Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    34 - භූත විද්‍යාව

    බයිබලයේ දක්වන්නාවූ ශුද්ධ වූ දේව දූතයන්ගේ මෙහෙවරය වනාහි සෑම ක්‍රිස්තු අනුගාමිකයෙකුටම ඇත්තාවූ ඉතා අගනාවූද සිත් සතන් සනසන්නා වූ ද සත්‍යතාවකි. එහෙත් බයිබලයේ ඇත්තාවූ මෙම ඉගැන්වීම ජනප්‍රිය දහම් මගින් අඳුරට ඇද දමා, එහි යථාර්ථය විකෘති කර වෙනත් ව්‍යාජ ඉගැන්වීමක් ඒ වෙනුවට ඉදිරිපත් කර ඇත. “මළාහූ කිසිවක් නොදනිති”යි යන්න ශුද්ධ බයිබලයේ අඩංගු සරල ඉගැන්වීමකි. එම සත්‍යතාවට විරුද්ධව මිසදෙටු ආගම් උගන්වන්නේ මිනිසා සතුව අමරණය ඇත’ යන දර්ශනයකි. ඒ අතර සත්‍ය කිතුණු දහම යටපත් කරමින් පැන නැගී අන්ත - ක්‍රිස්තුවේදය විසින් සත්‍යයෙන් මුළාව ගියා වූ ඒ අඳුරු යුගයේදී මේ වැරදි ඉගැන්වීම කිතුණු දහම හා ඒකාබද්ධ කරන ලදී. ‘දේව දූතයන් වනාහි ගැළවීම උරුම කරගනු ලබන්නන් හට සේවය කරන්නට සිටින සේවක ආත්මයන් බව ශුද්ධ ලියවිල්ල පෙන්නුම් කරයි. එහෙත් අද පවතින ජනප්‍රිය ඉගැන්වීම් අනුව මෙම දේව දූතයෝ වනාහි මියගියවුන්ගේ ආත්ම වන්නෝය බොහෝ දෙනෙක් මෙම ඉගැන්වීම ඉතා ආදරයෙන් පිළිගනිති. මෙම ලෝකය මැවීමටත් පෙර දේව දූතයන් ජීවත්ව සිටි බව ශුද්ධ බයිබලය පැහැදිලිව උගන්වන්නේය. මිනිසා මරණයට පත්වීමටත් පෙර දේවදුත මිනිස් සම්බන්ධතා පැවැති බවට ශුද්ධ බයිබලය සාක්ෂි දරන්නේය. GrHSin 643.1

    මරණයට පත් මිනිසාට සිහි කල්පනාව ඇත යන ඉගැන්වීම මූල ධර්මයක් බවට පත්ව ඇත. මියගිය අයගේ ආත්ම ජීවත්ව සිටින්නා වූ අයට උපකාර කිරීමට, සේවය කිරීමට පැමිණෙතැයි යන දහම මළවුන් සමග කථා කිරීමට හැකිය යන නවීන භූත විද්‍යාවට මාර්ගය සකසා තිබේ. මිය ගිය අය දෙවියන්වහන්සේගේ අභිමුඛය වෙත පිළිගනු ලබන්නේ නම්, ඔවුන් දේව දූතයන්ගේ සමාගමට ඇතුළු කරගනු ලබන්නේ නම්, පෙර නොතිබූ විරූ දැනගැන්මක් ලැබීමට අවස්ථාවක් ඔවුන්ට අත් වන්නේ නම් ඔවුන් මේ ලෝකයට පැමිණ ජීවත්ව සිටින්නවුන් ප්‍රබුද්ධ කරමින් ඔවුන්ට ගුරු හරුකම් ලබා නොදිය යුත්තේ මන්ද? ජනප්‍රිය දේව ධර්ම ගුරුවරුන් උගන්වන්නේ මියගිය අයගේ ආත්ම මෙලොව සිටින්නාවූ ඔවුන්ගේ මිතුරන් වසන්නාවූ තැන්හි ඉහළින් සැරි සරමින් සිටින බවට වූ දහමකි. එසේ නම් එම ආත්මයන්ට තම මිතුරන් සමග කථා බස් කිරීමටද, නපුරට විරුද්ධව හඬක් නැගීමටද, ඔවුන්ට දුකක් ඇති වූ විට ඔවුන් සනසන්නටද අවසර නොදිය යුතු මන්ද? මරණයට පත්වුවද, කෙනෙකුගේ ආත්මයට සිහි බුද්ධිය ඇතැයි බොහෝ අය විශ්වාස කරති. එසේ නම් තේජස් මහිමයෙන් සරසනු ලැබූ ආත්ම විසින් ගෙන එනු ලබන දිව්‍ය ආලෝකය ජීවත්ව සිටින්නාවූ අයට ප්‍රතික්ෂේප කළහැක්කේ කෙසේද? තමාගේ අරමුණු සපුරා ගැනීම් වස් සාතන් මේ ඉගැන්වීම භාවිතා කරයි. සාතන්ගේ අණසකට යටත්ව ක්‍රියා කරන්නාවූ වැටී ගිය දූතයෝ ජීවත්ව සිටින්නා වූ මිනිසා ඉදිරියෙහි පෙනී සිටිමින් තමා ආත්ම ලෝකයෙන් පැමිණි අය බව කියා සිටිති. මිය ගිය අය සමග කථා බස් කරමින්, ඔවුන් සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට මනුෂ්‍යයන්ට උපකාර කරමින් නපුරෙහි කුමාරයා තමාගේ වශී කිරීමේ අනුබලයෙන් ඔවුන්ගේ මනස් මත ක්‍රියා කරයි.GrHSin 643.2

    මිය ගිය මිතුරන්ගේ පෙනුම රැගෙන ජීවත්ව සිටින්නවුන් ඉදිරියෙහි පෙනී සිටීමට සාතන්ට පුළුවන. මෙම ව්‍යජ පෙනුම සම්පුර්ණය. මිය ගිය තැනැත්තාගේ හුරු පුරුදු පෙනුම, ඔහුගේ වචන ලීලාව, කටහඬ, පුදුමාකාර ලෙස නිරූපණය කරනු ලැබේ. මිය ගිය තමන්ගේ මිතුරන් ලෙසින් පෙනී සිටින්නාවූ යක්ෂාත්ම පවසන්නාවූ බසින් ජීවත්ව සිටින්නා වූ අය සැනසුම් සුවයක් ලබති. තමන් සගයේ සැප සම්පත් විඳිමින් ජීවත්ව සිටින බව මෙම ආත්මයෝ පෙන්නුම් කරති. තම මිතුරන් සගයේ ප්‍රීතියෙන් කල් හරින බව ස්ථිර ලෙස කල්පනා කරමින් ජීවත්ව සිටින්නාවූ අය සොම්නසට පත් වෙති. සැනසුම් සුසුම් හෙළති. අන්තරාදායක තත්ත්වයක් උදා වී ඇති බව අනුමාන නොකර ඔවුහු “රැවටිලිකාර ආත්මයන්ට හා යක්ෂ, භූත ඉගැන්වීම්වලට” ඇහුම් කන් දෙති.GrHSin 644.1

