Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    40 - දෙවියන්වහන්සේගේ සෙනඟ මුදාගනු ලැබීම

    දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන්ට ගරු කරන්නන්ට මනුෂ්‍යයන්ගේ අණ පනත්වලින් ලැබෙන රැකවරණය ඉවත් කරනු ලැබූ විට අනේක දේශයන්හි, ඔවුන් විනාශ කරන පිණිස, එකම කාලයේදී, යම් සංවිධානයක් ඉදිරිපත් වෙනවා ඇත. නියෝගය අනුව නියම කරන ලද කාලය ආසන්න වන විට, තමා ද්වේෂ කරන මේ සෙනඟ මුලිනුපුටා දැමීමට මනුෂ්‍යයන් ක්‍රියාකරනවා ඇත. තරවටු කිරීම්ද, වෙනස් අදහස්ද ඉදිරිපත් කරන්නාවූ කට හඬවල් සහමුලින්ම නිශ්චල කරන පිණිස එක රාත්‍රියකදී පහර දීමට තීරණය කරනු ලබනවා ඇත.GrHSin 735.1

    දෙවියන්වහන්සේගේ සෙනඟගෙන් සමහර අය සිරගෙවල සිටියදීද, තවත් අය වනාන්තරවල හා කඳු මත සිටියදීද, ඔවුන් දිව්‍ය ආරක්ෂාව ඉල්ලා සිටිනවා ඇත. ඒ අතර නපුරු දූතයන් විසින් පොළඹවනු ලැබූ අවි ආයුධ රැගත් මනුෂ්‍ය කාණ්ඩයන් සෑම අතින්ම ඔවුන් මරා දැමීමට සුදානම් වෙනවා ඇත. මේ අවස්ථාවේදී, මේ ඉතාම උපකාර රහිත අවස්ථාවේදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ තෝරාගත් සෙනඟට මිදීම ලබාදීමට ක්‍රියා කරනවා ඇත. ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබේ: “ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමින්වහන්සේගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද නුඹලාට වන්නේය. ස්වාමින්වහන්සේද තමන්වහන්සේගේ මහිමාන්විත හඬ අස්වන සේක. උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවාදමන ගිනි දළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වන සේක.” (යෙසායා 30:29,30)GrHSin 735.2

    නපුරු මනුෂ්‍යයෝ ජයග්‍රාහක නාදයෙන් සරදම් කිරීමෙන් හා ශාපයන් පැවසීමෙන් යුක්තව තමාගේ ගොදුර වෙත වේගයෙන් දුව යන්ට සූදානම් වෙති. එවිට, රාත්‍රියේ අන්ධකාරයට වඩා මහත් අන්ධකාරයක් පොළොව මතට පැමිණෙනවා ඇත. එවිටම, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ තේජසින් දිළිසෙන දේදුන්නක් අහසේ බබළමින් යාච්ඤා කරන සෑම කාණ්ඩයක්ම එයින් වටකරන බවක් පෙනී යයි. කෝපාකූල සමූහයෝ හදිසියේම අසුවෙති. ඔවුන්ගේ සරදම් කිරීමේ හඬ නැතිවී යයි. ඔවුන්ගේ මිනීමරු කෝපයට අසුවිය යුතුවූ අයවලුන් අමතක කරනු ලැබේ. තමාට කරදර ඇතිවෙන්ට යනවා ඇත යන බියෙන් යුත් හැඟීමෙන් යුක්තව ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුමේ සංකේතය දෙස බලති. එයින් නික්මෙන්නාවූ ඉතා බලසම්පන්න දීප්තියෙන් රැකවරණය ලැබීමට ඔව්හු ආශාවෙති.GrHSin 735.3

    දෙවියන්වහන්සේගේ සෙනඟ අතර පැහැදිලි සුමිහිරි ශබ්දයක් මෙසේ පවසයි. “ඉහළ බලන්න.” ඔවුන් අහස දෙසට තමාගේ ඇස් යොමු කරන විට පොරොන්දුවේ දේදුන්න ඔවුන්ට දර්ශනය වෙයි. අහස වසාගත් කෝපාකූල කළු වළාකුල් ඉවත් වෙයි. ස්තේඵන් ඔහු ස්ථිරසාර අයුරින් අහස දෙස බලමින් දෙවියන්වහන්සේගේ තේජසද මනුෂ්‍ය පුත්‍රයාණන් වළාකුල් මත වාඩි වී සිටිනවාද දකින්නෝය. උන්වහන්සේගේ දිව්‍ය ස්වභාවය තුළම උන්වහන්සේට පැමිණි නින්දාවේ ලකුණු දිස්වෙයි. ඒ සමගම උන්වහන්සේ තමන්වහන්සේගේ පියාණන්වහන්සේද ශුද්ධ වූ දූතයන්ද ඉදිරියෙහි උන්වහන්සේගේම තොල් වලින් මේ ඉල්ලීම කරනවා ඔවුන්ට ඇසෙයි: “මා සිටින තැන ඔවුනුත් මා සමග සිටිනවාට කැමැත්තෙමි.” (යොහන් 17:24) නැවතත් ඒ සුමිහිරි ජයග්‍රාහක හඬ මෙසේ පවසනවා ඇසෙයි: ‘ඔව්හු පැමිණෙති! ඔව්හු පැමිණෙති! ඔව්හු ශුද්ධය, අහිංසකය, පවිත්‍රය. ඔවුන් මාගේ ඉවසීමේ වචන රක්ෂා කර තිබේ. ඔවුන්ට දේවදුතයන් අතර ඇවිදීමට පුළුවන. එවිට, තමාගේ ඇදහිල්ල ස්ථිරව සිටියා වූ අය මළානික වූ වෙව්ලන්නා වූ තොල් වලින් යුක්තව ජයග්‍රාහක නාදයක් කරනවා ඇත.GrHSin 736.1

    දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟගේ මිදීම උදෙසා තමන් බලය දක්වන්නේ මධ්‍යම රාත්‍රියේදීය. සූර්යයා එවිට දීප්තියෙන් බබළනවා ඇත. ඉක්මණින් ලකුණු හා ආශ්චර්යයන් සිදුවෙනවා ඇත. දුෂ්ට අය බියෙන් හා විශ්මයෙන් මේ දර්ශන දෙස බලනවා ඇත. ඒ අතර ධර්මිෂ්ඨයන් ගාම්භීර ප්‍රීතියෙන් යුක්තව, තමාට මිදීම ලැබෙන බව දක්වන මේ ලකුණු දෙස බලා සිටිනවා ඇත. සොබාදහමේ සෑම දෙයක්ම ඒවාට නියමිත ස්වභාවයෙන් ඉවත්වී සිටින බවක් පෙනී යයි. ගංගාවන්හි ගැලීම නවතියි. බරැති අඳුරු වළාකුළු පතිත වී ඒවා එකිනෙකට ගැටෙයි. කෝපාකූල අහස මධ්‍යයෙහි විස්තර කළ නොහැකි තේජසින් යුත් එක් පැහැදිලි ස්ථානයක් තිබේ. එතැනින් නික්මෙන දෙවියන්වහන්සේගේ හඬ බොහෝ ජල ධාරාවගේ ගැලීමට සමානය. “නිමවීය” යි ඒ හඬ පවසනවා ඇත.GrHSin 736.2

    ඒ හඬ අහසත් පොළොවත් සොලවනවා ඇත. “මහත් භූමිකම්පාවක්” පවතිනවා ඇත. “පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත් වූ භූමි කම්පාවක් වුණේ නැත.” (එළිදරව් 16:17,18) අහස් තලය විවෘත වෙමින් ද වැසී යමින්ද පවතින බවක් පෙනෙයි. දෙවියන්වහන්සේගේ සිංහාසනයෙන් පැමිණෙන තේජස බබළමින් දිස්වෙන බවක් පෙනෙයි. සුළඟට සෙලවෙන ලීයක් මෙන් කඳු සෙලවෙයි. රළු පර්වත දසත විසිරී යයි. හමා එන්නාවූ කුණාටුවක ගර්ජනා ශබ්දයක් ඇසෙයි. මුහුද කෝපයෙන් පතිත වෙයි. සුළි සුළඟක ශබ්දය ඇසෙයි. විනාශ කිරීමේ මෙහෙයක යෙදී සිටින යක්ෂයින්ගේ හඬ මෙන්ය. මුළු පොළොවම, මුහුදේ රැල්ල මෙන් ඉහළටද පහළට ද යමින් නෙරා යයි. එහි මතුපිට බිඳෙයි. එහි අත්තිවාරම් පවා බිඳී යන බවක් පෙනෙයි. කඳු රැළි ගිලී යයි. ජනාකීර්ණ දූපත් අතුරුදහන් වෙයි. සොදොම මෙන් නපුරුකමට යොමුවූ මුහුදු වරායවල් කෝපාකූල ජලය මගින් ගිල දමනු ලබනවා ඇත. “දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නැමති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහි කරනු ලබයි. (එළිදරව් 16:19,20) අහසෙන් මහත් ගල් වර්ෂාවක් පැමිණෙයි. “එක එක ගල තලෙන්තයක් පමණ බරය.” ඒවා, විනාශ කිරීමේ වැඩ ඉටු කරයි. පොළොවේ ඉමහත් උදාරමින් යුත් නගර පහත් කරනු ලබනවා ඇත. තමාටම තේජස ලබාගන්නා පිණිස මනුෂ්‍යයන් තමාගේ ධනය යොදවමින් සකසාගත් ඉතා ශෝභන මාළිගාවල් ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම සුණු විසුණු වී යනවා ඇත. සිරගෙවල බිත්ති වෙන්වී යයි. තමාගේ ඇදහිල්ල උදෙසා ඒවායේ සිරකරනු ලැබූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෝ නිදහස් වෙති.GrHSin 736.3

