Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    7 - ලුතර් රෝම සභාවෙන් ඉවත් වෙයි.

    මාටින් ලුතර් වනාහි පාප් අධිකාරි අන්ධකාර බලපෑම් යටතේ සිට සත්‍යවාදී ඇදහිල්ල නමැති ආලෝකය කරා දේව ජනතාව මෙහෙයවීමේ කර්තව්‍යය‍යෙහි යෙදී සිටීමට කැඳවන ලද්දන් අතර ප්‍රමුඛ තැනැත්තෙක් විය. දෙවියන් වහන්සේගේ අව්‍යාජ අමිශ්‍ර සත්‍යතාවය වෙනුවෙන් ජ්වලිතතාවෙන් දැවෙමින් සිටි හෙතෙම එයට ලැදිව කැපවීමකින් ක්‍රියා කළ පුද්ගලයෙක් විය. තවද හෙතෙම තම විශ්වාසය පිළිබඳව උග්‍ර භක්තිවන්තයෙක් විය. දෙවියන් වහන්සේට පමණක් බිය පක්ෂපාතී භාවය දැක්වූ හෙතෙම වෙනත් කිසිම බලවේගයකට හිස නොනැමුවේය. ආගමික ඇදහිල්ල උදෙසා පරම පදනම ශුද්ධ ලියවිල්ල පමණක් බව පිළිගත් හෙතෙම වෙනත් කිසි විග්‍රහ කිරීමට කැමැත්තක් නොදැක්වීය. ඔහු කාලීන යුග පුරුෂයකු විය. කිතුනු සභාවේ ප්‍රතිසංස්කරණය සඳහා ලෝකය ආලෝකමත් කිරීමට, පිබිදවීමට, දෙවියන් වහන්සේ මාටින් ලූතර් කරණකොටගෙන ඉමහත් මෙහෙවරක් ඉටු කළ සේක.GrHSin 122.1

    සුභාරංචි සුපුවත ලොව පුරා රැගෙන ගිය මුල් පුරෝගාමීන් මෙන්ම ලූතර් ද දුගී පවුලක සාමාජිකයෙක් විය. ඔහුගේ ජීවිතයේ මුල් කාලය ගෙවී ගියේ ය ජර්මනියේ කම්කරු පවුලක නිවසක දී ය. මාටින්ගේ අධ්‍යාපනයට මුදල් සොයා ගැනීම සඳහා ඔහුගේ පියා පතල් කම්කරුවෙකු ලෙස රැකියාව කළේය. තම පුත්‍රයාව නීතිඥයකු කිරීම තම පියාගේ අභිලාෂය විය. එහෙත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වෙනස් ආකාර විය. සියවස් ගණනාවක් පුරා දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ දේව මාලිගාවක් ගොඩනැගීමෙහිලා ක්‍රියාත්මක වෙමින් සිටි සේක. ලූතර්ව එම දේව මාලිගාව ගොඩනැගීමෙහි කොටස්කරුවකු කරගැනීම දේව සැලැස්ම විය. ස්වකීය ජීවිතයේ ඉතා උතුම්වූද ය, වැදගත් වූ ද මෙහෙවරය සඳහා ලූතර්ට අධ්‍යාපනය ලබාදීමට අනන්ත ප්‍රඥාවරයාණෝ තෝරා ගත්තේ දුෂ්කරතාවයන් හා අගහිඟකම් සහ ප්‍රබල හික්මවීමක් තිබුණා වූ පාසලක් හා අධ්‍යාපන ක්‍රමයක් ය.GrHSin 122.2

    මාර්ටින් ලූතර්ගේ පියා ඉතා ශක්තිමත් ක්‍රියාකාරි මනසකින් යුත් පුද්ගලයෙක් විය. ඔහුගේ ප්‍රබල චරිතාංග අතර අවංකභාවය, අධිෂ්ඨාන ශක්තිය, නිර්භීතතාව සහ නොසැලී සිටීම කැපී පෙනුණේය. ස්වකීය තීරණ ගැනීම පිළිබඳව දැඩි ස්ථාවරයක පිහිටා සිටි ඔහු, ප්‍රතිඵල කුමක් වුවද තම තීරණය වෙනස් නොකළ පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ වූ ද, අව්‍යාජ වූද බුද්ධිය පැවිදි වැඩ පිළිවෙත ගැන වැඩි ප්‍රසාදයක් නොදැක්වීය. එහෙත් ඔහුගේ පුත්‍රයා පියාගේ කැමැත්ත නැතුව පැවිදි දිවියකට ඇතුල්වීම පියාගේ බලවත් නොසතුටට හේතු විය. මෙම කරුණ නිසා පියා තම පුතු සමග සමථයකට පත් වීමට වසර දෙකක් ගත වුවද, පැවිදි වැඩ පිළිබඳව පියාගේ අදහස බිඳක් හෝ වෙනස් නොවීය.GrHSin 122.3

    ස්වකීය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ලූතර්ගේ දෙමව්පියෝ ඉමහත් සැලකිල්ලක් දැක්වූහ. ඔවුන්ට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමත්, ක්‍රිස්තියානි සදාචාරය සහ ගුණවත් චරිතාංග පැවැත්වීමත් කෙරෙහි ගුරුහරුකම් ලබාදීමට ඔවුහු වෙර දැරූහ. දෙවියන්වහන්සේ වෙත යොමු වූ යාච්ඥාවන් සිය පුත්‍රයාගේ සවනට හසුවන ලෙස යොදාගැනීමට පියා සැලකිලිමත් විය. එය තුළින් ඔහු බලාපොරොත්තු වුණේ ස්වාමීන්ද්‍රයාණන්ගේ නාමය සිය දරුවාගේ මතකයේ රැඳී, උන්වහන්සේගේ සත්‍යථාවය ප්‍රචලිත කිරීමෙහිලා ඔහු යම් දවසක අත්වැලක් වනු දැකීමය. ඔවුහු තමන්ට ලැබෙන්නාවූ සම්පත් මගින් තම දරුවන්ට ලබාදිය හැකි උපරිම අධ්‍යාත්මික හා බුද්ධිමත් දැනගැන්ම කරා ඔවුන් ගෙනයාමටද ප්‍රයෝජනවත් දේව භක්ති ජීවිත ගතකිරීමට ඔවුන්ට උපකාර කිරීමට ද අවංකවම නොපසුබස්නා වෙහෙසක් දැරූහ. තමන් තුළ තිබූ අධිෂ්ඨානයත්, චරිතයෙහි අප්‍රතිහත ශක්තියත් නිසා ඔවුහු තරමක් දැඩිව ක්‍රියා කළ ද, ඔවුන් ලබාදුන් හික්මවීම පිළිබඳව මාර්ටින් ලූතර් ඔවුන්ට දොස් නොතැබීය. සමහර අවස්ථාවන්හිදී ඔහු තම දෙමාපියන් ගේ අදහස් සමග එකඟ නොවූවද, ඔවුන් ලබාදුන් හික්මවීම ගැන ඔවුන්ට දොස් තැබීමට වඩා ප්‍රශංසාත්මකව ප්‍රතිචාරය දැක්වීම සුදුසු බව ඔහුට පෙනී ගියේය.GrHSin 123.1

    බාල කාලයේ සිටම පාසල් ජීවිතයට යොමු කරනු ලැබූ මාර්ටින් ලූතර්ට එහිදී රළු ලෙස සලකනු ලැබීය, සමහර විටෙක අඩන්තේට්ටම්වලට ද පාත්‍ර කරනු ලැබීය. පාසලට සහභාගීවීම සඳහා ලූතර්ට වෙනත් ගමකට යාමට සිදුවිය. ගෙදර පැවැති අගහිඟකම් නිසා ඔහුට බඩගින්නේ සිටීමට සිදුවූ වාර බොහෝය. සාගින්න නිවා ගැනීම සඳහා ඔහු ගෙයින් ගෙට යමින් සිංදු කීවේය; එමගින් ආහාර වේලක් සපයා ගත්තේය. එකල පැවති අඳුරු ආගමික මිත්‍යා ඇදහිලි සහ අන්ධ විශ්වාසයන් නිසා ඔහුගේ සිත බියෙන් ඇළලී ගියේය. දෙවියන්වහන්සේ පිළිබඳව ඔහු තුල තිබු ආකල්පය නිසාම ඔහු නිරතුරුවම ජීවත් වූයේ මහත් භීතියකින් යුතුවය. දෙවියන්වහන්සේ වනාහි කාරුණික ස්වර්ගීය පියාණන්වහන්සේ කෙනෙකු ලෙස ඔහු තුළ කිසිම හැඟීමක් හෝ විශ්වාසයක් නොවීය. උන්වහන්සේ වනාහි ඉතා දරදඬු අනුකම්පා විරහිත විනිසුරුවෙකි, කුරිරු පාලකයෙකි යන හැඟීමෙන් යුතුව ඔහු මහත් භීතියකින් යුතුව රාත්‍රියේ නින්දට ගියේය, ජීවත් විය. අනාගතය ගැන ඔහු තැති ගත්තේ ය. එහෙත් ඔහු ඉදිරියටම ගමන් ගත්තේ බුද්ධියේ හා සදාචාරිත්වයේ අනර්ඝතාවය ලබා ගැනීමේ ආශාවෙන් ය.GrHSin 123.2

    ජීවිතය අඳුරෙහි පාකර හැරිය හැකි කලකිරීම් සහ පසුබැසීම් මධ්‍යයේ වුවද, ආධ්‍යාත්මික සහ බුද්ධිමත් සාර්ථකත්වයේ ඉහළ ප්‍රමිතිය කරා යෑමට තිබූ අධිෂ්ඨානය ඔහුගේ දසුනින් ඉවත්ව ගියේ නැත. එම දසුන ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරමින් එහි රැඳී ලැගුම් ගත්තේය. දිය පහරක් කරා දුව යන්නා වූ මුව පොවුවකු සේ ඔහු දැනුම පසුපස හඹා ගියේය. ඔහු තුළ පිහිටි අවංක වූද, ප්‍රායෝගික වූ ද මනස, ප්‍රයෝජනයට ගතහැකි ස්ථිරසාර දේවල් කෙරෙහි ඔහුව යොමු කළේය. බොරු සෝබනය සහ බාහිර අලංකාරය ගැන ඔහුගේ තැකීමක් නො වී ය. දහඅටවැනි වියට පා තැබීමත් සමඟ ම ඔහුගේ තත්ත්වය වඩාත් යහපත් පැත්තට හැරුනේ ය. ඔහුට එර්ෆර්ට් සරසවියට ඇතුළු වීමේ වරම හිමි විය. සාර්ථකත්වය පිළිබඳව වූ ඔහුගේ දසුන සුබදායී විය. අගහිඟකම් මධ්‍යයේ වුවද, පරෙස්සම සහ සැකසුරුවම මධ්‍යයේ, විවිධ කර්මාන්ත වල යෙදෙමින් දෙමාපියන් එකතුකරගත් සම්පත්, ඔහුගේ සියලුම වියහියදම් සඳහා අතහිත දීමට ප්‍රමාණවත් විය. පෙර වසර වලදී ජීවිතයෙහි පැවති අඳුරු ස්වභාවය තුනී කිරීමට ඔහුගේ ප්‍රඥාවන්ත මිතුරන්ගේ බලපෑම හේතු කාරක විය. ප්‍රවීණ වූද, සුප්‍රකට වූද ගත් කතුවරුන්ගේ කෘති අධ්‍යයනය කිරීමට ඔහු මහත් රුචිකත්වයක් දැක්විය. එම කෘතිවල තිබූ ගැඹුරු දාර්ශනික පඬි වදන් මහත් උනන්දුවකින් යුතුව තම සිත්හි නිදන් කරගත් හෙතෙම බුද්ධිමතුන්ගේ නැණවත් ප්‍රකාශන තමාගේ ප්‍රඥාව කොට ගත්තේය. පෙරදී ගුරුහරුකම් සැපයූ ගුරුවරුන්ගේ දැඩි පීඩාකාරී දරදඬු බලපෑම් වලට හිරවී කටයුතු කිරීමට සිදු වුවද, ඔහුගේ මනස දීප්තිමත් බවක් කියා පෑවේය. ඔහුට දැන් උදාවී තිබූ ශුභදායී ආනුභාවය නිසා ඔහුගේ මනස ඉතා වේගයෙන් වර්ධනය වන්නට විය. ළමා වියෙහි පටන් ඔහු ඉගෙනීමට දක්ෂයෙක් විය. විෂයමාලා දැනුම පිළිබඳ තොරතුරු ධාරණය කරගැනීමේ දක්ෂතාවක් ඔහු සතු විය. මතක තබා ගැනීමේ ශක්තිය ඔහු තුළ ප්‍රබල ව පැවැතියේ ය. සිතිවිලි සහ සංකල්ප ඉතා ප්‍රබල ලෙස ඔහුට හිමිව තිබුණේය. තර්කානුකූල ලෙස තෝරා බේරා ගැනීමේ ශක්තිය ඔහුට දායාද වී තිබුණේය. එසේම, තත්ත්වානුබෝධ සිද්ධාන්ත ප්‍රායෝගික ජීවිත දැක්මට අදාල කර ගැනීමට ඔහු දක්ෂයෙක් විය. තමාගේ අනෙකුත් සමකාලීනයන් අතර ඔහුට ලැබී තිබූ තත්ත්වය ඉස්මතු වී පෙනෙන්නට විය. අධ්‍යාත්මික හික්මවීම ඔහුගේ අවබෝධයට රුකුලක් විය. එය ඔහුගේ මනස ක්‍රියා කරවීමට ඔහුව පිබිදෙව්වේය; නිවැරැදි දේ තෝරා ගැනීමට ඔහුගේ තීක්ෂණ භාවය මුවහත පැවතුණි. ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දීම සඳහා පුහුණුවීමට මේ සියල්ලෙන් ලැබුණේ ඉමහත් අත්වැලකි.GrHSin 124.1

    සමිඳුන් කෙරෙහි භීතිය ලූතර්ගේ හදවතෙහි නැංගුරම් ලා තිබිණ. තමන්ගේ අරමුණ කෙරෙහි දැඩි ලෙස පිහිටා සිටීමට ඔහුට එය ඉවහල් විය. දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රභලව නිහතමානී වීමට ඔහුට එය බලපෑවේ ය. දිව්‍යමය ආධාර සහ උපකාර කෙරෙහි ගැතිවීමට, රඳා පැවතීමට, නොමියන පක්ෂපාතීකමක් ඔහු තුළ පැවැතියේ ය. ඔහු කිසිදිනක යාඥාව නැතුව දවස ආරම්භ කළේ නැත. සහාය සහ දිව්‍ය මගපෙන්වීම ඉල්ලා ආයාචනය කිරීම ඔහුගේ හද ගැස්ම සමග අනුකූලතාවයක් දැක්විය.” ඉගෙනීමෙහි වඩාත් යහපත් කොටස වන්නේ මනා ලෙස යාච්ඤා කිරීමයැ“යි ඔහු නිතර ම කියා සිටියේ ය. (D’ aubigne, “History of the reformation of the sixteenth century” b2,ch.2).GrHSin 125.1

    වරක් ලුතර් සරසවි පුස්තකාලයෙහි තිබූ පොත් පිරික්සමින් සිටියේය. එහිදී ඔහුට ලතින් බසින් ලියැවුණු ශුද්ධ බයිබල් පිටපතක් හමුවිය. මෙවන් පොතක් ඔහුට මින් පෙරාතුව දැකගන්නට ලැබී තිබුනේ නැත. එවන් පොතක පැවැත්මක් ගැන ඔහු දැන සිටියේ ද නැත. ප්‍රසිද්ධ නමස්කාර මෙහෙයන් හිදී කියවනු ලැබූ සුභාරංචි කොටස් සහ යැවුම් පත්‍ර කොටස් ඔහු ශ්‍රවණය කර තිබුණේය. තමා ඇසූ දේවල් වනාහි සම්පූර්ණ බයිබලය යයි ඔහු සිතුවේය. දැන් ඔහු තම ජීවිතයේ මුල්ම වතාවට දෙවියන් වහන්සේගේ සම්පූර්ණ වචනය වෙත නෙත් හෙලා සිටියේය. භීතියෙන් සහ විස්මයෙන් යුතුව හෙතම බයිබලයෙහි පිටු පෙරළා බැලුවේය. බයිබල් වදන් කියවන්නා වූ අතර ඔහුගේ හෘදයේ ස්පන්දනය වේගවත් විය, ජීවනයේ වදන් කියවන්නා වූ අතර තුර ඔහු මදක් නැවතී, ” දෙවියන්වහන්සේ මෙවන් පොතක් මටත් අත්පත් කර ගන්න දෙනවා නම්!” කියමින් සුසුම් ලෑවේය. සගයේ සුරදූතයෝ ඔහුගේ පසෙක වූහ. දෙවියන්වහන්සේගේ සිහසුන වෙතින් නික්ම ආ ආලෝක දහරා මෙන් සත්‍යතාවයේ නිදන්ගත වස්තු ඔහුගේ අවබෝධයට එළිදරව් වන්නට විය. දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදක් කිරීමට ඔහු කවදත් භය විය. මීට පෙර කිසි විටෙක නො පැවැති අන්දමට, තමා දැඩි පව්කාරයෙක් යයි ඔහුගේ හදවත ඔහුට දොස් තබන්නට විය.GrHSin 125.2

