocate and Journd, Dec 13, 1833.GrHSin 380.1

    1833 නොවැම්බර් 14 වැනි දින නිව්යෝර්කයේ වාණිජ පුවත් සහරාවේ පළවූ දිර්ඝ ලිපියකින් හෙන්රි ඩානා වෝඩ් මෙසේ පැවසුවේය: “ඊයේ උදෑසන හටගත් සිද්ධිය වැනි සිදුවීමක ලිඛිත වාර්තාවක් හෝ ප්‍රකාශනයක් කිසිම දර්ශනවාදියෙක් හෝ විද්වතෙක් හෝ කර නැතැයි මම විශ්වාස කරමි. එහෙත් මෙම සංසිද්ධිය සම්බන්ධව විස්තරාත්මක අනාවැකියක් මෙයට වසර එක්දහස් අටසියයකට පෙර අනාගතවක්තෘ වරයෙකු විසින් පවසා තිබුණේය. තාරකා වැටෙනවා ඇත යන ප්‍රකාශනයෙන් අදහස් වූයේ වැටෙන්නා වූ මේ තාරකා ගැන නම්, එය අපට තේරුම් ගැනීමට පුළුවන් විය යුතුය.”GrHSin 380.2

    තමන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙරාතුව හටගන්නා නිමිති ගැන යේසුස්වහන්සේ ප්‍රකාශ කළ අන්තිම පෙර නිමිත්ත මෙසේ ඉටු විය. පෙර නිමිති පැවසූ ක්‍රිස්තුස්වහන්සේ මෙසේද පැවසූ සේක: “එසේම නුඹලා මේ සියල්ල දකින කළ, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගන්න.” (මතෙව් 24:33). මෙම ලකුණු සිදුවීමෙන් අනතුරුව ඊළහට හටගන්නා වූ සිද්ධිය ලෙස යොහන් දුටුවේ අකුළන ලද පොතක් මෙන් අහස පහ කරනු ලැබූ බව ය. ඒ අතර පොළොව කම්පා විය, කඳු හා දූපත් ඒවායේ ස්ථානවලින් ඉවත් කරනු ලැබී ය. භීතියට පත් දුෂ්ටයෝ මනුෂ්‍ය පුත්‍රයාණන් කෙරෙන් සැඟවීමට උත්සාහ කරන බව ද ඔහු දුටුවේය. ( එළිදරව් 6:12-17).GrHSin 380.3

    තාරකාවන්ගේ වැටීම ඇසින් දුටු බොහෝ අය කල්පනා කළේ එම සිද්ධිය පැමිණෙන්නාවූ විනිශ්චයෙහි පෙරනිමිත්තක් බව ය, ” මෙම තාරකා වැටීම” පැමිණෙන්නාවූ භයංකර විනිශ්චයෙහි කාරුණික ලකුණක් බව ය. (The Old Countryman, “Nov.26, 1833) මෙසේ මිනිස් අවධානය අනාවැකි ඉටුවීම් කෙරෙහි යොමු කරවනු ලැබිණි. දෙවෙනි ඊමේ අනතුරු ඇඟවීම් වලට ඇහුම්කන් දීමට බොහෝ අයට මෙමගින් පෙළඹවීමක් කරනු ලැබීය.GrHSin 381.1

    සතර දිග් භාගයෙහි විසූ ජනතාවගේ සිතුවිලි කැළඹූ තවත් අනාවැකි ඉටුවීමක් 1840දී සිදුවිය. මෙයට වසර දෙකකට පෙර දෙවෙනි ඊම පිළිබඳ දේශනාකරුවෙකු වූ ජොෂියා ලිච් එළිදරව් 9 වෙනි පරිච්ඡේදය පාදක කරගනිමින් හෙළිදරව් කිරීමක් තුළින් කියාපෑවේ ඔට්ටොමන් අධිරාජ්‍යයේ වැටි යාම ඉතා ළඟ දී සිදු වන බව ය. ඔහුගේ නිගමනය අනුව ඔට්ටොමන් අධිරාජ්‍යය” 1840 අගෝස්තු මාසයේදී පහකරනු දමනු ලබන“බව කියමින් ලිච් පත්‍රිකාවක් ප්‍රසිද්ධ කළේය. දහස් ගණන් ජනයා එහි තත්ත්වය ගැන විමසිලිමත් වූහ.“තුර්කිවරුන් ගේ අවසරය ඇතිව රාජ පදවි ප්‍රාප්ත වීමට ප්‍රථමයෙන් වූ වසර 150ක කාලය පිළිබඳ අනාවැකි අකුරටම ඉටු වීමෙන් පසුව ඉතිරි වසර 391 සහ දවස් පහළොව 1840 හි අගෝස්තු 11 වන දින නිමාවට පත් විය යුතුය. එදින කොන්ස්තන්තිනෝපල්හි පිහිටි ඔට්ටොමන් බලය නිමාවට පත්වීම සිදුවිය යුතුය. මෙය සහතික වශයෙන් සිදුවන බව මට ඒකාන්තයෙන්ම විශ්වාසයි“.(Licth, josiah, Article in Signs of the Times August 1, 1840)GrHSin 381.2

    අනාවැකියෙහි සඳහන්ව තිබූ නියමිත වකවානුවේදී තුර්කි රජය තමන්ගේ විදේශීය තානාපතිවරුන්ගේ මාර්ගයෙන් යුරෝපාකරයේ මිතුරු හමුදාවන්ගෙන් සහාය ඉල්ලා සිටියාය. මෙසේ ඇය ක්‍රිස්තියානි ජාතීන්ගේ පාලන බලය යටතට පත් වූවාය. මෙම සිද්ධිය මගින් අනාවැකිය අකුරටම ඉටු විය. ඔට්ටොමන් ( තුර්කි) රාජ්‍ය වැටි යාම ගැන මිලර් සහ ඔහුගේ සහායකයන් විසින් අනාවැකි කාලවකවානු විග්‍රහ කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රමවේදයේ නිවැරදිතාව ජනතාවගේ අවධානයට සහ සැලකිල්ලට භාජන විය. මේ සිද්ධිය දෙවනි ඊම ගැන ප්‍රකාශ කිරීමේ ව්‍යාපාරයට විශාල උනන්දුවක් ලබා දුන්නේය. වියතුන් සහ ප්‍රභූවරුන් විලියම් මිලර් සමඟ එකතු වූහ. මිලර්ගේ චින්තන දර්ශනය දේශනා කරමින් ද, එම ඉගැන්වීම් ප්‍රකාශයට පත් කරමින්ද, ක්‍රියාකිරීම නිසා දෙවෙනි ඊමේ ව්‍යාපාරය 1840 සිට 1844 දක්වා ශීඝ්‍ර ලෙස වර්ධනය විය.GrHSin 381.3

    චින්තනයෙන් සහ අධ්‍යයනයෙන් පෝෂණය කරනු ලැබූ තියුණු ශක්තිමත් මානසික බලයක් මිලර් සතුවිය. ප්‍රඥාවේ උල්පත සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගැනීමෙන් මෙම කුසලතාවට හෙතෙම සගයේ ප්‍රඥාව සම්බන්ධ කරගත්තේය. මිලර් වනාහි සැබෑ අව්‍යාජ පිරිසිදු හදවතක් තිබූ යුග පුරුෂයෙක් විය. චරිතවත් අභිමානය හෝ සදාචාරාත්මක චරිතය පිළිබඳව ඇගයීමක් කරන්නේ නම් ඒ පිළිබඳව ඉතා ඉහළ තලයේ ගෞරවයක් ලබා ගැනීමට ඔහුට හැකියාවක් විය. අව්‍යාජ කාරුණිකතාවත් ක්‍රිස්තියානි නිහතමානීතාවත් මුසුකරගත් ආත්ම දමනයක් උරුම කරගෙන සිටි හෙතෙම සැමට ඇහුම්කන් දෙන, සැමට උපස්ථාන කිරීමේ ළැදියාවක් දැක්වූ මහත්මයෙක් විය. ප්‍රියශීලී ගති පැවතුම් තුලින් ජීවිතය සරසා ගෙන තිබූ හෙතෙම අනෙකුත් අයගේ මතවාදයට සවන් දෙමින් ඔවුන්ගේ තර්ක විතර්ක ගැඹුරින් විග්‍රහ කර තීරණයකට බැසීමට පුරුදු වූ අයෙක් විය. ඉදිරිපත් වූ සෑම ආකාර මතවාද සහ ධර්මතාවන් දෙවියන්වහන්සේගේ වචනය සමඟ උරගා බැලීම ඔහුගේ ක්‍රියා පිළිවෙල විය. එහිදී චිත්තාවේගයනට කැටිවී ඉක්මනින් කලබලවීමක් ඔහු තුළ නොවීය. ඔහුට හිමිව තිබූ බුද්ධිමත් තර්ක කිරීමේ හැකියාවත්, ශුද්ධ ලියවිලි සම්බන්ධව ඔහුට තිබූ විශාරද දැනුමත් කරණකොටගෙන වරද නිශ්ප්‍රභා කර බොරුව සහ මුසාවාදය හෙළිදරව් කරමින් සැබෑව පැහැදිලි කර දෙන්නට ඔහු තුළ දක්ෂ හැකියාවක් විය.GrHSin 382.1

    ස්වකීය සේවය කරගෙන යාමේදී ඔහුට දැඩි විරෝධතාවක් එල්ල නොවූයේ ද නොවේ. පෙරදී සිටි ප්‍රති සංස්කාරකයන් ඉදිරිපත් කළ මූලධර්ම බොහෝ අය සතුටින් බාර නොගත්තා සේ මිලර් විසින් ඉදිරිපත් කළ ආගමික දහම් පිළිගැනීමටද එකල විසූ ආගමික ගුරුවරුන් මනාපයක් දැක්වූයේ නැත. තමන්ගේ ඉගැන්වීම් ශුද්ධ ලියවිලි මගින් තහවුරු කළ හැකි නොවූ නිසා ජනප්‍රිය ආගමික ගුරුවරු මිනිස් දහම් හා ඉගැන්වීම්වල සහ පියවරුන්ගේ සම්ප්‍රදායන්හි පිහිට පැතූහ. එහෙත් දෙවැනි ඊම පිළිබඳ සත්‍යතාව ඉගැන්වූ දේශනා කරුවෝ දේව වචනය හැරෙන්නට වෙනත් කිසිම සාක්ෂියක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ එකම පදනම වූයේ ” ශුද්ධ බයිබලය සහ බයිබලය පමණක්ය,” යන්නය. විරුද්ධවාදීන්ට තම තර්ක ශුද්ධ ලියවිලි මගින් සනාථ කළ නොහැකි වූ නිසා ඔවුහු ඒ අඩුව පිරිමසා ගත්තේ ප්‍රතිසංස්කාරකයන් අවමානයට ලක් කිරීමෙන් සහ උපහාසාත්මක ලෙස ඔවුන් හෙළා දැකීමෙන් ය. ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවෙනි ඊම සිදුවීම කෙරෙහි ප්‍රිතියෙන් යුතුව බලා සිටි බැතිමත්හූ ශුද්ධ ජීවිත රටාවක් ගතකිරීමට දැඩි ප්‍රයත්නයක යෙදුණෝය. දෙවෙනි ඊම උදෙසා අනෙක් අයද සූදානම් කිරීම් වස් ඔවුන් දැනුවත් කිරීම සහ දිරිගැන්වීමද ඔවුන්ගෙන් සිදුවිය. මෙය උසුලාගත නොහැකි වූ විරුද්ධවාදීහු සත්‍යවාදී බැතිමතුන්ගේ අගුණ කීමේ ප්‍රචාරක කටයුතු සඳහා තමන්ගේ කාලයත්, ධනයත්, කුසලතාවනුත් නොමසුරුව වැය කළහ.GrHSin 382.2

    දෙවෙනි ඊම පිළිබඳව, විශේෂයෙන් බැතිමතුන්ගේ මනස් වෙනතකට යොමු කිරීමට විරුද්ධවාදීහු බොහෝ උත්සාහ කළහ. ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන පැමිණීම සහ ලෝකාන්තිමය යන විෂයයන් පිළිබඳ වූ අනාවැකි අධ්‍යයනය කිරීම පාපයක් ලෙස පෙන්වා දීමේ වෑයමක්ද විය. එසේ කරන්නා වූ අය ඒ ගැන ලැජ්ජා විය යුතු යයිද හුවා දක්වන ලදී. එකල විසූ ජනප්‍රිය දේවගැති සංවිධානය දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි ඇදහිල්ල අවමානයට ලක් කළේය. ඔවුන්ගේ ඉගැන්වීම් කරණකොටගෙන මිනිස්සු ඇදහිල්ල අත්හැර සත්‍යතාවයෙන් බැහැරව ගියෝය; තමන්ගේම තෘෂ්ණාවන් අනුව ජීවත්වීමට පෙළඹුණෝය. නපුරෙහි නිර්මාතෘවරයෝ දුරාචාරය ඇතිවීම ගැන දෙවෙනි ඊම විශ්වාස කළ අයට වරද තැබූහ.GrHSin 383.1

    විලියම් මිලර් දේශනා කළ ශාලාවන් කරා බුද්ධිමත්හු සහ සාවධාන ශ්‍රාවකයෝ ඇදී ආහ. ආත්මික පිබිදීමකට පත් විවිධ ආකාර ශ්‍රාවකයෝ මිලර් සොයා එන්නට වූහ. විශාල ආගමික පිබිදීමක් ඇති වුවද, මිලර් ගේ නාමය පැසසුමට ලක් කරමින් කිසිම වාර්තාවක් ආගමික පුවත්පත් වල පළ නොවීය. එසේ වුවද ඔහුව සරදමට ලක් කරමින් ප්‍රසිද්ධියේ චෝදනා වලට ලක් කරමින් ලිපි සහ වාර්තාවන් පළ විය. දේව භක්තියක් නොමැති වූ කිසි යහපත් දෙයක් ගැන තැකීමක් නොමැති වූ පුද්ගලයෝ ආගමික ගුරුවරුන් දැක්වූ අදහස් මගින් උද්දාමයට පත්ව නින්දා සහගත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.ඔවුහු දේව උපහාසාත්මක සිනහ උපදවන වචන කියමින් මිලර්වත්, ඔහුගේ සහායකයන්වත් උපහාසයට ලක් කළෝය. සුවපහසු නිවසක් හිමිව තිබූ හිස කෙස් පැසුණු මෙම මනුස්සයා තමන්ගේම වියදමින් නගරයක් නගරයක් පාසා යමින් නිමක් නැති වෙහෙස මහන්සි දරා ගනිමින් ළඟ ළඟම පැමිණෙන්නා වූ විනිශ්චය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් කර ගෙන ගිය අතර ඒ වෙනුවෙන් ඔහුට ලැබුණේ ගැරහිලි පමණකි. පිස්සෙකු, බොරුකාරයෙකු සහ අනුමාන චින්තනයකින් යුත් තැනැත්තෙකු ලෙස ඔහුව දක්වන ලැබිණි.GrHSin 383.2

    විලියම් මිලර් අවඥාවට, අසත්‍ය චෝදනාවන්ට සහ නින්දාවට පත් කිරීම යනාදියට එරෙහිව දේශීය පුවත්පත් කුපිතයට පත්ව විරෝධතා පළ කිරීමට පිවිසියේය. ඉතා ගාම්භීර වූ ද, බියකරු විපාක ගෙන දෙන්නා වූ ද විෂයක් එයාකාර සැහැල්ලු ලෙස සලකමින් ඉගැන්වීම ප්‍රචාරය කරන්නාවූද, එම විෂය පිළිගන්නැයි කියන්නා වූද අයව අවමානයට පත් කිරීම ඉතා නින්දිත ය. දෙපාර්ශවයට තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මානුෂික සත්ගුණයකි. තමන් එකඟ නොවන්නාවූ ඉගැන්වීමක් සහ ඵය ප්‍රචාරය කරන්නවුන්ද ගැරහීමට පත් කිරීම නින්දා සහගතය.” විනිශ්චය දවස සමච්චලයට පත් කිරීම මෙන්ම දිව්‍ය තැනැන්වහන්සේට ගැරහීම ද උන්වහන්සේගේ විනිශ්චාසනයෙහි ගෞරවාන්විත සහ දෙන්නාවූ තීන්දු සිනහවට ලක් කිරීම ද භයානක විපාක ලැබිය යුතු දෙයක් බව කල්පනාවට යොමු කරනු ලදී.” (Bliss ” Memories of Wm. Miller,” p.183).GrHSin 383.3

    සෑම නපුරුකම නිර්මාතෘ වූ තැනැත්තේ ‍ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවෙනි ඊමේ පණිවිඩයට විරුද්ධව ක්‍රියා කළා පමණක් නොව, එහි පණිවිඩකරුවාව විනාශ කර දැමීමට ද සැලසුම් කළේය. ස්වකීය ශ්‍රාවකයන්හට ශුද්ධ ලියවිලි සත්‍යතාවන් ප්‍රායෝගික ලෙස අදාළ කරගත හැකි වන පරිදි විස්තර කර දීමට විලියම් මිලර් උත්සාහ කළේය. ශ්‍රාවකයන්ගේ පාපයන්ට සෘජුවම තරවටු කරමින් ඔවුන් තුළ තිබූ තත්වය ගැන සෑහීමට පත්වීම කළඹමින් ක්‍රියා කළ නිසාද සරලව කතා කළ නිසාද බොහෝ අය විලියම් මිලර් ගේ සතුරන් බවට පත්වූහ. ඔහුගේ පණිවිඩය ට එරෙහිව සභා සාමාජිකයින් නැගී සිටීම නිසා මිලර්ට විරෝධීව සිටියා වූ කණ්ඩායමට නව දිරියක් සහ පන්නරයක් අත්විය. එමගින් උද්දාමයට පත් ඔවුහු ක්‍රියාදාමය තව තවත් ව්‍යාප්ත කළෝ ය. විලියම් මිලර් රැස්වීමක අවසානයේදී පිටතට පැමිණෙනවාත් සමගම ඔහුව ඝාතනය කිරීමට ඔහුගේ විරුද්ධවාදීහු සැලසුම් කළහ. ඒ අතර දේව දූතයෝ ද එම නොහික්මුණු සමූහයා අතර රැඳී සිටියෝය. මිනිස් වෙස් ගත් එක් දූතයෙක් විලියම් මිලර් ගේ අතින් අල්ලාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා ඔහුව රැගෙන ගියේය.දෙවියන්වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය නිමාවට පත්ව නොතිබුණේය. සාතන් සහ ඔහුගේ සහචරයෝ තමන්ගේ කුමන්ත්‍රණය ව්‍යාර්ථ වී යාම ගැන කලකිරීමට පත්වූහ.GrHSin 384.1

    විරුද්ධවාදිකම් මධ්‍යයේ වුවද, දෙවෙනි ඊම ප්‍රකාශ කිරීමේ ව්‍යාපාරය තව තවත් වර්ධනය වන්නට විය. විස්සක්, හෝ සියයක් පමණ වූ ඇදහිලිවතුන් සිටි කණ්ඩායම්, සංඛ්‍යාවෙන් වර්ධනය වෙමින් දහස් ගණනින් ව්‍යාපාරයට එක් වන්නට වූහ. නවක බැතිමත්හු විවිධ දේවස්ථාන කරා එක්රොක් වූහ. එහෙත් සංවර්ධනය වූ මෙම අළුත් බැතිමතුන්ට එරෙහිව විරුද්ධවාදී ආත්මය ක්‍රියාත්මක වන්නට විය. මිලර් ගේ ඉගැන්වීම් පිළිගත් මෙම නවකයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට දේවස්ථාන බලධාරීහු තීරණයක් ගත්තෝය. මෙයට ප්‍රතිචාරය දක්වමින් මිලර්ගේ පෑන ක්‍රියාත්මක විය. අනේක නිකායන්ට අයිති වූ ක්‍රිස්තු භක්තිකයන්ට ඔහු ප්‍රතිචාරයක් යැව්වේය. ඔහු ඉගැන්වූ ධර්මතාවන් වැරදි නම් ඒ බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වාදෙන ලෙස ඔහු උදක්ම ඉල්ලා සිටියේ ය.GrHSin 384.2

    ” අප විශ්වාස කරන්නා වූ ධර්මතාවන් දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය මත පිහිටා තිබේ. එය ඔබගේ ඉගැන්වීම්වලද එකම පදනම වෙනවා නොවේද? අපගේ විශ්වාසයෙහි හා පිළිපැදීමෙහි පදනම හා එකම නීතිය එය පමණක් විය යුතු නොවේද? දේශනා කූඩුවෙන් සහ මුද්‍රණ මාධ්‍යයෙන් අපට මෙතරම් දරුණු ලෙස විෂමාචාර දැක්වීමට අප කළ වරද කුමක්ද? අපගේ සාමාජිකයන් ( දෙවෙනි ඊම විශ්වාස කරන්නවුන්) ඔබගේ දේවස්ථාන වලින් බැහැර කිරීමට, සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ඔබට ඇති සාධාරණ චෝදනා මොනවාද? අප වැරදි නම් අප වැරදි කර ඇත්තේ කුමන දහම් පිළිබඳව දැයි යන්න අපට පෙන්වා දෙන්න. අප වරදෙහි බැඳී සිටින බව දේව වචනයෙන් පෙන්වා දෙන්න. ඔබ තුමන් විසින් අපට කර ඇති අවමන් කිරීම් ප්‍රමාණවත්ය; අප වරදෙහි ගැලී ඇති බව පවසන ඔබගේ ක්‍රියාදාමයන් මඟින් අපගේ සිතට බලපෑමක් ඇති වන්නේ නැත. අපගේ මූලධර්ම ඉගැන්වීම් වෙනස් කළ හැකි වන්නේ දේව වචනයට පමණක් ය. අප මෙම තීරණයට පැමිණියේ යාච්ඤාවෙන් යුතුව හොඳින් කල්පනා කර බැලීමෙන් අනතුරුවය. ශුද්ධ ලියවිල්ලෙහි සාක්ෂි මත අප පිහිටා සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු” (Bliss, ” Memories of Wm. Miller,” p.p.250,252).GrHSin 384.3

    යුගයෙන් යුගයට දෙවියන්වහන්සේ විසින්, විවිධාකාර අනතුරු ඇඟවීම් ස්වකීය දාසයන් මගින් ලෝකයට එවා තිබේ. නමුත් ලෝකයා එම පණිවිඩ භාරගත්තේ සැකමුසුවය, අවිශ්වාසයෙන් යුතුවය. ලෝ ව්‍යාප්ත මහා ජලගැල්මට පෙර විසූ අයව ගංවතුරකින් විනාශ කර දැමීමට දෙවියන්වහන්සේ බල කරනු ලැබූ සේක. එම අරමුණ ක්‍රියාත්මක කිරීමට පෙර තමන්ගේ නපුරු මාර්ගවලින් එම ජනතාවට ඉවත්වන්නැයි උන්වහන්සේ ඔවුන් දැනුවත් කළ සේක; ක්‍රියාත්මක වීමට පෙර ස්වකීය අරමුණ ඔවුන්ට ප්‍රකාශ කළ සේක. දෙවියන්වහන්සේගේ උදහස එකී ජනතාවට විරුද්ධව ඇවිලී යන්නට පෙරාතුව පසුතැවිලි වන්නැයි යන අනතුරු ඇඟවීම වසර එකසිය විස්සක් පුරා ඔවුන්ගේ සවනට යොමු විය. නමුත් එම පණිවිඩය නිෂ්ඵල කතාවක් යයි කල්පනා කළ ඔවුහු එය විශ්වාස නොකළෝ ය. කිසිදු පැකිලීමකින් තොරව තම නපුරු ක්‍රියාදාමයන්හි ඇලී ගැලී සිටීමට එඩිතර වූ ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවාට උසුළු විසුළු කළෝය,ඔහුගේ ආයාචනාවන් සුළුකොට සැලකූහ. අනුමාන කරන්නා වූ සිද්ධියක් පිළිබඳව ඔහු ප්‍රලාපයක්, හිතළු මුසාවක් කියන්නේ යැයි දේව පණිවිඩකරුවාට දොස් පැවරූහ. ලෝකයේ සියලුම බලවත් ප්‍රභූ කණ්ඩායම් වලට විරුද්ධව එක් මිනිසෙක් නැගී සිටින්නේ කෙසේද? නෝවාගේ පණිවිඩය සත්‍ය වූයේ නම් මුළු ලෝකයම එය පිළිනොගත්තේ මක්නිසාද, එය විශ්වාස කලේ නැත්තේ මක්නිසාද? කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රකාශ කිරීමක්, දහසකගේ ප්‍රඥාවට එරෙහිව තිබිය හැකිද ?අනතුරු හැඟවීමේ හඬ, සත්‍යතාවේ හඬ බව එකල විසූ ජනතාව විශ්වාස නොකළෝය.එම නිසාම නෝවාගේ නැවට ඇතුළු වී ආරක්ෂාව ලබාගැනීමට ඔවුහු උත්සහ නොකළෝය.GrHSin 385.1

    සමච්චල්කරුවෝ තම ඇනුම්පද කීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන ගියෝය. ඔවුහු සොබා දහම දෙසට ජනතා අවධානය යොමු කළෝ ය. වෙනස් නොවන්නාවූ ඍතු චක්‍රය, කිසි දිනක හෝ වැසි නොවසින නිල් අහස, රාත්‍රියේ පින්නෙන් පෝෂණය ලබන්නා වූ නිල් කෙත් යායන් පෙන්නුම් කරමින් ඔවුහු ජනතාවගෙන් මෙසේ ප්‍රශ්න කළෝය: “මොහු(නෝවා) උපමාවලින් කතා කරනවා නොවේදැ“යි ඔවුහු විචාලෝය - දැහැමිතාවේ දේශකයව අපහාසයට ලක් කරමින් ඔවුන් පැවසුවේ නෝවා මිත්‍යා සිහිනයක් පසුපස හඹා යන්නෙකු කියාය.එසේ පවසමින් ඔවුහු තවත් උනන්දුවෙන් යුතුව, පෙර සිටියාටත් වැඩියෙන් තෘෂ්ණාවන්හි හා දූෂිතයෙහි නියැලී කල් ගත කළෝය. එසේ වුවද කල් සිටම ප්‍රකාශයට පත්කරන ලද සංසිද්ධිය ක්‍රියාත්මක වීමට ඔවුන්ගේ නොඇදහිල්ල බාධාවක් නොවීය. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ නපුරුකම් බොහෝ කලක් ඉවසීමෙන් දරාගෙන සිටි සේක. පසුතැවිලි වීම සඳහා උන්වහන්සේ ඔවුන්ට මහා පරිමාණයේ අවස්ථාවන් ලබා දුන් සේක. උන්වහන්සේගේ මෛත්‍රී කරුණාව ප්‍රතික්ෂේප කළ අය මත නියම කළ කාලයේදී විනිශ්චයන් පමුණුවනු ලැබීය.GrHSin 385.2

    උන්වහන්සේගේ දෙවන පැමිණීම සම්බන්ධයෙන්ද එවන් ආකාර අවිශ්වාසයක් පවතින බව ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළ සේක. නෝවාගේ දවස් වල ජීවත් වූ ජනතාව, ” ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යන තුරු ඔවුහු නොදැන සිටියෝ ය.” තවද අපගේ ගැලවුම්කාරයාණන්ගේ ප්‍රකාශයෙහි අඩංගු වන්නේ, ” මනුෂ්‍ය පුත්‍රයා ගේ ඊමත් එලෙසම වන්නේය.” යන්නය. ( මතෙව් 24: 39). දෙවියන්වහන්සේගේ පවුලේ අය යයි කියන්නාවූ සෙනග ලෝකයේ ජනතාව සමග එකමුතුකම් පවත්වමින්, ඔවුන්ගේ ජීවිත රටාවට සමාන දිවිපැවැත්මක් අනුගමනය කරමින් දේව අනුමැතිය නොලැබූ ලෝකයාගේ සැප සෙල්ලම් හා සමග සම්බන්ධතාවන් පවත්වමින් කල් ගෙවන්නාවූ අතරේදී, ලෝකයේ සුඛෝපභෝගී සැපෙහි ඇලුණු ජීවිත දැක්ම සභාවෙහි පවතින අතරේදී, ආවාහ කර ගනිමින් විවාහ කර දෙමින් මංගල සීනු හඬ රැව්පිළිරැව් දෙන්නා වූ අතරේදී, ලෝ වැසි සියලු ජනතාව ලෞකික සමෘද්ධියෙන් සහ සෞභාග්‍යයෙන් පිරි දිඟු අනාගත කාලයක් ගැන සිහින මවමින් සිටින්නා වූ අතරේදී, කිසිත් පූර්ව දැනුම් දීමකින් තොරව, විදුලි කෙටීම ක්ෂණයකින් සිදුවන්නාවූ ආකාරයකින් ඔවුන්ගේ පැතුම් නිමාව දකින්නේය, ඔවුන්ගේ බලාපොරොත්තු සුනු විසුනු වී යන්නේය.GrHSin 386.1

    පැමිණෙන්නා වූ මහා ජල ගැල්ම ගැන ලෝකයාට දැනුම් දීම පිණිස දෙවියන්වහන්සේ ස්වකීය සේවකයා යැවූ ආකාරයෙන්ම, උන්වහන්සේ කඩිනමින් පැමිණෙන්නාවූ අන්තිම විනිශ්චය ආරම්භ වන්නාවූ දවස ගැන මිනිසුන් දැනුවත් කිරීමට උන්වහන්සේ විසින් තෝරාගත් පණිවිඩකරුවන් ලොව පුරා පිටත්කර හරින සේක. නෝවාගේ දවස්වල සිටී සමකාලීනයන් දැහැමිතාවේ දේශකයාගේ අනාවැකි වලට සමච්චල් කරමින් ඔහුව ගැරහීමට පත් කළ ආකාරයෙන්ම, මිලර්ගේ දවස්වලදී ද, බොහෝ දෙනෙක්, දෙවියන්වහන්සේගේ ජනතාව යැයි කියන්නා වූ අය අතරේ සිටි බොහෝ දෙනෙක්, ඔහුගේ අනතුරු ඇඟවීමේ වදන් ගැන ඔහුට සමච්චල් කළෝය.GrHSin 386.2

    ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමෙහි දහම සහ ඉගැන්වීම කිතුණු සභාවන්හි බැතිමතුන්ට ප්‍රසන්න ප්‍රීතිමත් පණිවිඩයක් බවට පත්නොවූයේ මන්ද? ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන ඊම දුෂ්ටයන්ට විපතක් සහ වියෝගයක් ළඟා කරදෙන අතර ධර්මිෂ්ඨයන්ට එම ගමන සපිරුණු ප්‍රීතියක් සහ බලාපොරොත්තු ඉටුවීමක් අත්පත් කර දෙයි. සෑම යුගයකම දිවි ගෙවූ දෙවියන්වහන්සේගේ විශ්වාසී දරුවන්ට මෙම ශ්‍රේෂ්ඨ සත්‍යතාව මහත් සැනසිල්ලක් විය. එහෙත් තමා දෙවියන්වහන්සේගේ දරුවන් යයි කියාගත් සෙනඟට එම පණිවිඩය පැකිලීමේ කඩුල්ලක් ද විරුද්ධවීමේ බාධකයක්ද වූයේ මක් නිසාද? ” මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” යනුවෙන් සිය ගෝලයන්ට පොරොන්දු වූයේ අපගේ ස්වාමීන්වහන්සේය. තමන්වහන්සේගේ වෙන්ව යාම නිසා අනුගාමිකයන්ට දැනෙන්නාවූ තනිවීම සහ ශෝකය පිළිබඳ සංවේදී වූ මහා කාරුණික ගැළවුම්කාරයාණන් ස්වර්ගයට නැගී ගිය අවස්ථාවේදී තමාගේ අනුගාමිකයන්ට සැනසීම ලබා දීම පිණිස දේවදූතයන්ට අණ කළේ තමන්වහන්සේ ගිය ආකාරයෙන්ම නැවත පුද්ගලිකවම පැමිණෙන බව කියමින් ඔවුන්ට ඒ ගැන සහතිකයක් ලබා දෙන ලෙසටය. තමා ආදරය කළ තැනැත්වහන්සේ ස්වර්ගය වෙතට ඔසවා ගන්නා ආකාරය දෙස බලා සිටී ගෝලයන්ට, උන්වහන්සේ ඔවුන්ගේ දර්ශන පථයෙන් ඉවත්වීමත් සමග සුදු වතින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් ඔවුන්ට කතා කරන්නට විය: “ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.” (ක්‍රියා 1: 11). දේව දූතයන්ගේ පණිවිඩයෙන් ඔවුහු අස්වැසිල්ලක් ලැබූහ. අලුත් බලාපොරොත්තුවකින් ඔවුන්ගේ හදවත් ආලෝකමත් විය.” ඔව්හු උන්වහන්සේට නමස්කාර කොට මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ඇවිත් නිතරම දේව මාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් සිටියෝය.” ( ලුක් 24: 52, 53). ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් පැවතියේ යේසුස්වහන්සේ තමන්ගෙන් වෙන්වී යාම නිසා නොව, උන්වහන්සේ නැවත වරක් පැමිණෙන බවට දේවදූතයන් සහතිකයක් ලබා දුන් නිසා විය.GrHSin 387.1

    බෙත්ලෙහෙමේ එඬේරුන් හට දේවදූතයන් විසින් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන වූ පණිවිඩය ප්‍රකාශ කළාක් මෙන්ම උන්වහන්සේගේ දෙවන ඊමේ පණිවිඩයද අද ලොව පුරා මහත් ප්‍රීතියෙන් යුතුව ප්‍රකාශ කළ යුතු වන්නේය. ක්‍රිස්තුස්වහන්සේ පළමුවර පැමිණි විට ලෝකය උන්වහන්සේව එපා කළෝය. උන්වහන්සේට නිග්‍රහ කළෝ ය, උන්වහන්සේට අවමන් කළෝ ය. නුමුත් උන්වහන්සේ දෙවන වර පැමිනෙන්නේ බලයෙන් සහ තේජසින් යුතුව ය, තම ජනතාවට විමුක්තිය ලබා දීමට ය. එම නිසා දෙවියන්වහන්සේට ආදරය කරන්නා වූ අය දේව වචනය මත පදනම් වූ මේ පණිවිඩය ප්‍රීතියෙන් යුතුව ප්‍රචාරය කර හැරීම විනා තවත් කළහැකි වැදගත් කාර්යයක් නැත. තමන්ට සදාතන ජීවය ලබා දෙන්නා වූ තැනැන්වහන්සේ දෙවන වර පැමිණෙන සේක. එය දේව ජනතාවගේ බලාපොරොත්තුව වන්නේය. උන්වහන්සේ නෑවිත් සිටිනවාට කැමති අය නම් ගැලවුම්කරුවාණන්ට ආදරය නොකරන්නා වූ අය වෙති. සගයෙන් දෙනු ලැබූ මේ පණිවිඩය ගැන අප්‍රසන්නව ද්වේශ සහගත වෛරයකින් යුතුව ක්‍රියා කරන්නා වූ කිතුනු සභාවන් දෙවියන්වහන්සේගේ පහසින් ඉවත්ව ගොස් ඇති බවට එය හේතු සාධක සාක්ෂියක් වන්නේ ය.GrHSin 387.2

    දෙවන ඊමේ දහම පිළිගත් අය පසුතැවිලිවී දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වීමට පොලඹවනු ලැබූහ. බොහෝ අය තමන්ගේ ස්ථාවරය දෙවියන්වහන්සේ හා ලෝකය අතර දෝලනය කරමින් කල් ගෙවූහ. පණිවුඩය ලැබීමත් සමගම ඔවුන්ට හැඟී ගියේ තමා දැන් නිශ්චිත තීරණයක් ගත යුතු බවය. සදාකාලය පිළිබඳව වූ දේවල් ඔවුන්ට පෙනී තිබුනේ අනවශ්‍ය දේවල් හැටියට ය. නමුත් සගය ඔවුන් කරා සමීප කරනු ලැබිණ. දෙවියන්වහන්සේ ඉදිරියෙහි තමන් වරදකරුවන් වන්නේ යන හැඟීමකින් ඔවුහු වෙලී ගියහ. (Bliss, ” Memories of Wm. Miller,” p.146). අලුත් ආත්මික දිවි පැවැත්මක් සඳහා කිතුනුවන්ව පිබිදීමකට පත්කරනු ලැබිණි. තම සහෝදර ජනතාව වෙනුවෙන් තමන්ගෙන් ඉටු විය යුතු සේවා කාර්ය හැකිතාක් ඉක්මනින් ඉටු විය යුතු බව ඔවුන්ට හැඟී ගියේය. ඒ සඳහා වැඩි කාලයක් නැති බවත්, ඔවුන්ට දැනී ගියේය. ලෝකය පසෙකට තල්ලු වෙමින් ස්වර්ගය ඔවුන් ඉදිරියෙහි විවෘතව ඇති බවත් ඔවුන්ට පෙනී ගියේය. සදාතනික අභිවෘද්ධිය හෝ සෝචනීය විපත හා සම්බන්ධ දේවල් කෙරෙහි නැඹුරු වූ මිනිසාට භෞතික සම්පත් ගැන සිතීමටවත් අවශ්‍යතාවක් නොවීය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔවුන් මත්තෙහි පිහිටා සිටිසේක. දෙවියන්වහන්සේගේ දවස උදෙසා සූදානම් වන්නේ තම සහෝදර බැතිමතුන්ට හෝ පව්කාරයන්ට හෝ මහත් උනන්දුවකින් යුතුව ආයාචනා කරන්නා වූ අතරේ දී උන්වහන්සේ ඔවුන්ට බලය ලබා දෙමින් ඔවුන්ව ශක්තිමත් කළසේක. නව පිබිදීමක් ලැබූ අයගේ දෛනික ජීවිත මගින් ඇති වූ නිහඬ සාක්ෂිය හුදෙක් චාරිත්‍රානුකූල වූ ද, අවංක කැප වීමකින් තොරවූ ද දිවිපැවැත්මක් ගතකළ සභා සාමාජිකයන්ට නිරන්තර තරවටුවක් හා දොස් පැවරීමක් විය. දැහැමි ශුද්ධ කැපවීමකින් යුතු ජීවිතයක් ගත නොකළ මෙම කිතුනුවෝ විනෝදාස්වාදය සොයමින් සැප සෙල්ලම් යෙදෙමින් වින්දනයක් ලැබූ අය වූහ. මුදල් පසුපස හඹා යාම ඔවුන්ගේ අභිමතාර්ථය විය. ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වීම ඔවුන්ගේ අභිලාෂය විය. මේ නිසාම දෙවැනි ඊම කෙරෙහි ඇදහිල්ලටත්, එම පණිවිඩය ප්‍රකාශ කළ අයටත් විරුද්ධව, ද්වේෂයත්, සතුරුකමක් එම අයගේ සිත් සතන්හි දලුලා ලියලමින් වැඩි ඵල දරන්නට විය.GrHSin 388.1

    අනාවැකි වලින් පල කල කාලවකවානු බිඳ දැමිය නොහැකි නිසා අනාවැකි විෂය පිළිබඳව සෝදිසි කරන්නවුන් පසුබට කිරීමට විරුද්ධ කාරයෝ අළුත් උපාය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළඹුණහ. දිවැසි ප්‍රකාශන මුද්‍රා කර ඇති නිසා ඒ පිළිබඳ ඉගෙනීම තහනම් යයි ප්‍රකාශයක් නිකුත් විය. මෙසේ ප්‍රොතැස්තන්ත ආගමික නායකයෝ රෝමානු ආගමික නායකයන්ගේ අඩිපාරේ ගමන් කරන්නට වූහ. ශුද්ධ බයිබලය ජනතාවගේ භාවිතයෙන් ඉවත් කර තැබීමට රෝම සභාව ක්‍රියා කළ අතර ප්‍රොතැස්තන්ත සභාව ප්‍රකාශ කළේ ශුද්ධ බයිබලයේ සමහර කොටස් විශේෂයෙන්ම වත්මන් යුගයට අදාළ වූ සත්‍යතාවන් අඩංගු කොටස් වටහා ගැනීමට නුපුළුවන් බව ය. GrHSin 389.1

    දානියෙල් සහ එළිදරව්ව යන පොත් යුගලෙහි අන්තර්ගත අනාගතවාක්‍යයන් වටහාගත නොහැකි අභිරහස් යයි පූජකවරු සහ ගිහියෝ ද එක සේ ප්‍රකාශ කර සිටියෝය. එසේ වුවද, ඔවුන්ගේ කාලයේදී ඉටුවිය යුතු සිද්ධීන් පිළිබඳව දානියෙල් කියා ඇති අනාවැකි දෙසට ක්‍රිස්තුස්වහන්සේ තමන් ගෝලයන්ගේ අවධානය යොමු කළ සේක. එසේ කළ උන්වහන්සේ මෙසේ ද පැවසූ සේක:” කියවන්නා එය තේරුම් ගනීවා.” ( මතෙව් 24:15). එළිදරව් පොත අභිරහස් තොරතුරු රැගත් ප්‍රකාශනයක් යයිද එය තේරුම්ගත යුතු පුස්තකයක් නොවේ යයිද චින්තනයක් පවතී. එසේ වුවද, එම පොතේ නම පවා එයට පටහැනි සාක්ෂියක් දරයි. එහි මෙසේ සටහන් වෙයි‍: ” ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල් එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් කිරීම ය….. මේ අනාගතවාක්‍යයේ වචන කියවන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝ ද ආශිර්වාද ලද්දෝය. මක්නිසාද කාලය ළඟය.” ( එළිදරව් 1: 1-3)GrHSin 389.2

    ” කියවන්නා වූ අය ආශිර්වාද ලද්දෝය“යි දිවැසිවරයා ප්‍රකාශ කරයි. මෙයින් දැක්වෙන්නා වූ තවත් පැතිකඩක්ද ඇත. එනම්, මෙම පොත නොකියවන්නාවූ අයද සිටින බවයි: ඔවුන්ට මෙහි සඳහන් ආශිර්වාද හිමි නොවේ.” අනාගතවාක්‍යයේ ලියා ඇති දේ අසන්නෝද” දිවැසි ප්‍රකාශන ඇසීමට අකමැති වන්නෝ ද සිටිති; ඔවුන්ට මෙහි සඳහන් ආශිර්වාද අත් නොවන්නේය. ” එහි ලියන ලද කාරණා පවත්වන්නෝ”- එළිදරව් පොතේ ප්‍රකාශනයෙහි ඇති අනතුරු ඇඟවීමේ සහ අනුශාසනාවලට අනුගත වීමට බොහෝ අය ප්‍රතික්ෂේප කරති. එවන් කිසිවකුට හෝ පොරොන්දු වී ඇති ආශිර්වාදයන්ට හිමිකම් ඉදිරිපත් කළ නොහැක. මෙම අනාවැකි ලියවිල්ලෙහි ඉදිරිපත් කර ඇති විෂයයන් අවමානයට ලක් කරන්නා වූ අයටද, මෙහි ඇතුළත් සංකේත සරදමට ලක් කරන්නා වූ අයටද අනාවැකියෙහි සඳහන් ප්‍රමිතීන්ට අනුව තමන්ගේ ජීවිත වෙනස් කර නොගන්නා වූ අයට ද මෙසේ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පැමිණීම සඳහා සූදානම් නොවන්නා වූ අයටද ආශිර්වාද නොලැබී යන්නේ ය.GrHSin 389.3

    දේවානුභාවයෙන් සාක්ෂි දරමින් සම්මත කරන ලද මෙම ලියවිල්ල අභිරහසක් යයිද, අවබෝධ කර ගැනීමට මිනිස් ප්‍රඥාවට නොහැකි යයිද පැවසීමට කිසිවෙක් එඩිතර වන්නේ කෙසේද? මෙම දිවැසි ලියවිල්ල වනාහි අබිරහස සරලව එළිදරව් කිරීමකි. එය විවෘත පොතකි. එළිදරව් පොත අධ්‍යනය මගින් මනුෂ්‍යයා දානියෙල් පොතෙහි අනාවැකි වෙත යොමු කරනු ලබයි. මෙම පොත් දෙකෙහිම ඇතුළත්ව තිබෙන්නේ දෙවියන්වහන්සේ විසින් මිනිස් සතහට ලබාදී ඇති ඉතා වැදගත් අනුශාසනාවන් ය. ලෝක ඉතිහාසයේ අවසානයේදී සිදුවන්නාවූ දේවල් එයින් එළිදරවු කර දී ඇත.GrHSin 390.1

    සභා ඉතිහාසය තුළ අත් දකින්නට සිදුවන්නාවූ ගැඹුරුවූද, විශ්මය ජනකවූ ද කාරණා යොහන්ට අනාවරණය කරන ලදී. දේව ජනතාවගේ තත්වයද, ඔවුන්ට මුහුණපාන්නට සිදු වන්නා වූ අනතුරුදායක අත්දැකීම් සහ ඔවුන් මුහුණ දෙන්නා වූ ගැටුම් ද අවසානයේදී ඔවුන් මුදවා ගනු ලැබීම යන දෑ ද ඔහු දසුනින් දුටුවේය. භූමියේ අස්වැන්න පැසීම පිණිස දෙවා වදාරා ඇති පණිවිඩ යොහන් වාර්තා කර ඇත. ඒ අස්වැන්නෙන් සමහරක් මිටි බැඳ සගයේ ධාන්‍ය ගබඩාවටද, ඉතිරිය විනාශ කර දමන පිණිස ගින්නට ද යොමු කරනු ලබන බව ඔහු වාර්තා කරයි.ඉතා වැදගත් විෂය මාලාවන් ගණනාවක් ඔහුට එළිදරව් කරන ලදී. අන්තිම සභාවට, එනම් ඉතිරි සභාවට වැදගත් වූ දේවල් බොහෝමයක් එළිදරව් පොතෙහි අඩංගු ය. වරදෙහි මාර්ගයෙන් හැරී ඉවත් වී සත්‍යතාවේ මගට පිවිසෙන්නාවූ බැතිමතුන්ට සමහර විටෙක මුහුණපාන්නට සිදුවිය හැකි උපද්‍රව සහ ගැටුම් ද එහි සඳහන්ය. පොළොව මතුපිටට පැමිණෙන්ට යන්නාවූ සිද්ධීන් පිළිබඳව කිසිවකු හෝ අඳුරෙහි සිටිය යුතු නොවේ.GrHSin 390.2

    ශුද්ධ ලියවිලි අතර වැදගත් ස්ථානයක් දරන්නා වූ මෙම පොත පිළිබඳව මෙතරම් නොදැනුවත්කම පවතින්නේ මොන හේතුවක් නිසාද? එළිදරව් පොතෙහි ඇති ඉගැන්වීම් පිරික්සා බැලීමට බොහෝ අය පසුබා සිටින්නේ ඇයි? මෙය නපුරේ කුමාරයාගේ දහම් ගැටයකි; ඔහු විසින් මෙහෙයවනු ලබන මුලාකිරීම් ආවරණය වීම හා යටපත් කරනු ලැබීම ඔහුගේ වෑයමයි. එළිදරව් පොත හැදෑරීමට විරුද්ධව අනාගතයේදී දියත් වන්නාවූ ගැටුම් දිවැසින් දුටු ක්‍රිස්තුස්වහන්සේ වන එළිදරව් පොතේ කතුවරයාණෝ මෙම ලියවිලි කියවන්නාට අසන්නාට හා පවත්වන්නාට අශිර්වාද ලබාදෙන බව සඳහන් කළසේක.GrHSin 390.3