Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    37 - ශුද්ධ ලියවිල්ල රැකවරණයකි

    “ව්‍යවස්ථාවද සාක්ෂියකු වෙතට යමු! ඒ වවනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන් වීමක් නැත.” (යෙසායා 8:20). බොරු ගුරුවරුන්ගේ බලපෑමෙන් ද අන්ධකාර ආත්මයේ බලයන්ගේ රැවටිලි කාරකම් වලින්ද රැකවරණය ලබන පිණිස ශුද්ධ ලියවිලි දෙසට හැරීමට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට මගපෙන්වනු ලැබේ. මනුෂ්‍යයන් බයිබලයේ ඉගැන්වීම් දැනගැනීම වළක්වන පිණිස සාතන් තමාට හැකි සෑම උපක්‍රමයක්ම යොදවයි. කුමක්හෙයින්ද එහි පැහැදිලි ප්‍රකාශන මගින් ඔහුගේ රැවටිලිකාරකම් එළිදරව් කරනු ලැබේ. දෙවියන් වහන්සේගේ වැඩවල නවෝත්පාදයක් ඇතිවන සෑම විටම නපුරේ කුමාරයා වඩාත් ක්‍රියාත්මක වන්නේ උනන්දුවෙන්ය. ඔහු දැන් ක්‍රිස්තුස්වහන්සේට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව තමාට හැකි පමණ උනන්දුවෙන් ක්‍රියා කරන්නේ මෙය ඔහුගේ අවසාන පොරය නිසාය. ඒ ඉමහත් අවසාන රැවටීම ඉක්මණින්ම අප ඉදිරිපිට විවෘත වෙනවා ඇත. අන්ත ක්‍රිස්තු අප ඉදිරිපිට පුදුමාකාර ක්‍රියාවන් කරනවා ඇත. ඒ රැවටිලිකාර ක්‍රියාවන් සත්‍යතාවයේ ක්‍රියාවන්ට කොපමණ සමාන වෙනවා ඇද්ද යත් ශුද්ධ ලියවිල්ලේ මගපෙන්වීම නොමැතිව ඒවා හඳුනාගැනීමට අපට නුපුළුවන් වෙනවා ඇත. ඔවුන්ගේ සාක්ෂිවල සෑම ප්‍රකාශනයක් හා හාස්කමක්ම සෝදිසි කරනු ලැබිය යුතුය.GrHSin 690.1

    දෙවියන්වහන්සේගේ සියලු ආඥාවන් පවත්වන්නාවූ අයට නිග්‍රහ කරනු ලබනවා ඇත, ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනු ලබනවාද ඇත. ඔවුන්ට ස්ථිරව සිටීමට පුළුවන් වන්නේ දෙවියන්වහන්සේ තුළ පමණය. තමා ඉදිරිපිට තිබෙන්නා වූ පීඩාවන් වටහාගැනීමට පුළුවන් වන පිණිස ඔවුන් විසින් බයිබලයෙන් දක්වා තිබෙන අන්දමට දෙවියන් - වහන්සේගේ වචනය වටහා ගත යුතුය. උන්වහන්සේගේ චරිතය, පාලන ස්වභාවය හා අභිප්‍රායන් හරියාකාරව වටහා ගනිමින් ඒවායෙන් දැවෙන ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීමෙන් පමණක්ම උන්වහන්සේට ගරු කිරීමට ඔවුන්ට පුළුවන. ඒ අවසාන මහා අරගලයේදී ස්ථිරව සිටීමට පුළුවන් වන්නේ බයිබලයේ සත්‍යයන් මගින් තමාගේ මනස ශක්තිමත් කරගැනීමට පුළුවන් වූ අයට පමණය. සෑම පුද්ගලයාවම සෝදිසි කරන පරීක්ෂණය වන්නේ: “මම මනුෂ්‍යයන්ට වැඩියෙන් දෙවියන්වහන්සේ කීකරු වන්නෙහිද?” යන්නය. දැන්ද මේ තීරණාත්මක පැය ඉතා ආසන්නය. අපගේ පාද දෙවියන්වහන්සේන්ගේ වෙනස් නොවන්නාවූ වචනය වන පර්වතය මත පිහිටා තිබෙන්නේද ? දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් හා යේසුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල උදෙසා ස්ථිරව සිටීමට අප සූදානම් ද?GrHSin 690.2

    තමන්වහන්සේ කුරුසිපත් කරනු ලැබීමට පෙර යේසුස් වහන්සේ, තමා මරනු ලබන්ට යන බවද තමා නැවත සොහොනින් නැගිටින බවද තමන්වහන්සේගේ ගෝලයන්ට විස්තර කළසේක. ඔවුන්ගේ සිත් හා හදවත් තුළට මේ වචන කාවදවන පිණිස දේවදූතයෝ එහි සිටියහ. නමුත් ගෝලයන් බලා සිටියේ රෝම වියගසින් භෞතික ලෙස මුදනු ලැබීම ගැනය. ඔවුන්ගේ මුළු බලාපොරොත්තුවේම මාධ්‍යය වූ සුවසේ නින්දිත මරණයකට මුහුණ දීමට සිදුවන බවට වූ සිතුවිල්ල දරාගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. ඔවුන් විසින් මතක තබාගත යුතු වූ විට ඔවුන්ගේ කල්පනාවෙන් ඉවත් විය. පීඩාවේ හා සෝදිසියේ අවස්ථාව පැමිණි විට ඔහු එයට සුදානම්ව නොසිටියහ. යේසුස්වහන්සේගේ මරණය ඔවුන්ගේ බලාපොරොත්තු විනාශ කළේ උන්වහන්සේ ඒ ගැන ඔවුන්ට කළින් අවවාද කර නොතිබුණා සේය. ක්‍රිස්තුස්වහන්සේගේ වචන මගින් උන්වහන්සේ ගෝලයන්ට තමන්වහන්සේගේ මරණය ගැන දන්වා තිබුණ අන්දමටම අනාවැකි මගින් අප ඉදිරිපිටද අනාගතය විවෘත කර තිබේ. සෝදිසි කිරීමේ කාලයේ අවසානයට ද පීඩා ඇතිවීමට සූදානම් වීමේ කාලයටද සම්බන්ධ වන කරුණු අපට පැහැදිලි ලෙස දක්වා තිබේ. නමුත් මේවා එළිදරව් කර නොතිබුණා සේ බොහෝ දෙනා මේ වැදගත් සත්‍යයන් ගැන කිසිත් නොදැන සිටිති. ගැළවීම ලැබීම සඳහා ඔවුන් දැනගත යුතු කරුණු ඉවත් කිරීමට සාතන් බලා සිටියි; එහෙයින් පීඩාවන් ඇතිවන කාලය පැමිණෙන විට ඔවුන් එයට සුදානම් රහිතව සිටිනවා ඇත.GrHSin 691.1

    දෙවියන්වහන්සේ ඉතා වැදගත් අවවාදයන් මනුෂ්‍යයන්ට දෙන පිණිස අහස මැද පියාසර කරන දේවදූතයන්ගේ සංකේතයන් පාවිච්චි කරන විට උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ යම් වැටහීමක් ඇති සෑම මනුෂ්‍යයෙක්ම ඒ පණිවිඩ ගැන සැලකිලිමත් විය යුතු බවය. මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන්නන් මත පමුණුවනු ලබන විනිශ්චයන් සියලු මනුෂ්‍යයන්ට මගපෙන්විය යුත්තේ මෘගයාගේ ලකුණ කුමක්ද කියාත් එය ලබා නොගැනීමට තමා සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියාත් දැනගන්නා පිණිස අනාවැකි ඉගෙනීමටය. (එළිදරව් 14:9-11). නමුත් බොහෝ මනුෂය්‍යයෝ සත්‍යය ඇසී මට නුපුළුවන් වන පිණිස තමාගේ කන් ඉවතට හරවා ගනිමින් ප්‍රබන්ධයන්ට සවන් දීමට යොමු වෙති. පාවුල් අපෝස්තුළු තුමා අවසාන කාලය දෙස බලමින් මෙසේ පැවසුවේ මනුෂ්‍යයන් “සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය.” (2 තිමෝති 4:4). ඒ කාලය දැනටම පැමිණ තිබේ. තමන්ගේ පාපතර වූද ලෝකයේ ආශාවන්ගෙන් පූර්ණවූද හදවත්වල ආශාවන්ට බයිබලයේ සත්‍යයන් බාධාවක් වන බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒවාට ආශා නොවෙති. සාතන් ඔවුන් ආශා කරන රැවටිලිකාරකම් ඔවුන්ට ලබාදෙයි.GrHSin 691.2

    නමුත් බයිබලය, එසේය බයිබලය පමණම සියලු ධර්මයන්හි ප්‍රතිපත්තියද, සියලු නවෝත්පාදයන්හි පදනමද කරගන්නා වූ සෙනඟක් මේ ලෝකයේ සිටීම දෙවියන්වහන්සේගේ අදහසය. උගතුන්ගේ අදහස් ද, විද්‍යාවේ තීරණද, ලෝකයේ පවතින අනන්තවූ එක එකට විරුද්ධ වන්නාවූ සභාවන්හි විශ්වාසයන් හෝ තීරණයද, බහුතරයකගේ හඬද යන මේ සියල්ල එසේය මේ කිසිවක් ආගමික ඇදහිල්ලේ කිසියම් කාරණයකට රුකුළක් හෝ බාධාවක් හැටියට පිළිගනු නොලැබිය යුතුය. කිසියම් ධර්මයක් හෝ ප්‍රතිපත්තියක් පිළිගැනීමට පෙර අප විසින් සෝදිසි කර බැලිය යුත්තේ: “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක” යන්න ඒ ගැන පැවසිය හැකිද කියාය.GrHSin 692.1

    සාතන් නිරතුරුවම උත්සාහ කරන්නේ දෙවියන්වහන්සේ නොවු මනුෂ්‍යයන්ට අවධානය යොමු කරවීමටය. තමාගේ යුතුකම් මොනවාදයි දැනගන්නා පිණිස ශුද්ධ ලියවිලි සොයනවා වෙනුවට බිෂොප්වරුන් හා පූජකවරුන්ද ධර්මය උගන්වන්නද තමාගේ මගපෙන්වන්නන් කරගන්ට මනුෂ්‍යයන් යොමු කිරීමට සාතන් උත්සාහ කරයි. ඊට පසුව, මේ නායකයන්ගේ මනස පාලනය කරමින් ඔහුගේ කැමැත්ත කිරීමට මනුෂ්‍යයන් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඔහුට පුළුවන.GrHSin 692.2

    යේසුස්වහන්සේ ජීවනදායක වවන පැවසීමට පැමිණි විට පොදු ජනයා කැමැත්තෙන්ම උන්වහන්සේට සවන් දුන්හ, සමහර පූජකයෝ හා ආණ්ඩුකාරයෝද උන්වහන්සේ විශ්වාස කළහ. එහෙත් නායක පූජකයන්ද ජාතියේ නායකයන්ද තීරණය කරගෙන තිබුණෙ උන්වහන්සේගේ ඉගැන්වීමේ වරදට පත්කරමින් ඒවා එපා කිරීමටය. උන්වහන්සේට විරුද්ධව චෝදනා සෙවීමේදී ඔහු වියවුලට පත්වූහ; උන්වහන්සේගේ වචනවල පැවති දිව්‍ය බලයේද ප්‍රඥාවේද අනුබලය ඔවුන්ට දැනුණි. එසේ වුවද ඔහු උන්වහන්සේ කෙරෙහි විරුද්ධවාදී අදහස් ඇතිව සිටියහ. උන්වහන්සේගේ ගෝලයන් වීමට ඔවුන් තුළ පෙළඹීමක් ඇති නොවන පිණිස ඔහු උන් වහන්සේ මෙසියස්වහසේ බව දක්වා ඔප්පු සාක්ෂි එපා කළහ. යේසුස්වහන්සේට විරුද්ධව සිටියා වූ මේ මනුෂ්‍යයන් වනාහි බාල වියෙහි පටන්ම දිව්‍ය බලයට හිස නැමීමටද ගරු කිරීමටද උගන්වනු ලැබුවන් වූහ. ඔව්හු මෙසේ විසූහ: “අපගේ නායකයන් හා උගත් ලියන්නත් යේසුස්වහන්සේ විශ්වාස නොකරන්නේ ඇයි? උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වූසේක් නම් මේ දේවභක්ති මනුෂ්‍යයන් උන් වහන්සේ පිළිගන්නවා නොවේද?” යුදෙව් ජාතිය ඔවුන්ගේ මිදුම්කාරයාණන්වහන්සේ එපා කරන්ට යෙදුණේ මෙබඳු ගුරුවරුන්ගේ අනුබලය නිසාය.GrHSin 692.3

    තමා තුළ උසස් දේව භක්ති භාවයක් තිබෙන බව දක්වන්නා වූ බොහෝ දෙනා තුළ මේ කාලයේදී ද ඒ පූජකයන් හා නායකයන් තුළ පැවති ආත්මය පවතියි. මේ කාලය සඳහා දී තිබෙන විශේෂ සත්‍යයන් පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ ඇත්තාවූ සාක්ෂිය සෝදිසි කර බැලීමට ඔහු අකමැති වෙති. ඔහු වස්තුව හා ජනප්‍රියතාවය ඇත්තා වූ විශාල ජන සංඛ්‍යාව දෙස බලති; සත්‍යය ප්‍රකාශ කරන්නාවූ අය දුලබව, දුගීව මහජනයාගේ අප්‍රසන්නතාවය ඇතිව සිටින අතර මනුෂ්‍යයන් ඔවුන් දෙස බලමින්, මනුෂ්‍යයා ලෝකයෙන් ඉවත් කරන්නාවූ ඇදහිල්ලක් ඔවුන්ට තිබෙන්නේ යයි පවසති.GrHSin 693.1

    යුදෙව්වරුන් විසුරුවා හරිනු ලැබීමේදී පවා ලියන්නන් හා එරිසිවරුන් නොනිසි ලෙස තමාගේ බලය කියාපෑම නොනවත්වන බව ක්‍රිස්තුස්වහන්සේ දුටුසේක. හෘදය සාක්ෂිය පාලනය කිරීමට මනුෂ්‍යය ආධිපත්‍යය ක්‍රියාකරන්ට යන බව උන්වහන්සේ කළින් දුටුසේක. මෙය සියලු කාල වලදීම සභාවට ඉමහත් ශාපයක් වී තිබේ. මේ අන්ධ නායකයන් අනුගමනය නොකිරීමට අවවාද කරමින් උන්වහන්සේ ඉතා තදින්ම මේ ලියන්නට හා එරිසිවරුන්ට විරුද්ධව කථා කළ බව අනාගත පරම්පරාවක්ම අවවාදයක් වන පිණිස සටහන් කර තිබේ.GrHSin 693.2

    ශුද්ධ ලියවිලි තේරුම් කරදීම පූජක පක්ෂයේ කාර්යයක් බව රෝම සභාව දක්වයි. පැවිදි පක්ෂයට පමණක් දෙවියන්වහන්සේගේ වචනය විස්තර කරදීමට පුළුවන්ය යන අදහස අනුව ශුද්ධ ලියවිලි පොදු ජනයාට දෙනු ලබන්නේ නැත. ප්‍රතිසංස්කරණය මගින් දේව වචනය සියලු දෙනාටම් දෙනු ලැබූ නමුත්, රෝම සභාවේ පවතින ඒ ප්‍රතිපත්තිය අනුවම, ප්‍රොතැස්තන්ත සභාවන්හි බොහෝ අයද තමා උදෙසාම බයිබලයේ වචන සොයා බැලීමෙන් වලක්වනු ලබති. සභාව දක්වෙන අන්දමට එහි ඉගැන්වීම් පිළිගැනීමට ඔවුන්ට උගන්වනු ලැබේ. ඒ අනුව, දහස් ගණන් ජනයාත්, ඔවුන්ගේ සභාවේ ඉගැන්වීම්වලට හෝ ඔවුන්ගේ ඇදහිල්ලේ ක්‍රමයට වෙනස් වන්නාවූ ඉගැන්වීම් බයිබලයේ පැහැදිලි ලෙස එළිදරව් කරනු ලබන නමුත් ඒවා පිළිගැනීමට ඉදිරිපත් නොවෙති.GrHSin 693.3

    බොරු ගුරුවරුන් ගැන බයිබලයේ බොහෝ අවවාද දී තිබේ. එසේ වුවද බොහෝ අය තමන්ගේ ආත්ම, පැවිදි පක්ෂයේ රැකවරණයට භාර කිරීමට සූදානම්ව සිටිති. අද දවසේ, ආගමික නාමය දරන්නාවූ දහස් ගණන් ජනයාට තමාගේ ඇදහිල්ලට හේතුන් වශයෙන් දැක්විය හැක්කේ ඔවුන් ඒවා අනුගමනය කරන්නේ ඔවුන්ගේ ආගමික නායකයන් ඒ දේවල් ඔවුන්ට ඉගැන්වූ නිසා බව පමණය. ඔහු ගැළවුම් - කාරයාණන්ගේ ඉගැන්වීම් නොතකා හරිමින් පුජකවරුගේ වචන මත සම්පුර්ණ විශ්වාසය තබති. නමුත් පූජකවරු වැරදි නොකරන්නාවූ අයවල්ද? ඔවුන් ආලෝකය දරන්නන් බව දේව වචනයේ මගපෙන්වීම අනුව තීරණය කිරීමට නුපුළුවන් නම් ඔවුන්ගේ මගපෙන්වීමට භාරවීමට අපට පුළුවන් වන්නේ කෙසේද? ලෝකයේ පිළිගත් මාවතින් ඉවත්වීමට සුචරිතානුකුල ධෛර්යයක් නොමැති වීම නිසා බොහෝදෙනා උගතුන් අනුව යති. තමා උදෙසාම යම් යම් දේ සොයා බැලීමට පසුබටවීම නිසා ඔහු වැරදි ඉගැන්වීම් නමැති දම්වැල් වලට සවි වී සිටිති. මේ කාලයට නියමිත සත්‍යයන් බයිබලයේ පැහැදිලි ලෙස දක්වා තිබෙන බව ඔව්හු දකිති; එසේම, ඒ සත්‍යයන් ප්‍රකාශ කිරීමේදී ශුද්ධාත්මයාණගේ බලය ක්‍රියාකරන බවද ඔහු දනිති. එසේ වුවද පූජක පැවිදි පක්ෂය දක්වන විරුද්ධවාදිකම් මගින් තමාව සත්‍යයෙන් ඉවත් කරනු ලැබීමට ඔව්හු ඉඩ දෙති. වටහාගැනීමද හෘදය සාක්ෂියද සත්‍යය ඒත්තු ගන්නේ වුවද, රැවටීමට අසුවූ මේ මනුෂ්‍යයෝ ඒ පුජකවරුන්ගේ අදහස්වලට වෙනස් වන අන්දමට කල්පනා කිරීමට කැමති නොවෙති. අන් අයෙකුගේ අවිශ්වාසයට, උඩඟුවට හා වැරදි අදහස්වලට ඔවුන්ගේ සදාකාලික තත්ත්වය පූජා කරනු ලැබේ.GrHSin 693.4

    තමාට අසුවූ අයවලුන් බැඳ තබාගන්නා පිණිස සාතන් මානුෂික බලපෑම් පාවිච්චි කරමින් අනේකාකාර අන්දම්වලින් ක්‍රියා කරයි. ඔහු බොහෝ අය. තමාට සම්බන්ධ කරගන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය පුජාවට සතුරන් වන අයට ඔවුන්ව ප්‍රේමයේ රිදී නූලින් සම්බන්ධ කරමිනි. මෙය දෙමාපිය දරු සබඳතාවය වුවද, විවාහයේ සබඳතාවයක් හෝ සමාජයීය සබඳතාවයක් වුවද, එයින් එකම අන්දමේ ප්‍රතිඵල ඇති වෙයි. සත්‍යයට විරුද්ධ වන්නා වූ අය හෘදය සාක්ෂිය පාලනය කිරීමට ඔවුන්ගේ අනුබලය යොදවති. ඔවුන්ගේ බලපෑමට යටත් වන අයට, යුතුකම් ගැන තමාට ඇත්තාවු වැටහීම්වලට කීකරුවීමට ප්‍රමාණවත් නිදහස හෝ ධෛර්ය නොමැත.GrHSin 694.1

    සත්‍යය හා දෙවියන්වහන්සේගේ තේජස වෙන් කිරීමට නුපුළුවන. බයිබලය ලබාගැනීමට පුළුවන්කම තිබියදී, වැරදි අදහස් මගින් දෙවියන්වහන්සේට ගරු කිරීමට අපට කිසිසේත් නුපුළුවන. තමාගේ විශ්වාසය කුමක් වුවද තමාගේ ජීවිතය හරියාකාරව පවතින්නේ නම් එය ප්‍රමාණවත් යයි සමහර අය පවසති. නමුත් අපගේ ජීවිත හැඩගස්වනු ලබන්නේ අපගේ ඇදහිල්ල අනුවය. ආලෝකය හා සත්‍යය ලබාගැනීමේ හැකියාව තිබෙන අතර අපි එය ඇසීමට හා දැකීමට ඇත්තා වූ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන නොගනිමු නම්, අපි ඒවා එපා කරන්නන් වෙමු. එවිට අපි ආලෝකය වෙනුවට අන්ධකාරය පිළිගන්නන් වෙමු.GrHSin 694.2

    “මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.” (හිතෝපදේශ 16:25) දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට සෑම ඉඩ ප්‍රස්ථාව තිබෙන විට, නොදනුවත්කම පාපයට හෝ වරද කිරීමට සමාවට කාරණයක් වන්නේ නැත, ගමනක යෙදෙන මනුෂ්‍යයෙක් මංසන්ධියකට පැමිණෙයි. එහි එක් එක් මාවත යොමු කරන්නේ කොතැනට දැයි දක්වන දැන්වීම් පුවරුවක්ද ඒ ස්ථානයේ තිබේ. ඔහු ඒ දැන්වීම් පුවරුව නොතකා හරිමින් තමාට සුදුසු යයි හැඟෙන මාවතක් ඔස්සේ යන්නට පුළුවන. ඔහු කොපමණ අවංක ලෙස ඒ මාවත තෝරා ගන්නේ වුවද, තමා වැරදි මාවතක සිටින බව අවසානයේදී ඔහුට පෙනී යනවා ඇත.GrHSin 695.1

    දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ වචනය දි තිබෙන්නේ අප එහි ඇත්තාවූ ඉගැන්වීම් දැනගෙන, උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අප විසින්ම දැනගන්නා පිණිසය. ව්‍යවස්ථාව උගන්වන්නෙක් යේසුස්වහන්සේ වෙතට පැමිණ මෙසේ විමසුවේය: “ආචාරිනී, සදාකාල ජීවනය උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතුද?” ගැළවුම්කාරයාණන්වහන්සේ ඔහුව ශුද්ධ ලියවිල්ලට යොමු කරමින් මෙසේ පැවසූ සේක: “ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේද?” (ලූක් 10:25,26) නොදනුවත්කම් බාල මහළු කිසිවෙකුට සමාවට කරුණක් වන්නේ නැත. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩකිරීම ගැන දෙනු ලබන දඬුවමින් එය ඔවුන් නිදහස් කරන්නේ ද නැත. කුමහෙයින්ද, උන්වහන්සේගේ ව්‍යවස්ථාවද එහි අවශ්‍යතාවයන් හා ප්‍රතිපත්තිය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කර එය ඔවුන්ගේ අත්වලට පමුණුවා තිබේ. යහපත් අභිප්‍රායන් ඇතිව සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ; හරි යයි තමා සිතන දෙය කිරීම හෝ හරිදෙය යයි පූජකයා කියන දෙය කිරීම ප්‍රමාණවත් නොවේ. ඔහුගේ ආත්මයේ ගැළවීම විනාශ අභිමුඛයේ පවතින බැවින් ඔහු විසින් පුද්ගලික ලෙසම ශුද්ධ ලියවිලි සොයා බැලිය යුතුය. තමාගේ වැටහිම කොපමණ බලසම්පන්න වුවද, සත්‍යය කුමක්දැයි පූජකයා දන්නා බව ඔහු කොපමණ දුරට විශ්වාස කරන්නේ වුවද ඒවා ඔහුගේ ජීවිතයේ පදනම වන්නට නුපුළුවන. ස්වර්ගයට යන ගමනේදී සෑම මාර්ග ලක්ෂණයක්ම දක්වන සැලැස්මක් ඔහුට තිබේ. එහෙයින් ඔහු විසින් තමාගේ අදහස් අනුව ක්‍රියා. නොකළ යුතුය.GrHSin 695.2

    කල්පනා ශක්තිය ඇත්තාවූ සෑම පුද්ගලයාම සත්‍යය කුමක්දැයි දැනගන්නා පිණිස ශුද්ධ ලියවිලි ඉගෙනීම ඔහුට ඇත්තා වූ ප්‍රමුඛ උතුම් වගකීමකි. ඊටපසුව ඔහු තමාට ලැබුණාවූ ආලෝකය අනුව ජීවත් වෙමින් තමාගේ ආදර්ශය අනුගමනය කිරීමට අන්‍යයන් ද දිරිගැන්විය යුතුය. අප විසින් දවස්පතාම උනන්දුවෙන් බයිබලය උගත යුතුය; ශුද්ධ ලියවිල්ලේ එක පාඨයක් තවත් එකක් සමග සසඳා බලමින් අප විසින් සෑම සිතුවිල්ලක්ම කිරා බැලිය යුතුය. අප විසින් පුද්ගලික ලෙස දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිමින් අප ගැන උන්වහන්සේට ගණන් දිය යුතු බැවින්, අප විසින්, දිව්‍ය උපකාරය ඇතිව පුද්ගලික ලෙස කාරණා තෝරා බේරාගත යුතුය.GrHSin 696.1

    උගත් මනුෂ්‍යයෝ බයිබලයේ පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙන සත්‍යයන් අනුමාන කරමින් ඒවා අන්ධකාරයට යොමු කර තිබේ. තමාට ඉමහත් ප්‍රඥාව තිබෙන්නේ යයි දක්වමින් ඔවුන් උගන්වන්නේ ශුද්ධ ලියවිලි අභිරහසිගත, රහසිගත ආත්මික අර්ථයන් තිබෙන බවත්, ලියන ලද භාෂාවෙන් ඒවා ප්‍රකාශිත නොවන බවත්ය. මේ මනුෂ්‍යයෝ බොරු ගුරුවරුන් වෙති. මෙබඳු අයවලුන් ගැන යේසුස් - වහන්සේ මෙසේ කීසේක : “නුඹලා වරද්දා ගන්නේ ශුද්ධ ලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්න නිසා නොවේද?” (මාක් 12:24). බයිබලයේ භාෂාව, එමගින් පැහැදිලි වන අර්ථය අනුව වටහාගනු ලැබිය යුතුය. එය වෙනස් වන්නේ යම් සංකේතයක් හෝ රූපකයක් යොදනු ලැබූ විට පමණය. ක්‍රිස්තුස්වහන්සේ මෙයාකාර පොරොන්දුවක් දුන්සේක: “යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම් ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්විමක්ද....යි දැනගන්නේය.” (යොහන් 7:17). බොරු ගුරුවරුන්ගේ වියවුල් කිරීම හා වැරදි මගපෙන්වීම නොමැති ව මනුෂ්‍යයන් බයිබලය තමා කියවන අන්දමටම පිළිගන්නවා නම් ඔවුන් තුළ ඇතිවන ක්‍රියා පිළිවෙල ගැන දේවදුතයන් ප්‍රීතියට පත්වෙනවා ඇත. දැන් වැරදි මාර්ගවලට යොමුවී සිටින දහස් සංඛ්‍යාත ජනයා එමගින් ක්‍රිස්තුස්වහන්සේගේ රැළට එකතු කරනු ලබනවා ඇත.GrHSin 696.2

    ශුද්ධ ලියවිල්ල ඉගෙනීමට අප විසින් අපගේ සියලු බලයන් ක්‍රියාත්මක කළ යුතුය, මානුෂික තත්ත්වයෙන් හැකි පමණ දුරට දෙවියන්වහන්සේගේ ගැඹුරු සත්‍යයන් වටහාගැනීමට අපගේ කල්පනාව යොමු කළ යුතුය. ඒ අතරම, ඉගෙන ගන්නා වූ තැනැත්තා තුළ දරුවෙකුගේ යටහත් පහත් අවංක ආත්මයක් තිබිය යුතු බව අප විසින් අමතක නොකළ යුතුය. ප්‍රඥාව යොමු කර ගැටළු විසඳා ගන්නා අන්දමට ශුද්ධ ලියවිල්ලේ දුෂ්කරතාවයන් විසඳා ගැනීමට අපට නුපුළුවන. විද්‍යාවේ කරුණු වටහාගන්නා විට මෙන් නොව බයිබලය ඉගෙනීමේදී අප විසින් ආත්ම විශ්වාසයකින් යුක්තව එයට යොමු වීමෙන් වැලකිය යුතුය. අප විසින් එය ඉගෙන ගත යුත්තේ යාච්ඤාවෙන් යුක්තව, දෙවියන්වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට අවංක ආශාවකින් යුක්තවය. අති උතුම්වූ සිටිමියි නම් වූ තැනන්වහන්සේගෙන් දැනගැන්ම ලබාගන්නා පිණිස අප විසින් යටහත්වූද, උගන්වනු ලැබීමට පුළුවන් වන්නා වූද සිතකින් යුක්තව දේව වචනය වෙත පැමිණිය යුතුය; නැතහොත්, සත්‍යය අපගේ සිත් තුළට ඇතුල් නොවන පිණිස නපුරු දූතයන් අපගේ සිත් අන්ධ කරමින් අපගේ හදවත් තද කරනවා ඇත.GrHSin 696.3

    අභිරහසක්ය කියා හෝ වැදගත්කමක් නැතැයි කියා හෝ උගත් මනුෂ්‍යයන් සලකන ශුද්ධ ලියවිලි කොට්ඨාශ බොහොමයක් ක්‍රිස්තුස්වහන්සේගේ පාසැලේ ඉගෙනුම ලබා තිබෙන අයට සැනසිලිදායක, අනුශාසනාත්මක වචනවලින් පූර්ණය. බොහෝ දේව ධර්මාචාරීන්ට දෙවියන්වහන්සේගේ වචනය ගැන පැහැදිලි වැටහීමක් නොමැත්තේ ඔවුන් තමා ක්‍රියාවේ යෙදවීමට කැමති නොවන්නාවූ සත්‍යයන්ට තමාගේ ඇස් වසාගන්නා නිසාය. බයිබලයේ සත්‍යයන් වටහාගැනීමේ හැකියාව රඳා පවතින්නේ එය සෙවීමට යොදවන ප්‍රඥාවේ බලය මත නොව පුද්ගලයාට ඒ ගැන ඇති අභිප්‍රායද, ධර්මිෂ්ඨකම ලබාගැනීමට ඔහු තුළ ඇති ආශාවද මතය.GrHSin 697.1

    යාච්ඤා නොකර බයිබලය ඉගෙන ගැනීමට යොමු නොවිය යුතුය. වටහාගැනීමට පහසු දේවල වැදගත්කම තේරුම් ගැනීමටද, වටහා ගැනීම අපහසුවන සත්‍යයන් සමග පොර බැදීමෙන් වැලකීමටද අපට උපකාර කළ හැක්කේ ශුද්ධාත්මයාණන්වහන්සේට පමණය. දෙවියන්වහන්සේගේ වචනයේ අලංකාරයෙන් ප්‍රීතිවිමට ද, එහි ඇත්තාවූ අවවාදවලින් අනුශාසනා කරනු ලැබීමටද, එහි ඇත්තා වූ පොරොන්දු මගින් ප්‍රබෝධමත් කරනු ලැබීමට හා ශක්තිමත් කරනු ලැබීමටද අපගේ සිත් සූදානම් කිරීම ස්වර්ගීය දූතයන් සතු සේවයය. ගීතිකාකාරයා මෙසේ පැවසුවේය: “ඔබගේ ව්‍යවස්ථාව‍ෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.” (ගීතාවලිය 119:18), අප විසින් මෙය අපගේද යාච්ඤාව කර ගත යුතුය. යාච්ඤාව හා බයිබලය ඉගෙනීම අතපසු කළ විට පරික්ෂාවන්ට විරුද්ධව සිටීම ඉතා අපහසු වෙනවා ඇත. කුමක් හෙයින්ද, එවිට පරික්ෂාවට පමුණුවනු ලැබූ තැනැත්තාට දෙවියන්වහන්සේගේ පොරොන්දු මතක් කරගෙන ශුද්ධ ලියවිල්ල නමැති ආයුධයෙන් සාතන්ට මුහුණ දිමට නුපුළුවන. නමුත් දිව්‍ය කාරණා ඉගෙනීමට ආශාවන අයවලුන් අවට දේවදූතයෝ සිටිති. අවශ්‍යතාවයක් ඇතිවූ විට ඔහු ඔවුන්ට අවශ්‍යවන සත්‍යයන් ඔවුන්ගේ මතකයට යොමු කරනවා ඇත. සතුරා ජල ධාරාවක් මෙන් එන විට ස්වාමින්වහන්සේගේ ආත්මය ඊට විරුද්ධව නැගී සිටිනවා ඇත.”GrHSin 697.2

    යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට මේ පොරොන්දුව දුන්සේක. “මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් ශුද්ධාත්මයාණන්වහසේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකරවන සේක.” (යොහන් 14:26). නමුත්, කරදරයක් ඇති අවස්ථාවකදී උන්වහන්සේගේ වචන අපට මතක් කරදීමට දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පුළුවන් වන පිණිස ඊට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අපගේ සිත් තුළ නිදන් කරනු ලැබ තිබිය යුතුය. දාවිත් මෙසේ පැවසුවේය: “ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.” (ගීතාවලිය 119:11).GrHSin 698.1

    තමාගේ සදාකාලික කාරණා අගය කරන්නාවූ සියලුදෙනාම අදේවදෘෂ්ටියට තමා තුළට ඇතුල් වීමට නුපුළුවන් වන පිණිස රැකවලේ යෙදී සිටිය යුතුය. සත්‍යයේ ප්‍රමුඛ ස්ථම්භකයට පවා පහර දෙනු ලබනවා ඇත. නවින අදේවදෘෂ්ටියේ අපහාසාත්මක වචන වලින්ද, කූට උපායන්ගෙන්ද, අන්තරාදායක කරදරකාර ඉගැන්වීම් වලින්ද ඈත් වී සිටීම පහසු කාර්යයක් නොවේ. සාතන් අනේක තත්ත්වයන්හි මනුෂ්‍යයන්ට සුදුසු අන්දමට පරික්ෂාවන් සකසයි. ඔහු නූගත් අයවලුන්ට නිග්‍රහයක් හෝ විහිළුවක් ඉදිරිපත් කරයි; ඒ අතර ඔහු උගත් අයවලුන්ට විද්‍යාත්මක විරුද්ධත්වයන් හා දර්ශනවාදීන්ගේ වටහාගැනීම් ඉදිරිපත් කරයි. ඒ සියල්ලම සකසනු ලබන්නේ ශුද්ධ ලියවිල්ල අනුමාන කරමින් එය කෙරෙහි අප්‍රසන්නතාවයක්ද ඇති කරන පිණිසය. වැඩි අත්දැකීමක් නොමැති යෞවනයෝ පවා ක්‍රිස්තු ධර්මයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති අනුමාන කිරීමට යොමු කරනු ලබති. මේ යෞවනයන්ගේ අවිශ්වාසවන්තකම නොගැඹුරු වුවද එයින් බලපෑමක් ඇතිවෙයි. මේ අන්දමින් බොහෝ අය තම පියවරුන්ගේ ඇදහිල්ලට කවටකම් කිරීමටද අනුග්‍රහයේ ආත්මය සුළු කිරීමටද යොමු වෙති. දෙවියන්වහන්සේට ගෞරවයක් වීමටද ලෝකයට ආශිර්වාදයක් විමටද හැකියාව පැවති බොහෝ ජීවිත අවිශ්වාසයේ දුගඳින් නරක් වී තිබේ. මනුෂ්‍යයන්ගේ පාරට්ටුවෙන් යුත් කල්පනාකාරිත්වය හා තීරණයන් කෙරෙහි විශ්වාසය තබමින්, තමාට දිව්‍ය අභිරහස් වටහාගැනීමට පුළුවනැයි කල්පනා කරමින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ උපකාරය නොමැතිවී යම් කාරණා සත්‍යයන් යයි තීරණය කරගන්නා වූ සියලු දෙනාම සාතන්ගේ උගුල පැටලෙනවා ඇත.GrHSin 698.2

    අප ජීවත් වන්නේ ලෝක ඉතිහාසයේ ඉතාම බැරෑරුම් යුගයකය. ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ඉරණම ඉක්මණින්ම තීරණය කරනු ලබනවා ඇත. අපගේ අනාගත සෞභාග්‍යයද වෙනත් අයගේ ගැළවීම ද රඳා පවතින්නේ අප දැන් ක්‍රියාකරන්ට යන්නා වූ පිළිවෙල මතය. අප සත්‍යතාවයේ ආත්මයාණන් විසින් මගපෙන්වනු ලැබිය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන සෑම කෙනෙක්ම “ස්වාමිනී, මා කුමක් කරනවාට ඔබවහසේ කැමති වන සේක්ද?” යි උනන්දුවෙන් ඇසිය යුතුය. අප විසින් නිරාහාරව සිටීමෙන් හා යාච්ඤා කිරීමෙන් අපවම යටත් කරගෙන දෙවියන්වහන්සේගේ වචන ගැන, විශේෂෙයෙන්ම ඒ විනිශ්චයේ දර්ශන ගැන, මෙනෙහි කළ යුතුය. දෙවියන් වහන්සේගේ කාරණා පිළිබඳව ගැඹුරු ජීවමාන අත්දැකීමක් ලබාගැනීමට අපි දැන් ආශා විය යුතුය. මොහොතක් පමණවත් අපතේ හැරීමට අපට නුපුළුවන. ඉතා වැදගත් දේවල් අප අවට සිදුවෙමින් පවතියි. අපි සාතන්ගේ රැවටිලිකාර භූමියේ සිටිමු. දෙවියන්වහන්සේගේ රැකවලුනි, නිදා නොගන්න. ඔබ මඳක් නොසැලකිලිමත්ව නිදිබර වුවහොත් ඔබ, මත්තට පැන ඔබව තමන්ගේ ගොදුරු කරගැනීමට සතුරා ඉතා ආසන්නව සැරිසරමින් සිටියි.GrHSin 699.1

    තමාට දෙවියන්වහන්සේ ඉදිරිපිට තිබෙන්නාවූ තත්ත්වය ගැන බොහෝ අය රැවටී සිටිති. තමා නොකරන්නා වූ වැරදි ක්‍රියාවන් ගැන. ඔහු තමාටම ප්‍රශංසා කරගනිති. නමුත්, ඔවුන් කරනවා ඇතැයි දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන යහපත් උතුම් ක්‍රියාවන් කිරීම් තමා අතපසු කරන බව ඔහු අමතක කරති. ඔවුන් දෙවියන්වහන්සේගේ උයනේ වෘක්ෂයන් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එල දැරීමෙන් ඔවුන් උන්වහන්සේගේ බලාපොරොත්තු සම්පුර්ණ කළ යුතුය. උන්වහන්සේන්ගේ අනුග්‍රහයේ ශක්තිය කරණකොටගෙන ඔවුන් විසින් කළ යුතු වූ නමුත් නොකරන්නා වූ යහපත් ක්‍රියාවන් ගැන ඔවුන් උන් වහන්සේට ගණන් දිය යුතුය. ස්වර්ගීය පොත්වල ඔවුන් ගැන වාර්තා වන්නේ ඔවුන් පොළොවට බරක් වන බවය. එහෙත් මේ අයගේ තත්ත්වය පවා සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු රහිත නොවේ. දෙවියන්වහන්සේගේ දයාව සුළු කරමින් උන්වහන්සේගේ අනුග්‍රහය නොනිසි ලෙස ක්‍රියාවේ යොදවන්නා වූ අයට පවා දෙවියන්වහන්සේගේ බොහෝ කල් ඉවසීමෙන් යුත් හදවතෙහි ප්‍රේමය මෙසේ කථාකරයි: “නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවන සේකැයි උන්වහන්සේ කියන සේක ... ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.” (එපීස 5:14-16).GrHSin 699.2

    සෝදිසි කිරීමේ කාලය පැමිණි විට දෙවියන්වහන්සේගේ වචනය තමාගේ ජීවිතයේ ප්‍රතිපත්තිය කරගත්තාවූ අය එළිදරව් කරනු ලබනවා ඇත. ග්‍රීෂ්ම කාලයේදී සදාහරිත වෘක්ෂයන් හා වෙනත් වෘක්ෂයන් අතර වෙනසක් පෙනෙන්නේ නැත. එහෙත් තද ශීත සෘතුවක් ඇති රටවල්වල, වෙනත් වෘක්ෂයන්ගේ කොළ හැලී යන අතර සදාහරිත වෘක්ෂ නොවෙනස්ව පවතියි. එසේම බොරුකාර සිතක් ඇති තැනැත්තා දැන් සැබෑ ක්‍රිස්තු භක්තිකයා කෙරෙන් වෙන් කොට දක්වනු ලබන්නේ නැත. නමුත් ඒ වෙනස ප්‍රකාශ වන කාලය ඉතා ආසන්නය. විරුද්ධවාදිකම්ද, සත්‍යයෙන් ඈත්වීමද, නොඉවසිලිමත් භාවයද ඇතිවී පීඩා කිරීම නැවත පටන් ගනු ලබනවා ඇත. එවිට වංචාකාරව, අර්ධ හදවතකින් ක්‍රිස්තු භක්තිකයන් සිටින්නාවූ අය වැනෙමින් ඇදහිල්ල අහරිනවා ඇත. නමුත් සැබෑ ක්‍රිස්තු භක්තිකයා පර්වතයක් මෙන් ස්ථිරවී සිටිනවා. ඇත, ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා ඇත, සඵලත්වයේ කාලයේදී තිබුණාට වැඩියෙන් මෙවිට ඔහුගේ ඇදහිල්ල දීප්තිමත් වනවා ඇත.GrHSin 700.1

    ගීතිකාකාරයා මෙසේ කියා තිබේ. ” මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.” “ඔබ ගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.” (ගීතාවලිය 119:99,104).GrHSin 700.2

    “ප්‍රඥාව සොයාගන්නා මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.” (හිතෝපදේශ 3:13). “මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීස්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ කොළ නොවේලෙන්නා වූ ..., ඵල දැරීමෙන් තොර නොවන්නා වූ ගහකට සමාන වන්නේය.” (යෙරමියා 17:8)GrHSin 700.3