    පාපයෙන් නිදහස් වීමේ ආශාවත්, දෙවියන්වහන්සේ සමඟ සමාදානය ඇති කර ගැනීමේ අභිලාෂයක් ඔහුගේ හදවත තුල තෙරපී එන්නට විය. එයින් නිදහස සොයා ගැනීමේ වස් කුටියකට වී පැවිදි දිවියක් ගත කිරීමට ඔහු අදිටන් කරගත්තේය. අන්ත වහලකු සේ වැඩ කිරීමට ඔහුට එහිදී සිදුවිය. මනාපයක් නොදැක්වූ කාර්යන්හි යෙදීම ඔහුගේ දෛනික භාග්‍ය විය. ගෙයින් ගෙට යමින් හිඟාකෑම ද ඔහුගේ දිනපතා දිවි පැවැත්මෙහි කොටසක් විය. ගෞරවය ලැබීම ද, ප්‍රශංසා හිමිකර ගැනීමද අගය කරන්නා වූ වයස් මට්ටමක ඔහු සිටියේ ය. තුරුණු වියෙහි තමන් ලබන්නා වූ සංග්‍රහය ඔහුගේ ස්වභාවික හැඟීම් මරා දමන්නක් විය.තමන්ගේ පාප නිසා මෙවන් තත්වයක් තිබීම අවශ්‍ය යන කල්පිතයෙන් යුතුව ඔහු ඒ තත්ත්වය ඉවසා ගත්තේය.GrHSin 125.3

    තමාගෙන් බලාපොරොත්තු වන්නා වූ කාර්යභාරයන්ගෙන් ලැබෙන්නා වූ සෑම විවේකී මොහොතක් ම ඔහු දේව වචනය ඉගෙනීමට මිඩංගු කළේය. මෙසේ ඔහු කෑම ගැනීමේ කාලයක් මෙන්ම නිදාගැනීමේ කාලයන්ද බයිබල් අධ්‍යනය සඳහා යෙදවීය. අනෙකුත් සියල්ලට වඩා දේව වචනය ඉගෙනීම ඔහුගේ ඉමහත් ප්‍රීතියට හේතු විය. තමා සිටි ආරාමයේ එක්තරා බිත්තියකට දම්වැලකින් බැඳ තිබූ බයිබලයක් විය. විවේකය ලැබූ සෑම අවස්ථාවකදීම ඔහු එහි ඇදී ගියේය. පාපය පිළිබඳව වූ හැඟීමද තමා වරදකරුවෙකුය යන චින්තනය ද දැඩිවීමත් සමගම පව්කමාව සහ නිදහස සොයා ගැනීමට තමාගේම ක්‍රියාදාමයන් මඟින් හැකි වෙතැයි යන චින්තනයෙන් යුතුව ඔහු ඒ සඳහා වෙහෙසී ක්‍රියා කළේය.නිරාහාර ව හිඳීම, ආගමික උපවාසය සඳහා නිදිවරා සිටීම, ස්වභාවික පැවැත්ම තුළ පැවති නපුර දමනය කිරීම සඳහා තමන්ටම වදවේදනා පමුණුවා ගැනීම යනාදිය තුලින් පාපිෂ්ට ඉඳුරන් දමනය කර ජයගැනීමට ඔහු දැඩි ආයාසයකින් යුතුව ක්‍රියා කළේය. එසේ වුවද, පැවිදි දිවි පැවැත්ම මගින් ඔහු බලාපොරොත්තු වූ නිදහස ඔහුට නොලැබුණි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි ආකාරයෙන් යුතුව සිටීම සඳහා ඇවැසි හදවත් හි පාරිශුද්ධතාවය ලබාගැනීමට අවශ්‍ය වූ යමක්වීද, එවැනි දෑ ඉටුකිරීමෙන් බැහැර නොවන්නට හෙතෙම දැඩි අධිෂ්ඨානයක පිහිටා සිටියේය. පසු දවසක ඔහු මෙසේ පැවසීය. ” මම ඉතාමත් සැදැහැවත් බැතිමතෙක් වූයෙමි. මාගේ ආරාමයෙන් ඉල්ලා සිටි සෑම දෙයක්ම ඉටු කිරීමට මම දැඩි වෙහෙසක් දැරීම යම්කිසි පූජකයකුගෙන් ආරාමය ඉල්ලා සිටින්නාවූ යම් නිර්දේශයක් වූයේද, එවන් දෑ ඉටු කිරීමෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්දෝෂී ව සිටීමට පුළුවන් කමක් ඇත්නම් මට එය ... ලැබිය යුතු විය. මෙම දැඩි ආරාම ජීවිතය මම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියේ නම්, එය මරණය දක්වාම පවත්වා ගෙනයෑම මාගෙන් සිදුවෙනවා නියතය.” (D. Aubigne, b.2, Ch.3). මෙම අධික පීඩාකාරී හික්මවීමේ ක්‍රියාදාමයෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිතර සිහිමූර්ඡා වීමට ගොදුරු විය. ඔහුගේ ශරීර ශක්තිය බිඳ වැටුණේය. එහි අතුරු ආබාධ වලින් මිදීමට ඔහු පසුකලෙක ද භාග්‍ය උදා නොවීය. ඔහු කරන්නට යෙදුනා වූ ඒ සියලු උත්සාහයන් තුළින් පවා ඔහුගේ ආත්මයට සහනයක් උදාවූයේ නැත. අන්තිමේදී ඔහු බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත් විය.GrHSin 126.1

    තමා පැතූ සියල්ලක්ම සුන් වී ගියා යැයි ලූතර්ට හැඟී ගිය විට දෙවියන්වහන්සේ ඔහුට උපකාර කිරීමට මිතුරෙකු ලබා දුන් සේක. සැදැහැවතෙකු වු ස්ටෝපිට්ස් ලූතර්ගේ මනසට දේව වචනය විවෘත කර දුන්නේය. තමා දෙසට අවධානය යොමු කරගනිමින් තැවෙන්නා වූ ආකල්පයෙන් ලූතර්ව වෙනස් දිශානතියකට යොමු කිරීමට එම මිතුරා සමත් විය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කිරීම නිසා හිමිවිය හැකි අනන්ත දඬුවම ගැන නිරතුරුව ම කල්පනා නොකර, පව්කරුවාට සමාව දීමට උදක් බලා සිටින්නා වූ යේසුස්වහන්සේ වෙතට අවධානය යොමු කරන ලෙස මිතුරා ලූතර්ව දිරිමත් කළේය. “ඔබගේ පව් ගැන ඔබටම වධහිංසා කරගන්නේ නැතිව ගැලවුම්කාරයාණන්ගේ ශ්‍රී හස්තය මතට ඔබගේ ජීවිතය කැප කරන්න. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය රඳවන්න. උන්වහන්සේගේ දැහැමි ජීවිතය කෙරෙහිත් උන්වහන්සේගේ මරණය කරණකොටගෙන උදාකළ දෙවියන් වහන්සේ සමග සමගි කිරීමත්, පව් කමාවත් ගැන විශ්වාසය රඳවන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ට සවන් දෙන්න. දිව්‍ය වරප්‍රසාදය සහ දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලැබීමේ සහතිකය ලබා දෙන්නට යේසුස්වහන්සේ මිනිස් බව ගත් සේක. ඔබට මුලසිටම ආදරේ කළ තැනැන්වහන්සේට ප්‍රතිචාරය දක්වමින් පෙරලා උන්වහන්සේට ආදරය කරන්න.” (Aubigne b.2 Ch.4). කරුණාවේ පණිවුඩකරුවා ලූතර්ට මෙසේ කරුණු ගෙනහැර දැක්වූවේය. ඔහුගේ වචන ලූතර්ගේ හද පත්ලටම කිඳා බැස්සේ ය. ඔහු තිගැස්සීමට පත්විය. බොහෝ කාලයක් පුරා බදාගෙන සිටි වැරදි ආකල්ප අත්හැර දමා සත්‍ය පිළිගැනීමට ඔහුට මහත් සටනක යෙදීමට සිදුවිය. අන්තිමේදී ලූතර් ජයග්‍රහණය කළේය. හිංසාවෙන් පීඩිතව සිටි ආත්මයට සමාදානය උදාවිය.GrHSin 126.2

    පූජකයෙක් හැටියට ආලේප කරන ලද ලූතර්ට කුටියෙන් ඉවත්වී ආචාර්යවරයෙකු ලෙස විටන්බර්ග් විශ්වවිද්‍යාලයෙහි සේවය කිරීමට කැඳවනු ලැබීය. ශුද්ධ ලියවිලි ඒවායේ රචිත භාෂාවෙන් අධ්‍යයනය කිරීමට ඔහුට එහිදී භාග්‍යය උදාවිය. ඔහු බයිබලයෙන් දේශනා කිරීමට පටන් ගත්තේ ය. ගීතාවලිය, ශුභාරංචි සහ යැවුම් පත්‍ර සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි බසින් විස්තර කළ ඔහුට ශ්‍රාවකයෝ ඇහුම්කන් දුන්නේ ප්‍රීතියෙන් පිරී ගිය හදවතිනි. ඔහුගේ මිතුරා මෙන්ම සරසවියේ දේවධර්ම පීඨයෙහි අධිපතියා වූ ස්ටෝපීට්ස් ඔහුට ආරාධනය කළේ දේශනා කූඩුවට දෙවියන්වහන්සේගේ වචන දෙව් මැදුරට පැමිණි අයට දේශනා කරන ලෙසටය. ඔහු මදක් පසුබා සිටියේ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජනතාවට කතා කිරීමට තමා තුළ වටිනා කමක් නැතැයි ඔහු කල්පනා කළ නිසාය. අභ්‍යන්තරයෙහි වූ මහත් ගැටුමකින් පසුව හෙතෙම තම මිතුරන්ගේ ආයාචනයට කන් දුන්නේය. මිතුරන් ගේ ඉල්ලීමට ඔහු එකඟ විය. ඔහු දැනටමත් ශුද්ධ ලියවිලි තුළ බලවත් වී සිටියේය. දෙවියන්වහන්සේගේ ආනුභාව සම්පන්න කරුණා අනුග්‍රහය ඔහු මත ප්‍රබලව පතිත විය. ඔහුගේ කතා විලාශය ශ්‍රාවකයන්ගේ හද බැඳ ගත්තේය. ලූතර් විසින් සත්‍යතාවය ඉදිරිපත් කළ පැහැදිලි විලාශය සහ බලය ද නිසා සත්‍යතාව ඔවුන්ගේ හදවත් තුළට කිඳා බැස එහි තැන්පත් විය. සත්‍යතාව පිළිගෙන එය පිළිපැදීමට ශ්‍රාවකයන් තුළ ස්ථිර අදිටනක් විය. ඔහු තුළ තිබූ උනන්දුව බැතිමතුන්ගේ සිත් ගත්තේය.GrHSin 127.1

    ලූතර් තවමත් පාප් බලධර සභාවේ සැබෑ පුත්‍රයෙක් විය. රෝම සභාවේ අනුගාමිකයකුට වඩා වෙනස් ස්ථාවරයක පිහිටා සිටීමට ඔහු කිසිසේත්ම අදහස් නොකළේය. දෙවියන්වහන්සේගේ මගපෙන්වීම යටතේ රෝමයට යෑමට ඔහුට භාග්‍ය උදාවිය. පා ගමනින් එහි යෑමට තීරණය කරගත් ඔහු රාත්‍රී කාලයෙහි මාර්ගයෙහි වූ ආරාමයන්හි නවාතැන් ගත්තේය. ඉතාලියේ කන්‍යාරාමයකට පිවිසි ඔහු එහි තිබූ ධන සම්භාරය ද, ශ්‍රී විභූතිය ද, සැප විහරණ ජීවිත රටාවද දැකීමෙන් ඉමහත් පුදුමයට පත්විය. ඔවුන් ලද ආදායම් මගින් ධන කුවේර ජීවිත ගත කිරීමට ඔවුන්ට පුළුවන් විය. ඔව්හු අති සුඛෝපභෝගී නිවෙස් වල වාසය කළහ, අධික මිලැති සළුපිලි පැළඳ සිටියහ, රස මසවුලෙන් පිරි ආහාර අනුභව කළෝය. ආත්ම දමනයෙන් යුතුවද, කරදර මධ්‍යයේ ද තමා ගත කළ දිවිපැවැත්ම මෙම පැවිදි ජීවිත රටාව සමග සැසදීමේදී ඔහු තුළ පැවැතියේ දැඩි කලකිරීමකි. ඔහුගේ මනස ව්‍යාකූලතාවයන් පිරී ගියේය.GrHSin 128.1

    ලූතර්ගේ ගමනාන්තය වූ නුවර ඈතින් පෙනෙන්නට විය. භක්තියෙන් පිරීගිය හැඟීමෙන් යුතු ව බිම දිගාවී ශුද්ධ නගරයට ආචාර කළේය.” අතිශුද්ධ ශ්‍රී රෝමය, මම ඔබට ප්‍රණාමය පුද කරමි” යි ඔහුගේ මුවින් පිටවිය. ඔහු නගරයට ඇතුළු වී, එහි දෙව්මැදුරු වල නමස්කාර මෙහෙයනට සහභාගි වී, පූජකයන් සහ පැවිදි අයවලුන් දෙසූ පුදුමාකාර පුරසාරම් වලට ඇහුම්කන් දුන්නේ ය, කලයුතු විවිධාකාර වතාවත් ඉටු කළේය. අවට සිසාරා බලත්ම ඇසින් දුටු දසුනින් ඔහුගේ සිත මවිතයට ද භීතියට ද පත්විය. විවිධ තරාතිරම් දැරූ පැවිදි පක්ෂයේ අය දුෂ්ටකම සහ අධමකම තුළ ඇලී ගැලී සිටින බව ඔහුට දැකගත හැකි විය. පැවිද්දෝ අසභ්‍ය විහිළුතහළු තුලින් ප්‍රීති වන අයුරු දුටු හෙතෙම ඔවුන්ගේ ධර්ම විරෝධී ක්‍රියා කලාපය ගැන ද්වේෂයෙන් යුතු කලකිරීමකට පත් විය. පැවිද්දන්ගේ මේ හැසිරීම ශුද්ධ ලෙස සලකන ලද ස්ථානයන්හිදී පැවතියේ ය. පූජක පක්ෂයේ අය සමඟ මෙන්ම පොදු ජනතාව සමගද ගැවසෙනා වූ අතර ඔහුට දැක ගැනීමට හැකි වුණේ දුරාචාරය නිසා අනර්ථයට පැමිණි සල්ලාල සමාජයකි. සෑම තැනම පැවැතියේ දෙවියන්වහන්සේට නිගා දෙවන ක්‍රියාවන්ය. ඔවුහු මෙසේ තම සිතුවිලි ලිවීය. ” රෝමයේ සිදුවන්නා වූ පාපිෂ්ට ක්‍රියා සහ ඇතැම් නොහික්මුණු ක්‍රියාදාමයන් විශාලය. විශ්වාස කරන්නට නම් එම ක්‍රියාවන් තම ඇසින්ම දැකිය යුතුය, තම කන්වලින්ම ඇසිය යුතුය. එහෙයින් ඒ ගැන මෙසේ පැවසිය හැකිය, එනම් නරකාදියක් තිබේනම් රෝමය ගොඩනගා ඇත්තේ එය මත බවය. සෑම ආකාරයකම පව් නික්මෙන්නා වූ අගාධයක් ලෙස රෝමය හඳුන්වා දිය හැකිය.” (D. Aubigne b 2. Ch.6).GrHSin 128.2

    යේසු සමිඳාණෝ යෙරුසලමෙහි අධිකරණ ශාලාවේ දී විත්තිකරුවකු ලෙස පිලාත් ඉදිරිපිට පෙනී සිටි සේක. නඩු විභාගයෙන් පසුව උන්වහන්සේ උසාවියෙන් පිටතට පැමිණියේ,” පිලාත්ගේ පඩිපෙළ” ඔස්සේය. එම පඩිපෙළ යෙරුසලමෙහි සිට රෝමය වෙත හාස්කමකින් පැමිණ තිබුණේ යැයි රෝමානු සභාව ප්‍රචාරය කර තිබුණේය. හාස්කමින් යුතු මෙම ” පූජා භාණ්ඩය” හා සම්බන්ධව කුසල් දානයක්ද නිර්දේශ කර තිබුණේය. යම් අයෙක් දණ මතින් එම පඩිපෙළ ඉහලට නගින්නේ නම් ඔහුට පව්කමා කිරීමක් හිමිවන බවට පාප් විසින් සහතිකයක් ලබා දී තිබිණ. එක්තරා දවසක මාර්ටින් ලූතර් මහත් භක්තියකින් යුතුව එම පඩිපෙළ දිගේ නගිමින් සිටියේය. එසේ යන අතරමගදී ඔහුගේ සවනට මහත් හඬක් යොමුවිය. ” ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙයි” යන්න ඒ පණිවිඩය විය. ( රෝම 1:17). දෙපයින් නැගී සිටි හෙතම ලජ්ජාවෙන් සහ භීතියෙන් යුතුව එම ස්ථානයෙන් පලා ගියේය. මෙම ශුද්ධ වූ බයිබල් පාඨයේ බලපෑම කිසිම දවසක ඔහුගේ ජීවිතයෙන් ඉවත් නොවී ය. ගැලවීම අත්පත් කරගැනීම සඳහා මිනිස් ක්‍රියාදාමයන් උපකාරයක් වන්නේ යන්න මිත්‍යාවක් බව ඔහුට පැහැදිලි විය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය (කුසලතාවන්) මත නිරතුරුවම විශ්වාසය රැඳවීමේ අවශ්‍යතාව ගැන මෙනෙහි කිරීමේ පදනම ඔහුගේ හිතට පැහැදිලි විය. පාප් අධිකාරියේ මුලාකිරීම් සහ රැවටිලි පිළිබඳව ඔහුගේ දෙනෙත් විවෘත විය. එය තවත් කිසිම දවසක වැටී යාමට ඉඩක් නොවීය. ඔහු රෝමයෙන් සිය මුහුණ ඉවතට හරවා ගැනීමත් සමගම හදවතින්ම රෝමයෙන් ඉවත් වීමේ තීරණය ද දැඩි විය. එතැන් පටන් ඔහු තුළ රෝමානු සමයෙන් ඉවත්වීමට ඇති අදහස පුළුල් වන්නට විය. ඔහු පාප් බලයේ සභාව සමග තිබූ සිය සබඳතා බිඳ දැම්මේය.GrHSin 129.1

    රෝමයෙන් ආපසු පැමිණි ලූතර් විටන්බර්ග් විශ්ව විද්‍යාලයට පැමිණ දේව ධර්මාචාර්ය පදවිය ලැබුවේ ය. තමා ඉතාමත්ම ඇලුම් කළ ශුද්ධ ලියවිල්ල කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීමට දැන් ඔහුට නිදහස උදා විය. මෙහිදී ඔහු අධිෂ්ඨාන පූර්වක තීරණයකට එළඹී සිටියේ දෙවියන්වහන්සේගේ වචනය ප්‍රවේශමෙන් යුතුව අධ්‍යයනය කිරීමටත්, දේව වචනයට පක්ෂපාතීව එම වචනය දේශනා කිරීමටත්ය. තමාගේ ඉදිරි ජීවිත කාලය පුරා දේව වචනය, එසේය, දේව වචනයම මිස පාප්වරුන් ගේ ගැන්වීම් සහ දහම් ප්‍රකාශ නොකිරීමට ඔහු අධිෂ්ඨාන කරගත්තේය. ඔහු තවදුරටත් තපස් පූජකයෙකු හෝ දේව ධර්ම ආචාර්යවරයකු නොවීය. ඔහු දේව වරම් ලැබූ ශුද්ධ වූ බයිබලයේ සත්‍යතාවන් ප්‍රකාශ කරන්නාවූ පණිවිඩ කරුවෙක් විය. බඩගින්නෙන් සහ පිපාසයෙන් සිටි දෙවියන්වහන්සේගේ රැළට පෝෂණය ලබා දීමේ කාර්යය භාරය සඳහා ඔහුට කැඳවීමක් ලැබී තිබුණේය. පාරිශුද්ධ වූ දේව වචනයෙහි පහස නොලැබූ කිසිම දහමකට කිතුණුවන් විසින් අනුගත නොවිය යුතුයැයි ඔහු තරයේ ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයන් පාප් බල අධිකාරියේ පදනමට මරු පහරක් විය.එම වචන වල ප්‍රතිසංස්කරණයේ උපරිම ප්‍රතිපත්ති අන්තර්ගත විය.GrHSin 129.2

    දේව වචනයේ ඉගැන්වීම් වලට ඉහළින් මිනිස් මතවාදයන් ඔසවා තැබීමේ අවදානම ලූතර්ගේ දර්ශන පථයට හසු වී තිබුණේය. අධ්‍යාපන වේදීන්ගේ විචාරාත්මක හෝ කල්පනික හෝ මිථ්‍යාචාර ඉගැන්වීම් වලට ඔහු අභීතව ප්‍රහාර එල්ල කළේය. මිනිසාගේ අධ්‍යාත්මය තුළ පාලන බලපෑමක් එල්ල කළ දර්ශනවාදී දේවධර්ම ඉගැන්වීම් වලට හෙතෙම අභීතව විරුද්ධතා දැක්වීය. එවන් ඉගැන්වීම් කිසි වටිනාකමක් නැති විනාශකාරී ඒවා ලෙස ඔහු හෙළා දැක්කේය. දර්ශනවාදීන්ගේ සහ දේවධර්ම ශූරීන්ගේ ‍ව්‍යාජ තර්කවලින් ශ්‍රාවකයන්ගේ ඉවත හරවා දිවැසිවරුන් සහ අපෝස්තුළුවරුන් ඉගැන්වූ සදාකාලික සත්‍යතාවන් වෙත බැතිමතුන් ව යොමු කිරීමට ඔහු ප්‍රබල වෑයමක් දැරුවේය.GrHSin 130.1

    මහත් අපේක්ෂාවෙන් යුතුව ලූතර්ගේ වදන් මත එල්බ සිටි ජනතාවට ඔහුගේ පණිවිඩ ඉතා අගනා මැණික් බඳුවිය. මෙවන් ඉගැන්වීම් මින් පෙරාතුව ඔවුන් ගේ සවන්හි පතිත වී තිබුණේ නැත. ගැලවුම්කාරයාණන්ගේ ආදරය සහ උන්වහන්සේගේ සමගි කිරීමේ රුධිරය කරණකොටගෙන දානය කරනු ලබන්නා වූ පාප සමාවෙහි සහතිකයත් උදාවන්නා වූ සමාදානයත් ශ්‍රාවකයන් තුළ අමරණීය බලාපොරොත්තුවක් පණ ගැන්වීමෙහිලා හේතු විය. විටන්බර්ග් හි දල්වනු ලැබූ මෙම ආලෝකය පොළොවේ සතර දිග් භාගය පුරා ආලෝක රශ්මි දහරා විහිදුවාලීය. කාලාවසානය දක්වා එහි ආලෝකය තවතවත් දීප්තිමත්ව බැබළීම අපේක්ෂිතය.GrHSin 130.2

    කරුණු මෙසේ වුවද, ආලෝකය සහ අඳුර එක්ව පැවැතීමට නුපුළුවන. සත්‍යය සහ බොරුව අතර මැඬලිය නොහැකි ගැටුමක් පවතී. එක් පාර්ශවයක් ඔසවා තබමින් එය ආරක්ෂා කිරීම වනාහී අනෙක් පාර්ශ්වයට පහරදීම හා එය පරාජය කිරීමකි. ” සමාදානය නොව කඩුවක් දෙන්ට” තමා පැමිණි සේකැයි ( මතෙව් 10:34) අපගේ ගැලවුම්කාරයණන්වහන්සේ පැවසූ සේක. ප්‍රතිසංස්කරණය ඇරඹී වසර කීපයකට පසු ලූතර් මෙසේ පැවසීය.” දෙවියන්වහන්සේ මා පාලනය කරනවා නොව, මා ඉදිරියට තල්ලු කරනවා. මම මාගේම ක්‍රියාවන් පාලනය කරන්නා නොවෙමි. එක තැනක රැඳී සිටින්නට මම කැමතිය. එසේ වුවද කැරලි සහ විප්ලව මධ්‍යයට මාව පමුණුවනු ලබන්නේ ය. (D’aubigne b.5, Ch.2). ගැටුම මැදට පැමිණීමට දෙවියන්වහන්සේම ඔහුව පොළඹවන ලදී.GrHSin 130.3

    දෙවියන් වහන්සේගේ කරුණා - අනුග්‍රහය වෙළඳ භාණ්ඩයක් කර ගැනීමට රෝමානු සභාව මහත් පරිශ්‍රයක යෙදී සිටියාය. ඇයගේ අල්තාර අසල මිල මාරු කරන්නන්ගේ මේස තබන ලදී. ගනුදෙනුකරුවන්ගේ හඬින් වටපිටාව දෝංකාර දෙන්නට විය. රෝමයේ ශාන්ත පේදුරුගේ දේවස්ථානය ගොඩනැගීම උදෙසා මුදල් රැස්කරන මුවාවෙන් පාප කමාව විකිණීමේ ක්‍රියාදාමය දෙව් මැදුරු තුළ සුලභ දර්ශනයක් විය. මෙය පාප්වරයාගේ නියමයෙන් කරන ලදී. අපරාධ සඳහා දෙන ලද මුදල් මගින් දේව නමස්කාරය සඳහා දෙව්මැදුරක් ඉදි කිරීම අදහස් කරන ලදී. එහි මුල් ගල යොදා ගෙන තිබුනේ දුෂ්ටකමේ කුලියෙන්ය. බලය සහ යසස වැඩි කරගැනීමට රෝමයේ මෙම වෑයම ඇයගේ බලපරාක්‍රමයට සහ ශ්‍රේෂ්ඨත්වයට මරු පහරක් එල්ල කිරීමට හේතුකාරක විය. මෙම අදූරදර්ශී වෑයම මගින් පාප් බල අධිකාරියේ සතුරෝ සටන්වැදීමට පුබුදුවනු ලැබූහ. එමඟින් පාප්ගේ සිහසුන සෙලවූ සටනට මග පෑදුනි. එය පාප්ගේ හිස මත රැඳී තට්ටු තුනකින් යුත් ඔටුන්න සෙලවීමකට පත් කළේය.GrHSin 131.1

    පාපය සඳහා කමාව විකිණීමට ජර්මනියේ නියෝජිතයා ලෙස ටෙට්සෙල් පත්කරනු ලැබීය.එහෙත් ඔහුට විරුද්ධව ඉතා දරුණු චෝදනා එල්ල වී තිබුණේය. සමාජයට විරුද්ධව ඉතා පහත් මට්ටමේ දුෂ්ට ක්‍රියා සිදු කිරීම් මෙන්ම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කිරීමේ වරදටද ඔහු වැරදිකරු වී සිටියේය. එම අපරාධ වලට දඬුවම් විඳීමෙන් බේරි ගත් හෙතෙම පාප්ගේ වාණිජ සහ අසම්මතවාදී කූට ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා පාප් විසින් සේවයේ යොදවා ගන්නා ලදි. ඔහු තම සාවද්‍ය ව්‍යාපෘතිය එළිපිටම කිසිම පැකිලීමකින් තොරව ඉතා සාර්ථකව කරගෙන ගියේය. නූගත්වූද ඇසූ පමණින් විශ්වාස කරන අන්ධ විශ්වාසය සහිතවූද ජනතාවක් මුලා කිරීමට ඔහු බොරු කථාන්තර උපකාර කර ගත්තේය. එම ජනතාවට දේව වචනය ගැන අවබෝධයක් තිබුණේ නම්, ඔවුහු එම ප්‍රලාප විශ්වාස නොකරනවා ඇත. පාප් බලධරයන්ගේ බලය සහ ධනය තර කරගැනීමේ ඒකායන පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ අභිලාෂයෙන් බැතිමතුන් ඔවුන්ගේ පාලනය යටතේ රඳවා ගැනීම සඳහා බලධරයෝ ශුද්ධ බයිබලය ජනතාවගේ පරිහරණයෙන් ඈත් කර තැබූහ. (Gieseler, “Ecclesiastical History”, Period iv, Sec.1, Para 5).GrHSin 131.2

    “දෙවියන් වහන්සේගේ කරුණා- අනුග්‍රහය සහ ශුද්ධ වූ පියවරුන්ගේ වරප්‍රසාදය මිනිසුන්ගේ දොරටුව අසලට ම පැමිණ ඇත”යි කියමින් පෙරමඟ දූතයෙක් ටෙට්සෙල් ඉදිරියෙන් මහත් උනන්දුවෙන් ගමන් ගත්තේය. (D’Aubigne, bk3, Ch1). මෙම දේව අපහාසික පුද්ගලයා සෙනග අතරට පැමිණි කල ඔහු පිළිගන්නා ලද්දේ සගයේ සිට මිහිබට දෙවියන්වහන්සේම වශයෙනි. මුදලට පව් කමාව විකිණීමේ ක්‍රියාව දේවස්ථානය තුළම පිහිටුවන ලදී. දේශනා කූඩුවට නැගගත් ටෙට්සෙල් මුදලට පව් කමාව විකිණීම් යහගුණ වර්ණනාවක් ඉදිරිපත් කළේය. එය දෙවියන්වහන්සේගෙන් ලැබූ ඉතාම අගනා තිළිණය ලෙස කථිකයා එම දූෂිත ක්‍රියාව පැසසුමට ලක් කළේය. තමාව දානය කිරීමේ සහතිකපත්, මුදල් දෙන්නන් හට තමා බෙදා දෙන බවට ඔහු සහතික විය. අනාගත දවසකදී කරනු ලබන්නාවූ පාපයකට එමගින් කමාව ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය. එවැනි ඉදිරි පව්වලට “පසුතැවීම පවා අවශ්‍ය නොවන බව” ඔහු පැවසුවේය. (D’Aubigne, b3, Ch1). ටෙට්සෙල් තවත් ආටෝපයක් ද එයට එකතු කළේය. තමා ගෙන් ලබා ගන්නා වූ පව් කමා සහතිකය වලංගුවන්නේ ජීවත්වන්නා වූ අයට පමණක් නොවන බවත් ගෙවීමක් කිරීමෙන් ශුද්ධ ගිනි ස්ථානයේ ඉන්නාවූ ආත්ම වලට පවා එයින් ප්‍රතිලාභ ලැබෙන බවත් ඔහු උනන්දුවෙන් ශ්‍රාවකයන්ට පැවසීය. කැටයට දමන්නාවූ මුදල් එහි පතුලට වැටී එහි හඬ නිකුත් වීමත් සමගම මරණයට පත් අයගේ දුක් විඳින්නා වූ ආත්ම එයින් මිදි ස්වර්ගය බලා ගමන් අරඹන බවට පුරසාරම් දෙඩුවේය. (Hangenbach, “History of the Reformation” Vol.1, p.96).GrHSin 132.1

    අපෝස්තුළුවරුන්ගේ දවස්වලදී මායාකාර සීමොන් නැමැත්තා පේතෘස් ට මුදල් දී හාස්කම් කිරීමේ බලය තමාටත් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. පේතෘස් ඔහුට මෙසේ උත්තර දුන්නේය.” දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට ඔබ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමග විනාශ වේවා” (ක්‍රියා 8:20). එසේ වුවද, ටෙට්සෙල්ගේ දීමනාව මහජනයා පිළිගත්තේ මහත් උද්යෝගයෙන් ය. දහස් ගණන් බැතිමතුන්ගේ රන් හා රිදී කාසි ඔහුගේ භාණ්ඩාගාරයට ගලා ආවේය. ගැලවීම සඳහා පසුතැවීම, ඇදහිල්ල සහ පාපයට පිටුපා එයින් ජය ගැනීම අවශ්‍ය වේ. එහෙත් මුදලට ලබාගතහැකි ව්‍යාජ ගැලවීම අත්පත් කර ගැනීම ඉතා පහසු විය.GrHSin 132.2

    මුදලට පව් කමාව විකිණීමේ දහමට රෝමානු සභාවේ උගතුන් මෙන්ම භක්තිවන්ත අයද විරෝධය පල කළෝය. තර්ක බුද්ධියට මෙන්ම එළිදරව් කර ඇති දෙයට වඩා විරුද්ධ වූ පව් කමාව විකිණීම කෙරෙහි බොහෝ අයගේ විශ්වාසයක් තිබුනේ නැත. මෙම සාපරාධී වෙළඳ ගනුදෙනුවට විරුද්ධව කිසි පූජකයෙක් කිසිම හඬක් හෝ නැගුවේ නැත. එසේ වුවද,පොදු ජනයාගේ සිත් සතන් අපහසුතාවට මෙන්ම කැළඹිල්ලකටද පත් වෙමින් තිබුණේය. දෙවියන්වහන්සේගේ සභාව පවිත්‍ර කිරීමට උන්වහන්සේ යම්කිසි මාධ්‍යයක් මගින් ක්‍රියාත්මක වන්නේදැයි බොහෝ අය ප්‍රශ්න කරන්නට වූහ.GrHSin 132.3

    ලූතර් තවමත් සෘජු පාප් පක්ෂපාතී බැතිමතෙකු වුව ද පව් කමාව මුදලට අලෙවි කරන වෙළෙඳුන් ගේ දේව විරෝධී ප්‍රකාශන පිළිබඳව හෙතම තැති ගත්තේය. සංත්‍රාසයට පත් විය. ඔහු සේවය කළ දේවස්ථානයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් පව් කමාව ලබාදෙන සහතික පත් මිළදී ගෙන තිබුණේය.මෙවන් අය දේවගැතිතුමා ඉදිරියට පැමිණ තමන් කළ පව් උච්චාරණය කරමින් තම පව් වලින් ඔවුන්ව නිදොස් කර නිදහස් කරන්නැයි බල කර සිටියහ. ඔවුන් තුළ පසුතැවීමක් හෝ එයින් ඉවත් වීමේ අභිප්‍රායක් හෝ නොවීය. පාපයේ වරදින් ඔවුන් නිදොස් කිරීම ඉල්ලා සිටියේ මිලදීගත් පව් කමා සහතිකය මතය. ඔවුන්ව පවින් නිදහස් කිරීම ලූතර් ප්‍රතික්ෂේප කළේය. එම පව්කරුවන් තම පාප ගැන පසුතැවිලි නොවී ඔවුන්ගේ ජීවිත වෙනස් කර ගන්නේ නැතිනම් ඔවුන් සිය පාප තුළ විනාශ වන බව ලූතර් අවධාරණය කළේය. මෙම බැතිමත්හු ආපසු ටෙට්සෙල් වෙත යමින් ඔහු නිකුත් කළ සහතික පත් පදනම්ව තමා සිදුකල පාපවලින් තමාව නිදොස් කරන්නැයි තම පූජකයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පැමිණිලි කළහ. එම කණ්ඩායමේ සමහරෙක් තම මුදල් ආපසු ලබා දෙන්නැයි බලකර සිටියහ. මෙ වදන් ඇසීමෙන් ටෙට්සෙල් කෝපාවිෂ්ට වී ශාප කරන්නට පටන් ගත්තේය. පණ පිටින් මිනිසුන් පුළුස්සා දැමීම සඳහා සෑම හන්දියක් ගානේම ගින්නෙන් පූච්චා දමන ස්ථාන ඉදිකරමින් ” තමාගේ පව් කමාව විකිණීමේ ශුද්ධවූ ව්‍යාපෘතියට යම් ආකාරයකින් හෝ විරුද්ධ වන යමෙකු සිටී නම් එවන් අය ප්‍රසිද්ධියේ ගිනිබත් කිරීමට තමාට පාප්ගෙන් නීත්‍යානුකූල අණකරයක් ලැබී ඇතැයි “ද හෙතෙම පුරසාරම් දෙඩෙව්වේය. (D’Aubigne, bk3, Ch4).GrHSin 133.1

    සත්‍යතාව අභීතව ප්‍රකාශ කිරීමේ වීරයෙකු ලෙස ලුතර් දැන් තම වැඩ කටයුතු ආරම්භ කළේය. උදාවී ඇති අනතුරුදායක තත්ත්වය ගැන අනතුරු ඇඟවීමේ ඔහුගේ හඬ දේශනා කූඩු වෙතින් ගුවන් තලය දෝංකාරය දෙවීය. දෙවියන්වහන්සේගේ ආදරයට සහ ද්වේශයට හේතුකාරක වන්නා වූ පාපයෙහි සොබාව ඔහු බැතිමතුන් ඉදිරියෙහි පැහැදිලි කර දුන්නේය. තම තමන්ගේ ක්‍රියාදාමයන් මගින් එම දඬුවම ලිහිල් කර ගැනීමට හෝ ඉරණම වෙනස් කර ගැනීමට හෝ හැකියාවක් නැතැයි ලූතර් ජනතාවට ඉගැන්වීය. පසුතැවීමෙන් යුතුව දෙවියන්වහන්සේ කරා පැමිණ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල රැඳවීමෙන් පමණක් මිස පව් කාරයාට ගැලවීම නැති බව ඔහු පෙන්වාදුන්නේය. දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය මිලදී ගත නොහැකිය, එය නොමිලේ ලැබෙන්නා වූ තිළිණයකි. පව් කමාව මිලයට ගන්න එපා යැයි ඔහු අනුශාසනා කළේ ය. ඒ වෙනුවට පව් කමාව සඳහා කුරුසිපත් මිදුම්කාරයාණන් දෙස බැලීමට ඔහු බැතිමතුන් උනන්දු කළේය. ගැලවීම ලබා ගැනීම සඳහා බයාදු කමින්ද තමාටම දඬුවම් පමුණුවා ගැනීමෙන්ද කර්කශ දිවිපැවැත්මක් ගෙවමින් ගැලවීම සොයමින් තමා නිරර්ථකයේ වෙහෙස වූ අයුරු ද ඔහු නිදසුනක් ලෙස ඉදිරිපත් කළේය. තමාට සාමය හා ප්‍රීතිය උදා වුණේ තමාගේ අවධානය ඉවත්කර ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාස කිරීමෙන් පමණක් බව ඔහු ශ්‍රාවකයන්ට පැහැදිලි කළේය.GrHSin 133.2

    ශ්‍රද්ධාවක් නැති ව්‍යාජ මවාපෑම් ඉදිරිපත් කරමින් ටෙට්සෙල් ස්වකීය වෙළෙඳාම නොනවත්වාම කරගෙන ගියේය. මහත් හඬින් කරන්නා වූ ඔහුගේ වංචාකාරී කතා නවතා දැමීමට වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් ගැන ලූතර්ගේ අවධානය යොමු විය. ඒ සඳහා කදිම අවස්ථාවක් වැඩිකල් නොගොස් උදාවිය.විටන්බර්ග්හි පිහිටි මාලිගාවේ දෙව්මැදුරේ ශුද්ධ ධාතු ප්‍රදර්ශන යම් යම් කාලවල දී පැවැත්විණ. එම ශුද්ධ දවස්වල දී ද එම දෙව් මැදුරට පැමිණ පාප උච්චාරණය කළ සැමට සම්පූර්ණ පාප කමාව දානය කරන ලදී. පව් කමාව ලබා ගැනීමේ අභිප්‍රායෙන් විශාල සමූහයක් දේවස්ථානය වෙත ඇදී ඒම සාමාන්‍ය සිරිතක් විය.” සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය” එකී ධාතු ප්‍රදර්ශන උත්සවයන්හි ප්‍රධාන තැනක් දැරිය.මෙම මංගල්‍යය මෑත දිනක පැවැත්වීමට නියමිතව තිබුණේය. මංගල්‍යයට සහභාගි වීම සඳහා බැතිමත්හු කලින් දිනයේ සිට දේවස්ථාන භූමිභාගය කරා පැමිණෙමින් සිටියාහුය. එවන් කණ්ඩායමක් සමග එක්වූ මාර්ටින් ලූතර් බැතිමතා ද දේවස්ථානය කරා ඇදුනේය. දේවස්ථානය වෙත ළඟා වූ හෙතෙම එම දොරටුව වෙත සමීප විය. කලින් පිළියෙල කර තිබූ ලියවිල්ලක් අතට ගත් ඔහු එය දොර මත තබා ඇණ ගැසුවේ ය. එහි සටහන් වූයේ පාප කමාව විකිණීමට එරෙහිව වූ වගන්ති අනූ පහකි. එම විෂය පිළිබදව විකල්ප යෝජනා ඔහුගේ විරුද්ධතා ප්‍රකාශනයෙහි අඩංගු විය. ඉදිරිපත් කළ විකල්ප යෝජනාවන්ට එරෙහිව කවරෙකු හෝ හඬක් නගන්නේ නම් තම යෝජනා රැකගැනීමට තමා විවාදයකට එළඹීමට සූදානම් බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එය පසුදින විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදි පැවැත්විය හැකි බව ද ඔහු කියා සිටියේය.GrHSin 134.1

    ඔහුගේ යෝජනාවන් මුළු ලෝකයම මනුෂ්‍යයන් ගේ අවධානයට භාජනය විය. බොහෝ අය ඔහුගේ යෝජනා නැවත නැවතත් කියෙව්වෝය. ඔවුනොවුන්ට ඒ ගැන පැවසුවෝය. විශ්ව විද්‍යාලයේ දී මෙන්ම මුළු නගරයේ ම ජනතාව තුළ ද කැළඹීමක් පැතිර ගියේය. ලූතර්ගේ යෝජනාවලියෙහි ගැබ් වී තිබූ ප්‍රධානතම තර්කය වූයේ පාපයට සමාව දීමටත් එහි දඬුවම ඉවතලෑමටත් පාප්ට හෝ කිසිම අයෙකුට හෝ කිසිම දවසක කිසිම බලයක් ලබා දී නැති බවයි. කමාව දානය කිරීමේ සැලැස්ම සම්පූර්ණ මුලා කිරීමකි. මිනිසුන්ගේ මිත්‍යා ඇදහිලි මතභේදයන් ප්‍රයෝජනයට ගනිමින් සැකසූ එම සැලැස්ම මුදල් උපයාගැනීම සඳහා වූ ප්‍රයෝගයකි. එකී ව්‍යාපෘතිය මගින් පොරොන්දු වන්නාවූ ප්‍රතිපාදන හෝ ලාභ ප්‍රයෝජන විශ්වාස කිරීම වනාහි මිනිසුන් නරකාදියට තීන්දු කිරීමට වූ සාතන් ගේ උප්පරවැට්ටියකි. සභාවට දානය කර ඇති උපරිම සම්පත වනාහී ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වන්නේය. එය ඉතා පැහැදිලිය. එයින් එළිදරව් වන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය පසුතැවිල්ලෙන් සහ ඇදහිල්ලෙන් ඉල්ලන්නා වූ සැමට නොමිලේ ලැබෙන්නේ යන සත්‍යයන් එමඟින් පැහැදිලි කරන ලදී.GrHSin 134.2

    ලූතර්ගේ ලියවිල්ල සාකච්ඡාව සඳහා අභියෝගයක් එල්ල කළේය. එහෙත් කිසිවෙක් එකී අභියෝගය පිළිගත්තේ නැත. ඔහුගේ යෝජිත ප්‍රශ්න මාලාව දවස් කීපයක් ඇතුළත ජර්මනිය පුරා ප්‍රචලිත විය. එසේම, සති කීපයක් ඇතුලත එම ලියවිලි වල අන්තර්ගතය කිතුනු ලෝකය පුරා පැතිර ගියේය. සභාව තුළ පවතින්නා වූ දුෂ්ට වූ ද, අධම වූද බලවත් අපරාධ ගැන සොවින් ලතැවෙමින් සිටි භක්තිමත් රෝමානුවෝ ලූතර්ගේ මේ ලියවිල්ල ගැන ඇසූහ, එය දුටුවෝය. වර්ධනය වන්නා වූ අපරාධ නවතා දමන්නේ කෙසේ දැයි ඔවුහු සෝ සයුරේ ගිලෙමින් බලා සිටියහ. එම ලියවිල්ල වනාහි දෙවියන් වහන්සේගේ හඬ ලෙස ඔවුහු පිළිගත්හ. රෝමානු සභාවේ පාදර්ශක ප්‍රදේශයේ මූලස්ථානයේ සිට නික්ම එන්නා වූ වර්ධනය වෙමින් පැවති දූෂණ රැල්ල මර්දනය කිරීමට දෙව් සමිදාණන් ස්වකීය ශ්‍රී හස්තය ක්‍රියාත්මක කර ඇති බව ළතැවෙමින් සිටි බැතිමත්හු දැක ගත්තෝය. පාප්ගේ අනුමැතියෙන් යුතුව නිකුත් වන්නාවූ නියෝගයක් සම්බන්ධ විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීමෙන් අගතියක් සිදුවී ඇතැයි ද කියමින් එවන් නියෝගයක් සම්බන්ධව විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියක් කිසිවකු හට හෝ නැතැයිද කියමින් හඬක් නැගී ආවේය. එවන් නියෝගයක් සම්බන්ධව ආයාචනයක් ඉදිරිපත් කිරීමට හෝ ඉඩක් නොවීය. ලුතර් විසින් එම මුත්තිය බිඳ දමමින් අභියෝග කිරීම පිළිබඳව නීති බලධරයන් මෙන්ම රජයේ කුමාරවරු ද රහසිගතව ප්‍රීතියට පත්වූහ.GrHSin 135.1

    මේ අතර පාපයට ගැතිකම් දැක්වූ ද මිථ්‍යා ඉගැන්වීම් දොහොත් මුදුන් දී පිලිගත්තා වූද අය, පාපය ගැන තමන්ගේ සිත් තුළ තිබූ බිය දුරු කොට, මන්ගේ සිත් සතන් සැනසූ ව්‍යාජ ඉගැන්වීම් වලට තර්ජනයක් එල්ල වීම ගැන මහත් සේ භීතියට පත් වූහ. එසේ ම රෝමානු පූජක පක්ෂය ද මහත් සේ තැති ගත්තෝය. අපරාධ වලට සහාය සැලසීමේ ක්‍රියාදාමයට එරෙහිව හඬක් නැගීමට පටන් ගත් නිසාද, තමන්ගේ ආදායම් මාර්ග අහිමි වී යාමේ තර්ජනයක් ආරම්භ වී ඇති නිසාද කම්පනයට පත් කපටි පැවිද්දෝ තමන්ගේ බොරු ක්‍රියා වේදය රැකගැනීමට එක්ව ක්‍රියා කිරීමට සැරසුණෝය. මේ ප්‍රතිසංස්කරණවාදියාට එරෙහිව දැඩි ක්‍රියා පිළිවෙතක් දියත් කිරීමට ඔවුහු එකහඬින් සැදීපැහැදී සිටියෝය. වියරුව සිටි පැවිද්දන්ගේ දැඩි කෝපාවිෂ්ඨ චෝදනාවලට මුහුණ දීමට ලූතර්ට සිදුවිය. ඔහුට විරුද්ධව විවිධ ආකාරයේ චෝදනා එල්ල වන්නට විය. ඔහු අපරික්ෂාකාරීව කඩිමුඩියේ ක්‍රියා කළේ යැයි සමහර අය ඔහුට දොස් පැවරූහ. අයුතු ප්‍රයෝජන ලැබීමේ අරමුණින් ඔහු ක්‍රියා කර ඇතැයි ද දෙවියන් වහන්සේ ඔහුට එසේ කරන්න යැයි මඟ පෙන්වීමක් ලබා දුන්නේ නැතැයිද චෝදනාවන් එල්ල විය. ඔහු ක්‍රියා කරන්නේ උඩඟුකමින් සහ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ අදිටනින් යැයි වෙනත් අය දොස් පැවරූහ. චෝදනා එකින් එක එල්ල වූ අතර ඔහුගේ ප්‍රතිචාරය මෙසේ විය.” කිසිම මනුෂ්‍යයෙක් අලුත් අදහසක් ඉදිරිපත් කිරීමේදී යම්කිසි ආකාරයක අභිමානයක හෝ ආඩම්බරයක පෙනුමකින් තොර ව එසේ කරන්නේ නැති බව නොදන්නේ කවරෙක්ද? ඉදිරිපත් කරන්නාවූ අලුත් අදහස් නිසා කැළඹීම්, අඩදබර හටගන්නේ නැතැයි කවරෙකුට කිව හැකිද? …. ක්‍රිස්තුස් වහන්සේ සහ අනෙකුත් වේද සාක්ෂිකරුවන් මරා දමන ලද්දේ මක්නිසාද?එකී කාලයාගේ ප්‍රඥාව එපා කරන්නාවූ උදාරමින් යුත් මනුෂ්‍යයන් හැටියට ඔවුන් සලකනු ලැබූ නිසාය. ආදි කාලීන මත ඉදිරිපත් කළ දූරදර්ශී නැණවතුන්ගේ උපදෙස් නිහතමානීව අනුගමනය නොකර අලුත් අදහස් ඉදිරිපත් කිරීම නිසා ප්‍රතික්ෂේප කරනු ලැබූහ.” (D’ Aubigne, b3, Ch.6).GrHSin 135.2

    නැවත වරක් ලූතර් මෙසේ කීවේය.” මා ඉටු කරන්නා වූ යම් දෙයක් වේද, එය කරනු ලබන්නේ මිනිසුන්ගේ නුවණක්කාර පෙළඹවීම් මත නොවේ. යමක් ඉටු කෙරේද, එය දෙවියන්වහන්සේගේ අනුශාසනාවට අනුව සිදුවේ. එකී කර්තව්‍යය දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම මත සිදුවේ නම්, එය නවතා දැමීමට කවරෙකුට පුළුවන් ද? එසේ නොවන්නේ නම් එවැන්නක් ඉදිරියට ගෙනයාමට හැක්කේ කාටද? මාගේ කැමැත්ත හෝ ඔවුන්ගේ කැමැත්ත හෝ අපගේ කැමැත්ත හෝ සභාවේ කැමැත්ත හෝ නොව, සගයේ වැඩසිටින්නාවූ ශුද්ධ පියාණන් වහන්ස ඔබ වහන්සේගේම කැමැත්ත ඉටු වේවා!” (D’ Aubigne, b3, Ch.6).GrHSin 136.1

    ලූතර්ගේ කාර්යය ආරම්භ කිරීමට දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ පෙළඹවීම ක්‍රියාත්මක වූ නමුත් එම කාර්යය ඉදිරියට ගෙන යෑමේ දී විවිධාකාර ගැටුම් ඇති නොවීම අදහස් කරනු ලැබුවේ නැත. සතුරෝ ඔහුගේ හඩ යටපත් කිරීමට පසුනොබා ක්‍රියා කළෝය. ඔවුහු ඔහුට නින්දාත්මක ලෙස දෝෂාරෝපණය කළෝය. ඔහුගේ අරමුණු විකෘති කොට දැක්වූහ. ඔහුගේ චරිතයට මඩ ප්‍රහාර එල්ල කළෝය. ඔහුගේ ක්‍රියාදාමය අවලාදයට ලක් කළෝය. වාග් දොරටුවක් විවෘත කළා මෙන්ම සෑම පැත්තකින්ම විවිධ ආකාරයේ තර්ජන සහ ගර්ජන ඔහුට එරෙහිව ක්‍රියාත්මක විය. එමගින් ඔහුට දැඩි පීඩනයක් එල්ල නොවූයේ ද නොවේ. ඔහු පසුබෑමකට ලක් නොවූයේ ද නොවේ. මාගේ පුනරුදයේ කර්තව්‍යයට ජන නායකයන් මෙන්ම සභාවේ සහ විද්‍යාලයේ නායක තනතුරු හෙබි පුද්ගලයන් ද සහයෝගය දෙනවා ඇතැයි ඔහු තුළ විශ්වාසයක් විය. ඔහු මෙතෙක් ඉටු කර ඇති කාර්යයන් පිළිබඳව ඉහළ තනතුරු දැරූ නායකයන් ලබාදුන් දිරිගැන්වීම් නිසා ඔහු තුළ ප්‍රීතිය සහ බලාපොරොත්තුව ඇති විය. සභාව කෙරෙහි දීප්තිමත් දවසක් උදාවන බවට ඔහු තුළ ඉතා දැඩි විශ්වාසයක් තිබුණේ ය. එහෙත්, ක්‍රියා කරමින් තිබූ දිරිගැන්වීම් සියල්ලක්ම පාහේ දොස් පැවරීම් සහ අවලාද බවට වෙනස් වන්නට විය. සභාවේ සහ රජයේ උසස් නිලධාරීහු ඔහු ඉදිරිපත් කර තිබූ විකල්ප යෝජනා සත්‍ය බව පිළිගත්හ. එහෙත් මේ අලුත් සත්‍යතා පිළිගැනීම කරණ කොටගෙන විශාල වෙනස්කම් සිදුවිය යුතු බව ඔවුන්ට පෙනී ගියේය. ජනතාව දැනුවත් කර ඔවුන් තුළ ප්‍රතිසංස්කරණයක් උදා කිරීම යනු රෝමයේ බල ආධිපත්‍යය සැහැල්ලු කිරීමක් බව නායකයෝ දුටුවෝ ය. එමගින් සභාවේ භාණ්ඩාගාරය වෙත ගලා එන්නාවූ මහත් ධන සම්භාරයක් නවතිනවා ඇත. එසේම පාප් නායකයන් ගේ අති සුඛෝපභෝගී සහ අධික වියදම් සහිත ජීවිත රටාවට ද එල්ල වන්නේ මරු ප්‍රහාරයකි. ගැලවීම ලබා ගැනීම උදෙසා ක්‍රිස්තු සමිදාණන් කෙරෙහි පමණක් විශ්වාසය රැඳවීමට වූ ඉගැන්වීම මගින් ජනතාවට උදා වන්නාවූ සිතීමේ සහ ක්‍රියා කිරීමේ නිදහසය කරණ කොට ගෙන පාප්ගේ සිහසුන බිද වැටෙනවා ඒකාන්තය. අන්තිමේදී ඔවුන්ගේ බල අධිකාරිය ද විනාශ වී යනවා ඒකාන්තය. මේ හේතුවෙන් ඔවුහු දෙවියන්වහන්සේ විසින් එවන ලද දැනගැන්ම එපා කරමින් ජනතාවට දැනුම් නවෝදයක් උදාකර දීමට දෙවියන්වහන්සේ එවූ මනුෂ්‍යයාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රිස්තුස්වහන්සේටත්, සත්‍යතාවටත් විරුද්ධව ක්‍රියා කළෝය.GrHSin 136.2

    තමා දෙසම බැලූ ලූතර් බයෙන් සැලෙන්නට විය. තනි පුද්ගලයකු වූ තමාට එරෙහිව පොළොවේ දැවැන්ත බලවේගයක් එක්වී ක්‍රියා කිරීම ඔහුට බිය ගෙන දෙවන්නක් විය. සභාවේ බල අධිකාරීත්වයට විරුද්ධව නැගී සිටීමට ඇත්තටම දෙවියන් වහන්සේ තමාට මග පෙන්වූ සේක්දැයි ඔහු සමහර අවස්ථාවන්හිදී අනුමාන කළේය. ඔහු මෙසේ ලිවීය. ” රජවරු මෙන්ම සමස්ථ ලෝකයාම පාප් ඉදිරියෙහි භීතියෙන් මුසපත් වන්නාහ. එවන් පුද්ගලයකු ගේ බලපරාක්‍රමයට එරෙහිව නැගී සිටීමට තරම් මා කවරෙක්ද? …. මෙම මුල් අවුරුදු දෙක තුළදී මා සිතින් කෙතරම් දුක් කන්දරාවක් වින්දා දැයි කිසිවෙක් දන්නේ නැහැ. බලාපොරොත්තු සියල්ල සුන් වී කලකිරීමේ ආගාධය කෙතරම් ගැඹුරට මා කිඳා ගියේ දැයි දන්නේ මා පමණක් ය. (D’ Aubigne, b3, Ch.6). චිත්ත ධෛර්යය සහමුලින්ම බිඳ වැටීමට ඉඩ හැරීම ඔහුගේ ඉරණම නොවීය. මිනිස් උපකාර අහිමි වී ගිය කල්හි ඔහු දෙවියන්වහන්සේ දෙස පමණක් බලමින් එම සර්වබලධාරී ශ්‍රී හස්තය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය රැඳවීමට හැකි බව ඒත්තු ගත්තේය.GrHSin 137.1

    ප්‍රතිසංස්කරණයේ මිතුරෙකුට මෙසේ ලීවේය. ” ශුද්ධ ලියවිල්ල තේරුම් ගැනීම අපගේ ඉගෙනීමෙන් සහ බුද්ධියෙන් කරගන්නට බැහැ. අප විසින් මුලින්ම කළ යුත්තේ යාච්ඤා කිරීමයි. උන්වහන්සේගේ වචනය තුළ ගැබ් වී ඇති සත්‍යවූ යථාර්ථය අවබෝධ කරගැනීමට උන්වහන්සේගේ මහත් දයා-කරුණාව ඉල්ලා දෙවි සමිඳාණන්ට යාච්ඤා කරන්න. දේව වචනයේ කතුවරයාණන්ට වඩා හොඳින් එම වචනය තේරුම් කරදීමට වෙනත් කිසිවකුටවත් පුළුවන්කමක් නැහැ. ඔබට ඉගෙන ගැනීමට හැකි වන්නේ දෙවියන් වහන්සේගෙන්ම පමණක්ය. ඔබගේම වෑයමෙන්වත් ඔබගේ අදහස් මගින්වත් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. දෙවියන්වහන්සේ තුල පමණක් සම්පුර්ණයෙන්ම විශ්වාසය රඳවන්න. අත්දැකීමක් ඇති මිනිසකු කියන්නා වූ මේ වදන් කෙරෙහි විශ්වාස කරන්න.” (D.Aubigne,b.3,Ch.7). මේ කාලය උදෙසා දෙවා වදාරා ඇති ගැඹුරු සත්‍යතාවයන් අනිකුත් අයට ඉදිරිපත් කිරීමට කැඳවා ඇති සැමට ඉතා වැදගත් වූ පාඩමක් ලෙස මෙම කරුණු තුල පිහිටීම අගනේය.මෙම සත්‍ය වූ දහම් නිසා සාතන් කැළඹීමට පත්වේ. ඔහු මති මතිමතාන්තර ඇලුම් කරන්නා වූ ද අයද සසල වේ. නපුරෙහි බලවේගයන් සමඟ කරන්නා වූ සටනේ දී මිනිස් ප්‍රඥාවට සහ බුද්ධිමත් භාවය ශක්තියට වඩා වැඩි යමක් අවශ්‍ය ය.GrHSin 138.1

    ලූතර්ගේ සතුරෝ ඉගැන්වීම් පිළිබඳව සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් කෙරේ ද පාප්ගේ අධිකාරී බලය සහ ප්‍රකාශන කෙරෙහි ද අවධානය යොමු කළ විට ඔවුන්ට පිළිතුරු දීමට ලූතර් බයිබලය සහ බයිබලය තුල පමණක් පිහිටා සිටියේය. ලූතර්ගේ තර්ක වලට පිළිතුරු දීමට සතුරන්ට නොහැකි විය. මිසදිටු අදහස් දැරූ බාහිර චාරිත්‍ර වාරිත්‍ර පමණක් ගරුකළ ලූතර්ගේ සතුරෝ ඔහුගේ රුධිරය ඉල්ලා උද්ඝෝෂණය කිරීමට පටන් ගත්හ. ‍ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී රුධිරය ඉල්ලා කෑගැසූ යුදෙව්වන් මෙන් ලූතර්ගේ සතුරෝද ක්‍රියා කළෝය. ” ඔහු ආගම් විරෝධියෙක්” මේ පුද්ගලයා ආගමික ද්‍රෝහියෙක්. මෙවන් තැනැත්තකු හට තව එක් පැයක්වත් ජීවත් වීමට ඉඩ හැරීම ආගමට විරුද්ධව කරන මහා අපරාධයක්, ඔහු උදෙසා පෝරකයක් ඉදිකිරීම වහා කළ යුතුය.”යි රෝමානු ආගමික අන්තවාදීහු කෑගැසූහ. (D’Aubigne, b3,Ch.9).එසේ වුවද, ඔවුන්ගේ සැලසුම් මගින් ලූතර් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ දීමට වඩා ඔහු ගෙන් ගත යුතු වැඩක් දෙවියන්වහන්සේට තිබුණේය. ඔහුව ආරක්ෂා කිරීමට සගයේ සිට දූතයන් එවනු ලැබූහ. එසේ වුවද, ලුතර් ගෙන් වටිනා ආලෝකය ලැබූ බොහෝ අය සාතන්ගේ උදහසට පාත්‍ර වූහ. ඔවුහු සත්‍යතාව වෙනුවෙන් අභීතව වද වේදනාවට මුහුණ දුන්නෝය, හිංසා පීඩාවනට ගොදුරු වූහ, මරණයට පවා යටත් වූහ.GrHSin 138.2

    ජර්මනියේ සිටි විද්වතුන්ගේ මනස් ලූතර්ගේ ඉගැන්වීම්වලින් ප්‍රබෝධයක් ලැබීය. ඔහුගේ දෙසුම්වලින් සහ ලියවිලිවලින් විහිදී ගිය ආලෝක දහරා මගින් දහස් ගණන් බැතිමතුන් ආත්මික නවෝදයක් ලැබූහ, ආත්මික පිබිදීමක් ලැබූහ, සභාව තුළ පැවති ග්‍රහණයට හසුව සිටි අය තුළ ජීවමාන ඇදහිල්ලක් උදා වෙමින් පැවතියේය. රෝමානු සභාවේ මිථ්‍යා ඉගැන්වීම් කෙරෙහි බැතිමතුන්ගේ තිබූ විශ්වාසයද දිනෙන් දින ක්ෂය වන්නට විය, හිඳී යන්නට විය. සභාව කෙරෙහි වූ පක්ෂපාතිකම් දෙදරන්නට පටන් ගත්තේය. තමන් ඉගැන්වූ දහම් සහ ඇදහිලි ක්‍රම සියල්ලම දේව වචනය මතය පදනම් ව පිහිටා තිබූ බව ලූතර් නොබියව ප්‍රකාශ කළේය. එකී දේව වචනය දෙමුවහත් කඩුවක් ලෙසින් බැතිමතුන්ගේ හදවත් පසාරු කළේය. ආත්මික වර්ධනයක් ඉල්ලා සෑම පසෙකින්ම පිබිදීමක් ඇතිවිය. යුග ගණනාවක් පුරා නොපැවති ආකාර දැහැමි බව උදෙසා වූ සා පිපාසාවක් සෑම පසකින්ම උදා වී පැවතියේ ය. මෙතෙක් කලක් බැතිමතුන්ගේ දෑස් යොමු වී තිබුණේ මිනිස් ක්‍රියාකාරකම් සහ භූමික මැදිහත්කරුවන් දෙසටය. දැන් එම දෑස් ක්‍රිස්තුස් වහන්සේ දෙසට පසුතැවිල්ලෙන් යුතුව යොමුවන්නට විය,කුරුසිපත් තැනැන් වහන්සේ දෙසට ඇදහිල්ලෙන් යොමුවන්නට විය.GrHSin 139.1

    ආත්මික පිබිදීමක් මෙයාකාරයෙන් ව්‍යාප්ත වීමත් සමගම රෝමානු ආගමික බලධරයන්ගේ බිය හඬ තවත් වර්ධනය විය. ආගම් විරෝධී ක්‍රියා වේදයන් වෙනුවෙන් නිදහසට කරුණු කීමට ලූතර්ට රෝමයට පැමිණෙන ලෙස අණඥාවක් නිකුත් විය. ලූතර්ගේ මිත්‍රයෝ මෙම අණඥාව නිසා භීතියට පත් වූහ. රෝමයට යාමේ අවදානම ඔවුහු හොඳාකාරව දැන සිටියහ. එම දූෂිත නගරය යේසුස්වහන්සේගේ වේද සාක්ෂිකරුවන්ගේ ද රුධිරයෙන් මත් වී සිටියාය. ලූතර් රෝමයට යනවට ඔවුහු විරුද්ධත්වය ප්‍රකාශ කළෝය. ඔහු ගැන විනය පරීක්ෂණය ජර්මනිය පවත්වන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.GrHSin 139.2

    මෙම ඉල්ලීම ඵල දැරුවේ ය. විභාගය සඳහා තානාපතිවරයකු පත්කරන ලදි. පාප් විසින් මෙම තානාපතිවරයාට එවනු ලැබූ උපදෙස් හි සඳහන්ව තිබුණේ ලූතර්ව දැනටමත් ආගම් ද්‍රෝහියකු ලෙස තීන්දු කර ඇති බවය. එම නිසා” චෝදනාවට වරදකරු කොට, නිදහසට කරුණු නොවීමසාම ඔහුව දඬුවමට යටත් කරන ලෙස” තානාපතිවරයාට විධාන කර තිබුණේය. ලූතර් මෙසේ යටත් වන්නේ නැත්නම්, ඔහුව පාලනය කිරීමට නුපුළුවන් නම් ලූතර්ව ” වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත්කොට, ඔහුට ජර්මනියේ කිසිම තැනක රැඳී සිටීම තහනම් කර” ලූතර් සමග” සම්බන්ධකම් පැවැත්වූ සියල්ලන්ම දේවස්ථානයෙන් නෙරපා හරින ලෙසද ඔවුන්ට ශාප කරන ලෙසද පාප් විසින් නියම කර තිබුණේය.” (D’Aubigne, b4,Ch.2). වසංගතයක් ලෙස පැතිර යන්නාවූ අගම් ද්‍රෝහී ක්‍රියාදාමය මුලිනුපුටා දමන්නටත් එයට කිසියම් ආකාරයක හෝ සබඳතාවයන් දක්වන්නා වූ යමෙකු වේද තරාතිරම නොබලා ඔවුන් සියල්ලන්ම සභාවෙන් නෙරපා හරින්නටත් පාප් අණ කර තිබුණේය. ලූතර් සමඟ ඔහුගේ අනුගාමිකයන් අල්ලා ගෙන ඔවුන්ව රෝමයේ උදහසට භාර නොදෙන කවරකු හෝ වේවා ඔහු ආගමික ද්‍රෝහියකු ලෙස නම් කර සභාවෙන් නෙරපා හැරිය යුතු විය. මේ නියමය වලංගු නොවූයේ අග රජතුමා ට පමණය.GrHSin 139.3

    පාප් බල අධිකාරියේ යථා ස්වභාවය මෙයින් පිළිබිඹු වන්නේ ය. පාප් විසින් සිය නියෝජිතයා වෙත එවනු ලැබූ අඥාවෙහි පොදු සාධාරණය බිඳක් හෝ මුසු වී තිබුනේ නැත. ලූතර් සිටියේ රෝමයෙන් බොහෝ ඈත ස්ථානයකය. තමාගේ ස්ථාවරය රැක ගැනීමට හෝ නිදහසට කරුණු පුද්ගලිකව ඉදිරිපත් කිරීමට හෝ ලූතර්ට හැකියාවක් නොවීය. කෙසේ වුවද, ඔහුට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා විභාග කිරීමටත් පෙර ඔහුට එරෙහිව තීන්දුව ප්‍රකාශ කර තිබුනේ ය. ඔහු ආගම් විරෝධියකු බවට නඩු තීන්දුවක් නිකුත් කර තිබුණේය. එම නඩු තීන්දුව ප්‍රකාශ කළ දිනයේ දී ම ලූතර්ට අවවාද කර, චෝදනා කර, විනිශ්චයකර, වරදකරුවකු ලෙස තීන්දුවක් ද ප්‍රකාශයට පත්කර තිබුණේය. මේ සියල්ලක් ම ඉටු කළේ තමන් ශුද්ධවූ පියාණන් යැයි කියාගත් සභාවේ බල අධිකාරීවරයා වූ පාප්ය!GrHSin 140.1

    මේ අවස්ථාව ලූතර්ට සැබෑ මිතුරෙකුගේ අනුකම්පාව සහ අනුශාසනා අවශ්‍ය වූ වේලාවක් විය. දේව මගපෙන්වීම යටතේ මෙලැන්ක්තොන්ව විටන්බර්ග් කරා එවූ සේක. තරුණයෙකු වූ මෙලැන්ක්තොන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර විය. ඔහු දැනුම් සම්භාරයක් තිබූ තරුණයෙක් විය. ආකර්ෂණශීලී කථිකත්වයක් තිබූ හෙතෙම සුචරිතයක් ඇති, යුතුකමට වැඩ කරන, අවංක පුද්ගලයෙක් විය. එම නිසාම ඔහු සැමගේ ගෞරවයටත් සම්මානයටත් භාජනය විය. ඔහුගේ මහත්මා ගතිගුණ මඟින් ඔහුගේ කුසලතා විශිෂ්ටතාව නැගුණේය. වැඩිකල් නොගොස් ඔහු ශුභාරංචියෙහි ගෝලයකු බවට පත් විය. ඔහු ලූතර්ගේ විශ්වාසදායක මිතුරා බවට පත්විය. ගුණ පිරි සහයකයා විය. ඔහුගේ නිහතමානීභාවය, පරීක්ෂාකාරී අවධානය සහ සෘජු භාවය, ලූතර්ගේ නිර්භීත කමට සහ ශක්තියට පන්නරයක් ලබා දුන්නේය. ප්‍රතිසංස්කරණය ශක්තිමත් කිරීමට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව විශාල දිරියක් විය. එයින් ලූතර්ට ඉමහත් දිරිගැන්වීමක් ලැබුණි.GrHSin 140.2

