Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    36 - එන්ට තිබෙන්නා වූ අරගලය හා එය ඇතිවීමට හේතූන්

    ස්වර්ගයේ ඇතිවූ ඒ අරගලයේ ආරම්භයේ සිටම සාතන්ගේ අදහස වන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව විනාශ කිරීමය. ඔහු මැවුම්කාරයාණන් වහන්සේ සමග අරගලයකට ඇතුල් වූයේද මේ දෙය කරන පිණිසය; ඔහුව ස්වර්ගයෙන් ඉවත් කරනු ලැබූ නමුත් ඔහු මේ පොළොව මත ඒ සටන තවදුරටත් කරගෙන යයි. ඔහු ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ මනුෂ්‍යයන් රවටමින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩකිරීමට ඔවුන් යොමු කිරීමටය. මෙය සිදුකරන්නේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ඉවත් කරනු ලබන්ට සැලැස්වීමෙන් හෝ එහි එක ප්‍රතිපත්තියක් පමණක් ඉවත් කරවීමෙන් වුවද, එහි ප්‍රතිඵලය එකාකාර වන්නේය. යමෙක් ‘එක අණක් කඩ කරන්නේ නම් ඔහු මුළු ව්‍යවස්ථාව ගැනම අප්‍රසන්නතාවය දක්වයි. ඔහුගේ අනුබලය හා ආදර්ශය ව්‍යවස්ථාව කඩකිරීමේ තත්ත්වය දක්වයි. ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වී සිටී.’ (යාකොබ් 2:10)GrHSin 678.1

    දිව්‍ය ව්‍යවස්ථාවන් අවමානයට පත්කිරීම මගින් සාතන් බයිබලයේ ධර්මයන් නරක් කර තිබේ. ඒ අනුව, තමා ශුද්ධ ලියවිලි විශ්වාස කරන බව පවසන්නා වූ දහස් ගණන් ජනයාගේ ඇදහිල්ලට වැරදි ධර්මයන් ඇතුල් වී තිබේ. සත්‍යය හා වරද අතර අවසාන පොරය පවතින්නට යන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳව ඇත්තාවූ ඒ දීර්ඝ අරගලය පිළිබඳවමය. අපි දැන් මේ පොරයට ඇතුල් වෙමින් සිටිමු. එය වනාහි මනුෂ්‍යයෙකුගේ ව්‍යවස්ථාවන් හා යෙහෝවඃවහන්සේගේ ප්‍රතිපත්ති අතර ඇති සටනය, බයිබලයේ ආගමද මානුෂික ප්‍රබන්ධයන් හා පරම්පරාගත නියෝග අනුව පවතින ආගම්ද අතර ඇති සටනය.GrHSin 678.2

    මේ අරගලයේදී සත්‍යයට හා ධර්මිෂ්ඨකමට විරුද්ධව එක්සත් වන්නා වූ කාර්යාංශ දැනටමත් ක්‍රියාත්මකව සිටිති. පීඩාවන් හා ලේ ගැලීම් මගින් මිලයක් ගෙවමින් අපට දී තිබෙන දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ වචනය අගය කරනු ලබන්නේ නැත. සියලු දෙනාටම බයිබලය ලබාගැනීමට පුළුවන; එහෙත් එය තමාගේ ජීවිතයේ මාර්ගෝපදේශකය හැටියට පිළිගන් ස්වල්ප දෙනෙක් පමණය. අදේවදෘෂ්ටිය පුදුමාකාර ප්‍රමාණයකින් පවතින්නේ ලෝකයේ පමණක් නොවේ; සභාව තුළද එය පවතියි. බොහෝ අය ක්‍රිස්තියානි ඇදහිල්ලේ ප්‍රධාන ගුණාංග වන දේව ධර්මයන් පිළිනොගන්නා තත්ත්වයකට පැමිණ සිටිති. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ දෙනෙක් මැවීම ගැනද, මනුෂ්‍යයා පාපයට වැටීම ගැනද, සමගි කිරීම ගැනද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ස්ථිරතාවය ගැනද ලේඛකයන් දේවානුභාවයෙන් ලියා තිබෙන කරුණු සම්පුර්ණ ලෙස හෝ අඩ වශයෙන් එපා කරති. තමාගේම ප්‍රඥාව හා නිදහස් ආකල්පයන් ගැන උදාරම් වන්නාවූ දහස් ගණන් ජනයා සලකන්නේ බයිබලය කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තැබීම දුර්වල මනසක ප්‍රකාශනයක් බවය. ශුද්ධ ලියවිල්ලට විරුද්ධ වෙමින් එහි ඇත්තා වූ වැදගත් සත්‍යයන් වෙනස් අන්දමකට විස්තර කර දක්වීම උසස් හැකියාවන් දැක්වීමක් වන්නේ යයි ඔහු කල්පනා කරති. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් කරනු ලැබ තිබෙන්නේ යයිද නැතහොත් එය අවලංගු කර තිබෙන්නේ යයිද බොහෝ දේවගැතිවරු තමාගේ සෙනඟට උගන්වති; එසේම, බොහෝ ගුරුවරු තම සිසුන්ටද ඒ අන්දමට උගන්වනි. ව්‍යවස්ථාවේ නියමයන් තවදුරටත් පවත්වනු ලැබිය යුතු යයිද අප විසින් ඒවාට කීකරු විය යුතු යයිද කල්පනා කරන්නා වූ අය අවමානයට හා අපහාසයට පමුණුවනු ලැබිය යුතු යයි ඔහු කල්පනා කරති.GrHSin 678.3

    සත්‍යය එපා කිරීමෙන් මනුෂ්‍යයෝ සත්‍යයේ කර්තෘවරයාණන් එපා කරති. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පාගා දැමීමෙන් ඔව්හු ව්‍යවස්ථාදායකයාණන්ගේ බලය එපා කරති. ලී වලින් හෝ ගල් වලින් රූපයක් සාදාගන්නා අන්දමටම, වැරදි මතයන් හා බොරු ධර්මයන් තමාට රූපයක් කරගැනීමද පහසුය. දෙවියන්වහන්සේගේ ගුණාංග වරදවා දක්වමින් සාතන් මනුෂ්‍යයන්ට යොමු කරන්නේ උන්වහන්සේගේ චරිතය වරදවා වටහා ගැනීමටය. බොහෝ අය තමාගේ අදහස් අනුව මවාගත් රූපයක් යොහෝවඃවහන්සේගේ ස්ථානයට පමුණුවා ගනිති. ඒ අතර, දෙවියන්වහන්සේගේ වචනයෙන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළින්ද, මවන ලද දේවලින්ද දක්වනු ලබන ජීවමාන දෙවියන් හට නමස්කාර කරන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණය. දහස් ගණන් ජනයා දෙවියන්වහන්සේ විසින් මවන ලද දේවල් තමාගේ දෙවියන් කරගනිමින් ඒ සොබාදහම මැවූ උන්වහන්සේව එපා කරති. එළියාගේ කාලයේදී පැරණි ඉශ්‍රායෙල්වරුන් අතර රූප වන්දනාව පැවතුණා වූ අන්දමටම වර්තමානයේදිද, රූප වන්දනාවේ වෙනස් ආකාරයකින් වුවද ක්‍රිස්තියානි ලෝකයේ පවතියි. තමා ප්‍රඥාවන්තයන් යයි කියාගන්නාවූ අය අතරද, කාව්‍යක්කාරයන්, දේශපාලනඥයන් හා ලේඛකයන් අතරද, අනේක විලාසිතාවන්ට යොමු වූ උසස් පෙළේ මනුෂ්‍යයන් අතරද දෙවියන්වහන්සේගේ ස්ථානය ගන්නේ ෆීනීසියාවේ ඉරු දෙවියා වූ බාල්ට සමාන වන්නාවූ දේවල්ය.GrHSin 679.1

    දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව තවදුරටත් මනුෂ්‍යයන් කෙරේ බලපාන්නේ නැත යන අදහස බොහෝ වේගයෙන් පිළිගනු ලබන නවීන ධර්මයකි. ක්‍රිස්තියානි ලෝකය පිළිගන්නා වූ මේ අදහස ස්වර්ගීය බලයට කෙළින්ම විරුද්ධව පවතියි. එය මනුෂ්‍ය කල්පනාවේ මගපෙන්වීමටද විරුද්ධය; එයින් ඇතිවන විපාකද විනාශකාරීය. සෑම ජාතියකටම අණ පනත් තිබේ; ඒවාට ගරු කරමින් ඒවාට කීකරු වීම අවශ්‍යය. ඒවා නොමැතිව කිසිම රාජ්‍යයකට පවතින්නට නුපුළුවන. අහස පොළොව මැවූ තැනැන්වහන්සේ තමන් වහන්සේ විසින් මවන්ට යෙදුණාවූ මනුෂ්‍යයන් පාලනය කරන පිණිස අණ පනත් ක්‍රියාත්මක නොකරන සේකැයි සිතා ගැනීමට පමණවත් අපට පුළුවන්ද? දේශය පාලනය කරන පිණිසද ජනවාසීන්ගේ අයිතිවාසිකම් රැකවරණය කරන පිණිස ද පිහිටුවන ලද අණ පනත් පැවැත්වීම අනවශ්‍ය යයි සුප්‍රකට ඈමතිවරුන් පවසනවා යයි සිතන්න. ඒවා මනුෂ්‍යයන්ගේ නිදහසට බාධා කරන බැවින් ඒවාට කීකරුවීම අනවශ්‍ය යයි ඔවුන් පවසනවා යයි සිතන්න. එබඳු අයට කොපමණ දුරට එසේ කිරීමට ඉඩ දෙනු ලබනවා ඇද්ද? එහෙත්, දේශයේ හා ජාතියේ අණ පනත් නොතකා හැරීම සියළු ආණ්ඩු ක්‍රමයන් හි පදනම වන්නාවූ දිව්‍ය ප්‍රතිපත්ති පාගා දැමීමට වඩා මහත් චරදක්ද?GrHSin 680.1

    ලෝකයේ ජාතීන්ගේ අණ පනත් අවලංගු කරනු ලැබ මනුෂ්‍යයන්ට තමා කැමති අන්දමට ක්‍රියාකරන්ට ඉඩදීම වැරදිය. එහෙත් මේ මුළු විශ්වයේම ආණ්ඩුකාරයාණන් වන තැනැන්වහන්සේට, වරදකරුවන් වරදට පත්කිරීමටද, කීකරු වන්නන් ධර්මිෂ්ඨ යයි ගණන් ගැනීමටද අණ පනත් නොදී ලෝකයා අත්හැර දැමීම ඊට වඩා කොපමණ නුසුදුසුය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අවලංගු කිරීමේ ප්‍රතිඵල දැනගැනීමට අපි කැමැත්තෙමුද? මෙය අත්හදා බලා තිබේ. ප්‍රංශයෙහි අදේවදෘෂ්ටිය පාලන බලය ඇති වූ විට පැවති දර්ශන ඉතා භයානක විය. දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නාවූ අණ පනත් ඉවත දැමීම වනාහි ඉතාම දරුණු කෲර නායකයන්ගේ පාලනය පිළිගැනීම බව එවිට ලෝකයට ප්‍රකාශ විය. ධර්මිෂ්ඨකමෙහි ප්‍රතිපත්ති ඉවත දමූ විට නපුරේ කුමාරයාට තමාගේ බලය ලෝකයෙහි පිහිටුවීමට මාර්ගය විවෘත වෙයි.GrHSin 680.2

    දිව්‍ය ප්‍රතිපත්ති ඉවත දැමු විට පාපයේ පාපතර භාවය තවදුරටත් පෙනී යන්නේ නැත; එවිට ධර්මිෂ්ඨකම ගැන ආශාවක් ඇතිවන්නේද නැත. දෙවියන්වහන්සේගේ පාලනයට යටත් වීමට කැමති නොවන්නාවූ අය තමාවම පාලනය කරගැනීමට සුදුස්සන් නොවෙති. ළමයි හා යෞවනයෝ ස්වභාවයෙන්ම , පාලනය කරනු ලැබීම ගැන නොඉවසිලිමත් වෙති; වැඩිහිටියන් විනාශකාරී ඉගැන්වීම් ඉදිරිපත් කරන විට ඔවුන්ගේ සිත් තුළ යටත් නොවීමේ ස්වභාවයක් ඇතිවෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ දුසිරිතට යොමු සමාජයක් ඇතිවීමය. දෙවියන්වහන්සේගේ අණ පනත්වලට කීකරු වන්නාවූ අයට නිග්‍රහ කරමින් ජන සමූහයෝ සාතන්ගේ රැවටිලිකාරකම් උනන්දුවෙන් පිළිගනිති. ඔහු තෘෂ්ණාවන්ට ඉඩ දෙමින් අන්‍යජාතිකයන් මත දිව්‍ය විනිශ්චය පමුණුවනු ලැබූ පාපයන්හි යෙදී සිටිති.GrHSin 680.3

    දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවත් සුළු කිරීමට උගන්වන්නාවූ අය අකීකරුකම වපුරති. එසේ ඔවුන් අකීකරුකමේ අස්වැන්නක් නෙළා ගන්නවාද ඇත. දිව්‍ය ව්‍යවස්ථාවන් මගින් තහනම් කර ඇති දේවල් ගැන නොසැලකිලිමත් වූ විට මනුෂ්‍යයන්ගේ නීති ගැනද නොසැලකිල්ලක් දක්වනු ලබනවා ඇත. දෙවියන්වහන්සේ වංචාකාර පළපුරුදු ද, අන් සතු දේවලට ආශාවීමද, බොරු කීමද, රැවටිලිකාරකමද තහනම් කරන බැවින් මනුෂ්‍යයෝ ඒ අණ පනත් පාගා දමන්නේ ඒවා තමාගේ සඵලයට බාධාවක් වූවා සේය; නමුත් මේ ප්‍රතිපත්ති ඉවත් කිරීමෙන් ඇතිවන්නේ ඔවුන් බලාපොරොත්තු නොවන අන්දමේ ප්‍රතිඵලය. ව්‍යවස්ථාව මනුෂ්‍යයන් කෙරෙහි බලපාන්නේ නැත්නම් ඔවුන් ව්‍යවස්ථාවන් කඩකිරීමට බිය විය යුත්තේ මොන හේතුවක් නිසාද? එවිට ඉඩකඩම් ආරක්ෂ සහිත වන්නේ නැත; මනුෂ්‍යයන් ප්‍රචණ්ඩකාරිත්වයන් තම අසල්වාසීන්ගේ සම්පත්ති උදුරා ගන්නවා ඇත; එවිට වඩාත් ශක්තිමත් අය ඉතාම පොහොසත් අයවල් වෙනවා ඇත. ජීවිතයට පවා ගරු කරනු ලබන්නේ නැත. එවිට පවුල රැකවරණය කරන පිණිස විවාහයේ පොරොන්දු ආරක්ෂක පවුරක් නොවෙනවා ඇත. බලයට පත් තැනැත්තා කැමති වුවහොත් ඔහු ප්‍රචණ්ඩකාරිත්වයෙන් තම අසල්වැසියාගේ බිරිඳ පැහැර ගන්නවා ඇත. සතරවන ආඥාව සමග පස්වන ආඥාවද ඉවත දමනු ලබනවා ඇත. තම දෙමාපියන් මරා දැමීමෙන් තමාගේ අපවිත්‍ර සිත්වල ආශාවන් සපුරා ගැනීමට තමාට පුළුවන් වන්නේ නම් දරුවෝ එසේ කිරීමට පසුබට නොවෙනවා ඇත. හොඳ ශිෂ්ටාචාරයක් ඇත්තාවූ ලෝකය සොරුන්ගේද මිනී මරන්නන්ගේද ගුහාවක් වෙනවා ඇත. එට සාමය, විවේකය හා ප්‍රීතිය පොළොවෙන් ඉවත් වෙනවා ඇත.GrHSin 681.1

    මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන්ට කීකරුවීමෙන් නිදහස් කරනු ලැබ සිටින්නේය යන අදහස මගින් සුචරිතානුකුළ යුතුකම් කිරීමේ බලය දැනටමත් දුර්වල වී තිබේ; එමගින් ලෝකය මත පාපයේ දොරටු විවෘත වී තිබේ. නීති විරෝධි භාවය, හික්මවීමෙන් තොර ජීවිත ගතකිරීම, අපිරිසිදු ජීවිත ගතකිරීම යනාදිය අප මතට පතිත වන්නේ ජලගැල්මක් හා සමානවය. සාතන් පවුල තුළ ක්‍රියා කරයි. නාමික ක්‍රිස්තියානි නිවෙස්වල පවා ඔහුගේ ධජය ළෙල දෙයි. ඊර්ෂ්‍යාව, නරක අදහස්, වංචාකාරකම, ඔවුනොවුන්ගෙන් වෙන්වීම, අන්‍යයන් හා සමාන වීමට ඇති ආශාව, දබර, ශුද්ධවූ විශ්වාසයන් පාවා දීම්, තෘෂ්ණාවන්ට ඇබ්බැහි වීම යනාදිය පවතියි. සමාජ ජීවිතයේ පදනම. හා රාමුව විය යුතු ආගමික ප්‍රතිපත්ති හා ධර්මයන් ඉමහත් අස්ථිරතාවයකින් සලකනු ලබන බැවින් ඒවා ඉක්මණින් විනාශ කරනු ලබන බව පෙනී යයි. ඉතාම අධම අපරාධකරුවෝ ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් නිසා සිරගෙයි දමනු ලැබූ විට ඔවුන්ට දීමනාවන් හා සැලකීම් දෙනු ලබන්නේ ඔවුන් ඉමහත් ශ්‍රේෂ්ඨත්වයක් ලැබුවා සේය. ඔවුන්ගේ චරිතයන්ට හා අපරාධයන්ට සුප්‍රසිද්ධ භාවය දෙනු ලැබේ. මුද්‍රණාලයන් ඔවුන්ගේ වැරදි සවිස්තරව ඉදිරිපත් කිරීමෙන් රැවටිලිකාරකම්, සොරකමේ හා මිනීමැරුම් යනාදියට යොමු වීමට අන්‍යයන් පොළඹවනු ලැබේ. සාතන් තමාගේ විනාශකාරී උපක්‍රමයන්ගේ සඵලත්වය ගැන ප්‍රීතියට පත්වෙයි. නපුර කිරීමට ඇදී යාමද, ජීවිත විනාශ කිරීමේ යොමුවද, පමණ දැන ක්‍රියාකිරීමෙන් තොරව ජීවත් වීමද, සෑම අන්දමකම වැරදි වලට අනේක ප්‍රමාණයන්ට යොමු වීමද ලෝකයෙහි බහුල වීම නිසා, නපුරේ වර්ධනය නැවැත්වීමට කුමක් කරනු ලැබිය යුතු දැයි විමසීමට දේවභය ඇති මනුෂ්‍යයන් තුළ පිබිදීමක් ඇති විය යුතුය.GrHSin 681.2

    යුක්තිය ඉටුකිරීමට නියමිත උසාවිද නරක් වී තිබේ. ආණ්ඩුකාරයෝ ලාභ ලබාගැනීමේ ආශාවෙන්ද ශාරීරික තෘෂ්ණාවන් සපුරා ගැනීමේ ආශාවෙන්ද පොළඹවනු ලබති. පමණ දැන ජීවත් නොවීම මගින් බොහෝ දෙනාගේ සිත් වියවුල් වි තිබේ. එහෙයින් ඔවුන් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සාතන්ට පුළුවන. ජුරි සභාවේ සභිකයෝ අල්ලසට අසුවි රැවටිලිකාර නොනිසි අන්දමින් ක්‍රියා කරති. ව්‍යවස්ථාව මෙහෙය වන්නන් අතර බීමත්කම, විනෝදකාමිත්වය, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, අනේකාකාර වංචාකාරකම් යනාදියද බහුලව පවතියි. ” යුක්තිය පසට හරවා දමනු ලැබීය, ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම විථියේ වැටුණේය, අවංකකමට ඇතුල් වෙන්ට බැරිය.” (යෙසායා 59:14)GrHSin 682.1

    රෝමයේ ආධිපත්‍යය යටතේ ආත්මික අන්ධකාරය හා පාපතර භාවය පැවතුණේ ඔවුන් ශුද්ධ ලියවිල්ල යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්ය. නමුත් ආගමික නිදහස පවතින මේ යුගයේ දී අවිශ්වාසවන්තකම පැතිර යාමද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එපා කිරිමද එමගින් ඇතීවන දූෂණයද ශුභාරංචි ආලෝකය බබළන්නා වූ ස්ථානවල පවතින්නේද? ශුභාරංචිය ලැබීම වැලැක්වීමෙන් ලෝකය තමාගේ පාලනයට යටත් කරගැනීමට සාතන්ට නුපුළුවන් බැවින් ඔහු තමාගේ අදහස සපුරාගන්නා පිණිස වෙනත් ක්‍රම භාවිතා කරයි. බයිබලයම විනාශ කර දැමීමෙන් තරමටම, බයිබලය කෙරෙහි ඇති විශ්වාසය විනාශ කර දැමීමෙන් ද ඔහුගේ අදහස සම්පූර්ණ වෙයි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීම අනවශ්‍යය යන විශ්වාසය හඳුන්වාදීම කරණකොටගෙන ඔහු පව් කිරීමට මනුෂ්‍යයන් යොමු කරන්නේ ඔවුන් එහි ප්‍රතිපත්ති නොදැන සිටියා සේය. අතීතයේදී මෙම වර්තමානයේදී ද ඔහු තමාගේ අදහස් සම්පුර්ණ කරන පිණිස සභාවන් තුළින් ක්‍රියා කරයි. අද පවතින ආගමික සංවිධාන, ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි ලෙස ඉදිරිපත් කර තිබෙන ජනප්‍රිය නොවන්නාවූ සත්‍යයට සවන් දීමට අකමැති වෙති. ඒවාට විරුද්ධ වී ක්‍රියාකරන පිණිස ඔහු ඒවාට වෙනත් අර්ථයන් පවරමින්, අදෘෂ්ටියේ බීජ පතුරුවන්නාවූ කවියක් ඉදිරිපත් කරති. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම අමරණීය බවටද මරණින් පසු මනුෂ්‍යයා සිහි කල්පනාවෙන් යුක්ත බවටද පාප් සභාව ඉදිරිපත් කරන්නා වූ වැරදි මතයට ඔව්හු එල්බ ගෙන සිටිති. මළාවූ මනුෂ්‍යයන් හා සබඳතාවය පැවැත්වීම පිළිබඳව ඇති රැවටිලිකාර ඉගැන්වීමට විරුද්ධව ඇති එකම රැකවරණය නොතකා හැරීමට ඔවුහු මෙසේ යොමු වෙති. සදාකාලික වද විඳීමක් ගැන ඇති අදහස නිසා බොහෝ අය බයිබලය විශ්වාස කිරීමෙන් වැලකී සිටිති. සතරවන ආඥාවේ අවශ්‍යතාවයන් මනුෂ්‍යයන්ට ඉදිරිපත් කරනු ලබන විට, සත්වන දින සබන් පැවැත්වීම එයට ඇතුළත් වන බව ඔහු දනිති. ඔවුන් සපුරාලීමට අකමැති වන්නාවූ මේ යුතුකමින් නිදහස් වන පිණිස ජනප්‍රිය ගුරුවරුන් ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව තවදුරටත් මනුෂ්‍යයන් කෙරෙහි බලපාන්නේ නැති බවය. මෙසේ ඔව්හු ව්‍යවස්ථාවද සබත් දවසද එපා කරති. සබත් දවස වෙනස් කරනු ලැබුවේය යන අදහස ප්‍රචාරය වන විට, සතරවන ආඥාවේ අවශ්‍යතාවයන් එපා කරන පිණීස දිව්‍ය ව්‍යවස්ථාව එපාකිරීම ලොව පුරා පැතිරී යනවා ඇත. ආගමික නායකයන්ගේ ඉගැන්වීම් මගින් අදේවදෘෂ්ටියටද, මළවුන් සමග සබඳතාවය පැවැත්වීමටද, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කිරීමටද දොරවල් විවෘත වී තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ පවතින පාපතර භාවය පිළිබඳ වගකීම මේ නායකයන් සතුය.GrHSin 682.2

    ඒ අතරම, මේ නායකයන්ම පවසන්නේ ලෝකයේ පාපතර භාවය වේගයෙන් පැතිරෙන්නේ ක්‍රිස්තියානි සබත’ යනුවෙන් හඳුන්වන සබත් දවස නොපැවැත්වීම නිසා බවය. ඉරිදා සබත් දවස වේශයෙන් පැවැත්වීම කරණකොටගෙන සමාජයේ සුචරිතානුකූල තත්ත්වය දියුණු වෙනවා ඇතැයි ඔව්හු පවසති. සැබෑ සබත් දවස පිළිබඳ ධර්මය ඉතාම වැඩියෙන් ප්‍රචාරය කරනු ලැබ තිබෙන අමෙරිකාවෙහි මේ කාරණය බොහෝ සෙයින් ඉදිරිපත් කරනු ලැබේ. සුචරිතානුකූල ප්‍රතිසංස්කරණය පිළිබඳව ඉතාම වැදගත් ප්‍රසිද්ධ ඉගැන්වීමක් වන අමද්‍යප සේවය නිතරම ඉරිදා සබන් දවස වශයෙන් පැවැත්වීමේ සංවිධානය සමග ඉතා කිට්ටුවෙන් ක්‍රියා කරයි. අමද්‍යප සේවය ගැන උගන්වන්නා වූ අය පවසන්නේ තමා සමාජයේ යහපත සඳහා ඉතාම වැඩියෙන් ක්‍රියාකරන බවය. ඔවුන් හා එක්සන් වීමට කැමති නොවන්නාවූ අය සලකනු ලබන්නේ අමද්‍යප සේවයේ හා ප්‍රතිසංස්කරණය සතුරන් හැටියටය. නමුත් වැරදි අදහසක් පිහිටුවීමට ක්‍රියාකරන්නාවූ සංවිධානයක් යහපත් සේවයකට සම්බන්ධවීම නිසා වුවද එය වැරදි අදහස ස්ථිර කිරීමට තර්කයක් වන්නේ නැත. යම් විෂ ද්‍රව්‍යයක් හොඳ ආහාරයක් හා සම්බන්ධ කිරීමෙන් අපි ඒ විෂ ද්‍රව්‍යය සඟවනවා වන්නට පුළුවන. නමුත් එමගින් එහි ස්වභාවය වෙනස් කිරීමට අපට නුපුළුවන. අනික් අතට, මනුෂ්‍යයාගේ නොදැනුවත්කමින්ම එය පිළිගනු ලැබීමට පුළුවන් බැවින් එය වඩාත් අන්තරාදායක වෙයි. වැරදි ධර්මයක් පිළිගනු ලබන පිණිස එය සත්‍යයන් වන කාරණා සමග සෑහෙන ප්‍රමාණයකට සම්බන්ධ කිරීම සාතන්ගේ උපක්‍රමයකි. ඉරිදා පැවැත්වීම් ප්‍රචාරය කරන සංවිධානය, බයිබලයට එකඟ වන්නාවූ ද, මනුෂ්‍යයන්ට අවශ්‍ය වන්නා වූද ප්‍රතිසංස්කරණයන් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් ඒවා සමගම, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධ වන්නා වූ අවශ්‍යතාවයන් පවතින විට දෙවියන්වහන්සේගේ සේවකයන්ට ඔවුන් සමග එක්සත් වීමට නුපුළුවන. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් පවත්වන පිණිස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පසෙක දමීම ගැන ඔවුන්ව කිසිසේත් ධර්මිෂ්ඨ කරනු ලැබීමට නුපුළුවන.GrHSin 683.1

    මනුෂ්‍යයා අමරණීයය යන ඉගැන්වීම හා ඉරිදා ශුද්ධ දවසය යන ඉගැන්වීම මගින් සාතන් මනුෂ්‍යයන්ව තමාගේ රැවටීම් වලට යටත් කරගන්නවා ඇත. මේ පළමුවන ඉගැන්වීම මගින් මළවුන් සමග සබඳතාවය පැවැත් විමට පදනමක් ඇතිවන අතර, ඒ දෙවන ඉගැන්වීම මගින් මනුෂ්‍යයා රෝමානු ආධිපත්‍යයේ සානුකම්පාව සමග සබඳතාවයක් ඇති කරගනියි. අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රොතස්තන්තවරු මළවුන් සමග සබඳතාවය පැවැත්වීම යන අදහස අල්වා ගැනීමට ඉතා උනන්දුවෙන් තම අන් දිගු කරනවා ඇත. රෝමානු බලධරය සමග අත්වැල් බැඳගන්නා පිණිස ඔහු, ඔවුන් ද තමාද අතර ඇති විවරය හරහා තම අත් දිගු කරනවා ඇත. මෙයාකාරයෙන් ඇතිවන ත්‍රිවිධ සබඳතාවය අනුව මේ රට හෘදය සාක්ෂියේ අයිතිවාසිකම් පාගා දැමිමට රෝමය අනුගමනය කරනවා ඇත.GrHSin 684.1

    මළවුන් සමග සබඳතාවය පෑවෑත්වීම, අද දවසේ ඇත්තාවූ නාමික ක්‍රිස්තු භක්තියට බොහෝ සේ ඇතුළත්ව තිබෙන බැවින් මනුෂ්‍යයන් රවටමින් ඔවුන් තම උගුලට අසුකරගැනීමට සාතන්ට ඇති බලය ඉමහත්ය. සාතන් මේ නවීන ක්‍රමයට හැඩ ගැසී සිටියි. ඔහු ආලෝකයේ දුතයෙකුගේ වෙස් ගෙන දර්ශනය වීමට සූදානම්ය. මළවුන් හා සබඳතාවය පැවැත්වීම මගින් හාස්කම් කරනු ලබනවා ඇත, රෝගීන් සුව කරනු ලබනවා ඇත, එපා කළ නොහැකි ආශ්චර්යයන් සිදුකරනු ලබනවා ඇත. තමා බයිබලය විශ්වාස කරන බව පවසමින් ඒ ආත්මයන් සභාවේ සංවිධානයන්ට ගරුත්වය දක්වන විට, ඔවුන් දිව්‍ය බලයෙන් ක්‍රියා කරන්නන් හැටියට පිළිගනු ලබනවා ඇත.GrHSin 684.2

    නාමික ක්‍රිස්තු භක්තිකයන් හා දේව භක්තිකමින් තොර අයවලුන් අතර වෙනස හඳුනාගැනීමට පවා නුපුළුවන් තරම්ය. සභා සාමාජිකයෝ ලෝකයා ආශාකරන දේවලට ආශා වෙමින් ඔවුන් හා සම්බන්ධ වීමට සුදානම්ව සිටිති. ඔවුන් සියල්ලන් ඒකත්වයකට පමුණුවමින් මළවුන් හා සබඳතාවය පැවැත්විමට නොහොත් භූත බන්ධනය තුළට ඔවුන් සියල්ලන් ඇතුළත් කරගැනීම සාතන්ගේ තීරණය වෙයි. හාස්කම් කරනු ලැබීම සැබෑ සභාවක ලක්ෂණයක් යයි පවසන පාප් සභිකයෝ මේ හාස්කම් කිරීමේ බලයෙන් පහසුවෙන් රවටනු ලබනවා ඇත. සත්‍යතාවයේ පළිහ ඉවත් කරන ප්‍රොතෙස්තන්තවරුද රවටනු ලබනවා ඇත. පාප් සහිකයෝ ද, ප්‍රොතැස්තන්තවරුද, ලෞකික ජීවිත ගතකරන මනුෂ්‍යයෝද බලයෙන් තොරවූ නාමික දේව භක්තිකමක් පිළිගන්නවා ඇත. මෙය ලෝකයාගෙ හැරීමට ද, බොහෝ කාලයක සිට බලාපොරොත්තු වන දහසක් අවුරුදු කාලයේ ආරම්භයටද ඉතා අනගි සංවිධානයක් වන්නේ යයි ඔවුන් කල්පනා කරනවා ඇත.GrHSin 685.1

    මේ භූත විද්‍යාව මගින් සාතන් දක්වන්න යන්නේ ඔහු මනුෂ්‍ය ජාතියට උපකාරයක් වන බවය. එමගින් ඔහු රෝගීන් සුවකරමින්, අලුත්වූ ද වඩා උසස්වූද ආගමික ඇදහිල්ලක් ඉදිරිපත් කරන බව පෙන්වනවා ඇත. නමුත් ඒ අතරම ඔහු විනාශකයෙක් හැටියටද ක්‍රියාකරනවා ඇත. ඔහුගේ පරීක්ෂාවන් මගින් මහත් ජනකායක් විනාශයට යොමු කරනු ලබති. පමණ දැන ක්‍රියා නොකිරීම මගින් කල්පනාකාරිත්වය ඉවත් කරනු ලැබේ. ශාරීරික තෘෂ්ණාවන්ට යොමුවීම, දබරය, හා ලේ වැගිරීම ඇති වෙයි. යුධ ඇතිවීම ගැන සාතන් ප්‍රීති වෙයි; කුමක්හෙයින්ද එමගින් මනුෂ්‍යයාගේ ඉතා අඩුම තෘෂ්ණාවන් පුබුදුවනු ලැබේ. එවිට, නපුරට හා ලේ වැගිරීමට යොමුවන ඔහුගේ ගොදුර සදාකාලික විනාශයට යොමු කරනු ලබයි. ජාතීන් තුළ, ඔවුනොවුන් සමග සටනේ යෙදීමට පෙළඹීමක් ඇතිකිරීම ඔහුගේ අදහසය; කුමක් හෙයින්ද එමගින් ඔහුට, මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ දවසට සූදානම් වීමෙන් ඉවත්කර ඔවුන්ගේ කල්පනාව වෙන අතකට යොමු කිරීමට පුළුවන.GrHSin 685.2

    සුදානම් රහිත මනුෂ්‍යයන් තමාගේ අස්වැන්න වන අතර ඔවුන් එක්කර ගන්නා පිණිස සාතන් ලෝකයේ අංගයන් තුළින් ක්‍රියා කරයි. සොබාදහමේ රසායනාගාරයන් හොඳාකාර වටහාගෙන තිබෙන්නා වූ ඔහු දෙවියන්වහන්සේ තමාට ඉඩ දෙන ප්‍රමාණයට සොබාදහමේ බලයන් පාවිච්චි කරයි. යෝබ්ට පීඩා කිරීමට ඔහුට අවසර දෙනු ලැබූ විට ඔහු කරදරයක් පාසා කරදරයක් පමුණුවමින් ඔහුගේ ගවයද, බැටළු රැළවල්ද, සේවකයන්ද, ගෙවල්ද, දරුවන්ද කොපමණ ඉක්මණින් විනාශ කරන්ට යෙදුණේද? තමාගේ දරුවන් ආරක්ෂා කරමින් විනාශකයාගේ බලයෙන් ඔවුන් මුදාලන පිණිස ඔවුන් අවට වැට බඳින්නේ දෙවියන් වහන්සේය. එහෙත් ක්‍රිස්තියානි ලෝකය යෙහෝවඃවහන්සේගේ ව්‍යාවස්ථාවන් එපා කර තිබේ. එම නිසා ස්වාමින්වහන්සේ තමන්වහන්සේ විසින්ම පවසා තිබෙන අන්දමට ක්‍රියාකරනවා ඇත. උන්වහන්සේ ලෝකයෙන් තමන්වහන්සේගේ ආශිර්වාද ඉවත් කරනවා ඈත; තමන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළි ගසමින් එසේ කිරීමට අන්‍යයන්ටද බල කරමින් එසේ කිරීමට ඔවුන්ටද උගන්වන්නා වූ අය කෙරෙන් තමන්වහන්සේගේ රැකවරණය ඉවත් කරනවා ඇත. දෙවියන්වහන්සේ විශේෂ අන්දමට රැකවරණය නොකරන්නාවූ අය පාලනය කිරීමට සාතන් යොමු වෙයි. ඔහුගේ සැකසුම් සාර්ථක කරන පිණිස ඔහු සමහරෙකුට කරුණාව දක්වමින් ඔවුන්ට සෞභාග්‍යය ලබාදෙනවා ඇත. එසේම ඔහු අන්‍යයන්ට කරදර ඇතිකරමින් ඔවුන්ට එබඳු කරදර ඇති කරන්නේ දෙවියන්වහන්සේ යයි විශ්වාස කිරීමට ඔහු මනුෂ්‍යයන්ට මගපෙන්වනවා ඇත.GrHSin 686.1

    තමාට සියලු ලෙඩ රෝග සුවකිරීමට පුළුවන් බවක් මනුෂ්‍යයන්ට දක්වමින් ඔහු ලෙඩ රෝග හා විපත්ති පමුණුවනවා ඇත. මේ අන්දමින්, ජනාකීර්ණ නගර විනාශවී පාළුවී යනවා ඇත. ඔහු දැන්ද ක්‍රියාත්මකව සිටියි. හදිසි අනතුරු හා මුහුද ගොඩ බිම ද ඇතිවන විපත්ති මගින්ද, මහත් ගිනි ජාලාවන් ඇතිවීමෙන්ද, දරුණු සුළි සුළං හා භයානක හිම කුණාටු මගින්ද, කුණාටු හා ජල ගැලීම් මගින්ද, අනේක ස්ථානවල වඩදිය ගැලීම් හා භූමිකම්පා ඇති කිරීමෙන්ද, මෙබඳු දහසක් මාර්ගවලින්ද සාතන් තමාගේ බලය ප්‍රකාශ කරයි. ඔහු පැසී ගිය අස්වැන්න විනාශ වන්ට සලස්වමින් සාගත ඇතිකර වාතයට මරණීය දුගඳක් එකතු කරමින් එමගින් වසංගත ඇති කරයි. මෙබඳු දේවල් වැඩි වැඩියෙන් පවතින්ට යන අතර ඒවා වඩාත් විනාශ දායක වෙනවා ඇත. මනුෂ්‍යයාද මෘගයාද විනාශ වෙනවා ඇත. “පොළොව වැලපී මළානික වේ... පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙති. පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක්නිසාද ඔහු ව්‍යවස්ථාවන් කඩ කොට නියෝගය වෙනස් කර, සදකාල ගිවිසුම කඩ කළෝය.” (යෙසායා 24:4,5)GrHSin 686.2

    එවිට, දෙවියන්වහන්සේට සේවය කරන්නා වූ අය මේ කරදර ඇති කරන්නෝ යයි ඒ මහත් රැවටිලිකාරයා මනුෂ්‍යයන්ට දක්වනවා ඇත. දෙවියන්වහන්සේගේ ආඥා පවත්වමින්, වරද කරන්නන්ට එමගින් තරවටුවක් ඉදිරිපත් කරන අය නිසා මේ කරදර සියල්ල ඇතිවන්නේ යයි ඒවයේ අප්‍රසන්නතාවය පෙළඹ වූ අය විසින් පවසන්ට යෙදෙනවා ඇත. ඉරිදා සබත් දවස හැටියට නොපැවැත්වීම කරණකොටගෙන මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ අප්‍රසන්නතාවයට පමුණුවනවා යයි කියනු ලබනවා ඇත. ඉරිදා දවස නිසියාකාර පවත්වනු ලබන තෙක්, එය කඩකිරීම මගින් ඇතිවී තිබෙන විපත්ති කෙළවර නොවෙනවා ඇතැයි කියනු ලබනවා ඇත. සතරවන ආඥාව පැවැත්විය යුතු යයි කියමින් ඉරු දිනට ගරු නොකරන්නා වූ අය මනුෂ්‍යයන්ට කරදර ඇති කරන බවද එමගින් ඔහු දිව්‍ය කරුණාව හා භෞතික සඵලත්වය නැවත ඇතිවීමට බාධා කරන බවද ඔවුන් පවසනවා ඇත. මෙසේ, පුරාණයේදී දෙවියන්වහන්සේගේ සේවකයන්ට විරුද්ධව පවසන ලද චෝදනාව පෙර පැවති අන්දමේ තත්ත්වයකදී පවසනු ලබනවා ඇත. ඒ චෝදනාව මෙසේ විය. “තවද ආහබ් එළිය දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කළඹන තෑනෑත්තේ නුඹ දැයි ඔහුට කීවෙිය. ඔහුද මා නොව නුඹ සහ නුඹ පියාගේ වංශය ස්වාමින්වහන්ගේ ආඥා අර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැළඹවහුය.” (1 රාජාවලිය 18:17,18) වැරදි චෝදනා මගින් මනුෂ්‍යයන්ගේ කෝපය වැඩිවන අතර ඔවුන්ද ඒ වැරදි මාර්ගවලට යොමුවූ ඉශ්‍රායෙල්වරු එලියාට සැලකු අන්දමට දෙවියන්වහන්සේගේ තානාපතින්ට සලකනවා ඇත.GrHSin 687.1

    මළවුන්ට කථා කිරීමේ ක්‍රියා පිළිවෙලෙහි හාස්කම් කිරීමේ බලයද මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කීකරුවීමට තෝරා ගන්නා වූ අයවලුන් මත බලපානවා ඇත. ඒ සාතනික ආත්මයන්ගෙන් පැමිණෙන පණිවිඩ මගින් පවසනු ලබන්ට යන්නේ ඉරිද පැවැත්වීම එපා කරන අයට ඔවුන්ගේ වරද පෙන්වා දීමට තමා එවනු ලැබූ බවය. මෙසේ ඔවුන් පෙන්නුම් කරන්ට යන්නේ දෙවියන්වහන්සේගේ ආඥාවන්ට මෙම දේශයේ ආඥාවන්ට ද කීකරු විය යුතු බවය. ලෝකයේ නපුරු නවය ගැන ඔවුන් වැලපෙනවා ඇත. සුවරිතානුකුල තත්ත්වය පහළ බැස තිබෙන්නේ ඉරිදා දවසට ගරු නොකිරීම නිසාය යනුවෙන් ආගමික ගුරුවරුන් ඉදිරිපත් කරන ඉගැන්වීම් ඔවුන්ට සම්මත කරනවා ඇත. ඔවුන්ගේ සාක්‍ෂිය පිළිනොගන්නාවූ අයවලුන් කෙරෙහි මහත් උදහසක් දක්වනු ලබනවා ඇත.GrHSin 687.2

    සාතන් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් පිළිබඳව ක්‍රියාකරන අන්දම ඔහු සේවයේ මේ මහා අරගලයේ පටන්ගැන්මේදී ක්‍රියා කළා වූ අන්දමට සමාන වෙනවා ඇත. ඔහු දැක්වූයේ තමා දිව්‍ය රාජ්‍ය බලය්‍ ස්ථිර කිරීමට උපකාර කරන බවත්ය. එහෙත් ඔහු රහසිගතව සෑම උත්සාහයක්ම යෙදවූයේ ඒ බලය පහකර දැමීමටය. ඔහු මේ අන්දමින් රහසිගතව කළ ක්‍රියාව ගැන වරද තැබුවේ පක්ෂපාතව සිටියාවූ දූතයන්ටය. රෝම සභාවේ ඉතිහාසයේද මේ රැවටිලිකාරකමේ ප්‍රතිපත්තිය දක්නට ලැබේ. තමා දෙවියන්වහන්සේ වෙනුවට පෙනී සිටින බව පවසමින් ඔහු තමාව දෙවියන්වහන්සේට වඩා උසස් තත්ත්වයකට පමුණුවා ගනිමින් උන්වහන්ගේ ව්‍යවස්ථාවන් වෙනස් කිරීමට උත්සාහ කරති. රෝමයේ බලය යටතේ, තමාගේ විශ්වාසවන්තකම ගැන මරණයට පත්කරනු ලැබුවන් ගැන පවසනු ලැබුවේ ඔවුන් නපුර කරන්නන් බවය. ඔවුන් සාතන් හා එක්සත්ව ක්‍රියා කරන්නන් යයි පවසන ලදි. ඔවුන්ට නිග්‍රහ කිරීමට ද ඔවුන් ඉතාම අධම අපරාධකරුවන් යයි මනුෂ්‍යයන්ටද ඔවුන්ටමද දැක්වීමට හැකි සෑම ක්‍රියාදාමයක් උපයෝගී කරගන්නා ලදී. වර්තමානයේදීද එසේ සිදුවෙනවා ඇත. දෙවියන්වහන්සේගේ ආඥාවන්ට ගරු කරනාවූ අයවලුන් විනාශ කිරීමට සාතන් උත්සාහ කරන්වා ඇත. ඒ අතරම, ඔවුන් ව්‍යවස්ථාව කඩ කරන්නය කියාද ඔවුන් දෙවියන්වහන්සේට අගෞරව කරන්නන් කියාද, ඔවුන් නිසා ලෝකය මත විනිශ්චය පැමිණ තිබෙන්නේය කියාද ඔහු දක්වනවා ඇත.GrHSin 688.1

    දෙවියන්වහන්සේ කිසිවිටෙක හෘදය සාක්ෂියේ කැමැත්තට බලකරන්නේ නැත. නමුත් සාතන්ට වෙනයම් අන්දමකින් මනුෂ්‍යයන් පොළඹවා ගැනීමට නුපුළුවන් වූ විට ඔහු කෘරකම් මගින් ඔවුන්ට බලහත්කාරකම් කරයි. බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරකම් කිරීමෙන් හෘදය සාක්ෂිය පාලනය කරමින් තමාට නමස්කාරය යොමු කරවාගැනීමට සාතන් උත්සාහ කරයි. මේ අදහස සම්පූර්ණ කරගන්නා පිණිස ඔහු ආගමික හා ලෞකික නායකයන් තුළින් ක්‍රියා කරයි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන්ට විරුද්ධව මනුෂ්‍යයන් ගේ ව්‍යවස්ථාවන් ඉදිරිපත් කිරීමට ඔහු ඔවුන් යොමු කරයි.GrHSin 688.2

    බයිබලයේ දක්වන සබත් දවස පවත්වන්නා වූ අය අණ පනත්වලට හා ක්‍රමවත් භාවයට සතුරුකම් කරමින් සමාජයේ තහංචි කඩකරමින් දූෂණය ඇති කිරීමට හා අණ පනත්වලට විරුද්ධව ක්‍රියාකිරීමට මනුෂ්‍යයන් යොමු කරනවා යයිද ඔවුන් පොළොව මත දෙවියන් - වහන්සේගේ විනිශ්චයන් පැමිණෙන්ට සලස්වනවා යයිද පවසනු ලබනවා ඈත. ඔවුන්ගේ විශ්වාසවන්තකම්, මුරණ්ඩුකම හා හිතුවක්කාරකම් හැටියටද, පාලන බලයට විරුද්ධව සිටීම හැටියටද දක්වනු ලබනවා ඇත. ඔවුන් ආණ්ඩුවට ප්‍රියක් දක්වන්නේ නැතැයි ඔවුන්ට චෝදනා කරනු ලබනවා ඇත. දිව්‍ය ව්‍යවස්ථාවන්ට කීකරුවීම අනවශ්‍ය යයි පවසන ආගමික නායකයන් දේශනා කූඩුවේ සිටම පවසන්ට යෙදෙන්නේ දේශයේ නීති වනාහි දෙවියන්වහන්සේ විසින්ම පවසන ලද නීති හැටියට සලකමින් ඒවාට කීකරු විය යුතු බවය. නීති දායක ශාලාවන්හිදීද, විනිශ්චය ශාලාවන්හිදීද, දිව්‍ය ව්‍යවස්ථාව පවත්වන්නන් වරදට පත්කරනු ලැබේ. ඔවුන් වැරදි අන්දමකට ඉදිරිපත් කරනු ලබනවා ඇත. ඔවුන්ගේ වචනවලට ව්‍යාජ වර්ණයක් දෙනු ලබනවා ඇත. ඔවුන්ගේ අභිප්‍රායන් වැරදි අන්දමට දක්වනු ලබනවා ඇත.GrHSin 688.3

    ප්‍රොතෙස්තන්ත නිකායන්, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ රැකවරණය සඳහා ඉදිරිපත් කරන පැහැදිලි තර්කයන් එපා කරන විට ඔවුන්, බයිබලය මගින් ඇදහිල්ල ඉවත් කිරීමට නුපුළුවන් වන අය නිල කිරීමට යත්න දරනවා ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මගින් පීඩාවන් පැමිණෙට යන්නේ ක්‍රිස්තියානි ලෝකයේ වෙනත් අය කරන දේවල් කිරීමට අකමැති වෙමින් පාප් විසින් නියම කරන ලද සබත් පවත්වන්ට අකමැති වන්නා වූ අයටය යන කාරණයට ඔහු තමාගේ ඇස් අන්ධ කරගනිති.GrHSin 689.1

    සභාවේද දේශයේද නායකයන් එක්සත් වී සියළු මනුෂ්‍යයන් පොළඹවමින්, ඔවුන්ට බල කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්ට යන්නේ ඔවුන් ඉරිදා දවසට ගරු කළ යුතු ය. ඒ සඳහා දිව්‍ය අනුමැතිය නොමැති බැවින් පීඩා කිරීම් ඒ සඳහා යොදවනු ලබනවා ඇත. යුක්තිය ගැනද සත්‍යය ගැනද ඇති ආශාව දේශපාලනික දුෂණය මගින් විනාශ කරනු ලබනවා ඇත. නිදහස් අමෙරිකාවේ පවා, නායකයන් හා නීතිදායකයන්, පොදු ජනයාගේ ජනප්‍රියතාවය දිනාගන්නා පිණිස ඉරිදා පැවැත්වීම පිළිබඳව නීතියක් සම්මත කිරීම ගැන ඇති ජනප්‍රිය ඉල්ලීමට එකඟ වෙනවා ඇත. එපමණ මහත් පූජාවීමකින් ලබාගන්නා ලද හෘදය සාක්ෂියේ නිදහසට තවදුරටත් ගරු කරනු ලබන්නේ නැත. ඉක්මණින් පැමිණෙන්ට තිබෙන්නා වූ මේ අරගලයේදී අපට අනාගතවක්තෘ මෙසේ පැවසු වචන ක්‍රියාත්මක වෙනවා දකින්ට පුළුවන! “මහා සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්ට ගියේය.” (එළිදරව් 12:16 අග කොටස)GrHSin 689.2