    සොහොන් ගෙවල් විවෘත කරනු ලැබේ. “පොළොවේ ධූලියේ සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.” (දානියෙල් 12:2) දූතයන් තිදෙනාගේ පණිවිඩය කෙරෙහි ඇදහිල්ලෙන් මරණයට පත්වූ අය තේජසින් යුක්තව ඔවුන්ගේ සොහොන් ගෙවලින් නික්ම එන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පැවැත්වූ අය උදෙසා පවසනු ලබන්නාවූ උන්වහන්සේගේ සාමයේ ගිවිසුමට සවන් දෙන පිණිසය. “උන්වහන්සේට ඇන්න අයද” (එළිදරව් 1:7) උන්වහන්සේගේ මරණීය වේදනාවේදී උන්වහන්සේට සරදම් කරමින් අපහාස කළාවූ අයද, උන්වහන්සේගේ සෙනඟට හා උන්වහන්සේගේ සත්‍යයන්ට තදින්ම විරුද්ධකම් දැක්වූ අයද නැගිටුවනු ලබනවා ඇත. ඒ උන්වහන්සේගේ තේජසින් උන්වහන්සේ දැකීමටද, විශ්වාසවන්ත කීකරු අයට දෙනු ලබන ගෞරවය දැකීමටද ඔවුන්ට පුළුවන් වන පිණිසය.GrHSin 737.1

    ඝන වළාකුළුවලින් අහස වැසී යනවා ඇත. එහෙත් සූර්යයා විටින් විට පෙනී යන්නේ යෙහෝවඃවහන්සේගේ නෙත්වල බැල්ම ලෙසය. භයානක විදුලි කෙටීම් අහසින් නිකුත් වන්නේ පොළොව ගිනි ජාලාවකින් වසා ගනිමිනි. ගෙරවීමේ භයානක හඬට ඉහළින් ඇසෙන්නේ අභිරහස්ගත භයානක හඬවලින් දුෂ්ටයන්ගේ විනාශය පවසනු ලැබීමය. මෙසේ පවසනු ලබන වචන වටහා ගැනීමට සියල්ලන්ට නුපුළුවන. නමුත් බොරුකාර ගුරුවරුන්ට ඒවා පැහැදිලි ලෙස වැටහී යනවා ඇත. මීට ස්වල්ප කාලයකට පෙර ඉතා නොසැලකිලිමත්ව, පාරට්ටු කරගැනීමෙන් යුක්තව, විරුද්ධවාදිව සිටිමින් දෙවියන්වහන්සේගේ ආඥා පැවැත් වූ අයට කෲර ලෙස සැලකීමේ දී උනන්දු වූ අය මහත් කනස්සල්ලෙන් යටපත් කරනු ලැබ බියෙන් වෙව්ලති. ඔවුන්ගේ වැලපීමේ හඬ සොබාදහමේ ශබ්දයට ඉහළින් ඇසෙයි. යක්ෂයෝ ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යත්වය පිළිගනිමින් උන්වහන්සේගේ බලය ඉදිරිපිට වෙවුලා සිටිති. ඒ අතර මනුෂ්‍යයෝ දයාව ඉල්ලා ආයාචනා කරමින් ඉමහත් බියෙන් නැඹුරු වෙති.GrHSin 737.2

    දෙවියන්වහන්සේගේ දවසේ ශුද්ධ වූ දර්ශනය දුටුවා වූ අනාගතවක්තෘවරු මෙසේ පැවසූහ. “මොරගසා වැලපෙන්න. මක්නිසාද ස්වාමින්වහන්සේගේ දවස ළංව තිබේ. එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.” (යෙසායා 13:6) “නුඹ පර්වතයට ඇතුල් වී ස්වාමින්වහන්සේ ගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න. මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය. ඒ දවසේ ස්වාමින්වහන්සේ පමණක් උසස් කරනු ලබන්නේය. මක්නිසාද උඩඟුවූ අහංකාර වූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද ... සේනාවල ස්වාමින්වහසේගේ දවසක් පැමිණෙන්නේය.” “පොළොව ත්‍රස්ත කරවන්ට ස්වාමින්වහන්සේ නැගිටන කළ, උන්වහන්සේගේ භයානකකම ද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස, මනුෂ්‍යයෝ නමස්කාර කිරීමට සාදවාගත් තමුගේ රිදී පිළිමද රන් පිළිමද මියටත් වවුලන්ටත් අත්හැර දමා යනෝය.” (යෙසායා 2:10-12,16,20,21)GrHSin 738.1

    වළාකුළුවල වෙන්වීමකින් පෙනී යන තාරකාවේ දීප්තිය, එවිට පවතින අන්ධකාරය හා සන්සන්දනය කළ විට, එහි දීප්තිය සතර ගුණයකින් වැඩිය. එය විශ්වාසවන්ත අයවලුන්ට බලාපොරොත්තුව හා ප්‍රීතිය ප්‍රකාශ කරන අතර, දෙවියන්වහන්සේගේ ආඥාවන් කඩකරන්නන්ට තද පරුෂ භාවය හා උදහස දක්වයි. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියල්ල පූජා කළා වූ අය දැන් උන්වහන්සේගේ මණ්ඩපයෙහි ඇත්තාවූ අප්‍රකාශ ස්ථානයෙහි සැඟවී ආරක්ෂා සහිතව සිටිනවා. ඇත. ඔවුන් සෝදිසි කරන ලදී. ලෝකයාද සත්‍යය එපා කරන්නද ඉදිරියෙහි ඔහු තමා උදෙසා මරණය වින්දාවූ තැනැන්වහන්සේට තමාගේ පක්ෂපාතකම දක්වා තිබේ. මරණයේ අභිමුඛයේ විශ්වාසවන්තව සිටියා වූ අය තුළ මහත් වෙනසක් ඇතිවී තිබේ. යක්ෂයන් බවට පත්වූ මනුෂ්‍යයන්ගේ අඳුරු, භයානක ප්‍රචණ්ඩකාරිත්වයෙන් ඔවුන් හදිසියේම මුදනු ලැබ තිබේ. මෑතදී මලානිකව, කනස්සල්ලෙන් පූර්ණව, වැහැරී ගිය පෙනුමකින් යුක්ත වූ ඔවුන්ගේ මුහුණු දැන් විශ්මයෙන්, ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් බබළයි. ජයග්‍රාහක ගීතයෙන් යුක්තව ඔවුන්ගේ කටහඬවල් මෙසේ ඔසවනු ලැබේ. “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළං වූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස් වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැළඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පා වෙතත් භය නොවන්නෙමුව.” (ගීතාවලිය 46:1-3)GrHSin 738.2

    ශුද්ධවූ විශ්වාසයෙන් යුත් මේ වචන දෙවියන්වහන්සේ වෙතට නගින අතර, වලාකුළු ඉවත් වී තාරකාවන්ගෙන් පිරි අහස පෙනී යනවා ඇත. එහි දෙපසින් ඇත්තාවූ කළු වූ අඳුරු වූ අහස් තලයට අසමානව එය වචනවලින් පැවසිය නොහැකි තේජසින් යුක්ත වෙනවා ඇත. ස්වර්ගීය නගරයේ තේජස ඒ විවෘත දොරටු තුළින් ගලා එනවා ඇත. එවිට අහස ඉදිරිපිට, හස්තයක් එකට නමන ලද ගල්ලෑලි දෙකක් අල්ලාගෙන සිටිනවා පෙනී යනවා ඈත. අනාගතවක්තෘ මෙසේ පවසා තිබේ: “අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන්නේය. මක්නිසාද දෙවියන් වහන්සේම විනිශ්චයකාරයාණෝය.” (ගීතාවලිය 50:6) දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දක්වන ඒ ශුද්ධ වූ ව්‍යවස්ථාව ගිනි හා ගර්ජනාවේ හඩ අතරින් සීනයි කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබුවේ ජීවිතවලට මාර්ගෝපදේශකයක් වන පිණිසය. දැන් එය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරනු ලබන්නේ විනිශ්චයේ නීති මාලාව හැටියටය. ඒ හස්තය ගල්ලෑලි විවෘත කරනවා ඇත. ඒ මත, ගිනිමය පෑනකින් මෙන් ලියන ලද ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති දර්ශනය වෙනවා ඇත. ඒ වචන කොපමණ පැහැදිලිද යත් සියලු දෙනාටම ඒවා කියවීමට පුළුවන. මතකයක් පුබුදුවනු ලබයි. මිථ්‍යා මතවල හා වැරදි ඉගැන්වීම්වල අන්ධකාරය සෑම මනසකින්ම ඉවත් කරනු ලැබේ. දෙවියන්වහන්සේගේ වචන දහය ලුහුඩු ලෙස, වටහා ගැනීමට පුළුවන් අන්දමින්, බලයෙන් යුක්තව, ලෝකයේ වාසය කරන සියලු මනුෂ්‍යයන්ට දක්වනු ලබනවා ඇත.GrHSin 739.1

    දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ නියමයන් පාගා දැමූ අය තුළ පවතින්ට යන්නාවූ භීතිය හා කනස්සල්ල විස්තර කරන්ට නුපුළුවන් තරම්ය. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔවුන්ට දුන්සේක. පසුතැවිලි වීමටද නවෝදයක් ඇතිකර ගැනීමටද අවස්ථාව තිබියදී තමාගේ චරිතයන් එය සමග සසඳා බලමින් තමාගේ අඩුපාඩු දැනගැනීමට ඔවුන්ට පුළුවන්කම තිබුණි. නමුත් ලෝකයා විසින් පිළිගනු ලබන පිණිස ඔහු එහි ප්‍රතිපත්ති ඉවත දමා ඒවා කඩ කිරීමට අන්‍යයන්ටද ඉගැන්වූහ. උන්වහන්සේගේ සබත කඩ කිරීමට ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට බල කළහ. දැන් ඔව්හු, තමන් විසින්ම එපා කරන්ට යෙදුණාවූ ව්‍යවස්ථාව මගින් වරදට පත්කරනු ලැබ සිටිති. තමාට සමාවට කාරණයක් නොමැති බව ඔවුන්ට පෙනී යන්නේ භයානක පැහැදිලිකමකින් යුක්තය. තමා නමස්කාර කරන්නේද සේවය කරන්නේද කවරෙකුට දැයි ඔවුන් විසින්ම තෝරාගෙන තිබුණි. “එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.” (මලාකි 3:18).GrHSin 739.2

    පූජකයන් පටන් ඉතා කුඩා අයවලුන් දක්වාම, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ සතුරන් වන සියලු දෙනාටම සත්‍යය හා තමාගේ යුතුකම් පිළිබඳව අලුත් වැටහීමක් ලැබෙනවා ඇත. සතරවන ආඥාවේ දක්වන සබත් දවස ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව බව ඔවුන් දැනගන්නා විට ප්‍රමාද වැඩිය. ඒ වැරදි සබත් දවසේ නියම ස්වභාවයද, ඔවුන් ගොඩනගමින් සිටියේ වැලි සහිත පදනමක් මත බවද ඔවුන් දැනගන්නා විට ප්‍රමාද වැඩිය. තමා දෙවියන්වහන්සේට විරුද්ධව සටන් කරමින් සිටි බව ඔවුන්ට පෙනී යනවා ඇත. තමා මනුෂ්‍යයන් පාරාදීසයේ දොරටු වෙතට යොමු කරනවා යයි පැවසූ ආගමික ගුරුවරුන් මනුෂ්‍යයන් යොමුකර ඇත්තේ විනාශයටය. ශුද්ධ වූ සේවයන්හි යෙදී සිටින මනුෂ්‍යයන්ට ඇත්තාවූ වගකීම කොපමණ විශාලද කියාත් ඔවුන්ගේ අවිශ්වාසවන්තකමේ ප්‍රතිඵල කොපමණ භයානකද කියාත් පෙනී යන්නේ ඒ ගණන් බැලීමේ අවසාන දිනයේදිය. එක් ආත්මයක් නැතිවීමේ පාඩුව අපට පෙනී යන්නේ සදාකාලයේදීය. දුෂ්ට වූ දාසය ඉවත්ව යව, යනුවෙන් දෙවියන්වහන්සේ විසින් යම් අය ගැන පැවසිය යුතු වන්නේද, ඔවුන්ගේ අවසානය ඉතා කණගාටුදායක වන්නේය.GrHSin 740.1

    යේසුස්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟට ඒ සදාකාල ගිවිසුම සම්පූර්ණ කර දෙන පිණිස එන්නාවූ දවස හා පැය ප්‍රකාශ කරන්නාවූ දෙවියන්වහන්සේගේ හඬ ස්වර්ගයෙන් ඇසෙනවා ඇත. ඉමහත් ශබ්දයකින් යුත් ගෙරවීමේ නාදය මෙන් උන්වහන්සේගේ වචන ලොව පුරා පැතිරී යනවා ඇත. දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්වරු ඉහළ දෙසට ඇස් යොමු කරගෙන ඇහුම්කන් දෙනවා ඇත. උන්වහන්සේගේ තේජසින් ආලෝකමත් වන ඔවුන්ගේ මුහුණු බබළන්ට යෙදෙන්නේ මෝසෙස් සීනයි කන්දෙන් බැස ගිය විට ඔහුගේ මුහුණ බැබළුණාවූ අන්දමටය. දුෂ්ටයන්ට ඔවුන් දෙස බැලීමට නුපුළුවන. උන්වහන්සේගේ සබත් දවස ශුද්ධ කොට පැවැත්වූ අයට ආශිර්වාද පවසනු ලබන විට ජයග්‍රහණයේ මහත් ශබ්දයක් ඇසෙනවා ඇත.GrHSin 740.2

    ඉක්මණින්ම, නැගෙනහිර දෙසින්, විශාලත්වයෙන් මනුෂ්‍යයෙකුගේ අතක් පමණ වන කුඩා කළු වලාකුළක් පෙනී යනවා ඇත. එය වනාහි ගැළවුම්කාරයාණන් වටා පවතින වළාකුලය. දුර සිට බලන විට එය අඳුරුව තිබෙන බව පෙනෙයි. මෙය මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෝ දනිති. එය පොළොවට ළං වෙමින් වඩාත් ආලෝකමත්ව, තේජාන්විත වන විට ඔහු ගාම්භීර නිශ්චලතාවයකින් එදෙස බලා සිටිති. කෙමෙන් එය විශාල සුදු වළාකුලක් වෙයි. එහි පාදකය දවාලන්නාවූ ගින්නක් මෙන් තේජාන්විත වෙයි. එයට ඉහළින් ගිවිසුමේ දේදුන්න පවතියි. ජයග්‍රාහක යුද්ධ භටයෙකු මෙන් යේසුස්වහන්සේ ඒ වළාකුල මත එනසේක. දැන් උන්වහන්සේ පැමිණෙන්නේ කණගාටුවේ හා තික්තකමේ කුසලාන පානය කරන පිණිස පැමිණි කණගාටුවේ මනුෂ්‍යයාණන් හැටියට නොවේ. අහසේද පොළොවේද ජයග්‍රාහකයාණන් හැටියට උන්වහන්සේ පැමිණෙන්නේ ජීවත් වන්නා වූ අයවලුන්ද මැරුණා වූ අයවලුන්ද විනිශ්චය කරන පිණිසය. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක.” “ස්වර්ගයෙහි සිටින සේනාවෝ .... උන්වහන්සේ පස්සේ ගියෝය.” (එළිදරව් 19:11,14 ) ගීය රාවයෙන් යුත් තුති ගීත ගයමින් ගණන් කළ නොහැකි තරම් විශාල ශුද්ධ වූ දුත සමූහයක් උන්වහන්සේ සමග පැමිණෙයි. ඔවුන්ගේ තේජාන්විත ශරීරවලින් අහස් තලය පිරී යයි. ඔව්හු දස දහසක්වර දස දහසක්ද දහසක් වර දහසක්ද වෙති. කිසි මනුෂ්‍ය පෑනකින් ඒ දර්ශනය දක්වනු ලැබීමට නුපුළුවන. කිසි මානුෂික මනසකට එහි තේජස වටහා ගැනීමට නුපුළුවන. උන්වහන්සේගේ තේජසින් අහස වැසී යයි. පොළොව උන්වහන්සේට ප්‍රශංසා කිරීමෙන් පිරී යයි. උන්වහන්සේගේ දීප්තිය ආලෝකය මෙන්ය.’ මේ ජීවමාන වලාකුල ළංවෙන විට සෑම ඇසක්ම ජීවනයේ කුමාරයාණන්ව දකියි. දැන් උන්වහන්සේගේ ශුද්ධ වූ හිස මත කටු ඔටුන්නක් නොමැත. නමුත් ශුද්ධ වූ නළල් තලය මත තේජාන්විත ඔටුන්නක් තිබේ. උන්වහන්සේගේ මුහුණ දහවල් කාලයේ බබළන සූර්යාලෝකයට වඩා තේජාන්විතය. උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කලවයෙහිද රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේය යන නාමය ලියා තිබේ.” (එළිදරව් 19:16).GrHSin 741.1

    උන්වහන්සේ ඉදිරිපිට ‘සියලු මුහුණ සුදුමැලි වෙයි. සදාකාල කණගාටුවේ භයානකත්වය දෙවියන්වහන්සේගේ දයාව එපා කරන්නන් පිට පැමිණෙයි. “සිත දියවීමද දණහිස් වෙවුලීම ද .... තිබේ. ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.” (යෙරෙමියා 30:6; නාහුම් 2:10) “සිටින්ට පුළුවන් වන්නේ කාට ද?” යයි ධර්මිෂ්ඨයෝ වෙව්ලන බසින් පවසති. දුතයන්ගේ ගීතය නිශ්චල වෙයි. භයංකාර නිශ්චලතාවයේ වේලාවක් පවතියි. එවිට, “මාගේ කරුණාව නුඹට සෑහේ’ යනුවෙන් යේසුස්වහන්සේගේ හඬ පවසනවා ඇසෙයි, ධර්මිෂ්ඨයන්ගේ මුහුණු ආලෝකමත් වෙයි. ඔවුන්ගේ හදවත් සියල්ල ප්‍රීතියෙන් පිරී යයි. ඔවුන් තවදුරටත් පොළොවට ආසන්න වන විට දේවදූතයෝ වඩාත් මිහිරි නාදයෙන් නැවත ගීතිකා කරති.GrHSin 741.2

    රජවරුන්ගේ රජ වන තැනැන්වහන්සේ දැක්වෙන ගින්නකින් ඔතනු ලැබ වළාකුලින් එනසේක. අහස අකුළන ලද පොතක් මෙන් පහවි යයි. පොළොව උන්වහන්සේ ඉදිරිපිට වෙවුලයි. සෑම කන්දක් හා දුපතක්ද ඒවාට නියමිත ස්ථානවලින් ඉවත් කරනු ලැබේ. “අපගේ දෙවියන්වහන්සේ වඩින සේක. නිශ්ශබ්ද නොවන සේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශ කරන්නේය. උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධික වන්නේය. උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬ ගසන සේක.” (ගීතාවලිය 50:3,4)GrHSin 742.1

    “පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය. ඔහු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී සිංහාසනයෙහි වැඩ ඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න. මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුන බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.” (එළිදරව් 6:15-17)GrHSin 742.2

    සරදම් කිරීමේ හඬ නැවතී තිබේ. බොරු කියන තොල් නිශ්චල කරනු ලැබ තිබේ. යුද්ධායුධ වල ගැටීමද යුද්ධ ඝෝෂාද කෝලාහලය හා “ලෙයෙහි පෙඟූ වස්ත්‍රද” නවතියි (යෙසායා 9:5) දැන් සවනට යොමු වන්නේ යාච්ඤාවේද හැඩීමේද හා වැලපීමේද හඬය. මෑතදී සරදම් කළ තොලින් මේ හඬ නිකුත් වෙනවා ඇත: “උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුන බැවින් සිටින්න පුළුවන් කාටද?” තමා සුළු කළාවූද එපා කළාවූද තැනැන්වහන්සේ මුහුණ දෙන්නට නුපුළුවන් බැවින් තමා පර්වත හා කඳු යට සඟවනු ලබන ලෙස දුෂ්ටයන් යාච්ඤා කරනවා ඇත.GrHSin 742.3

    ඔව්හු මළවුන්ගේ සවන් වලට යොමු වන මේ හඬ දනිනි. ඒ පැහැදිලි මෘදු හඬ නිතරම ඔවුන් පසුතැවිලි වීමට කැඳවා තිබේ. මිත්‍රයෙකුගේ සහෝදරයෙකුගේ හා මිදුම්කාරයාගේ කාරුණික ආයාචනයෙන් ඔවුන්ට මේ හඬ නිතර ඇසී තිබේ. උන්වහන්සේගේ දයාව එපා කරන්නන්ට අන් කිසි හඬක් ඒතරම් වරදට පත්කරන්නාවුද වරද පෙන්නුම් කිරීමේ බරකින් යුක්ත වූවක්ද විය නොහැකිය. “නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාද?” යයි (එසකියෙල් 33:11) කියමින් ඒ හඬ ඔවුන්ට බොහෝ වේලාවක් ආයාචනය කර තිබුණි. අහෝ! එය අමුත්තෙකුගේ හඬක් වූවා නම් වඩා හොඳය. යේසුස්වහන්සේ මෙසේ කියන සේක, “මම අඬගැසිමි, නුඹලා අකමැති වුහුය. මාගේ අත දිගු කළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත; නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළි නොගත්තාහුය.” (හිතෝපදේශ 1:24,25) ඒ හඬින් මතකයන් පුබුදුවනු ලබයි. ඒවා මකා දැමීමට ඔහු කැමති වෙති. අවවාද එපා කර තිබේ, ආරාධනා පිළිනොගෙන තිබේ, දී තිබෙන වරප්‍රසාදයන් එපා කර තිබේ.GrHSin 742.4

    ක්‍රිස්තුස්වහන්සේට නින්දා කරනු ලැබූ අවස්ථාවේදී සමහර අය උන්වහන්සේට සරදම් කළහ. ප්‍රමෝදයක් ඇතිකරන බලයකින් යුක්තව ඔවුන්ට මතක් වන්නේ, උත්තම පූජකයා විසින් අණකරනු ලැබූ විට, පීඩාවට පත්වූ උන්වහන්සේ සන්සුන් ලෙස මෙසේ පැවසූ වචනය: “මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වළාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුය” යන්නය. (මතෙව් 26:64) උන්වහන්සේ තේජසින් එනවා ඔවුන්ට දකින්ට පුළුවන. උන්වහන්සේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාද දකින්ට ඔවුන්ට පුළුචන් වෙනවා ඇත.GrHSin 743.1

    තමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව උන්වහන්සේ පැවසු විට උන්වහන්සේට සරදම් කළා වූ අයට දැන් කථා කරගැනීමට පවා නුපුළුවන. උඩඟු හෙරෝද් උන්වහන්සේගේ රාජකීය නාමයට සරදම් කරමින් රජ කෙනෙකු හැටියට උන්වහන්සේට ඔටුනු පළඳවන්නැයි නිග්‍රහ කරමින් සිටි සොල්දාදුවන්ට පවසා තිබුණි. උන්වහන්සේ මත ඒ දම් පැහැති සළුව තබමින් උන්වහන්සේගේ ශුද්ධ වූ නළල් තලය මත කටු ඔටුන්නක් තැබුවාවූද, සරදම් කිරීමේ බට දණ්ඩක් උන්වහන්සේගේ අතෙහි තබා, අපහාසාත්මක සරදමින් උන්වහන්සේ ඉදිරිපිට වැඳ වැටුණාවූද අය සිටිති. ජීවනයේ කුමාරයාණන්ගේ මුහුණට කෙළ ගැසූ අය උන්වහන්සේගේ ඒ තියුණු බැල්මෙන් ඉවතට හැරී, උන්වහන්සේගේ පැවැත්මේ බලවත් තේජසින් පැන දිවීමට උත්සාහ කරති. උන්වහන්සේගේ අත් හා කකුලට ඇණ ගැසූ අයද උන්වහන්සේගේ ඇලයට ඇන්න සොල්දාදුවාද මහත් භීතියෙන් හා පසුතැවිල්ලෙන් මේ ක්‍රියාවන්හි ලකුණු දකිනවා ඇත.GrHSin 743.2

    පූජකයෝද නායකයෝද කල්වරියේදී වූ සිද්ධීන් ඉතා පැහැදිලි ලෙස මතක් කරනවා ඇත. තමාව වෙව්ලවන භීතියකින් ඔවුන්ට මතක් වන්නේ සාතනික උදාරමකින් යුතුව හිස් වනමින් තමා මෙසේ පැවසු බවය: “ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා, එවිට අපි ඔහු අදහාගන්නෙමුව. ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය, උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක් නම් දැන් ඔහු මුදාහරින සේක්වා.” (මතෙව් 27:42, 43)GrHSin 743.3

    යේසුස්වහන්සේ පැවසූ උපමාවක් ඔවුන්ට හොඳාකාරව මතක් වෙයි. එය තමාගේ ස්වාමියාට මිදි වත්තේ ඵල දීමට අකමැති වූ ගොවීන් ගැන විය. ඔහු ඔහුගේ දාසයන්ට කරදර කර ඔහුගේ පුත්‍රයා මැරුවෝය. ඒ දාසයන්ට දිය යුතු දඬුවම ගැන ඔවුන්ම පවසන්ට යෙදුණාවූ වචන ඔවුන්ට මතක් වෙයි. ඒ මෙසේ විය: ‘ඒ මිදි වත්තේ ස්වාමියා ඒ නපුරු මනුෂ්‍යයන් විනාශ කරනවා ඇත. ඒ නපුරු මනුෂ්‍යයන්ගේ පාපයෙන් හා දඬුවමින් මේ පූජකයන්ට හා වැඩිමහල්ලන්ට දර්ශනය කිරීමට පුළුවන් වූයේ තමාම ක්‍රියා කළා වූ අන්දම හා තමාට හිමි විය යුතු වූ දඬුවමය. ඊළඟට ඔවුන්ට ඇසෙන්නේ මානුෂික වේදනාවෙන් යුක්තව කරනු ලබන ශබ්දයකි. “මොහු කුරුසියෙහි. ඇණ ගැසුව මැනව, කුරුසියෙහි ඇණ ගැසුව මැනව” යන ශබ්දය යෙරුසලමේ වීථි ඔස්සේ පැතිරී ගියේ. ඊටත් වඩා මහත් හඬකින් දැන් අසනු ලබන හඬක් මෙසේ පවසනවා ඇත: ‘සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය! මුන්වහන්සේ සැබෑ මෙසියස්වහන්සේය’ යන්නය. දැන් ඔහු රජවරුන්ගේ රජ වූ මේ තැනැවහන්සේ ඉදිරියෙන් ඉවතට දුව යාමට උත්සාහ කරති. පොළොවේ ධාතුන් සෙලවීමේදී පැලී ගැඹුරු ගුහාවන් බවට පත්වූ ස්ථානවල සැඟවීමට ඔහු නිෂ්ඵලයේ උත්සාහ කරති.GrHSin 744.1

    සත්‍යය එපා කරන සියලු දෙනාගේම ජීවිතවල ඔවුන්ගේ හෘදය සාක්ෂිය පිබිදෙන්නා වූ අවස්ථාවන් තිබේ, තමා වංචාකාර ජීවිතයක් ගත කළ බව සිහිකර දෙන්නා වූ අවස්ථාවන් තිබේ. එවිට ආත්මය මහත් කණගාටුවෙන් පිරී යයි. නමුත් “භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද” “විනාශය සුළි සුළඟක් මෙන් එන විටද” (හිතෝපදේශ 1:27) ඇතිවන තත්ත්වය ඒවාට සමාන කිරීමට නුපුළුවන. ක්‍රිස්තුස්වහන්සේද උන්වහන්සේගේ විශ්වාසවන්ත මනුෂ්‍යයන්ටද විනාශ කළා වූ අය දැන් දකින්නේ උන්වහන්සේ මත පවතින්නා වූ තේජසය. ඔවුන්ට භීතිය පවතින අතර ඔවුන්ට ඇසෙන්නේ ශුද්ධවන්තයන් ප්‍රීතියෙන් මෙසේ පවසන බවය: “මේ අපේ දෙවියන්වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක.” (යෙසායා 25:49)GrHSin 744.2

    පොළොව කරකැවෙමින්, විදුලි කොටමින්, අහස ගොරවමින් තිබියදී දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේගේ හඬ, නිදා සිටින ශුද්ධවන්තයන්ට හඬගසනවා ඇත. උන්වහන්සේ ශුද්ධවන්තයන්ගේ සොහොන් දෙස බලමින් ස්වර්ගය දෙසට අත් ඔසවා: දූවිල්ලෙහි නිදා සිටින්නෙනි නැගිටින්න, නැගිටින්න!’ කියා පවසනවා ඇත. පොළොවේ දිගටද හරහටද සිටින මළා වූ අයට උන්වහන්සේගේ හඬ ඇසෙනවා ඇත, එය ඇසෙන්නාවූ අය ජීවත්වෙනවා ඇත, සෑම ජාතියකින්ද, භාෂාවකින්ද, සෙනඟකින්ද නැග එන්නාවූ ඒ මහත් හමුදාවේ ශබ්දය ලොව මුළුල්ලේ ඇසෙනවා ඇත. සදාකාලික තේජසින් සැරසුණා වූ අය මරණය නමැති සිර ගෙයින් පිටතට එන විට ඔවුන් මෙසේ පවසනවා ඇත. “එම්බා මරණය නුඹේ ජය කොයිද? එම්බා මරණය නුඹේ කටුව කොයිද?” (1 කොරින්ති 15:55) ජීවත්ව සිටින ධර්මිෂ්ඨයන්ද නැගිටුවනු ලැබූ ශුද්ධවන්තයන්ද ජයග්‍රහණයේ මහත් ශබ්දයකින් ඔවුන්ගේ කටහඬවල් එක්කරනවා ඇත.GrHSin 744.3

    සියලු දෙනාම ඔවුන්ගේ සොහොන් ගෙවලින් එලියට එන්නේ ඒවාට ඇතුල් වූ විට ඔවුන්ට තිබුණාවූ ශාරීරික ප්‍රමාණයෙන්ය. නැගිටියා වූ සෙනඟ අතර සිටින ආදම් මහත් උස ප්‍රමාණයකින් යුතුව රාජකීය පෙනුමක් දරනවා ඇත. නමුත් ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේට වඩා මඳක් අඩු තත්ත්වයකින් සිටිනවා ඇත. ඔහු ඊට පසුව පැවති පරම්පරාවල අයවලුන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් දරනවා ඇත. මේ එක කාරණයම, මනුෂ්‍ය ජාතිය පහතට බැස තිබෙන ප්‍රමාණය පෙනී යනවා ඇත. නමුත් සියලුදෙනාම නැගිටින්නේ යෞවන භාවයේ නවතම, උද්‍යෝගිමත් ස්වභාවයකිනි. පටන්ගැන්මේදී මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබුවේ චරිතයෙන් පමණක් නොව ස්වභාවයෙන් හා හැඩහුරුකමින්ය. පාපය එය නරක් කරමින් එය මකා දමන තරම් තත්ත්වයක් ඇති කළේය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ ඒ නැති වූ ස්වභාවය නැවත පිහිටුවීමටය. උන්වහන්සේ මේ අපගේ නරක් වූ ශරීර වෙනස් කරමින් ඒවා උන්වහන්සේගේ තේජාන්විත ශරීරයේ සමානත්වයකට පමුණුවනවා ඇත. කුණු වෙන්නාවූ මේ මරණීය ශරීර අලංකාරයන් තොරව, වරක් පාපයෙන් නරක්වූ නමුත් ඒවා සම්පූර්ණ වූ අලංකාර වූ අමරණිය ශරීරයන් බවට පත්කරනු ලබනවා ඇත. ඒවායේ වැරදි තත්ත්වයන් හා අඩුපාඩුකම් සොහොනේම අත්හරිනු ලබනවා ඇත. ඈත කාලයේදී ඒදන් උයනේදී නැතිවී ගියා වූ ජීවන වෘක්ෂය නැවත ඒ මනුෂ්‍යයන්ට දෙනු ලබනවා ඇත. ගැළවීම ලැබූ අය, පටන්ගැන්මේදී අපගේ ජාතියට හිමිවූ සම්පුර්ණ තේජාන්විත ස්වභාවයට වැඩෙනවා’ ඇත. පාපයේ ශාපයෙන් ඉතිරිවී තිබෙන අවසාන සලකුණු ද පහකරනු ලබනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත සෙනඟ අපගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ අලංකාරයෙන් දර්ශනය වෙනවා ඇත. මනසින් ද, ආත්මයෙන්ද ශරීරයෙන්ද ඔවුන් තමාගේ ස්වාමින්වහන්සේගේ සම්පූර්ණ ස්වරූපය පිළිබිඹු කරනවා ඇත. අහෝ! වටිනා ගැළවීම! ඒ ගැන අපි බොහෝ සේ කථා කර ඇත්තෙමු. බොහෝ කල් බලාපොරොත්තුවෙන් සිටියෙමු. උනන්දු ආශාවෙන් ඒ ගැන කල්පනා කළෙමු; නමුත් අපි කිසිවිටෙක එය සම්පූර්ණ ලෙස වටහා නොගතිමු.GrHSin 745.1

    ජීවත්ව සිටින ධර්මිෂ්ඨ අය “මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්” වෙනස් කරනු ලබනවා ඇත. දෙවියන්වහන්සේගේ හඬ ඇසීමෙන් ඔහු තේජාන්විත කරනු ලැබ අමරණීයත්වය පැළඳගෙන සිටිති. මළවුන්ගෙන් නැගිටියාවූ ශුද්ධවන්තයන් සමග ඔවුන් අහසට ඔසවා ගනු ලබන්නේ ඔවුන්ගේ ස්වාමින්වහන්සේ හමුවන පිණිසය. දේවදූතයන් සුළං හමන දිශා සතරින්ම, අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වාම, තෝරා ගත්තාවූ අය රැස්කරනවා ඇත. දේවදුතයෝ කුඩා ළදරුවන් ඔවුන්ගේ මව්වරුන්ගේ අත්වලට භාරදෙනවා ඇත. බොහෝ කාලයක සිට වෙන් කරනු ලැබූ මිත්‍රයන් හමුවන්නේ නැවත කිසිවිටෙක වෙන් කරනු නොලබන පිණිසය. ප්‍රීති ගීතයෙන් යුතුව ඔවුන් සියලු දෙනාම දෙවියන්වහන්සේගේ රථයට නගිනවා ඇත.GrHSin 746.1

    වළාකුල් සහිත වූ ඒ රථයේ එක් එක් පැත්තෙහි පියාපත් තිබෙන අතර එහි යට පැත්තේ ජීවමාන රෝද තිබේ. ඒ රථය ඉහළ දෙසට යන අතර ශුද්ධය’ යන හඬ ඒ රෝදවලින් නික්මෙන්නේය. එසේම එහි පියාපත් සෙලවෙන විටද, ශුද්ධය’ යන හඬ නික්මෙයි. දේවදූත සමූහයද අති උතුම් දෙවිවූ ස්වාමින්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය’ යනුවෙන් හඬ නඟනවා ඇත. රථය අලුත් යෙරුසෙලම දෙසට යන විට ගැළවීම ලැබූ අය අලෙලුයා කියා නාද කරනවා ඇත.GrHSin 746.2

    දෙවියන්වහන්සේගේ නගරයට ඇතුල්වීමට පෙර ගැළවුම්කාරයාණන්වහන්සේ තමාගේ අනුගාමිකයන්ට ජයග්‍රහණයේ සලකුණුද ඔවුන්ගේ රාජකීයත්වයේ සංකේතයන්ද දෙනවා ඇත. එහි තේජාන්විත තත්ත්වය කුහරයක් ඇත්තා වූ චතුරස්‍රයකින් රජතුමා අවට පවතින්නේය. ඒ ස්වභාවය ශුද්ධවන්තයන්ට ද දූතයන්ට ද ඉහළින්, තේජසින් යුත්තව නැගී සිටිනවා ඇත. උන්වහන්සේගේ මුහුණ කාරුණික ප්‍රේමයෙන් යුත් තේජසින් යුක්තව බබළනවා ඇත. ගැළවීම ලැබූ ඒ සේනාවේ සියලුදෙනාම උන්වහන්සේ දෙස තමාගේ නෙත් යොමා සිටිනවා ඇත. උන්වහන්සේගේ මුහුණ අන් කිසිවෙකුට නොතිබුණ අන්දමට පළුදු කර තිබුණි. උන්වහන්සේගේ ස්වභාවය කිසි මනුෂ්‍ය පුත්‍රයෙකුට නොතිබුණාවූ අන්දමට පළුදු කර තිබුණි. දැන් ඔව්හු තේජසින් පිරි උන්වහන්සේ දකිනවා ඇත. යේසුස්වහන්සේ තමන්වහන්සේගේම දකුණතින්, ජය ගන්නාවූ සියලු දෙනාගේම හිස් මත තේජසේ ඔටුණු තබනවා ඇත. එක් එක්කෙනා උදෙසා, ඔවුන්ගේ අළුත් නාමය ලියා ඇත්තාවූද, ස්වාමින්වහන්සේට ශුද්ධකමය’ යන වචන ලියා ඇත්තාවූද ඔටුන්නක් තිබෙනවා ඇත. (එළිදරව් 2:17) ජයග්‍රාහකයාගේ තල් අත්තක්ද දිළිසෙන වීණාවක්ද සියලු දෙනාගේම අත්වල තබනු ලබනවා ඇත. එවිට අණ දෙන දූතයා තාලයක් නාද කරන විට සෑම හස්තයම දක්ෂ අත්වලින් වීණාවේ රැහැන් මත යොමු වෙමින් ඉතා සාරවත් සුමිහිරි තුර්ය වාදනයක් නිකුත් කරනවා ඇත. කියා නිම කළ නොහැකි ප්‍රමෝදයකින් සෑම හදවතක්ම පිරී යනවා ඇත. සෑම කටහඬක්ම ස්තූති වීමේ ප්‍රශංසාවෙන් මෙසේ ඔසවනු ලබනවා ඇති. “අපට ප්‍රේම කරන්නා වූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ, අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනැන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා.” (එළිදරව් 1:5,6).GrHSin 746.3

    ශුද්ධවූ නගරය ඒ මිදීම ලැබුවා වූ සමූහයා ඉදිරිපිටය. යේසුස්වහන්සේ ඒ මුතු දොරටු විවෘත කරන සේක. එවිට උන්වහන්සේගේ සත්‍යයන් අනුව ජීවත් වූ අය ඇතුල් වන්නේය. එහිදී ඔවුන් දෙවියන්වහන්සේගේ පරාදීසය, ආදම්ගේ අහිංසක භාවයේදී ඔහුට තිබුණා වූ නිවස දකිනවා ඇත. එවිට, කිසි මානුෂික සවනට කිසිවිටෙක යොමු නොවූ තරම් සුමිහිරි නාදයකින් යුත් කටහඬ මෙසේ කියනවා ඇත: නුඹලාගේ අරගලය හමාරය.’ “මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත්තෙනි එන්න, ලෝකයේ පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.”GrHSin 747.1

    “ඔබවහන්සේ මට දුන්නාවූ අය මා සමග සිටිනවාට කැමැත්තෙමි” යනුවෙන් යේසුස් වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන් උදෙසා ඔප්පු කළා වූ යාච්ඤාව මෙවිට සම්පූර්ණ වෙයි. ඔවුන් “උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව” (යූදස් 24) පෙනී සිටිනවා ඇත. ක්‍රිස්තුස් වහන්සේ තමන්වහන්සේගේ ලේ කරණකොට ගෙන මුදාගනු ලැබූ අයවලුන් මේ අන්දමට පියාණන්වහන්සේට ඉදිරිපත් කරනවා ඇත. මාද මට ඔබ දුන්නා වූ දරුවෝද මෙහි සිටිමු.’ ‘මම ඔවුන් ප්‍රවේසම් කළෙමි’ අහෝ! ගැළවීම ලබාදෙන ප්‍රේමයේ පුදුමාකාර භාවය! සදාකාලික පියාණන්වහන්සේ ගැළවීම ලැබුවන් දෙස බලන විට ඇතිවන ප්‍රීතිය ඉමහත්ය. උන්වහන්සේ ඔවුන් තුළ තමන්වහන්සේගේ ස්වරූපය දකිනවා ඇත. පාපයේ විරුද්ධතාවයද එහි නරක බලපෑමද ඉවත් වී තිබේ. මනුෂ්‍යත්වය නැවත වරක් දිව්‍යත්වය සමග ඒකත්වයක් වෙයි.GrHSin 747.2

    කියා නිම කළ නොහැකි ප්‍රේමයෙන් යුක්තව යේසුස්වහන්සේ තමන්වහන්සේගේ විශ්වාසවන්ත අයවලුන් ස්වාමින්වහන්සේගේ ප්‍රීතියට පිළිගන්නා සේක. ගැළවුම්කාරයාණන් වහන්සේගේ ප්‍රීතිය වන්නේ තමන්වහන්සේගේ වේදනාව හා නින්දාව මගින් ගැළවීම ලැබූ අය තේජසේ රාජ්‍යයේ සිටිනවා දැකීමය. ගැළවීම ලැබූ අය මේ ප්‍රීතියට හවුල්කරුවන් වන්නේ ඒ ආශිර්වාදලත් අයවලුන් අතර, තමාගේ යාච්ඤා මගින්ද, තමාගේ සේවය හා ප්‍රේමණීය පූජාවීම මගින් ද ක්‍රිස්තුස්වහන්සේ වෙතට දිනාගනු ලැබූ අයවලුන් සිටිනවා දැකීමෙන්ය. ඔවුන් ඒ මහා සුදු සිංහාසනය අවට රැස්වෙන විට කියා නිම කළ නොහැකි ප්‍රීතියෙන් ඔවුන්ගේ සිත් පිරී යනවා ඇත. තමා ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙනාවා වූ අය දකින විටද, ඔවුන් වෙනත් අයවත්, ඒ අය තවත් අයන් දිනාගනිමින් ඔවුන් සියලු දෙනාම නිවාඩුවේ ආරක්ෂක ස්ථානයට පැමිණ සිටින බව දකින විටද ඔවුන් තමාගේ ඔටුණු යේසුස්වහන්සේගේ පාමුල තබමින් සදාකාලයේ කවයන් මුළුල්ලේ උන්වහන්සේට ප්‍රශංසා කරනවා ඇත.GrHSin 748.1

    මිදීම ලැබූවන් දෙවියන්වහන්සේගේ නගරයට පිළිගනු ලබන විට ගුවන ගෞරව සම්පන්න නමස්කාරයේ උසස් හඬකින් පිරී යනවා ඇත. ආදම්ලා දෙදෙනා ඔවුනොවුන් සමග මුණගැසෙනවා ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ අත් දිගු කරගෙන, අපගේ ජාතියේ පියා පිළිගැනීමට බලා සිටිනවා ඇත. ඔහු වනාහි උන්වහන්සේ විසින් මවන ලද තැනැත්තාය. ඔහු තමාගේ මැවුම්කාරයාණන්වහන්සේට විරුද්ධව පව් කළේය. ඔහුගේ පාපයන් නිසා කුරුසිපත් කරනු ලැබීමේදී ඇතිවූ සලකුණු අපගේ ගැළවුම්කාරයාණන්වහන්සේගේ සිරුර මත පවතියි. ආදම් ඒ කෲර ඇණවල සලකුණු දකින විට ඔහු තම ස්වාමින්වහන්සේගේ තුරුල්ලට යොමු නොවී, ඉතා යටහත්කමින් උන්වහන්සේගේ පාමුල වැටී, ‘මරනු ලැබූ බැටළු පැටවාණෝ .... ප්‍රශංසාව ලබන්නට වටින තැනැන්වහන්සේය”යි පවසනවා ඇත. ගැළවුම්කාරයාණන් වහන්සේ මෘදු ලෙස ඔහුව ඔසවමින් මේ පමණ කාලයක් මුළුල්ලේ ඔහු කෙරෙන් ඉවත් කරනු ලැබූ ඒදන් නිවස දෙස බලන්නැයි ඔහුට කියනවා ඇත.GrHSin 748.2

    ඒදන් උයනෙන් ඉවත් කරනු ලැබුවාට පසුව ආදම් ගේ ජීවිතය කණගාටුවෙන් පිරී තිබුණි. මැරී ගිය සැම කොළයක්ද, පූජාවට ගොදුරු වූ සෑම සතාද, සොබා දහමේ අලංකාර මුහුණ මත ඇති වූ සෑම අප්‍රසන්නතාවයද, මනුෂ්‍යයාගේ පවිත්‍රතාවය මත ඇති වූ සෑම කැළලක්ද ඔහුට තමාගේ පාපය අලුතෙන් මතක් කර දුන්නේය. පාපය වර්ධනය වෙනවා දුටු විට ඔහු තුළ ඇති වූ කණගාටුවේ වේදනාව ඉමහත් විය. එසේම ඔහු දුන්නාවූ අවවාදයන්ට ප්‍රතිචාරයක් වශයෙන් ඔහුටම නින්දා කරනු ලැබුවේ ඔහු මේ පාපයන් ඇතිවීමට හේතුව වූ බව පවසමිනි. වසර දහසක් පමණ කාලයක් මුළුල්ලේ ඔහු තමාගේ පාපයේ දඬුවම් විඳ දරාගත්තේය. ඔහු විශ්වාසවන්ත ලෙස තමාගේ පාප ගැන පසුතැවිලි වෙමින් ගැළවුම්කාරයාණන් ගැන දෙන ලද පොරොන්දු විශ්වාස කළේය. ඔහු මරණයට පත්වූයේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව ඇතිවය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ, මනුෂ්‍යයාගේ පරාජයෙන් හා පාපයට වැටීමෙන් ඔහු මුදාගත්සේක . දැන් සමගි කිරීමේ සේවය මගින් ආදම් නැවත ඔහුට මුලදි තිබුණා වූ තත්ත්වයට පමුණුවනු ලැබේ.GrHSin 748.3

    ප්‍රීතියෙන් එතැනට පැමිණෙන ඔහු වරක් තමාට ප්‍රීතිය ගෙන දුන්නාවූ වෘක්ෂයන් දෙස බලයි. ඔහුගේ අහිංසකකමේ හා ප්‍රීතියේ කාලයේදී ඔහුම ඒ ගස්වල ඵල එකතු කරගෙන තිබුණි. ඔහුගේම අත්වලින් හැඩ ගස්වන ලද මිදි වැල්ද ඔහු ආදරයෙන් සැලකුවාවූ මල් ගස්ද ඔහුට පෙනෙයි. මේ දර්ශනයේ නිත්‍යතාවය ඔහුගේ මනසට වැටහෙයි. මේ ඇත්තෙම නැවත දෙනු ලැබූ ඒදන් උයන බවද ඔහු එයින් ඉවත් කරනු ලැබූ විට එහි පැවති අලංකාරයට වැඩියෙන් දැන් එය අලංකාර බවද ඔහුට පෙනෙයි. ගැළවුම්කාරයාණන්වහන්සේ ඔහුව ජීවන වෘක්ෂය වෙත ගෙන ගොස් එහි ඇති තේජාන්විත පළතුරු නෙලා ඒවා කන්නැයි ඔහුට කියන සේක. ඔහු තමා අවට බලමින් ඔහුගේ පවුලේ මහත් සමූහයක් ගැළවීම ලබා දෙවියන්වහන්සේගේ පාරාදීසයේ සිටින බව දකියි. එවිට ඔහු තමාගේ බබළන ඔටුන්න යේසුස්වහන්සේගේ පාමුල තබමින් උන්වහන්සේගේ පපුව මතට වැටී මිදුම්කාරයාණන්වහන්සේ බදා ගනියි. ඔහු ඒ රන් වීණාව ස්පර්ශ කරයි. “මරන ලද බැටළු පැටවාණන්වහන්සේ ඉතා අගනේය. උන්වහන්සේ නැවත ජීවත්ව සිටින සේක’ යන ඔහුගේ ගීතය ස්වර්ගයේ දෝංකාරය වෙයි. ආදම් ගේ පවුලම ඒ ගීතයට සම්බන්ධ වෙයි. නමස්කාරයෙන් වැඳ වැටෙමින් ඔහු ගැළවුම්කාරයාණන්වහන්සේගේ පාමුල ඔවුන්ගේ ඔටුණු තබති.GrHSin 749.1

    දේවදූතයෝ දැන් මේ එක් වීම සාක්ෂි දරති. ඔහු ආදම්ගේ පාපයට වැටීමේදී වැලපුණාහ. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට ස්වර්ගයට නැගි එමගින් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නා සියල්ලන්ගේ සොහොන් ගෙවල් විවෘත වීමේ මාර්ගය පිහිටු වීම ගැනු ඔහු ප්‍රීති වූහ. දැන් මිදීමේ සේවය සම්පුර්ණ වී තිබෙන බව දකින ඔහු ප්‍රශංසා ගීතයට තමාගේ කටහඬවල්ද එක් කරති.GrHSin 749.2

    සිංහාසනය ඉදිරිපිට පළිඟු වැනි මුහුද තිබේ. එය ගින්නෙන් මිශ්‍ර වූ වීදුරු සාගරයක් වැනිය. එය දෙවියන්වහන්සේගේ තේජසින් බබළයි. “මෘගයාගෙනුත් උගේ රූපයෙනුත් උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ” එක්රැස්වෙති. (එළිදරව් 15:2) ‘එක් ලක්ෂ සතළිස් හාරදහසක් වන සමූහය බැටළු පැටවාණන් සමග සියොන් කන්ද මත සිටිති. ඔවුන් වනාහි මනුෂ්‍යයන් අතරින් මුදනු ලැබූ අයවල්ය.’ “බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද වූ ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන්නන්ගේ ශබ්දයය. ඔහු “අලුත් ගීතිකාවක් ගායනා කළෝය. ඒ ගීතිකාව එක්ලක්ෂ සතළිස් සාර දහසට එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙනගන්ට නොහැකිවිය.” එය මෝසෙස්ගේද බැටළු පැටවාණන්ගේද ගීතය විය. එය මුදනු ලැබීමේ ගීතයක් විය. ඒ ගීතය ඉගෙනගත හැක්කේ ඒ එක්ලක්ෂ සතළිස් සාර දහසට පමණය. කුමක් හෙයින්ද එය ඔවුන්ගේ අත්දැකීම පිළිබඳව වූ ගීතයකි. අන් කිසිවෙකුට එබඳු අත්දැකීමක් ලැබුණේ නැත. “බැටළු පැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුව යනෝ මොව්හුය.” පොළොව මත ජීවත් වන්නන් අතරින් අන් වෙසක් කරනු ලැබූ “මොවුහු දෙවියන්වහන්සේටත් බැටළු පැටවාණන්ටත් නාඹුල් ඵල” ය. ඔහු “මහත් පීඩා මැදින්” පැමිණියා වූ අයය. ලෝකය පටන්ගැන්මේ සිට නොතිබුණා වූ අන්දමේ පීඩා කාලයක් තුළින් ඔහු පැමිණ සිටිති. ඔහු යාකොබ්ගේ කරදර කාලය වැනිවූ පීඩා කාලයක වේදනාව ඉසුලු අයවල්ය. දෙවියන්වහන්සේගේ අවසාන විනිශ්චයන් වගුරුවනු ලැබිමේදී ඔවුන් ජීවිතයට මුහුණ දුන්නේ මැදහත්කාරයාණන් නොමැතිවය. “ඔව්හු තමුන්ගේ සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය.” “ඔවුන්ගේ මුඛයෙහි බොරුවක් සම්බ නොවීය. ඔහු නොකැළැල්ව සිටිති. “ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති. උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේ සේවය කරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනැන්වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක. සාගත හා වසංගත මගින්ද මනුෂ්‍යයන් මහත් උෂ්ණයකින් දැවීමට සූර්යයාට බලය තිබීම මගින්ද පොළොවී විනාශ වී තිබෙනවා ඔවුන් දැක තිබුණි. ඔව්හුද පීඩාවන්, සාගින්න හා පිපාසය දරාගෙන තිබුණි. නමුත් “ඔවුන්ට තවත් බඩගිනි වන්නේවත් පිපාසා වන්නේවත් නැත. සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහර දෙන්නේ නැත. මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ ඔවුන්ගේ එඩේරා වී ජීවන දිය උපත්වලට ඔවුන් ගෙනයනසේක. “දෙවියන්වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේක.” (එළිදරව් 14:1-5; 15:3; 7:14-17)GrHSin 749.3

    සියළු කාලවලදිම ගැළවුම්කාරයාණන්ගේ තෝරාගන්නා ලද අය පීඩා විඳීමේ පාසැලෙන් ඉගෙනීම හා හික්මීම ලබා තිබේ. ඔව්හු පොළොව මත පටු මාවත් ඔස්සේ ගමන් ගෙන තිබේ. ඔහු පීඩා විඳීමේ ගිනි උදුනෙන් පවිත්‍ර කරනු ලැබ තිබේ. යේසුස්වහන්සේ උදෙසා ඔහු විරුද්ධවාදිකම්ද ද්වේෂ කරනු ලැබීමද නිග්‍රහයද දරාගත්හ. මහත් පීඩාවන් ඔස්සේ ඔව්හු උන්වහන්සේ පස්සේ ගියහ. ඔව්හු ආත්ම පූජාවීම ක්‍රියාත්මක කරමින් මහත් බලාපොරොත්තු කඩවීම්වලට මුහුණ දුන්හ. ඔවුන්ගේම වේදනාත්මක අත්දැකීම් මගින් ඔහු පාපයේ නපුරුකමද එහි බලය, එහි වරදකාරකම හා දුකද ඉගෙන ගත්හ. ඔවුන් පාපය දෙස බලන්නේ ඉමහත් අප්‍රසන්නතාවයකිනි. එයට පිළියමක් වශයෙන් අති උතුම් පුජාවක් ඔප්පු කරනු ලැබීම ගැන ඇති දැනගැස්ම මගින් ඔව්හු තමාගේම ඇස් හමුයෙහි යටත් කරනු ලබති. ඔවුන්ගේ සිත් කෘතඥතාවයෙන් හා ප්‍රශංසාවෙන් පිරී යයි. පාපයට නොවැටුණාවූ අයට ඒවා අගය කිරීමට නුපුළුවන. ඔවුන් බොහෝසේ ප්‍රේම කරන්නේ ඔවුන්ට බොහෝසේ කමාව දී තිබෙන නිසාය. ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාවන්ට සහභාගි වී තිබෙන ඔවුන්ට උන්වහන්සේගේ තේජසට පංගුකාරයන් වීමට පුළුවන.GrHSin 750.1

    දෙවියන්වහන්සේගේ උරුමක්කාරයන් වන අය කුඩා කාමරවලින්ද දුගී ගෙවලින්ද, සිර ගෙවලින්ද, පීඩා කිරීමේ මැසිවලින්ද, කඳුකරයෙන්ද, කාන්තාරවලින් හා පොළොවේ ගුහාවලින්ද, මුහුදේ ලොකු ගුහාවලින්ද පැමිණ සිටිති. ලෝකයේ සිටියදී ඔව්හු දුගීව, පීඩා කරනු ලැබ, වේදනාවට පත්ව සිටියහ. සාතන්ගේ රැවටිලිකාරකම් වලට යටත් වීමට ස්ථිර ලෙසම අකමැති වූ බැවින් ලක්ෂ සංඛ්‍යාත ජනයා බොහෝ සේ නිග්‍රහ කරනු ලැබ තම සොහොන් වලට ගියහ. ඔවුන් ඉතාම නරක අපරාධකරුවන් යයි විනිශ්චය මණ්ඩලයන් විසින් පවසා තිබුණි. නමුත් දැන් දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.” (ගීතාවලිය 50:6) “ඔව්හු ශුද්ධ සෙනඟය කියාත් ස්වාමින්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය.” (යෙසායා 62:12) උන්වහන්සේ “අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට” දෙන සේක. (යෙසායා 61:3) ඔවුන් තවදුරටත් දුර්වලව, පීඩාවට පත්ව, විසුරුවනු ලැබ, කරදරවලට අසුවී සිටින්නේ නැත. මෙතැන් පටන් ඔවුන් සෑම විටම දෙවියන්වහන්සේ සමග සිටිනවා ඇත. ඔවුන් සිංහාසනය ඉදිරිපිට සිටගන්නේ මේ ලෝකයේ ඉතාම ගරුසම්පන්න වූ අයවල් පැළඳ සිටියාට වඩා වටිනා ඇඳුම් පැළඳගෙනය. ඔවුන් පැළඳ සිටින ඔටුණු වනාහි ලෝකයේ රජවරුගේ නළල් මත කිසිවිටෙක තබනු ලැබුවාට වඩා තේජාන්විත ඔටුණුය. වේදනාවේ හා වැලපීමේ දවස් හමාරය. තේජසේ රජතුමාණන් විසින් ඔවුන්ගේ සියලු කඳුළු පිස දමනු ලැබ තිබේ. කණගාටුව ඇතිකරන සෑම දෙයක්ම ඉවත්කර තිබේ. තල් අතු වනන අතර ඔව්හු පැහැදිලි සුමිහිරි ඒකමතික හඬින් ප්‍රශංසා ගීතයක් ගායනා කරති. සෑම කටහඬක්ම එහි රාවයට එකතු වෙයි. “සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ගැළවීම අයිතිය” කියන ගීත නාදය ස්වර්ගය මුළුල්ලේ අසනු ලැබේ. මුළු ස්වර්ගීය සේනාවම එයට ප්‍රතිචාරය දෙමින් මෙසේ පවසයි: “ආමෙන්. ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තූතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේම අපේ දෙවියන්වහන්සේට වේවා.” (එළිදරව් 7:10,12).GrHSin 751.1

    මේ ජීවිතයේදී අපට ගැළවීම නමැති මේ පුදුමාකාර තේමාව වටහා ගන්ට පටන්ගැනීමට පමණක් පුළුවන. අපගේ සීමිත වැටහීම අනුව අපට, කුරුසියේදී එකට හමුවන නින්දාව හා තේජසද, ජීවිතය හා මරණයද, යුක්තිය හා දයාවද මහත් උනන්දුවෙන් සලකා බැලීමට පුළුවන. එහෙත් අපගේ මනස අපට හැකි පමණ පුළුල් කර සලකා බලන්නේ වුවද අපට ගැළවීම ලබාදෙන ප්‍රේමයේ සම්පූර්ණ අදහසද එහි දිග හා පළලද, එහි උස හා ගැඹුරද වටහාගත හැක්කේ යන්තමින් පමණය. ගැළවීම ලැබූ අය ඔවුන් දකිනු ලබන අන්දමට තමාව දර්ශනය කරන විටද ඔවුන්ව දැනගනු ලබන අන්දමට තමාව දැනගන්නා විටද ඔවුන්ට මිදීමේ සැලැස්ම සම්පූර්ණ ලෙස වටහා ගැනීමට නුපුළුවන. නුමුත් සදාකාලය මුළුල්ලේම ඔවුන්ගේ විස්මපත් වූ, ප්‍රීතියට පත්වූ කල්පනාවන්ට අලුත් සත්‍යයන් විවෘත කරනු ලබනවා ඇත. ලෝකෛදී ඇතිවූ කණගාටුව, වේදනාවන් හා පරික්ෂාවන් හා ඒවා ඇති කළ හේතූන්ද ඉවත් කරනු ලබන්නේ වුවද, තමාගේ ගැළවීම සඳහා ගෙවිය යුතු වූ මිලය කුමක් වූයේද යන්න දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් පැහැදිලි ලෙස, ප්‍රඥාවන්ත ලෙස දැනගන්නවා ඇත.GrHSin 752.1

    සදාකාලය මුළුල්ලේම ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මත කළා වූ පුජාව, ගැළවීම ලැබූ අයගේ විද්‍යාව හා ගීතය වෙනවා ඇත. තේජාන්විත වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවුන් කුරුසිපත් වූ ක්‍රිස්තුස්වහන්සේ දකිනවා ඇත. විශාල ගුවන තුළ ගණන් කළ නොහැකි තරම් ලෝකවල් මවා පාලනය කිරීමේ බලය ඇත්තාවූ ප්‍රේමණීය දෙවියන්වහන්සේ, ස්වර්ගයේ තේජාන්විත තැනැන්වහන්සේ, කෙරුබිම් හා සෙරපිවරුන් නමස්කාර කිරීමට ආශාවන තැනැන්වහන්සේ, පාපයට වැටුණා වූ මනුෂ්‍යයන් නඟාලන පිණිස තමාම යටත් කරගත් සේක යන්න කිසිවිටෙක අමතක කරනු ලබන්නේ නැත. උන්වහන්සේ පාපයේ වරදකාරකම හා නින්දාව පිළිගෙන පාපයට වැටුණා වූ ලෝකයේ කණගාටුව තමාගේ හදවත බිඳින තුරුත් පියාණන්වහන්සේගේ මුහුණ තමා කෙරෙන් සඟවනු ලැබීම දරාගෙන, කල්වරි කුරුසිය මත තමාගේ ජීවිතය පූජා කළ බව අමතක කරනු ලබන්නේ නැත. සියලු ලෝකවල් මැවූ තැනැන්වහන්සේ, සියලු ජීවිත පාලනය කරන තැනැන්වහන්සේ, තමන්වහන්සේගේ තේජස පසෙක තබා, මනුෂ්‍යයා කෙරෙහි ඇත්තාවූ. ප්‍රේමය නිසා තමාම යටත් කරගත් බව මුළු විශ්වයේම පුදුමය හා නමස්කාරය පුබුදුවනවා ඇත. ගැළවීම ලැබූ ජාතීන් තමාගේ මිදුම්කාරයාණන් දෙස බලමින් සදාකාලික පියාණන්වහන්සේගේ තේජස උන්වහන්සේගේ මුහුණෙහි බබළන බව දකිනවා ඇත. උන්වහන්සේ ගේ සිංහාසනය සදාකාලයෙන් සදාකාලයටම පවතින බවත් උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නැති බවත් ඔවුන් දකින විට, ඔවුන් උද්‍යෝගිමත් ප්‍රශංසාවේ ගීතය මෙසේ ගායනා කරනවා ඇත: “මරන ලද බැටළු පැටවාණන්වහන්සේ ඉතා අගනේය. උන්වහන්සේ තමන්වහන්සේගේම වටිනා ලේ වලින් අප ගළවා අපව දෙවියන්වහන්සේට දුන්සේක ” යන්නය.GrHSin 752.2

    කුරුසියේ පුජාවේ අභිරහස අනික් සියලු අභිරහස් විස්තර කරයි, අප බියෙන් හා විශ්මයෙන් පිර වූ දෙවියන්වහන්සේගේ ගුණාංග, කල්වරියෙන් ගලා එන ආලෝකය අනුව, අලංකාර බවද සිත් ඇදගන්නා ගුණාංග බවද අපට පෙනී යයි. දයාව, මෘදුකම හා දෙමාපිය ප්‍රේමය මිශ්‍රවී පවතින්නේ පරිශුද්ධතාවය, යුක්තිය හා බලය සමගය. උන්වහන්සේගේ රාජකීය සිංහාසනය උසස්ව නගා දක්වා තිබෙන බව අප දකින අතරම, අපි උන්වහන්සේගේ චරිතයේ දයාබර ප්‍රකාශනය දකිමින් මීට පෙර කිසිවිටෙක වටහා නොගත් අන්දමට තේරුම් ගන්නවා ඇත්තේ ‘අපගේ පියාණන්වහන්සේ’ යන ප්‍රේමණීය නාමයේ අදහසය.GrHSin 753.1

    අසීමිත ප්‍රඥාවෙන් යුත් උන්වහන්සේ අපගේ ගැළවීම සඳහා යොදාගත් එකම සැකසුම වූයේ තමන්වහන්සේගේ පුත්‍රයාණන් පූජාකිරීම බව අපට පෙනී යනවා ඇත. මේ පූජාවෙන් උන්වහන්සේට ඇතිවන්නාවූ ප්‍රතිඵලය නම්, ශුද්ධවූ, ප්‍රීතියෙන් යුක්ත වූ, අමරණීය ගුණාංගයෙන් යුත්, මිදීම ලැබූ මනුෂ්‍යයන්ගෙන් පොළොව ජනාකීර්ණ වීමය. අන්ධකාරයේ බලවේගය සමග ගැළවුම්කාරයාණන්වහන්සේට ඇති වූ අරගලයේ ප්‍රතිඵලය වන්නේ මිදීම ලැබූවන්ට සදාකාලය මුළුල්ලේ. ප්‍රීතියෙන්, දෙවියන්වහන්සේට මහිමය අත්වන අන්දමට ජීවත්වීමට පුළුවන් වීමය. ආත්මයක වටිනාකම කොපමණද යත් ඒ සඳහා ගෙවන ලද මිලය ගැන පියාණන්වහන්සේ සෑහීමට පත්වන සේක. ක්‍රිස්තුස්වහන්සේද තමන්වහන්සේගේ ඉමහත් පූජාවේ ප්‍රතිඵල දෙස බලමින් සෑහීමට පත්වන සේක.GrHSin 753.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents