Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    28 - සෝදිසි කිරීමේ විනිශ්චය

    අනාගතවක්තෘ දානියෙල් මෙසේ පවසයි.˝මා බලා සිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩි වුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය. උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය;උන්වහන්සේගේ සිංහාසනය ගිනි දළුවක්ය.ඒකේ චක්‍ර ඇවිලෙන ගිනිය.ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලා ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවය කළෝය. දස දහසක් වර දස දහස් දෙනෙක් ද උන් වහන්සේ ඉදිරියේ සිටියෝය.විනිශ්චයකාර සභාව හිඳ ගත්තාය. පොත්ද දිග අරිනලද්දෝය.˝(දානියෙල් 7:9,10).GrHSin 552.1

    අනාගතවක්තෘවරයා ඉදිරියෙහි මෙම විනිශචය සැසි වාරය දිගහරිනු ලැබීය.මෙය උත්කෘෂ්ටවූ ද, ගාම්භීර වූ ද දර්ශනයක් විය. සකල ලෝ වාසී සැමගේ ඉරණම තීරණය කිරීමේ විනිශ්චය පිළිබඳව අනාගතවක්තෘට දක්වන ලදි. අති උත්තම විනිශ්චයකාරයාණන් ඉදිරියෙහි සකලවාසීන්ගේ චරිත විමර්ශනයට භාජන කරනු ලබන්නේය.”එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට “තීරණයක් ලබා දෙනවා ඇත. පුරාතන තැනැන්වහන්සේ නම් දෙවියන්වහන්සේ වන පියාණන්වහන්සේය.ගීත රචකයා මෙසේ පවසයි:˝කඳුවල උප්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.˝(ගීතාවලිය 90:2). සෑම ප්‍රාණයකම උල්පතවූද සෑම නීති සංග්‍රහයකම මූලාශ්‍රයවූ ද තැනැන්වහන්සේ මෙම විනිශ්චයෙහි සැසියේදී මූලාසුනාරූඪව ක්‍රියාකරනසේක.මෙම විනිශ්චය මඬුල්ල ඉදිරියෙහිදී දහසක් වර දහසක්ද, දස දහසක් වර දස දහසක්ද වන ශුද්ධ වූ දේව දූතයෝ සාක්ෂිකරුවන් සහ උපකාරයන් ලෙස සැසියට සහභාගී වන්නාහ.GrHSin 552.2

    ˝බලව ,අහසේ වළාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනැන්වහන්සේ වෙතට පැමින්නේය.ඒ තැනැන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබුසේක.සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය. උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය. “(දානියෙල් 7:13, 14). මෙහි ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම වුවද, එය අපගේ පොළොව කරා පැමිණෙන්නාවූ උන්වහන්සේගේ දෙවන ඊම නොවන්නේය. මෙහි සඳහන් පැමිණීමේ නිමිත්ත නම් සගයේ වැඩවසන්නාවූ පුරාතන තැනැන්වහන්සේ ඉදිරියට ක්‍රිස්තුස්වහන්සේ වැඩම කිරීමය. උන්වහන්සේ එහි පැමිණෙන්නේ රාජ්‍යයක්ද, ගෞරවයද, පාලන බලයද පිළිගැනීමටය. මෙය සිදුවන්නේ උන්වහන්සේගේ මැදිහත්කාරකම් කිරීමේ මෙහෙවරය අවසානයේදීය. උන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව නොව සගයෙහි වන්නාවූ මෙම සිද්ධිය පිළිබඳව අනාවැකියෙහි සඳහන්ව ඇත. අනාවැකියෙන් දක්වන ලද දවස් 2300 නිම වූ විට සිදුවූයේ මෙම පැමිණීමය. 1844 දී සිදුවූ බව පිළිගැනේ. දේව දූතයන් මහත් සමූහයක් පිරිවරාගෙන අපගේ මහා කාරුණිකයාණන් වූ ක්‍රිස්තුස් නම් උත්තම පූජකයාණන්වහන්සේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිසේක. මිනිස් සත වෙනුවෙන් වූ අවසන් ක්‍රියාවේදය ඉටුකිරීම් වස් උන්වහන්සේ ස්වර්ගයේ දේව මාළිගයෙහි අති ශුද්ධස්ථානයට පිවිසි සේක. මෙසේ ප්‍රවිෂ්ඨ වූයේ සෝදිසි කිරීමේ විනිශ්චය පවත්වා ගෙන යාමටය. සමගි කිරීමේ කර්තව්‍යයෙහි යහපත් ඵල විපාක ලැබීමට සුදුසුකම් දක්වන්නාවූ අය සඳහා සමගි කිරීමේ කාර්යය ඉටු කිරීමට ක්‍රිස්තුස්වහන්සේ මෙසේ දෙවිපියාණන්වහන්සේගේ අභිමුඛයට වැඩම කළ සේක.GrHSin 552.3

    ඊශ්‍රායෙල්වරුන්ට නියමයක් වූ, පව් කමාව ස්ථීර කිරීම සඳහා වු සමගි කිරීමේ ශුද්ධවූ මෙහෙයේදී, එයට සහභාගී වීමට වරම් ලැබුණේ තමන්ගේ පාප ගැන පසුතැවිලි වී, පව් කියාදෙමින් දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණි අයටය. ඔවුන්ගේ පාප පූජාවේ රුධිරය මඟින් ඔවුන්ගේ පාප ශුද්ධස්ථානයට යොමු කිරීමේ ක්‍රියාවලියට ඔව්හු පංගුකාරයන් වූහ. එලෙසින්ම සගයේ දේව මාළිගයෙහි සිදුවන්නාවූ ශ්‍රේෂ්ඨ වූ අවසන් සමගි කිරීමෙහි හා සෝදිසි කිරීමේ විභාගයට ඉදිරිපත් කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ දරුවන් යයි කියාගන්නාවු අයව පමණකි. දුදනන් පිළිබඳව වූ විනිශ්චය වෙනත් කර්තව්‍යයකි. එය පසු දවසක සිදුවන්නේය. “දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත් දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?” (1 පේතෘස් 4:17).GrHSin 553.1

    මිනිසුන්ගේ නම්, සහ ක්‍රියාදාමයන් වාර්තාගතව සගයේ ඇත්තාවූ පොත්, මෙම විනිශ්චයේදී විමර්ශනයට ලක් කරනු ලැබේ. ඒ වාර්තා අනුව විනිශ්චයෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ. මෙම විෂය පිළිබඳව දානියෙල් අනාගතවක්තෘවරයා මෙසේ පවසයි. ” විනිශ්චයකාර සභාව හිඳ ගත්තාය. පොත්ද දිග අරින ලද්දේය.” මෙම දසුන පිළිබඳව තවදුරටත් විස්තර කරමින් එළිදරව්කාරයා මෙසේ පවසයි. “ජීවන පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය.මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය.” (එළිදරව් 20:12).GrHSin 553.2

    යම්කිසි වකවානුවක දේව සේවයට ඇතුළු වු සෑම අයෙකුගේම නම් මෙම ජීවන පොතෙහි ඇතුළත්ය.”නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීතිවන්න”යි යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට පැවසූ සේක.(ලූක් 10:20). තමන්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ගේ නාම ස්වර්ගයේ ජීවන පොතෙහි ලියවී ඇති බව පාවුල් පවසන්නේය.(පිලිප්පි 4:3). “මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට මේ දක්වා කිසි කලෙක නොවූ විරූ විපත්ති කාලයක්” පිළිබඳව මිනිස් අවධානය යොමු කරන්නාවූ දානියෙල් පවසා සිටින්නේ “නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය” යන්න‍ය. “බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි ලියන ලද්දවුන් ” පමණක් දෙවියන්වහන්සේගේ නගරයට ඇතුළල් වීමට හිමිකම් ලබා ගන්නවා ඇතැයි එළිදරව් කරුවා පවසයි. (එළිදරව් 21:27).GrHSin 554.1

    “ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක්” ලියා තිබේ.ඔවුන්ගේ යහපත් ක්‍රියා සියල්ලක්ම එහි අඩංගුය. (මලාකි 3:16). එම අයගේ ඇදහිල්ල මුසු වදන්ද, ඔවුන්ගේ ප්‍රේමණීය ක්‍රියාදාමයන්ද සගයේ වාර්තාගතව ඇත. නෙහෙමියා මෙම විෂය පිළිබඳව මෙසේ පවසයි: ” මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද, ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව” (නෙහෙමියා 13:14).දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඇති සිහිවීමේ සටහන් පොතේ යමෙකු විසින් සිදුකරන ලද සෑම යහපත් දැහැමි ක්‍රියාවක්ම මකා දැමිය නොහැකි ලෙස ලේඛණගත කර තිබේ.යමෙකුගේ ජීවිත කාලය පුරා මුහුණ දී ජයගත් සෑම පරීක්ෂාවක්ම, නොවැටී අභිබවා ජය ලද සෑම නපුරක්ම, කාරුණික වදනින් යමෙකු සැනසූ සෑම අවස්ථාවක්ම එම පොතෙහි විශ්වාසවන්ත ලෙස වාර්තා කර තිබේ. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඉටු කළාවූ සෑම පූජාවීමක්ම, උන්වහන්සේ උදෙසා විඳ දරාගත් සෑම ඛේදවාචකයක්ම, එහි වාර්තා ගත කර තිබේ. ගීත රචකයා මෙසේ පවසයි: ” ඔබ මාගේ මුළාවයාම් ගණින සේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව. ඒවා ඔබගේ පොතෙහි ලියන ලද්දේ නොවේද?” (ගීතාවලිය 56:8).GrHSin 554.2

    මිනිසුන් විසින් සිදු කළ සෑම පාපයක් ම ලියා ඇති පොතක්ද සගයේ ඇත. ” මක්නිසාද යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවන සේක.” (දේශනාකාරයා 12:14). ” තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. මක් නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස් කරනු ලබන්නෙහිය. නුඹේ වචන වලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහිය.යේසුස්වහන්සේ කීසේක.(මතෙව් 12:36, 37). නිවැරදි විස්තර අඩංගු එම සටහන් පොතෙහි සෑම රහසිගත අරමුණක්ම, සෑම රහසිගත චින්තනයක්ම වාර්තාගතව තිබේ. මක්නිසාදයත් ශුද්ධවූ වචනය මෙසේ පවසයි. ” උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව් කොට, සිත්වල අදහස් ප්‍රකාශ කරන සේක.” (1 කොරින්ති 4:5). “බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ ... නුඹලාගේ අයතුකම්ද ... නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද” ලියා තිබෙන්නේ යයි ස්වාමීන්වහන්සේ කියනසේක. (යෙසායා 65:6,7).GrHSin 554.3

    මිනිසෙක් කරන්නාවූ සෑම ක්‍රියාදාමයක්ම දෙවියන් වහන්සේගේ නිරීක්ෂණයට භාජනය වේ. එම දැය යහපත් හෝ අයහපත් ලෙස වාර්තා පොත්වල සනිටුවන් වේ. සෑම වැරදි වදනක්ම, සෑම ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක්ම, ඉටු නොකළ සෑම වගකීමක් සහ යුතුකමක්ම, සෑම කපටිකමක් රැවටීමක්ම, සෑම රහසිගත පාපයක්ම සගයේ පොත්වල වාර්තාගතව තිබේ. සගයෙන් එවනු ලැබූ අනතුරු ඇඟවීම් සුළු කොට හැරීම්, වරද පෙන්වා දීම නොසලකා හැරීම යන මේ සියල්ල ඒ තැනැත්තාගේ රැකවල් දූතයා විසින් නොඅඩුවම වාර්තා පොත්වල සනිටුවන් කර ඇත.වර්ධනය කර නොගත් සෑම ඵලදායී අවස්ථාවක්ද හොඳට හෝ නරකට හෝ පැවති සෑම බලපෑමක්මද එයින් ඇතිවූ දීර්ඝ කාලීන ප්‍රතිඵල ද දේවදූතයා සටහන් කරන වාර්තාවන්ට ඇතුළත් වේ.GrHSin 555.1

    විනිශ්චයේදී මිනිසුන්ගේ ජීවිත හා චරිත තීරණය කිරීමේ ප්‍රමිතිය වන්නේ දෙවියන්වහන්සේගේ දහම් ව්‍යවස්ථාවය. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා මෙසේ පවසන්නේය: “දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න.මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද ...සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.” (දේශනාකාරයා 12:13,14). අපෝස්තුළු යකොබ් සිය සහෝදරයන්ට මෙසේ අනුශාසනා කරන්නේය. “නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චය කරනු ලබන්ට සිටින තැනැත්තන් මෙන් කථා කරන්න, ක්‍රියා කරන්න. ” ( යාකොබ් 2:12).GrHSin 555.2

    විනිශ්චයේදී “වටිනාකමක් ඇතැයි ” තීරණය කරනු ලැබූ අයට ධර්මිෂ්ඨයන්ගේ මළවුන්ගෙන් නැගිටීමට පංගුකාරයන් වීමේ භාග්‍යය උදා වන්නේය. යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “ඒ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝ යයි ගණන් ගනු ලබන අය ... දේවදූතයන් හා සමාන වෙති; නැවත නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය”(ලූක් 20:35,36) උන්වහන්සේ මෙසේද කීසේක: “යහපත්කම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් පිටත්ව එන්නෝය.“(යොහන් 5:29) මළාවූ ධර්මිෂ්ඨ අය මළවුන්ගෙන් නැගිටුවනු ලබන්නේ විනිශ්චය නිමා වූවාට පසුවය. එවිට ඔවුන් ‘ජීවනයේ නැවත නැගිටීමට’ සුදුස්සන් බව තීරණය කරනු ලබනවා ඇත. එහෙයින් ඔවුන්ගේ කාරණා විනිශ්චය කරනු ලබන ඒ විනිශ්චයේදී ඔවුන් සගයෙහි සිටින්නේ නැත.GrHSin 555.3

    එම අය වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි අයැදීමට යේසුස්වහන්සේ පෙනී සිටින සේක. “යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටින සේක.“(1 යොහන් 2:1) “මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධ ස්ථානයේ අදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.” “එබැවින් උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ලඟා වෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුවම ජීවත්වන හෙයින් ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.” (හෙබ්‍රෙව් 9:24; 7:25)GrHSin 556.1

    විනිශ්චයේදී සටහන් පොත් විවෘත කරමින් විභාග කරන්නාවූ අතරේදී, යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය රැඳවූ සෑම අයෙකුගේම ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියට පත්කරනු ලැබේ. මෙම පිරික්සුම ආරම්භ වන්නේ ලෝකරම්භයේ සිටි පුද්ගලයන්ගෙනි. භූ තලය මත දිවි ගෙවූ ඊළඟ පරම්පරාවන්ද, එතැන් සිට වත්මන් පරම්පරාවෙහි ජීවත් වන්නාවූ සැමගේ ජීවිත වාර්තාද අපගේ නීති වේදියාණන් විසින් විභාගය සඳහා ඉදිරිපත් කෙරේ. සැමගේ නම් සඳහන් කර ඉතා ගැඹුරින් විභාග කෙරේ, සමහර නම් තෝරා ගැනේ. තවත් සමහර නම් ප්‍රතික්ෂේප කෙරේ. යම් අයෙකුගේ නමක් විභාගය සඳහා ඉදිරිපත් වූ විට, ඔහු විසින් පසුතැවිලි නොවූ, කමාව නොලැබූ පාප වාර්තා පොත්වල සම්බ වී නම් ඔහුගේ නම ජීවනයේ පොතෙන් ඉවත් කරනු ලැබේ. තවද ඔහු විසින් කර ඇති යහ ගුණ ක්‍රියාදාමයන්ද සටහන් පොතෙන් ඉවත් කරනු ලැබේ. දෙවියන් වහන්සේ මෝසෙස්ට මෙසේ ප්‍රකාශ කළසේක. ” මට විරුද්ධව පව් කළ කවරෙක් නුමුත් මාගේ පොතෙන් මකා දමන්නෙමි.“(නික්මයාම 32:33). එසකියෙල් අනාගතවක්තෘද මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අධර්මිෂ්ඨ කම්කොට ... පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත්... ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ.”(එසකියෙල් 18:24).GrHSin 556.2

    තමන්ගේ පාප ගැන අවංකවම පසුතැවිලි වී කිස්තුස්වහන්සේගේ රුධිරය පාප සමගි කිරීමේ පූජාව ලෙස පිළිගන්නාවූ සැමගේ නම් ඉදිරියෙහි පාපවලට කමාව දානය කරනු ලැබූ බව සගයෙහි පොත්වල සටහන් කරනු ලබන්නේය. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ දැහැමිතාවට පංගුකාරයන් ලෙස ගණනය කරනු ලබන්නෝය. තවද, ඔවුන්ගේ චරිත දෙවියන්වහන්සේගේ දහම් ව්‍යවස්ථාව සමග අනුකූලතාවක් දක්වන්නේ නම් ඔවුන්ගේ පාපද මකා හරිනු ලැබ ඔවුන් සදාතනික අමරණීය ජීවිතය ලැබීමට සුදුස්සන් සේ සලකනු ලබනවා ඇත. යෙසායා ප්‍රොපේතවරයා තුළින් දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක. ” මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහිනොකොට නුඹේ වරද මකා දමන තැනැන්වහන්සේය. “(යෙසායා 43:25) යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක:” ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර,මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.” “එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමිහි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. නමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත් ඔහු නාඳුනමියි කියන්නෙමි .“(එළිදරව් 3:5; මතෙව් 10:32,33).GrHSin 557.1

    ලෞකික ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් මගින් දෙනු ලබන්නාවූ තීරණයක් ගැන මනුෂ්‍යයෝ මහත් සැලකිල්ලක් දක්වති. එහෙත් ජීවන පොතෙහි නම් ලියා ඇත්තා වූ අය පිළිබඳව වූ ඉරණම තීන්දු කරන විශ්වයේ විනිශ්චකාරයාණන් ඉදිරියෙහි සගයෙහි පවත්නා නඩු විභාගය ගැන මිනිසුන් දක්වන්නාවූ අල්ප මාත්‍ර උනන්දුව මවිතයට කරුණකි. තමන් වහන්සේගේ ශ්‍රී රුධිරය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ජයගත් අයට ඔවුන්ගේ සියලු පාපවලට කමාව දෙන්නැයි දිව්‍ය මැදහත්කාරයාණෝ තම ආයාචනය ඉදිරිපත් කරන සේක. එම අයව තමන්වහන්සේ සමඟ ˝පළමු ආණ්ඩුවෙහි˝ සම උරුමක්කාරයන් ලෙස ඔටුණු පළඳවා ඒදන් උයනෙහි නැවතත් පදිංචි කරවන්නැයි ඉල්ලීමක්ද උන්වහන්සේගෙන් ඉදිරිපත් වේ.මිනිසා මැවීමේ අභිප්‍රාය තුළ දිව්‍ය සැලැස්මක් ක්‍රියාත්මක විය. මිනිසාව මුළා කරමින්, ඔහුව පරීක්ෂාවට හෙලමින් මෙම සැලැස්ම විනාශ කිරීමට සාතන් අදහස් කර තිබේ.එහෙත් ක්‍රිස්තුස්වහන්සේ නඩු විභාගයේ දී ඉල්ලා සිටින්නේ මිනිසා කිසිම දවසක පාපයට නොවැටුණාක් මෙන් සලකා දිව්‍ය සැලැස්ම ක්‍රියාත්මක කරන්නැයි කියාය. මහා කාරුණික මැදහත්කාරයාණෝ තමන්ගේ සෙනඟ උදෙසා ඉල්ලා සිටින්නේ පරිපූර්ණවූද අඩුවක් නැතිවූද පව් කමාව පමණක් නොව තමන්වහන්සේගේ තේජෝමහිමාලංකාරය බෙදා ගැනීමක් ද තමන්ගේම සිංහාසනයෙහි හිඳ ගැනීමට වරප්‍රසාදයක් ද ඔවුන්ට දෙන ලෙසය.GrHSin 557.2

    තමන්ගේ අනුග්‍රහය යටතේ වූ සැදැහැවතුන් වෙනුවෙන් යේසුස්වහන්සේ ආයාචනා ඉදිරිපත් කරන්නාවූ ක්‍රියාදාමයට සමගාමීව සාතන්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි, එකී සැදැහැවතුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළාවුන් යයි චෝදනා ඉදිරිපත් කරයි.මහා වංචාකාරයා මෙම පුද්ගලයන්ව දෙවියන්වහන්සේ වෙතින් බිදුවා ලන්නටද,උන්වහන්සේගේ පොරොන්දු අනුමාන කරවන්ටද, දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔවුන් ඈත් කරන්නට සහ ව්‍යවස්ථාව කඩවන්ටද බලපෑම් ඇතිකර තිබේ. දැන් සාතන් සැදැහැවතුන්ගේ ජීවන වාර්තා දෙසට අවධානය යොමු කරවමින් ඔවුන්ගේ චරිත තුළ දක්නට ඇති අවකල් ක්‍රියාදාමයන්ද එම ක්‍රියාවන් මගින් ඔවුන් ගැළවුම්කාරයාණන්ව අවමානයට පත්කර ඇති ආකාරයද ඔහු විසින් ක්‍රියාත්මක කළ පරීක්ෂාවන් මගින් ඔවුන් ඒවාට ගොදුරු වූ ආකාරයද හුවා දක්වමින් එම සැදැහැවත් ජනතාව තමාගේ යටත් වැසියන් යයි පවසයි.GrHSin 558.1

    පාපයට වැටි සැදැහැවතුන්ගේ ක්‍රියාදාමයන් ගැන යේසුස්වහන්සේ නිදහසට කරුණු ඉදිරිපත් නොකරන නමුත් එම අයගේ පසුතැවීම හා ඇදහිල්ල පෙන්වා දෙමින් ඔවුන්ට කමාව දෙන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටින සේක.පියාණන්වහන්සේද, ශුද්ධවූ දේව දූතයන්ද ඉදිරියෙහි තමන්වහන්සේගේ සිදුරු කරනු ලැබූ ශ්‍රී හස්ත ඔසවා පෙන්වමින් උන්වහන්සේ මෙසේ පවසන සේක: මේ එක් එක් පුද්ගලයා ඔවුන්ගේ නමින් මම හඳුනමි. ඔවුන්ගේ නාම මාගේ අත්වල අල්ලෙහි කොටාගෙන ඇත.˝ දෙවියන්වහන්සේට කළ යුතු පූජාව නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණා වූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.˝(ගීතාවලිය 51:17). තමන් සෙනඟට වරද තබන්නාවූ චෝදකයා දෙසට හැරෙන්නාවු ක්‍රිස්තුස්වහන්සේ ඔහුට මෙසේ තරවටු කරන සේක,˝ සාතන් ස්වාමින්වහන්සේ නුඹට තරවටුකරන සේක්වා. එසේය, යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක්වා! මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේද?˝(සෙකරියා 3:2). ක්‍රිස්තුස්වහන්සේ තම විශ්වාසවන්ත අයව තමන්ගේම දැහැමිතාවෙන් පළඳවනසේක. උන්වහන්සේ ˝සභාව ශුද්ධව, කැළලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට˝ පියාණන්වහන්සේට පිළිගන්වන සේක. (එපිස 5:26,27).ඔවුන්ගේ නම් ජීවන පොතෙහි නිත්‍ය ලෙස ලියා තිබේ. ඔවුන් පිළිබඳව මෙසේ පැවසේ: ˝ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමින් මා සමඟ ඇවිදිනවා ඇත.˝ (එළිදරව් 3:4).GrHSin 558.2

    අළුත් ගිවිසුමෙහි පොරොන්දු මෙසේ සම්පූර්ණ යථාර්ථයක් බවට පත්වන්නේය. මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි. ස්වාමීන්වහන්සේ කියනසේක.˝ ˝ඒ දවස්වල හා ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නමුත් එය නොතිබෙයි. යුදාගේ පාපයන් සොයන නමුත් ඒවා සම්බ නොවෙයි.˝(යෙරමියා 31:34; 50:20).˝ගැලවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැලෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය. දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.˝ ˝ සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලයෙහි ඉතුරුවන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලිය වී සිටින සියල්ලෝ ශුද්ධය යයි කියනු ලබන්නෝය.˝(යෙසායි 4:2,4).GrHSin 559.1

    සෝදිසි කිරීමේ නඩු විභාගයත්, පාප මකා හරිනු ලැබීමත් ක්‍රිස්තුස්වහන්සේගේ ආගමනයට පෙරාතුව නිම විය යුතුය. පොත්වල ලියා තිබෙන වාර්තා අනුව මිය ගිය වුන් විනිශ්චය කිරීමකට භාජන කළ යුතුය.ඔවුන් සැමගේ නඩු නිමිති හමාර කර තීන්දුවක් නිකුත් කරනතෙක් ඔවුන්ගේ පව් මකා හැරීමේ හැකියාවක් නොවේ. ඇදහිලිවතුන්ගේ පව් මකා දැමීම පිළිබඳව පේතෘස් මෙවන් පැහැදිලි ප්‍රකාශයක් කරයි: ˝එබැවින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද, නුඹලා උදෙසා නියම කරන ලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිසද පශ්චාත්තාපව හැරෙන්න˝(ක්‍රියා 3:19,20). සෝදිසි කිරීමේ විනිශ්චය නිමවූ පසු ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට වැඩම කරනවා ඇත. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවන් අනුව ප්‍රදානය කරන පිණිස විපාකද උන්වහන්සේම රැගෙන එන සේක.GrHSin 559.2

    ඊශ්‍රායෙල්වරුන්ගේ යුගයේදී, ඊශ්‍රායෙල්වරුන් උදෙසා සමගි කිරීමේ මෙහෙයේ අවසානයේදී උත්තම පූජකයා දේව මාලිගාවේ දොර ළඟට ඇවිත් සමූහයාට ආශිර්වාද කළේය. එසේම, මැදිහත්කාරයාණන් ලෙස තම සේවය නිම කළ විට ක්‍රිස්තුස්වහන්සේද එතුමාණන් ගැන බලාපොරොත්තු සහගතව සිටින්නවුන්ට ˝ ගැළවීම පිණිස පාපය නැතුව දෙවැනිවර ප්‍රකාශ වන සේක˝ (හෙබ්‍රෙව් 9:28). සදාතන ජීවනය දානය කිරීමෙන් උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරන සේක. දේවස්ථානයෙන් පාපය ඉවත් කරන්නා වූ උත්තම පූජකයා එම පාප සියල්ල අශාශෙල්ට කැපවූ එළුවාගේ හිස මත පැවරූ ආකාරයෙන්ම ක්‍රිස්තුස්වහන්සේද පාපයේ නිර්මාතෘවරයාද එය පොළඹවන්නාදවූ සාතන් මත පව් සියල්ලම පවරා දෙනසේක. ඉක්බිතිව එම එළුවා ˝ජනාවාසයක් නැති පාළුකරයට˝ යවනු ලැබීය.(ලෙවී කථාව 16:22). දෙවියන්වහන්සේගේ සෙනග පාපයට ඇද දැමූ සාතන්ද වසර දහසක කාලයකට මෙලොව සිරකර තබනවා ඇත. එකල පොළොව ශූන්‍ය භූමියක් බවට පත්ව තිබෙන්නේය. එයින් පසුව සියළු පව්කාරයන් විනාශ කර දමන්නාවූ ගිනි විලෙහි සාතන්ද තම ජීවිතයෙන් වන්දි ගෙවන්නේය. නපුර අත්හැර දැමීමට කැමැත්ත දැක්වූ අයට පොරොන්දු වූ ගැළවීමේ සැලැස්ම මෙසේ නිම වන්නේය. පාපය අත්හැරීමට කැමති වූ සියල්ලන්ට සදාතන ජීවනය හිමි වේ.GrHSin 559.3

    දවස් 2300 ක දීර්ඝ කාලීන අනාවැකිය ක්‍රි.ව.1844 දී නිමාවට පත්වූ විට, නියමිත අවස්ථාවේදී සෝදිසි කිරීමේ විනිශ්චයද පාප මකා දැමීමේ කාර්යද ආරම්භ විය. යේසුස් වහන්සේව පිළිගත් සියලුදෙනාගේම ජීවිත පූර්ණ නිරීක්ෂණයට භාජනය කරනු ලැබිය යුතුය. මරණයට පත්ව සිටින අයද ජීවත් වන්නාවූ අයද විනිශ්චය කරනු ලැබිය යුතුය. විනිශ්චයේ තීන්දුව නියම වන්නේ එකිනෙක්කෙනාගේ ක්‍රියාවන් පිළිබඳ වාර්තා සටහන් අඩංගු වූ පොත්හි සනිටුහන් වූ කරුණු අනුවය. GrHSin 560.1

    පසුතැවිලි නොවුනාවූ ද, අත්හැර නොදැම්මාවූ ද පාප වලට කමාව නොලැබෙන්නේය. වාර්තා පොත්වලින් එම පාප මකාහරිනු නොලැබේ. දෙවියන්වහන්සේගේ දවසේදී එම පාප පව්කරුවාට විරුද්ධ සාක්ෂි ලෙස ඉදිරිපත් වන්නේය. එකී පුද්ගලයා එම පාප සිදුකර ඇත්තේ මහා දවාලේ හෝ රාත්‍රි අන්ධකාරයේ විය හැකිය. එසේ වුවද, අප විනිශ්චය කරන්නාවු තැනැන්වහන්සේ ඉදිරියෙහි සියලු දේ විවෘතව පවතින්නේය. සෑම පාපයක්ම සිදුකරනවා දේව දූතයන් දැක ඇත. ඔවුහු එම සිදුවීම් නොවරිදින ලෙස වාර්තා කර ඇත. පියාගෙන්ද, මවගෙන්ද බිරිඳගෙන්ද, දරුවන්ගෙන්ද සමාගම්කරුවන්ගෙන්ද පව් සඟවා ගෙන තබාගත හැක. කළේ නැතැයි කියා ප්‍රතික්ෂේප කළ හැක. වැරදි ක්‍රියාව දන්නේ එය කළ තැනැත්තාම පමණක් විය හැකිය. එසේ වුවද, සිදුවිම් සියල්ල ස්වර්ගීය ප්‍රඥාව ඉදිරියෙහි විවෘතව පවති. මධ්‍යම රාත්‍රියේ ඝන අඳුර වේවා, වංචාකාරී ක්‍රියාවන් ඉතා රහසිගත ලෙස සඟවා ගෙන සිටිනවා වේවා, එම සිද්ධීන් සර්වඥ තැනැන්වහන්සේගෙන් සඟවා තබාගැනීමේ හැකියාවක් කාහටත් නැත්තේය. සෑම අදමිටු ක්‍රියාවක් පිළිබඳවද සෑම අසාධාරණ ගණුදෙනුවක් පිළිබඳවද දෙවියන්වහන්සේ සතුව සත්‍ය වාර්තාවක් ඇත්තේය.අන්ධකාරය නමැති කඩතුරාව මඟින් උන්වහන්සේව රැවටිය නොහැකිය. චරිතයක් විනිශ්චය කිරීමේදී උන්වහන්සේ කිසිම වැරැද්දක් නොකරන සේක. හදවත දූෂ්‍ය වූ අයගේ වදන් සහ ක්‍රියාවලින් බොහෝ අය රැවටිල්ලට භාජනය කළ හැකිය. නමුත් දෙවියන්වහන්සේ සියළු කඩතුරාවන් ඉවත්කර අභ්‍යන්තර ජීවිතය විමසා බලන සේක.GrHSin 560.2

    මේ සිතුවිල්ල කෙතරම් ගාම්භීර ද! මොහොතින් මොහොත දවසින් දවස සකල ලෝ දනන් විසින් කරන්නා වූ සියළු දැය සගයේ පොත්වල වාර්තා කරනු ලබන්නේය. වදන් පැවසුවාට හෝ ක්‍රියාදාමයක් කරනු ලැබුවාට පසුව ඒවා ආපසු හරවා ගත නොහැකිය. යහපත් වේවා අයහපත් වේවා සෑම දෙයක්ම දේව දූතයන් විසින් වාර්තා ගතකරනු ලැබේ. භූමි තලයෙහි රජ කළ ඉතා ප්‍රබල යුද්ධකාමී අධිරාජයා හට වුවද, ගෙවී ගිය දවසක සටහන ආපසු ලබාගත නොහැකිය. අපගේ ක්‍රියාදාමයන් හෝ අපගේ වචන වේවා අපගේ ඉතා රහසිගත ආකල්ප වේවා මේ සියල්ල අපගේ ඉරණම තීන්දු කිරීමෙහිදී පාදක වන්නේය. එකී කරුණු අපගේ මතකයෙන් සම්පූර්ණයෙන් ගිලිහී ගියද විනිශ්චයේදී අපව නිදොස් කිරීමට හෝ අප වරදකරුවන් කිරීමට එම ද ඒවා සාක්ෂි දරනවා ඇත.GrHSin 561.1

    චිත්‍ර ශිල්පියෙක් මිනිස් මුහුණක් සිතුවමට නැඟීමේදී මුහුණේ ඇති සෑම විශේෂාංගයක් ගැනම සැළකිලිමත් වන්නාක් මෙන්ම චරිතයේ සෑම කරුණක්ම විස්තරාත්මකව සගයේ පොත්වල වාර්තා ගත කර තිබේ.එහෙත් ස්වර්ගීය වාසීන්ගේ දර්ශනයට යොමු වන මේ සටහන් ගැන දක්වනු ලබන්නේ කොපමණ අඩු සැලකිල්ලක්ද, අදෘශ්‍යමාන දේවල් හා මිනිස් දර්ශනයට යොමුවන දේවල් අතරේ පවතින කඩතුරාව ඉවත්කරනු ලබන්නේනම් මිනිස් දරුවන්ට දැකගත හැකිවන්නේ දේව දූතයන් සැම වචනයක්ම සැම ක්‍රියාදාමයක්ම වාර්තා කරන බවය. ඉදිරි විනිශ්චයේදී මෙම ක්‍රියා සහ වදන් තමන්ගේ ඉරණම තීරණය කිරීමට දායක වන බව මිනිසුන්ට වැටහී යන්නේ නම් ඔවුන් දිනපතා තෙපලන්නාවූ වදන් මෙන්ම කරන්නාවූ ක්‍රියාවන්ද බොහොමයක් නොකර සිටිනවා නොඅනුමානය.GrHSin 561.2

    උපතින් ලද කුසලතාවන් භාවිතයට ගෙන ඇත්තේ කෙසේදැයි විනිශ්චයේදී ඉතා සමීපව විමර්ශනයට ලක් කරනු ලැබේ. සගයෙන් ලබාදුන්නාවූ හැකියාවන් අප භාවිතා කළේ කෙසේද? ස්වාමින්වහන්සේ පැමිණෙන විට උන්වහන්සේට තම කොටස පොළියත් සමඟ ලබාගත හැකිවේද? අපට ලබාදෙන ලද හස්තයේ , හදවතේ සහ මනසේ බලශක්තීන් දෙවියන්වහන්සේගේ මහිමය සඳහාත් ලෝකයට ආශිර්වාදයක් වීම සඳහාත් අපි වර්ධනය කර ගත්තෙමුද? අපගේ කාලය අපගේ පෑන, අපගේ හඬ, අපගේ මුදල්, අපගේ අනුබලය අප භාවිතා කර ඇත්තේ කොයි ආකාරයෙන්ද? දුප්පත් අයට, පීඩාවට පත් අයට අනාථ අයට නැතහොත් වැන්දඹුවන්ට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අප කර ඇත්තේ මොනවාද? දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ ශුද්ධ වචනයේ ගබඩාකරුවන් ලෙස අපව පත් කර ඇති සේක.මිනිසුන්ට ගැළවීම උදාකර දීමට, ඒ ගැන ඔවුන්ව බුද්ධිමත් කිරීමට, දැනුවත් කිරීමට අප ලද ආලෝකයෙන් සහ සත්‍යතාවයෙන් අපි කුමක් කර ඇත්තෙමුද? ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබේ යයි කියා ගැනීමේ පමණක් කිසිම වටිනාකමක් නැත. අවංක ලෙස ගණන් ගනු ලබන්නේ ප්‍රේමයේ සේවය ලැබූ ක්‍රියාවන් පමණකි. යම්කිසි ක්‍රියාදාමයක් වටිනාකමකින් යුත් එකකැයි සගය විසින් තීරණය කරනු ලබන්නේ ඒ හා මුසුවී ඇති ප්‍රේමය පදනම් කරගෙනය. ප්‍රේමය මුසුව කරන්නාවූ යම්කිසි ක්‍රියාවක් මිනිසුන් විසින් ඉතා අඩු තක්සේරුවකින් ඇගයීමකට ලක් කළද එය, දෙවියන් වහන්සේගේ පිළිගැනීමට භාජන වී එයට විපාකද දානය කෙරේ.GrHSin 561.3

    මිනිසුන්ගේ ඇතුළාන්තයෙහි සැඟවී පවත්නා ආත්මාර්ථකාමීත්වය සගයේ පොත්වල එළිදරව් කර ඇත සහෝදර ජනතාව උදෙසා ඉටු නොකළ යුතු කම් ද ගැළවුමිකාරයාණන් ගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් අමතක වීම් ද අඩංගු වාර්තාවක් සගයේ ඇත. ක්‍රිස්තුස් වහන්සේට ලබා දිය යුතු ශක්තිය, සැලකිල්ල හා කාලය යමෙකු සාතන්ට කොපමණ වාරයක් කැප කළේද යන්න ගැන වූ වාර්තා සටහන් ඔවුන්ට එහිදී දැකගැනීමට අවස්ථාව ඇත.දේව දූතූන් විසින් සගයේ තබන්නාවූ සටහන් ඉතා කණගාටුදායක වන්නේය. බුද්ධිමතුන්ද ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යයි කියාගන්නාවූ අයද ලෞකික වස්තු සම්පත් රැස්කිරීමෙහි නිරතව සිටිති. එසේත් නැතිනම් ඔවුහු ලෞකික සැප සම්පත්වල යෙදෙමින්, විනෝදාස්වාදයෙහි යෙදෙමින් කල් ගෙවති. බොහෝ අය තම කාලය, ධනය හා ශක්තිය ස්වකීය ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා හෝ ස්වකීය අභිමානය සහ සඵලත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා හෝ වැය කරමින් කල් ගෙවති. එහෙත් යාච්ඤා කිරීම උදෙසා ,ශුද්ධ ලියවිලි අධ්‍යනය සඳහා, තමාගේ ආත්මය යටහත් කරගැනීම සඳහා හා පව් කියාදීම සඳහා ඔවුන් කාලය මිඩංගු කරන්නේ ඉතා සුළු වශයෙන්ය.GrHSin 562.1

    අපගේ මනස සහ කාලය යෙදවීම සඳහා සාතන් අප්‍රමාණ යෝජනා ක්‍රම ඉදිරිපත් කරයි. අපගේ ගැළවීම උදෙසා වැඩදායක වන්නාවූ විෂය මාලාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර වෙනත් ලෞකික දැය කෙරෙහි කාලය යෙදවීමට මනස යොමු කරවීමට පෙළඹවීම සාතන්ගේ උපායකි. සියල්ලෙන් බලවත් වූ මැදහත්- කාරයාණන් හා සම්බන්ධිත සමග කිරීමේ යාගය ගැන වූ සත්‍යතාවයට මිනිසාගේ මනස යොමු කිරීම, හා මිනිසාගේ අවධානයට එය හසු වීම මහා රැවටිලි කාරයාගේ ද්වේෂයට ලක්වේ. යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ සත්‍යතාවන් වෙතින් මිනිස් මනස බැහැරට යොමු කිරීම මත තමාගේ සාර්ථකත්වය රැඳී පිහිටන බව සාතන් හොඳාකාරව දැන සිටින්නේය.GrHSin 562.2

    ගැළවුම්කාරයාණන්ගේ මැදහත්කාර සේවයෙහි ප්‍රතිලාභ සහ වරප්‍රසාදයන්ට පංගුකාරයන් වීමට අපේක්ෂා කරන්නාවූ අය සතුව ඇත්තේ විශාල කාර්ය භාරයකි. දෙවියන්වහන්සේට භයව පරිපූර්ණ ශුද්ධත්වය සාදාගැනීම ඔවුන්ගේ පරම යුතුකම වන්නේය.එයට බාධා පැමිණ වීමට කිසිම දෙයකට ඉඩ දීම ඔවුන් විසින් නොකළ යුතුය. සැප-සෙල්ලම් සඳහා,සමාජ තලයෙහි කැපී පෙනීම සඳහා,හා වස්තු සම්පත් රැස් කරගැනීම සඳහා යොදවන්නාවූ වටිනා කාලය යාච්ඤාවෙන් යුතුව, අවංක භාවයෙන් යුතුව සත්‍යතාවයේ වචනය ඉගෙනීම සඳහා යොදවනු ලැබිය යුතුය. ස්වර්ගීය ශුද්ධස්ථානය සහ සෝදිසි කිරීමේ විනිශ්චය පිළිබඳව මනා අවබෝධයක් ,පැහැදිලි විස්තරාත්මක දැනගැනිමක් දේව සෙනඟ සතුවීම අනිවාර්ය වන්නේය.තමන්ගේ අති උත්තම වූ පුජකයාණන්ගේ ස්වර්ගීය දෙව් මැදුරු සේවාව සහ උන්වහන්සේ එහි දරන්නාවූ විශිෂ්ට ස්ථානය පිළිබඳව දැනුමක් සෑම පුද්ගලයෙක්ම ලබා සිටීම වැදගත්ය. එවන් දැනුමක් නොමැත්තේ නම් මෙම කාලයට අතිශයින් අවශ්‍ය වන්නාවූ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් ඇති නොව්නනේය.තවද, දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට නියම කර ඇති ස්ථානයෙහි සේවය කරමින් ජයෙන් ජයට පිවිසීමට ඔවුන්ට නොහැකි වනවා ඇත.ගළවා ගැනීමට හෝ විනාශ කරගැනීමට සෑම පුද්ගලයෙකුටම ජීවිතයක් සතුව ඇත.දෙවියන්වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි සෑම අයෙකුටම නඩු විභාගයක් නියම වී ඇත.සෑම පුද්ගලයෙක්ම අති උතුම් නඩුකාරයාණන් මුහුණට මුහුණ ලා මුණගැසීම අනිවාර්ය වන්නේය.යුගාන්තයේදී සෑම පුද්ගලයෙක්ම දානියෙල්ද සමගින් විනිශ්චය මඬුල්ල ඉදිරියෙහි තමාගේ ස්ථානයෙහි නැගී සිටීමට නියමිතව ඇත.මෙම සිද්ධීන් පිළිබඳව රෑ දාවල් මෙනෙහි කිරීම කෙතරම් වැදගත්ද.GrHSin 563.1

    මෙම විෂයන් පිළිබඳව ආලෝකය ලබා ඇති සියලුදෙනාම දෙවියන්වහන්සේ තමන්ගේ භාරයට ලබා දී ඇති මෙම දේවල් පිළිබඳව සාක්ෂි දැරීම නිශ්චිත වශයෙන්ම ඉටු කළ යුතුය.මනුෂ්‍යයා වෙනුවෙන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ කාර්ය භාරයෙහි කේන්ද්‍රය වන්නේ සගයේ පිහිටි ශුද්ධස්ථානයයි.පොළොවෙහි දිවි ගෙවන්නාවූ සෑම ප්‍රාණයක්ම එහි සේවාවන් හා බැඳි සිටි. ගැළවිමේ සැලැස්ම පිළිබඳව විස්තර එමගින් අපගේ දර්ශනයට විවෘත වන්නේය.එමගින් අපව කල්පයේ අවසන් කාලය කරා ගෙනු යනු ලබන්නේය.දැහැමිතාවය හා නපුර අතරෙහි වූ අරගලයෙහිදී දැහැමිකමෙහි විශිෂ්ඨ ජයග්‍රහණය කරා එය තුලින් අපව ගෙන යනු ලබන්නේය.මෙම විෂයන් ගැඹුරු ලෙසින් හැදෑරීම සෑම අයෙකුටම අති විශිෂ්ඪ වැදගත්කමක් වන්නේය.එකිනෙකා සතුව ඇත්තාවු බලාපොරොත්තුවට අදාළ හේතු සාධක ඉල්ලා සිටින්නාවු අයට ප්‍රතිචාරය දැක්විමට මෙම විෂයන් පිළිබඳව සුවිශේෂ අවබෝධයක් තිබිම අපේක්ෂා කෙරේ.GrHSin 563.2

    මිනිස් සත හට ගැළවිම සලසා දිමේ සැලැස්මෙහි ඉතාමත් විශේෂිත අවැසියාවක් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ කල්වාරි යාගය ප්‍රමුඛ ස්ථානයක් දරන්නේය.එසේම මිනිසාට ගැළවිම සපයා දිමේ වස් උන්වහන්සේ ඔහු උදෙසා සගයේ දේව මාළිගයෙහි සිදුකරන්නාවු මැදහත්කාරකමෙහි මෙහෙවරයටද ඊට නොදෙවෙනි ස්ථානයක් හිමි වන්නේය.එම මෙහෙය උන්වහන්සේගේ මරණයත් සමඟම මෙලොව ආරම්භ කරනු ලැබිණ.එය සම්පුර්ණ කරන පිණිස උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිමට පසුව සගය කරා වැඩිය සේක.පසුව උන්වහන්සේ වැසුම් තිරය පසුකොට ස්වර්ගීය අති ශුද්ධස්ථානයට පිවිසි සේක.˝උන්වහන්සේ අපට පෙරටුව˝එහි පැමිණි සේක.අපිද උන්වහන්සේ අනුව යමින් එකී ස්ථානයට ඇදහිල්ලෙන් ඇතුළු විය යුතු වෙමු.(හෙබ්‍රෙට් 6:20) කල්වාරි කුරැසියෙන් විහිදි ගිය ආලෝකය එහි පරාවර්තනය වෙමින් බැබළේ.ගැළවිමේ සැලැස්මේ අභිරහස් දැය පිළිබඳ පැහැදිලි ප්‍රතිවේදනයක්,එහිදි අපට දැකගැනිමට පුළුවන.මිනිසාට ගැළවිම උදාකර දිම් වස් සගයට අති විශාල වියදමක් දැරිමට සිදු විය.උල්ලංඝනය කරනු ලැබු ව්‍යවස්ථාවෙහි අති මහත් ඉල්ලිම්වලට සමානුපාත වටිනාකමක් දේව පුත්‍රයාණන්ගේ යාගයෙන් ලබාදි තිබේ.පියාණන්වහන්සේගේ සිහසුන වෙත ළඟාවිමට යේසුස්වහන්සේ විසින් දොරටුව විවෘත කරදී ඇත.ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණෙන්නාවු සැමගේ අවංක ආශාවන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිගැනීම ක්‍රිස්තු සමිඳාණන්ගේ මැදහත්කාරකමෙහි සේවාව මඟින් ඉටු විය හැකිය.GrHSin 564.1

    ˝තමාගේ වද සඟවන්නා සඵල නොවන්නේය.එහෙත් ඒවා කියා දි අත්හරින්නාට කරුණාව ලැබේ.˝ (හිතෝපදේශ 28:13).තමන්ගේ වරද සඟවා ගෙන ඒ සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නාවු අය ගැන සාතන් ජයෙන් මත් වෙමින් ප්‍රීතියෙන් කුල්මත් වන්නේය. එයින් නොනවතින්නාවු හෙතෙම එවන් අයගේ වරද පිළිබඳව ක්‍රිස්තුස්වහන්සේට මෙන්ම ශුද්ධ වු දේව දුතයන්ට ඇනුම් පද කියමින් ගරහන්නේය. සිදුවන්නාවු මේ දේවල් දැකගැනිමට ඒ අයට හැකියාවක් උදා වන්නේ නම් ඔවුහු තවත් පමා නොවි කඩිනමින් තමන්ගේ පව් කියා දෙමින් ඒවා අත්හැර දැමිමට මැළි නොවෙනවා ඇත.යමෙකුගේ චරිතයෙහි අඩුපාඩුකම් සහ දොස් තිබෙන අතරේදි සාතන් ඒවා මගින් එම තැනැත්තාගේ සම්පුර්ණ මනස ස්වකීය පාලනය යටතට ගැනිමට වෑයම් කරන්නේය.යමෙක් මෙම අඩුපාඩුකම් සහ දොස් තිබෙන අතරේදි සාතන් ඒවා මගින් එම තැනැත්තාගේ සම්පුර්ණ මනස ස්වකීය පාලනය යටතට ගැනිමට වෑයම් කරන්නේය.යමෙක් මෙම අඩුපාඩුකම් ඇලී ගැලී සිටින්නේ නම් ඔහුව පරාජය කොට ජයගැනීමට තමාට හැකි බව සාතන් මනාව දැන සිටින්නේය.මිනිසෙකුට තම ජිවිකයෙහි සහ චරිතයෙහි ඇති අඩු ලුහුඩුකම්වලින් ජය ගත නොහැකි යයි කියමින් සාතන් තමාගේ මරණිය බොරු තර්කයන් ලොව ඉදිරියෙහි තබයි.නමුත් ක්‍රිස්තුස්වහන්සේ තමන්ගේ තුවාල ලකුණු සහිත ශ්‍රි දැත් සහ තමන්ගේ සිරුර පෙන්වා දෙමින් පියාණන්වහන්සේගේන් ඔවුන්ට කමාව ඉල්ලා සිටිනසේක.උන්වහන්සේ පසු තැවෙන්නාව වූ පව්කරුවන් දිරිමත් කරමින් , ˝ මාගේ කරුණාව නුඹට සෑහේය˝යි පවසනසේක.(2 කොරින්ති 12:9).සෑම අයෙකුටම උන්වහන්සේ මෙසේ අනුශාසනා කරන සේක.˝ මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි.මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්,මාගේ වියගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙන ගන්න.එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.මක්නිසාද,මාගේ වියගහ පහසුය,මාගේ බරද සැහැල්ලුය.˝(මතෙව් 11:28 — 30).එම නිසා තමන්ගේ ඇති අඩු ලුහුඩුකම සහ වැරදි හරිගස්වා ගන්නට නොහැකි යයි කිසිවෙක් හෝ නොසිතාවා.එම වැරදිවලින් ජයගැනීමට ඇදහිල්ල සහ කරුණා - අනුග්‍රහය දෙවි පියාණන්වහන්සේ සැමට නො අඩුව ලබාදෙන සේක.GrHSin 564.2

    සගය සිදුවන්නාවු සමගි කිරිමේ දවස ඉදිරියෙහි අපි දැන් ජීවත් වන්නෙමු. ඊශ්‍රයෙල් ජනතාව වෙනුවෙන් භුමික දේව මාළිගයෙහි අති ශුද්ධස්ථානයේ සමගි කිරිමේ මෙහෙය උත්තම පුජක තැන විසින් සිදු කරගෙන ගිය අවස්තාවේදි සෑම අයෙක්ම තම තමන්ගේ ප්‍රාණවලට පිඩා කරගත යුතු විය.ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පාප ගැන පසුතැවිලි වෙමින්,යටහත් කමින් යුතුව කමාව ඉල්ලමින් සමගි කිරිමේ මෙහෙය හා සම්බන්ධ විම අපෙක්ෂා කරන ලදි.එසේ නොකළේ නම් එවන් අය ජනතාව අතරෙන් කපා හරිනු ලැබුවේය.එසේම යමෙක් තමාගේ තම ජිවනයේ පොතෙහි රඳවා ගැනීමට කැමැති නම් ඔවුන් තමන්ගේ ප්‍රාණවලට දෙවියන්වහන්සේ ඉදිරියෙහි පීඩා කරගනිමින් සමගි කිරිමට භාජනය විය යුතුය.පරිවාස කාලයෙන් ඉතිරිව ඇත්තේ තව ඉතාම කෙටි කාලයක් නිසා තමන්ගේ පාප ගැන දුක් වෙමින් සැවොම සත්‍ය වශයෙන්ම පසුතැවිලි විය යුත්තෝය. විශ්වාස කමින් යුතුව ගැඹුරින්ම ආත්ම සෝදිසි කරගැනිමක් සිදුවිය යුතුය.නිස්සාර වගකීමෙන් තොර කිතුණු ජිවිත රටාව සහ එම සංකල්පය සහමුලින්ම බැහැර කර දැමිය යුතුය.පාපයේ අණසක යටතේ මඩිනු ලැබ නපුරෙහි පෙළඹවිම් පරාජය කිරිම සදහා අවංකවු හරඹයක නිරත විමක් සිදුවිය යුතුය.දිව්‍ය නඩු විභාගයක සඳහා සුදානම් විම පුද්ගලිකව කළ යුත්තකි.අප කණ්ඩායම් වශයෙන් ගළවනු නොලැබේ. යමෙකු තුළ තිබෙන්නාවු පාරිශුද්ධතාවය සහ කැපවිම තවත් ආයකු වෙනුවෙන් ආදේශ කළ නොහැක.සෑම ජාතියක්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි විනිශ්චය සඳහා පෙනී සිටිම අනිවාර්ය වේ.එසේ වුවද,මනුෂ්‍යයන් විනිශ්චය සඳහා වග උත්තරකරුවන් වන්නේ පුද්ගලික ලෙසය.එකිනෙක්කෙනා පිළිබඳ තොරතුරු ඉතා සමීපව සම්පුර්ණ නිරික්ෂණයකට භාජනය කෙරේ.සෑම අයෙකුම පරික්ෂා කර බැලිය යුතුය.කිසිවෙකු තුළ කැළැලක් හෝ රැල්ලක් හෝ නොතිබිය යුතුය.GrHSin 565.1

    සමගි කිරිමේ කර්තව්‍යයේ අවසන් කොටස ඉතා ගාම්භිර වන්නේය.එම ක්‍රියාදාමය හා බැදි සිද්ධින් පිළිබඳව පිරික්සීම භාරදුර වන්නේය.ඉහළ පිහිටි ශුද්ධස්ථානයේ දැන් විනිශ්චය සිදුවෙමින් පවතින්නේය.වසර ගණනාවක් පුරා මෙම කර්තව්‍යය ක්‍රියාත්මක වෙමින් කෙරිගෙන යන්නේය.වැඩි කලක් ගතවීමට පෙර විනිශ්චයෙහි අවසන් කොටස විභාගය සඳහා පිවිසෙන්නේය.එය කෙතරම් කඩිනමින් සිදුවේ දැයි කිසිවෙකුට හෝ දැනිමක් නැත.එකල,මිය ගිය අයගේ නඩු විභාග හමාර වි ජීවත් වන්නාවු අයගේ විනිශ්චය විභාගයට ගනු ලබන්නේය.අතිගරු දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපගේ ජීවිත වාර්තාවන්ද විභාගයට ගැනේ.වෙනත් කිසිම කාලයකට වඩා දැන් අප අපගේ ගැළවුම්කාරයාණන්ගේ අනුශාසනාවට සවන් දිම මැනවි.˝ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වි,අවදිව ඉඳ යාච්ඤා කරන්න.(මාර්ක් 13:33).˝ මෙසේ නුඹ අවදිව නොසින්නෙහි නම්,සොරෙකු මෙන් එන්නෙමි. මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.˝යි (එළිදරව් 3:3),ගැළවුම්කාරයාණන්වහන්සේ අවවාද කළසේක.GrHSin 566.1

    සෝදිසි කිරිමේ විනිශ්චය හෙවත් පුර්වාගමන නඩු විභාගය අවසන් වන විට මෙලොව බිහි වු සෑම අයෙකුගේම ඉරණම ලෙස සදාකාල ජීවනය හෝ සදාකාල මරණය වශයෙන් තීන්දුව වදාරා හමාර වෙයි.සගයේ වළාකුළු මධ්‍යයේ දේවදුත සමුහයා පිරිවරා ගෙන යේසු සමිදාණන් මෙලොව බලා පැමිනිමට ඉතා කෙටි කලකට පෙර විනිශ්චය අවසන් වනවා ඇත.මෙම කාලය දෙස බලමින් එළිදරව් පොතෙහි ක්‍රිස්තුස්වහන්සේ මෙසේ වදාරණ සේක:˝අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා.අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා .ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා.මෙන්න ඉක්මණින් එමි.එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ˝ (එළිදරව් 22 :11,12).GrHSin 566.2

    මෙම කාලවකවානුව තුළදි දමිටුව්න් හා පවිටුන්ද පොළෝ තලෙයෙහි ජීවත් වෙමින් සිටිති.ඔවුන් පසුවන්නේ මරණයට පත්විමේ හැකියාවද ඇතිවය.මිනිසුන් වතුපිටි වගා කරමින් සහ ගොඩනැගිලි ඉදි කරමින්ද කමින් සහ බොමින්ද කාලය ගත කරනවා ඇත.ඔවුන් සම්බන්ධව වෙනස් කළ නොහැකි ඉරණම් තීන්දුවක් සගයේ ශුද්ධස්ථානයේ සිට දෙවා වදාරා ඇති බව ඔවුන් කිසිසේත්ම දැන නොගන්නවා ඇත.ලෝ ව්‍යාප්ත ජලගැල්ම සිදුවු අවස්ථාවේදී දෙවියන්වහන්සේ නෝවා නැව ඇතුළට දමා අදේව භක්තිකයන් පිටතට දමා නැවෙහි තිබු එකම දොරටුව වසා දැමුසේක.තමන්ගේ ඉරණම තීරණය කර ඇති බව නොදත් අවශේෂ ජනතාව දවස් හතක් පුරා වගකීමක් නැති සැප සෙල්ලමෙහි නියැළෙමින් පැමිණෙන්නාවු විනිශ්චය ගැන වු නිවේදනය පිළිබඳව ගරහමින් අවලාද නගමින් ප්‍රීතියෙන් පිනා යමින් කල් ගෙවුහ.ජලගැල්ම විත් ඔවුන්ව ගසාගෙන යන තුරු ඔවුහු නොදැන සිටියෝය.˝ මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය˝යි ගැළවුම්කාර සමිඳාණෝ පවසන සේක. (මතෙව් 24:39).නිශ්ශබ්දව,දැනුම් දීමකින් තොරව, මැදියම් රැයේ පැමිණෙන්නාවු සොරෙකු මෙන්,ඉරණම ඒ සමගම තීන්දු වී හමාරය.වරදකාර මිනිසුන්ට පිළිගන්නාවා තිබු මෛත්‍රී - කරුණාව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැත.එම දීමනාව සගය විසින් ආපසු ඇද ගනු ලබන්නේය.GrHSin 567.1

    ˝එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදා ඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න˝ (මාර්ක් 13:35,36).සෝදිසියෙන් යුතුව බලා සිටිමෙන් විඩාවට පත්වන සමහරෙක් අවදිව බලා සිටීමෙන් ඉවතට හැරි ලෝකයේ ආකර්ෂණිය දේවලට නැඹුරු වෙති.ඔවුන්ගේ තත්වය ඉතා කණගාටුදායක වන්නේය.ව්‍යාපාරිකයා තව තවත් ලාභ සෙවිමේ වෙළදාමෙහි නියැළී සිටියේදී, සැප සෙල්ලම් සොයා ගිය තැනැත්තේ සතුටු සාගරයේ ගිලි සිටියදි ,විලාසිතාවන්හි නියැළි දුවරුන් ඔවුන්ගේ ආයිත්තම් සහ සැරසිලි සකසමින් සිටියදි,සමහර විට එම පැයෙහිදි පොළවේ විනිශ්චයකාරයාණෝ තීන්දුව ප්‍රකාශයට පත් කරනසේක.එම තීන්දුව සමග නිකුත් වන්නාවු ප්‍රකාශනය නම්,˝ ඔබ තරාදියේ කිරනු ලැබ අඩු බව පෙනුණේය˝ යන්නය.(දානියෙල් 5:27).GrHSin 567.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents