Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    31 - දුෂ්ට ආත්මයන්ගේ ක්‍රියාකාරකම්

    දෘශ්‍යමාන ලෝකය හා අදෘශ්‍යමාන ලෝකය අතර ඇති සම්බන්ධකමද, දේව දුතයන්ගේ කටයුතු කිරීම් සහ නපුරේ ආත්මයන්ගේ මෙහෙවරයන්ද ගැන ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි ලෙස එළිදරව් කර ඇත. මෙම විෂයන් මිනිස් ඉතිහාසය හා බැඳී පවතී. දුෂ්ටකම බලවේගයන්ගේ පැවැත්ම අනුමාන කිරීමටත්, ඒ පිළිබඳව සැකයෙන් යුතුව සිටීමටත් වූ කල්පිතය අද වර්ධනය වෙමින් පවතී. ඒ අතර “ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයන්” වන දේව දූතයන් (හෙබ්‍රෙව් 1:14) වනාහි මිය ගිය පුද්ගලයන්ගේ අවම බව බොහෝ අයගේ විශ්වාසය වන්නේය. දෙවියන්වහන්සේගේ දූතයන් මෙන්ම වැටී ගියා වූ දූතයන්ද සිටින බව ශුද්ධ ලියවිල්ල පැහැදිලිව උගන්වන්නේය. තවද මෙම දූත කැළ මිය ගියවුන්ගේ ශරීර රහිත ආත්ම නොවන බවද දේව වචනය පැහැදිලිව ප්‍රකාශ කරයි.GrHSin 593.1

    මිනිසා මවනු ලැබීමට පෙර දේව දූතයන් ජීවත්ව සිටි බව දේව වචනය ප්‍රකාශ කරයි. අපගේ භූමියේ අත්තිවාරම් දමන්නා වු අතරේදී, “පහන් තාරකා එක්ව ගීතිකා කරමින් දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා” පැවැත්වූ බව යෝබ් 38:6,7 වාර්තා කරයි. මිනිසා පාපයට වැටී ගියාට පසුව ජීවනයේ ගස ආරක්ෂා කිරීමට දේව දූතයන් එවූ බව ශුද්ධ බයිබලය පවසන අතර එම සිද්ධියේදී දූතයන්ගේ පැමිණීම සිදුවුයේ කිසිම මනුෂ්‍යයෙකු මරණයට පත්වීමට පෙර බවද දේව වචනය සාක්ෂි දරයි. දූතයන්ගේ රූපකාරය සහ ස්වභාවය මිනිසාට වඩා ඉහළ තලයක පවතින බව දේ වචනය පවසයි. “මනුෂ්‍යයා දේව දූතයන්ට මඳක් පමණක් පහත් කොට” සාදන ලදී, (හෙබ්‍රෙව් 2:7)GrHSin 593.2

    ස්වර්ගික දේව දූතයන්ගේ සංඛ්‍යාව ගැනද ඔවුන් සතු බලය සහ තේජස්ශ්‍රීය ගැනද ශුද්ධ බයිබලයෙහි වාර්තා වී ඇත. දෙවියන්වහන්සේගේ රාජ්‍ය තන්ත්‍රයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාව මෙන්ම ගැළවීමෙහි කර්තව්‍යය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය පිළිබඳව ද දේව වචනය විස්තර සපයා දී තිබේ. “ස්වාමින්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවූ සේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.’ දිවැසිවර තෙමේ මෙසේද පවසයි. “තවද මම බැලීමි, එවිට සිංහාසනයද ... වටකර බොහෝ දූතයන් සිටිනවා දුටිමි.” රාජාති රාජයාණන් වහන්සේගේ සිහසුන් මන්දිරයෙහි සිටින්නා වූ දේව දූතයෝ ශක්තියෙන් බලවන්තයෝ වෙති. ඔවුහු උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නා වූ සේවකයෝ වෙති. (ගීතාවලිය 103: 19-21; එළිදරව් 5:11). දානියෙල් දිවැසිවරයා දුටු දේවදූත කැළ වනාහි “දහස්වර දහස් දෙනෙක් ... දස දහසක් වර දස දහස් දෙනෙක්” විය. (දානියෙල් 7:10). එම දූත සමූහයා ගණන් කළ නොහැකි විශාල සංඛ්‍යාවක් බව පාවුල් ප්‍රකාශ කරයි. (හෙබ්‍රෙව් 12:22) දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් ලෙස ඔවුහු “විදුලි කෙටීමක පෙනීම මෙන්” ක්‍රියා කරති. (එසකියෙල් 1:14). ඔවුන්ගේ තේජස අතිශයින් දීප්තිමත් විය, ඔවුන්ගේ ගමන බිමන ඉතා කඩිනම් විය, වේගවත් විය. ගැළවුම්කාරයාණගේ සොහොන් ගෙය රැකවල් කරමින් සිටි දේව දූතයාගේ “පෙනීම විදුලිය මෙන් වූය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය. රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ.” (මතෙව් 28:3,4). අසිරියානු රජ වූ සෙනකෙරිබ් උඩඟු වෙසින් දෙවියන්වහන්සේට නින්දාත්මක අවලාද නගමින් දේව අපහාසාත්මක දෝෂාරෝපණය එල්ල කරමින් ඊශ්‍රායෙලිතයන් සමූල ඝාතනය කරන බවට තරවටු කළ කල්හි “ඒ රාත්‍රිය ස්වාමින්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූ පන්දහසකට පහර දුන්නේය.” (2 රාජාවලිය 19:35). දූතයා “අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද, ප්‍රධානීන්ද, අධිපතීන් ද සිඳ දැමුවේය. මෙසේ ඔහු ලැජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරී ගියේය.” (2 ලේකම් 32:21).GrHSin 593.3

    මෛත්‍රී - කරුණාවේ සේවය සඳහා සුබසුන් පණිවිඩ රැගත් දේව දූතයෝ දෙවියන් වහන්සේගේ දරුවන්ට පිහිට වීමට සගයේ සිට එවනු ලබති. සෑම යුගයකදීම ශුද්ධ වූ දේව දූතයෝ දෙවියන්වහන්සේගේ ජනතාවට සේවය ලබාදී ඇත. ආබ්‍රහම්ට ආශිර්වාදාත්මක පොරොන්දු දීමටද, සොදොම්හි දිවිගෙවූ ලොත්ව ගින්නට ඉරණම් වූ එම නගරයෙන් බේරා ගැනීමටද, කාන්තාරයේ තනිව සිටි දැඩි වෙහෙසට සහ බඩගින්නට පත්වූ එළියාව මුදා ගැනීමටද දේව දූතයෝ මැදිහත් වූහ. සතුරන් විසින් වට කරනු ලැබ කුඩා නගරයක සිටි එලිෂාව බේරා ගැනීමට ගිනිමය වූ රථ සහ අශ්වයන් එචමින්ද, මිසදෙටු රජතුමෙකුගේ රජවාසලෙහි සේවය කළ දානියෙල් දිව්‍ය ප්‍රඥාව ඉල්ලා සිටි අවස්ථාවෙහිද, සිංහයන්ට ගොදුරුවීමට සිංහ ගුහාවට දමනු ලැබූ දානියෙල් බේරා ගැනීමටද, හෙරොන්ගේ තීරණයක් මත ඒ අඳුරු දඟ ගෙයින් පේතෘස්ව ගළවා ගැනීමටද, පිලිප්පියේ සිටි සිරකරුවන්ට පිහිට වීමටද දේවදූතයෝ මැදිහත් වූහ. මුහුදු කුණාටුවකට මැදී වී සිටි පාවුල් සහ ඔහුගේ සහචරයන් මුදවා ගැනීමටද, සුබසුන් පණිවිඩය පිළිගැනීමට කොර්නේලියස්ගේ මනස විවෘත කිරීමට ද, අන්‍යජාතික වූ ඔහු වෙත ගැළවීමේ පණිවිඩය සමග පේතෘස්ව යැවීමටද ශුද්ධවූ දුතයෝ මෙසේ මෛත්‍රී - කරුණා සේවයේ යෙදී ඇත්තාහ.GrHSin 594.1

    ක්‍රිස්තුස්වහන්සේගේ සෑම අනුගාමිකයෙකු සඳහාම ආරක්ෂක දූතයෙක් පත්කර සිටී. මෙම ස්වර්ගීය ආරක්ෂක දූතයෝ දැහැමි බැතිමතුන්ව නපුරාගේ බලයෙන් රැකවරණය කරති. සාතන් පවා මේ බව පිළිගෙන මෙසේ පැවසුවේය: “යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද? ඔබවහන්සේ ඔහු වටකරත්, ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත්, හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද?” (යෝබ් 1:9, 10). දෙවියන්වහන්සේ විසින් තමන් ජනතාව ආරක්ෂා කරන ක්‍රමවේදය පිළිබඳව ගීත රචකයා මෙසේ පවසයි, “ස්වාමිගේ දුතයා උන්වහන්සේ භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔවුන් මුදා හරියි.” (ගීතාවලිය 34:7 ). තමන්වහන්සේ කෙරෙහි විශ්වාසය රඳවන්නවුන් ගැන කථා කරමින් ගැළවුම්කාරයාත් මෙසේ පැවසූ සේක, මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දුනයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.” (මතෙව් 18:10) දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට පත්කොට ඇති දේව දූතයන්ට පියාණන්වහන්සේගේ අභිමුඛය වෙත යෑමට සෑම විටෙකම වරම් ඇත.GrHSin 595.1

    දෙවියන්වහන්සේගේ දරුවන්ට නොනිවෙන වේෂයකින් යුතුව ක්‍රියා කරමින් සිටින්නා වූ අන්ධකාරයේ කුමාරයාගේ මුළා කිරීමේ බලය ඉදිරියෙහි නොසැලී සිටින්නට පුළුවන් වන පිණිසද නපුරෙහි බලවේගයන් සමග සටන් කිරීමේදී පසු නොබසින පිණිසද දූතයන්ගේ නිරන්තර සහාය ලැබෙන බවට අපට සහතිකයක් ලබාදී ඇත. එවන් සහතිකයක් ලබාදී ඇත්තේ එවැන්නක අවශ්‍යතාවක් ඇති නිසාය. දෙවියන්වහන්සේ විසින් තම දරුවන්ට කරුණා- අනුග්‍රහයේ සහ ආරක්ෂණයේ පොරොන්දු ලබාදී ඇත්තේ බලසම්පන්න සතුරු බලවේගයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බව දන්නා නිසාය. මහත් සංඛ්‍යාවක් වන මෙම නපුරේ බලවේගයන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව වෙහෙස නොබලා ක්‍රියාත්මකව සිටිති. ඔවුන්ගේ මහත් ක්‍රෝධය, දුෂ්ටකම් සහ බලය පිළිබඳව අවතක්සේරුවක් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත.GrHSin 595.2

    වර්තමානයෙහි දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් ලෙස සේවය කරන ශුද්ධ දේව දුතයන් හා සමාන බලයක්, ස්වභාවයක් සහ තේජසක්, පවින් තොරව මවනු ලැබූ නපුරේ ආත්මයන්ද සතුව තිබිණි. නමුත් පාපය කරණකොටගෙන තමා සිටියා වූ තත්ත්වයෙන් වැටී ගියාවූ මෙම දූතයෝ දෙවියන්වහන්සේට අගෞරවය ගෙන දීමටත්, මිනිස් වර්ගයා විනාශ කර දැමීමටත්, සන්ධානගත වී සිටිති. කැරැල්ලෙහිදී සාතන් සමග එක්වූ ඔවුහු සගයෙන් නෙරපා හරිනු ලැබූහ. ඔවුහු ගතවූ යුගයන් පුරා දිව්‍ය බලඅධිකාරියට විරුද්ධව සටන් වැදීමට සාතන් හා එක්ව ක්‍රියා කරති. ශුද්ධ ලියවිලි ප්‍රකාශ කරන අන්දමට ඔවුන් සතුව රාජ්‍ය සන්ධානයක් සහ පරිපාලන ව්‍යුහයද ඇත. විවිධ තරාතිරමේ දේව දූතයෝ එම රාජ්‍යය තුළ සේවය කරති. ඔවුන්ගේ බුද්ධිය ගැනත් ඉතා සියුම් දක්ෂ කපටි භාවය ගැනත් අපව දැනුවත් කර තිබේ. ඒ අතරම මිනිසාගේ ප්‍රීතිය සහ සමාදානය බිඳ දැමීමට ඔවුන් ක්‍රියාත්මක කරන්නාවූ ද්වේෂ සහගත සැලසුම් ගැනද ශුද්ධ ලියවිලි එළිදරව් කර ඇත.GrHSin 595.3

    නපුරේ ආත්මයන්ගේ පැවැත්ම සහ ක්‍රියාකාරකම පිළිබඳව පරණ තෙස්තමේන්තු ඉතිහාසය සඳහන් කරන්නේ ස්වල්ප වශයෙන්ය. නමුත් ක්‍රිස්තුස්වහන්සේ මේ ලොව දිවි ගෙවූ සමයේදී දුෂ්ට ආත්මයෝ තමන්ගේ බලය විශේෂ අන්දමින් ප්‍රදර්ශනය කළේය. මිනිසාට ගැළවීම සාදා දීමට වූ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණිසේක. එවිට, ලෝකය පාලනය කිරීමට තමාට ඇති අයිතිය තිරසාරව පෙන්වා දීමට සාතන් තීරණය කරගෙන සිටියේය. පලස්තීනයෙහි හැරෙන්නට ලෝකයේ අනෙකුත් සෑම ස්ථානයකම රූප වන්දනාව ස්ථාපිත කිරීමේදී ඔහු සාර්ථකත්වය අත්පත් කරගෙන තිබුණේය. සාතන්ගේ පාලනයට සම්පූර්ණයෙන් වසඟ නොවූ ඒ එකම දේශයට සගයේ ආලෝකය උදාකිරීමට ක්‍රිස්තුස්වහන්සේ පැමිණි සේක. මෙහිදී විරුද්ධවාදී බලවේගයන් දෙක ආධිපත්‍යයට හිමිකම් කියා සිටියේය. තමන්ගේ ප්‍රේමයේ හස්තය විදහා පාමින් තමා තුළ පව් කමාව සහ සාමය ලබාගන්නයි යේසුස්වහන්සේ සැමට ඇරයුම් කරමින් සිටිසේක. තමන්ට සීමාරහිත බලයක් අත්ව නොතිබූ බව අන්ධකාරයේ සේනාව දැන සිටියේය. ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවරය සාර්ථක වුවහොත් තමන්ගේ බලය ඉක්මනින්ම නිමාවට පත්වන බව ඔවුහු දැන සිටියෝය. යදමින් බැඳ දමනු ලැබූ සිංහයෙකු මෙන් සාතන් වියරුවෙන් මෙන් හැසිරෙන්නට විය. මිනිසුන්ගේ ශරීර සහ ආත්ම කෙරෙහි තමාගේ බලය ප්‍රදර්ශනය කිරීමට සාතන් ක්‍රියාත්මක විය.GrHSin 596.1

    මිනිසුන් තුළ යක්ෂ ආත්ම අරක් ගෙන සිටි බව අළුත් තෙස්තමේන්තුවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. යක්ෂ ආත්ම වැසුණු මිනිසුන් දුක් විඳිමින් සිටියේ ස්වභාවික ලෙඩ රෝගවලින් පමණක් නොවේය. එම රෝගීන්ගේ යථා තත්ත්වය ගැන මනා අවබෝධයක් ක්‍රිස්තුස්වහන්සේ සතුව තිබුණේය. දුෂ්ට ආත්ම බලවේගයන්ගේ සෘජු ක්‍රියාකාරිත්වයක් එම රෝගීන් තුළ තිබූ බව උන්වහන්සේට රහසක් නොවීය.GrHSin 596.2

    ගෙරසේනයේදී යක්ෂ හමුදාවන් පළවා හැරීම පිළිබඳව වාර්තාවක් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. යක්ෂාවේශ වූ මිනිසෙකු සුවපත් කිරීම ගැන එහි විස්තර සැපයේ. ඒ ‍යක්ෂාත්ම සංඛ්‍යාව ගැනත්, ඔවුන්ගේ බලය ගැනත්, ඔවුන්ගේ දුෂ්ට ද්වේෂය ගැන හා ක්‍රිස්තුස්වහන්සේගේ මෛත්‍රී - කරුණාව ගැනත් එහි සවිස්තරාස්මකව ඉදිරිපත් කර ඇත. උමතුව සිටි මෙම කාලකණ්ණි මිනිසා තමන් බැඳ දැමීමට උපයෝගි කරගත් යදම් කඩාගනිමින්, වේදනාවෙන් ඇඹරෙමින්, කටින් සෙම දමමින්, උමතුවෙන් කෑ ගසමින් ගුවන දෙදරවමින් මොර ගසමින් ගල් පතුරුවලින් තමාව කපා ගනිමින් තමන් අසලට පැමිණි අයටද අනතුරු කිරීමට සූදානමින් සිටියේය. ලේ වැගිරෙන්නාවූ විරූපී කරගනු ලැබූ ඔහුගේ සොබාව මෙන්ම උමතු කරනු ලැබූ මනසද සාතන්ට පියකරු දසුනක් වූවාට නම් සැකයක් නැත. තමන් වැහී සිටි පුද්ගලයා තුළින් එක් යක්ෂයෙක් මෙසේ කථා කළේය: “මගේ නම ලෙගියොන්ය. මක්නිසාද අපි බොහෝ දෙනෙක් වෙමු”යි ඔහු කීය. (මාක් 5:9). රෝම හමුදාවේ ලෙගියොන් නැමැති අනුඛණ්ඩයට තුන් දහසේ සිට පන්දහස දක්වා භට කණ්ඩායමක් අනුයුක්ත විය. සාතන් හට පිරිස්ද, කණ්ඩායම් වශයෙන් සැදී පැහැදී ඇත. එයින් එක් කණ්ඩායමකට අයත් වූ යක්ෂාත්ම පිරිස ලෙගියොනයකට අඩු නොවීය.GrHSin 597.1

    යේසුස්වහන්සේ අණ කළ විගසම යක්ෂ ආත්ම ඔවුන් වැහී සිටි මිනිස් සිරුරින් ඉවත්ව ගියෝය. සුවය ලැබූ රෝගියාව ගැළවුම්කාරයාණන්ගේ පාමුල හිඳගෙන, සන්සුන්ව, බුද්ධිමත්ව, සාමකාමිව සිටියේය. මේ යක්ෂයන්ගේ ඉල්ලීම පරිදි, අසල ආහාර බුදිමින් සිටි ඌරු රැළකට වැහෙන්නට යේසුස්වහන්සේ ඔවුන්ට අවසර දුන්සේක. ඌරු රැළට ආවේශ වූ යක්ෂාත්මයෝ ඌරු රැළ කඳු බෑවුමෙන් පහළට එක පිම්මට දිවගොස් විලට වැටී ගිලී මැරීයාමට සැලසූහ. ගෙරසේන වැසියන්ට ඌරන් නැති වීමෙන් වූ පාඩුව ක්‍රිස්තුස්වහන්සේ ලබාදුන් ආශිර්වාද වලට වඩා වටිනාකමින් අධික විය. තමන්ගේ ගමින් ඉවත්ව යන ලෙස ගම්වාසීහු දිව්‍ය වෙද තුමාණන්වූ උන්වහන්සේට කන්නලව් කළහ. සාතන් අත්පත් කරගන්නට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙය විය. සිදුවූ පාඩුව යේසුස්වහන්සේ මත පටවා. උන්වහන්සේට විරුද්ධව මතයක් ගොඩනගා උන්වහන්සේ තම ග්‍රාමයෙන් පිටතට යෑමට ඉල්ලා සිටීමට සාතන් ජනතාව පෙළ ගැස්වූයේ දේව වචනයට ඇහුම්කන් දීමෙන් ඔවුන්ව වළක්වාලන පිණිසය. සිදුවන්නා වූ පාඩු, අභාග්‍යසම්පන්න ඉරණම්, සහ දුක් වේදනා විදීම් සිදුවීමේ මූලික හේතුව කිතුණුවන් යයි සාතන් නිරතුරුවම චෝදනා එල්ල කරයි. එහෙත් එම චෝදනාවක් එල්ල විය යුතු නියම පුද්ගලයන් නම් සාතන් සහ ඔහුගේ සහචරයන්ය.GrHSin 597.2

    අහිතකර පසුතලයක් නිර්මාණය වුවද, ක්‍රිස්තුස්වහන්සේගේ අරමුණ පසුබෑමකට ලක් කිරීමට එය සමත් නොවීය. අපිරිසිදු සතුන් වන ඌරන් ඇතිකිරීම, යුදෙව්වන්ට තහනම් විය. එහෙත් ඌරු ගොවිපළවල් පවත්වා ගෙන යාම ආදායම් ලබාදෙන්නාවු මාර්ගයක් විය. යක්ෂාත්මයන්ට ඌරන් වැහී ඒ සතුන්ව විනාශ වන්නට ඉඩ දීමෙන් යේසුස්වහන්සේ යුදෙව්වන්ට තරවටුවක්ද එල්ල කළසේක. ක්‍රිස්තුස්වහන්සේගේ සීමා පැනවීම් නොවුයේ නම්, මෙම යක්ෂාත්ම විසින් සුකරයන් පමණක් නොව ඌරු රැකවළුන් මෙන්ම ඌරන්ගේ අයිතිකරුවන්ද මුහුදට ඇද දමා විනාශ කර දමනවා නියතය. ඌරු රැකවලුන්ගේ සහ උන්ගේ අයිතිකරුවන්ගේ ජීවිත රැකුණේ ක්‍රිස්තුස්වහන්සේගේ බලය කරණකොටගෙන පමණකි. ඔවුන්ගේ ගැළවීම උදෙසා උන්වහන්සේ තම මෛත්‍රී - කරුණාව පෙරදැරි කරගෙන සිය බලය පාවිච්චි කළසේක. මෙම සංසිද්ධිය ඇතිවීමට උන්වහන්සේ ඉඩ හැරියේ සාතන් විසින් මිනිසුන් කෙරෙහි පමණක් නොව සතුන් කෙරෙහිද තම කුරිරු බලය යොදා ගන්නා අන්දම පිළිබඳව තම ගෝලයන්ට දැනුමක් ලබාදෙන පිණිසය. තමන් අනුගාමිකයන්ට මුහුණ දෙන්නට සිදුවන්නාවූ විරුද්ධකාර සතුරා පිළිබඳවත්, ඔහුගේ උපක්‍රමයට හසු නොවන පිණිසත් ඔහුගේ මළපත්වලින් ජයගැනීම පිළිබඳවත් එම ජනතාව දැනුවත් කිරීමට ගැළවුම්කාරයාණන් මෙම සිද්ධිය උපකාර කරගත් සේක. මෙම ප්‍රදේශයේ ජනතාවට තමන්වහන්සේගේ බලය දැකබලා ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් එමගින් ඔවුන්ව සාතන්ගේ වහල්කමින් මුදවා ඔහුගේ ග්‍රහණයෙන් ඔවුන්ට නිදහස ලබාදීමටත් එම බලයට හැකියාව ඇති බව ජනතාවට ප්‍රදර්ශනය කිරීම යේසුස්වහන්සේගේ අභිමතාර්ථය විය. උන්වහන්සේ එම පෙදෙසින් ඉවත්ව ගියද, පුදුමාකාර ලෙසින් සාතන්ගේ ග්‍රහණයෙන් මිදීම ලැබූ මනුෂ්‍යයෝ ඒ පෙදෙසෙහිම රැඳෙමින් තමන්ට උපකාර කළ මහත් පරිත්‍යාගශීලී තැනැන්වහන්සේගේ මෛත්‍රී - කරුණාව පතුරුවා හරින්නට දායක වූහ.GrHSin 598.1

    මෙම සංසිද්ධිය හා සමාන තවත් සිද්ධීන් ශුද්ධ ලියවිල්ලෙහි වාර්තා වී තිබේ. අශුද්ධාත්මයක් ආවේශ වූ දියණියක් සිටි මවක් උන්වහන්සේගේ උපකාර ඉල්ලුවාය. තමන් වචනයෙන් උන්වහන්සේ එම දැරියව සුවපත් කළසේක. (මාර්ක් 7:26-30). තවත් වරෙක උන්වහන්සේ යක්ෂාවේශ වූ අන්ධ ගොළුවෙකු සුව කළසේක. (මතෙව් 12:22). ගොළු බිහිරි ආත්මයක් ආවේශ වූ තරුණයෙක්ද උන්වහන්සේගෙන් සුවය ලැබීය. එම තරුණයාට වැටී තිබු ආත්මය තරුණයාව විනාශ කරන පිණිස ඔහුව ගින්නෙහිද, වතුරෙහිද හෙලීය. යේසුස්වහන්සේ ඔහුව සුව කළසේක. (මාක් 3:17-27). සබත් දවසෙහිදී “අශුද්ධ යක්ෂ ආත්මයක්” ආවේශ වූ මනුෂ්‍යයෙක්” කපර්ණවුමේ සිනගෝගයෙහි සිටියේය. දයාවන්ත වූ උන්වහන්සේ එහිදී ඔහු සුවපත් කළසේක. (ලූක් 4:32-36). කරුණාවේ ආත්මයෙන් පිරී සිටි උන්වහන්සේ මේ සියලු සුවවීම් කළ සේක. මේ සෑම අවස්ථාවකදීම ක්‍රිස්තුස්වහන්සේ අශුද්ධ ආත්මයන්ට ඇමතුවේ බුද්ධිමත් ප්‍රාණ වස්තූන් ලෙසය. උන්වහන්සේ අශුද්ධ ආත්මයන්ට අණ දුන්නේ තවදුරටත් ඒ තැනැත්තාට හිරිහැර නොකොට ඔහුගෙන් පිටතට එන ලෙසය. කපර්ණවුමේ සිනගෝගයෙහි නමස්කාරයේ යෙදී සිටි බැතිමත්හු උන්වහන්සේගේ බලය පිළිබඳව විස්මයට පත්ව “මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙන සේක. ඔවුහු පිට වෙතියි ඔවුනොවුන් අතරෙහි කථා කරගත්තෝය.” (ලුක් 4:36).GrHSin 598.2

    යක්ෂයෙකු ආවේශ වූ පුද්ගලයෙක් මහත් වේදනාවෙන් දුක් විඳිමින් සිටින්නේය යන මතයක් එකල පැවැතුණේය. එහෙත් සෑම අවස්ථාවකදීම එය එසේ නොවීය. ලෝකෝත්තර බල මහිමයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සමහරෙක් සාතනික බලපෑමේ සහ මැදිහත් වීම පිළිගත්හ. ඔවුන් සහ යක්ෂයන් අතරෙහි කිසිම ආකාරයක ගැටුම් ඇති නොවීය. මෙම පාර්ශ්වයේ අය පේන කීමෙහි ආත්මය මගින් ක්‍රියා කළහ. මායාකාර සීමොන් ද මන්ත්‍ර ගුරුකම් කරනෙක් වූ එළිමස්ද, පිලිප්පියේදී පාවුල් සහ සීලස් පසුපස ගිය තරුණියද මෙම කණ්ඩායමට අයත් වෙති.GrHSin 599.1

    ශුභාරංචියෙහි සඳහන් සාක්ෂි සෘජු ලෙසින් සහ සරල බසින් කියාපාන්නේ යක්ෂයා (සාතන්) සමග අනුගාමික ආත්මයන්ද සිටින බවයි. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය නැතැයි සමහර අය පවසති. වෙනත් කිසිම අයෙකුට වඩා මෙම පිරිස සාතන්ගේ බලපෑම්වලට ඉතා පහසුවෙන් ගොදුරු වෙති. ඔවුන් සිටින්නේ අනතුරුදායක පසුබිමකය. යක්ෂයින්ගේ ප්‍රයෝගකාර කපටි ක්‍රියාකිරීම් පිළිබඳව අප අනවබෝධයෙන් සිටින තාක් කල් සිතාගත නොහැකි මවිත කරවන වාසියක් ඔවුන්ට හිමි වන්නේය. තමන්ගේ ප්‍රඥාව තමා හසුරුවන බව විශ්වාස කරමින් බොහෝ අය අනුගමනය කරන් යක්ෂයා විසින් යෝජනා කරන්නාවූ සැලසුම්ය. අප ලෝකාන්තිම දවස කරා ළඟාවත්ම සාතන් තමාගේ උපරිම බලය යොදා ගනිමින් මිනිසුන්ව මුළා කිරීමටත්, විනාශ කිරීමටත් මහත් පරිශ්‍රමයක යෙදෙන්නේය. යක්ෂයා කියා කෙනෙක් නැත යන විශ්වාසය සෑම තැනකම පතුරුවා හැරීමට ඔහු ක්‍රියාත්මක වේ. තමාව සහ තමාගේ ක්‍රියාවේදයන් සඟවා ගෙන කටයුතු කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය විය.GrHSin 599.2

    යක්ෂයාගේ ක්‍රමවේදයන් සහ ක්‍රියාදාමයන් පිළිබඳව අප යථා අවබෝධයක් ඇතුව සිටිනවා දැකීමට වඩා සාතන් බිය වන්නාවූ තවත් දෙයක් නැත. ඔහු තමාගේ චරිත සොබාව සහ ක්‍රියාකාරකම්ද, අරමුණු ද සඟවා තබාගෙන ක්‍රියා කරන්නේය. යක්ෂයා ගැන සඳහන් කරන විට ඇතිවන්නාවූ හැඟීම් සහ චින්තනය වන්නේ ඔහුව ගැරහිල්ලට සහ පරිහාසයටද, අපහාසයට සහ අවඥාවටද පත්කළ යුතු අයෙකු ලෙසටය. මිනිසුන් තුළ ඔහු පිළිබඳව දැඩි චිත්තාවේගයක් ඇති වෙනවාට ඔහු තුළ කැමැත්තක් නැත්තේය. ඉතා අප්‍රසන්න පිළිකුල් උපදවන කෙනෙකු ලෙස චිත්‍ර මගින් ඔහුව පෙන්වා දෙනවාට ඔහු කැමැතිය. අඩ මිනිස් ස්වරූපයක් සහිත අඩ සත්ව රූපයක් ලෙසද ඔහුව. චිත්‍රයට නැගෙනවාට ඔහු මහත් සතුටක් පළ කරයි. බුද්ධිමත්වූ ද හොඳ දැනුමක් ඇත්තේ යයි පවසන්නාවූද අය විසින් ක්‍රීඩාවලදී ද නිෂ්ඵල ක්‍රියා කලාපයන්හිදී ද ඔහුගේ නම භාවිතා කරනු ලබනවාට සාතන් ඉතා කැමැති වන්නේය.GrHSin 600.1

    සාතන් වෙස් මුහුණක් පැළඳ ගෙන දක්ෂ ලෙස තමාව සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටින නිසා මෙවැන්නෙකු ඇත්තටම සිටිනවාද යන ප්‍රශ්නය නිතැතින්ම පැන නගින්නේය. සාතන් පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි වූ විස්තරාත්මක හෙළිදරව් කිරීම්වලට පටහැනි බොරු මතයන් ආගමික ලෝකය තුළ පතුරුවා හැරීමට සමත්ව තිබීම ඔහුගේ රැවටිලිකාර වෑයමෙහි සාර්ථකත්වයකි. යක්ෂයාගේ බලපෑම් පිළිබඳව නොදැනුවත්ව සිටින්නා වූ අයගේ මනස පාලනය කිරීමට ඔහු සමත් වන්නේය. ඔහුගේ මෙම දුෂ්ට ක්‍රියාකාරකම් පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි උදාහරණ ගණනාවක්ම අපට ඉදිරිපත් කර ඇත. ඔහුගේ රහසිගත බලවේගයන් ගැන එහි අපව දැනුවත් කර ඇත. සතුරාගේ පහරදීම්වලට එරෙහිව ආරක්ෂාකාරීව සිටීමට අවශ්‍ය අවවාද ශුද්ධ බයිබලයේ සඳහන් කර ඇත්තේ බොරු ප්‍රචාරයන් මගින් අප මුළා නොවන පිණිසය.GrHSin 600.2

    අපගේ ගැළවුම්කාරයාණන්ගේ සුපිරි බලමහිමය තුළ රැකවරණය සහ මිදීම නොමැත්තේ නම් සාතන් සහ ඔහුගේ සහචරයන්ගේ බලය සහ ද්වේෂය ඉදිරියෙහි අප ඇත්ත වශයෙන්ම භීතියට සහ මවිතයට පත්වනවාට සැකයක් නැත. සොර සතුරන්ගෙන් අපේ ගෙදර දොර බඩු මුට්ටු සහ ජීවිත ආරක්ෂා කරගැනීමට අපි දොරගුළු ලා ගෙවල් ආරක්ෂා කරගන්නෙමු. එහෙත් අප වෙත ළඟා වී අපගේ විනාශය සැලසුම් කරන්නාවූ දුෂ්ට දූතයන්ගෙන් අපගේ ආත්ම ආරක්ෂා කරගැනීමට අපි වැඩිපුර සැලකිල්ලක් නොදක්වන්නෙමු. ඔහුගේ ආක්‍රමණශීලී පහර දීම්වලට විරුද්ධව නැගී සිටීමේ හැකියාවක් ස්වභාවයෙන්ම අප සතුව නැත. දිව්‍ය බලවේගයේ මැදිහත් වීමක් නොවන්නට එම ආක්‍රමණ මගින් අපගේ මනස් වෙනතකට යොමු කරනු ලබනවා ඇත. එසේ වන්නට අපගේ කැමැත්ත සහ අවසර දීම අවශ්‍ය වන්නේය. සතුරාට ඉඩ දුනහොත් ඔහු අපගේ ශරීරයන්ට වද දෙවන්නේය, ශරීර පද්ධති ව්‍යාකූල කරන්නේය; අපගේ සම්පත් සහ ජීවිත පවා විනාශ කර දැමීමටද වෑයම් කරන්නේය. සාතන් සහ ඔහුගේ සහචරයන්ගේ මූලික අභිප්‍රාය වන්නේ මිනිසාට කාලකණ්ණිකම සහ දුක්ඛිතකම උදාකර දෙමින් ඔවුන් විනාශ කර දැමීමය. දිව්‍ය අයිතිවාසිකම් වලට විරුද්ධව සිටිමින් සාතන්ගේ පරික්ෂාවන්ට ගොදුරු වන්නන්ගේ තත්ත්වය ශෝචනීය විය, බියකරු වන්නේය. එයාකාරයෙන් ක්‍රියා කරන්නා වූ අයව දෙවියන්වහන්සේ නපුරු ආත්මයන්ගේ පාලනය යටතට අත්හරින සේක. එහෙත් ක්‍රිස්තු සමිඳාණන් අනුගමනය කරන්නාවූ අය උන්වහන්සේගේ රැකවරණය යටතේ ආරක්ෂිතව සිටිනවා ඇත. ශක්තියෙන් වඩාත් බලසම්පන්න වූ දේව දූතයන් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස සගයෙන් එවනු ලබනවා ඇත. තමන්වහන්සේගේ සෙනඟ වටා දෙවියන්වහන්සේ යොදා ඇති ආරක්ෂා වළල්ල බිඳගෙන යාමට සතුරාට කිසිම හැකියාවක් නැත.GrHSin 600.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents