Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    22 - අනාවැකි ඉටුවෙයි

    කිතුනු ජනතාව මහත් උද්යෝගයකින් යුතුව ක්‍රිස්තු සමිදාණන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෝය. 1844 වසන්ත සමයේදී මෙම සංසිද්ධිය ඉටු වෙතැයි ඔවුහු අපේක්ෂාවෙන් යුතුව බලා සිටියෝය. වකවානුව පැමිණි නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සිදු නොවීය. බොහෝ අයගේ විශ්වාසය සුනු විසුනු වී ගියේය. අනුමානය සහ අස්ථිරතාව රජ කරන්නට විය. යේසුස්වහන්සේගේ පැමිණීම කෙරෙහි බලාපොරොත්තුව රැඳවු අය පරාජයකට ගොදුරු වූ බව ලෝකයාගේ චින්තනය විය. එසේ වුවද, පැමිණීම අපේක්ෂා කළ අයගේ සැනසීම වූයේ දේව වචනය පමණක්ය. තමන්ගේ විශ්වාසය හා ඇදහිල්ල රැඳවූ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීමට ඔව්හු ශුද්ධ ලියවිල්ලට තම අවධානය නැවත වරක් යොමු කළහ. වැඩිපුර ආලෝකය ලබා ගැනීමට ඔවුහු දිවැසි ප්‍රකාශන නැවත නැවතත් අධ්‍යයනය කළේය. ඔවුන්ගේ අධ්‍යයනයෙන් සාක්ෂාත් වූයේ ඔවුන් පැමිණ තිබූ තීරණය පැහැදිලි වූද, ස්ථිරසාර වූද, නිමාවක් බවය. අනුමාන රහිත ලකුණු පෙන්නුම් කෙළේ ක්‍රිස්තුස්වහන්සේගේ ආගමනය වැඩි ඈතක නොවන බවය. පව්කරුවන් ආගමට හැරීමද කිතුනුවන් අතරින් ආත්මික පුබුදුවක් ඇතිවීමද යන ආශිර්වාද මගින් පැහැදිලි වූයේ මෙම පණිවිඩය සගයෙන් පැමිණි එකක් බවය. තමන් ලැබූ බලාපොරොත්තු කඩවීමේ අත්දැකීමට හේතුව බැතිමතුන්ට තේරුම් ගත නොහැකි වුවද, තමන්ගේ මේ අත්දැකීම දෙවියන්වහන්සේගේ මගපෙන්වීම අනුව දෙනු ලැබූ බව ඔවුහු ස්ථිර ලෙස විශ්වාස කළහ.GrHSin 448.1

    දෙවන පැමිණීම පිළිබඳව වූ අනාවැකි හා බැඳීව ඔවුන් පත්ව සිටි අවිනිශ්චිතතාව සහ දෙගිඩියාව කෙරෙහි අවධානය යොමුවූ උපදෙස්ද තිබූ බව අධ්‍යයනයේ දී ඔවුන්ට පැහැදිලිවිය. එමගින් ඔවුන්ව දැනුවත් කර තිබුණේ ඇදහිල්ල අත නොහැර එය තුළ රැඳී සිටින ලෙසය; දැන් අඳුර පෙනෙන දේ යථා කාලයේදී යථා අයුරින් පැහැදිලි කරදෙනු ලබන බවය. GrHSin 448.2

    මෙම අනාවැකි අතර හබක්කුක් 2:1 - 4 විශේෂ ස්ථානයක් දැරීය.” මම මාගේ මුරපොළ උඩට පැමිණ, බලකොටුව උඩ හිටගෙන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියා දැනගන්ට බලා සිටින්නෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තර දෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්න පුළුවන් වන පිණිස ලෑලිවල පැහැදිලි ලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවා ඇත. බලව, ඔහුගේ සිත උඩඟු ය, එය ඔහු තුළ අවංකව නැත. ධර්මිෂ්ඨයා තමන්ගේ විශ්වාස කමින් ජීවත් වන්නේ යැයි කීසේක.” GrHSin 448.3

    “දර්ශනය කියවන්නාට ඉක්මනින්ම කියවන්නට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලි ලෙස ලියන්න” යන මඟ පෙන්වීම 1842 මුල් කාලයේදීම වාර්ල්ස් ෆිච්ගේ අවධානයට යොමු කරනු ලැබීය. අපේක්ෂකයාට දිවැසි වැකි පැහැදිලි ලෙස දැකගැනීමට හැකිවන පිණිස දිවැසි වැකි ප්‍රකාශනවල සටහනක් පිළියෙල කිරීමට ඔහුට දේව මගපෙන්වීමක් ලැබිණි. දානියෙල් සහ එළිදරව් පොත් ඒ සඳහා මූලික කරුණු සපයා දුන්නේය. මෙම අනාවැකි ඇතුළත් සටහන ප්‍රකාශයට පත්කිරීම හබක්කුක්ට දෙනු ලැබූ අණසක ඉටුකිරීමක් ලෙස ගණන් ගන්නා ලදී. බලා සිටීමේ කාලයක් අනාවැකිය හා බැඳී තිබුණු බව කිසිවකුගේ හෝ අවධානයට යොමු නොවීය. බලාපොරොත්තු සුන්වීමෙන් පසුව මෙම ශුද්ධ ලියවිලි අන්තර්ගතය කැපී පෙනෙන්නට පටන් ගත්තේය: ” මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න, මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත….. ධර්මිෂ්ඨය තමාගේ විශ්වාසකමෙන් ජීවත් වන්නේය.”GrHSin 449.1

    එසකියෙල්ගේ අනාවැකියෙහි එක් කොටසක්ද බැතිමතුන්ට ශක්තිය හා සැනසීම උදාකර දුන්නේය. ඒ මෙසේය: ” තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය. දර්ශන සියල්ල නැති වන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරෙහි ව්‍යවහාර වන උපමා කීම කිමෙක්ද? එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියන්න…….. එසේය, ඒ දවස් ද සියලු දර්ශන වල කාරණාද ලංවී තිබේ යයි ඔවුන්ට කියන්න….. මම කියන දේ කියන්නෙමි. එය තවත් පමා නොවී ඉෂ්ට වන්නේ ය.” “ඉශ්‍රායෙල් වංශය කතා කොට ඔහු දකින දර්ශනය ඉෂ්ට වෙන්ට බොහෝ දවස් යන්නේ ය. ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැන යයි කියති. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියන්න. මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවී මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමි වූ දෙවියන්වහන්සේ කියන සේක.” (එසකියෙල් 12:21-25,27,28).GrHSin 449.2

    බලා සිටියා වූ බැතිමත්හූ ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ. දෙවියන්වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ලක්ම දන්නා සේකැයි ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය. අනාගතය දකින්නා වූ තැනැන්වහන්සේ ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වීම දැක දිරිමත් කිරීමේ සහ බලාපොරොත්තුවේ මෙම වදන් ඔවුන්ට ලබා දී ඇති නිසා එය ඔවුන්ට සැනසුමක් විය. ඉවසීමෙන් යුතුව බලා සිටින ලෙස දුන් ඔවා බස් ශුද්ධ ලියවිලි අතර නොතිබුණේ නම් එම පිරික්සුමේ පැයේදී ඔවුන්ගේ ඇදහිල්ල විනාශ වන්නට පුළුවන්කම තිබුණි.GrHSin 450.1

    යේසුස්වහන්සේගේ පැමිණීම බලාසිටියාවූ මේ අයට ඇඩ්වෙන්ටිස්තවරුන් යයි කියනු ලැබේ. මතෙව් 25 හි කන්‍යාවන් දස දෙනාගේ උපමාවෙන් ඔවුන්ගේ අත්දැකීම් මනාවට නිදසුන් විය. තම ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආගමනයත් ලෝකාන්තිමයත් පිළිබඳව ගෝලයන්ගේ ඉතා වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නා වූ ක්‍රිස්තු සමිදාණෝ තමන්වහන්සේගේ මුල් පැමිණීම හා දෙවන පැමිණීම අතර ලෝකයේ සහ සභාවේ හටගන්නාවූ සිදුවීම් ගණනාවක් මතෙව් 24 න් පෙන්වා දුන් සේක. යෙරුසලමෙහි විනාශයත්, මිසදිටු රෝමයෙන් මෙන්ම පාප් බල අධිකාරියෙන්ද දියත් කළ හිංසා පීඩා යුගයත් හිරු සහ සඳුගේ අඳුරු වීමත්, තාරකාවන්ගේ වැටීමත් ඒවාට ඇතුළත් විය. ඉක්බිතිව තමන්වහන්සේ ස්වකීය රාජ්‍යයෙන් යුතුව පැමිණීමත් උන්වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි පන්ති දෙකක සේවකයනුත් ගැන උපමාවද උන්වහන්සේ පැවසූ සේක. 25 වන පරිච්ඡේදය මෙසේ ඇරඹේ, ” එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කරනු ලැබේ.” මෙම උපමාව නිර්දේශ කරන්නේ ලෝකාන්තිමය දවස්වලදී සභාව තුල පවතින්නාවූ ජීවන රටාව ය. 24 වන පරිච්ඡේදය අවසානයේ ද මේ ගැන දක්වනු ලැබේ. පෙරදිග විවාහ මංගල්‍යයකදී වන්නා වූ සිදුවීම් තුලින් මොවුන්ගේ අත්දැකීම් විමර්ශනයට ලක් කෙරේ. GrHSin 450.2

    “එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමඟට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කරනු ලැබේ. ඔවුන්ගෙන් පස් දෙනෙක් නුවණ නැත්තියෝය, පස් දෙනෙක් නුවණ ඇත්තියෝය. මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙන යද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය. නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජනවල තෙල් ගෙන ගියෝය. මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදා ගත්තෝය. මධ්‍යම රාත්‍රියේ අන්න මනමාලයා එනවා! ඔහුගේ පෙරමඟට එන්නැයි හඬක් වූයේය.”GrHSin 450.3

    පළමු දේව දූතයාගේ පණිවිඩය මගින් ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම බවද එය මනමාලයාගේ පැමිණීම මගින් පෙන්නුම් කරනු ලැබුවේ යයිද ඒ මනුෂ්‍යයෝ කල්පනා කළහ. උන්වහන්සේගේ කඩිනම් පැමිණීම පිළිබඳ ප්‍රකාශන යටතේ සිදුවූ ව්‍යාප්ත ප්‍රතිසංස්කරණය මනාලයා හමුවීමට පෙරමඟට ගිය කන්‍යාවන්ගෙන් නිරූපණය විය. මතෙව් 24 හි මෙන්ම මෙම උපමාවෙහිද කාණ්ඩ දෙකක් පෙන්නුම් කෙරේ. සෑම අයෙක්ම තමන්ගේ පහන්, එනම් ශුද්ධ බයිබලය රැගෙන එහි ආලෝකයෙහි පිහිටෙන් මනාලයා හමුවීමට ගියෝය.“නුවණ නැති කන්‍යාවන් පහන් රැගෙන ගිය නමුදු ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇත්තියෝ තමන්ගේ පහන් සමග භාජනවල තෙල්ද ගෙන ගියෝය.” මේ දෙවන කාණ්ඩයට දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය ලැබී තිබුණේය. ඒ වනාහී ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රකෘත්තිමත් කරන්නාවූ, ආලෝකමත් කරන්නාවූ බලයයි. එමගින් උන්වහන්සේගේ වචනය පාදයට පහනක්ද, මාවතට ආලෝකයක්ද, වන්නේය. දෙවියන්වහන්සේට වූ ගරු බිය ඇතිව ඔවුහු සත්‍ය සොයා ගැනීම සඳහා ශුද්ධ ලියවිලි සෙවූහ. ඔවුහු තම හදවතේ ජීවනයෙහි පවිත්‍රතාව අවංකව සෙවූ අය වූහ. මෙම අයට දෙවියන්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ වචනය තුළ පුද්ගලික ඇදහිල්ලක අත්දැකීමක් තිබිණ. අපේක්ෂා භංගත්වයකට හෝ පමාවීමකට හෝ එම ඇදහිල්ල විනාශ කර දැමීමට හැකියාවක් නොවීය. පහන් රැගෙන ගිය නමුදු අවශ්‍ය තෙල් රැගෙන නොගිය අය ක්‍රියාකර තිබුණේ හදිසි ආවේගයකිනි. චිත්තාවේග මගින් පොලඹවනු ලැබූ හදිසි තීරණ නිසා ඔව්හු දේව මාර්ගය තෝරා ගත් අය වූහ. ගාම්භීර පණිවිඩය ඇසීමෙන් ඔවුහු පෙළඹවීමකට පත්වූවෝය. එහෙත් ඔවුහු තමන්ගේ සහෝදරයන්ගේ ඇදහිල්ල මත යැපී සිටියෝය. සත්‍යය ගැන පූර්ණ අවබෝධයකින් තොරව, කරුණා අනුග්‍රහය මගින් හදවත අවංකවම වෙනස් වීමකට භාජනය නොවී ඔවුහු යහපත් චිත්තවේග නැමැති ලෙලදෙන පහන් සිළුවෙන් සෑහීමකට පත්ව සිටියෝය. ඔවුහු ක්ෂණික විපාක බලාපොරොත්තුවෙන් සමිඳුන් මුණගැසීමට ඉදිරියට ගියෝය. නමුත් බලාපොරොත්තු කඩවීමකට හෝ පමාවීමකට මුහුණ දීමකට සූදානමක් ඔවුන් තුළ නොවීය. පරීක්ෂාවන් පැමිණි විට ඔවුන්ගේ ඇදහිල්ල බිඳ වැටුණේය, ඔවුන්ගේ ආලෝකය නිවී යන්නට විය.GrHSin 450.4

    “මනාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදා ගත්තෝය.” මනාලයාගේ පමා වීමෙන් පෙන්නුම් කළේ ක්‍රිස්තු සමිදාණන්ගේ පැමිණීමේ අපේක්ෂාව ඉටු නොවීම, කාලය ගෙවී යාම, බලාපොරොත්තු බිඳවැටීම සහ පෙනෙන්නා වූ පමාවයි. අවිනිශ්චිත වූ මෙම කාලය තුළදී අතිශයෝක්ත උනන්දුවක් දැක්වූ එහෙත් අඩ හදවතකින් විශ්වාසය රැඳ වූ අය දෙගිඩියාවකට පත් වූහ; නමුත් ශුද්ධ වූ බයිබලීය ප්‍රකාශන පිළිබඳ පුද්ගලික දැනුමක් මත ඇදහිල්ල රැඳවූ අයගේ පාද ශක්තිමත් ගලක් මත පිහිටා තිබිණ. බලාපොරොත්තු කඩවීමේ රැල්ලට ඔවුන්ව ගසාගෙන යාමට නුපුළුවන් විය. ” ඔවුන් සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය.” එක් කණ්ඩායමක් කිසිදු හැඟීමක් නැතිව, තමන්ගේ විශ්වාසය අත්හැර දමමින්ද ක්‍රියා කළ අතර අනෙකුත් අය තවත් පැහැදිලි ආලෝකය ලැබෙන තෙක් ඉවසීමෙන් යුතුව බලා සිටියෝය. එහෙත් පරීක්ෂාවේ අඳුරු පැයේදී දෙවන පාර්ශවයේ අයද යම් ප්‍රමාණයක ජ්වලිත භාවයෙහි සහ භක්තියෙහි අඩුවීමක් පෙන්නුම් කළහ. අඩ වශයෙන් විශ්වාස කළ අයට තම සහෝදරයන් ගේ ඇදහිල්ල මත තවදුරටත් රැඳී සිටීමට නොහැකි විය. සෑම අයෙකුම තමා උදෙසා නැගී සිටිය යුතු විය, නැතහොත් වැටී යාමට ගොදුරු විය යුතු විය.GrHSin 451.1

    මෙම වකවානුවේදී භක්ති උන්මාදය නැගී එන්නට විය. පණිවිඩය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් ක්‍රියාකාරීව සිටි සමහර අය දේව වචනය සහමුලින්ම ප්‍රතික්ෂේප කළෝය. දේව වචනය තමන්ගේ නොවරදින මග පෙන්වන්නා ලෙස අවිවාදයෙන් පිළිගත් ඔවුහු තමා ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබුවා යයි කියා තමන්ගේම හැඟීම්, චිත්ත රූප සහ සංකල්පනාවන්ට පාලන බලය ලබාදී සත්‍ය දහම හැරපියා කටයුතු කරන්නට වූහ. ඒ අතරින් තවත් සමහරෙක් අන්ධ වූ, ජ්වලිතතාවක් පෙන්නුම් කරමින් විචාර බුද්ධියෙන් යුතුව ස්ව මතයෙහිම එල්බ සිටිමින් තමන්ගේ මාර්ග පිළිනොගන්නා සැමට දොස් පවරන්නට වූහ. ඔවුන්ගේ වෑයම් කිරීම් සහ අන්ධ භක්තියෙන් යුතුව ජ්වලිතතාව බහුතර ඇඩ්වෙන්ටිස්තවරුන්ගේ අනුකම්පාව දිනා ගැනීමට අසමත් විය. එසේ වුවද, ඔවුහු සත්‍යතාවේ කාර්යයට නින්දාව සහ අපකීර්තිය ඇති කළහ.GrHSin 452.1

    දෙවියන්වහන්සේගේ වැඩ කටයුතු වලට විරුද්ධව ක්‍රියා කරමින් ඒවා විනාශ කර දැමීමට සාතන් මෙම ක්‍රමය මගින් වෑයම් කළේය. ඇඩ්වෙන්ටිස්ත මෙහෙයුම මගින් විශාල ජනතාවක් උනන්දුවකට පත්වූහ. පව්කාරයන් දහස් ගණනින් දේව මාර්ගයට පැමිණියෝය. බලා සිටින්නා වූ වකවානුවේදී වුවද, බොහෝ විශ්වාසවන්ත සෙනඟක් සත්‍යතාව ප්‍රචාරය කිරීමේ සේවාවෙහි යෙදුනාහ. නපුරේ කුමාරයාගේ යටත් වැසියන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යන්නට විය. දෙවියන් වහන්සේගේ මෙහෙවරය උපහාසයට ලක්කිරීම පිණිස ඇදහිල්ල තුළ පිහිටා සිටි සමහර අය අන්තවාදී තත්ත්වයකට යොමු කිරීමට සාතන් යත්න දැරීය. ඉක්බිතිව මෙම අන්තවාදීන් තම නියෝජිතයන් ලෙස යොදාගත් සාතන් ඔවුන් ලවා ඇඩ්වෙන්ටිස්ත බැතිමතුන්වත්, ඔවුන්ගේ ඇදහිල්ලත් නින්දා අපහාසයට ලක් කිරීමට වෑයම් කළේය. සාතන් ගේ නියෝජිතයෝ ඇඩ්වෙන්ටිස්තවරුන්ගේ සෑම වැරදි ක්‍රියාවක්ම, ඔවුන්ගේ සෑම පසුබෑමක් ම, සෑම අශෝභන භූමිකාවක්ම අතිශයෝක්තියෙන් රස කරමින් ජනතාව ඉදිරියේ කියාපෑවෝය. දෙවන ඊම කෙරෙහි විශ්වාස කරනවා යැයි පවසන්නා වූ සමූහයක් එක්රැස් කොට තමන්ගේ බලය උපකාර කරගනිමින් ඔවුන්ගේ හදවත් පාලනය කරමින් සාතන් උපක්‍රමශීලීව භූමිකාවක් දියත් කළේය. මෙම අසමත්ජාති කණ්ඩායම නියම ඇඩ්වෙන්ටිස්ත සභාව නියෝජනය කරන්නේ යයි කියමින් ඇඩ්වෙන්ටිස්ත විරෝධී ක්‍රියාවන්හි යෙදීමට මොවුන්ව පෙළගස්වා එයින් ඇඩ්වෙන්ටිස්ත කණ්ඩායමට නිගා ගෙන දීම සාතන් ගේ ක්‍රමවේදය විය.GrHSin 452.2

    සාතන් වනාහී ” සහෝදරයන්ට වරද තබන්නාය.” දේව ජනතාවගේ වැරදි සහ දුර්වලකම් සොයමින් ඒවා පොදු ජනතාව ඉදිරියෙහි දැක්වීමට ඔහු ක්‍රියා කළේය. එහෙත් දේව දරුවන්ගේ යහපත් ක්‍රියාවක කිසිම සඳහන් කිරීමක් හෝ නොවීය. ආත්මයන්ට ගැලවීම ලබාදීමේ දෙවියන් වහන්සේගේ වැඩ පිළිවෙතට එරෙහිව ක්‍රියා කිරීමට සාතන් සැමවිටම සූදානමින් සිටී. දෙවියන්වහන්සේගේ පුත්‍රයන් දෙවියන්වහන්සේගේ අභිමුඛය ඉදිරියෙහි රැස්වූ අවස්ථාවේදී සාතන්ද ඔවුන් සමග පැමිණියේය. යම් තැනක ආත්මික පිබිදීමේ සැසිවාරයක් ක්‍රියාත්මක වේද, ආත්මික කැපවීමක් නැති අය හා මානසික දුබලතාවයක් ඇති අය එතැනට ගෙන ඒමට සාතන් නිතරම සූදානමින් සිටී. දහම් ප්‍රචාරක රැස්වීම් මාලාවනට සාතන් විසින් එවනු ලබන්නා වූ මෙවන් පුද්ගලයන් සමහර දහම් පිළිගත් විට මොවුන් තුළින් ක්‍රියා කරන්නා වූ සාතන් පරීක්ෂාකාරීව කටයුතු නොකරන්නාවූ අයව මුළා කිරීම සඳහා ව්‍යාජ ධර්මයන් ඉදිරිපත් කරයි. දෙවියන්වහන්සේගේ දරුවන් සමඟ නමස්කාර ගෘහයෙහි මෙහෙයන්ට සහභාගි වීම නිසා හෝ සමිදුන්ගේ මේසය වටා සත්කර්ම මෙහෙයන්ට සහභාගි වීම නිසා හෝ කිසිම පුද්ගලයකු අව්‍යාජ කිතුනුවෙකු යැයි ඔප්පු නොවේ. සාතන් තමන්ගේ නියෝජිතයන් ලෙස ක්‍රියාකළ හැකි අය තුළින් ගාම්භීර රැස්වීම් වලට පැමිණෙයි.GrHSin 453.1

    ස්වර්ගීය නගරය කරා දෙවියන්වහන්සේගේ සෙනග ගමන් කරන්නාවූ මාර්ගයෙහි සෑම බිම් අඟලක් පුරාම නපුරු කුමාරයා ක්‍රියා කරයි. සභා ඉතිහාසයේ ‍ප්‍රතිසංස්කරණ ක්‍රියාමාලාවන් වුවද, ඉදිරියට ගියේ මහත් හිරිහැර බාධක වලට ද මුහුණ දෙමිනි.පාවුල්ගේ දවස්වලදී ද එසේ සිදුවිය. අපෝස්තුළුවරයා විසින් යම් තැනක සභාවක් ස්ථාපිත කරනු ලැබීද, එම ස්ථානවල සිටි සමහර අය තමන් එම ඇදහිල්ලෙහි ධර්මතාවන් පිළිගන්නා බව ප්‍රකාශ කර සිටියද, ඔවුන් ඒ අතරතුර සභාව තුළට මිසදෙටු ඉගැන්වීම් ඇතුළු කිරීමට වෑයම් කළෝය. එම දහම් පිළිගනු ලැබී නම් සත්‍යතාවට වූ ආදරය ඉවත ලෑමක් සිදු වන්නේය. ලුතර්ටද මහත් ව්‍යාකූලතාවයන් ට මුහුණ දීමට සිදුවිය. එමගින් හෙතෙම මහත් දුක් පීඩාවන්ට පත් විය. ආගමික උමතුවන් කණ්ඩායමකගේ වැඩපිළිවෙළ ඔහුට මහත් හිසරදයක් විය. දෙවියන්වහන්සේ තමා තුළින් සෘජුවම කතා කර ඇතැයි පැවසූ ඔවුහු තමන්ගේ මතවාද සහ අදහස් ප්‍රකාශන ශුද්ධ ලියවිල්ලෙහි සාක්ෂි වලට වඩා වැදගත් යයි ද, පැවසූහ. සභාව තුල ක්‍රියාත්මකව තිබූ ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රියාදාමයන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගූ ලූතර් ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙමින් දෙවියන්වහන්සේ උදෙසා විශාල මෙහෙවරක් ඉටු කළේය. සාතන්ගේ උපක්‍රමශීලී මුලාවන් යටතේ මෙහෙයවනු ලැබූ ඉහත සඳහන් අන්දමේ පුද්ගලයෝ දෙවියන්වහන්සේ උදෙසා ලූතර් විසින් ගොඩනැගූ ප්‍රතිසංස්කරණ දහම උදුරා දැමීමට ක්‍රියා කළෝය. තමන්ගේ ඇදහිල්ලෙන් සහ අනුබලයෙන් ලොවට සෙතක් උදාකල, වෙස්ලි සහෝදරයන්ට සහ තවත් අයට ද ඔවුන්ගේ සෑම පියවරකදීම සාතන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ අයගේ විරුද්ධවාදිකම් වලට මුහුණ දීමට සිදුවිය. සාතන් විසින් මෙම අයව සෑම ශ්‍රේණියක ම ආගමික උමතුවෙන් බවට පත් කර තිබිණ.GrHSin 453.2

    ආගමික උමතුවෙන් ක්‍රියා කළ බලවේගයන් කෙරේ විලියම් මිලර්ගේ කිසිම අනුකම්පාවක් නොවීය. ලූතර් සමග ඔහුද ප්‍රකාශ කළේ සෑම ආත්මයක්ම දෙවියන්වහන්සේගේ වචනය මගින් පිරික්සා බැලිය යුතුය කියාය. “වත්මන් කාලයේ සිටින්නා වූ සමහර අයගේ මනස් කෙරෙහිද මහත් බලයකින් යුතුව ක්‍රියා කරමින් ඔවුන් තුළින් අනුබලයක් ඇති කිරීමට යක්ෂයා ක්‍රියා කරනවා ඇත” යි මිලර් ප්‍රකාශ කළේය. ” එම ආත්ම කුමන ආකාරයේ ආත්මයන්දැයි අපට දැන ගැනීමට හැකි වන්නේ කෙසේද? ඔවුන්ගේ ඵල වලින් ඔවුන්ව හඳුනා ගත හැකි වනවා ඇතැයි ශුද්ධ බයිබලය පවසයි. විවිධ ආකාරයේ ආත්ම ලෝකය පුරා විසිර ගොස් සිටිති. එම ආත්ම පිරික්සා බලන ලෙස දෙවියන්වහන්සේ අපට අණ කර තිබේ. මධ්‍යස්ථ ලෙස තැන්පත්ව, දැහැමිව සහ දේව භය ඇතිව වත්මන් ලෝකයේ දිවිගෙවීමට අපට බල නොකරන්නා වූ ආත්මයක් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නොවෙයි. මෙම ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ සාතන් බව මට නැවත නැවතත් පැහැදිලි වන්නේය….. ශුද්ධාත්මයාණන්වහන්සේගේ පහස කරණකොටගෙන පාරිශුද්ධතාවයට පත්ව ඇතැයි පවසන්නාවූ අප අතරෙහි සිටින්නාවූ බොහෝ අය මිනිස් සම්ප්‍රදායන් අනුගමනය කරති. මෙම අය ද, එසේ නොපවසන්න වූ අය මෙන්ම සත්‍යතාව ගැන වැඩි දැනුමක් ඇති අය නොවෙති.” (Bliss, “Memoirs of Wm.Miller.pp.236,237,282). “සාවද්‍යතාවේ ආත්මය සත්‍යතාවයෙන් ඉවතට මග පෙන්වයි. දෙවියන්වහන්සේගේ ආත්මය සත්‍යතාව කරා මඟ පෙන්වයි. මිනිසෙක් වැරදි ඉගැන්වීමක් අනුගමනය කළද, තමාට සත්‍යතාව ඇතැයි සිතන්නට පුළුවන. එවිට තත්වය කෙසේද? අප මෙසේ පිළිතුරු දෙමු: ආත්මයාණන්වහන්සේ සහ දේව වචනය එකඟ වේ. විරෝධී නොවේ. යම්කිසි මනුෂ්‍යයෙක් දේව වචනය පදනම් කරගෙන තමාවම විනිශ්චය කරගන්නේ නම්, ඔහු දේව වචනයේ ප්‍රකාශන සමග සම්පූර්ණ එකඟතාවක් පවත්වන්නේ නම් තමා සතුව සත්‍යතාව ඇතැයි ඔහු විශ්වාස කළ යුතුය. ඒ අතර යම් කිසි අයකුට තමා විශ්වාස කරන්නා වූ දහම් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සමඟ ද උන්වහන්සේගේ දහම් පුස්තකය සමගද අනුකූලතාවක් හා පූර්ණ එකඟතාවක් නැති බව පෙනී යතොත් ඔහු ඉතා ප්‍රවේශමෙන් තම ඉදිරි ගමන සැලැසුම් කර ගනිවා. නැතහොත් හෙතම යක්ෂයගෙ මළපතට හසු වෙනවා ඇත.” (The Advent Herald Signs of the Times Reporter,” Vol viii, No.23(Jan.15,1845) ). “ක්‍රිස්තියානි ලෝකයේ බැතිමතුන් විසින්, මහත් හඬ නගමින් කෑමොර දෙමින් තමන්ට අභ්‍යන්තර ශ්‍රද්ධාවක් ඇතැයි ප්‍රකාශ කරන්නාවූ අය තුළ නොව, ඇසේ කඳුළු බිඳක් ඇති, තෙත් වූ කම්මුල් ඇති, කතා කරන්නට බැරිතරම් උගුරෙහි හිරවීමක් ඇති අය තුළ ගැඹුරු ශ්‍රද්ධාවක් සොයාගැනීමට මට හැකි වී තිබේ,” (Bliss Memoirs of Wm,Miller).GrHSin 454.1

    ප්‍රතිසංස්කරණය ප්‍රබල ලෙස ව්‍යාප්තව පැවති වකවානුවේ දී එම කර්තව්‍යයෙහි සතුරෝ ආගම් උමතුවෙහි සෑම ආකාර නපුරක්ම ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධව එල්ල කළෝය. දෙවෙනි ඊමේ ප්‍රකාශන මෙහෙයුමට එරෙහිවද මෙයාකාර විරෝධතා එල්ල විය. විරුද්ධවාදීහු මෙම අයගේ වැරදි අතිශයෝක්තියෙන් හුවා දක්වමින්ද ඔවුන්ගේ ක්‍රියාවනට වැරදි අර්ථකථන සපයමින්ද මුළු ව්‍යාපාරයම විවේචනයට ලක් කළෝය. එයින් නොනැවතුණු ඔවුහු සත්‍යතාවයෙන් තොර අශුභවාදී වාර්තාද පතුරුවා හැරියෝය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දොරටුව අභියසය යන ප්‍රකාශය නද දීමත් සමඟම විරුද්ධවාදීන් තුළ කැළඹිල්ලක් ඇතිවී ඔවුන්ගේ සමාදානය චංචල විය. ප්‍රකාශය නිවැරදි විය හැකි යැයි ඔවුන් තුළ භීතියක් ඇති වුවද, එය එසේ නොවේවා යනු ඔවුන්ගේ පැතුම විය. ඇඩ්වෙන්ටිස්තවරුන්ටත්, ඔවුන්ගේ ඇදහිල්ලටත් විරුද්ධව ක්‍රියා කිරීමේ රහස මෙය විය.GrHSin 455.1

    පාවුල්ගේ දවස්වලදී ද ලූතර්ගේ දවස්වලදී ද ආත්ම භක්තිකයන් හා උන්මාද භක්තිකයන් සභාව තුළට රිංගා ගත්තෝය. මෙවැනි අය ඇඩ්වෙන්ටිස්තවරුන් අතරේ සිටීම මෙම ව්‍යාපාරය දෙවියන්වහන්සේගෙන් නොවන බව තීරණය කිරීමට හේතුවක් නොවන්නේය. දේව ජනතාව නින්දෙන් පිබිදිය යුතුය. ඔවුන් විසින් අවදිව පසුතැවිලි ව ජීවිතය වෙනස් කරගත යුතුය.යේසුස්වහන්සේ තුළ වූ සත්‍යතාව දැන ගැනීමට ඔවුන් ශුද්ධ ලියවිලි සොයත්වා; දෙවියන්වහන්සේට සම්පූර්ණ ලෙස කැපවීමකට ඔවුන් ක්‍රියා කරත්වා. සාතන් තවමත් නිදි නැතිව ක්‍රියාත්මකව සිටින බව දැක ගැනීමට සාක්ෂි වලින් අඩුවක් වන්නේ නැත. සෑම ආකාරයකම මුලා කිරීම් මගින් ඔහු තම බලය පෙන්නුම් කරනවා ඇත. මෙම කාර්යය ඉටුකර ගැනීම සඳහා ඔහු තමා යටතේ වූ වැටී ගිය සියලු දේව දූතයන්ගේ දායකත්වය ලබා ගන්නවා ඇත.GrHSin 455.2

    දෙවන පැමිණීමේ පණිවුඩය ප්‍රකාශ කළ කල්හි ආගම් උමතුව හා පක්ෂවලට බිඳීම් සිදුවූයේ පණිවිඩය ප්‍රකාශ කිරීම නිසා නොවේ. මෙම අන්තවාදී බෙදීම් හටගත්තේ 1844හි ගිම්හානයේදීය,තමන්ගේ නියම තත්ත්වය පිළිබඳව ඇඩ්වෙන්ටිස්තවරු අනුමානයෙන් සහ වියවුල් සහගත හැඟීමකින් පෙළෙන්නට වූ විටය. පළමු දේව දූතයාගේ පණිවිඩය ද” මැදියම් රාත්‍රියේ හඬ ද” එක එල්ලේම ආගම් උමතුවට සහ භේදයන්ට පහරක් එල්ල කළේය. ඔවුන්ගේ හදවත් එකිනෙකා වෙනුවෙන් වූ ආදරයෙන් පිරී තිබුනේය. තමන් ළඟදීම දකින්නට බලාපොරොත්තුව සිටි යේසුස්වහන්සේ වෙනුවෙන් ද ඔවුන් තුළ ආදරේ පිරී තිබුනේය. ඔවුන් තුළ තැන්පත්ව තිබූ එකම ඇදහිල්ලත්, එකම ආශිර්වාදලත් බලාපොරොත්තුවත් නිසා ඔවුන්ව කිසිම මිනිස් බලපෑමකට ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නොවීය. තවද, එම ගුණාත්මක ශ්‍රද්ධාව සාතන්ගේ ප්‍රහාරයන්ගෙන් බේරි සිටීමට අගනා පලිහක් විය.GrHSin 456.1

    “මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදා ගත්තෝය. මධ්‍යම රාත්‍රියේ අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්නැයි හඩක් වූයේය. එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරි ගැස්සුවෝය.” ( මතෙව් 25:5-7). දවස් 2300 අනාවැකි කාලය නිම වූයේ යැයි මුලින්ම නිර්මාණය වූයේ 1844 දී ගිම්හාන කාලයේදීය. පසුව එම කාලය සරත් ඍතුව දක්වා දීර්ඝ කරන ලදී. මෙම කාලවකවානු දෙක අතරේදී මෙම පණිවිඩය ප්‍රකාශ කරන ලද්දේ ” අන්න මනමාලයා එනවා” යන වචනම යොදා ගනිමින්ය.GrHSin 456.2

    වසර 2300 අනාවැකි ප්‍රකාශයෙහි ආරම්භක දිනය ලෙස අර්තක්ෂස්තාගේ යෙරුසලම ගොඩනැගීමේ ආඥාව නිකුත් කළ දිනය යොදා ගනු ලැබිණි. යේසුස්වහන්සේ දෙවන වර පැමිණෙන පණිවිඩය දියත් කළ සංවිධානයෙහි ආරම්භය මෙම දිවැසි කාල ආරම්භක දිනය සොයා ගැනීමත් සමගම සිදුවිය. මෙම ආඥාව ක්‍රියාත්මක වූයේ ක්‍රි.පූ. 457 හි සරත් ඍතුවේදී මිස කලින් සිතූ ලෙස වසර පටන් ගැනීමේදී නොවීය. ක්‍රි.පූ. 457 සරත් ඍතුවේ සිට වසර 2300 ක් ගෙවී ගිය පසු උදාවන්නේ 1844 සරත් ඍතුවයි. අනාවැකි කාල වකවානුව මේ දවස්වලදී නිමාවට පත්වේ.GrHSin 456.3

    ” ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ” සංසිද්ධිය හා බැඳි පරණ තෙස්තමේන්තු මූලික දර්ශනය සිදුකරන ලද්දේ සරත් ඍතුවේ නිසා වසර 2300 හා බැඳි ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ යථා සිද්ධිය ද එම ඍතුවේදීම සිදුවිය යුතුය. ක්‍රිස්තුස්වහන්සේගේ මුල් ගමනේදී මූලික දර්ශන ඉටු වූ ආකාරය පිළිබඳ අධ්‍යයනයේදී සාක්ෂාත් වූ ආකාරයෙන්ම මෙම තීරණයට එළැඹීම පැහැදිලි ලෙස පෙනී යන්නට විය.GrHSin 456.4

    පාස්කු බැටළු පැටවා මරනු ලැබීම ක්‍රිස්තු සමිදාණන්ගේ මරණය පෙන්නුම් කරන්නාවූ ඡායා සිද්ධියක් විය. ” අපගේ පාස්කුව එනම් ක්‍රිස්තුස්වහන්සේ යාග කරන ලද්දේය” (1 කොරින්ති 5:7) කියා පවුල් පවසයි. පාස්කු සමයෙහිදී ප්‍රථම ඵල මිටියක් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැනීමෙන් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම පෙන්නුම් කරන ලදී. ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟගේ මළවුන්ගෙන් නැගිටීම ගැන පාවුල් මෙසේ පවසයි: “ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ සන්තකවුවෝ (නැගිටින්නෝ) ය.” (1 කොරින්ති 15:23). වනා තේවා කරන ලද අස්වැන්න මිටිය මෙන්, ක්‍රිස්තුස්වහන්සේ ගැළවීම ලැබුවන්ගේ අමරණීය අස්වැන්නෙහි ප්‍රථම ඵල වූසේක. අස්වැන්න වන මිදීම ලැබුවන් මතු දවසක දී දෙවියන්වහන්සේගේ අටුවට එකතු කරනු ලබනවා ඇත.GrHSin 457.1

    මෙම සංකේතයන් සම්පූර්ණ වූයේ සිද්ධීන් අනුව පමණක් නොවේ. කාලය අනුව ද ඒවා ඉටු විය. පාස්කු බැටළුවා මරනු ලැබුවේ යුදෙව් දින දර්ශනයේ පළමු මාසයේ දහ හතර වෙනිදාය. ශත වර්ෂ පහළොවක් පුරා මෙම මාසයේ මෙම දිනයේදී යුදෙව් ජනතාව මෙම තේවාව ඉටු කළෝය. මෙම නිශ්චිත දිනයේදී ක්‍රිස්තුස්වහන්සේ තමන් ගෝලයන් සමග පාස්කු රොටී මගින් තමන්වහන්සේගේම මරණය සිහිවීම සඳහා රාත්‍රී භෝජන මංගල්‍යය පිහිටුවාලූ සේක. තමන්වහන්සේ වනාහි ” ලෝකයේ පාපය දුරු කරන්නා වූ දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්” බව උන්වහන්සේ නැවත වරක් සාක්ෂාත් කළ සේක. එම රාත්‍රියේදීම කුරිරු දෑත් උන්වහන්සේව අල්ලා ගෙන උන්වහන්සේව කුරුසිපත් කොට මරණයට පත් කළහ. වනනු ලැබු ධාන්‍ය මිටිය මූර්තිමත් කරමින් අපගේ ක්‍රිස්තු සමිදාණෝ මරණයට පත්වී තුන්වැනි දවසෙදි මළවුන්ගෙන් නැගුටුණු සේක. ” සැතපුණු ඇදහිලිවතුන්ගේ නාඹුල් ඵලය” ලෙස උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුනු සේක. මිනිස් අපගේ පහත් සිරුරු එතුමන් හා සමාන තේජාන්විත තත්ත්වයට පත්කරමින් මළවුන්ගෙන් නැගුටුවනු ලබන දැහැමි අයගේ ආදර්ශයක් බවට උන්වහන්සේ මරණින් නැගුටුණු සේක.GrHSin 457.2

    සංකේත සේවාව මගින් පෙන්වා දුන් කාලවකවානුවේදීම දෙවන පැමිණීම හා සම්බන්ධ යථාර්ථයන්ද ඉටුවිය යුතුය. මෝසේස්ගේ ක්‍රමවේද පද්ධතිය අනුව හත්වන යුදෙව් මාසයේ දස වැනිදා සමගි කිරීමේ උදාර දවස මංගල්‍යයක් ලෙස පැවැත්වීමට නියමිත විය. එදින, භෞමික ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ දවස විය. (ලෙවී කථාව 16:29-34) මුළු ඊශ්‍රයෙල් සෙනඟ වෙනුවෙන් සමගි කිරීමක් ඉටුකිරීමෙන් අනතුරුව ශුද්ධස්ථානයේ වාර්තාගතව තිබූ ජනතාවගේ පාප එයින් ඉවත් කරනු ලබන්නේය. ඉක්බිතිව උත්තම පූජක තෙමේ පිටතට පැමිණ ජනතාවට ආශිර්වාද කළේය. මේ අනුව තම චින්තනය මෙහෙය වූ දේව දාසයන් කල්පනා කළේ අපගේ අති උත්තම පූජකයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ පාපය සහ පව්කරුවන් විනාශ කර දමා, බලාසිටින්නාවූ උන්වහන්සේගේ ජනතාවට අමරණය ලබාදෙමින් ආශිර්වාද කිරීමට මෙලොවට වැඩම කරන බවය. 1844 හි යුදෙව්වරුන්ගේ හත්වන මාස‍යේ දස වන දිනය වූයේ ඔක්තෝබර් විසි දෙවැනිදාය. සමගි කිරීමේ දවස වන එදින ක්‍රිස්තු සමිදාණන් මෙලොවට වඩිනු ඇතැයි දහම් විරචාරකයෝ කල්පනා කළෝය. මෙතෙක් ඉදිරිපත් කරනු ලැබූ සාධක අනුව මෙම තීරණය නිවැරදි විය; ඒ බව එපා කිරීමට පුළුවන් බවක් ඒ බැතිමතුන්ගේ හැඟීම විය.GrHSin 457.3

    මතෙව් 25 හි සඳහන් උපමා කතාව අනුව, බලා සිටීමේ හා නිදාගැනීමේ කාලයට පසුව මනමාලයාගේ පැමිණීම සිදුවිය. ඉදිරිපත් කර ඇති තර්ක අනුවද දිවැසි ප්‍රකාශන සහ සමගි කිරීමේ දවසෙහි න්‍යාය පත්‍රය සමඟද කරුණු ගැලපීමේදී 1844 ඔක්තෝම්බර් මස 22 වනදා මනාලයාගේ පැමිණීම සිදුවිය යුතු විය. පැමිණීම බලා සිටි අය මෙම දිනය උපේක්ෂා සහගතව බලා සිටියහ. මෙම යථාර්තය සත්‍ය බව ඔවුහු විශ්වාස කළහ. මෙම සත්‍යය අනෙකුත් අය සමඟ බෙදා ගැනීමට දහස් ගණනින් බැතිමත්හු “මැදියම් රාත්‍රියේ හඬ” වූ පණිවිඩය රැගෙන ගම් නියම් ගම් බලා පියවර නැගූහ.GrHSin 458.1

    චණ්ඩ මාරුතයක් ලෙස මෙම මෙහෙයුම දේශය පුරා පැතිර ගියේය. නගරයෙන් නගරයට ද, ගමින් ගමට ද, ඈත එපිට පිහිටි ගම් දනව් කරා ද මෙම පණිවිඩය විකාශ වන්නට විය. පැමිණීම බලාපොරොත්තුව සිටි දෙවියන්වහන්සේගේ සෙනග නව උදාවකින් ප්‍රබෝධ කරනු ලැබ ඒ සඳහා ඉක්මනින් සූදානම් වන්නට වූහ. ලහිරු රැසින් පිනිබිඳු දියවී යන්නාක් මෙන් මෙම ප්‍රකාශ කිරීම ඉදිරියෙහි ආගමික උන්මත්තකයෝ සහමුලින්ම ඉවත් වූහ. බැතිමතුන් තුළ තිබුණා වූ අනුමානය සහ ව්‍යාකූලත්වය මගහැරී ගොස් ඒ වෙනුවට දිරිය සහ බලාපොරොත්තුව රජයන්නට විය. දෙවියන්වහන්සේගේ වචනයෙහි සහ ශුද්ධාත්මයාණන්ගේ පාලන බලයෙහි අනුබලය නැතිව මානව චින්තනය තුළ ඇතිවන ඇවිස්සීම් සහ පෙළඹවීම් නිසා හටගන්නා වූ අන්තවාදී හැසිරීම් සහ ක්‍රියාකිරීම් නොපැවතුණි. දේව දාසයන් මගින් දෙවියන්වහන්සේ පුරාණයේ සිටි ඊශ්‍රායෙලිතයන් හට තරවටු කිරීම සහ දොස් පැවරීම ලබා දුන් කල්හි මෙන් ඔවුහු යටහත් පහත්කමින් යුතු ව උන් වහන්සේ වෙතට පැමිණියහ. “මැදියම් රාත්‍රියේ හඬ” ගුවනට මුසුවත්ම දේව භක්තිකයෝද සියලු භේද දුරලමින් දෙවියන්වහන්සේ වෙතට පැමිණීමට පියවර ගත්හ. සෑම යුගයකදීම දෙවියන්වහන්සේගේ ක්‍රියාදාමයන්හි තිබූ ගුණාත්මක ලක්ෂණ මෙහිදී ද දැකගත හැකි විය. උදා වූ තත්ත්වය තුළ ප්‍රීතියෙන් කුල්මත් වී නොතිබිණ. හදවත් විමර්ශනයට ලක් කර ගැනීමත්, පව් කියා දීමත් ලෝකයට වූ ඇල්ම එපා කිරීමත් සෑම බැතිමතෙකු තුළ විද්‍යමාන විය. සන්තාපයෙන් පිරී ගිය හදවත්හි එකම පරිශ්‍රමය වූයේ පැමිණෙන්නාවූ ස්වාමීන්වහන්සේව මුණ ගැසීමට සූදානම් වීමය. නොපසුබස්නා ධෛර්යයෙන් යුක්තව ඔවුන් සම්පූර්ණ ජීවිත කැප වීමක් දෙවියන්වහන්සේට පුද කිරීම සෑම තැනකම දිස්වන්නට විය.GrHSin 458.2

    මෙම සිදුවීම ගැන මිලර් මෙසේ විස්තර කළේය. “ප්‍රීති ප්‍රමෝදයේ විශේෂාකාර වූ ප්‍රකාශ කිරීමක් දැක ගැනීමට නොහැකි විය. එළැඹෙන්නා වූ ආසන්න දවසකදී සකල ස්වර්ගය සහ පොළොව කිව නොහැකි තරම් වූ ප්‍රීතියකින් සහ අනූන වූ තේජස්ශ්‍රීයකින් යුතුව ප්‍රීති සයුරේ ගිලීමට බලා සිටින්නට වූ නිසා වත්මන් සියලු සතුට ඒ වෙනුවෙන් ඉතිරි කර තැබූ බවක් පෙනෙන්නට විය. උස් හඩින් වූ කෑ ගැසීම් කිසිවක් හෝ සිදු නොවීය. එම හඬනැගීම් ද සගයෙ සිදුවීම සඳහා ඉතිරි කර තැබූ බවක් පෙනී ගියේය. ගායක ගායිකාවෝ ගීත ගායනය නතර කළෝය. සගයෙ ගායක කණ්ඩායම සමඟ එක්ව ගී ගැයීමට හඬ ඉතිරිකර තබා ගත් බවක් පෙනී ගියේය. හැඟීම් සහ මත ගැටීමේ හඬ රාවයක් ඇසෙන්නට වත් තිබුනේ නැත. සෑම අයෙකුම එකම හදවතකින් එකම මනසකින් බැඳී සිටියෝය.” (Bliss, “Memoirs of Wm. Miller,” pp.270,271).GrHSin 459.1

    මෙම බලාපොරොත්තුවේ ව්‍යාපාරයට සහභාගී වූ තවත් පුද්ගලයෙක් මෙසේ සාක්ෂි දුන්නේය.” ඉහළ අහසේ වැඩ වසන්නා වූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි හදවත් යටහත් පහත්ව නිහතමානීව වැඳ වැටුණේය. ඉතා ගැඹුරු ලෙසින් හදවත් සෝදිසියකට භාජනය කරනු ලැබිණි. පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් මෙවන් ප්‍රතිඵල සෑම පෙදෙසකම දිස්වන්නට විය….. මෙම ලෝකය හා බැඳීම් සියලු ආශාවන් පහවී යන්නට විය. මතභේද හා විරුද්ධවාදිකම් සමනය කර ගන්නා ලදී. කරන ලද වැරදි කියා දී කමාව ඉල්ලීම රජයන්නට විය. කමාව ඉල්ලා වැඳ වැටෙමින් තමා පිළිගන්නා ලෙස වූ ආයාචනා ගුවන සිප ගත්තේය. දෙවියන්වහන්සේ ඉදිරියෙහි පසුතැවිලිව බිඳවැටීමට පත් හදවත් වලට සහනය ඉල්ලා කළ යැදුම් සුලභ විය. පෙර නුදුටු ආකාරයේ ආත්ම නිහතමානී වීමක්, යටහත් වීමක් ප්‍රදර්ශනය වන්නට විය. දෙවියන්වහන්සේ යෝවෙල් දිවැසි ප්‍රසාධිවරයා මගින් ප්‍රකාශ කර ඇති පරිදි ස්වාමීන්වහන්සේගේ භයානක දවස පැමිණෙත්ම බැතිමත්හු නිරාහාරව සිටීමෙන් ද, ඇඬීමෙන් ද, වැලපීමෙන් ද යුතුව වස්ත්‍ර නොව සිත ඉරා ගෙන උන්වහන්සේ වෙතට හැරීමක් සිදු වීම අනිවාර්යයෙන්ම ඇති විය යුත්තක් විය. තවද, දෙවියන්වහන්සේ සෙකරියා දිවැසිවරයා තුළින් කී පරිදි උන්වහන්සේගේ දරුවන් කෙරෙහි කරුණාවෙන් හා කන්නලව් කිරීමෙන් ආත්මය වගුරුවනු ලැබීය. ඔවුන් තමන් විසින් ඇන්නාවූ තැනැත්තානන් දෙස බලා දේශය පුරාම වැලපීමේ හඬක් නඟනවා ඇත…….. දෙවි සමිදානන් කෙරෙහි බලා සිටින්නා වූ අය උන්වහන්සේ ඉදිරියෙහි තමා ආත්ම පීඩාවට පමුණුවා ගත්හ.” (Bliss, In the Advent Shiled and Review,Vol,1.p.271(Jan 1845)).GrHSin 459.2

    අපෝස්තුළුවරුන්ගේ කාලයේදී පටන් පැවති ආගමික නවෝදයක උදාවීමේ ව්‍යාපෘති ගැන සලකා බලන විට, 1844 සරත් සෘතුවේදී වූ ප්‍රකාශනයේදී තරමට මානුෂික අසම්පූර්ණතාවයන්ගෙන් සහ සාතන්ගේ ප්‍රයෝගයන්ගෙන් අවහිරතා කිසිවක් සිදුනොවූ එකම නවෝදය මෙය විය. අවුරුදු ගණනාවක් පසුවී අද දවසේ පවා එම ව්‍යාපෘතිය අත් දුටු අය, සත්‍යතාවේ වේදිකාවේ ස්ථිරවම පසුබට නොවී නැගී සිටි අය, එම මෙහෙවරයේ ශුද්ධවූ බලපෑම අදටත් ප්‍රීතියෙන් සිහි කරති. එය දෙවියන්වහන්සේගේ ආනුභාවය ලැබූ එකක් වූ බවට ඔව්හු අදටත් සාක්ෂි දරති.GrHSin 460.1

    ” අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්න” යන හඬ සවන් වැටෙත්ම බලා සිටි අය ” නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය.” දෙවන පැමිණීම බලා සිටි අය අතර මෙම හඬ පැතිර යත්ම පෙර නොතිබුණ උනන්දුවකින් යුතුව ඔව්හු දෙවියන්වහන්සේගේ වචනය හැදෑරීමට පටන් ගත්තෝය. අධෛර්යයට පත් වූ අයව දිරිමත් කරමින් පණිවිඩය ලැබීමට ඔවුන්ව සූදානම් කිරීම පිණිස සගයේ සිට දේව දූතයන්ව එවන ලදී. මේ සේවය මානුෂික ප්‍රඥාවෙන් හා මනුෂ්‍යයන්ගේ උගත්කමින් නොව දෙවියන්වහන්සේගේ බලයෙන් ඉදිරියට ගියේය. පණිවිඩය අසා එයට කීකරු වීමට මුලින්ම ඉදිරිපත්වූවෝ කුසලතාවන්ගෙන් පිරි අය නොව නිහතමානිවූද, භක්තිවන්තවූ ද අය වූහ. ගොවියෝ තම වතුපිටි පාළුවට හැර දමා, කාර්මිකයෝ තම මෙවලම් කට්ටල පසෙක තබා, හැඩුමෙන් සහ ප්‍රමෝදයෙන් යුතුව පණිවිඩය ප්‍රකාශ කිරීමට නික්ම ගියහ. මුලින්ම මෙම පණිවිඩය ප්‍රකාශ කිරීමෙහි ප්‍රමුඛත්වය දැරූ බොහෝ දෙනා නව උදාවේ පණිවිඩයට සම්බන්ධ වීමට දැක්වූයේ ඉතා අල්ප උනන්දුවකි. දේවස්ථාන බොහොමයක් මෙම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමට නොකැමැතිව තම දොරටු වසා ගත්තෝය. ඒ අතර පණිවිඩය පිළිගත් බොහෝ අය තම සභාවන් හා තිබූ සබඳතාවන් අත්හැර දමා පිටතට පැමිණියෝය. දේව මගපෙන්වීම යටතේ මෙම පණිවිඩය දෙවන දේව දූතයාගේ පණිවිඩය හා එක්සත්ව එකී ව්‍යාපෘතියට නව උනන්දුවක් හා වැඩි බලයක් ලබා දුන්නේය.GrHSin 460.2

    ශුද්ධ ලියවිලි සපයන්නාවූ සාධක ඉතා පැහැදිලි වුවද, තීරණ ක්‍රියාත්මක වුවද, ” අන්න මනමාලයා එනවා” යන පණිවිඩය තර්ක කිරීමකට මාතෘකාවක් නොවීය. එම පණිවිඩය සමඟ ආත්මය තීරණයක් කරා යොමු කරන්නාවූ පෙළඹවීමේ බලයක්ද ඇතුළත්ව තිබිණ. මේ පිළිබඳව අනුමානයක් නොවීය, ප්‍රශ්න කිරීමක්ද නොවීය. ක්‍රිස්තුස්වහන්සේ විජයග්‍රාහි ලෙසින් යෙරුසලමට ඇතුළු වූ අවස්ථාවේදී පාස්කු මංගල්‍යය සැමරීමට නන් දෙසින් පැමිණි විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ඔලීව කන්දට එත්රොක් වූහ. යේසුස්වහන්සේගේ ගමනෙහි පෙරමඟ දූතයන් ලෙස ක්‍රියාත්මකවූ මහා ජනකාය සමඟ එක්වූ විදේශීය බැතිමත්හු එම පැයෙහි සිදුවීම් මඟින් ආනුභාවය ලැබ,˝ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය˝යි කියන්නාවූ හඬට අත්වැල් සැපයුහ, ඔල්වරසන් හඬ එකතු කළෝය.එසේම කුතුහලයෙන් යුතුව හෝ උපහාසයට ලක් කිරීමට හෝ ඇඩ්වෙන්ටිස්ත රැස්වීම්වලට පැමිණි අභක්තිකයන්ට ˝අන්න මනමාලයා එනවා˝ යන පණිවිඩය සමගවූ විශ්වාසය උපදවන ඒත්තු ගැන්වීමේ බලයෙහි ආනුභාවය හැඟී නොගියේ නොවේ.GrHSin 460.3

    ඒ සමයේදී, යාඥාවන්ට පිළිතුරු ලැබෙන ඇදහිල්ලක් බැතිමතුන් තුළ පැවැතියේය. විපාක ලැබීමට තරම් එම ඇදහිල්ල ගුණාත්මකතාවෙන් උසස් විය. පිපාසාවෙන් පෙලී ගිය පොළොව මතට වර්ෂාව ඇද හැලෙන්නාවූ අයුරින් සත්‍ය සොයා ගිය බැතිමතුන් මත්තට මෛත්‍රී කරුණාවේ ආත්මයාණන්ගේ පහස ගලා ආවේය. වැඩි දවස් නොගොස් තම ගැළවුම්කාරයාණන් ඉදිරියෙහි මුහුණට මුහුණ ලා නැගී සිටීමට අපේක්ෂා කළ අය වචනයෙන් කිව නොහැකි ප්‍රීති උද්දාමයකට පත්ව සිටියහ. මොළොක් කරන්නාවූ, අභිභවනය කරන්නාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය හදවත් දමනය කරමින් විශ්වාසවන්ත ඇදහිලිවතුන්ට තමන් ආසිරි විශාල පරිමාණයෙන් දුන්නේය. GrHSin 461.1

    පණිවිඩය පිළිගත් අය සුපරික්ෂාවෙන් සහ ගරු ගාම්භීරත්වයෙන් යුතුව ස්වාමීන්වහන්සේ මුණගැසීමේ දවස වෙත ලඟාවෙමින් සිටියෝය.දෙවියන්වහන්සේ විසින් තමා පිළිගනු ලැබී යයි සාක්ෂි ලැබෙන තෙක් ඔව්හු සෑම උදෑසනකම සමිඳුන් යැදීම පුරුද්දක් කර ගත්තෝය. ඔවුන්ගේ හදවත් එකිනෙකා සමඟ තදින් වෙලී තිබුණේය.එකිනෙකා සමගද එකිනෙකා උදෙසාද ඔවුහු බොහෝ සේ යාච්ඤා කළෝය. දෙවියන්වහන්සේ සමඟ කථිකා කරගැනීමට ඔවුහු හුදෙකලා තැන්හි රැස්වූහ. කෙත් වතුවලින් නැගෙන්නාවූ මැදිහත්කාරකමේ හඬ සගය කරා නැගී ගියේය.ගැළවුම්කාරයාණන්ගේ අනුමැතියෙහි සහතිකය දෛනික ආහාරයට වඩා ඔවුන්ට වැදගත් විය. යම්කිසි අවස්ථාවකදී ඔවුන්ගේ මනස අඳුරු වළාවකින් වැසී ගියේ නම්, එය පහව යන තුරු ඔවුන් සැනසීමට පත්වූයේ නැත. පව් කමා කරන්නාවූ මෛත්‍රී කරුණාවෙහි සාක්ෂි ඔවුන් තුළ හැඟීමක් ඇති කළාවූ සෑම අවස්ථාවක් පාසාම, තමන්ගේ ආත්මවලින් ආදරය කළ තැනැන්වහන්සේව දැකගැනීමට ඔවුන් තුළ ඉමහත් ආශාවක් ඇතිවිය.GrHSin 461.2

    එසේ වුවද,බලාපොරොත්තු කඩවීමේ ඉරණමකට ගොදුරු වීම ඔවුන්ට නියමව තිබිණි. ඉමහත් බලාපොරොත්තු අපේක්ෂා රැඳවූ දවස පහවී ගියේය, ඔවුන්ගේ ගැළවුම්කරුවාණෝ නොපැමිණි සේක. අචල විශ්වාසයකින් යුතුව ඔවුහු උන්වහන්සේගේ පැමිණීම බලා සිටියෝය. සමිදාණන් භූමදාන කිරීමෙන් තෙදිනකට පසුව සොහොන් ගෙය වෙත පැමිණි මරියා එය හිස්ව තිබෙනු දැක, හැඬීමෙන් යුතුව ප්‍රකාශ කළේ ˝ මාගේ ස්වාමීන්වහන්සේව අහක් කොට ගෙන ගොස් කොතැන තබන ලද්දේදැයි ˝ මා නොදනිමි යි කියාය. එසේම ක්‍රිස්තු සමිදාණන්ගේ ආගමනය බලා සිටි අයගේ බලාපොරොත්තු මරියාගේ බලාපොරොත්තුව මෙන් සුනු විසුණු වී ගියේය.GrHSin 462.1

    මෙම පණිවිඩය සත්‍යයක් විය හැකි යයි යන බියක් එය විශ්වාස නොකළ ලෝකයාව කලකට නිශ්ශබ්ද කිරීමට සමත් විය. කාලය ගෙවී යාමත් සමගම මෙම ගරු බිය එකවරම නැති වී නොගියේය. බලාපොරොත්තු සුන්ව ගිය අය කෙරෙහි ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඔවුන් මුලදී අභීත නොවූහ. කාලය ගෙවී යාමෙන් දෙවියන්වහන්සේගේ උදහස ඔවුන් මත පතිත නොවීම නිසා ඔවුන්ගේ බිය දුරු විය. ඔවුහු බැතිමතුන්ට ගැරහීමටත් ඔවුන්ව උපහාසයට ලක් කිරීමටත් ආරම්භ කළෝය. ක්‍රිස්තු සමිදාණන්ගේ කඩිනම් ආගමනය කෙරෙහි විශ්වාසය රැඳවූ බොහෝ අය තම ඇදහිල්ල අත්හැර දැමූවෝය.දෙවන පැමිණීම කෙරෙහි විශාල විශ්වාසයක් රැඳවූ සමහර අය තමන්ට සිදුවූ අවමානයෙන් හදවත් පෑදී ගොස් ලෝකයා කෙරෙන් දුව යාමට තරම් චින්තනයකට ගොදුරු වූහ. යෝනා මෙන්ම ඔවුහුද දෙවියන්වහන්සේට පැමිණිලි කරමින් ජීවිතයට වඩා මරණය අගය කළෝය.දෙවියන්වහන්සේගේ වචනය මත නොව වෙනත් අයගේ ප්‍රකාශන කෙරෙහි තම විශ්වාසය රැඳවූ බොහෝ දෙනෙක් නැවත වරක් තම දසුන වෙනස් කිරීමට සූදානමින් සිටියෝය.දුබල වූ අය මෙන්ම බියසුළු අයද තම පාර්ශවය වෙත දිනාගැනීමට සමච්චල් කරන්නෝ සමත් වූහ. මෙම සියලු දෙනාම එකමුතුව කියා සිටියේ බියවීමට හෝ බලාපොරොත්තු රැඳවීමට තවදුරටත් උවමනාවක් නැතැයි යන්නය.බලාපොරොත්තු වූ දවස ගෙවී ගියේය,ක්‍රිස්තු සමිඳාණන් ආපසු පැමිණියේ නැත. පවතින ලෝකය තවත් අවුරුදු දහස් ගණනාවක් එලෙසම පවතින්නට පුළුවන.GrHSin 462.2

    අවංකවූ ද , සත්‍යවාදීවූ ද බැතිමත්හු තමා සතු සියල්ල ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අත්හැර දමා තිබුණි. පෙර නොවූ විරූ පරිදි උන්වහන්සේගේ අභිමුඛය බෙදා ගැනීමට ඔවුහු සමත් වූහ. තමා විශ්වාස කළ පරිදි ඔවුහු තමා සතු අන්තිම අනතුර ප්‍රකාශය ලෝකයට ලබාදුන්නෝය.ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ තමන්ගේ දිව්‍ය ස්වාමීන්වහන්සේගේ සහ ශුද්ධවු දේව දූතයන්ගේ සමාගමට තමා කඩිනමින් පිළිගනු ලැබීමය. ඒ අතර ඔවුහු දේව දූත පණිවිඩ පිළිනොගත් අයගේ ඇසුරෙන්ද ඉවත්ව සිටියහ.˝වඩින්න යේසුසමිඳාණෙනි ඉක්මනින් වඩින්න˝ යි ඔවුන් උපේක්ෂා සහගතව යාච්ඤා කර තිබුණේය. නමුත් උන්වහන්සේ පැමිණියේ නැත. නැවත වරක් ලෝකයට ගොස් ජීවත් වීමේ සටනට සහ චිත්ත වික්ෂේපයට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු වෑයමක් විය. තවද, සමච්චල්කරුවන්ගේ ගැරහීම්වලට සහ නින්දා අපහාසයන්ට මුහුණ දෙමින් ඒවා විඳ දරාගනිමින් දිවි ගෙවීම ඔවුන්ගේ ඇදහිල්ලට හා ඉවසීමට මහත් පරීක්ෂාවක් විය.GrHSin 462.3

    එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ පළමු පැමිණීමේදී ගෝලයන්ට මුහුණ දීමට සිදුවූ බලාපොරොත්තු භංගත්වය මෙන් දෙවන ඊම බලා සිටි අයගේ මේ බලාපොරොත්තු සුන්වීම එතරම් බරපතල නොවීය. යේසුස්වහන්සේ ජයග්‍රාහක ලීලාවෙන් යෙරුසලමට ප්‍රවිෂ්ඨ වූ අවස්ථාවේදී උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ අපේක්ෂාව වූයේ උන්වහන්සේ දාවිත්ගේ සිංහාසනයට ගොඩ වී ඊශ්‍රායෙලිතයන් තම පීඩකයන්ගෙන් ගළවා ගැනීමට ඉදිරිපත් වන බවය. මහත් අපේක්ෂණයෙන් යුතුවද, ඉමහත් බලාපොරොත්තු ඇතිවද ඔවුහු තම රජතුමාණන්ට ගෞරව දැක්වීමට පොරකමින් ඉදිරිපත් වූහ. උන්වහන්සේගේ ගමනට පලසක් ලෙස ඔවුහු තම බාහිර ඇඟළුම් බිම ඇතුරූහ; නැතහොත් උන්වහන්සේ ඉදිරියෙහි තල් අතු බිම දමමින් පාවඩයක් නිර්මාණය කළෝය. උද්‍යෝගයෙන් මුසපත්ව සිටි ඔවුහු ˝දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!˝ යයි හඬ නැගුවෝය. සෙනගගේ ප්‍රීති ඔල්වර හඩින් අසහනයට සහ කෝපයට පත් එරිසිවරු ගෝලයන්ගේ හඬ නැගීම නවතා දමන්නට අණ කරන්නැයි ඉල්ලා සිටියෝය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්,˝ ඔවුන් නිශ්ශබ්ද වුණොත් ගල් මොර ගසන්නේය˝යි පැවසූසේක. (ලූක් 19:40). දිවැසි වැකි ප්‍රකාශන ඉටුවීම අනිවාර්ය වන්නේය. ගෝලයෝ දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු කරමින් ක්‍රියාත්මකව සිටියෝය. එහෙත් කටුක බලාපොරොත්තු භංගත්වයක් ඔවුන්ට ඉරණම්ව තිබුණේය.වැඩි දවසක් ගතවීමට පෙර තම සමීදුන්ගේ දුක්වේදනා බර මරණය දැකගන්නට ඔවුන්ට සිදු විය. ඉක්බිතිව ඔවුහු උන්වහන්සේව සොහොන් ගැබක තැන්පත් කළෝය.කිසිම විෂයක් සම්බන්ධව හෝ ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවූණේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල යේසුස්වහන්සේගේ මරණයත් සමග නැත්තටම නැති විය. යේසුස් සමිදාණන් ජයග්‍රාහක සොහොනෙන් නැගිටීම දක්වා ˝ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය.˝ යනුවෙන් මෙම සිද්ධීන් සියල්ල අනාවැකි මගින් පවසා ඇති බව ඔවුන්ට වැටහුණේ නැත.( ක්‍රියා 17: 3).GrHSin 463.1

    වසර පන්සියයකට පෙර ස්වාමීන්වහන්සේ සෙකරියා තුළින් මෙසේ ප්‍රකාශයක් දෙවා වදාරා තිබූසේක.˝ සියොන් දියණියෙනි, බොහෝ සෙයින් ප්‍රීතිමත් වෙන්න.යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය; ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය. කොටළුවෙකු එනම් කොටළු දෙනෙකුගේ පැටියෙකු පිට නැඟී එනසේක.˝(සෙකරියා 9:9).ක්‍රිස්තුස්වහන්සේ විනිශ්චයකට මුහුණ දී, එහි තීන්දුව ලෙසින් මරණ දඬුවම ලැබීමට නියමිත ගෝලයන්ට වැටහි තිබුණේ නම් ඔවුන්ට මේ අනාවැකිය සම්පූර්ණ කිරීමට නුපුළුවන් වෙනවා ඇත.GrHSin 464.1

    මෙයාකාරයෙන්ම මිලර් සහ ඔහුගේ සහායකයෝද අනාවැකි ඉටු කළෝය.ලෝකයට ලබා දිය යුතු යයි දේවානුභාවයෙන් කියා තිබූ පණිවිඩය ඔවුහු එලෙසම ඉටු කළෝය.දිවැසි ප්‍රකාශනයෙහි කියා තිබූ පරිදි ඔවුන්ට මහත් බලාපොරොත්තු කඩවීමක් ඉරණම් වන්ට යන බව ඔවුන් තත්ත්වාකාරයෙන් දැන සිටියේ නම් ඔවුන්ට එම පණිවිඩය දීමේ හැකියාව උදා නොවනවා ඇත.ක්‍රිස්තු සමිදාණන්ගේ ආගමනයට පෙර මුළු ලෝකය පුරා සකල ජනතාවටම තවත් පණිවිඩයක් දේශනා කරන්නට ඇති බව ඔවුන් දැන සිටියේ නැත.පළමු සහ දෙවන දේව දූතයන්ගේ පණිවිඩ නියමිත කාලයට අනුකූව ලෝ පුරා විසුරුවා හරිනු ලැබුවේය. එමගින් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වූ කාර්ය භාරය ඒ අයුරින්ම ඉටු විය.GrHSin 464.2

    බලාපොරොත්තුව සිටි කාල රාමුව නිමාවට පැමිණි නමුත් කිස්තුස්වහන්සේ නොපැමිණි සේක.මෙවන් පසුබිමක් තුළ සකල ඇඩ්වෙන්ටිස්ත ව්‍යුහයම බිඳ වැටේ යැයි ලෝකය බලාගෙන සිටියේය. මහත් පරීක්ෂාවන් යටතේ බොහෝ දෙනෙක් තම ඇදහිල්ල අත්හැර දැමූ අතර සමහරෙක් තිරසාරව ඇදහිල්ල තුළ නැගී සිටියෝය.ඇඩ්වෙන්ටිස්ත මෙහෙයුමෙහි ප්‍රතිඵල සාක්ෂි දරුවේ එය දෙවියන්වහන්සේගේ සැලැස්මක් බවටය. යටහත් පහත් නිහතමානීකමෙහි ආත්මයත්, හදවත් සෝදිසි කරගැනීමත්, ලෝකය එපා කිරීමත්, ජීවිත වෙනස් වීමත් දෙවියන්වහන්සේගේ වැඩ පිළිවෙතක් බව ඒ ප්‍රතිඵල ප්‍රකාශ කළහ. දෙවන ඊම පිළිබඳව දේශනා කිරීම්වලදී ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය සාක්ෂි දැරූ බව කිසිවෙකුටත් නිෂ්ප්‍රභා කළ නොහැකි විය. අනාවැකි කාල සූත්‍රය නිගමනය කිරීමේ කිසිදු වරදක් තිබු බව කිසිවෙකුටත් පෙන්වා දීමට නොහැකි විය.ඉතා දක්ෂතම විරුද්ධවාදියාට පවා ආගමන විශ්වාසකයින්ගේ අනාවැකි අර්ථකථන වැරදි යයි දැක්වීමට හැකියාවක් නෙවීය.ඇඩ්වෙන්ටිස්තවරු ස්වකීය තීරණ කරා පැමිණියේ අවංකව යාච්ඤාවේ පහස ලබමින් ශුද්ධ ලියවිලි අධ්‍යයනයෙන් පසුවය.ඔවුනගේ මනස් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මගින් ප්‍රබුද්ධ කර තිබුණේය, ආලෝකමත් කර තිබුණේය.ඔවුන්ගේ හදවත් ජීවමාන බලයෙන් පණගැන්වී තිබුණේය.එවන් ස්ථාවරයකට එළඹ සිටි ඔවුන්ට බයිබලීය සාක්ෂි වලින් තොරව තමන්ගේ විශ්වාසයන් අත්හැර දැමීමට එකඟ විය නොහැකි විය.ඔවුන් දැරූ විශ්වාසයට එරෙහිව දැඩි විවේචනාත්මක පහර එල්ල වුවද ඔවුහු පසු නොබා සිටියෝය.ජනප්‍රිය ආගමික ගුරුවරුන්ගේ මෙන්ම ලෞකික බුද්ධිමතුන්ගේද තර්ක හා විරුද්ධතාවන් ඉදිරියේ ඔවුහු නොසැලී සිටියෝය.ඔවුන්ට විරුද්ධව දැන උගත්කම සහ කථිකත්වය එක්ව අවි අමෝරා ගෙන නැගී සිටියද,වංශාධිපතීන්ගෙන් මෙන්ම හීනයන්ගෙන් නින්දා අපහාස සහ ඇනුම් පද එල්ල වුවද, ඇඩ්වෙන්ටිස්තවරු ඒ සියල්ල විඳ දරාගනිමින් ඇදහිල්ලෙහි පිහිටා සිටියෝය.GrHSin 464.3

    බලාපොරොත්තුව රැඳවූ සංසිද්ධිය ඉෂ්ඨ නොවු නමුත් ඇඩ්වෙන්ටිස්තවරුන් දෙවියන්වහන්සේගේ වචනය තුළ තැබූ විශ්වාසය බිඳක් හෝ සෙලවීමට එම සිද්ධියට හැකියාවක් නොවීය.මීට ඉහත කලකදී යෝනා නිනිවයේ වීථි දිගේ ඇවිදිමින්, තව දවස් හතළිහක් ගතවු පසුව එම නගරය දෙවියන්වහන්සේ විසින් විනාශ කර දමනවා ඇතැයි ප්‍රකාශ කර සිටියේය.නිනිවයේ පුරවැසියෝ එක සිතින් දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත් පහත්ව වැඳ වැටෙමින් පසුතැවිලි වූ පසුව උන්වහන්සේ ඔවුනගේ පරිවාස කාලය දිගු කළසේක.එහෙත් පණිවිඩය පැමිණියේ දෙවියන්වහන්සේගෙන්ය.උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාර නිනිවය පරික්ෂාවට භාජනය කරනු ලැබිණි.විනිශ්චය පිළිබඳව අනතුරු ඇගවීමේ පණිවිඩයක් ලොවට ලබාදීමටද උන්වහන්සේම තමන්ට මගපෙන්වා ඇතැයි ඇඩ්වෙන්ටිස්තවරු විශ්වාස කළෝය.˝පණිවිඩය ඇසු සැමගේ හදවත් පරික්ෂා කරනු ලැබිණ. ක්‍රිස්තු සමිඳාණන්ගේ ආගමනය උදෙසා ආශාවක් ජනිත කිරීමට එම පණිවිඩය සමත් විය.එසේත් නැතිනම්, එම පණිවිඩය ඇසු ශ්‍රාවකයන් තුළ ඒ ගැන ද්වේෂයක් හෝ ඇතිවිය..ඒ පිළිබඳව දෙවියන්වහන්සේ දන්නා බව නොඅනුමාන විය....පණිවිඩය මගින් තීරණයක් කරා යෑමටම ඔව්හු මගපෙන්වනු ලැබූහ.. තම හදවත් පිරික්සීමෙන් තමන් සිටිනනේ කිනම් පාර්ශවයේ දැයි ශ්‍රාවකයන්ට තීරණය කරගැනීමට හැකිවිය.එම අවස්ථාවේදී ක්‍රිස්තු සමිඳාණන් පැමිණියේ නම් ඔවුන් පවසන්නේ කුමක්ද? එක් කණ්ඩායමක් මෙසේ පවසයි: මේ අපේ දෙවියන්වහන්සේය.අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව.උන්වහන්සේ අප ගළවන සේක.´අනෙක් කණ්ඩායම කඳුවලටත්, පර්වතවලටත් කථාකොට මෙසේ පවසයි:´අප පිට වැටී සිංහාසනයෙහි වැඩ ඉන්න තැනැන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අපව සඟවා ගනිල්ලා.´අපගේ විශ්වාසය අනුව දෙවියන්වහන්සේ තමන් සෙනඟ පරික්ෂා කරඇත,ඔවුනගේ ඇදහිල්ල පිරික්සා ඇත,ඔවුනගේ කැපවීම සෝදිසි කර ඇත.තීරණාත්මක පරික්ෂා පැයේදී ඔවුන් පසුබෑමට හසු වේද! ඔවුන්ට සුදුසු යයි උන්වහන්සේ තීරණය කරන ස්ථානයේදී ඔවුන් ජය ගනීද! ඔවුහු මේ ලෝකයේ හා සියළු සබඳතා අත්හැර දමා දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි අචල විශ්වාසයක් තබා ක්‍රියා කරත්ද?˝(The Advent Herald and Signs of the Times Reporter,Vol viii No.14).GrHSin 465.1

    තමන්ගේ අතීත අත්දැකිම්වලදී දෙවියන්වහන්සේ තමන්ට මගපෙන්වූ බව තවදුරටත් විශ්වාස කළාවූ අයගේ හැඟීම් විලියම් මිලර් තමාගේම අත්දැකීම මගින් මෙසේ විස්තර කරයි.˝මාගේ ජීවිතය නැවත වරක් ගතකරන්නට සිදුවන්නේ නම් මට ලැබී තිබූ සාක්ෂි එම ආකාරයේම වන්නේ නම්, එදා ක්‍රියා කළ ආකාරයෙන්ම නැවතත් ක්‍රියාකරන බව දෙවියන්වහන්සේට සහ මනුෂ්‍යයන්ට මම අවංකවම ප්‍රකාශ කරමි.˝ආත්මයන්ගේ ලේ වල වගකීමෙන් මාගේ ඇගළුම් සෝදා පවිත්‍ර කරගෙන සිටින්නෙමි යයි මම බලාපොරොත්තු වෙමි.තවත් අය වරදට පත් කරනු ලබන්නනේ නම්, මම එයට වරදකරු නොවෙමි.ඔවුන්ට ගැළවීමේ මාර්ගය පහදා දීමට මට කළ හැකි සැමදෙයක්ම කළ බව මාගේ හැඟීමයි.˝ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තවදුරටත් මෙසේ පවසයි.˝මම දෙවතාවක්ම බලාපොරොත්තු කඩවීම්වලට ගොදුරු වීමී.එහෙත් මම තවමත් අධෛර්යයට පත් නොවී සිටිමි.සියලු බලාපොරොත්තු අත්හැර නොදැමුවෙමි.˝ ක්‍රිස්තු සමිඳාණන්ගේ ආගමනය ගැනවූ මාගේ බලාපොරොත්තුව තවමත් බොඳ වී නැත. වසර ගණනාවක් පුරා අධ්‍යයනය කර,කරුණු කිරා බලා තීරණයක් ගෙන, මා විසින් ඉටු කළේ මාගෙන් සිදුවිය යුතු වගකීමය.මා වැරදි කළා නම්,එසේ මිනිසුන්ට උදව් උපකාර කිරීමෙන් සහ දෙවියන්වහන්සේ වෙනුවෙන් වූ මාගේ වගකීම ඉටු කිරීමෙන්ය.˝ ˝මා දේශනා කළේ මා විශ්වාස කළ දේවල් පමණක් බව මම දනිමි. මා ඉටු කළ කාර්ය භාරයන්හීදී උන්වහන්සේගේ බලය විද්‍යාමාන වී ඇත. බොහෝ යහපත් දේ සිදුව තිබේ.කාලයාගේ දේශනා කිරීම් කරණකොටගෙන දහස් ගණනින් වූ ජනකායකට ශුද්ධ ලියවිලි ඉගෙන ගැනීමට බලපෑමක් ඇතිකරන ලදී.එකී මාර්ගය මගින් ඇදහිල්ල සහ ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය ඉසීම කරණකොටගෙන බොහෝ අය දෙවියන්වහන්සේට සමගි කරනු ලැබ සිටිති.˝(Bliss˝Memoirs of Wm.Miller˝pp.256,255,277,280,281).˝උඩඟු වූවන්ගේ සිනහව මම කිසි කලෙක ඉල්ලා නොසිටියෙමි. ලෝකයා මට රැවූ කළ මම කම්පා නොවීමි.ඔවුන්ගේ උදව් උපකාර ලබාගැනීමට මම මිලයක් නොගෙව්වෙමි. ඔවුන්ගේ ද්වේෂයට භාජනය වීමට මාගේ වගකීම් ඉක්මවා ක්‍රියා නොකරමි.මාගේ ජීවිතය රැක දෙන්නැයි මම ඔවුන් නොයදිමි.ජීවිතය නැති වුවද මාගේ කාර්ය භාරයෙන් පැන නොයමි.දෙවියන්වහන්ගේ තීරණය හිස නමා භාර ගන්නෙමි.˝(White,J.˝Life of Wm.Miller˝p.315).GrHSin 466.1

    දෙවියන්වහන්සේ තමන් සෙනඟ අත් නොහළසේක.තමන් ලැබූ ආලෝකය දුර දිග නොබලා අත්හැර දමන්නේ නැතිව, ඇඩ්වෙන්ටිස්ත දහම් මාලාව ප්‍රතික්ෂේප නොකර, ක්‍රියා කළ අය සමග උන්වහන්සේගේ ආත්මයාණෝ තවදුරටත් රැදී සිටි සේක.මෙම අර්බුදකාරී අවස්ථාවේදී පිරික්සීමට භාජනය කරනු ලැබුවද තවදුරටත් ආගමනය බලාපොරොත්තුවෙන් සිටි බැතිමතුන්ට දිරිගන්වන වදන් හෙබ්‍රෙව් යැවුම් පත්‍රයේ මෙසේ ඇතුළත්ය.˝එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත්නාරින්න.මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.මක්නිසාද එන්නාවූ තැනැන්වහන්සේ ප්‍රමාද නොවී, තව ස්වල්ප කාලයකින් එනසේක.ඉදින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.නුමුත් ඔහු පසුබටවන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.˝(හෙබ්‍රෙව් 10:35-39).GrHSin 467.1

    මෙම අනුශාසනාව අන්තිම දවස්වලදී පවතින්නාවූ සභාවට යොමු කරන ලද්දක් බව එහි අඩංගු මේ වචනවලින් තහවුරු වේ:˝එන්නාවූ තැනැන්වහන්සේ ප්‍රමාද නොවී තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.˝ස්වාමින්වහන්සේගේ පැමිණීම මඳ කලෙකින් ප්‍රමාද වන බව දැක්වීමක්ද මෙහි ඇත.මෙම කාලයේදී දිවිගෙවූ ඇඩ්වෙන්ටිස්තවරුන්ගේ අත්දැකීමට මෙම අනුශාසනාව කදිමට ගැළපෙන්නේය.මෙම ලිපිය ලැබීමට යෝජිත ජනතාව තමන්ගේ ඇදහිල්ල සුනු විසුනුව යෑමේ අවදානමකට ලක්ව සිටියෝය.දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ සහ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කර තිබුණෝය.නමුත් තමන්ට සිදුවූ අත්දැකීම් තුළ දේව අභිප්‍රාය ගැන අවබෝධයක් ඔවුන් සතු නොවීය.තමන් ඉදිරියෙහි තිබූ මාර්ගය පිළිබඳව දැක්මක්ද ඔවුන්ට පෙනෙන්නට නොතිබුණේය.මෙම චින්තනය නිසා ඇත්තටම දෙවියන්වහන්සේ තමන්ට මගපෙන්වූ සේක්දැයි අනුමාන කිරීමට ඔවුන්ට සිතුවිලි පහළ විය.˝ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ˝ යන වදන් මෙහිදී මොවුන්ට යථාර්ථවාදීව අදාළ විය.˝මැදියම් රාත්‍රියේ හඬ˝නමැති දීප්තිමත් ආලෝකය ඇඩ්වෙන්ටිස්ත වරුන්ගේ මාර්ගයට එළිය සපයා දුන්නේය.දිවැසි ප්‍රකාශන පැහැදිලි ලෙස එළිදරව් වූ බව ඔවුන්ට දැකගත හැකි විය.ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ඉතා ආසන්න බව ඉටුවන්නාවූ ලකුණු මගින් හඬ ගා කියන්නට විය.මේ සියළු සාධක මධ්‍යයේ ඔවුන් ගමන් කළේ අඳුරේ නොව පැහැදිළි ආලෝකයක් මධ්‍යයේය.නමුත් දැන් බලාපොරොත්තු සුන්වීමකට පත්ව සිටි ඔවුන්ට නැගී සිටීමට සිදුවුයේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය වන ඇදහිල්ල මත පමණකි.මේ අතර අවලාද නගන්නාවූ ලෝකයා ඔවුන්ට ගරහන්නට විය.˝ඔබලා අසුවී සිටින්නේ මහත් රැවටිල්ලකටය.ඔය විකාර විශ්වාසය අත්හැර දමන්න.ඇඩ්වෙන්ටිස්ත ව්‍යාපාරය සාතන්ගේ මගපෙන්වීම යටතේ වූ එකක් යයි පිළිගන්න,ප්‍රකාශ කරන්න˝යි ඔව්හු පැවසූහ. ඒ අතර දෙවියන්වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරයි.˝යම්කිසි මනුෂ්‍යයෙක් පැකිලී පසුබට වේ නම් මාගේ ආත්මය ඔහු සමග ප්‍රසන්න නැත˝ ඇදහිල්ල ප්‍රතික්ෂේප කිරීමත්,ඔවුන්ගේ දහම් ප්‍රකාශන මත සුදත් ගුරුන්ගේ පහස තිබූ බව ප්‍රතික්ෂේප කිරීමත් වනාහි විනාශය කර නැවත ඇදී යාම හා සමාන වීමකි.ස්ථිරව සිටින්නැයි කී පාවුල්ගේ වදන් ඔවුන්ව දිරිමත් කළේය.˝මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත්නාරින්න.˝ ˝නුඹලාට ඉවසිල්ල ඕනෑය. ˝ ˝මක්නිසාද එන්නාවූ තැනැන්වහන්සේ ප්‍රමාද නොවී තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.˝ඔවුනගේ එකම ආරක්ෂාකාරී මාර්ගය වූයේ දෙවියන්වහන්සේගෙන් මෙතෙක් ලැබූ ආලෝකය ආදර භක්තියෙන් යුතුව දැඩි ලෙසින් ග්‍රහණය කරගැනීමත්,උන්වහන්සේගේ පොරොන්දු ග්‍රහණය කරගැනීමත්ය.තවද,ඔවුන් විසින් ශුද්ධ ලියවිලි සෙවීම අඛණ්ඩව කරගෙන යමින් තවත් වැඩිපුර ආලෝකය අපේක්ෂාවෙන් ඉවසිලිවන්තව බලාසිටිය යුතුවිය.GrHSin 467.2