Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    38 - අවසාන අවවාදය

    “ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේව දූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ තේජසින් පොළොව ආලෝක විය. ඔහු බලවත් හඩකින් මොරගසා: මහා බබිලෝනීය වැටුණාය, වැටුණාය. ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍ර වූ පිළිකුල් වූ පක්ෂීගේ හිරගෙයක්ද වුවාය.” “තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසුනොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඩක් ස්වර්ගයෙන් මට ඇසුණේය.” (එළිදරව් 18:1,2,4).GrHSin 701.1

    මේ ශුද්ධ ලියවිලි පාඨය දක්වන්නේ බබිලෝනියේ වැටීම ගැන එළිදරව් 14 හි සඳහන් වන අන්දමටම දෙවෙනි දූතයා කරන ප්‍රකාශනය නැවත ප්‍රකාශ කරනු ලැබීමත්ය. 1844 ග්‍රීෂ්ම කාලයේදී මේ පණිවිඩය දෙනු ලැබුවාට පසුව, බබිලෝනියට අයිති සංවිධානයන්ට ඇතුල් වී තිබුණාවූ දූෂණයද මෙහි සඳහන් වෙයි. ආගමික ලෝකයේ පවතින්ට යන භයානක තත්ත්වයක් ගැන මෙහි විස්තර කර තිබේ. සත්‍යය එපා කරන සෑම අවස්ථාවේදීම මනුෂ්‍යයන්ගේ මනස වඩාත් අඳුරු වෙයි; ඔවුන්ගේ හදවත් වඩාත් මුරණ්ඩු වෙයි; මෙසේ ඔහු අදේව දෘෂ්ටියෙහි තදවී යති. දෙවියන්වහන්සේ විසින් දී තිබෙන අවවාද වලට අකීකරු වෙමින් ඔවුන් ව්‍යවස්ථාවේ එක ප්‍රතිපත්තියක් පාගා දැමීමට යෙදෙති. ඊටපසුව, ඔහු ඒ ප්‍රතිපත්තියට ගරු කරන්නා වූ අයට පීඩා කිරීමට මගපෙන්වනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේගේ වචනයද උන්වහන්සේගේ මනුෂ්‍යයන්ටද විරුද්ධවීම කරණකොටගෙන ඔහු ක්‍රිස්තුස්වහන්සේව නොතකා හරිති. සභාවන් විසින් මළවුන් සමග සබඳතාවය පැවැත්විමේ ඉගැන්වීම් පිළිගත් විට, මානසික හදවත මත බලපාන තහනම් නීනි ඉවත් කරනු ලැබේ; එවිට නාමික ආගමිකත්වයක්, ඉතාම අධම පාපයන් ආවරණය කිරීමේ වැස්මක් වෙනවා ඇත. මළවුන් හා සබඳතාවය පැවැත්වීම විශ්වාස කිරීම මඟින්, මනුෂ්‍යයන් පොළඹවන්නාවූ නපුරු ආත්මයන්ටද යක්ෂයන්ගේ ඉගැන්වීම්වලටද දොරටු විවෘත වෙයි. මෙසේ නපුරු දූතයන්ගේ අනුබලය සභාවන් තුළ පවතිනවා ඇත.GrHSin 701.2

    මේ අනාවැකියෙන් බබිලෝනිය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී මෙසේ පවසා තිබේ; “ඇගේ පව් වර්ගය දක්වා නැංගේය; දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක.” (එළිදරව් 18:5). මෙවිට ඇගේ වරදකාරකමේ තත්ත්වය සම්පූර්ණව පවතියි; එහෙයින් විනාශය ඉක්මණින්ම ඇය මත්තට පැමිණෙනවා ඇත. නමුත් තවදුරටත් දෙවියන්වහන්ගේ මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ සිටිති. උන්වහන්සේගේ විනිශ්චයන් බබිලෝනිය මත පතිත වීමට පෙර, ” ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත් ” මේ විශ්වාසවන්ත අය ඇය කෙරෙන් ඉවතට කැදවාගත යුතුය. ඒ නිසා මේ ඉවත් වීම දක්වා තිබෙන්නේ ස්වර්ගයෙන් පහළට එන්නාවූ දේවදුතයෙකුගෙන්ය. ඔහු තමාගේ තේජසින් පොළොව ආලෝකමත් කරමින් මහත් හඩකින් මොර ගසමින් බබිලෝනියේ පාප ප්‍රකාශ කරයි. මේ පණිවිඩයට සම්බන්ධ කැඳවීම මෙසේය: “මාගේ සෙනඟෙනි, .... ඇගෙන් ඉවත්ව එන්න’.’ දූතයන් තිදෙනාගේ පණිවිඩ සමග ඒකත්වයක්ව දෙනු ලබන මේ ප්‍රකාශනය වනාහි ලෝක වාසීන්ට දෙනු ලබන අවසාන අවවාදය වේ.GrHSin 701.3

    ලෝකය භයානක තත්ත්වයකට පැමිණෙයි. ලෝකයේ බලයන් දෙවියන්වහන්සේගේ ආඥාවන්ට විරුද්ධව එකතු වෙමින් “ලොකු කුඩා, පොහොසත්, දිළිඳු, දාස, නිර්දාස” (එළිදරව් 13:16) සියලුදෙනාම ඒ වැරදි සබත් දවස පවත්වමින් සභාවේ වත් පිළිවෙත් අනුව ක්‍රියාකරන ලෙස නියෝගයක් පනවනවා ඇත. එයට එකඟවීමට කැමති නොවන අයට දේශපාලනික දඩුවම් දෙනු ලබනවා ඇත; අවසානයේදී, ඔවුන් මරු මුවට පත්කිරීම සුදුසු යයි කියනු ලබනවා ඇත. අනික් අතට, මැවුම්කාරයාණන්වහන්සේගේ නිවාඩු දවස ඈතුළත් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවීම අවශ්‍යය; එහි ප්‍රතිපත්ති කඩකරන සියල්ලන් දේව උදහසට මුහුණ දිය යුතුය.GrHSin 702.1

    මේ කාරණා පැහැදිලි ලෙස මනුෂ්‍යයන්ට ඉදිරිපත් කරනු ලැබූ, විට, මනුෂ්‍යයන්ගේ නියෝගයන්ට කීකරු වන පිණිස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පාගා දමන්නා වූ අයට මෘගයාගේ ලකුණ දෙනු ලැබේ. දෙවියන්වහන්සේට කීකරු වෙනවා වෙනුවට තමා කීකරු වෙන්ට තෝරාගන්නා වූ බලයේ ලකුණ ඔහු මෙසේ පිළිගනියි. ස්වර්ගයෙන් ලැබෙන අවවාද මෙසේය: “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේත් අත් ලකුණක් ලබන්නේද, ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ්‍රව වත්කරන ලද උන්වහන්සේගේ උදහස නැමති මුද්‍රිකපානය බොන්නේය.” (එළිදරව් 14 :9, 10).GrHSin 702.2

    නමුත්, සිතට හා හෘදයසාක්ෂියට සත්‍යය ඉදිරිපත් කරනු ලැබ, එය එපාකරන තැනැත්තෙකුට පමණක්ම දෙවියන්වහන්සේගේ උදහසින් පිඩා විදීමට සිදුවෙනවා ඇත. මේ කාලයට නියමිත සත්‍යයන් ඇසීමට කිසිවිටෙක අවස්ථාවක් නොලැබූ බොහෝ අය සිටිති. සතරවන ආඥාව පිළිබඳව තමාට ඇති යුතුකම් එහි නියම ආලෝකයෙන් ඇසීමට අවස්ථාවක් කිසිවිටෙක ඔවුන්ට නොලැබී ඇත. සියලු හදවත්ද සියලු අභිප්‍රායන්ද කියවන තැනැන්වහන්සේ සත්‍යයන් දැනගැනීමට ආශාවන කිසිවෙකුට මේ අරගලය පිළිබඳව ඇත්තාවූ කරුණු ගැන රටනු ලැබීමට ඉඩ නොදෙන සේක. නියෝගය අන්ධ ලෙස මනුෂ්‍යයන් පිට පවරනු ලබන්නේ නැත. ප්‍රඥාවන්ත ලෙස තීරණයක් ගැනීමට පුළුවන් වන පිණිස සියලු දෙනාටම ප්‍රමාණවත් ලෙස ආලෝකය දෙනු ලබනවා ඇත.GrHSin 702.3

    සබත් දවස, පක්ෂපාතකමේ මහත් සෝදිසිය වෙනවා ඇත; කුමක් හෙයින්ද විශේෂ අරගලයක් පවතින්නේ එහි සත්‍යතාවය පිළිබඳවය. මනුෂ්‍යයන් පිට ඒ අවසාන සෝදිසිය පමුණුවනු ලබන විට දෙවියන්වහන්සේට සේවය කරන්නන් හා උන්වහන්සේට ස්වය නොකරන්නන් වෙන් කරනු ලබනවා ඇත. දේශයේ නීතිය අනුව, සතරවන ආඥාවට විරුද්ධ වී වැරදි සබත පැවැත්වීම දෙවියන්වහන්සේට විරුද්ධව සිටින බලයට පක්ෂපෘතවීමක් වන අතර, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුව සැබෑ සබත් දවස පැවැත් වීම මැවුම්කාරයාණන්වහන්සේ පක්ෂපාතවීමේ සාක්ෂියක් වෙනවා ඇත. එක කාණ්ඩයක් ලෝක බලයන්ට පක්ෂපාතවීමේ සලකුණු වන මෘගයාගේ ලකුණ ලබාගන්නා අතර, අනික් කාණ්ඩය දිව්‍ය ආධිපත්‍යයට පක්ෂපාතවීමට තෝරාගෙන දෙවියන්වහන්සේගේ මුද්‍රාව ලබාගන්නවා ඇත.GrHSin 703.1

    මෙතෙක්, දුතයන් තිදෙනාගේ පණිවිඩය ප්‍රකාශ කළාවූ අය සලකනු ලබන්නේ තැති ගැන්මක් ඇති කරන්නා වූ අයවලුන් හැටියටය. අමෙරිකා එක්සත් ජනපදයේ ආගමික නිදහස නැතිවී යන බවටද දෙවියන්වහන්සේගේ ආඥාවත් පවත්වන්නා වූ අයට පීඩාකරන පිණිස සහාවන් හා දේශපාලනය එකමුතුවන බවටද පවසන ලද අනාවැකි වැරදි බවද ඒවාට කිසි පදනමක් නොමැති බවද පවසා තිබේ. මේ දේශය වරක් පැවති අන්දමට, ආගමික නිදහස රැකවරණය කරන දේශයක්ව පවතිනවාට වඩා වෙනස් තත්ත්වයකට පැමිණෙන්නේ නැතැයි සම්පුර්ණ විශ්වාසයකින් යුතුව පවසා තිබේ. නමුත් ඉරිදා පැවැත්වීම රට පුරා උනන්දුවෙන් පවසනු ලබන විට, සිදුවිය නොහැකි යයි විශ්වාස කරන ලද්දාවූද, අනුමාන නොකරන ලද්දා වූ ද දෙය ඇතිවෙන්න යන බව පෙනී යයි. එවිට තුන්වන දුතයාගේ පණිවිඩයට ඇවන්ට් යන්නේ ඊට පෙර කිසිවිටෙක නොපැවතුණා වූ තත්ත්වයකි.GrHSin 703.2

    සෑම පරමිපරාවක වදීම දෙවියන්වහන්සේ පාපයට තරවටු කරන පිණිස ලෝකයටද සභාවටද උන්වහන්සේගේ සේවකයන් යවා තිබේ. නමුත් මනුෂ්‍යයන් කැමති වන්නේ තමාට සෞම්‍ය දේවල් පවසනු ලබනවාටය. ඔප නොදමූ පවිත්‍ර සත්‍යයන් පිළිගනු ලබන්නේ නැත. බොහෝ ප්‍රතිසංස්කාරකයෝ තමන්ගේ සේවයට ඇතුල්වීමේදී, සභාවේද දේශයේද පාපයන්ට විරුද්ධව ක්‍රියාකිරීමේදී බොහෝ ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකිරීමට තීරණය කරගෙන සිටියහ. පිරිසිදු ක්‍රිස්තියානි ජීවිතවල ආදර්ශය මගින් මනුෂ්‍යයන් බයිබලයේ ධර්මයන්ට යොමු කිරීමට ඔහු බලාපොරොත්තු වූහ. නමුත් දෙවියන්වහන්සේගේ ආත්මය එලියා පිටට පැමිණ නපුරු රජුගේද සත්‍යයෙන් ඉවත්වූ මනුෂ්‍යයන්ගේද වැරදි වලට තරවටු කිරීමට ඔහු යොමුකරනු ලැබුවේය. ප්‍රතිසංස්කරණය ඉදිරිපත් කිරීමට යෙදුණා වූ අයටද, තමා ඉදිරිපත් කිරීමට පසුබට වූ ධර්මයන්, එනම් බයිබලයේ පැහැදිලි ප්‍රකාශනයන් ගැන දේශනා කිරීමෙන් වැලකී සිටීමට නුපුළුවන් විය. මනුෂ්‍යයන්ට තර්ජනයක් වූ අන්තරාවන් ගැනද සත්‍යයන් වූ ධර්මයන් ද උනන්දුවෙන් ප්‍රකාශ කිරීමට ඔවිහු යොමු කරනු ලැබූහ. සිදුවිය හැකි ප්‍රතිඵල ගැන බිය නොවී ඔහු තමාට දෙවියන්වහන්සේ දුන්නාවූ වචන ප්‍රකාශ කළහ. ඒ අවවාදයන්ට සවන් දීමට මනුෂ්‍යයෝ බල කරනු ලැබූහ.GrHSin 703.3

    තුන්වන දුතයාගේ පණිවිඩයද මෙසේ ප්‍රකාශ කරනු ලබනවා ඇත. එය බලයෙන් යුක්තව දිය යුතු කාලය පැමිණෙන විට, දෙවියන්වහන්සේ යටහත් පහත් අයවලුන් පාවිච්චි කරමින් උන්වහන්සේගේ සේවයට කැපවෙන්නා වූ අයට මගපෙනවා ඇත. මෙසේ සේවය කිරීමට මනුෂ්‍යයන් සුදුස්සන් කරනු ලබන්නේ පුහුණු කිරීමේ සංවිධානයන් මගින් නොව, ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අනුවය. ඇදහිලෙන් හා යාච්ඤාවෙන් යුත් මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේ දෙන්නාවූ වචන ප්‍රකාශ කිරීමට ශුද්ධ වූ උනන්දුවකින් යුතුව පිටත්ව යනවා ඇත. බබිලෝනියේ පාප විවෘත ලෙස දක්වනු ලබනවා ඇත. සභාවේ පිළිවෙත් පිළිපැදිමට දේශීය බලයන් පාවිච්චි කරනු ලැබීම නිසා ඇතිවන භයානක ප්‍රතිඵලද මළාවූ ආත්මයන්ට කථාකිරීම, රහසිගත ලෙස වුවද වේගයෙන් පාත් බලය පැතිරී යාම යනාදියද විවෘත ලෙස දක්වනු ලබනවා ඇත. මේ ගාම්භීර අවවාද මගින් මනුෂ්‍යයන් පුබුදුවනු ලබනවා ඇත. මෙබඳු වවන ඇසිමට අවස්ථාවක් නොලැබූ දස දහස් ගණන් ජනයා මේ අවවාදයන්ට සවන් දෙනවා ඇත. බබිලෝනියේ වනාහි සභාව බවද, ඇගේ වැරදි ක්‍රියාවන් නිසාත්, ස්වර්ගයෙන් ඇය වෙත යවනු ලැබූ සත්‍යයන් පිළිනොගැනීම නිසාත් ඇය වැටී යන බව ඔවුන් අසන්ට යන්නේ මහත් පුදුමයෙන් යුක්තවය. මේ කාරණා ඇතදයි මනුෂ්‍යයන් ඔවුන්ගේ ගුරුවරුන්ගෙන් විමසන අතර, ඔවුන්ගේ බිය දුරු කරමින්, ඔවුන් තුළ පුබුදුවන ලද හෘදය සාක්ෂිය නිල කරන පිණිස පූජකයන් උපමා කථාවන්ද සෞම්‍ය අනාවැකිද ඉදිරිපත් කරනවා ඇත. නමුත් බොහෝ දෙනෙක් මනුෂ්‍යයන්ගේ අනුමැතිය එපා කරමින්, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක,” යන වචන ඇසීමට ආශා වෙනවා ඇත. එවිට පැරණි එරිසිවරුන් මෙන් මේ ජනප්‍රිය පූජකයද තමාගේ ප්‍රකාශන ගැන ප්‍රශ්න කිරීම ගැන කෝපාකූලවී, දෙනු ලබන්නා වූ මේ පණිවිඩ සාතන් වෙතින් පැමිණෙන බව පවසමින් ඒවා ප්‍රකාශ කරන අයට පීඩා කිරීමට හා නිග්‍රහ කිරීමට, පාපයට ඇලුම්වන පොදු ජනයා පොළඹවා ගන්නවා ඇත.GrHSin 704.1

    මේ අරගලය අලුත් ප්‍රදේශ්වලට පැතිරී ගොස්, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සුළු කිරීමට මනුෂ්‍යයන් යොමු කරනු ලැබූ විට සාතන් ක්‍රියාත්මක වෙයි. මේ පණිවිඩයට ඇති බලය දැකීමෙන් එයට විරුද්ධ වන්නාවූ අය වියරු වැටෙති. මේ ආලෝකය තමාගේ රළ මත පතිත නොවන පිණිස එය වසා දැමීමට පූජකයන් ඉමහත් උත්සාහයක යෙදෙනවා ඇත. ඔවුන්ට හැකි සෑම අන්දමින්ම ඔවුන් උත්සාහ කරන්ට යන්නේ මේ වැදගත් ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම යටපත් කිරීමටය. සභාව දේශපාලන බලයේ සහාය ඉල්ලා සිටියි; මේ කාරණයේදී පාවාදීහුද ප්‍රොතැප්මන්ත, අයද එක්සත් වෙති. ඉරිදා පැවැත්වීම පිළිබඳ නීතිය තීරණාත්මක ලෙස එඩිතරව ප්‍රකාශ කරනු ලබන විට ආඥා පවත්වන්නාවූ අයවලුන්ට විරුද්ධව නියෝග පණවනු ලබනවා ඇත. ඔවුන්ට දඩ නියම කරනු ලබන බවද ඔවුන් හිරගෙයි දමනු ලබන බවද පවසනු ලබනවා ඇත. ඔවුන්ගේ ඇදහිල්ල අත්හැර දමන්නේ නම් ඔවුන්ට බලවත් ඨානාන්තර දෙනු ලබන බවද වෙනත් වාසි හා දිමනා දෙනු ලබන බවද පවසමින් ඔවුන් පොළඹවනු ලබනවා ඇත. නමුත් ඔවුන්ගේ ස්ථිර පිළිතුර වන්නේ: “දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ වැරදි අපට පෙන්වා දෙන්න” යත්නය. මෙබඳු තත්ත්වයකදී ලූතර්ද පැවසුවේ මේ අන්දමටය. නඩු ශාලාවන් ඉදිරියට පමුණුවනු ලබන්නා වූ අය සත්‍යය උදෙසා බලවත් ප්‍රකාශන ඉදිරිපත් කරති; ඔවුන්ගේ බස් අසන සමහර අය දෙවියන්වහන්සේ ආදී සියල්ල පැවැත්වීමට ඉදිරිපත් වෙති. මේ සත්‍යයන් නොදැන සිටින්නාවූ දහස් ගණන් ජනයාට මේ අන්දමින් ආලෝකය ඉදිරිපත් කරනු ලබනවා ඇත.GrHSin 705.1

    අවංකව දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීම කැරලි ගැසීමක් ලෙස සලකනු ලබනවා ඇත. සාතන් විසින් අන්ධ කරනු ලබන දෙමාපියන් තමාගේ ඇදහිලිවන්ත දරුවාට රළු ලෙසද කර්කෂ ලෙස ද සලකනවා ඇත; ස්වාමියා හෝ ස්වාමි දුව් ආඥා පවත්වන සේවකයාට පීඩා කරනවා ඇත. ප්‍රිය දුරු වී යනවා ඇත; දරුවන්ව එපා කරමින් ඔවුන් තමන්ගේ නිවෙස්වලින් පළවා හරිනු ලබනවා ඇත. “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය” (2 තිමෝති 3:12) යනුවෙන් පාවුල් පැවසු වචන සමිපූර්ණ වෙනවා ඇත. සත්‍යය රැකරණය කරන්නාවූ අය සබත් දවස හැටියට ඉරිදා දවසට ගරු නොකරන විට, ඔවුන්ගෙන් සමහරෙකු හිරගෙයි දමනු ලබනවා ඇත, සමහරෙකු රටින් පිටුවහල් කරනු ලබනවා ඇත, සමහරෙකු වහලුන් හැටියට සලකනු ලබනවා ඇත. මනුෂ්‍ය ප්‍රඥාව අනුව බලන විට මේ දේවල් සිදුවිය නොහැකි බවක් පෙනෙන්නට පුළුවන. නමුත් මනුෂ්‍යයන් පාලනය කරන්නාවූ දෙවියන් වහන්සේගේ බලය ඉවත් කරනු ලබනවා ඇත. එවිට මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට ද්වේෂ කරන සාතන්ගේ පාලන බලය යටතේ සිටිනවා ඇත. එවිට අමුතු දේවල් සිදුවෙනවා ඇත. දෙවියන්වහන්සේ කෙරෙහි බිය හා ප්‍රේමය නොමැති විට හදවත ඉතා කෘර වන්නට පුළුවන.GrHSin 705.2

    කුණාටුව ආසන්න වන විට, දුතයන් තිදෙනාගේ පණිවිඩය කෙරෙහි ඇදහිල්ලක් තමාට තිබෙන බව පැවසූ නමුත්, ඒ සත්‍යයන්ට කීකරු වීම කරණකොටගෙන තමාව පවිත්‍ර කර ‍නොගත්තාවූ විශාල සංඛ්‍යාවක් සත්‍යය එපා කරමින් විරුද්ධ පක්ෂයට සම්බන්ධ වෙනවා. ඇත. ලෝකයා හා සම්බන්ධ වෙමින් ලෝකයේ ස්වභාවයට පංගුකාරයන්වීම කරණකොටගෙන ඔවුන්ගේ ආලෝකය අනුව කාරණා දර්ශනය කිරීමට මේ අය ද යොමුවෙනවා ඇත. සෝදිසිය ඇතිවූ විට ඔවුන් ජනප්‍රිය වන්නා වූ පහසු මාර්ගය තෝරාගන්නවා ඇත. වරක් සත්‍යය තුළ ප්‍රීති වූවාවු, කථාවෙහි දක්ෂවූ, අනේක හැකියාවන් ඇත්තා වූ අය රැවටිලිකාරකම් කිරීමටද මනුෂ්‍යයන් වැරදි මාර්ගවලට යොමු කිරීමටද ක්‍රියා කරනවා ඇත. ඔවුන් මීට පෙර තමාගේ සහෝදරයන් සිටියාවූ අයවලුන්ගේ ඉතා තද සතුරන් බවට පත්වෙනවා ඇත. තමාගේ ඇදහිල්ල ගැන පිළිතුරු දෙන පිණිස සබත් පවත්වන්නාවූ අය නඩු ශාලාවන්ට පමුණුවනු ලබන විට සත්‍යයෙන් ඈත් වූ මේ අය සාතන්ගේ ඉතාම දක්ෂ නියෝජිතයන් වෙමින් බොරු වාර්තාවන් හා ක පටි ක්‍රියාදාමයන් මගින් ඔවුන්ට වරද තබමින් ඔවුන් ගැන වැරදි පෙනුමක් දක්වමින් නායකයන් ඔවුන්ට විරුද්ධව උනන්දු කරවනවා ඇත.GrHSin 706.1

    පීඩා කිරීමේ මෙම කාලයේදී ස්වාමින්වහන්සේගේ ‍සේවකයන්ගේ ඇදහිල්ල සෝදිසි කරනු ලබනවා ඇත. දෙවියන්වහන්සේ දෙසද උන් වහන්සේගේ වචනය දෙස බලමින් ඔවුන් මේ අවවාදාත්මක ප්‍රකාශයන් පවසනවා ඇත. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔවුන් තුළ ක්‍රියාකරමින් දෙවියන්වහන්සේ උදෙසා කථා කිරීමට ඔවුන් පොළඹවන සේක. ස්වාමින්වහන්සේ ඔවුන්ට දුන්නාවූ වචනය ප්‍රකාශ කිරීම කරණකොටගෙන ඇතිවිය හැකි සීතල ප්‍රතිඵල ගැන නොසලකා ඔව්හු ශුද්ධවූ උනන්දුවකින් යුක්තව, බලවත් දිව්‍ය මගපෙන්වීම යටතේ ඔවුන්ගේ යුතුකම් කිරීමට යෙදෙනවා ඇත. ඔහු තමාගේ භෞතික කාරණා ගැන කල්පනා නොකර තමාගේ කීර්තිය රැක ගැනීමට උත්සාහ නොකරනවා ඇත. එහෙත්, විරුද්ධවාධිත්වයේ හා නිග්‍රහයේ කුණාටුව ඔවුන් මත පතිත වන විට, සමහර අය, අප්‍රසන්නතාවයට පත්වී මෙසේ පවසනවා ඇත: “අපගේ වචනවලින් ඇතිවන ප්‍රතිඵල මොනවා වෙනවා ඇද්දැයි කල්පනා කර තිබුණේ නම් අප නිශ්චලව සිටින්නට යෙදෙනවා ඇත.” දසතින්ම ඔවුන්ට කරදර ඇති වෙයි. සාතන් මහත් පරික්ෂාවන් මගින් ඔවුන්ට පහර දෙයි. ඔවුන් විසින් කරන්ට තෝරාගත් වැඩය කිරීමට පුළුවන්කමක් නොමැති බවක් ඔවුන්ට දැනී යනවා ඇත. විනාශ කරනු ලැබීමේ තර්ජනයක් ඔවුන් ඉදිරියෙහිය. ඔවුන්ට තිබුණා වූ උනන්දුව තවදුරටත් නොපවතියි; එහෙත් ආපසු හැරීමටද ඔවුන්ට නුපුළුවන. තමාගේ උපකාර රහිත භාවය වටහා ගනිමින් ශක්තිය ලබාගන්නා පිණිස ඔහු අති උත්තම තැනැන්වහන්සේ වෙතට හැරෙති. ඔවුන් විසින් පවසන්ට යෙදුණා වූ වචන ඔවුන්ගේම වචන නො වූ බවද ඒ අවවාද දීමට ඔවුන්ට අණ කළ තැනැන්වහන්සේ කෙරෙන් ඒ වචන පැමිණි බව ද ඔවුන්ට මතක් වෙයි. දෙවියන්වහන්සේ ඔවුන්ගේ සිත් තුළට සත්‍යය ඇතුල් කරනසේක; එය ප්‍රකාශ නොකර සිටීමට ඔවුන්ට නුපුළුවන.GrHSin 706.2

    අතීත කාලයේදී ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට මෙයාකාර පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවී තිබුණි. වික්ලිෆ්, හස්, ලූතර්, ටින්ඩේල්, බැක්ස්ටර්, වෙස්ලි යන සියලු දෙනාම කියා සිටියේ සියලු ධර්මයන් බයිබලයෙන් සෝදිසි කරනු ලැබිය යුතු බවය. බයිබලය මගින් වැරදි බව පෙන්වනු ලබන සියල්ල අත්හැරීමට තමා සූදානම් බව ඔහු පැවසූහ. මේ මනුෂ්‍යයන්ට විරුද්ධ වූ අය ඔවුන්ට ඉතා තදින් පීඩා කළහ; එහෙත් ඔවුන් සත්‍යය ප්‍රකාශ කිරීම අත්හැරියේ නැත. සභා ඉතිහාසයේ නා නා කාලයන්හිදී දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට සුදුසු වූ අන්දමට විශේෂ සත්‍යයන් ඉදිරිපත් කළසේක. සෑම අලුත් සත්‍යයක්ම ඉදිරියට යොමු කරනු ලැබුවේ ද්වේෂය හා විරුද්ධවාදිකම් අතරේය. එහි ආලෝකයේ ආශිර්වාද ලැබූ අයට පරික්ෂාවන්ට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. හදිසි අවස්ථාවන් හිදී දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට විශේෂ සත්‍යයන් දෙන සේක. එය ප්‍රකාශ කිරීමට නුපුළුවනැයි පැවසිය හැක්කේ කවරකුටද? උන්වහන්සේ තමන්වහන්සේගේ සේවකයන්ට නියෝග කරන්නේ මේ දයාවේ අවසාන පණිවිඩය ලෝකයට ප්‍රකාශ කිරීමටය. එය ප්‍රකාශ නොකිරීම තමාගේම ආත්මයන්ට හානිකර ගැනීමකි. එහෙයින් එය ප්‍රකාශ නොකර සිටීමට ඔවුන්ට නුපුළුවන. ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතිවරුන්ට, එමගින් ඇතිවන ප්‍රතිඵල ගැන සැලකීමට නුපුළුවන. ඔවුන් විසින් තමන්ගේ යුතුකම් ඉටු කරමින් එහි ප්‍රතිඵල දෙවියන්වහන්සේට භාර කළ යුතුය.GrHSin 707.1

    විරුද්ධවාදිකම් භයානක ලෙස වැඩිවන අතර දෙවියන්වහන්සේගේ සේවකයෝ නැවතත් වියවුල් වෙති; කුමක් හෙයින්ද තමාම මේ තත්ත්වය ඇති කළ බවක් ඔවුන්ට පෙනී යනවා ඇත. නමුත් ඔවුන්ගේ හෘදය සාක්ෂියද දෙවියන්වහන්සේගේ වචනයද ඔවුන්ට දක්වන්නේ ඔවුන් ක්‍රියාකළ අන්දම නිවැරදි බවය. පීඩාවන් තවදුරටත් ඇතිවන්නේ වුවද, ඒවා දරාගැනීමට ඔවුන් ශක්තිමත් කරනු ලබනවා ඇත. තත්ත්වය වඩාත් තියුණු වන්නේ වුවද, ඒ තත්ත්වයට අනුකූල ලෙසම ඔවුන්ගේ ඇදහිල්ල හා ධෛර්යය වර්ධනය වෙයි. ඔවුන් මෙසේ සාක්ෂි දරනවා ඇත. “දෙවියන්වහන්සේගේ වචන වෙනස් කරමින්, උන්වහන්සේගේ ශුද්ධ වූ ව්‍යවස්ථාවේ එක් කොටසක් අවශ්‍යය කියාද තව කොටසක් අනවශ්‍ය කියාද කියමින් ලෝකයේ ප්‍රසන්නතාවය දිනාගන්නා පිණිස ක්‍රියාකිරීමට අපට නුපුළුවන. අප සේවය කරන ස්වාමින්වහන්සේට අපව මුදාගැනීමට පුළුවන. ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ බලයන් පරාජය කළසේක ; උන්වහන්සේ පරාජය කළා වූ ලෝකය. ගැන අප බියපත් විය යුතුද?”GrHSin 708.1

    නා නා ප්‍රකාරයන්ගෙන් ඇතිවන පීඩාකිරීම් වනාහි එක්තරා ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කිරීමකි. සාතන් පවතින තුරුද ක්‍රිස්තු ධර්මය බලයෙන් යුක්ත වන තුරුද ඒ තත්ත්වය පවතිනවා ඇත. අන්ධකාරයේ හමුදාවේ විරුද්ධවාදිකම තමා කෙරෙහි යොමු කර නොගෙන දෙවියන්වහන්සේට සේවය කිරීමට කිසිවෙකුට නුපුළුවන. ඔවුන්ගේ අනුබලය කරණකොටගෙන තමාගේ ගොදුර තමාගේ අත්වලින් ඉවත් කරනු ලබන බව දකින නපුරු දූතයන් ඔවුන්ට පහර දෙනවා ඇත. ඔවුන්ගේ ආදර්ශය මගින් තරවටු කරනු ලබන නපුරු මනුෂ්‍යයන්ද ඒ දූතයන් සමග එක්සත්ව ඔවුන්ට සිත් ඇදගන්නා පරික්ෂාවන් යොමු කරමින් ඒවා මගින් ඔවුන් දෙවියන්වහන්සේ කෙරෙන් වෙන් කිරීමට ක්‍රියාකරනවා ඇත. මේ උපක්‍රමද සාර්ථක නො වූ විට, හෘදය සාක්ෂියට බල කරන පිණිස වඩා මහත් බලයක් ඔවුන් කරා යොමු කරනු ලබනවා ඇත.GrHSin 708.2

    නමුත් යේසුස්වහන්සේ ස්වර්ගීය ශුද්ධස්ථානයෙහි අප උදෙසා මැදහත්කම් කරන තුරු, ශුද්ධාත්මයාණන්ගේ පාලනය කිරීමේ බලය මනුෂ්‍යයන්ටද නායකයන්ටද දැනී යනවා ඇත. ඒ බලය යම් ප්‍රමාණයකට තවදුරටත් දේශයේ අණ පනත් පාලනය කරනවා ඇත. මේ අණ පනත් නොපැවතියේ නම් ලෝකයේ තත්ත්වය දැන් පවතිනවාට වඩා බොහෝ සේ නරක් වෙනවා ඇත. අපගේ නායකයන් බොහෝ දෙනෙක් සාතන්ගේ ඒජන්තවරුන් වන නමුත්, දේශයේ නායකයන් අතර දෙවියන්වහන්සේගේ ඒජන්තවරුද සිටිති. සතුරා තමාගේ සේවකයන් අතර ක්‍රියා කරමින්, දෙවියන්වහන්සේගේ වැඩවලට බාධාවක් ඇතිකරන උපක්‍රම යෝජනා කිරීමට ඔවුන් පොළඹවනවා ඇත; නමුත් දේව භය ඇත්තා වූ නායකයන් ශුද්ධ වූ දූතයන්ගේ බලපෑම අනුව එබඳු යෝජනාවන්ට විරුද්ධ වන් එපා කළ නොහැකි තර්කයන් ඉදිරිපත් කරමිනි. මේ අන්දමට, ස්වල්ප දෙනෙක් නපුරේ බලවත් ධාරාව ගලා ඒම පාලනය කිරීමට ක්‍රියාකරනවා ඇත. තුන්වන දූතයාගේ පණිවිඩය මගින් ඉටුවිය යුතු සේවය සම්පූර්ණ වන තුරු සත්‍යයට විරුද්ධව ක්‍රියාකරන සතුරන් පාලනය කරනු ලබනවා ඇත. අවසාන අවවාදය දෙනු ලබන විට එය ස්වාමින්වහන්සේ පාවිච්චි කළා වූ ඒ නායකයන්ට කථා කරනවා ඇත. ඔවුන්ගෙන් සමහරෙක් ඒ අවවාදය පිළිගෙන, කරදර කාලයේදී දෙවියන්වහන්සේගේ සෙනඟ සමග ස්ථිරව සිටිනවා ඇත.GrHSin 708.3

    තුන්වන දුතයාගේ පණිවිඩය ප්‍රකාශ කරන දූතයා ඔහුගේ ආලෝකය මගින් මුළු ලෝකයම ආලෝකමත් කරනවා ඇත. ඉමහත් බලයකින් යුක්තව ලොව පුරා කරනු ලබන සේවයක් ගැන මේ අනාවැකිය ප්‍රකාශ කරයි. 1840-44 දක්වා පැවති ඇඩ්වෙන්ටිස්ත සංවිධානය දෙවියන්වහන්සේගේ බලයේ තේජාන්විත ප්‍රකාශනයක් විය. පළමුවන දුතයාගේ පණිවිඩය ලෝකයේ සෑම මිෂනාරි සේවා කොටසකටම දෙනු ලැබීය. සමහර රටවල එමගින් මහත් ආගමික උනන්දුවක් ඇතිවිය. දහසය වන ශත වර්ෂයේදී පැවති ප්‍රතිසංස්කරණයට පසුව එබඳු ආගමික පිබිදීමක් ඒ කිසි රටක පැවතියේ නැත. නමුත් තුන්වන දුතයාගේ අවසාන පණිවිඩය ප්‍රකාශ කළ විට පවතින තත්ත්වය ඒ කාලයේදී පැවති තත්ත්වයට වඩා ඉතා බලසම්පන්න වෙනවා ඇත.GrHSin 709.1

    එවිට ඇතිවන සේවය පෙන්තකොස්ත දවසේදී ඇති වූ සේවයට සමාන වෙනවා ඇත. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ආරම්භයේදී ‘පළමුවන වර්ෂාව ‘ දෙනු ලැබුවේ එමගින් ශුභාරංචි බීජය වර්ධනය වන පිණිසය. එසේම, ඒ සේවයේ අවසානයේදී අන්තිම වර්ෂාව’ දෙනු ලබන්නේ අස්වැන්න සම්පූර්ණත්වයට පැමිණෙන පිණිසය. “එබැවින් ස්වාමින්වහන්සේ ඇඳින ගනිමු, ඇඳිනගන්ට වීර්ය කරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තය. උන්වහන්සේ වර්ෂාව මෙන් ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.” (හොෂෙයා 6:3). “ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක. තද වැස්ස වන පළමුවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත. (යෝවෙල් 2:23). “අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි.” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන කවරේත් ගළවනු ලබන්නේය.” (ක්‍රියා 2:17,21). ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ මහත් සේවයේ අවසානයේදී, එය පටන්ගැන්මේදී පැවති තරමටම, දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කරනු ලබනවා ඇත. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ආරම්භයේදී පළමුවන වර්ෂාව දෙනු ලබන බව පැවසූ අනාවැකි සම්පූර්ණ වූ අන්දමට එහි අවසානයේදී අන්තිම වර්ෂාව දෙනු ලබන බව පවසන අනාවැකිද නැවත සම්පුර්ණ කරනු ලබනවා ඇත. පේතෘස් ‘සැනසිලි කාලයන්’ ගැන බලා සිටිමින් ඒ කාලය ගැන මෙසේ පැවසුවේ: “එබැවින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයක් පැමිණෙන ලෙසද නුඹලා උදෙසා නියම කරන ලද්දා වූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ එවන පිණිසද, නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිසද, පශ්චත්තාපව හැරෙන්න.” (ක්‍රියා 3:19,20).GrHSin 709.2

    දෙවියන්වහන්සේගේ සේවකයන්, ශුද්ධ වූ කැපවීමකින් ආලෝකමත් වූ, බබළන්නාවූ මුහුණුවලින් යුක්තව, ස්වර්ගීය පණිවිඩය ප්‍රකාශ කරන පිණිස එහා මෙහා යනවා ඇත. දහස් ගණන් කටහඬවල් මගින් ලෝකයේ සෑම තැනටම මේ අවවාදය ප්‍රකාශ කරනු ලබනවා ඇත, ආශ්චර්යමත් ක්‍රියාවන් සිදුකරනු ලබනවා ඇත; රෝගීන් සුව කරනු ලබනවා ඇත; ඇදහිලිවන්තයන් මගින් ලකුණුද පුදුම ද දක්වනු ලබනවා ඇත. සාතන්ද “මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.’‘ (එළිදරව් 13:13). එවිට ලෝකවාසීන් සත්‍යය උදෙසා ඉදිරිපත් වෙනවා ඇත.GrHSin 710.1

    පණිවිඩය ඉදිරිපත් කරනු ලබන්නේ තර්කවලින් නොව දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ ගැඹුරු වටහා දීම මගින්ය. තර්ක ඉදිරිපත් කර තිබෙනවා ඇත. බීජය වපුරා තිබෙනවා ඇත. දැන් එය පැන නැගී එල දරනවා ඇත. මිෂනාරි සේවකයන් බෙදා දෙන්ට යෙදුණා වූ පොත්පත් මගින් බලපෑමක් පවතියි; එසේ වුවද, සත්‍යය වැටහී ගියාවූ බොහෝ අය එය සම්පූර්ණයෙන්ම පිළිගෙන එයට කීකරු වීමෙන් වැලකී සිටිති. දැන් ආලෝක ධාරාවන් දසත විහිදෙයි; සත්‍යය පැහැදිලි ලෙස දර්ශනය වෙයි; දෙවියන්වහන්සේගේ අවංක දරුවන් තමාට බාධා කළ බැඳුම් බිඳ දමනවා ඇත. පවුල්වල සබඳතාවයන්ට හෝ සහාවල සබඳතාවයන්ට ඔවුන්ට බාධා කිරීමට බලයක් නොමැත. අන් සියලු දේවලට වැඩියෙන් සත්‍යය අගනා දෙයක් බව පෙනී යනවා ඇත. සත්‍යයට විරුද්ධව යම් ඒජන්තවරුන් එක්වන්නේ වුවද විශාල සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේගේ පක්ෂයට පැමිණෙනවා ඇත.GrHSin 710.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents