Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    4 - වෝල්ඩන්සිවරු

    පාප් බල අධිකාරිය තම පාලන බලය හෙබ වූ දීර්ඝ කාලය තුළ භූමිය මත පතිත වූ මහත් අන්ධකාරය මධ්‍යයේ වුවද ,සත්‍යතාවයේ ආලෝකය සම්පූර්ණ ලෙස නිවා දැමීමට එම බලය සමත් නොවීය.සෑම යුගයකම දෙවියන්වහන්සේ උදෙසා සාක්ෂි දැරූ අය සිටියහ.දෙවියන්වහනසේ හා මනුෂ්‍යයා අතර සිටින්නා වූ එකම මැදහත්කාරයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාස කළ ඔව්හු උන්වහන්සේ කෙරෙහි වූ තම ඇදහිල්ල ආදරයෙන් රැකගනිමින් ,ශුද්ධ වූ බයිබලය පමණක්ම ජීවිතයට මගපෙන්විමේ ප්‍රමිතිය බව විශ්වාස කරමින් සැබෑ සබත් දවස ශුද්ධ කොට පැවැත්වූහ.මෙම ජන කොටසට ලෝකවාසීන් කොයිතරම් ණයගැති දැයි අනාගත පරම්පරාව කිසි කලෙක දැනගන්නේ නැත.කිතු දහමට විරුද්ධව ක්‍රියාකරන්නන් ලෙස ඔවුන්ට හංවඩු ගසන ලදි.ඔවුන්ගේ අභිප්‍රායන් පිළිබඳව පැවතුණේ සැකයකි.ඔවුන්ගේ චරිත මහත් අපහාසයට ලක් කරන ලදි.ඔවුන්ගේ ලියවිලි යටපත් කරනු ලැබීය.එම ලියවිලිවලට වැරැදි අර්ථකථන ලබාදෙමින් ඒවා විනාශ කරන ලදි. එසේ වුවද, ඔවුහු ස්ථීරවම නැගී සිටියෝය. යුගයෙන් යුගයට ඔවුහු තම ඇදහිල්ල පවිත්‍රව පවත්වාගෙන මතු පරම්පරාවන් උදෙසා ශුද්ධ වු උරුමයක් ලෙස සත්‍යතාවය රැකවල් කළහ.GrHSin 52.1

    රෝම අධිරාජ්‍යය තුළ පාප් ආධිපත්‍යය උච්ඡ ස්ථානයක් කරා පැමිණිමෙන් පසු උදාවු අඳුරු යුගයේ විසු දෙවියන්වහන්සේගේ ජනතාවගේ ඉතිහාසය ස්වර්ගයෙහි වාර්තා ගත වී තිබේ.එහෙත් ඔවුන් පිළිබඳව සඳහන් කිරිමක් හෝ මිනිස් ඉතිහාසයෙහි නැති තරම්ය.මෙවන් ජනතාවක් ජීවත් වු බවට සාධකයක් වන්නේ ඔවුන්ට හිංසා පීඩා සිදුකළ අයගේ චෝදනා පිළිබඳ වාර්තා සොයාගත හැකි බැවින්ය.තමාගේ ධර්මතාවන්ට හෝ ආඥාවන්ට හෝ විරුද්ධතාවක් දක්වන්නාවු අය පිළිබඳව වාර්තාවල් විනාශ කර දැමීම රෝමානුවන්ගේ ප්‍රතිපත්තිය විය. තමන්ගේ ආගම දහමට විරුද්ධ වු යමක් වේද, යම් පුද්ගලයකු වේද එම විරුද්ධතාවන් විනාශ කර දැමීමට රෝමානු බලධාරීහු වග බලා ගත්තෝය. අනුමාන කිරිම ගැන අදහස් ප්‍රකාශ කිරිම, පාප් බල අධිකාරීයේ සිද්ධාන්ත වශයෙන් සැලකෙන මත පිළිබඳව ප්‍රශ්න කිරීම යනාදියේදී යමෙක් වරදකරුවෙක් වුයේ නම් පොහොසත් හෝ දුප්පත් හෝ වේවා සමාජ තලයේ උසස් මට්ටමක හෝ පහත් තලයක හෝ වේවා ඔහුට ජීවිතය අහිමි වීම එවැනි අයගේ ඉරණම විය.පාප් බල අධිකාරිය,විරුද්ධවාදීන්ට සිදුකළ හැම ආකාරයකම කුරිරුකම් පිළිබඳ සියලුම වාර්තා විනාශකර දැමිමට වෑයම් කළේය. එවන් වාර්තා ලේඛණ ගත කළ සෑම ලියවිල්ලක් සහ පොතක්ම ගිනිබත් කළ යුතු යැයි පාප්වාදි මණ්ඩලය අණ කළේය.මුද්‍රණ ශිල්පය එළිදකින්නට පෙර සංසරණය සඳහා පැවති පොත් සංඛ්‍යාව ඉතා ස්වල්ප විය. එම පොත් සංරක්ෂණයද ඉතා අසීරු තත්වයක පැවතුණි.එම නිසා රෝමානුවන්ගේ අභිප්‍රාය ඉටු කරගැනීමට එරෙහිව කළ හැකි දෙයක් නොවීය.GrHSin 52.2

    ඒ අතර රෝමානු ආධිපත්‍යය පැවති ප්‍රදේශ තුළ තිබු කිසිම සභාවකට හෘදය සාක්ෂියේ නිදහස ප්‍රීතියෙන් භුක්ති විදීමට නුපුළුවන් විය;රෝමානුවන් විසින් ඔවුන් මර්දනය කරන ලදි.පාප් සමයට අධිකාරි බලය ලැබීමත් සමගම තම විරුද්ධවාදීන් මැඩපැවැත්විමට ඇය යුහුසුළු වූවාය.තම බල අධිකාරිය පිළිගැනීමට එකඟ නොවූ සියල්ලන්ට එරෙහිව වධ හිංසා යාන්ත්‍රණය ක්‍රියාත්මක විය.ක්‍රම ක්‍රමයෙන් සියලු සභාවන් පාප්ගේ ආධිපත්‍යයට යටත් විය.GrHSin 53.1

    මුල් කාලීන කිතු දහම මහා බ්‍රිතාන්‍යයේ දිග කාලයක පටන් ස්ථාපිත වී තිබුණේය.මුල් සියවස් කාලය තුළදී බ්‍රිතාන්‍යය පිළිගත් ශුභාරංචි පණිවිඩය සත්‍යයට විරුද්ධ වූ රෝමානු ව්‍යාජ ඉගැන්වීම් කරනකොටගෙන දූෂ්‍ය නොවු පිරිසිදු එකක් විය.බ්‍රිතාන්‍යයේ මුල් සභාවන්ට රෝමයෙන් ලැබුණු එකම ත්‍යාගය වූයේ මිත්‍යාදෘෂ්ඨික අධිරාජ්‍යයන්ගෙන් වූ පීඩාවන්ය.මෙම පිඩාවන් දුර බැහැර පිහිටි දේශයන් කරාද ක්‍රියාත්මක විය. පීඩාවන් නිසා එංගලන්තයේ විසු බොහෝ කිතුණුවන් රැකවරණය පතා ස්කොට්ලන්තය වෙත පැන ගියෝය.නිර්මල සත්‍යය එම ස්ථානයේ සිට අයර්ලන්තයට ගෙන යන ලදි.මේ සෑම රටක්ම ශුභාරංචි දහම මහත් ප්‍රීතියෙන් පිළිගත්තේය.GrHSin 53.2

    සැක්සන්වරු බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරිමත් සමගම එම රට මිත්‍යාදෘෂ්ටිකයන්ගේ පාලනය යටතට පත්විය. ජය ගත්තවුන් තම වහලුන් දෙන උපදෙස් හෙළා දැක්කාහ.මෙහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය කිතුණු බැතිමතුන් කඳුකරයට සහ වනාන්තර වල පිහිටි ඕවිටි යායවල් වලට පලායෑමය.කලකට සඟවනු ලැබූ නමුත් ආලෝකය අඛණ්ඩව දැල්වෙමින් තිබුණේය. ශත වර්ෂයකට පසුව එම ආලෝකය ස්කොට්ලන්තයෙහි ප්‍රබල දීප්තියකින් බැබලෙමින් ඈත පිහිටි රටවල් කරාද විහිදුණේය. අයර්ලන්තයෙන් පැමිණි සැදැහැවත් කොලුම්බා සහ ඔහුගේ සගයෝ විසිර සිටි ඇදහිලිවතුන් එකතු කරගෙන එකමුතුවක් පිහිටුවාගෙන ජන ශූන්‍ය දුපතක් වු අයෝන්හි තම මිෂනාරි මධ්‍යස්ථානය පිහිටුවා ගත්තෝය.මෙම දහම් ප්‍රචාරකයන් අතර වු එක් තැනැත්තෙක් බයිබලීය සබත රක්ෂා කළ අයෙක් විය.ඔහු මෙම සත්‍යතාව කණ්ඩායමේ අනෙකුත් අය සමග බෙදා ගත්තේය. අයෝනාවෙහි පාසලක් ස්ථාපිත කරන ලදී. මෙම පාසලේ පුහුණුව ලබා දහම් ප්‍රචාරය සඳහා පිටත්ව ගිය අය ස්කොට්ලන්තය සහ එංගලන්තය කරා පමණක් නොව ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය වෙතද ඇතුළු වුහ.GrHSin 53.3

    එහෙත් බ්‍රිතාන්‍යය වෙත ඇස් යොමා සිටි රෝමය,එය තම ආධිපත්‍යය යටතට පත්කර ගැනිමට තීරණය කළාය. හය වන සියවසේදී ඇගේ ධර්ම ප්‍රචාරක ගුරුවරු මිථ්‍යා දෘෂ්ටිකයන් වු සැක්සන් වරුන් තම ආගමට බඳවා ගැනීම තම කාර්ය කරගත්හ.ම්ලේච්ඡ මිථ්‍යාදෘෂ්ටිකයන් වු ඔව්හු රෝමානු ගුරුවරුන්ට දෑත් දිගු කරමින් ඔවුන් පිළිගත්තෝය. එම ගුරුවරුන් විසින් දහස් ගණන් මිථ්‍යාදෘෂ්ටිකයන්ට රෝමානු ආගම වැළඳ ගැනිමට දිරිදෙන ලදි.වැඩ කටයුතු ඉදිරියට යන අතරේදි පාප් සමවාදි නායකයන්ට සහ ඔවුන්ගේ ඉගැන්විම් යටතේ කිතුනු දහම වැළඳ ගත් අයටද මුලධර්මය ඇදහූ ප්‍රකෘති කිතුණුවන් මුණ ගැසුනාහ.දෙපිරිස අතරේ මහත් වෙනස්කම් දැකගත හැකි විය.අපොස්තුළු ඉගැන්විම් අනුව දිවිගෙවු බැතිමත්හු ඉතා සරල ,චාම්,නිහතමානි දිවි පැවැත්මක් අනුගමනය කරමින් තම චරිත ගුණාංග , දහම් සහ ජිවිත රටාව ශුද්ධ ලියවිල්ලට අනුකූලව පවත්වාගෙන ගියෝය.ඒ අතර රෝමානුවෝ තම පාප්වාදි නායකයන්ගේ මිථ්‍යා ලබ්ධික විශ්වාස අනුගමනය කරමින්,උදාරම් ලෙස හැසිරෙමින් පුහු ආටෝපයන්ගෙන් සැරසී අභිමානයක් ප්‍රදර්ශනය කරමින් කල්ගෙවූහ. මෙම ක්‍රිස්තියානි සභාවන් විසින් පාප් අධිකාරිවරයාගේ උත්තම නිල ආධිපත්‍යය පිළිගත යුතු යැයි රෝම චරපුරුෂයෝ බලකර සිටියහ. බ්‍රිතාන්‍යය බැතිමත්හු නිහතමානීව ප්‍රකාශ කළේ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම ඔවුන්ගේ ආශාව බවය.සභාවේ පරම ආධිපත්‍යයකට අයිති වාසිකමක් කීමට පාප්ට හිමිකමක් නැති බවත් , ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාවූ තවත් කිතුණු බැතිමතෙකුට ලබාදෙන්නාවු අකාරයේ යටත් කමක් හැරෙන්නට වෙනත් ආකාර වන්දනීය යටත්කමක් ඔහුට ලබාදෙන්නට නොහැකි බවත් මෙම බ්‍රිතාන්‍යය කිතුණුවෝ ප්‍රකාශ කර සිටියෝය. මෙම අයගේ පක්ෂපාතීත්වය සහ යටත්කම ලබාගැනීමට රෝමය නැවත නැවතත් වෑයම් කළේය. රෝම සභාවේ නායකයන්ගේ අහංකාර කල් ක්‍රියාවන් නිසා පුදුමයට පත්ව සිටි මෙම නිහතමානී ක්‍රිස්තු භක්තිකයෝ ස්ථිර වශයෙන්ම අවධානය කළේ ක්‍රිස්තුස්වහන්සේ හැරෙන්නට වෙනත් ස්වාමියකු ගැන තමන් නොදන්නා බවයි. දැන් පාප් බල අධිකාරියේ සැබෑ ස්වභාවය එළිදරව් විය. රෝමානු බලධරයා තමාගේ අණසකට යටත් නොවීම ගැන ඔවුන්ට මෙසේ ප්‍රතිචාරය දැකිවීය. ” ඔබට සාමය ගෙන එන්නා වූ සහෝදරයන් ඔබ පිළිගන්නේ නැත්නම් යුද්ධය ගෙන එන්නා වූ සතුරන් පිළිගැනීමට ඔබට සිදු වනවා ඇත.සැක්සන් වරුන්ට ජීව‍නයේ මාර්ගය පෙන්වා දීමට ඔබ අප සමග එකතු වන්නේ නැතිනම් ඔබ ඔවුන්ගේ මරණීය පහර ලබාගන්නවා ඇත.”(උපුටා ගැනිම අංක 1D’Ahbigne, History of the Reformation of the Sixteenth century, b.17, Ch 2.) මෙම තර්ජන හිස් වදන් නොවීය.බ්‍රිතාන්‍යයෙහි තිබූ සත්‍යතාවට ගරු කළ සභාවන් විනාශ කර දමන තෙක් හෝ ඔවුන් පාප්තුමාගේ අධිකාරී බලයට යටත් වනතෙක් බයිබලීය ඇදහිල්ල වෙනුවෙන් සාක්ෂි දැරූ මෙම අයට එරෙහිව යුද්ධ ,කුමන්ත්‍රණ ,කූට උපායන් ,සහ මුළාකිරීම් ක්‍රියාත්මක විය.GrHSin 54.1

    රෝම පාලනය ක්‍රියාත්මක නොවූ රටවල විසූ ක්‍රිස්තු භක්තික කණ්ඩායම් බොහොමයක් වසර සියවස් ගණනාවක් පුරා රෝම දූෂණයට ගොදුරු නොවී තම භක්තිය රැකගනිමින් දිවි ගෙවූහ.ඔවුහු මිත්‍යාදෘෂ්ටික නමස්කාර කරුවන් මධ්‍යයේ ජීවත්වූහ.කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටද මිත්‍යාදෘෂ්ටික ඇදහිලි ක්‍රම බලපෑවේය.එසේ වුවද ,ඇදහිල්ළේ පරම ප්‍රමිතිය බයිබලය පමණක් බව විශ්වාස කරමින් ඔවුහු එහි අඩංගු සත්‍යතාවයන් බොහෝමයකට සිය අනුකූලතාවය දැක්වූහ.මෙම කිතුණුවන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ සදා පැවැත්ම විශ්වාස කළ අතර ,සතරවෙනි ආඥාව අනුව සබත ශුද්ධ කොට පැවැත්වූවෝය.මෙම ඇදහිල්ල ආරක්ෂා කර ගනිමින් එම වතාවත් පැවැත්වූ කිතුණුවෝ මධ්‍යම අප්‍රිකාවේද ආසියාවේ ආර්මේනියන්වරුන් අතරේද ජීවත්ව සිටියෝය.GrHSin 55.1

    පාප් බලයෙහි අක්‍රමණයට යටත් නොවී එයට විරුද්ධව නැගී සිටි කණ්ඩායම් අතුරෙන් වොල්ඩන්සිවරු පෙරමුණ ගනිති.පාප් බලය ස්වකීය අධිපත්‍යය හෙබ වූ එම රටෙහිම ඔවුන්ගේ වැරදි ඉගැන්වීම් වලට මෙන්ම දූෂණයන්ටද එරෙහිව ඉතා දැඩි විරුද්ධවාදී කම් ක්‍රියාත්මක විය.සියවස් ගණනාවක් පුරා පිඩ්මොන්ට්හි වු මේ සභාවන් තමන්ගේ නිදහස රැකගෙන ජීවත්වුහ.එහෙත් අවසානයේදී යටත් වන්නැයි රෝම ආධිපත්‍යය බල කළ කාලය එළඹීයේය.බලෙන්ම තම පාලන බලය තවත් අය කෙරෙහි යෙද වූ රෝමානුවන්ට විරුද්ධව නැගී සිටිමේ අසාර්ථක ප්‍රයත්නවලින් පසුව මෙම සභාවන්හී නායකයෝ අකමැත්තෙන් වුවද සකල ලෝකයාම පාහේ ගරු සත්කාර පැවැත් වූ රෝම ආධිපත්‍යයට හිස නැමුවෝය.එහෙත්, පාප්වරයාගේ හෝ ඔහුගේ නායක පූජකයන්ගේ අණසකට යටත් වීම ප්‍රතික්ෂේප කළ සමහර අයද සිටියහ.තමන්ගේ පක්ෂපාතීත්වය දෙවියන්වහන්සේට පමණක් පුද කරමින් තමන්ගේ ඇදහිල්ලෙහි පවිත්‍රතාව සහ සරලතාව තවදුරටත් ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ අධිෂ්ඨානය විය.වෙන් වීමක් සිදුවිය.මුල් කාලීන ඇදහිල්ලට ගරු කළ අය රෝම ආධිපත්‍යයෙන් වෙන්ව ජීවත්වීමට තීරණය කර ගත්තෝය.ඔවුහු තම නිජ භූමිය වූ ඇල්ප්ස් දේශය හැර දමා වෙනත් රටවල් කරා ගොස් සත්‍යතාවේ ධජය ඔසවා තැබූහ.තවත් අය ,කඳු අතර පිහිටි හුදෙකලා නිම්න භූමි වෙත ගොස් එහිදී දෙවියන්වහන්සේට නමස්කාර කිරිමේ නිදහස ආරක්ෂා කර ගත්තෝය.GrHSin 55.2

    වෝල්ඩන්සියානු ක්‍රිස්තු භක්තිකයන් විසින් සියවස් ගණනාවක් පුරා රැක ගනිමින් අන්‍යයන්ට ඉගැන්වූ ඇදහිලි දහම රෝමය විසින් ඉදිරිපත් කළ ව්‍යාජ දහමට හාත්පසින්ම විරුද්ධ විය.කිතු දහමේ සත්‍ය පිළිවෙල වන දෙවියන්වහන්සේගේ ලිඛිත වචනය මත ඔවුන්ගේ අගමික ඇදහීම පදනම් වී තිබුණේය.මෙම නිහතමානී ගොවියෝ තම අප්‍රසිද්ධ ආරක්ෂක ස්ථානවල සිටිමින් සෙසු ලෝකයෙන් වෙන් වී දිවි ගෙවුහ.ඔවුන් දිනපතාම තම පශු සම්පත් රැකබලා ගනිමින් ,තම පළතුරු උයන් නඩත්තු කරගනිමින් ජීවත් වූහ. මිත්‍යාදෘෂ්ටික තේවාවන් සහ ධර්මතාවන් වැළද ගත් සභාවෙහි සිද්ධාන්ත ඉගැන්වීම් සහ බයිබලීය සම්මතයෙන් තොර වු දහම් පිළිනොගැනීමට වෝල්ඩන්සියානු කිතුණුවන් තීරණය කරගත්තේ, තමන්ගේම ඉගෙනීම තුළින් පිවිසි සිද්ධාන්ත පදනම් කරගෙන නොවේ.ඔවුන්ගේ ඇදහිල්ල තම පියවරුන්ගෙන් ලබාගත් උරුමයක් විය.අපෝස්තලික සභාවෙහි ඇදහිල්ල උදෙසා ඔවුහු දැඩි ලෙස ක්‍රියා කළෝය.එනම් “වරක් ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල ” (යුදස් 3) රැකගෙන ජීවත් වීම ඔවුනගේ අධිෂ්ඨානය විය.ලෝකයේ විශාල අගනුවරක සිහසුන් දරා සිටි උඩඟු සභාව දෙවියන්වහන්සේගේ සභාව නොවීය.එහෙත් දෙවියන්වහන්සේ විසින් ලෝකයට බෙදාදීම සඳහා උන්වහන්සේගේ ජනතාවට භාරකරන ලද සත්‍යතාවයේ නිධාන සම්පත් රැකගත් පාළුකරයේ සභාව උන්වහන්සේගේ සත්‍ය සභාව විය.GrHSin 55.3

    සත්‍ය සභාව රෝමානු සභාවෙන් වෙන් වන්නට සිදුවූ ප්‍රධාන හේතුවලින් එකක් නම් බයිබලීය සබතට රෝමානුවන්ගේ තිබූ ද්වේෂයයි.අනාවැකිවල පවසා තිබු ආකාරයට පාප් බල අධිකාරිය සත්‍යතාව පොළොවට හෙළුවේය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව දූවිලි අතර පාගා දමා මිනිස් සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් ඔසවාලනු ලැබීය.පාප් බල අධිකාරිය යටතේ පාලනය වූ සභාවන්ට ඉරිදා දවස ශුද්ධ දවසක් ලෙස පැවැත්වීමට ප්‍රථමයෙන්ම බල කරන ලදි.පැවතුණා වූ වැරදි සහ මිථ්‍යා ඇදහිලි මධ්‍යයේ දෙවියන්වහන්සේගේ සත්‍යවාදී සෙනඟ අතුරෙන් බොහෝ අය මහත් වියවුලට පත්ව සබත ශුද්ධ කොට පැවැත්වූ අතරම ඉරිදා දවසෙහිදීද වැඩකටයුතු කිරීමෙන් වැළකී සිටියහ.එහෙත් ,මෙයින් පාප් බලධරයන් සැහීමට පත් නොවුහ.ඉරිදා දවස ශුද්ධ කොට පැවැත්වීමට පමණක් නොව සබත් දවස කෙලසා කඩකිරීමටත් ඔවුහු බලකර සිටියෝය.සබත් දවසට ගරු කිරීමට නිර්භීතව උත්සහ දැරූ අයට ඔවුහු තදබල බසින් දොස් පැවරූහ.රෝම බලඅධිකාරයෙන් පැන යාමෙන් පමණක් ඔවුන්ට දෙවියන්වහනසේගේ ව්‍යවස්ථාවට සමාදානයෙන් යුතුව කීකරුවීමට හැකි වුණේය.GrHSin 56.1

    යුරෝපාකරයේ ජීවත් වූ විවිධ ජාතීන් අතරෙන් ශුද්ධලියවිලි පරිවර්තනයක් ලබාගත් පළමුවනඅය වූයේ වොල්ඩන්සිවරුන්ය.ප්‍රතිසංස්කරණයට සියවස් ගණනාවකට පෙර තමන්ගේ මව් බසින් ශුද්ධ බයිබලයේ අත් පිටපත් ඔවුන් සන්තකයේ තිබුණේය.බාහිර මිත්‍යා මත මිශ්‍ර නොවූ සුපිරිසිදු සත්‍යතාව ඔවුන් සන්තකයේ විය.මේ නිසාම ඔවුන් ද්වේෂයටත් වධ හිංසාවටත් ලක්වූහ.විශේෂිත ලෙස එළිදරව් පොතෙහි සඳහන් ඇදහිල්ලෙන් වැටී ගියා වූ බබිලෝනිය වනාහි රෝම සභාව බව ඔවුහු අභීතව ප්‍රකාශ කළෝය.ඔවුහු තම ජිවිත පරදුවට තබා රෝමානුවන්ගේ දූෂණයට එරෙහිව නැගී සිටියෝය.දිගු කාලයක් පැවති වධ හිංසා නිසා පීඩනයට පත්ව සිටි සමහරෙක් තම ඇදහිල්ල පාවා දෙමින්,එහි විශේෂිත ප්‍රතිපත්ති ටික ටික අත්හැර දමමින් ක්‍රියා කළ අතර වෙනත් අය තමන්ගේ ඇදහිල්ල තදින් ස්ථීරව අල්ලා ගෙන සිටියහ.මිත්‍යාදෘෂ්ටික ඇදහිලි ක්‍රම වැළද ගැනීම් සහ අඳුරු යුගයක් පැවති නමුත් රෝමයේ සුපිරි ආධිපත්‍යය ප්‍රතික්ෂේප කළ වොල්ඩන්සිවරුද සිටියෝය.සුරුවම් වන්දනාව රූප වැදීමක් බව කියා ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය;සත්‍ය සබතද ශුද්ධ ලෙස ආරක්ෂා කළෝය.ඉතා දරුණු විරුද්ධවාදී හිංසා පිඩා මධ්‍යයේ ද ඔවුහු තම ඇදහිල්ල පවත්වා ගෙන ගියෝය.හෙල්ලවල් මගින් ගැඹුරු ලෙස තුවාල කරනු ලැබුවද, දර මිටියක් හා බැඳ ගිනි තබා පුළුස්සා දමනු ලැබුවද ඔවුහු දෙවියන්වහනසේගේ වචනය උදෙසාද ,උන්වහනසේගේ ගෞරවය උදෙසාද පසු නොබැස නැගී සිටියෝය.GrHSin 56.2

    පවුරු මෙන් පිහිටි උස් වු කඳුවලින් වට වු නිම්න භූමි හිංසා පීඩාවනට පත් වු අයට සහ භීෂණයට ගොදුරු වූ අයට ක්ෂේම භූමියක් විය.මෙවන් ක්ෂේම භූමි වොල්ඩන්සිවරුන්ට සැඟවී සිටීමේ ආරක්ෂිත ස්ථානයක් විය.මධ්‍ය කාලීන යුගයේ පැතිර තිබූ අන්ධකාරය මධ්‍යයේ සත්‍යතාවයේ ආලෝකය මෙම ස්ථානයන්හි දැල්වෙමින් පැවතියේය.වසර දහසක් පුරා කාලයක් මෙම ස්ථානයන්හිදී සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්නා වූ අය පුරාණ ඇදහිල්ල ආරක්ෂා සහිතව පවත්වාගෙන ගියෝය.GrHSin 57.1

    තම විශ්වාසයට භාර දී තිබූ මහත් බල සම්පන්න සත්‍යතාවනට ගැළපෙන ආකාරයට තමන්වහන්සේගේ සෙනඟට මහිමයෙන් අඩු නොවූ විභූතියෙන් පිරි අභය භූමියක් දෙවියන් වහන්සේ සපයා දුන්සේක.එම විශ්වාසවන්ත සරණාගතයන්ට තිරසාරව පිහිටි කඳු සලකුණු කළේ යෙහෝව වහන්සේගේ නොවෙනස්වන සුළු ධර්මිෂ්ඨකමෙහි ස්ථීරතාවයි.උස්ව පිහිටි‍ වෙනස් නොවන්නා වූ ශිඛරයන්ගෙන් සැදුම්ලත් කඳු දෙසට තම දරුවන්ගේ අවධානය යොමු කළ ඔවුහු තමන් අදහන්නාවූ දෙවියන්වහන්සේද එම කඳු මෙන් නොසැළී සිටින්නා වූ බවද කිසිම ආකාර වෙනස්වීමක් උන්වහන්සේ තුළ නැති බවද GrHSin 57.2

    උන්වහනසේගේ වචනය සදාකාලික බවද අවධාරණය කළෝය.දෙවියන්වහන්සේ විශාල කඳු පොළොවෙහි පිහිටුවා ඒවාට ශක්තිය ලබා දී ඇත.උන්වහන්සේගේ අනන්ත වූ බලය කරණකොටගෙන මිස ඒවා වෙනත් ස්ථානයක් කරා යොමු කරවන්නට කිසිම බලයක් සමත් නොවේ.මෙයාකාරයෙන්ම උන්වහන්සේ ස්වකීය ව්‍යවස්ථාව ස්ථාපිත කර තිබේ.එය උන්වහන්සේගේ රාජ්‍ය තන්ත්‍රයෙහි ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්තිවාරම වන්නේය.මිනිසා තම හස්තය දිගුකොට වෙනත් අයෙකුගේ ජීවිත විනාශ කරන්නට පුළුවන.එහෙත් ඔවුනට සිය හස්තය දිගුකොට විශාල කඳු භූමියෙන් උදුරා දමා එම කඳු මුහුදට විසි කිරිමට හැකියාවක් නැත‍ .එසේම මිනිස් හස්තයට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ එක් වගන්තියක්වත් වෙනස් කළ නොහැක.උන්වහන්සේගේ කැමැත්ත ඉටුකරන්නා වූ අයට උන්වහන්සේ ලබාදී ඇති පොරොන්දුව එකක්වත් මකා දමන්නට කිසිවෙක් හෝ සමත් නොවේ.වෙනස් නොවන්නා වූ කඳු වැටි මෙන් දෙවියන්වහන්සේගේ සේවකයන්ද උන්වහන්සේගේ ව්‍යවස්ථාවට පක්ෂපාතවීමේදී ස්ථිරව නොසැලී සිටිය යුතුය. පහත්වු නිම්න වට කළාවූ කඳු දෙවියන්වහන්සේගේ නිර්මාණ බලයට නිරතුරු සාක්ෂියක් විය.උන්වහන්සේ සාදා දෙන්නා වූ රැකවරණය ගැන ඒවා වෙනස් නොවන සහතිකයක් විය. යෙහෝවඃ වහන්සේගේ වැඩ සිටීම,පෙන්නුම් කරන්නාවූ නිහඩ සංකේතවලට ආදරය කරන්නට මෙම වන්දනාකරුවෝ ඉගෙන ගත්තෝය.තමන්ට හිමි කොටස අමාරුකම්වලින් පිරී තිබුණ නමුත් ,ඔවුන් ඒ පිළිබඳව ලත වුණේවත් ශාප කළේවත් නැත.එසේම කඳු මධ්‍යයේ ඔවුන්ට තනිකමක් දැනුණේද නැත.මිනිසුන්ගේ උදහස සහ කුරිරුකම් ඉදිරියෙහි තමන්ට අභය භූමියක් සාදා දීම ගැන ඔවුහු දෙවියන්වහන්සේට ස්තූති කළෝය.උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්නට ලැබීමේ නිදහස ගැන ඔවුහු ප්‍රීති වූහ.සතුරන් විසින් නිතර ලුහු බඳිනු ලැබූ අවස්ථාවන්හිදී මෙම කඳුවැටි ඔවුන්ට රැකවරණය උදාකර දුන්නේය.උස් වු කඳු ශිඛර මත රැදී සිටිමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශස්ති ගී ගැයු අතර ඔවුන්ගේ තුති පූජා ගී නැවැත්වීමට රෝම හමුදාවන්ට හැකියාවක් නොවීය.GrHSin 57.3

    මෙම ක්‍රිස්තු අනුගාමිකයන්ගේ ශ්‍රද්ධාව සහ භක්තිය පවිත්‍රව ,සරලව මහත් උනන්දු සහගතව පැවතුණි.ගේදොර ,ඉඩ කඩම්,නෑදෑ හිතමිතුරන් යනාදියටද,එසේම තමන්ගේ ජීවිතවලටද වඩා ඔවුහු සත්‍යතාවේ ප්‍රතිපත්ති අගය කළෝය.තරුණ පරපුරේ අයගේ හදවත් තුළ මෙම ප්‍රඥප්ති තැන්පත් කර මුද්‍රාකර තැබීමට ඔවුහු මහත් උනන්දුවක් දැක්වූහ.කුඩා කාලයේ පටන්ම තරුණයන්ට ශුද්ධලියවිලි උගන්වා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ඉල්ලිම්වලටGrHSin 58.1

    ගරු සරු ඇතිව, භක්තියෙන් යුතුව ඒවා සලකන්නැයි දරුවනට උපදෙස් දෙන ලදී. බයිබල් පිටපත් බහුල නොවීය. එම නිසා එහි අගනා පාඨ කටපාඩම් කරන ලදී. අලුත් සහ පරණ තෙස්තමේන්තුවල පාඨ විශාල ගණනාවක් කටපාඩමින් පැවසීමට බොහෝ අයට හැකියාව තිබුණේය. දිනපතා ජීවිතයෙහිදී ලැබූ ආශිර්වාද සමග මෙන්ම සොබා දහමෙහි උතුම් දර්ශන සමඟ ද දෙවියන් වහන්සේ පිළිබඳ සිතුවිලි මුසුකොට භාවිතා විය. සෑම අනුග්‍රහයක් ම දෙන්නා වූ ද සෑම සැප සම්පතක්ම දෙන්නා වූද තැනැන්වහන්සේ දෙවියන් වහන්සේ බව තේරුම් ගෙන උන්වහන්සේ දෙස කෘතඥපූර්වකව බැලීමට දරුවෝ ඉගෙන ගත්හ. මෘදු කමින් හා සෙනෙහසින් යුතුවූ දෙමාපියෝ තම දරුවන් සැප සහිත ජීවිතයට පුරුදු කිරීමෙන් වැළකී සිටියෝය. ඔවුන් ඉදිරියෙහි තිබුණේ කරදරවලින් පිරී දුෂ්කර ජීවිත පැවැත්මකි, සමහරවිට වේද සාක්ෂිකාර මරණයකි. කුඩා අවධියේ සිට දරුවන්ට පුහුණුවක් ලබාදෙනු ලැබුවේ දුෂ්කරකම් විඳ දරාගැනීමටත්, පාලනයට යටත් වීමටත්ය. ඒ සමගම පුද්ගලික ලෙස සිතමින් තමාගේම කැමැත්ත අනුව ක්‍රියාකාරී වීමටත් ඔවුන්ට උගන්වන ලදී. වගකීම් භාර ගැනීමටත් ඒවා ඉටු කිරීමටත් දරුවන්ගේ කුඩා අවධියේ සිට ඔවුන්ට පුහුණුවක් ලබාදෙන ලදී. කතාබහ කිරීමේදී පරෙස්සම් වීමටත්, නිශ්ශබ්දතාවයේ ප්‍රඥාව අවබෝධ කරගැනීමටත් දරුවෝ ගුරුහරුකම් ලැබූහ. සතුරන්ගේ ඇසීමට හසුවන පරිදි නුවණට හුරු නැති වචනයක් පැවසීම කරණකොටගෙන එම තැනැත්තාගේ ජීවිතය පමණක් නොව ඔහුගේ සහෝදරයන් සිය ගණනාවකගේ ජීවිතවලට වුවද භයානක තත්ත්වයක් උදා වීමට ඉඩ තිබුණි. කුමක්හෙයින් ද තම ගොදුර ඩැහැ ගැනීමට මාන බලමින් යන්නාවූ වෘකයන් සේ සත්‍යතාවයේ සතුරෝ ආගමික ඇදහිල්ල සඳහා නිදහසක් ඇතැයි පැවසීමට තරම් නිර්භීත වූවන් සොයමින් අවදියෙන් සිටියෝය.GrHSin 58.2

    සත්‍යතාව උදෙසා වොල්ඩන්සිවරු තම ලෞකික සමෘද්ධිය අත්හැර දැමුවෝය. තම ආහාර වේල සොයා ගැනීම සඳහා ඔවුහු මහත් ඉවසීමෙන් යුතුව වෙහෙස මහන්සි වී වැඩ කළෝය. කඳු අතර ඇති නිම්නයන්හි වගා කළ හැකි සෑම භූමිභාගයක් ම, ඉතා ප්‍රවේශමෙන් සංවර්ධනය කරන ලදී. තැනිතලාවන් මෙන්ම නිසරු බෑවුම් ද වගා කොට අස්වනු ලබා ගන්නා ලදී. තමන්ගේ එකම උරුමය ලෙස ළමුන්ට ලැබුණු අධ්‍යාපනයේ කොටසක් වුණේ ආර්ථිකය පාලනය කරගැනීම සහ දැඩි ආත්ම දමනයක් ඇතිව සිටීමය. දෙවියන්වහන්සේ ජීවිතය සැලසුම් කර ඇත්තේ හික්මවීම පෙරදැරිව බවත් ඔවුන්ගේ වුවමනාකම් සපයාගත හැකි වන්නේ පුද්ගලික වෙහෙස මහන්සියෙන් බවත් ඔවුන්ට උගන්වා තිබුණි. එකී වැඩපිළිවෙළ වෙහෙසකාරී ය, අසීරුය. එසේ GrHSin 59.1

    වුවද, එම වැඩපිළිවෙළ වැඩදායකය, අර්ථවත්ය. පාපයට වැටුණු මිනිසාට එවැන්නක් අවශ්‍ය විය. එය වනාහි මිනිසාගේ පුහුණුව සහ වර්ධනය සඳහා දෙවියන්වහන්සේ සපයා දුන් අධ්‍යාපනයයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මෙන්ම අමාරුකම් විඳ දරා ගැනීමටත්, යෞවනයන්ට පුරුදු කළ අතර, ඔවුන්ගේ බුද්ධි වර්ධනය අතපසු කරනු ලැබුවේ නැත. ඔවුන් සතු සියලු බලය දෙවියන්වහන්සේට අයිති බවයි ඔවුන් එම කුසලතා සියල්ල උන්වහන්සේගේ සේවය සඳහා වැඩි දියුණු කර, වර්ධනය කළ යුතු බවත් ඔවුන්ට උගන්වන ලදී. පවිත්‍රතාවෙන් සහ සරල බවින් සැදී පැහැදී සිටි මේ වෝඩෝ සභාවන් අපෝස්තුළුවරුන්ගේ කාලයේ තිබූ සභාවට සමාන විය. පාප්වරයාගේ සහ නායක පූජකයන්ගේ ආධිපත්‍ය ප්‍රතික්ෂේප කළ ඔවුහු ශුද්ධ බයිබලය වනාහි අති ශ්‍රේෂ්ඨ වූ ද, වැරදිය නොහැකි වූද එකම අධිකාරී බලය බව විශ්වාස කළහ. මහත් උජාරු කමින් වැජඹුණු රෝමානු පූජකවරුන් ලෙස නොව වෝඩෝ සභාවේ දේවගැතිවරු තමන්ගේ ස්වාමියාණන්ගේ, ” සේවය ලබන්ට නොව සේවය කරන්ටය.” යන ආදර්ශය අනුගමනය කළෝය. දේවගැති වරු දෙවියන් වහන්සේගේ රැළ පෝෂණය කරමින් උන්වහන්සේගේ ශුද්ධවූ වචනයෙහි නිල් තණ බිම් කරා ද ජීවමාන ජල උල්පත් කරාද ඔවුන් යොමු කළහ. මිනිස් නිර්මාණ කලාවේ විභූතිය සහ උදාර මහිමය පෙන්නුම් කරන්නාවූ විශාල දෙව්මැදුරු තුල නමස්කාර කිරීමේ භාග්‍යය වෝඩෝ බැතිමතුන්ට හිමි නොවීය. මොවුන් නමස්කාර කළේ ඇල්පයින් නිම්නයේ කඳු සෙවනැලි යටතේය. තර්ජන එල්ල වූ කල්හි, සවන්දෙන පිණිසත් ඔවුහු ගල් බොරළු ඇති කඳු බලකොටුවල රැස් වූවෝය. එම ස්ථාන වලදී ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන්ගෙන් ලැබෙන්නා වූ සත්‍යතාවේ වදන් වලට ඇහුම්කන් දුන්හ. එම දේවගැති වරු ශුභාරංචිය දේශනා කළා පමණක් නොව ලෙඩුන් බැහැදැකීමට ද ගියෝය, දරුවන්ට ඉගැන්වූහ, වැරදි කරන්නා වූ අයට අනුශාසනා කළෝය, වැරදි අවබෝධතා තිබූ අවස්ථාවන්හිදී ඒවා විසඳීමට මහන්සි ගත්තෝය, බැතිමතුන්ට සහෝදර ප්‍රේමයෙන් බැඳී සිටීමට උපකාර කළෝය. සමාදානය පැවති කාලයන්හිදී, සාමාජිකයන් සිය කැමැත්තෙන්ම ලබාදුන් සම්මාදම් මුදල් වලින් ඔවුන්ගේ යැපීම සිදුවිය. එසේ වුවද, අවශ්‍යතාවක් ඇතිවී නම් කූඩාරම් සාදන්නාවූ පාවුල් තුමා තමන්ගේ නඩත්තුව සඳහා කළාක් මෙන් ඔවුහු ද යම්කිසි වෘත්තියක් හෝ වෙළදාමක් කිරීමෙහි යෙදුණාහ.GrHSin 59.2

    තරුණ කැල තම දේවගැතිවරුන් ගෙන් උපදෙස් ලබා ගත්තෝය. පොදු අධ්‍යාපනය සඳහා අවධානය යොමු කළ අතර බයිබලීය අධ්‍යනයට විශේෂ තැනක් හිමිවිය. ඔවුහු මතෙව්ගේ හා යොහන්ගේ සුභාරංචි දෙක හා යැවුම් පත්‍ර සමහරක්ද කටපාඩම් කළහ. ශුද්ධGrHSin 60.1

    ලියවිලි පිටපත් කිරීමට ද ඔවුහු නියැලුණාහ. සමහර අත්පිටපත්වළ සම්පූර්ණ බයිබලය ම අඩංගු වී තිබුණේය. තවත් පිටපත් වල තිබුනේ කෙටි තෝරා ගැනීම් පමණකි. ශුද්ධලියවිලි විග්‍රහ කරමින් අර්ථය විස්තර කර දීමට හැකියාව තිබූ අය විසින් ශුද්ධ ලියවිලි පාඨ සමඟ එම විග්‍රහයන් ද ඇතුළත් කරන ලදී. දෙවියන්වහන්සේට වඩා ඉහළින් උසස් කර තබා ගැනීමට වෑයම් කළ අය විසින් කාලයක් පුරා වසන් කර තිබූ සත්‍යතාවයේ නිධාන මෙසේ බැතිමතුන් කරා ලඟාවිය. ඉතා ඉවසීමෙන් යුතුව ක්‍රියා කරමින් වෙහෙස මහන්සි නොබලා සේවය කරමින් සමහර අවස්ථාවන්හිදී ගැඹුරු අඳුරු ගුහාවල ජීවත් වෙමින් මේ භක්තිවන්තයෝ පන්දම් එළි වල ආධාරයෙන් ශුද්ධ ලියවිලි පිටපත් කළහ. පාඨයෙන් පාඨය ලෙසින් පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලෙසින් ශුද්ධ ලියවිලි මෙසේ ග්‍රන්ථාරූඪ විය. පිටපත් කිරීමේ ක්‍රියාවේදය අඛණ්ඩව සිදු විය. එළිදරව් කරනු ලැබූ දෙවියන්වහන්සේගේ කැමැත්ත පවිත්‍ර රත්රන් මෙන් බැබළෙමින් තිබුණේය. ලේඛනගත කිරීමේ ක්‍රියාදාමයෙහි යෙදීමේදී මුහුණ පාන්නට වූ ගැටලු හා බාධාවන් නිසා ශුද්ධ ලියවිලි කෙතරම් දීප්තිමත්ව, පැහැදිලිව සහ බලවත්ව පවතින්නේ දැයි පෙනී ගියේ ඒ සේවයේ යෙදී සිටියා වූ අයට පමණය. ස්වර්ගීය දේවදූතයෝ මෙම විශ්වාසවන්ත සේවකයින් වටා රැකවල් කරමින් සිටියෝය.GrHSin 60.2

    සත්‍යතාවේ වචනය, බිමට හෙළා එය වැරදි ඉගැන්වීම්, මිත්‍යාදෘෂ්ටික දහම් සහ අන්‍යාගමික ව්‍යාජ ඇදහිලි ක්‍රම නැමැති කුණු කසල මගින් වසා දමන්නැයි පාප්වාදී පූජකයන්ව සහ නායකයන්ව සාතන් විසින් පොලඹවා තිබිණ. එහෙත්, අඳුර රජ කළ සමස්ත යුගය පුරාම කිසිම දූෂ්‍ය කිරීමකින් තොරව පුදුමාකාර අයුරකින් එය ආරක්ෂා කෙරිණ. දේව වචනය මත පිහිටා තිබුනේ මනුෂ්‍ය මුද්‍රාවක් නොව දෙවියන්වහන්සේගේ ම ලාංඡනයයි. ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි වූ ද සරල වූ ද අර්ථය ව්‍යාකූල කිරීමටද, එහි සාක්ෂි පරස්පර විරෝධී යැයි හුවා දැක්වීමටද මිනිසුන් උත්සාහ කර තිබේ. මුහුදු තරංග මධ්‍යයේ නෝවාගේ නැව නොසැලී තිබුණාක් මෙන් දේව වචනය ද එය විනාශ කර දැමීමට තර්ජනාත්මකව එන්නාවූ කුණාටු යටපත් කරන්නේ ය. පස් තට්ටුවට යටින් ඇති පතලේ රත්රන් සහ රිදී නිධි සැඟ වී තිබෙන්නාක් මෙන් මේ ලියවිල්ලෙහි ඇති සත්‍යයේ නිධාන එළිදරව් කර ගැනීමට හැකි වන්නේ දැඩි උනන්දුවකින් යුතුව, එහි අන්තර්ගතය නිහතමානීව යාච්ඤාවෙන් යුතුව සොයන්නා වූ අයට පමණක්ය. මානව වර්ගයාට පාඩම් පොතක් ලෙස ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේ විසින් සැලසුම් කර දී තිබේ. ළමා වියේදී ද තුරුණු සමයෙහිදීද වැඩිහිටි වයසෙහිදීද එකාකාරව මුළු කාලය පුරාම එය අධ්‍යයනය කළ යුතුය. උන්වහන්සේ තමන්වහන්සේගේGrHSin 61.1

    වචන මිනිස් සතහට ලබා දුන්නේ එය තමන්වහන්සේගේම එළිදරව් කිරීමක් ලෙසය. අවබෝධ කරගනු ලබන සෑම අලුත් සත්‍යතාවයක්ම වනාහි එහි කතුවරයාණන්ගේ තවත් චරිත ගුණාංගයක නව හෙළිදරව්වකි. තම මැවුම්කාරයාණන් සමග සමීප සබඳතාවයකට ගෙන ඊම සඳහා ද උන්වහන්සේගේ කැමැත්ත පිළිබඳව සුපැහැදිලි දැනගැන්මක් සඳහාද වූ දිව්‍ය අනුග්‍රහය ලැබූ ක්‍රමවේදයක් වන්නේ ශුද්ධලියවිලි අධ්‍යයනයයි. බයිබලය ඉගෙනීම දෙවියන්වහන්සේ සහ මිනිසා අතර ඇත්තාවූ සන්නිවේදන මාධ්‍යය වන්නේ ය. දෙවියන් වහන්සේ කෙරෙහි බියවීම ප්‍රඥාවේ පටන්ගැන්ම ලෙස වොල්ඩන්සිවරු අවධාරණය කළෝය. එසේ වුවද, ලෝකය සමග සම්බන්ධකමක් තිබීමේ වැදගත්කම ගැන ඔවුහු අන්ධ ව නොසිටියහ. මනස පුළුල් කරමින් අවබෝධ කරගැනීමේ හැකියාව කඩිනම් කිරීම සඳහා ලෝකය පිළිබඳවත්, මිනිසුන් පිළිබඳවත් ක්‍රියාශීලී දිවියක් පිළිබඳවත් දැනුමක අවශ්‍යතාව ඔවුහු අවබෝධ කර ගෙන සිටියෝය. කඳුකරයෙහි පිහිටා තිබූ ඔවුන්ගේ පාසල්වලින් සමහර තරුණයන්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශයේ හෝ ඉතාලියේ විද්‍යාපීඨ කරා යොමු කරවන ලදී. මෙම විද්‍යා පීඨ වලින් තමන්ගේ නිජ භූමි ඇල්ප්ස් කඳුකරයේ පාසැල්වලට වඩා වැඩිදුර අධ්‍යාපනයක්, චින්තනයක් සහ නිරීක්ෂණයක් ඔවුන්ට ලබාගත හැකි විය. මෙසේ යවනු ලැබූ තරුණයන් හට පරීක්ෂාවනට නැඹුරු වීමේ අවස්ථා බහුල විය. ඔවුන්ට අපරාධ දැකගත හැකි විය, සාතන්ගේ කූට නියෝජිතයන් මුණගැසීමට සිදු විය. එකී නියෝජිතයෝ ඔවුන් මත ධර්ම විරෝධී සිද්ධාන්ත සහ ඉගැන්වීම් බලෙන් පැටවීමට සහ ඉතා දරුණු මුළාවන්ට ඔවුන් හසුකර ගැනීමට වෑයම් කළහ. එහෙත්, කුඩා කළ සිට ලැබූ අධ්‍යාපනය මගින් මෙම සියලු ආපදාවන්ට මුහුණ දීමේ චරිත ශක්තියක් ඔවුන් තුළ ගොඩනගා තිබුණේ ය.GrHSin 61.2

    වෝල්ඩන්සි සිසුන් කිසියම් පාසලක අධ්‍යාපනය ලැබුවද, එතැනහිදී ඔවුන් විසින් කිසියම් කෙනෙකු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය නොතැබිය යුතු විය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළියෙල කිරීමේදී ශුද්ධ ලියවිලි කොටස් අඩංගු අත්පිටපත් සඟවා තබා ගත හැකි ලෙස එම ඇඳුම් නිර්මාණය වී තිබුණේය. ඔවුන් සතු අගනාම වස්තුව වූ ශුද්ධ ලියවිලි මාස ගණන්, අවුරුදු ගණන් වෙහෙස මහන්සිවී පිටපත් කරන ලද ඒවා විය. ඔවුහු මෙම ශුද්ධ ලියවිලි කොටස් රැගෙන ගියෝය. යම්කිසි කෙනෙක් සත්‍යතාව පිළිගැනීමට විවෘත හදවතක් ඇති බව ඔවුන්ට හැඟී ගියේ නම් එම පුද්ගලයාට ශුද්ධ ලියවිලි කොටසක් ලබා දීමට මෙම තරුණයෝ කටයුතු කළෝය. ඉතා ප්‍රවේශමින් සැකයක් ඇති නොවන ආකාරයෙන් මෙය සිදුකරන ලදී. මෙම අරමුණ පෙරදැරිව වොල්ඩන්සියාණු තරුණයෝ කුඩා කාලයේ සිටම තම මව්වරුන්ගෙන් පුහුණුව ලැබුවෝය. ඔවුහු තම වැඩ කොටස වටහා ගෙන විශ්වාසවන්තව එය ඉටු කළෝය.අධ්‍යාපනය ලබාදුන් මෙම ආයතන තුළ සත්‍ය ඇදහිල්ල උදෙසා ආත්ම දිනා ගැනීම සිදුවිය. විටින් විට සත්‍ය ඇදහිල්ලේ ප්‍රතිපත්ති මුළු පාසල පුරාම පැතිර ගියේය. ඉතා සමීප ලෙසින් විමර්ශණය කළ ද, මෙම දූෂ්‍ය ආගම් විරෝධීන් යයි කියනු ලබන්නන්ගේ සුලමුල ගැන හෝඩුවාවක් හෝ සොයාගැනීමට පාප් සමවාදී නායකයන්ට නොහැකි විය.GrHSin 62.1

    ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය වනාහි දහම් ප්‍රචාරය කිරීමේ ආත්මයකි. පුනර්ජීවය ලැබූ හදවතෙහි මුල්ම පෙළඹවීම වන්නේ තවත් අය ගැළවුම්කාරයාණන් වෙත ගෙන ඒම ය. කිතුණු බැතිමතුන් වූ වෝඩෝවරුන්ගේ ආත්මය එවැන්නක් විය.තමන්ගෙ සභාවල පමණක් සත්‍යතාව පවිත්‍රතාවයෙන් යුතුව රැකගෙන සිටීමට වඩා වැඩි යමක් දෙවියන්වහන්සේ තමන්ගෙන් බලාපොරොත්තු වන බව ඔවුන්ට හැඟී ගියේය. අඳුරෙහි සිටින්නාවූ ජනකාය අතර තමන්ගේ ආලෝකය බැබළෙන්නට හැරීමේ භාරදූර වගකීම තමන් වෙත පැවරී තිබෙන බව ඔවුන්ගේ කල්පිතය විය. රෝමය විසින් පනවා ඇති තහංචි දෙවියන්වහන්සේගේ වචනයේ බල මහිමයෙන් බිඳ දැමීමට ඔවුහු අවස්ථාවක් සෙව්වෝය. ධර්මදූත ප්‍රචාරකයන් වීම සඳහා වෝඩෝ දේවගැතිවරු පුහුණුව ලබා තිබුණේය. දේව සේවයට බැඳීමට අපේක්ෂා කරන්නා වූ සෑම අයදුම්කරුවෙක්ම පූර්ව සුදුසුකමක් ලෙස දහම් ප්‍රචාරකයෙකු වශයෙන් අත්දැකීමක් ලබා තිබීම අනිවාර්ය විය. තම ගමේ සභාවක දේවගැතිවරයකු වශයෙන් පත් වීමක් ලැබීමට පෙර එම තැනැත්තා අඩු තරමින් වසර තුනක් වත් ධර්මදූත සේවාවෙහි යෙදී සිටීම අනිවාර්ය විය. මෙම සේවය කිරීමේදී මුලසිටම ආත්ම දමනය සහ පරිත්‍යාගශීලී වීම අවශ්‍ය සුදුසුකමක් වූ අතර, මිනිසුන්ගේ ආත්ම තදින්ම පිරික්සනු ලැබූ ඒ කාලයේ දී එය දේවගැතිවරයෙකුගේ ජීවිතයට කදිම හඳුන්වා දීමක් විය. ශුද්ධවූ තනතුර සදහා ආලේපය ලැබූ තරුණයන් ඉදිරියේ දර්ශනය වූයේ ලෞකික ධන සම්පත් සහ කීර්තිය නොව දැඩි වෙහෙසකින් යුතු සේවය සහ අනතුරුදායක සිදුවීම්ය. සමහරවිටක වේද සාක්ෂිකරුවෙකු ලෙස ජීවිත පරිත්‍යාග කිරීමක්ද අවශ්‍ය වන්නට පුළුවන්කම තිබුණි. යේසුස්වහන්සේ තමන් ගෝලයන් පිටත් කර යැවූ ආකාරයෙන්ම මෙම ධර්මදූත සේවකයෝද දෙදෙනා බැගින් සේවයෙහි නිරත වූහ. තරුණ දේව සේවකයකු සමග අත්දැකීම් ඇති වැඩිහිටි සේවකයෙක් දහම් ප්‍රචාරයේ යෙදුණේ ය. තරුණ සේවකයා තම සහකාරයාගේ මගපෙන්වීම යටතේ ක්‍රියා කළේය. තරුණයාට පුහුණුව ලබා දීම වැඩිහිටියන්ගේ වගකීම විය. ඔහුගේ ගුරුහරුකම් පිළිපැදීම තරුණයාගේ යුතුකම විය. මේ දෙදෙනාම සෑම අවස්ථාවකදීම එක්ව නොසිටියහ. නමුත් නිරතුරුවම යාච්ඤාව සහ අනුශාසනා සඳහා ඔවුහු එක් වූහ මෙසේ එකිනෙකා ඇදහිල්ලෙහි ශක්තිමත් වූවෝය.GrHSin 63.1

    තමන්ගේ මෙහෙවරෙහි අරමුණ ප්‍රකාශයට පත් කිරීම වූකලී පරාජය සහතික කිරීමක් විය. එම නිසා ඔවුහු තමන්ගේ නියමිත ස්වභාවය සඟවාගෙන කටයුතු කළෝය. සෑම දේවගැතිවරයෙක් ම යම්කිසි වෙළඳාමක් හෝ වෘත්තියක් පිළිබඳව නිපුණතාවක් ලබා සිටි අතර,මේ දහම් ප්‍රචාරකයෝ ලෞකික ව්‍යාපාරයක යෙදෙන්නා වූ අයවලුන් ලෙස තම ආත්මික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළෝය. බොහෝ විට ඔවුහු වෙළඳ බඩු රැගෙන තැනින් තැන ඇවිදිමින් බඩු අලෙවිකරණ වෙළෙන්දන්ගේ වෙස් ගත්තෝ ය. ” වෙළඳාම සඳහා ඔවුහු සේද, ආභරණ සහ වෙනත් දෑ ද රැගෙන ගියෝය. පාරිභෝගිකයන්ට මෙම දේවල් මිලදී ගැනීමට නම් ඈත පිහිටි වෙළඳසැල් කරා යාමට සිදුවිය. එම නිසාම වෙළඳුන් ලෙස ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් දහම් පතුරුවන්නන් ලෙස ගෙවල් කරා ගියේ නම් ඔවුන්ව එළවා දැමීමට ඉඩ තිබුණි.” [ උපුටා ගැනීම අංක 2Wylie, b.1, Ch. 7.] පාරිභෝගිකයන් හට රත්රන් හෝ මැණික්වලට වඩා වටිනා වස්තුවක් පිළිගැන්වීමට ප්‍රඥාව ඉල්ලා ඔව්හු දෙවියන්වහන්සේට නිතරම අයැදුම් කළෝය. ශුද්ධ බයිබල් පිටපත් කිහිපයක් ඔවුන්ගේ භාරයේ සඟවා ගෙන තිබුණේය. එය සම්පූර්ණ බයිබලය හෝ එහි කොටසක් හෝ විය. සුදුසු අවස්ථාවක් උදා වූ කල්හි ඔවුහු තම පාරිභෝගිකයන්ගේ අවධානය මෙම පිටපත් කෙරෙහි යොමු කළෝ ය. දෙවියන්වහන්සේගේ වචනය කියැවීමේ ආශාව බොහෝවිට මේ මගින් පුබුදුවනු ලැබීය. ලබාගැනීමට ආශාවක් තිබූ කවරෙකු හෝ සමග ශුද්ධලියවිලි කොටසක් තබා යෑම බොහෝ වීට සිදුවිය.GrHSin 64.1

    මෙම ධර්ම දූතයන්ගේ වැඩකටයුතු ආරම්භ වුණේ තමන් දිවි ගෙවූ කඳු පාමුල පිහිටි තැනිතලා බිම් වල සහ කඳු බෑවුම්වල ය. එහෙත් ඔවුන්ගේ සේවය එම මායිම් අභිබවා ඈත පෙදෙස් කරා ද ව්‍යාප්ත විය. මේ අය පා වැසුම් භාවිතා කළේ නැත. තම ස්වාමියාණන්ගේGrHSin 64.2

    මෙන් ඔවුන්ගේ ද ඇඳුම් රළු විය, ගමන් කිරීමේදී ඒවා පැල්ලම් ගැසී තිබුණේ ය. ඔවුහු විශාල නගර මැදින් ගොස් ඈත එපිට පෙදෙස් කරා ගමන් කළෝ ය; සෑම තැනකම අගනා බීජය විසුරුවා හැරියෝය.ඔවුන්ගේ මාවතේ දෙව්මැදුරු බිහිවූ අතර වේදසාක්ෂිකරුවන්ගේ රුධිරය සත්‍යතාව වෙනුවෙන් සාක්ෂි දැරිය. විශ්වාසවන්තව තම වැඩ කොටස ඉටු කළ මෙම අයගේ ක්‍රියාදාමයන් මඟින් විශාල ආත්ම ගණනාවක අස්වැන්නක් දිනාගෙන ඇති බව දෙවියන්වහන්සේගේ දවසෙහිදී අනාවරණය වනවා ඇත. කඩතුරාවකින් වැසී නිහඬ ව දෙවියන්වහන්සේගේ වචනය කිතුණු ලොව හරහා හමා ගියේය. මිනිස් හදවත්වලින් ද ඔවුන්ගේ නිවෙස්වලින් ද ප්‍රීතිමත් පිළිගැනීමක් දේව වචනයට ලැබුණේය.GrHSin 64.3

    වොල්ඩන්සිවරුන්ට ශුද්ධලියවිලි වනාහී අතීතයේදී දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ සමඟ ක්‍රියා කළ ආකාරය පිළිබඳ වාර්තාවක් හෝ වර්තමානයේ වගකීම් සහ යුතුකම් පිළිබඳව එළිදරව් කිරීමක් පමණක් හෝ නොවීය. එහෙත් ඒවා තුළින් ඔවුන්ට කියාපෑවේ අනාගතයේදී ඇතිවන උපද්‍රව සහ තේජස පිළිබඳවය. සියල්ලෙහි අවසානය වැඩි ඈතක නොවන බව ඔවුන්ගේ විශ්වාසය විය. ඔවුන් යාච්ඤාවෙන් සහ කඳුලින් යුක්තව බයිබලය අධ්‍යයනය කළ අතර, ශුද්ධ ලියවිල්ලෙහි ඇතුළත් ප්‍රකාශන ඔවුන්ගේ හදවත් තුළට කිඳා බැස්සේය. එහි ඇතුළත් ගැලවීම උදාකරන සත්‍යතාවන් අනෙකුත් අයගේ අවධානයට යොමු කිරීම ඔවුන්ගේ යුතුකම විය. ගැලවීමේ සැලැස්ම ඉතා පැහැදිලි ආකාරයෙන් ශුද්ධ පිටුවල එළිදරව් කර ඇති බව ඔවුන් දුටු අතර, යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය රැඳවීම කරුණකොටගෙන ඔවුන්ට සැනසීම, බලා බලාපොරොත්තුව සහ සාමය සොයා ගැනීමට හැකිවිය. දහම් ආලෝකය ඔවුන්ගේ තේරුම් ගැනීම ප්‍රභාවත් කොට ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් පිනායන්ට සැලැස්වීය. පාප් සමවාදී වරදෙහි අන්ධකාරයේ ඇලී ගැලී සිටි අය මත එම ආලෝකයේ රැස් දහරා පතිත කිරීමට ඔවුහු බොහෝ සේ ආශා වූහGrHSin 64.4

    පාප්වරයාගේ සහ පූජකයාගේ මගපෙන්වීම යටතේ තමන්ගේ ආත්මවල පාපයට කමාව ලබාගැනීම සඳහා තමන්ගේ සිරුරුවලට වේදනා ගෙනදීමේ ක්‍රියාවේදයෙහි බැතිමතුන් බොහෝ දෙනා නිරර්ථක ව උත්සාහ දරමින් සිටිනවා ඔවුහු දුටුවෝය. තමාගේ පාපවලින් ගැළවීම ලබාගැනීමට තමාගේ පුණ්‍යක්‍රියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට ජනතාවට උගන්වා තිබුණි. එහි ප්‍රතිඵලයක් වුණේ මිනිසුන් තමන් කෙරෙහිම අවධානය යොමු කරගැනීමය. ඔවුන්ට පෙනී ගියේ තමාගේ පාප නිසා තමා දෙවියන්වහන්සේගේ උදහසට ලක්වී ඇති බව ය. ශරීරයට සහ ආත්මයට කෙතරම් වේදනා පමුණුවා ගත්තද, ඔවුන්ට ඒවායින් සහනයක් අත් වුණේ නැත. සිහි බුද්ධියෙන් යුක්තවූ ආත්ම මෙලෙස රෝමානු ධර්මතාවයන් මගින් බැඳ දමා තිබුණේය. තම මිතුරන් සහ නෑදෑයන් අත්හැර දැමූ බැතිමත්හු දහස් ගණනින් කන්‍යාරාම සහ තාපසාරාම කාමරවලට වැදී හුදෙකලාව දිවි ගෙවූහ. දොස් තබන්නාවූ හෘදය සාක්ෂිය සංසිඳුවීම උදෙසා දහස් ගණන් බැතිමත්හු විවිධ උපක්‍රමයන් භාවිතා කළෝය. පාපයෙන් මිදීම සඳහා ඇදහිලිවන්තයෝ නැවත නැවතත් නිරාහාරව සිටිමින් තම සිරුර කටු අතු වලින් සහ කසයෙන් කුරිරු ලෙස තලා ගනිමින්ද මධ්‍යම රාත්‍රිය තෙක් යාඥා කිරීමෙන් ද, තමන් දිවි ගෙවූ කුටියෙහි සීතලවූ ද, තෙත් ගතියෙන් යුතු වූද ගලින් වූ බිම දිගා වී පැය ගණන් ගත කරමින් ද, දිගුකාලීන වන්දනා ගමන් යාමෙන් ද තමාටම දඩුවම් හා වධහිංසා මුණුවා ගනිමින් ද ක්‍රියා කළෝ ය. හෘදය සාක්ෂියට සමාදානය ලබා ගැනීම සඳහා ඔවුහු නිරර්ථක ආයාසයක යෙදුණෝය. තමා පව්කාරයෙක් යන හැඟීමෙන් බොහෝ අය හදවතින් පීඩා විඳ දෙවියන්වහන්සේගේ පලිගැනීමේ උදහසට බියෙන් යුතුව දුක් වින්දෝය. ඔවුහු කාලයත් සමගම ඉදිරියට යමින් ආලෝකයේ කිරණක් හෝ නොලැබ බලාපොරොත්තුවක් නැතිව සොහොන් ගෙවලට බැස්සෝය.GrHSin 65.1

    ජීවනයේ රොටී ලබාගැනීම සඳහා කුසගින්නෙන් පීඩිතවූ මෙවන් ජනතාවට, දෙවියන්වහන්සේගේ පොරොන්දු තුළ නිදන්ගත කර ඇති සාමයේ පණිවිඩ විවෘත කර දෙන්නට, ගැළවීම ලැබීමේ එකම බලාපොරොත්තුව ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙත ඔවුන්ව යොමු කිරීමට, වෝල්ඩන්සිවරු බොහෝ සේ ආශා කළහ. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කැඩීමේ වරද සමනය කිරීමට යහපත් ක්‍රියාවලින් හැකිවේ යැයි යන ධර්මතාවය වැරදි සිද්ධාන්ත මත පාදක වී ඇති බවද ඒ සඳහා මිනිස් කුසලතා කෙරෙහි විශ්වාසය තැබීම වැරැදි බව වෝල්ඩන්සිවරු විශ්වාස කළෝය. ක්‍රිස්තුස්වහන්සේගේ අනන්ත ප්‍රේමය මගින් උදා කර දෙන්නාවූ පව් කමාවට එය නිග්‍රහයකි. පාපයට වැටී ගිය මිනිස් වර්ගයාට දෙවියන්වහන්සේ හා සමගි වීමට කිසිවක් කළ නොහැකි නිසා මිනිසා උදෙසා පූජාවක් ලෙස යේසුස් වහන්සේ මරණයට පත්වූ සේක. කුරුසිපත් කරනු ලැබ මරණයෙන් උත්ථාන වූ ගැලවුම්කරුවාණන්ගේ කුසලතාවයන් ක්‍රිස්තියානි ඇදහිල්ලෙහි අත්තිවාරම වන්නේ ය. ක්‍රිස්තුස්වහන්සේ මත ආත්මය රැඳී සිටීම අවශ්‍ය ය. මිනිස් සිරුරට අවයවයන් සම්බන්ධ වී තිබීම මෙන් ද අත්තක් මිදිවැල සමග සම්බන්ධ වී තිබීම මෙන්ද උන්වහන්සේ සමඟ ඇත්තා වූ සම්බන්ධතාවය යථාර්ථයක් විය යුතුය.GrHSin 66.1

    පාප්වරයාගේ සහ පූජකයන්ගේ ඉගැන්වීම් මිනිස්සුන්ට මඟපෙන්වූයේ දෙවියන්වහන්සේ ඉතා දරදඬු වූද, දොම්නසින් පිරි අඳුරු වූද, භය උපදවන්නාවූ ද චරිත ගුණාංගවලින් හෙබි කෙනෙක් ලෙස දැකීමට ය. පාපයට වැටුණු තත්ත්වයේ සිටින්නාවූ මනුෂ්‍යයාට ගැළවුම්කරුවන්ගේ අනුකම්පාව නැති බව පෙන්නුම් කරමින් එම අනුකම්පාව ලබාගැනීමට නම් පූජකයන්ගේ සහ සාන්තුවරයන්ගේ මැදිහත්වීම අවශ්‍ය බව ඔවුහු පැවසූහ. දෙවියන්වහන්සේගේ වචනය කරණ කොටගෙන තම මනස් ආලෝකමත් කරනු ලැබූ අය සානුකම්පිත ආදරයෙන් පිරී ඉතිරී ගිය ගැලවුම්කාරයාණන් වන යේසුස්ක්‍රිස්තුස් වෙතට ආත්ම යොමු කිරීමට ආශා වූහ. උන්වහන්සේ දෙඅත් විදහා ගෙන තමාගේ පාප බරද කරදර සහ වෙහෙස ගෙන දෙන්නා වූ හිරිහැරද රැගෙන තමන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කරන බව ඔව්හු දැක්වූහ. තමන්ගේ පව් කියාදෙමින් දෙවියන්වහන්සේ වෙත කෙළින්ම පැමිණ පව් කමාව සහ සමාදානය ලබාගන්නා ලෙස වූ පොරොන්දු සහ ඇරයුම් නොදකින පිණිස සාතන් විසින් දමා තිබූ බාධක ඉවතට තල්ලු කර, දැමීමට ඔවුහු මහත් ආශාවෙන් සිටියෝය.GrHSin 66.2

    වෝඩෝ මිෂනාරිවරයා මහත් උනන්දුවකින් විමර්ශනශීලි මනස්වලට සුභාරංචියේ අගනා සත්‍යතාවන් විවෘත කළේය. ඔහු ඉතා සැලකිල්ලෙන් යුතුව අත්අකුරින් ලියූ ශුද්ධලියවිලි පිටපත් ඔවුන්ට දුන්නේ ඉතා ප්‍රවේසමෙන් ය. දෙවියන්වහන්සේව පලිගන්නාවූ ද, යුක්තිය ඉටු කිරීමට බලා සිටින්නා වූද කෙනෙක් පමණක් ලෙස දර්ශනය කළා වූ ද හෘදසාක්ෂියේ බලපෑමෙන් හා පාපයෙන්ද පීඩිතවූ ආත්මයට බලාපොරොත්තුව ලබා දීම ඔහුට ඉමහත් ප්‍රීතියක් විය. වෙව්ලන තොල්වලින් ද, කඳුළු පිරී දෙඇසින්ද යුතුව බොහෝ අවස්ථාවන්හිදී ඔහු දණින් වැටී පව්කාරයාගේ එකම බලාපොරොත්තුව එළිදරව් කරන්නාවූ අගනා පොරොන්දු තම සහෝදරයන්ට කියාදුන්නේය. සත්‍යතාවයේ ආලෝකය මෙසේ බොහෝ අඳුරු මනස් තුළට කාවැදී ගියේය. ඔවුන්ගේ මනස්වලින් අඳුරු සේයා මැවූ වලාකුළු පහවී ගොස්, දෙවියන්වහන්සේගේ සුවය රැගත් ධර්මිෂ්ඨතාවේ සූර්යයාගේ කිරණ පව්කාරයාගේ හදවත තුළට වැදී බැබළුණේය. බොහෝ අවස්ථාවන්හිදී, යම් ශුද්ධ ලියවිලි කොටසක් නැවත නැවතත් කියවන ලදී. කියවනු ලැබූ කරුණු තමන්ට නියමාකාරව ශ්‍රවණය වී දැයි දැනගැනීමට ශ්‍රාවකයා ආශා වූ නිසා එම කොටස් නැවත නැවතත් කියවීමට සිදුවිය. ” උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප අපවිත්‍ර කරන්නේය.” (1යොහන් 1:7) ” මෝසේස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයා ද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය”( යොහන් 3:14:15) යන වාක්‍යයන් නැවත නැවතත් ඇසීමට ඔවුන් තුළ මහත් ආශාවක් විය.GrHSin 67.1

    රෝමය කළ ප්‍රකාශනයන් ගැන බොහෝ අය මුළාවේ වැටුණේ නැත. පව්කාරයා වෙනුවෙන් මිනිසුන් හෝ දේවදූතයන් මැදහත්කාරකම් කිරීම කොතරම් නිරර්ථකදැයි ඔවුන්ට පෙනී ගියේය.සත්‍ය වූ ආලෝකය මොවුන්ගේ සිත් තුළට ඇතුල් වූ කල්හි ඔවුහු මහත් ප්‍රීතියෙන් යුතුව මෙසේ පවසන්නට වූහ: ” ක්‍රිස්තුස්වහන්සේ මාගේ පූජකයාණන් ය, උන්වහන්සේගේ රුධිරය මාගේ පූජාවය, උන්වහන්සේගේ අල්තාරය මාගේ පාපොච්චාරණය වන්නේය.” ” ඇදහිල්ල නැතිව උන්වහන්සේව ප්‍රසන්න කරන්ට නුපුළුවන.”( හෙබ්‍රෙව්11:6) ” අපේ ගැළවීමට අවශ්‍ය වූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ”( ක්‍රියා 4:12) යනාදී පාඨයන් නිතර නිතර පවසමින් ඔව්හු යේසුස්වහන්සේගේ පුණ්‍ය ක්‍රියාවන් මත සම්පූර්ණ විශ්වාසය තබා උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටුණෝය.GrHSin 67.2

    පරීක්ෂාවට මැදි වී පීඩිතව, අසරණව සිටි සමහර අයට ගැලවුම්කාරයකුගේ ප්‍රේමය පිළිබඳ සහතිකය අවබෝධ කර ගත නොහැකි විය. මෙවන් ආලෝක කදම්භයක් තමන් මත පතිත වීම කරණකොටගෙන ඔවුන්ට ළඟා වූ සහනය අති විශාලය. තමා ස්වර්ගය වෙත ගෙන යනු ලැබී යැයි ඔවුන්ට හැඟී ගියේය. ඔවුන්ගේ දෑත් විශ්වාසයෙන් යුතුව ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී හස්තය මත තබන ලදී. ඔවුන්ගේ දෙපා, යුගයන්ගේ පර්වතය මත රඳවා තබන ලදී. මරණය ගැනවූ සියලු බිය පහ කරන ලද්දේය. තමන්ගෙ මිදුම්කරුවාණන්ගේ ශ්‍රී නාමයට ගෞරවයක් ලැබෙන්නේ නම් සිර ගෙය සහ වධක යාන්ත්‍රණය තමාට අත්වෙනවාට ඔවුහු ආශා වූවෝ ය.GrHSin 67.3

    රහසිගත ස්ථානයන්හිදී දේව වචනය විවෘත කරමින් කියවනු ලැබීය. සමහර අවස්ථාවන්හිදී එය එක් ආත්මයකට පමණක් විය. එසේම තවත් සමහර අවස්ථාවන්හිදී සත්‍ය ආලෝකය සඳහා ආශා කළ කුඩා කණ්ඩායම්වලට එය විවෘත කරන ලදී. සමහර අවස්ථාවන්හිදී මුළු රාත්‍රියම මෙලෙස ගත කරන ලදී. ශ්‍රාවක පිරිසගේ විස්මිතභාවය සහ ලැදියාව කොතරම් ප්‍රබල වීද යත්, කරුණාවේ පණිවිඩකාරයාට තම කියවීම ස්වල්ප වේලාවකට නවතා දමන ලෙස ඉල්ලීමක් කරන ලද්දේ ඇසූ කාරණා එනම්, ගැලවීමේ සුභාරංචි පණිවිඩ ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමටය. බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි වදන් පවසනු ලැබීය. ” සැබැවින් ම දෙවියන්වහන්සේ මාගේ පූජාව පිළිගනීවිද? උන්වහන්සේ මා දෙස බලා ප්‍රසන්න වේවිද? උන් වහන්සේ මට කමාව දෙයිද?” මෙම ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් කියවනු ලැබීය. ” වෙහෙස වන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.”( මතෙව් 11:28)GrHSin 68.1

    ඇදහිල්ල මේ පොරොන්දු තදින් අල්ලා ගත්තේය. එකල්හි මේ දීප්තිමත් ප්‍රතිචාරය ඇසුණේය: ” තවදුරටත් දුර බැහැර වන්දනා ගමන් යා යුතු නැත. ශුද්ධ සුරුවම් වන්දනාව සඳහා වේදනාකාරී ගමන්බිමන් උවමනා නැත.මා සිටින්නාවූ පාපිෂ්ඨ සහ අශුද්ධ ආකාරයෙන්ම මට යේසුස්වහන්සේ වෙතට පැමිණීමට පුළුවන් වන අතර පසුතැවිල්ලෙහි වූ යාඥාව උන්වහන්සේ ඉවත දමන්නේ නැත. ” ඔබේ පව් කමා කරන ලද්දේය. ඔබගේ එසේය ඔබගේම පව්වලට කමාව ලැබේ!”GrHSin 68.2

    ශුද්ධවූ ප්‍රීතියේ රැල්ලක් හදවත් පිරවීය. ප්‍රසංසා සහ තුති ගී කරණකොටගෙන යේසුස්වහන්සේගේ නාමය ඔසවනු ලැබීය. ප්‍රීතියෙන් පිරී ඉතිරී ගිය එම පුද්ගලයන් තම නිවෙස් කරා පැමිණියේ තමන් ලැබූ ආලෝකය තවත් අය වෙත ලබාදීමටය, තමන්ගේ නව අත්දැකීම හැකි අයුරින් තවත් අය සමග බෙදා ගැනීමට ය.සත්‍ය වූද, ජීවමාන වූ ද මාර්ගය තමන්ට ලැබී ඇතිබව ඔවුහු ප්‍රකාශ කර සිටියෝය. සත්‍යය උදෙසා මහත් ලැදියාවක් දැක් වූ අයගේ හදවත්වලට සෘජුවම කතාකිරීමට ශුද්ධ ලියවිල්ලෙහි වචන තුළ පුදුමාකාරවූ ද, උදාරවූද බලයක් තිබුණි. එය වනාහි දෙවියන් වහන්සේගේ හඬ ය. එය ඇසූ අයගේ හදවත් තුළ නොසැලෙන විශ්වාසයක් ජනිත කිරීමට එය සමත් විය.GrHSin 68.3

    සත්‍යතාවයේ පණිවිඩකාරයා තමාගේ ගමන යන්නට ගියේය. නිහතමානී, අවංක, අව්‍යාජ සහ මහත් ලැදිකමින් යුක්තවූ ඔහුගේ පෙනුම බොහෝ අයගේ කතාබහට මාතෘකාව විය. ඔහු ආවේ කොහෙන්ද ඔහු යන්නේ කොතැනටද කියා ඔහුට සවන් දුන් කිසිවෙක් ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. මුලදීම පුදුමයෙන් ද, පසුව කෘතඥතාවයෙන් සහ ප්‍රීතියෙන් ද ශ්‍රාවකයන් කොපමණ වශීව සිටියේද යත් දහම් ප්‍රචාරකයාගෙන් ඒ ගැන විමසීමටවත් ඔවුන්ට කල්පනා වුණේ නැත. තමන්ගේ නිවෙස් වෙත පැමිණෙන ලෙස සමහරෙක් ඔහුගෙන් ඉල්ලුම් කළ විට එම ආරාධනාවට ඔහු පිළිතුරු දුන්නේ තමා දෙවියන්වහන්සේගේ රැළෙහි නැති වූ, මුළාව ගියා වූ බැටළුවන් බැහැදැකීමට යායුතුය කියාය. ‍මෙම දහම් ප්‍රචාරකයා ස්වර්ගයෙන් පැමිණි දේවදූතයෙක් දැයි සෙනඟ ප්‍රශ්න කළෝය.GrHSin 69.1

    බොහෝ අවස්ථාවන්හිදී මෙම සත්‍යයේ පණිවිඩකරුවා නැවත දැකගැනීමට හැකිවූයේ නැත. සමහර විට ඔහු වෙනත් දේශයන් කරා යන්නට ඇත. එසේත් නැතිනම් ඔහු අප්‍රකට බිංගෙයක වැතිර සිටියා ද විය හැකිය. ඔහු සාක්ෂි දැරූ ස්ථානයක ඔහුගේ ඇට කටු දිරාපත් වෙමින් තිබීම ද සැකයෙන් බැහැර කළ නොහැකි විය. කෙසේ වුවද, ඔහු බැතිමතුන් සමග තබා ගිය වචන විනාශ කිරීමට නොහැකි විය. ඔවුහු මිනිසුන්ගේ හදවත් තුළ ඔවුන්ගේ වැඩය කරමින් සිටියෝය. මෙම ක්‍රියාදාමයෙහි ආශිර්වාද ලත් ප්‍රතිඵල දැනගැනීමට හැකිවන්නේ විනිශ්චයේදී පමණක්ය.GrHSin 69.2

    වොල්ඩන්සි මිෂනාරිවරු සාතන් ගේ රාජ්‍යය ආක්‍රමණය කරමින් සිටියහ. සිදුවෙමින් පවතින දේවල් පිළිබඳව වඩාත් පරීක්ෂාකාරී වීමට අන්ධකාරයේ බලවේග ක්‍රියාත්මක විය. සත්‍යතාවය ව්‍යාප්ත කිරීමට ගත්තා වූ සෑම වෑයමක් කෙරෙහි නපුරේ කුමාරයා විශේෂ අවධානයකින් යුතුව බලා සිටි අතර, ඔහු තම නියෝජිතයන් තුළ බියක් ජනිත කළේය. තැනින් තැන යමින් සත්‍යතාවයේ ආලෝකය පතුරුවන්නා වූ මෙම නිහතමානි දහම් ප්‍රචාරකයන් ගේ මෙහෙවරය තමන්ගේ වැඩපිළිවෙළට අනතුරුදායක බව පාප් සමවාදී නායකයෝ දුටුවෝ ය. බාධාවකින් තොරව සත්‍යතාවයේ ආලෝකය බැබළෙන්නට ඉඩ හැරියේ නම් ජනතාව වසාගෙන සිටි මිත්‍යා වැරදි දහම් නැමැති වලාකුළු සුනුවිසුනු වී යනවා ඇත. එකල්හි මිනිසුන්ගේ මනස් දෙවියන් වහන්සේ වෙත පමණක් යොමු වන අතර, රෝම ආධිපත්‍යය ‍ක්‍රම ක්‍රමයෙන් විනාශ වී යනවා ඇත.GrHSin 69.3

    පුරාණ සභාවේ ඇදහිල්ල දරමින් සිටි මෙම ජනතාවගේ පැවැත්ම පවා මිත්‍යා දහම් වැළඳගත් රෝමයට නිරන්තර සාක්ෂියක් විය. එම නිසාම, ඔවුන්ට එරෙහිව අසීමිත වෛරය එල්ලවී දරුණු පීඩා ඇති කිරීමේ වධක යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ඔවුහු යොමු වූහ. එම කණ්ඩායම සතුව තිබූ ශුද්ධ ලියවිලි තමාට භාරදීමට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ද රෝමයට දරාගත නොහැකි විය. ඔවුන්ව පොළොව මතුපිටින් අතුගා දැමීමට රෝමය තීරණය කළාය. කඳුකරයේ නිවෙස් වල විසූ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධ ව භයානක ආගමික යුද ගිනි ඇවිල යාම ආරම්භ විය. ඔවුන් යන එන තැන් වලට පරීක්ෂක සභාවේ චරපුරුෂයන් යොදවා මිනීමරු කායින් ඉදිරියේ අහිංසක ආබෙල් මැරී වැටෙන දර්ශනය නැවත නැවතත් සිදු කෙරිණි.GrHSin 70.1

    ඔවුන්ගේ සරුසාර කෙත්වතු නැවත නැවතත් පුරන් විය. ඔවුන්ගේ වාසස්ථාන සහ ආත්මික ස්ථාන පොළොවට සමතලා වී ගියේය. වරක් සරුසාර කෙත්වතු ද අහිංසක ක්‍රියාශීලී සෙනඟගේ ගෙවල්ද තිබූ තැන් දැන් කාන්තාර බවට පත්ව තිබුණේය. මහත් බඩ ගින්නෙන් පීඩිත වූ මෘගයා ලේ රස වැටීමෙන් තවත් දරුණු වන්නාක් මෙන් දුක් විඳින්නාවූ තම ගොදුර දැකීම නිසා පාප් සමවාදින්ගේ ක්‍රෝධයද වර්ධනය විය. පවිත්‍ර ඇදහිල්ල උදෙසා සාක්ෂි දැරූ මෙම පුද්ගලයන් සැඟවී සිටි ස්ථාන සොයමින් පාප් සමයවාදීහු කඳුකරය හරහා ඔවුන් ලුහුබැඳ ගියෝය. විශාල කැලෑ සහ කඳු මුදුන්වලින් ආවරණය වී තිබූ නිම්න භූමි සිසාරා රෝමානුවෝ තම බිල්ල සොයා එම බිම් තරණය කළෝය.GrHSin 70.2

    මෙම බැතිමතුන්ට විරුද්ධව සදාචාරය කඩ කිරීම පිළිබඳ චෝදනා කිසිවක් ඉදිරිපත් කරන්නට නො හැකි විය. මෙම පුද්ගලයන් වනාහි සාමකාමි, නිශ්චල ජීවිතයක් ගත කළ, ආගමික භක්තියෙන් යුතු ජන කොටසක් බව ඔවුන්ගේ සතුරෝ පවා ප්‍රකාශ කළෝය. ඔවුන්ට විරුද්ධව ගොනු කළ මූලික චෝදනාව වූයේ ඔවුන් පාප්තුමාගේ කැමැත්තට අනුව දෙවියන්වහන්සේට නමස්කාර නොකිරීමය. මේ අපරාධය නිසා සෑම ආකාර නින්දාවන්ට, නිග්‍රහයන්ට, අපහාසයන්ට මුහුණ පාන්නට ඔවුන්ට සිදුවිය. එපමණක් නොව, මිනිසුන් විසින් හෝ යක්ෂයන් විසින් හෝ නිර්මාණය කළ හැකි වධ බන්ධන මෙම බැතිමතුන් මත ක්‍රියාත්මක කරන ලදී.GrHSin 70.3

    ද්වේෂයට ලක් වූ මෙම ජන කොටස මුලිනුපුටා දැමීමට රෝමය වරක් තීරණය කළාය. කල්හි පාප්වරයා නිල ප්‍රකාශයක් කරමින් මෙම ජන කොටස ධර්ම විරෝධීන් නැතහොත් මිත්‍යා ලබ්ධිකයන් ලෙස හංවඩු ගසා ඔවුන්ව මරා දැමීමට නියෝග කළේය. වංක අය ලෙස, කිසිම වැඩක් නොකරන අය ලෙස හෝ නීතිගරුක නොවන අය ලෙස මොවුන්ට චෝදනා කරනු නොලැබූහ. ඔවුන්ට එල්ල වූ චෝදනාව නම් ඔවුන් විසින් ‍ශ්‍රද්ධාවේ සහ පවිත්‍රතාවේ පෙනීමකින් යුතුව සත්‍ය ඇඟලුම් පැළඳගෙන ” සැබෑ රැළෙහි බැටළුවන්” රවටා නොමග යැවීම ය. ” මෙම දුෂ්ඨ වූ, අශික්ෂිතවූ සතුරු ජන කොටස පාප්වරයාගේ අණසක අනුව නමස්කාර කිරීමට කැමැති වන්නේ නැතිනම් ඔවුන්ව විසකුරු සර්පයන් මෙන් පොඩි කර දැමිය යුතුය” යි පාප්වරයා නියෝග කළේය. (උපුටා ගැනීම අංක 3) මෙම අධිකාරී බලධරයාට මෙම වචන වලටම නැවත මුහුණදීමට සිදුවන බව ඔහු දැනගෙන සිටියේද? මෙම වචන ස්වර්ගයේ පොත් වල ලියනු ලබන බවත් විනිශ්චයේ දී ඔහුට විරුද්ධව මෙම වචන එල්ලවන බවත් ඔහු දැන සිටියාද? මෙවන් ක්‍රියාදාමයන් පිළිබඳව යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: ” මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහු ද ඒක කළේ මට ය.” ( මතෙව් 25:40)GrHSin 70.4

    පාප්වරයා මෙම නියමයෙන්, අණඥාවෙන් ඉල්ලා සිටියේ රෝමානු සභාවේ සෑම සභිකයෙක්ම මෙම ධර්ම විරෝධීන් විනාශ කිරීමට එක්වන ලෙස ය. මෙම බැතිමතුන්ට එරෙහිව කරන්නා වූ ආගමික යුද්ධයට බැදෙන්නා වූ අයට මහා පරිමාණයේ දීමනා පොරොන්දු විය. ” ඔවුන්ට විරුද්ධව එල්ල වන්නා වූ සියලු ආගමික චෝදනාවන්ගෙන් සහ දඬුවම් වලින් ඔවුන්ට නිදහස දානය කෙරේ. යම්කිසි අවස්ථාවක ඔවුන් දිවුරා පොරොන්දු වීමක් කර තිබේ නම්, එහි බැඳීමෙන් ඔහුව මුදා හැරේ. නීතියට පටහැනිව යමින් ඉඩමක් බලෙන් අත්පත් කරගෙන තිබේ නම් එම ඉඩමට නීත්‍යානුකූල ඔප්පුවක් ඔවුන්ට ප්‍රදානය කෙරේ. යම් ධර්ම විරෝධීන් මරා දමන්නේ නම් ඔහු විසින් කර ඇති සියලු පව්වලට කමාව ලැබේ. වෝඩෝ පාක්ෂිකයෙකුට වාසිදායක ගිවිසුමක් අත්සන් කර තිබේ නම් එම ගිවිසුම අවලංගු කරනු ලැබේ. ඔවුන්ගේ ගෙදර දොර සේවයට යමෙක් ගොස් සිටියේ නම් ඔහු වහාම එම සේවයෙන් ඉවත් කෙරේ. ඔවුන්ට කිසිම ආකාරයක උපකාරයක් කිරීම තහනම් විය. ඔවුන් සතු ඉඩම් තමන් සතු කර ගැනීමට බලය ලබා දෙන ලදී.” (උපුටා ගැනීම අංක 3 Wylie, b.16, Ch1.) මෙම සිදුවීම් පසුපස ඇත්තා වූ ආත්මය කුමක් දැයි මෙම ලියවිල්ල පැහැදිලිව පෙන්නුම් කරයි. එය මහා සර්පයාගේ, ගෙරවීමේ හඬ වන්නේ ය. ලියවිල්ලේ හඬ දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ හඬ නොවන බව සහතිකය.GrHSin 71.1

    දෙවියන් වහන්සේ විසින් දෙවා වදාරා ඇති උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රමිතියට අනුකූලව තම චරිත හැඩගස්වාගැනීමට පාප්සමවාදී නායකයෝ අකමැති වූහ. ඔවුන් කළේ තමන්ට යෝග්‍ය වන ආකාරයට ප්‍රමිතියක් සාදාගෙන එය රෝමයේ කැමැත්ත වූ බැවින් සෑම අයෙකුටම මෙම ප්‍රමිතියට කීකරු වන ලෙස බල කිරීමය. අති භයානක ඛේදජනක සිද්ධීන් ක්‍රියාත්මක විය. සිත් කම්පා කරවන දුක්මුසු සිද්ධීන් ඉතිහාසයට එකතු විය. දූෂ්‍යවූද, දේව අපහාසාත්මක ලෙස ක්‍රියා කළා වූ ද පූජකවරු සහ පාප්වරු සාතන් විසින් ඔවුන්ට අණ කළ ක්‍රියාදාමයන්හි නිරත වූහ. ඔවුන්ගේ ස්වභාවයෙහි කරුණා ගුණය ගෑවී තිබුණේවත් නැත. ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කර උන්වහන්සේගේ ගෝලයන් මරා දැමූ ආත්මය දැන් ක්‍රියාත්මකව පැවතියේ ය. තමාගේ දවසෙහිදී දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටි අය සිඳ දැමීමට ලේ පිපාසයෙන් සිටි නීරෝට මගපෙන්වූ එම ආත්මයම දෙවියන්වහන්සේ ප්‍රේම කළ ජනතාව පොළවෙන් අතුගා දැමීමට දැන් ක්‍රියාත්මක වෙමින් පැවතියේය.GrHSin 71.2

    දේව භයෙන් යුතු වූ මෙම ජනතාව මත්තට සියවස් ගණනාවක් පුරා පැමිණි හිංසා පීඩා මිදුම්කරුවාණන් හට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් දැඩි භක්තියෙන් සහ ඉවසිල්ලෙන් යුතුව විඳ දරා ගනු ලැබීය. තමන්ට විරුද්ධව ආගමික යුද්ධයක් පැවතියද, තම සගයන් අමානුෂික ලෙස මරා දමනු ලැබූව ද, අගනා සත්‍ය විසුරුවා හැරීමට මිෂනාරිවරුන් යැවීම ඔවුන් නතර කළේ නැත. ඔවුන් මරා දමන තෙක් සතුරෝ ඔවුන් ලුහු බැඳ පැමිණියෝය. ඔවුන් විසින් වපුරන ලද බීජයට ඔවුන්ගේ රුධිරය ජලය සැපයූ අතර, එය සරු අස්වැන්නක් ලබා දුන්නේ ය. ලූතර් තුමාගේ උපතට සියවස් ගණනාවකට පෙර මෙලෙස වෝල්ඩන්සිවරු දෙවියන් වහන්සේ උදෙසා සාක්ෂි දැරූහ. විවිධ රටවල විසුරුවා හරිනු ලැබ සිටී මෙම ජනතාව ප්‍රතිසංස්කරණයේ බීජ වැපිරීම සිදු කළෝය. මෙම ප්‍රතිසංස්කරණය ආරම්භ වුණේ වික්ලිෆ්තුමාගේ කාලයේදීය. ලූතර්තුමාගේ කාලයේ දී එය පුළුල් ලෙස වර්ධනය වී ගැඹුරට මුල් ඇද ස්ථාවර ලෙස පිහිටා සිටියේ ය. කාලයාගේ අවසානය කරා මෙම ප්‍රතිසංස්කරණ කර්තව්‍යය ක්‍රියාත්මක ව පැවතිය යුතුය. මෙයට සහභාගි වන්නා වූ අය ” දෙවියන්වහන්සේගේ වචනය ද යේසුස්වහන්සේගේ සාක්ෂිය ද” ( එළිදරව් 1:9) උදෙසා සියල්ල විඳදරා ගැනීමට කැමැති විය යුතුය.GrHSin 72.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents