Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    19 - අඳුර පළවා හරිමින් අලෝකය උදා වේ.

    යුගයෙන් යුගයට, විවිධාකාර වූ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන් සහ ආගමික පිබිදීම් මගින් දෙවියන්වහන්සේ අපගේ ලෝකය පිළිබඳව කටයුතු කිරීමේදී ඒකාකාර ක්‍රමවේදයන් මෙහෙය වන සේක. මිනිසුන් සමග කටයුතු කිරීමේදී දෙවියන්වහන්සේගේ ප්‍රඥප්ති වෙනස් නොවේ. වත්මනදී භූමිකා මවන්නාවූ ‍ව්‍යාපෘතීන් හා සමාන්තර ක්‍රියාදාමයන් අතීතයේ පැවතියේ ය. පෙර කාලවලදී සභාව මුහුණදුන් අත්දැකීම් වල අපගේ කාලයට ද බොහෝ සේ අදාළ වන පාඩම් තිබේ.GrHSin 391.1

    ගැලවීමේ සැලැස්ම ඉදිරියට යා යුතුය. ඒ සඳහා දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් තම සේවකයන්ට මගපෙන්වන සේක. මේ සත්‍යතාවය ශුද්ධ බයිබලයේ ඉතාම පැහැදිලි ලෙස දක්වා තිබේ. තමන්වහන්සේගේ මෛත්‍රී-කරුණාවේ සහ දයාඅනුග්‍රහයේ අරමුණු ඉටුකරගැනීම සඳහා දෙවියන්වහන්සේ මිනිසුන්ව භාවිතා කර ගන්නා සේක. සෑම අයෙක් විසින්ම ඉටුකළ යුතු කාර්යභාරයක් තිබේ. සෑම අයකුටම එක්තරා ප්‍රමාණයක ආලෝක කදම්භයක් ලබාදී තිබේ. එම ආලෝකය ඔහු සතු කාලයට ඔබින අන්දමින් ලබා දී ඇත. දෙවියන්වහන්සේ එවන් අයගෙන් බලාපොරොත්තු වන්නා වූ මෙහෙය සපුරාලීමට එම ආලෝකය ප්‍රමාණවත් ය. එහෙත් සගයේ ඉහළ තලයේ ගෞරවයට පාත්‍ර වූ කවරෙකු හට වුවද ගැලවීමේ සැලැස්මෙහි පූර්ණ අවබෝධයක් හෝ දැනුමක් කරා පැමිණීමට හැකියාව උදා වී නැත.යමෙකුට පවරන ලද වැඩ කොටසෙහි දිව්‍ය අභිමතාර්ථය පිළිබඳව පූර්ණ ගැනීමක් කිරීමට පවා එම තැනැත්තන්ට පුළුවන්කමක් නැත. කෙනෙකුට දෙවියන්වහන්සේ පවරන්නා වූ කාර්ය භාරය මගින් උන්වහන්සේ ඉටු කරන්නාවූ වැඩයේ පරිමාණය ගැන තක්සේරු කිරීමට හෝ සම්පූර්ණ අවබෝධයක් කරා පැමිණීමට මිනිසා සමත් නොවේ. දෙවියන් වහන්සේගේ නාමයෙන් යමෙක් ප්‍රකාශ කරන්නා වූ පණිවිඩය සෑම පැතිකඩක්ම වටහා ගැනීමට ඔහු සමත් වන්නේ නැත.GrHSin 391.2

    “දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්නට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?” “මාගේ යෝජනාව නුඹලාගේ යෝජනා නොවේය,නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ යයි ස්වාමීන්වහන්සේ කියන සේක. අහස පොළොවට වඩා උසව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලටත් වඩා උසස්ව තිබේ.” “මක්නිසාද මමම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත; මම වනාහී අන්තිමය මුල පටන් ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ..... තැනැන්වහන්සේ ය.“(යෝබ් 11: 7; යෙසායා 55: 8, 9; 46: 9, 10). GrHSin 391.3

    ශුද්ධාත්මයාණන්වහන්සේගේ විශේෂ කාරණා පැහැදිලි කිරීමක් ලැබීමෙන් වරප්‍රසාදය ලැබූ දිවැසිවරුන් පවා තමාට භාරදුන් එළිදරව් කිරීම් පිළිබඳව සම්පූර්ණ විස්තීර්ණ දැන සිටියේ නැත. දෙවා වදාරණ ලද ප්‍රකාශනයන්හි තේරුම යුගයෙන් යුගයට කල් ගතවීමෙන් පසුව පැහැදිලි කර දෙනු ලැබුවේය. එම දිවැසි ප්‍රකාශනයන්හි අඩංගු අනුශාසනා දේව ජනතාවට කාලෝචිත වන පරිදි පැහැදිලි කර දෙන ලදී.GrHSin 392.1

    ශුභාරංචිය මගින් ආලෝකමත් කරනු ලැබූ ගැලවීම පිළිබඳව පේතෘස් මෙසේ පවසයි. ” නුඹලාට පැමිණෙන්නට තිබුණු අනුග්‍රහය ගැන අනාගතවාක්‍යය කී අනාගතවක්තෘවරු ඒ ගැළවීම ගැන බොහෝ සෙයින් විභාග කොට සෙවුවෝය. ඔවුන් තුළෙහිවූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේට නියමවූ වධ විදීම ද ඊටපසු පැමිනෙන තේජස ගැන කලින් සාක්ෂිදුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූ සේක්ද කියා ඔව්හු සෙව්වෝය. ඔවුන් ඒ දේවල් ගැන සේවය කරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේය.” ( 1 පේතෘස් 1:10-12).GrHSin 392.2

    දෙවියන්වහන්සේ විසින් දිවැසිවරුන්ට එළිදරව් කරන ලද දේ පිළිබඳව පූර්ව වටහා දීමක් ඔවුන්ට ලබාදෙනු ලැබුවේ නැත. එසේ වුවද, දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට ලබා දීමට කැමති වූ සෑම ආලෝක දහරාවක්ම ලබාගැනීමට එම දිවැසිවරු උනන්දුවෙන් ක්‍රියා කළෝය. ඔවුහු ” ඉතා ඕනෑකමින් ද මහත් සැලකිල්ලෙන්ද” ( දිවැසි වැකි ) පිරික්සා බැලූහ. “ඒ අනාවැකිවලින් එතුමාණන් පෙන්නුම් කළේ කවර කාලයක් ගැනද, කවර සිද්ධීන් ගැන දැයි සොයා දැනගන්නට” ( ඔවුහු ) උත්සාහ දැරූහ. තමන්වහන්සේගේ සේවකයන්ට දෙවා වදාළ මෙම අනාවැකි ක්‍රිස්තියානි යුගයේ ජීවත් වන්නා වූ දේව දරුවන් සඳහාය. එමනිසා ම අනාවැකි අපගේ අවධානයට භාජනය වීම කෙතරම් වටිනා භාග්‍යයක්ද! ඔවුන් ඒ දේවල් ගැන සේවය කරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. එහෙත් උපත ලබා නැති පරම්පරාවන්හි ප්‍රගතිය සඳහා දෙනු ලැබූ මෙම අනාවැකි ඒ ශුද්ධ වූ දේව දාසයන් ඉතා ඕනෑකමින් සහ මහත් සැලකිල්ලෙන් පිරික්සා බැලූ අන්දම ගැන සැලකිලිමත් වන්න. සගයෙන් දානය කරන ලද මෙම දීමනාව පිළිබඳව දිවැසිවරුන් තුළ පැවතියේ ශුද්ධ වූ ජ්වලිත ඇලුම් කිරීමකි. එහෙත් වත්මන් යුගයන්හි සිටින්නා වූ දේව කරුණා-අනුග්‍රහය ලැබූ දේව දාසයන් දිවැසි ප්‍රසාදි ප්‍රකාශන පිළිබඳව දක්වන්නේ කෙතරම් ඇල්මැරුණු ආකල්පයක්ද, සැප පහසු සැහැල්ලු ජීවිත පැවැත්මක් ඇත්තාවූද ලෞකික සම්පති කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නාවූ ද දේව සේවකයන් ලෞකික දීමනාවන්ගෙන් සෑහීමට පත්ව පවසන්නේ දෙන ලද අනාවැකි තේරුම්ගත නොහැකිය කියාය. ඔවුන්ට කොපමණ මහත් තරවටුවක්ද.GrHSin 392.3

    අපිරිමිතවූ ද, අනන්තවූ ද තැනැන්වහන්සේ මන්ත්‍රණයට සහභාගී වීමට සීමිතවූ මිනිස් මනසට හැකියාවක් නොවේ. උන්වහන්සේගේ අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වන්නාවූ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට මිනිසාට හැකියාවක් නැත. එසේ වුවද, සගයේ පණිවිඩ තේරුම් ගැනීමේ හැකියාව මිනිසාට නොලැබෙන්නෙ ඔහුගේ පැත්තෙන් වූ යම්කිසි වරදක් හෝ අතපසු වීමක් හෝ නිසාය. සාමාන්‍ය මිනිසුන්ගේ මෙන්ම දේව සේවකයන්ගේද මනස් බොහෝ අවස්ථාවන්හිදී මිනිස් නිගමනයන්ගෙන්ද, සම්ප්‍රදායන්ගෙන්ද, වැරදි ඉගැන්වීම් වලින්ද පදම් වී ඇති නිසා, තමන්වහන්සේගේ ශුද්ධ වචනය තුළින් එළිදරව් කර ඇති මහා පරිමාණ තොරතුරු මිනිසාට ග්‍රහණය කරගත හැක්කේ ඉතා ස්වල්ප වූ ප්‍රමාණයෙන් පමණකි, අඩ වශයෙන් පමණකි. ගැලවුම්කාර සමිදාණෝ තමන් ගෝලයන් සමග සිටි කාලයේදී පවා ඔවුන්ගේ වටහා ගැනීම ද මෙයාකාරම විය. ඔවුන්ගේ මනස් තුළ මුල් බැස ගෙන සිටි සංකල්පය වූයේ මෙසියස්වහන්සේ මෙලොවට පැමිණෙන්නේ ලෞකික කුමාරයකු වශයෙන්ය කියාය. එම චින්තනය එකල පැවති ජනප්‍රිය සංකල්පය විය. එම කුමාරයා විසින් ඊශ්‍රායෙල් ජාතිය විශ්වීය රාජධානියෙහි සිහසුන කරා මෙහෙයවනු ලැබේය යන්න ඊශ්‍රායෙලිතයන්ගේ බලාපොරොත්තුව හා විශ්වාසය විය. එහෙයින් උන්වහන්සේ ගේ මරණය හා දුක්විඳීම පිළිබඳව උන්වහන්සේ පැවසූ දේවල් ඔවුන්ට වටහා ගත නොහැකි විය.GrHSin 393.1

    ” කාලය සම්පූර්ණ විය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්න“( මාර්ක් 1: 15) යන පණිවිඩයත් සමග ක්‍රිස්තුස් වහන්සේම ඔවුන් පිටත් කළ සේක. එම පණිවිඩය දානියෙල් 9හි අනාවැකිය මත පාදක වී තිබිණ. දේව දූතයා ප්‍රකාශ කළ පරිදි සති සැට නවයක් වූ කාලවකවානුව ” අධිපතියා වූ ආලේපලත් තැනැත්තා” දක්වා විහිදී යාමට නියමිත විය. මුළු භූමිතලයම පාලනය කරමින් මෙසියානු රාජධානිය යෙරුසලමෙහි පිහිටවනු ලබනවා ඇතැයි ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෝ මහත් ප්‍රීතියෙන් යුතුව, බලාපොරොත්තුවෙන් යුතුව අපේක්ෂා කළෝය.GrHSin 393.2

    ක්‍රිස්තුස්වහන්සේ විසින් ගෝලයන්ට භාර කළ පණිවිඩය දේශනා කරමින් ගෝලයන් ක්‍රියා කළ නමුත් ඒ ගැන නිසියාකාර අවබෝධයක් ඔවුන් සතු නොවීය. දේව රාජ්‍යය පිළිබඳව වූ සංකල්පය දානියෙල් 9:25 මත පාදක විය. එහෙත් ආලේපලත් තැනැත්තා සිඳ දමනු ලබන බව 26 වෙනි පදයෙහි අඩංගුව ඇති බව ඔවුන්ගේ අවධානයට හසු නොවීය. උප්පත්තියේ පටන්ම දේව දාසයන්ගේ හදවත් තුල මුල් බැස තිබූ සංකල්පය වූයේ භූමික අධිරාජ්‍යයක් පිළිබඳව තේජස්ශ්‍රීය විශ්වාසයකි. ක්‍රිස්තුස්වහන්සේගේ වචනවල සහ දිවැසි ප්‍රකාශනයෙහි ඉහත විස්තර මෙම විශ්වාසය කරණකොටගෙන අඳුරු සේයා පටලයකින් ආවරණය වී තිබිණ.GrHSin 393.3

    දයා-කරුණාවෙහි කැඳවීම යුදෙව් ජනතාවට ලබාදෙමින් ගෝලයෝ තමන්ට භාරදෙන ලද කාර්යභාරය ඉටු කළෝය. එසේ වුවද, තමන්ගේ ස්වාමින්වහන්සේ දාවිත්ගේ සිහසුනෙහි රාජාතිරජාණන් ලෙස පදවි ප්‍රාප්ත වීම අපේක්ෂා කළ අතරම උන්වහන්සේව අපරාධකාරයකු ලෙස අත්අඩංගුවට ගෙන කස පහරදී, උපහාසයට ලක් කර මරණ දණ්ඩනයට යටත් කරන ලද ආකාරය ඔවුන්ට දැක ගැනීමට සිදුවිය. තවද, උන්වහන්සේ කල්වරියෙහි කුරුසිය මත දිවි පුදන ආකාරය ද ඔවුහු දුටුවෝය. ක්‍රිස්තු සමිදාණෝ සොහොන් ගැබෙහි සැතපී සිටි කාලය තුළදී ඔවුන්ගේ හදවත් කොපමණ මහත් බලාපොරොත්තු සුන් වූ ආකාරයකින් සහ උග්‍ර වේදනාවකින් පීඩනයට පත්ව තිබුණේ ද. GrHSin 394.1

    දිවැසි ප්‍රකාශනයෙහි දක්වා තිබූ ආකාරයෙන්ද නියමිත කාලවකවානුවේද ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට වැඩි සේක. උන්වහන්සේගේ මෙහෙය හා බැඳී සෑම ප්‍රකාශිත සිද්ධියක්ම අකුරටම ඉටු වී තිබුණේය. උන්වහන්සේ ගැලවීමේ පණිවිඩය දේශනා කර තිබුණේය. තවද උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්ත විය. උන්වහන්සේගේ වචන සගයෙන් දෙවා වදාළ වචන බවට ශ්‍රාවකයන්ට සැකයක් නොවීය. පුත්‍රයාණන්වහන්සේ විසින් ගෝලයන් හට ඔවුන්ගේ කාර්ය භාරයෙහි වගකීම පවරා දුන් අවස්ථාවේදී පියාණන්වහන්සේගේ හඬ සහ ආත්මයාණෝ එය සහතික කළ සේක.GrHSin 394.2

    උන්වහන්සේගේ ගෝලයෝ තම ප්‍රේමණීය ගුරුවරයාණන්ට ඉත සිතින් ආදරය කිරීම අඛණ්ඩව කරගෙන ගියෝය. එසේ වුවද, ඔවුන්ගේ මනස් අනුමානයෙන් සහ සැකයෙන් පිරී තිබුනේය. සිත් තැවුලෙන් පෙලී සිටීම නිසා ක්‍රිස්තුස්වහන්සේ පැවසූ වදන් ඔවුන්ගේ මතකයට ආවේ නැත. තමන්වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන යේසුස්වහන්සේ විසින් ඔවුන්ව දැනුවත් කර තිබුණ නමුත් ඔවුන්ගේ මතකයට ඒ වචන යොමු වූයේ නැත. නාසරිය යේසුස්වහන්සේ සැබෑ මෙසියස්වහන්සේ වූ සේක් නම්, තමන් මෙසේ සෝ සයුරේ සහ කළකිරීමේ ගිලී යනවා ඇද්ද? ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ උන්වහන්සේගේ උත්ථානය අතරේ තිබූ සබත් දවසෙහි ක්‍රිස්තුස්වහන්සේ සොහොන් ගැබෙහි සිටි අතර ගෝලයන්ගේ සිත් වේදනාවට පත්කළ ප්‍රශ්නය වූයේ එයයි.GrHSin 394.3

    දුක් දොම්නසෙහි රාත්‍රියේදී දැඩි අඳුරු වලාවක් ගෝලයන් වසාගෙන සිටි නමුත් යේසුස්වහන්සේ ඔවුන් අතහැර දමා තිබුණේ නැත. දිවැසිවරයා මෙසේ පවසයි:” මා අඳුරෙහි හිඳින කළ ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටින සේක…... උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත. මම ද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි” ” අන්ධකාරය ඔබගෙන් කිසිවක් නො සඟවයි, රාත්‍රියද දවල් මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය” ” සත්පුරුෂයාට අන්ධකාරයේදී ආලෝකය උදා වේ,” ” අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි; ඔවුන් නොදන්නා මාවත් වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එලිය කොට ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි. ඔවුන් අත් නාරින්නෙමි.” ( මීකා 7: 8, 9; ගීතාවලිය 139: 12; 112:4; යොසායා 42:16).GrHSin 395.1

    දෙවි සමිදාණන්ගේ ශ්‍රී නාමයෙන් ගෝලයන් විසින් කරන ලද ප්‍රකාශන දැනුම් දීම සෑම අංගයකින්ම නිවැරදි විය. එම ප්‍රකාශනයන්හි අඩංගු සිද්ධීන් ඒ වනවිටත් සිදුවෙමින් පැවැතියේ ය. ” කාලය සම්පූර්ණ විය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය” යනු ඔවුන්ගේ පණිවිඩය විය. කාලයේ අවසානය, එනම් දානියෙල් 9 හි සඳහන් සති සැට නවයක් ගෙවී ගිය පසු මෙසියස්වහන්සේ එනම් ආලේපලත් තැනැන්වහන්සේගේ දවස උදාවිය. මෙම අවස්ථාවේදී ක්‍රිස්තුස්වහන්සේ යොහන් වෙතින් යොර්දාන් නදියෙහිදී බෞතීස්මය ලැබූ සේක. ලංව තිබෙන්නේ යයි ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සමගම ස්ථාපිත කරනු ලැබීය. ඔවුන්ට උගන්වා තිබූ පරිදි එම රාජ්‍යය භූමික දහනක් නොවීය. එහෙත් එවැන්නක් ගැන ඔවුහූ විශ්වාස කළෝය. එය අනාගතයේදී එන්ට තිබෙන්නාවූ රාජධානිය පිළිබඳව ද නොවීය. ” අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනඟට දෙනවා ඇත.” ඒ අතර මේ පණිවිඩය ඒ ගැන නොවීය. එම සදාතනික රාජ්‍යයේ ” සියලුම ආණ්ඩු ද උන්වහන්සේට සේවයකර කීකරු වනවා ඇත.” (දානියෙල් 7:27). “දෙවියන්වහන්සේගේ රාජ්‍යය” යනුවෙන් ශුද්ධ බයිබලයේ භාවිතා කරන්නා වූ වචන දක්වන්නෙ අනුග්‍රහයේ රාජ්‍ය හා තේජසේ රාජ්‍යයක්ය. කරුණා අනුග්‍රහයේ රාජ්‍ය ගැන පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ සඳහන් කරයි. අනුකම්පාවෙන් නොඅඩුව සගයේ සිටින්නාවූ මැදහත්කාරයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ගැන හැඳින්වීමක් කරන්නා වූ පාවුල් අපට මෙසේ අනුශාසනා කරයි. ” එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බ වෙන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.” (හෙබ්‍රේව් 4:16) කරුණා-අනුග්‍රහයේ සිංහාසනයෙන් කරුණා-අනුග්‍රහයේ රාජ්‍යයක් නිර්දේශ කෙරේ. මක්නිසාද සිංහාසනයක් ඇති තැනක රාජ්‍යයක්ද තිබේ. උපමාවක් කියාදීමේදී ” ස්වර්ග රාජ්‍යය” යන්න ක්‍රිස්තුස්වහන්සේ බොහෝ අවස්ථාවලදී යොදා ගත් සේක. මිනිස් හදවත් තුළ දිව්‍ය කරුණා-අනුග්‍රහයේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කිරීමට උන්වහන්සේ එයින් අදහස් කළ සේක.GrHSin 395.2

    එසේම තේජසේ සිංහාසනය මගින් නිරූපණය කරන්නේ තේජස් මහිමශ්‍රීයේ රාජ්‍යයයි. ගැලවුම්කාරයාණන්ගේ වදන්හි එය මෙසේ විස්තර කෙරේ. “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේව දූතයන් සමග තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳින සේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය.“( මතෙව් 25:31,32). මෙම රාජ්‍ය පිහිටුවීම තවමත් අනාගතයේදීය. ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමෙන් පසුව පමණක් මෙම රාජ්‍ය පිහිටුවනු ලබන්නේය.GrHSin 396.1

    මිනිසා පාපයට වැටීමත් සමගම කරුණා අනුග්‍රහ රාජ්‍ය පිහිටවනු ලැබීය. වරදකාර ජාතියට ගැලවීම ලබාදීම උදෙසා වැඩ සැලැස්මක් එවිට ස්ථාපිත කරන ලදී. එය දෙවියන්වහන්සේගේ පොරොන්දුව මතද, උන් වහන්සේගේ අභිප්‍රාය උදෙසාද නිර්මාණය කරන ලද රාජධානියකි. ඇදහිල්ල කරණකොටගෙන මිනිසාට එම රාජ්‍යයෙහි යටත් වැසියන් වීමට අවස්ථාව ලැබේ. එහෙත් එය නීත්‍යානුකූලව ස්ථාපිත කිරීම ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තෙක් සිදු නොවීය. තව සේවා මෙහෙවරය තම භූමි තලයෙහි ආරම්භ කිරීමෙන් පසුව වුවද, මිනිසුන්ගේ දැඩි මුරණ්ඩුකම සහ අකෘතඥකම නිසා වෙහෙසට පත් ගැලවුම්කාරයාණෝ ස්වකීය පූජාව ඉටු නොකර සගයට ආපසු යාමට වූ සිතුවිල්ලකින් පෙලී යන්නට පුළුවන්කම තිබුණි. දුක් විපත්තියෙහි ශෝචනීය කුසලාන ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී හස්තයෙහි වෙව්ලන්ට විය. දැඩි සිත් වේදනාවකින් ගෙත්සෙමන උයනෙහි සිටී උන්වහන්සේ දැඩි මානසික චින්තනයකින් කම්පා වූ සේක. තමන් දෙන්නා වූ දීමනාව පිළිගැනීමට තරම් මිනිසා කෘතඥ වන්නේ නැතිනම් තම නළලෙහි වූ රුධිරය මුසු දහඩිය පිස දමා මනුෂ්‍යයාට තමන්ගේ දුෂ්ටකමෙහිම විනාශ වෙන්නට ඉඩ හැර ආපසු සගයට යාමට උන්වහන්සේට පුළුවන්කම තිබුණි. උන්වහන්සේ එසේ කළ සේක් නම්, වැටී ගිය මිනිස් වර්ගයාට ගැලවීමක් කිසි කලෙක උදාවන්නේ නැත. එහෙත් ගැළවුම්කාර සමිදාණෝ තම ජීවිතය පූජාවක් ලෙස ඔප්පු කරමින් ” තීන්දු වුණේය” කියමින් අවසන් හුස්ම හෙලූ විට ගැලවීමේ සැලැස්මෙහි ඉටුවීම සහතික විය. ඒදන් උයනෙහි සිටි යුවලට වූ ගැලවීමේ පොරොන්දුව වලංගුතාවට පත්විය. දෙවියන්වහන්සේගේ පොරොන්දුව මත පිහිටුවනු ලැබූ කරුණා-අනුග්‍රහ රාජ්‍ය එවිට ස්ථාපිත විය.GrHSin 396.2

    ගෝලයන්ගේ බලාපොරොත්තුව වූයේ ක්‍රිස්තුස්වහන්සේ පොලොව මත දේව රාජ්‍යය පිහිටුවනවා ඇත යන්නය. උන්වහන්සේගේ මරණයත් සමගම ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනාවන් සුනු විසුනු වී ගියේය. එහෙත් සත්‍ය වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය මගින් දේව රාජ්‍යය සදහටම පිහිටුවනු ලැබීමය. ඔවුන්ගේ බලාපොරොත්තුව සුන් කිරීමක් ලෙස සලකන ලද එම සංසිද්ධිය ඔවුන්ගේ විශ්වාසය නිවැරදි බවට සාක්ෂියක් විය. ශෝකයෙන් වැලපීමටත්, බලාපොරොත්තු නැති වීමටත් හේතු වූ එම සිද්ධියම, ගෝලයන්ටත් එසේය මිනිස් පරපුරේ ආදම්ගේ සෑම දරුවෙකුටත් සුගතිය උදාකර දෙන්නාවූ දොරටු විවෘත කිරීමක් බවට පත් විය. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය නම් වූ එම සිද්ධිය නිසාම අනාගත ජීවිතයත්, ප්‍රීතියත් සෑම පරම්පරාවක්ම විසූ දෙවියන්වහන්සේගේ දරුවන්ට දොරටුව විවෘත කර දුන්නේය.GrHSin 397.1

    ගෝලයන්ගේ සිත්සතන් බලාපොරොත්තු කඩවීමකින් අවපාතයකට පත් වුවද, අනන්ත වූ මෛත්‍රි-කරුණාවෙහි අභිමතාර්ථය ඉටු වෙමින් පැවතියේ ය. ඔවුන්ගේ හදවත් කරුණා-අනුග්‍රහයෙන් කිතුනු සමිදාණන් විසින් දිනා ගෙන තිබුණද, වෙනත් කිසිම මිනිසෙක් කතා නොකළ ආකාරයේ බලය උන්වහන්සේගේ ඉගැන්වීම තුළ දැක ගැනීමට හැකියාව තිබුණ ද, යේසු සමිදාණන් කෙරෙහි වූ ආදරය නැමැති මිශ්‍ර රත්රන් සමග ලෞකික අභිමානයත් ආත්මාර්ථකාමී කීර්තිය සහ යසස් අභිලාසයත් ඔවුන් තුළ කලවම්ව තිබුණේය. අන්තිම පාස්කු මංගල්‍යය පැවැත්වූ කාමරය තුළ ගත කළ ශුද්ධවූ අන්තිම පැය හිදීද ගෝලයන්ගේ ගුරු දේවයාණන් ගෙත්සෙමනේ සෙවනැලි අතරට පිවිසෙමින් සිටි ඒ පැයේදීද ඔවුන් අතරින් වඩා උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුන් දැයි යන්න ගැන ගෝලයන් අතරේ විවාදයක් ඇති විණි. (ලූක් 22:24). ඔවුන්ගේ චින්තනය තුල රජකම් කළේ සිහසුන, ඔටුන්න සහ තේජස යන කරුණුය. එහෙත් ඔවුන් ඉදිරියෙහි භූමිකා මැවීමට නියමව තිබුණේ උයනෙහි විඳින්නට සිදුවන්නාවූ ලැජ්ජාව සහ දොම්නසත්, විනිශ්චය ශාලාවෙහි දුක් කන්දරාවත්, කල්වාරි කුරුසියෙහි සංතාපයත්ය. එකල ජනප්‍රියව පැවැති සාවද්‍ය ඉගැන්වීම් දැඩිකොට අල්වාගෙන සිටි ඔවුන්ට එයින් බැහැර වීමට ඔවුන්ගේ සිත් තුළ තිබූ අහංකාරයක් ලෝක යශෝරාවයට වූ පිපාසාවත් ඉඩ දුන්නේ නැත. එහෙත් තමන්වහන්සේගේ රාජ්‍යයෙහි සත්‍ය යථාර්තය ගැලවුම්කාරයාණෝ පෙන්වා දී තිබූ සේක. එම රාජ්‍යය ස්ථාපිත කිරීමට නම් තමන් දුක් වේදනා විඳිය යුතු බවත්, තමන් ජීවිතය පවා පූජා කළ යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කොට තිබුණි. එහෙත් උන්වහන්සේගේ වචන තැකීමට ඔවුන්ගේ සිත් ඉඩ දුන්නේ නැත. ගෝලයන්ගේ චින්තනය නිවැරැදි මාවතට ගැනීමට නම් ඔවුන්ව පරීක්ෂාවට භාජනය වීමට ඉඩ හැරීම අවශ්‍යතාවක් විය. තමන් විසින් ප්‍රකාශයට පත් කළ යුතු පණිවුඩය පිළිබඳ වූ දුර්වාබෝධය නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැති වුවද ගෝලයෝ දෙවියන්වහන්සේ විසින් වදාළ අනතුරු ඇඟවීමේ පණිවිඩය දේශනා කළෝය. ඔවුන්ගේ ඇදහිල්ලට දෙවි සමිදාණෝ ඔවුන්ට විපාක දුන් සේක; ඔවුන්ගේ කීකරුකමට ගරු කළ සේක. මළවුන්ගෙන් නැගිටි තම ක්‍රිස්තු සමිඳාණන්ගේ තේජස්ශ්‍රී සුභාරංචිය සෑම ජන කොටසකටම ප්‍රකාශ කිරීමේ කාර්ය භාරය ඔවුන්ට පවරා දීමට නියමිතව තිබුණේය. මෙම උදාර කටයුත්ත ඉටුකිරීමට ඔවුන් සූදානම් කරනු වස් මෙම තික්ත අත්දැකීමට මුහුණ දීමට ඔවුන්ට ඉඩ හරිනු ලැබීය.GrHSin 397.2

    මළවුන්ගෙන් නැගිටීමෙන් පසුව එම්මාවුස් මාර්ගයේදී තමන් ගෝලයන් මුණගැසුණු යේසුස්වහන්සේ, “මෝසෙස්ගෙන්ද සියලූ අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලිවල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන් සේක.” (ලූක් 24:27). ගෝලයන්ගේ හදවත් සසල විය.ඇදහිල්ල නව පිබිදීමකට පත්විය. යේසුස්වහන්සේ තම අනන්‍යතාව පැහැදිලි කිරීමටත් පෙර ඔවුහු ” ජීවමාන බලාපොරොත්තුවකින්, නැවතත් අලුත් දිවියකට” පිවිසුනාහ. ඔවුන් සමග කළ කතාබහේදී උන්වහන්සේගේ අභිමතාර්ථය වූයේ ඔවුන්ගේ දැනුම අවදිකර ඔවුන්ගේ ඇදහිල්ල හා විශ්වාසය” ස්ථීර කරන ලද අනාගතවාක්‍යය කෙරෙහි” ස්ථාපිත කිරීමය. ඔවුන්ගේ මනස් තුල සත්‍යතාව මනාලෙස මුල්බැසගෙන ස්ථාපිතව පිහිටුවාලීමට උන්වහන්සේ බලාපොරොත්තු වූ සේක. තමන්වහන්සේගේ පුද්ගලික සාක්ෂි දැරීම නිසාම පමණක් සිදු වූ කාරණා විශ්වාස කිරීම ප්‍රමාණවත් නොවේ. නමුත් ඒ සඳහා ප්‍රශ්නයකින් තොර සාක්ෂියක් ආදර්ශයක් ලෙස ලබා දී ඇත. ව්‍යවස්ථාවෙහි සංකේත සහ සෙවනැලි මගින් ඉදිරිපත් කළ සාක්ෂි මෙන්ම පරණ ගිවිසුමෙහි අන්තර්ගත දිවැසි වැකි මගින්ද ලබාදී ඇති සාක්ෂි නිසා දිවැසි වැකි විශ්වාස කිරීම පැහැර හැරිය නොහැකිය. ක්‍රිස්තු අනුගාමිකයන්ට තම බුද්ධිය මත පදනම් වූ ඇදහිල්ලක් තිබීම අවශ්‍ය වන්නේ ය. එය ඔවුන් සඳහා ම පමණක් නොව ලෝකයේ වසන්නවුන්ට ක්‍රිස්තුස්වහන්සේ හඳුන්වා දීමටත්, එවැන්නක අවශ්‍යතාවක් පවතී. මෙම දැනුම විකාශනය කිරීමේ ප්‍රථම පියවර ලෙස ක්‍රිස්තුස්වහන්සේ ස්වකීය ගෝලයන්ව යොමුකළේ මෝසෙස්ගේ හා අනිත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි දෙසටය. පරණ ගිවිසුමෙහි ශුද්ධ ලියවිලිවල ගුණාත්මකතාව සහ වැදගත්කම ගැළවුම්කාරයාණන් විසින් අගය කරමින් සාක්ෂි දැරුවේ එලෙසින්ය.GrHSin 398.1

    තමන්ගේ ස්වාමිවූ සමිදාණන්ගේ ආදරණීය මුහුණෙහි ස්වභාවය දෙස නැවත වරක් බැල්ම හෙලූ ගෝලයන්ගේ හදවත්හි කුමනාකාර වෙනස්වීමක් ඇති කිරීමට එය ඉවහල් වීද! මෙයට කලින් තිබූ දැනුමට වඩා පරිපූර්ණ වූ ද, උතුම් ගුණයකින් යුක්ත වූද හැඟීමක් තුළින් “මෝසෙස්ගේ ව්‍යවස්ථාවන්හි සහ අනාගතවක්තෘවරුන්ගේ ප්‍රකාශනයන්හි” පෙන්වා දෙනු ලැබූ තැනැන්වහන්සේ ඔවුන්ට හමුවිය. ඔවුන්ගේ සිත්හි තිබූ අවිනිශ්චිතය, සන්තාපය, සහ බලාපොරොත්තු නැති කම පලාගොස් සැක රහිතකම, සම්පූර්ණ සහතිකය සහ අඳුරු වළාවලින් තොර වූ ඇදහිල්ල රජයන්නට විය. ක්‍රිස්තු සමිදාණන් කුරුසිපත් වීමෙන් පසුව ඔවුහු ” නිතරම එක්රැස්ව දේව මාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ද ආශිර්වාද කරමින්ද සිටීම පුදුමයක් නොවේද. ගැලවුම්කාරයාණන්ගේ අපකීර්තිමත් මරණය ගැන පමණක් දැන සිටි අය ගෝලයන්ගේ මුහුණුවල දුක, වියවුල සහ පරාජය දැකීමට බලාපොරොත්තු වූහ. නමුත් එවැනි දැකුමක් බලාපොරොත්තු වූ ඔවුන්ට දැකගන්ට ලැබුණේ ඉමහත් ප්‍රීතිය සහ ජයග්‍රාහික ස්වභාවයකි. තමන් ඉදිරියෙහි ඇත්තා වූ කාර්යභාරය සඳහා ගෝලයන්ට ලැබුණු සූදානම් වීම කෙතරම් මහත්ද! අත්විඳිය හැකි ඉතාමත් කටුක පරීක්ෂණයක් හරහා ඔවුන් ගමන් කර සිටියහ. මිනිස් දසුන ඉදිරියෙහි බලාපොරොත්තු සියල්ල සුනු විසුණු වී ගිය බව දැකගන්නට ලැබුණ ද, දෙවියන්වහන්සේගේ මෙහෙය ජයග්‍රහි ලෙස ඉටු වී තිබුණි. ඉදිරි කාලයෙහි දී කුමන ආකාර ක්‍රියාවකට හෝ, ඔවුන්ගේ ඇදහිල්ල කලකිරීමකට පත් කළ හැකි වේද? දුක් සයුරෙහි අනන්තයට ගිලී සිටි ඔවුන්ට දැන් ඉමහත් සැනසීම උදා වී තිබිණි, බලාපොරොත්තුවක් ලැබී තිබුණි. එම බලාපොරොත්තුව ඔවුන්ගේ දිවියට ස්ථිරවූත් සුරක්ෂිතවූත් නැංගුරමක් හා සමාන විය. දෙවියන්වහන්සේගේ ප්‍රඥා මහිමයටත්, බලයටත් ඔවුහු සාක්ෂිකරුවන් වූහ. එම නිසාම ඔවුන් ජයෙන් ජයටද සුපිරි ජයටද පත් වූහ.” මරණයටවත්, ජීවිනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට නොහැකි වන්නේ ය“යි ඔව්හු ස්ථිර වශයෙන්ම දැනගත්තෝය. මේ සියල්ලේදී තමා “අතිශයින්ම ජයගන්නෝ වමුව” යි ඔව්හු පැවසූහ. (රෝම 8:38,39,37). “ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය.” (1 පේතෘස් 1:25) අප” වරදට පත් කරන්නේ කවුද? මැරුනෙත් ඒ ඇර මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.” (රෝම 8:33,34).GrHSin 398.2

    ” මාගේ සෙනඟ කිසි කලෙකත් ලැජ්ජාවට පත් නොවන්නෝය“යි දෙවි සමිදාණන් වදාරන සේක. (යෝවෙල් 2:26). ” රාත්‍රියේ හැඬීම් පවතින නුමුත් උදය ප්‍රීතිය පැමිණෙන්නේය.“( ගීතාවලිය 30:5). යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටියාවූ අවස්ථාවේදී තමන්ගේ මිදුම්කාර සමිදාණන් මුණ ගැසුණු ගෝලයෝ උන්වහන්සේගේ වදන් වලට ඇහුම්කන් දුන් විට ඔවුන්ගේ සිත් දැවී ගිය බව පැවසේ. තමන් වෙනුවෙන් තුවාල කරනු ලැබූ උන්වහන්සේගේ හිසත්,අත් දෙකත්, පා දෙකත් දෙස ගෝලයෝ අවධානයෙන් යුතුව නෙත් හෙලූහ. ස්වර්ගාරෝහණයට පෙර උන්වහන්සේ තම ගෝලයන්ව බෙතානිය තෙක් කැන්දාගෙන ගිය සේක. එවිට උන්වහන්සේ දෑත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කරමින් ඔවුන්ට මෙසේ අණ කළ සේක.” නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න.” ඒ සමගම උන්වහන්සේ මෙසේ ද පැවසූ සේක. ” මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි.” (මාර්ක් 16:15; මතෙව් 28:20). පොරොන්දු ප්‍රකාර පෙන්තකොස්ත දවසෙහි සැනසිලිදායකයාණන් ගෝලයන් මත පැමිණි කල, ඉහළින් පැමිණෙන්නා වූ බලය ඔවුන් මත්තෙහි පිහිටා සිටි සේක. ඉහලට ඔසවාගනු ලැබූ ස්වාමීන්වහන්සේගේ අභිමුඛය තමන් සමග සිටින්නේය යන දැනගැන්ම මගින් ඇදහිලිවන්තයන් ගේ ආත්ම මහත් උද්දාමයට පත් විය. යේසු සමිදාණන්ගේ ගමන් මග මෙන්ම ඔවුන්ගේ ඉදිරි මාර්ගයද වධහිංසා සහ මරණය ඉරණම් වූ ක්‍රියාවේදයක් විය. එහෙත් උන්වහන්සේගේ කරුණා-අනුග්‍රහයේ ප්‍රචාරක සේවාවේ අවසානයේදී හිමිවන්නාවූ “තේජස් මහිමශ්‍රීයේ ඔටුන්න” වෙනුවට ඔවුන් මුලදී අපේක්ෂා කළ ලෞකික සිහසුනක යසස්ශ්‍රීය හුවමාරු කරගැනීමට ඔවුන් තුළ සූදානමක් නොවීය. දමිටුකමේ ජයග්‍රහක කිරුළ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊමේදී ප්‍රදානය කරනු ලබන්නේ ය. අපගේ දෙවියන්වහන්සේ ” අප ඉල්ලන නොහොත් සිතන සැම දේට වඩා ඉතා අධික ලෙස කරන්නට බලය ඇත්තා වූ තැනැන්වහන්සේ” ය. උන්වහන්සේ ස්වකීය ගෝලයන්ට තමන්වහන්සේගේ දුක් විඳීමෙහි සහභාගීකමත්, ස්වකීය ප්‍රීතියෙහි එක්සත්කමක් ලබා දුන් සේක. එකී සහභාගිකමෙහි ප්‍රීතිය නම්, බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේගේ දිව්‍ය තේජසට ගෙන ඒමය. පාවුල් මෙසේ පවසයි: ” මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක” මෙම තාවකාලික කරදර - බාධක අතිශයින් ඉක්මවා සදාතනික තේජස් සම්භාරයට මග සලසයි.GrHSin 399.1

    යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේදී “රාජ්‍යයේ සුභාරංචිය” දේශනා කිරීමෙන් ලැබූ අත්දැකීම හා සමාන වූ අත්දැකීමක් දෙවැනි ඊමේ පණිවිඩය ප්‍රකාශ කළාවූ අයටද අත් විය. කාලය එළැඹ ඇත. දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව තිබේ යැයි කියමින් ගෝලයන් සුබසුන රැගෙන ගම් නියම්ගම් කරා ගමන් ගත් ලෙසම විලියම් මිලර් සහ ඔහුගේ සහායකයෝද දිවැසි ප්‍රකාශන පණිවිඩය රැගෙන නා නා පෙදෙස් කරා පා නැගූහ. ශුද්ධ බයිබලයේ අන්තර්ගත වඩාත්ම දිගු කාලයක් හා සම්බන්ධ අනාගතවාක්‍යය සඳහන් කළ කාලවකවානුව නිමවීමට ආසන්න බව ද, විනිශ්චය එළැඹ ඇති බව ද, සදාතන රාජ්‍යය පිහිටුවීමේ දවස ළංව තිබේ යැයි ද කියමින් ඔවුහු දම් දෙසූහ. යේසුස්වහන්සේගේ දහම් පණිවිඩය පදනම්ව තිබුණේ දානියෙල් 9 වන පරිච්ඡේදයේ සති හැත්තෑවෙහි කාලය සම්පූර්ණවීම මත ය. දානියෙල් 8:14 හි සඳහන් දවස් 2300හි වකවානුව නිමාවට පත් වීමේ කාලය එළැඹ ඇතැයි මිලර් සහ ඔහුගේ සහායකයෝ දේශනා කරන්නට වූහ. මේ පණිවිඩය සඳහා පදනම වූයේ ඒ දිගු කාලීන අනාවැකියෙහි වෙනත් කොටසක් සම්පූර්ණ වීම ය.GrHSin 400.1

    මුල්කාලීන ගෝලයන් මෙන්ම විලියම් මිලර් සහ ඔහුගේ හවුල්කරුවෝද තමන්ගේ දෙසුම් හි අන්තර්ගතය පිළිබඳව මුළුමණින්ම මනාසේ අවබෝධ කර ගෙන නොසිටියෝය. සභාව තුල දිගුකලක් මුල් බැස තිබූ වැරදි ආකල්පයක් නිසා දිගුකාලීන අනාවැකියෙහි විශේෂ සංසිද්ධියක් පිළිබඳව නිවැරදි තීරණාත්මක නිගමනයකට පැමිණීමට ඔවුන්ට නොහැකි විය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ භාරයට පත් කළ පණිවිඩය ලෝකයා වෙත ගෙන යාමට ඔවුන් ක්‍රියා කළ නමුත් එහි තේරුම පිළිබඳව වූ වැරදි අවබෝධයන් නිසා ඔවුහු මහත් කලකිරීමට පත්වූහ.GrHSin 401.1

    ” රෑ දාවල් දෙදාස් තුන්සීයයක් පසුවන තුරුය; එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය” යන දානියෙල් 8:14 හි අනාවැකිය පැහැදිලි කර දීමේ දී එකල පැවති ජනප්‍රිය ඉගැන්වීම අනුව යමින් ශුද්ධස්ථානය යනු අපගේ පොළෝතලයය යන තීරණයෙහි ඔවුහු පිහිටා සිටියෝය. ඒ අනුව ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම යනු ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවෙනි ඊමේදී පොළෝ තලය ගින්නෙන් පවිත්‍ර කරනු ලැබීම යයි මිලර් විශ්වාස කළේය. දවස් 2300 දිවැසි ප්‍රකාශනයෙහි අවසන් දිනය පැහැදිලිව ගණනය කර බලා ඔහු තීරණය කළේ එම දිනය යේසුස් වහන්සේගේ දෙවන ඊමේ දවස වනවා ඇත යන්නය. ශුද්ධස්ථානය යන්න කුමක්දැයි ජනප්‍රිය මතය අනුව තීරණය කිරීම නිසා ඔහුගේ නිගමනය වැරදි විය.GrHSin 401.2

    ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත පූජාව සහ පූජක කර්තව්‍යය පෙන්නුම් කර දීම ශුද්ධස්ථාන සේවා පද්ධතියෙහි අරමුණ විය. චක්‍රීය ලෙස අවුරුද්ද පුරාම කරන ලද සේවාවන්හි අන්තිම මෙහෙය වූයේ උත්තම පූජකයා විසින් ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම ය. එය සමගි කිරීමේ කර්තව්‍යයෙහි අන්තිම ක්‍රියාදාමය විය. ඊශ්‍රාය‍ලේ ජනතාවගේ පාප ඉවත් කිරීම එම ක්‍රියාවෙන් පෙන්නුම් කළේය. තවද අපගේ උත්තම පූජකයාණන් සගයේ කරන්නා වූ මැදහත්කාරකම් කිරීමේ සේවාවෙහි අවසන් කාර්යය එයින් සංකේතවත් විය. ස්වර්ගීය ලේඛනයන්හි වාර්තා කර ඇති දේව ජනතාවගේ පාප මකා හැරීම එයින් පෙන්නුම් කළේය. මෙම කර්තව්‍ය සෝදිසි කිරීමක් හා විනිශ්චයක් සිහි ගැන්වීය. සගයේ සිදුවන්නාවූ මෙම තේවා මුරය අවසන් වීමත් සමඟම මහත් බලයෙන් සහ තේජශ්‍රීය මහිමයෙන් යුතුව වළාකුළු වලින් මෙලොව කරා පැමිණෙන්නාවූ ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන ඊම සිදුවීමට නියමිතය. මක්නිසාද උන්වහන්සේගේ දෙවන ඊම සිදුවන්නේ සෑම කිතුණුවෙකුම පිළිබඳ ඉරණම් තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුවය. යේසු සමිඳාණෝ මෙසේ පවසන සේක: “එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ.” ( එළිදරව් 22:12). පුනරාගමනයට පෙර සිදු විය යුතු සේවාව වන්නේ මෙම විනිශ්චයෙහි නිමාවයි. මේ පිළිබඳව එළිදරව් 14:7 හි ප්‍රකාශ කර ඇත. ඒ මෙසේය” දෙවියන්වහන්සේට භය වී උන් වහන්සේට මහිමය දෙන්න. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණුනේ ය.”GrHSin 401.3

    මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කළ අය නිවැරදි පණිවිඩය නියමිත වේලාවට ප්‍රචාරය කර හැරියෝය. ” කාලය සම්පූර්ණ විය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය” යන ප්‍රකාශයෙහි තේමාව දානියෙල් 9 හි අනාවැකිය මත පිහිටා තිබිණ. එහෙත් ඔවුන්ට අවබෝධ කරගත නොහැකි නිමිත්ත වූයේ මෙසියස්වහන්සේගේ මරණය ද එම අනාවැකියෙහි පෙන්නුම් කරදී ඇති කරුණය. මෙයාකාරයෙන් ම මිලර් සහ ඔහුගේ සහායකයන් දානියෙල් 8:14 හි සහ එළිදරව් 14:7 හි පණිවිඩය ප්‍රකාශයට පත් කළද එම පණිවිඩය හා බැඳි තවත් පණිවිඩ එළිදරව් 14 හි ඇති බව ඔවුන්ගේ අවධානයට හසු නොවීය. එම පණිවිඩද ‍ක්‍රිස්තු පුනරාගමනයට පෙර ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය බව ඔහු ඒත්තු නොගත්තේය. සති හැත්තෑව අවසානයේදී පිහිටුවීමට නියමිත රාජ්‍ය පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් තුළ වැරදි අවබෝධයක් තිබූ ආකාරයෙන්ම දවස් 2300හි අවසානයේදී ඇතිවන්නා වූ සිද්ධිය සම්බන්ධයෙන් ද දෙවෙනි ඊම බලා සිටියා වූ අයවලුන් අතර ද දුර්වාබෝධයක් විය. ජනප්‍රිය වැරදි මත පිළිගැනීම හෝ ඒවාට ගැතිවීම දෙපාර්ශවයටම ඒකාකාරව බලපෑ නිසා බැතිමතුන්ගේ මනස් සත්‍යතාව කෙරෙහිව අන්ධ ලෙස ක්‍රියාත්මක විය. ලෝකයාට ලබා දිය යුතු පණිවිඩ ඔවුන්ට ලබාදෙමින් කණ්ඩායම් දෙකම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කළෝය. දෙපාර්ශවයම තමන්ගේ වැරදි අවබෝධය නිසා කළකිරීමට පත් වූවෝය.GrHSin 402.1

    විනිශ්චය පිළිබඳව අනතුරු ඇඟවීමේ පණිවිඩය එය ලබා දුන්නා ආකාරයෙන් මිනිසුන්ට ලැබීමට ඉඩහැරීම මගින් දෙවියන්වහන්සේ තමන්ගේම අරමුණ ඉටු කරගත් සේක.එම සුවිශේෂී දිනය ළං ව තිබුණේ ය. නියමිත දවසකදී සිදුවන්නාවූ විනිශ්චයක් ගැන දැනුම් දීම මගින් මිනිසුන්ගේ හදවත් හි තිබූ දෑ එළිදරව් කිරීම දේව මගපෙන්වීමේ අරමුණ විය. සභාවෙහි යථාර්ථ තත්ත්වය සෝදිසි කිරීමත් ඇයව පවිත්‍ර ස්වභාවයකට ගෙන ඒමත් පණිවිඩයෙහි පරමාර්ථය විය. ඔවුන්ගේ ඇල්ම හා බැඳීම් යොමුවී ඇත්තේ මේ භෞතික ලෝකය කෙරෙහිද නැත්නම් ක්‍රිස්තුස්වහන්සේ හා සගය කෙරෙහිද යන්න තීරණය කරගැනීමට මගපෙන්වීමට මෙම පණිවිඩය උපකාරී විය. බැතිමතුන් සැවොම තමන් ගැළවුම්කාර සමිදාණන්ට ආදරය කරන බව ප්‍රකාශ කලද එය ඔප්පු කිරිමට දැන් කාලය එළඹ තිබුණේය. තමන්ගේ ලෞකික බලාපොරොත්තු සහ පැතුම් අතහැර දමා තම මිදුම්කාර සමිදාණන්ගේ දෙවෙනි පැමිණීම ප්‍රිතියෙන් යුතුව පිළිගැනීමට ඔවුන්ට හැකියාවක් වේද ? ඔවුන්ගේ සත්‍යවාදී ආත්මික තත්වය බුද්ධිමත් ලෙස වටහා ගැනීමට උපකාරී වීම මෙම පණිවිඩයෙහි අරමුණ විය. එම පණිවිඩය සගයෙන් මෙලොව ජනතාවට එවන ලද්දේ කරුණා-මෛත්‍රියෙන් යුතුවය. එහි අරමුණ වූයේ සෑම අයෙකුම පසුතැවීමෙන් සහ යටහත් පහත් කමින් යුතුව දෙවි සමිදාණන් සොයා යෑමය.GrHSin 402.2

    පණිවිඩය පිළිබඳව අනවබෝධයේ ප්‍රතිඵලයක් නිසා ඇති වූ කළකිරීම ඔවුන්ගේ යහපත සඳහා යොදවන ලදී. පණිවිඩය පිලිගත්තා යයි ප්‍රකාශ කළ හදවත් සෝදිසියට ලක් කිරීමට එම පණිවිඩය මාර්ගෝපකාරී විය. කළකිරීමට පත් වූ ජනතාව තමන්ගේ අත්දැකීමට ආයුබෝවන් කියා දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි තිබූ විශ්වාසය අතහැර දමාවිද, එසේත් නැත්නම්, යාච්ඥාවෙන් සහ නිහතමානීකමින් යුතුව දිවැසි ප්‍රකාශනයේ වැදගත්කම වටහා ගැනීමට තමන්ට නොහැකි වුණේ මන්දැයි සොයා ගැනීමට වෙහෙසෙයි ද?කී දෙනෙක් බියෙන් මුසු විශ්වාසයකින් ක්‍රියා කළ ද? එසේත් නැතිනම් හදිසි චෛතසික පෙළඹවීමක් නිසා හෝ සිතෙහි ඇතිවූ ආවේගයක් නිසා හෝ එසේ කළෝදැයි දැනගැනීමට බලාපොරොත්තු කඩවීමට පසුව වූ පැවැත්මෙන් විද්‍යාමාන විය. ක්‍රිස්තු සමිදාණන්ගේ පැමිණීම දැකගැනීමට විශාල සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තු වූ බව නොරහසකි. එහෙත් ඔවුන්ට ලෝකයාගෙන් අවලාද හා ගැරහුම් එල්ල වූ අතර ඒවා විඳ දරාගනිමින් බලාපොරොත්තුව රැකගැනීමට ඔවුන් සුදානම්ද? අපේක්ෂිත සංසිද්ධිය ඉටුවීමට තවත් දිගු කාලයක් ගත වුවහොත්, ඔවුන්ගේ විශ්වාසයට කුමක් වේද? ඔවුන් පසුකලෙක තම ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරාවිද ? දෙවියන්වහන්සේ තමන් ජනතාව සමග ක්‍රියා කරන්නාවූ ආකාරය පිළිබඳව ඔවුන්ට එම අවස්ථාවේදීම තේරුම්ගත නොහැකිවීම නිසා උන්වහන්සේගේ වචනයෙහි පැහැදිලි සාක්ෂි මත පදනම් වූ සත්‍යතාවන් පසෙක ලෑමට ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පියවර ගනී ද? GrHSin 403.1

    දෙවියන්වහන්සේගේ වචනය මගින් සහ ශුද්ධාත්මයාණන්ගේ ඉගැන්වීම් මඟින් ඉදිරිපත් කරන ලද්දේ යයි විශ්වාස කළ සත්‍යතාවන් පිළිගනිමින් ඒවා කෙරෙහි ඇදහිල්ල රඳවමින් ඒවාට කීකරු වූ අයගේ අවංක භාවය සහ ශක්තිය මේ පරීක්ෂණය මඟින් දක්වනු ලබනවා ඇත. ශුද්ධ බයිබලයෙහි අන්තර්ගත සත්‍යයන් පැහැදිලි කරදීමට ශුද්ධ බයිබලයට ම ඉඩ හැරිය යුතුය. ශුද්ධ බයිබල් ඉගැන්වීම් වෙනුවට මිනිස් මතවේදයන් සහ විස්තර කිරීම් පිළිගැනීමෙහි අන්තරාව දැනගැනීමට ඔවුන්ට පුළුවන් වන්නේ මෙබඳු අත්දැකීම් වලින් පමණක් ය. ඇදහිලිවන්ත අයගේ වැරදි වලින් ඇතිවන වියවුල හා කණගාටුව මගින් ඔවුන්ගේ වැරැදි හරිගස්සනු ලබනවා ඇත. ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම සහ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම එකම සිද්ධියක සන්ධි-ස්ථානයකැයි වැරදි උපකල්පනයක පිහිටීම නිසා හටගත් ව්‍යාකූල තත්ත්වය සහ ශෝචනීය අත්දැකීම ඇදහිල්ලෙහි දරුවන්ට උදාකළේ වෙනත් අත්දැකීමකි. තමන්ට වැරදුනේ කොතැනදැයි සෙවීමට එම අත්දැකීම ඔවුන්ට බලපෑමක් ඇති කළේය. නිවැරදි අර්ථකථනය සොයායෑමට ඔවුන්ව පොළඹවාලනු ලැබීය. දිවැසි ප්‍රකාශන වඩාත් සමීපව අධ්‍යනය කිරීමට ඔවුන්ව දිරි ගන්වනු ලැබිණි. ස්වකීය ඇදහිල්ලෙහි පදනම සුපරික්ෂාකාරීව හදාරා බැලීමට ඔවුන්ට මඟ පෙන්වන ලදී. කිතුනු ලොවේ බහුතර ජනතාවක් යමක් පිළිගත්තද, විෂයක් සම්බන්ධව ජනප්‍රිය මතවේදයක් පැවැතියද, එවන් ගැන්වීමක් සත්‍යතාවේ ශුද්ධ ලියවිලි මත පදනම් නොවන්නේ නම් ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට ඇදහිල්ලේ දරුවෝ තීරණයක පිහිටා සිටියෝය.GrHSin 403.2

    මුල්කාලීන ගෝලයන් පරීක්ෂාවේ පැයට මුහුණ දීමේදී එහි නිශ්චිත යථාර්ථය නොදැන සිටි ආකාරයෙන්ම මෙකල සිටි බැතිමතුන්ට ද තමන් බලාපොරොත්තු වූ වකවානුවේ දී ක්‍රිස්තුස්වහන්සේ නොපැමිණියේ මන්දැයි වටහා ගැනීමට නුපුළුවන් විය. එසේ වුවද, ගෝලයන්ට මෙන්ම මොවුන්ට ද යථා කාලයේ දී සියල්ලක්ම පැහැදිලිව අනාවරණය කරන ලදී. දෙවියන්වහන්සේගේ මගපෙන්වීම ඔවුන්ට දැක ගැනීමට අවස්ථාව උදා වූ කල්හි තමන්ගේ වැරදි උපකල්පනය නිසා ඇතිවූ කම්පනය සහ වියවුල වුවද දෙවියන්වහන්සේගේ ආදරයේ අභිප්‍රාය ඔවුන් කෙරෙහි නිශ්චිතවම ඉටු වෙමින් තිබෙන බව, ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔවුන්ට පැහැදිලිවම දැකගැනීමට හැකිවිය. ඔවුන් ලැබූ ශෝචනීය අත්දැකීම මගින් ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන් දිරිමත් කරමින් සාක්ෂාත් කළේ උන්වහන්සේ ” දයානුකම්පාවෙන් ද කරුණා- අනුග්‍රහයෙන්ද පරිපූර්ණ ව සිටින” බවය. තවද, ” සමිදාණන්ගේ ගිවිසුමට ශික්ෂාද රකින්නවුන්ට උන්වහන්සේගේ සියළු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.”GrHSin 404.1