Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    20 - විශිෂ්ට ආගමික පිබිදීමක්

    එළිදරව් පොතෙහි 14 වන පරිච්ඡේදයෙහි පළකොට ඇති පරිදි පළමුවන දේවදූතයාගේ ප්‍රකාශයෙහි විශිෂ්ට ආගමික පිබිදීමක් පිළිබඳව අනාවැකියක් අඩංගු වී ඇත.” පොළොවේ වසන්නටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස සදාකාල සුභාරංචියක් ඇතිව සිටින දේව දූතයෙක් අහස මැද පියාසර කරනවා” දර්ශනය කරන ලදී. “ඔවුහු මහත් ශබ්දයකින් කතා කරමින්: දෙවියන්වහන්සේට භයවී: උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණුනේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැයි කීය.” ( එළිදරව් 14: 6,7).GrHSin 405.1

    මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කරන්නේ දේවදූතයකු විසින් යැයි සඳහන් වීම විශේෂ කරුණකි. ස්වර්ගීය පණිවිඩකරුවාගේ පාරිශුද්ධතාවත්, තේජසත්, බලයත් එයින් සංකේතවත් විය. මෙම පණිවිඩය මගින් සාක්ෂාත් කරන්නා වූ විශිෂ්ට වූ ද, උදාර වූ ද මෙහෙවරයත් එයට අත්වැල් සපයමින් ලබාදෙන්නා වූ බලයත්, මහිමශ්‍රීයත් පෙන්නුම් කිරීමට දේව දූතයෙකු යොදා ගැනීමට දිව්‍ය ප්‍රඥාව සතුටු විය. දේව දූතයා” පියාසර කළේ අහස මැද ය.” අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රකාශ කළේ ” මහත් හඬක් නගමින් ය.” එම පණිවිඩය ” පොළොවේ වසන හැම ජාතියකටම, හැම ගෝත්‍රයකටම, හැම භාෂාවකට හා හැම සෙනඟකටම” ලබාදිය යුතු විය. මෙම පණිවිඩය ලෝ පුරා ප්‍රචාරය කර හැරීමත් එය ඉටු කිරීමේදී සීඝ්‍රතාවත් දේව දූතයාගෙන් පෙන්නුම් කරන ලදී.GrHSin 405.2

    මෙම මෙහෙය ආරම්භ විය යුතු වකවානුව පිළිබඳ ව පණිවිඩයෙහි සඳහනක් විය. එම පණිවිඩය නම් කර ඇත්තේ ” සදාකාල සුභාරංචිය” යනුවෙනි. එය විනිශ්චයේ පටන් ගැනීම ගැන දැනුම් දීමකි. ගැලවීමෙහි පණිවිඩය සෑම යුගයක් පාසාම ලෝ පුරා රැව් පිළිරැව් දෙමින් මිනිස් හදවත් වලට කතා කර තිබේ. එහෙත් මෙම දේවදූතයාගේ පණිවිඩය ප්‍රකාශයට පත්කළ හැකි වන්නේ අන්තිම දවස් වල දී පමණක්ය. මක්නිසාද යත් විනිශ්චය‍යේ පැය පැමිණෙන්නේ අන්තිම දවස්වල දී ය. විනිශ්චයේ පැය ආරම්භ වීමට පෙරාතුව එකින් එක සිදුවිය යුතු වූ සිද්ධීන් ගණනාවක් දිවැසි ප්‍රකාශනයන්හි ඇතුළත්ව තිබේ. දානියෙල්ගේ පොතෙහි මේ බව පැහැදිලිව දක්වා ඇත. අන්තිම දවස් හා බැඳි දිවැසි ප්‍රකාශන කොටසේ අඩංගු වචන වසා ” අන්තිම කාලය දක්වා ” පොත මුද්‍රා තබන්නැයි දානියෙල්ට උපදෙස් දෙනු ලැබීය. මෙම දිවැසි ප්‍රකාශන ඉටුවීම හා බැඳි විනිශ්චය පිළිබඳ පණිවිඩය අන්තිම කාලය උදාවෙන තෙක් ප්‍රකාශ කළ නොහැකිය. අන්තිම කාල වකවානුව පිළිබඳ දිවැසිවරයා මෙසේ පවසයි: “බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩි වන්නේය.“(දානියෙල් 12:4).GrHSin 405.3

    තමාගේ දවස්වලදී ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම සිදුවෙතැයි බලාපොරොත්තු නොවිය යුතු බව පාවුල් සභාවට තරයේ ප්‍රකාශ කර තිබිණ. “ඇදහිල්ලෙන් වැටී යාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය.” යි පාවුල් පැවැසුවේය. (2 තෙසලෝනික 2:3). දෙවියන්වහන්සේට විරුද්ධ වූ ආගමික ධර්ම විරෝධතා මෙහෙයුම පවතින තුරුත්, “නොපනත්කමේ මිනිසා” විසින් ගෙනයනු ලබන්නාවූ දීර්ඝ කාලීන පාලනය සිදු වී අවසන් වන තුරුත් අපගේ ස්වාමීන්වහන්සේගේ දෙවන පැමිණීම අපට අපේක්ෂා කළ නොහැක. ඒ වන විටත් ඇදහිල්ලෙන් වැටී යාමක් නියමිතය. “නොපනත්කමේ මිනිසා” වෙනත් නම්වලින් ද හඳුන්වා දී ඇත. “නොපනත්කමේ අභිරහස් බලය,” “විනාශයේ පුත්‍රයා” ලෙසින් නම්කර ඇත. මෙම විවිධ නම් වලින් පෙන්නුම් කරන්නාවූ පාප් අධිකාරි බලය වසර 1260ක් තම අණසක පතුරුවන බව දිවැසි ප්‍රකාශනයෙහි සඳහන් ය. මෙම කාල පරාසය 1798 දී නිමාවට පත්විය. මෙම කාලයට පෙර ක්‍රිස්තු ආගමනය සිදුවිය නොහැකි විය. මෙම ඉරණම් වසරට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම පණිවිඩය ලොව පුරා ප්‍රකාශයට පත් කළ යුතුය.GrHSin 406.1

    මෙවන් පණිවිඩයක් ඊට පෙර යුගයන්හි කිසි කලෙකවත් ප්‍රකාශකොට නොතිබුණේය. අප දැක තිබෙන අන්දමට පවුල් ඒ පිළිබඳව දේශනා නොකළේය. ඔහු තම සහෝදරයන්ගේ අවධානය දීර්ඝකාලීන අනාගතයක් කරා යොමු කරමින් ඉක්බිතිව දෙවෙනි ඊම සිදුවෙනවා ඇතැයි කියා පෑවේය. ප්‍රතිසංස්කරණය කළා වූ අය දෙවෙනි ඊම ගැන ප්‍රකාශ කලේ නැත. තමාගේ දවස්වල සිට අවුරුදු තුන්සීයයකට පසුව විනිශ්චයේ දවස පැමිණෙන බව මාර්ටින් ලූතර්ගේ පිළිගැනීම විය.කරුණු මෙසේ පවතින්නාවූ අතරේදී 1798 දී දානියෙල්ගේ පොතේ මුද්‍රාව විවෘත කරනු ලැබීය. දිවැසි වැකි පණිවුඩ පිළිබඳ දැනුම වර්ධනය විය. ළඟ ලඟම ඒන්නාවූ විනිශ්චය පිළිබඳව බොහෝ අය ප්‍රකාශ කරන්නට වූහ.GrHSin 406.2

    දහසය වැනි සියවසේදී ලෝ කැළඹූ උදාර ප්‍රතිසංස්කාරක මෙහෙයට සමාන්තරව කිතුණු ලොවෙහි විවිධ රට රාජ්‍යායන් හි දෙවන පැමිණීමේ පණිවිඩයද ප්‍රකාශ කරනු ලැබීය. යුරෝපාකරයේ සහ අමෙරිකාවේ දිවිගෙවූ ඇදහිල්ලෙහි සහ යාච්ඤාවේ සැදැහැවත්හු බයිබලයේ අන්තර්ගත දිවැසි ප්‍රකාශන අධ්‍යයනය කරන්නට වන්හ. දේවානුභාවයෙන් දෙන ලද වාර්තා විමසිලිමත්ව සෝදිසි කිරීමෙන් පසුව ඔවුන් පැමිණි නිගමනය නම් සියල්ලෙහි අවසානය ආසන්න බවය. විවිධ රටවල සිටි හුදෙකලා කිතුණු කණ්ඩායම් ශුද්ධ ලියවිලි පමණක් පරිශීලනය කිරීමෙන් පසුව ගැළවුම්කාර සමිදාණන්ගේ දෙවෙනි ඊම ඉතා ආසන්න යැයි තීරණයකට එළඹුණාහ. GrHSin 406.3

    විලියම් මිලර් බයිබලීය අනාවැකි විමර්ශනය කිරීමෙන් පසුව විනිශ්චය කාලය ආසන්න බව ප්‍රකාශ කරන්නට විය. එයින් අවුරුදු තුනකට පසුව, එනම් 1821 දී“ලෝක දහම් ප්‍රකාශක” ආචාර්ය ජෝශප් වුල්ෆ් ස්වාමීන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව දේශනා කරන්නට පටන් ගත්තේය. වුල්ෆ් උපත ලැබුවේ ජර්මනියේය. ඔහුගේ දෙමව්පියෝ හෙබ්‍රෙව් ජාතිකයෝ වූහ. ඔහුගේ පියා යුදෙව් ආගමික ගුරුවරයෙක් විය. කුඩා කාලයේදීම කිතුනු දහම සත්‍ය යයි ඔහු තරයේ විශ්වාස කළේය. ක්‍රියාකාරී විමර්ශනශීලී මනසකින් යුතුව මේ සිරිමල් වියෙහි යෞවනයා තම පියාගේ ගෙදර සිදුවූ කතාබහට සාවධානව ඇහුම්කන් දීම සිරිතක් කොට ගත්තේය. ආගමික ශ්‍රද්ධාවෙන් යුත් භක්තික හෙබ්‍රෙව්වරුන් දිනපතාම රැස්වී තම ජාතිකයන්ගේ බලාපොරොත්තු සහ පැතුම් ආවර්ජනය කිරීම සිරිතක් විය. පැමිණෙන්නාවූ මෙසියස්වහන්සේගේ තේජසත් ඊශ්‍රාය‍ලේ ජනතාව නැවතත් රාජ්‍ය පාලන තන්ත්‍රයකට පත් කරනු ලැබීමත් ගැන ඔවුන්ගේ අවධානය යොමු විය. නාසරීය යේසුස්වහන්සේගේ නම වැඩිහිටියන්ගේ කතාබහේ දී ප්‍රකාශ විය. එතුමාණන් කවරෙක්දැයි ජෝශප් ප්‍රශ්න කළේය. “ඉමහත් කුසලතාවන්ගෙන් පිරී යුදෙව්වෙක්” යනු ඔහු ලැබූ පිළිතුර විය. ” තමා මෙසියස්වහන්සේ යයි එතුමා කියා ගත් නිසා යුදෙව් ත්‍රි පුද්ගල, අධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය පමුණුවන ලද්දේ යන්න පිළිතුරට එකතුකරන ලදී. “එසේනම් යෙරුසලම විනාශයට පත් වුණේ ඇයි? අප තවමත් අධිරාජ්‍යයක යටත්වැසියන් වී සිටින්නේ ඇයි?” යන්න තරුණයා ගේ මුවින් පිටවිය. ” අහෝ මේ ඛේදවාචකයට හේතුව නම් යුදෙව්වරුන් විසින් දිවැසිවරුන් මරා දැමූ නිසාය” යි පියා උත්තර දුන්නේය. තරුණයාගේ සිත තුළ එක්තරා අදහසක් දෝංකාරය දෙමින් දෝලනය වන්නට විය. ” සමහරවිට යේසුස්වහන්සේද දිවැසිවරයෙකු වන්නට ඇත. උන්වහන්සේ නිර්දෝශී අයෙකු බව දැන දැනත් යුදෙව්වෝ උන්වහන්සේව මරා දමන්නට ඇත.” කිතුනු පල්ලියක් ඇතුළට යෑම තහනම් වුවද, ඔහුගේ හැඟීම් ඉතා උත්සන්න වූ නිසා පෝශප් වුල්ෆ් නිතර නිතර කිතුණු පල්ලි වෙත ගොස් ගොඩනැගිල්ලෙන් පිටත සිට ගෙන දේශනාවලට කන්දීගෙන සිටීම පුරුද්දක් කර ගත්තේය.GrHSin 407.1

    එකල ජෝශප්ගේ වයස අවුරුදු හතක් පමණ විය. වයෝවෘද්ධ කිතුනුවකු සමග ඊශ්‍රයෙල් ජාතියේ ජයග්‍රහණය පිළිබඳව ඔහු අභිමානි ලෙස කථා කරමින් සිටියේය. වයසක මනුෂ්‍යයා කරුණා භරිතව ඔහුට මෙසේ කීවේය.” දයාබර පුතනුව‍ණී, සත්‍යවාදී මෙසියස්වහන්සේ කවුරුන්දැයි මම ඔබට කියා දෙන්නම්. නාසරෙත්හි යේසුස්වහන්සේ එම තැනැන්වහන්සේයි. පෙර දී ජීවත්වූ දිවැසිවරුන් මේ ළමයාගේ මුතුන්මිත්තන් විසින් මරා දැමූ ලෙසින්ම යුදෙව්වන් උන්වහන්සේවත් මරා දැම්මා. ගෙදර ගිහින් යෙසායාගේ පොතේ පනස්තුන් වන පරිච්ඡේදය කියවන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි දෙවියන් වහන්සේගේ පුතුනුවන් බව පැහැදිලිව ඔබට වැටහේවි.” සැකයකින් තොරව එම සිද්ධාන්තය ඔහුගේ සිතෙහි ස්ථීරව තැන්පත් විය. ඔහු ගෙදර ගොස් ශුද්ධ ලියවිල්ල කියවා බැලුවේය. එහි සඳහන් කරුණු සියල්ල නාසරීය යේසුස්වහන්සේගේ ජීවිතයෙහි අකුරටම ඉටු වූ ආකාරය දැක ඔහු විශ්මිත විය. තමා සමග කථාකළ කිතුනු බැතිමතාගේ ප්‍රකාශය සත්‍යද? දිවැසි වැකිය පැහැදිලි කරදෙන්නැයි හෙතම තම පියා ගෙන් ඉල්ලීමක් කළේය.එහෙත් ඔහු තරවටු ස්වරූපයකින් යුතුව නිශ්චල විය. බියට පත් ජෝසප් මෙම මාතෘකාව පිළිබඳ නැවත කිසිම දිනෙක පියාගෙන් විචාළේ නැත. මෙම සිදුවීමත් සමගම කිතුණු දහම වඩා හොඳින් දැන ගැනීමට ඔහුගේ සිත වැඩිවැඩියෙන් ආශා විය.GrHSin 408.1

    එම සෙවිල්ල සාර්ථක කරගැනීමට ජෝසප්ගේ යුදෙව් නිවස පිටිවහලක් නොවීය. වයස අවුරුදු එකොළහක් වත්ම ඔහු තම පියාගේ නිව‍සින් පිට විය. අධ්‍යාපනයක් සොයාගෙන තමාගේ ආගම තෝරාගෙන ජිවන වෘත්තියක යෙදීමට විවෘතව ඔහු ලෝකයට පිවිසියේ ය. කලක් නෑදෑයින්ගේ ගෙවල විසූ හෙතෙම යුදෙව් දහමට විරුද්ධව ක්‍රියා කරන්නෙකු ලෙස හංවඩු ගසනු ලැබ එම ස්ථානයන්ගෙන් ඉවත්ව යන ලෙස අණ ලැබීය. නෑදෑ හිතවතුන් කිසිවෙකුගේ හෝ හව්හරණක් නැතිව අතේ මිටේ මිල මුදල් කිසිවක් නැතුව ඔහු ආගන්තුකයන් අතර තනිවිය. ඔහු තැනින් තැන යමින්, හෙබ්‍රෙව් බස උගන්වමින් ජීවිකාව ගැට ගසා ගත්තේය. ඒ අතර ඉඩ ලද සෑම අවස්ථාවකදීම තම අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට ද ඔහු වගබලා ගත්තේය. කතෝලික ගුරුවරයෙකුගේ අනුබලය යටතේ ජෝසප් රෝමානු දහම වැළඳ ගත්තේය. ඔහුගේ අරමුණ වූයේ තමාගේ ජාතියේ වැසියන්ට දහම් ප්‍රචාරකයකු වීමය. මෙම අභිමතාර්ථය සාක්ෂාත් කරගැනීම් වස් ඔහු වසර කිහිපයකට පසුව රෝමයේ තිබූ ආගම් ප්‍රචාරක විදුහලකට ඇතුළුව අධ්‍යාපනය හදාරන්නට විය. නිදහස් චින්තනයත්, තමාගේ මත අභීත ලෙස ප්‍රකාශ කිරීමේ පුරුද්දත් නිසා ධර්ම විරෝධී ලබ්ධිකයා යන නාමය ඔහුට පට බැඳුණ‍නේය. සභාව තුළ පැවති අනිසි ක්‍රියා වේදයන් ගැන හෙතෙම විවෘතව දොස් පැවරීය, ප්‍රතිසංස්කරණයක් වහාම ඇති කරන්නැයි බල කළේය. මුල් කාලයේදී රෝම ප්‍රභූන්ගේ විශේෂ සැලකිලි ලැබූ ඔහුට පසු කාලයේදී එකී සැලකිලි නැතිවී ගොස් රෝමයෙන් වෙනත් පෙදෙසකට මාරු කර යවන ලදී. සභාවේ දැඩි සෝදිසිය යටතේ ඔහුව තැනින් තැනට යොමු කරනු ලැබුවද රෝමානු බලධරයන්ගේ අණසකට යටත් වීමට ඔහුව ගෙන ඒමට නොහැකි බව බලධාරීන්ට එත්තු ගියේය. හික්මවීමකට යටත් කළ නොහැකි අයකු ලෙස සභා පාලනයෙන් ඉවත් කරනු ලැබූ ඔහුට, තමා කැමැති අයුරින් ක්‍රියා කිරීමට නිදහස දානය කරනු ලැබීය. එංගලන්තයට ගිය හෙතෙම ප්‍රොතැස්තන්ත ඇදහිල්ල ප්‍රකාශ කරමින් එංගලන්ත සභාවට එක්විය. වසර දෙකක් ඉගැනීමෙන් පසුව 1821 දී හෙතෙම තම සේවාව සඳහා පිටත්ව ගියේය. GrHSin 408.2

    “මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබ වේදනා ඇත්තාවූ දුක දන්නා වූ” අයෙකු ලෙස ක්‍රිස්තුස්වහන්සේ පළමුවර පැමිණි බව ජෝශප් වුල්ෆ් පිළිගත්තේය. ඒ සමගම ඔහුට සාක්ෂාත් වූයේ දිවැසි ප්‍රකාශන මගින් පෙන්වා දී ඇති පරිදි උන්වහන්සේ බලයෙන් සහ තේජස් මහිමශ්‍රීයෙන් යුතුව දෙවන වර පැමිණෙනවා ඒකාන්ත බවය. පොරොන්දු වූ තැනැන්වහන්සේ වන නාසරෙත්හි යේසුස්වහන්සේ වෙත මිනිස් අවධානය යොමු කිරීමේ කාර්යභාරය ඔහුගෙන් ඉටුවිය. නිහතමානීකමින් යුතුව නින්දාවට භාජනය කරන ලදුව, උන්වහන්සේ පළමුවර පැමිණියේ මිනිසුන්ගේ පාප උදෙසා බව ඔහු ඉගැන්වීය. රජෙකු සහ ගැලවුම්කාරයකු ලෙස උන් වහන්සේ දෙවන වර පැමිණෙන බවද ඔහු ඉගැන්වීය. GrHSin 409.1

    ජෝශප් වුල්ෆ් මෙසේ කියමින් ජනතාව අවදි කළේය. “නාසරෙත්හි යේසුස්වහන්සේ සත්‍යය වූ මෙසියස්වහන්සේය. උන්වහන්සේගේ අත් සහ පාද සිදුරු කරන ලදී. වේදනා ඇත්තාවූ දුක දන්නා වූ මනුෂ්‍යයෙකුවූ උන්වහන්සේව බැටළු පැටව‍වෙකු ලෙස මරන්ට ගෙන යනු ලැබීය. යුදයාවෙන් රාජ බලය ඉවත් කරනු ලැබීමෙන් පසුව ව්‍යවස්ථාදායක බලය දෙපා අතරින් ඇදගනු ලැබීමෙන් පසුව, උන්වහන්සේ පළමුවර මෙලොවට වැඩිය සේක. අග්‍ර දේව දූතයාගේ හොරණෑ ශබ්දය ඇති ව උන්වහන්සේ දෙවන වර වළාකුළු මතින් මෙලොව බලා පැමිණෙන සේක.” (Wolff,“Researches and Missionary Labors,” p.62) උන්වහන්සේ එසේ පැමිණ ඔලීව කඳු මස්තකය පිට වැඩහිඳින සේක. මැවිල්ල කෙරෙහි වූ ආධිපත්‍ය ආදම් අහිමි කරගත් නමුත් (උත්පත්ති 1:26; 3:17)එම බල අධිකාරිය යේසුස්වහන්සේට පවරා දෙනු ලබනවා ඇත.උන්වහන්සේ මුළු පොළෝ තලය කෙරෙහි රජකම් කරනවා ඇත. වේදනාවෙන් කෙඳිරි ගාන්නා වූ මැවිල්ලේ හඬ නිමාවට පත්වන්නේය. ඒ වෙනුවට ප්‍රසංසා හඬ සහ තුති දීමේ හඬ අහස පුරා පැතිර යන්නේය. පියාණන්වහන්සේගේ තේජසින් යුතුව දේව දූතයන් පිරිවරා යේසුස්වහන්සේ පැමිණෙන කල ක්‍රිස්තුස්වහන්සේ තුළ මරණයට පත්වූ සැදැහැවත්හූ පළමුකොට නැගිටින්නෝය. (1 තෙසලෝනික 4:16; 1 කොරින්ති 15:23). මෙම සිදුවීම පලමු මළවුන්ගෙන් නැඟිටීම ලෙස කිතුනු අපි හඳුන්වන්නෙමු. එකල්හි සත්ව රාජධානිය ස්වභාවය වෙනස් කරනු ලැබ (යෙසායා 11:6-9) ක්‍රිස්තුස්වහන්සේට යටත් කරනු ලැබේ.( ගීතාවලිය 8) විශ්වීය සමාදානය රජ කරනවා ඇත. ස්වාමීන් වහන්සේ නැවත පොළොව දෙස බලමින් ” එය ඉතා යහපත්ය“යි උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඇත. ( එම පොත 294 පිටුව)GrHSin 409.2

    යේසු සමිඳාණන්ගේ දෙවෙනි ඊම ඉතා ආසන්න බව ජෝශප් වුල්ෆ් විශ්වාස කළේය. දිවැසි ප්‍රකාශනයන්ට ලබාදුන් අර්ථකථනය අනුව ලෝකයේ අවසානය ළංව තිබෙන බවත් එම දවස විලියම් මිලර්ගේ විග්‍රහයට ඉතා සමීප බවත් දැක ගැනීමට පුළුවන. “ඒ දවසවත්, ඒ පැයවත් කිසිම මනුස්සයෙක් දන්නේ නැතැ“යි යන ශුද්ධ ලියවිලි පාඨය තරයේ පිළිගත් අයගේ කල්පනය අනුව පැමිණීමේ ආසන්නතාවය පිළිබඳව මිනිසුන්ට කිසිවක් දැනගැනීමේ අයිතියක් නැතැයි ප්‍රකාශ විය.මෙම චින්තනයට වුල්ෆ් මෙසේ පිළිතුරු දුන්නේය. “පැමිණීමේ දවස සහ පැය ගැන මිනිස්සුන්ට කවරදාකවත් දැනගැනීමේ අයිතියක් නැතැයි අපගේ දෙවි සමිඳාණෝ ප්‍රකාශ කළ සේක්ද? අත්තික්කා ගසක දළු හටගන්නා වූ අවස්ථාවේදී ගිම්හානය ලඟ බව දැන ගැනීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත. එසේම ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන ඊම ලඟ බව දැනගැනීමට අප සමිදානන් පෙරනිමිති අපට ලබාදී නැද්ද? ( මතෙව් 24:32 ). දානියෙල්ගේ පොත කියවා එහි අන්තර්ගතය තේරුම් ගන්න යයි අනුශාසනා කළ තැනැන්වහන්සේ එම කාල වකවානුව අප විසින් කිසිම කලෙක දැනගත යුතු නැතැයි අදහස් කළ සේක් ද? දානියල් පොතේම කියා ඇත්තේ එම පොත අන්තිම කාලය දක්වා වසා තබන ලෙසය.( එය උන්වහන්සේ නියම කර ඇති වකවානුවයි). ” බොහෝ අය එය කියවා බලනවා ඇත.” හෙබ්‍රෙව් භාවිතය අනුව මෙයින් පැහැදිලි වන්නේ ඒ කාලය ගැන මනාව නිරීක්ෂණය කර කල්පනාවට භාජන කරනු ලබන බවය.( ඒ කාලයේදී) ” දැනගැන්ම ද වැඩි වන්නේය”, යි පවසා තිබේ. ( දානියෙල් 12: 4). අප සමිදානන් මෙයින් අදහස් කරන්නේ ඒ කාලයේ( අවසන් කාලයේ) පැමිණීම අපට දැනගැනීමට හැකියාවක් උදව් වන්නේ නැතැයි උදා වන්නේ නැතැයි කීම නො ව එම නිශ්චිත දවස සහ නිශ්චිත පැය මිනිසාට එළිදරව් නොකරන බවය. නෝවා නැව පිළියෙල කරන්නා වූ අතරේදී නැවත ඇතුළු වීම සඳහා සූදානම් වන්නැයි සෙනඟට පෙළඹවීමක් කළ ආකාරයෙන්ම තමන් වහන්සේගේ ඒම සඳහා සූදානම් වීමට අවශ්‍ය තරම් ලකුණු සහ පෙරනිමිති ජේසු සමිඳාණෝ අපට ලබා දී ඇත.” (Wolff, “Reseaches and Missionary Labors” pp. 404,405)GrHSin 410.1

    ශුද්ධ ලියවිලි වටහා ගැනීම නිවැරදි විය හැකිය, සමහරවිට එය වැරදි විය හැකිය සමහර අර්ථකථන ඉතා ජනප්‍රිය විස්තර කිරීම් වන්නටද පුළුවන. ශුද්ධ ලියවිල්ල විග්‍රහ කරනු ලබන අන්දම පිළිබඳව ජෝශප් වුල්ෆ් මෙවන් පැහැදිලි කිරීමක් කළේය.“කිතුනු සභාවේ බහුතරයක් ශුද්ධ ලියවිලි ප්‍රකාශනයන්හි අන්තර්ගතය වූ සරල පැහැදිලි හරයන් වෙනස් මගකට යොමු කරමින් බුදු දහමෙහි අන්තර්ගත ක්‍රමයන් කරා නැඹුරු වී සිටිති. එම දහම්වල දර්ශනය අනුව මිනිසාගේ අනාගත ප්‍රීතිමත් සෞභාග්‍යය රඳා පවතින්නේ වාතයෙහි ඔබ මොබ ගමන් කිරීමෙහිය. මෙම කිතුනුවන් ශුද්ධ ලියවිල්ල කියවන්නා වූ අතර යුදෙව්වන් යන වචනය හමු වූ විට එයින් වටහා ගන්නේ අන්‍යජාතීන් යන්නය. යෙරුසලම යන්න කියවන විට එයින් ඔවුන්ට දැක්වෙන්නේ සභාව යන්නය. පොළොව යැයි සඳහන් වන විට එය අහස යයි ඔවුහු කල්පනා කරති. ස්වාමීන්වහන්සේගේ පැමිණීම පිළිබඳව සඳහන් වන විට එයින් ඔවුන්ට ප්‍රකාශ වන්නේ දහම් ප්‍රචාරක සංගම්වල අභිවෘද්ධියයි. සමිදාණන්ගේ නිවසේ කන්ද කරා යෑම යන්නෙ ඔවුන්ට පෙනී යන්නේ මෙතෝදිස්ත වරුන්ගේ අභිනන්දන පන්ති හමුවකි.” ( Journal of the Rev. Joseph Wolff” p.96).GrHSin 410.2

    1821 සිට 1845 දක්වා වූ වසර විසිහතර තුළ වූල්ෆ් අප්‍රිකාවේ විවිධ ප්‍රදේශයන් කරා යමින්, විශාල සේවයක් ඉටු කළේය. ඔහු මිසරය මෙන්ම ඇබිසීනියාව ද තරණය කළේය. ආසියාතිකය කරා පැමිණි හෙතම පලස්තීනය, සිරියාව, පර්සියාව, බොක්හාරාව සහ දඹදිවට ද පැමිණියේය.හෙතෙම ඇමරිකා එක්සත් ජනපදයෙහි ද දහම් ප්‍රචාරක සේවයෙහි නිරත විය. එහි යන අතරේදී ඔහු ශාන්ත හෙලේනා දූපතටද ගොඩබැස දහම් පතුරුවාලීය. 1837 දී නිව්යෝක් නගරයට පැමිණි ඔහු එම නගරයෙහි දහම් දෙසීමෙන් පසුව පිලදෙල්පියාවෙහි සහ බැල්ටිමෝර් හීද දහම් දෙසුවේය. අන්තිමේදී ඔහු වොෂින්ටන් නගරයට පැමිණියේය. එහිදී තමා ලැබූ අත්දැකීම ඔහු මෙසේ විස්තර කරයි.” මාගේ සේවය ගැන සඳහන් කරමින් හිටපු ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. දෙසුමක් කිරීම සඳහා කොන්ග්‍රස ශාලාව මට ලබා දීමට වූ එම යෝජනාවට ඒකමතිකව සම්මත විය. එක් සෙනසුරාදා දිනෙක පැවැති මාගේ දෙසුමට කොංග්‍රසයේ සෑම මන්ත්‍රීවරයෙක් ම පැමිණ සිටියේය. එපමණක් නොව, වර්ජීනියාවේ රදගුරුතුමා ද පූජක පක්ෂ භවතුන් මෙන්ම, පුරවැසියන් ද ශ්‍රවණය සඳහා රැස්ව සිටියෝ ය. නිව් ජර්සිහි මෙන්ම පෙනිසිල්වේනියාවේද රාජ්‍යයන් විසින් කතා කිරීමේ අවසරය මට ලබා දුන්හ. එහිදී මම ඔවුන්ට ආසියාවේ මා කළ පර්යේෂණ වාර්තාවන් ඉදිරිපත් කලෙමි. තවද ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලික රාජ්‍ය පාලනය පිළිබඳව පැවසීමට ද අමතක නොකළෙමි.” (” Journal of the Rev. Joseph Wollff,” pp.398,399).GrHSin 411.1

    වනචාරී මිලේච්ඡ මිනිසුන් සිටි රටවල සංචාරය කිරීම වුල්ෆ්ට අමුත්තක් නොවීය. එවන් සංචාරයන් සඳහා ඔහු යුරෝපීය ආරක්ෂා බලධාරීන්ගේ රැකවරණය ඉල්ලා නොසිටියේය. එම ගමන් වලදී ඔහු ඉමහත් අනතුරුදායක උපද්‍රවයන්ට මුහුණ දුන්නේය. සතුරන්ගේ ග්‍රහණයට හසු වූ ඔහුට දඬුවම් කරන පිණිස ඔහුගේ යටි පතුල්වලට පහර දෙනු ලැබීය; නිරාහාරව සිටීමටද නියම කරනු ලැබිණ. සතුරෝ ඔහුව වහලෙකු ලෙස විකුණා දැම්මෝය, තුන්වතාවක්ම මරා දමනු ලැබීමට ද නියම විය. සොරුන්ගෙන් ද ඔහුට පීඩා එල්ල විය. සමහර අවස්ථාවන්හි දී ඔහු පිපාසයෙන් මරණාසන්න ව සිටියේය. වරක් ඔහු සතු සියල්ල සොරුන් විසින් පැහැර ගන්නා ලදී. කඳුකර පෙදෙසක් තුළින් සැතපුම් සිය ගණනක් ගෙවා යන්නට ඔහුට සිදුවිය. ඔහුගේ මුහුණට හිමෙන් පහර එල්ල විය. පා වැසුම් නැතිව හිමෙන් වැසීගිය පොළවෙහි ගමන් කිරීම නිසා දෙපා හිරිවැටී ගියේය.GrHSin 411.2

    වනචාරීවූ විරුද්ධවාදීවූ මිනිසුන් අතරෙහි ආයුධ රහිතව ගමන් යෑම ගැන ඔහුට අනතුරු ඇඟවීමක් කරනු ලැබූ විට ඔහු කියා සිටියේ” තමා ආයුධ මගින් සන්නද්ධව” සිටින බවය.” මාගේ උදව්ව සඳහා යාච්ඤාව, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජ්වලිතතාවය සහ උන්වහන්සේගේ රැකවරණය කෙරෙහි විශ්වාසය මට ප්‍රමාණවත්ය“යි ඔහු ප්‍රකාශ කළේය. “දෙවියන්වහන්සේගේ ආදරය මට නොඅඩුව පොරොන්දු වී තියෙනවා. අසල්වැසියන් කෙරෙහි ආදරයක් මගේ සිතේ පවතිනවා. ශුද්ධ බයිබලය මගේ අතේ තියෙනවා” යයි ඔහු පැවසුවේය.(Adams, W.H.D. “In perils oft,” p.192) ශුද්ධ බයිබලයේ ඉංග්‍රීසි සහ හේබ්‍රෙව් පරිවර්තන ඔහුගේ ගමන් මල්ලේ සෑම විටකම තිබිණි. එක් ගමන් වාරයක් පිළිබඳව මෙසේ පවසයි. මම ශුද්ධ බයිබලය විවෘත කොට මගේ අත්ල මත තබා ගෙන සිටීයෙමි. මෙම පොත තුල මාගේ බලය රැඳී තිබෙන බව මට හැඟී ගියා. එහි බලය මත මාගේ රඳා පැවැත්ම පවතින බව සහතික ලෙස දැනී ගියා.” (එම පොත වග 201).GrHSin 412.1

    ලෝ දෙරණ මත මිනිස් වාසස්ථාන පිහිටී බොහෝ දේශයන් වෙත විනිශ්චයේ පණිවිඩය රැගෙන යාමෙහි ලා ජෝසප් වුල්ෆ් පුරෝගාමී විය. ඔහුගේ ශ්‍රාවකයන් අතර යුදෙව්වන්, තුර්කි ජාතිකයන්, පර්සිවරුන්, හින්දු බැතිමතුන්, තවත් ජාතීන් සහ ගෝත්‍රිකයන් බොහෝමයක ජනතාවක් වූහ. පැමිණෙන්නා වූ මෙසියස්වහන්සේගේ රාජ්‍ය තන්ත්‍රය ගැන හෙතෙම විවිධ ජාතීන්ට ඔවුන්ගේ බසින් දේව වචනය බෙදා දුන්නේය.GrHSin 412.2

    බොක්හාරාහි සංචාරය කරන අතරේදී, අප්‍රසිද්ධ හුදෙකලා දිවි පැවැත්මක් ගතකළ ජනාවාසයක සිටි මිනිසුන් ක්‍රිස්තුසමිදාණන්ගේ කඩිනම් පැමිණීම පිළිබඳව විශ්වාසයක් තබා සිටි බව ඔහුට දැක ගන්නට ලැබුණේය. ඒ පිළිබඳ ඔහු මෙසේ පැවසී ය. “යේමනයෙහි සිටින්නා වූ අරාබි ජාතිකයන් සතුව “සීරා” යන නමින් පොතක් තිබේ. ක්‍රිස්තුස්- වහන්සේගේ දෙවෙනි පැමිනීම තේජස් මහිමයෙන් යුතුව උන්වහන්සේගේ රාජ්‍ය පාලනය පිළිබඳවත් එහි සඳහන් වී තිබෙනවා.1840 අවුරුද්දේ මේ විශේෂ අපූර්ව සිදුවීම් තිබෙන්නට යන බව එම ජනතාව විශ්වාස කරනවා. රේඛබයිට්වරුන් සමග මම යෙමනයේ දවස් හයක් ගත කළා. ඔවුන් වයින් බොන්නේ නැහැ. මිදි වතු වගා කරන්නේ නැහැ. ඔවුන් බීජ වපුරන්නේ නැහැ. ඔවුන් වාසය කරන්නේ කූඩාරම්වලය. රේඛාබ්ගේ පුත්‍ර වූ යොනාදාබ් පැවසූ වචන ඔවුන් නිතරම මතක් කරනවා. ඔවුන් සමග දාන්ගේ ගෝත්‍රයේ ඊශ්‍රයෙලිතයන්ද සිටිනවා. මෙසියස්වහන්සේ ඉක්මනින් වළාකුළු මතින් එනවා ඇතැයි මෙම ජාතිකයෝ රේඛාබ්වරුන් සමග එක්ව විශ්වාසය තබාගෙන සිටිනවා.(“Journal of the Rev. joseph Wolff”,p.377,380).GrHSin 412.3

    ටාර්ටරියේද මෙවැනිම විශ්වාසයක් පවතින බව වෙනත් දහම් ප්‍රචාරකයකුට දැකගන්නට ලැබුණි. ක්‍රිස්තුස්වහන්සේ දෙවන වර පැමිනෙන්නේ කවදාදැයි ටාර්ටර්හිදී පූජකවරයෙක් මෙම දහම් ප්‍රචාරක දේවගැතිවරයාගේ විමසා ඇත. ඒ ගැන තමා කිසිවක්වත් දන්නේ නැතැයි දේවගැතිවරයා පැවසූ විට පූජකවරයා විමතියට පත් වී ඇත. බයිබල් ගුරුවරයකු වූ එවන් තැනැත්තෙක් උන්වහන්සේගේ පැමිණීම ගැන නොදැනීම ගැන පුදුමය පළ කළ පූජකයා තමාගේ දිවැසි ප්‍රකාශන අධ්‍යයනය තුළින් එම පැමිණීම 1844 දී සිදුවන බව තමාගේ විශ්වාසයයි ප්‍රකාශ කර සිටියේය. GrHSin 413.1

    ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි ඊම පිළිබඳ පණිවිඩය එංගලන්තයේ ප්‍රකාශයට පත්කිරීම ආරම්භ වූයේ 1826 වෙනි වර්ෂයේදීය. එහෙත් මෙම පණිවිඩය පිළිබඳ මෙහෙයුම ඇමරිකාවේ මෙන් ස්ථීරසාර පදනමක් මත පාදකව පිහිටා නොතිබුණේය. බලයෙන් සහ තේජසින් යුතුව ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙනවාය යන උදාර සත්‍යතාව ස්ථිර ලෙස එංගලන්තය පුරා ප්‍රකාශයට පත්කරනු ලැබුවද, පැමිණීමේ කාල වකවානුව ගැන ඇමරිකාවේ මෙන් නිශ්චිතයක් එම පණිවිඩයෙහි අඩංගු නොවිය. එංගලන්ත සභාවේ ඉගැන්වීම් සහ අනාවැකි නොපිළිගත් අය හා විරුද්ධවාදීන් අතරද දෙවෙනි ඊම කෙරෙහි විශ්වාසයක් තිබූ බව රහසක් නොවේ. ඉංග්‍රීසි ලේඛකයෙකු වූ මෝරන්ට් බ්‍රෝක් පවසන අන්දමට එංගලන්ත සභාවේ හත්සියයක් පමණ දේවගැති වරු මෙම” රාජ්‍යයෙහි සුභාරංචිය” ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි නිරතව සිටි බව කියවේ. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි ඊම 1844 දී සිදුවන බව මහා බ්‍රිතාන්‍යයේ ද දේශනා කරනු ලැබූ බවට සාක්ෂි ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව විස්තර පත්‍රිකා පුළුල් ලෙස එක්සත් ජනපදයේ බෙදා හරිනු ලැබූ අතර එම පොත් සහ සඟරා එංගලන්තයේදී නැවත ප්‍රකාශයට පත් කරනු ලැබීය. එංගලන්තයේ උපත ලැබූ රොබර්ට් වින්ටර් ඇමරිකාවේ සිටියදී දෙවැනි ඊමේ පණිවුඩය ඇදහිල්ලෙන් පිළිගත්තේය. එම සුවිශේෂ පණිවිඩය සමග1842 දී තම නිජ භූමිය කරා පැමිණි හෙතෙම ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවෙනි ඊමේ පණිවිඩය ප්‍රකාශ කරන්නට පටන් ගත්තේය. බොහෝ දෙනෙක් මෙම පණිවිඩය බෙදා හැරීමට ඔහු හා අත්වැල් බැඳගත්හ. මෙසේ එංගලන්තයේ බොහෝ පෙදෙස් වලට ද විනිශ්චයෙහි පණිවිඩය ප්‍රකාශ කරන ලදී. එමගින් ජනතාව ආත්මික නවෝදයක් ලැබූහ.GrHSin 413.2

    දකුණු ඇමෙරිකාවේ ජීවත් වූ ම්ලේච්ඡ වනචර මිනිසුන් අතරද පූජක උපායමාර්ගයන්ගේ අණසකට යටත්ව සිටි මිනිසුන් අතරද විසූ ස්පාඤ්ඤ ජාතිකයෙක්ද ජේසුවිට් නිකායේ පූජකයෙක්ද වූ මැනුවෙල් ලකුන්සා ශුද්ධ ලියවිලි අධ්‍යයනය තුළින් ‍ක්‍රිස්තුස්වහන්සේගේ කඩිනම් පැමිණීම ගැන සත්‍යතාවය අවබෝධ කරගත්තේය. මෙම සොයාගැනීම ගැන තවත් අය දැනුවත් කිරීමට ඔහුගේ සිත ඔහුට බල කළේය. ඒ අතරම තමා රෝම සභාවේ විනයට යටත් කරනු ලැබේ යැයි බියක්ද ඔහුගේ හදවත වෙලා ගත්තේය. මෙයට උපක්‍රමශීලී විකල්පයක් ලෙස තමා සොයාගත් සත්‍යතාවන් ප්‍රචාරය කිරීමට ඔහු ” බෙන් ඊශ්‍රාය‍ලේ ගුරුවරයා” යන ආරූඪ නමකින් ප්‍රකාශන නිකුත් කරන්නට පටන් ගත්තේය. තමා කිතුනු දහම පිළිගත් යුදෙව්වෙක් යන හැඟීම ඔහු තම පාඨකයන්ට ලබා දුන්නේය. දහඅටවැනි සියවසේ දිවි ගෙවූ ලකුන්සාගේ ග්‍රන්ථය 1825 දී පමණ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදුව මුද්‍රණ ද්වාරයෙන් පිට විය. දෙවන පැමිණීම පිළිබඳ එංගලන්ත ජනතාවගේ තිබූ උද්යෝගය මෙම පොත කරණකොට ගෙන තවත් දියුණු විය.GrHSin 414.1

    දෙවෙන පැමිණීමේ ඉගැන්වීමට ජර්මනියේ ජනතාව වෙත පැමිණියේ දහඅටවන සියවසේදී ය. ලූතරන් සභාවේ පූජකයෙකු බෙන්ගල් නැමැත්තා ‍මෙම සත්‍යතාව ප්‍රචලිත කළේය. ඔහු ප්‍රවීණ බයිබල් වියතෙක් මෙන්ම විචාරකයෙක් ද විය. ස්වකීය පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව බෙන්ගල් දේව ධර්මය හැදෑරීමට අවධානය යොමු කළේය. දේව ධර්මය ගැඹුරින් හැදෑරීමට ඔහුගේ මනස ඔහුට බලපෑම් ඇති කළේය. කුඩා කාලයේ සිටම ඔහු ලැබූ ආභාෂය සහ හික්මවීම ඔහුගේ තීරණයට රුකුලක් විය. සිතා බලා ක්‍රියා කරන්නා වූ චරිතාංග තිබු අයට මුහුණ පෑමට සිදුවූ අසීරුතා මෙන්ම ඔහුටද ආගමික කරුණු පිළිබඳව ගැටලු සහ අනුමානයන් සමග සටන් කරන්නට සිදුවිය. හැඟීම්වලින් භරව සිටි ඔහු ගැන මෙසේ සඳහන් වී ඇත. “ඔහුගේ දුප්පත් හදවත ඊතල බොහොමයක් මගින් පසාරු කරනු ලැබීය. යෞවන සමය සතුටින් භුක්ති විඳීමට එය මහත් බාධාවක් විය.” (Encyclopaedia Britannica art Bengal). වර්ටෙම්බර්ග්හි පූජක කාරක සභාවේ සාමාජිකත්වය ලබාගත් හෙතෙම ආගමික නිදහස පිළිබඳව වූ විෂයෙහි ක්‍රියාකාරී ප්‍රබලයකු විය. “තමන්ගේ හෘදය සාක්ෂියෙහි නිර්දේශ මත සභාමාතාව සමඟ සම්බන්ධතාවන් පවත්වා ගෙන යාම අහිමිවූ අයට සාධාරණ නිදහසක් ලබාදීමට වෙහෙසව වැඩ කිරීම ඔහුගේ උත්තරීතර වෑයම විය. ඒ සමගම සභාවේ අයිතිවාසිකම් හා වරප්‍රසාද පාවා නොදීමටද හෙතෙම වෑයමක් දැරිය.” මෙම ප්‍රතිපත්තියෙහි යහපත් ප්‍රතිඵල අදටත් ඔවුන්ගේ නිජ භූමිය‍යෙහි දැකගත හැකිය.GrHSin 414.2

    “මෙලොව වැඩමවීමේ ඉරුදින” යන මාතෘකාව මත දේශනය එළිදරව් 21 ආශ්‍රයෙන් සූදානම් කරමින් සිටියදී ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ ආලෝකය මුල්වරට බෙන්ගල්ගේ මනසට ඇතුළු විය. මෙතෙක් නොවූ විරූ ආකාරයෙන් එළිදරව් පොතෙහි අනාවැකි ඔහුගේ දැනුම ඉදිරියෙහි අනාවරණය වන්නට විය. දිවැසිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සිදුවීම්හි ඉමහත් තේජසත් අති විශාල වැදගත්කමත් පිළිබඳ හැඟීම් නිසා මුසපත් වූ ඔහුට එම විෂය පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීමට එම අවස්ථාවේදී හැකියාවක් නොවීය. ඒ ගැන ක්‍රියාකිරීම මඳ කලකට පමා කිරීමට ඔහුට සිදු විය. දේශනා කූඩුවෙහි සිටියදී දිවැසි ප්‍රකාශනයන්හි වැදගත්කම ඉතා පැහැදිලි අයුරින් සහ බල සහිතව, ඔහුගේ සිතට කාවැදී ගියේය. එයින් පසු අනාවැකි අධ්‍යයනය කිරීම සඳහා කැපවීමකින් යුතුව කාලය යෙදවීමට ඔහු තීරණය කරගත්තේය. එළිදරව් පොතෙහි අනාවැකි ඔහුගේ විශේෂ අවධානයට යොමු විය.එම අධ්‍යයනය මගින් ඔහු පැමිණි නිගමනය නම් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ඉතා ආසන්න බවය. එම සුවිශේෂ සිද්ධිය ඉටුවන්නේ යයි ඔහු තීරණයට බැස ගත් වර්ෂය විලියම් මිලර් ප්‍රචලිත කළ වර්ෂයට ඉතා සමීප විය.GrHSin 415.1

    බෙන්ගල්ගේ ලියවිලි කිතුණු ලෝකය පුරා පැතිර ගියේය. දිවැසි ප්‍රකාශන පිළිබඳව ඔහුගේ මත සහ අදහස් පොදුවේ බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා ලදී. විශේෂයෙන්ම ඔහු දිවි ගෙවූ වර්ටමේබර්ග් ප්‍රාන්තයේ ජනතා ප්‍රතිචාරය එසේ විය. ජර්මනියේ තවත් පෙදෙස්වලද ඒව පිළිගැනීම එසේම විය. ඔහුගේ මරණින් පසුවද එම මෙහෙයුම ඉදිරියටම පිය නැගීය. දෙවෙනි ඊමේ පණිවිඩය වෙනත් රටවල නද දෙන්නා වූ කාලයට සමාන්තරව එම හඬ ජර්මනියේද රැව් පිළිරැව් දුන්නේය. කඩිනම් දෙවෙනි ඊම විශ්වාස කළ සමහර බැතිමත්හු රුසියාවේ පදිංචියට ගියෝය. එම රටෙහි ජනපද පිහිටුවා ගත් ඔවුහු එම රටෙහි ජර්මානු දේවස්ථානයන්හි එම විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන ගියෝය. ඒ විශ්වාසය මේ වනතුරුත් ඔවුන් අතර පවතී.GrHSin 415.2

    දෙවන ඊමෙහි ආලෝකය ප්‍රංශයෙහි සහ ස්විස්ටර්ලන්තයේ ද රැස් දහරා පැතිරවීමට සමත් විය. ප්‍රතිසංස්කරණ සත්‍යතාවන් ප්‍රචලිත කිරීමට ෆැරල් සහ කැල්වින් ජිනීවා හි සිට ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම ගෝසන්ද දෙවන ඊමෙහි ඉගැන්වීම පතුරාලීමෙහි සමත් විය. දසඅටවන සියවසේ අවසන් කාලයේදී සහ දහනවවන සියවසේ මුල් කාලයේ දී හේතු වාද දර්ශනය යුරෝපාව ගිලගැනීමට ක්‍රියාත්මක වන්නට විය. සිසුවකු ලෙස ගෝසන් පාසල් ගිය අවධියේ ඔහුද මේ දසුනෙහි ආත්මය හා ගැටුණේය. දේව සේවයට බැඳුණු මුල් සමයේදී ඔහුට සත්‍යවූ ඇදහිල්ල පිළිබඳව මනා දැනුමක් තිබුනේ නැත. සත්‍යය ගැන අවිශ්වාසයක් ඔහු තුළ තිබුණේය. තරුණ කාලයේදී හෙතෙම දිවැසි ප්‍රකාශන හැදෑරීමට මහත් උනන්දුවක් හා ආශාවක් දැක්වීය. ඒ අතර ඔහුට රෝලීන්ගේ “පුරාණ ඉතිහාසය” නැමැති පොත කියවන්නට අවස්ථාව ලැබුනේය. ඒ පොත කියවන්නවූ අතරතුරේදී ඔහුගේ අවධානය දානියෙල්ගේ දෙවන පරිච්ඡේදය වෙත ඇදී ගියේය. දෙවියන්වහන්සේ දෙවා වදාළ අනාවැකි අකුරටම ඉටු වී ඇති ආකාරය දැකීමෙන් ඔහු විශ්මයට පත්විය. ඉතිහාසය මගින් අනාවැකි ඉටු වූ ආකාරය දැකීමෙන් දෙවිදුන්ගේ අනාවැකි කෙරේ විශ්වාසය තවත් තහවුරු විය. ශුද්ධ ලියවිල්ලෙහි දේවානුභාවය සාක්ෂාත් කිරීමෙහි මෙය වැදගත් සාක්ෂියක් විය. පසු දිනවල ඔහුට මුහුණ පාන්නට සිදු වූ මහත් උවදුරු විඳ දරාගෙන ඇදහිල්ලෙහි රැඳී සිටීමට ඒ පොත කියවීමෙන් ලද තහවුරු වීම් ඔහුට විශාල ශක්තිමත් පදනමක් විය. හේතු වාදයෙහි ඉගැන්වීම් මගින් සෑහීමට පත්වන්නට ඔහුට හැකියාවක් නොවීය. ඔහු ශුද්ධ බයිබලය හදාරන්නට පටන් ගත්තේය. පැහැදිලි ආලෝකය සොයන්ට වූ ඔහුට ටික කලකට පසුව ධනාත්මක ඇදහිල්ලක් ඇතිවිය.GrHSin 415.3

    දිවැසි ප්‍රකාශන විමර්ශනය කරගෙන යන අතරේ ක්‍රිස්තු සමිඳාණන්ගේ දෙවන පැමිණීම ඉතා ආසන්න යයි ඔහු ඒත්තු ගත්තේය. මෙම ශ්‍රේෂ්ඨ සත්‍යතාවෙහි ගාම්භීරතාවත්, එහි වැදගත්කමත් පිළිබඳව වගකීමක් හැඟී යාමෙන් මෙම පණිවිඩය ජනතාව වෙතට ගෙන යාමට ඔහු තුළ මහත් ආශාවක් ඇති විය. නමුත් එකල පැවැති පිළිගත් ජනමතය වූයේ දානියෙල් පොතෙහි අන්තර්ගත දිවැසි ප්‍රකාශන රහස් දේවල් බවය. එම ප්‍රකාශන තේරුම් ගත නොහැකි බවටද විශ්වාසයක් තිබිණ. අනෙකුත් අය සමඟ සත්‍යතා පණිවිඩය බෙදාගැනීමට ගෝසන්ට මෙය බාධාවන් විය. පෙර දවස්වලදී ජිනීවාවේ දේව ධර්මය ප්‍රකාශ කිරීමට ෆැරල් ක්‍රියා කළාක් මෙන්, දරුවන් සමඟ දහම් ප්‍රචාරක කටයුතු ඇරඹීමට ගෝසන්ද තීරණය කරගත්තේය. ඔවුන්ගේ මාර්ගයෙන් දෙමාපියන්ගේ උනන්දුව දිනාගැනීම මෙම උත්සාහයෙහි අරමුණ විය.GrHSin 416.1

    මෙම ක්‍රමවේදය තෝරාගැනීමේ අභිමතාර්ථය ඔහු පසු දවසක මෙසේ විස්තර කළේය.” මෙම කාරණාව තේරුම් ගන්නවාට මම කැමතියි. මම මෙසේ කරන්නේ ඉදිරිපත් කරන විෂයමාලාව වැදගත්කමින් අඩු ඉගැන්වීමක් නිසා නොවන්නේය. ඇත්ත වශයෙන්ම මෙම විෂය මාලාව ඉතා වැදගත් එකකි. මෙම ක්‍රමවේදය මගින් දරුවන්ට කරුණු පහදා දී ඇසීමේ ප්‍රවණතාවක් ලබාගැනීමට මම අදහස් කළා. මුලින්ම වැඩිහිටි අයට කතා කළා නම් ඔවුන් මට ඇහුම්කන් දෙන්නේ නැහැ කියා මට සිතුණා.” “එම නිසා කුඩා දරුවන් වෙත මුලින්ම යොමු වීමට මා අදහස් කළා. මම නම් ළමුන්ගේ කුඩා කණ්ඩායමක් එක්රැස් කර ගනිමි. මම යම්කිසි දෙයක් උගන්වන්නා වූ අතරේදී, ඔවුන් එයට ඇහුම්කන් දෙන බව මට පෙනී ගියොත්, මා කියන දේ ගැන උනන්දුවක් දක්වන බවත්, එයින් සතුටට පත්වන බවත් පෙනී ගියොත්, කියන දේ තේරුම් ගන්නා බවත් මට හැඟී යන්නේ නම් වැඩිහිටියන්ට කතා කිරීමට යොදාගත් උපායමාර්ගය සාර්ථක වන බව මම දනිමි. වැඩි දිනක් යන්නට පෙර වැඩිහිටි අයට කතා කිරීමේ අවස්ථාව උදාවන බව මට විශ්වාසයි. කරුණු පැහැදිලි කර දීමත් සමගම ඔවුන් සමග වාඩිවී විෂය මාලාවක් අධ්‍යයනය කිරීම මගේ බලාපොරොත්තුවයි. මෙසේ කිරීමත් සමගම මාගේ වෑයම සාර්ථක වේ.” ( Gaussen,L,ZDaniel the Prophet,Z Vol ii Perface)GrHSin 416.2

    ගෝසන්ගේ වෑයම සාර්ථක විය. ඔහු දරුවන්ට කතා කිරීමට පටන්ගත් විට වැඩිහිටි අයද දෙසුම් ශ්‍රවණය කිරීමට පැමිණියෝය. ඔහුගේ දේවස්ථානය පිරී ඉතිරී ගියේය. පැමිණි අය ඔහුගේ දෙසුම් ඉතා ඕනෑකමින් අසා සිටියහ. ඔවුන් අතර සමාජයේ ප්‍රභූන් ද, උගතුන් ද වූහ. ජිනීවා නුවරට පැමිණි අමුත්තන් සහ විදේශිකයන්ද දෙසුම් ඇසීමට පැමිණියහ. මෙයාකාරයෙන් දෙවන පැමිණීමේ සුපුවත වෙනත් ස්ථාන කරා යෑමේ භාග්‍යය උදාවිය.GrHSin 417.1

    ක්‍රියාත්මක කළ ක්‍රමවේදය සාර්ථක වීමෙන් දිරිගත් ගෝසන් තම පාඩම් මාලාව ප්‍රකාශයට පත් කළේය. ප්‍රංශ භාෂාව කතා කළ දේවස්ථානයන්හි දිවැසි ප්‍රසාදි පොත් අධ්‍යයනය කරන්නට පෙළඹවීම ඔහුගේ අභිමතාර්ථය විය. ඔහු තම චින්තනය මෙසේ වචනයට නඟයි. “දරුවන්ට ලබාදුන් අනුශාසනා මුද්‍රණය කර ප්‍රචාරය කිරීම මගින් වැඩිහිටි අයගේ අවධානය දිවැසි ප්‍රසාදි පොත් අධ්‍යයනය කිරීමට අත්වැලක් සපයයි. මෙම පොත් වල ප්‍රකාශන තේරුම් ගත නොහැකි යයි බහුතරයක් පවසති. මම වැඩිහිටියන්ට මේ ප්‍රශ්නය යොමු කළෙමි: “එම ප්‍රකාශන දරුවන්ට වටහාගැනීමට පුලුවන්නම් වැඩිහිටියන්ට ඒවා වටහා ගැනීමට නුපුළුවන් වන්නේ ඇයි?” අපගේ සාමාජිකයන් අතර දිවැසි වැකි පිළිබඳව අවබෝධයක් ඇති කිරීම මාගේ අරමුණ ය. කාලයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය අධ්‍යයනයක් කිරීමට මගපෙන්වන්නාවූ වෙනත් කිසිම ක්‍රමවේදයක් අප අතර නැත යන්න මාගේ හැඟීමයි. පැමිණෙන්නාවූ විපත්ති කාලයට මුහුණ දීම සඳහා සූදානම් වීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම අවදියෙන් යුතුව බලා හිඳිමින් එයට සූදානම් වීමටත්, දිවැසි වැකි අධ්‍යයනය උපකාරයක් වන්නේමය.”GrHSin 417.2

    ගෝසන් ප්‍රංශ බසින් දේශනා කිරීමේදී ඔහු ඉතා ජනප්‍රිය වූ, ශ්‍රාවක ආදරය දිනා ගත්තා වූ දේවගැතිවරයෙක් විය. දේවස්ථානයේ කතිකිස්මය හෙවත් ප්‍රශ්නෝත්තරීය අනුශාසනා පොතින් ඉගැන්වීම පසෙකලා ශුද්ධ බයිබලයෙන් දහම් දෙසීම නිසා දේවගැති තනතුරෙහි සේවය කිරීම ඔහුට තහනම් කරන ලදී. කතිකිස්මය වනාහි නීරස වූ ද, හේතුවාදය ඉස්මතු කරන්නා වූ ද, අත් පොතක් වූ අතර එය ඇදහිල්ල ශක්තිමත් කරමින් ගුණාත්මක වර්ධනයක් ලබා දෙන්නක් නොවේ ය. තරුණයන්ට ඉගැන්වීමේ දී ඔහු ශුද්ධ බයිබලය තමා අත්පොත ලෙස යොදාගත්තේය. දේව සේවය අහිමි වූ පසුව දෙව් සත් සදහම් විදුහලක ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීම හෙතම ආරම්භ කළේය. ඒ අතරම ඉරිදා දිනයන්හි ඔහු දරුවන්ට ආගම ඉගැන්වීම දිගටම කරගෙන ගියේය. ඒ සඳහා ඔහු යොදා ගත්තේ ශුද්ධ බයිබලය පමණකි. දිවැසි වැකි ප්‍රකාශන පිළිබඳව ඔහුගේ අධ්‍යයන, වාර්තා සහ පාඩම් මගින් බැතිමතුන් තුළ උද්යෝගයක් සහ අවධානයක් නිර්මාණය විය. මහාචාර්යවරයකු ලෙස ද, මුද්‍රිත මාධ්‍ය මගින් ද, දරුවන්ට පාඩම් කියාදීම මගින්ද ඉතා ප්‍රබල බලපෑමක් ඇති කිරීමෙහි ලා සමත් විය. ඔහු මෙම සේවාව වසර ගණනාවක් පුරා කරගෙන ගියේය. මෙසේ අනාවැකි ඉගෙනීම මඟින් ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන පැමිණීම ආසන්න බවට බොහෝ දෙනාගේ අවධානය යොමු කිරීමට ඔහුට පුළුවන් විය.GrHSin 418.1

    දෙවැනි ඊමේ පණිවිඩය ස්කැන්ඩිනේවියාවේද මහජන සැළකිල්ලට යොමුවිය. ඇති වූ උනන්දුව සිත්ගන්නා සුළු විය. වැරදි ඉගැන්වීම් මත පදනම් වූ ආරක්ෂාවක් කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ දෙනෙක් සත්‍යතාව අවබෝධ කරගෙන තමන්ගේ පව් කියා දෙමින් එවා අතහැර ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් කමාව ලබාගැනීමට පොලඹවනු ලැබූවෝය. එහෙත් එම දේශීය ආගමේ පූජක පක්ෂය මෙම මෙහෙයුමට විරුද්ධ විය. ඔවුන්ගේ බලපෑම් යටතේ දෙවන ඊමේ පණිවිඩය ප්‍රචලිත කළ සමහරෙක් හිරගෙයි දමනු ලැබුවෝය. දෙවන ඊමේ දහම දෙසූ අය බොහෝ පෙදෙස්හි නිශ්ශබ්ද කරනු ලැබූහ. ඒ අතර ක්‍රියාත්මක වූ දෙවියන්වහන්සේ හාස්කම් සිදුකරමින් දරුවන් ලවා එම පණිවිඩය දේශනා කරන්නට ක්‍රමවේදයක් සකසා ගත් සේක. බාලවයස්කරුවන්ට නීතිය මගින් තහංචි පැනවීමේ අයිතියක් නොතිබූ නිසා හිරිහැරයට ගොදුරු නොවී දේශනා කිරීමට ඔවුන්ට හැකිවිය.GrHSin 418.2

    මෙම මෙහෙයුම විපුල අයුරින් පල දැරුවේ සමාජයේ පහළ මට්ටමේ මිනිසුන් අතර ය. අනතුරු හැඟවීමේ පණිවිඩය ඇසීමට ජනයා රැස්වූයේ නිහතමානී කම්කරු පන්තියේ සේවකයන්ගේ නිවෙස්වලය. ළමා දේශකයන් ද දුගී පවුල්වලට අයත් වූවෝ වූහ. ඔවුන්ගෙන් සමහරෙක් වයස අවුරුදු හයත් අටත් අතර විය. ඔවුන් ගැලවුම්කාරයානන්ට ආදරය කළ බවට ඔවුන්ගේ ජීවිත සාක්ෂි දැරිය. ඔව්හු දෙවියන්වහන්සේගේ ශුද්ධ අණසකට කීකරුව දිවිගෙවීමට වෑයම් කරමින් සිටියෝය. ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් සාමාන්‍යයෙන් එම වයසේ දරුවන්ට වඩා වෙනස් නොවීය. එහෙත් ජනතාව ඉදිරියෙහි නැඟී සිට කතා කරන්නට පටන් ගත් කල්හි ඔවුන්ගේ සහජ හැකියාවන්ට වඩා ප්‍රබල වූ ලෝකෝත්තර බලවේගයකින් හසුරවනු ලබන බව දැකගත හැකිවිය. ඔවුන්ගේ කථිකත්ව විලාසය සහ ස්වර ලාලිත්‍ය සුපුරුදු ක්‍රමයට වඩා වෙනස් බවක් පෙන්නුම් කළේය. විනිශ්චය පිළිබඳව ඔවුන් ගරු ගාම්භීර හඬකින් අනතුරු හැඟවීම් ඉදිරිපත් කළේ ශුද්ධ ලියවිල්ලෙහි ඇති වචන ම භාවිතා කරමින් ය. ඔවුහු මෙසේ පැවසූහ.” දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණුනේය.” ළමා දේශකයෝ මිනිසුන්ගේ පාප ගැන තරවටු කළෝය. ඒ, මිනිසුන්ගේ දුෂ්චරිතය හා අවකල් ක්‍රියාවන් ගැන පමණක් නොවීය. මිනිසුන් ලෞකික ආශාවන්ට ගැති වීමද, දහමෙන් ඉවත්ව ක්‍රියා කිරීමද ගැන ඔවුහු ජනතාවට චෝදනා එල්ල කළෝය. පැමිණෙන්නා වූ දේව උදහසින් හැකි ඉක්මනින් පලායන්නට මේ ළමා දේශකයෝ තම ශ්‍රාවකයින්ට ඕවා බස් දුන්නෝය .GrHSin 418.3

    ජනතාව මෙම වදන් ඇසූවේ භීතියෙන් සලිත වෙමින්ය. සත්‍යය ඒත්තු ගන්නාවූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔවුන්ගේ සිත්වලට කතා කළ සේක. අලුත් උද්යෝගයකින් හා ගැඹුරු උනන්දුවකින් ශුද්ධ ලියවිලි සෙවීමට මිනිසුන්ව පොළඹවනු ලැබීය. පමණ ඉක්මවා ක්‍රියාකිරීම් සහ සාරධර්මයන්ට පටහැනිව කළ ක්‍රියා කිරීම් අත්හැර දමන ලදී. තවත් අය තමන්ගේ වංචාකාර වූ ක්‍රියා කලාපයන් අත්හැර දැමූහ. ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය කෙතරම් ප්‍රතිඵල දායකවීද යත් රාජ්‍ය පූජකයන් පවා එම තත්ත්වය පිළිගත්තේ දෙවියන් වහන්සේගේ ශ්‍රී හස්තය එම මෙහෙවර සමග සිටින බව ප්‍රකාශ කරමින්ය. GrHSin 419.1

    ස්කැන්ඩිනේවියානු රටවලටද ගැලවුම්කාරයාණන් පැමිණීමේ සුභ ආරංචිය දෙනු ලැබීම දේව කැමැත්ත විය. තම සේවකයන්ගේ හඬ නිශ්ශබ්ද කරනු ලැබූ විට දෙවියන්වහන්සේ තම ආත්මය දරුවන් මත ක්‍රියාත්මක කළ සේක. ඔවුන් තුළින් තම අභිමතාර්ථය ඉටුකර ගැනීම උන්වහන්සේගේ අරමුණ විය. යේසුස්වහන්සේ තේජසින් යුතුව විජයග්‍රාහි ලෙස යෙරුසලම ආසන්නය කරා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ පිරිවරාගෙන පැමිණි සතුටින් පිරි ජනයා ජය ඝෝෂා නංවමින් තල් අතු වනමින් දාවිත්ගේ පුත්‍රයාණන් ලෙස උන්වහන්සේට ආචාර සමාචාර කළෝය. එම යශෝරාවය නවතා දමන ලෙස අණ කරන්නැයි ඊර්ෂ්‍යාවෙන් වෙලී ගිය එරිසිවරු උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් පවසා සිටියේ සිදු වන්නා වූ සෑම දෙයක්ම දිවැසි වැකි සම්පූර්ණ වීමක් බවය. ජනතාව නිශ්චල වෙත් නම් ගල් වුවද, ජය හඬ නගනවා ඇතැයිද උන්වහන්සේ පැවසූ සේක. පූජකයන්ගේ සහ ජන නායකයන්ගේ තර්ජනාත්මක හඬට බියපත් වූ වැඩිහිටි ජනකාය නිහඩව සිටීමට තීරණය කරගත් නමුත්, දේව මාළිගාවේ මණ්ඩපවල සිටි ළමුන් තල් අතු වනමින් මහ හඬින් පැසසුම් ගී හඬ නංවාලමින්, “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා!“යි ජයඝෝෂා නැගුව‍වෝය. (මතෙව් 21:9). මෙම ජයඝෝෂා හඬින් කුපිත වූ නායක පූජකයෝ සහ දහම් පඬිවරුන් උන්වහන්සේ වෙතට සමීපව, “මේ දරුවන් කියන දේ ඔබට ඇහෙනවදැ?යි ප්‍රශ්න කළෝය. ඔවුන්ට පිළිතුරු දෙමින් යේසුස්වහන්සේ මෙසේ කී සේක. “එසේය, බාලයන්ගේ ද, කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණ කර තිබේය යන්න නුඹලා කිසි කලෙක කියෙව්වේ නැද්ද?යි ඇසූසේක. ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ගමනේදී දෙවියන්වහන්සේ ළමුන් කරණ කොටගෙන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම, දෙවන ඊමේ පණිවිඩය ප්‍රකාශ කිරීමටද උන්වහන්සේ දරුවන් තුළින් ක්‍රියා කළසේක. දෙවියන්වහන්සේ පවසා ඇති දෑ ඉටු විය යුතුය. ගැළවුම්කාරයාණන්ගේ දෙවන පැමිණීමේ පණිවිඩය සෑම මනුෂ්‍යයන්ටත්, භාෂාවන්ටත්, ජාතීන්ටත් ලබාදීම අනිවාර්ය වේ.GrHSin 419.2

    විනිශ්චය සහ දෙවන ඊම පිළිබඳ අනතුරු ඇඟවීමේ පණිවිඩය අමෙරිකාව පුරා ප්‍රචලිත කිරීමේ වරම ලබාදෙනු ලැබුවේ විලියම් මිලර්ට සහ ඔහුගේ සහකාර දේව සේවකයන්ටය. අමෙරිකාව දෙවෙනි ඊම එළිදැක්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානය බවට අනිවාර්යයෙන්ම පත්විය. පළමුවන දේවදූතයාගේ පණිවුඩය රැගත් දිවැස් ප්‍රකාශය සෘජුවම ඉටුවූයේ මෙම රටෙහිය. මිලර් සහ ඔහුගේ සහකාරයන් විසින් රචිත පතපොත විවිධ රටවලට රැගෙන යනු ලැබීය. දහම් ප්‍රචාරක දේව සේවකයන් ගියා වූ ලෝකයේ සියලු පෙදෙස්වල ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊමේ ශුභාරංචිය ගෙන යන ලදී. ” දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරව දෙන්න. මක්නිසාද උන්වහන්සේ ගේ විනිශ්චයේ පැය පැමිණුනේය” යන සදාකාල ශුභාරංචි පණිවිඩය ඈත මෑත සෑම පෙදෙස පුරා විකාශය විය.GrHSin 420.1

    වසර 1844 හි වසන්ත සමයෙහි ක්‍රිස්තුස්වහන්සේ දෙවන වර පැමිණෙන බව අනාවැකි මඟින් ප්‍රකාශ කර ඇත යන අදහස බොහෝ අයගේ සිත් වලට කාවැදී ගියේය. ජනපදයෙන් ජනපදයට මේ පණිවිඩය පැතිරයත්ම සෑම තැනම දැඩි උනන්දුවක් ජනිත වන්නට විය. අනාවැකි මගින් ඉදිරිපත් කළ කාල වකවානුවට ලබාදුන් අර්ථකථනය නිවැරදි බව බොහෝ අය පිළිගත්හ. තමන් නිවැරදිය යන සාවද්‍ය තීරණය මත පිහිටා සිටි අය පවා තමන්ගේ චින්තන අභිමානය අත්හැර දමා ප්‍රීතියෙන් යුතුව සත්‍යතාව පිළිගත්හ. සමහර දේවගැතිවරු තමන්ගේ නිකායික ඉගැන්වීම් සහ හැඟීම් පසෙකලා තම දේවස්ථාන සහ වැටුප අත්හැර දමා යේසුස්වහන්සේගේ පැමිණීමේ පණිවිඩය ප්‍රචලිත කිරීමට එක් වූහ. එසේ වුවද, සත්‍යතාව වැලඳගැනීමේ තීරණයෙහි රැඳී සිටියේ දේවගැතිවරුන් ස්වල්ප දෙනෙක් පමණකි. එහෙයින් මේ පණිවිඩය රැගෙන යාමේ කාර්යභාරය නිහතමානි ගිහියන්ට පවරන ලදී. ගොවියෝ තම කුඹුරු සහ වතු වගා අත්හැර දැමූවෝය. කාර්මිකවේදීහු තම ආයුධ පසෙක දැමූහ, වෙළඳ ව්‍යාපාරිකයෝ තම අලෙවිය නවතා දැමූවෝය, වෘත්තීයවේදීහූ තම තනතුරු වලට ආයුබෝවන් කීහ. එසේ වුවද ඔවුන් ගෙන් සැදුම්ලත් ප්‍රචාරක කණ්ඩායම කළ යුතු කාර්යය ඉදිරියේ ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප විය. දෙවියන්වහන්සේගේ පහස නොලබන්නාවූ සභාවක සහ දුෂ්ටකමේ මෙන්ම දුරාචාරයේ ද ඇලී ගැලී සතුට ලබන්නා වූ ලෝකයක තත්ත්වයද සත්‍යවාදී අවංක මුරකරුවාගේ හදවත වේදනාවට පත් කළේය. ගැළවීම ලබන පිණිස පසුතැවිලි වීමට මිනිස්සුන්ව කැඳවීම සඳහා දේව සේවක මුරකරුවෝ කැමැත්තෙන්ම ඉතා මහන්සිව වැඩ කළෝය. ඔවුහු අඟහිගකම් විඳ දරා ගත්තෝය, දුක් වේදනා සහ හිංසා පීඩාවලට පාත්‍ර වූවෝය. සාතන්ගේ බාධා විරෝධතා මධ්‍යයේ දෙවැනි ඊමේ පණිවිඩය පසු නොබා ඉදිරියටම ගමන් කළේය. දෙවන පැමිණීමේ සත්‍යතාව දහස් ගණන් බැතිමතුන් විසින් පිළිගන්නා ලදී.GrHSin 420.2

    සිත් සෝදිසි කිරීමේ සාක්ෂි දැරීම සෑම පසෙකින්ම අසන්නට ලැබිණ. පැමිණෙන්නාවූ දේව උදහසින් මුදනු ලැබීමේ අනතුරු ඇඟවීමේ හඬ ලෝකයට ඇලුම් කළ අයට මෙන්ම කිතුනු බැතිමතුන්ට ද එකසේ ඇසීමට සලස්වන ලදී. ක්‍රිස්තුස්වහන්සේගේ පෙර ගමන් දූතයා වූ යොහන් බව්තීස්ත මෙන්ම පුනරාගමන දේශකයෝ පසුතැවීමෙහි ඵල ගෙනෙන ලෙස සැමගෙන් ඉල්ලා සිටියෝය. ජනප්‍රිය දෙව්මැදුරු වල දේශනා කූඩු මගින් මිනිස් සත හට ලබාදුන්නාවූ පණිවිඩය නම් බිය නොවන්න, සාමය සහ ආරක්ෂාව ඔබට සහතිකය යන්නය. එහෙත් ඒවාට වෙනස් වූ දෙවන ඊමෙහි පෙරමග දූතයන්ගේ අයැදුම් සැමගේ සිත් සතන් සලිත කළේය. පණිවිඩය ප්‍රකාශ කරනු ලැබූ සෑම ස්ථානයකම මිනිසුන් එය විශ්වාස කරන්ට පටන් ගත්හ. ශුද්ධ ලියවිලි තුලින් මතුකොට පෙන්වා දෙනු ලැබූ සරළ ඍජු සාක්ෂි දැරීම් සමග ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑමද ක්‍රියාත්මක වූ නිසා සත්‍යතාවට පිටුපා ක්‍රියා කළේ ස්වල්ප දෙනෙක් පමණය. ධර්මාචාර්යයන් වූ අය ඔවුන් සිටි ව්‍යාජ ආරක්ෂිත කල්පනයෙන් පුබුදුවනු ලැබූහ. තමා දේව ධර්මයට පිටුපා ක්‍රියා කර ඇති ආකාරය ද, ලෝකය සමග අනුගත වී අවිශ්වාසයට ඉඩ දීමද, තමන්ගේ උඩඟුකම සහ ආත්මාර්ථකාමීත්වය ද ඔවුන්ට දැක ගැනීමට හැකි විය. පසුතැවීමකින් හා යටහත්කමින් යුතුව බොහෝ දෙනෙක් දෙවි සමිඳාණන් සොයා ගියෝය. ලෞකික දේවල් කෙරෙහි ඔවුන් තබා තිබූ ඇල්ම දැන් ඔවුහු ස්වර්ගය වෙත යොමු කළෝ ය. දෙවියන්වහන්සේගේ ආත්මයෝ ඔවුන් මත පිහිටා තිබුණේය. ” දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරව කරන්න. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණුනේය” යන පණිවුඩය ප්‍රකාශ කිරීමට ඔවුහු ඉදිරිපත් වූහ.GrHSin 421.1

    “ගැළවීම ලබන පිණිස අප කුමක් කළ යුතු ද?” යි පව්කාරයෝ හඬමින් විමසූහ. වංචනික ලෙස ජීවත් වූ අය එම ක්‍රියා වලට වන්දි ගෙවීමට ඉදිරිපත් වූහ. ක්‍රිස්තුස්වහන්සේ තුල සමාදානය ලැබුවා වූ අය එම සාමය තවත් අය සමඟ බෙදා ගැනීමට ආශාවක් දැක් වූහ. දෙමාපියන්ගේ හදවත් දරුවන් වෙත යොමු කරනු ලැබූ අතර දරුවන්ගේ හදවත් ද දෙමාපියන් වෙත නැඹුරු විය. අහංකාරය හා වෙන්ව සිටීම චින්තනය නිසා ගොඩ නැගී තිබූ බාධක බිඳ දමනු ලැබීය.හෘදයාංගම පාපොච්චාරණය නොඅඩුව දැකගැනීමට හැකිවිය. තමන්ගේ ආදරවන්ත ඥාතීන්ගේ සහ හිතමිතුරන්ගේ ගැලවීම උදෙසා ක්‍රියා කිරීමට බැතිමතුන්ගේ සිත් යුහුසුළු විය. මැදහත්කාරකමේ හඬ බොහෝ අවස්ථාවලදී ඇසෙන්නට විය. සන්තාපයෙන් සහ සංවේගයෙන් වේදනාවට පත් ආත්ම, තමාව පිළිගන්නැයි දෙවියන්වහන්සේට ආයාචනා කරන්නට වූහ. තමන්ගේ පාපයට සමාව දී ඇතැයි සහතිකයක් ලබා ගැනීමේ අභිලාෂයෙන් බොහෝ දෙනෙක් රාත්‍රිය පුරා නිදි වරමින් දෙවියන්වහන්සේට කන්නලව් කළෝය. තමන්ගේ නෑදෑයන්ගේ සහ අසල්වැසියන්ගේ වෙනස් වීම උදෙසා ද බොහෝ අය රාත්‍රිය පුරා යාච්ඤාවෙහි යෙදුණෝය.GrHSin 422.1

    දෙවෙනි ඊමේ පණිවිඩය ඇසීමට සෑම සමාජ පන්තියක ම මනුෂ්‍යයෝ එම රැස්වීම්වලට පැමිණියෝය. පොහොසතුන් මෙන්ම, දුප්පතුන්ද, ප්‍රභූන් මෙන්ම කුලහීනයන්ද, විවිධ හේතූන් නිසා දෙවන ඊමේ පණිවිඩය තමන්ගේම දෙසවනින් ඇසීමට රැස්වීම් ශාලා වෙත පැමිණියෝය. තමාගේ ඇදහිල්ලට හේතු වූ කාරණා දේව සේවකයන් විසින් ජනතාවට තේරුම් කර දෙන්නා වූ අතරවාරයේදී දෙවියන්වහන්සේ සතුරන්ගෙන් එල්ල වන බාධකයනට තහංචි පනවා තිබූසේක. සමහර අවස්ථාවන්හිදී පණිවිඩය දීමේ මාධ්‍ය දුර්වල වූවා විය හැකිය. එසේ වුවද, සත්‍යතාවට දෙවියන්වහන්සේගේ බලය පහස ලැබුණේය. ශුද්ධවූ දේවදූතයන් එම රැස්වීම් ශාලාව තුළ සිටින බව බොහෝ අයට හැඟී ගියේය. දිනපතාම බොහෝ දෙනෙක් ඇදහිලිවතුන් සමග එකතු වූහ. ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊම පිළිබඳ පණිවිඩය නැවත නැවතත් උච්චාරණය කරනු ලැබූ අතර විශාල සමූහයක් නිහඬව මහත් උනන්දුවෙන් යුතුව පණිවුඩයට සවන් දුන්නෝය. සගයත්, පොළොවත් එකිනෙකට ළංව ඇති බවක් පෙනෙන්නට තිබුණේය. වැඩිහිටියන් සහ බාලයන් කෙරෙහිද, මැදි වයසේ අය මත්තෙහිද දෙවියන්වහන්සේගේ බලය පතිත වූ බවට ප්‍රබල හැඟීමක් විය. බැතිමතුන් තම නිවෙස් කරා පිවිසියේ පැසසුම් ගීතයකින් යුතුවය. රාත්‍රී කාලයේ නිසල බව දෙබෑ කරමින් දෙවි තුමන්ට තුති දිමේ හඬ ගුවන් තලය පුරා පැතිර ගියේය. මෙම රැස්වීම් වලට සහභාගී වූවනට ඒවායේ පැවති දැඩි උනන්දුව කිසි කලෙකත් අමතක නොවේ.GrHSin 422.2

    ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සිදුවෙතැයි පවසමින් එයට නිශ්චිත දිනයක් නියම කිරීම සෑම තරාතිරකම සිටියාවූ වෙනත් පුද්ගලයන්ගේ දෝෂාරෝපණයට හේතු විය. දේශන වේදීන්ගේ මෙන්ම සගයට අභියෝග එල්ල කළ දුෂ්ටයන්ගේද විරුද්ධතාව දසතින් ප්‍රකාශ විය. මේ ගැන දේව වචනය‍යේ අනාවැකි ද පළකර තිබේ.” අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ:පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැනීමේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය. ( 2 පේත්‍රැස් 3:3,4). යන අනාවැකිය අකුරටම ඉටු විය. ගැලවුම්කාරයාණන්ගේ පැමිණීම විශ්වාස කරන බව ප්‍රකාශ කළ බැතිමතුන් පවා පැවසුවේ තමා දෙවන පැමිණීමේ දහමට කිසිසේත් ම විරුද්ධතාවක් දක්වන්නේ නැති නමුත්, නිශ්චිත දිනයක් නියම කිරීම ගැන තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බව ය. එහෙත්,සියල්ල දකින්නා වූ සර්වඥ තැනැන්වහන්සේගේ ශ්‍රී දෙනෙත් ඔවුන්ගේ හදවත් විමසා බැලුවේය. ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කිරීමට ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන පුවත ඇසීමට ඔවුන් තුළ කිසිම කැමැත්තක් නො තිබිණ. ඔවුන් ඇත්ත වශයෙන්ම දෙවි සමිදාණන් මුණගැසීමට බියක් දැක්වූහ. ඔවුහු විශ්වාසවන්ත දේව දරුවන් නොවූහ. ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට දෙවියන්වහන්සේගේ අනුමැතිය නොලැබෙන බව ඔවුහු දැන සිටියෝය. ක්‍රිස්තුස්වහන්සේගේ මුල් පැමිණීමේදී යුදෙව්වන් උන්වහන්සේව පිළිගැනීමට සූදානම්ව නොසිටි ආකාරයෙන්ම මෙම අයද උන්වහන්සේව පිළිගැනීමට සූදානමින් සිටියේ නැත. ශුද්ධ බයිබලය ඉදිරිපත් කළ සරල තර්ක පිළිගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කලා පමණක් නොව, ස්වාමීන්ගේ පැමිණීම බලා සිටි අයව උපහාසාත්මක ලෙස හෙළා දැකීමට ද ඔවුහු පසුබට නොවූහ. තමා ක්‍රිස්තුස්වහන්සේගේ සෙනඟ යයි කියන්නා වූ අය උන්වහන්සේට ප්‍රේම කළේ ඉතා ස්වල්ප වශයෙන් බව ද ඔවුන් උන්වන්සේගේ පැමිණීමට ආශාවක් දක්වන්නේ නැතැයිද ඇනුම්පද කියමින් සාතන් සහ ඔහුගේ දූතයෝ ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ දූතයන්ට අපහාස කරන්නට වූහ.GrHSin 423.1

    දෙවැනි ඊමේ පණිවිඩය ප්‍රතික්ෂේප කළා වූ අයගේ තර්කය වූයේ ” කිසි මනුෂ්‍යයෙක් ඒ දවස හෝ පැය දන්නේ නැත” යන්නය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා තිබේ. “ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:36). ක්‍රිස්තුස්වහන්සේගේ පුනරාගමනය අපේක්ෂා කළ අය මෙම පාඨය ගැන පැහැදිලි තාත්ත්වික තේරුම් කිරීමක් ලබාදෙමින් විරුද්ධවාදීන් ඒවා වැරදි අන්දමට පාවිච්චි කරන බවද දැක්වූහ. යේසුස්වහන්සේ අන්තිම වතාවට යෙරුසලම් දේව මාළිගයෙන් ඉවත්ව ඔලීව කඳු මස්තකයට පැමිණ තම ගෝලයන් සමග සාකච්ඡා කරමින් සිටි අතර ” ඒ දේ කොයි කලෙක සිද්ධ වන්නේද ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්ද ” යි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ. (මතෙව් 24:3). පෙරනිමිති වදාරා දුන් යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක. ” එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේගේ දොරටු සමීපයෙහි බවත් දැන ගන්න” (මතෙව් 24:33). ගැළවුම්කාරයාණන්ගේ එක් ප්‍රකාශනයක් උන්වහන්සේගේ තවත් ප්‍රකාශනයක් කටුගා දමන්නට භාවිතා කළ යුතු නොවේ. උන්වහන්සේගේ පැමිණීමේ නිශ්චිත දවසවත්, නිශ්චිත පැයවත් කිසිම මනුෂ්‍යයෙක් නොදන්නා නමුත් එම දවස කෙතරම් ආසන්න දැයි දැනගැනීමට අපට ගුරුහරුකම් දෙවා වදාරා ඇත. එය දැනගැනීම අපගෙන් බලාපොරොත්තු වේ. මෙම අනතුරු ඇඟවීම පිළිබඳව කිසිම තැකීමක් නොකිරීම හෝ එය පිළිබඳව සැලකිල්ලක් දැක්වීම ප්‍රතික්ෂේප කිරීම හෝ උන්වහන්සේගේ පැමිණීම ආසන්න බව නොසලකා හැරීම වනාහී ඉරණම තීන්දු කරන්නා වූ මරණීය ඛේදවාචකයක් බව අපට උගන්වා තිබේ. නෝවාගේ කාලයේදී ජලගැලීම ආසන්න බව නොදැන සිටි නිසා එම සෙනඟට අත් වූ ඉරණමම යේසුස්වහන්සේගේ දෙවැනි ඊම කඩිනමින් සිදු වන්නේ යයි නොසලකන්නා වූ අයට ද සිදු වන්නේම ය. එම පරිච්ඡේදයේම උපමාවක් ඇතුළත්ය. එහි විශ්වාසී සේවකයා සහ අවිශ්වාසී සේවකයා අතර සැසඳීමක් කර ඇත. “මාගේ ස්වාමියා ප්‍රමාද වන්නේය“යි තමාටම කියාගනිමින් කටයුතු කරන්නා වූ තැනැත්තා විනාශයට පත්වෙනවා ඇතැයි යේසු සමිඳාණෝ කරුණු පැහැදිලි කරමින් වදාළ සේක. තමන්වහන්සේගේ දෙවෙනි ඊම සිදුවේ යයි බලා සිටිමින් ඒ ගැන අනෙකුත් අයට කියා දෙන්නා වූ තැනැත්තාට ක්‍රිස්තුස්වහන්සේගේ සැලකිල්ලත්, ඵල විපාකත් ලැබෙන බව උන්වහන්සේ මනා ලෙස පැහැදිලි කර දුන්සේක. අනෙකුත් අයට එවන් වරප්‍රසාද හිමි නොවේ. “ස්වාමියා එන කළ යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාද ලද්දෙක්ය.” ( මතෙව් 24:46). ” එබැවින් නුඹලාත් සූදානම්ව සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේ යැයි කී සේක”. (ලූක් 12:40).GrHSin 424.1

    එක්තරා ජන කොටසකට ස්වාමීන්වහන්සේගේ පැමිණීම, නොසිතන්නාවු මොහොතක සිදුවන බව පාවුල් මෙසේ ප්‍රකාශ කර ඇත:” මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය. සමාදානයය, අනතුරක් නැත කියා කියන විට…….. හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔව්හු ද කිසිසේත් නොගැළවෙන්නෝය.” එහෙත් ගැලවුම්කාරයාණන්ගේ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දෙන අය ගැන පාවුල් මෙසේ පවසයි. නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති. කුමක්හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවෙමුව.” (1 තෙසලෝනික 5:2-5).GrHSin 425.1

    ක්‍රිස්තුස්වහන්සේගේ ඊමෙහි කඩිනම් ඉටුවීම පිළිබඳව නොදැනුවත්ව සිටීමට ශුද්ධ ලියවිල්ල ඉඩ නොතබන බව මෙසේ දක්වන ලදී. එහෙත් සත්‍යතාව ප්‍රතික්ෂේප කිරීම උදෙසා නිදහසට කරුණු සෙවූ අය මෙම විග්‍රහයට තම කන් විවෘත නොකළෝය. “පැමිණීමේ දවස හෝ පැය හෝ කිසිම මනුෂ්‍යයෙකු දන්නේ නැත.” යි යන ප්‍රකාශනය තවදුරටත් සරදම් කරුවන්ගේ මුවින් දිගටම ගිලිහෙන්නට විය. ක්‍රිස්තුස්වහන්සේගේ දේව දාසයන් යයි කියාගන්නාවූ අය පවා, දේශනා කූඩුවේ සිට ගැරහුම්කරුවන්ට සම්බන්ධ වූහ. මිනිසුන්ගේ හදවත් නව පිබිදීමකට පත් වී ඔව්හු ගැළවීමේ මාර්ගය සොයන්නට පටන් ගත්හ. ඒ අතර ආගමික ගුරුවරු ඔවුන් හා සත්‍යතාව අතරට පැමිණ දෙවියන් වහන්සේගේ වචනයට අසත්‍ය වූ විවරණ සපයා දෙමින් බැතිමතුන්ගේ බිය සමනය කිරීමට වෑයම් කළෝය. තම දරුණු මුළාකාරයාගේ ක්‍රියාදාමය සහ අත්වැල් බැඳගත් අවිශ්වාසී මුරකරුවෝ සාමය, සමය යයි හඬ නැගුවෝය. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සාමයක් ගැන පවසා තිබුනේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ දවස්වල සිටි එරිසිවරුන් මෙන් මොවුහු සගයේ රජ්‍යයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කලා පමණක් නොව, ඇතුළු වන්නාවූ අයටද බාධා කළෝය. මෙසේ ස්වර්ග රාජ්‍යය අත්පත් කරගැනීමට නොහැකි වූ අයගේ ලේ වල පලිය බාධා කරන්නවුන්ට ගෙවීමට සිදුවෙනවා එකාන්තය.GrHSin 425.2

    වෙනත් අයට වඩා ප්‍රථමයෙන් පණිවිඩය පිළිගත් අය වූයේ සභාවන්හි සිටි කැපවීමකින් යුක්තව ඉතා නිහතමානී බැතිමතුන්ය. ස්වෝත්සහයෙන් ශුද්ධ බයිබලය හැදෑරූ අයට ප්‍රත්‍යක්ෂ වූයේ දිවැසි ප්‍රකාශන පිළිබඳ පවසන ලද ජනප්‍රිය විග්‍රහයන් ශුද්ධ ලියවිල්ලට කෙතරම් පටහැනිද යන්නය. පූජක පක්ෂයේ දේව සේවකයන්ගේ බලපෑම මගින් පාලනය නොවූ අය පුද්ගලිකවම දේව වචනය විමර්ශනය කළ විට ඔවුන්ට ප්‍රත්‍යක්ෂව වැටහී ගියේ දෙවැනි ඊමේ පණිවිඩයෙහි දිව්‍යම බල අධිකාරිත්වය ස්ථාපිත කරගැනීමට නම් කළ යුතුව ඇත්තේ ශුද්ධ ලියවිලි සමග එම පණිවිඩය සංසන්දනය කිරීම පමණක්ය යන්නය.GrHSin 426.1

    සත්‍ය පිළිනොගත් සහෝදරයන්ගේ තාඩන පීඩනවලට බොහෝ අය ගොදුරු වූහ. තමන්ට සභාවේ හිමි ස්ථානය රැක ගැනීම සඳහා සමහර තමන්ගේ බලාපොරොත්තුව ගැන නිශ්චල වීමට තෝරාගත්හ. ඒ අතර තවත් සමහරෙක්, කල්පනා කළේ දෙවියන්වහන්සේ තමන්ගේ විශ්වාසයට භාර කළ සත්‍යතාවන් සඟවා තබාගැනීමට තමන්ගේ පක්ෂපාතීත්වය ඉඩ නොදෙන බවය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම කෙරෙහි විශ්වාස කළ නිසාම සභා සහභාගීකමින් නෙරපා හරිනු ලැබූ අයගේ සංඛ්‍යාව සුළුපටු නොවීය. ස්වකීය ඇදහිල්ල නිසාම මෙවන් විනිශ්චයකට මුහුණ දුන් අයට යෙසායා දිවැසිවරයාගේ මේ වදන් මහත් දිරියක් විය. “මාගේ නාමය නිසා නුඹලාට වෛර වී නුඹලා පන්නා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමින්වහන්සේ ගෞරව ලබාගන්නා සේක්වා. එවිට නුඹලාගේ ප්‍රීතිය අපිට දකින්ට ලැබේ යැයි කියති; නුමුත් ඔවුන් ම ලැජ්ජාවට පැමිණෙනවා ඇත” (යෙසායා 66:5). GrHSin 426.2

    අනතුරු ඇඟවීමේ හඬ මගින් ඉටු වූ සේවාවෙහි ප්‍රතිඵල දෙස දෙවියන්වහන්සේගේ දූතයෝ මහත් උනන්දුවෙන් යුතුව බලා සිටියෝය. සමහර සභාවන් විසින් දෙවැනි ඊමේ පණිවිඩය පොදුවේ ප්‍රතික්ෂේප කළ විට දුකට පත් දේව දූතයෝ කනගාටුවෙන් ඉවතට හැරුණෝය. එහෙත් දෙවන පැමිණීමේ පණිවිඩය පිළිබඳව පරීක්ෂණයට මුහුණ නුදුන් බොහෝ අයද සිටියෝය. දෙවන ඊම පිළිබඳව උගන්වන්නාවූ අයගේ දුර්මතයන්ට ඇහුම්කන් දීම පවා පාපය යැයි කියා විශ්වාස කිරීමට බොහෝ දෙනෙකුව සැමියන්, බිරිඳන්, දෙමාපියන් සහ දරුවන් විසින්ද නොමඟ යවනු ලැබීය. මෙම අයව මනාව නිරීක්ෂණය කරන්නැයි දේව දූතයන්ට අණ කරන ලදී. මක්නිසාදයත්, දෙවියන්වහන්සේගේ සිහසුන වෙතින් තවත් ආලෝකයක් ඔවුන් කෙරෙහි බැබළෙන්නට නියමිතව තිබුණේය.GrHSin 426.3

    පණිවිඩය ලැබු අය කිව නොහැකි ආශාවකින් යුතුව ගැලවුම්කාරයාණන්ගේ පැමිණීමේ සිද්ධිය බලා සිටියෝය. උන්වහන්සේව සම්මුඛ වීමේ දවස අත ළඟටම පැමිණ තිබුණේය. ඔව්හු ඉතා සන්සුන් ගාම්භීරත්වයෙන් යුතුව මෙම පැය වෙත ළඟා වූවෝය. ඔවුහු දෙවියන්වහන්සේ සමඟ සුමිහිරි සන්නිවේදනයක් තුළ විවේකීව සිටියෝය.දීප්තිමත් අනාගතයක් භුක්ති විඳින්නට වරම් ලැබේවා යයි ඔවුහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. මෙම බලාපොරොත්තුව අත්දුටු කවරෙකුට හෝ එම අපේක්ෂිත පැය හා සම්බන්ධ අත්දැකීම අමතක වන්නේ නැත. මෙම නිශ්චිත දවස උදා වීමට සති කිහිපයකට පෙර සිට සමහරෙක් තම ව්‍යාපාර කටයුතු නවතා දැමූවෝය. තම මරණ මංචකය ළඟාවී ඇතැයි සිතන්නා වූ ආකාරයක් හා සමානව අවංක බැතිමත්හු තමන්ගේ හදවත් හි චිත්තාවේග හා සිතුවිලි ප්‍රවේශමෙන් පිරික්සා බැලූවෝය. ඔසවා ගැනීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා විශේෂ ලෝගු සාදා ගැනීමක් සිදු නොවීය. එහෙත් ක්‍රිස්තු සමිඳාණන් හමුවීමට තමන් සූදානම් යයි අභ්‍යන්තර සාක්ෂි දැරීම තමාගේ අවශ්‍යතාවය බව සියල්ලන්ට හැඟී ගියේය. එම පාරිශුද්ධතාවය වූ ආත්මයේ පවිත්‍රතාවය ඔවුන්ගේ සුදු වස්ත්‍රය විය යුතු බව එනම් ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ රුධිරය කරණකොටගෙන පවිත්‍ර කරනු ලැබූ චරිතයන් විය යුතු බව ඔව්හු ඒත්තු ගත්හ. දෙවියන් වහන්සේගේ සෙනඟ යයි කියන්නා වූ අය අතර අදත් එවන් හදවත් සෝදිසි කර බැලීමේ ආත්මයක් පවතිනවා නම් කොපමණ හොඳද. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව හිඳිමින් ඔවුහු දහමට ලැදිව කටයුතු කළෝ නම්, කරුණාසනය වෙත තම ඉල්ලීම් අඛණ්ඩව ඉදිරිපත් කළෝ නම්, ඔවුන් දැනට භුක්ති විඳින්නාවූ අත්දැකීමට වඩා බොහෝ සේ සශ්‍රීක වූ සමෘද්ධිමත් ජීවිතයක් ඔවුන්ට ලැබෙන්නට තිබුණු බව ස්ථිරය. අපගේ ගැළවුමිකාරයාණන් විසින් නොමදව සපයා දී ඇති කරුණා-අනුග්‍රහය භුක්ති විඳීම බොහෝ අයට අහිමි වී ඇත්තේ ඔවුන් ඉතා මද වශයෙන් යාච්ඤා කරන නිසාය, පාපය ගැන වූ සත්‍ය අවබෝධය ඉතා මද නිසාය, ඔවුන් සතුව ජීවමාන ඇදහිල්ලක් නැති නිසාය. GrHSin 427.1

    තමන් සෙනඟ පිරික්සා බැලීමට දෙවියන්වහන්සේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කළ සේක. දිවැසි කාලවකවානු ගණන් බැලීමේදී සිදුවූ වැරැද්දක් උන්වහන්සේ තම ශ්‍රී හස්තයෙන් ආවරණය කළ සේක. දෙවන පැමිණීම අපේක්ෂාවෙන් පූර්ණව බලාපොරොත්තු වූ බැතිමතුන්ටද කාලවකවානු නිර්ණය කිරීමේදී ඇතිවූ දෝෂය ඔවුන්ගේ විරුද්ධවාදීන්ටද හසු නොවීය. විරුද්ධවාදීහු මේ පිළිබඳව මෙසේ පැවසූහ.” අනාවැකි කාලය පිළිබඳව ඔබගේ ගණනය කිරීම් නිවැරදිය. යම්කිසි වැදගත් සිද්ධියක් ඉටු වීම අනිවාර්ය වන්නේය. නමුත් එම සිද්ධිය මිලර් මහතා ප්‍රකාශ කළ පරිදි ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊම නොවන්නේය. එම සිද්ධිය නම් ලෝකයා ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීම වන්නේය.”GrHSin 427.2

    තමන්වහන්සේගේ සෙනඟ ගලවා ගැනීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙතැයි අපේක්ෂා කළ දවස පැමිණියේය. එහෙත් එදින උන්වහන්සේ පැමිණියේ නැත. තම ගැලවුම්කාරයාණන් දැකගැනීමට අවංක විශ්වාසයකින් හා ආදර භක්තියකින්ද බලාපොරොත්තුවකින් ද සිටි අය මහත් විශ්වාස භංගත්වයකට පත් වූහ, කලකිරීමකට භාජනය වූහ. කෙසේ වුවද, දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු වෙමින් තිබුණේය. උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා යයි කියා සිටි අයගේ හදවත්හී අවංකභාවය උරගා බැලීම සඳහා දෙවියන්වහන්සේ විසින් එම ජනතාව පිරික්සීමට යොමු වූ සේක. බලා සිටියවුන් අතර බොහෝ දෙනෙක් එසේ කළේ උදාර පරමාර්ථයකින් නොව භීතිය නිසාය. ඔවුන්ගේ ඇදහිලි ප්‍රකාශය මගින් ඔවුන්ගේ හදවත් හෝ ජීවිත හෝ වෙනස් වීමකට යොමු වී තිබුනේ නැත. බලාපොරොත්තු වූ සංසිද්ධිය යථාර්ථයක් බවට පත් නොවීම නිසා තමා කලකිරීමකට පත් නොවූ බව ඔවුහු ප්‍රකාශ කළෝය. ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණියේ යැයි ඔවුහු කිසි දවසක හෝ විශ්වාස කර තිබුණේ නැත. සත්‍යවාදී ඇදහිලිවතුන්ව උපහාසයට හා අවමානයට ලක් කිරීමට ඔවුහු පෙරමග ගත්තෝය.GrHSin 428.1

    එහෙත් විශ්වාස භංගත්වයට පත්ව සිටි, පිරික්සුමට ලක් කරනු ලැබූ ඇදහිලිවතුන් දෙස යේසුස්වහන්සේ සමග සකල සග සේනාවද ආදරයෙන් සහ අනුකම්පාවෙන් යුතුව බලා සිටියෝය. දෘශ්‍යමාන ලෝකය හා අදෘෂ්‍යමාන ලෝකය අතර පවත්නා කඩතුරාව පසෙකට තල්ලු කර දැමීමට හැකියාවක් වී නම්, අවංකව ස්ථිර ව නැගී සිටි ආත්ම වෙතට දේවදූතයන් සමීප වන්නා වූ ආකාරයත් සාතන්ගේ දණ්ඩ ප්‍රහාරයෙන් ඔවුන්ට රැකවරණය සාදා දෙන්නාවූ විලාශයත් දැක ගැනීමට පුළුවන්කම තිබුණි.GrHSin 428.2