    ජීවත්ව සිටින්නා වූ අය සමග කථා බස් කිරීමට මිය ගිය අය පැමිණෙතැයි යන නිශ්චිතය විශ්වාස කිරීමට පොළඹවා ගැනීමෙන් පසුව, ස්වර්ගය සඳහා සූදානම් වීමකින් තොරව මිය ගිය දුෂ්ටයන්, ජීවත්ව සිටින්නාවූ අය ඉදිරියට පමුණුවනු ලැබේ. තමන් යුගයෙහි ප්‍රීතියෙන් යුතුව කල්ගත කරන බවටද තමා සගයේ ඉහළ තනතුරු දරන බවටද මෙම භූත ආත්ම සහතික වෙයි. මෙයාකාරයෙන් දැහැමි අය සහ පව්කාර අය අතර වෙනසක් නැත යන ජනප්‍රිය සාවද්‍ය ඉගැන්වීම තහවුරු කරනු ලැබේ. ආත්ම ලෝකයේ සිට පැමිණියෙයි කියමින් පෙනී සිටින්නා වූ මෙම ව්‍යාජ අමුත්තෝ සමහර විටෙක ඉදිරි දවසක සිදුවන්නා වූ උපද්‍රව ගැන අනතුරු අඟවති, පරෙස්සම් වීමට උපදෙස් දෙති. මෙම අනාගත උපද්‍රව ගැන කියූ සමහර දේ සත්‍ය වශයෙන්ම ඉටු වෙයි. මෙසේ මහජන විශ්වාසය දිනාගැනීමෙන් පසුව ඔවුහු ශුද්ධ ලියවිලි කෙරෙහි ඇති විශ්වාසය සහ ඇදහිල්ල නැතිකර දැමීම අරභයා ව්‍යාජ දහම් ඉදිරිපත් කරති. පොළොවෙහි ජීවත් වන්නාවූ තම මිතුරන්ගේ ශුභ සිද්ධිය උදෙසා මහත් උනන්දුවක් ඇතැයි කියන්නාවූ මෙම භූත - ආත්ම අති භයානක ව්‍යාජ ධර්මතාවන් ඔවුන්ගේ සිත් තුළට කාවද්දති. ව්‍යාජ - ආත්මයෝ සමහර අවස්ථාවන්හිදී යම්කිසි සත්‍යතාවන් ප්‍රකාශ කරති, සමහර අවස්ථාවන්හිදී ඉටුවන්නා වූ අනාවැකි පවසති. මෙම සාක්ෂි දැරීම් මගින් තමන්ගේ ප්‍රකාශන කෙරෙහි විශ්වාසය තැබිය හැකිය යන නිශ්චිතයක් ගොඩ නගාගැනීමට මෙම ආත්මයෝ උපක්‍රමශීලී වෙති. ඔවුන් ඉදිරිපත් කරන්නාවූ බොරු ඉගැන්වීම් පිළිගැනීමට විශාල ජන සංඛ්‍යාවක් සූදානමින් සිටිති; ඔවුහු විචාරයකින් තොරව බයිබලයේ ශුද්ධ දහම් ලෙසින් ඒවා පිළිගනිති. දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ව්‍යවස්ථාව ඉවත දමනු ලැබේ; කරුණා අනුග්‍රහයේ ආත්මය එපා කරනු ලැබේ; ගිවිසුමෙහි රුධිරය අශුද්ධ දෙයක් ලෙස ගණන් ගනු ලැබේ. මෙම භූතාත්ම ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යත්වය ප්‍රතික්ෂේප කරති; මැවුම්කාරයාණන් තමන්ගේ මට්ටමේ අයෙකු බවත් දක්වති. මෙසේ අළුත් මුහුණුවරක් යටතේ ක්‍රියාත්මක වන්නාවූ මහා ත්‍රස්තවාදියා සගයේ ආරම්භ කළ තම සටන ඉදිරියටම මෙහෙයවයි. මෙම සටන අපගේ භූමියෙහි වසර සිය දහසක් පුරා ක්‍රියාත්මකව පවතී.GrHSin 644.2

    භූතාත්ම ප්‍රදර්ශනය වීම් වංචාකාර ප්‍රයෝගයන් ලෙස හෝ අතින් සිදුකරන ඉන්ද්‍රජාල ඇස් බැන්දුම් ක්‍රියාවන් ලෙස හෝ වර්ගීකරණය කිරීමට බොහෝ අය උත්සාහ කරති. ඉන්ද්‍රජාල ක්‍රියාවෙහි ප්‍රතිඵලය අව්‍යාජ එකක් බව කියා පෑවද ඒ හා සමගම සුපිරි බලවේගයක ප්‍රදර්ශනය වීමිද සිදුව ඇති බව රහසක් නොවේ. වර්තමාන භූතාත්ම වාදයට අඩිතාලම දමූ අභිරහස් තට්ටු කිරීම ව්‍යාජ වූ හෝ කපටි වූ සිදුවීමක් නොවීය. එය යක්ෂයාගේ සෘජු ක්‍රියාදාමයක් විය. මෙම ක්‍රමවේදය මගින් ආත්ම විනාශ කිරීමේ මහා පරිමාණයේ සාර්ථක මුළා කිරීම් ආරම්භ විය. භූතාත්ම ප්‍රදර්ශනය වීම් වනාහි මිනිස් ප්‍රයෝගකාරී වංවාවක් පමණක් යයි පවසන්නා වූ බොහෝ දෙනෙක් සාතන්ගේ උගුලෙහි පැටලෙනවා නොඅනුමානය. යම්කිසි අවස්ථාවකදී තමන් ඉදිරිපිටදීම අන්ධකාර බලවේගයේ අද්භූත ප්‍රදර්ශනය වීමක් සිදුවූ විට ඔවුහු මුළාවට පත්කරනු ලැබෙති. එවන් අභූත ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ සුපිරි බලයෙන් සිදු වූවා යයි නිගමනය කිරීමට ඔවුහු පෙළඹෙති.GrHSin 645.1

    මේ මනුෂ්‍යයෝ. සාතන් සහ ඔහුගේ දුතයන් විසින් සිදුකරන්නාවූ පුදුමාකාර ක්‍රියාදාමයන් පිළිබඳව ශුද්ධ ලියවිලෙහි ඇති සාක්ෂීන් නොතකා හරිති. දෙවියන්වහන්සේ විසින් එරාවෝ ඉදිරියෙහි මෝසෙස් ලවා කළ හාස්කම් ව්‍යාජානුකරණයෙන් කිරීමට පාරාවෝගේ මායාකාරයන් සමත් වූයේ සාතන්ගේ බලය මගින්ය. මිසරයේ සිදුවූ සාතනික බලය ප්‍රදර්ශනය කිරීම වැනි හාස්කම් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊමට පෙර ඇති දවස්වලදී සිදුවන බව පාවුල් පවසයි. ස්වාමීන්වහන්සේගේ පැමිණීමට පෙරාතුව සාතන් “සියළු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද .... සියලු රැවටිලිවලින්ද යුක්ත වේ.” (2 තෙසලෝනික 2:9). අන්තිම දවස්වලදී ප්‍රදර්ශනය වන්නාවූ හාස්කම් සිදු කරන්නෝ වූ බලවේගය ගැන විස්තර කරන්නාවූ යොහන් මෙසේ පවසයි: “ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය. ... හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළා කරන්නේය.” (එළිදරව් 13:13,14). ව්‍යාජ ලෙස පෙනී සිටීම පිළිබඳව මෙහි කථා නොකෙරේ. හාස්කම් සිදුකිරීමට සාතන්ගේ දූතයන්ට බලය තිබෙන අතර ඔහු ව්‍යජ පෙන්නුම් කිරීමක් නොකරති. බොහෝ දෙනෙක් මෙම හාස්කම් දැකීමෙන් මුළාවට පත්වනවා ඇත.GrHSin 645.2

    විශාල කාලයක් තුළ තම බලය මිනිසුන්ව මුළා කිරීමේ ක්‍රියාදාමයන්ට යොමු කළ මෙම අන්ධකාරයේ කුමාරයා සෑම තරාතිරමකම මිනිසුන් තම පරීක්ෂාවන්ට හසුකර ගැනීමට කාර්යක්ෂම ලෙස ක්‍රියා කරන්නේය. උසස් තත්ත්වයක සිටින්නා වූ අයට ද බුද්ධිමත් පඬිවරුන්ටද සාතන් භූතවාදය එනම් මළවුන්ට කථාකිරීම ඉදිරිපත් කරන්නේ සංස්කෘතික ලාලිත්‍යයක් වශයෙනි. මෙසේ ඔව්හු ඔහුගේ උගුලට අසුවෙති. භූතාත්මවාදය මගින් උදාවන්නාවූ ප්‍රඥාව පිළිබඳව යාකොබ්ගේ ප්‍රකාශයකට අවධානය යොමු කරමු. “ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.” (යාකොබ් 3:15). මුළා කරන්නා මෙම සත්‍යතාව වසන් කරගෙන ක්‍රියා කරන්නේ තමාගේ අරමුණු ඉටුකරගැනීම සඳහා වසන් කිරීමක් අවශ්‍ය බව ඔහුට පෙනී යන විටය. ක්‍රිස්තුස්වහන්සේ වනාන්තරගතව යක්ෂයා විසින් පරීක්ෂාවන්ට පොළඹවනු ලැබූ අවස්ථාවෙහිදී ඔහු ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියේ ස්වර්ගීය දූතයෙකුගේ දීප්තිමත් තේජසින් යුතුවය. ඔහු මිනිසුන් ඉදිරියෙහි පෙනී සිටින්නේද ඉතා ආකර්ෂණීය රූප සොබාවකින් යුතුවය. ඔහු ආලෝකයේ දූතයෙකු ලෙස පෙනී සිටිමින් මිනිසුන්ගේ බුද්ධියට කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ට ඉහල තලයක පැවැත්මක් දිනාගත හැකි බව දක්වයි. මිනිසුන්ගේ කුතුහලය පුබුදු කරමින් ඔහු ඔවුන් ඉදිරියෙහි සිහින මාළිගා නිර්මාණය කරයි. ආදරය සහ ත්‍යගශීලීතාව පිළිබඳව උසස් අන්දමට කථාකරමින් සාතන් මිනිසුන් රවටමින් ඔවුන්ගේ ලැදියාව තමා වෙත දිනාගැනීමට උපක්‍රමශීලී වන්නේය. සිහින මාළිගා සහ මනෝ සංකල්පනා ඉතා ඉහළ වූ තලයක් කරා යොමු කරන්නාවූ හෙතෙම මිනිසාට තමාගේ ප්‍රඥාව ගැන ආඩම්බර වීමට සලසයි. එමගින් ඔහු සදාතනික තැනැන්වහන්සේගේ උත්තරීතර ස්ථානය සැහැල්ලුවට පත් කිරීමට ඔවුන් යොමු කරයි. ඒ බලවත් කුමාරයා, ලෝකයේ මිදුම්කරුවාණන්ව ඉතා උස්වූ කඳු මුදුනක් කරා රැගෙන ගියේය. ලෝකයේ සෑම රාජ්‍යයක් සහ එහි විභූතියත් උන්වහන්සේ ඉදිරියෙහි පෙන්නුම් කිරීමට තරම් සාතන් ක්‍රියාත්මක විය. එසේ ඔහු මිනිසුන්ගේ හැඟීම් විකෘති කිරීමට අනේක තේමාවන් ඉදිරිපත් කරනවා ඇත. දිව්‍ය බලයෙන් ආරක්ෂාව නොලැබූ සැවොම ඔහුගේ මුළාවන්ට ගොදුරු වෙනවා ඇත.GrHSin 646.1

    අධි ප්‍රශංසාවෙන් යුත් චාටු බස් පැවසීමෙන්, තහනම් දැනුම ලබාගැනීමට ආශාවක් සිත් තුළ ඇති කිරීමෙන් හා තමාගේම උන්නතිය උදෙසා ආශාවන් හඹා යෑමට සැලැස්වීමෙන් සාතන් එදා ඒවව හසුකරගත්තා සේ අදත් මිනිසුන්ව ස්වකීය ග්‍රහණයට නතු කරගැනීමට සෑම ආකාර උපායක්ම භාවිතා කරයි. මෙවන් අභිලාෂයන් කරා යෑමට වෑයම් කිරීමෙහිදී ඔහුගේ වැටීම සිදුවිය. මිනිසාගේ විනාශය ළඟා කරදීමට ඔහු යොදා ගන්නේද එවැනිම ක්‍රමවේදයන්ය. ඔවුන් “යහපත සහ නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බව” ඔහු ප්‍රකාශ කළේය. (උත්පත්ති 3:5). දියුණු වෙමින් ඉදිරියටම යෑම මිනිසාගේ ජන්ම උරුමයකි; උපතෙහි පටන්ම ප්‍රගතියට යොමු වීම මිනිසාගේ ඉරණම වන්නේය; සදාතනය කරා ඔහු ප්‍රගතිය ලැබිය යුතුය; දේවත්වය කරා එළඹීමට ඔහු ඉදිරියටම දියුණු විය යුතුය’ යනාදිය භූතවාදයහි මූලධර්මයන්ය. තව ද, එම දහම මෙසේ ද ප්‍රකාශ කරන්නේය. සෑම මනසක්ම, වෙනත් අයෙකුගේ මනස නොව, තමාගේම මනස විනිශ්චය කළ යුතුය. එය ස්වයං විනිශ්චය කිරීමක් නිසා එය නිවැරැදි තීරණයක් වන්නේය .... සිහසුන ඇත්තේ ඔබ තුළමය. එක්තරා භූතවාදී ගුරුවරයෙක් තමාගේ භූතාත්මික හෘදය සාක්ෂිය පිබිදීමට පත් කළ ප්‍රකාශනයක් මගින් මෙවැන්නක් පැවසීය. “මාගේ සහෝදර ජනතාවෙනි, අපි සියල්ලෝම වැටී නොගියා වූ දේවතාවුන් වන්නෙමු. තවත් එවන් පුද්ගලයෙක් මෙසේ පවසයි. යම්කිසි ධාර්මික වූ ද, පරිපූර්ණ වූ ද පුද්ගලයෙක් සිටින්නේ නම් ඔහු ක්‍රිස්තුස්වහන්සේම වන්නේය.GrHSin 647.1

    අමරණීය වූ දෙවියන්වහන්සේ දැහැමිතාවෙන් සහ පාරිශුද්ධතාවෙන් පරිපූර්ණය. උන්වහන්සේට පමණක් නමස්කාරය හිමිය. උන්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ධර්මිෂ්ඨකමින් යුක්තය. මනුෂ්‍යයාට ළඟා විය හැකි ප්‍රමිතිය එයයි. මෙම ගුණ කථනයට අභියෝග කරමින් සාතන් පව්කාර වූ, වරද කරන්නාවූ මිනිසාව දෙවියන්වහන්සේ හා සමානතාවකට ඔසවා තබමින් මිනිසා වනාහි නමස්කාරයෙහි ප්‍රස්තුතය ලෙස ආදේශ කරන්නේය. මිනිස් ස්වභාවය විනිශ්චයේ ප්‍රමිතිය බව සඳහන් කරන්නාවූ හෙතෙම විනිශ්චයේ මිණුම් දණ්ඩ වන්නේ පව්කාර මිනිසාගේ චරිතය බව ප්‍රකාශ කරන්නේය. මෙය ඉහළ තලයක් කරා වූ ප්‍රගතියක් නොව පහළ ආගාධය කරා යොමු කරන්නා වූ පසුබෑමකි.GrHSin 647.2

    යමක් දර්ශනය කිරීමෙන් අප වෙනස් වන බව ආත්මික ස්වභාවයේ හා බුද්ධිමය ස්වභාවයේ නීතියකි. යම් යම් විෂයන් කෙරෙහි කල්පනා කිරීමට මනසට අවසර ලැබේද එම විෂයන් පිළිබඳව හැඩගැසීමක් කරා යොමු වීමට මනස නැඹුරු වන්නේය. මනසෙහි ආදරයට සහ ගෞරවයට භාජනය වූ දේවල් උරාගැනීමට මනස හැඩගැස්වේ. පාරිශුද්ධත්වය, යහපත්කම හෝ සත්‍යතාව පිළිබඳව මිනිසා සතු ප්‍රමිතියට හෝ ප්‍රමාණයට ඉහළ තලයකට යෑමට මිනිසාට හැකියාවක් නොවේ. යම් අයෙකුගේ පරමාදර්ශය තමා කෙරෙහි වූ ආත්මාර්ථය මත පදනම් වූවක් නම් එයට වඩා ඉහළ ස්ථරයක් කරා යෑමට ඔහුට හැකිවන්නේ නැත. ඔහු තමාගේ ස්ථරයේ තව තවත් පහළට වැටී යනවා විනා ඉහළ තලයක් කරා දියුණු වන්නේම නැත. මිනිසාව උසස් බවට හෝ උතුම් බවට හෝ පත්කිරීමට බලයක් ඇත්තේ දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහයට පමණය. එම වරප්‍රසාදය නොමැතිව මිනිසාගේ ගමන් මඟ පහතටමය.GrHSin 648.1

    සැප ජීවිතයක ඇලී ගැලී සිටින්නා වූ, විනෝදාස්වාද සොයමින් සැප සෙල්ලමින් යුත් ජීවිතයකට ලොල් වන්නා වූ අයට, ඉන්ද්‍රියන් පිනවීමෙහි අනුරාගී ඇල්මක් ඇති අයට, භූතවාදය ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රඥාවන්ත අයට ඉදිරිපත් කරනු ලැබුවාට වඩා වෙනස් අන්දමකින්ය. එය වඩාත් මන බන්ධනීය ලෙස ඔවුන්ගේ සිතුම් පැතුම්වලට තෘප්තියක් උදාකර දෙන අන්දමට ඔවුන්ට ඉදිරිපත් කරනු ලැබේ. භූත වාදයෙහි ගැඹුරු ප්‍රකාශන සහ ප්‍රකාශවීම් එම වාදය පිළිගත්තවුන්ගේ හැඟීම් සහ අපේක්ෂා සමග එකඟතාවක් දරන්නේය. මිනිස් ස්වභාවයෙහි පෙනෙන්නාවූ සෑම දුර්වලතාවක් ගැනම සාතන් මනා අධ්‍යයනයක යෙදෙයි. යම්කිසි පුද්ගලයෙක් කිරීමට ලොල් වන්නාවූ පාප ගැන හෙතෙම සැලකිලිමත් වෙයි. එම ලොල් වූ පාපයෙහි නියැලීමට වූ අවස්ථාවන් අඩු නැතිව උදාකර දෙන්නට ඔහු වග බලා ගනී. යහපත් වූ මෙම නීතියට අනුකූල වූ දේවල් සිදුකිරීමේදී පවා එවන් දෑ පමණට වඩා වැඩියෙන් කිරීමට ඔහු මිනිසාව පොළඹ වන්නේය. පමණ දැන ක්‍රියා නොකිරීමෙන් මිනිසාගේ ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික බලය හීන වන්නේය. මිනිස් තෘෂ්ණාවන්ට වහල් වීමට සලස්වාලමින් සාතන් දස දහස් ගණන් මිනිසුන්ව විනාශ කර ඇත. තවත් දස දහස් ගණන් මිනිසුන්ව විනාශය කරා ගෙන යෑමට ඔහු ක්‍රියාත්මකව සිටියි. මෙයාකාරයෙන් ඔහු සම්පුර්ණ මිනිස් ස්වභාවයම තිරිසන් බවට පත්කර තිබේ. තමාගේ මුළා කිරීමේ කර්තව්‍යය තවත් පුළුල් කර ගැනීම් වස් ඔහු ප්‍රකාශ කරන්නේ, “සත්‍යවූ දැනුම මගින් මිනිසා දහම් ව්‍යවස්ථාවට වඩා ඉහළින් සිටී”යන මතයයි; “යමක් පවතින්නේද ඒ සියල්ලම සත්‍යය වන්නේය, දෙවියන්වහන්සේ මිනිසාව වරදට පත්කරන්නේ නැත; “යමෙකු කර ඇති සෑම පාපයක්ම අහිංසකය, වරද තැබීමකට සුදුසු නොවන්නේය,” යනාදිය ඔහු දක්වයි. මිනිසෙකුගේ තෘෂ්ණාව උත්තරීතර ව්‍යවස්ථාව වන්නේ යයි විශ්වාස කිරීමටද මිනිස් නිදහස ඕනෑම දෙයක් කිරීමට වලංගු පත්‍රයකැයිද, මිනිසා විසින් ගණන් දිය යුත්තේ තමාටම පමණක් යයිද විශ්වාස කිරීමටද මිනිසුන්ට මගපෙන්වනු ලබන අතර රටේ සාරධර්ම අගතිය කරා යෑම පුදුමයක්ද? තෘෂ්ණාධික හදවතෙහි හටගන්නා හැඟීම් සපුරා ගැනීමට මිනිසාට නීත්‍යානුකූල නිදහසක් ඇතැයි යන ඉගැන්වීම උද්‍යේගයෙන් යුතුව පිළිගැනීමට මහත් සංඛ්‍යාත ජනතාවක් සැදී පැහැදී සිටිති. ආත්ම දමනයෙහි ශිෂ්ට සම්පූර්ණ පාලනය කැඩී බිඳී යයි. මනසෙහි සහ ආත්මයෙහි බලය තිරිසන් තෘෂ්ණාවන්ට යොමු වෙයි. මෙම ක්‍රමෝපායන් මගින් සාතන් කිතුණු අනුගාමිකයන් යයි කියන්නා වූ අය දහස් ගණනින් තම මලපතට හසු කර ගනී.GrHSin 648.2

    එහෙත් භූත වාදයෙහි අයිතීන් මගින් කිසිවෙකු හෝ මුළා විය යුතු නොවේ. මළපත් මොනවාදැයි තීරණය කර තෝරා බේරා ගැනීමට දෙවියන්වහන්සේ ලෝකයාට ප්‍රමාණවත් ආලෝකයක් ලබා දී ඇති සේක. මෙතෙක් පෙන්වා දී ඇති ආකාරයට අනුව, භූත වාදයේ පදනම වන කල්පිතය ශුද්ධ ලියවිල්ලෙහි සරල ප්‍රකාශනවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. මළාහු කිසිවක් නොදනිතියි ශුද්ධ වූ බයිබලය ප්‍රකාශ කරයි. ඔවුන්ගේ සිතුවිලි කල්පනාවන් එදිනම විනාශ වී යන්නේය. ඉර යට කෙරෙන්නා වූ කිසිම දෙයක් සමග ඔවුන්ගේ සහභාගිත්වයක් නැත. පොළොවේ සිටීයදී ඔවුන් ළඟින්ම ඇසුරු කළ අයගේ ප්‍රීතිය හෝ දුක පිළිබඳව මිය ගිය අය කිසිවක්ම නොදනිති. මිය ගිය අය පිළිබඳව වූ බයිබලීය සිද්ධාන්තය මෙයයි.GrHSin 649.1

    තවද, මිය ගිය අයගේ ආත්ම යයි කියාගන්නාවූ මාධ්‍යය සමග කිසිම ආකාරයක හෝ සන්නිවේදනයක් තබාගැනීම දෙවියන්වහන්සේ විසින් තරයේ තහනම් කර ඇත. හෙබ්‍රෙව්වරුන් මෙලොව විසූ දවස්වලදීද මිය ගිය අය සමග සන්නිවේදන හුවමාරු කරගැනීමේ බලය ඇතැයි පැවැසු කණ්ඩායමක් සිටියේය. අදත්, භූතාත්ම වාදීහු සමහරෙක් තමන්ටද එම හැකියාව ඇතැයි පවසති. වෙනත් ලෝකවලින් පැමිණියා යයි පවසන්නාවූ “සුපුරුදු ආත්ම” වනාහි “යක්ෂ ආත්ම” යයි ශුද්ධ බයිබලය පවසා ඇත. (මේ පාඨයන් බලන්න. ගණන් කථාව 25:1-3; ගීතාවලිය 106:28; 1 කොරින්ති 10:20; එළිදරව් 16:14). මිය ගිය අයගේ ආත්ම යයි කියන්නාවූ අය සමග සම්බන්ධකම් පැවැත්වීම දෙවියන්වහන්සේගේ පිළිකුලට භාජන වන්නා වූ කරුණක් බවත් ඒවා තහනම් කරන ලද බවත් එවන් සමාගම් පවත්වන්නන් ගල් ගසා මැරිය යුතු බවත් බයිබල් නියමයකි. බලි තොවිල් හුනියම් යනාදිය බොහෝ අයගේ පිළිකුලට භාජනය වී තිබේ. නපුරු ආත්ම සමග මිනිසුන්ට සමාගම් පැවැත්විය හැකිය යන්න අඳුරු යුගයේදී පැවති මිථ්‍යාවක් ලෙස හැඳින්වෙයි. නමුත් වර්තමානයෙහි භූත වාදය වැළද ගත් අනුගාමික සංඛ්‍යාව දශ ලක්ෂ ගණනාවක් වෙයි. එය විද්‍යා කේන්ද්‍රයෙහි ඉහළ තනතුරුවලටද සභාවන් තුළටද නීතිවේදීන්ගේ සංගම් තුළට ඇතුල් වී තිබේ. එසේය, එය රජවරුන්ගේ සහාවන් තුළද ක්‍රියාත්මකය. පැරැණි කාලයේදී තහනමට ලක්වූ වරදට පත්කරනු ලැබූ ඒ භූත බන්ධන ක්‍රමවේදය නව මුහුණුවරකින් අදත් මිනිස් සත මුළාවට පත් කරයි.GrHSin 649.2

    භූත වාදයෙහි නියම චරිතාංග වටහා ගැනීමට නම්, මෙහි සඳහන් සාක්ෂි හැරෙන්නට කිතුණු බැතිමතාට තවත් සහතික කිරීම්, අවශ්‍ය නැත. එනම්, මිය ගිය අයගේ ආත්ම යයි පවසන්නා වූ භූත මාධ්‍යයන් දැහැමිතාව සහ පාපය අතර වෙනස්කමක් දක්වන්නේ නැත; ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් අතරද සාතන්ගේ සේවකයන් අතරද වෙනස්කමක් පෙන්වන්නේ නැත. මේ කාරණා පමණක් ඔවුන් හඳුනා ගැනීමට ප්‍රමාණවත් විය යුතුය. පහත් අන්දමේ දුරාචාර ජීවිතයක් ගත කළ පවිටුවන් ස්වර්ගයේ ඉතා ඉහළ තානාන්තරවල සිටින්නේ යයි භූත වාදය පවසයි. ඒ අනුව සාතන් ලෝකයාට මෙසේ පවසයි: ඔබ කෙතරම් නපුරු වුවද, එයින් කම් නැත. ඔබ දෙවියන්වහන්සේ සහ ශුද්ධ බයිබලය විශ්වාස කළද විශ්වාස නොකළද කමක් නැත. ඔබට කැමැති ආකාරයෙන් ජීවත් වන්න. ඔබගේ අනාගත වාසස්ථානය ස්වර්ගයයි. භූත වාදය පතුරුවන්නාවූ ගුරුවරු මෙයාකාර දේ පවසති. “නපුර කරන සියල්ලෝම ස්වාමින්වහන්සේ ඉදිරියේ යහපත්ය; උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනද?” (මලාකි 2:17) දෙවියන්වහන්සේ මෙසේ වදාරණ සේක. “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත්, අඳුර වෙනුවට එළියත් තබන්නාවූ ... අයට දුක්වේ!” (යෙසායා 5:20).GrHSin 650.1

    මේ බොරුකාර ආත්ම අපෝස්තුළුවරුන් හැටියට පෙනී සිටිති. අපෝස්තුළුවරුන් පොළොව මත සිටියදී ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ ඔවුන් ලියන්ට යෙදුණාවූ දේවලට විරුද්ධව මේ යක්ෂයන් කාරණා දක්වන්නේ අපෝස්තුළුවරුන්ම තමා එසේ ලියන ලද දේවලට විරුද්ධව කථාකරන බව දක්වමිනි. බයිබලයේ දිව්‍ය සම්භවයක් නැතැයි එම ආත්ම පවසති. මෙම ප්‍රකාශයන් මගින් කිතුණුවන්ගේ බලාපොරොත්තුවේ පදනම දෙදරා බිඳ දැමේ. එසේම සගයට යන්නා වූ මාර්ගය හෙළිදරව් කරන ආලෝක කදම්බය එමගින් නිවා දමනු ලැබේ. බයිබලය වනාහි කල්පිත රචනාවක්, මිථ්‍යා ප්‍රබන්ධයක් ලෙස ලෝකයා විසින් විශ්වාස කරන්නට සැලැස්වීම සාතන්ගේ වෑයම වන්නේය. ජාතියක ප්‍රභවයේ හෙවත් පටන් ගැනීමේ ළදරු කාලය සඳහා අත්වැලක් සැපයීමට සුදුසු ග්‍රන්ථයක් ලෙස සාතන් බයිබලය හඳුන්වා දෙන්නේය. එහෙත් දැන් එය යල් පැන ගිය පොතක් ලෙස ඉවත ලෑම යෝග්‍ය යයි සාතන් සාධක ඉදිරිපත් කරයි. දෙවියන්වහන්සේගේ වචනයෙහි ස්ථානය ගැනීමට හෙතෙම භූතවාදී පහළවීම මිනිසා ඉදිරියෙහි ප්‍රදර්ශනය කරන්නේය. මෙම මාධ්‍යය සම්පූර්ණ වශයෙන්ම ඔහුගේ පාලනය යටතේ පවතින්නේය. මෙම ක්‍රමය තුළින් තමන්ගේ කැමැත්ත සකල ලෝ වාසීන්ට ඉදිරිපත් කර ඔවුන්ව නම්මවා ගැනීම ඔහුගේ ප්‍රයත්නය වන්නේ ය. ඔහු සහ ඔහුගේ සහචරයත්ව විනිශ්චය කරන්නා වූ ශ්‍රී පුස්තකය ඔහු තමාට රිසි තැන තැන්පත් කරන්නේය. ලෝකයේ ගැළවුම්කාරයාණන්ට සාමාන්‍ය මිනිසෙකුගේ තලයට දැමීම ඔහුගේ වෑයම වන්නේය. ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම පිළිබඳව යුදෙව් නායකයන් සහ පූජකයන් බොරු වාර්තාවක් සැකසූහ. එහි අඩංගු කරුණු සොහොන් ගෙය රැක බලාගත් රෝම සොල්දාදුවන්ට උගන්වන ලදී. සොල්දාදුවෝ යුදෙව් නායකයන් ලබා දුන් බොරු වාර්තා ප්‍රචාරය කර හැරියෝය. උන්වහන්සේගේ නැවත නැගිටීම බොරුවකැයි මෙසේ ප්‍රචලිතව ගියේය. ගැළවුම්කාරයාණන්ගේ ජීවිත සිදුවීම් තුළ කිසිම ආකාරයක හාස්කමක් නැතැයි අවධාරණය කිරීමට භූතවාදී බැතිමත්හු වෑයම් කරති. මෙසේ යේසුස්වහන්සේ පසෙකට තල්ලු කර දමන්නාවූ භූතවාදීහු තමන් විසින් සිදු කරන හාස්කම් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියාදාමයට වඩා ශ්‍රේෂ්ඨ යයි අවධාරණය කරවීමට වෙහෙස දරති.GrHSin 650.2

    පෙර කාලවලදී විවිධාකාර ක්‍රියාදාමයන් මගින් මිනිස් අවධානය යොමු කරවා ගැනීමට ක්‍රියා කළ භූත වාදය මෙම සිය වසරේ නව මුහුණුවරකින් ජනතාව ඉදිරියෙහි පෙනී සිටී. දැන් එය ක්‍රිස්තියානි පෙනුමකින් ඉදිරිපත් කරනු ලැබේ. වේදිකා මගින් ප්‍රකාශ කෙරෙන්නා වූ කියමන් මෙන්ම ඔවුන්ගේ පුවත් පත් ප්‍රකාශනය පිළිබඳව ජනතාව කාලයක් පුරා දැනුවත්ව සිටිති. මේ ප්‍රකාශන නැතැයි කියනු ලබන්ට හෝ සඟවනු ලබන්ට නුපුළුවන.GrHSin 651.1

    පෙරදී ඉදිරිපත්වූ ස්වභාවයට වඩා වර්තමාන පිළිවෙල තරමක් දුරට දරාගත හැකි වුවද, වත්මන් ඉගැන්වීම ඉතා ප්‍රයෝගකාර වන බැවින් ඒවා වඩාත් භයානක වන්නේය. පෙරදී භූත වාදීහූ ශුද්ධ බයිබලය සහ ක්‍රිස්තුස්වහන්සේ එක හෙළා ප්‍රතික්ෂේප කළ නමුත් නූතන භූත වාදීහු මෙම ඉගැන්වීම් දෙකම පිළිගන්නා බව කියා පාති. නමුත් ඔවුන් බයිබලය විග්‍රහ කරන්නේ අළුතින් උපත නොලැබූ හදවත් වලට රුචිය ළඟා කර දෙන්නා වූ අයුරින්ය; එහි අඩංගු ගාම්භීර වූ ද, ජීවනය උදාකර දෙන්නාවූ ද සත්‍යතාවන් කිසියම් බලපෑමක් නොමැති තත්ත්වයකට පමුණුවති. දෙවියන්වහන්සේගේ ප්‍රධානතම චරිත ගුණාංගය ලෙස ප්‍රේමයට මුල් තැනක් ලබා දෙමින් ඉගැන්වීම් මාලාව ඇරඹෙයි. එහෙත් එම ගුණාංගය හැඟීම් වලින් පහසුවෙන් පෙළඹෙන දුර්වල වූ ගුණයක් ලෙස නොහොබිනා තත්ත්වයකට ඇද දැමීමට ඔවුහු පසුබට නොවෙති. වත්මන් භූතවාදය යහපත සහ නපුර අතර වෙනසක් නැති බව උගන්වයි. දෙවියන්වහන්සේගේ සාධාරණත්වය, උන්වහන්සේ විසින් පාපය හෙළා දැකීම, උන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවෙහි ඉල්ලීම් යන මේ සියල්ල ගැන අවධානයක් යොමු නොකෙරේ. දස පනත මිය ගිය ධවල පත්‍රිකාවක් ලෙසට සලකන්නැයි මහජනතාවට උගන්වනු ලැබේ. සාමාන්‍ය සිත පිනවන මනෝහර ප්‍රබන්ධ මගින් මනස මෝහනයට පත් කෙරේ. තමන්ගේ ඇදහිල්ලෙහි පදනම වූ බයිබලය කෙරේ විශ්වාසය නැති කිරීමට මෙම ප්‍රබන්ධ සහ කථාන්තර උපරිම ලෙස භාවිතා කරමින් ශුද්ධ බයිබලය එපා කිරීමටද මගපෙන්වනු ලැබේ. පෙර සේම ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත් සාතන් කෙතරම් සූක්ෂම අන්දමින් මිනිසුන්ගේ ඇස් අන්ධ කර තිබෙන්නේ ද යත් ඔහුගේ මුළාවන් තේරුම් ගැනීමට සාමාන්‍ය මිනිසාට හැකි නොවේ.GrHSin 651.2

    භූත වාදයෙහි රැවටිලිකාර ස්වභාවය යථාර්ථය ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණක්ය. එහි අනුබලය යටතට පත්වීමෙහි ප්‍රවණතාව ගැන පැහැදිලි අවබෝධයක් බොහෝ අයට නැති තරම්ය. බොහෝ අය කුතුහලය සංසිඳුවා ගැනීම් වස් භූත වාදයෙහි ක්‍රියාකාරකම්වලට නුසුදුසු ලෙස මැදිහත් වෙති. එම ඉගැන්වීම් කෙරෙහි ඔවුන් තුළ සත්‍යවාදී විශ්වාසයක් නැත. භූත බන්ධනයෙහි පාලනය යටතට තමන් පත්වෙතැයි යන සිතුවිල්ල ගැන පවා ඔවුහු මහත් සන්ත්‍රාසයකට, මහත් භීතියකට පත් වෙති. එහෙත් එවන් අය තම ක්‍රියාවන් මගින් තහනම් පෙදෙසකට ඇතුළු වෙති. ඒ අතර බලගතු විනාශකාරයා ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව ඔවුන් මත ස්වකීය බලය යොදා ඔවුන්ව වසඟ කර ගනී. එම් පුද්ගලයන් එක් වතාවකදී පමණක්වත් සාතන්ගේ බලයට අවනත වුවහොත් ඔහු එම අයව තමන්ගේ ග්‍රහණය යටතට අසු කර ගන්නේය. යක්ෂයාගේ වසඟයටද මෝහනයේ ග්‍රහණයටද අසු වූ අයෙකුට, එම වසඟ බලය බිඳ දැමීම තමාගේම බලයෙන් කළ හැකි දෙයක් නොවන්නේය. උනන්දුවෙන් ඔප්පු කරන ඇදහිල්ලෙහි යාච්ඤාවන්ට පිළිතුරු වශයෙන් දානය කරන්නාවූ දෙවියන්වහන්සේගේ බලයෙන් මිස වෙනත් කිසිම අයුරකින් සාතන්ගේ වසඟ බලයෙන් ගැළවී යාමට කිසිම අයෙකුට හැකියාවක් නැත.GrHSin 652.1

    චරිතයෙහි පාපිෂ්ඨ ගුණාංග පවත්වාගෙන සිටින්නාවූ අයද අතහැර දමන්නට අකැමැති පාපයක් සිත්හි රදවාගෙන සිටින අයද සාතන්ගේ පරීක්ෂාවට ඇරයුම් කරති. ඔවුහු දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ දූතයන්ගේ රැකවරණයෙන් ඈත්ව සිටිති. නපුරේ කුමාරයා ඔවුන්ට තම මුළාවන් ඉදිරිපත් කළ විට එකී පුද්ගලයන්ට ආරක්ෂාව ගෙන දීමට කිසිම හව්හරණයක් නැත. ඒ නිසාම ඔවුහු ඉතා පහසුවෙන් සාතන්ගේ ගොදුරු බවට පත් වෙති. සාතන්ගේ බල අධිකාරිය යටතේ සිටින්නට කැමැත්තෙන්ම යොමු වන්නාවූ අයට තමන්ගේ මාර්ගයෙහි අවසානය ගැන වැඩි අවබෝධයක් නැත. එම අය යටපත් කරගත්තාට පසුව තවත් අයව තමාගේ දැලට ඇතුල් කර ගැනීමට සාතන් ඔවුන්ව සිය නියෝජිතයන් ලෙස යොදා ගනියි.GrHSin 653.1

    දිවැසිවර යෙසායා මෙසේ පවසයි. “ඔවුහු කෙඳිරි ගාන්නා වූ තොල් මතුරන්නාවූ ආත්ම බන්ධනකාරයන්ගෙන්ද , අණවින කාරයගෙන්ද විභාග කරන්නැයි නුඹලාට කියන විට සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේන්ගෙන් විභාග කරන්නට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතු දැයි අසන්න. ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු ! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන් වීමක් නැත.” (යෙසායා 8:19, 20). මනුෂ්‍යයාගේ ස්වභාවයත්, මරණයට පත්වීමෙන් පසු ඔහුගේ ස්වභාවයත් ගැන ශුද්ධ ලියවිලෙහි ඉතා සරලව පැහැදිලි කර දී ඇත. මෙම සත්‍ය ඉගැන්වීම් පිළිගන්නට මිනිසුන් කැමති වන්නේ නම්, භූත වාදය ඉදිරිපත් කරන්නාවූ හාස්කම් දැක්වීම් වනාහි සාතන්ගේ බලය කරණකොටගෙන කරන්නාවූ ලකුණු හා ඉන්ද්‍රජාලයන් බව ඔවුන්ට ඉතා පැහැදිලිව පෙනී යනවා ඇත. නිදහස අගය කරන්නා වූ ලෞකික මනස තමන් ඇලුම් කරන්නා වූ පාප අතහැර දැමීමේ අවශ්‍යතාවක් දකින්නේ නැත. එවන් පාපවල නියැලී සිටින්නා වූ බොහෝ අය ආලෝකයට තම ඇස් වසාගෙන, දේව අනුශාසනා කුමක් පැවැසුවද එය නොතකා තමන් ගමන් කරන්නාවූ මාර්ගයේ ඉදිරියට ඇදෙති. ඔවුන් වටා තම දල හෙළන්නාවූ සාතන් ඔවුන්ව තම ගොදුර බවට පත් කර ගනී. “මක්නිසාද ගැළවෙන පිණිස ඔහු සැබෑ කමට ප්‍රේමවීම පිළිනොගත්තේය.” එහෙයින් “බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියා කිරීමක් ඔවුන්ට එවන සේක.” (2 තෙසලෝනික 2:10,11,12)GrHSin 653.2

    භූත වාදයට එරෙහිව නැගී සිටින්නෝ විරුද්ධ වන්නේ මිනිසුන්ට පමණක් නොව සාතන්ට සහ ඔහුගේ දූතයන්ටය. ඔවුන් සටන් වැදී සිටින්නේ අධිපතිකම් වලටත්, පරාක‍්‍රමධාරින්ටන් ස්වර්ග බල මණ්ඩලයන්හි දුෂ්ටාත්ම සේනාවන්ටත් එරෙහිවය. ස්වර්ගීය පණිවිඩකරුවන්ගේ බල ශක්තියෙන් සාතන්ව පළවා හරින තෙක් ඔවුහු තමා අයිති කරගත් බිම් පෙදෙසින් ඒක අඟලකුදු හෝ අත්හැර දමන්නේ නැත. අපගේ ගැළවුම්කාරයාණෝ ආලෝකයේ දූතයෙකු ලෙසින් පැමිණ සාතන්ට මුහුණ දුන්නේ “මෙසේ ලියා තිබේ” යයි පවසමින් දේව වචන උපුටා දක්වමින්ය. එයාකාරයෙන්ම දේව ජනතාවද සාතන්ට මුහුණ දීමට දේව වචනය නැමැති අවිය භාවිතා කළ යුතුය. ක්‍රිස්තුස්වහන්සේ මෙලොව ජීවත්ව සිටි කාලයේදී මෙන්ම අදත් ශුද්ධ ලියවිලි පාඨ ගෙනහැර දැක්වීමට සාතන්ට හැකියාව ඇත. ඔහු තමාම ඉගැන්වීම් සම්මත කරගැනීමට පුළුවන් වන අන්දමට ඒවා යොදා ගනියි. මෙම වත්මන් උපද්‍රව සහිත කාලයේදී ජීවත්ව සිටින්නාවූ අය ශුද්ධ ලියවිල්ලෙහි සාක්ෂි තමන්ම උදෙසා හොඳාකාරව දැන සිටීම වැදගත්ය.GrHSin 653.3

    තමන්ගේ නෑදෑයන් හෝ මිතුරන් ලෙස පෙනී සිටිමින් යක්ෂ ආත්මයෝ බොහෝ දෙනෙකු ඉදිරියෙහි ඉතා භයානක මිථ්‍යාදෘෂ්ටික දහම් ප්‍රකාශ කරන්නට පුළුවන. මෙසේ පැමිණෙන අමුත්තෝ අපගේ හදවත්හි අනුකම්පාව පුබුදු කරමින් ඔවුන්ගේ ප්‍රකාශයන්ට පණ දෙමින් හාස්කම් ද ඉටුකරනවා ඇත. බයිබලීය සත්‍යතාවන් මගින් ඔවුන්ට එරෙහිව නැගී සිටීමට අපි සූදානමින් සිටිය යුතු වෙමු. මළාහු කිසිවක් හෝ නොදන්නා බවත් අප ඉදිරියෙහි පෙනී සිටින්නේ යක්ෂ ආත්ම බවත් අප මනාව දැන සිටිය යුතු වෙමු.GrHSin 654.1

    “පොළොවේ වසන්නන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරික්ෂාවේ පැය” අප ඉදිරියට පැමිණෙයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ වචනය මත තම ඇදහිල්ල දැඩිව සවිමත්ව ස්ථාපිත කරගෙන නැති අය මුළා කරනු ලැබ ඔවුන් පරාජය කරනු ලබනවා ඇත. මිනිස් දරුවන්ට තම ග්‍රහණයට නතු කරගන්නා පිණිස සාතන් ක්‍රියාකරනවා ඇති, “අධර්මිෂ්ඨකමෙහි අනේකාකාර මුළා කිරීම්” මගින් ඔහුගේ මුළා කිරීමේ ක්‍රියාකාරකම් නිරතුරුවම වර්ධනය වනවා ඇත. එහෙත් ඔහුගේ අරමුණු සාර්ථක කර ගත හැක්කේ මිනිසුන් තම කැමැත්තෙන්ම ස්වෙච්ඡාවෙන්ම ඔහුගේ පරික්ෂාවන්ට යටත් වන්නේ නම් පමණකි. සත්‍යතාව පිළිබඳව දැනුමක් ලබාගැනීමට අවංකවම වෙහෙසෙමින් කීකරුකම තුළින් තම ජීවිත පවිත්‍ර කරගැනීමට වෑයම් කරන්නා වූ අය තමන්ට හැකි අයුරින් අරගලය සඳහා සූදානම් වන්නා වූ අතර සත්‍යතාවේ දෙවියන්වහන්සේ තුළ ස්ථිරසාර රැකවරණයක් ලබාගන්නවා ඇත. “මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂා කළ හෙයින් .... මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි” යන්න ගැළවුම්කාරයාණන්ගේ පොරොන්දුව වන්නේය. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය රැඳවූ කිසිම අයෙකු සාතන්ගේ ග්‍රහණයට අසුවන පිණිස අත්හරිනවා වෙනුවට, උන්වහන්සේ ඔවුන් රැකවරණය කරන පිණිස ප්‍රමාදයකින් තොරව සගයේ සෑම දූතයෙකුම එවීමට සුදානම්ව සිටින සේක.GrHSin 654.2

    දුෂ්ටයන් කෙරෙහි ඉමහත් බලපෑමක් දරන්නා වූ මායාවක් පිළිබඳව යෙසායා දිවැසිවරයා අපව දැනුවත් කර ඇත. දෙවියන්වහන්සේගේ විනිශ්චයන් කෙරෙන් තමා සුරක්ෂිතව සිටිතැයි අදමිටුවෝ විශ්වාස කරති. ඒ මෙසේය: “අපි මරණය සමග ගිවිසුමක් කොට පාතාලය සමග පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය. මක්නිසාද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන වංචාකමෙහි සැඟවී” සිටිමුව. (යෙසායා 28:15). මෙසේ විස්තර කර ඇති කණ්ඩායමට අයත් අය පවසන්නේ පව්කාරයාට දඬුවමක් ලැබෙන්නේ නැතැයි කියාය. ඔවුහු වරද කළ බව දැන දැනත් හිතුවක්කාර ලෙස පසුතැවිලි නොවී තමන්ව සනසාගන්නා අය වන්නාහුය. ඔවුන්ගේ ඉගැන්වීම් අනුව සෑම මනුෂ්‍යයෙක්ම කෙතරම් දුශ්ශීල අදමිටුවෙකු වුවද ඔහු මරණින් පසුව ස්වර්ගය වෙත ඔසවා ගනු ලැබ දෙවියන්වහන්සේගේ දේව දූතයන් හා සමාන වනවා ඇත. පීඩාවන් ගංගාවක් සේ ගලා එන්නාවූ අතරේදී බැතිමතුන්ගේ රැකවරණය සඳහා සගයෙන් සත්‍යතා පොරොන්දු විශාල සංඛ්‍යාවක් ඔවුන්ට ලබා දී ඇත. එහෙත් මරණය සමග ගිවිසුමකට පිවිස පාතාලය සමග පොරොන්දුවට බැඳී සිටින්නා වූ දුෂ්ටයෝ මෙම රැකවරණ පොරොන්දු එපා කරති. ඔවුහු සාතන් විසින් රැකවරණය පිළිබඳව ඉදිරිපත් කරන්නාවූ මුසා වදන් මුළු සිතින් පිළිගෙන භූත වාදයට යොමු වෙති.GrHSin 655.1

    මෙම පරම්පරාව පත්ව ඇති අන්ධ භාවය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමටම විස්මිතය. දහස් ගණන් මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ වචනය, විශ්වාස කිරීමට නුසුදුසු වන තරම් වටිනාකමින් තොර වූවක් ලෙස ප්‍රතික්ෂේප කරමින් සාතන්ගේ මුසාවන් දැඩි විශ්වාසයකින් යුතුව පිළිගනිති. ප්‍රොපේතවරුන්ගේ සහ අපෝස්තුළුවරුන්ගේ ඇදහිල්ල පිළිබඳ වහසි බස් කියන්නා වූ ද, ශුද්ධ ලියවිලි වල ගාම්භීරතාවය හෙළා දකින්නාවූද අදේව දෘෂ්ටිකයන් කොටසක් ලෝකයේ වෙසෙති. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව ඇත්තාවූ ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශන ප්‍රතික්ෂේප කරති, ගැළවීමේ සැලැස්ම පිළිනොගනිති, සත්‍යය එපා කරන්නා වූ අය මතු පැමිණෙන දේව දඬුවම් ප්‍රතිෂ්ප කරති. දෙවියන්වහන්සේගේ ඉල්ලීම් පිළිගෙන උන්වහන්සේගේ ශුද්ධවූ ව්‍යවස්ථාවට කීකරු වන්නාවූ අය දුබල වූ, පටුවූ අන්ධ විශ්වාසයක් ඇති වුන් ලෙස සලකමින් ඔවුහු ඔවුන් කෙරෙහි තම සාතිශය කණගාටුව පළ කරති, ඔවුන්ට අනුකම්පාව දක්වති. දේව වචනයේ සත්‍යතාවන් අනුමාන කරමින් එම ප්‍රකාශන ගැරහීමට පත්කරන්නාවූ මෙම සංශයවාදීහු තමන් දරන්නාවූ ස්ථාවරය ගැන දැඩිව විශ්වාස කරති. මරණය සමග ගිවිසුමක්ද නිරය සමග සම්මුතියක්ද ඔවුන් සතුව ඇත යනු එම අයගේ චින්තනය වන්නේය. දෙවියන්වහන්සේගේ පළිගැනීමේ උදහස සහ තමන් අතර පවුරක් බැඳ ඇති බව ඔවුන් විශ්වාස කරන විලාශයක් පෙන්නුම් කෙරේ. එම පවුර බිඳගෙන යාමට හෝ එය තුළින් යාමට හැකියාවක් නැත යන්න ඔවුන්ගේ විශ්වාසයයි. ඔවුන් තුළ බියක් නිර්මාණය කිරීමට කිසිවක්ම නැත. ඔවුහු මහා පරික්ෂකයාගේ චාටු බස්වලට සම්පූර්ණයෙන්ම අවනතව සිටිති. ඔවුහු නපුරේ කුමාරයා සමග ඉතා සමීපව බද්ධව සිටිති. යක්ෂයාගේ ආත්මය සමග ඔවුහු සම්පූර්ණ ලෙසින් අන්තර්ග්‍රහණය වී සිටිති. ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදීමට හෝ ඉවත් වීමට එයට ලක්වූවන්ට කිසිම බලයක් නැත, කිසිම ආශාවක්ද නැත.GrHSin 655.2

    ලෝකය මුළා කරමින් මනුෂ්‍යයන් රැවටිල්ලකට හසුකර ගැනීමට සාතන් කාලයක් පුරා සූදානම් වෙමින් සිටී. ඔහුගේ උපක්‍රමවේදය සඳහා අත්තිවාරම යොදන ලද්දේ ඒදන් උයන තුළදීමය. “නුඹලා ඇත්තටම නසින්නේ නැත”යි කියමින් ඒවාව රවටා මිනිස් හදවත් තුළට දේව විරෝධී චින්තනයක් ඇතුළු කිරීමට සාතන් සමත් විය. එම චින්තනය ශක්තිමත් කිරීමට ඔහු තවත් මුසාවක්ද එයට එක් කළේය. “නුඹලා එයින් (ගසෙහි ගෙඩි ) කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත සහ නපුර දැනගෙන දෙවියන්වහන්සේ සමාන වන බවත්” ඔහු මුල් මාපිය යුවළට පැවසුවේය. (උත්පත්ති 3:4,5) මුළා කිරීමේ ක්‍රමවේදය ශ්‍රේෂ්ඨ කෘතිය වූ භූතවාදය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරමින් ඉතා ඉහළ ස්ථානයක් කරා ගෙන එමින් ඔහු එය කළමනාකරණය කර තිබේ. ස්වකීය සැලැස්මෙහි මුදුන් මල්කඩ කර ඔහු තව පැමිණ නැත. එහෙත් ඉතිරිව ඇත්තා වූ ඉදිරි කාලයේදී ඔහු තම ඉලක්කය කරා ළඟා වනවා සහතිකය. දිවැසි ප්‍රසාදිවරයා මෙසේ පවසයි. “මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් තුන්දෙනෙක් නික්ම එනවා දුටිමි. මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රම වූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස් කරන පිණිස ඔවුන් ළඟට යන්නා වූ හාස්කම් කරන්නා වූ යක්ෂයින්ගේ ආත්මයන්ය.” (එළිදරව් 16:13,14). දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන උන්වහන්සේගේ බලය තුළ රැකවරණය ලබාගන්නා අය හැරෙන්නට අනෙකුත් සියල්ලෝම මෙම මහත් රැවටිල්ලෙහි පංගුකාරයන් වන්නේය. අද ජනතාව මරණීය රැකවලකට නැඹුරු වෙමින් සිටිති. නින්දකට පත්වෙමින් සිටිති. ඔවුන් එම නින්දෙන් අවදි වන්නේ දෙවියන්වහන්සේගේ උදහස වැගිර වීමත් සමගය.GrHSin 656.1

    ස්වාමි වූ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: “මම විනිශ්චය ලණුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චි කරන්නෙමි. බොරුවේ රක්ෂස්ථානය ගල් වරුෂාවට පහ වන්නේය. සැඟවෙන ඉඩම ද වතුරට යට වන්නේය. මරණය සමග තිබෙන නුඹලාගේ ගිවිසුම අවලංගු වන්නේය. පාතාලය සමග තිබෙන නුඹලාගේ පොරොන්දුව පවතින්නේ නැත; ගලා එන විපත පැමිණෙන විට නුඹලා එයින් පාගා දමනු ලබන්නහුය.” (යෙසායා 28:17,18).GrHSin 657.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents