Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    11 - කුමාරවරුන්ගේ විරෝධතාවය

    ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඉතා ශ්‍රේෂ්ඨතම සාක්ෂියක් වන්නේ 1529 දී ස්පයර්ස්හි පැවැති ධර්මාධිකරණ නඩු විභාගයේදී ජර්මනියේ කිතුණු කුමාරවරුන් දැක්වූ විරෝධතාවයයි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් වූ මොවුන් ප්‍රදර්ශනය කළ එඩිතරකම, ඇදහිල්ල සහ ස්ථීරතාවය මතු පරම්පරාවන්ගේ නිදහස් චින්තනයත් නිදහස් හෘදය සාක්ෂියත් සඳහා වූ අයිතිවාසිකම් තහවුරු කළේය. මෙම කුමාරවරුන්ගේ විරෝධතාවය නිසා ප්‍රතිසංස්කරණ සභාවට “ප්‍රොතෙස්තන්ත” යන නාමය භාවිත වන්නට පටන් ගත්තේය. එහි මූලධර්ම ප්‍රඥප්ති වන්නේ “විරෝධතාවයේ සාරයයි.”GrHSin 215.1

    ප්‍රතිසංස්කරණයට අඳුරු සහ තර්ජනාත්මක දවසක් උදා වී තිබුණේය. වර්ම්ස්හි පැවැති අධිකරණය මගින් ලූතර්ට නීතියේ රැකවරණය අහිමි කරන ලදී. ඔහුගේ ඉගැන්වීම් සහ දහම් තුළ ඇදහිල්ල රැඳවීම දඬුවම් ලැබිය හැකි වරදක් විය. මෙම තහංචි නීතියෙන් පනවා තිබුණ නමුත් තමන් කැමැති ආගමක් ඇදහීමේ අයිතියට නීතිය හරස් නොවීය. කැමති ආගමික වතාවත්හි යෙදීමට ඉඩ හැරීම රජයේ ප්‍රතිපත්තිය විය. සත්‍යතාවට විරුද්ධව ක්‍රියාකරන්නා වූ බලවේග මැඩපවත්වා ලීමට දෙවියන්වහන්සේගේ ක්‍රියාවේදය සැලසුම් කළේය. ප්‍රතිසංස්කරණය බිඳ දැමීම V වන චාල්ස් රජුගේ ඒකායන අරමුණ වුවද එම විනාශකාර පහර එල්ල කිරීමට එහු අත ඔසවත්ම එම පහර වෙනතකට යොමු කිරීමට දේව හස්තය ක්‍රියාකාරී විය. රෝමයට විරුද්ධව ක්‍රියා කිරීමට යම් අයෙකු ඉදිරිපත් වූයේද, ඔහුව හැකි ඉක්මනින් විනාශ කර දැමීම ඇයගේ පිළිවෙත විය. තීරණාත්මක අවස්ථාවේදී තුර්කි හමුදාව නැගෙනහිර මායිමේ කඳවුරු බැඳ ගත්හ. චාල්ස් රජතුමාගේ රාජ්‍ය බලය තා වේගවත් වර්ධනයක් සනිටුහන් කරත්ම රජුගේ උත්තම භාවයේ වර්ධනය ගැ ඊර්ෂ්‍යා කරමින් එම රාජ්‍යය ආක්‍රමණය කිරීමට යම්කිසි බලයක් ඉදිරිපත් විය. මෙසේ ජාතීන් අතර ගැටුම් සහ කලහකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී ප්‍රතිසංස්කරණයට ශක්තිමත් වීමටත් ව්‍යාප්ත වීමටත් කිසිම අවහිරයක් නොවීය.GrHSin 215.2

    එහෙත් ප්‍රතිසංස්කරණයට ජයෙන් ජයට වර්ධනය වීමට ඉඩ නොහැරීමට රෝමානුව වග බලා ගත්තේය. රෝම බල අධිකාරීහු තමන් අතර තිබු ගැටුම් මැඩ පවත්වා ගෙන සියල්ලෝම එකමුතුව ප්‍රතිසංස්කරණයට විරුද්ධව ප්‍රබල පහරක් එල්ල කිරීමට තීරණය කර ගත්හ. 1526 දී ස්පයර්ස්හි පැවැති ධර්මාධිකරණය විසින් එක් එක් ජනපදයට ආගමික කටයුතුවලදී තමන් අභිමතාර්ථය පරිදි ක්‍රියා කිරීමට අවසර දුන්නේය. මෙම වරප්‍රසාදය ලබාදීමට හේතු කාරක වූ අනතුරු පහවයාමත් සමගම තවත් ධර්මාධිකරණයක් පැවැත්වීමට රජතුමා තීරණය කළේය. එම සැසිය 1529 දී ස්පයර්ස්ර්හිදී පැවැත්විණ. දුර්ලබ්ධිය දේශයෙන් අතුගා දැමීම රජතුමාගේ අභිප්‍රාය විය. ප්‍රතිසංස්කරණයට විරුද්ධ පාර්ශවයක් ලෙස නැගී සිටිමින් තමාට සහාය ලබාදෙන ලෙස රජතුමා කුමාරවරුන් සාමකාමී ලෙස පෙළඹවීය. ඔවුන් එයට එකඟ වන්නේ වැතිනම් කඩුවේ බලයට අවස්ථාව ලබාදෙන බවට රජතුමා තර්ජනය කළේය.GrHSin 215.3

    පාප්වාදීහු ප්‍රීතියෙන් උද්දාමයට පත් වුහ. ඔවුහු මහත් පිරිසක් පිරිවරාගෙන ස්පයර්ස් වෙත පැමිණියෝය. තමත් ප්‍රතිසංස්කාරකයන්ට එක හෙළාම ද්වේෂය පල කරන බව ඔවුහු විවෘතව ප්‍රකාශ කර සිටියහ. ඔවුන්ට අනුග්‍රහය දැක්වූ අයටද එම ද්වේෂයම එල්ල විය. මෙලැන්ක්තන් මෙසේ පැවසීය. “මුළු ලෝකයේම ශාපය බවට අපි පත්ව සිටින්නෙමු. අතුගා දමන්නාවූ දූවිලි ලෙස අපට සලකනු ලැබේ. නමුත් තමන් වහන්සේගේ අසරණ දරුවන් දෙස දෙවියන්වහන්සේගේ බැල්ම යොමු වී උන්වහන්සේ ඔවුන්ට ආරක්ෂා කරනවා ඇත.” (D. Aubigne, b. 13, Ch. 5). ධර්මාධිකරණ නඩු විභාගයට පැමිණ සිටි ආගමික කුමාරවරුන්ට තම නිවෙස්හිදී වුවද ශුභාරංචිය දේශනා කිරීමට අවසර නොවීය. එසේ වුවද, ස්පයර්ස්හි ජනතාව දේව වචනය උදෙසා පිපාසාවෙන් සිටියෝය. තහනමක් පැවැතියද, සැක්සන්හි ආදිපාදවරයාගේ නමස්කාර ගෘහයෙහි පැවැත්වු නමස්කාර මෙහෙයන්ට සහභාගී වීමට දහස් ගණනින් ජනතාව රොක් වුහ.GrHSin 216.1

    මෙයින් අර්බුදය උග්‍ර විය. ජනතාවට හෘදය සාක්ෂිය අනුව ක්‍රියා කිරීමේ නිදහස ලබාදීම නිසා මෙවන් කලබැගෑනියක් ඇති වී තිබෙන බැවින් ඒ නිදහස ඉවත් කිරීමට රජතුමා නියෝග කළේය. රජතුමාගේ මෙම ක්‍රියාව දහම්වාදී කිතුණුවන්ගේ උදහස පුබුදුවාලීය. එක්කෙනෙක් මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය. “ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් කායඵස්ගේ සහ පිලාත්ගේ දෑත්වලට හසු වී සිටින සේක.” රෝමානුවාදීහු තවත් සාහාසික වන්නට වූහ. අවිචාර බුද්ධියෙන් තම මතයෙහිම එල්බ සිටි පාප් සමයවාදීයෙක් මෙසේ කීවේය. “තුර්කි ජනතාව ලූතර්වරුන්ට වඩා හොඳයි. තුර්කිවාදීහු නිරාහාර දවස් සමරති. ලූතර්වරු ඒවා කඩකරති. දෙවියන්වහන්සේට ශුද්ධ ලියවිලි සහ සභාවෙන් පැරණි වැරදි අතර තෝරා ගැනීමට අපට අවස්ථාවක් දෙන්නේ නම් අප විසින් දේව වචනය ප්‍රතික්ෂේප කළ යුතුය.” ඒ අතර මෙලැන්ක්තන් මෙසේ පැවසීය. “සම්පූර්ණ බල මණ්ඩලයට රැස්වන්නා වූ සෑම දවසකදීම ශුභාරංචිය පතුරුවන්නාවූ අපට ෆේබර් අලුත් ගලක් එල්ල කරන්නේය.”(D. Aubigne, b. 13, Ch. 5).GrHSin 216.2

    ආගමික නිදහස නීතියෙන් ස්ථාපිත කර තිබුණේය. මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධව නැගී සිටිමට දහම් ප්‍රචාරක ජනපද තීරණය කර ගත්හ. වර්ම්ස්හිදී දෙන ලද තහනම් නීතිය නිසා ලූතර්ට ස්පයර්ස්හි අධිකරණයට සහභාගී වීමට වරම් ලැබුණේ නැ. එහෙත් ඔහුගේ ස්ථානය පිරවීමට ඔහුගේ සහායක සේවකයන් සමග කුමාරවරුද ඉදිරිපත්ව සිටියෝය. මෙම හදිසි අවස්ථාවේදී තමන්වහන්සේගේ කර්තව්‍යය රැගගැනීමට දෙවියන්වහන්සේ මෙම කුමාරවරුන් ඉදිරියට ගෙනැවිත් තිබූ සේක. මෙම අවවස්ථාව වන විට ලූතර්ගේ රැකවලා වූ සැක්සනියේ ෆ්‍රෙඩ්රික් ජීවතුන් අතර සිටියේ නැත. ෆ්‍රෙඩ්රික්ගේ තනතුරට පත් වූ ඔහුගේ සහෝදරයා වූ සැක්සනියේ ආදිපාදවරයා වූ ජෝන්, ප්‍රතිසංස්කරණය සාදරයෙන් පිළිගත්තේය. සාමය අගය ක හෙතෙම ඇදහිල්ල සම්බන්ධ කර්තව්‍යයන්හිදී මහත් ධෛර්යයකින් යුතුව ක්‍රියා කළේය. ඒ සඳහා ඔහු මහත් උනන්දුවකින් යුතුව ක්‍රියා කළේය.GrHSin 217.1

    පුනරුදය පිළිගත් සෑම ජනපදයක්ම රෝමානු ආධිපත්‍යය කොන්දේසි විරහිතව , යටත් විය යුතු යයි, රෝමානු පූජකයෝ ඉල්ලා සිටියෝය. එහෙත් තමන්ට නීතියෙන් ලබාදී තිබූ ආගමික නිදහස තමන්ට හිමි විය යුතු යයි, ප්‍රතිසංස්කාරකයෝ කියා සිටියෝය. මහත් ප්‍රීතියෙන් යුතුව දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් ජනපද නැවත වරක් තමා රෝම ආධිපත්‍යයට යටත් කර ගැනීමට ඇය දරන්නා වූ වෑයම පිළිගැනීමට කිසිසේත් එකඟ නොවූහ.GrHSin 217.2

    මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මෙහිදී එකඟතාවක් ඇති විය. මෙතෙක් පුනරුද දහම් ස්ථාපිතව නැති ජනපදයන්හි වර්ම්ස්හි නඩු නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු යයි තීරණය විය. ඒ අතරම මෙවන් තීරණයක්ද සම්මත කරගන්නා ලදී. යම් ජනපදයක බැතිමතුන් ප්‍රතිසංස්කරණ මාර්ගයට යොමු නොවී, තිබේ නම්, කැරැල්ලකට හෝ අනතුරුවලට මුහුණ නොදී ප්‍රතිසංස්කරණය තුළ අනුගත වීමට නොහැකි වන්නේ නම්, එම ස්ථානයන්හිදී ඔවුන් විසින් අලුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට වෑයම් නොකළ යුතුය, විවාදයකට තුඩු දෙන කිසිම ඉගැන්වීමක් නොකළ යුතුය, සත් ප්‍රසාද පූජා මෙහෙයට විරුද්ධ නොවිය යුතුය, කිසිම රෝමානු කතෝලික බැතිමතෙකුට ලූතරන් දහම් වැළඳ ගැනීමට ඉඩ නොදිය යුතුයයි පවසන ලදී.” (D. Aubigne, b. 13, Ch. 5). ධර්මාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ මෙම නියෝගය පාප්වාදී පූජකයන්ගේ සහ රෝම බලධරයන්ගේ මහත් සතුටට හේතු විය.GrHSin 217.3

    මෙම නියෝගය ක්‍රියාත්මක වී නම්, “ප්‍රතිසංස්කරණය ඒ වන විට ඇතුළු නොවී තිබුණා වූ ස්ථානයන්හි එය ස්ථාපිත කරගැනීමේ හැකියාවක් නොවීය. ඒ අතරම එහි පහස ලැබූ ස්ථානයන්හි එය ස්ථීරසාර පදනමක් මත ස්ථාපිත කරගැනීමේ හැකියාවද නොවීය. එතැන් පටන් සත්‍යය වෙතට හැරීමට කිසිවකුට අවසරයක් නොමැති බව පවසන ලදී. කථා කිරීමේ නිදහසටද තහංචි වැටී තිබුණේය. සමයානුකූල හැරීමකට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. මෙම තහංචි සහ සීමා නිගමනයට වහා යටත්විය යුතු යයි, ප්‍රතිසංස්කරණයේ හිතවතුන්ට නියම විය. ලෝකයේ බලාපොරොත්තු බොඳ වී යන බවක් පෙනී ගියේය. පූර්වයෙහි සිදුවූ අක්‍රමිකතා නැවතවරක් ක්‍රියාත්මක කිරීමට රෝමානු බල අධිකාරිය නැවත ස්ථාපිත වීම මගින් පණ ලබන්නේය. දුර්ලබ්ධික ඉගැන්විම් සහ මතභේද මගින් දැඩි සේ කම්පනයකට මුහුණ දී ඇති ප්‍රතිසංස්කාරක ව්‍යාපෘතිය සහමුලින්ම විනාශ කර දැමීමට රෝමානු සමය නැවත වරක් ක්‍රියාත්මක වෙනවා ඇතැයි බියක් පැවතුණි.”(D. Aubigne, b. 13, Ch. 5).GrHSin 218.1

    සාකච්ඡා කිරීම සඳහා දහම් ප්‍රචාරක කණ්ඩායම එක් රැස් වූ විට ඔවුහු කලකරීමෙන් යුතුව එකිනෙකාගේ මුහුණු දෙස බැලූහ. “අප විසින් කුමක් කළ යුතුද?යි” ඔවුහු ඔවුනොවුන්ගෙන් විමසූහ. ලෝකය උදෙසා වූ මහත් ක්‍රියාවේදයන් කිහිපයක් අනතුරට මුහුණ පා තිබුණේය. “ප්‍රතිසංස්කරණයේ නායකයෝ යටත් වී මෙම නියෝගය පිළිගත යුතුද? ඉතා ප්‍රබල ව්‍යාපෘතියක් වූ ප්‍රතිසංස්කරණය මෙම අර්බුදකාරී සංසිද්ධියේදී පසුවෙන්ම වැරදි මාර්ගයකට පිවිසීමේ හැකියාව පැවතුණි! යටත් වීමට නම් තවත් කොපමණ බොරු හේතු සහ යුක්ති සහගත කාරණා දැක්වීමට පුළුවන්කමක් තිබුණේද? ලූතර් ගේ දහම් පිළිගත් කුමාරවරුන්ට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ස්ථාපිත කර තිබුණේය. වර්තමාන නියෝගය නීතිගත වීමට පෙර ප්‍රතිසංස්කරණයේ දහම් පිළිගෙන තිබූ අයටද, මෙම නිදහස ස්ථාපිත කර තිබුණේය. මෙයින් ඔවුන් සෑහීමට පත්විය යුතුද? මෙම යටත් වීම නිසා උවදුරු කොපමණ ගණනාවක් වළක්වවා ගත හැකිවේද? රෝමානුවන්ගේ නියමයට විරුද්ධ වීමෙන් ඔවුන් නොදන්නාවූ උපද්‍රව සහ ගැටුම් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක විය හැකිද! අනාගතයේදී කොපමණ අවස්ථාවන් උදා විය හැකිද? අපි සාමය වැළඳ ගනිමු. රෝමය පිළිගන්නාවූ ඔලිව් අත් වැළඳ ගනිමු. එමගින් ජර්මනියේ තුවාල වසා දමමු. මෙවන් තර්ක කිරීම් මගින් ප්‍රතිසංස්කාරකයන්ට තමන් ගත් ක්‍රමවේදය සාධාරණීය ලෙස සැලකීමට පුළුවන්කම තිබුණි. එහෙත් එම ක්‍රමවේදය නිසා වැඩි කලක් යෑමට පෙර මෙම ව්‍යාපාරය පරාජයට පත්වීමේ හැකියාව පැවතුණි.GrHSin 218.2

    “මෙම එකඟතා සැලැස්ම පදනම්ව තිබූ ප්‍රතිපත්තියට ඔවුහු ඇදහිල්ලෙන් යුතුව තම කැමැත්ත දුන්නෝය. එකී පදනම වූ ප්‍රතිපත්තිය කුමක්ද? හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් නම්මවා ගෙන නිදහස් සහ සාධාරණ විභාගයක් පැවැත්වීම තහනම් කිරීමට රෝමයට අයිතියක් තිබෙන බවය. ඔවුන්ටත් ඔවුන්ගේ සහෝදර ප්‍රොතැස්තන්ත බැතිමතුන්ටත් ආගමික නිදහස භුක්ති විඳීමට අවස්ථාව උදා වේවිද? එය සාධාරණ අයිතියක් නොව එකඟතා ගිවිසුමෙහි සඳහන් කර ඇති ආකාරයට යටත් වූ වරප්‍රසාදයක් පමණක් විය. මෙම එකඟතා සැලැස්මට අත්සන් නොතැබූ සැමට මෙම අධිකාරි බලයට යටත් වීමට සිදුවිය. ඒ අනුව හෘදය සාක්ෂියකට තැනක් හිමි නොවීය. රෝමය නොවරදින සුළු විනිශ්චයකාරයා විය. ඇයට අනිවාර්යෙන්ම කීකරු විය යුතුය. මෙම යෝජිත සැලැස්මට එකඟ වීම මගින් පිළිගනු ලබන්නේ ආගමික නිදහස ක්‍රියාත්මක වන්නාවූ බල ප්‍රදේශය වන්නේ ප්‍රතිසංස්කරණය පැවති සැක්සනියට පමණක් බවය. කිතුණු රාජ්‍යයේ අනෙකුත් පළාත්වල නිදහස් විභාගයක් පැවැත්වීමත් ප්‍රොතැස්තන්ත ඇදහිල්ල පිළිගැනීමත් බරපතල අපරාධයක් විය. එම වරදට දඬුවම වන්නේ බිම් ගෙවල සිරකිරීම හෝ කණුවලට බැඳ ගිනි තැබීමය. ආගමික නිදහස යම් ප්‍රදේශකයට පමණක් සීමා කිරීමට රෝමානුවක්ට හැකියාවක් තිබේද? පුනරුද දහමට බැඳෙන්නාව වූ අන්තිම තැනැත්තා ඇතුළු කරගෙන හමාර යයි ඔවුන්ට ප්‍රකාශකරන්නට හැකිවේද? රෝමය විසින් හිමිකම් කී සියල්ල ඇගේ රාජධානියෙහි සින්නක්කරය වියයුතුද? මෙම සැලැස්ම අනුව ක්‍රියා කිරීමේදී රෝමානු පෙදෙස්වල ජීවත් වන්නාවූ දහස් ගණනින් වූ බැතිමතුන්ගේ සංහාර ගැන ප්‍රතිසංස්කාරකයන් වරදකරුවන් නොවේ යයි තීරණය කළ හැකිද? මෙය සාපරාධී පාවාදීමකි. මෙම අති උදාර මොහොතේදී සිදුවන්නේ ශුභාරංචියේත් ක්‍රිස්තියානි ලෝකයේත් නිදහස පාවා දීමකි.” (Wylie, b. 9, Ch. 15). එවැනි පාවාදීමක් නොකර “තමන්ගේ ජනපදත්, තමන්ගේ ඔටුනුත්, තමන්ගේ ජීවිතත්, තමන්ගේ සියල්ලත් පූජා කිරීම” යහපති යයි කුමාරවරු ගිවිස ගන්නාව ඇද්ද?GrHSin 219.1

    මේ අතර ජනපදවල කුමාරවරු එකඟතාවකට පැමිණියෝය. “අපි මේ ආඥාව ප්‍රතික්ෂේප කරමු. හෘදය සාක්ෂිය හා බැඳි කරුණුවලදී බහුජන මතය බලය බවට පත්වන්නේ නැත.” ඒඅතර නියෝජ්‍ය බලධරයෝ මෙසේ ප්‍රකාශ කළෝය. “අධිරාජ්‍යය තුළ අප භුක්ති විඳින්නාවූ නිදහස ලබා දුන් ආඥාවට අපි ණයගැති වෙමු. එය අවලංගු කළහොත් කරදර, භේදවීම් සහ බෙදීම් මුළු ජර්මනියම ගිලගන්නවා ඇත. සම්පූර්ණ ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වෙන තෙක් ආගමික නිදහස ආරක්ෂා කිරීමට වඩා වැඩි යමක් කිරීමට ධර්මාධිකරණයට බලතල හිමිව නැත.”(D. Aubigne, b. 13, Ch. 5). හෘදය සාක්ෂියෙහි නිදහස රැකීම රජයේ වගකීම වන්නේය. ආගම පිළිබඳ කාරණාවලදී රජයට යෙදවිය හැකි උපරිම අධිකාරී බලය එපමණකි. ආගම ඇදහීම පාලනය කිරීමට හෝ ඇදහිලි ක්‍රමවේදයක් බලෙන් ක්‍රියාත්මක කිරීමට යම් රාජ්‍යතාන්ත්‍රික බලවේගයක් ක්‍රියා කරන්නේ නම්, එය වනාහී එකී නිදහසෙහි අයිතිය රැකගැනීමට ශුභාරංචි ප්‍රචාරක කිතුණුවන් උදාර ලෙස කළ අරගලය පාවාදීමකි. පූජා කිරීමකි.GrHSin 219.2

    මෙම “දරදඬු හිතුවක්කාරකම” මුලිනුපුටා දැමීමට පාප් සමයවාදීහු ස්ථිර අධිෂ්ඨානයක පිහිටා සිටියෝය. ප්‍රතිසංස්කාරකයන් අතර බෙදීමක් ඇති කිරීමෙන් ඔවුහු මේ ක්‍රියා පිළිවෙල ආරම්භ කළෝය. එසේම, තමන් ප්‍රතිසංස්කරණයේ සාක්ෂිකයන් යයි එළිපිටම ප්‍රකාශ නොකළ අයව බිය ගැන්වීමට පාප් සමයවාදීහු ක්‍රියා කළෝය. කවර පක්ෂයකට හෝ ගැති නොවී නිදහස්ව ක්‍රියා කළ නගරවැසි නියෝජිතයන්ට ධර්මාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් විය. ඉදිරිපත් කර ඇති යෝජිත සැලසුම් ගිවිසුම් ඔවුන් පිළිගන්වාදැයි ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදෙන ලදී. ඒ සඳහා කල් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ආයාචනයක් ඉදරිපත් විය එය නිෂ්ප්‍රභා කරන ලදී. පිරික්සීමට යොමු කරනු ලැබූ විට ඔවුන්ගෙන් අඩක් පමණ ප්‍රතිසංස්කාරක ව්‍යාපෘතියේ පක්ෂය ගත්තෝය. හෘදය සාක්ෂියේ නිදහස පාවාදීමට කැමැත්ත පල නොකළ අය, නිදහස් තීරණ ගැනීමේ අයිතිය පාවාදීමට එකඟ නොවූ අය, මනාව දැන සිටි කාරණයක් නම් අනාගතයේ විවේචනය කිරීමට, වරදට පත්කරනු ලැබීමට සහ වධහිංසා පමුණුවනු ලැබීමට ඔවුන් ඉලක්ක වීම නියත බවය. එක් නියෝජිතයෙක් මෙසේ පැවසීය. “අපි දෙවියන්වහන්සේගේ වචනය එපා කරන්න ඕනෑ. නැතිනම් අපේ ජීවිත ගින්නට බිලි දෙන්න ඕනෑ.” (D. Aubigne, b. 13, Ch. 5).GrHSin 220.1

    මෙම ආඥාව පිළිගැනීමට සහ එහි සුරක්ෂිත භාවය රැක ගැනීමට නම් මෙම කුමාරවරුන් ඒ සඳහා එකඟ කරවා ගත යුතුය. එසේ නොවන්නේ නම් රාජ්‍යය තුළ විනාශකාරී බෙදීම් හට ගන්නවා නියතයි. ධර්මාධිකරණයෙහි අග රජතුමගේ නියොජිතයා වශයෙන් පෙනී සිටි ෆර්ඩිනන්ඩ් රජතුමා දුටුවේය. කුමාරවරුන්ට පෙරැත්ත කරමින් එකඟවීමක් සඳහා ඔවුන් පොළඹවා ගැනීමේ ක්‍රම සූත්‍රය හෙතෙම මනා ලෙස හැසිරවීය. ඔවුන් තම මතයට එකඟ කර ගැනීමට බලකිරීම කළේ නම් ඔවුන්ගේ අධිෂ්ඨානය තදවී තමන්ට අවාසි වන බව ඔහුගේ ආකල්පය විය. මෙම ආඥාව පිළිගන්නා ලෙස ඔහු කුමාරවරුන්ට ආයාචනා කළේය. එසේ කරන්නේ නම් අග රජතුමා ඔවුන් ගැන අතිශයින් පැහැදෙනවා ඇතැයි ඔහු කුමාරවරුන් දිරි ගැන්වීය. නමුත් භූමික රජවරුන්ගේ බල අධිකාරියට වඩා ඉහළ අධිකාරී බලයක් ඇති බව පිළිගත් මෙම විශ්වාසවන්ත මනුෂ්‍යයෝ මෙසේ ප්‍රකාශ කළෝය. “දෙවියන්වහන්සේගේ ගෞරවයත් සාමයත් පවත්වා ගෙන යාමට උපකාර වන සෑම දෙයකදීම අපි රජතුමාට කීකරු වන්නෙමු.” (D’ Aubigne, b. 13, Ch. 5). විවෘත අධිකරණයේදී ආදිපාද තුමා සහ ඔහුගේ මිතුරන් ඇමතූ රජතුමා මෙවන් නිවේදනයක් නිකුත් කළේය. “මෙම ආඥාව රාජකීය නියෝගයක් ලෙසින් නිකුත් කිරීමට දැන් සැලසුම් කරගෙන යනවා. එම නිසා ඔවුන්ට ඇති එකම මාර්ගය වන්නේ බහුතරයකගේ තීරණයට යටත් වීමයි.” මෙම ප්‍රකාශය කළ රජතුමා අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියේය. ප්‍රතිසංස්කාරකයන්ට පිළිතුරු සැපයීමට කිසිම අවස්ථාවක් ඔහු ලබා නොදුන්නේය. රජතුමාට ආපසු එන්නැයි කියමින් නියෝජිත පිරිසක් යවන ලදුව රජතුමා එම ඉල්ලීම ඉවතලමින් මෙසේ ප්‍රකාශ කළේය. “එම කාරණය පිළිබඳව තීරණයක් කර හමාරය. දැන් ඉතිරිව ඇත්තේ යටත්වීම පමණකි.” (D. Aubigne, b. 13, Ch. 5).GrHSin 220.2

    මානව ධර්මතාවන්ට සහ ඉල්ලීම්වලට වඩා ශුද්ධ වූ ලියවිලිවලට ගැතිවීමට කිතුණු කුමාරවරුන් අනිවාර්යයෙන්ම තීරණය ගන්නා බව රාජකීය කණ්ඩායම දැන සිටියේය. යම්තැනක මෙම ප්‍රඥප්තිය පිළිගනු ලබන්නේද, එතැන රෝමානුවන් පරාජය ලබන බව ඔවුහු දැන සිටියෝය. අගරජතුමා සහ පාප් තුමා බලවත් බවත් ප්‍රතිසංස්කාරකයන් දුර්වල බවත් ඔවුන්ගේ නිගමනය විය. මිනිස් ආධාර මත පමණක් ගැති වී සිටීමට ඔවුන් බලාපොරොත්තු වී නම්, පාප් නියෝජිතයන් සිතූ ලෙස ඔවුන් බලාපොරොත්තු වී නම්, පාප් නියෝජිතයන් සිතූ ලෙස ඔවුන් බල රහිතව යටත් වෙනවා නොඅනුමානය. නමුත් සංඛ්‍යාවෙන් අඩු වුවද, රෝමය සමඟ අනුගත නොවූවද ඔවුන් සතුව විශාල බලයක් තිබුණේය. “ධර්මාධිකරණයේ වාර්තාවෙන් ඉවතට හැරී ඔවුහු දෙවියන්වහන්සේගේ වචනය දෙසට යොමුවූහ. චාල්ස් රජතුමාගෙන් ඉවතට හැරී රජුන්ගේ රජද, ස්වාමීන්ද්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඔවුහු ඔවුන්ගේ අභියාචනය ඉදිරිපත් කළෝය. (D. Aubigne, b. 13, Ch. 6).GrHSin 221.1

    තමන්ගේ හෘදයාංගම අධිෂ්ඨානයට ඇහුම්කන් දීමට ෆර්ඩිනන්ඩ් රජතුමා ප්‍රතික්ෂේප කළ නිසා කුමාරවරු මෙවන් තීරණයක් ගත්තෝය. රජතුමා නොහැතිව වුවද තම අභියාචනය ජාතික නියෝජිත මණ්ඩලය වෙත සීමාවකින් තොරව ඉදිරිපත් කිරීමට ඔවුහු ගිවිස ගත්හ. විධිමත් ප්‍රකාශන පත්‍රයක් සකසා ගත් ඔවුහු එය මෙසේ ධර්මාධිකරණයට ඉදිරිපත් කළෝය.GrHSin 221.2

    “අපගේ එකම ගැළවුම්කරුවාණන් ද, විමුක්තිදායකයාණන් ද රැකවලාණන්ද, එකම මැවුම්කාරයාණන්ද වන දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, මෙහි රැස්ව සිටින්නන් ඉදිරියෙහිද අප පිළිගන්වන්නාවූ අභියාචනයෙන් ඉල්ලා සිටින්නා වූ වග නම්, අප වෙත නිකුත් කර ඇති රාජකීය ආඥාවට අප සම්පූර්ණයෙන්ම එකඟ නොවන බව ඔබට දන්වා සිටීමය. ඉදිරි දවසකදී උන්වහන්සේ අප සැමගේ විනිශ්චයකාරයාණන් ලෙස නඩු විභාග කරන සේක. ඉදිරිපත් කර ඇති යෝජිත සැලැස්මෙහි දෙවියන්වහන්සේටත්, උන්වහන්සේගේ වචනයටත් යම්කිසි අයුරකින් විරුද්ධ වන කරුණුවලට අපත්, අපගේ ජනතාවත් එකඟ වන්නේ නැති බවත්, ඒවාට අනුමැති දෙන්නේ නැති බවත් යටහත්ව ඔබ වෙත දන්වා සිටිමු. එවැන්නක් අපගේ හෘදය සාක්ෂීන්වලට මෙන්ම අපගේ ආත්මවල ගැළවීමට ද බාධකයක් වනවා නොඅනුමානය.” (D. Aubigne, b. 13, Ch. 6).GrHSin 222.1

    “සර්වබලධාරී දෙවියන්වහන්සේ යම්කිසි මනුෂ්‍යයෙකුව උන්වහන්සේ පිළිබඳ දැනගැනීමකට කැඳවූ විට, ඔහු දෙවියන්වහන්සේව පිළිනොගෙන සිටය යුතු යයි පැවසීමට අපට නුපුළුවන. දෙවියන්වහන්සේගේ වචනය සමග ඒකඟත්වයකට පත්වන්නට බැරි නිත්‍ය දහමක් නැත්තේය ... වෙනත් දහමක් ඉගැන්වීම දෙවියන්වහන්සේ තහනම් කරන සේක. ශුද්ධ ලියවිලි පහදා දීමට හැකි ඒකම මාර්ගය වන්නේ ඒහි ඇති වෙනත් පැහැදිලි පද මගින්ය. කිතුණු බැතිමතෙකුට අවශ්‍ය සෑම දෙයක්ම මෙම ශුද්ධ පුස්තකය තුළ අන්තර්ගත තිබේ. ඒය තේරුම් ගැනීම පහසුය. අඳුර පළවා හැරීම ඒහි පරමාර්ථයයි. උන්වහන්සේගේ වචනය අන්තර්ගතව ඇත්තේ බයිබලයේ පමණකි. එකී වචන පරණ ගිවිසුමෙහි සහ අලුත් ගිවිසුමෙහි ඇතුළත්ව තිබේ. උන්වහන්සේගේ පරම පාරිශුද්ධ වූ වචනය පමණක් දේශනා කිරීමටත් , පවත්වාගෙන යෑමටත් දෙවියන්වහන්සේගේ කරුණා - අනුග්‍රහය යටතේ අපි තීරණය කරගෙන සිටින්නෙමු. ශුද්ධ බයිබලයෙහි අඩංගු කිසිම කරුණකට පටහැනි වූ කිසිවක් හෝ එයට එකතු කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු. දේව වචනය පමණක් සත්‍යතාව වන්නේය. සියලු ධර්මතාවන්ගේ සහ සියලු ජීවිතවල පැවැත්මේ පදනම සහ සාරධර්ම නීතිය බයිබලය පමණක් වන්නේය. එය අපට රවටන්නේ නැත. අපගේ බලාපොරොත්තු සුන් කරන්නේ නැත. දේව වචනය නමැති පදනම මත ගොඩ නගන්නා වූ යම් අයෙක් වේද, නරකාදියෙහි සෑම විරුද්ධ බලවේගයකට එරෙහිව නැගී සිටීමේ හැකියාව ඔහු සතු වන්නේය. දේව වචනයට විරුද්ධව අත ඔසවන්නාවූ සෑම ක්‍රියාවක්ම උන්වහන්සේගේ මුහුණ ඉදිරියෙහි බිඳ වැටෙනවා ඇත.GrHSin 222.2

    “මෙම කාරණය නිසා අප මත බලෙන් පටවන ලද මේ වියගහ අපි ප්‍රතික්ෂේප කරමු. ඒ අතරම, අපේ රජතුමා ක්‍රිස්තු භක්තික කුමාරයකු ලෙස අප ගැන ක්‍රියා කරනවා ඇතැයි බලාපොරොත්තු වෙමු. අනෙකුත් සියලුම දේවලට වඩා හෙතෙම දෙවියන්වහන්සේට ආදරය කරමින් ක්‍රියාකරනවා නම් රජතුමාට සහ ස්වාමිවරුන් වන ඔබතුමන්ටද අපගේ සෙනෙහසත්, කීකරුකමත් ලබාදීමට අප සූදානමින් සිටින බව දන්වා සිටීමට කැමැත්තෙමු. ඒය අපගේ සාධාරණ වූ ද, නීත්‍යනුකූලවූ ද යුතුකමයි.” (D. Aubigne, b. 13, Ch. 6).GrHSin 223.1

    ධර්මාධිකරණයේ සාමාජිකයන් තුළ මෙම වචන කරණකොටගෙන මහත් හැඟීම් සම්භාරයක් පුබුදුවනු ලැබීය. විරුද්ධත්වය පෑ කුමාරවරුන්ගේ එඩිතරකම ගැන බහුතරයක් විමතියටත්, භීතියටත් පත් වූහ. ඔවුන්ගේ අනාගතය කුණාටු සහිතව අස්ථිරව පැවති බවත් පෙනුණි. ආරවුල්, මතභේද, ගැටුම්, මෙන්ම ලේ හැලීම්ද වැළැක්විය නොහැකි බව පෙනුණි. නමුත් තමන්ගේ ව්‍යාපෘතියෙහි සාධාරණකම පිළිබඳව අචල විශ්වාසයක් තිබූ ප්‍රතිසංස්කාරකයෝ සර්ව බලධාරී ශ්‍රී හස්තයෙහි රැකවරණය මත විශ්වාසය රඳවමින් දිරිමත්ව ස්ථිරව තම ගමන ඉදිරියට පවත්වාගෙන ගියෝය.GrHSin 223.2

    මේ ප්‍රකාශ මගින් මේ කුමාරවරු දිව්‍යමය වූ දේවල් සම්බන්ධයෙන් සිවිල් බලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කළහ. “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.”යි ප්‍රොපේතවරුන් සහ අපොස්තුළුවරුන් සමග ඔවුහු එක හඬින් ප්‍රකාශ කළහ. සභාව දැක්වූ බලය එපා කරමින්, ඔවුන් ඉදිරිපත් කළාවූ නිවැරදි ප්‍රතිපත්තිය වූයේ මනුෂ්‍යයන්ගේ සියලු ඉගැන්වීම් දෙවියන්වහන්සේගේ වචනයට අනුකූලවිය යුතු බවය. මේ කාරණා ඉදිරිපත් කළා වූ කුමාරවරු මානුෂික උත්තම භාවයේ වියගහ එපා කර , සභාවේදී ද දේශනා කූඩුවේදීද ප්‍රකාශ කරනු ලැබූ දේව වචනයේ අති උතුම් තැනැන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව දැක්වූහ. හෘදය සාක්ෂියේ බලය රජයේ බලයට වඩා උසස් බවද, ශුද්ධ ලියවිල්ලේ බලය එහි දර්ශනය කළ හැකි සභාවට වඩා බලසම්පන්න බවද ඔවුහු දැක්වුහ. ක්‍රිස්තුස්වහන්සේගේ ඔටුන්න පාප්ගේද රජතුමාගේද ඔටුනුවලට වඩා උසස් බව මේ ප්‍රකාශය මගින් දක්වන ලදී. (D. Aubigne, b. 13, Ch. 6). සත්‍යතාව පිළිබඳ තමන්ගේ අධිෂ්ඨාන පූර්ව විශ්වාසය බාහිර බලපෑම්වලින් තොරව නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බව ඔවුහු කියා සිටියෝය. දේව වචනය ඉදිරිපත් කරන්නා වූ ඉගැන්වීම් විශ්වාස කරමින් ඒවාට කීකරු වනවා පමණක් නොව, එම දහම් වෙනත් අයට ඉගැන්වීමටද තමාට නිදහස තිබෙන බව, ඔවුහු ප්‍රකාශ කළෝය. එම ක්‍රියාදාමයෙහිදී පූජකවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ මැදිහත්වීම ඔවුහු තරයේ ප්‍රතික්ෂේප කළෝය. ආගමික නිදහසට වැට කඩොළු බැදීමට එරෙහිව වූ මේ ගාම්භීර සාක්ෂි දැරීම ස්පයර්ස්හි සිදුවූ කුමාරවරුන්ගේ විරෝධතාවෙන් ප්‍රදර්ශනය විය. එය තම හෘදය සාක්ෂියේ නියෝගයක් අනුව දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ අයිතිය පිළිගැනීමක් විය.GrHSin 223.3

    විරෝධතාව ප්‍රකාශ කරනු ලැබීය. එය දහස් ගණනින් වූ බැතිමතුන්ගේ මනස්වල කෙටුම්පත් කරන ලදී. එම ප්‍රකාශය කිසිම මනුෂ්‍යයෙකුට කටු ගා දැමිය නොහැකි ලෙස, මකා දැමිය නොහැකි ලෙස ස්වර්ගයේ පොත්වල සටහන් කරන ලදී. ශුභාරංචි ප්‍රකාශක ජර්මානු ජනපද‌ය මෙම විරෝධතා ප්‍රකාශනය තමන්ගේ ඇදහිල්ලේ ප්‍රකාශනය ලෙස පිළිගත්තෝය. අලුත් සහ වඩාත් යහපත් යුගයක පොරොන්දුවක උදාවක් ලෙස මෙම ප්‍රකාශනය වෙත බැතිමතුන්ගේ අවධානය යොමු විය. ස්පයර්ස්හි රැස්ව සිටි මේ කිතුණුවන් ඇමතූ එක් කුමාරයෙක් මෙසේ ප්‍රකාශ කළේය, “මෙවන් ප්‍රකාශනයක් ධෛර්යමත්ව නිදහස් ලෙස සහ බියෙන් තොරව ඉදිරිපත් කිරීමට කරුණා - අනුග්‍රහය ලබා දුන් සර්ව බලධාරී තැනැන්වහන්සේ, මෙම අචල ක්‍රිස්තියානි ස්ථිරතාවයෙහි ඉදිරියටත් පුරා උපකාර කරන සේක්වා.” (D. Aubigne, b. 13, Ch. 6).GrHSin 224.1

    ප්‍රතිසංස්කරණය විසින් මෙවන් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමෙන් පසුව ලෝකයේ අනුග්‍රහය අපේක්ෂාවෙන් විනිශ්චයකට බැසීම පමා කරනු ලැබුවේ නම්, එය දෙවියන්වහන්සේට මෙන්ම තමන්ටද බොරු කිරීමක් හා රැවටීමක් වන්නේය. ඒවැනි දෑ කිරීමෙන් තමන්ගේම විනාශයට දොරටු විවෘත කරගන්නට පුළුවන්කමක් තිබුණි. මතු පරම්පරාවන් සඳහා වැදගත් පාඩමක් මෙම උදාර ප්‍රතිසංස්කාරකයන්ගේ අත්දැකීමෙහි අන්තර්ගතය. දෙවියන්වහන්සේට විරුද්ධවත්, උන්වහන්සේගේ වචනයට එරෙහිවත් පවතින සාතන්ගේ ක්‍රියාදාම ක්‍රමයෙහි වෙනසක් සිදු වී නැක. දහසය වැනි සියවසෙහිදී මෙන්ම අදත් ශුද්ධ ලියවිලි තමන්ගේ මාර්ගෝපදේශකයා කරගනු ලබනවා දැකීමට සාතන් විරුද්ධය. ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු ධර්මතාවන්ගෙන් සහ ව්‍යවස්ථාවලින් මහත් සේ ඉවත්ව යාමක් අද අපට දැකගත හැකිය. ශ්‍රේෂ්ට ප්‍රොතැස්තන්ත ප්‍රඥප්තිය වෙතට නැවත හැරී ඒමෙහි අවශ්‍යතාවක් අද උදා වී ඇත. ඇදහිල්ලෙහි සහ වගකීමෙහි ඒකම පදනම ලෙස බයිබලය සහ බයිබලය පමණක් පිළිගැනීම අදත් වලංගුව පවතී. ආගමික නිදහස විනාශ කිරීමට හැකි සියල්ල කිරීමට සාතන් තවමත් ක්‍රියා කරයි. කුමන ක්‍රමයකින් හෝ ඒම කර්තව්‍යය ඉටු කර ගැනිමට හෙතෙම මහත් සේ වැර යොදා ක්‍රියා කරන්නේය. ස්පයර්ස්හිදී විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කළ අන්ත ක්‍රිස්තු බලවේගය, තමන්ගෙන්ම ගිලිහී ගිය ආධිපත්‍යය, නැවත වරක් දිනා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරතව සිටියි. ඒදා විරෝධතාව දැක්වීමේදී පෙන්නුම් කළ දෙවියන්වහන්සේගේ වචනය උදෙසා වූ අචල විශ්වාසය වර්තමාන ප්‍රතිසංස්කරණයට ඇත්තා වූ ඒකම බලාපොරොත්තුවය.GrHSin 224.2

    ප්‍රොතැස්තන්තවරුන්ට එරෙහිව වූ අනතුරු සේයා තැනින් තැන පෙනෙන්නට විය. එසේම, විශ්වාසවන්තකයන් රැකගැනීමට දිව්‍ය හස්තය ක්‍රියාත්මක වන ආකාරයද දැක ගැනීමට හැකි විය දේව මැදිහත් වීම ගැන අපූර්ව සංසිද්ධියක් වාර්තා වී ඇත මෙම කාලයේදී එක් දිනක් “මෙලැන්ක්තන් තම මිත්‍රයකු වු සයිමන් ග්‍රිනේයුස් සමග ඉක්මනින්ම ස්පයර්ස්හි වීදි දිගේ රයින් නදී තෙර බලා ගමන් කරමින් සිටියේය. නදියෙන් ඒගොඩට ග්‍රිනේයුස්ව යැවීම මෙලැන්ක්තන්ගේ අභිප්‍රාය විය. ඒවැනි හදිස්සියක් දැක්වීම ගැන ග්‍රිනේයුස් පුදුමයට පත්විය. මෙලැන්ක්තන් ඔහු‌ට මෙසේ පැවසුවේය. “ගාම්භීර පෙනුමැති වයසක මිනිසෙක් මා වෙත පැමිණියේය. මම ඔහු හඳුනන්නේ නැන. ඔහු මට කථා කළේය. ඉක්මන් කරන්න, තව ස්වල්ප වේලාවකින් අධිකරණ නිලධාරීහු මෙතැනට එනවා. ෆර්ඩිනන්ඩ්ගේ අණින් ග්‍රිනේයුස්ව අත් අඩංගුවට ගැනීමට ඔවුන් මෙහේ එනවා!” යි ඔහු තමාට කීවේ යයි මෙලැන්ක්තන් පැවසුවේය. “රයින් නදියෙහි ඉවුර මත බලා සිටි මෙලැන්ක්තන් තම මිතුරා සතුරු හස්තයෙන් බේරී ගඟින් එතෙරවීම ගැන දෙවියන්වහන්සේට ස්තුති කළේය. “අහිංසකයින්ගේ ලේ පිපාසාවෙන් පෙළෙන්නාවූ අයගේ කුරිරු දෑත්වලින් මාගේ මිතුරා බේරාගනු ලැබුවේය.” යි ඔහු පැවසුවේය.GrHSin 225.1

    ග්‍රිනේයුස් පාප් සමයේ සිටියාවූ මහාචාර්යවරයකු සමඟ කිට්ටුවර මිත්‍රත්වයකින් සිටියේය. නමුත් ඔහුගේ එක් දේශනාවක් ගැන මහත් පුදුමයට පත් වූ ග්‍රිනේයුස් මේ තැනැත්තා වෙත ගොස්, තවදුරටත් සත්‍යයට විරුද්ධව සටන් නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. පාප්ගේ මේ සේවකයා තමාගේ කෝපය සඟවා ගත් නමුත්, වහාම රජු වෙත ගොස් ග්‍රිනේයුස් සිර භාරයට ගැනීමට අවසර ලබාගත්තේය. ආපසු තම නිවෙසට ගිය විට මෙලැන්ක්තන්ට දැනගන්ට ලැබුණෙ ඔහු නිවෙසින් ගියාට පසුව, ග්‍රිනේයුස්ව සොයන පිණිස නිලධාරීන් තමාගේ නිවෙසට පැමිණ, ගෙයි ඉහළ සිට පහළ දක්වා පිරික්සමින් ඔවුහු සෙවූ බවය. ස්වාමීන්වහන්සේ තමාට අවවාද කරන පිණිස තමන්වහන්සේගේ දූතයෙකු ඒවා ඔහුගේ මිත්‍රයා බේරා දුන් බව මෙලැක්ක්තන් විශ්වාස කළේය. (D. Aubigne, b. 13, Ch. 6).GrHSin 225.2

    භූමියේ බලගතු පුද්ගලයන් ඉදිරියෙහි ප්‍රතිසංස්කරණය ප්‍රසිද්ධියට පත්කරනු ලැබීමේ කාලය උදා වී තිබුණේය. කුමාරවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දීමට ෆර්ඩිනන්ඩ් රජතුමා අකමැති වී තිබුණි. එහෙත් ඔවුන්ගේ තවත් ඉල්ලීමක් අනුව තතු පැහැදිළි කරදීමට අවස්ථාවක් රාජ සභා මණ්ලයෙන් ලබාදෙන ලදී. ඒම මණ්ඩලයට මහ රජතුමාද සභාවේ සහ රාජ්‍යයේ වැදගත් නිලධාරීන්ද සහභාගීව සිටියෝය. රාජ්‍යය තුළ බෙදීම් ඇති කළ ප්‍රශ්නය සන්සුන් කිරීමට රජතුමා අලුත් ධර්මාධිකරණ සැසි වාරයක් කැඳෙව්වේය. මෙය ස්පයර්ස්හි පැවැති අධිකරණ විභාගයෙන් වසරකට පසුව ඕගස්බ්ග්හිදී පවත්වනු ලබන බවත් තමාම එහි මුලසුන දරන බවත් රජතුමා ප්‍රකාශ කළේය. ප්‍රොතෙස්තන්ත නායකයන්ටද සැසියට සහභාගී වන්නැයි ඇරයුමක් ලැබුණේය.GrHSin 226.1

    ප්‍රතිසංස්කරණයට ඉමහත් අනතුරු ඇතිවීම පිළිබඳව තර්ජනයක් ඇතිවිය. එහෙත් ඒහි අනුගාමිකයෝ තමාගේ ඉදිරි වැඩකටයුතු දෙවියන්වහන්සේගේ හස්තයටම කැප කොට ශුභාරංචියට නොසැලී බැඳි සිටින බවට පොරොන්දු වූහ. එම අධිකරණය වෙත යන්නට ඒපා යයි සැක්සනියේ ආදිපාදවරයාගේ අනුශාසකයෝ ඔහුගෙන් ඉල්ලා සිටියෝය. කුමාරයන්ට අධිකරණය ඉදිරියට පැමිණෙන ලෙස අගරජතුමා නියෝග කර ඇත්තේ ඔවුන්ව උගුලකට හසුකර ගැනීමට යයිද ආදිපාද අනුශාසකයෝ තවදුරටත් කියා සිටියෝය. “බලවත් සතුරකුගේ ආධිපත්‍යය පවතින නගරයට ගොස් එහි බිත්ති හතරකට කොටු වී සිටීමට යෑම සියල්ල පරදුවට තැබීමක් නොවේද”යි ඔවුහු විචාළෝය. ඒ අතර තවත් අය මෙසේද පැවසුවෝය. “කුමාරවරුන් ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරත්වා. දෙවියන්වහන්සේගේ කර්තව්‍යය ආරක්ෂා සහිත වෙනවා නියතය.” “අපගේ දෙවියන්වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ අපව අතහැර දමන්නේ නැත”යි ලූතර් පැවසුවේය. ආදිපාදවරයා තම පරිවාර සෙනඟ සමග ඔගස්බර්ග් කරා ගමන ආරම්භ කළේය. ඔහුට එල්ල විය හැකි තර්ජනාත්මක අනතුරු ගැන සැවොම දැන සිටියෝය. බොහෝ අය ඔහු සමග ඉදිරියට ගියේ ශෝකබර වතින් සහ දුක්බර හදවතිනි. එම කණ්ඩායම සමග ලූතර් ද කෝබර්ග් තෙක් ගමන් කළේය. ඔවුනගේ කම්පනයට පත් වූ ඇදහිල්ල දිරිගන්වමින් ඔහු ගීතයක් ගායනා කළේය. ගමන යන අතරතුරේ දී ඔහු මෙම ගීතය රචනා කළේය. “අපගේ දෙවියන්වහන්සේ ඉතා ශක්තිමත් බලකොටුවක් වන සේක.” මෙම ආනුභාව සම්පන්න ගීතය තුළින් ප්‍රමුත වූ සෙනඟගේ බර හදවත් සැහැල්ලු විය. ඔවුන්ගේ සිත් තුළ පැවති සංකල්ප අතහැර දමා ඔවුහු දිරිමත්ව ඉදිරියට ගමන් කළෝය.GrHSin 226.2

    ප්‍රතිසංස්කරණයේ කුමාරවරු තමන්ගේ ඉගැන්වීම් අඩංගු ඇදහිලි පිළිබඳ ප්‍රකාශනයක් ක්‍රමානුකූලව සකස් කර, එම ඉගැන්වීම බයිබල් පද මගින් තහවුරු කොට ධර්මාධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ගත්තෝය. එම ප්‍රකාශනය සකස් කිරීම ලූතර්ට, මෙලැන්ක්තන්ට සහ ඔවුන්ගේ සහායකයන්ට පවරන ලදී. මෙම ප්‍රකාශනය තමන්ගේ ඇදහිල්ල උච්ඡාරණය කිරීමක් ලෙස ප්‍රොතැස්තන්ත කිතුණුවෝ පිළිගත්හ. එම ලියවිල්ලට තමන්ගේ අත්සන් යෙදීමට ඔවුහු රැස්වූවෝය. ඒය ඉතා ගරු ගාම්භීර වූ අවස්ථාවක් විය. තමන්ගේ මේ උදාර සේවයට දේශපාලනයේ ප්‍රශ්න මගින් වියවුලක් ඇති නොවීම ඔවුන්ගේ ආශාව විය. දෙවියන්වහන්සේගේ වචනයෙන් නික්ම එන්නාවූ බලපෑමට වඩා වෙනත් කිසිම බලපෑමක් ප්‍රතිසංස්කරණයේ විශ්වාසයට ඇතුළත් නොවිය යුතු යයි ඔවුහු කල්පනා කළහ. ඇදහිලි ප්‍රකාශනයට අත්සන් කිරීමට කුමාරවරුන් ඉදිරියට පැමිණෙත්ම මෙලැන්ක්තන් එතැනට පැමිණ ඔවුන්ට මෙසේ පැවසුවේය. “මෙම ඇදහිලි විශ්වාසයන් යෝජනා කිරීම දේවධර්මාචාර්යවරුන් සහ පූජකයන් සතු කාර්යයකි. අනෙකුත් කාරණා සම්බන්ධව තීරණ ගැනීමට පොළොවේ අධිකාරීන්ට අවස්ථාව ලබා දෙමු.” “එසේ නොවේවා” යි සැක්සනියේ ආදිපාදධූර ජෝන් කියා සිටියේය. “ඔබ මාව අත්සන් තැබීමෙන් අයින් කර තියන්න එපා. මාගේ ඔටුන්න ගැන දෙවරක් නොසිතා හරි දෙය කිරීමට මා අධිෂ්ඨාන කර ගතිමි. මාගේ දෙවි සමිඳාණන් පිළිගන්නා බව මම ප්‍රකාශ කරමි. මාගේ නිල හිස් වැසුමත්, වස්ත්‍රත් යේසුස් වහන්සේගේ කුරුසිය තරම් මට වටින්නේ නැහැ.” මෙසේ කියා හමාර වී ඔහු තම අත්සන ප්‍රකාශනයට එකතු කළේය. පෑන සුරතින් ගනිමින් තවත් කුමාරයෙක් මෙසේ සඳහන් කළේය. “මාගේ වස්තු සම්පත් සහ ම‌ගේ ජීවිතයත් පූජාකිරීම මාගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවයට අවශ්‍ය නම් එසේ කිරීමට මම සූදානමින් සිටිමි. මෙම ඇදහිලි ප්‍රකාශනයෙහි සඳහන් ධර්මතාවන් හැරෙන්නට වෙනත් දහම් පිළිගන්නවාට වඩා මගේ යටත්වැසියන් සහ ජනපද අත්හැර දමා හැරමිටියක් අතැතිව ඒවායින් පිටත්ව යාමට මම සූදානම්ව සිටිමි”යි ඔහු ප්‍රකාශ කළේය.GrHSin 227.1

    V චාල්ස් රජතුමා ඉදිරියට යෑමට නියමිත වේලාව පැමිණියේය. අගරජතුමා සිංහාසනාරූඪව සිටියේය. ඔහු වටා ආදිපාදවරු සහ කුමාරවරු අසුන් ගෙන සිටියෝය. ප්‍රොතැස්තන්ත ප්‍රතිසංස්කාරාකයන්ට ඇහුම්කන් දීමට ඔවුහු සූදානමින් සිටියෝය. ඔවුනගේ ඇදහිලි ප්‍රකාශනය කියවන ලදී. ඒම ප්‍රතාපවත් සම්භාවනීය රැස්වීමේදී ශුභාරංචියෙහි සත්‍යයතාවන් ඉතා පැහැදිළි ලෙස ලේඛනගත කොට තිබුණේය. ඒ අතරම පාප් සභාවේ අක්‍රමිකතාවයක් ගැනද සටහන්කර තිබුණේය. “ප්‍රතිසංස්කරණයේ අති උත්කෘෂ්ට ජයග්‍රාහක දිනය හැටියටද ක්‍රිස්තියානි දහමේ සහ මිනිස් වර්ගයාගේ තේජශ්‍රීය දවසක් ලෙසද ඒ දිනය නිසි අන්දමින් හඳුන්වා දී තිබේ.”(D. Aubigne, b. 14, Ch. 7).GrHSin 227.2

    වර්ම්ස්හි මන්ත්‍රී මණ්ඩලය ඉදිරියෙහි විටන්බර්ග්හි තාපස පූජකයා හුදෙකලාව පෙනී සිටි සිද්ධියෙන් පසුව වසර කිහිපයක් ගෙවී ගොස් තිබුණේය. දැන් ඔහු වෙනුට ඉතා උදාරවූද, ඉතා බලගත්වූ ද කුමරුවෝ එම තැන ගෙන සිටියෝය. ඕගස්බර්ග් සම්මේලයනට සහභාගී වීමට ලූතර්ට අවසරයක් ලැබී නොතිබුණේය. එහෙත් වචනයෙන් සහ යාච්ඤාවෙන් ඔහු එහි සිටියේය. “මේ පැය පැමිණෙන තෙක් ජීවත්ව සිටීමට ලැබීම ගැන මම සතුටට පත් වෙමි. එවැනි තේජස්ශ්‍රීය රැස්වීමකදී එවන් සත්කීර්තිමත් පුද්ගලයන්ගේ ප්‍රකාශන මගින් ක්‍රිස්තුස්වහන්සේව ඔසවා තබනු ලැබුවේ යයි දැන ගැනීම මට මහත් සතුටකි. “රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා‌ නොවී කථා කරන්නෙමි.” (ගීතාවලිය 119: 46) යන ශුද්ධ ලියවිලි වදන් අද සම්පූර්ණ විය” යි ඔහු ලියුවේය. (D. Aubigne, b. 14, Ch. 7).GrHSin 228.1

    කිතුණු සභාවේ මුල් දවස්වලදී පාවුල්ව සිරගෙට යවනු ලැබීමට හේතුකාරක වූ ශුභාරංචිය අද රාජකීය නගරයේදී ප්‍රභූවරුන් සහ කුමාරවරුන් ඉදිරියට පැමිණියේය. දේශනා කූඩුවේ සිට ප්‍රචාරය කරීමට අගරජතුමා විසින් තහනම් කළ ශුභාරංචිය රජමාළිගාව තුළ රැව් පිළිරැව් දුන්නේය. තම ගෘහ සේවකයන්ටවත් සවන් දීමට නුසුදුසු යයි සමහරෙක් කල්පනා කළ ශුභාරංචියට රාජ්‍යයේ ස්වාමිවරු සහ ප්‍රභූවරු මහත් විස්මයෙන් යුක්තව සවන් දුන්නෝය. ඔටුණු පැළඳි කුමාරයා දේශනා කළෝය. රජවරු සහ අධිපතියෝ අසාගෙන සිටියෝය. දෙවියන්වහන්සේගේ රාජකීය සත්‍යතාව දේශනාවෙහි තේමාව විය. “අපෝස්තුළුවරුන්ගේ දවස් පටන් මෙවන් උදාරතර ශුභාරංචි ප්‍රකාශ කිරීමක් හෝ මෙවන් උතුම් තේජාන්විත භාවයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශ කිරීමක් සිදු වී නැතැ” යි ලේඛකයෙක් ප්‍රකාශ කර තිබේ. (D. Aubigne, b. 14, Ch. 7).GrHSin 228.2

    “ලූතර්වාදීන් පැවසූ සියල්ලම සත්‍යයි. එය ප්‍රතික්ෂේප කිරීමට අපට හැකියාවක් නැත” යි රෝමානු රදගුරු ප්‍රසාදිවරයෙක් පැවසීය. තවත් අයෙක් ආචාර්ය ඒක්ගෙන් මෙසේ විචාළේය. “ආදිපාදවරයා සහ ඔහුගේ මිත්‍ර පාක්ෂිකයන් විසින් ඉදිරිපත් කළ ඇදහිලි ප්‍රකාශනය බුද්ධිමත් තර්ක මගින් ඔබට බිඳ දමන්නට පුළුවන්ද?” “අපෝස්තුළුවරුන්ගේ සහ ප්‍රොපේතවරුන්ගේ ලියවිලි මගින් එසේ කරන්නට බැහැ. එහෙත් සභා නායකයන්ගෙන් සහ සභා සමුළුවලදී ගත් තීරණ මගින් නම් එසේ කරන්නට පුළුවන්ය”යි ආචාර්යවරයා පිළිතුරු දුන්නේය. ප්‍රශ්නය ඇසූ තැනැත්තාගේ ප්‍රතිචාරය මෙසේ විය. “ඔබ කියන ආකාරයට ලූතර්වරු ඉන්නේ ශුභාරංචිය තුළයි. අපි ඉන්නේ ශුභාරංචියෙන් පිටතයි” (D. Aubigne, b. 14, Ch. 8).GrHSin 228.3

    ජර්මනියේ සමහර කුමාරවරුන් ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ලට දිනා ගනු ලැබිණි. ප්‍රොතෙස්තන්ත ඇදහිලි ප්‍රකාශනය සත්‍යය මිස වෙනත් දෙයක් නොවේ යයි අගරජතුමාද ප්‍රකාශ කළේය. මෙම ඇදහිලි ප්‍රකාශනය භාෂා ‌බො‌හෝ ගණනාවකට පරිවර්තනය කරන ලදුව, යුරෝපය පුරා බෙදා හරින ලද්දේය. එය ඔවුන්ගේද ඇදහිල්ලේ ප්‍රකාශනය බව පසු පරම්පරා ගණනාවක බැතිමත්හු දශ ලක්ෂ ගණනින් පිළිගත්තෝය.GrHSin 229.1

    දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෝ තනිවම කටයුතු නොකළහ. ඔවුන්ට විරුද්ධව “අධිපතිහුද, පරාක්‍රමධාරීහුද ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ සේනාවන්ද” සාමුහිකව විරුද්ධකම් පෑවද, දෙවි සමිඳාණෝ තමන්වහන්සේගේ සෙනඟ අත්හැර නොදැමූ සේක. තම ඇස් විවෘත කිරීමට හැකියාවක් ඔවුන් සතු වී නම්, ආදි කාලියේදී දිවැසිවරයකුට දැකගන්නට හැකිවූ ආකාරයෙන්ම දිව්‍ය ආරක්ෂාව සහ උපකාරයද, දිව්‍ය අභිමුඛයද තමන් සමග පැවැති බව ඔවුන්ට දැකගත හැකිවනවා ඇත. තමා වටකර සිටි සතුරු හමුදාව දුටු එලිෂාගේ සේවකයාගේ හඬට පිළිතුරු වශයෙන් ඔහු දෙවියන්වහන්සේගෙන් මෙසේ ඉල්ලුවේය. “ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනව”යි කීවේය. එවිට එලිෂා වටේට, ගිනි අශ්වයන්ගෙන්ද, ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව දුටුවේය. (2 රාජාවලිය 6: 17). මෙසේ පුනරුදයේ සේවකයන්ද දේව දූතයන් විසින් ආරක්ෂා කරනු ලැබීය.GrHSin 229.2

    ලූතර් විසින් ඉතා දැඩිව ආරක්ෂා කළ එක් ප්‍රතිපත්තියක් නම්, ප්‍රතිසංස්කරණයේ සහාය සඳහා කිසිම ලෞකික බලවේගයක සහාය පැතීම නොකළ යුතු බවය. තවද, තමන්ගේ ආරක්ෂාව සඳහා කිසිම අවි ආයුධයක් ඉල්ලා නොසිටීම ඔවුන්ගේ එම ප්‍රතිපත්තියේම කොටසක් විය. අධිරාජ්‍යයේ කුමාරවරුන් විසින් ශුභාරංචිය පිළිබඳව කළ ප්‍රකාශය පිළිබඳව ඔහු තුළ විශාල ප්‍රීතියක් පැවතුණේය. ශුභාරංචි ව්‍යාපාරය රැකගැනීම සඳහා ඒකාබද්ධ සමූහ ආරක්ෂක සංගමයක් පිහිටුවා ගැනීමට ඔවුන් යෝජනා කළ කල්හි ඔහු මෙසේ පැවසීය, “ශුභාරංචියෙහි ධර්මතාවන් රැකගැනීම කළ යුතු වන්නේ දෙවියන්වහන්සේ විසින් පමණක්ය. මෙම වැඩයට මනුෂ්‍යයන්ගේ මැදිහත්වීම අඩුවන තරමට ඒම කාර්යය වෙනුවෙන් දෙවියන්වහන්සේගේ මැදහත්වීමද, එපමණටම වැඩි වන්නේය.” ඔවුන් විසින් ආචාර සම්පන්නව ඉදිරිපත් කළ සෑම ආරක්ෂක යෝජනාවක්ම ලූතර්ගේ දසුන අනුව වර්ගීකරණය කරනු ලැබුවේ වුවමනා නැති භීතියක් සහ පාපිෂ්ට අවිශ්වාසයක් ලෙසය.” (D. Aubigne, b. 10, Ch. 14).GrHSin 229.3

    ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල පරාජය කිරීමට බලවත් සතුරන් ඒකාබද්ධ වූ විටද දහසක් කඩු පහර ඒයට විරුද්ධව ලෙළ දීමට සූදානමින් තිබූ විටද ලූතර් මෙසේ ලීවේය. “සාතන් ඔහුගේ උදහස අපට විරුද්ධව මුදාහරිමින් ක්‍රියාකරන්නේය. දේව අභක්තික රජවරු අපට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අපට විරුද්ධව යුද්ධ තර්ජන එල්ල වේ. ඇදහිල්ලෙන් සහ යාච්ඤාවෙන් යුතුව දෙවි සමිඳාණන්ගේ සිංහාසනය ඉදරියෙහි වික්‍රමාන්විත ලෙස ආධාර ඉල්ලා සිටීමට ජනතාව දිරි ගන්වන්න. එවිට අපගේ සතුරන් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් අභිබවා සිටීම කරණකොටගෙන ඔවුන්ට සාමය සඳහා බලපෑමක් කරනු ලබනවා ඇත. අපගේ ප්‍රධාන අවශ්‍යතාව යාච්ඤාව වන්නේය. කඩුවෙන් ජීවිතක්ෂයට පත්කරනු ලැබීමටද, සාතන්ගේ උදහසටද දැන් ජනතාව මුහුණ දී සිටින බව ඔවුන්ට මතක් කර දෙන්න. යාච්ඤා කිරීමට ඔවුන්ට මඟ පෙන්වන්න” (D. Aubibne, b. 10, Ch. 14).GrHSin 229.4

    ප්‍රතිසංස්කරණයේ කුමාරවරුන් විසින් යෝජිත ඒකාබද්ධ සංගමය ගැන ප්‍රශ්නය නැවත වරක් පැන නැගි අවස්ථාවේදී ලූතර් කියා සිටියේ මෙම යුද්ධයේදී භාවිත කළ යුතු එකම ආයුධය නම් “ස්වාමීන් වහන්සේගේ කඩුව” පමණක් බවය. සැක්සනියේ ආදිපාද තුමාට ලිපියක් යවමින් ඔහු මෙසේ කරුණු දැක්වීය. “ඒකාබද්ධ මිතුරු සන්ධානය හෘදය සාක්ෂියට එකඟව පිළිගැනීමට අපට හැකියාවක් නැත. අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේ බලසම්පන්නය. අප අනතුරුවලින් මුදා ගැනීමටද, දේව භක්තිකමින් තොර කුමාරවරුන්ගේ සිතුවිලි කිසිත් නැති බවට පත්කිරීමටද අනන්ත ක්‍රම සොයා ගැනීමට උන්වහන්සේට පුළුවන.... අප උන්වහන්සේගේ වචනයට කීකරු වෙනවාද නැද්දැයි බැලීමටද, අප එය නියම සත්‍යය වශයෙන් පිළිගන්නවා දැයි බැලීමටද උන්වහන්සේ අප සෝදිසි කරන සේක. අපගේ වැරදි ක්‍රියාවක් නිසා ශුභාරංචිය උදෙසා ලේ ගැලීමක් හෝ වේදනාවක් ඇති වීමට වැඩියෙන් දස වරක් මිය යාම අපට හොඳය. ගීතිකාකාරයා කියන්නාක් මෙන් අපි ඉවසිල්ලෙන් පීඩාවන් දරා ගනිමින් මරණයට ගෙන යන ලද බැටළුවන් මෙන් ගණන් ගනු ලබමු. පළිගැනීමෙන් හා අපවම රැකවරණය කරගන්ට උත්සාහ කිරීමෙන් වැලකී අපි දෙවියන්වහන්සේගේ උදහස ක්‍රියාත්මක වීමට ඉඩ දෙමු. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය දරාගනු ලැබීය. ශ්‍රීමතාණෙනි, ඔබ බිය නැතුව සිටින්න. අපගේ සියලු සතුරන්ගේ උදාරම් බස්වලට වඩා අපගේ යාච්ඤාවලින් මහත් දේ ඉටු කළ හැකිය. ඔබගේ සහෝදරයන්ගේ රුධිරයෙන් ඔබගේ අත් තෙත් නොවේවා. තමන්ගේ ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලට අපව භාරදීම අග රජතුමාගේ කැමැත්ත නම්, එයට මුහුණ දීමට අපි සූදානමින් සිටින්නෙමු. අපගේ ඇදහිල්ල රැකීමට ඔබට පුළුවන්කමක් නැත. විවිධ අන්ත්‍රා උපද්‍රව වලට මුහුණ දෙමින් එකිනෙකා තමාගේ ඇදහිල්ල ගොඩ නඟා ගත යුතුය.” (D.Aubigne, b. 14, Ch. 1).GrHSin 230.1

    ලොව හෙල්ලූ ප්‍රතිසංස්කරණයේ බලශක්තිය පැමිණියේ යාච්ඤාවේ රහස් කුටිය තුළින්ය. ශුද්ධ වූ සන්සුන්කමකින් යුතුව දෙවියන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේගේ පොරොන්දුවේ පර්වතය මත නැගී සිටියෝය. ඕගස්බර්ග්හි තිබූ පොර බැදීමේදී ලූතර අඩුම තරමින් පැය තුනක්වත් යාච්ඤා නොකර කිසිම දවසක ගතකළේ නැත. ඉගෙනීමට ඉතා යෝග්‍ය වූ කාලය අතුරෙන් එම පැය කිහිය තෝරා ගන්නා ලදී. බාහිර සියලු කටයුතු වලින් ඈත්ව තනිවම තම යාච්ඤා කුටියට වැදුණු හෙතෙම තම ආත්මය දෙවියන්වහන්සේ ඉදිරියෙහි වගුරුවාලීය. මිතුරෙකුට කථා කරන්නාක් මෙන් හෙතෙම නමස්කාර ආත්මයෙන් යුතුව ගරු බිය සහිතව බලාපොරොත්තු සමගින් දෙවි සමිඳාණන් ඇමතීය. “ඔබවහන්සේ අපගේ පියාණන්වහන්සේය, අපගේ දෙවියන්වහන්සේය. ඔබවහන්සේ අප සමග අනතුරට මුහුණ පා සිටින නිසා එබගේ දරුවන්ට හිංසා පීඩා පමුණුවන්නා වූ අය විසුරුවා හරින බව අපි දනිමු. මේ සියලු කාරණා ඔබවහන්සේගේය. මෙම කර්තව්‍යයට අප අත ගැසුවේ ඔබවහන්සේගේ මග පෙන්වීම නිසාය. එම නිසා අපට ආරක්ෂා කරන්න පියාණෙනි.” (D.Aubigne, b. 14, Ch. 6).GrHSin 231.1

    සිත් තැවුලට සහ බියට පත්ව වේදනාවෙන් දුක් විඳිමින් සිටි මෙලැන්ක්තන්ට ඔහු මෙසේ ලීවේය. “ක්‍රිස්තුස්වහන්සේ තුළ සමාදානයක්, කරුණා-අනුග්‍රහයත් ඔබට වේවා! එය ලෝකය තුළ නොව ක්‍රිස්තුස්වහන්සේ තුළ යයි ඔබට කියමි. ආමෙන්, ඔබව දවාලන්නට වෑයම් කරන්නාවූ අමතර දේවල්වලටද මම දැඩි සේ ද්වේෂ කරමි. මෙම කර්තව්‍යය අසාධාරණ නම් එය අතහැර දමන්න. එය සාධාරණ නම්, බියක් නැතිව නිදාගන්න යයි අපට අණකරන තැනැන්වහන්සේගේ පොරොන්දු අපි බොරු බවට පත් කරන්නේ ඇයි? යුක්ති සහගතවූ ද, සත්‍යයවූ ද වැඩ කටයුතුවලට උන්වහන්සේ අඩුවක් නොකරන සේක. උන්වහන්සේ ජීවත්වන සේක, උන්වහන්සේ රජකම් කරන සේක. එසේනම් අපට බියක් ඇතිවීමට හේතුව කුමක්ද?” (D. Aubigne, b. 14, Ch. 6).GrHSin 231.2

    දෙවියන්වහන්සේ තම සේවකයන්ගේ හඬට ඇහුම්කන් දුන්සේක. ලෝකයේ අඳුරු බලධාරීන් ඉදිරිපිට සත්‍යතාව ඉදිරියට ගෙන යාමට උන්වහනසේ කුමාරවරුන්ට සහ දේවගැතිවරුන්ට දේව කරුණාව සහ ධෛර්යය ලබා දුන් සේක. දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක, “බලව, තෝරාගත් අනර්ඝ, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේය.” (1 පේතෘස් 2: 6). ප්‍රොතැස්තන්ත ප්‍රතිසංස්කාරකයෝ ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩනැගූහ. ඔවුන්ට විරුද්ධව නැගී සිටීමට පාතාලයේ දොරටු සමත් වූයේ නැත.GrHSin 231.3