    නඩු විභාගය පැවැත්වීම සඳහා ඔග්ස්බර්ග් නගරය යොදා ගෙන තිබුණේ ය. ඒ සඳහා ප්‍රතිසංස්කරණවාදීයා බියෙන් තම ගමන ඇරඹීය. ඔහුගේ ආරක්ෂාව පිළිබඳව විවිධ ආරංචි පැතිරෙන්නට විය. ඔහු යන අතරමගදී ඔහුව බලෙන් පැහැරගෙන මරා දැමීමට සැලසුම් කර ඇතැයි ප්‍රසිද්ධියේම තර්ජන එල්ලවී තිබුණ. එම ගමන යන්නට එපා යැයි ඔහුගේ මිතුරෝ බැගෑපත් වූහ. කලකට විටන්බර්ග් නගරයෙන් බැහැරව ගොස්, ඔහුව රැකවරණය කිරීමට කැමැත්තක් දක්වා ඇති අය සමඟ රැඳී සිටින්නැයි ඔහුගේ මිත්‍රයෝ ඉල්ලා සිටියෝය. දෙවියන්වහන්සේ ඔහුට ලබා දුන් අවස්ථාව පැහැර හැරීමට ඔහු තුළ කැමැත්තක් නොවීය. තමා අවට පැන නැග ඇත්තාවු කුණාටු කෙතරම් දැඩි වුවද සත්‍යතාව රැක ගැනීමට ඔහු අඛණ්ඩව ක්‍රියාකළ යුතු විය. ඔහුගේ ප්‍රතිචාරය මෙසේ විය.” අරගලයන්ට සහ ගැටුම් වලට මැදිව යෙරෙමියා මෙන් මමත් එළඹෙන්නා වූ අවස්ථාවන්ට මුහුණ දෙනවා. විරුද්ධවාදීන්ගේ තර්ජන වැඩිවත්ම මාගේ ප්‍රීතිය ද ඒ හා සමානව වැඩි වේ…. ඔවුහු දැනටමත් මාගේ ගෞරවය සහ නම්බුව විනාශ කර තිබේ. විනාශ කිරීමට ඔවුන්ට ඇත්තේ මාගේ මේ කාලකන්නි ශරීරය පමණයි. ඒකත් ඔවුන්ට ලැබේවා. පැය කීපයකින් ඔවුන් මාගේ ජීවිතය කෙටි කරනවා ඇත. එහෙත් ඔවුන්ට මාගේ ආත්මයට අත තබන්නට බැහැ. යමෙක් ක්‍රිස්තුස්වහන්සේගේ වචනය ලෝකයාට ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන්නේ ද ඔහු ඕනෑම මොහොතක දී මරණයට මුහුණ දීමට සූදානමින් සිටිය යුතුය.” (D’Aubigne, b4,Ch.4).GrHSin 141.1

    ඔග්ස්බර්ග් නගරයට ලූතර් පැමිණ ඇතැයි යන ආරංචිය පාප් නියෝජිතයාගේ ඉමහත් සතුටට හේතු විය. මුළු ලෝකයම භීතියෙන් මුසපත් කළ ආගම් ද්‍රෝහියා දැන් රෝම බලාධිකාරියේ ග්‍රහණයට අසුවී සිටියේය. ඔහුට බේරී යාමට ඉඩක් නොතැබීමට පාප් නියෝජිතයා තීරණය කරගත්තේය. විනිශ්චය ශාලාව කරා යෑමේ දී තමාගේ ආරක්ෂාව උදෙසා සුදුසු පියවර ගැනීමට ප්‍රතිසංස්කරණවාදීයා කිසියම් සූදානමක් කර තිබුණේ නැත. ආරක්ෂක සහතිකයක් නැතුව නඩු විභාගයට ඉදිරිපත් වන්නට එපා යැයි ඔහුගේ මිතුරෝ ඔහුට අනුශාසනා කළෝය. අග රජතුමාගෙන් එවන් ආරක්ෂක සහතිකයක් ලබාදීමට ඔවුහු ම ඉදිරිපත් වූහ. ලූතර් විසින් ප්‍රකාශ කර ඇති දේවල් ඉල්ලා අස්කර ගැනීමට ඔහුට බලය යොදවන්න පාප් නියෝජිතයා අදිටන් කර ගෙන සිටියේ ය. මෙය කරගන්නට අපොහොසත් වුවහොත්, ලූතර්ව රෝමයට ගෙන ගොස් හස්ගේ ජෙරෝම්ගේ ඉරණමට ඔහුවත් භාජන කිරීමට ඔහු තීරණයක් ගෙන තිබුණේය. ආරක්ෂා වැඩ පිළිවෙලක් නැතිව ලූතර්ට නඩු ශාලාව කරා පැමිණීමටත්, තමාගේ කරුණාව යටතේ පමණක් බලාපොරොත්තුව රඳවමින් පැමිණීමටත් පාප් නියෝජිතයා තම සහචරයන් මඟින් ලූතර්ට බලපෑම් ඇති කළේය. පාප් තානාපතිවරයා ඉදිරියෙහි පෙනී සිටීමට පෙර අග රජතුමාගේ ආරක්ෂාව සහතික කරන්නාවූ ලේඛනය ලබාගැනීමට ඔහු සැලකිලිමත් විය. එම ලියවිල්ල නැතිව නඩුවට පෙනී සිටීම ඔහු ප්‍රතික්ෂේප කළේය. කරුණාවේ සහ මෘදු භාවයේ මුහුණු වැස්මක් පැලඳ ලූතර්ව තම පක්ෂය වෙත දිනා ගැනීමට රෝමානුවෝ වෑයම් කළෝය. පාප් නියෝජිතයා ලූතර් සමග කල සම්මුඛ සාකච්ඡාවල දී ඔහු දැඩි මිත්‍රශීලීකමක් පෙන්නුම් කළේය. කිසිම අභ්‍යන්තර හැඟීමක් සඟවා නොගෙන සම්පූර්ණයෙන්ම සභාවේ ආධිපත්‍යයට යටත් වන ලෙස ඔහු ලුතර්ගෙන් ඉල්ලා සිටියේ ය. කිසිම තර්කයක් හෝ ප්‍රශ්නයක් හෝ ඉදිරිපත් නොකර සෑම කරුණක්ම අත්හැර දමන බවට පොරොන්දු වන්නැයි ලූතර්ට කාරුණිකව බලපෑම් එල්ල කළ පාප් නියෝජිතයාට විනිශ්චයට ඉදිරිපත් වී ඇති මේ තැනැත්තාගේ චරිත ගුණාංග පිළිබඳ නිසියාකාර හැඟීමක් නොතිබුණි. කාර්දිනල්වරයා ඉදිරියෙහි තම පිළිතුර සපයන්නා වූ ලූතර්, තමා සභාවට ගරු කරන බවත් සත්‍යතාව හිස් මුදුනින් පිළිගන්නා බවත් කියා සිටියේය. තවද, තමා ඉගැන්වූ දහම් වලට විරුද්ධ තාවන් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සියල්ලටම පිළිතුරු සැපයීමට තමා සූදානම් බව ඔහු කියා සිටියේය. තමාගේ සෑම මූලධර්මවාදයක් ම සමහර විශ්වවිද්‍යාලයන්හි අධීක්ෂණයට භාජනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. තමාගේ ඉගැන්වීම් වැරදි යයි ඔප්පු කිරීමකින් තොරව එම දහම් ඉල්ලා අස්කර ගැනීමට කාර්දිනල්වරයා ගත් ක්‍රියාමාර්ගය ගැන ඔහු විරෝධතා දැක්වීය.GrHSin 141.2

    ඔහුට ලැබුණා වූ එකම ප්‍රතිචාරය වූයේ ” ඉල්ලා අත් කර ගනු, ඉල්ලා අස් කර ගනු” යි තර්ජනය කිරීම පමණය. තමාගේ ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ල මත පදනම් වී ඇති නිසා සත්‍යතාවය පිටුපාමින් එම ඉගැන්වීම් ඉල්ලා අස්කර ගැනීමට තමාට කිසිසේත්ම නොහැකි බව ලූතර් තරයේ කියා සිටියේය. ලූතර්ගේ තර්ක වලට පිළිතුරු දීමට අපොහොසත් වූ පාප් නියෝජිතයා ඔහුට අඛණ්ඩව ප්‍රහාරයක් එල්ල කළේය. අවලාද, නින්දා කිරීම්, සමච්චල් කිරීම්, උපහාසයට භාජන කිරීම්, චාටු බස් කීම යන සියල්ලක් ම ඔහුගේ ප්‍රහාරයේ ආයුධ විය. ඒ අතර ම ස්වකීය වාග් ප්‍රහාරයට සාම්ප්‍රදායික ඉගැන්වීම් සහ පියවරුන්ගේ ප්‍රකාශ ද ඔහු එකතු කර ගත්තේය. ප්‍රතිසංස්කරණවාදීයාට කථා කිරීමට ඉඩප්‍රස්ථාවන් ලබාදීම නොදීමට ඔහු උපක්‍රමශීලී විය. මේ සම්මන්ත්‍රණය මෙයාකාරයෙන් තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රයෝජනයක් සිදු නොවන බව වටහාගත් ලූතර් තම පිළිතුරු ලිඛිතව ලබා දීමට අවසර පැතීය. මහත් අකමැත්තෙන් වුවද එම අවසරය ලූතර්ට ලැබුණේය.GrHSin 142.1

    මිතුරෙකුට ලිපියක් ලියමින් ලුතර් මෙසේ පැවසීය. “මෙසේ කිරීමෙන් මේ පීඩිතයාට වාසි දෙකක් අත්වේ. මුල්ම වාසිය නම් ලිඛිතව ඉදිරිපත් කරන දේ තවත් අයගේ විනිශ්චයට ඉදිරිපත් කළ හැකිවීමය.දෙවැනි වාසියනම් මානයෙන් හිස පිරීගිය හිතුවක්කාර ලෙස දොඩන්නා වූ අනුකම්පා විරහිතව ක්‍රියා කරන්නන්ගේ භීතියට හෝ ඔවුන්ගේ හෘදය සාක්ෂියට කතා කිරීමට අවස්ථාවක් ලැබීම ය. එසේ නැතිනම් මෙම සාහසිකයා තමාගේ උදාර වාග් සංදර්ශනය මගින් ජයගන්නවා.” (Martyn, “The life and Times of Luther, pp.271,272”).GrHSin 143.1

    ඊළඟ සාකච්ඡා වාරයේදී ලූතර් තම පිළිතුර ඉතා පැහැදිලි වූ ද, සංක්ෂිප්ත වූ ද තම ඉගැන්වීම් ප්‍රභලව අඩංගු වූ ලේඛනයකින් ඉදිරිපත් කළේය. තව ඉගැන්වීම් සනාථ කිරීමට හෙතෙම ශුද්ධ ලියවිලි පාඨ ගණනාවක්ම භාවිතා කර තිබුණේය. සම්මන්ත්‍රණ ශාලාවේ දී එම ලියවිල්ල සැමගේ සවනට ඇසෙන සේ ප්‍රසිද්ධියේ කියෙවූ හෙතෙම එය කාර්දිනල්වරයාට පිළිගැන්වීය. එම ලියවිල්ල සාවඥ ලෙස පසෙකින් තැබූ කාර්දිනල්වරයා එය ඇගයීමකට ලක් කිරීම ප්‍රතික්ෂේප කළේය. එම ලියවිල්ලෙහි ඇත්තේ වැදගත්කමකින් තොර වචන සමූහයක් බවත්, භාවිතා කර ඇති පාඨ අදාළ කමක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ලූතර් එඩිතර ව නැගී සිට කාදිනල් ඉදිරිපත් කළ කරුණු එකින් එක බිඳ දැම්මේය. සම්ප්‍රදායන් සහ සභා ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලට එකහෙළාම විරුද්ධ බව ඔහු පෙන්වා දුන්නේ ය. GrHSin 143.2

    ලූතර්ගේ තර්ක බිඳ දැමිය නොහැකි බව වටහා ගත් කාර්දිනල්වරයාගේ ආත්ම දමනය දෙදරා ගියේය. කෝපයෙන් වියරු වැටීමකට භාජනය වූ හෙතම කෑගසා මෙසේ පැවසුවේය. “ලූතර් ඔබ ඉගැන්වූ දෑ ඉල්ලා අස්කරගන්න. නැතිනම් මා ඔබ රෝමයට යවනවා. එහිදී ඔබගේ ක්‍රියාදාමයන් විනිශ්චය කිරීමට පත්කළ ධර්මාධිකරණ විනිසුරුවන් ඔබට නියමිත දඩුවම දේවි. මම ඔබව සභාවෙන් නෙරපා හරිමි. ඔබගේ පාක්ෂිකයන්ට ද එම දඬුවම තීන්දු කරමි. යම් කිසි දවසක ඔබට අනුබල දෙන තැනැත්තෙක් වේ ද, ඔහුට ද එම ඉරණම තීන්දු වෙනවා ඇත. මේ සියල්ලන්ම සභාවෙන් නෙරපා දමනු ලබනවා ඇත.” අන්තිමේදී හෙතෙම අහංකාර වූ ද, කෝපාවිෂ්ට වූ ද වදනින් මෙසේ පැවසීය. “ඉල්ලා අස්කරගන්න. නැත්නම් තවත් මා ඉදිරියට එන්න එපා.” (D’Aubigne, b4, Ch.8).GrHSin 143.3

    මෙම ප්‍රකාශය ඇසූ ලූතර් තම මිතුරන්ද සමගින් නඩු ශාලාවෙන් පිටවිය. තමා කියූ කිසිවක් ඉල්ලා අස් කර ගන්නේ නැති බව ශාලාවෙන් පිටව යාමෙන් සනාථ විය. කාර්දිනල් බලාපොරොත්තු වූයේ මෙවැන්නක් නොවේ. ඔහු බලාපොරොත්තු වූයේ ලූතර්ගේ යටත්වීමක් බලහත්කාරකමින් හෝ ලබා ගැනීමටය. ප්‍රචණ්ඩත්වයෙන් ලූතර් බියගන්වා ඔහුව තම පැත්තට නම්මවා ගැනීමට ඔහු බලාපොරොත්තු විය. ශාලාව වගඋත්තර කරුවන් ගෙන් හිස් විය. තමාගේ ආධාරකරුවන් සමග ශාලාවේ තනිවූ කාදිනල්වරයා තමාගේ වැඩ සැලැස්ම ව්‍යවර්ථ වීම ගැන එකිනෙකාගේ මුහුණ දෙස බලමින් අප්‍රසාදය බෙදා ගත්තේය.GrHSin 143.4

    මෙම අවස්ථාවේ දී ලූතර්ගේ වෑයම නිම වුනේ යහපත් ප්‍රතිඵල වලින් තොරව නොවේ. මේ පුද්ගලයන් දෙදෙනාගේ පැවැත්ම ඇගයීමකට ලක් කිරීමට රැස්ව සිටි විශාල ජනකායට අවස්ථාවක් උදා විය. ඔවුන් දෙදෙනා තුළ පැවති ආත්මයන් සසඳා බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණේය. දෙදෙනාගේ පාර්ශ්වයන් තුල සත්‍යතාවය වෙනුවෙන් තිබූ ශක්තියත්, අවංකභාවයත් සැමගේ විමර්ශනයට භාජනය විය. දෙදෙනා අතර තිබූ වෙනස්කම් කෙතරම් ප්‍රබල ලෙස කැපී පෙනුණේ ද? ප්‍රතිසංස්කරණය දෙවියන් වහන්සේගේ ශක්තිය තුළ සරලව, යටහත් පහත්ව, ස්ථිරව නැගී සිටියේය. ඔහුගේ පාර්ශවයේ සත්‍යතාව ලෙලදෙමින් තිබුණේය. පාප නියෝජිතයා තමාගේම වැදගත්කමින්, සියල්ල තමාගේ සලකමින් යටපත් කරගනිමින් උඩඟුකමින් යුතුව නැගී සිටියේය. ඔහුගේ ප්‍රකාශන සාධාරණ නොවීය. ඔහුගේ තර්ක සනාථ කිරීමට ඔහු එකම ශුද්ධ ලියවිලි පාඨයක් හෝ ඉදිරිපත් නොකළේය. ඔහුගේ උස් හඬෙහි එකම තේමාව වුණේ, ” ඉල්ලා අස්කර ගන්න, නැතිනම් දඬුවම් පැමිණවීමට රෝමයට යවනවා” යන්නය.GrHSin 144.1

    ලූතර්ට නීතියෙන් ආරක්ෂාව තහවුරු කර තිබූ නමුත් රෝමානුවන්ගේ සැලැස්ම වුණේ නගරයෙන් පිටතදී ලූතර්ව අත්අඩංගුවට ගෙන සිර ගෙයි ලෑමය. තවදුරටත් එම නගරයේ රැඳී සිටීම ඵලදායී නොවන බව පැවසූ ඔහුගේ මිතුරෝ විටන්බර්ග් නගරය කරා වහාම යන ලෙස ඔහුට බල කර සිටියහ. ඔහුගේ අරමුණ වසන් කර තබා ගැනීමට උපරිම ලෙස ආරක්ෂාකාරී විය යුතු බව ද මිතුරෝ අවධාරණය කළහ. අඳුරත් සමග ඔහු ඔග්ස්බර්ග් නගරයෙන් පිට විය. මහේස්ත්‍රාත්වරයා විසින් සපයා දුන් නිල ආරක්ෂා භටයකු සමග ඔහු අරුණ වැටෙන්නට කලින් අසු පිටින් ගම රට බලා පිටත් විය. අනතුරු සේයා දසත පැතිරෙද්දී ඔහු රහසිගතව අඳුරට මුවා වී නගරයෙන් පිට විය. ඔහුගේ කෘෘර සතුරෝ දැඩි අවධානයෙන් ලූතර්ව විනාශ කිරීමට සැලසුම් යොදමින් සිටියෝය. ඔහුව හසුකර ගැනීමට යොදා තිබූ මළපත් සහ උගුල්වලට ඔහු අසු වේවිද? එකී අවස්ථාවන්හිදී ඇතිවූ බියත් සමගම මහත් උනන්දුවකින් යුතුව යාච්ඤාවේ යෙදීමටද ලූතර් දිරිගත්තේය. වීදියේ කෙළවර තිබූ කුඩා දොරටුවක් වෙතට දෙදෙනා පැමිණියෝය. ඔවුන් වෙනුවෙන් දොරටුව විවෘත තිබූ හෙයින් ඔවුහු අවහිරයකින් තොරව පිටතට පැමිණියහ. පිටතට පැමිණ, රහසින් පලා ගියා වූ මේ දෙදෙනා ගම රට බලා යන ගමන ඉක්මන් කළෝය. ලූතර්ගේ පලා යාමේ පුවත පාප් නියෝජිතයාගේ සවනට පතිත වන විට ලූතර් සිටියේ නිලධාරියාට අල්ලාගත නොහැකි දුරකය. සාතන් සහ ඔහුගේ සහචරයෝ පරාජයට පත් වූහ. දඩයක්කාරයෙකුගේ උගුලකින් පලා යන්නා වූ පක්ෂියකු සේ, තමන්ගේ බලය යටතේ සිටියේයැයි උදම් අනමින් සිරකිරීමට බලා සිටි තැනැත්තා අඳුරේම පලා ගොස් තිබුණේය.GrHSin 144.2

    ලූතර්ගේ බේරී පලා යාම ගැන ඇසූ පාප් නියෝජිතයා පුදුමයෙන් සහ කෝපයෙන් පිරී ගියේය. සභාව කැළඹු මේ ආගම් ද්‍රෝහියා පිළිබඳ දැඩිව සහ ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කිරීම මගින් පරිමාණයේ විශාල ගරුබුහුමන් ලැබීමට ඔහු බලාපොරොත්තු විය. එහෙත් ඔහුගේ සියලු අපේක්ෂා සුනු විසුනු වී ගියේය. සැක්සනියේ ඡන්දයෙන් තේරී පත්වූ ආදිපාදවරයා වූ ෆෙඩ්‍රික් වෙත ලිපියක් යවමින් කාදිනල්වරයා ලූතර්ට ඉමහත් සේ දොස් පවරමින් ලූතර්ව වහාම රෝමය කරා යවන්නැයි ද නැතහොත් ලූතර්ව සැක්සනියෙන් පිටුවහල් කරන්නැයිද අණ කළේය.GrHSin 145.1

    නිදහසට කරුණු ඉදිරිපත් කළ ලූතර්, තමා කර ඇති වරද ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙන්නැයි පාප්ගෙන් සහ කාර්දිනල්වරයාගෙන් ඉල්ලා සිටියේය. තමා ඉගැන්වූ දහම් දේව වචනයට පටහැනි බව පෙන්නුම් කළහොත් තමා ඇත්ත වශයෙන් ම එකී ධර්මතාවන් ඉල්ලා අස්කර ගන්නා බව ඔහු සපථ කළේය. එවන් ශුද්ධ කාර්යයක් වෙනුවෙන් දුක් විඳීමට තමා සුදුස්සෙකු ලෙස තෝරා ගැනීම ගැන ඔහු දෙවියන් වහන්සේට කෘතඥතාව පළ කළේය.GrHSin 145.2

    ප්‍රතිසංස්කරණවාදී මූලධර්ම ගැන ආදිපාදවරයා දැන සිටියේ අල්ප වශයෙන්ය. එහෙත් ලූතර් වදන් හසුරුවා පද ගළපා ඇති ආකාරය පිළිබඳව ආදිපාදවරයා තුළ ප්‍රබල ඇගයීමක් ඇතිවිය. ලූතර් තම කරුණු ඉදිරිපත් කළ සෘජු භාවය ද, පැහැදිලි ආකාරය ද, බලයද ආදිපාදවරයාගේ ප්‍රසන්නතාවට යොමු විය. ප්‍රතිසංස්කරණවාදියා වරදකරුවෙකු යැයි තීන්දුවක් නිකුත් කරන තුරු ඔහුගේ ආරක්ෂකයා ලෙස වගකීම් භාරය දැරීමට ආදිපාදවරයා තීරණය කරගත්තේය. තමාට ආඥාවක් එවා ඇති කාර්දිනල් ට ආදිපාදවරයා මෙසේ පිළිතුරක් යැව්වේය. ” ආචාර්ය මාර්ටින් ඔබ ඉදිරියෙහි පෙනී සිටීමට ඔග්ස්බර්ග් කරා පැමිණීම ගැන ඔබ සෑහීමට පත්විය යුතුය. ඔහු වරද ගණනාවක් කර ඇතැයි චෝදනා කරමින් ඔබ ඔහු වරදකරුවකු යැයි තීන්දු කර ඇත. ඔහුගේ අදහස් වැරදි බව ඔහුට පෙන්වා නොදී ඔහු කී දැය ඉල්ලා අස්කරගන්නා ලෙස ඔහුට බලපෑම් කරතැයි අපි කිසි විටෙක හෝ බලාපොරොත්තු නොවීමූ. අපගේ බල පෙදෙසෙහි සිටින විද්වතුන් පවසා ඇත්තේ මාටින් විසින් උගන්වනු ලැබූ ක්‍රිස්තියානි මූලධර්ම ශ්‍රද්ධාවට විරුද්ධ නැති බවත්, ක්‍රිස්තියානි විරෝධී නොවන බවත්, ආගම් විරෝධී නොවන බවත්ය. එහෙයින්, ඔහුව රෝමයට යැවීම හෝ ස්වකීය බල ප්‍රදේශයෙන් පිටුවහල් කිරීම අප විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.” (D’Aubigne, b4, Ch.10).GrHSin 145.3

    සාරධර්ම මගින් පනවා තිබූ සීමාවන් සමාජය තුළ බිඳවැටෙමින් පැවතීම ආදිපාදවරයාගේ අවධානයට යොමු විය. ප්‍රතිසංස්කරණයේ විශාල මෙහෙවරක් ඉටු වීම අත්‍යාවශ්‍යය. මිනිස්සු දෙවියන්වහන්සේගේ ඉල්ලීම් පිළිගෙන ඒවාට කීකරු වන්නෝ නම් ආනුභාවය ලැබූ හෘදය සාක්ෂියක මඟපෙන්වීම්වලට අවනතවන්නෝ නම් අපරාධ මැඬිමට සහ දඩුවම් දීමට වැය වන වියදම් විශාල ලෙස අඩු කර ගත හැකිවේ. මෙම අරමුණ කරා යෑමට ලූතර් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ බව ආදිපාදවරයාට දැකගත හැකි විය. සභාව තුළ වඩාත් යහපත් බලපෑමක් වර්ධනය වෙමින් පවතිනවා දැකීමෙන් ආදිපාදවරයා රහසේ ප්‍රීති විය.GrHSin 146.1

    විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වශයෙන් ලුතර් ඉටුකරන්නා වූ කාර්යභාරය ඉතා සාර්ථක බව ද ආදිපාදවරයාට දැකගත හැකිය. මාලිගාවේ පිහිටි දෙව්මැඳුරේ දොරටුවෙහි තම තර්ක විතර්ක සහිත කරුණු අනූපහකින් සමන්විත ලේඛනය අලවා වසරක් ගෙවී තිබුණේ ය. වෙනත් වසරවලදී සියලු සාන්තුවරයන්ගේ දවසේදී එම දේවස්ථානයට ඇදී එන්නා වූ බැතිමතුන් සංඛ්‍යාව ඉතා විශාලය. එහෙත් මෙම වසරේදී පැමිණීමේ සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් පහළ බැස තිබූ බව සැමට දැකගත හැකි විය. වන්දනාකරුවන් මෙන්ම පඬුරුද අඩුවීමෙන් රෝමයට අයත් වූයේ මහත් පාඩුවකි. එම අඩුපාඩුව පුරවාලීමට දැන් වෙනස් ක්ෂේත්‍රයක පිරිසක් විටන්බර්ග් කරා පැමිණීමට පටන් ගත්හ. ඔවුන් පැමිණියේ වන්දනා කිරීමට නොව විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට ය. ලූතර්ගේ ලේඛන සහ ප්‍රකාශන කරණ-කොටගෙන ශුද්ධ ලියවිලි කෙරෙහි වැඩි උනන්දුවක් පිබිදී තිබිණ. ජර්මනියෙන් පමණක් නොව ලෝකයේ විවිධ රටවලින් ද ශිෂ්‍යයෝ විටන්බර්ග් සරසවිය වෙත ඇදී ආවෝ ය. අධ්‍යාපනය සඳහා පැමිණෙන තරුණයෝ මුල් වතාවට විටන්බර්ග් නගරය දර්ශනය කළ විට ” තම අත් සගය දෙසට ඔසවා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. මෙම නගරයෙන් සත්‍යතාවයේ ආලෝකය බැබළෙන්නට ක්‍රියා කිරීම ගැන ඔවුහු දෙවි සමිදාණන් ට ප්‍රශස්ත ගී ගැයූහ. සියොන් නගරයේ සිට විහිදී ගිය සත්‍යතාවේ කිරණ මුළු ලෝකය පුරා විහිදී ගිය ආකාරයෙන්ම විටන්බර්ග් සරසවියේ ප්‍රදීපාගාරයෙන් නික්මෙන සත්‍යතාවේ රැස් දහරා මුළු ලෝකයම ඒකාලෝක කරනවා නොඅනුමානය.” (D’Aubigne, b4, Ch.8).GrHSin 146.2

    මේ වකවානුව වන විට රෝමානුවේ වැරදිවලින් ලූතර් සම්පූර්ණයෙන්ම ඉවත් වී නොසිටියේය.ශුද්ධවූ දේව වචනය සහ පාප් අණඥාවන්ද ව්‍යවස්ථාවද සංසන්දනය කර බැලූ විට ඔහු විශ්මයට පත් විය. ඔහු මෙසේ ලිවීය. ” පාප් වනාහි අන්ත ක්‍රිස්තුස් ද නැතහොත් ඔහුගේ ගෝලයෙක් දැයි මා දන්නේ නැහැ. ඔවුන් නිකුත් කර ඇති ලේඛන මගින් ‍ක්‍රිස්තුස්වහන්සේව ඉතා ප්‍රබල අන්දමින් වැරදි අයුරින් හුවා දක්වා තිබෙනවා. එම ප්‍රකාශන තුළ ක්‍රිස්තුස්වහන්සේව නැවත නැවතත් කුරුසිපත් කර තිබෙනවා.” (Ibd, b, Ch.1). මේ වන විට ලූතර් රෝමානු සභාවේ සාමාජිකයෙක්ව සිටියේය. ඇය සමග වූ සහභාගීත්වයෙන් කවරදාකවත් ඉවත් වීමේ අදහසක් ඔහු තුළ නොවීය.GrHSin 147.1

    මේ ප්‍රතිසංස්කරණවාදියාගේ ලිපි සහ දහම කිතුනු ලොවේ සෑම ජාතියක් පුරාම ප්‍රචලිත වී තිබුණේය. ඔහුගේ ප්‍රතිසංස්කරණ දහම් ප්‍රංශ සහ ස්පාඤ්ඤය කරාද ව්‍යාප්ත විය. එංගලන්ත වාසීහූ ඔහුගේ වදන් පිළිගත්තේ ජීවනදායක වචනය ලෙසින්ය. බෙල්ජියම සහ ඉතාලිය කරාද සත්‍යතාව ව්‍යාප්ත විය. දහස් ගණන් ජනතාව තමන් මෙතෙක් සිටි, මරණය සමාන නින්දෙන් අවදිවෙමින් ඇදහිල්ලේ ජීවිතයක ප්‍රීතිය සහ බලාපොරොත්තුව අත් දකින්නට වූහ.GrHSin 147.2

    ලූතර්ගේ දොස් පැවරීම් සහ පහරදීම් වලට රෝමය තවතවත් ගොදුරු වන්නට විය. මේ අතර රෝමානු අන්තවාදී විරුද්ධවාදීන් සහ කතෝලික විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ද ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ කවරෙක් හෝ මෙම කැරලිකාර පූජකයා මරා දමන්නේ නම්, ඔහු විසින් එමගින් පාපයක් කරන්නේ නැති බවය. තමාගේ කබාය ඇතුළෙහි පිස්තෝලයක් රඳවාගත් අමුත්තෙක් ලුතර් බැහැදැකීමට පැමිණියේ ය. ලූතර් මෙසේ තනියම වැඩ කරන්නේ මන්දැයි අමුත්තා විමසීය. “මම දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තයෙහි සුරක්ෂිතව ඉන්නවා” යයි ලූතර් පිළිතුරු දුන්නේ ය. ” උන් වහන්සේ මාගේ ශක්තියයි. මාගේ පලිහයි. මිනිසුන් විසින් මට කරන්න පුළුවන් වන්නේ මොකක්ද?” ((D’Aubigne, b 6, Ch.2).). මේ වචන ඇසීමෙන් අමුත්තාගේ මුහුණ සුදුමැලි විය. සබයේ දේවදූතයන් ඉදිරියේ පලා යන්නා වූ පසුබැස ගියේය. GrHSin 147.3

    ලූතර්ව විනාශ කිරීමට රෝමය බොහෝ සේ උනන්දු විය. එසේ වුවද, දෙවියන් වහන්සේ ඔහුගේ ආරක්ෂකයාණන් වූ සේක. ඔහුගේ දහම්, ගම් නියම් ගම් සිසාරා රැව් පිළිරැව් දුන්නේය. ගෙවල්වල මෙන්ම කන්‍යාරාම තුළද වංශාධිපතීන්ගේ මාලිගා තුළ ද, විශ්වවිද්‍යාල වල මෙන්ම රජ මාලිගා තුළද ලූතර්ගේ දහම් දෝංකාර දුන්නේය. ඔහුගේ වෑයමට සහාය පළ කරමින් වංශාධිපතියෝ සෑම පසෙකින් නැගී එන්නට වූහ.GrHSin 147.4

    මේ කාලයේ දී ලූතර් විසින් හස්ගේ ලියවිලි කියවමින් සිටියේ ය. දැහැමි තාව උදාවන්නේ ඇදහිල්ල මගින් බව ඔහුගේ කියවීම තුළින් පැහැදිලි විය. එම මූලධර්මය ඔසවා තබන්නටත්, උගන්වන්ටත්, ඔහු සාක්ෂි සොයමින් සිටියේය. මෙම දහම බොහිමියානු පුනරුදවාදියා විසින් ඔසවා තබා ඇති බව ඔහුට පැහැදිලි විය. ” පාවුල්, ඔගස්තීනු සහ මම යන අපි සැවොම මෙතෙක් නොදැන සිටි නමුත් හස්ගේ ඉගැන්වීම පිළිගත් අය වන්නෙමු.” මෙම සත්‍යතාව මෙයට ශතවර්ෂයට පෙර ප්‍රකාශ කරන ලද නමුත් ලෝකයා එය වළලා දමා ඇත. මේ ගැන දෙවියන්වහන්සේ ලෝකයා මත අප්‍රසන්නතාව වගුරුවනවා සහතිකය.” (Wylie, b.6, Ch.1)GrHSin 148.1

    එම්ප්‍රෙදෝරු තුමාට සහ ජර්මනියේ වංශාධිපතීන්ට ලුතර් ආයාචනයක් ඉදිරිපත් කළේය. එහි ගැබ් වී තිබුණේ ක්‍රිස්තියානි දහම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවය. ඔහු පාප්වරයා ගැන මෙසේ සඳහන් කළේය. ” තමා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිපාලකයා යැයි කියා ගන්නා තැනැත්තා දෙස බැලීම පවා භීතිය ගෙන දෙ වන්නේය. ඔහු ප්‍රදර්ශනය කරන්නා වූ මහේශාඛ්‍යභාවය සමකිරීමට රජ කෙනෙකුටවත් හැකි නොවේ. මෙවන් දර්ශනයක් දුගී යේසුස්වහන්සේට හෝ නිහතමානි පේතෘස්ට සමාන වේ ද? ඔහු ලෝකයේ අධිපතියා බව සමහරෙක් පවසති! තමා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රති පාලකයා යැයි ඔහු පුරසාරම් දොඩයි.” මාගේ රාජධානිය මේ ලෝකය නොවේය” යි ක්‍රිස්තුස්වහන්සේ පැවසූ සේක. තමාගේ ප්‍රධානියාට වඩා පුළුල් රාජධානියක් ප්‍රති රජුට හිමිවන්නේ ද?” (D’Aubigne, b.6, Ch.3).GrHSin 148.2

    රටෙහි වූ සරසවි ගැන ඔහු මෙසේ ප්‍රකාශ කළේය. ” සරසවි තුල විශාල වෙනසක් සිදුවිය යුතුය. සරසවි තුල පවතින්නාවූ අධ්‍යාපන රැල්ල අනුව එම පීඨ නරකාදියේ දොරටු බවට පත්වනවා නොඅනුමානය. ශුද්ධ ලියවිලි පැහැදිලි කිරීමේදී, එයට අර්ථකථන සැපයීමේ දී, දැනට වඩා වැඩි උද්යෝගයක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ. තරුණයන්ගේ හදවත් තුළ ශුද්ධ ලියවිල්ල මුද්‍රා කළයුතුව ඇත. ශුද්ධ ලියවිල්ලට මූලික ස්ථානයක් නොදෙන පාසල් වලට ළමුන් නොයවන ලෙස මම සැමට අනුශාසනා කරමි. නිරන්තරව දෙවියන්වහන්සේගේ වචනයෙහි ආභාෂය නොලබන්නා වූ ආයතන දුෂිත වනවා සහතිකය.” (D’Aubigne, b.6, Ch.3).GrHSin 148.3

    මෙම ආයාචනය ජර්මනිය පුරාම ඉතා සීඝ්‍රයෙන් පතුරුවා හරිනු ලැබීය. එය ප්‍රජාව කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේ ය. සෑම අයෙක්ම තිගැස්සී සිටියහ. ප්‍රතිසංස්කරණයේ ධජය වටා දහස් ගණන් එක් රැස් වන්නට වූහ. ලූතර්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් පිරී ගිය ඔහුගේ විරුද්ධවාදීහු ඔහුට එරෙහිව තීරණාත්මක විසඳුමක් ගන්නා ලෙස පාප්ගෙන් ඉල්ලා සිටියහ. ඔහුගේ දහම් වහාම වරදට පත් කළ යුතු යැයි ආඥාවක් නිකුත් විය. මෙම දහම් ඉල්ලා අස්කර ගැනීමට ප්‍රතිසංස්කරණවාදීයාට සහ ඔහුගේ අනුගාමිකයන්ට හැට දවසක කාලයක් ලබා දෙනු ලැබීය. එසේ නොකරන්නාවූ සැවොම සභාවෙන් නෙරපා දමනු ලබන බව නිවේදනයෙහි සඳහන් විය.GrHSin 148.4

    මෙම නිවේදනය ප්‍රතිසංස්කරණයට මහත් අර්බුදයක් නිර්මාණය කළේය. සභාවෙන් නෙරපා හැරීමේ ක්‍රියාවලිය රජවරුන්ට පවා භීතිය උදාකර දීමේ සමත් විය. මෙම ක්‍රියාදාමය නිසා බලවත් රාජධානි පවා පාළුවට ගියේය, සත්සයුරේ කිඳා ගියේය. ලෝක කිතුනු ඉතිහාසයෙහි සියවස් ගණනාවක් තුළ මෙම නියමය නිසා මහත් භීතියෙන් සහ තැති ගැන්මෙන් අසරණ බවට පත්කරනු ලැබූ සංඛ්‍යාව සුළුපටු නොවේ. මෙම දණ්ඩනයට යටත් කරනු ලැබූ අයට තම නෑදෑයන් හෝ අසල්වාසීන් හෝ සමඟ කිසිම සබඳතාවක් පැවැත්වීම තහනම් විය. ඔවුන්ගේ ඉරණම වූයේ දඩයම් කරනු ලැබ මරා දමනු ලැබීම පමණක්ය. ඔවුන් ද්‍රෝහීන් ලෙස සලකනු ලැබීය. තමා වටා පුපුරා යාමට තිබූ කුණාටුව පිළිබඳව ලූතර්ට මනා දැනුමක් තිබුණේය. තමාගේ සත්‍යය සහ පළිහ ලෙස ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ ඔහු සලිත නොවී ස්ථිරවම සිටියේය. වේද සාක්ෂිකරුවෙකුගේ ඇදහිල්ලත්, ධෛර්යයත් මුසුව ඔහු මෙසේ ලීවේය. ” සිදුවීමට යන්නේ කුමක්ද කියා මට තේරුමක් නැහැ. එවැන්නක් දැන ගැනීමට ද මට වුවමනාවක් නැහැ. එවැන්නක් ගැන සිතා බියෙන් පසු නොවෙමි. අපගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නැතිව කොලයක් නටුවෙන් ගිලිහී බිමට වැටෙන්නේ නැහැ. එයට වඩා කොයිතරම් උදාරකමින් උන්වහන්සේ අපව රැක බලාගන්නවද! වාක්‍යානන් වෙනුවෙන් දිවි පිදීම එතරම් අපහසු කාර්යයක් නොවේ. මක්නිසාද වාක්‍යානන්ම මාංශවත්වී උන්වහන්සේ ම මරණයට පත්වූ සේක. අපි උන්වහන්සේ සමඟ මරණයට පත් වෙමු නම්, උන්වහන්සේ සමගම ජිවත් වෙමු; උන්වහන්සේ ගොස් තිබෙන ගමන් මාර්ගයේ අපද ගමන් කරනවා නම්, උන්වහන්සේ දැන් සිටින්නා වූ තැනට අප ද යන්නෙමු. තවද, සදහටම උන්වහන්සේ සමග එකට ජීවත් වන්නෙමු.” (D’Aubigne, b.6, Ch.9).GrHSin 149.1

    පාප්ගේ නියෝග පත්‍රය ලූතර්ට ලැබුණු විට ඔහු මෙසේ පැවසීය.” මෙය ඉතා පහත් වූ නීචවූ නියෝගයක් ලෙස මා සලකනවා. මේක ආගම් විරෝධී බොරුවක් ….. මෙහි වරදට පත් කර ඇත්තේ මා නොව ක්‍රිස්තුස් වහන්සේවමයි …. යහපත් කර්තව්‍යයක් උදෙසා මෙවන් දුෂ්ට පළිගැනීම්වලට භාජනය වීම ප්‍රීතියක් කොට සලකනවා. දැනටමත් විශාල නිදහසක් මගේ හදවත වෙලාගෙන තිබෙනවා. පාප් වනාහි අන්ත ක්‍රිස්තුස් බව මට දැන් සහතිකයි ඔහුගේ සිංහාසනය වනාහි සාතන් ගේ සිහසුනයි.” (D’Aubigne, b.6, Ch.9). කෙසේ වුවද, රෝමයේ නියෝගය බල රහිත නොවීය. රෝමය විසින් කීකරුකම ලබාගැනීම සඳහා භාවිතා කළා වූ ආයුධ නම් සිර ගෙයි ලෑම, වධහිංසා පැමිණවීම සහ කඩුවයි. දුබල වූ ද, මිත්‍යාවන් විශ්වාස කළා වූද අය පාප්ගේ නියෝගය ඉදිරියෙහි භයින් ගැහෙන්නට විය. ලූතර්ගේ ප්‍රතිසංස්කරණයට බොහෝ අය සහයෝගය දැක්වූ නමුත් එවන් කර්තව්‍යයක් උදෙසා ජීවිතය පුද කිරීමට තරම් එහි වැදගත්කමක් ඔවුන්ට නොවීය. ප්‍රතිසංස්කරණවාදීයාගේ මෙහෙවරය හමාර වන්නට සමීප යයි දසත සිදුවීම් ඉඟි කරන්නට විය.GrHSin 149.2

    මේ වන විටත්, ඉදිරි සිදුවීම් භයංකර බව පෙනී ගියත්, ලූතර් තුළ කිසිම චකිතයක් හෝ බියක් හෝ නොවීය. රෝමය විසින් ඔහුට විරුද්ධව ශාප පිට ශාප නිකුත් කර තිබුණේය. ඔහු විනාශ වෙයිද නැතහොත් රෝම නියෝගයනට අවනත වෙයිද කියා ලෝකය බලා සිටියේය. මෙම ඉරණම දෙකෙන් එකක් සිදු වනවා නියතයයි සැමගේ කල්පනාව විය. වරදට පත් කරන්නාවූ නියෝගය රෝමය වෙත දමා ගැසීමට තරම් ලූතර් එඩිතර විය. තමා සදහටම රෝම සභාව අතහැර දමනවා යැයි ඔහු තම තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. සිසුන්, මහාචාර්යවරුන් සහ අනේක තරාතිරමේ පුරවැසියන් ඉදිරියේ නැගී සිටි ලූතර්, තමාට එවූ පාප් නියෝගය ගිනිබත් කළේය. ඒ සමගම පාප්ගේ බලතල හා බැඳි ආගමේ විනය නීති සංග්‍රහය ද පාප්තුමාගේ ආඥා සහ තවත් නියෝගද ඔහු ගිනිබත් කළේය. ” මාගේ සතුරෝ මාගේ පොත් සහ ලියවිලි ගිනිලා විනාශ කර දැමීමෙන් සත්‍යයෙ ක්‍රියාවලියට පහරක් එල්ල කළෝය; සත්‍ය වැළඳ ගැනීමට සාමාන්‍ය ජනතාවට තිබූ මාර්ගය විනාශ කළෝය. ඔවුන්ගේ ආත්ම විනාශ මුඛයට තල්ලු කර දැම්මෝය. එහෙයින් මම ඔවුන්ගේ නියෝග සහ බොරු අඩංගු ලියවිලි ගිනි ගොඩට දමනවා. දරුණු ගැටුමක් දැන් ඇරඹෙනවා. මා මෙතෙක් කල් ගැටුණේ පාප් සමග පමණයි. මම මේ කර්තව්‍යය පටන් ගත්තේ දෙවියන්වහන්සේගේ ශ්‍රී නාමයෙන්. මා නැතිව වුවද එම කටයුත්ත උන්වහන්සේගේ බලමහිමයෙන් කෙළවරක් දකිවී.” (D’Aubigne, b.6, Ch.10).GrHSin 150.1

    ඔහුගේ කර්තව්‍යයෙහි දුර්වල භාවය ගැන විසුළු කළ සතුරන්ගේ නින්දා බස්වලට පිළිතුරු දෙමින් ලුතර් මෙසේ පැවසීය. ” දෙවියන්වහන්සේ මාව තෝරාගෙන මේ සේවය සඳහා කැඳවා නැතැයි කියා දන්නේ කවුද? එසේ නොවේ නම් මාව එපා කරන්නාවූ අය දෙවියන්වහන්සේව එපා කරන බව දැන සිටීම යහපති. මා තනි ව සිටිනවා යැයි ඔවුහු පවසති; එහෙත් එසේ නොවේ, යෙහෝව:වහන්සේ මා සමඟය. ඔවුන්ගේ අදහස අනුව, මිසරයෙන් නික්ම එන්නාවූ අතරේදී, මෝසෙස් තනිව නැගී සිටියේය. ආහාබ් රජුගේ පාලන සමයේදී එලියා තනිවම දෙවියන්වහන්සේ උදෙසා පෙනී සිටියේය. යෙරුසලෙම්හි නැගී සිටියේ යෙසායා පමණකි. බබිලෝනියේ සිටියේ එසකියෙල් පමණක්ය. දේවියන්වහන්සේ අනාගතවක්තෘවරයෙකු තෝරා ගැනීමේදී උත්තම පූජකයා හෝ වෙනත් ප්‍රභූ පුද්ගලයකු තෝරා ගත්තේ නැත. උන්වහන්සේ සාමාන්‍යයෙන් තෝරාගත්තේ සමාජ තලයේ පහත් අඩියක සිටි අවමානයට ලක්වූ පුද්ගලයෙකි වරක් බැටළු එඩේරකු වූ ආමෝස් උන්වහන්සේගේ තේරීම විය. ප්‍රබල රජවරුන්, කුමාරයන් පූජකයන් සහ ප්‍රඥාවන්තයන් වැනි අයට තරවටු කිරීමට උන්වහන්සේ සෑම යුගයකදීම ශුද්ධවන්තයන්ට එම කටයුත්ත පැවරූ සේක. ඔවුහු ජීවිත පරදුවට තබා තම කාර්ය භාරය ඉටු කළෝය. මා ප්‍රොපේතවරයකු යැයි කියන්නේ නැහැ. මා තනි පුද්ගලයෙකු වෙමි. සතුරෝ බොහෝ දෙනෙක් වෙති, එම නිසාම ඔවුන් බිය යුතු යැයි මා කියනවා. දෙවියන්වහන්සේගේ වචනය මා සමග පවතින බවත් ඔවුන් සමග නැතිබවත් මම සහතික ලෙස දනිමි.” (D’Aubigne, b.6, Ch.10).GrHSin 150.2

    සභාවෙන් ඉවත් වීමට තීරණය කර ගත්තේ මහත් පොරයකින් යුක්තවය. මෙම වකවානුවේ දී ඔහු මෙසේ ලීවේය. ” බාල වියෙහි පටන් මාගේ ජීවිතය තුළට කාවද්දා ඇති සුළු දේ ගැන වුවද පරීක්ෂාකාරී වීමේ පුරුදු අතහැර දැමීම කෙතරම් අසීරු දැයි දිනෙන් දිනම මට ප්‍රත්‍යක්ෂ වේ. අහෝ, මට එයින් කොයිතරම් වේදනාවක් දැණුනාද! ශුද්ධ ලියවිලි වල බලය මා සතුව පැවති බව සැබෑය. එහෙත් පාප් ට විරුද්ධ ව හුදෙකලා ව නැඟී සිට ඔහු අන්ත ක්‍රිස්තුස් යයි චෝදනා කිරීම මට මහත් වේදනාකාරී කටයුත්තක් විය. මාගේ හදවතෙහි තිබූ වේදනාව කොයි තරම් මහත් ද! පාප් අධිකාරීන්ගේ තොල් මත නිතරම රැඳී ප්‍රශ්නයකින් මා කෙතරම් තික්ත පීඩනයකට පත් වුණෙම්ද. ඔවුන් නිරතුරුවම මාගෙන් ප්‍රශ්න කළේ, ” එකම බුද්ධිමතා ඔබ පමණක් ද? අනෙකුත් සෑම කෙනෙක්ම වැරදි යැයි ඔබ කියනවාද ? එසේ වන්නේ කෙසේද? ඇත්තටම වැරදී ඇත්තේ ඔබටයි. ඔබ සමග වැරැද්දෙහි බැඳෙන ආත්ම ගණනාවක් ම ඔබ සමඟ නරකාදියෙහි විනාශය කරා රැගෙන යනවාද ? මෙසේ මම තමා සමගත්, සාතන් සමඟත් සටන් කරලීමි. මෙම අනුමාන කිරීම් බිඳ දමමින් ක්‍රිස්තුස්වහන්සේම තම නොවරදින සුළු වචනින් මා ශක්තිමත් කරන තුරු සිතින් දුක් වින්දෙමි.” (Martyn, “Life and Times of Luther,” pp.372,373).GrHSin 151.1

    ලූතර් තම දහම අතහැර දමන්නේ නැතිනම්, ඔහුව සභාවෙන් නෙරපා හරින බවට පාප් එල්ල කළ තර්ජනය දැන් ක්‍රියාත්මක විය. පාප්ගෙන් අලුත් නියෝගයක් නිකුත් විය. ලූතර් රෝමානු සභාවෙන් වෙන් වූ බවත්, ඔහු ස්වර්ගයේ ශාපයට හිමිකම් කියන අයකු බවත් එම නියෝගයෙහි ඇතුළත් විය. ඔහුගේ දහම පිළිගන්නා වූ සැමටම මෙම දඬුවම හිමිවන බවත් එම නියෝගය කියා පෑවේය. මහා සංග්‍රාමය දැන් ආරම්භ විය. තමන්ගේ කාලයට යෝග්‍ය වූ සත්‍යතාවන් මිනිසුන්ට ඉදිරිපත් කරන්නා වූ දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවන්ගේ ඉරණම විරුද්ධකාරයන් ඇතිකර ගැනීමය. ලූතර්ගේ පණිවිඩය එම වකවානුවේදී ජනතාවට ඉදිරිපත් කළ යුතු සත්‍යයේ කාලීන පණිවුඩය විය. එසේම, අදට බලපාන්නාවූ වැදගත් වූ වර්තමාන සත්‍යයක් සභාව උදෙසා ඉදිරිපත් වීමට නියමිතය. තමන්වහන්සේගේ කැමැත්තෙහි අනුශාසනා අනුව ක්‍රියා කරන්නා වූ තැනැන්වහන්සේ තමන්වහන්සේගේ සත්‍යතාවන් ප්‍රකාශකර හැරීමට විවිධාකාර පුද්ගලයන් තෝරා ගන්නාසේක, ඔවුන්ට විවිධ පරිසරයන් යටතේ අත්දැකීම් ලැබීමට සලස්වනසේක. ඔවුන් ජීවත් වන්නාවූ කාලයට ඉතා යෝග්‍ය වූ කර්තව්‍යයන් ඔවුන්ට දෙන සේක. ඔවුන්ට ලබාදුන් ආලෝකය ඔවුන් අගය කරන්නේ නම්,සත්‍යතාවේ තවත් පුළුල් පැතිකඩ උන්වහන්සේ ඔවුන්ට ලබා දෙනවා ඇත. ලූතර්ට විරුද්ධ වූ පාප් බල අධිකාරීන් මෙන් බහුතර ජනතාවක් අදත් සත්‍යතාව තුළ පැවැත්මට මනාපයක් දක්වන්නෙ නැත.පෙර යුගයන්හි සිදුවූවාක් මෙන්ම ජනතාව අදත් දේව වදන් පිළිගැනීමට වඩා මිනිස් සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් අදහා ගැනීමට ප්‍රිය වෙති. වර්තමානයේ දී සත්‍ය වූ දහම් ඉදිරිපත් කරන්නා වූ අයව පිළිගැනීමට ඉහත යුගයන්හි වූ ආකාරයෙන්ම මැලිකමක් දැක්වීම ගැන මවිත විය යුතු නොවේ. සත්‍යය සහ වරද පිළිබඳව පවතින මහත් අරගලය, ලෝක අවසානයේ දී වඩාත් තියුණු මුහුණුවරක් ගන්නවා ඇත.GrHSin 151.2

    යේසුස්වහන්සේ තමන් ගෝලයන්ට මෙසේ පැවසූ සේක: ” නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති.දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ යැයි නුඹලාට මා කී වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝ ය. මාගේ වචනය රක්ෂා කළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂා කරන්නෝය .” (යොහන් 15:19,20). ඒ අතරම අපගේ ස්වාමීන් වහන්සේ මෙසේද පවසා ඇත.” සියලු මනුෂ්‍යයන් නුඹලා ගැන හොඳ කියන කල නුඹලාට දුක් වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෘන්ටත් එසේම කළෝය.” (ලූක් 6:26). ලෝකයේ ආත්මය හා ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය අතර එදා පැවති තත්ත්වයට වඩා යහපත් තත්වයක් අද නොපවති. සුපිරිසිදු කමින් යුතුව දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන්නාවූ අයව එදාට වඩා වැඩි කැමැත්තකින් පිළිගනු ලබන්නේ නැත. සත්‍යතාවට විරුද්ධ වීමේ ක්‍රමවේදයන් වෙනස් විය හැකිය. ඒවා වඩාත් සූක්ෂම වන බැවින් ඒවා එපමණ විවෘත ලෙස නොපවතින්නට පුළුවන. එහෙත් ලෝකාන්තිමය දක්වාම සතුරුකම සහ වෛරය පවතින බව නියතය.GrHSin 152.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents