Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    33 - ප්‍රථම මහා මුළාව

    මානව ඉතිහාසයේ ආරම්භයේ පටන් මිනිසාව මුළා කිරීමට සාතන් තම උපක්‍රමශීලි වැඩසටහන දියත් කළේය. මෙහිදී තම කැරැල්ල ක්‍රියාවට නැංවූ හෙතෙම දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලනයට එරෙහිව තමා සමග එකතු වීමට පොළෝවාසි ජනතාව එක් කරගැනීමට තීරණය කර ගත්තේය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු කමින් යුතුව දිවි ගෙවමින් ආදම් සහ ඒව ඉතා ප්‍රීතියෙන් යුතුව වාසය කළෝය. සාතන් සගයේදී කළ චෝදනාවට මෙම දිවි පැවැත්ම තර්ජනයක් විය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පීඩාකාරී බවටත් එය උන්වහන්සේගේ මැවිල්ලේ ප්‍රාණීන්ගේ යහපතට විරුද්ධව නැගී සිටින බවටත් සාතන් සගයෙහිදී චෝදනා එල්ල කළේය. තවද, පවින් තොර වූ යුවළ උදෙසා සුදානම් කරන ලද අලංකාර නිවෙස දැකීමෙන් සාතන්ගේ ද්වේෂය අධික විය. ඔවුන්ගේ වැටීම සිදුකරන්නට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. ඔවුන් පාපයට යොමු කරගැනීමෙන් පසුව ඔවුන්ට තමාගේ ග්‍රහණය යටතට ගැනීමෙන් පොළොවේ අයිතිය සතු කරගන්නට ඔහු අදහස් කළේය. එසේ කර සගයේ වැඩ වසන්නාවූ අති උතුම් තැනැන්වහන්සේගේ රාජ්‍යයට එරෙහිව මෙලොව භූමියෙහි තමාගේ රාජධානියක් පිහිටුවා ගැනීම ඔහුගේ චින්තනය විය.GrHSin 619.1

    මිනිස් වර්ගයාගේ මේ භයානක සතුරා පිළිබඳ ව ආදම් සහ ඒව දැනුවත් කර තිබිණ. සාතන් තමාගේ යථා ස්වභාවයෙන් මිනිස් යුවළ ඉදිරියෙහි පෙනී සිටියේ නම්, ඔහුව එම මොහොතේදීම පළවා හරිනු ලබනවා ඇත. නමුත් තමාගේ නියම අරමුණ වසන් කරගනිමින් ඔහු සැඟවී ක්‍රියාත්මක වූයේ තම අපේක්ෂාව සාර්ථක ලෙස ඉටු කරගැනීමටය. ඉතාමත් මනහර පෙනුමක් තිබුණාවූ සර්පයෙකු තම මාධ්‍යය ලෙස යොදා ගත් සාතන් ඒව කථාවට පොළඹවා ගත්තේය. ” ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාද”යි ඔහු ඒව ගෙන් ඇසුවේය. පරීක්ෂකයාගේ ප්‍රශ්නයට උත්තර සැපයීමෙන් ඒවා වැළකී සිටියා නම්, ඇය සුරක්ෂිතව සිටිනවා නොඅනුමානය. එහෙත් ඇය ඔහු සමග කථාබහට යොමුවීමෙන් ඔහුගේ උගුලට අසු වූවාය. අද පවා බොහෝ අය සාතන්ගේ ගොදුරක් බවට පත්වන්නේ මෙයාකාරයෙන්මය. දෙවියන්වහන්සේ ගේ ඉල්ලීම් පිළිබඳව සැක පහළ කරමින් මෙම අය වාද විවාද කරති. දෙවියන් වහන්සේගේ දිව්‍ය ආඥාවන්ට කීකරුවීම පසෙක ලා ඔවුහු මිනිස් කාල්පනික මත පිළිගනිති. එම මතයන් වනාහි සාතන් ගේ රැවටිලිකාර මතවාදයන් ඇතුළත් ඉගැන්වීම්ය.GrHSin 619.2

    මිනිසා පාපයට වැටීම පිළිබඳව වූ සංසිද්ධිය හා බැඳි ඒවගේ කථාබහ මෙසේ ඉදිරියටම කෙරීගෙන ගියේය. ස්ත්‍රියද සර්පයාට මෙසේ පැවැසුවාය. “උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; එහෙත් දෙවියන්වහන්සේ - නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අත ගසන්ටවත් එපා යයි කීසේකැයි සර්පයාට කීවාය. සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නා සේකැයි ස්ත්‍රියට කීය.” (උත්පත්ති 3:25). ඔවුන් දෙවියන්වහන්සේට සමාන වන බව සාතන් ඇයට පැවසුවේය. ඔවුන්ට මෙතෙක් තිබූ ප්‍රඥාවට වඩා අධික බුද්ධියක් ලැබෙන බවත් එය කරණකොටගෙන ඔවුන්ට වඩා ඉහළ තලයක පැවැත්මක් ලබාගත හැකි බව සාතන් ඇයට පැවසුවේය. ඒ පරික්ෂාවට ගොදුරු වූවාය. ඇගේ බලපෑම යටතේ ආදම්වද පාපයට පොළඹවනු ලැබීය. දෙවියන්වහන්සේ පැවැසු වදන් ඇත්ත වශයෙන්ම, එම ආකාරයෙන්ම උන්වහන්සේ අදහස් නොකළ බව කල්පනා කළ ආදී මව් පිය යුවළ සර්පයාගේ වචන විශ්වාස කළහ. තමන්ගේ නිදහසට සීමා පනවා ඇතැයි සිතූ ඔවුහු තමන්ගේ මැවුම්කාරයාණන්ව අවිශ්වාස කළහ. උන්වහන්සේගේ අණඥාව කඩ කිරීමෙන් තමන්ට අධි ප්‍රඥාවක් ලබාගන්න හැකි යයිද උසස් පැවැස්මකට පත්විය හැකි යයිද ඔවුහු කල්පනා කළෝය..GrHSin 620.1

    “එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය” යන පැවැසුමෙහි නියම අර්ථය පව් කිරීමෙන් පසුව ආදම්ට වැටහී ගියේ කිනම් ආකාරයකටද? ආදම් ඇත්ත වශයෙන්ම සාතන් පැවැසු ආකාරයේ ඉහළ තලයක පැවැත්මක භාග්‍යය ලැබුවේද? එසේනම් අණ පනත් කඩකිරීමෙන් වඩාත් යහපතක් සිදුවිය: මිනිස් වර්ගයාගේ හිතකාමියෙක් ලෙස සාතන්ව හඳුන්වා දීමට එවිට අවකාශයක් උදා වන්නේය. එහෙත් දිව්‍ය ප්‍රකාශයෙහි අර්ථය මෙය නොවන බව ආදම්ට වැටහී ගියේය. පාපයට දඬුවමක් ලෙස, දූවිල්ලෙන් තනනු ලැබූ ඔහු නැවතත් දුවිල්ලට එකතු වන බව දෙවියන්වහන්සේ අවධාරණය කළසේක. “මක්නිසාද නුඹ දුවිලිය; දුවිල්ලට හැරී යන්නෙහිය,“යි උන්වහන්සේ පැවසූ සේක (උත්පත්ති 3:19). නුඹලාගේ ඇස් ඇරෙනේයයි සාතන් පැවැසු වදන් සත්‍යය වූයේ මේ කාරණය අනුව පමණය, එනම් ආදම් සහ ඒව දෙවියන්වහන්සේට අකීකරු වීමෙන් පසුව තමන්ගේ මෝඩකම පිළිබඳව දැක ගැනීමට ඔවුන්ගේ ඇස් විවෘත වූ බව සැබෑවකි. ඔවුන්ට නපුර ගැන අවබෝධයක් ඇති විය. අණපනත් කඩකිරීමේ කටුක තිත්ත අත්දැකීමක් විඳීමට ඔවුන්ට සිදුවිය.GrHSin 620.2

    ඒදන් උයන මධ්‍යයේ ජීවනයේ ගස පිහිටියේය. එහි ඵල අනුභවය මගින් ජීවිතය දිගටම පවත්වා ගෙන යාමේ බලය ලබාගත හැකි විය. ආදම් දෙවියන් වහන්සේට කීකරුව සිටියේ නම් එම ගසෙහි ඵල නිදහසේ භුක්ති විඳීමේ වාසනාව ඔහුට තවදුරටත් හිමිවිය. එසේවී නම් ඔහු සදහටම ජීවත් වීමට භාග්‍යය උදා කරගන්නේය. එහෙත් ඔහු පව් කළ විගසින් ජීවනයේ ගස ළඟට යෑම ඔහුගෙන් වළකනු ලැබීය. තවද ඔහුට මරණය තීන්දු විය. “නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය”යි වූ දිව්‍ය ප්‍රකාශය ජීවිතය පූර්ණ ලෙස විනාශයට පත්වන බවට වූ තීන්දුවක් විය.GrHSin 621.1

    අමරණීය ජීවිතය මිනිසාට දෙන ලද්දේ කීකරුව සිටීමේ කොන්දේසිය මතය. එහෙත් දේව අණ කඩකිරීම නිසා එම භාග්‍යය මිනිසාට අහිමි විය. ඔහු එම වාසනාව නැති කරගත්තේය. තමාට හිමිව නොතිබූ දැයක් ඉදිරි පරම්පරාවන්ට ජන්ම කරදීමට ආදම්ට නොහැකි විය. පාපයට ගොදුරු වීම නිසා ඔවුන්ට කිසිම අනාගත බලාපොරොත්තුවක් නොවීය. එහෙත් දෙවි පියාණන්වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් පූජාවක් ලෙස දානය කිරීමෙන් මිනිසාව අමරණය වෙත ළඟා කළසේක. “සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේය” (රෝම 5:12.) ඒ අතර ක්‍රිස්තුස්වහන්සේ මරණය බිඳ දමා ජීවනයත්, අමරණියත්වයත් ප්‍රකාශයට පත් කළේ ශුභාරංචිය තුළිනි. (2 තිමෝති 1:10) අමරණියත්වය ලබාගත හැකිවන්නේ ක්‍රිස්තුස්වහන්සේ මගින් පමණකි. යේසුස්වහන්සේ මෙසේ පැවැසු සේක “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවෙන්නා ජීවනය නොදන්නේය.” (යොහන් 3: 36). කොන්දේසිවලට කීකරු වන්නේ නම් සෑම අයෙකුටම මෙම සම්පතෙහි හිමිකාරයෙක් වීමට භාග්‍යය ඇත. “උන්වහන්සේ .... ඉවසීම ඇතුළු යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණීභාවයද සොයන්නට සාදාකාල ජීවනය දෙනසේක.” (රෝම 2:6,7).GrHSin 621.2

    අකීකරුවීම තුළ ජීවනය ඇතැයි ආදම්ට පැවැසූ එකම තැනැත්තා ඒ මහත් රැවටිලිකාරයාය. “නුඹලා ඇත්තටම නසින්නේ නැත “යි කියා සර්පයා ඒවට පැවැසීය. එය අමරණීයත්වය ගැන පවසන ලද පළමුවෙනි දේශනාව විය. සාතන්ගේ අධිකාරී බලය යටත් කළ මෙම ප්‍රකාශය අද දේශනා කූඩු විශාල ප්‍රමාණයක් මගින් රැව් පිළිරැව් දෙමින් ජනතාව මුළා කරන්නේය. මුල් මාපිය යුවළ ඔහුගේ ප්‍රකාශය පිළිගත්තාක් මෙන්ම අද බොහෝ කිතුණු බැතිමතුන් පවා එම ඉගෙනුම මුළු සිතින් පිළිගනිති. ලෝක ජනගහණයේ බහුතරයක්, එසේය, විශාල ප්‍රතිශතයක් මෙම ඉගැන්වීම සත්‍යයක් ලෙස විශ්වාස කරති. “පව්කරන ආත්මය නසින්නේය” යන දිව්‍ය ප්‍රකාශයට අද අරුත් සපයා ඇත්තේ පරණ ආත්මය නසින්නේ නැත, එය සදහටම ජීවත් විය යනුවෙන්ය. දෙවියන් වහන්සේගේ වචන නොතකා හරිමින් එම වදන් කෙරෙහි විශ්වාසය රඳන්නේ නැතිව මිනිසුන් සාතන්ගේ ප්‍රකාශය එපමණ සතුටින් පිළිගැනීම අපගේ විමතියට පවා හේතු වන්නේය.GrHSin 621.3

    පාපයට ගොදුරු වීමෙන් පසුව මනුෂ්‍යයාට ජීවනයේ ගස ළඟට යැමට නිදහස් මාර්ගයක් විවෘතව තිබුණේ නම් ඔහු එහි ගෙඩි අනුභව කරමින් සදහටම ජීවත් වීමේ වරම් උදා කරගන්නවා ඇත. මෙයාකාරයෙන් පාපය අමරණ භාවයට පැමිණනවා ඇත. එහෙත් එම ගස වෙතට වූ මාර්ගය වසා දමමින්, ආදම් සහ ඒව ඒදන් උයනෙන් ඉවත්කර උයනට යන මාර්ගය රැකවල් කරන පිණිස කෙරුබ්වරුන්ද සෑම අතටම කරකැවෙන්නා වූ ගිනිමය වූ කඩුවද දෙව් සමිඳාණන් පිහිටවූ සේක. මාර්ග බාධකය පසු කරමින් ආදම්ගේ පවුලෙහි කිසිවකුට හෝ ජීවනය දෙන්නා වූ එම ගසෙහි ගෙඩි කෑමට යාමෙහි වරම් ලැබුණේ නැත. එම නිසා මෙලොව කිසිම අමරණිය පව්කරුවෙක් නැත්තේය.GrHSin 622.1

    මිනිසා පාපයට වැටුණාට පසුව ඔහුට ස්වභාවයෙන්ම අමරණ භාවය පිහිටා ඇත යන අදහස මිනිසා තුළට කාවැද්දීමට විශේෂ වෑයමක් දරන්නැයි සාතන් ස්වකීය දූතයන්ට ඔවා බස් දී තිබේ. මිනිසාගේ මනස තුළට මෙම සාවද්‍ය මතය ඇතුළු කිරිමෙන් පසුව, පව්කාරයා සදහටම කාලකණ්ණි දිවි පැවැත්මකට භාජන වේයයි යන සංකල්පය මිනිසා තුළ තැන්පත් කිරීමට ඔහුගේ දූතයන්ට අණ ලැබුණේය. අන්ධකාරයෙහි කුමාරයා තම දූතයන් මගින් ක්‍රියා කරමින් දෙවියන්වහන්සේ පළිගන්නාවූ සැහැසි පීඩිතයෙක් යයි පෙන්වා දීමට උත්සාහ කරයි. උන්වහන්සේව සතුටට පත්කරන්නේ නැති සැවොම සදාතන නිරයට යවන බව සාතන් මිනිසාට පවසයි. පව්කාරයා සදාතනය පුරා දෙවියන්වහන්සේගේ උදහසට, කෝපයට පාත්‍ර වන්නේය; ඔහු කිව නොහැකි තරම් වේදනාවෙන් මඩිනු ලබන්නේය, සංතාපයට පත්වන්නේය; ඔහු සදාතන ගිනි විලෙහි දැවෙමින් වේදනා විඳින්නේය; දෙවියන්වහන්සේ සතුටු සිතින් මේ සියල්ල බලාසිටින සේක යන. අදහස් සාතනික දූතයෝ මිනිසුන්ගේ සිත්වලට ඇතුල් කරති.GrHSin 622.2

    මිනිසාගේ මැවුම්කාරයාණන් වන පරිත්‍යාගශීලීත්වයෙන් යුක්ත තැනැන්වහන්සේගේ චරිත ගුණාංග ලෙස සාතන් ලොවට කියා පාන්නේ තමන්ගේම චරිතාංගයන්ය. කුරීරු චරිතය සාතනිකය. දෙවියන්වහන්සේ ප්‍රේමය වනසේක. උන්වහන්සේ මැවූ සියල්ල පිරිසිදුය, ශුද්ධය, මනහරය. මහා ත්‍රස්තවාදියා විසින් පාපය ලොවට ඇතුළු කරන තෙක් සියල්ල රමණීය විය. මිනිසාව පව්කිරීමට පොළඹවන සතුරා සාතන්ය. හැකිනම් තම ගොදුරු විනාශ කර දැමීමට ඔහු මහත් පරිශ්‍රමයක යෙදෙන්නේය. තමාගේ ගොදුර සම්පුර්ණයෙන්ම තමා සතුවූ පසු තමා සිදු කළ විනාශය ගැන හෙතෙම ප්‍රීතියට පත්වන්නේය. අවසර ලැබෙන්නේ නම් ඔහු මුළු මිනිස් වර්ගයාම තමාගේ දැලට හසු කරගන්නවා ඇත. මෙම ක්‍රියාවලියෙහිදී දිව්‍ය බල මහිමය ක්‍රියාත්මක වී මැදිහත් නොවී නම් ආදම්ගේ එකම පුතණුවක් හෝ දෝණියක් සාතන්ගෙන් ගැලවෙන්නේ නැත.GrHSin 622.3

    අපගේ මුල් දෙමාපියන් පාපයට ඇද දමා ජයගත් ආකාරයෙන්ම සාතන් අද ද මිනිසුන්ගෙන් ජය ගැනීමට මාන බලමින් සිටී. සාතන්ගේ සැලසුම් සහගත ක්‍රමවේදය එදා මෙන්ම අදත් ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයකටය. මුලින්ම ඔහු මැවුම්කාරයාණන් තුළ ඇත්තා වූ මිනිසාගේ විශ්වාසය අනුමාන කිරීමකට යොමු කරයි, එය සෙලවීමකට භාජන කරයි. ඉක්බිතිව දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලනයෙහි බුද්ධිමත් ස්වභාවයත් උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ යුක්තිය සහ සාධාරණත්වයත් ප්‍රශ්න කිරීමට සාතන් මිනිසාව යොමු කරයි. තමන්ට සහ තම දූතයන්ට වඩා දෙවියන්වහන්සේ ඉතා අයහපත් යයි, නරක යයි සිතීමට සාතන් මිනිසුන්ව පොළඹවයි. තමන් තුළ ඇත්තා වූ වෛරය. සහ තමාගේ කැරැළි ගැසීම සාධාරණය කිරීමට ඔහු මෙසේ ක්‍රියා කරයි. තමාගේ කුරිරු වූ ද, දරුණු වූද චරිත ගුණාංග ස්වර්ගීය පියාණන්වහන්සේට පැවරීමට ඔහු මහත් වෑයමක් දරයි. එවන් අදමිටු ආණ්ඩුකාරයකුට යටත් වීමට තමා අකැමැති වූ නිසා තමාව සගයෙන් නෙරපා හැරීම මගින් තමාට මහත් අසාධාරණයන් සිදුව ඇතැයි කියමින් සාතන් තමාව ශුද්ධවන්තයෙකු ලෙස හඳුන්වා දීමට සෑම අවස්ථාවකදීම කටයුතු කරයි. තමාගේ පරිපාලනය යටතේ ලෝවාසී ජනතාවට නිදහස් ජීවිත රටාවක් ඇති කර ගත හැකි බව ඔහු අවධාරණය කරයි. එහෙත් දෙවියන්වහන්සේ පනවා ඇති දරදඬු නීති නිසා මිනිසා වහල් භාවයට පත්ව ඇතැයි ඔහු තර්ක කරයි. මෙසේ කිරීමෙන් දෙවියන්වහන්සේට පක්ෂපාති වූ ආත්ම එම තත්වයෙන් ඉවතට හැරවීමට ඔහු සමත් වෙයි.GrHSin 623.1

    සදාතනය පුරා ගිනිගෙන දැවෙන්නා වූ නොනිවෙන නරකාදියක දුෂ්ටයෝ ගින්නෙන් සහ ගෙන්දගමින් දුක්විඳිතියි කියා ඉගැන්වීමක් කිතුණු සභාවන් අතර පවතී. මෙම දහම ප්‍රේමයේ හා කරුණාවේ සෑම චිත්තාවේගයකටම මෙන්ම යුක්ති සහගත ධර්මිෂ්ඨකම පිළිබඳව පවතින අපගේ සිතුවිලි වලට පවා පිළිකුලකි. මෙම ලොවෙහි ජීවත් වෙමින් ගතකළ ඉතා කෙටි කාලීන ජීවිතයක් තුළ සිදුකළ පාප සඳහා වන්දි ගෙවීමක් වශයෙන් මිනිසා ජීවත්වන තාක් කල් ගින්නෙන් දැවෙමින් සිටින්නට වේය යන සිතුවිල්ල පවා සිතට මහත් අප්‍රසන්නතාවක් උදාකරනවා ඇත. එහෙත් මෙම දහම කිතුණු ලොවෙහි ඉතා පුළුල්ව උගන්වනවා පමණක් නොව බොහෝ නිකායන්හි ඇදහිලි ප්‍රකාශනයවලටද ඇතුළත්ව තිබේ. දේව ධර්මාචාර්යවරයෙක් මෙසේ පවසා ඇත. “නරකාදියෙහි වූ ගිනි විලෙහි පව්කාරයන් දුක් විඳිනු දැකීමෙන් ශුද්ධවන්තයන්ගේ ප්‍රීති ප්‍රමෝදය සදාතනික උත්කෘෂ්ටතාවකට පත්වන්නේය. තමන් මෙන්ම වූ පරිසරයක ඉපිද තමා හා සමාන ස්වභාවයකින් යුතුව දිවි ගෙවූ සමහර අය එවන් කාලකණ්ණි භාවයකට පත්ව නිරයෙහි දුක් විඳීම අත්පත් කරගැනීම දකින්නාවූ ශුද්ධවන්තයෝ තමන්ගේ භාග්‍යය ගැන, තමන්ට අත්ව තිබෙන්නා වූ ප්‍රීතිය ගැන සංවේද්‍යය වනවා ඇත, සියුම් හැඟීමෙන් යුතු වනවා ඇත.” තවත් අයෙක් මෙසේ පවසා තිබේ. “උදහසෙහි භාජන මත ශාපයෙහි දඬුවම සදාතනය පුරා ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගේ වධ වේදනා දුමාරය මෛත්‍රී - කරුණාවෙහි භාජන ඉදිරියෙහි ඉහළට නගින්නාවූ අතර ශුද්ධවන්තයන්ගේ මුවින් මෙවන් පැසසුමක් අවට සිසාරා විහිද යන්නේය; ආමෙන්, හලේලුයා! ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ප්‍රශංසා වේවා.”GrHSin 623.2

    දෙවියන්වහන්සේගේ වචනයෙහි කිනම් පිටුවල එවන් ඉගැන්වීම් අන්තර්ගතද? ගැළවීම ලැබූ බැතිමත්හු සගයේ දිවි ගෙවන විට අනුකම්පාවේ සහ දයාවේ සෑම චිත්තාවේගයක්ම ඔවුන්ගෙන් නැති වී යන්නේද? මිනිස් භාවයට පොදු වූ හැඟීම් සියල්ල ඔවුන්ගෙන් ඉවත් කරනු ලබන්නේද? මෙවන් හැඟීම් සහ චිත්තාවේග ඉන්ද්‍රියයන් දමනය කිරීම් මගින් උදාසීන කරනු ලැබේද? එසේත් නැතිනම් ඒවා ම්ලේඡයන්ගේ කුරිරුකම් වලට හුවමාරු කරනු ලබන්නේද? එවන් ඉගැන්වීමක් දෙවියන්වහන්සේගේ දහම් පුස්තකයෙහි සඳහන් වී නැත. ඉහත සඳහන් ඡේදයෙහි ඇතුළත් උපුටා ගැනීම් තුළ අන්තර්ගත අදහස් ප්‍රකාශ කළ භවතුන් උසස් උගතුන් විය හැකිය. ඔවුන් අවංක පුද්ගලයන්ද විය හැක. එහෙත් ඔවුන් සාතන්ගේ කුතර්ක මගින් නොමඟ යවනු ලැබ ඇති බව පෙනී යයි. ශුද්ධ ලියවිලිවල අඩංගු ප්‍රබල ප්‍රකාශනයන්ට ව්‍යාජ අර්ථකථන දීමට මනුෂ්‍යයන් නොමග යවන්නා වූ සාතන් එම ප්‍රකාශන තමන් තුළ ඇත්තාවූ ද්වේෂය සහ තිත්තකම සමග මිශ්‍ර කර ඉදිරිපත් කරයි. එවන් කුතර්ක තුළ අඩංගු අදහස් සහ තීරණ මැවුම්කාරයාණන්ට කිසිසේත්ම අදාළ වන්නේ නැත. දෙවියන්වහන්සේගේ චින්තනය මෙසේය: “මා ජීවමාන බව සැබෑවා සේම දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමි වූ දෙවියන්වහන්සේ කියන සේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.” (එසකියෙල් 33:11).GrHSin 624.1

    අවසානයක් නැති වේදනාවෙහි ඇලී ගැලී දුෂ්ටයා පීඩාවට පත්වෙමින් සිටිනවා යයි දැකීමෙන් දෙවියන්වහන්සේට කිනම් ලාභ ප්‍රයෝජනයක් අත්වේද? ගිනි දැල් අතරෙහි වේදනාවෙන් ඇඹරෙමින් සිටින්නාවූ, උන්වහන්සේ විසින් මවන ලද්දාවූ පුත්‍රයන්ගේ කෙදිරිගෑම්, යටි උගුරෙන් කෑගැසීම් සහ ශාප කිරීම් ඇසීමෙන් දෙවියන්වහන්සේගේ ඉන්ද්‍රියයන් පිනායනවා යයි අපට සිතිය හැකිද? මෙම අදෝනාවන්ගේ හඬ අසීමිත ප්‍රේමයේ තැනැන්වහන්සේගේ සවනට ප්‍රසන්න ගී රාවයක් වීමට හැකිවේද? දුෂ්ටයන්ව නිමක් නැතිවී මෙවන් කාලකණ්ණි වධ හිංසාවන්ට පාත්‍ර කිරීමෙන් පෙන්නුම් කරන්නේ පාපයට වූ දෙවියන් - වහන්සේගේ ද්වේෂයයි කියාද, ඔවුන්ගේ කැරැළි ගැසීම විශ්වයේ සාමයට බාධාවක් වූ බවද, එහි පැවැත්ම විනාශකාරී වූ බවද, එම නිසා දෙවියන්වහන්සේ ඔවුන්ව නරකාදියේ ගිනි ජාලාවට නියම කර ඇති බවද, මේ විනාශකාරී ඉගැන්වීමෙහි ඇතුළත්ය. අහෝ විනාශකාරී දේව අපහාසයක තරම! පාපය තවමත් පැවැතෙමින් තිබෙන්නේ දෙවියන්වහන්සේ එයට ද්වේෂ කරන නිසාමද? දේව ධර්මවාදීන්ගේ ඉගැන්වීම් අනුව, කරුණා දයාවේ හා අනුකම්පාවේ බිඳක් හෝ විරහිතව පව්කාරයන්ට විඳින්නට සිදුවන වධහිංසා නිසා ඔවුහු වියරු වැටී දෙවියන්වහන්සේට ශාප කිරීමෙන් සහ අපහාස කිරීමෙන් ඔවුන්ගේ කෝපය පිට කරන බවද මෙසේ කිරීමෙන් ඔවුන්ගේ අපරාධයට තවත් අපරාධ එකතු වන බවද දක්වනු ලැබේ. නිමක් නැති කාලයක් පුරා අපරාධ සහ ශාපය දිගටම පැවැතීමෙන් දෙවියන්වහන්ගේ මහිමය තව තවත් වැඩි වන්නේ නැත.GrHSin 624.2

    නිමක් නැති කාලයක් පුරා නිරයෙහි දුක්විඳීම තේමා කරගත් ඉගැන්වීම මගින් සිදුවී ඇති විනාශය සහ නපුර කෙතරම් විශාල දැයි. තේරුම් ගැනීමට මිනිස් මනස අපොහොසත්ය. බයිබලීය ධර්මය ප්‍රේමයෙන් සහ යහපත් කමින් අනුනය. එහි අඩංගු ප්‍රේමය හා. කරුණාවද අනුකම්පාවද මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම් වලින් කළු පැහැගැන්වී බිය ඇතිකරන වස්ත්‍රයකින් සරසනු ලැබ තිබේ. දෙවියන්වහන්සේගේ චරිත ගුණාංග සාතන් විසින් ව්‍යාජ පාටැති සායම් මගින් පින්තුරයට නඟා ඇත. එම නිසාම අපගේ කරුණාවෙන් පූර්ණ වන මැවුම්කරුවාණන්ට මහත් භීතියකින් යුතුව සැලකීමට, උන්වහන්සේට ද්වේෂ කිරීමට සහ වෛර කිරීමට මනුෂ්‍යයන් යොමුවීම පුදුමයක් නොවේ. දේශනා කූඩුවේ සිට ඉදිරිපත් කර ඇති දෙවියන්වහන්සේගේ රූපය ඉතා භයංකාරය, අශෝභනය. මෙවන් ඉගැන්වීම් අසන්නා වූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයන් අන්තිමේදී දේව භක්තියෙන් ඉවතට හැරී දේව විරෝධී පුද්ගලයන් බවට පත්වෙති.GrHSin 625.1

    සෑම ජාතීන් හටම තමාගේ වේශ්‍යාකම නැමැති මුද්‍රික පානය බීමට පෙළඹෙවුවාවූ බබිලෝනියේ පිළිකුල් සහගත මුද්‍රික පානයෙහි එක් ව්‍යාජ ඉගැන් වීමක් වන්නේ සදාතන වධ වේදනාවට ලක්වීමේ මතවේදයයි. (එළිදරව් 14:8; 17:2). ක්‍රිස්තුස්වහන්සේගේ දේ දාසයන් මෙම ව්‍යාජ ඉගැන්වීම පිළිගෙන එම මතවේදයන් ශුද්ධ දේශනා කුඩුවලින් ප්‍රකාශ කිරීම ඇත්තටම අභිරහසකි. ව්‍යාජ සබතක් ලබාගත් ආකාරයෙන්ම මෙම ඉගැන්වීමද ඔවුන් ලබාගෙන තිබෙන්නේ රෝමයෙන්ය. එම දහම් ප්‍රබල සහ ජනප්‍රිය වූ යහපත් පුද්ගලයන් විසින් උගන්වනු ලබන බව සැබෑවකි. මෙම දහම පිළිබඳව අපට ලැබී ඇති ආලෝකය ඔවුන්ට තවමත් ලැබී නැත. ඔහු තමන්ගේ සේවා කාලයේදී ලැබුවාවූ ආලෝකය පිළිබඳව වගකිව යුතු වූහ. අපගේ දවස්වලදී බැබළෙන්නා වූ ආලෝකය ගැන වගකීම අප සතුය. දේව වචනයෙහි සාක්ෂි වෙතින් ඉවතට හැරී, අප අපගේ පියවරුන් ඉගැන් වූ ව්‍යාජ දහම් පිළිගන්නෙමු නම් බබිලෝනියට විරුද්ධව ප්‍රකාශ කර ඇති ශාපයන්ට අපිද පංගුකාරයන් වෙමු. ඇයගේ වේශ්‍යාකමෙහි මිදි යුෂ අපද පානය කරන්නන් වෙමු.GrHSin 625.2

    සදාතන වධ වේදනාවට ලක් කරනු ලැබීමේ දහම් පිළිබඳව පිළිකුල් සහගත ලෙසද බලවත් අමනාපයකින් යුතුවද දර්ශනය කරන්නා වූ පුද්ගලයන් ඊට විරුද්ධ වන වෙනත් දහමක් වෙත යොමු කරනු ලැබේ. දෙවියන්වහන්සේ වනාහි දයානුකම්පාවෙන් පූර්ණ වූ ආදරයෙන් අනුන තැනැන්වහන්සේ යයි ශුද්ධ ලියවිලි මගින් හඳුන්වා දෙනු ලබන බව මෙම අය දකිති. එම නිසා උන්වහන්සේ විසින් මවනු ලැබූ කිසිම පුද්ගලයෙකු හෝ, සදාතනය පුරා ගිනිගෙන දැවෙන්නාවූ ගිනි විලට තීන්දු කරන්නේ නැතැයි මොවුහු විශ්වාස කරති. අමරණය ආත්මයක් (ප්‍රාණයක්) ස්වභාවයෙන්ම මිනිසා සතුව ඇතැයිද එම නිසා අන්තිමේදී සෑම අයෙක්ම ගැළවීම් ලබන්නේ යයි විශ්වාස කිරීම හැර වෙනත් තීරණයක් ගැනීමට නුපුළුවනැයිද ඔවුහු කල්පනා කරති. ශුද්ධ බයිබලයෙහි අඩංගු තර්ජනය කිරීම මිනිසාට කීකරුකමට බලකිරීමක් සඳහා දී ඇති බිය ගැන්විම් මිස වචනාර්ථයෙන්ම ඉටු වන්නක් නොවේ යයි බොහෝ අය කල්පනා කරති. මෙම මතවේදය අනුව පව්කාරයාට ආත්මාර්ථකාමී ලෙස ජීවත් වීමට පුළුවන; ඔහු දෙවියන්වහන්සේගේ ඉල්ලීම් වලට අවනත වීම අවශ්‍ය නොවේ. කුමන ආකාර දිවි පැවැත්මක් ගත කළද අන්තිමේදී ඔහු දේව වරප්‍රසාදයට භාජනය වනවා ඇත යන දහම මගින් සිදුවන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා කරුණාව සැහැල්ලුවට ලක් කිරීමකි. එමගින් උන්වහන්සේගේ සාධාරණයත්වය ගැන නොසලකා දුෂ්ටයාට තමාගේ තෘෂ්ණාධික ආශාවන් පිනවා ගනිමින් තමන්ගේ පාපිෂ්ඨ ක්‍රියාදාමයන්හි එඩිතර ලෙස යෙදීම පහසු වෙයි.GrHSin 626.1

    විශ්වීය ගැළවීම කේන්ද්‍ර කරගත් දහම උගන්වන්නා වූ අය තමන්ගේ ආත්ම - විනාශකර ඉගැන්වීම සාධාරණීයකරණය කිරීම පිණිස ශුද්ධ ලියවිලි පාඨ වලින් බැහැරව වෙනත් උපුටා දැක්වීම් ඉදිරිපත් කර ඇත. එම ගුරුවරුන්ගේ ප්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කිරීම උචිත වේ. කිසිම ආගමික භක්තියක් නොතිබූ තරුණයෙකුගේ අවමංගල්‍යයකදී විශ්වය ගැළවීම උගන්වන්නා වූ දේවගැතිවරයෙක් දාවිත් පිළිබඳව පවසමින් ” අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී” සිටියේය, යන ශුද්ධ ලියවිලි පාඨය තෝරා ගෙන දෙසුමක් කළේය. (2 සාමුවෙල් 13:39). මෙම තරුණයා හදිසි අනතුරකට භාජන වී මිය ගොස් තිබුණි. දේශකයා මෙසේ රැස්වූවන් ඇමතීය:GrHSin 626.2

    “සමහර විටෙක මරණය නිසා මේ පව්කාර ලෝකය හැර දමා යෑමට සිදුවන්නා වූ අයගේ ඉරණම කුමක් දැයි බොහෝ දෙනෙක් මාගෙන් ප්‍රශ්න කරනවා. සමහර විට එවන් පුද්ගලයෙක් බේබද්දෙකු ලෙසින් මරණයට පත්වූවා විය හැකිය. තමන්ගේ සළු වලින් අපරාධවල රතුපාට පැල්ලම් සෝදා ගන්නේ නැතිව එක් අයෙක් මරණයට පත්වූවා විය හැකිය. එසේත් නැති නම් මේ තරුණයා ලෙස හදිසියේ මියැදෙන්නට සිදුවූවා විය හැකිය. ඔහු කිසිම දිනක ආගමක් අදහන බවක් නොපැවසුවා විය හැකිය; ආගමික අත්දැකීමක් ඔහුට තිබුණේ නැතුවාද විය හැකිය. මේ ගැටළුවට පිළිතුරු ශුද්ධ ලියවිල්ලෙහි තිබෙනවා. එයින් අප සෑහීමට පත්වෙනවා. අම්නොන් ඉතා දරුණු පව්කාරයෙක් විය. ඔහු කිසිදිනක පසුතැවිලි වුණේ නැහැ. ඔහුට මත් පැන් බොන්නට දී වෙරිවූ තත්ත්වයේ සිටියදීම, ඔහුව මරා දමනු ලැබුවා. දාවිත් දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙක්. මතු පැමිණෙන්නාවූ ලෝකයේදී අම්නොන්ට සුගතියක් වේවිද විපත්තියක් වේවිද කියා දාවිත් දැනගෙන සිටින්නට ඇති. දාවිත් ඒ පිළිබඳව කළ හෘදයාගම ප්‍රකාශය කුමක්ද? “අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශා විය”යි සටහන් වෙයි.GrHSin 627.1

    “මෙම ප්‍රකාශයෙහි ඇති වචන වලින් අපට කුමන තීරණයකට එළඹෙන්නට පුළුවන්ද? රජතුමාගේ ආගමික ඇදහිලි හා විශ්වාසයන් තුළ නිමක් නැති දඬුවම් විඳීම ගැන අප මාත්‍ර විශ්වාසයක් හෝ නොතිබූ බව මෙයින් හැඟී යන්නේ නැද්ද? අපිත් මෙසේම තේරුම් ගන්නෙමු. වඩාත් ප්‍රසන්නවද, බුද්ධිමත්වූ ද, ගුණවත්කමින් පිරී යන්නාවූ ද කල්පනයක් ගොඩනගා ගත හැකි මෙම කල්පිතය විශ්වීය පාරිශුද්ධතාව සහ සාමය උදාකර දෙන්නාවූ ඉගැන්වීමකි. තමාගේ පුත්‍රයා මිය ගිය බව දැකීමෙන් රජතුමා සැනසීමට පත් වූ බව ශුද්ධ ලියවිලි පාඨය තහවුරු කරයි. එසේ වීමට හේතුව කුමක්ද? දාවිත් රජතුමා දිවැසිවරයෙක් නිසා ඔහුට අනාගතයට එබී බැලීමේ භාග්‍යය හිමිව තිබුණේය. දීප්තිමත් තේජානුභාවයෙන් යුත් අනාගතය දැකගැනීමට ඔහුට හැකි විය. ඔහු දුටුවේ ස්වකීය පුත්‍රයා සියළුම පරික්ෂාවන්ගෙන් මිදී පාපයේ බැම්මෙන් මුදා හරිනු ලැබ, පාපයේ දූෂිත කමින් පවිත්‍ර කරනු ලැබ සිටින බවය; ඔහු ප්‍රමාණවත් ලෙස ශුද්ධ භාවයක් ලබාගෙන ඇති බව ඔහු දුටුවේය. ඉක්බිතිව ඔහු ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සමූහයාගේ සංගමයට සහ ප්‍රීතියෙන් පිනා යන්නා වූ ආත්මයන්ගේ සමූහයද ඇතුලත් කරනු ලැබූ බව රජතුමාට දැක ගත හැකි විය. වත්මන් ජීවිතයේ පාප සහ දුක්විඳීම් වලින් තම පුත්‍රයා මිදීම ලබා ඇති බව දැකීම රජතුමාට සැනසීමක් විය. පුත්‍රයා දැන් සිටින්නා වූ ස්ථානයේදී ඔහුගේ අඳුරු ආත්මයට ශුද්ධාත්මයාණන්ගේ උදාර ප්‍රේමය ලැබෙන්නේය. එම ක්‍රියාදාමය කරණකොටගෙන ඔහුගේ මනස් ස්වර්ගීය ප්‍රඥාවට විවෘත කරනු ලබන්නේය. අමරණීය ප්‍රේමයෙන් ඔහුව පුරවනු ලබන්නේය. ඔහු මෙසේ පාරිශුද්ධතා ස්වභාවයකට පත්කරනු ලැබ ස්වර්ගීය වාසි සමූහයා සමග විවේකය සහ සමාගමය භුක්ති විඳීමට වාසනාව ලබනවා ඇත.”GrHSin 627.2

    “මෙම කරුණු මගින් අපට පෙනී යන්නේ අපට ගැළවීම ලැබ, අප ස්වර්ගයට ගෙනයනු ලබන්නේ අප මේ ජීවිතයේදී කරන්නාවූ කිසිම දෙයක් නිසා හෝ හදවත වෙනස් කරගැනීමක් නිසා හෝ නොවන බවය; වත්මන් ඇදහිලි විශ්වාසයන් මත හෝ වත්මනදී යම්කිසි ආකාර ආගමක් ඇදහීම මත හෝ අපගේ ගැළවීම රඳා පවතින්නේ නැති බවය.”GrHSin 628.1

    “නුඹලා ඇත්තටම නසින්නේ නැතැ”යි යක්ෂයා ඒදන් උයනේදී පැවැසු මුසා වදන් ඒ දේවගැතිවරයා විසින් තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත. ඒ ගසේ ගෙඩි කන දවසේදී නුඹලාගේ ඈස් ඇරෙන බවත් නුඹලා දෙවියන්වහන්සේට සමාන වන බවත් පවසමින් සර්පයා වහසි බස් කීවේය. ඉතා අන්ත දුෂ්ට පව්කරුවා පවා තමාගේ මරණීන් පසු සදාතන දිව්‍ය සැපතට හිමිකම් කියනවා ඇත. ඒ අයෙක් මිනීමරුවෙකු වුවද කම් නැත, ඔහු සොරෙක් හෝ කම්සැපෙහි වරදවා හැසිර ඇති අයෙක් විය හැකිය. කෙසේ වුවද, සෑම අයෙකුටම සදාතන දිව්‍ය සැපත හිමි වන්නේයයි දේවගැතිවරයෙකු හැටියට පෙනී සිටි මේ තැනැත්තා දැක්වූයේය.GrHSin 628.2

    ශුද්ධ ලියවිල්ල විකෘති කරමින් කළ දේශනාවට ඔහු යොදාගත්තේ කිනම් බයිබල් පාඨයක්ද? තමා දේව අණසකට යටත් වන බව පවසමින් දාවිත් ප්‍රකාශ කළ එක් වගන්තියක් පදනම් කරන්ගෙන දේශකයා තම කථාව නිර්මාණය කර ඇත. “අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශා විය.” කාලය ඉකුත් වී යත්ම දාවිත් තුළ තිබූ දැඩි දුක් සන්තාපය ක්‍රමයෙන් තුනී වී ගියේය. තමා සිදු කළ අපරාධයෙහි යුක්ති සහගත දඬුවම ඔහුට ලැබුණු බැවින් ඔහුගේ අවධානය මිය ගිය තැනැත්තාගෙන් ඉවත්වී ජීවත්ව සිටින්නාවූ පුත්‍රයා කෙරෙහි යොමු විය. දාවිත්ගේ යට කී ප්‍රකාශය පාදක කරගෙන එම දේශකයා වැරදි තීරණයකට එළඹ පැවැසුවේ බේබදු අම්නොන් මළවුන් අතරට පත්වූ වහාම දිව්‍ය සැපත භුක්ති විඳින්නන්ගේ භවනය වෙත ප්‍රවාහනය කළ බවය; එහිදී ඔහු පාරිශුද්ධතාවට පත්කරනු ලැබ පව් නොකළ දේව දූතයන් සමග එක්ව ජීවත් වීමට සුදානම් කරනු ලබන බවය. මෙය සිත් පිනා යන්නා වූ ප්‍රබන්ධයකි, තෘෂ්ණා පිරි හදවතකට සැනසුම් බස් දෙඩවීමකි. මෙය සාතන්ගේම ධර්මතාවකි. ඔහුගේ මේ සැලැස්ම ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් උපදෙස් තිබියදී දුෂ්ටකම තව තවත් ප්‍රචලිත වීම ගැන අපි පුදුම වෙමුද?GrHSin 628.3

    මෙම ව්‍යාජ ගුරුවරයාගේ ක්‍රියාව, එබඳු ඉගැන්වීම් ඉදිරිපත් කරන්නාවූ වෙනත් අය පිළිබඳව නිදසුනකි. යම්කිසි ශුද්ධ ලියවිලි පාඨයක වූ ප්‍රකාශයන් වචන කිහිපයක් පමණක් ගෙන එයට තමා කැමති අර්ථකථනයක් ගෙන දෙමින් එමගින් යම්කිසි ඉගැන්වීමක් ඉදිරිපත් කරනු ලැබේ. සෑම අවස්ථාවකදීම පාහේ මෙම නවක අර්ථකථන පාඨයට ඇතුළත් වන කොටසේ අර්ථයට සහමුලින්ම පටහැනිය. පාඨයේ පද කිහිපයක් පමණක් උපයෝගී කරගෙන ගොඩ නගන්නාවූ දහමට දෙවියන්වහන්සේගේ වචනය තුළ පදනමක් නොමැත්තේය. පාඨයෙන් වෙන්කර ගත් පද ස්වල්පයකින් ගොඩ නගන්නාවූ ඉගැන්වීම සඳහා එවන් ගුරුවරු පද විකෘති කිරිමක් යොදා ගනිති. බේබදුකාර අම්නොන් සගයෙහි සිටිතැයි යන්න සනාථ කිරීම් වස් යොදා ගෙන තිබූ ශුද්ධ ලියවිලි සාක්ෂිය නිශ්චිතයක් ලෙස භාවිතා කර ඇති අතර එම මතවේදය ශුද්ධ ලියවිල්ලෙහි සරලවූ ද සෘජුවූ ද ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනිය. ශුද්ධ ලියවිල්ල පවසන්නේ කිසිම බේබද්දෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බවය. (1 කොරින්ති 6:10). අනුමාන කරන්නෝ, අවිස්වාස කරන්නෝ සහ සැක කරන්නෝ සත්‍යතාව බොරු ඉගැන්වීමකට හරවන්නේ මෙයාකාරයෙන්ය. ඔවුන්ගේ බොරු තර්ක මගින් බොහෝ මනුෂ්‍යයෝ මුළාවට පත්කරනු ලැබ සිටිති. මා සිත තෘෂ්ණාවන් නැමැති තොටිල්ල නිරුපද්‍රිතව පැද්දෙමින් කල් ගෙවමින් නින්දට යාමට බොහෝ අය පුරුදු වී සිටිති.GrHSin 629.1

    මරණ මංචකයේ අන්තිම හුස්ම පිටවීමත් සමගම යම් පුද්ගලයෙකුගේ ආත්මය එක එල්ලේම ස්වර්ගය කරා යවනු ලබන්නේ නම් ජීවත් වීමට වඩා මරණයට පත්වීම අප විසින් ආශා කළ යුතුය, අගය කළ යුතුය. මෙම විශ්වාසය නිසා බොහෝ අය තම ජීවිතවලින් සමුගෙන ඇත. කරදර, හිරිහැර, ව්‍යාකූල භාවය සහ බලාපොරොත්තු කඩවීම් යනාදියට මුහුණ දීමෙන් අසරණ භාවයට පත් වූ අය සහ අනාථ භාවයට පත්වූ අය ජීවිතය එල්ලී ඇති සිහින් නූල සිඳ දමා සදාතන ලෝකයේ සම්පත් අයිති කරගැනීමට කටයුතු කිරීම පහසු කෙටි මාර්ගයක් බව නිගමනය කරති.GrHSin 629.2

    තමන්වහන්සේගේ දේව නීති සංග්‍රහය බිඳ දමන්නා වූ අයට දඬුවම් කරන බවට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළ තීරණාත්මක සාක්ෂි ඉදිරිපත් කර තිබේ. යුක්තිය ඉටු කිරීම පිණිස පව්කාරයාට විනිශ්චයක් ලබාදීමට, දඬුවම් කිරීමට, උන්වහන්සේගේ මෛත්‍රී - කරුණාව ඉඩ දෙන්නේ නැතැයි උගන්වන්නාවූ අය කල්වාරි කුරුසිය දෙස නෙත් යොමු කළ යුතුය. පාපයෙන් අපවිත්‍ර නොවූ දේව පුත්‍රයාණගේ මරණය සාක්ෂි දරන්නේ “පාපයේ කුළිය නම් මරණය බවය.” දෙවියන්වහන්සේගේ දහම් නීති සංග්‍රහය කඩ කරන්නා වූ සෑම අවස්ථාවකටම යුක්ති සහගත දඬුවමක් ලැබීම අනිවාර්ය බව එය දක්වයි. පාප රහිත ක්‍රිස්තුස්වහන්සේ මිනිසා උදෙසා පාපයේ වන්දිය බවට පත් වූ සේක. දිව්‍ය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ දඬුවම උන්වහන්සේ දැරු සේක. පියාණන්වහන්සේගේ ශ්‍රී මුහුණ උන්වහන්සේ වෙතින් සඟවා ගැනීම උන්වහන්සේට දරා ගැනීමට සිදුවිය. අන්තිමේදී යේසුස්වහන්සේගේ ශ්‍රී හදවත පැලී උන්වහන්ගේ ජීවිතය නිමාවට පත් විය. පව්කරුවන්ට ගැළවීම ලබාදීම උදෙසා උන්වහන්සේ මෙසේ පූජා වූ සේක. පාපයේ ශාපයෙන් සහ දඬුවමින් මිනිසාට නිදහස ලබාදීමට වෙන් කළ හැකි කිසිවක් නොවීය. මෙවන් විශාල වන්දියක් ගෙවා සපයනු ලබන්නා වූ සමගි කිරීමේ තිළිණයෙහි පංගුකාරයෙකු වීම ප්‍රතික්ෂේප කරන්නාවූ සෑම පුද්ගලයෙක්ම තමන් විසින් කරන ලද්දා වූ පාපවලට හිමි දඬුවම සහ වරද තමා විසින්ම දැරිය යුතුය.GrHSin 629.3

    මෙබඳු ව්‍යාජ අදහස් දරන්නා වූ ගුරුවරුන් උගන්වන්නේ සෑම මිනිස් පුද්ගලයෙකුම සගයට ගෙන යනු ලැබ ශුද්ධ වූ දේව දූතයන් ලෙස ප්‍රීතියෙන් සිටින බවය. නමුත් අදේවභක්තිකව පසුතැවිලි නො වන්නා වූ මිනිසුන්ගේ ඉරණම පිළිබඳව ශුද්ධ බයිබලය උගන්වන්නේ කිමෙක්දැයි විමසා බලමු.GrHSin 630.1

    “පිපාසය ඇත්තාට මම ජීවන-වතුර උල්පතෙන් නොමිළයේ බොන්ට දෙන්නෙමි.” (එළිදරව් 21:6,). පිපාසා ඇති අයට පමණක් මේ පොරොන්දු දෙවා වදාරා ඇත. ජීවනයේ වතුර ලැබීමේ අවශ්‍යතාව ගැන හැඟීමෙන් යුතුව එය සොයන්නා වූ අයට හැරෙන්නට වෙනත් අයට මේ දීමනාව ලැබෙන්නේ නැත. එය ලැබීම සඳහා තමන් සතු සියල්ල අහිමි වුවද, එය තමාට අවශ්‍ය යයි හැඟෙන අයට පමණක් එය දෙනු ලැබේ. “ජයගන්නා මේ දේවල් උරුම කරගන්නේය, මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය” (එළිදරව් 21:7) යන ස්ථිරසාර කොන්දේසිය ඉදිරිපත් කර තිබේ. සියල්ල හිමි කරගැනීම අපගේ අපේක්ෂාව වන්නේ නම් අපි පාපයට විරුද්ධව නැගී සිට ජයගත යුතු වෙමු.GrHSin 630.2

    යෙසායා දිවැසිවරයා තුළින් දෙව් සමිඳාණෝ මෙසේ ප්‍රකාශ කරන සේක. “ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ යයි කියන්න.” “අහෝ. දුෂ්ටයාට දුක්වේ. ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.” (යෙසායා 3:10,11). ප්‍රඥාවත්තයා මෙසේ පවසයි. “පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුණත්, දෙවියන් වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භය වෙන්නට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි. නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධ වෙන්නේවත් සෙවනැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝ වන්නේවත් නැත.” (දේශනාකාරයා 8:12, 13). පසුතැවිලි නොවන දුෂ්ටයා දේව උදහසේ දවසේදී දේව උදහසට ඉලක්ක වන හේතු ගොඩගසා ගන්නා බව පාවුල් මෙසේ පවසයි. ඒ දවසෙහිදී “උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාක දී ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක. ... නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට .... සිත් වේදනාවක් පැමිණෙන්නේය.” (රෝම 2: 5, 6, 9).GrHSin 630.3

    “මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවන් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූප වඳින්නෙක් වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තක ලෙස දැනසිටින්නහුය” (එපීස 5:5). “සියල්ලන් සමග සමාදානයෙන් සිටින්ටත් ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධ කම අනුව යන්ටත් උත්සාහ කරන්න.” (හෙබ්‍රෙව් 12:14). “ජීවන වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත්, දොරටුවලින් නුවරට ඇතුල් වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදා ගන්නාවූ තැනැත්තෝ (උන්වහන්සේගේ අඥා පවත්වන්නෝ) ආශිර්වාද ලද්දෝය. පිටත සිටින්නෝ නම් බල්ලෝද ද, මායම් කරන්නෝද ... රූප වඳින්නෝද, බොරුවකට ප්‍රිය වන්නාවූ, එය කරන්නා වූ සියල්ලෝද වෙති. (එළිදරව් 22:14,15).GrHSin 631.1

    තමන්වහන්සේගේ චරිත ගුණාංග පිළිබඳවත් පාපය පිළිබඳව උන්වහන්සේ ක්‍රියාකරන ආකාරය ගැනත් දෙවියන්වහන්සේ මිනිසුන්ට පැහැදිලි ප්‍රකාශනයක් මෙසේ ලබා දී ඇත. උන්වහන්සේ “ස්වාමීන්වහන්සේය. උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නා වූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තා වූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වන සේක. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන සේක.” (නික්මයාම 34:6,7) දෙවියන්වහන්සේ “සියලු දුෂ්ටයන් විනාශ කරන සේක.” (ගීතාවලිය 145:20). “අපරාධකාරයෝ එකට විනාශ කරනු ලබන්නෝය. දුෂ්ටයන්ගේ දිවි කෙළවර සිඳිනු ලබන්නේය. ” (ගීතාවලිය 37:38). කැරලි ගැසීම මැඩපැවැත්වීම සඳහා දිව්‍ය ආණ්ඩුවේ බල ශක්තිය සහ අධිකාරී බලය යොදවනු ලබනවා ඇත. දඬුවම් පැමිණවීමේ සෑම ක්‍රමවේදයක්ම දෙවියන්වහන්සේගේ චරිත ගුණාංග වන මෛත්‍රී - කරුණාව, ඉවසීම සහ ත්‍යාගශීලීතාව සමග හොඳාකාරව ගැළපෙන්නේය.GrHSin 631.2

    දෙවියන්වහන්සේ කිසිවෙකුගේ කැමැත්තට හෝ විනිශ්චයට හෝ බලපෑමක් නොකරන සේක. යමෙක් වහලෙකු ලෙස කීකරුවීම ගැන උන්වහන්සේ ප්‍රසන්න නොවනසේක. උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මවනු ලැබූ ජීවනය ඇති සැවොම, ඔවුන්ගේ ආදරය ලැබීමට උන්වහන්සේ සුදුසු වන නිසාම තමන්වහන්සේට ප්‍රේම කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. උන්වහන්සේගේ ප්‍රඥා මහිමය, යුක්ති ගරුකතාව සහ පරිත්‍යාගශීලීතාව කෙරෙහි වූ බුද්ධිමත් ඇගයීමක් නිසාම සෑම අයෙක්ම තමන්වහන්සේට කීකරු වනවා දැකීම දෙවියන්වහන්ගේ කැමැත්ත වන්නේය. මෙකී ගුණාංග කෙරෙහි යුක්ති සහගත ආකල්පයක් ඇති සැවොම උන්වහන්සේට ප්‍රේම කරනවා නොඅනුමානය. මක්නිසාදයත්, උන්වහන්සේගේ ගුණාංගවලට ප්‍රණාමය දැක්වීම් වස් ඔවුන් උන්වහන්සේ වෙතට නිතැතින්ම ආකර්ෂණය කරනු ලබනවා ඇත, ඇදී යනවා ඇත.GrHSin 632.1

    අපගේ ගැළවුම්කාරයාණන් වන යේසු සමිඳාණන් විසින් උගන්වනු ලැබ උන්වහන්සේගේ ජීවිතය තුළින් ආදර්ශමත් ලෙස පෙන්වා දෙනු ලැබූ කරුණාවත්තකම දයාව සහ ප්‍රේමය දෙවියන්වහන්සේගේ චරිත ගුණාංගයන්හි සහ කැමැත්තෙහි සැබෑ පිටපතක් වන්නේය, අනුරූපයක් වන්නේය. තම පියාණන්වහන්සේගෙන් ලැබූ දේ මිස වෙන කිසිම දෙයක් තමන් උගන්වන්නේ නැතැයි ක්‍රිස්තුස්වහන්සේ පැවැසූ සේක. “ඔබේ සතුරාට ප්‍රේම කරන්නැ”යි ගැළවුම්කාරයාණෝ දෙවා වදාළ ශික්ෂා පදය හෙවත් උපදේශය දිව්‍ය රජයේ ප්‍රතිපත්ති සමග සම්පුර්ණයෙන්ම එකඟ වන්නේය. විශ්වයේ යහපත සඳහා දෙවියන්වහන්සේ විනිශ්චය ක්‍රියාවට නංවන සේක. එසේම දඬුවම් ලබන්නාගේ ශුභ සිද්ධිය උදෙසාද එය ඉවහල් වන්නේය. තම රජයේ නීති සංග්‍රහය අනුව දඩුවම් ලබන්නාගේ ප්‍රීතියට උපරිම වශයෙන් උදව් කිරීමට දෙවියන්වහන්සේ කැමැති වනසේක. තමන්වහන්සේගේ ප්‍රේමයේ සලකුණුවලින් උන්වහන්සේ ඔවුන් වට කරනසේක; තමන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කරනසේක. එහෙත් ඔවුහු උන්වහන්සේගේ ප්‍රේමය එපා කරමින් උන්වහන්සේගේ ව්‍යවස්ථාව නොපවත්වමින් උන්වහන්සේගේ කරුණාව ප්‍රතික්ෂේප කරති. දෙවියන්වහන්සේගේ දීමනාවන් ලබන්නාවූ අතරවාරයේදීම ඔවුහු ඒ තිළිණ ලබාදෙන්නාවූ තැනැන්වහන්සේට අගෞරව කරති. උන්වහන්සේ තමන්ගේ පාප පිළිකුල් කරන බව දන්නා නිසා ඔවුහු උන්වහන්සේට වෛර කරති. ඔවුන්ගේ මුරණ්ඩු හිතුවක්කාරකම පිළිබඳව ස්වාමින්වහන්සේ බොහෝ කල් ඉවසා දරාගෙන සිටිනසේක. එසේ වුවද, අන්තිමේදී තීරණාත්මක පැය පැමිණෙන්නේය . එකල ඔවුන්ගේ ඉරණම තීරණය කරනු ලබනවා ඇත. එවිට උන්වහන්සේ මෙම කැරැලිකරුවන් තමන් වහන්සේගේ පාර්ශ්වයට සම්බන්ධ කරගන්නවා. ඇද්ද? තමන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට උන්වහන්සේ ඔවුන්ට බලකරනවා ඇද්ද?GrHSin 632.2

    තමන්ගේ නායකයා ලෙස සාතන්ව තෝරා ගත් අය, ඔහුගේ බලය යටතේ පාලනය කරනු ලැබූ අය, දෙවියන්වහන්සේගේ අභිමුඛය වෙත යාමට සුදානම් නැත. අහංකාරකම, වංචා කිරීම, සල්ලාලකම, කුරිරුකම යන ගුණාංග මොවුන්ගේ චරිත තුළ ස්ථාපිත වී ඇත. තමන් මේ ලෝකයේ සිටියදී අවමානයට ලක් කළ, වෛර කළ අය සමග සදාතනය පුරා එක්ව ජීවත් වීමට ඔවුන්ට ස්වර්ගයට ඇතුළු විය හැකි වේද? බොරුකාරයෙකුට සත්‍යතාව සමග එකඟතාවකට පැමිණිය නොහැක. මුදු මොළොක් කමට ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා අහංකාරකම සෑහීමට පත් කළ නොහැක. දූෂිතයෙකුට පාරිශුද්ධතාවය පිළිගත නොහැක. ආත්මාර්ථකාමී අයෙකුට, පරාර්ථකාමී ආදරය අගය කළ යුතු ගුණාංගයක් නොවන්නේය. සම්පූර්ණ වශයෙන්ම ලෞකික දැය කෙරෙහිද ස්ව-අත්ම විභූතිය කෙරෙහිද උනන්දුව දක්වන අයගේ ප්‍රීති ප්‍රමෝදය සඳහා සගය විසින් කුමක් දිය යුතුද?GrHSin 633.1

    දෙවියන්වහන්සේ විරුද්ධව කැරැළි ගසමින් ජීවිතය ගෙවූ අය එක්වරම සගය වෙත ප්‍රවාහනය කළහොත් ඔවුන්ට සගයේ හිඳීම ප්‍රීතිමත් අත්දැකීමක් විය හැකිද? සගයේ දැකගත හැකි උසස්වු ද ශුද්ධ වූ ද පරිපූර්ණ සදාතන පැවැත්ම සමග කැරැළිකරුවන්ට අනුගත වීමේ හැකියාවක් තිබේද? සගයේ ජීවත් වන්නා වූ සෑම ආත්මයක්ම ප්‍රේමයෙන් පිරි සිටිනවා ඇත; ඔවුන්ගේ මුහුණු වලින් ප්‍රීතිය උතුරා යයි; දෙවි සමිඳාණන්ට සහ බැටළු පෝතක සමිඳාණන්ට ගෞරවය පුද කරමින් නැගෙන්නා වූ මිහිරි ගීත රාවය සගය පුරා දවස මුළුල්ලේ පවතින්නේය. සිහසුන් මත වැඩ වාසය කරන්නාවූ තැනැන්වහන්සේගේ මුහුණින් නික්ම එන්නාවූ නිමක් නැති ආලෝක දහරාවන් මිදීම ලැබුවන් මත පතිත වන්නේය. දෙවියන්වහන්සේට වූ වෛරයෙන් හදවත් පිරී ගිය අයට සත්‍යතාවයට සහ ශුද්ධකමට ද්වේෂ කළ අයට, සගයේ ශුද්ධ සමූහයා සමග එකතු වී පැසසුම් ගී ගැයීමට හැකියාවක් තිබේද? දෙවි පියාණන්ගේ සහ බැටළු පෝතකයාණන්ගේ තේජස් මහිමය ඉදිරියෙහි නැගී සිටීමට දුෂ්ටයන්ට පුළුවන් කමක් තිබේද? එසේ නොවේ; සගයට ගැළපෙන්නාවූ චරිත ගොඩනගා ගැනීමට ඔවුන්ට පරිවාසයෙහි වසර ගණනාවක් ලබාදී තිබිණ. නමුත් ශුද්ධවන්ත භාවයට පත්වීමට මනස පුහුණු කරගැනීමට දුෂ්ටයෝ කිසිදිනක වෑයම් නොකළේය. ඔවුන් සගයේ භාෂාව ඉගෙන ගෙන තිබුණේ. නැත. එසේ කිරීමට දැන් ප්‍රමාද වූවා වැඩිය. දෙවියන්වහන්සේට විරුද්ධව කැරැළි ගැසීමේ ජීවිත ගත කළ ඔවුන්ට ස්වර්ගයේ ජීවිතයට සුදුසුකමක් නැත. සගයේ පවතින්නා වූ ශුද්ධත්වය නිර්මලතාව සහ සමාදානය එහි යන්නාවූ පව්කරුවන්ට වධ හිංසාවක් වනවා ඇත. දෙවියන්වහන්ගේ තේජස් මහිමාලංකාරය ඔවුන්ව විනාශ කර දමනවා ඇත. පසුතැවිලි නොවූ පව්කාරයන් එහි ගියහොත් ඔවුන් එම ස්ථානයෙන් පලා යෑමට කැමැත්තක් දක්වනවා ඇත. තමන්ට ගැළවීම උදාකර දීමට ස්වකීය ජීවිතය පූජා කළ තැනැන්වහන්සේගේ ශ්‍රී මුහුණත ඉදිරියෙහි සැඟවී සිටීමේ අභිලාෂයන් ඔවුන් විනාශය පතනවා ඇත; විනාශය කැඳවනවා ඇත. තම තමාගේ තෝරා ගැනීම මගින් දුෂ්ටයෝ සිය ඉරණම තීරණය කරගෙන ඇත. සගයෙන් පිටත සිටීම ඔවුන්ගේම තෝරාගැනීමෙන් සිදුවෙයි. සගයෙන් පිටත සිටීමට ඔවුන්ට ඉඩදීම දෙවියන්වහන්සේගේ යුක්ති සහගත වූ ද මෛත්‍රී කරුණාවෙන් යුතු වූ ද ක්‍රියාවක් වනවා ඇත.GrHSin 633.2

    ලෝ ව්‍යාප්ත ජලගැල්මෙහි ජලකන්ධය මෙන්ම, ඒ මහත් දවසේදී ඇතිවන ගිනි ජාලාව මගින් පව්කාරයන්ගේ ව්‍යාධිය සුවපත් කළ නොහැකි බව දක්වන දේව තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේය. දිව්‍ය අධිකාරී බලයට යටත් වීමට දුෂ්ටයන් තුළ අභිප්‍රායක් නැත. ඔවුන්ගේ කැමැත්ත කැරැළි ගැසීම මගින් එළිදක්වා ඇත. ජීවිතය නිමවූවාට පසුව, ඔවුන් තුළ පැවැති කල්පනා පිළිවෙල අනෙක් අතට හැරවීමට තවත් කාලයක් ඉතිරි වන්නේ නැත. නීති උල්ලංඝනය කිරීමෙන් කීකරුකමට හැරීමටවත්, වෛරයෙන් ආදරය කිරීමට හැරීමටවත් ඔවුන් පමා වූවා වැඩිය. පව්කරුවන්ට දෙවියන්වහන්සේ සමග සබඳතාවක් පවතින්නේ නැත.GrHSin 634.1

    පව්කාරයාට සදහටම ජීවත් වීමට ඉඩ ලබාදුනහොත්, ඔවුන්ගේ මාර්ගයේම නිදහස් ලෙස ගමන් කිරීමට ප්‍රස්ථාව ලබාදුන හොත් එයින් සිදුවිය හැකි අනිටු විපාක පෙන්නුම් කිරීම් වස් කායින්ගේ ජීවිතය පව් කළ විගස විනාශ නොකිරීමෙන් දෙවියන්වහන්සේ ලෝකයාට ආදර්ශයක් ලබා දුන්නේය. කායින්ගේ ඉගැන්වීම් සහ ආදර්ශයෙහි අනුබලය මගින් ඔහුගෙන් පැවැත එන්නෝ විශාල වශයෙන් පාපයට යොමු කරන ලදී. එය කෙතෙක් දුරට වර්ධනය වීද යත් මිහිපිට මිනිසාගේ දුෂ්ටකම ඉතා ඉහළ මට්ටමක පැවැතියේය. “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණුත් නිරන්තරයෙන්ම නපුරුවම තිබෙන බවද ස්වාමින්වහන්සේ දුටුසේක.” “පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දුෂ්‍ය වූවාය. පොළොව බලහත්කාරයෙන් පිරී තිබුණාය.” (උත්පත්ති 6:5, 11). මිනිසාගේ සිතුවිලි නිතරම නපුරෙන් පිරී තිබිණ. ලෝකය වෙත වූ මෛත්‍රී - කරුණාව නිසා දෙවියන් වහන්සේ නෝවාගේ දවස්වලදී සිටියා වූ දුෂ්ට ලෝවාසීන් විනාශ කර දැමූ සේක. සොදොම්හි දිවි ගෙවූ දුෂිත වැසියන් උන්වහන්සේ තම මෛත්‍රී - කරුණාව නිසා විනාශයට ලක් කළ සේක. සාතන්ගේ මුළා කිරීමෙහි බලය කරණකොටගෙන, දුෂ්ටකම් කිරීමෙහි ක්‍රියාකාරී වන්නා වූ අය වෙනත් අයගේ අනුකම්පාව සහ පැසසුම දිනා ගනිති. එමගින් ඔවුහු අනෙකුත් අයව නිරතුරුවම කැරලි ගැසීමට යොමු කරයි. කායින්ගේ සහ නෝවාගේ දවස්වලදී එම සිදුවිය, ආබ්‍රහම්ගේ සහ ලොත්ගේ දවස්වලදී ද එසේම සිදුවිය. අපගේ දවස්වලදී ද එම සිදුවන්නේය. දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ කරුණා අනුග්‍රහය එපා කරන අයව විනාශ කර දමන්නේ විශ්වය කෙරෙහි ඇත්තාවූ මෛත්‍රී - කරුණාව නිසාය.GrHSin 634.2

    “පාපයේ කුළී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.” (රෝම 6:23). දමිටුවන්ගේ උරුමය සදාතන ජීවනය වන අතර පවිටුන්ගේ කොටස මරණයයි. මෝසෙස් ඊශ්‍රායෙලියතයන්ට මෙසේ පැවැසීය. “මෙන්න, මම අද ජීවනය සහ යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.” (ද්විතීය කථාව 30:15). මෙහි සඳහන් වන මරණය වනාහි ආදම් විසින් ව්‍යවස්ථාව කඩකිරීම නිසා මිනිස් වර්ගයාට නියම වු මරණය නොවන්නේය. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන මේ මරණය වනාහි “දෙවන මරණය” වන්නේය. එය සදාකාල ජීවනයට පටහැනිව පවතියි.GrHSin 635.1

    ආදම්ගේ පාපයෙහි විපාකය ලෙස සකල මිනිස් වර්ගයාට මරණය තීන්දු විය. සෑම අයෙක්ම මිනී වල වෙත පැමිණෙයි. ගැළවීමේ දීමනාව තුළින් සෑම අයෙක්ම මිනී වලෙන් පිටතට ගෙන එනු ලබති. “ධර්මිෂ්ඨයන්ද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක් වන්නේය.” (ක්‍රියා 24:15). “මක්නිසාද ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය.” (1 කොරින්ති 15:22). නමුත් නැගිටුවනු ලබන කාණ්ඩ දෙක අතර වෙනසක් පවතින්නේය. “සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් පිටවී එන්නෝය.” (යොහන් 5:28,29), ජීවනයේ නැවත නැගිටීමට සුදුසුකම්” ලබන අය භාග්‍යය, ශුද්ධවත්ය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය. එහෙත් පසුතැවිලි වීමෙන් සහ ඇදහිල්ලෙන් පවා කමාව ලබා නොගත් සියල්ලෝම ව්‍යවස්ථාව කඩ කිරීමේ වරදට දඬුවම් ලැබිය යුත්තෝය. “පාපයේ කුළිය නම් මරණයයි.” ඔවුන් එකිනෙක්කෙනා තම තමන්ගේ ක්‍රියාවන් ලෙස උෂ්ණත්වය සැරකම සහ දැවෙන්නාවූ කාලය අනුව දඬුවමට ගොදුරු වෙති. දඬුවම නිම වන්නේ දෙවන මරණයත් සමගය. දෙවියන්වහන්සේගේ යුක්ති - සාධාරණත්වයත් මෛත්‍රී -කරුණාවත් ක්‍රියාත්මක කිරීමේ දී පාපය තුළ පව්කාරයාට ගැළවීම ලබාදීමට උන්වහන්සේට හැකියාවක් නැත. පව්කරුවා දේව දහම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් සදාතන ජීවිතය අහිමි කරගත් නිසා, දෙවියන්වහන්සේ ඔහුගේ ජීවත් වීමේ අයිතිය ඔහුට අහිමි කරන සේක. ස්වානුභාවය ලැබූ ලේඛකයෙක් මෙසේ පවසා ඇත. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහු ගේ ස්ථානය පරික්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බන්ධ නොවන්නේය.” (ගීතාවලිය 37:10) “ඔහු නොසිටියාමෙන් වෙනවා ඇත” යි තව තැනැත්තෙක් පවසා තිබේ. ( ඔබදියා 16). පාපතර භාවයෙන් පිරී යන ඔහු බලාපොරොත්තු රහිත ලෙස, සදාකාලික නැති වී යාමකට යොමු වෙති.GrHSin 635.2

    පාපයේ ප්‍රතිඵලයක් ලෙස පැතිර ගිය සෑම දුක් අදෝනාවක් හා සෑම ආකාර විනාශයක් සමග පාපය නිමාවට පත්වන්නේය. ගීත රවකයා මෙසේ පවසයි: “ඔබ ජාතීන්ට තරවටු කොට දුෂ්ටයන් විනාශ කළසේක. සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූ සේක. සතුරෝ කෙළවරකට පැමිණියෝය; ඔවුහුද ඔබ විසින් පෙරළා දමූ නුවරවල්ද සදාකාලේටම නාස්ති වුය; ඒවා ගැන සිහිවීම පවා නැති විය. (ගීතාවලිය 9:5, 6) අනාගත ස්ථාවරය ගැන දිවසින් දකින්නා වූ යොහන් දිවැසිවරයාට එහි සිට නැග එන්නා වූ විශ්වීය ජාතික ගීයට සවන් දීමේ වාසනාව හිමි විය. එම දේශාභිමාන ගීතයෙහි එකම වැරැදි ස්වරයක් හෝ නොවීය. සගයේ මෙන්ම පොළොවෙහිද ජීවත් වන්නා වූ සැවොම දෙවියන්වහන්සේට මිහිරි ගීතයක් ගැයීමට එක්සිත්ව පෙළ ගැසී සිටියහ. දෙවි සමිඳාණන්ට අපහාස කිරීමට එහි එකම ප්‍රාණයක්වත් නොසිටිනවා ඇත. නිමක් නොදකින්නා වූ බලවත් වේදනාවෙන් පීඩා විඳිමින් නිරයේ ගිනි දැල් අතරින් දෙවියන්වහන්සේ අපහාස කිරීමට කිසිවෙක් නොසිටිනවා ඇත. නිරයෙහි දුක් විඳින්නාවූ අයගේ විලාප ගීතය ගැළවීම ලැබුවන්ගේ ප්‍රශස්ත ගී ගැයුමට එක්කිරීමට කිසිවෙක් එහි නොසිටිනවා ඇත.GrHSin 636.1

    අමරණ භාවය ස්වභාවයෙන්ම මිනිසා සතුව ඇතැයි ප්‍රකාශ කරන්නා වූ මූලික බොරුව මත පදනම්ව මරණයෙහිදී මිනිසාට සිහිය ඇතැයි යන ඉගැන්වීමද පෙරමග ගනී. මනුෂ්‍යයා සදාතනය පුරා නිරයේ ගින්නෙහි දැවෙමින් සිටිතැයි යන දහම මෙන්ම මෙම ඉගැන්වීමද ශුද්ධ ලියවිලි මත පදනම් වූ දහමක් නොවන්නේය. එවන් ඉගැන්වීමක් අපගේ තර්ක කිරීම් වලින් පවා සනාථ නොවේ. මානව දයාවේ හැඟීම් වලට පවා එම ඉගැන්වීම පටහැනිය. අද පවතින්නාවූ ජනප්‍රිය විශ්වාස කිරීමක් අනුව ගැළවීම ලැබූ සගයේ වාසය කරන්නන් හට මෙම භූමි තලයේ සිදුවන්නාවූ සෑම දෙයක් පිළිබඳව දැනීම ඇත. එහෙත් තමන් මෙලොව දමා ගිය හිතවතුන්ගේ සහ නෑදෑයින්ගේ ක්‍රියාකාරකම් ද දුක් වේදනාවන්, බලාපොරොත්තු සුන්වීම් සහ සන්තාපයද ඔවුන්ගේ කරදරද දකිමින් අසමින් සංවේදීව සිටින්නාවූ මිය පරලොව ගියා යයි සිතන්නාවූ අයට සගයේ සැපත සහ වින්දනය ප්‍රීතියක් විය හැකිද? ඒ අතරම, පසුතැවිලි නොවූ තැනැත්තෙකුගේ ආත්මය අන්තිම හුස්ම පිටවීමත් සමගම නරකාදිය වෙත ගෙන යනු ලැබ නිරයේ ගිනි සිළු අතරට දමනු ලැබේ යැයි යන විශ්වාසය ජීවත්ව ඉන්නාවූ අයෙකුට කෙතරම් පිළිකුලක් ඇති කරන ඉගැන්වීමක්ද! සූදානම් වීමකින් තොරව තම මිතුරන් මිනී වල කරා යනවා දැකීමෙන් ජීවත්ව සිටින්නන්ට කොයි ආකාර සංවේගයක් සන්තාපයක් හට නොගනීද! සිත් වියවුල් කරන මහත් බයක් සහ තැති ගැන්වීමක් ඇති කරන මෙම ඉගැන් වීම නිසා බොහෝ අය උමතුවට පත්වෙති.GrHSin 636.2

    මෙම කරුණු සම්බන්ධව ශුද්ධ ලියවිලි කුමක් පවසන්නේද? මරණයට පත්වූ මිනිසෙකුට සිහි බුද්ධිය නැතැයි කියා දාවිත් මෙසේ පවසයි. “ඔහුගේ හුස්ම නික්ම යයි. ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.” (ගීතාවලිය 146:4). සාලමොන්ද මෙවැනිම සාක්ෂියක් දරයි. “ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” “ඔවුන්ගේ ප්‍රේමයද, වෛරයද, ඊර්ෂ්‍යාවද දැන් නැති වී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.” “නුඹ යන මිනී වලෙහි වැඩක්වත් යෝජනාවක්වත්, දැනගැනීමවත් ප්‍රඥාවවත් නැත. (දේශනාකාරයා 9: 5, 6, 10).GrHSin 637.1

    යාච්ඤාවට පිළිතුරක් වශයෙන් හෙසකියාගේ ජීවිතය අවුරුදු පහලොවකින් දික් කරනු ලැබීය. දෙවියන්වහන්සේගේ මෛත්‍රී -කරුණාව කෙරෙහි කෘතඥතාව පළකරමින් රජතුමා උන්වහන්සේ ප්‍රශංසා ගීයක් ඔප්පු කළේය. තමන් මෙයාකාරයෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් ගී ගයන්නේ මන්දැයි ඔහු මේ ගීතයෙන් මෙසේ ප්‍රකාශ කළේය: ” මක්නිසාද ඔබට ප්‍රශංසා කරන්ට මිනී වලටවත්, ඔබ වර්ණනාකරන්ට මරණයටත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය. ජීවත්ව සිටින්නා - ජීවත්ව සිටින්නාම - අද මා වාගේ ඔබට ස්තුති කරන්නේය.” (යෙසායා 38:18,19). ජන ප්‍රසාදය දිනා ගත් ඉගැන්වීම පවසන්නේ මිය ගිය දහැමි අය දැන් සගයේ සිටින බවය; ඔවුහු සග සත් භූක්ති විඳිමින් අමරණිය දිව් වලින් දෙවි සමිඳුන් පසසන බවය. මරණයේදී එවන් මහිමවත් භාග්‍යයක් අත් නොවන බව හෙසකියා දැනගෙන සිටියේය. හෙසකියා රජතුමාගේ වචන සමග ගීත රචක රජතුමාද එකඟ වෙමින් මෙසේ පවසා තිබේ. ” මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයොලේදී ඔබට ස්තූති කරන්නේ කවරෙක්ද?” “මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමින්ට ප්‍රශංසා නොකෙරෙති.” (ගීතාවලිය 6:5;115:17).GrHSin 637.2

    දාවිත් රජතුමා පිළිබඳව පේතෘස් පෙන්තකොස්ත දවසේදී මෙසේ පැවසුවේය. කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත් කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන. ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබේ.” “මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත.” (ක්‍රියා 2:29, 34). මළවුන් නැගිටුවන දවස තෙක් දාවිත් සොහොන් ගෙයි සැතපී සිටින බව පෙන්වා දීමෙන් ඔප්පු වන්නේ මරණයේදී දමිටුවන් සගයට යන්නේ නැත යන සත්‍යයයි. ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූසේක යන කරුණු පදනම් වූ සත්‍යතාව මත සිදුවන්නා වූ දැහැමි වූවන්ගේ මළවුන්ගෙන් නැගිටිමේදී දාවිත්ට අන්තිමේදී දෙවියන්වහන්සේගේ දකුණු පසෙහි නැගී සිටීමේ අයිතිය උදා වන්නේය.GrHSin 638.1

    පාවුල් මෙම විෂය පිළිබඳව මෙවන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරයි. “මක්නිසාද මළාහු නැගිටුවනු නොලබත් නම් ක්‍රිස්තුස්වහන්සේත් නොනැගුටුණු සේක. ඉදින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණු සේක් නම්, නුඹලාගේ ඇදහීම් නිෂ්ඵලය; නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය. එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශ වුණෝ වෙති.” (1 කොරින්ති 15:16-18). වසර හාර දහසක් පුරා මරණයට පත්වූ දමිටුවන් සෘජුවම සගයට ගියේ නම්, මළවුන්ගෙන් නැගිටීමක් සිදුවන්නේ නැතිනම් ක්‍රිස්තුස්වහන්සේ තුළ අදහා සමාදානයේ සැතපුණු අය විනාශ වී සිටිනවා යයි පාවුල් පැවසුවේ කෙසේ ද? එසේනම් මළවුන්ගෙන් නැගිටුවීමක් අවශ්‍ය වන්නේ නැත.GrHSin 638.2

    වේද සාක්ෂිකයෙක් වූ ටින්ඩේල්, මළාහු සැතපී සිටීම ගැන ඇත්තාවූ ඉගැන්වීම ආරක්ෂා කරමින් පාප් සභාවට අයිති වූ ඔහුගේ විරුද්ධකරුවෙකුට මෙසේ පවසා තිබේ: “ඔවුන් (මළා වූ ආත්මයන්) ස්වර්ගයට, නිරයට හෝ නරකාදියට ගිය බව පැවසීමෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේද පාවුල්ද මළවුන්ගෙන් නැගිටීම ගැන ඉදිරිපත් කළාවූ තර්කය විනාශ කරති. ඒ ආත්මයේ ස්වර්ගයෙහි සිටින්නේ නම් ඔවුන් දේවදුතයන්ගේ තත්වයෙන් නොසිටින්නේ ඇයි දැයි මට දක්වන්න. එසේ නම් මළවුන්ගෙන් නැගිටීමක් ඇතිවිය යුත්තේ කුමටද?” Tyndale, Wm, Preface to “New Testament” (ed 1534)GrHSin 638.3

    මරණයට පත්වන්නාවූ මොහොතේදීම දමිටුවන්ට සදාතන ගීය. සැපත හිමි වන්නේය යන ඉගැන්වීම වත්මන් ලෝකයෙහි ඉතා ජනප්‍රිය දහමක් බවට පත්වී තිබේ. මෙම ජනප්‍රිය ඉගැන්වීම නිසා මළවුන්ගෙන් නැගිටුවාලීමේ බයිබලීය දහම පිළිබඳව උනන්දුවක් දැක් වීම හීන වී ඇත. බයිබලීය දහමට විරුද්ධ වූ මේ දහම පිළිබඳව වර්තමාන ශතවර්ෂයේ මුල්භාගයේදී ආචාර්ය ඇඩම් ක්ලාර්ක් මෙසේ පැවසුවේය. “වර්තමානයේ පවතිනවාට වඩා ප්‍රබල ලෙස නැවත නැගුටුවනු ලැබීමේ දහම පෙර කාලීන කිතුණුවන් අතරේ දැඩි ලෙස පැවැතියේය. මේ කෙසේද? එහි විපාකය ගැන ඔවුන් විපුල ලෙස දැනුවත් කර තිබුණේය. නැවත නැගිටීම පිළිබඳව අපෝස්තුළුවරු අඛණ්ඩව ජනතාව දැනුවත් කළේය. එම දහමෙහි පෙළඹවීම මගින් කිතුණුවන් උනන්දුවට පත්කිරීමටත් කීකරුකම් කරා යොමු කිරීමට සහ සිත් සතන්හි සොම්නස උදා කිරීමටත් ගෝලයෝ සමත් වූහ. එහෙත් ඔවුන්ගෙන් පැවත එන්නා වූ වර්තමාන දේශනාකාරයෝ නැවත නැගිටීම ගැන සඳහන් කරන්නේ කලාතුරකිනි. මළවුන්ගෙන් නැගුටුවනු ලැබීම අනිවාර්ය සංසිද්ධියක් බව අපෝස්තුළුවරු දේශනා කළෝය. ආදි කාලීන ක්‍රිස්තු භක්තිකයෝ එය විශ්වාස කළෝය. අපිද එසේ දේශනා කරන්නෙමු. අපගේ ශ්‍රාවකයෝද එය විශ්වාස කරති. මෙම විෂය පිළිබඳව දැඩි ලෙස අවධාරණය කරමින් වූ ඉගැන්වීමට ශුභාරංචියෙහි ප්‍රමුඛ ස්ථානයක් හිමිවී තිබේ. මේ හා සමාන අවධානයක් යොමු කළාවූ වෙනත් විෂයද නැත. එසේම, වත්මන් දහම් පද්ධතිය තුළ මෙතරම් අතපසු කරනු ලැබූ තවත් දහමක්ද නැත.” (Commerltary on the New Testament on 1 Corinthians 15, Para 3).GrHSin 638.4

    මරණය සැණෙන් ආත්මය ස්වර්ගයට යන්නේය යන දහම කිතුණුවන් අතර ප්‍රබල පිළිගැනීමකට භාජන වීමත් සමගම එයට සමගාමීව නැවත නැගිටීම පිළිබඳව වූ තේජශ්‍රීය ඉගැන්වීම ක්‍රමයෙන් අභාවයට පත්වීමක් සිදුවිය. පාවුල් විසින් 1 තෙසලෝනික 4:13-18හි ලේඛණ ගත කර ඇති දෙය ගැන අටුවාවක් සපයන්නා වූ ප්‍රවේණි ආගමික ලේඛකයෙක් මෙසේ පවසන්නේය” යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ දහම අප බොහෝ දෙනෙකුට අනුමාන ඉගැන්වීමකි. ඒ අතර අප සිතට ඉමහත් සැනසිල්ලක් ගෙන දෙන්නාවූ නුතන ඉගැන්වීමක් ඉදිරිපත් කර තිබේ. එනම්, දමිටුවන් මළ සැණින් ආශිර්වාද ලත් අමරණය අත්පත් කරගන්නවා ඇත යන දහමය. මරණ මංචකයේදී අපගේ සමිඳාණෝ අප වෙත පැමිණෙන සේක. අපි එම සිදුවීම් ගැන බලා සිටිය යුතු වෙමු. මරණයට පත්වූවන් දැනටමත් තේජස කරා. ගොස් සිටිති. විනිශ්චයේ සහ ආශිර්වාද ලත් සම්පතෙහි හොරණෑ නාදය නික්මෙන තුරු ඔවුහු බලා නොසිටින්නෝය.”GrHSin 639.1

    තමන්වහන්සේගේ ගෝලයන් හැරදමා සගයට යාමට මත්තෙන්, ඔවුන් ඉතා ඉක්මණින් තමන් ළඟට පැමිණෙනවා ඇතැයි කියන යේසුස්වහන්සේ ගෝලයන්ට පැවැසුවේ නැත. ඔවුන් තමන්වහන්සේ වෙත පැමිණෙනවා වෙනුවට උන්වහන්සේ ඇවිත් ඔවුන්ව තමන්වහන්සේ ළඟට ගැනීමට කටයුතු කරන බවට උන්වහන්සේ ඔවුන් දැනුවත් කළසේක. උන්වහන්සේ මෙසේ කී සේක: “නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම් ... මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 14:2, 3). පාවුල් මේ පිළිබඳව තවදුරටත් මෙසේ අදහස් දක්වයි. “මක්නිසාද ස්වාමින්වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදුතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මුළා වූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමින්වහන්සේ සම්මුඛ වන පිණිස වළාකුලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින්වහන්සේ සමග සිටින්නෙමුව.” (1 තෙසලෝනික 4:16-18). ඔහු තවදුරටත් මෙසේද කියයි. “ඉන්නිසා මේ වචනවලින් එකිනෙකා සනසාගන්න.” කළින් උපුටා දැක්වූ දේශනාකරුවාගේ වදන් සහ පාවුල්ගේ සැනසීම උදාකරන්නා වූ මේ වදන් අතර ඇත්තේ කෙතරම් මහත් වෙනසක්ද? විශ්වීය සර්ව ජනතාව ගැළවීමට හිමිකම් කියතියි යන දර්ශනය ඉගැන් වූ පෙර සඳහන් කළ දේශනාකරුවා මිය ගිය තැනැත්තාගේ නෑදෑ හිත මිතුරන් සැනසීම් වස් බයිබල් විරෝධී දහමක් ඉදිරිපත් කළේය. ඒ අනුව මිය ගිය තැනැත්තා කෙතරම් පාපිෂ්ඨයෙකු වුවද, තම අන්තිම හුස්ම හෙලත්ම ඔහු දේව දූතයන්ගේ පිළිගැනීමට ඔසවා ගනු ලබන්නේ යයි ඔහු පැවසුවේය. මතු සිදුවන්නා වූ ස්වාමින්ද වහන්සේගේ දෙවිනුවර පැමිණීම ගැන පවුල් තම සහෝදරයන් දනුවත් කළේය. එකල මිනී වලෙහි බැමි දෙදරා ගොස් “ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු” සදාතන ජීවිතයට නැගිටුවනු ලබන බව ඔහු පැවසුවේය.GrHSin 639.2

    යම්කිසි අයෙක් ආශිර්වාද ලත් වාසස්ථානයකට ඇතුළු කරගැනීමට පෙර ඔහු පිළිබඳව සෝදිසි කිරීමේ විභාගයක් පැවැත්වීම අනිවාර්ය වන්නේය. ඔවුන්ගේ චරිත හා ක්‍රියාදාමයන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ආවර්ජනය වෙමින් තීරණයක් කරා යොමු විය යුතුය. සගයේ ඇති පොත්වල ලියා ඇති කරුණු විමර්ශනය කරමින් සියල්ලෝම විනිශ්චයකට ලක් කෙරෙති. ඔවුන් විසින් සිදු කර ඇති ක්‍රියාදාමයන් අනුව ඔවුන්ට විපාක දෙනු ලැබේ. මේ විනිශ්චය මරණ මංචකයේදී සිදු නොවීය. පාවුල්ගේ මේ වදන් ගැන සලකන්න: “තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරවන්ට එක් දවසක් නියම කර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.” (ක්‍රියා 17:31). මෙහිදී අපෝස්තුළුවරයා පෙන්වා දී ඇති පරිදි අනාගතයේදී යම්කිසි නිශ්චිත දිනයකදී ලෝකයේ විනිශ්චය සිදුවනවා නියතය.GrHSin 640.1

    මෙම කාල පරිච්ඡේදය ගැනම යූදස්ද තම අදහස් මෙසේ දක්වයි. “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක.” ඔහු නැවත ඒනොක්ගේ වචන අනුව මෙසේද පවසයි. “බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කරන්ට ද... ස්වාමින්වහන්සේ ස්වකීය දස දහස් ගණන් ශුද්ධවන්තයන් සමග” එන බව ඔහු දැක්වීය. (යුද 6,14,15). යොහන් මෙසේ පැවසුවේය: “මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය ... මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. (එළිදරව් 20:12).GrHSin 640.2

    මියගිය ඇත්තෝ දැනටමත් ස්වර්ගීය සැප සම්පත් භුක්ති විඳිමින් සිටිත් නම්, නැතහොත් නිරයේ ගිනි දැල් අතර ඇඹරෙමින් සිටින්නේ නම්, අනාගත විනිශ්චයක ඇති ඵලය කුමක්ද? මෙම වැදගත් විෂයන් පිළිබඳව දේව වචනයේ අඩංගු දහම් පැහැදිලිය; ඒවා එකිනෙකට විරුද්ධ වූ ඉගැන්වීම් නොවන්නේය, සාමාන්‍ය මනසකට වුවද, එම ඉගැන්වීම් තේරුම් ගත හැකි වේ. එහෙත් වර්තමාන ඉගැන්වීම් අනුව ඉදිරිපත් කෙරෙන්නාවූ කාරණාවල ප්‍රඥාවක් හෝ යුක්ති සහගත බවක් දැකගන්නට අවංක මනසකට හැකියාවක් තිබේද? අවුරුදු මහත් ගණනාවක් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි කල් ගත කළ දමිටුවන්ට ප්‍රණාමය පුද කරන්නේ සෝදිසි කිරීමේ විනිශ්චයේදී ඔවුන්ගේ කාරණා සෝදිසි කරනු ලැබුවාට පසුව ද? ඔවුන්ට තිළිණ ප්‍රදානය කරමින් මෙසේ පවසනු ලබත්ද? “යහපත් වූ විශ්වාස වූ දාසය, ඒ යහපත... නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්න.” (මතෙව් 25:21). ඒ අතර, නිරයේ ශාපයට යට වී දුක් විඳිමින් සිටින්නා වූ අභක්තිකයන්ද ලෝකයේ විනිශ්චයකාරයාගේ දඬුවමෙහි නඩු තීන්දුව ලැබීමට නිරයේ සිට විනිශ්චාසනය ඉදිරියට පමුණුවනු ලැබේද? එහිදී ඔවුන්ට ලැබෙන්නා වූ නඩු තීන්දුව වන්නේ, “ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න,” (මතෙව් 25:41) යන්නද? අහෝ කෙතරම් අවමානනීය නින්දා කිරීමක්ද! දෙවියන්වහන්සේගේ ප්‍රඥා මහිමයත් යුක්ති සාධාරණත්වයත් කෙතරම් සැහැල්ලුවට පත්කිරීමක්ද !GrHSin 641.1

    ආත්මයෙහි අමරණීයත්වය සහ නිබන්ධනය වනාහි රෝමය විසින් මිසදෙටු ආගම් වලින් ලබාගෙන කිතුණු දහමට කාවද්දා ඇති ව්‍යාජ දහමකි. මාටින් ලුතර් විසින් එය වර්ගීකරණය කරනු ලබන්නේ පාප්ගේ ආඥා පාදක කරගෙන ගොඩ නගා ඇති රෝමානු මතයන්හි ඇති අති දුෂ්ට වූ ද අති විශාල වු ද මුසා දහමක් ලෙසය, මිථ්‍යා ඉගැන්වීමක් ලෙසය. මියගිය ඇත්තෝ කිසිවක් නොදනිතියි යනුවෙන් සාලමොන් නමැති දේශනාකාරයාගේ ප්‍රකාශිතය පදනම් කරගෙන ප්‍රතිසංස්කාරකයා මෙසේ පවසා ඇත. “මෙය මියගිය අයට හැඟීම් කිසිවක් නැතැයි ඔප්පු කරන්නාවූ තවත් බයිබල් පදයකි. මියගිය අය සම්පුර්ණයෙන්ම නිදා සිටිති. ඔවුන්ට කිසි කල්පනාවක් නොමැත. දවස් හා වසර ගණන් නොගෙන ඔවුහු නිදා සිටිති. ඔවුන් අවදි කරනු ලැබූ විට, තමා ස්වල්ප මොහොතක් පමණක් නිදා සිටි බවක් ඔවුන්ට හැඟී යනවා ඇත. (Luther’s Exposition of Solomon’s Book Called Ecclesiastes” , p. 152).GrHSin 641.2

    මරණයට පත්වීමත් සමගම දැහැමියා තමාගේ විපාක ලැබීමටත් පාපතරයා තමාගේ දඬුවම් ලැබීමටත් හිමිකම් කියන බවක් ශුද්ධ වූ ලියවිල්ලෙහි කිසිම තැනක හමු නොවේ. කුල දෙටු පියවරුන් සහ දිවැසි ප්‍රසාදිවරුන් එවන් සහතිකයක් ලබා දී නැත. එවන් සිදුවීමක ඉඟියක් ක්‍රිස්තුස්වහන්සේ හෝ ගෝලයන්ද ලබා දී නැත. මියගිය මොහොතේදීම දමිටුවන් සගය වෙත නොයන බව ශුද්ධ බයිබලය. පැහැදිලිවම උගන්වයි. ඔවුන් මළවුන්ගෙන් නැගිටුවනු ලබන තෙක් සිහිසුන්ව සැතපී සිටින බව ශුද්ධ බයිබලය උගන්වයි. (1 තෙසලෝනික. 4:14; යොබ් 14:10-12). ‘රිදී ලණුව ලිහී රන් භාජනය බිඳී යන්නාවූ දවසෙහිදීම මරණයට පත්වූ තැනැත්තාගේ සියළු කල්පනාවන් නැති වී යන්නේය. (දේශනාකාරයා 12:6). මිනී වළට යන සියල්ලෝම නිහඬව සිටිති. ඉර යට කෙරෙන්නාවූ කිසිම දැයක් ගැන ඔවුන්ට දැනුමක් නැත. (යෝබ් 14:21). වෙහෙසට පත්වූ දැහැමි ජනතාවට ආශිර්වාද ලත් විවේකයක් ලැබෙන්නේය. ඔවුන් නිදා සිටින කාලය දික් වුවද, කෙටි වුවද ඔවුන්ට ඒ ගැන දැනීමක් නැත. මළවුන්ගෙන් නැගිටුවනු ලැබීමේදී තමන් නිදා සිටියේ එක කෙටි මොහොතක් පමණක් බව ඔවුන්ගේ හැඟීම වන්නේය. ඔවුහු නිදා සිටිති. දෙවියන්වහන්සේගේ හොරණෑ හඬ ඇසීමත් සමගම දමිටුවෝ අමරණය පැළඳ තේජසින් යුතුව මිනී වළෙන් පිටතට පැමිණෙන්නෝය. “හොරණෑව පිඹිනු ලබන්නේය. එකල මළාහු නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගුටුවනු ලබන්නේය... දිරන සුළු වූ මේ නොදිරන භාවයටත් මරණීය වූ මේක අමරණීය භාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනා ලද්දේ යයි ලියා තිබෙන වචන සම්පුර්ණ වේ.” (1 කොරින්ති 15:52-55). ඔවුන් නින්දෙන් පුබුදුවනු ලැබූ කල්හි ඔහු අවසානයේදී තමාට තිබුණාවූ සිතුවිලි අනුව සිතන්නට පටන් ගනිති. ඔවුන්ට ඇතිවූ අවසාන හැඟීම නම් තමා මරණයට පත්වන බවය. ඔවුන්ගේ අවසාන සිතුවිල්ල වූයේ තමා මරණයේ බලයට යටින් වන බවය. ඔවුන් මිනී වළෙන් එළියට පැමිණි මොහොතේදීම “එම්බා මරණය නුඹේ ජය කොයිද? එබා මරණය නුඹේ කටුව කොයිද” යනුවෙන් ඔවුන්ගේ පළමුවන ප්‍රීතිමත් සිතුවිල්ල දෝංකාරය කරනු ලබනවා ඇත.GrHSin 642.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents