Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    10 - ජර්මනියේ ඇති වූ ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය

    ලූතර්ගේ අද්භූත අන්තර්ධාන වීම ජර්මනිය පුරා භීතියක් ඇති කිරීමට සමත් විය. ඔහු ගැන විපරම් කරමින් සෑම දිශාවකින්ම විමසීම ගලා එන්නට විය. සිත් කම්පා කරවන දූෂමාන ආරංචිද පැතිරෙන්නට පටන් ගත්තේය. ඔහු මරා දමා ඇතැයි බොහෝ අය විශ්වාස කළෝය. වැලපීමේ හඬ සෑම පෙදෙසකිව් ගුවනට මුසු විය. ලූතර්ගේ වියෝවීමේ දුක්මුසු හඬ නැගුණේ ඔහුගේ මිතුරන්ගේ මුවින් පමණක් නොවේ. ප්‍රතිසංස්කරය උදෙසා ප්‍රසිද්ධියේ නැගී නොසිටියාවූ දහස් ගණන් ජනයාද එකසේ කම්පනයට පත් වූහ. ලූතර්ගේ මරණයට වගකිව යුතු අයගෙන් පලිගන්නවා යයි කියමින් බොහෝ දෙනෙක් ප්‍රතිඥා දෙමින් එක් වූහ.GrHSin 201.1

    තමන්ට විරුද්ධව ජනතා හඬ චෝදනා එල්ල කරව බව දැනගත් රෝමානුවාදීහු මහත් භීතියට පත්වූහ. ලූතර් මරණයට පත් වූ පුවතින් මුලදී උද්දාමයට පත් වූ රෝමානු නායකයෝ දැන් මිනිසුන්ගේ බලවත් කොපයෙන් බේරීම සඳහා සැඟවීමට කැමති වූහ. තමන් සමඟ සිටියදී සිදු කළ ඉතා නිර්භීත අභියෝගයන්ට වඩා ඔහු නැතිව සිටීම සතුරන්ට බිය ගෙන දුන් සිද්ධියක් බවට පත්ව තිබුණේය. ලූතර්ගේ සතුරෝ කෝපයෙන් පිරි අභීත ප්‍රතිසංස්කාරකයාව මරා දැමීමට සෙවූ නමුත් දැන් ඔහු සිරකරුවෙකු ලෙස අසරණය සිටියදී පෙරට වඩා භීතියෙන් ඇළලී සිටියෝය. “මිනිසුන්ගේ වෛරයෙන් බේරී සිටීමට නම් අප සැවොම පන්දම් පත්තු කරගෙන මුළු ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර පිරික්සමින් ඔහුව සොයා ගත යුතුය. ඔහුව ඉල්ලා සිටින්නා වූ ජනතාවට ඔහුව භාර දිය යුතුය.’ යි කෙනෙක් පැවසුවේය. (D. Aubigne, b. 9, Ch. 1). රජතුමා නිකුත් කළ ආඥාව බල රහිත බවක් පෙනී යන්නට විය. ලූතර්ගේ ඉරණම විඳීමට වඩා අඩු සැලකිල්ලක් රජුගේ ආඥාවට ලැබී තිබීම ගැන පාප් තානාපතිවරු ඉමහත් කෝපයට පත් වූහ.GrHSin 201.2

    සිරකරුවකු වී සිටි නමුත් ලූතර් තවමත් ජීවත්ව සිටින බව දැනගැනීමෙන් මහ ජනතාවගේ බිය සමනය වන්නට විය. ඒ සමගම ඔහු කෙරෙහි වූ උනන්දුවද වැඩෙන්නට විය. ඔහු ලියූ පත පොත කියවීමට, පෙර නොවූ විරූ ආශාවක් මහජනතාව තුළ ඇති විය. අනේකවිධ විරුද්ධවාදීකම් සහ සතුරුකම් මධ්‍යයේ දෙවියන්වහන්සේගේ වචනය රැක ගැනීමට අභීතව නැගී සිටි වීරයාගේ වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳ ගැනීමට ජනතාව වැඩි වැඩියෙන් එකතු වන්නට වූහ. පුනරුදය නිරන්තරයෙන්ම තව තවත් ශක්තිමත් වන්නට විය. ලූතර් රෝපණය කළ බීජය සෑම තැනකම ඵල දරමින් පැන නැගෙන්නට විය. ඔහු මනුෂ්‍යයන් අතර සිටියදී කළාවූ සේවයට වඩා වැඩි මෙහෙයක් ඔහු නැතිව සිටියදී ඉටු විය. තමන්ගේ නායකයා තමන් අතරින් ඉවත් කරනු ලැබීම නිසා අනෙක් පුනරුදවාදීහු වැඩි වගකීමකින් යුතුව ව්‍යාපෘතියේ දියුණුවට උර දුන්හ. තමන් සතු සියලු ශක්තිය සහ කාල උපරිමයෙන් යොදවමින් ඔවුහු නව ඇදහිල්ලකින් හා ජවයකින් යුතුව ඉදිරියට පියවර තැබූහ. උත්කෘෂ්ට අන්දමින් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය අතරමග නතර කර දැමීමට කිසිවෙක් කැමති වූයේ නැත.GrHSin 201.3

    කටයුතු මෙසේ සිදුවෙද්දී සාතන්ද නිශ්ශබ්දව නොසිටියේය. වෙනත් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන් අඩපණ කිරීමට ක්‍රියාකළ ආකාරයෙන්ම මෙම කර්තව්‍යයද බෙලහීන කිරීමට ඔහු වෑයම් කළේය. සත්‍යය වූ වැඩ පිළිවෙල වෙනුවට ප්‍රති පුනරුද ව්‍යාපාරයක් මගින් ජනතාව මුළා කර ඔවුන්ව විනාශ කර දැමීම සාතන්ගේ උපක්‍රමය විය. කිතුණු සභාවේ ව්‍යාජ ක්‍රිස්තුස්වරු සිටියාක් මෙන්ම සොළොස් වැනි සියවසේදී ද බොරු දිවැසිවරු සභාව ආක්‍රමණය කළෝය.GrHSin 202.1

    ප්‍රතිසංස්කරණය නිසා ආගමික ලෝකයේ කැළඹීමක් ඇති විය. සමහර පුද්ගලයෝ මෙය ඩතා සංවේදීම ජීවිතයට ආදළ කරගනිමින් කියා සිටියේ තමන්ට ස්වර්ගයෙන් විශේෂ එළිදරව් කිරීම ලැබී ඇති බවය. ලූතර් විසින් පටන්ගනුගැබූ ප්‍රතිසංස්කාරක මෙහෙය දුර්වලව ආරම්භ වූ නමුත්, එයට නව පණක් සහ ජවයක් ලබා දෙමින් ප්‍රතිසංස්කාරක ව්‍යාපෘතිය ප්‍රගතිය කරා මෙහෙයවීම සඳහා සගයේ අනුමැතිය තමන්ට පැවරී ඇතැයි, මොවුහු කියා සිටියෝය. එසේ වුවද, මොවුනගේ ක්‍රියාකාරකම් ලූතර් ගොඩ නැගූ ව්‍යාපෘතිය අඩපණ කිරීමක් පමණක් විය. ඇදහිල්ල සහ ක්‍රියා කිරීම පාදක වූ ප්‍රමාණයත් ප්‍රමිතියක් සැපයීට ඔවුහු ප්‍රතිසංස්කරණයේ පදනම එනම් දෙවියන්වහන්සේගේ වචනය පමණක්ම ජීවිතයේ ඇදහිල්ලේ ප්‍රතිපත්තියවිය යුතුය යන්න එපා කළෝය. දේව වචනය වෙනුවට ඔවුහු තමාගේම හැඟීම් අදහස් නමැති අස්ථිර ප්‍රගතීන් ඉදිරිපත් කළහ. මෙසේ මිනිස් මනස තමාට කැමැති ලෙස පාවිච්චි කිරීමට සාතන්ට දොරටු විවෘත විය.GrHSin 202.2

    ගාබ්‍රියෙල් දූතයා තමාට ගුරු හරුකම් දුන්නේ යැයි, මොවුන් අතර එක්කෙනෙක් කියා සිටියේය. තමා දිවැසිවරයකු යැයි කියාගත් මෙම පුද්ගලයා සමග එකතු වූ එක් සිසුවෙක් තම අධ්‍යාපන කටයුතු නවතා දමා පසුව ප්‍රකාශ කළේ දේව වචනය පහදා දීම සඳහා දෙවියන්වහන්සේම තමාට ප්‍රඥාව දානය කළේ යැයි කියාය. ධර්මෝන්මාදයෙන් හෙවත් ආගම් උමතුවෙන් කටයුතු කිරීමට නැමියාවක් තිබූ තවත් අය දිවැසි පරපුරේ නවකයන් යයි කියාගත් අය සමග එක් වූහ. බලවත් උද්‍යෝගයෙන් යුතුව සීමාව ඉක්මවා කටයුතු කළ මොවුහු, ජනතාව අතර කලබලකාරී ස්වභාවයක් ඇති කළහ. ලූතර්ගේ දේශනා නිසා, ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි පැහැදීමක් සෑම පෙදෙසකම පැවතුණි. එවන් පැහැදීමකට අවංකවම යොමු වූ සමහරෙක් මේ නව පරපුරේ ව්‍යාජ දිවැසිවරුන් මගින් නොමගට යොමු කරනු ලැබූහ.GrHSin 202.3

    නව ව්‍යාපෘතියේ නායකයෝ විටන්බර්ග් වෙත පැමිණ මෙලැන්ක්තන් සහ ඔහු සමග සේවය කළ අනෙකුත් දහම් ප්‍රචාරකයන්ට තමන්ගේ අදහස් ඉදිරිපත්කළහ. ඔවුහු මෙසේ පැවසූහ: “ජනතාවට ගුරු හරුකම් දීමට දෙවියන්වහන්සේ අපව එවා ඇත.” දෙව් සමිඳාණන් අපට විශේෂ ප්‍රකාශන දුන්සේක. සිදුවන්නට යන දේ මොකක්ද කියා අපි දන්නවා. අපි දෙවියන්වහන්සේගේ අපෝස්තුළුවරුන් සහ දිවැසිවරුන්ය. ආචාර්ය ලූතර්ටද අපි මේ අයැදුම ඉදිරිපත් කරනවා.” (D. Aubigne, b. 9, Ch. 7).GrHSin 203.1

    මෙම වදන් ඇසීමෙන් ප්‍රතිසංස්කාරකයෝ විස්මයට පත් වූහ. ව්‍යාකූලතාවට පත් වූහ. මෙවන් සිද්ධියකට ඔවුන් මීට පෙර මුහුණ දී තිබුණේ නැත. අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්දැයි ඔවුන්ට සිතා ගත නොහැකි විය. මෙම පුද්ගලයන් පිළිබඳව මෙලැන්ක්තන් මෙවන් විග්‍රහයක් කළේය. “මෙම මනුෂ්‍යයන් තුළ වෙනස් ආකාර ආත්මයක් තිබෙන බව නම් පැහැදිළිය. එම ආත්මය කුමක්ද? දෙවියන් වහන්සේගේ ආත්මය නිවා නොදැමීමට අප ප්‍රවේසම් විය යුතුය. එසේම සාතන්ගේ ආත්මයෙන් අපට නොමඟ යැවීමට පවතින මේ වෑයම ගැනද අප ප්‍රවේසම් විය යුතුය.” (D. Aubigne, b. 9, Ch. 7).GrHSin 203.2

    අළුත් ඉගැන්වීම්වල ඵල වැඩි දවස් ගතවීමට පෙර දැනගත හැකි විය. බයිබලය පිළිබඳව තිබූ සැලකිල්ල තුනී වීමටත්, දේව වචනය සම්පූර්ණයෙන්ම පසෙකලා තැබීමටත් මනුෂ්‍යයෝ මගපෙන්වනු ලැබූහ. පාසල් තුළ වියවුල රජකරන්නට පටන් ගත්තේය. සියලු තහංචි ප්‍රතික්ෂේප කරමින් සිසුවෝ තම ඉගෙනීමේ කටයුතු පාලනය කරීමට තමන්ට සමත්කමක් ඇතැයි සිතා සිටි පුද්ගලයන්ගේ ක්‍රියාවේදය මගින් සිදු වූ මහා ප්‍රතිඵලය නම්, ව්‍යාපාරය සුනු විසුනු වීමකට ළංවීමය, විනාශය කිට්ටු වීමය. රෝමානුවෝ මෙයින් තම ආත්ම විශ්වාසය නැවත වරක් ශක්තිමත් කර ගත්හ. ප්‍රීති සයුරේ ගිලෙමින් ඔවුහු මෙසේ ජය හඬ නැගූහ. “තවත් එක සටනක් පමණයි. ඉන්පසුව සියල්ල අපේ අතේ.” (D. Aubigne, b. 9, Ch. 7).GrHSin 203.3

    වෝර්ට්බර්ග්හි සිටි ලූතර්ට මෙපුවත් කණ වැටුණු විට ඔහු මහත් වික්ෂෝපයට පත්ව මෙසේ පැවසීය. “සාතන් මෙම වසංගතය එවන බව දැන සිටියා.” තමන් දිවැසිවරුන් යැයි කියාගත් ව්‍යාජ පුද්ගලයන්ගේ සත්‍යය වූ ස්වභාවය ඔහු මනාව දැන සිටියේය. සත්‍යතාවයේ අභිවෘද්ධියට සහ පැවැත්මට එමගින්විය හැකි අනතුර ඔහුට සිතා ගත හැකි විය. මෙම නව ප්‍රවණතාවය නිසා ඇති වූ චිත්ත සංතාපය සහ සංවේගය පාප්ගේ සහ රජතුමාගේ විරුද්ධතාව නිසා ඇති වූ චිත්ත පීඩාවට වඩා බොහෝ සෙයින් අධික විය. ප්‍රතිසංස්කරණයේ මිතුරන් යයි කියාගත් අය අතරෙන් දැන් එහි පරම සතුරන් පැන නැගුණි. තමාට මහත් ප්‍රීතියක් සහ සැනසීමක් ලබා දුන් සත්‍යතාවන් දැන් සභාව තුළ ගැටුම් ඇති කර වියවුල් සහිත තත්ත්වයක් උදා කිරීමට හේතු කාරක විය.GrHSin 204.1

    පුනරුදයේ කර්තව්‍යයන් ඉදිරියට ගෙන යාමට ලූතර්ට මගපෙන්වන ලද්දේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින්ය. ඔහු කිරීමට බලපොරොත්තු වූවාට වඩා මහත් සේවයක්ඔහුගේ මාර්ගයෙන් සිදුවී තිබුණි. එබඳු බලවත් වෙනස්කම් සිදුකිරීමට ඔහු තුළම එවන් වෑයමක් හෝ ආශාවක් තිබුණේ නැත. තමා ගෙන ඇති ස්ථාවරය මගින් එසේ විය හැකි යැයි ඔහු මුලදී සිතුවේ නැත. ඔහු වනාහී අනන්ත බලයක් විසින් මෙහෙයවනු ලැබූ මිනිස් යාන්ත්‍රණයක් පමණක් විය. උත්සාහයේ ප්‍රතිඵල ගැන සිතන විට ඔහු භීතියෙන් තැති ගත්තේය. ඔහු වරක් මෙසේ පැවසීය, “මාගේ දහම නිසා එක එක මනුෂ්‍යයෙකුට හෝ හිංසාවක් සිදුවූවා නම්, ඒ වචන අහක් කරගෙන මම දස වාරයක් මරණයට පත් වීමට කැමැත්තෙමි. හිංසාවට භාජනය වූ තැනැත්තා කුමන තාරාතිරමක අයෙකු වුවද ඉන් වෙනසක් සිදුවන්නේ නැත. මා දෙසූ දහම ශුභාරංචියක් වන නිසා එයින් කිසිවකුට හෝ හානියක් සිදුවිය නොහැකිය.GrHSin 204.2

    ප්‍රතිසංස්කරණයේ කේන්ද්‍රස්ථානය වු විටන්බර්ග් නගරය මේ වන විට ධර්මෝන්මාදයට සහ නොපණත්කමට යට වෙමින් තිබුණේය. මෙම භයානක ව්‍යසනය හට ගත්තේ ලූතර්ගේ ඉගැන්වීම්වල ප්‍රතිඵල වශයෙන් නොවේ. එහෙත් ඔහුගේ සතුරෝ ඒ ගැන ඔහුට වරද තබන්නට වූහ. මෙවන් මුසාවාද නිසා සිත් තැබුලට පත් ලූතර් මෙසේ ප්‍රශ්න කළේය. “ප්‍රතිසංස්කරණය නමැති මහා ව්‍යාපෘතියේ අවසානය වන්නේ මේකද?” (D. Aubigne, b. 7, Ch. 7). මේ පිළිබඳව හෙතෙම යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. එවිට ඔහුගේ හදවතට සාමය ගලා ආවේය. ඔහු මෙසේ කියන්නට විය: “මේ වැඩය මාගේ නොවේ ස්වාමීනි, එය ඔබ වහන්සේගේය. එය ආගමික උමතුවෙන් සහ මිථ්‍යාදෘෂ්ටි ඉගැන්වීම්වලින් දූෂ්‍ය වීමට එබ ඉඩ හරින්නේ නැති බව දනිමි.” මෙවන් අර්බුදකාරී තත්ත්වයන් මතු වී තිබියදී තමා සටනින් ඈත් වී සිටීම තවත් ඉවසා සිටිය නොහැකි බව ඔහුගේ චින්තනය විය. විටන්බර්ග් වෙත වහාම යාමට ඔහු තීරණය කළේය.GrHSin 204.3

    පමා නොවී මෙම අනතුරුදායක ගමනේ යෙදීමට ඔහු නවාතැනින් පිටත් විය. නගරයට ඇතුළු වීම තහනම් කරමින් රජතුමා තහංචි පනවා තිබුණේය. ඔහුව ඝාතනය කිරීමට සතුරන්ට අවසර දී තිබුණේය. ඔහුට උදව් උපකාර කිරීමට මිතුරන්ට තහනම් විය. රජතුමාගේ පරිපාලන යාන්ත්‍රණය ඔහුගේ අනුගාමිකයන්ට විරුද්ධව තදබල ලෙස නීති තිබුණේය. ක්‍රියාත්මකව ශුභාරංචි කර්තව්‍යය අනතුරකට මුහුණ පා තිබෙන බව ඔහුට දැක ගැනීමට හැකි විය. එහෙයින් සත්‍යතාව උදෙසා සටන්කිරීමට හෙතෙම දෙවියන් වහන්සේගේ නාමයෙන් අභීතව ඉදිරියට ගියේය.GrHSin 205.1

    මෙතෙක් කල් නැවතී සිටි වොර්ට්බර්ග් වෙතින් පිටත්ව යාම ගැන සැක්සනියේ ආදිපාදවරයා දැනුවත් කරමින් ලූතර් යැවූ ලිපියක මෙසේ සඳහන් වේ. “උතුමාණෙනි, මම විටන්බර්ග් බලා යන බවට ඔබව දැනුවත් කරමි. කුමාරවරුන්ගේ සහ මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ගේ ආරක්ෂාව යටතේ නොව මා එහි යන්නේ ඔවුන්ට වඩා ඉහළ තැනැන්වහන්සේගේ රැකවරණය යටතේය. මේ අවස්ථාවේදී ම ඔබතුමාගේ උපකාරය හෝ රැකවරණය ඉල්ලා නොසිටීම යහපතකැයි සිතමි. ඔබගේ ආරක්ෂාව මම අපේක්ෂා කරමි. උතුමාණෙනි, ඔබ මට රැකවරණය සපයා දීමට අදහස් කරන්නේ නම් හෝ රැකවරණය සපයා දෙන්නේ නම් හෝ මම විටන්බර්ග් වෙත කිසිසේත්ම නොයන්නෙමි. මෙම ගමනින් බාධක මැඩලීම සඳහා පාවිච්චි කළ හැකි කඩුවක් නැත. දෙවියන්වහන්සේ පමණක් සියල්ල ඉටු කළ යුතුය. ඒ සඳහා මිනිසෙකුගේ මැදිහත්වීමක් උන්වහන්සේ අපේක්ෂා නොකරන සේක. මහා පරිමාණයේ ඇදහිල්ලක් ඇති තැනැත්තා මහත් ලෙස රැකවරණ ලබාගැනීමේ සමතෙකු වන්නේය. GrHSin 205.2

    විටන්බර්ග් කරා යන ගමනේදී ලූතර් තවත් ලිපියක් මෙසේ ආදිපාදවරයා වෙත යැවීය. “ඔබතුමාණන්ගේ නොසතුටත් මුළු ලෝකයේම කෝපයත් ලැබීමට මම සූදානමින් සිටිමි. විටන්බර්ග්හි සිටින්නාවූ බැතිමත්හු මාගේ බැටළුවෝ නොවේද? ඔවුන්ගේ භාරකාරත්වය දෙවියන්වහන්සේ මට පවරා නැද්ද? අවශ්‍ය නම්, ඔවුන් වෙනුවෙන් මා දිවි පිදීමට වුවද යුතු නැද්ද? ජර්මනියෙහි විශාල විප්ලවයක් ඇති වී, අපගේ ජාතියට දඬුවම් කිරීමට දෙවියන්වහන්සේ එවැන්නක් පාවිච්චි කරනවා ඇතැයි මම බිය වෙමි.”GrHSin 205.3

    ආරක්ෂාකාරීව සහ නිහතමානීම ලූතර් තම වැඩ කටයුතු කිරීම ආරම්භ කළේය. අධිෂ්ඨාන පූර්වකය, දැඩි මතයක පිහිටා සිටිමින් ඔහු සේවය ඉටු කිරීම ඇරඹීය. “බලහත්කාරයෙන් පිහිටුවා ඇති සෑම ක්‍රමයක්ම අප දේව වචනයේ බලයෙන් පරාජය කළ යුතුය, විනාශ කර දැමිය යුතුය. දුර්ලබ්ධිකයන්ට සහ අවිශ්වාසවන්ත අයට එරෙහිව බලය යෙදවීමට කැමති නොවෙමි. කිසිම ආකාරයක හෝ බලහත්කාරකමක් මම අනුමත නොකරමි. නිදහස් හෘද සාක්ෂියක් ඇති ක්‍රියාකරන්නට උපකාර කිරීම මාගේ සේවයේ අරමුණ වී තිබේ. ඇදහිල්ලෙහි මූල ධාතුව වන්නේ නිදහසයි. (D. Aubigne, b. 9, Ch. 8).GrHSin 205.4

    විටන්බර්ග් කරා ලූතර් පැමිණි ප්‍රවෘත්තිය ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඔහු දේශනා කරන බවද ප්‍රචාරය විය. ඔහුගේ දේශනා ඇසීමට සෑම පෙදෙසකින්ම බැතිමත්හු පැමිණියෝය. දේවස්ථානය මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය. දේශනා කූඩුවට නැගී හෙතෙම මුදු මොළොක් බසින් සහ ප්‍රඥාවෙන් ද යුතුව ජනතාවට ඔවදන් ලබා දුන්නේය, අනුශාසනා කළේය, බැතිමතුන් ධෛර්යවත් කරමින් වරද කරන්නවුනට දෝෂාරෝපණය කළේය. රෝමානු ආගමික සත් ප්‍රසාද පූජාව නවතා දමන ලෙසද, අවලංගු කර දමන ලෙසද කියමින් සමහරෙක් සැහැසි ලෙස ක්‍රියා කර ඇති බව අවධාරණය කරමින් ඔහු මෙසේ පැවසීය: “සත් ප්‍රසාද පූජාව නරක දෙයක්. දෙවියන්වහන්සේ එයට විරුද්ධය. එය අවලංගු කර දැමිය යුතුය. එම පූජාව වෙනුවට ශුභාරංචියෙහි හඳුන්වා දී ඇති රාත්‍රී භෝජන මෙහෙය ලොව පුරා පවත්වනවාට මම කැමතියි. එම සත් ප්‍රසාද පූජාවෙන් කිසිවෙකු හෝ බලහත්කාරයෙන් ඉවතට ඇස ගැනීමක් නොකළ යුතුය. එම කාරණය දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තයට භාර දිය යුතුය. අප නොව, උන්වහන්සේගේ වචනය ක්‍රියාත්මක විය යුතුය. එසේ විය යුත්තේ මන්දැයි කියා ඔබ අසනවා වන්නට පුළුවන. කුඹල්කාරයාගේ අතේ මැටි ගුලිය තිබෙන ආකාරයෙන් මිනිසුන්ගේ හදවත් මාගේ අතෙහි තැන්පත් කර නැත. කථා කිරීමට නිදහස අපට ඇත. එහෙත් බලහත්කාර කිරීමට අපට අයිතියක් නැත. අපි දේශනා කරමු. ඉතිරිය දෙවියන්වහන්සේට අයිතිය. බලය, පාවිච්චි කළහොත් මට ලැබෙන ලාභය මොකක්ද? මුහුණ පුළුටු කරගැනීමක්, හදවතින් නොවූ බාහිර ශාරීරික දැක්වීමක්, අනුන් අනුකරණය කිරීමක්, මිනිස් නියෝගය ඉටු කිරීමක් සහ වංචනිකත්වයක් යනාදියයි. එම බාහිර ක්‍රියාකාරකම් හදවතෙහි, ඇදහිල්ලෙහි හෝ ආදරයෙහි කිසිම අවංකකමක් ගෑවීවත් නැත. මෙම ගුණාත්මක චරිතාංග අඩු වූ විට සියල්ලක්ම අඩුය. එවන් ප්‍රතිඵලයක් සඳහා මම කාලය යොදවන්නේ ඇයි? ඔබගේත්, මාගේත් ලෝකයේ සියලු දෙනාගේත් ශක්තියන් එකතුව යමක් කරවාට වඩා වැඩි දෙයක් දෙවියන්වහන්සේට තමන් වචනය මගින් ඉටුකළ හැකිය. දෙවියන්වහන්සේ මිනිස් හදවත් අල්ලා ගත් විට ජයග්‍රහණය ඇති වෙයි.GrHSin 206.1

    “මම දේශනා කරන්ටද, සාකච්ඡා කරන්ටද, ලියන්ටද සූදානම් වෙමි. එහෙත් කිසිවෙකුට මම බල නොකරමි. ඇදහිල්ල හෙවත් විශ්වාස කිරීම ස්වෙච්ඡාවෙන් සිදුවිය යුතු ක්‍රියාවකි. මා ක්‍රියා කළ ආකාරය දෙස බලන්න. මම පාප්ගේ පව් කමාව විකිණීමටද පාප් සහ ආගමික නායකයන්ට විරුද්ධව ද නැගී සිටියෙමි. නමුත් මම සාහසිකව කැරළි ගසමින් ක්‍රියා නොකලෙමි. මම දෙවියන්වහන්සේගේ වචනය ඉදිරිපත් කළෙමි. දේශනා කළෙමි. පොත පත ලීවෙමි. මා කළේ එපමණයි. මම නිසා දීයදී මා දේශනා කළ වචනය මගින් පාප් දහම පෙරළා දමනු ලැබුවේය. කුමාරවරු හෝ රජතුමා පාප් දහමට පහරක් දුන්නේ නැත. මමද කිසිවක් නොකළෙමි. වචනයේ බලය සියල්ල වෙනස් කළේය. (භට හමුදා) බලය ඉල්ලා මම ආයාචනයක් කළේ නම්, මුළු ජර්මනියම ලේ විලක් බවට පත්වීමට ඉඩ තිබුණි. එයින් ඇති වන ලාභයකුමක්ද? එහි ප්‍රතිඵලය ශරීරයට සහ ප්‍රාණයට විනාශය සහ පාළුව හිමි වීම පමණකි. එම නිසා මම නිශ්ශබ්දව සිටියෙමි. දේව වචනයට ලෝකය පුරා යාමට ඉඩ දුනිමි. (D. Aubigne, b. 9, Ch. 8).GrHSin 207.1

    දවස්පතාම සතියක් පුරා මහත් ‌උද්‍යෝගයකින් සවන් දුන් බැතිමතුන්ට ලූතර් දේව වචනය බෙදා දුන්නේය. ආගම් උමතුවෙන් උද්දාමයට පත්වූ මිනිසුන් මත තිබූ බන්ධනය දෙවියන්වහන්සේගේ වචනය මගින් බිඳ දමනු ලැබීය. ශුභාරංචියෙහි බලය කරණකොට ගෙන නොමඟ ගියා වූ අය සත්‍යතාවේ මාර්ගයට යොමු වූහ.GrHSin 207.2

    මහත් නපුර වපුරමින් දුෂ්ට සංකල්ප මුදා හළ ආගමික උන්මත්තකයන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට ලූතර් තුළ කිසිම අභිප්‍රායක් නොවීය. සාධාරණ විනිශ්චයක් කිරීමේ බුද්ධියක් මෙම පුද්ගලයන්ට නොතිබුණ බව ඔහු දැනගත්තේය. ඔවුන්ගේ හැඟීම්, සාරධර්ම මගින් පාලනය නොවීය. තමන්ගේ මතවලට විරුද්ධ වීම ගැන ඔවුන් කැමති වූයේ නැත. සගයෙන් විශේෂ ආලෝකමත් කිරීමක් ලැබූ බව පැවසූ මොවුහු කාරුණික දොස් පැවරීමක් හෝ අනුශාසනාවක් ලැබීමට සූදානම් නොවූහ. අති විශිෂ්ට සුපිරි බලතල තමාට තිබෙන බව පවසමින් සෑම අයෙක්ම තමන්ගේ ඉගැන්වීම් පිළිගත යුතු යයි ඔවුහු අණ කළෝය. ලූතර් සමග සම්මුඛ සාකච්ඡාවක් මෙම කණ්ඩායම ඉල්ලා සිටි බැවින් ලූතර් ඔවුන්ව හමුවීමට කැමැත්ත පළ කළේය. සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වය හමුවූහ. බොරුව වැපිරූ පක්ෂයේ රැවටිලිකාරකම් ලූතර් විසින් මනා ලෙස එළිදරව් කරන ලදී. පරාජය ලැබූ ව්‍යාජ දිවැසිවරු ඉන්මනින් විටන්බර්ග් නගරයෙන් පිට වූහ.GrHSin 207.3

    ආගමික උන්මාදය කලකට නිහඬව තිබූ අතර, වසර කිහිපයකට පසුව නැවතත් ක්‍රියාත්මකව ඉදිරියට පිවිසියේය. මෙවර ඔවුන්ගේ ක්‍රියාදාමය වඩාත් හිංසාකාරී විය. සිදුවූ ප්‍රතිඵල ඉතා භයානක විය. වියරු ව්‍යාපාරයේ නායකයන් සම්බන්ධව ලූතර් මෙසේ පැවසීය. “එවුන්ගේ ඇගයීම අනුව ශුද්ධ ලියවිල්ල ප්‍රාණයක් නොමැති ලිපියක් පමණකි. ආත්මයාණෝ, ආත්මයාණෝ කියමින් ඔවුහු කෑ ගසන්නට වූහ. ඔවුන්ගේ ආත්මය ඔවුන්ට මගපෙන්වන ස්ථානය වෙත යාමට මම ඉදිරිපත් නොවෙමි. එබඳු ශුද්ධවන්තයන් පමණක් සිටින්නාවූ සභාවක් සමග සම්බන්ධකම් පැවැත්වීමෙන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මෛත්‍රී කරුණාව කරණකොටගෙන මාව වළක්වන සේක්වා. තමන්ගේ පාප ගැන හැඟීමක් ඇති නිහතමානී, දුර්වලවූ රෝගීවු අය සමග වාසය කිරීමට මම කැමැත්තෙමි. නිරතුරුවම දෙවියන්වහන්සේට කෙඳිරිගාමින්, හඬමින් තම හද පත්ලෙන්ම උන්වහන්සේගේ සැනසිල්ල සහ ආධාරය ඉල්ලන්නාවූ අය සමග වාසය කිරීමට මම කැමැත්තෙමි.” (D. Aubigne, b. 10, Ch. 10).GrHSin 207.4

    ආගමික උන්මාදයෙන් ක්‍රියා කළ අය අතරෙන් තෝමස් මන්සර් කැපී පෙනුණේය. විවිධාකාරයේ නිපුන් හැකියාවන් තිබූ හෙතෙම නියම මර්ගයේ ගමන් කිරීමට මගපෙන්වනු ලැබී නම්, මහත් යහපතක් කරන්නට ඔහුට හැකිවනවා ඇත. එහෙත් සත්‍යය වූ ආගමේ මුල් ප්‍රඥප්ති ඔහු ඉගෙන ගෙන සිටියේ නැත. “ලෝකය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු තුළ දැඩි අභිලාෂයක් තිබුණේය. දැඩි උද්‍යෝගයකින් දැවෙන්නා වූ වෙනත් බොහෝ අය මෙන්ම ඔහුද අමතක කළ මූලික ප්‍රතිපත්තිය නම්, වෙනත් අයව ප්‍රතිසංස්කරණයකට කැඳවීමට පෙර තමන්ම ප්‍රතිසංස්කරණය වී සිටීම අනිවාර්ය බවය.” (D. Aubigne, b. 10, Ch. 10). ප්‍රභූත්වය සහ තනතුරු ලැබීම ඔහුගේ ඒකායන අභිලාෂය විය. ලූතර්ට හෝ වෙනත් කෙනෙකුට දෙවැනියා වීමට ඔහු කැමති නොවීය. පාප්ගේ බල අධිකාරය වෙනුවට ශුද්ධ ලියවිල්ලෙහි අධිකාරි බලය ආදේශ කරන්නා වූ ප්‍රතිසංස්කාරකයන් කරන්නේද, වෙනත් ආකාරයක පාප් බල අධිකාරියක් පිහිටුවා ගැනීමකැයි ඔහු ප්‍රකාශ කර සිටියේය. සත්‍යවාදී ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමට තමාට දිව්‍ය අණක් ලැබී ඇතැයි ඔහු දේවානුභාවයට හිමිකම් කීවේය. “මෙම ආත්මය හිමි තැනැත්තා තම ජීවිත කාලය තුළදී ශුද්ධ ලියවිල්ල දැක නැති වුවද ඔහුට සැබෑ ඇදහිල්ලක් තිබෙන්නේ ය” යි මන්සර් පැවසුවේය. (D. Aubigne, b. 10, Ch. 10).GrHSin 208.1

    ආගමික අන්තවාදී ගුරුවරු තමන්ගේ සිත්හි හටගත් හැඟීම් මගින් පාලනය කරනු ලැබූහ. සෑම සිතුවිල්ලක් සහ ආවේගයක්ම දෙවියන්වහන්සේගේ හඬ ලෙස ඔවුහු පිළිගත්තෝය. මේ අනුව ඔවුහු ඉතා අන්තවාදීව කටයුතු කරන්නට වූහ. “ලිඛිත නීතිය මරණය උපදවයි. එහෙත්, ශුද්ධාත්මයාණෝ ජීවනය දෙන සේක” යි කියමින් සමහරෙක් තම බයිබල් පුළුස්සා දැමූහ. ආශ්චර්යමත් සිදුවීම් බලපොරොත්තුව සිටි මිනිසුන්ගේ අභිලාෂයන් පිනවීමට මන්සර්ගේ ඉගැන්වීම් සමත් විය. දෙවියන්වහන්සේගේ වචනයට ඉහළින් මිනිස් අදහස්වලට සහ නිගමනයන්ට තැන දීමෙන් ඔවුන්ගේ අහංකාරකමට සතුටක් ඇති විය. දහස් ගණන් මනුෂ්‍යයෝ ඔහුගේ දහම පිළිගත්තෝය. ප්‍රසිද්ධ නමස්කාරයෙහි ක්‍රමවේදය ඔහු මුළුමනින්ම හෙළා දැක්කේය. කුමාරවරුන්ට කීකරුවීම වනාහි දෙවියන්වහන්සේටත්, බාල්ටත් සේවය කිරීමක් බව ඔහු ප්‍රකාශ කළේය.GrHSin 208.2

    පාප් බල අධිකාරියේ බන්ධනය ඉවතට විසි කිරීමට සැදී පැහැදි සිටි මිනිස්සුත් සාතන් සිවල් බලධරයන්ගේ තහංචි සහ මැඩපැවැත්වීම් නිසා නොසන්සුන්තාවට පත් වෙමින් තිබුණේය. දිව්‍ය අනුමැතිය හා ආනුභාවය තමාට ලැබී ඇතියි කියා ගත් මන්සර්ගේ විප්ලවකාරී ඉගැන්වීම තුළින් මිනිසාට තම සිතේ ආශාව ලෙස ක්‍රියා කිරීමට අවසරයක් ලැබුණි. තම ආශාවන්ට සහ හැඟීම්වලටමුල් තැන දෙමින් ක්‍රියා කිරීමට එම ඉගැන්වීම අනුබලයක් විය. රජයට විරුද්ධව කැරළි ගැසීම් සහ විරෝධතා සෑම තැනකම වාගේ දැකගත හැකි විය. ජර්මනියේ කුඹුරු යායවල රුධිරය ගලා යන්නට විය.GrHSin 209.1

    ප්‍රතිසංස්කරණයේ මුල් කාලයේදී ඇති වූ විවිධ විරෝධතා නිසා එර්පර්ට්හි විසූ ලූතර්ට ඇති වූ මහත් සිත් වේදනාවන් දැන් වඩාත් බලසම්පන්න ලෙස ඔහු තුළ ඇතිවිය. කුමක් හෙයින්ද ආගමික උමතුන්ගේ ක්‍රියාදාමයක් ගැන ප්‍රතිසංස්කරණය වරද තබනු ලැබීය. දේශය තුළ හට ගත් කැරුල්ල ලූතර්ගේ ඉගැන්වීම්වල ප්‍රතිඵලයකැයි පාප්වාදී කුමාරවරු ප්‍රකාශනයක් නිකුත් කළෝය. මෙම චෝදනාව පදනම් රහිත වූවද, එයින් ඔහුට ඇති වූ සිත් වේදනාව සහ චෛතසික පීඩනය ඉමහත් විය. ඉතා පහත් මට්ටමේ ආගමික උන්මත්තකයින්ගේ ක්‍රියාදාමයන් නිසා සත්‍යතාව පැතිර යාමට බාධාවක් ඇති වීම ගැන අවනම්බුවට පත්වීමේ සංසිද්ධිය ඔහුට දරාගත නොහැකි තරම් විය. එම කණ්ඩායමේ දහම් ප්‍රකාශන ලූතර්ගේ අප්‍රසාදයට ලක් විය. ඔහු එම දහම්වලට විරුද්ධවය නැගී සිටියේය. ඔවුන්ට දිව්‍ය ආනුභාවයක් ඇතැයි යන ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළේය. තවද, ඔවුන් සිවිල් අධිකාරීන්ට විරුද්ධව කැරැළි ගසන්නාවූ අය යැයි ලූතර්කියා සිටියේය. මේ නිසා එම කණ්ඩායමේ අය ලූතර්ට ද්වේෂ කළහ. මෙම ප්‍රකාශයට විරුද්ධව පළිගැනීම් වස් ඔවුහු ලූතර් මහා රැවැටිලිකාරයෙක් යයි කියා සිටියෝය. මේ ආකාරයෙන් ලූතර් කුමාරයන්ගේ සහ ජනතාවගේ ද්වේෂය තමා කෙරෙහි පවරා ගත්තේය.GrHSin 209.2

    පුනරුදය ඉතා ඉක්මනින් වැටී යනවා ඇතැයි සිතමින් රෝමානුවාදීහු ප්‍රීතියෙන් පුල පුලා බලා සිටියෝය. වැරදි ක්‍රියාවේදයන් නිවැරදි කිරීමට ලූතර් දැඩි වෑයමක නිරත විය. එහෙත් මෙම වැරදි ලූතර් විසින් කරන ලද්දේ යයි රෝමානුවාදීහු ඔහුට චෝදනා කළෝය. තමන්ට අසාධාරණ ලෙස සලකන ලද්දේ යයි බොරු ප්‍රකාශන නිකුත් කරමින් ක්‍රියාත්මක වූ මේ අන්තවාදී කණ්ඩායම, විශාල පිරසකගේ, ජනතාවගේ නුකම්පාව දිනා ගැනීමට සමත් වූහ. ඔවුන්ව වේද සාක්ෂිකරුවන් ලෙස හඳුන්වා දෙනු ලැබීය. ප්‍රතිසංස්කරණය විරුද්ධව සිය ශක්තීන් යොදවා ක්‍රියා කළ අයට අනුකම්පාව ලැබී මොවුන් හිංසනයට සහ මඩිනු ලැබීමට ලක්වූ අය ලෙස පැසසුමට ලක් වූහ. මෙය සාතන්ගේ පෙළඹවීම මත සිදුවූ ක්‍රියාවකි. සගයේදී ඔහු ප්‍රදර්ශන කළ ආත්මයම මෙහිදී ද ක්‍රියාත්මකව තිබුණේය.GrHSin 209.3

    මිනිසුන්ව රැවටීමට සාතන් නිරතුරුවම ක්‍රියා කරයි. පාපය ධර්මිෂ්ටකම යයි කීමට, ධර්මිෂ්ඨකම පාපය යයි කීමටද ඔහු මිනිසුන්ට මඟ පෙන්වයි. ඔහුගේ වැඩ කොපමණ සාර්ථක වී තිබෙන්නේද! සත්‍යතාව ආරක්ෂා කර ගැනීමට අභීතව නැගී සිටින්නා වූ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ට බැතිමතුන් ඉදිරියෙහි අවලාදවලට සහ අපකීර්තියට මුහුණ දෙන්නට සිදුවූ වාර කොපමණද? සාතන්ගේ නියෝජිතයන් ලෙස ක්‍රියාකරන්නාවූ මිනිසුන් හට පැසසුම් හා යශෝරාවය හිමි වේ. සමහර විටෙක ඔවුන් වේද සාක්ෂියන් ලෙසද ගණන් ගැනේ. එහෙත් දෙවියන්වහන්සේට පක්ෂපාතීව සිටින්නා වූ පුද්ගලයන් පිළිගෙන ඔවුනට ගෞරවය ලැබිය යුතු නමුත් ඔවුන්ට සිදුවන්නේ හුදෙකලාව නැගී සිටීමටය. ඔවුන් නිරතුරුවම සැකයට සහ අවිශ්වාසයට භාජනය කරනු ලැබේ.GrHSin 210.1

    ව්‍යාජ ශුද්ධවන්ත භාවය , බොරු පාරිශුද්ධතාව, අදත් ක්‍රියාත්මකව පවතී. ලූතර්ගේ කාලයේදී මෙන්ම අදත් එම ආත්මයම විවිධ ආකාරයෙන් මිනිසුන් අතෙරහි ප්‍රදර්ශනය වේ. එය මිනිසුන්ගේ මනස් ශුද්ධ ලියවිල්ලෙන් ඉවතට හරවා තමන්ගේ හැඟීම් හා ආවේග අනුව ක්‍රියාත්මක වීමට පොළඹවමින් විනාශයට අත්වැල් සපයයි. එහෙත් කිතුණුවන් විසින් කළ යුතු වන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වෙමින් ඊට අනුගත වීමය. ශුද්ධත්වය සහ සත්‍යතාව මත අවලාද සහ නින්දාව ගෙන දීමට ව්‍යාජ ශුද්ධත්වයක් ප්‍රදර්ශනය කිරීම සාතන්ගේ සාර්ථක ක්‍රමවේදයකි.GrHSin 210.2

    සෑම දිශාවකින්ම පැමිණි දෝෂාරෝපණයන්ට සහ විරුද්ධතාවන්ට අභීතව මුහුණ දෙමින් ශුභාරංචිය රැක ගැනීමට ලූතර් ක්‍රියාත්මක විය. සෑම අරගලයකදීම දෙවියන්වහන්සේගේ වචනය බලවත් අවියක් බව ඔප්පු විය. එම වචනය භාවිතයට ගනිමින්, අයුතු ලෙස මතු කරගත් පාප්ගේ බල අධිකාරියට විරුද්ධවත්, ඇදුරන්ගේ තර්කාන්විත, දර්ශනවාදයට එරෙහිවත් ඔහු සටන් කළේය. ප්‍රතිසංස්රකණය සමග සම්මුතියකින් යුතුව ක්‍රියා කිරීමට වෙහෙස දැරූ අන්තවාදීන්ට එරෙහිව පර්වතයක් සේ නොසැලී සිටීමට දේව වචනය ඔහුට පිහිට විය.GrHSin 210.3

    මෙකී සෑම කණ්ඩායමක්ම ඒ ඒ අන්දමින් ශුද්ධ ලියවිලි ඉගැන්වීම් පසෙකලා ආගමික සත්‍යතාව සහ දැනගැනීමේ සම්පත ලෙස මිනිස් ප්‍රඥාව ඔසවා තැබුවෝය. තකර්කාන්විත දර්ශවාදය, යම් දෙයක් අවබෝධ කරගැනීමට ඇති ශක්තියට මුල් තැන දෙමින් එය ආගම් නිශ්චය කිරීමේදී නිර්ණායකය හෙවත් මිනුම් දණ්ඩ ලෙස දැක්විය. මේ අතර රෝමානු සමය තමන්ගේ පාප් තුමා අපෝස්තුළුවරුන්ගෙන් අඛණ්ඩව පැවතෙන්නාවූ දේවානුභාවයෙන් පහස ලැබූ අයෙකු ලෙස සැලකූහ. එකී සම්බන්ධතාව කිසි කලෙකත් වෙනස් නොවූ බවට ඔවුහු කරුණු ගෙන හැර දැක්වූහ. අපෝස්තුළුවරුන්ගෙන් පැවත ඒමෙහි ශුද්ධතාවය නමැති කඩතුරාවෙන් වසා ගත් සෑම ආකාරයකම දූෂණ සහ පමණ ඉක්මවූ මංගල්‍යයන් අපෝස්තලික නියමයේ ශුද්ධතාව යටතේ ආවරණය කරන ලදී. මන්සර් සහ ඔහුගේ සගයන් අයිතිවාසිකම් කිවූ ආනුභාවය වනාහි අනුමාන සහිත සංකල්පනාවන්ගෙන් උපත ලැබූ චින්තනයක් විය. එය දිව්‍ය හෝ මානව හෝ වේවා සෑම ආකාර බල අධිකාරිත්වයකට විනාශදායක විය. ආනුභාවයෙන් දෙන ලස සත්‍යතාවේ උත්තරීතර සම්පත් නිධානය ලෙස දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීම නිවැරදි කිතුණු දහම වන්නේය.GrHSin 211.1

    වෝට්බර්ග් සිට පැමිණි ලූතර් තම නිව ගිවිසුමේ පරිවර්තනය ලියා නිම කළේය. වැඩි කලක් යාමට පෙර ජර්මන් ජනතාවට ඔවුන්ගේම මව් බසින් ශුභාරංචිය කියවීමේ වාසනාව උදා විය. සත්‍යය අගය කළ සෑම දෙනෙක්ම ඉතා ප්‍රීතියෙන් යුතුව එම පරිවර්තනය පිළිගත්තෝය. එහෙත් මිනිස් සම්ප්‍රදායයන් සහ මිනිස් ආඥා පිළිගත් අය මෙම පරිවර්තන කෘතිය ගැරහීමෙන් යුතුව ප්‍රතික්ෂේප කළෝය.GrHSin 211.2

    දේව වචනය අතැති සාමාන්‍ය ජනතාවට දැන් පූජකයන් සමඟ දේව වචනයේ ප්‍රඥප්ති සාකච්ඡා කිරීමට හැකියාවක් උදාවීම පූජක පක්ෂයට තර්ජනයක් විය. එමගින් තමන්ගේ නොදත්කම එළිදරව් වේ යයි පූජකයෝ භීතියට පත් වූහ. මිනිස් තර්ක මත පිහිටුවනු ලැබූ පූජකයන්ගේ අවි ආයුධ ආත්මයාණන්ගේ කඩුව අභියස බල රහිත විය. ශුද්ධ ලියවිලි රට පුරා පැතිර යාම වැළැක්වීමට රෝමය තමන් නෙරපා හැරීම්, ශාපයට භාජනය කිරීම්, හෝ ශාරීරික හිංසා පීඩා පැනවීම් යන සෑම ක්‍රියාදාමයක්ම නිෂ්ඵල විය. බයිබලය ළඟ තබා ගැනීම බරපතල වරදක් බව සභාව තීන්දු කළාය. එය නීතියෙන් තහනම් කළ ප්‍රකාශනයක් විය. එහෙත් එය පාවිච්චි කරනු ලැබූ අතරම සත්‍ය වශයෙන් බයිබලයෙහි උගන්වා ඇත්තේ කුමක්ද කියා දැන ගැනීමට ජනතාව තුළ මහත් ආශාවක් හා උනන්දුවක් විය. කියවීමට හැකියාවක් තිබූ අය දෙවියන්වහන්සේගේ වචනය තමන් විසින්ම ඉගෙන ගැනීමට විශාල ආශාවක් දැක්වූහ. ඔවුහු දේව වචනය තමා යන එන තැන්වල රැගෙන ගියෝය. හැකි සෑම අවස්ථාවකදීම බයිබල් කොටස් කියෙව්වෝය. නැවත නැවතත් බයිබල් පද කියෙව්වෝය. දේව වචනයේ බොහෝ කොටස් කටපාඩම් කරන තුරු ඔවුහු සෑහීමට පත් නොවූහ. ජනතාව විසින් අලුත් තෙස්තමේන්තුව පිළිගත් උනන්දුව දුටු ලූතර් පරණ තෙස්තමේන්තුවද පරිවර්තනය කරන්නට පටන් ගත්තේය. පරිවර්තනය කිරීමේ වේගය අනුව රචිත කොටස් ක්‍රම ක්‍රමයෙන් ප්‍රකාශනයට පත් විය.GrHSin 211.3

    නාගරික ජනතාව මෙන්ම කුඩා ගම්මානවල ජීවත් වූ අයද එක සේ ලූතර්ගේ පත පොත මිලදී ගත්තෝය. “ලූතර් සහ ඔහුගේ මිතුරන් රචනා කළ ප්‍රකාශන තවත් අයට බෙදා හරිනු ලැබීය. තාපසාරාම පැවිද්දන් විසින් පිළිපැදිය යුතු නියමයන්හි අයතු භාවය දුටු පැවිද්දන් කිසිම වැඩක් නොකර ජීවත් වීමෙන් සැහීමකට පත් නොවී ක්‍රියාත්මක සේවයක නිරත වීමට ආශා වූහ. එහෙත් ජනතාව සමග දේව වචනය බෙදා ගැනීමට තරම් ඔවුන්ට දැනුමක් නොවූයෙන් ඔවුහු ගමින් ගමට යමින් ලූතර්ගේ සහ ඔහුගේ මිතුරන්ගේ පත පොත විකුණන්නට පටන් ගත්තෝය. මෙවන් පොත් විකිණීම තුළින් දහම පුරන්නාවූ අය ජර්මනිය පුරා දැක ගැනීමට හැකි විය. (D. Aubigne, b. 9, Ch.11).GrHSin 212.1

    මෙම ලියවිලි අධ්‍යයනය කිරීමට පොහොසතුන් මෙන්ම දුප්පතුන්ද, උගතුන් මෙන්ම නූගතුන්ද මහත් උනන්දුවක් දැක්වූහ. ගමේ පාසලේ ගුරු භවතුන් ගිනි වැළයක් වටා රැස්වී, පැමිණ සිටි කුඩා කණ්ඩායම්වලට ලියවිලි අඩංගු දෑ ශබ්ද නගා කියෙව්වෝය. සෑම වෑයමකදීම සමහර ආත්ම සත්‍යතාව ගැන විශ්වාසයක් ඇති කරගත්තෝය. සතුටින් දේව වචනය පිළිගත් ඔවුහු පෙරළා එම යහපත් පුවත් තවත් අයට කියාදීමට උත්සුක වූහ.GrHSin 212.2

    සත්‍යතාවේ පණිවිඩය ඇසූ අය ඒවා පරීක්ෂා කර බලා ස්ථිර නිගමනයක් කරා පැමිණියෝය. එය දේව වචනය අනුව සත්‍යය බව ඔවුහු තීරණය කරගත්තෝය. “ඔබගේ වචනය එළිදරව් වීමෙන් ආලෝකය ලැබේ. එයින් නුවණ නැත්තන්ට තේරුම ලැබේ. ” (ගීතාවලිය 119:130) යන වචනය ස්ථිර විය. ශුද්ධ ලියවිලි ඉගෙනීම තුළින් ජනතාවගේ සිත්වල මෙන්ම මනස්වලද විශාල වෙනසක් සිදුවෙමින් තිබුණේය. පාප්බල අධිකාරිය එහි යටත් වැසියන් නොදැනුවත්කම සහ අවිද්‍යාව නැමැති කණුවට හේත්තු කොට යදමින් බැඳ තැබීය. මිසදිටු ඇදහිලි ක්‍රම පැවැත්වීම නොඅඩුව සිදුවිය. එම සේවාවෙහිදී හදවතට සහ බුද්ධියට කිසිම සෙතක් සිදු නොවීය. දෙවියන් වහන්සේගේ වචනයෙහි අඩංගු සරල සත්‍යතාවන් ලූතර්ගේ දේශනාවල තේමාව විය. තවද, එම වචනය මුද්‍රණය කර ජනතාවගේ අතට පත් විය. මෙතෙක් අක්‍රියව තිබූ ඔවුන්ගේ බුද්ධි බලය නින්දෙන් අවධියට පත් විය. එමගින් ජනතාවගේ ආත්මික ස්වභාවය ශුද්ධත්වයට යොමු කරනු ලැබුවා පමණක් නොව ඉහළ මට්ටමක් කරා ගෙන එනු ලැබීය. එසේම බුද්ධියටද නව ශක්තියක් සහ ජවයක් ජනිත විය.GrHSin 212.3

    සෑම තරාතිරමකම අයගේ අතේ ශුද්ධ බයිබලයක් තිබුණේය ඔවුහු පුනරුදයේ ධර්මතාවන් අගය කරමින් ඒවා රැක බලා ගත්තෝය. එම දහම් අගය කරමින් සාක්ෂි දැරූහ. ශුද්ධ ලියවිලි අධ්‍යයනය පූජකයන්ට සහ තපස් ශ්‍රමණයන්ට සීමා කළ පාප් සමය, දැන් ඉදිරියට ඇවිත්, අලුත් ඉගැන්වීම් වැරදි බව පෙන්වා දෙන ලෙස පූජකයන්ට අණ කළේය. ශුද්ධ ලියවිල්ලත්, දෙවියන්වහන්සේගේ බලයත් ගැන නොදැන සිටි පූජකයන් සහ නූගත් දුර්ලබ්ධියන් යැයි හෙළා දකින ලද අය අතින් ඔවුහු පරාජයට පත් වූහ. කතෝලික ලේඛකයෙක් මෙසේ ලීවේය. “ශුද්ධ වූ ලියවිලි හැර වෙනත් කිසිම ආගමික ලියවිල්ලක් කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ලූතර් විසින් තම අනුගාමිකයන්ට පවසා තිබීම දොම්නසට කාරණයක් වන්නේය.” (D. Aubigne, b. 9, Ch. 11).වැඩි උගත්කමක් නැති අය විසින් සත්‍යතාව ප්‍රකාශකරනු ලැබීම අසන්නට ජනතාව රංචු වශයෙන් එක්වූහ. උගත් සහ ව්‍යක්ත දේව ධර්මාචාරීන් සමඟ නූගත් අය ශුද්ධ වචනය පිළිබඳව කරන්නා වූ සාකච්ඡා ඇසීමට ජනතාව රොක් වූහ. දේව වචනය පිළිබඳව මෙම ආගමික ගුරුවනරුන්ගේ දැනුම ලැජ්ජා සහගතය. ඔවුන්ගේ වියත් තර්කවලට දේව වචනයේ සරල ඉගැන්වීම් මගින් පිළිතුරු ලැබීම තුළින් ඔවුන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය විය. උගත් දේව ධර්මාචාර්යයරුන්ට හා පූජකයන්ට වඩා බයිබලයේ ඉගැන්වීම් ගැන දැනුමක් කම්කරුවන්ට, සොල්දාදුවන්ට, කාන්තාවන්ට සහ දරුවන්ටද ලැබී තිබුණේය.GrHSin 213.1

    ශුභාරංචියේ ගෝලයන් සහ අන්ධවාදී විශ්වාසයන් බදාගෙන සිටි පාප්වාදී උගතුන් අතර ශුද්ධ ලියවිලි දැනුම පිළිබඳව පරතරය කැපී පෙනෙන්නට විය. “භාෂා අධ්‍යයනය නොසලකා හැර සාහිත්‍යය පිළිබඳ දැනුම් වර්ධනයක් කරා යොමු නොවූ පැරණි ගුරු කුලයට අයත් රෝමානු ආගමික වීරයන්ට වඩා වෙනස් මගකට යොමු වූ පරිත්‍යාගශීලී මනසකින් යුතු වූ යෞවනයෝ ශුද්ධ ලියවිලි ගැඹුරින් අධ්‍යයනය කරන්නට වෙහෙස දැරුවෝය. පෞරාණික කලා කෘති සහ ශ්‍රේෂ්ඨ නිර්මාණ ඔවුනගේ අධ්‍යාපන විෂය මාලාවට එක්වී තිබුණේය. ක්‍රියාකාරී මනසකින් සහ උසස් තලයක පිහිටි ආත්මයකින්ද පහස ලත් මෙම යෞවනයෝ ඉතා විශාල පරිමාණයේ දැනුම් සම්භාරයක් ලබා ගත්තෝය. ඔවුන් සමග තරග කිරීමට කිසිවෙකුට නුපුළුවන් විය. පුනරුදයේ මෙම යෞවන ආරක්ෂකයෝ යම්කිසි රැස්වීමකදී රෝමානු ආචාර්යවරුන් මුණ ගැසුණු විට, මේ තරුණයන්‌ වාග් ප්‍රහාර එල්ල කළේ ඉතා පහසුවෙන් සහ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවය. ඔවුන්ට මුහුණ දීමට නොහැකි වූ බයිබල් දහම් නොදත් දේව ධර්මාචාර්යවරු අවිනිශ්චිත තත්ත්වයකට තල්ලු කරනු ලැබ ලජ්ජාවට පත්ව ජනතාවගේ උපහාසයට ගොදුරු වුහ. (D. Aubigne, b. 9, Ch. 11).GrHSin 213.2

    තම ශ්‍රාවකයන් අඩුවන බව දුටු විට රෝම පූජකයෝ ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට තමන්ට හැකි සෑම උපක්‍රමයක්ම ක්‍රියාත්මක කිීමට අධිෂ්ඨාන කර ගත්තෝය. නමුත් තමන්ගේ ආත්මවලට අවශ්‍ය දේවල් සපයා දීමට අලුත් ඉගැන්වීම්වලට හැකියාව ඇති බව ජනතාව වටහා ගත්තෝය. රෝමානු ආගමේ සිටියදී තමන්ට පෝෂණය සඳහා ලැබුණේ දුර්ලබ්ධික ආගමික වතාවත් සහ මිනිස් සම්ප්‍රදායන් නමැති පිදුරු බව ජනතාව අවබෝධ කරගෙන සිටියෝය. නැවතත් මුල් ආගමට තමා කැඳවා ගෙන යාමට පැමිණි නියෝජිතයන්ට ඔවුහු පිටු පෑවෝය.GrHSin 214.1

    සත්‍යතාවේ ගුරුවරුන්ට එරෙහිව වධහිංසා හා ගිනි සිළු ඇවිලෙන්නට පටන් ගත්තේය. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ මේ වදන්වලට අනුගත වූහ. “එක් නගරයකදී ඔබට හිංසා පීඩා කරන කළ, වෙනත් නගරයකට පලායන්න.” (මතෙව් 10:23) ආලෝකය සෑම තැනකම පැතිරී යන්නට විය. සමහර අවස්ථාවන්හිදී පලා යන්නා වූ අයට ආගන්තුක සත්කාරයට ලැදි ගෙයක් සොයා ගත හැකි විය. එහි නැවතී සිටි ඔවුහු සමහර විටෙක දේවස්ථානයක එවන් අවස්ථාවක් නොලැබුණු විට නිවෙසක් නැතිනම් එළිමහනේ සිට ක්‍රිස්තුස්වහන්සේව දේශනා කළෝය. බොහෝ විට අඔහුව්නට දේශනා කරන්නට ලැබුණේ කැප කරන ලද දේවස්ථානයකි. ජවයෙන් සහ සහතිකයකින් යුතුව ප්‍රකාශ කරන ලද සත්‍යතාව විරුද්ධතා මගින් එල්ල කළ නොහැකි බලයකින් යුතුව පැතිරී යන්නට විය.GrHSin 214.2

    ව්‍යාප්තව පැතිර යන්නා වූ ප්‍රතිසංස්කරකාරක ඉගැන්වීම් මැඩලීමට රෝමානු ආගමික සහ සිවිල් බලධරයෝ නිරර්ථකයේ වෑයම් කළෝය. බලධරයෝ ප්‍රතිසංස්කාරකයන් සිරගෙයි ලෑවෝය, ඔවුන්ට වධ හිංසා පැමිණෙව්වෝය, ඔවුන් ගින්නටද කඩුවටද බිලි කළෝය, දහස් ගණන් බැතිමත්හු තම ලෙයින් ඇහිල්ල මුද්‍රා කළෝය. එසේ වුවද, ප්‍රතිසංස්කාරක ව්‍යාපාරය ඉදිරියටම ගියේය. හිංසා පීඩා මගින් සිදුවුණේ සත්‍යතාව තව තවත් ව්‍යාප්ත වීමය. සාතන්ගේ මෙහෙයවීම මත ප්‍රතිසංස්කාරකයන් සමග ඒකාබද්ධ වීමට තැත් කළ අන්තවාදීන්ගේ ඉරණම මගින් සාතන්ගේ ක්‍රියාදාමයත්, දෙවියන්වහන්සේගේ ක්‍රියාදාමයත් අතර වෙනස්කම් වඩාත් පැහැදිළිව දැක ගැනීමට හැකි විය.GrHSin 214.3