Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    29 - නපුරෙහි උපත

    නපුරෙහි ආරම්භය මෙන්ම එහි පැවැත්ම පිළිබඳවත් බොහෝ අයට ඇත්තේ වියවුල් සහිත සංකල්පයකි.නපුරෙහි ක්‍රියාකාරිත්වයත් එහි විපාක ලෙස පැතිර යන්නාවු බලවත් ශෝකය හා කම්පනයත් ඔව්හු දකිති.ප්‍රේමයෙහි ,බල අධිකාරිත්වයෙහි සහ ප්‍රඥවෙහි අසීමිත වු බලතල හිමි තැනැන්වහන්සේගේ පරමාධිපත්‍යය යටතේ මෙවන් දෑ පැවතිය හැක්කේ කෙසේ ද යන්න බොහෝ අයට ගැටළුවකි.මෙහි පවතින්නේ අභිරහසකි.එයට විස්තර සැපයීමට ඔවුන්ට නුපුළුවන.අවිනිශ්චිතතාවෙන් සහ අනුමානයෙන් පිරි සිටින ඔව්හු දෙවියන්වහන්සේගේ වචනයෙහි සරලව එළිදරව් කර ඇත්තාවුද,ගැළවීම සඳහාවූ අවශ්‍ය වන්නාවුද සත්‍යතාවන්ට අන්ධව සිටිති.පාපයෙහි පැවැත්ම ගැන විමර්ශනයෙහි යෙදෙන්නාවූ සමහර අය දෙවියන්වහන්සේ විසින් එළිදරව් කර නොමැති දේ පවා සොයා යාමට වෙර දරති.ඔවුන්ට එහිදි මුහුණ පාන්නට සිදුවන්නාවු ගැටළුවලට විසඳුමක් සොයාගැනීමට නුපුළුවන.මෙම අසාර්ථක වෑයමින් හටගන්නාවු කළකිරිම කරණකොටගෙන ඇතිවන හැඟිම් නිසා ඔව්හු ශුද්ධ ලියවිලි ප්‍රතික්ෂේප කිරිමට යොමු වෙති.ඒ අතර තවත් අය නපුරෙහි පැවැත්ම පිළිබද විශාල ගැටළුවට සතුටුදායක පිළිතුරක් ලබාගත නොහැකිව ලත වෙති.දෙවියන්වහන්සේගේ චරිත ගුනාංග,උන්වහන්සේගේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ස්වභාවය,සහ උන්වහන්සේ පාපය ගැන ක්‍රියා කරන්නාවු ප්‍රතිපත්තිමය ආකාරය පිළිබඳව වු සම්ප්‍රදායික මති මතාන්තර මගින් විකෘති වන ඉගැන්විම් නිසා ඔවුන්ට මේ ගැන සැබෑ අවබෝධයක් ලබා ගැනිම අපහසු වී ඇත.GrHSin 568.1

    පාපයෙහි උපත විස්තර කරදීමට අපහසු නිසාම එහි පැවැත්ම ගැන හේතු දැක්විමද පහසු කාර්යයක් නොවන්නේය.එසේ වුවද,පාපයේ උපත සහ අවසානයේදි එය විනාශ කරනු ලැබිම ගැන යම් ප්‍රමාණ දැනුමක් ශුද්ධවු ලියවිල්ල තුළින් ලබාගැනිමේ හැකියාවක් ඇත. නපුර ගැන දෙවියන්වහන්සේ ක්‍රියාකරන අන්දම දේව වචනයෙහි දක්වා තිබේ. ශුද්ධ ලියවිල්ලෙහි අවධාරණය කෙරෙන මුලික ඒත්තු ගැන්විමක් වන්නේ පාපය මෙලොවට ඇතුළු විම ගැන දෙවියන්වහන්සේ කිසිසේත්ම වග කිය යුතු නැති බවය. පාපය ලෝකයට පැමිණි නමුත් උන්වහන්සේ ඒ නිසා වුවද මිනිසා කෙරෙහි දැක්වු දිව්‍යකරුණා අනුග්‍රහය අත්තනෝමතික ලෙස ඉවත් කර නොගත් සේක. කැරැල්ල ඇතිවුයේ දිව්‍ය රාජ්‍ය පාලන යන්ත්‍රයෙහි අඩුපාඩුවක් නිසා නොවන බව පැහැදිලිව පෙනී යන්නේය.පාපය වනාහි බලහත්කාරයෙන් මෙලොවට ඇතුළු වූවකි.මේ ලෝකයෙහි පාපයේ පැවැත්ම ගැන හේතු සාධක ඉදිරිපත් කළ නොහැකිය.එය අභිරහස් ගත ක්‍රියාකාරිත්වයකි, එහි පැවැත්මට හේතු දැක්විය නොහැක. පාපයේ උපත සහ පැවැත්ම පිළිබඳව නිදහසට හේතු කාරණා ඉදිරිපත් කළ හැකි වේ නම්, එය තවදුරටත් පාපයක් නොවනවා ඇත.එහි නිදහසට සාධක ඉදිරිපත් කිරීම වනාහි පාපය ආරක්ෂා කරගැනීමක් වන්නේය.පාපය කුමක්දැයි කියා දෙවියන්වහන්සේ වචනයෙහි සඳහන් වන විස්තරය පමණක් අපට තිබේ.ඒ මෙසේය: ˝පාපය නම් නොපනත්කමය, ˝එනම් දේව නීතිය කැඩීමය.දිව්‍ය පරිපාලන කේන්ද්‍රයේ පදනම ප්‍රේමයයි.එම පාලනයේ ව්‍යවස්ථාව වන්නේ ප්‍රේමයේ ප්‍රතිපත්ති මාලාවය.එයට විරුද්ධව වෙනත් ප්‍රතිපත්ති මාලාවක් යුධ වැදී ඇත.එහි ක්‍රියාකාරිත්වය පාපය ලෙස හැදින්වේ.GrHSin 568.2

    නපුර විශ්වයට ඇතුළු වීමට පෙර විශ්වය පුරාම සාමය සහ ප්‍රීතිය පැතිර තිබිණ.සෑම දෙයක්ම මැවුම්කාරයාණන්ගේ කැමැත්ත අනුව පැවැතුණේය.සියල්ලක්ම දේව කැමැත්තට අනුකූලව සිදුවිය.දෙවියන්වහන්සේ කෙරෙහිවූ ප්‍රේමය උත්තරීතර වූ අතර ඔවුනොවුන් කෙරෙහි වූ ප්‍රේමය අපක්ෂපාතී විය.වාක්‍යාණන් වූ ක්‍රිස්තුස්වහන්සේද පියවූ දෙවියන්වහන්සේ සමග එකම ස්වභාවකින්ද, එක හා සමාන චරිතයෙන්ද, එකම අරමුණකින්ද සිටිනසේක.විශ්වයේ සිටි අය අතුරෙන් දෙවියන්වහන්සේගේ අරමුණුවලට හා මන්ත්‍රණයට සහභාගී වීමට සුදුසුකම් තිබූ එකම තැනැන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ පමණක්ම විය.දෙවි පියාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් සියලු ස්වර්ගීය සේනාවන් මැවූසේක.සෑම සියළු දෙයක්ම මවන ලද්දේ ක්‍රිස්තුස්වහන්සේ තුළිනි.˝මක්නිසාද සිංහාසනවේවා, ස්වාමිකම් වේවා , අධිපතිකම් වේවා,බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොලොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය˝(කොලොස්සි 1:16). සකල ස්වර්ගයම දෙවි පියාණන්වහන්සේටද ක්‍රිස්තුස්වහන්සේටද පක්ෂපාතීත්වය පුද කළේය.GrHSin 569.1

    ප්‍රේමයේ ව්‍යවස්ථාව දෙවායන්වහන්සේ රාජ්‍යයෙහි පදනම වන්නේය.එම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත ධර්මිෂ්ඨ විශිෂ්ඨ ප්‍රතිපත්ති හා බැඳී පරිපූර්ණ ඒකමතිය මත්තෙහි, මවනු ලැබූ සෑම පුද්ගල යෙකුගෙන්ම ප්‍රේමයේ සේවාවක් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වනසේක.එය උන්වහන්සේගේ චරිතය ගැන වූ බුද්ධිමත් පැහදීමකින් යුතුව හද පත්ලෙන් පැන නගින්නක් විය යුතුය.බලහත්කාරයෙන් ලබාගන්නාවූ පක්ෂපාතිකමක් කෙරෙහි උන්වහන්සේගේ ප්‍රසන්නතාවක් නොමැත්තේය. උන්වහන්සේ සැමටමත් තෝරා ගැනීමේ නිදහස දානය කරන සේක.උන්වහන්සේ, ස්වේච්ඡාවෙන්ම දෙනු ලබන්නාවූ සේවය කිරීමක් බලාපොරොත්තු වනසේක.GrHSin 569.2

    නමුත් මෙම නිදහස නොනිසි ලෙස යොදා ගත් එක් තැනැත්තෙක් විය. ක්‍රිස්තුස්වහන්සේට සමීපව සිටි එම තැනැත්තා තුළින් පාපය ජනිත විය.හෙතෙම දෙවියන්වහන්සේගේ ගෞරවයට පවා පාත්‍ර වූ අයෙක් විය. සගයේ සිටි සියල්ලන් අතුරෙන් එම පුද්ගලයා ඉහළම ස්ථානයේ වැජඹිණ.අනික් සැමට වඩා ඔහු තේජසින් බැබළුණේය. මවනු ලැබූ අය අතුරෙන් ඔහුට ඉහළම ස්ථානය හිමිව තිබුණේය.ලුසිෆර් නැමැති මෙම දූතයා අභිෂේක ලත් කෙරුබයෙක් වූයේය.ඔහු පාරිශුද්ධ වූද, සම්පූර්ණ වූද,කිසිම කෙලසීමකට පාත්‍ර නොවුවාවූ ද අයෙක් විය. ස්වාමීන්වහන්සේ ඔහු ගැන මෙසේ කියන සේක: “නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය.නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය. සියලු අනර්ඝ ගල්.... නූඹේ වැස්මව තිබුණේය..... නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය.මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවූවෙමි. නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය.නුඹ මවනු ලැබූදා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය.” (එසකියෙල් 28: 12-15).GrHSin 570.1

    දෙවියන්වහන්සේගේ කරුණාව සහ සැලකිල්ල ලබමින් උන්වහන්සේගේ ප්‍රසන්නතාව දිනා ගනිමින් සදාතනය පුරා සගයෙහි රැඳී සිටීමට ලුසිෆර්ට හැකියාව තිබුණේය. දේවදූත සමූහයාගේ ආදරයට භාජන වෙමින් ඔවුන්ගේ ගෞරවය ලබමින් ජීවත්ව සිටීමේ හැකියාව ඔහුට තිබිණ. ඔහුට ලැබී තිබූ බලතල මගින් අනෙකුත් අයට ආශිර්වාදයක් වීමටද තම මැවුම්කාරයාණන්ව ගෞරවයට පත් කිරීමටද ඔහුට අවස්ථාව තිබුණේය.නමුත් ඔහු ගැන අනාගතවක්තෘ මෙසේ පවසයි:“නුඹේ රුව නිසා නුඹේ සිත උඩගු වී තිබේ. නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක් කරගත්තෙහිය.”(එසකියෙල් 28:17). ඔහු කෙමෙන් තමාම උසස් කරගැනීමට වූ ආශාව මුදුන් පමුණුවා ගැනීමට නැඹුරු විය.“නුඹේ සිත දෙවි කෙනෙකුගේ සිත මෙන්” සලකන්නට නුඹ පටන් ගත්තෙහිය. “මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා ..... රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි.මම වළාකුල් මුඳුන් පසුකොට ඉහළ නගින්නෙමි.මහෝත්තමයාණන්ට සමාන වන්නෙමි”. යනුවෙන් ඔහු පවසා තිබේ. (එසිකියෙල් 28: 6; යෙසායා 14:13,14). දෙවියන්වහන්සේ විසින් මවනු ලැබූ ප්‍රාණය ඇති සියල්ලන්ගේ හද බැඳි උත්තරීතර ප්‍රණාමය සහ පක්ෂපාතිත්වය දෙවියන්වහන්සේට ලබාදීමට ක්‍රියා කරනවා වෙනුවට ඔවුන්ගේ සේවය සහ ප්‍රණාමය තමන්ට දිනාගැනීමට ඔහු උත්සහ කළේය. සර්ව බලධාරී දෙවි පියාණන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන්වහන්සේට ලබා දුන් ගෞරවයට තමාට ලබාගැනීමට වෑයම් කළේය. එහෙත් එය භාවිතා කිරීමේ අයිතිය ක්‍රිස්තුස්වහන්සේගේ පරමාධිකාරයක් පමණක් විය.GrHSin 570.2

    මැවුම්කාරයාණන්ගේ තේජස පරාවර්තනය කිරීමත් උන්වහන්සේට ප්‍රශංසා ගීත ගායනා කිරීමත් සග වාසී සැමගේ ප්‍රීති ප්‍රමෝදය විය.දෙවියන්වහන්සේට මෙසේ ගෞරවය පුද කිරීමේදී සියල්ලන් තුළ ප්‍රීතිය සහ සාමය රජ කළේය.එහෙත් දැන් ස්වර්ගීය සුහදකාමී සාමයේ වාතාවරණය පලුදු කිරීමට වෙනස් හඬක් මතුවෙමින් තිබිණ.දෙවියන්වහන්සේට ගෞරවය සහ නමස්කාරය පුද කිරීම ස්වර්ගීය මැවිල්ලෙහි අති ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමය විය. එහෙත් ස්ව-ආත්මය මහේශාක්‍ය බවට පත්කර ගැනීමටත් අන්‍යයන්ගේ සේවය තමාට ලබාගැනීමටත් මොහු වෑයම් කිරීම මැවුම්කාරයාණන්ගේ සැලැස්මට පටහැනි විය. ස්වර්ගීය මණ්ඩලයේ සභිකයෝ ඔහුගේ ක්‍රියාපටිපාටීය අත්හැර දමන්නැයි ලුසීෆර්ට ආයාචනා කළෝය.මැවිල්ලෙහි කතුවරයාණන්ගේ බලවත්කම, යහපත්කම සහ යුක්ති සාධාරණත්වය පිළිබඳව දේව පුත්‍රයාණන්වහන්සේ ලුසීෆර්ට කරුණු ඉදිරිපත් කළසේක.උන්වහන්සේගේ වෙනස් නොවන ව්‍යවස්ථාවෙහි ශුද්ධ භාවය ගැනද පුත්‍රයාණෝ ඔහුට පැහැදිලි කළසේක. සගයේ පරිපාලන ව්‍යුහය ස්ථාපිත කළේ දෙවියන්වහන්සේමය.එම මාර්ගයෙන් ඉවත්ව යාමෙන් ලුසීෆර් තම මැවුම්කාරයාණන්ට නිගා ගෙන දෙවන්නේය,අන්තිමේදී ඔහු එමගින් තමාගේ විනාශයද මුද්‍රා කරගන්නේය. නමුත් ප්‍රේමය මුසු මෛත්‍රී කරුණාවෙන් දෙන ලද අනතුරු ඇඟවීමට ලුසීෆර් ප්‍රතිචාරය වූයේ විරුද්ධතාවයේ ආත්මික වික්‍රමය පාමින්ය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාව දළුලා වැඩීමට ලුසිෆර් ඉඩ හැරියේය. ක්‍රිස්තුස් වහන්සේට එරෙහිව සටනක් දියත් කිරීමට ඔහු අධිෂ්ඨාන කරගත්තේය.GrHSin 571.1

    තමාගේම තේජස ගැන ඔහු තුළ වූ අහංකාරය මගින් ආධිපත්‍යය උදෙසා වූ අභිලාෂය පෝෂණය කරනු ලැබීය. ලුසීෆර් තමාට දානය කරන ලද අති මහත් ගෞරවය දෙවියන්වහන්සේගෙන් ලද දීමනාවක් ලෙස පිළි නොගත්තේය. මැවුම්කාරයාණන්ට කෘතඥතාව දැක්වීමට ආශාවක් ඔහු තුළ නොවීය. තමාගේ දීප්තිමත් රුව ගැන ඔහු උඩගඟුව සිටියේය. තමාගේ ප්‍රඥාව නිසා ඔහු උදම් විය. දෙවියන් වහන්සේ හා සම වීම ඔහුගේ අභිරුචිය විය. ස්වර්ගීය දූත සමූහයාගේ ආදරයත්, ගෞරවයත් ඔහුට ලැබිණි. ඔහුගේ අණසක ක්‍රියාත්මක කිරීමට දේව දූතයෝ සැදී පැහැදී සිටියහ. අනෙකුත් දූතයන්ට වඩා ඉහළින් ඔහු ප්‍රඥාවෙන් සහ තේජස්ශ්‍රීයෙන් පළඳවනු ලැබ සිටියේය. මේ සියල්ල මධ්‍යයේ, දේව පුත්‍රයාණෝ ස්වර්ගයේ රාජාති රාජෝත්තමයාණන් ලෙස සියල්ලන් විසින් පිළිගන්නා ලදී. උන්වහන්සේට පියාණන් වහන්සේ සමග ආධිපත්‍යයටද, බලතලවලටද හිමිකම් පැවතුණි. දිව්‍ය සභා මණ්ඩල රැස්වීම් සෑම එකකටම ක්‍රිස්තුස්වහන්සේ සහභාගී වූ සේක. එසේ වුවද, එම රැස්වීම්වලට සහභාගි වීමට ලුසීෆර්ට අවසරයක් නොවීය. බලවත් දේව දූතයා මෙසේ ප්‍රශ්න කරන්නට විය. ” ඇයි ක්‍රිස්තුස්වහන්සේට පමණක් පරමාධිපත්‍යය ලබා දෙන්නේ? ලුසීෆර්ට ඉහළින් උන්වහන්සේව මෙසේ ගෞරවයට පාත්‍ර කරන්නේ ඇයි?”GrHSin 571.2

    දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් ඉවත්ව ගියාවූ ලුසීෆර් තමාගේ සෑහීමට පත්නොවීමේ ආත්මය අනෙකුත් දූතයන් අතර පතුරුවා හරින්නට පටන් ගත්තේය.දෙවියන්වහන්සේට ගෞරවය හා නමස්කාරය පුද කරන බවට බාහිරව පෙන්වමින් ඔහු ඉතා රහසිගතව අභිරහස් ලෙස දෙවියන්වහන්සේට එරෙහිව දූතයන් බිඳවීමේ කුමන්ත්‍රණය ඉදිරියටම කරගෙන ගියේය.ස්වර්ගීය වැසියන් පාලනය කළ අණ පනත් පිළිබඳව සහ වැසියන්ගේ සිත් බලවත් කලකිරීමට පත් කරමින් ඒ පාලනයට විරුද්දව නැගී සිටින්නට ලූසිෆර් ඔවුන් පෙළඹවීය. ඒ අණපනත් ඔවුන්ගේ නිදහසට බාධකයක් යයිද ඔවුන්ගේ නිදහස සීමා කිරීමක් යයිද පෙන්වීමට ඔහු උත්සුක විය. තමන්ගේ ජීවිත අති ශුද්ධවූ නිසා තම තමාගේ කැමැත්ත අනුව කටයුතු කිරීමට නිදහස තිබීම තම අයිතියකැයි ඔහු අනෙකුත් දේවදූතයන් හට පැහැදිලි කර දුන්නේ ය. ක්‍රිස්තුස් වහන්සේට උත්තරීතර ගෞරවය පවරා දෙමින් දෙවියන් වහන්සේගේ කර ඇත්තේ තමාට අහිතකර ලෙස සැලකීමක් යයි කියමින් ඔහු දේව දූතයන්ගේ අනුකම්පාව දිනා ගැනීමට මහත් වෑයමක් දැරිය. වඩා ප්‍රබල බලය සහ ගෞරවය ලබා ගැනීමට වූ තමන්ගේ ප්‍රයත්නය හුදෙක් ස්ව-ආත්ම මහේශාක්‍ය පදවි ප්‍රාප්තියක් සඳහා නොව වැඩියෙන් සෑම වැසියෙකුගේම නිදහස දිනාගැනීමේ සත් ක්‍රියාවක් බව පෙන්වා දෙන්නට ඔහු වෑයම් කළේය. මෙම වෑයම සාර්ථක වුවහොත් සමහරවිට ඔවුන්ට දැනට ඇති පැවැත්මට වඩා ඉහළ තලයක පැවැත්මක් පවා ලැබිය හැකි වේ යයි ඔහු ඔවුන්ට කියා සිටියේය.GrHSin 572.1

    තමන්වහන්සේගේ මෛත්‍රී කරුණාව නිසාම දෙවියන්වහන්සේ ලුසිෆර්ගේ වැඩසැලැස්ම ඉවසා දරාගෙන සිටිසේක. ලුසිෆර් දැරූ උසස් ස්ථානයෙන් ඔහුව වහාම ඉවත් කිරීමට දෙවියන්වහන්සේ ක්‍රියාත්මක නොවූ සේක. සෑහීමට නොවීමේ ආත්මය ක්‍රියාත්මක වූ මොහොතේ දීම හෝ පක්ෂපාතී දේව දූතයන් ඉදිරියෙහි හෙතෙම ව්‍යාජ අයිතිවාසිකම් පතුරුවන්නට ක්‍රියා කළ වහාම හෝ දෙවියන් වහන්සේ ඔහුව තමන් වහන්සේ ඉදිරියෙන් නෙරපා හරින්නට ක්‍රියා නොකළ සේක. බොහෝ කාලයක් ගතවන තුරු උන්වහන්සේ ඔහුව සගයේම රඳවා ගෙන සිටි සේක. පසුතැවීම් හා යටත් වීම යන කොන්දේසි මත ඔහුට නැවත නැවතත් කමාව පුද කරන ලදී. එවන් වෑයමක යෙදීමට හැකියාවක් ඇත්තේ අනන්ත වූ ප්‍රේමයකට සහ ප්‍රඥාවකට පමණක්ය.ලුසිෆර්ගේ වරද ඔහුට ඒත්තු ගැන්වීමට සැලැස්වීම මෙසේ ඉවසා දරා සිටීමේ ඒකායන පරමාර්ථය විය. මෙවන් සෑහීමකට පත් නොවීමේ ආත්මයක් මෙතෙක් සගයේ ක්‍රියාත්මක වී නොතිබිණ. තමා ගසාගෙන යන්නාවූ රළ පහර ගැන ලුසිෆර්ට මුලින්ම අවබෝධයක් නොවීය. තමාගේ හැඟීම්වල යථා ස්වභාවය පිළිබඳව දැනුමක් ඔහු සතු නොවීය. ඔහු සෑහීමකට පත්නොවීමට,නොසතුටට හේතුව පදනම් රහිත බව ඔප්පු කරනු ලැබීමෙන් පසුව තමා නිවැරදි නොවන බව මනා ලෙස වැටහී ගියේය. දිව්‍ය අයිතිවාසිකම් සියල්ල සාධාරණ බව ඔහුට පැහැදිලි විය. තමාට අසාධාරණයක් වී නැතැයි සග සමූහයා ඉදිරියේ පිළිගත යුතු බව ඔහුගේ සිත ඔහුට බල කරන්නට විය. මේ අනුව ඔහු ක්‍රියා කළේ නම් ඔහු තමා ද තව විශාල දේවදූතයන් පිරිසක්ද විනාශ මුඛයෙන් ගලවාගැනීමට සමත් වෙනවා සහතිකය. හෙතෙම මෙතුවක් කල් දෙවියන්වහන්සේට වූ පක්ෂපාතීත්වය සම්පූර්ණයෙන්ම ඉවත දමා නොතිබුණේය. ඔහු වනාහි මහේශාක්‍ය මහෝත්තමයාණන් සිහසුන අසල සිටිමින් පියාපත් විහිදා සිසුනට ඉහළින් එය ආවරණය කර කෙරුබ්වරුන්ගෙන් එක් අයෙකු වූයේය. එහෙත් මේ වන විට ඔහු එම තනතුර අතහැර දමා සිටියේය. නමුත් හෙතෙම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පිළිගෙන, දෙවියන් වහන්සේගේ සැලැස්මෙහි ඔහුට ලබා දෙන ස්ථානය පිරවීමට කැමැත්ත පළකොට ආපසු දෙවියන්වහන්සේ වෙතට පැමිණියේ නම් ඔහුට කලින් හිමිව තිබූ තනතුර නැවත දැරීමට හැකියාවක් ද විවෘතව තිබුණේය.එහෙත් යටත් වීමට ඔහුගේ ස්ව අභිමානි අහංකාරය ඉඩ නොදුන්නේය. තමාගේ සැලැස්ම ඉදිරියටම කරගෙන යාමට හෙතෙම දැඩි ස්ථාවරයක පිහිටා සිටියේය. පසුතැවීමට ආශාවක් නැතැයි යන්න ඔහුගේ චින්තනය විය. මැවුම්කාරයාණන්ට එරෙහිව අරගලයක යෙදී සිටීමට ඔහු සම්පූර්ණයෙන් ගිවිස ගත්තේය.GrHSin 572.2

    තමාගේ අණසක යටතේ සිටියාවූ දේව දූතයන්ගේ අනුකම්පාව දිනාගැනීමටත්, තීක්ෂණ බුද්ධිය සතු සෑම හැකියාවක්ම යොදා අනෙකුත් අය මුළා කිරීමටත් සෑම උත්සාහයක්ම ගැනීමට ලුසිෆර් අධිෂ්ඨාන කරගත්තේය.ක්‍රිස්තුස්වහන්සේ ඔහුට අවවාද කළසේක. අනුශාසනා කළසේක. මේ සියල්ල තමන්ගේ වාසියට හරවාගෙන තමාගේ දේව ද්‍රෝහි සැලැස්ම ඉදිරියටත් කරගෙන යාමට හෙතෙම ස්ථිර ස්ථාවරයක පිහිටා සිටියේය.ඔහුට ඉතා ආදරයෙන් බැඳී සිටි, ඔහුව දැඩිව විශ්වාස කළ දේවදූතයන් කොටසක් ද සිටියේය.තමාව වැරදි ආකාරයකින් විනිශ්චය කර ඇතැයිද,තමා දරන්නා වූ තනතුර පිළිබඳව කිසියම් ආකාරයක තැකීමක් හෝ කර නැතැයිද,තමාගේ නිදහසට සීමා පනවා ඇතැයි ද කියමින් හෙතෙම ඒ හිතෙෂිවන්ත දූතයන් ඉදිරියේ දෙවියන්වහන්සේට දෝෂාරෝපණය එල්ල කළේය. ක්‍රිස්තුස්වහන්සේ ඔහුට ආදරයෙන් දුන් ඔවා බස් වලට වැරදි අර්ථකථනයක් ගෙනදෙමින් බොරු කියමින් තමාව සගයේ වැසියන් ඉදිරියේ අපකීර්තියට පත්කිරීම දේව පුත්‍රයාණන්ගේ සූක්ෂ්ම සැලැස්ම යයි ඔහු වහසි බස් දොඩන්නට විය. දෙවියන් වහන්සේට පක්ෂපාත ව විසූ දේවදූතයන් සහ තමා අතරේ ව්‍යාජ මතභේදයක් ඇතැයිද ඔහු පැවසුවේය. තමාගේ පක්ෂයට සම්පූර්ණයෙන් නම්මවා ගත නොහැකි වූ දේවදූතයන් කඩාකප්පල්කාරීන් යැයි ඔහු ඔවුන්ට චෝදනා කළේය. ස්වර්ගීය ජනතාවගේ සුභසිද්ධිය තකා තමා දියත් කළ වෑයමට ඔවුන් අනුගත නොවීම හෙතෙම තරයේ හෙළා දුටුවේය. තමා නිරතව සිටි කර්තව්‍යයෙහි වගකීම ඔහු දෙවියන් වහන්සේට පක්ෂපාතී ව සිටි දූතයන් පිට පැවරුවේය. තමාට දෙවියන්වහන්සේගෙන් අසාධාරණයක් වී ඇතැයි යන චෝදනාව ශක්තිමත් කරනු පිණිස ඔහු මැවුම්කාරයාණන්ගේ ප්‍රකාශන සහ ක්‍රියාවේදයන් නොපිටට පෙරලා ඉදිරිපත් කරන්නට විය. දෙවියන්වහන්සේගේ අභිප්‍රායන් සහ අරමුණු පිළිබඳව කපටිකමින් විශේෂ වූ ,සූක්ෂම තර්ක විතර්ක භාවිතයෙන් දේවදූතයන් වියවුලට පත් කිරීම ඔහුගේ වෑයම විය. සෑම දෙයක්ම එකම කඩතුරාවකින් ආවරණය කළේය. යේහෝවඃවහන්සේගේ සරල පැහැදිලි ප්‍රකාශන කෙරෙහි විකෘති අදහස් ගෙන දෙයක් දෙවන ලෙස, ඔහුට කපටිකමින් යුතුව ඒවා විග්‍රහ කරමින් අනුමානය සහ සැකය ඇති කරවන්නට ක්‍රියා කළේය.ඔහු දැරූ ඉහළ තනතුරත් දිව්‍ය පරිපාලන ඒකකය සමඟ තිබූ සමීප සම්බන්ධතාවත් ඔහු පල කළ අදහස් වලට විශාල බලයක් ලබා දුන්නේය. ස්වර්ගීය ආධිපත්‍යයට එරෙහිව ඔහු සමඟ එකතුව කැරලි ගැසීමට බොහෝ දෙනෙක් නැඹුරු විය.GrHSin 573.1

    ලුසිෆර් තුළ තිබු කළකිරීමේ ආත්මය වර්ධනය කරගනිමින් විවෘත කැරළි ගැසීමකට යොමු වන තෙක් එයට ඉඩ හැරීමට දෙවියන්වහන්සේ තම ප්‍රඥාව තුළින් ඉවසා දරා සිටිසේක.ඔහුගේ සැලසුම් වල ඵල දැරීමට කාලය ලබා දීම සුදුසු විය.එකී සැලසුම් වල නියම ස්වභාවයත් එහි ප්‍රතිඵලයක් සැමට දැක ගැනීමට ඉඩ දිය යුතු විය. අභිෂේක ලත් කෙරුබ්වරයා ලෙසින් ඔහු දැරූ ස්ථානය ඉතා ඉහළ මට්ටමක පැවතියේය. සග සේනාව ඔහුට දැඩිව ආදරය කළේය. ඔවුන් කෙරෙහි වූ ලුසිෆර්ගේ බලපැවැත්ම ඉතා ශක්තිමත් එකක් විය. සගයේ නිවැසියන් පමණක් නොව දෙවියන්වහන්සේ විසින් මවන ලද අනෙක් ලෝකවල වැසියෝද උන් වහන්සේගේ රජයට අයිති වූහ.සගයේ දේව පුතුන් තමාගේ කැරැල්ලට එකතු කරගත හැකිවේයැයි ඔහු කල්පනා කළේ ය. ඔහු තම කාරණා ඉතා කපටි අන්දමින් ඉදිරිපත් කළේය. තමාගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා හෙතෙම කපටි කම සහ වංචාව උපරිම ලෙසින් භාවිතයට යොදා ගත්තේය. වෙනත් අය මුළා කිරීමට හෙතෙම අති දක්ෂයෙක් විය.ස්වකීය යටි අරමුණු විවෘතව ප්‍රකාශ නොකර අනිකුත් දූතයන්ගේ සුභ සිද්ධිය තකා තමන් අයිතිවාසිකම් ඉල්ලා සිටින බව දක්වමින් ඔහු තම වෑයම සාර්ථකවම ඉදිරියටම ගෙනගියේය.දෙවියන්වහන්සේට පක්ෂපාතිත්වය ප්‍රකාශ කළ දූතයන්ට පවා ඔහුගේ නියම චරිතය වටහා ගැනීමට නොහැකි විය. ඔහු කුමක් කරන්ට අදහස් කරන්නේදැයි අවබෝධ කරගැනීමට ඔවුන්ට නුපුළුවන් විය.GrHSin 574.1

    සාතන්ට සැමගේ ප්‍රණාමය ඉතා ඉහළින් හිමිව තිබූ නිසාද ඔහු තම වැඩ කොටස අභිරහස් කඩතුරාවකින් ආවරණය කරගෙන සිටී නිසා ද ඔහුගේ ක්‍රියාදාමයන්හි සත්‍ය ස්වභාවය දේව දූතයන්ට එළිදරව් කිරීම පවා අසීරු කරුණක් විය. පාපය සම්පූර්ණ වශයෙන් වර්ධනය වනතුරු එහි නියම ස්වභාවය තේරුම් ගැනීමට අපහසුය. මෙතුවක් කල් දෙවියන්වහන්සේගේ විශ්වයේ පාපයට තැනක් හිමිව නොතිබිණ. පාපයෙහි ස්වභාවය සහ එහි මාරක දුෂ්ටකම ගැනද ශුද්ධවූ දූතයන්ට කිසිම අවබෝධයක් නොවීය. දිව්‍ය ව්‍යවස්ථාව නොසලකා හැරීම නිසා සිදුවිය හැකි භයානක ප්‍රතිඵල පිළිබඳව ඔවුන්ට පැහැදීමක් නොවීය. තමා දෙවියන්වහන්සේට පක්ෂපාතී බවට බොරුවක් මවාපාමින් සාතන් මුල් කාලයේදී සාතන් තමාගේ ව්‍යාපාරය කරගෙන ගියේය. ඇත්ත වසන් කරමින් පක්ෂපාතී වෙසක් මවා ගෙන ඔහු ඉදිරියටම ගමන් කළේය. තමාගේ වැයම වන්නේ දෙවියන් වහන්සේට ගෞරවය ලබාදීම ව්‍යාප්ත කිරීම බවත්, උන්වහන්සේගේ රාජ්‍යයෙහි ස්ථාවරය ශක්තිමත් කිරීම බවත් සග වැසියන්ගේ ශුභ සිද්ධිය රැක ගැනීම බවත් ඔහු සැමට දැක්වීය. තමා යටතේ සිටි දේවදූතයන් තුළ සෑහීමට පත් නොවීමක් ඇති කිරීමට ක්‍රියා කළ නමුත් ඔහු දැක්වූයේ තමා සහ ඔවුන් අතරේ පවතින්නාවූ සෑහීමට පත්නොවීමේ ස්වභාවය දුරුකිරීම තමාගේ වැයම බවයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය තන්ත්‍රයෙහි පටිපාටිය සහ නීති රීති වෙනස් කරන්නැයි ඔහු ඉල්ලා සිටියේ සගයේ එකඟතාව රැකගැනීමේ අභිලාෂයෙන් යයි ඔහු තරයේ ප්‍රකාශ කළේය.GrHSin 575.1

    පාපය සමඟ ක්‍රියා කිරීමේදී දැහැමිතාව සහ සත්‍යතාව මත පමණක් නියැළී කටයුතු කිරීම දෙවියන්වහන්සේගේ පිළිවෙත විය. චාටු බස් දෙඩීම සහ කපටි හඩින් මුලාකිරීම සාතන්ට කළ හැකි වුවද දෙවියන් වහන්සේට එසේ කළ නොහැකි විය. ඔහු දෙවියන්වහන්සේගේ වචනය බොරුවෙන් වසා දැමීමට තැත් කළේය. දේව දූත කැල කෙරෙහි තිබූ පරිපාලන සැලැස්ම විකෘති කර පෙන්වා දෙමින් සගයේ වැසියන් කෙරෙහි නීති රීති සහ අණ පනත් පැනවීම තුළින් දෙවියන්වහන්සේ යුක්ති ගරුක ලෙස ක්‍රියාකර නැතැයි ඔහු තර්ක ඉදිරිපත් කළේය. මවනු ලැබූ පණ ඇති අයගේ යටත්වීම සහ කීකරුකම ඉල්ලා සිටීමෙන් උන්වහන්සේගේ ආරක්ෂාව සහ අරමුණ වන්නේ තමාවම උසස් කර ගැනීම බව ඔහු දැක්වීය.දෙවියන්වහන්සේගේ රජයේ සාධාරණ බව ද, උන්වහන්සේගේ ව්‍යවස්ථාව සර්ව සම්පූර්ණ බවද සගයේ වැසියන්ට මෙන්ම අනෙකුත් ලෝකවල වැසියන්ට ප්‍රදර්ශනය කිරීම වැදගත් විය. තමාගේ වෑයම විශ්වයේ යහපත උදෙසාය කියා පෙන්වා දීමට සාතන් වෑයම් කළේය. කරුණු මෙසේ පැවති නිසා, අයුතු ලෙස බලය පැහැර ගැනීමට තැත්කළ මේ දූතයාගේ නියම චරිත ස්වභාවය සැවොම දැනගත යුතු විය. ඔහුගේ නියම පරමාර්ථය ද සැවොම දැනගත යුතු විය. ඔහුගේ නපුරු දේශ සහගත ක්‍රියාදාමයන් මගින් ඔහුගේ නියම ස්වභාවය දැක්වීමට සාතන්ට කාලය ලබා දිය යුතු විය.GrHSin 576.1

    ඔහුගේ ක්‍රියාවේදය නිසා සගය තුළ හටගත් විසම්මුතියට සහ වියවුලට හේතු කාරකය දෙවියන්වහන්සේගේ රජය සහ ව්‍යවස්ථාව බව සතන් පැවසුවේය. දිව්‍ය පරිපාලනය නිසා සෑම නපුරක් ම හටගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. යෙහේව:වහන්සේ විසින් කෙටුම්පත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තවත් පුළුල් කර දැක්වීම සඳහා සංශෝධන එකතු කිරීම තමාගේ කර්තව්‍යයෙහි අදහස බව ඔහු දැක්වීය.ඒ නිසා ඔහු ඉදිරිපත් කරන්නා වූ අදහස් ක්‍රියාත්මක කර පෙන්වා දීම අවශ්‍ය විය. ඔහුගේ ක්‍රමවේදයන් විසින් ඔහු වරදට පත් කරනු ලැබිය යුතු විය. තමා කැරැල්ලක් මෙහෙය වන්නේ නැතැයි සාතන් මුල පටන් ම කියා සිටියේය. එම නිසා මේ රැවටිලිකාරගේ වෙස්මුහුණු ඉවත් කරනු ලැබ සකල විශ්වයම ඔහුව දර්ශනය කළ යුතු විය.GrHSin 576.2

    සාතන්ට තවදුරටත් සගයේ වීසීමට ඉඩ දිය යුතු නැතැයි දේව මණ්ඩලය තීරණය කළද, දිව්‍ය ප්‍රඥාවන්තයාණෝ ඔහුව එකවිටම විනාශ කර නොදැමූ සේක. දෙවියන්වහන්සේ පිළිගන්නාවූ එකම සේවාව වන්නේ ප්‍රේමය මුසු සේවාව පමණකි. යමෙක් දෙවියන්වහන්සේට පක්ෂපාතීත්වය දක්වන්නේ නම් එය උන්වහන්සේගේ සාධාරණත්වය සහ ත්‍යාගශීලිත්වය මත පදනම් විය යුතුය. පාපය ඉස්මතු වූ අවස්ථාවේදීම දෙවියන්වහන්සේ සාතන්ව විනාශ කර දැමූ සේක් නම්, සගවාසීන්ට මෙන්ම අනිකුත් ලෝකවාසීන්ට ද උන්වහන්සේගෙන් යුක්තියේ සාධාරණත්වයත්, මෛත්‍රී කරුණාවත් දැක ගැනීමට හැකියාවක් උදාවන්නේ නැත. මන්ද යත්, ඔවුන්ට පාපයේ ස්වභාවයත් එහි විපාකත් එතෙක් ග්‍රහණය කරගැනීමට, අවබෝධ කර ගැනීමට නුපුළුවන් විය. සාතන්ව ඒ මොහොතේදීම විනාශ කරනු ලැබුවේ නම් ඔවුන් උන්වහන්සේට ඔවුන් සේවය කිරීමට පෙළඹෙන්නේ ප්‍රේමය නිසා නොව බියකින්ය. සාතන්ව විනාශ කර දැමීමෙන් ඔහු විසින් දැක්වූ බලපෑම සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පුළුවන් වන්නේ නැත. තවද කැරලි ගැසීමේ ආත්මද සහමුලින්ම උපුටා දැමීමට එමගින් පුළුවන් වන්නේ නැත.එහි ඵල දැරීමට නපුරට අවස්ථාවක් ලබාදිය යුතු විය. නිමක් නැති අනන්ත යුගයන් පුරා සකල විශ්වයේ යහපත උදෙසා සාතන්ට තමාගේ ප්‍රතිපත්ති වර්ධනය කරමින් ඒවා ක්‍රියාවට නංවා සැමට ඒවා දැකගන්නට අවස්ථාව සලසා දීමට දේව කරුණාව ඉඩ හැරිය සේක. දිව්‍ය රජයට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ චෝදනා වල සැබෑ ස්වභාවය සැමට දැක ගැනීමට ඉඩ සලසා දීමට, දෙවියන්වහන්සේ කාලයක් ඉඩ හළ සේක. එසේ කිරීමෙන් දෙවියන්වහන්සේගේ යුක්ති- සාධාරණයත්, මෛත්‍රී- කරුණාවත් පිළිබඳව සැකයකින් තොරව, ප්‍රශ්න කිරීමකින් තොරව සැමටම සදහටම තීරණය කරගැනීමට හැකිවෙනවා ඇත .එවිට උන්වහන්සේගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි වෙනස් නොවන සුළු නිත්‍යතාව ගැන ප්‍රශ්නයක් පැන නැඟෙන්නේද නැත.GrHSin 576.3

    සාතන්ගේ කැරැල්ල සෑම කල්පයක් පුරාම විශ්වයට පාඩමක් වෙනවා ඇත. එය පාපයේ ස්වභාවයත් හි භයානක ප්‍රති විපාකත් ගැනවූ නිරන්තර සාක්ෂියක් වන්නට තිබුණි. සාතන්ගේ චින්තනය ක්‍රියාත්මක වීම මඟින් මිනිසුන්ට මෙන්ම දේව දූතයන්ටද, එයින් අත්වන්නා වූ විපාක තුළින් පෙන්නුම් කර දෙන්නේ, දිව්‍ය බල අධිකාරි ආධිපත්‍යය නොසලකා හැරීමෙන් වන්නා වූ අනර්ථකාරී විනාශයයි. දේව රාජ්‍යෙයහි පැවැත්මත් උන්වහන්සේගේ ව්‍යවස්ථාව නිසි සේ ක්‍රියාත්මක වීමත් මගින් දක්වන්නේ මවනු ලැබූ සියල්ලන්ගේ යහපතට එය රුකුලක් හා සාක්ෂියක් බවය.මෙම විනාශකාරී කැරැල්ලක වෑයම නිරන්තර ආරක්ෂාවක් ලෙස සැමට හඬගා පවසා කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ස්වභාවය ගැන නොරැවටෙන ලෙසත්, බුද්ධිමත් සැවොම පව් කිරීමෙන් වැළකී සිටින ලෙසත් එහි දඬුවම් විඳීමෙන් ඉවත්ව සිටින ලෙසත් ය.GrHSin 577.1

    සගයේ ඇති වූ මේ මහත් අරගලය අවසාන වන තුරු, බල ලෝභීයා සෑම අවස්ථාවකදීම තමාගේ මතය නිවැරදි බව කියා GrHSin 577.2

    සිටියේය. ලුසිෆර්ට සහ ඔහුගේ කැරැල්ල සමඟ එක් වූ අයට තවදුරටත් දිව්‍යලෝකයේ ඉඩක් නැති බව ප්‍රකාශයට පත්කිරීමත් සමඟම කැරලි නායකයා මැවුම්කාරයාණන්ගේ ව්‍යවස්ථාවට වූ පිළිකුල සහ අනාදරය හඩ නගා ප්‍රකාශ කළේය.දේව දූතයන්ට පහලම නීතිරීති තිබීම අනවශ්‍ය බව පවසමින් සෑම විටෙකම නිවැරදි මාර්ගයේ යෑමට මඟපෙන්වන ඔවුන්ගේ නිදහස් කැමැත්තට බාධක පැමිණවිම තරයේ හෙළා දකිමින් සාතන් ඒ පිළිබඳව ඔහුගේ අයිතිය ප්‍රකාශ කර සිටියේය.දිව්‍ය අණ පනත් වනාහි වනාහී තමන්ගේ නිදහසට තහංචි පැමිණි වීමක් බව ඔහු අවධාරණය කළේය, ඒවා හෙලා දැක්කේය. මාගේ ව්‍යායාමයෙහි අරමුණ ව්‍යවස්ථාව අවලංගු කර ගැනීමට වෑයම් කිරීමක් බවද ඔහු පවසා සිටියේය. මෙම නිදහස සීමා කිරීමේ පනත නිදහස් කරනු ලැබීම මගින් ස්වර්ගීය ජනතාවට වඩාත් උත්කෘෂ්ට වූද වඩාත් තේජස්ශ්‍රීය වූද ජීවත්වීමේ පැවැත්මක් උදාවෙනවා සහතික බව ඔහු නැවතත් අවධාරණය කළේය.GrHSin 578.1

    සාතන් සහ ඔහුගේ පාර්ශ්වයේ සමූහයා තමන්ගේ කැරැල්ලෙහි සම්පූර්ණ වගකීම ක්‍රිස්තුස්වහන්සේ පිට පැවරූහ. උන්වහන්සේ තමාට තරවටු නොකළ සේක් නම් තමන් කවරදාකවත් කැරලි නොගසන බව ඔවුහු දැඩිව අවධාරණය කළෝය. දෙවියන්වහන්සේගේ රාජ්‍ය බලය පෙරළා දැමීමට නිරර්ථක උත්සාහයක යෙදුණු මහ කැරලිකරුවා සහ ඔහුගේ පරිවාර ජනතාව දැඩිව ප්‍රකාශ කළේය තමා පීඩාකාරී බල ලෝභී පාලකයෙකුගේ හිංසාවන්ට ගොදුරු වූ අහිංසකයන් බවය. ඔවුහු හිතුවක්කාරී ලෙස හා කලහකාරී ලෙස දෙවියන් වහන්සේගේ තීන්දුවට විරුද්ධව පෙළ ගැසුණෝය. අවසානයේදී ඔවුන් සියල්ලෝම සගයෙන් නෙරපා දමනු ලැබූවෝය.GrHSin 578.2

    සගයේ කැරැල්ලට තුඩු දුන් එකී ආත්මයම අද පොළව මත දී ද දෙවියන්වහන්සේට විරුද්ධව කැරැළි ගසන්නට ජනතාව පොළඹ වන්නේය. සගයේ දේව දූතයන් හා සමග සාතන් ගෙන ගිය ප්‍රතිපත්ති ඔහු මෙලොවදී ද මිනිසුන් සමග ක්‍රියාත්මක කරමින් සිටින්නේය. අකීකරුකමේ පුත්‍රයන් සමග ඔහුගේ ආත්මය දැන් රජකම් කරන්නේය.ඔහු මෙන්ම මොවුන්ද දෙවියන්වහන්සේගේ නීති මගින් වූ ප්‍රතිබාධකයන්ට එරෙහිව ක්‍රියා කරන්නට සූදානම් වෙමින් සිටිති.එකී දහම් ව්‍යවස්ථා ප්‍රතිපත්ති කඩ කිරීම තුළින් ඔහු මිනිසුන්ට නිදහස ලබා ගැනීමේ පොරොන්දුවක් ලබාදී ඇත. පාපයට තරවටු කිරීමේදී එයට ප්‍රතිචාරය වන්නේ ද්වේෂය, වෛරය, සහ විරුද්ධතාවය දැක්වීමය. දෙවියන්වහන්සේගේ අවවාදාත්මක පණිවිඩය පව්කාරයාගේ හෘදය සාක්ෂියට යොමු කරනු ලැබූ විට තමා නිවැරදි යැයි පවසමින් එකී වරදට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සාතන් එම තැනැත්තන්ට මගපෙන්වන්නේය. තවද, එම පාපයෙහි යෙදෙන්නාවූ තැනැත්තාට අනෙකුත් අයගේ අනුකම්පාව සොයා යාමටද සාතන් පව්කාරයාව දිරිමත් කරන්නේය. තමන්ගේ වරද නිවැරදි කර ගන්නවා වෙනුවට ඔවුන් පාපය පෙන්වා දුන් තැනැත්තාට කෝපාවිෂ්ඨ ලෙස සලකන්නේ ඔවුන්ගේ එම පාපයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ වරද පෙන්වා දුන් තැනැත්තා පමණක් වූවා සේය. පාපයට වරද තබන්නාටද, පාපය පෙන්වා දෙන්නාටද, වරද පැටවීමෙන් ආත්මය ධර්මිෂ්ඨ ආබෙල්ගේ දවස පටන් අද දක්වාම එලෙසින්ම පවතී.GrHSin 578.3

    සගයෙහි සිටියදී සාතන් දෙවියන්වහන්සේගේ චරිතය ඝාතනය කරමින් උන්වහන්සේ වනාහි දරදඬු පාලකයෙකු යැයිද අනුකම්පා විරහිත වූ පාලිතයන් තලා පෙලා මර්ධනය කරන්නා වූ අයකු යයිද සග වැසියන් අතර පතුරුවා හැරියේය. එම තර්කයන්ම ඉදිරිපත් කරමින් ඔහු මෙලොව වැසියන්ව ද පව් කරන්නට පොළඹවයි. මෙම ක්‍රමවේදය මගින් ඔහු මෙතෙක් ජයග්‍රහණය කර තිබේ. මනුෂ්‍යයාගේ පාපයට වැටීමට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ අසාධාරණ තහංචි බවද තමාව කැරැල්ලකට තල්ලු කරනු ලැබුවේද මෙම කාරණය නිසාම බව ද හෙතෙම නොපැකිළ පවසයි.GrHSin 579.1

    එහෙත්, සදාතනික තැනැන්වහන්සේම තමන්වහන්සේගේ චරිත ගුණාංග පිළිබඳව මෙසේ ප්‍රකාශ කරන සේක: ” ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකම ද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වන සේක. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරන සේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන සේක.” (නික්මයාම 34:6,7).GrHSin 579.2

    සාතන්ව සගයෙන් නෙරපා හැරීමෙන් දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ යුක්තිසහගත සාධාරණත්වය පෙන්නුම් කළ සේක. තමන්වහන්සේගේ සිංහාසනයෙහි ගෞරවය රැකගත් සේක. විරුද්ධවාදී ආත්මයක් තිබූ සාතන් විසින් ඉදිරිපත් කළ මුලා කිරීම් වලට අවනත වීමෙන් මිනිසා පාපයට වැටුනේය. ඒ මොහොතේදීම පාපයට බිලි වූ මිනිසා උදෙසා තමන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ත්‍යාගයක් ලෙස පුදකරමින් උන්වහන්සේ තමන් ප්‍රේමය පිළිබඳ සාක්ෂියක් ලබා දුන් සේක. මේ සමගි කිරීම තුළින් දෙවියන්වහන්සේගේ චරිතය එළිදරව් කරනු ලබන්නේය. ලුසිෆර්, පාපයේ මාර්ගය සිය කැමැත්තෙන්ම තෝරා ගත්තේය. ඔහු තම ක්‍රියාමාර්ගයට හේතුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය පරිපාලනය බවට චෝදනා කළේය. එහෙත් කුරුසියේ පූජාවෙහි ප්‍රබල තර්කය මුළු විශ්වයටම හඬගා කියන්නේ සාතන්ගේ චෝදනාවන්ට කිසිම පදනමක් නැති බවය.GrHSin 579.3

    ක්‍රිස්තුස්වහන්සේ සහ සාතන් අතර ඇති මහත් අරගලයේදී උන්වහන්සේ මිනිස් ලෝකයට පැමිණ මහා රැවටිලිකාරයා වූ සාතන්ගේ වෙස් මුහුණ ගළවා දැමූසේක.දේවදූත සමුහයාගේ මෙන්ම අනෙකුත් ලෝක වාසීන්ගේද යම් ප්‍රමාණයක අනුකම්පාවක් සාතන් කෙරෙහි තිබුණේ නම් ක්‍රිස්තුස්වහන්සේ මෙලොව මිනිස් වෙසින් ජීවත්වූ කාලයේදී සාතන් උන්වහන්සේට විරුද්ධව දියත් කළ කුරිරු සංග්‍රාමයේ සිද්ධීන් දුටු ඔවුන් තුළ සාතන් කෙරෙවූ සියළු දයානුකම්පාව සහමුලින්ම ඉවත් කරනු ලැබීය.සාතන් විසින් උන්වහන්සේට කිසිම ගරු සරු කිරිමකින් තොරව තමන්ට වැඳ වැටී නමස්කාර කරන්නැයි කීම දේව අපහාසාත්මක ක්‍රියාවක් බව විශ්වාසී ජනතාවගේ තිරණය විය.තවද, සාතන් යේසුස්වහන්සේව උස් කඳු මුදුනක් මත්තටද දේව මාළිගයෙහි කොත මුදුනට පමුණවා ලීමට තරම් අභීත වීම සියල්ලන්ගේ කෝපයට හේතු විය.එවන් උස් ස්ථානයක සිට බිමට පනින්නැයි කීම ඔහු තුළ තිබූ ද්වේෂය පෙන්නුම් කිරීමක් බව ඔවුහු දුටුවෝය.ක්‍රිස්තුස්වහන්සේව පරික්ෂාවකට හසුකර ගැනිමට වෑයම් කරමින් උන්වහන්සේ යන එන තැන්වලට යමින් උන්වහන්සේව පරික්ෂාවට යොමු කිරීමද ඔහු තුළ පැවති ද්වේෂය පෙන්නුම් කරන්නක් බව සියළු දෙනාම තීරණය කළෝය. එපමණක් නොවේ, උන්වහන්සේ මිනිස් සත හට දැක්වූ ආදර බර කරුණාව එපා කිරීමට පූජකයන්ගේ සහ යුදෙව් ජනතාවගේ හදවත් තුළට වෛරය ඇතුළු කොට අන්තිමේදී උන්වහන්සේව “කුරුසියෙහි ඇණ ගැසුව මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව” යනුවෙන් පැවසීමට ජනතාව පෙළඹවීම යන සිද්ධීන් විශ්වීය ජනතාව මවිතයට පත් කරමින් ඔවුන්ගේ උදහස සාතන්ට විරුද්ධව ඇවිලී යන්නට පසුබිම සකස් කළේය.GrHSin 580.1

    ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට ලෝක වාසීන්ව පෙළඹ වූයේ සාත්නය.ගැළවුම්කාර සමිඳාණන්ගේ මෛත්‍රී කරුණාව සහ ප්‍රේමයද, අනුකම්පාව සහ දයාබර මුදු මොළොක් කමද මගින් දෙවියන්වහන්සේගේ චරිතය ලෝකයාට ප්‍රකාශ වන බව සාතන් දුටුවේය.එම නිසාම යේසුස්වහන්සේව විනාශ කර දැමිමට නපුරේ කුමාරයා ඔහු සතු සියළු බලය සහ උපායන් ආයුධ කර ගත්තේය. මනුෂ්‍ය-පුත්‍රයාණන්ට අයිතිවූ සෑම උරුමයකටම අභියෝග කළ සාතන් යේසුස්වහන්සේගේ ජීවිතය දුකෙන් සහ වේදනාවෙන් පීඩනයට පත් කිරීමට මිනිස් නියෝජිතයන් සහාය කර ගත්තේය.යේසුස්වහන්සේගේ කර්තව්‍යය සුළු කිරීමටද වැඩ කටයුතුවලට බාධා කිරිමටද සාතන් විසින් ඉදිරිපත් කළ තුතර්ක සහ අසත්‍ය ප්‍රචාරද, අකීකරුකමේ පුත්‍රයන් කරණකොටගෙන පෙන්නුම් කළ ද්වේෂයද ඔහු තුළ තිබූ පලිගැනීමේ චේතනාව පෙන්නුම් කරන්නක් විය. ආදර්ශමත්වූ යහපත් ගුණාංගයන්ගෙන් පිරි තැනැන්වහන්සේට විරුද්ධව විවිධ කුරිරු චෝදනා එල්ල කරමින් උන්වහන්සේව වේදනාවට පත්කිරීම ඔහුගේ පලිගැනීමට තිබූ ආශාව පෙන්නුම් කළේය. දේව පුත්‍රයාණන්වහන්සේට එරෙහිව සාතන්ගේ සිත තුළ තදකරගෙන තිබූ වෛරය සහ ඊර්ෂ්‍යාවද, ද්වේෂය සහ පලිගැනීමද කල්වරියේ කුරුසිය වටා වූ සිද්ධීන් මගින් ඔහු ප්‍රකාශ කළේය. සියලු සග වාසීහු නිශ්ශබ්ද තැති ගැනීමකින් සහ විස්මයකින් යුතුව දේව පුත්‍රයාණන්වහන්සේට විරුද්ධව පැවති මේ සිදුවීම් දෙස මහත් අප්‍රසන්නතාවයෙන් බලා සිටියහ.GrHSin 580.2

    “පියාණෙනි,.... මා සිටින තැන ඔවුනුත් මා සමග සිටිනවාට කැමැත්තෙමි”යි (යොහන් 17:24), යන ඉල්ලීම පිළිගැන්වීමට පෙර, තම ජීවිත පූජාව ඔප්පු කිරීමෙන් පසුව සගයට ගියාවූ ක්‍රිස්තුස්වහන්සේ දේව දුතයන්ගේ ප්‍රණාමය පවා පිළිගැනීමට උනන්දුවක් නොදැක්වූ සේක එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් කිව නොහැකි තරම් ප්‍රේමයෙන් සහ බලයෙන් යුතුව පියාණන්වහන්සේගේ සිංහාසනයෙන් නික්ම ආ පිළිතුර වූයේ “දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වා!” යනුවෙනි. (හෙබ්‍රෙව් 1:6). යේසුස්වහන්සේගේ ජීවිතයෙහි කිසියම් කැළලක් නොතිබුණි. උන්වහන්සේගේ ජීවිතය නිම වී උන්වහන්සේගේ පූජාව සම්පූර්ණ වූ විට සෑම නාමයකට වඩා ඉහළින් වැජඹෙන්නා වූ ශ්‍රී නාමයක් උන්වහන්සේට ප්‍රදානය කරන ලදී.GrHSin 581.1

    සාතන්ගේ වරද දැන් විවෘතව ප්‍රකාශයට පත් විණ. නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබිණ. බොරු කාරයෙකු සහ මිනී මරන්නෙකු ලෙස ඔහු තමාගේ නියම චරිතය එළිදරව් කර තිබුණේය. සගයේද ඔහුට බලය හිමි වූයේ නම් ඔහුගේ අධිකාරී බලය යටතේ සිටි මනුෂ්‍ය පුත්‍රයන් පාලනය කළ ආකාරයටම, ඔහු ස්වර්ගීය වාසීන්ද පාලනය කරනවා ඇත යන්න පැහැදිලි විය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබීමෙන් නිදහස හා. ඉහළ තලයක පැවැත්මක් හිමි වන්නේ යයි ඔහු ප්‍රකාශ කර තිබුණේය. නමුත් එසේ කිරීමෙන් හිමි වන්නේ වහල්කම සහ අවමානයට පත් වීම බව සැමට පෙනී ගියේය.GrHSin 581.2

    දිව්‍ය චරිතය හා දිව්‍ය රාජ්‍ය පාලනය පිළිබඳව සාතන් එල්ල කළ බොරු චෝදනා ඒවායේ නියම ස්වභාවයෙන් සැමට දැකගැනීමට පුළුවන් විය. දෙවියන්වහන්සේ විසින් මවනු ලැබූවන්ගෙන් යටත්වීම සහ කීකරුකම ඉල්ලා සිටීමෙන් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ තමන්වහන්සේට පමණක් යසස්ශ්‍රීය සහ මහිමාන්විතය ලබාගැනීමට බවට සාතන් දෙවියන්වහසේට චෝදනා කළේය. මැවුම්කාරයාණන්වහන්සේ ස්වකීය මැවිල්ලෙන් ආත්ම පරිත්‍යාගය ඉල්ලා සිටි නමුත් උන්වහන්සේ කිසිම ආත්ම පරිත්‍යාගයක් සිදු නොකළ බවටත්, කිසිම පූජා කිරීමක් නොකළ බවටත් ඔහු චෝදනා එල්ල කළේය. වැටී ගියාවූද, පව්කාරවූ ද ජන සමූහයකගේ ගැළවීම උදෙසා විශ්වයේ රාජාති රජාණන්වහන්සේ ප්‍රේමයෙන් කළ හැකි ඉතාමත් උතුම් වූ පූජාව සිදුකර ඇති බව ඔවුන්ට දැකගත හැකි විය. “දෙවියන්වහන්සේ... ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකය තමන්වහන්සේට සමගි කරගනිමින් සිටිසේක.” (2 කොරින්ති 5:19). ගෞරවය සහ උත්තරීතර ආධිපත්‍යය සොයා යමින් ලුසිෆර් පාපයේ දොරටුව විවෘත කළ බවත්, ඒ අතර ක්‍රිස්තුස්වහන්සේ යටහත්කමින් යුක්තව පාපය විනාශ කර දැමීමට මරණය දක්වා කීකරු වූ බවත් ඔවුන්ට පෙනී ගියේය.GrHSin 581.3

    කැරැල්ලක් දියත් කිරීමෙහි ලා වූ ප්‍රතිපත්ති තමන් පිළිකුල් කරන බව දෙවියන්වහන්සේ පැහැදිලි ලෙස දැක්වූසේක. සාතන්ව වරදට පත් කිරීමෙහිදීත්, මිනිසාට ගැළවීම සාදා දීමෙහිදීත් දෙවියන්වහන්සේගේ යුක්ති සාධාරණ ගුණාංගය මුළු සගයම දැක ගත්‌තේය. දෙවියන් - වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් නොවන සුළු වන්නේ නම්, එය උල්ලංඝනය කිරීම සඳහා වූ දඬුවම තවත් අයෙකු විසින් ගෙවා දැමිය නොහැකි නම් සෑම පව්කාරයෙකුම දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් ඉවත්කරනු ලැබිය යුතු යයි ලුසිෆර් ප්‍රකාශ කර තිබුණේය. පව්කාර මිනිස් ජනතාව ගැළවීම ලබාගැනීමේ වරප්‍රසාදයෙන් ඈත් කර ඇති නිසා ඔවුන් තමන්ගේ නීත්‍යානුකුල ගොදුර බවට සාතන් අයිතිවාසිකම් කීවේය. එසේ වුවද, මනුෂ්‍යයා උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ මරණයට පත්වීම වනාහි යටපත් කළ නොහැකි තර්කයක්ය. දෙවියන්වහන්සේ හා සම වූ තැනැන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේ මත පාපයේ දඬුවම නියම වී උන්වහන්සේ පාපයේ ශාපය ගෙවා දැමූසේක. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා ක්‍රිස්තුස්වහන්සේගේ දැහැමිතාව පිළිගෙන තමන්ගේ පාපයන් ගැන පසුතැවිලි වී යටහත් පහත්කමින් යුත් දිවි පැවැත්මෙක් පවත්වා ගෙන යන්නේ නම්, ඔවුන්ට ජයග්‍රාහක ජීවිත හිමි වන්නේය. සාතන්ගේ බලය බිඳ දමා දෙව් පුත‍්‍රයාණන් විජයග්‍රහණය කළ ආකාරයෙන්ම මිනිසාට ද පාපයේ ශාපයෙන් ජය ගත හැකිවන්නේය. මෙසේ දෙවියන්වහන්සේගේ දැහැමි සාධාරණතාව පිළිබඳව සාතන් නැගූ චෝදනාව නිෂ්ඵල බවට පත්වන්නේය. උන්වහන්සේ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නා වූ සැවොම ධර්මිෂ්ඨයන් හැටියට පිළිගන්නා සේක.GrHSin 582.1

    ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණ වධ විඳ මරණය වින්දේ මිනිසාට ගැළවීම ලබාදීමේ කර්තව්‍යය ඉටුකිරීම සඳහා පමණක් නොවේය. උන්වහන්සේගේ තවත් කාර්ය භාරයක් වූයේ, “ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවය” කිරීමය. මෙලෝ වාසීන් විසින් දැහැමි ව්‍යවස්ථාව නිසි ආකාරයෙන් සැලකීම සඳහා අවධානය යොමු කිරීම පමණක් නොව, විශ්වයේ වූ වෙනත් ලෝකවල වාසීන්ටද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් නොවන බව ප්‍රදර්ශනය කිරීමද ක්‍රිස්තුස්වහන්සේගේ මෙලෝ පැමිණීමේ තවත් කාර්යයක් විය, ව්‍යවස්ථාවට හිමි අයිතිවාසිකම් මහහැර ක්‍රියාකිරීමේ හැකියාවක් පැවැතියේ නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද සඳහා සමගි කමක් කිරීමට, වන්දියක් ගෙවීමට දේව පුත්‍රයාණන්ට තම ජීවිතය පූජා කිරීමේ අවශ්‍යතාවයක් උදා වන්නේ නැත. ව්‍යවස්ථාව කිසිම ආකාරයකින් හෝ වෙනස් කළ නොහැකි බව ක්‍රිස්තුස්වහන්සේගේ මරණය ඔප්පු කරන්නේය. පව්කාරයන්ට ගැළවීම ලබාදීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ යාග පූජාව හැර සමගි කිරීමේ කර්තව්‍යය ඉටු කිරීමට වෙනත් විකල්පයක් නැත. ජීවිත පූජාව සඳහා පියාණන්වහන්සේව, මෙන්ම පුත්‍රයාණන්වහන්සේවද පෙළඹ වූයේ අනන්ත ප්‍රේමයයි. මෙම පූජාව මුළු ලොවටම හඬ ගා ප්‍රකාශ කරන්නේ යුක්ති සහගත සාධාරණය සහ මෛත්‍රී - කරුණාව දෙවියන්වහන්සේගේ රාජ්‍ය පරිපාලනයෙහි සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි පදනම බවය.GrHSin 583.1

    පාපයේ පැවැත්ම සඳහා හේතුවක් නැති බව විනිශ්චයෙන් පසුව ඇති වන අන්තිම දඬුවම් ලබාදීමේදී දැකගැනීමට හැකි වන්නේය. මුළු මහත් පොළොවේ විනිශ්චයකාරයාණෝ සාතන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන සේක. “නුඹ මට විරුද්ධව කැරැළි ගසා මාගේ රාජ්‍යයේ යටත් වැසියන් මාගෙන් සොරා ගත්තේ ඇයි ? ” නපුරේ නිර්මාතෘවරයාට කිසිම ආකාරයකින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නුපුළුවන් විය. කැරැල්ලෙහි නිරත වූ මහත් ජන සමූහයා නිහඬව සිටිනවා ඇත. ඔවුන්ගේ කටවල් වැසී තිබෙන බවක් පෙනී යන්නේය.GrHSin 583.2

    ව්‍යවස්ථාව කිසිසේත් වෙනස් කළ නොහැකි බවත්, පාපයේ කුළිය මරණය බවත් කුරුසියේ පූජාව මුළු විශ්වයටම හඬ ගා පවසන්නේය. “තීන්දුවුණේය,” යනුවෙන් ගැළවුම්කාරයාණන් පැවසු අවසන් වදන් සාතන්ගේ මළ බෙරය හඬ නැංවීමට සමත් විය. දිගු කාලයක් පුරා අඛණ්ඩව පැවති මහා අරගලයට තීන්දුවක් දෙනු ලැබිණ. අවසානයේදී නපුර අතුගා දැමීමේ කාර්යය ස්ථිර කරන ලදී. දේව පුත්‍රයාත් සොහොන් ගෙයි දොරටු තුළින් ගමන් කළේ “මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව” විනාශ කරන පිණිසය. (හෙබ්‍රෙව් 2:14). ලුසිෆර් තමාවම උසස් කරගැනීමට ආශාව දැක්වීය. එහෙයින් ඔහු මෙසේ පැවසුවේය. “මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකා වලට උඩින් තබා.... රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි.... මහෝත්තමයාණන්ට සමාන වන්නෙමි.” ලුසිෆර්ගේ මෙම අභියෝගාත්මක වදනට දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “පොළොව පිට නුඹ අළු කළෙමි... තවත් කවදාවත් නුඹ නොවන්නෙහිය” (යෙසායා 14:13,14; එසකියෙල් 28:18,19). “උඳුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය. එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.’‘ ( මලාකි 4:1).GrHSin 583.3

    පාපයේ ස්වභාවය ගැනද එහි ප්‍රති විපාක ගැනද මුළු විශ්වයම සාක්ෂිකාරයන් බවට පත්වෙනවා ඇත. පාපය සදහටම විනාශ කර දමනු ලැබෙයි. පාපයේ ආරම්භයේදී එවන් දෙයක් සිදුකරනු ලැබුවේ නම් එයින් දේව දූතයන්ගේ සිත්වලට බියක් ඇතිවනවා නියතය. එවැන්නකින් දෙවියන්වහන්සේටද අගෞරවයක් හිමි වන්නේය. එහෙත් අවසානයේදී එසේ කිරීමෙන් උන්වහන්සේගේ ප්‍රේමය පැහැදිලි ලෙස පෙනී යන්නේ, දොස් නැගීමක් නොපවතින්නේය. තම හදවත්හි දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මුද්‍රා කරන ලදුව උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට ප්‍රසන්නතාවක් දක්වන විශ්වීය දනන් ඉදිරියෙහිදී යේසුස්වහන්සේගේ ගෞරවය ස්ථාපිත කොට පිහිටුවනු ලබන්නේය. නපුර තවත් කිසිම කලෙක හිස ඔසවන්නේ නැත. “විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේ “යි (නාහුම් 1:9) දේව වචනය ස්ථිර කර ඇත. වහල්කමෙහි වියදණ්ඩක් ලෙස සාතන් විසින් අවමානයට ලක් කරන ලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නිදහස් කමෙහි ව්‍යවස්ථාව ලෙස එකල ගෞරවයට පත් වන්නේය. දෙවියන්වහන්සේගේ චරිත ස්වභාවය වනාහි අනන්ත වූ නිමක් නැති ප්‍රේමයෙන් පිරී ඉතිරී යන්නාවූ ද අසීමිත ප්‍රඥාවකින් අනූන වූද එකක් බව සක් සුදක් සේ විද්‍යාමානව දැක ගන්නට සියල්ලන්ට හැකිවෙයි. දෙවියන් වහන්සේට හිමි විය යුතු පක්ෂපාතීත්වයෙන් ඉවතට හැරී යාමට ඔවුන් කිසිකලෙක වෑයම් නොකරනවා ඇත. උන්වහන්සේගේ ස්වභාවය පරික්ෂාවට භාජනය කරන ලදුව එය ගැඹුරු ප්‍රේමයෙන් ද අසීමිත ප්‍රඥාවේද පූර්ණ බව ඔප්පු වෙනවා ඇත.GrHSin 584.1