Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    6 - හස් සහ ජෙරෝම්

    නව වන ශත වර්ෂයේදී පමණ සුභාරංචිය බොහිමියාවේ රෝපණය කරනු ලැබීය. ජනතාවගේ භාෂාවට බයිබලය පරිවර්තනය කරන ලදී. ජනතාවගේ බසින් නමස්කාර මෙහෙයන් ද පවත්වන ලදී. එසේ වුවද, පාප් බලාධිකාරියේ බලතල වැඩිවත්ම දෙවියන්වහන්සේගේ වචනය අඳුරට තල්ලු කරනු ලැබීය. රජවරුන්ගේ අභිමානය සහ මාන්නය සැහැල්ලුවට පත් කිරීමේ කාර්යභාරය තම අතට ගත් VII ග්‍රෙගරි පාප්වරයා ජනතාව තමා යටතේ වහල් භාවයට පත් කරගැනීමට කටයුතු සකස් කර ගත්තේය. බොහිමියානු භාෂාවෙන් නමස්කාර මෙහෙයන් පැවැත්වීම තහනම් කරමින් හෙතෙම ආඥාවක් නිකුත් කළේය. පාප්වරයා මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.”නමස්කාර මෙහෙයන් මහ ජනතාව නොදත් බසකින් පැවැත්වීම සර්ව බලධාරී තැනැන්වහන්සේගේ ප්‍රසාදයට හේතු වෙයි. මෙම නීතිය නිසියාකාරව නොපැවැත්වීම නිසා බොහෝ නපුරු ක්‍රියාදාමයන්, ආගම් විරෝධී ඉගැන්වීම් සභාවට ආක්‍රමණය වී ඇත.”[ උපුටා ගැනීම අංක 1Wylie bk3, Ch1.] මේ ආකාරයෙන් දෙවියන්වහන්සේගේ වචනයෙහි ආලෝකය නිවා දමා ජනතාව අඳුරේ සිර කර තැබීමට රෝමය තීරණය කළාය. එහෙත් සභාව සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා ස්වර්ගය වෙනත් ක්‍රමවේද සූදානමින් තබා ගෙන සිටියේය. වධක යාන්ත්‍රණය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීම කරණකොටගෙන වොල්ඩන්සියානුවරු හා ඇල්බීජෙන්සිවරු තම නිජ බිම් වූ ප්‍රංශය සහ ඉතාලිය අතහැර බොහිමියාවට පැමිණියෝය. දේව වචනය ‍ප්‍රචාරය කිරීම ප්‍රසිද්ධියේ නොකළ නමුත් රහසිගතව ඔවුහු දේව වචනය අනෙකුත් අය සමඟ බෙදා ගත්තෝය. ඔවුන්ගේ උනන්දුව ප්‍රබල විය. මෙසේ සත්‍ය වූ ඇදහිල්ල ශතවර්ෂයක් ශතවර්ෂයක් පාසා ආරක්ෂිතව පැවතුණේය.GrHSin 94.1

    සභාව තුළ පැවති දූෂණයන් සහ බැතිමතුන්ගේ දුරාචාර ක්‍රියාවන් හෙලාදකිමින් අභීතව ක්‍රියා කළ අය හස් නැමති තැනැත්තාට පෙරාතුව බොහිමියාවේ සිටියහ. ඔවුන්ගේ ක්‍රියාදාමයන් මඟින් ජනතාව පිබිදීමට පත්විය. එය බොහෝ ප්‍රදේශයන් කරා ව්‍යාප්ත ව පැවැතියේ ය. ආගමික නායකයන්ගේ නීතිය මෙයින් පණගැන්වී ශුභාරංචිය ප්‍රකාශ කළ ගෝලයන්ට විරුද්ධව භීෂණය ක්‍රියාත්මක විය. ඔවුහු කඳු මුදුන්හි මෙන්ම කැලෑවල ද නමස්කාරය සඳහා රැස්වූහ. එහෙත් හමුදා භටයන් විසින් ඔවුන්ව ලුහුබැඳි අතර බොහෝ අය ඝාතනයට ලක් වූහ. රෝමානු නමස්කාර මෙහෙයයන්ගෙන් බාහිරව වෙනත් ආකාරයකින් නමස්කාර කරන්නාවූ අයව පුළුස්සා මරා දැමිය යුතුයැයි කලකට පසුව ආඥාවක්ද නිකුත් විය. කිතුනු බැතිමත්හු තම ජීවිත සත්‍යතාව වෙනුවෙන් පූජා කළ අතර තමන්ගේ වෑයම කරණකොටගෙන සභාවේ ජයග්‍රහණය වර්ධනය වන බව ඔවුහු බලාපොරොත්තු වූහ.”කුරුසිපත් කරනු ලැබූ ගැලවුම්කාරයාණන් කෙරෙහි ඇදහිල්ල මගින් පමණක් ගැලවීම සොයාගත හැකිය”යි ඉගැන්වූ එක් අයෙක් මරණ මංචකයේදී මෙසේ පැවසුවේය:“සත්‍යතාවේ සතුරන්ගේ දැඩි උදහස දැන් අපට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් එය සදහටම මෙසේ පවතින්නේ නැත. නුදුරු අනාගත දවසක පොදු ජනතාව අතරින් කෙනෙක් නැගී සිටිනවා ඇත. ඔහු අත කඩුවක් නොවන්නේය. ඔහු සතු අධිකාරී බලයක් ද නොවන්නේය. එහෙත් ඔහුට විරුද්ධව රෝමානු බල අධිකාරීන්ට කිසිවක් හෝ කළ නොහැකි වන්නේය”.[උපුටා ගැනීම අංක 2Wylie bk3, Ch1.] ලූතර්ගේ කාලය දිගු අනාගතයෙහි එන්නට තිබුණි. එහෙත් දැනටමත් කෙනෙක් ඉදිරියට පිවිසීමෙන් සිටියේය. රෝමයට විරුද්ධ වූ ඔහුගේ සාක්ෂිය කරණ-කොටගෙන මුළු ජාතියම කලබලයට පත් වනවා ඇත.GrHSin 94.2

    යටහත් පවුලක උපත ලැබූ ජෝන් හා කුඩා කාලයේදීම තම පියා නැති වීමෙන් අනාථයෙක් විය. ශ්‍රද්ධාවෙන් යුතු වූ ඔහුගේ මව දරුවෙකුට හිමිකර දිය යුතු වූ අගනාම සම්පත් දෙක එනම් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාදීම සහ දෙවියන්වහන්සේ කෙරෙහි භයවීම යන සම්පත් දරුවාට උරුම කරදීමට මහන්සි ගත්තා ය. ප්‍රාදේශීය පාසලකින් තම අධ්‍යාපන කටයුතු හැදෑරූ හස් එහි අධ්‍යාපනය නිම කරමින් ‍ප්‍රාග්හි විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ සුභසාධක ලැබිය යුතු සිසුවෙක් වශයෙන් ය. මේ අවස්ථාවේදී ඔහුගේ මව වැන්දඹුවක් ව සිටියාය, දුප්පත් අයෙක් වූවාය. එහෙත් ඇය ඔහු සමඟ සරසවිය කරා ගමන් ගත්තාය. තම පුතණුවන්ට දීමට ඇය සතුව ලෞකික සම්පත් කිසිවක් හෝ තිබුණේ නැත. නමුත් ඔවුන් ප්‍රාග් නුවර ආසන්නයට පැමිණි අතර මේ මව පියා නැති තම පුතු සමග දණගසා සගයේ පියාණන්ගේ ආසිරි ඔහුට දෙන ලෙස අයැද සිටියා. ඇයගේ යාච්ඤාවට දෙවියන්වහන්සේ කොයිතරම් විශ්මිත ආකාරයකින් පිළිතුරු දෙනවා ඇත්දැයි මව කිසිසේත්ම දැන සිටියේ නැත.GrHSin 95.1

    වෙහෙස මහන්සිය නොබලා අධ්‍යාපන කටයුතු වල නිරත වූ හස් සීඝ්‍ර වර්ධනයකට හිමිකම් කීවේය. ඔහුගේ ජීවිතය වරදින් තොර විය; ඔහු මුදු මොළොක් ගති ගුණ ඇති පුද්ගලයෙක් විය. ඔහුගේ ආකර්ෂණීය ගති පැවතුම් සැමගේ සැලකිල්ලට භාජනය විය.ඔහු රෝමානු සභාවෙහි විශ්වාසවන්ත අනුගාමිකයෙක් විය. ඔහු සභාව මගින් දානය කරනු ලබන්නේ යැයි කියන්නා වූ ආත්මික ආශිර්වාද අවංකවම සොයන්නෙක් ද විය. වරක් හෙතෙම ආගමික සැමරුම් ජුබිලියකට සහභාගි විය. ඔහු පව් කමාව ඉල්ලමින් ඉදිරිපත් වී තමා සන්තකව තිබූ කාසි සියල්ලම ගෙවා දැමීය. පාප සියල්ලෙන් නිදහස් කරනු ලබන්නේ යන පොරොන්දුව ලබන පිණිස ඔහු පෙරහැරකට ද සහභාගි විය. සරසවි අධ්‍යාපනයෙන් පසුව ඔහු පූජකයෙකු ලෙස අභිෂේක ලැබීය. ඔහු ඉතා ඉක්මනින් ම විශිෂ්ට පුද්ගලයෙක් විය. ඔහුට රජමාළිගාවේ තනතුරක් පිළිගැනීමට ඇරයුමක් ද විය. හෙතෙම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවියක් ලබා පසුව තමා අධ්‍යාපනය ලැබු ඒ විශ්ව විද්‍යාලයේ කුලපති විය. වසර කීපයක් ගෙවී යත්ම නිහතමානී වූ ද පුණ්‍යාධාර වලින් අධ්‍යාපනය ලැබුවා වූ ද මෙම පඬිවරයා දේශයේ අභිමානයට පත් විය. ඔහුගේ නාමය යුරෝපාකරය පුරා විසිර සිටි ජනතාව අතර ප්‍රකට විය.GrHSin 95.2

    එසේ වුවද, හස් තම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ කළේ වෙනස් කේෂ්ත්‍රයකය. පූජක අභිෂේකය ලබා වසර කිහිපයකට පසුව ඔහු, බෙත්ලෙහෙම් නැමැති දේවස්ථානයේ පූජකයා ලෙස පත්වීමක් ලැබුවේය. මෙම දෙව් මැදුරෙහි නිර්මාතෘවරයා කර තිබූ මූලික කොන්දේසියක් නම්, දෙව්මැදුරෙහි ශුද්ධ ලියවිලි ප්‍රකාශ කිරීම කළ යුතුවන්නේ එම ජනතාවගේ භාෂාවෙන් පමණක් බවය. මෙම ක්‍රියාදාමයට විරුද්ධව රෝමය විසින් තහංචි පනවා තිබුණද, මවු බසින් ශුද්ධ ලියවිලි දේශනය කිරීම බොහිමියාවේ සම්පූර්ණයෙන්ම නැතිවී නොතිබුණේය. එහෙත් ජනතාව අතර බයිබලය ගැන දැනුම ඉතා අල්ප විය. සෑම පංතියකම පුද්ගලයන් අතර අනේක දුසිරිත් පැවතුණි. මෙම වැරදි හස්ගේ දැඩි දෝෂයට ලක්විය. ඔහු ඒවා නිර්දය ලෙස හෙළා දැක්කේය. තමා විසින් උගන්වා වූ සත්‍යතාවයේ සහ පවිත්‍රතාවයේ ප්‍රඥප්ති සහ ප්‍රතිපත්ති සනාථ කිරීමට ඔහු දේව වචනයෙන් සාධක ඉදිරිපත් කළේය.GrHSin 96.1

    ප්‍රාග්හි පුරවැසියකු වූ ජෙරොම් එංගලන්තයේ සිට තම නිජ භූමිය කරා පැමිණි අතර විකිලිෆ්ගේ විවිධ ප්‍රකාශන ද රැගෙන ආවේය. ඔහු පසුකලකදී හස්ගේ ඉතා සමීප හිතෛෂීයෙක් විය. එංගලන්තයේ රැජින වික්ලිෆ්ගේ ඉගැන්වීම් මගින් ආගමික හැරීමකට පාත්‍ර වී සිටියාය.ඇය බොහිමියානු ජාතික කුමාරිකාවක් වූවාය. ඇයගේ අනුග්‍රහය සහ දායකත්වය කරණකොටගෙන ප්‍රතිසංස්කරණවාදී ලියවිලි සහ ප්‍රකාශන තම නිජභූමිය මුළුල්ලේ පතුරුවන ලදී. හස් මෙම ලියවිලි උද්යෝගයකින් යුතුව කියවීය. එම ලියවිලි වල රචකයා සැදැහැවත් කිතුණුවෙකු විය යුතු යැයි විශ්වාස කළ හස්, විකිලිෆ් විසින් නිර්දේශිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සුබවාදී ආකල්පයක් දැක්විය.හස් නොදැනසිටි නමුත් ඔහු ද මේ වන විටත් එක්තරා පුනරුද මාර්ගයකට පිවිස සිටියේය. එම මාර්ගය ඔහුව රෝමයෙන් වඩ වඩාත් ඈතට යොමු කරවන්නක් විය.GrHSin 96.2

    මේ කාලයේ දී ප්‍රාග් නගරය වෙත අමුත්තන් දෙදෙනෙකු පැමිණියෝය. එංගලන්තයේ සිට පැමිණි මොවුහු උගත් පඬිවරු වූහ. ඔවුන්ට ආලෝකය ලැබී තිබුණේය. ඔවුන් මේ දුර බැහැර පිහිටි රටට ආවේ තමන් ලැබූ සත්‍යතාවන් එරට ජනයාට බෙදා දීමටය. ඔවුන් තම වැඩ පිළිවෙත පටන්ගත්තේ පාප්ගේ ආධිපත්‍යයට විරුද්ධව ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාරයක් එල්ල කරමින්ය. එහෙයින් ඔවුන්ව නිශ්ශබ්ද කිරීමට බලධාරීහු ක්‍රියාත්මක වූහ. එසේ වුවද, තමන්ගේ අරමුණ අතහැර දැමීමට අකමැති වූ ඔවුහු තම අරමුණු සපුරා ගැනීමට වෙනත් උපාය මාර්ගයකට පිවිසියහ. දේශකයන් වුවද, ඔවුන් චිත්‍ර ශිල්පයෙහි ද නිපුණතාවක් ලැබ සිටියහ. තම කුසලතාව ක්‍රියාවට නගමින් ඔහු ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ රූප දෙකක් චිත්‍රයට නැගුවෝය. ක්‍රිස්තුස්වහන්සේ යෙරුසෙලම වෙත පැමිණීම එක් චිත්‍රයකින් නිරූපණය විය. එම පින්තූරයෙන් උන්වහන්සේව පෙන්වා දී තිබුණේ කොටළුවෙකු පිට නැගි මොළොක් ගුණයෙන් යුක්තව පැමිණෙන විලාශයයි. උන්වහන්සේ පසුපස ගෝලයෝ පා ගමනින් යමින් සිටියෝය. ඔවුන් ඇඳ සිටියේ ගමනින් ගෙවීගිය ඇඳුම් පැළඳුම්ය. ඔවුන් පාවහන් පැළඳ සිටියේ නැත. අනික් චිත්‍රයෙන් නිරූපණය කරනු ලැබුවේ පාප්වරයා තම පිරිවර සමගින් පෙරහැරකින් යන ආකාරයයි. ඔහු සැරසී සිටියේ ඉතා වටිනා ඇඳුම් පැළඳුම් වලින් ය. ඔහු තට්ටු තුනේ කිරීටයක් පැළද සිටියේ ය. අලංකාර වස්ත්‍රවලින් සරසන ලද අශ්වයකු පිට පාප්වරයා නැගී සිටියේය. ඔහු ඉදිරියෙන් හොරණෑ වාදකයෝ වූහ. ඔහු පසුපස දීප්තිමත් ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටි කාදිනල් වරු සහ පූජක පිරිසක් ගමන් ගත්හ.GrHSin 97.1

    මෙම වචන නැති දේශනාව විශාල පිරිසකගේ අවධානයට යොමු විය. මේ චිත්‍ර දැක බලා ගැනීමට විශාල ජනකායක් ඇදී ආවෝය. එහි සැඟවී ඇති අර්ථය සියලුදෙනාට පැහැදිලි විය. චිත්‍ර දෙකෙහි නිරූපණය වූ පුද්ගලයන් දෙදෙනා අතර තිබූ වෙනස්කම් හඳුනා ගැනීම අපහසු කරුණක් නොවීය. ස්වාමියාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ තුලින් දිස් වූ නිහතමානීකම සහ මුදු මොලොක් රූප ලක්ෂණ ද, උන්වහන්සේගේ දාසයා යැයි කියා ගන්නා වූ පාප් නම් පුද්ගලයා තුළින් දැක ගන්නට තිබූ අහංකාරය ආරූඪ කරගත් තත්ත්වයද අතර වෙනස එය දර්ශනය කළ අයගේ මනසෙහි ප්‍රබල කල්පිතයක් මැවීමට සමත් විය. නගරය කලබලයට පත් විය, තත්ත්වය ඉතා උණුසුම් විය. අමුත්තන් දෙදෙනාටම තම ආරක්ෂාව පතා එම පෙදෙසින් ඉවත්ව යාමට සිදුවිය. එහෙත් ඔවුන් ඉගැන්වූ පාඩම කවරෙකුට හෝ අමතක නොවී ය. මෙම චිත්‍ර හස්ගේ මනසට තදින් කා වැදී ගියේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් බයිබලය සහ වික්ලිෆ්ගේ ලියවිලි ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් පහළ විය. විකිලිෆ්ගේ ප්‍රතිසංස්කරණ සියල්ලක්ම පිළිගැනීමට ඔහු මෙතෙක් සූදානම් ව නොසිටි නමුත්, එම ලියවිලි තුලින් පාප්වරයාගේ නියම චරිතය දැක ගැනීමට ඔහුට හැකි විය. තමාගේ චින්තනය සහ හැඟීම් මත ඔහු ක්‍රියාත්මක විය. ඔහු නැගී සිට මහත් ජ්වලිතයකින් යුතුව පාප් බල අධිකාරියේ තිබූ දූෂිත ස්වභාවයද, උඩගුකම ද, එහි අභිමතාර්ථයන් ද ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයට ලක් කළේය.GrHSin 97.2

    බොහිමියාවේ දල්වනු ලැබූ ආලෝකය ජර්මනිය කරා පැතිර ගියේ ය. ප්‍රාග් විශ්වවිද්‍යාලයෙහි හටගත් නොසන්සුන් තත්වය නිසා ජර්මානු සිසුහු සිය ගණනින් විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව ගියෝය. ඔවුන්ට බයිබලය පිළිබඳ මුල්ම දැනුම ලැබුණේ හස්ගෙන්ය. තම රටට ආපසු පැමිණි ඔවුහු සුභාරංචිය තම පීතෘ භූමිය පුරා පතුරුවා හැරියෝය.GrHSin 98.1

    ප්‍රාග්හි හටගෙන තිබුණා වූ සිදුවීම් පිළිබඳ පුවත් රෝමයට දැනගන්නට ලැබුණේය. පාප් වරයා වෙත වාර්තා කරන්නැයි හස්ට සිතාසි ලැබුණේය. එම නියෝගයට කීකරු වීම මරණයට විවෘත වීමක් විය. මේ සමගම හස්ට පක්ෂපාතීව මුළු බොහිමියා ව ම එක හඬින් පාප්වරයාට ඉල්ලීමක් කළේය. බොහිමියාවේ රජතුමා සහ බිසවද විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන් සහ සිසුන්ද, වංශාධිපතීන් ද, රජයේ නිල දරුවන්ද එක්ව පාප් වරයාගෙන් ඉල්ලා සිටියේ හස්ට තම රටෙහි ම සිටීමට අවසර ලබා දී ඔහු වෙනුවෙන් වෙනත් පුද්ගලයෙක් රෝමයට පැමිණ උත්තරපත්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසය. මෙම ඉල්ලීමට අවසර දෙනවා වෙනුවට හස්ට විරුද්ධව නඩු විභාගය පවත්වා වරදකාරයා කොට ඔහුට දඬුවම් පැමිණවීමට පාප්වරයා ක්‍රියා කළේය. තවද ප්‍රාග් නගරයද තහනමට යටත් කළේය.GrHSin 98.2

    ඒ කාලයේදී නගරයක් තහනමට යටත් කළ විට එහි වැසි ජනතාව තුළ මහත් භීතියක් රජ කරන්නට විය. රෝමානු වැසියෝ පාප් වරයාට සලකන ලද්දේ දෙවියන්වහන්සේව නියෝජනය කරන්නා වූ උත්තම නිලධාරියා වශයෙනි. එසේ කිසියම් ප්‍රදේශයක් සහ එහි වැසියන් තහනමට යටත් කිරීම ජනතාවගේ සිත් සතන් තුළ භීතිය හට ගැන්වීමෙහිලා හේතු විය. පාප්වරයා දෙවියන්වහන්සේගේ නියෝජිතයා බවද ඔහු සතුව සගයේ සහ නිරයේ යතුරු ඇතැයිද යන විශ්වාසයක් විය. ආත්මික වූද, භූමික වූද විනිශ්චයන් තීන්දු කිරීමේ බලය ද ඔහු සතුව ඇතැයි විශ්වාසයක් ද පැවතුණි. තහනමට තීන්දු කරනු ලැබූ දේශයේ බැතිමතුන්ට ස්වර්ගයේ දොරටු වසා දමනු ලැබේ යයි ද තහනම ඉවත්කිරීම පාප්වරයාගේ සතුටට හේතු වන තෙක්, මළවුන්ට දිව්‍ය සැපත උදා කර දෙන්නා වූ දිව්‍ය භවනට ඇතුල්වීම තහනම් යයි ද ඔවුහු විශ්වාස කළහ. මෙම භයානක විපත්තියේ පෙර නිමිත්තක් වශයෙන් තහනම් ප්‍රදේශය තුළ කිසිම ආකාරයක හෝ ආගමික රැස්වීම් පැවැත්වීමට අවසරයක් නොවීය. දෙව්මැදුරු වසාදමන ලදී. විවාහ මංගල්‍යය මෙහෙයයන් පවත්වන ලද්දේ දෙව්මැදුරු ගොඩනැගිල්ලෙන් පිටත දී ය. ආගම විසින් කැපකළ භූමියක් තුළ මළ සිරුරක් භූමදාන කිරීමට අවසරයක් නොවීය. ආගමානුකූල අවමංගල්‍යය පූජාවකින් තොරව මෘතදේහය කිසියම් වලක හෝ පිට්ටනියක වළලා දැමිය යුතු විය. මිනිස් කල්පනාවන් තුලට මෙම මත කාවද්දා තිබූ නිසා මිනිසා භීතියෙන් භීතියට පත් විය. මෙයාකාරයෙන් රෝමය මිනිසාගේ හෘද සාක්ෂිය කෙරේ තම බලාධිකාරිය මෙහෙය විය.GrHSin 98.3

    ප්‍රාග් නගරය කලබලකාර සිරියක් ඉසිලීය. මේ මුළු කැරලිකාර තත්ත්වයටම හස් වගකිව යුතුයයි පවසමින් බොහෝ අය රෝමයේ පළිගැනීමට ඔහුව භාරදිය යුතුයැයි තරයේ ප්‍රකාශ කළෝය. කලබගෑනිය සංසිඳුවීම සඳහා ඔහු ස්වල්ප කාලයකට තම උපන් ගම බලා නික්ම ගියේය. ප්‍රාග්හි සිටි තම මිතුරන්ට ලිපියක් යැවූ හෙතෙම එහි මෙසේ සඳහන් කළේය.”ඔබලාගේ මධ්‍යයෙන් මා නික්ම ආවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිළිවෙත හා ආදර්ශය අනුගමනය කිරීමටයි, මා පැවසූ දේ පිළිබඳව විරෝධී අදහස් දරන්නා වූ අයට තමා මත සදාතන දඬුවම පමුණුවා ගැනීමට අවස්ථාව ලබා නොදීමටයි, සැදැහැවතුන්ට එරෙහිව හිංසා පීඩා පැමිණවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම වැලැක්වීමටයි. දෙවියන්වහන්සේගේ වචනය ඔබ අතරෙහි දේශනා කිරීම අනිවාර්ය වන්නේය. එහෙත් මම ඔබගේ නගරයෙහි තවදුරටත් සිටියහොත් ශ්‍රද්ධාවක් නැති පූජකවරු ඔබ අතරෙහි දේව වචනය දේශනා කිරීම තව බොහෝ කාලයකට තහනම් කරාවි යන බිය මා තුළ තිබුණේ ය. ඒ නිසා ම මම ඔබ අතුරෙන් ඉවත් ව ආවෙමි. මම ප්‍රාග් නුවරින් ඉවත්ව ආවේ දිව්‍ය සත්‍යතාව ප්‍රතික්ෂේප කළ නිසා නොවන බව ස්ථීර ලෙස කියා සිටිමි. දෙවියන්වහන්සේගේ කැමැත්තක් වේ නම් දිව්‍යමය සත්‍යතාව උදෙසා දිවි පිදීමට වුවත් මම පසුබට නොවෙමි.”[ උපුටා ගැනීම අංක 3Bonne Clchose, “The Reformers before the Refmation”.Vol.1P.97(ed 1844).] හස් තම කටයුතු අත්හැර දැම්මේ නැත. තමාගේ ගම්පළාත වටා පිහිටි පෙදෙස් කරා යමින් ඔහු සත්‍යතාව දේශනා කරන්නට පටන් ගත්තේ ය. ශුභාරංචිය ප්‍රකාශ කිරීම තහනම් කිරීමට පාප්වරයා ගත් ක්‍රියාමාර්ගය එය තව තවත් ව්‍යාප්ත වීමට හේතුකාරක විය.” සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.”(2 koren tv 13:8).GrHSin 99.1

    මේ අවස්ථාවේදී හස්ගේ මනස මහත් අර්බුදකාරී වේදනාවකට පත්ව තිබුණේය. තමන්ගේ අකුණු සැර මගින් ඔහුව නිහඬ කිරීමට සභාව වෑයම් කළද, ඔහු සභාවේ ආධිපත්‍ය නිශ්ප්‍රභා කිරීමට අදහස් නොකළේය. රෝම සභාව තවදුරටත් ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය බව ඔහු තවමත් විශ්වාස කළේය. පාප්වරයා වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතයා බවත් සාමය භාර දේවගැතිවරයා බවත් ඔහු තවදුරටත් විශ්වාස කළේය. එහෙත් හස් සටන් වැදුනේ පාප්වරයා තම බලය අනිසි ලෙස යොදා ගැනීමට විරුද්ධව මිස පාප් බලයට විරුද්ධව නොවීය. මෙම අර්බුදකාරී තත්ත්වය ඔහුගේ හදවතට මහත් වේදනාවක් ගෙන දුන්නේය.ඔහුගේ හෘද සාක්ෂිය පාප්වරයාගේ බලයෙහි අයිතිවාසිකම් ගැන ප්‍රබල ලෙස එකඟවීමක් පළ කළේය. එහෙත් එහි ක්‍රියාකාරීත්වය ගැන හෘද සාක්ෂිය වෙනස් සහතිකයක් ලබා දුන්නේය. බල අධිකාරිය වනාහි යුක්තිය සහ සාධාරණය ඉටු කරන්නාවූ වැරදිය නොහැකි ඒකකයක් වූයේ නම් එයට විරුද්ධව නැගීසිටීමට ඔහුගේ හෘද සාක්ෂිය ඔහුව පෙළඹවූයේ මන්ද? බල අධිකාරියට කීකරුවීම පව් කිරීමක් බව ඔහුට පෙනී ගියේය. එහෙත්, පැරදිය නොහැකි සභාවකට කීකරු වීම මෙවැනි පීඩාකාරී චින්තනයකට හේතු වන්නේ මන්ද යන්න ඔහුට විසඳාගැනීමට නොහැකි වූ ගැටළුවක් විය. මෙම අනුමාන සහිත සිතුවිල්ල ඔහුට පැයෙන් පැයට ම වේදනාවක් උදා කළේය. ඔහු මුහුණ දුන් මේ ගැටලුව මෙයට පෙර එක් වතාවක් සිදු වී ඇති බව ඔහුගේ හදවත කියාපෑවේය. ගැලවුම්කාරයාණන් මෙලොව ජීවත් වූ සමයේ එය සිදුවිය. එකල සිටි පූජකයෝ දුෂ්ට පුද්ගලයන් වූහ. ඔවුහු තමන් සතු නීත්‍යානුකූල අධිකාරී බලය නීතියට පටහැනි ක්‍රියාදාමයන් සඳහා පාවිච්චි කළහ. එම තත්වය නැවත වරක් උදා වී තිබුණේය එම නිසා තමාගේ ක්‍රියාත්මක වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ඉගැන්වීම්, අනුශාසනා, ප්‍රඥප්ති සහ නියමයන් පිළිබඳව තේරුම් ගැනීමක් මත කෙනෙකුට තම හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගැනීමට ඉඩදීම එකී උචිත ක්‍රමය වන්නේ ය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ශුද්ධ ලියවිලි ප්‍රකාශන ලෙස පිළිගත යුතු වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලය තුළින් කියන්නාවූ සිද්ධාන්ත මිස පූජකයන් තුලින් සභාව කියන්නා වූ දේවල් නොවන බවය.වැරදිය නොහැකි එකම මග පෙන්වීම එම ක්‍රමය වන්නේ ය.[උපුටා ගැනීම අංක 4Wylie bk3, Ch2.]GrHSin 99.2

    මඳ කලකට පසුව උණුසුම් වාතාවරනය තුනී විය. ප්‍රාග් නගරය නැවත වරක් සන්සුන් විය. හස් ද නැවත තම බෙත්ලෙහෙමේ දෙව්මැදුර කරා පැමිණියේය. දේව වචනය දැඩි ජ්වලිතකමින්ද, අභීතව දේශනා කිරීම ඔහුගේ අධිෂ්ඨානශීලී අභිලාෂය විය. ඔහුගේ සතුරෝ ක්‍රියාත්මකව බලසම්පන්නව සිටියහ. එසේ වුවද, බොහිමියාවේ රැජින සහ ප්‍රභූ පන්තියේ වංශාධිපතීන් ද හස්ගේ මිතුරන් වූහ. බහුතර ජනතාවක් ද ඔහුට පක්ෂපාතීත්වය දැක්වූහ. ඔහුගේ පැහැදිලි නිර්මල ඉගැන්වීම් හා පිරිසුදු ජීවිතය රෝමානු පූජකයන් දේශනා කළ ජීවිත රටාව හා සමාන කළ විට ද සල්ලාලකම අගතැන් කරගත් ඔවුන්ගේ ජීවිත සලකා බැලූ විටද පාර්ශවයන් දෙක අතර සැසඳීමක් කළ ජනතාව හස්ගේ පාර්ශවයේ සිටීම ගෞරවනීය එකක් යැයි තීරණය කළෝය.GrHSin 100.1

    මේ තාක් කල් හස් තනිව සේවය කළේය. එහෙත් දැන් ජෙරොම් ඔහුට එකතු විය. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය කරගෙන යන අතරේදී වික්ලිෆ්ගේ ඉගැන්වීම් පිළිගෙන තිබුණේය. දැන් දෙදෙනාම තම ජීවිත ඒකාබද්ධ කර කටයුතු කරන්නට ගිවිස ගත්තෝය. ඔවුන් දෙදෙනාම වෙන් කළ නොහැකි විය. එකල ජනතාවගේ ඉමහත් ගෞරවයට භාජන වූ බුද්ධි ප්‍රභාව, සහජ කථිකත්වය සහ ඉගෙනීම ජෙරොම් සතුව පැවතියේ ය. එහෙත්, නොසැලෙන සුළු ස්ථීර ගුණාංග සතු චරිතයකින් හස් වඩා උතුම් විය. ජෙරොම් උද්වේගකාරී වූද, ආවේගශීලී වූ ද ක්‍රියාකාරීත්වය කෙරෙහි යම්කිසි හික්මවීමක් යෙදවීමට හස්ගේ සන්සුන් විනිශ්චයන් සමත් විය. හස්ගේ බුද්ධිමත් තීරණ නිහතමානීව පිළිගැනීම ජෙරම්ගේ වැඩකටයුතු වඩාත් සාර්ථක වීමට ඉවහල් විය. මේ දෙදෙනාගේ ඒකාබද්ධ මෙහෙයුම් යටතේ ප්‍රතිසංස්කරණය ඉතා වේගයෙන් ඉදිරිය කරා ගමන් ගත්තේය.GrHSin 101.1

    තෝරාගනු ලැබූ මෙම දෙදෙනා මත සත්‍යතාවේ මහත් ආලෝක ධාරාවන් පතිත වීමට දෙවියන්වහන්සේ ඉඩ හළ සේක. රෝමානුවේ නිදන්ගතව ඇති වැරදි ඇදහිලි සහ ඉගැන්වීම් ගණනාවක් පිළිබඳව සත්‍ය උන්වහන්සේ මොවුන්ට එළිදරව් කළ සේක. එහෙත් ලෝකයට ලබා දිය යුතු සියලු ආලෝකය උන්වහන්සේ ඔවුන්ට එළිදරව් නොකළ සේක. රෝමානුවේ අන්ධකාරය විසින් ගිල ගෙන තිබූ ජනතාව එයින් පිටතට ගෙන ඒමට දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ මේ සේවකයන් තුලින් ක්‍රියාත්මක වෙමින් සිටි සේක, ඔවුන්ට මඟ පෙන්වමින් සිටි සේක. මහත් බාධා සහ අවහිරතා ගණනාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වන්නට තිබුණි. ඔවුන්ට දරාගත හැකි ප්‍රමාණය අනුව උන්වහන්සේ ඔවුන්ට පියවරෙන් පියවර මග පෙන්වූ සේක. සම්පූර්ණ ආලෝකය එක් වරටම ලබාගැනීමට ඔවුන් සූදානම්ව සිටියේ නැත. ඝන අන්ධකාර රාත්‍රියක සිටින්නා වූ අයකුට එක්වරම දීප්තිමත් ආලෝක කදම්භයකට මුහුණ දීම පහසු කාර්යයක් නොවන්නේ ය. එසේම අන්ධකාර ඉගැන්වීම්වල විශාල කාලයක් දිවි ගෙවූ අයට සදාකාල ආලෝකය එක් වරම ලබා දුනි නම්, ඔවුන් ඒ ආලෝකයෙන් ඉවතට හැරී යනවා ඇත. එහෙයින් මහජනයාට දරාගත හැකි ප්‍රමාණයෙන් උන්වහන්සේ ආලෝකය කෙමෙන් නායකයන්ට එළිදරව් කළ සේක. ශතවර්ෂයෙන් ශතවර්ෂයට තවත් විස්වාසවන්ත සේවකයන් මෙම මාර්ගයට පිවිසෙනවා ඇත. ප්‍රතිසංස්කරණ මාවතේ තවත් ඉදිරියට යාමට ඔවුන් ජනතාවට මඟ පෙන්වනවා ඇත.GrHSin 101.2

    සභාව තුළ වූ ධර්මතා සහ ඉගැන්වීම් පිළිනොගෙන, භේද වී ඉවත්ව යෑම් තවදුරටත් කෙරීගෙන ගියේය. අධිකාරී බලයට හිමිකම් කියමින් පාප්වරු තුන් දෙනෙක් තරඟයට බැස සිටියෝය. අධිපත්‍ය ලබා ගැනීම සඳහා වූ ගැටුම කරණකොටගෙන කිතුනු රාජ්‍යය අපරාධ සහ කෝලාහල වලින් පිරී ගියේය. ඔවුනොවුනන්ට විරුද්ධව අප්‍රසන්න ප්‍රකාශන පැවසීමෙන් නොනැවතුණු ඔවුහු ලෞකික අවි ආයුධ භාවිතයට පවා පෙළඹුණේය. අවි ආයුධ මිලයට ගෙන තමන් සතුව යුධ භට කණ්ඩායමක් තබාගැනීමට තිදෙනාම පසුබට නොවූහ. මේ සඳහා මිල මුදල් අවශ්‍ය විය. එය ලබා ගැනීම සඳහා සභාවේ ආශිර්වාදයන් සහ නිලතලද සභාවේ සම්පත්ද විකිණීම යොදා ගන්නා ලදී. මේ අතර සභාවේ අවශේෂ පූජකයෝ ද, තමන්ගේ නායකයන් අනුගමනය කරමින් තම විරුද්ධවාදීන් යටත් කර ගැනීමටත්, තමන්ගේ පුද්ගලික බලතල ශක්තිමත් කරගැනීමටත් සභාව සතු සම්පත් විකිණීමෙහි යෙදුණෝය. නිර්භීත ගුණාංගයෙන් දිනෙන් දින වර්ධනය කරා පිය නැගූ හස් ආගමේ නාමයෙන් කරන්නා වූ අතිශයින් පිළිකුල් වූ ද, ද්වේශසහගත වූද ක්‍රියාවන්ට එරෙහිව එම ක්‍රියා හෙළා දකිමින් දැඩි ස්ථාවරයෙන් තම විරුද්ධතාවය ප්‍රකාශ කළේය. ක්‍රිස්තියානි සභාව කරා පතිත වන්නා වූ විවිධ ආකාරයේ කාලකන්නිකම් සහ අවැඩදායී ප්‍රතිඵල වලට හේතුව රෝමානු නායකයන් යයි ජනතාව ප්‍රසිද්ධියේම චෝදනා කළෝය.GrHSin 101.3

    ප්‍රාග් නගරය නැවත වරක් ලේ වැගිරෙන්නා වූ ගැටුමක එළිපත්ත උඩට පැමිණ සිටියේය. ඉතිහාසයේ අතීත දවස්වල දී සිදු වූ ආකාරයෙන්ම ” ඉශ්‍රායෙල් කළඹන තැනැත්තා” (1 රාජාවලිය18:17) වශයෙන් දෙවියන්වහන්සේගේ සේවකයා වූ හස්ට දෝෂාරෝපණය කරන ලදී. නගරය නැවත වරක් ආගමික තහනමකට ලක් කරනු ලැබීය. හස්ද තම ගම් දනව් බලා පලා ගියේය. ඔහු සේවය කළ බෙත්ලෙහෙම් නැමැති කුඩා දෙව් මැදුරේ සිට විශ්වාසවන්ත ලෙස හඬ නැංවූ සාක්ෂි දැන් නිමාවට පත් විය. සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීම නිසා තම ජීවිතය පූජා කිරීමට පෙර ඔහු විසින් පුළුල් වූද, විශාල වුවද වේදිකාවක් මත නැගී සිට සමස්ත ක්‍රිස්තියානි ජන සමූහයා හට සත්‍යතාව ප්‍රකාශ කළ යුතු විය.GrHSin 102.1

    යුරෝපය කළඹන්නා වූ නපුරු ක්‍රියාදාමයන් විසඳා පිළියමක් යෙදීමට කොන්ස්ටන්ස්හිදී රැස්වීමක් පවත්වන ලදී. මෙම සභා නායකයා රැස්වීම කැඳවන ලද්දේ පාප්වරුන් තුන්දෙනාගෙන් එක් අයෙකු වූ XXIII වන ජෝන් විසින් ය. මේ සඳහා ආඥාව නිකුත් කළේ අග රජතුමා වු සිගිස්මන්ඩ්ය. මෙවන් සභා නායක රැස්වීමක් කැඳවීමට ජෝන් නමැති මේ පාප්වරයා තුළ කිසිම මනාපයක් නොවීය. මෙකල විසූ සභා සාමාජිකයන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය, සදාචාර ජීවිතය පහත් මට්ටමක පැවතියේ ය. පූජකයන්ගේ ජීවිත රටාව ද එයට වඩා වෙනස් නොවීය. ජෝන් පාප්වරයාගේ චරිතයද, ඔහුගේ ප්‍රතිපත්ති වේදය ද පරීක්ෂණයකට මුහුණ දීමට සුදුසු නොවීය. එසේ වුවද, සිගිස්මන්ඩ්ගේ කැමැත්තට පිටුපා ක්‍රියා කිරීමට ඔහුට ශක්තියක් නොවීය.GrHSin 102.2

    මෙම සභා නායක රැස්වීමෙහි ප්‍රධාන අරමුණ වූයේ සභාව කැඩී යාම, කොටස්වලට බෙදීයාම වළක්වාලීමය, එයට පිළියමක් යෙදීමය, මිත්‍යා මත සහ පිළිවෙත් මුලිනුපුටා දැමීමය. මෙම රැස්වීමට අනෙකුත් පාප්වරුන් දෙදෙනාටම කැඳවීමක් ලැබුණේය. නව අදහස් ඉදිරිපත් කළ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන හස්ටද එම රැස්වීමට සහභාගි වීමට නියෝගයක් ලැබුණේය. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ කල්පනා කළ අනෙක් පාප්වරුන් දෙදෙනා රැස්වීමට සහභාගි වුණේ නැත. ඔවුන් උදෙසා පෙනී සිටීමට නියෝජිතයන් ඒ රැස්වීමට යවනු ලැබීය. රැස්වීම කැඳවූයේ ජොන් පාප්වරයා බවක් පෙන්නුම් කරනු ලැබූ නමුත් ඔහු රැස්වීමට සහභාගි වුණේ මහත් අසතුටින් ය. රැස්වීම කැඳවීමේහි ලා අගරජ තුමාගේ රහසිගත අරමුණක් ඇතැයි ඔහු අනුමාන කළේය. රජතුමා පාප් ධූරයෙන් තමාව පහ කර දමනවා ඇතැයි ඔහු කල්පනා කළේ ය. පාප් ධූරය ලබාගැනීම සඳහා තමන් විසින් සිදු කළ අපරාධ මෙන්ම එම තනතුරට නින්දාව ලබා දීමෙහි ලා තමන්ගේ අතින් සිදු වූ විවිධ දුරාචාර ගැනද තමන්ට උත්තර සැපයීමට සිදු වෙතැයි ඔහු තුළ බියක් විය. ඔහු කොන්ස්ටන්ස් නගරයට ඇතුළු වුණේ මහත් පෙරහැරකින් ය. ඔහු සමග විවිධ ආගමික අනුනායකවරු පෙරහරෙහි ගමන් ගත්තෝය. පෙරහැරෙහි පසුපස, ආවතේවකරුවන් විශාල ගණනාවකින් සැදුම් ලද්දේ විය. පුරවැසියන් විශාල ගණනාවක් පිරිවරාගෙන සියලුම පූජකයන් ද රජයේ උසස් නිලදරුවන් ද ඔහුව පිළිගැනීමට එක්රැස් වූහ. ‍ප්‍රධාන මහේස්ත්‍රාත්වරුන් සතර දෙනෙකු විසින් ඔසවා ගත් උඩුවියනක් පාප්වරයාගේ හිසට ඉහළින් විය. ආගන්තුක සත්කාර කරන්නා ඔහු ඉදිරියෙහි ඔසවා ගෙන යනු ලැබීය. කාදිනල්වරුන්ගේ සහ වංශාධිපතීන්ගේ අගනා වූද, වටිනා වූද ඇඳුම් පෙරහරට අලංකාරයක් එකතු කළේය. GrHSin 103.1

    මේ අතරතුර තවත් පුද්ගලයෙක් කොන්ස්ටන්ස් නගරය වෙත පැමිණෙමින් සිටියේය. හස් තමාට තර්ජනයක් එල්ල කළ අනතුරු ගැන දැනගත්තේය. නැවත වරක් හමු නොවන කල්පිතයෙන් යුතුව ඔහු තම මිතුරන්ට ආයුබෝවන් කියා ඔවුන්ගෙන් වෙන්ව ආවේය. තමාගේ ගමනෙහි අවසානයේදී තමාගේ සිරුර කණුවකට බැඳ ගිනි අවුලුවා ලීම සිදුවිය හැකි බව ඔහු කල්පනා කළේය. තමාට විපතක් සිදු වීමේ හැකියාව ඉතා ඉහළ බව දැන සිටි හෙතෙම බොහිමියාවේ රජතුමාගෙන් රැකවරණ සහතික වීමක් ලබා ගත්තේය. තවද, ගමන් මාර්ගයේදී අනතුරක් සිදු නොවන බවට සිගිස්මන්ඩ් අධිරාජයාගෙන් ද සහතිකයක් ඔහු ලබා ගත්තේ ය. ඔහු සියලු කටයුතු කළේ මේ අවස්ථාවේදී තමාට මරණ හිමිවන බව කල්පනා කරමිනි.GrHSin 103.2

    ප්‍රාග්හි සිටි තම මිතුරන්ට හෙතෙම මෙසේ ලිපියක් ලියා ඇරියේය. “මාගේ සහෝදරවරුනි... මට විරුද්ධ ව ක්‍රියා කරන්නා වූ, අනේක මානුෂික සතුරන් මුණගැසීමට මම මේ ගමන යන්නෙමි. ආරක්ෂාව ලබාදෙන බවට රජතුමා සහතික වී ඇත... මාගේ සියලු කටයුතු මම මාගේ ගැලවුම්කාරයානන්ට, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ශ්‍රි හස්තයට භාර දෙන්නෙමි. ඔබගේ ඉතා උනන්දු යාඥාවන් ට උන්වහන්සේ ඇහුම්කන් දෙන බව මම විශ්වාස කරමි. මම කතා කරන අවස්ථාවන්හිදී උන්වහන්සේගේ නැණවත් දූරදර්ශී ප්‍රඥාව මාගේ පිහිටට පැමිණෙන බව මට විශ්වාසයි. ඔවුන්ගේ චෝදනාවලට එරෙහිව කතා කිරීමට මට එවන් මගපෙන්වීමක් අවශ්‍ය වේ. උන්වහන්සේගේ සත්‍යතාව තුළ ස්ථිරසාර ලෙස නැගී සිටීමට උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ පිහිට මම ඉල්ලා සිටිමි. මට මුහුණදීමට ඇති ඕනෑම ආකාරයක පරීක්ෂාවකට, හිරගෙයි දමනු ලැබීමට හෝ අවශ්‍ය නම් කුරිරු මරණයකට මුහුණ දීමේදී වුවද අභීතව නොසැලී සිටීමට මට දේව මගපෙන්වීම ලැබේවා.තමන්වහන්සේගේ ආදරවන්ත ජනතාව සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳි සේක. එමනිසා, අපගේ ගැලවීම උදෙසා සෑම දෙයක්ම ඉවසිල්ලෙන් යුතුව විඳ දරා ගැනීමට උපකාර වන පිණිස, අප උදෙසා උන්වහන්සේ ආදර්ශයක් ලබා දීම ගැන අප පුදුම විය යුතු ද? උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේය; අපි උන්වහන්සේගේ මැවිල්ල වන්නෙමු. උන්වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ ය; අපි උන්වහන්සේගේ සේවකයන් වන්නෙමු. උන්වහන්සේ සකල ලෝකයේ අධිපතියන් වන සේක, අපි වැදගත් කමකට නැති, මරණයට යොමුවන මිනිසුන් වන්නෙමු. මේ සියලු දේ පිළිබඳව අසමසම උත්තමයාණන් වූ ඒතැනැත්තන් වහන්සේ අප උදෙසා හිංසා පීඩා විඳි සේක! දුක් හිරිහැර, හිංසා පීඩා විඳීම අපව පවිත්‍ර කිරීමේ එක් මාධ්‍යයක් නිසා අප එයට භාජනය නොවී සිටින්නේ ඇයි? මාගේ මරණය උන්වහන්සේගේ ගෞරවයට හේතු කාරක වන්නේ නම්, එය ඉක්මනින්ම මා වෙත ළඟා වන්නයි යාච්ඤා කරන්න.මාගේ සියලු විපත් ඉදිරියෙහි නොසැලී සිටීමට මට ආධාර කරන්නැයි යාඥා කරන්න.මා ආපසු ඔබ අතරට පැමිණීම වඩා යහපත් යැයි උන්වහන්සේ දන්නා සේක් නම්, මා කැලැල් නැති ව ඔබ අතරට පැමිණේ වා කියා යාච්ඤා කරමු. ශුභාරංචියෙහි ඇතුලත් සත්‍යතාවයෙහි බිඳක් හෝ තිතක් හෝ මාගෙන් නොබිඳේවා යැයි යාඥා කරමි. එසේ ශුභාරංචියට කැළලක් හෝ සිදු නොකර ක්‍රියාකිරීමෙන් මාගේ සහෝදරයන්ට අනුගමනය කල හැකි ආදර්ශයක් තබා යෑම මාගේ අධිෂ්ඨානය වන්නේ ය. සමහර විට ඔබට මාගේ මුහුණ ප්‍රාග්හී නැවත වරක් දැක ගන්නට නො ලැබිය හැකි ය. මා ඔබ අතරට නැවත පැමිණීම සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සැලැස්ම වන්නේ නම්, අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන නොසැලෙන්නාවූ අධිෂ්ඨානයකින් යුතු හදවතක් ඇති ව උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි දැනුම සහ ආදරය ඇතිව ඉදිරියට යමු.”[ උපුටා ගැනීම අංක 5Bonnechose, Vol.1, pp.147,148] .GrHSin 103.3

    ශුභාරංචියෙහි ගෝල කමට පැමිණි පූජකයෙකුට ලිපියක් යවමින් හස් තමාගේ අතින් සිදුවී ඇති වැරදි නිහතමානීව පවසා සිටියේය. මිල අධික ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමෙන් වින්දනයක් ලැබීම සහ නිස්සාර ව්‍යාපෘතීන්හි යෙදීමෙන් කාලය නාස්ති කිරීම ගැන ඔහු තමාටම වරද පටවා ගත්තේය. ඉක්බිතිව ඔහු සිතේ අනුකම්පාව ඇති කරවන මෙම අනුශාසනාවන් ද ලිපියට ඇතුළත් කළේය.”දෙවියන් වහන්සේගේ තේජසත් මිනිසුන්ගේ ගැළවීමත් ඔබගේ මනසෙහි ප්‍රමුඛස්ථානය ගනු ලැබේවා! වතුපිටි ඉඩකඩම් අත්කර ගැනීමෙන් ද ඔබගේ ආත්මය වර්ධනය කරගැනීමට වඩා ඔබගේ නිවස අලංකාර කර ගැනීමෙන්ද වැලකීමට ප්‍රවේසම්වන්න. සියල්ලන්ටම ඉහළින් ආත්මික ප්‍රසාද මන්දිරය රැකබලා ගැනීමට වෑයම් කරන්න. දුප්පත් අය සමඟ ක්‍රියා කිරීමේදී ධාර්මික වන්න, නිහතමානී වන්න. උත්සව සඳහා ඔබගේ සම්පත් වියදම් නොකරන්න. ඔබගේ ජිවිතය වෙනස් කර නොගෙන අනවශ්‍ය ලෙස අධික අයුරින් වියදම් කිරීමෙන් නොවැලකෙන්නෙහි නම් මට මෙන්ම ඔබට ද තරවටු කරන ලබන බව නොඅනුමානය... ඔබගේ ළමාවිය හි සිට ඔබ මාගේ අනුශාසනා ලැබූ වෙහි ය. එමනිසා ඔබ මාගේ ධර්මතාවන් මොනවාදැයි දන්නෙහිය. මා තවදුරටත් එම දේවල් ගැන ලිවීම අවශ්‍ය නොවේ. කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් කිරීමේ ආශාවක් මා තුළත් තිබුණි. මා ඒ වැරදි කළ බව ඔබත් දැක තිබුණි. එමනිසා එවැනි දේවල් කිරීමෙන් මාව ආදර්ශයක් කරගන්න එපා. මා කළ නිරර්ථක ක්‍රියා නොකර සිටින්නට ඔබට ස්වාමින්වහන්සේගේ කරුණාව ලැබේවායැයි උන්වහන්සේගෙන් අයැද සිටිමි.” එම ලිපිය බහළු කවරේ ඔහු මෙසේ ලියා තිබුණේය:” මා මිය ගිය බවට සහතිකයක් ඔබ ලබාගත් පසුව පමණක් මෙම ලිපියෙහි මුද්‍රාව කඩා විවෘත කරන්නැයි මම ඔබගෙන් තදින්ම ඉල්ලා සිටිමි.”[ උපුටා ගැනීම අංක 6Bonnechose, Vol.1, pp.148,149].GrHSin 105.1

    කොන්ස්ටන්ස් කරා යන ගමනේ දී තමා පසු කල ගම් දනව්වල තමාගේ ධර්මතාවයන් පැතිර ගොස් තිබෙන බව දැකීමෙන් ඔහු මහත් ප්‍රීතියට පත් විය. ඔහුගේ සේවයට ලැබී ඇති ප්‍රතිචාරය ඉතා සතුටුදායක විය. ඔහුව මුණගැසීමට ජනතාව පොරකමින් රැස්වූහ. සමහර නගරවලදී හේස්ත්‍රාත්වරු ද ඔහු සමග වීදි දිගේ ගමන් කළෝය.GrHSin 105.2

    කොන්ස්ටන්ස් වෙත පැමිණි ඔහුට සම්පූර්ණ නිදහස දෙන ලදී. ආරක්ෂාව පිළිබඳ අග රජතුමාගේ සහතිකයට අමතරව ආරක්ෂාව පිළිබඳ පාප්වරයාගේ පුද්ගලික සහතික වීමක් ද ඔහුට දෙනු ලැබීය.මේ සියලු සහතික වීම් සහ ප්‍රකාශන මධ්‍යයේ පවා ටික දවසකට පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. පාප්වරයාගේද, ධර්මාධ්‍යක්ෂවරුන්ගේ නොහොත් කාර්දිනල් වරුන්ගෙන්ද නියෝග පිට ඔහු සිරභාරයට පත් විය. පිළිකුල් සහගත බිම්ගෙයක කුටියක් ඔහුගේ නිවහන විය. තමා විසින් සහතික කර දෙමින් වූ පොරොන්දුව කඩ කළ පාප් වරයාද වැඩි දවසක් ගත වීමට මත්තෙන් එම ස්ථානයෙහිම සිරකරුවෙකු බවට පත් විය.[ උපුටා ගැනීම අංක 7Idem, P.247(The previous book p.247)]. වැරදි විශාල ගණනාවකට ඒ පාප්වරයා වැරදිකරු කරන ලදි. මිනීමැරුම, ආගමික සම්පත් මුදලට විකිණීම, කාමමිත්‍යාචාරය,” නම් කිරීමට පවා නුසුදුසු පාප” මෙන්ම ඉතාම පහත් ගණයේ අපරාධ යන ආදී චෝදනා වලට ඔහු වරදකරුවෙක් විය. ” සභා රැස්වීම් වාරයේ දී මෙම තීරණයට එළඹ, ඔහුගේ පදවිය නිස්සාරණය කර ඔහුව සිර කුටියකට දමන ලදී. අනික් පාප්වරුන් එකී තනතුරෙන් පහකර දමා නැවතත් පාප්වරයකු පත් කර ගන්නා ලදී.GrHSin 105.3

    ආගමික දහම් සහ ඉගැන්වීම් මෙන්ම තේවා කටයුතු පිළිබඳව ද හස් විසින් පූජකයන්ට කරන ලද චෝදනා වලට වඩා පාප් විසින් කරන ලද අපරාධ හා දූෂණ ක්‍රියා බොහෝ සේ වැඩි විය. එහෙත් පාප්වරයා බලයෙන් සහ ධුරයෙන් ඉවත් කළ එම කමිටුවම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය උදෙසා සේවය කළ සේවකයා විනාශ කිරීමට ක්‍රියා කළේ ය. හස්ව සිරභාරයට තීන්දු කිරීම ගැන බොහිමියාවේ ජනතාව කෝපාවිෂ්ඨ වූහ. සාමයට තර්ජනයක් ලෙස සිදුවන්නා වූ මෙම කෝපාවිෂ්ඨ උද්ඝෝෂණ මැඩ පවත්වන්නැයි බලගතු වංශාධිපති ප්‍රභූවරු සභා නායක මණ්ඩලයෙන් ඉල්ලා සිටියෝය. හස්ට ආරක්ෂාව සැපයීමට ගිවිසුම් දී සිටි අග රජතුමා තමාගේ ප්‍රතිඥාව කඩකිරීමට අකමැතිව ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ප්‍රතිසංස්කරණ වාදියාගේ විරුද්ධවාදීහු ද්වේශයෙන් යුතුව ඔහුට දඬුවම් පැමිණවිය යුතු යැයි යන ස්ථාවරයේ පිහිටා සිටියහ. රජතුමාගේ අවිචාරක හැඟීම් අතහැර දමා, හස්ට විරුද්ධ වීමට බිය නොවන්නැයි ඉල්ලමින් ඔවුහු කරුණු පැහැදිලි කලෝය. රජතුමාගේ ආගමික පක්ෂපාතකම ගැන වර්ණනා මුඛයෙන් පවසමින් සතුරෝ හස්ත විරුද්ධව දඬුවම් පැමිණවීමට රජතුමාට වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කළෝය. “සභාවට විරුද්ධව දහම් පතුරුවන්නා වූ මිථ්‍යාදෘෂ්ටිකයන් කෙරෙහි විශ්වාසය රැඳවිය යුතු නොවේ යයිද එවන් චෝදනාවකට ලක්වූ අයෙකුගේ රැකවරණය ගැන සහතිකයක් දුන් නමුත් එම පොරොන්දුවෙන් රජතුමා නිදහස් කිරීමට මේ කමිටුවට පුළුවන් බව ද පවසන ලදී. (උපුටා ගැනීම අංක 8Lenfant, “History of the Council of Constance” Vol.1, p.516). මෙසේ සතුරෝ තම කාර්යය ඉටුකර ගත්තෝය.GrHSin 106.1

    බිම් ගෙයි සිර කුටියෙ හි පැවති තෙතබරිත තත්ත්වයත්, පරිසරයේ වූ අපිරිසිදු වාතයත් කරණ කොටගෙන හස්ට උනක් වැළඳුනේ ය. එය ඔහු මරණාසන්න තත්වයට පත්කළේය. උණෙන් සහ සිරගෙයින් ලෑමෙන් දුර්වලව සිටී ජෝන් හස්ව අන්තිමේදී මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳවනු ලැබීය. යදමින් බැඳ දමා තිබූ හෙතම අග රජතුමා ඉදිරියට පමුණුවනු ලැබීය. ඔහුට රැකවරණය සැපයීමට අග රජතුමා ප්‍රතිඥා දී තිබුණේය. තමාට විරුද්ධව පැවැති දීර්ඝ නඩු විභාගයේ දී සත්‍ය වෙනුවෙන් තම ස්ථාවරය මත පමණක් නැගී සිටිමින් හෙතෙම සලිත නොවී පෙනී සිටියේය. සභාවල අධිකාරිය තුළ සිදුවන දූෂණ සහ අවකල් ක්‍රියා පිළිබඳව ගරු ගාම්භීර වූද, විශ්වාසනීය වූ ද ප්‍රකාශයක් ඔහු ඉදිරිපත් කළේය. ආගමික සහ රාජ්‍ය නායකයන් ඉදිරියේ ඔහු කරුණු සහ සාධක ඉදිරිපත් කරමින් සභා නායකයන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළේය. තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහු විසින් උගන්වනු ලබන ධර්මතාවන් වැරදි යැයි පිළිගෙන ඒවා ඉල්ලා අස් කරගැනීම හෝ මරණයට එකඟවීම ඔහු ඉදිරියෙහි තබන ලදී. චකිතයකින් තොරව හෙතෙම වේද සාක්ෂිකරුවෙකුගේ මරණය තෝරා ගත්තේ ය.GrHSin 106.2

    දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ඔහුව රැක බලා ගත්තේය. මරණයට පත් කිරීමේ ක්‍රියාදාමය ඉටුවීමට පෙර තිබූ වේදනාවෙන් පිරි සති කිහිපය තුලදී ස්වර්ගයේ සාමය ඔහුගේ ආත්මය පුරවාලීය. ඔහු මිතුරෙකුට මෙසේ පැවසුවේය: ” මම මේ ලිපිය ලියන්නේ සිරගෙදරක සිටය, විලංගු දමා ඇති අතකින් ය. හෙට මාගේ දඬුවම ක්‍රියාත්මක වන දිනයයි... යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහාය ඇතිව, අපි ඉදිරි ජීවිතයේ සාමයෙන් යුතුව මුණ ගැසෙන්නෙමු. දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ කරුණාව මා වෙත දැක්වූ ආකාරය ඔබට එවිට දැන ගැනීමට හැකිවනවා ඇත. මාගේ පරීක්ෂාවන් සහ නඩු විභාග මධ්‍යයේ උන්වහන්සේ මට සහාය වූ කාර්යක්ෂමභාවය ඔබට දැනගත හැකි වනවා ඇත.”[ උපුටාගැනීම් අංක 9Bonnechose, Vol. II, P.67.].GrHSin 107.1

    අඳුරෙහි ගිලී තිබූ බිම් ගෙයි සිර කුටියෙහි සිටි ඔහු සැබෑ ඇදහිල්ලෙහි ජයග්‍රහණය දුටුවේය. සිහිනයෙන් ඔහු ප්‍රාග්හි පිහිටි තම කුඩා දෙව්මැදුර වෙත පිය නැගීය. ඔහු එම ස්ථානයෙහි ශුභාරංචිය දේශනා කර තිබුණේය. එහි බිත්ති වල තමා විසින් පින්තාරු කළ ක්‍රිස්තුස්වහන්සේගේ රූප විය. පාප්වරයා සහ රදගුරු ප්‍රසාදීන් එහි පැමිණ එම පින්තාරූ මකා දමන ආකාරය ඔහු එම සිහිනෙන් දුටුවේය. ” මෙම දර්ශනය නිසා හෙතෙම මහත් ශෝකයට පත් විය; ඔහුගේ සිත සංවේගයෙන් පිරී ගියේය. එහෙත් පසු දින දුටු දර්ශනයෙන් ඔහු මහත්සේ ප්‍රීති ප්‍රමෝදයට පත් විය.” ආගමික නායකයන් විකෘති කළ තම පින්තූරු පසුව බොහෝ චිත්‍රකරුවන් විසින් යථාතත්වයට පත් කරන ආකාරය ද එවැනි පින්තූරු ගණනාවක් චිත්‍රයට නගන අයුරු ද ඔහු දුටුවේය. එම චිත්‍ර වලට දීප්තිමත් පාට යොදාගෙන තිබිණ. තම කාර්යය නිම කළ චිත්‍රශිල්පීන් වටා විශාල සෙනඟක් රැස්වූහ. එකහඬින් ඔවුහු මෙසේ පැවසූහ. ” පාප්වරුන් සහ රදගුරු ප්‍රසාදීන් පැමිණියද ඔවුන්ට මෙම පින්තුරු මකාදැමීමට කිසිම අවස්ථාවක හෝ ඉඩකඩක් ලැබෙන්නේ නැත.” තම සිහිනය විස්තර කිරීමෙන් පසුව ප්‍රතිසංස්කරණ වාදියා මෙසේ පැවසීය: ” ක්‍රිස්තුස් වහන්සේගේ රූපය කවර දවසක හෝ මකා දැමීමට අවස්ථාවක් නොලැබෙන බව මම තරයේ ප්‍රකාශ කරමි. එම රූපය විනාශ කර දැමීමට ආගමික නායකයන් කල්පනා කළ නමුත් මට වඩා උදාර දේශනා කරුවෙකු විසින් එම රූපය සියලු හදවත් තුළ අලුතින් පින්තාරු කරනු ලබන බව සහතිකය.” [ උපුටා ගැනීම අංක 10D’Aubigne, bk1, Ch6’.].GrHSin 107.2

    අන්තිම වතාවට ජෝන් හස්ව බල මණ්ඩලය ඉදිරියට කැඳවන ලදී. එම රැස්වීම ඉතා දැකුම්කළු වූවකි. විශාල සාමාජික කණ්ඩායමක් ද පැමිණ සිටියෝය. අධිරාජ්‍යවාදී රජතුමා, රාජ්‍යයේ කුල දෙටුවන්, රාජකීය නියෝජ්‍ය නිලධාරීන්, කාදිනල්වරුන්, බිෂොප්වරුන්, සහ පූජකයන්ද රැස්වීමට සහභාගි වූවන් අතර වූහ. දවසේ සිදුවීම් නැරඹීම සඳහා විශාල ජන පිරිසක් ද සහභාගි වී සිටියෝය. හෘද සාක්ෂිය අනුව ක්‍රියා කිරීමේ නිදහස දිනා ගැනීම සඳහා වූ දීර්ඝ සටන සඳහා ජීවිත ගණනාවක් පූජා කිරීමට සිදු වන්නට තිබුණි. එම සටනෙහි මුල්ම ජීවිත පූජාව දැක ගැනීමට ක්‍රිස්තියානි රජයේ සෑම රටකින් ම පාහේ නියෝජිතයෝ පැමිණ සිටියෝය.GrHSin 108.1

    තමා ගත් තීරණය කුමක්දැයි කියා ප්‍රකාශ කිරීමට ජෝන් හස්ව බල මණ්ඩලය ඉදිරියට පමුණුවන ලදී. තමාගේ ඉගැන්වීම් අතහැර දැමීමට තමා කිසිසේත්ම එකඟ වන්නේ නැතයි ඔහු ප්‍රකාශ කළේය. ඉක්බිතිව අගරජ දෙස එක එල්ලේම බලමින් ඔහු මෙසේ කියන්ට පටන් ගත්තේය. ” මම මේ බල මණ්ඩල රැස්වීමට පැමිණියේ මාගේම තීරණය අනුවයි. මෙහි සිටින්නාවූ එම්ප්‍රදෝරු රජතුමා මට සියලුම රැකවරණ සපයා දෙන බව පොරොන්දු වුණා. එම සහතිකය කෙරේ සම්පූර්ණ විශ්වාසය තබමින් මම මෙතනට ආවා.” [ උපුටා ගැනීම අංක 11Bonnechose, Vol. II, P.84.]. සිගිස්මන්ඩ් අග රජතුමාගේ මුහුණ රතු විය. සැමගේ ඇස් ඔහු දෙසට යොමුවී තිබුණේ ය.GrHSin 108.2

    තීන්දුව ප්‍රකාශයට පත් කර තිබූ නිසා හස්ව පහත් කිරීමේ නිල කටයුතු ආරම්භ විය. බිෂොප්වරුන් විසින් ඔහුව පූජක ඇඳුමින් සරසන ලදී. පූජක ඇඳුම අතට ගත් හෙතෙම මෙසේ පැවසීය: “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇඟලා ගැනීමට දුන්නේ සුදු පාට වස්ත්‍රයකි. උන්වහන්සේට නිග්‍රහ කරන පිණිස හෙරොද් විසින් උන්වහන්සේ පිලාත් වෙතට යැවීමේදී එසේ කරන ලදී.”[ උපුටාගැනීම් අංක 12Bonnechose, Vol. II, P.86.]. ඔහුගේ ඉගැන්වීම් ඉල්ලා අස්කරගන්නා ලෙස නැවත වරක් ඔහුට උපදෙස් දෙන ලදී. ජනතාව දෙසට හැරුණු ජෝන් හස් මෙවන් ප්‍රකාශයක් කළේය: “එවැන්නක් කළහොත් මා සගය දෙස බලන්නෙ කුමන මුහුණකින් ද! පවිත්‍ර ශුභාරංචිය දේශනා කළ මට ඇහුම්කන්දුන් සෙනඟගේ මුහුණ බලන්නේ කෙසේද? එසේ නොවේවා! මරණයට තීන්දු වී තිබෙන්නා වූ මාගේ අසරණ ශරීරයට වඩා ජනතාවගේ ගැලවීම මම අගය කරමි.” ඔහු පැළඳ සිටි පූජක ඇඳුමෙහි කොටස් එකින් එක ඉවත් කළ අතර එක් එක් බිෂොප්වරයා ඔහුට ශාප කළේය. අන්තිමේ දී ඔවුහු පිරමීඩයක හැඩය ගත් තොප්පියක් හෝ ඔටුන්නක් ඔහුගේ හිස මත තැබූහ. එම තොප්පියෙහි යක්ෂයන්ගේ බියකරු පින්තූර විය. සැමටම දැන ගත හැකි පරිදි මකුටයේ ඉදිරිපස ” අග්‍ර මිත්‍යා ලබ්ධිකයා” යන වචනය තිබුණේය. ” යේසුස්වහන්ස, ඔබවහන්සේ මා වෙනුවෙන් කටු ඔටුන්නක් පැළඳ ගත් සේක. මම ඔබ උදෙසා මේ නින්දිත ඔටුන්න ඉතා ප්‍රීතියෙන් වැළඳගන්නම්” යයි ඔහු පැවසුවේය.GrHSin 108.3

    වරදට පත් කරනු ලැබූ අපරාධකරුවෙකුගේ ඇදුමින් ඔහුව සරසනු ලැබුවාට පසු පූජකයෝ ඔහුගේ ආත්මය යක්ෂයාට භාර කළහ. තමාගේ දෙනෙත් ස්වර්ගය දෙසට එසවූ ජෝන් හස් මෙසේ පැවසුවේය. “ස්වාමීනි යේසුස්වහන්ස, මම මාගේ ආත්මය ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි. මක්නිසාද යත් ඔබ වහන්සේ මට ගැළවීම ලබා දුන් සේක.”[ උපුටා ගැනීම අංක 13Wylie bk.2, Ch.7.].GrHSin 109.1

    ඉක්බිති ඔහු ව ලෞකික අධිකාරීන් වෙත භාර දෙන ලදුව නියමිත ස්ථානයට ගෙනයන ලදී. තමන්ගේ නිල ඇඳුමින් සැරසී බිෂෝප් වරු සහ පූජකයෝ ද සිය ගණනින් යුත් යුධ භටයෝ ද කොන්ස්ටන්ස්හි පුරවැසියෝ ද මහත් පෙරහරකින් ඔහු පිටුපසින් ගමන් ගත්හ. හස්ව කණුවට තබා වෙලුම් පටි යොදන ලදී. ගිනිමැලය සඳහා සියල්ලක්ම සූදානම් ව තිබුණේ ය. ගිනි අවුලා ලීමට පෙර ඔහුගේ තීරණය වෙනස් කරගන්නා ලෙස ඔහුට තවත් අවස්ථාවක් දෙනු ලැබීය. මාගේ වැරදි අත්හැර දමන බව ප්‍රකාශ කිරීමෙන් මරණින් ගැලවී යාමේ මගක් ඔහුට ලබාදෙන ලදී. ” වැරදි, මොන වැරදිද?යි, හස් ප්‍රශ්න කළේය. ” අත්හැර දැමීමට මා කළ වැරැද්දක් මට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මම කිසිම වැරැද්දකට වරදකරුවෙකු වන්නේ නැහැ. මා ලියූ ලිපි ලේඛන, මා දෙසූ දහම් සියල්ලෙහි ඒකායන අරමුණ වූයේ පව්කාරයන් පාපයෙන් සහ නරකාදියෙන් ගලවා ගැනීමයි. මේ බව සාක්ෂි දැරීමට මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මා විසින් රචිත, දේශනා කළ සත්‍යතාව සනාථ කරමින් මම ඒවාට මාගේ ලේවලින් මුද්‍රා තබමි.”[ උපුටා ගැනීම් අංක 14Wylie bk.2, C].GrHSin 109.2

    ගින්න ඔහු අවට පැවති විට ඔහු මෙසේ ගායනා කරන්නට විය: “දාවිත්ගේ පුත්‍ර වූ යේසුස්වහන්ස, මා ගැන අනුකම්පා කළ මැනව.” ඔහුගේ කටහඬ සදහටම නිශ්චල කරනු ලබන තුරුම ඔහු මෙසේ ගායනා කළේය.GrHSin 109.3

    ඔහුගේ වීරවන්ත ස්වභාවය ගැන ඔහුගේ සතුරෝ පවා තැති ගත්හ. හස්ගේ වේද සාක්ෂික මරණයද ඊට ස්වල්ප කලකට පසුව මරනු ලැබූ ජෙරොම්ගේ මරණයද දුටු උද්යෝගිමත් පාප් සභිකයෙක් ඒවා විස්තර කරමින් මෙසේ පැවසුවේය: “ඔවුන්ගේ අවසාන පැය ආසන්න වූ විට ඔවුන් දෙදෙනාම ස්ථිර මනසකින් යුතු ව සිටියහ. ගින්නට ගොදුරු වීමට ඔවුන් සූදානම් වූයේ විවාහ මංගල්‍යයකට යන අන්දමින් ය. ඔවුහු වේදනාවේ ශබ්දයක් නිකුත් නො කළහ. ගිනි දලු නැග ආ විට ඔවුහු ගීත ගායනා කළහ. ගින්නේ බලයට පවා ඔවුන්ගේ ගායනය නැවැතීමට නුපුළුවන් විය”.GrHSin 109.4

    හස්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම පිළිස්සී ගිය විට ඔහුගේ අළුද ඒ අළු යට තිබුණා වූ පස් ද එකතු කර රයින් ගංගාවට දමන ලදී. මෙසේ ඒවා මහා සාගරයට ගෙන යන ලදී. ඔහු ඉගැන්වූ සත්‍යයන් සහමුලින්ම ඉවත්කර දැමීමට තමාට පුළුවන් වූයේ යැයි ඔහුට පීඩා කළා වූ අය නිශ්ඵල කල්පනා කළහ. මහා සාගරයට යොමුකරන ලද ඔහුගේ අළු, ලෝකයේ සියලු රටවල පැතිරී යන්නා වූ බීජ මෙන් වන බව ඔවුහු සිහිනෙන් පමණවත් කල්පනා නොකළහ. එවකට සත්‍ය නොදැන සිටියා වූ රටවල පවා ඒවා සත්‍ය උදෙසා මහත් සාක්ෂියක් වන බව ඔවුහු කල්පනා නොකළහ. කොන්ස්ටන්ස්හි වූ බල මණ්ඩලයේ දී කතා කළ හඬ ඉදිරි කාලය මුළුල්ලේම ශබ්ද වන දෝංකාරයක් පිබිද වීය. හස් මරණයට පත් විය; එහෙත් ඔහු යම් සත්‍යයන් උදෙසා මරණයට පත්වූයේ ද, ඒවා කිසි විටෙක නැතිවන්නේ නැත. ඇදහිල්ල හා ස්ථිරතාවය ගැන ඔහු දැක් වූ ආදර්ශය බොහෝ දෙනාට, පීඩාවන් හා මරණයේ ඉදිරියේ පවා සත්‍ය උදෙසා ස්ථිරව සිටීමට දිරි ගැන්වීමක් වනවා ඇත. ඔහුව මරණයට පත් කිරීම මුළු ලෝකයටම දැක්වූයේ රෝමයේ කෲර ක්‍රියාකාරීත්වය. සත්‍යය සතුරෝ, නොදැනුවත්වම, ඔවුන් විනාශ කිරීමට උත්සාහ කළා වූ සේවයම ඉදිරියටම ගෙන යන්නන් වූහ.GrHSin 110.1

    මරණීය දණ්ඩනය කොන්ස්ටන්ස්හිදී නැවත ක්‍රියාත්මක කරනු ලැබිය යුතු විය. තවත් සාක්ෂිකරුවෙකුගේ රුධිරය සත්‍ය උදෙසා ඉදිරිපත් වන්නට තිබුණි. ජෙරොම් ඒ මණ්ඩලයේ රැස්වීමට ඉදිරිපත් වීමට පිටත්ව ගිය විට ඔහු හස් ගෙන් සමුගෙන, ස්ථිරව සිටීමට ඔහුට දිරි දුන්නේ ය. ඔහුට යම් කරදරයක් ඇති වුවහොත් තමා ඔහුට සහාය වීමට ඉක්මණින් පැමිණෙන බව ඔහු පැවසුවේය. සිරභාරයට ගනු ලැබීමේ ප්‍රවෘත්තිය ඇසූවිට මේ විශ්වාසවන්ත ගෝලයා ඒ ක්ෂණයේම තමාගේ පොරොන්දුව සම්පූර්ණ කිරීමට සූදානම් විය. ආරක්ෂාව ස්ථීර කරන සහතිකයක් නොමැතිවම ඔහු එක් තැනැත්තෙකු සමග කොන්ස්ටන්ස්ට යන්න පිටත් විය. එහි ළඟා වූ විට ඔහුට පෙනී ගියේ හස්ව බේරාගැනීමට තමාට කිසිවක් කළ නොහැකි බවත්, එහි යාමෙන් තමාද අන්තරාය අභිමුඛයට තමාව පමුණුවා ගත් බවත්ය. ඔහු ඉක්මනින්ම නගරයෙන් පලාගිය නමුත් තම නිවස වෙත යන ගමනේදී ඔහුට විලංගු දමා ඔහුව ආපසු ගෙන එන්නට යෙදුණේ සොල්දාදුවන් කාණ්ඩයක රැකවරණය ද ඇතිවය. ඔහුව ඒ සභාව ඉදිරියට ගෙන යනු ලැබූ පළමුවන වතාවේදී ඔහුට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට ප්‍රතිචාරය දීමට ඔහු සූදානම් වූ විට, “ඔහුව ගින්නට දමන්න. ගින්නට දමන්න” යන ඝෝෂාවක් පැවතුණි. ඔහුව අඳුරු සිරකුටියක දමා පාන් සහ වතුර පමණක් ඔහුට දෙන ලදී. මෙය ඔහුට මහත් පීඩාවක් විය.GrHSin 110.2

    මාස කිහිපයක් ගත වූ විට ඒ සිරකුටියේ කෲර තත්ත්වය මගින් ජෙරොම් අසනීප විය. ඒ අසනීපය ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය. ඔහු තව අවුරුද්දක් හිරගෙයි සිටි නමුත්, ඔහු තමා වෙතින් බේරෙනවා යන බියෙන් ඔහුගේ සතුරෝ ඔහුට එපමණ තදින් ක්‍රියා කිරීම නැවැත්වූහ. හස්ගේ මරණයෙන් පාප් සභිකයන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ඇති නොවීය. ඔහුට රැකවරණය දෙන බවට දෙන ලද සහතිකය අනුව ක්‍රියා නොකිරීම ගැන මහත් කෝපයක් ඇති වුණි. වඩා ආරක්ෂා සහිත ක්‍රියා පිළිවෙලක් අනුව ක්‍රියා කිරීමට තීරණය කරගත් බල මණ්ඩලය ගින්නට ජෙරොම් දමනවා වෙනුවට තමා පැවසූ සත්‍යයන් ඉල්ලා අස්කර ගන්නට ඔහුට බල කිරීමට ඔවුහු තීරණය කළහ. ඔහුව ඒ මණ්ඩලය ඉදිරියට පමුණුවන ලදී. තමා පැවසූ කරුණු ඉල්ලා අස්කර ගැනීම නැතහොත් ඒ කනුවට බැඳ මරනු ලැබීම තෝරාගැනීමේ හැකියාව ඔහුට ඉදිරිපත් කරන ලදී.මෙතෙක් ඔහුට විඳින්නට සිදු වූ පීඩාවන් හා සමාන කළ විට, ඔහුව හිර අඩස්සි කිරීමේ ආරම්භයේදීම ඔහු මරණයට පත් කරනු ලැබුවේ නම්, එය ඔහුට දයාන්විත ක්‍රියාවක් වනවා ඇත. නමුත් දැන් අසනීප තත්ත්වයෙන්ද හිරගෙයි සිටියදී දෙන ලද දරුණු පීඩා මගින් ද, ඔහු දුර්වල ව සිටියේය. කනස්සල්ලෙන් හා අනාගතය ගැන අනුමානයෙන්ද, තම මිත්‍රයන්ගෙන් වෙන් කරනු ලැබීමෙන් ද හස් ගේ මරණයෙන් ද අධෛර්යයට පත් ව සිටි ජෙරොම් මේ මණ්ඩලයට යටත් වීමට එකඟ විය. කතෝලික සභාවේ ඇදහිල්ල අනුව ක්‍රියා කිරීමට ඔහු එකඟ විය. හස් හා වික්ලිෆ් ඉදිරිපත් කළා වූ ‘ශුද්ධ වූ සත්‍යයන්ට’ අමතරව ඔවුන් ඉගැන්වූ ධර්මයන් වරදට පත් කිරීමට ඒ මණ්ඩලය ගත් තීරණය පිළිගැනීමට ඔහු කැමැති විය. GrHSin 111.1

    මේ ක්‍රියාව මගින් හෘද සාක්ෂියේ හඬ නිශ්චල කරමින් ඒ බියකරු ඉරණමින් ගැලවීමට ජෙරොම් උත්සාහ කළේය. නමුත් ඔහු තනිව සිරකුටියට ගෙන යනු ලැබූ විට, තමා කළේ කුමක්ද යන්න ඔහුට පැහැදිලි විය. ඔහු හස්ගේ ධෛර්යය හා විශ්වාසවන්තකම ගැන ද තමා සත්‍යයට විරුද්ධව ක්‍රියා කළා වූ අන්දම ගැන ද කල්පනා කළේය. සත්‍යයන් ඉල්ලා අස්කර ගැනීමට පෙර ඔහුට තිබුණා වූ ඒ සියලු පීඩාවලදී පවා ඔහුට, දෙවියන්වහන්සේ තමා පිළිගත් සේක යන සැනසිල්ල තිබුණි. නමුත් දැන් පසුතැවිල්ල හා අනුමාන ඔහුගේ ආත්මයට පීඩා කරන්නට විය. රෝමය සහ සාමය ඇති කර ගැනීමට පෙර තමා විසින් වෙනත් ප්‍රකාශයන්ද ඉල්ලා අස්කර ගත යුතු බව ඔහු දැන ගත්තේය. ඔහු දැන් ඇතුලු වූ මේ මාවත අවසන් වන්නේ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් ඈත්වීමෙන් බව ඔහු දැන ගත්තේය.සුළු කාලයකට පීඩා විඳීමෙන් මිදෙන පිණිස තමාගේ ස්වාමීන්වහන්සේ එපා නොකිරීමට ඔහු තීරණය කරගත්තේ ය.GrHSin 111.2

    ඉක්මනින්ම ඔහු නැවත මණ්ඩලය ඉදිරියට ගෙන එන ලදී. ඔහුගේ යටත් විම ගැන එහි විනිශ්චකරුවන් සෑහීමට පත්වූයේ නැත. හස් ගේ මරණයෙන් පුහුණුව ලැබූ ලේ පිපාසාව නව ගොදුරක් ලබා ගැනීමට ආශා විය. ජෙරොම්ට ඔහුගේ ජීවිතය ගලවා ගැනීමේ හැකියාවක් පැවතියේ සත්‍ය සම්පූර්ණයෙන් එපා කිරීමෙන් පමණය. නමුත් ඔහු දැන් තීරණය කරගෙන තිබුණේ ඇදහිල්ලට ස්ථිරව සිටිමින් තම වේද සාක්ෂික සහෝදරයා මෙන් ගින්නට ගොදුරු වීමට ය.GrHSin 112.1

    ඔහු තමා මීට පෙර සත්‍යයට විරුද්ධව පැවසූ වචන දැන් ඉල්ලා අස් කර ගනිමින්, ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහුගේ වචන වලින් ඈත් විය හැකි අනුබලය ගැන බිය වූ පූජ්‍ය නායකයන් කියා සිටියේ ඔහු විසින් තමාට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනාවන් වැරදි බව හෝ නිවැරදි බව පමණක් පැවසිය යුතු බවය. ජෙරෝම් එබඳු කෲර අසාධාරණත්වයට විරුද්ධ විය. ඔහු මෙසේ පැවසුවේය: ” ඔබ සැම දින තුන්සිය හතලිහක් මුළුල්ලේ මා භයානක සිරකුටියක වසා තැබුවහුය. එය ඉතා අපිරිසිදු, දුගන්ධයෙන් යුත්, නිශ්චලතාවයෙන් තොර, අඩුපාඩු වලින් පිරී ගිය ස්ථානයක් විය. ඔබ මා මෙහි ගෙනැවිත්, මා මරණයට පත් කිරීමට සූදානම්ව සිටින මාගේ සතුරන්ට සවන් දෙන නමුත් මට ඇහුම්කන් දීමට අකමැති වෙති. ඔබ ප්‍රඥාවන්ත අය නම්, ලෝකයේ ආලෝකය වන්නාහු නම්, යුක්තියට විරුද්ධව පවු නොකිරීමට ප්‍රවේසම්වන්න. මම මරණීය ශරීරයක් ඇති දුර්වල මනුෂ්‍යයෙක් වෙමි. මාගේ ජීවිතය එපමණ වැදගත් නොවේ. යුක්ති සහගත තීරණයක් නොගැනීම ගැන මා ඔබට අවවාද කරන විට මා කතා කරන්නේ මගේම ප්‍රයෝජනයට වැඩියෙන් ඔබගේම ජීවිත වලට යහපත පැමිණෙන පිණිසය.” GrHSin 112.2

    අවසානයේදී ඔහුගේ ඉල්ලීම පිළි ගනු ලැබීය. ඔහුගේ විනිශ්චයකරුවන් ඉදිරිපිටම ඔහු දණ ගසා යාච්ඤා කරමින්, දිව්‍ය ආත්මයාණන් වහන්සේ තමාගේම සිතිවිලි හා වචන පාලනය කරමින් සත්‍යයට විරුද්ධව කිසිවක් නොපැවසීමටද තමාගේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සුදුසු නොවන්නාවූ කිසිවක් නොපැවැසීමටද තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටියේය. යේසුස්වහන්සේ තමාගේ මුල් ගෝලයන්ට දුන්නා වූ පොරොන්දුව එදින ඔහු උදෙසා සම්පූර්ණ විය. ඒ මෙසේය: “... නුඹලා මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙන යනු ලබනවා ඇත. නමුත් ඔවුන් නුඹලා පාවාදෙන කළ, නුඹලා කතා කරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කණගාටු නොවන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේ දී නුඹලාට දෙනු ලබන්නේ ය. මක්නිසාද කතාකරන්නෙ නුඹලා නොව නුඹලා තුළ කතා කරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.” (මතෙව් 10:18-20) ජෙරම්ගේ වචන අගය කරනු ලැබූ අතර ඒවායින් ඔහුගේ සතුරන් තුළ පවා මහත් විස්මයක් ඇතිවිය. වසරක් මුළුල්ලේම ඔහු අඳුරු කුටියක සිර කරනු ලැබ කියවීමට හෝ යමක් දැකීමට පවා නො පුළුවන් තත්ත්වයක සිටියේය. එහිදී ඔහුට මහා ශාරිරික පීඩනයක් හා මානසික කනස්සල්ලක් පැවතුණි. එහෙත් දැන් ඔහුගේ තර්කයන් ඉදිරිපත් කරනු ලැබුවේ කොපමණ මහත් බලයකින් හා පැහැදිලි ස්වභාවයකින් ද යත් එසේ වූයේ ඔහුට බාධාවකින් තොරව කරුණු සූදානම් කර ගැනීමට අවස්ථාවක් තිබුණා සේය. ඔහු තමාට සවන් දෙන්නන් යොමු කළේ අයුක්ති සහගත විනිශ්චයකරුවන් විසින් වරදට පත් කරන්නට යෙදුනා වූ ශුද්ධවූ මනුෂ්‍යයන් දෙසටය. යම් අය මනුෂ්‍යයන්ගේ ජීවිත නගාලීමට උත්සාහ කළ නමුත් නින්දා කරනු ලැබ පිටමන් කරනු ලැබූ මනුෂ්‍යයෝ සෑම පරම්පරාවක ම සිටියහ. ඔවුන්ට ගරු කරනු ලැබිය යුතු බව පසුකාලයේදී එළිදරව් විය. ක්‍රිස්තුස්වහන්සේ පවා අධර්මිෂ්ඨ නායකයන් විසින් අපරාධකරුවෙකු ලෙස වරදට පත් කරනු ලැබූ සේක.GrHSin 112.3

    ඔවුන්ට අවනත වූ අවස්ථාවේ දී පවසා තිබුණේ හස්ට දෙන ලද තීරණය සාධාරණ බවය. එසේ පැවසීම ගැන තමා පසුතැවිලි වන බව දැන් පැවසූ ඔහු ඒ වේද සාක්ෂිකයාගේ අහිංසක ශුද්ධ භාවය ගැන මෙසේ සාක්ෂි දැරුවේය. “ළමා වියේ සිටම මම ජෝන් හස්ව දැනගෙන සිටියෙමි. ඔහු ඉතා අනර්ඝ, යහපත්,ශුද්ධ මනුෂ්‍යයෙක් විය. ඔහු අහිංසක වූ නමුත් ඔහුව වරදට පත් කරන ලදී. ... මමද දැන් මරණයට සූදානම්ව සිටිමි. මාගේ සතුරන් හා බොරු සාක්ෂි කරුවන් මා උදෙසා සූදානම් කරන්නා වූ වධ හිංසාවන් ගැන මම නොපැකිලෙමි. එක් දවසක ඔවුන්ට අපගේ අති උත්තම දෙවියන්වහන්සේ ඉදිරිපිට මේ සියල්ල ගැන ගණන් දෙන්නට සිදුවනවා ඇත. කිසිවකින් උන්වහන්සේ වීමට නුපුළුවන.”GrHSin 113.1

    තමා සත්‍යයට විරුද්ධව කතා කිරීම ගැන තමාටම දොස් පවරාගනිමින් ජෙරොම් තවදුරටත් මෙසේ පැවසුවේය: “මාගේ යෞවන කාලයේ පටන් මා කර තිබෙන්නා වූ සියලු පාපයන් අතරින් මාගේ සිතට ඉතා මහත් බරක් තිබෙන්නේ ද, මා ඉමහත් පසුතැවිල්ලට පමුණුවන්නේ ද මේකය. එනම්, වික්ලිෆ්ටද, ශුද්ධවූ වේද සාක්ෂිකයෙක් හා මගේ ස්වාමියා ද වූ ජෝන් හස්ටද විරුද්ධව පවසන ලද තීරණයන් හා එකඟත්වය ප්‍රකාශ කරමින් මා කළාවූ වරද, මා කර තිබෙන අන් සියලු වරදිවලට වඩා ලොකුය. එසේය මම මාගේ මුළු සිතින් ඒ වරද කියා දෙමි. මා මරණයට නියම කරනු ලබනවා ඇත යන බියෙන් මා නින්දිත ලෙස ඒ වරද කළ බව මම මහත් අප්‍රසන්නතාවයෙන් පවසමි. මම ඔවුන්ගේ ඉගැන්වීම් වරදට පත් කළෙමි. එහෙයින් මාගේ මේ පාපයන්ට සමාව දෙන ලෙස විශේෂයෙන්ම මේ ඉමහත් පාපයට කමාව දෙන ලෙස මම මහෝත්තම උතුම් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමි.”GrHSin 114.1

    විනිශ්චයකාරයන් දෙස අවධානය යොමු කරමින් ඔහු ස්ථිර ස්වරයෙන් මෙසේ පැවසුවේය: ” ඔබ වික්ලිෆ්ව වරදට පත් කළේ සභාවේ ඉගැන්වීම් සෙලවූ නිසා නොව, පූජකයන්ගේ ක්‍රියාවන් වරදට පත් කළ නිසාය, ඔවුන්ගේ උදාරම හා අහංකාරය ද ඔවුන්ගේ සියලු වැරදි ක්‍රියාවන් ද වරදට පත් කළ නිසාය. මමද ඔවුන් හා එකඟ වෙමින් ඔවුන් කළ ප්‍රකාශන හරි යයි පවසමි.”GrHSin 114.2

    ඔහුට තවදුරටත් කථා කිරීමට ඉඩ නොදෙන ලදී. පූජකයෝ හා නායකයෝ කෝපයෙන් වෙව්ලමින් මෙසේ පැවසූහ: ” අපට තවදුරටත් කිසි ඔප්පු සාක්ෂියක් උවමනා නැත. මේ ඉතාම මුරණ්ඩු ද්‍රෝහියා ඉවත් කරමු.”GrHSin 114.3

    මේ කුණාටුව ගැන චංචල නොවී ජෙරොම් මෙසේ පැවසුවේය: “මා මරණයට බිය වන්නේමැයි නුඹලා සිතනවාද?නුඹලා වසරක් මුළුල්ලේ හිරකර තැබූ ඒ අඳුරු කුටිය මරණයට පවා භයංකාර විය. තුර්කියේ වැසියෙකුට, යුදෙව්වෙකුට හා අන්‍යජාතිකයෙකුට සලකනවාට වඩා පූර්ණ ලෙස නුඹලා මට සලකා තිබේ. මා ජීවත්ව සිටියදීම මාගේ මාංශ ඇටකටු මත කුනු වෙන තරම් විය. එහෙත් මා ඒවා ගැන නොකොඳුරමි. කුමක්හෙයින්ද යහපත් හදවතක් හා ආත්මයක් ඇති තැනැත්තෙක් වැලපීම නුසුදුසුය. එහෙත් ක්‍රිස්තු භක්තිකයකු ට මෙපමණ කෲර ලෙස සැලකීම ගැන මා පුදුමයට පත්වන බව නොපවසා සිටීමට මට නුපුළුවන.”GrHSin 114.4

    කෝපාකූලත්වයේ කුණාටුව නැවතත් කඩා හැළුණි. ඉක්මනින්ම ජෙරෝම්ව සිරකුටියට යවන ලදී. එහෙත් ඒ මණ්ඩලයේ සිටියා වූ සමහර අයගේ සිත් වලට ඔහුගේ වචන කාවැදී ගියෙන් ඔහුගේ ජීවිතය බේරා දීමට ඔවුහු ආශා වූහ. සභාවේ සමහර නායකයෝ ඔහු බැහැදැකීමට ගොස් ඒ මණ්ඩලයේ අදහස් වලට එකඟ වන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියහ. රෝමයට ඔහු තුළ තිබුණා වූ විරුද්ධතාවය ඉවත් කරන්නේ නම් ඒ ගැන දීමනාවක් වශයෙන් ඔහුට දීප්තිමත් අනාගතයක් දෙන බවට ඔවුහු පොරොන්දු වූහ. නමුත් ඔහුගේ ස්වාමීන්වහන්සේ මෙන්ම ඔහු ද, ලෝකයේ තේජස ඔහුට පුද කරනු ලැබූ විට ස්ථීරව සිටියේය.GrHSin 115.1

    “මා වරද කරන බව ශුද්ධ වූ ලියවිලි වලින් ඔප්පු කරන්න; එවිට මම යටත් වෙන්නෙමි”යි ඔහු පැවසුවේය.GrHSin 115.2

    ඔහුට විරුද්ධ ව සිටියා වූ කෙනෙක් මෙසේ පැවසුවේය: ” ශුද්ධ ලියවිලි! අප සෑම දෙයක්ම ඒවා අනුව විනිශ්චය කරනු ලැබිය යුතුද? සභාව ඒවා විස්තර කරන අන්දම අනුව මිස ඒවා වටහා ගැනීමට පුළුවන් කාටද?”GrHSin 115.3

    “අපගේ ගැලවුම්කාරයාණන්ගේ ශුභාරංචියට වැඩියෙන් මනුෂ්‍යයන්ගේ නියෝග අපගේ ඇදහිල්ලේ පදනම විය යුතුද? පාවුල් තමාගේ ලියවිලි වලට සවන් දෙන්නන්ට අවවාද කළේ මනුෂ්‍යයන්ගේ නියෝග වලට සවන්දීමට නොවේ. ” ශුද්ධ ලියවිලි සොයන්න” යි ඔහු පැවසුවේය” යි ජෙරෝම් කියා සිටියේය.GrHSin 115.4

    ” මිත්‍යා ලබ්ධිකයා” යන ප්‍රතිචාරය නිකුත් විය. ” මා මෙතෙක් නුඹට ආයාචනය කිරිම ගැන කණගාටු වෙමි. යක්ෂයා නුඹ පොලඹන බව මට පෙනේ” යයි ඔහුට විරුද්ධව පවසන ලදී.GrHSin 115.5

    ඉක්මනින්ම ඔහුට විරුද්ධව නියමයක් නිකුත් කරන ලදී. හස් ඔහුගේ ජීවිතය පූජා කළා වූ ස්ථානයට ජෙරෝම්වද ගෙන යන ලදී. ඔහු ගීතිකා කරමින් ගමන් ගත්තේය; ඔහුගේ මුහුණ සාමයෙන් හා ප්‍රීතියෙන් ආලෝකමත් විය. ඔහුගේ නෙත් ක්‍රිස්තුස් වහන්සේ දෙස ම යොමු විය; ඔහුට තවදුරටත් මරණය ගැන බියක් නොපැවතුණි. ඒ ස්ථානයට ගිනි දල්වන පිණිස විධායක නිලධාරියා ඔහුට පිටුපසින් සිටගත් විට මේ වේද සාක්ෂිකයා මෙසේ පැවසුවේය: ” බිය නැතිව ඉදිරියට එන්න. මාගේ මුහුණ ඉදිරිපිට ගිනි දල්වන්න. මා බියපත් වූයේ නම් මම අද මේ ස්ථානයේ නොසිටිමි.”GrHSin 115.6

    ගිනි දැල් ඔහු මත නගින්නට වූ විට ඔහුගේ අවසාන වචන වූයේ යාඥාවකි. ඔහු මෙසේ ඉල්ලා සිටියේ ය: ” අති උත්තම පිය වූ ස්වාමීන් වහන්ස, මා ගැන අනුකම්පා කරමින් මාගේ පාප වලට කමාව දුන මැනව.මා සැමවිටම සත්‍යයට ප්‍රේම කළ බව ඔබ වහන්සේ දන්නා සේක.” ඔහුගේ කටහඬ නැවතුණි. එහෙත් ඔහුගේ තොල් තවදුරටත් යාච්ඥාවෙන් සෙලවුණි.GrHSin 116.1

    ගින්නේ වැඩය නිම වූ විට මේ වේද සාක්ෂිකයාගේ අළු ඒවා යටින් වූ පස ද සමග එකතු කර, හස්ගේ අළු මෙන්ම, රයින් ගඟට විසි කරන ලදී. ස්වාමීන්වහන්සේගේ ආලෝකය දරන්නෝ මේ අන්දමට මරණයට පත්වූහ. නමුත් ඔවුන් ප්‍රකාශ කළා වූ සත්‍යයේ ආලෝකයද ඔවුන්ගේ වීර භාවයේ ආලෝකයද නිවා දැමීමට නුපුළුවන් විය. මනුෂ්‍යයන්ට සූර්යයාගේ ගමන ආපසු හැරවීමට නුපුළුවන් වන්නාසේම, එවිට ලෝකය මත උදා වෙමින් තිබුණාවූ ඒ දවසේ උදා වීම වැලැක්වීමට මනුෂ්‍යයන්ට නුපුළුවන් විය.GrHSin 116.2

    හස් මරණයට පත් කිරීම නිසා බොහිමියාවේ මහත් කෝපය හා අප්‍රසන්නතාවය ක ගිනි දැල්ලක් ඇවිලුණි. ඔහු පූජකයන්ගේ දුෂ්ට කමටද රජුගේ රැවටිලිකාරකමටද ගොදුරු වූයේ යයි මුළු ජාතියම කල්පනා කළහ. ඔහු සත්‍ය විශ්වාසවන්ත ලෙස ඉගැන්වූ ගුරුවරයෙක් වූ බව පවසන ලදී. ඔහු මරණු ලැබීමට නියම කළ මණ්ඩලය මිනීමැරුම ගැන වරදකාරයන් බවට චෝදනා කරන ලදී. ඔහු ඉගැන්වූ ධර්මයන්ට දැන් පෙරට වැඩියෙන් අවධානය යොමු විය. පාප්ගේ නියමයන් මගින් ඔහුගේ ලියවිලි පුළුස්සා දමන ලදී. නමුත් දැන්, විනාශ කරනු නොලැබූ ලියවිලි ඒවා සඟවා තිබුණු ස්ථාන වලින් පිටතට ගෙනවුත්, ලබාගත හැකි වූ කොටස් බයිබලයට සම්බන්ධ කර ඉගෙන ගන්නා ලදී. මෙසේ බොහෝ අය ප්‍රතිසංස්කරණය කරන ලද ඇදහිල්ල පිළිගැනීමට මඟ පෙන්වනු ලැබූහ.GrHSin 116.3

    හස්ව මැරුවා වූ අය නිශ්චලව සිටගෙන ඔහුගේ ඉගැන්වීම් ජනග්‍රාහක වෙනවා බලා සිටීමට සූදානම් ව නොසිටියහ. පාප්ද රජතුමා ද ඒ ක්‍රියාවන් විනාශ කිරීමට සූදානම්ව සිටියහ. ඔවුහු සිගිස්මන්ඩ්ගේ හමුදාව බොහිමියාවට පිටත් කර ඇරියහ.GrHSin 116.4

    නමුත් ඔවුන් මුදාලන පිණිස කෙනෙක් නැගිටුවන ලදී. යුද්ධය පටන් ගැනීමේදී සම්පූර්ණයෙන්ම අන්ධ බවට පත්ව සිටියාවූ සිස්කා ඔහුගේ කාලයේ සිටියා වූ ඉතා දක්ෂ හමුදා නායකයෙක් විය. ඔහු බොහිමියාවේ වැසියන්ගේ නායකයා විය. දෙවියන් වහන්සේගේ උපකාරය කෙරෙහි විශ්වාසය තබමින්ද, ඔහුගේ පක්ෂය ධර්මිෂ්ඨව සිටි බව විශ්වාස කරමින් ද බොහිමියන්වරු ඔවුන්ට විරුද්ධව යවන ලද ඉතා බලවත් හමුදාවට විරුද්ධව නැගී සිටියහ. රජතුමා නැවතත් හමුදාව පණ ගන්වමින් බොහිමියාවට පහරදුන් නමුත් ඔවුහු නින්දිත ලෙස පරාජය කරනු ලැබූහ.හස්ගේ අනුගාමිකයෝ මරණයට බිය නොවූහ; ඔවුන්ට විරුද්ධ ව සිටීමට කිසිවකට නුපුළුවන් විය. යුද්ධය ආරම්භ වීමට වසර ස්වල්පයකට පසුව නිර්භීත සිස්කා මැරුණි. නමුත් ප්‍රොකොපියස් ඔහුගේ ස්ථානය ගත්තේය. ඔහුද සිස්කා තරමටම නිර්භීත දක්ෂ හමුදා නිලධාරියෙක් වූ අතර ඔහු වඩාත් දක්ෂ නායකයෙක් විය.GrHSin 116.5

    අන්ධ නායකයා මැරුණා වූ බව දුටු බොහිමියාවේ සතුරෝ දැන් තමාට නැති වූ දෙය ලබා ගැනීමට අවස්ථාවක් පැමිණියේ යැයි කල්පනා කළහ. පාප් දැන් හස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කලෙන් බලවත් යුදහමුදාවක් බොලිවියාවට යවන ලදී. නමුත් ඔවුහු ද පරාජයට පත් වූහ. තවත් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. යුරෝපයේ රෝම සභාවට අයිති වූ සියලු රටවල, මනුෂ්‍යයන්ද, මුදල් ද, අවි ආයුධද රැස් කරන ලදී. සභාවෙන් ඉවත් ගියා වූ හස්ගේ අනුගාමිකයන් අවසාන කරනු ලබන්ට පුළුවනැයි කල්පනා කරමින් බොහෝ මනුෂ්‍යයෝ පාප්ගේ පක්ෂයට යොමුවූහ. තමාට ජයග්‍රහනය ලැබෙන බව ස්ථිර යයි කල්පනා කරමින් මහත් හමුදාවක් බොහිමියාවට ගියහ. බොහිමියාවේ ජනයා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් වූහ. හමුදාවන් දෙක ඔවුනොවුන්ට ළඟා වූ විට ඔවුන්ට මැදින් පැවැතියේ ගංගාවක් පමණය. සතුරු හමුදාවේ සංඛ්‍යාව ඉතා මහත් වූ නමුත්, එඩිතර ලෙස හස්ගේ අනුගාමිකයන්ට පහර දෙනවා වෙනුවට ඔවුහු තුෂ්නිම්භූතව, නිශ්චලව ඔවුන් දෙස බලා සිටියහ. එවිට ඒ සේනාව කෙරෙහි මහත් බියක් ඇති විය. කිසි පහරක් නොදී ඒ මහත් හමුදාව විසිර ගියේ අදෘශ්‍යමාන බලයක් ඔවුන් විසුරුවා හැරියාක් මෙනි. ඔවුන් පසුපස ගියා වූ බොහිමියානු හමුදාව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විනාශ කළහ. ජයග්‍රහක වූ මේ අයට මහත් වස්තු සම්භාරයක්ද ඔවුන්ගෙන් ලැබුණි. මෙසේ ඒ යුද්ධයෙන් දුගී බවට පත් වෙනවා වෙනුවට එය බොහිමියන් ජනයා සාරවත් කළේය.GrHSin 117.1

    වසර ස්වල්පයකට පසුව, අලුත් පාප් වරයෙක් යටතේ තවත් ව්‍යාපාරයක් අරඹන ලදී. පෙරදී මෙන්ම, පාප් බලයට යටත් වූ යුරෝපීය රටවලින් මනුෂ්‍යයන්ද මුදල්ද එක්රැස් කරන ලදී. මේ අන්තරාදායක ව්‍යපාරයට සම්බන්ධ වන්නා වූ අයට බොහෝ පෙළඹීම් ද ඉදිරිපත් කරන ලදී. මේ යුද්ධයට සහභාගී වූ සෑම භටයාගේ ම ඉතාම නරක පාප වලට පවා කමාව දෙන බවට පොරොන්දුවෙන ලදී. යුද්ධයේදී මරණයට පත් වන සියල්ලන්ට ස්වර්ගයේදී මහත් විපාක දෙනු ලබන බවද පවසන ලදී. මරණයෙන් බේරෙන අයට යුද්ධ භූමියේ දීම ගෞරවය හා වස්තුව ලැබෙන බවද පවසන ලදී. මෙවරද මහත් හමුදාවක් එක්රැස්වී බොහිමියාවට ඇතුළු වූහ. හස්ගේ අනුගාමිකයන් ගෙන් යුක්තවූ හමුදාව ඔවුන් ඉදිරියේ සිට පසුපසට යමින් පසුබසින්නට වූයෙන් සතුරු හමුදාව වැඩි වැඩියෙන් රට ඇතුලට ගියේ තමාට ජයග්‍රහණය අත් වූ බව විශ්වාස කරමිනි. අවසානයේ දී ප්‍රොකෝපියස්ගේ හමුදාව සතුරු හමුදාවට මුහුණ දෙමින් ඔවුන් හා යුද්ධ කිරීමට ඉදිරියට ගියහ. සතුරු හමුදාව තමා වරදක් කළ බව වටහා ගෙන ඔවුන්ගේම කඳවුරට වී ඒ හමුදාව එනතුරු බලා සිටියහ.හස්ගේ අනුගාමිකයන්ගේ හමුදාව දර්ශනය කිරීමට පෙර, හමුදාවක් පැමිණීමේ ශබ්දය ඔවුන්ගේ සවනට යොමු වූයෙන් ඒ විරුද්ධ හමුදාව මහත් බියට පත් විය. කුමාරවරුද, හමුදා නායකයෝද, සාමාන්‍ය සොල්දාදුවෝ ද ය තමාගේ ආයුධය පසෙකලමින් ඒ මේ අත පැන ගියහ. පාප්ගේ නායකයා බියට පත්වූ අවුල් වියවුල් වූ ඒ හමුදාව එක්කිරීමට නිශ්ඵලයේ වෙහෙසුණේය. ඔහු කොපමණ උත්සහ කළා වුවද, ඔහු ද ඔවුන් සමග ඉවතට ඇදී ගියේය. ඔවුහු සහමුලින්ම ඉවත් ව ගියහ. නැවත වරක් මහත් ධන සම්පතක් ජයග්‍රහක වූවන්ට අත් විය.GrHSin 117.2

    මෙසේ දෙවන වරටත්, යුරෝපයේ ඉතාම බලසම්පන්න ජාතීන් විසින් එවන ලද මේ හමුදාව, නිර්භීත, යුද්ධ භටයන් වු මේ මනුෂ්‍යයෝ, යුද්ධයට පුහුණු කරනු ලැබ, අවිආයුධ රැගෙන සිටි මේ හමුදාව, එක පහරක් පමණවත් නොදී පලා ගියේ කුඩා දුර්වල ජාතියකගේ ආරක්ෂකයන්ගෙන් ගැලවෙන පිණිස ය. මෙහිදී දිව්‍ය බලය ප්‍රකාශ විය. මේ යුද්ධ භටයෝ අස්වාභාවික උසස් බලයක් මගින් බියට පත් කරනු ලැබූ හ. රතු මුහුදේ දී ඵාරාවෝගේ හමුදාව පරාජය කළා වූ තැනැන්වහන්සේ ම, ගිදියොන්ගේ තුන්සියයක් පමණක් වූ හමුදාව ඉදිරිපිට මිදියන් හමුදාවට පලායන්ට සැලස්වූ තැනැන්වහන්සේ ම, උදාරමින් යුත් ඇසිරියන් හමුදාව එක රාත්‍රියකින් යටපත් වන්ට සැලැස්සූ තැනැන් වහන්සේ ම, නැවත වරක් තමන් වහන්සේ ගේ ම අත දිගු කොට පීඩකයන්ගේ බලය මැලවී යන්නට සැලැස්වූ සේක. ” බයක් නැති තැන දී ඔවුහු බොහෝ සෙයින් භයපත් වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳ ගත් තැනැත්තාගේ ඇට විසිර වූ සේක. දෙවියන් වහන්සේ ඔවුන් එපා කළ නිසා නුඹ ඔවුන් ලැජ්ජාවට පත් කළෙහිය.” ( ගීතාවලිය 53:5)GrHSin 118.1

    බලහත්කාරයෙන් මේ රට යහපත් කරගැනීමට තමාට නුපුළුවන් බව දුටු පාප් සභාවේ නායකයෝ දැන් උපායශීලී ලෙස ඒ කාරණය ඉටුකර ගැනීමට සූදානම් වූහ. ඔව්හු ඔවුන් සමග එකඟතාවයකට පැමිණි බොහිමියාවේ වැසියන්ට තම හෘදය සාක්ෂිය අනුව ක්‍රියා කිරීමට නිදහස දෙන බව දැක්වූ නමුත් එමගින් ඔවුහු රෝමයේ බලයට පාවා දෙනු ලැබූහ. රෝමය සමඟ සමාදානය ඇති කර ගැනීමේ කොන්දේසි වශයෙන් බොහිමියන්වරු කාරණා හතරක් ඉදිරිපත් කළහ. ඒවා මෙසේය: නිදහස් ලෙස බයිබලය දේශනා කිරීම, මුළු සභාවටම රාත්‍රි භෝජන මෙහෙයේදී රොටී හා මුද්‍රික පානය ට සහභාගි වීමට හැකියාව ලැබීම, දිව්‍ය නමස්කාරයේදී දේශයේ භාෂාව පාවිච්චි කිරීම හා පූජකවරුන් දේශීය සේවාවන්ට ඇතුලු වීමෙන් වැළැක්වීමත් යම් අපරාධයක් පිළිබඳව ක්‍රියාකිරීමේදී මහජනයාගේ උසාවිය ගිහි පැවිදි සියල්ලන් කෙරෙහි ක්‍රියාත්මක වන බවත් මේ කාරණා මගින් පැහැදිලි කරන ලදී. පාප් බලධාරීහු මේ කරුණු පිළිගැනීමට අවසානයේදී එකඟ වූහ. එහෙත් ඔවුන් කියා සිටියේ මේ කරුණු වටහා ගැනීම ද ඒවායේ නියම අර්ථය තීරණය කිරීම ද සභාවේ කාර්යයක් වන බවය. මේ අනුව ගිවිසුමකට ඇතුල් වූහ. නියම තත්ත්වය හඟවමින් රැවටිලිකාර ලෙස ක්‍රියාකිරීමෙන් රෝමය, අරගලයෙන් තමාට ලබා ගත නොහැකි වූ දෙය ලබාගත්හ. කුමක් හෙයින්ද, බයිබලය පිළිබඳ ඔවුන් ක්‍රියා කළ අන්දමටම, මේ කාරණා හතර ද ඔවුන්ගේ කැමැත්ත අනුව පිළිගැනීමෙන් ඔවුන්ට ඒවා ඔවුන්ගේම අදහස් අනුව ක්‍රියාත්මක කිරීමට පුළුවන්කම ලැබුණි.GrHSin 118.2

    බොහිමියාවේ බොහෝ ජනයා තමාගේ නිදහස පාවා දෙනු ලැබූ බව ඒත්තු ගනිමිනි මේ ගිවිසුමට ඇතුළු වීමට අකමැති වූහ. භේද හා බැඳීම් ඇතිවුණි. ඒවා මගින් ඔවුන් අතරම අරගල හා ලේ වැගිරීම් ඇතිවිය. මේ අරගලවලදී ප්‍රොකෝපියස් වැටී ගියේය. බොහිමියාවේ නිදහස නැතිවී ගියේය.GrHSin 119.1

    හස් හා ජෙරෝම් පාවාදුන් සිගිස්මන්ඩ් දැන් බොහිමියාවේ රජ බවට පත් විය. බොහිමිය ජනතාවගේ අයිතිවාසිකම් රැකවරණය කිරීමට ඔහු පොරොන්දු වී තිබුණු නමුත් දැන් ඔහු පාප් සභාවේ ප්‍රතිපත්ති එහි පිහිටුවීමට යෙදුණේය. නමුත්, රෝමයට යටත්වීමට කරණකොටගෙන ඔහුට වැඩි ප්‍රයෝජනයක් ලැබී තිබුණේ නැත. වසර විස්සක් මුළුල්ලේ ම ඔහුගේ ජීවිතය වැඩ බහුලත්වයෙන් හා කරදර වලින් පිරී තිබුණි. ඔහුගේ හමුදාවන් නාස්ති කරනු ලැබ තිබුණි; ඔහුගේ භාණ්ඩාගාරයන් නිශ්ඵල දීර්ඝ පොර බැදීම් මගින් පිරිහී තිබුණි. දැන් එහි එක අවුරුද්දක් රජකම් කලාට පසුව ඔහු මරණයට පත් විය. එවිට ඔහුගේ රාජ්‍ය දේශීය යුද්ධයට සූදානම්ව සිටියේය. ඔහු අනාගත පරම්පරාවන්ට උරුම කර දුන්නේ අපකීර්තියෙන් යුත් නාමයෙකි.GrHSin 119.2

    අරගල, කැරලි හා ලේ වැගිරීම් පැවතුණි. විදේශික හමුදාව නැවත බොහිමියාවට පැමිණියහ. අභ්‍යන්තරික භේද තව දුරටත් ජාතිය තුළ පැවතුණි. සුභාරංචියට විශ්වාසවන්ත ව සිටි අයට ලේ වැගිරීමෙන් යුත් පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. මීට පෙර සිටියා වූ ඔවුන්ගේ සහෝදරයන් රෝමය සමග ගිවිසුමකට ඇතුල් වී ඇගේ වැරදි වලට කොටස්කරුවන් වූ බැවින්, තවදුරටත් ඒ පැරැණි ඇදහිල්ලට විශ්වාසවන්ත ව සිටියා වූ අය එක් වී නිශ්චිත සභාවක් පිහිටුවමින් එයට ” එක්සත් සහෝදරයෝ” යන නාමය යෙද වූහ. මේ කාරණය ගැන ඔවුන්ට සියළු පක්ෂයන්ගේ ශාපය ලැබුණි. එහෙත් ඔවුන්ගේ ස්ථිරතාවය සොලවනු ලැබුවේ නැත. ආරක්ෂාව සඳහා වනාන්තරවලට ද ගුහාවලට ද යාමට සිදු වු නමුත් ඔවුහු තවදුරටත් දෙවියන්වහන්සේගේ වචනය කියවමින් නමස්කාරයේ යෙදෙන පිණිස එක්රැස් වූහ.GrHSin 119.3

    ඔවුන් නා නා රටවලට රහසිගත පණිවුඩකරුවන් යැවීම මගින් ඉගෙන ගත්තේ යම් යම් ස්ථානවල සත්‍යයට විශ්වාසවන්ත අය සිටින බවය. තමා මෙන් පීඩාවන්ගෙන් ආරක්ෂාව සොයා ගිය ඔවුහු ද ඒ ඒ නගරයන්හි ස්වල්ප දෙනෙකු ගෙන් සමන්විත වූහ. ඇල්පයින් කඳුකරයේ වූ පැරණි සභාවක් ශුද්ධ ලියවිල්ලේ පදනම මත පිහිටවනු ලැබ තිබුණි. ඔවුහු ඉතා ප්‍රීතියෙන් මේ ප්‍රවෘත්ති අසා දැනගත්හ; දැන් ඔවුහු වොල්ඩන්සියානු සභාව සමග සබඳතාවයක් ඇතිකර ගත්හ.GrHSin 120.1

    මේ බොහිමියන් වරු පිඩා කරනු ලැබීමේ රාත්‍රියේදී සුභාරංචියට ස්ථිරව සිටියහ. උදෑසන පැමිණෙන තෙක් බලා සිටින මනුෂ්‍යයන් මෙන් ඔවුහු ඒ ඉතාම අන්ධකාර පැයේදී පවා තමාගේ නෙත් ක්ෂිතිජය වෙතට යොමු කළහ. ” ඔවුන්ට නපුරු දවස් වලට මුහුණ දීමට සිදුවිය; එහෙත් ඔවුහු පළමුවෙන් හස් විසින් පවසන්නට යෙදුනාවූද ඊට පසු ව ජෙරෝම්ද පැවසූ වචන සිහි කළහ. දින උදාවීමට පෙර ශත වර්ෂයක් ගත විය යුතුයැයි ඔවුන් පවසා තිබුණි. හස්ගේ අනුගාමිකයන්ට මේ වචන යෝසෙප් වහල්කමේ සිටියාවූ ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ වචන හා සමාන විය; යෝසෙප් මෙසේ පැවසුවේය. “මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබැවින්…... මේ දේශයෙන් නුඹලා ගෙන යනවා ඇත.”GrHSin 120.2

    1470 වනවිට පීඩා කිරීම නැවතුණි. විට පැවැති කාලය ඊට පෙර පැවති කාලයන්ට වඩා සෞභාග්‍යයෙන් යුත් කාලයක් විය.” ඒ ශත වර්ෂය අවසාන වූ විට බොහිමියාවේද මොරේවියාවේද “එක්සත් සහෝදරයන්” යන නාමයෙන් පිහිටුවන ලද සභාවන් දෙසීයයක් පමණ තිබෙන බව සොයාගන්නා ලදී. ගින්නේද කඩුවේද විනාශකාරීත්වයෙන් ගැලවී හස් විසින් පවසන්නට සාමකාමී දවසේ උදාවීම දැක ගැනීමට පුළුවන්කම ලැබුණා වූ අය ප්‍රීතියට පත් වූහ.GrHSin 120.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents