Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    32 - සාතන්ගේ මළපත්

    වසර සදහසක් පුරා ක්‍රිස්තුස්වහන්සේ සහ සාතන් අතර පවත්නා මහා අරගලය ඉතා කඩිනමින් අවසානය කරා ඇදෙමින් පවතී. ඒ අතර මේ දුෂ්ටයා ක්‍රිස්තුස්වහන්සේ මිනිසා උදෙසා කරන්නා වූ මෙහෙවරය පරාජය කිරිමටත් මිනිස් ආත්ම තමාගේ ග්‍රහණය යටතේ සුරක්ෂිතව තබාගැනීමටත් තම වෑයම දෙගුණ තෙගුණ කරගනිමින් සටනින් ජය ගැනීමට වෑයම් කරමින් සිටී. ඔහුගේ ඉලක්කය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මැදහත්කාරකමේ සේවාව නිමවී පාපය උදෙසා පූජාවක් තවත් නොපවතින තෙක් ජනතාව අඳුරේ තබමින් පසුතැවිලි වීමෙන් ඔවුන් වළකාලීමය.GrHSin 602.1

    සාතන්ගේ බලයට විරුද්ධව නැගී සිටීමක් නැති කල, ලෝකයේ සහ සභාවේ උදාසීන භාවයක් පවත්නා කල, ඒ ගැන ඔහු සැලකිලිමත් නොවේ. මක්නිසාදයත් එවිට, තමාගේ කැමැත්ත යටතේ මගපෙන්වීම ලබන්නා වූ ආත්ම තමාට අහිමි වේ යයි යන බියක් ඔහු තුළ ඇති නොවන්නේය. ඒ අතර “ගැළවීම ලබන පිණිස මා විසින් කුමක් කළ යුතුද” යන හඬ යම්කිසි තැනකින් ගුවනට මුසුවේද ඔහු වහාම එම ස්ථානය කරා පැමිණේ. එතැනදී හෙතෙම ක්‍රිස්තුස්වහන්සේගේ බල මහිමයට ඉහළින් තමාගේ බලය යෙදවීමටද ගැළවීම සොයන්නාවූ පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වන්නාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලපෑමට විරුද්ධව ක්‍රියා කිරීමටද මහත් වෑයමක් දරයි.GrHSin 602.2

    එක් දවසක් දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ස්වාමීන්ද්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින්නට පැමිණි විට සාතන්ද ඔවුන් අතරට පැමිණි බව ශුද්ධ ලියවිල්ල පවසයි. ඔහු පැමිණියේ සදාතන රාජාති රාජෝත්තමයාණන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී නමස්කාර කිරීමට නොවේ. ඔහුගේ පරමාර්ථය වුණේ දැහැමි අයට විරුද්ධව තම ද්වේෂ සහගත ක්‍රියාවේදයන් ප්‍රගුණ කරගැනීමය. දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට බැතිමතුන් රැස්වන්නාවූ අතරද සාතන් එම ස්ථාන කරා පැමිණ තම අරමුණු ඉටුකරගැනීමට උත්සාහයක යෙදෙන්නේය. අදෘශ්‍යමානව සිටිමින් ඔහු බැතිමතුන්ගේ මනස් තම පාලනය යටතට ගැනීමට නොපසුබස්නා වීර්යයෙන් යුතුව ක්‍රියා කරයි. දක්ෂ යුද්ධ සෙන්පතියෙකු ලෙස ඔහු තම සැලසුම් කලින් සිටම සූදානම් කර ගනී. දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා තම දේශනාව උදෙසා ශුද්ධ ලියවිලි පාඨ සොයන්නා වූ අතරවාරයේදී සාතන් එම දෙසුමෙහි මාතෘකාව පිළිබඳව සැලකිලිමත් වේ. එම මාතෘකාව පිළිබඳව තමා මුළා කරමින් සිටින්නවුන්ට එම දෙසුම යොමු නොවන පිණිස හෙතෙම තම කපටිකමද ප්‍රයෝගයන්ද යොදාගෙන පරිසරය පාලනය කිරීමට වෙහෙස දරන්නේය. මෙම මාතෘකාව පිළිබඳ කරුණු ඉතාම අවශ්‍ය අයෙක් සිටින්නේ නම්, එම තැනැත්තාව එම දවසෙහිදී දෙසුම ඇසීමෙන් වළකාලීමට ඔහු කාරණා යොදයි. එම පුද්ගලයාට එම දෙසුම කරණකොටගෙන සදාතන ජීවනය ලැබීමේ ආශාවක් ඇතිවිය හැකි නම් එය වළකාලීමට යක්ෂයා උපරිම වෙහෙසක් දරයි.GrHSin 602.3

    බැතිමතුන් වටා පැතිර පවතින්නා වූ ආත්මික අන්ධකාරය නිසා විඩාවට පත්ව සිටින්නා වූ දේව දාසයන් කෙරෙහිද සාතන්ගේ අවධානය යොමු වේ. බැතිමතුන් තුළ තිබෙන්නාවූ උපේක්ෂාව, නොසැලකිල්ල සහ උදාසීනකම පහකර අරින්නැයි දේව දාසයන් දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය සහ බලය ඉල්ලා උන්වහන්සේට පුද කරන්නාවූ අවංක යාච්ඤාවන් ඔහුගේ සවනට පතිත වේ. එවිට නව ප්‍රබෝධිත ජ්වලිත කමින් යුතුව ඔහු තම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරයි. ආහාර තෘෂ්ණාවන් අනුව යාමට ඔහු බැතිමතුන් පොළඹවයි. නැතිනම් - ආත්ම ආශාවන් සංසිඳුවා ගැනීමට හෙතෙම බැතිමතුන්ට පරික්ෂා ගෙන දෙවයි. මෙම තෘෂ්ණාවන් සංසිඳුවා ගැනීමේ ක්‍රියාවලියේදී සාතන් ඔවුන්ගේ සිහිය නිදිබර කොට, තීරණය ගැනීමේ හැකියාව උදාසීන කරන්නේය. එමඟින් එවන් අය ඉගෙන ගත යුතු පාඩම් අසා දැනගැනීමේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී යන්නේය.GrHSin 603.1

    යාච්ඤා කිරීම අතපසු කිරීමට සහ ශුද්ධ ලියවිලි ඉගෙනීමට ලැදියාවක් නොදැක්වීමට යම් කෙනෙකු පොළඹවා ගැනීමට හැකිවන්නේ නම් ඔවුන්ව තමාගේ ග්‍රහණයට හසුකර ගත හැකි බව සාතන් හොඳාකාරව දන්නේය. එම නිසා මනස සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු කරවා ලීමට හැකි සෑම උපායක්ම ඔහු භාවිතා කරන්නේය. සමහර අය තමා දේව භක්තිකයන් යයි කියාගනිනි. එහෙත් සත්‍යතාව දැනගෙන එය පැවැත්වීමට ඔවුන් තුළ කැමැත්තක් නැත. ඔවුන්ගේ ආගම වන්නේ තමන් හා එකඟ නොවන්නා වූ අයගේ චරිතයන්හි යම්කිසි වැරැද්දක් සොයා ගැනීම හෝ ඔවුන්ගේ ඇදහිල්ලෙහි යම්කිසි දොසක් සොයා ගැනීමය. මෙවන් අය සාතන්ගේ ඉතා කුළුපග උදව්කාරයෝ වෙති. තම සහෝදරයන්ට වරද පටවන්නන්ගේ සංඛ්‍යාව ස්වල්පයක් නොවෙයි. දෙවියන්වහන්සේ ක්‍රියාත්මකවී සිටින්නා වූ සෑම තැනකම එවන් අය ඉතා කඩිසරව ක්‍රියා කරති. සත්‍ය ප්‍රණාමය පුද කරමින් දේව සේවයේ යෙදෙන්නා වූ සැමට විරුද්ධව ඔවුහු වරද පටවති; සත්‍යතාවට ආදරය කරමින් ඒවාට කීකරුව සිටින්නන්ගේ වචන සහ ක්‍රියාවන්ට වැරැදි අර්ථකථන සපයමින් ඔවුන්ට වරද තබමින් සත්‍යතාව විකෘති කරති. අවංකවූ ද, ඉතා ශ්‍රද්ධාවන්ත වූ ද ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරන්නාවූ ද ක්‍රිස්තු සේවකයන්, රැවටිල්ලකට ගොදුරු වී ඇතැයි ඔවුහු අවලාද නගති; එවන් අය කරන්නේ රැවටිල්ලක් නැති නම් මුළා කිරීමක් කියාද ඔවුහු ඔවුන්ව හෙළා දකිති. බැතිමතුන්ගේ සෑම ක්‍රියාදාමයකම, සත්‍යවූ පරිත්‍යාගයකම අරමුණු විකෘති කරමින් ඔවුන්ට වක්‍ර අන්දමින් වරද පටවමින් වැඩි අත්දැකීමක් නැති අය ඉදිරියෙහි බැතිමතුන් පිළිබඳ සැකය උපදවන ආකාර තත්ත්වයක් ඇතිකරනු ලැබේ. විශුද්ධවූ ද, දැහැමිවූ ද සෑම දෙයක්ම නින්දිත යයිද වංචාකාරී යයිද තදින්ම ඉදිරිපත් කිරීමට, වරද තබන්නේ නිරතුරුවම ක්‍රියාත්මකව සිටිති.GrHSin 603.2

    මෙම දේවල් පිළිබඳව අපි මුළාවට පත්විය යුතු නොවෙමු. දේව දරුවන්ට විරුද්ධව මෙම ක්‍රියාදාමයන් මෙහෙය වන්නේ කාගේ දරුවන් දැයි ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වේ. ඔවුන් අනුගමනය කරන්නේ කාගේ ආදර්ශයක්ද ඔවුන් සහයෝගය දක්වන්නේ කුමන නායකයාට දැයි තීරණය කරගැනීම අපහසු නොවේ. ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය.” (මතෙව් 7:16). විෂ සහිත හී එවීමෙන් අන්‍යයන්ට අවලාද, අපවාද එල්ල කරන්නා වූ “රෑ දාවල් අපගේ සහෝදරයන්ට වරද තබන්නා” වන (එළිදරව් 12:10) සාතන්ගේ ක්‍රමවේදයන්ට මෙවන් අයගේ ක්‍රියාදාමයන්ද සමාන වන්නේය.GrHSin 604.1

    බැතිමතුන් විනාශය කරා යොමු කරවීම බලවත් වංචාකාරයාගේ සහ ඔහුගේ විවිධ නියෝජිතයන්ගේ වෑයම වන්නේය. ඕනෑම ආකාරයක බොරු ඉදිරිපත් කිරීමට ඔවුහු නිතරම සූදානමින් සිටිති. ඔහු විසින් විනාශ කර දැමීම සඳහා තෝරාගත් අයගේ රුචිකත්වය පිනවීම උදෙසා එයට ගැළපෙන ආකාර දුර්මත පිළිගැන්වීමට සාතන්ගේ නියෝජිතයෝ, හැකි සෑම අවස්ථාවේම උපරිම ප්‍රයෝජන ලබා ගනිති. දෙවියන්වහන්සේගේ ගැළවීමේ සේවාව වර්ධනය වෙනවා දැකීමටත් ඒ සමගම තමාද ඉදිරියට යෑමටත් රුචිකත්වය දක්වන්නාවූ කිතුණු බැතිමත්හු විශාල ප්‍රමාණයක් වෙසෙති. අවංක නොවූ නවෝත්පාදනය නොලැබූ අයව මෙම සභා සාමාජිකයන් අතරට එවමින් සැකය, අනුමානය සහ අවිශ්වාසය ඔවුන් අතරෙහි වැපිරවීම සාතන්ගේ සැලැස්ම හා උපක්‍රමය වන්නේය. දෙවියන්වහන්සේ කෙරෙහි සත්‍යවූ ඇදහිල්ලක් නැති අය, උන්වහන්සේගේ ශ්‍රී වචනය කෙරෙහි සම්පුර්ණ විශ්වාසයක් නැති අය, සත්‍යතාවෙහි සමහර ඇදහිලි විශ්වාසයන් පමණක් පිළිගනිමින් ක්‍රිස්තු භක්තිකයන් ලෙස සභා සාමාජිකත්වයට හිමිකම් කියති. මොවුහු ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු ධර්මයන් ලෙස ඔවුන්ගේ ව්‍යාජ දහම් සත්‍ය වූ බැතිමතුන් අතර ප්‍රචාරය කරති.GrHSin 604.2

    සාතන්ගේ ඉතා සාර්ථක මුළාවක් වන්නේ මිනිසුන් කුමක් විශ්වාස කළත් එයින් හානියක් නැති බව විශ්වාස කිරීමට ඔවුන්ට සැලැස්වීමය. යම් අයෙක් සත්‍යතාවය ආදරයෙන් යුතුව පිළිගන්නේ නම්, එමගින් ඔහුගේ ප්‍රාණය සහ ජීවිතය ශුද්ධත්වය කරා යොමු වන බව සාතන් හොඳාකාරව දන්නේය. එම නිසා සත්‍යතාව වෙනුවට ව්‍යාජ මතයන්, උපමා කථා සහ ව්‍යාජ දහම් අඩංගු බොරු ශුභාරංචි පතුරුවනු ලැබීමට ඔහු වෑයම් කරන්නේය. පටන්ගැන්මේ සිටම බොරු දේවල් උගන්වන්නා වූ ගුරුවරුන් සමග නිරතුරුවම වාද විවාද කිරීමට දේව සේවකයන්ට සිදුවී ඇත. බොරු ගුරුවරුන්ට විරුද්ධව දේව සේවකයන් නැගී සිටින්නේ ඔවුන් දුෂ්ට නපුරු අය නිසාම නොවේ. එසේ කරන්නේ ඔවුන් මිනිසුන්ගේ ආත්ම විනාශ කර දමන්නාවූ මාධ්‍යයන් වන නිසාය. ඔවුන් වපුරන්නාවූ දහම් මරණය උදා කරන නිසාය. දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවැතීමෙන් බැතිමතුන් වෙනත් මගකට යොමු කරන්නාවූ ගුරුවරුන්ට විරුද්ධව එලියා, යෙරෙමියා සහ පාවුල්ද අභීතව නැගී සිටියෝය. සත්‍යවූ ආගමික ඇදහිලි ක්‍රමයක් අවශ්‍ය නැතැයි කියමින් නිදහස් මතවාදී දහම් උගන්වන්නා වූ අයට සත්‍යය ආරක්ෂා කරන්නා වූ සභා නායකයන්ගෙන් කිසිම බුරුලක් ලැබුණේ නැත.GrHSin 605.1

    සත්‍යවූ ධර්මය නිසියාකාරව අවබෝධ කරගැනීමෙන් අප වළක්වා ලීමට අපගේ විරුද්ධවාදී ත්‍රස්තවාදියා නොකරන්නාවූ දෙයක් නැත. නොපැහැදිලි වූද නියමයක් නැතිවූ ද කාල්පනික අටුවාවක් මගින් ශුද්ධ ලියවිල්ලට අරුත් සපයමින්, කිතුණු ලෝකයේ ධර්මයන් අතරට භේදකාරි ඉගැන්වීම් ලබාදීමට සාතන් දැඩි උත්සාහයක නිරත වෙමින් ක්‍රියා කරයි. එසේ කරන්නේ සත්‍යය පිළිබඳව නිශ්චිතයකට එළඹීමෙන් බැතිමතුන් වළකාලීමට හා ඔවුන්ගේ මනස් අවුල් කිරීම සඳහාය. ක්‍රිස්තියානි ලෝකයේ සභාවන් අතර විසම්මුතිය නැතහොත් එකඟතාවක් නැති වීම මෙන්ම විවිධාකාර වූ බෙදීම්ද ඇතිව තිබෙන්නේ යම්කිසි ආකාර ජනප්‍රිය ඉගැන්වීමක් පිළිගැනීමට බැතිමතුන්ට මගපෙන්වන පිණිස ශුද්ධ ලියවිල්ලට ඒ අදහස ස්ථිර කිරීමට හැකිවන අන්දමට සකසා ගැනීම නිසාය. හදවතෙහි යටහත් පහත්කමින් යුතුව දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්දැයි කියා සොයා දැනගැනීමට ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරනවා වෙනුවට බොහෝ අය කරන්නේ ශුද්ධ ලියවිල්ලෙහි තමා කලින් දැන නොසිටි අලුත් කියමනක් හෝ යම් නුහුරු දෙයක් සොයා ගැනීමට වෙහෙසීමය.GrHSin 605.2

    තමගේ වරද සහිත ධර්මතාවන් හෝ කිතුණු දහමට එකඟ නැති අදහස් නිවැරැදි යයි ඔප්පු කිරීමට සමහර අය යම් බයිබලීය පාඨ ඒවායේ පෙළ ගැසීමෙන් ඉවතට ගෙන තර්ක ගොඩ නගති. තවත් අය බයිබලීය පාඨයකින් කොටසක් පමණක් ගෙන එමගින් තම ඉගැන්වීම් ස්ථාපිත කරගැනීමට වෑයම් කරති. එහෙත් එම පදයේ ඉතිරි කොටස් එවන් ඉගැන්වීමකට විරුද්ධව කරුණු දක්වන බව ඔවුන් උවමනාවෙන්ම නොතකා හරිති. බොරු ගුරුවරු සර්පයාගේ කපටිකම් අනුව ක්‍රියාකරමින් සම්බන්ධයක් නැති පාඨ පිටුපස රැකවරණය පතමින් බොරුව සත්‍යයක් සේ ගෙන හැර පාති. මෙසේ බොහෝ අය දැන දැනම දේව වචනය විකෘති කොට ඉදිරිපත් කරති. ඒ අතර ක්‍රියානුවේගි පරිකල්පනය ඇති තවත් අය ශුද්ධ ලියවිල්ලෙහි ඇති විවිධ රූප සහ සංකේත භාවිතා කරමින් තමන්ගේ අදහස්වලට ගැළපෙන ආකාර අර්ථ ගෙන දෙමින් මතවාදයන් ගොඩ නගා ගනිමින් ඒවා එසේ උගන්වති. ශුද්ධ ලියවිලි පද යෙදීම සඳහා ශුද්ධ ලියවිල්ලම අර්ථකථනය ලබා දෙන බව දක්වා තිබෙන නමුත් එම සිද්ධාන්තයට කිසිම ගරු සරුවක් දක්වන්නේ නැති මොවුහු තමන්ගේ සිතේ ඇති අදහස් ශුද්ධ බයිබලයේ දහම් ලෙස ඉගැන්වීමෙහි යෙදෙති.GrHSin 605.3

    ශුද්ධ ලියවිල්ල අධ්‍යයනයෙහි යෙදීමේදී යටහත් පහත් ආත්මයද, ඉගෙන ගැනීමට පෙළ ගැසුණු මනසක්ද පෙරදැරිව, යාච්ඤාවෙන් යුක්තව එය ඉගෙන ගත යුතුය. එසේ නොවන්නේ නම් ඉතා සරල වූ මෙම දුෂ්කර වූද ශුද්ධ ලියවිලි කොටස් ඒවායේ නියම අර්ථයෙන් බැහැර වූ වෙනත් අර්ථකථනයට යොමු වන්නේය. තමන් විසින්ම ශුද්ධ බයිබලය හදාරා එහි ශුද්ධවූ සත්‍යතාවන් අවබෝධ කරගැනීමට බැතිමතුන්ට අයිතිය තිබීම වැදගත්ය. මෙසේ නිදහස් චින්තනයකින් ශුද්ධ බයිබලය කියවීමේ අවස්ථාව පැහැර ගන්නාවූ පාප් සමයවාදී නායකයෝ තමන්ගේ අරමුණුවලට අත්වැලක් සපයන්නාවූ බයිබලීය කොටස් පමණක් තෝරාගෙන තම චින්තනයට ගැළපෙන අර්ථකථනයක යෙදෙමින් බැතිමතුන්ට එම ඉගැන්වීම් පමණක් පිළිගන්නැයි විධාන කරති. සම්පූර්ණ ශුද්ධ බයිබලයේ පවසා ඇති ආකාරයෙන්ම එය බැතිමතුන්ට ලබා දිය යුතුය. විශාල ලෙස වැරැදි ආකාරයෙන් බයිබලීය ඉගැන්වීම් ලබාදීමට වඩා බයිබල් උපදෙස් ලබා නොදී සිටීම වඩාත් ඵලදායකය.GrHSin 606.1

    තම මැවුම්කාරයාණන්ගේ කැමැත්ත පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබීමට ආශා කරන සැමට එවැන්නක් ලබා දීම සඳහා ශුද්ධ බයිබලය මිනිසා හට ලබා දෙන ලදි. දෙවියන්වහන්සේ මිනිසාට ස්ථිර අනාවැකි වදන් ලබා දුන්සේක. ඉදිරි කාලයේදී හටගන්නාවූ සිද්ධීන් සම්බන්ධව කරුණු කියා දීමට දේව දූතයන් මෙන්ම ක්‍රිස්තුස්වහන්සේද පැමිණ දානියෙල්ට සහ යොහන්ටද කරුණු පහදා දුන් සේක. අපගේ ගැළවීමට අවශ්‍ය දෑ රහසක් ලෙස වසන් කර තැබීම දේව අභිප්‍රාය නොවීය. සත්‍යතාව සොයා යන්නාවූ අවංක අයව වියවුලට පත්කිරීමත්, නොමඟ යැවීමත් එම වදන් එළිදරව් කිරීමේ අරමුණ නොවීය. හබක්කුක් තුළින් ස්වාමීන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක. “දර්ශනය කියවන්නා ඉක්මණින් කියවන්ට පුළුවන් වන පිණිස.... පැහැදිලි ලෙස ලියන්න.” (හබක්කුක් 2:2). හදවතෙහි යාච්ඤාවකින් යුතුව දේව වචනය හදාරන්නාට එය පැහැදිලිව වටහාගත හැකිවනවා ඇත. සෑම අවංක සත්‍යවාදී තැනැත්තෙක්ම සත්‍යතාවේ ආලෝකයට පැමිණෙනවා ඇත. “ධර්මිෂ්ඨයට එළියත්, අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරන ලද්දේය.” (ගීතාවලිය 97:11). සභාවක බැතිමතුන් අවංකව සැඟවුණු නිධානයක් ලෙස සත්‍යතාව සොයා යන්නේ නැතිනම් එවන් සභාවකට ශුද්ධවන්ත භාවයෙහි දියුණුවක් ලබාගන්නට නොහැකිය.GrHSin 606.2

    නිදහස් මතවාදී ස්වතන්ත්‍රවාදී පුවරුව යටතේ හඬ නගන්නාවූ අය ඇත්ත වශයෙන්ම මුළා කිරීමේ මහා සතුරාගේ මායම් මගින් අන්ධව සිටිති. ඔහු විචාරාත්මක මානව කල්පිතයන් මගින් බයිබලයට අමතර වූ දහම් උගන්වමින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නොතකා හරිති. මෙවන් සභාවන් තමා වර්ධනය කරා යන්නේ යයිද තමා නිදහස්වාදීන් යයි ද කියාගන්නා වූ නමුත් ඇත්ත වශයෙන්ම ඔවුහු පාපයේ වහල්කමෙහි වර්ධනය වෙමින් සිටිති.GrHSin 607.1

    බොහෝ අයට විද්‍යා පර්යේෂණ ශාපයක් බවට පත්ව ඇත. විද්‍යාව සහ කලා ශිල්ප ක්ෂේත්‍රයන් මත දෙවියන් වහන්සේ ඉතා විශාල ආලෝක කන්දරාවක් වගුරවා ඇති සේක. නමුත් ඔවුන්ගේ පර්යේෂණයන් දෙවියන්වහන්සේගේ වචනය මගින් හසුරුවනු ලැබිය යුතුමය. එසේත් නැතිනම් එම ක්ෂේත්‍ර දෙක අතරෙහි වූ සබඳතාව සෙවීමෙහිදී ඔවුන් වියවුල් වනවා නියතය.GrHSin 607.2

    ආත්මික වූද, ද්‍රව්‍යමය වූද දැය සම්බන්ධ වූ මිනිස් දැනුම් සම්පූර්ණ නැත. එම නිසා විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නා වූ මතවේදයන් හා ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු නිශ්චිතයන් අතර අනුකූලතාවක් ගොඩනගා ගැනීම බොහෝ අයට අපහසුතාවයක්ව පවතී. අනුමාන වශයෙන් පවසා ඇති දේ මෙන්ම හිතළු මතයන් ලෙසින් ඉදිරිපත් කර ඇති කරුණු ද විද්‍යාත්මක සත්‍යතාවන් ලෙස බොහෝ අය පිළිගනිති. දැනගැන්මෙහි ප්‍රති විරෝධී මත සහ අදහස් භාවිතා කරමින් දේව වචනය වැරදි ලෙස විද්‍යාව යයි හඳුන්වනු ලබන මේ අදහස් මගින් සෝදිසි කර බැලිය යුතු යයි ඔහු කල්පනා කරති. මැවුම්කා‍රයාණන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ක්‍රියාවේදයන්ද ඔවුන්ගේ දැනුමට හසු නොවේ. මෙම දේවල් ස්වභාවික සිද්ධාන්ත මගින් තේරුම් කරදීම අපහසු නිසා බයිබලීය ඉතිහාසය විශ්වාස කළ නොහැකි යයි ඔවුහු පවසති. පරණ ගිවිසුමෙහි සහ අළුත් ගිවිසුමෙහි අන්තර්ගත වාර්තා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි යයි පවසන්නාවූ අය එතැනින් නොනැවතී තවත් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කරයි. ඔවුහු දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි සැක පහළ කරමින් සොබාදහමට අසීමිත අනන්ත බලයක් පවරා දෙති. අත්තිවාරමෙන් ලිස්සා ඉවතට යන්නාවූ ඔවුහු අවිශ්වාසයේ පර්වත මත හැප්පෙති.GrHSin 607.3

    මෙසේ ඇදහිල්ලෙහි ශුද්ධ මාර්ගයෙන් ඉවතට යන්නා වූ මෙවන් අය රවටනු ලැබ සාතන්ගේ ග්‍රහණයේ දැඩිව හිර වෙති. මනුෂ්‍යයෝ තමන්ගේ මැවුම්කරුවාණන්ට වඩා ප්‍රඥාවන්ත වීමට වෙර දරා ක්‍රියා කර ඇත්තාහ. ඉදිරි සදාතනය පුරා වුවද, එළිදරව් කරනු නොලබන අභිරහස් දේ සොයමින් එම දේවල් විස්තර කරදීමට මිනිස් දර්ශනවාදය වෑයම් කර ඇත. දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේ පිළිබඳවද, තමන් අභිමතාර්ථයන් සහ අරමුණු පිළිබඳවද එළිදරව් කර ඇති කරුණු සොයමින් ඒවා අවබෝධ කරගන්නේ නම්, මිනිසුන්ට යෙහෝවා වහන්සේගේ තේජසත්, මහානුභාව සම්පන්න ආශ්චර්යයත් බල මහිමයත් පිළිබඳව අනගි දර්ශනයක් ලබාගැනීමට හැකිවනවා නියතය. එසේ කිරීමේදී ඔවුන්ට තමන්ගේ සුළු භාවය පිළිබඳ අවබෝධයක් ඇති වී තමා උදෙසාද තම දරුවන් උදෙසාද එළිදරව් කර ඇති දැයින් සෑහීමකට පත්වනවා නියතය.GrHSin 608.1

    අපට වටහා ගැනීමට නොහැකි දේ පිළිබඳව සර්වඥ දැනුම දෙවියන්වහන්සේ සතුය. උන්වහන්සේ විසින් එළිදරව් කර නොමැති කාරණා පිළිබඳව සිතැඟියාවේ මගපෙන්වීම අනුව අදහස් ඇතිකර ගැනීමට මිනිසාව පෙළඹවීම සාතන්ගේ මුළාවගේ අති ප්‍රබල ක්‍රමවේදයකි. ලුසිෆර්ට සගයේ හිමිව තිබූ ස්ථානය ඔහුට අහිමි වුණේ මෙසේ ක්‍රියා කරන්නට තැත් කිරීමෙනි. දෙවියන්වහන්සේගේ අභිරහස්ගත අරමුණු ඔහුට ප්‍රකාශ නොකළ නිසා ලුසිෆර් අසතුටට පත් විය. ඔහුට ලබාදී තිබූ ඉහළ තනතුර හා කාර්යභාරයන් තුළ ඔහුට එළිදරව් කර දී තිබූ ප්‍රමාණයෙන් ඔහු සෑහීමට පත් නොවීය. එම උදාර ප්‍රකාශන නොසලකා හැරීමට වූ තීරණයක ඔහු පිහිටා සිටියේය. ඔහු යටතේ සිටි දේව දූතයන්ගේ තෘප්තිය කැළඹු හෙතෙම අතතිය ඔවුන්ගේ මනස් තුළට කාවද්දා විශාල දේව දූතයන් සංඛ්‍යාවක් ඔවුන් සිටි ස්ථානවලින් ඇද දැමීමට ලූසිෆර් සමත් විය. මිනිසුන්ගේ මනස්ද එම චින්තනය තුළට ඇදගැනීමට සාතන් දැනට ක්‍රියා කරමින් සිටියි. එසේ ක්‍රියා කරන්නා වූ හෙතෙම මිනිසුන්ටද, දෙවියන්වහන්සේගේ සෘජු ආඥාවන් නොසලකා හැරීමට පෙළඹවීමක් කරන්නේය.GrHSin 608.2

    ශුද්ධ බයිබලයේ අන්තර්ගත සරලවූ ද, සිතට කාවැදී යන්නාවුද සත්‍යතාවන් පිළිගැනීමට කැමැත්තක් නොදක්වන්නාවූ අය තම හෘදය සාක්ෂියේ හඬනැගීම් නිශ්ශබ්ද කිරීමට සිත සනසන්නා වූ මිථ්‍යා ප්‍රබන්ධ සොයමින් වෙහෙසෙති. ආත්මික භාවයෙන් අඩු, ආත්ම පරිත්‍යාගයක් ඉල්ලා නොසිටින්නාවූ, නිහතමානී ආත්මයක් අපේක්ෂා නොකරන්නාවු ධර්මතාවන් ඉදිරිපත්වේද, එම දහම් තදින් අල්ලා ගැනීමට ඔවුහු දැඩි උත්සාහයක යෙදෙති, එවන් දහමින් ඔවුහු සෑහීමකට පත් වන්නේය. මාංශික ආශාවන් සංසිඳුවා ගැනීමට ක්‍රියා කරන්නාවූ ඔවුහු තමන් තුළ ඇති ප්‍රඥා බුද්ධි බල මහිමය පහත් කරගනිති. දිව්‍ය මගපෙන්වීම උදෙසා අවංක යාච්ඤාවෙන් සහ ආත්මයේ බලවත් පසුතැවිල්ලකින් යුතුව ශුද්ධ ලියවිලි සොයනවා වෙනුවට තමන්ම මත සහ ප්‍රඥාව කෙරෙහි විශ්වාසය රැඳවීම නිසා ඔවුන්ට සතුරාගේ රැවටිලි වලින් බේරීමට කිසිම රැකවරණයක් නැත. යම් අය ඉල්ලා සිටින්නාවූ, ආත්මික යයි කියන්නාවූ ආශාවන් සපුරාලීමට සාතන් සූදානමින් සිටී. සත්‍යතාව වෙනුවට ඔහු තමාගේ කූට ව්‍යාජ ඉගැන්වීම් ඔවුන්ගේ සිත් තුළට ඇතුල් කරයි. සත්‍යයට අනුගත වීමට කුරුසියක්ද ඇතුළත් වෙයි. සත්‍යය වෙනුවට සිතට සැනසීමක් ලබාදෙන ව්‍යාජ ඉගැන්වීම් තුළින් මනස ග්‍රහණය කරගැනීම සාතන්ගේ අති විශිෂ්ට උපාය මාර්ගයයි. පාප් බලධාරීහු බැතිමතුන් තම වසඟයට ගත්තේ මෙම උපාය මාර්ග අනුගමනය කරමින්ය. ප්‍රොතැස්තන්ත කිතුණුවෝ ද මෙම මාර්ගයම අනුගමනය කරති. තමා ලෝක ස්වභාවයට විරුද්ධ නොවන පිණිස පහසු ක්‍රමවේදයන් සහ ප්‍රතිපත්ති ඉගෙනීමට කාලය මිඩංගු කරමින් දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීම පැහැර හරින්නෝ, සත්‍ය වූ ආගමික දහම් වෙනුවට අතිදුෂ්ට නින්දනීය ධර්ම විරෝධි මිථ්‍යා විශ්වාස වැළඳ ගැනීමට පසුබට නොවෙති. ලෝකයේ ආගමික ඇවතුම් පැවතුම්වලට වෙනස් වූ මත දැරීමට ඔවුන් අකැමැතිය. සත්‍යතාව කැමැත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නාවූ අය සෑම ආකාරයකම වැරැදි ඉගැන්වීම් වැළඳ ගනිති. එක් රැවටිලිකාර මිථ්‍යා ඉගැන්වීමක් දෙස මහා භයකින් සහ තැති ගැනීමකින් යුතුව බලන්නාවූ සමහර අය වෙනත් මිථ්‍යා ඉගැන්වීමක් ආදරයෙන් යුතුව වැළඳ ගනිති. “ගැළවීම ලබන පිණිස වූ ශුභාරංචියේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කළ බැතිමතුන් ගැන පාවුල් මෙසේ කථා කරයි. “ගැළවෙන පිණිස. ඔහු සැබෑ කමට ප්‍රේමවීම පිළිනොගත්තේය. මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුලාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එචන සේක.” (2 තෙසලෝනික 2:10-12) මෙවන් අනතුරු ඇඟවීමේ අනුශාසනාවක් අප ඉදිරියෙහි තබා ඇති බැවින් අප පිළිගන්නේ කිනම් ආකාර දහම් ඉගැන්වීම් දැයි කියා පරික්ෂාකාරීවීම, විමසිලිමත් වීම අප සතු කාර්ය භාරය වන්නේය, වගකීම වන්නේය.GrHSin 609.1

    අපව විනාශය කරා යොමු කරවන, ඒ මහත් රැවටිලිකාරයාගේ තවත් සාර්ථක මුළාවක් නම් භූත විද්‍යාවයි. එහි ඉතා සියුම් රැවටිලිකාර ඉගැන්වීම් සහ ව්‍යාජ හාස්කම් බැතිමතුන් හට විශාල තර්ජනයක් වී ඇත. ආලෝකයේ දේව දූතයෙකු ලෙස වෙස් වළාගන්නා වූ සාතන් ඔහු විසින් කිසිසේත්ම ආක්‍රමණය නොකරතැයි සිතන්නා වූ ස්ථානවල තමාගේ දැළ හෙළන්නේය. සත්‍යතාව තේරුම් ගැනීමේ අභිමතාර්ථයෙන් යුතුව යාච්ඤාව පෙරදැරිව යමෙක් දෙවියන් වහන්සේගේ වචනය හදාරන්නේ නම් බොරු දහම් පිළිගැනීම පිණිස ඔවුන්ට අන්ධකාරයේ සිටීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් මිනිසුන් සත්‍යතාවේ ආලෝකය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් මුළාවට හසුවනවා ඒකාන්තය.GrHSin 610.1

    තවත් භයානක වූ සාවද්‍ය ඉගැන්වීමක් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යතත්ත්වය පිළිබඳව ඇති ඉගැන්වීමය. මෙලොව ඉපදීමට පෙර උන්වහන්සේගේ පැවැත්මක් නොතිබුණ බව එම ඉගැන්වීමෙහි ප්‍රබල සාධකයකි. ශුද්ධ බයිබලය විශ්වාස කරන බව පවසන්නාවූ බොහෝ අය මෙම මතය පිළිගනිති. එසේ වුවද, අපගේ ශුද්ධ බයිබලයේ සනිටුහන් වී ඇති ඉතා සරල ප්‍රකාශනයන්ට එම ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම විරෝධීය. අපගේ ගැළවුම්කාරයාණන් හා ස්වර්ගීය පියාණන්වහන්සේ අතර තිබූ සබැඳියාව ගැනද, උන්වහන්සේගේ දිව්‍ය චරිත ගුණාංග ගැනද උන්වහන්සේ සදාතනයේ පටන් ජීවත් වන්නාවූ කෙනෙකු බවටද අපගේ ගැළවුම්කාරයාණන්වහන්සේ පැවසූ පැහැදිලි සත්‍යයන්ට මේ ඉගැන්වීම් විරුද්ධව පවතියි. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ප්‍රකාශන අනුව එම මතය ඉගැන්වීමක් ලෙස ඉදිරිපත් කළ නොහැකිය. මිනිසාගේ ගැළවීම සඳහා වූ ඒ ක්‍රියාව පිළිබඳව බැතිමතුන්ගේ ආකල්පය එම ඉගැන්වීම මගින් ඉතා පහත් මට්ටමකට ඇද දමනු ලැබේ. එපමණක් නොව දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන ලද පුස්තකයක් ලෙස ශුද්ධ වූ බයිබලය කෙරෙහි වූ ඇදහිල්ලද එමගින් අවතක්සේරුවට ලක් කෙරේ. ශුද්ධ බයිබලයට විරුද්ධව ඉදිරිපත් කරන්නාවූ ඉහත කී ඉගැන්වීම ඉතා භයානකය. මේ වචනය ප්‍රතික්ෂේප කරන්නාට එකී ඉගැන්වීමට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමටද අපහසුය. ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳව දේවානුභාවයෙන් දෙන ලද ශුද්ධ ලියවිල්ලෙහි සාක්ෂි ප්‍රතික්ෂේප කරන අය සමග මේ කරුණු පිළිබඳව තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. කුමන ආකාර හෝ නිශ්චිත වූ ද, තීරණාත්මක වූ ද තර්කයක් ඉදිරිපත් කළද ඔවුන් එය පිළිගන්නේ නැත. “ජම්මික මනුෂ්‍යයා දෙවියන්ව වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළිනොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.” (1 කොරින්ති 2:14). මෙලොවට පැමිණීමට පෙර ක්‍රිස්තුස්වහන්සේ පැවැත්මක් තිබුණේ නැතැයි කියන්නාවූ වැරැදි ඉගැන්වීම පිළිගන්නාවූ කවරෙකු හට හෝ ක්‍රිස්තුස්වහන්සේගේ චරිත’ සොබාවත්, උන්වහන්සේගේ මෙහෙය පිළිබඳවත් සත්‍ය වූ අවබෝධයක් නොමැත. මිනිසාට ගැළවීම උදාකර දීම් වස් දෙවියන්වහන්සේ වූ අති විශාල සැලැස්ම පිළිබඳවත් ඔවුන්ට කිසිම දැනුමක් ලබාගැනීමට නුපුළුවන.GrHSin 610.2

    තවත් ඉතා සියුම් වූ, උපායශීලී ඉගැන්වීමක් වන්නේ සාතන් කියා පුද්ගලයෙක් නොමැති බවය. මෙම අදහස ඉතා ශීඝ්‍රයෙන්, පැතිරෙමින් පවතී. මෙවන් අයෙකු ගැන ශුද්ධ ලියවිල්ලෙහි භාවිත කර ඇත්තේ මිනිසාගේ දුෂ්ට සිතුවිලි හා අභිප්‍රායන් පෙන්නුම් කිරීමට පමණක් බව එම ඉගැන්වීමෙහි අඩංගුය.GrHSin 611.1

    දේශනා කූඩුවෙන් දෝංකාරය දෙන්නා වූ තවත් ප්‍රබල මුසාවක් තිබේ. ජනප්‍රිය දේව ධර්මාචාර්යවරුන් මෙම මුසාවට මුල්තැන ගෙන දෙති. එම ඉගැන්වීම නම් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊම වනාහි යමෙකුගේ මරණයේදී උන්වහන්සේ ඔහු වෙත පැමිණීමය යන්නය. වළාකුළු මත වැඩ හිඳිමින් ක්‍රිස්තුස්වහන්සේ පුද්ගලිකවම මෙලොව කරා පැමිණිමේ විශ්වාසය හා බැඳි සංසිද්ධියෙන් මිනිස් මනස වෙනතකට හරවන පිණිස මෙය සාතන්ගේ තවත් ප්‍රබල මුසාවක් වෙයි. “බලව, උන්වහන්සේ ඇතුල් ගෙවල සිටින සේක” යන්න සාතන් වසර ගණනාවක් පුරා ප්‍රචාරය කර ඇත. මෙම මුළාව පිළිගැනීම නිසා ආත්ම විශාල ගණනාවක් සදාතන විනාශය හිමි කරගෙන ඇත්තාහ.GrHSin 611.2

    යාච්ඤා කිරීම අනවශ්‍ය යයි ලෞකික ආනුබුද්ධිය උගන්වයි. යාච්ඤාවට සත්‍ය වශයෙන්ම පිළිතුරු ලබාගත නොහැකි යයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එය ලෝක පැවැත්මෙහි නීතිවලට පටහැනිය; එවැන්නක් වේ නම් එය හාස්කමකි; ප්‍රාතිහාර්යන්ට නූතන විද්‍යාවේ තැනක් නැත; විශ්වයේ පාලනය නිශ්චිත නීති මගින් සිදුවන්නේ යයි ඔවුහු පවසති. මෙම නීතිවලට පටහැනිව දෙවියන්වහන්සේ කිසිවක් නොකරන සේක යනු ඔවුන්ගේ නිගමනය වන්නේය. උන්වහන්සේ තමන්වහසේම අණ පනත් සහ නීති රීති මගින් සීමා කරනු ලැබ ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ කල්පිතය වන්නේය. දිව්‍ය අණසක ක්‍රියාත්මක කිරීමේදී දෙවියන් වහන්සේගේ නිදහස සීමා කළ හැකිවේද? ශුද්ධ ලියවිල්ලෙහි සාක්ෂි දැරීම්වලට මෙවන් ඉගැන්වීමක් කිසිසේත්ම ගැළපෙන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේන්ගේ ගෝලයෝ හාස්කම් සිදුකළේ නැද්ද? අසීමිත කරුණාවෙන් සහ දයාවෙන් අනූන වූ ගැළවුම්කාරයාණෝ අදත් ජීවත්ව සිටින සේක. උන්වහන්සේ මිනිසුන් අතර දෘශ්‍යමානව එදා ගමන් කළ කාලයේදී මෙන්ම අදත් ඇදහිල්ලේ යාච්ඤාවන්ට ඇහුම්කන් දීමට කැමැත්තෙන් සිටින සේක. ස්වභාවික දැය ලෝකෝත්තර අය සමග අත්වැල් බැඳ ගනී. ඇදහිල්ල පදනම්ව යාච්ඤාවෙන් ඉල්ලා සිටින්නාවූ දැයට පිළිතුරු වශයෙන් එකී ඉල්ලීම් ලබාදීම දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේය. අප ඉල්ලන්නේ නැති නම් උන්වහන්සේ එම ආශිර්වාද සහ දීමනා දානය කරන්නේ නැත.GrHSin 611.3

    කිතුණු ලෝකයේ සභාවන් තුළට ඇතුළු වී ඇති සාවද්‍ය දහම් සහ කාල්පනික මායාකාරි ඉගැන්වීම්ද සුළු පටු නොවේ. දේව වචනය මගින් ස්ථාපිත කරන ලද මාර්ග සලකුණු එකක් හෝ උදුරා දැමීමෙහි විපාකය සහ ආදිනව ගණනය කිරීම අපහසුය. එක සත්‍යතාවක් පමණක් සුළු ප්‍රමාණයකින් පවා ප්‍රතික්ෂේප කරන අය එතැනින් නවතින්නේ නැත. බහුතරයක් සත්‍යතාවන් එකින් එක ඉවත දමමින් අන්තිමේදී සත්‍ය වශයෙන්ම භක්තියක් නැති මිසදෙටුවන්ගේ තත්ත්වය උදා කර ගනිති..GrHSin 612.1

    ජනප්‍රිය දේව දහම් පිළිබඳව ඇත්තා වූ වැරදි ඉගැන්වීම් නිසා අදේවදෘෂ්ඨිකයන් බවට පත්ව සිටින අය ස්වල්ප දෙනෙක් නොවන්නේය. එවැනි ඉගැන්වීම් නොවන්නට ඔවුන් ශුද්ධ ලියවිල්ලේ අනුගාමිකයන්ව සිටිනවා නියතය. යුක්ති සාධාරණත්වය, කරුණාව සහ පරිත්‍යාගශීලීතාවය පිළිබඳව තමන් තුළ ඇත්තාවූ චින්තනයට නිගා දෙන්නාවූ දහම් පිළිගැනීමට ඔවුහු කැමැති නොවෙති. මෙම දහම් බයිබලයේ උගන්වන්නාවූ ධර්මතාවන් ලෙස හඳුන්වා දී ඇති නිසා එම දහම් දේව වදන් ලෙස පිළිගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති.GrHSin 612.2

    සාතන්ගේ අරමුණ වන්නේ දෙවියන්වහන්සේ කෙරෙහිත්, උන්වහන්සේගේ වචනය තුළත් විශ්වාසය රැඳවීම විනාශ කර දැමීමය. ඔහු ඉතාම වැඩියෙන් ආශා කරන්නේ මේ දෙය කිරීමටය. අනුමාන කරන්න වූ මහත් ප්‍රජාවෙහි පළමුවෙනි තැන ගන්නේ සාතන්ය. උපරිම ආත්ම ගණනාවක් තමන්ගේ පාර්ශවයට හිමි කරගැනීමට හෙතෙම උපරිම බලය යොදා ක්‍රියා කරන්නේය. අනුමාන කිරීම අද විලාසිතාවක් බවට පත් වී ඇත. දෙවියන්වහන්සේගේ වචනය පාපයට තරවටු කරමින් එය වරදට පත් කරයි. අවිශ්වාසයෙහි සහ සැකයෙහි නිර්මාතෘවරයා සාතන්ය. බොහෝ අය ඔහු මෙන්ම තමුන්ගේ පව් ගැන වරදට පත්කරනු ලබන නිසා දේව වචනය අනුමාන කිරීමටද,GrHSin 612.3

    සැකමුසු සිතින් එයට සැලකීමටද පෙළ ගැසී සිටිති. ශුද්ධ බයිබලයෙන් ඉල්ලා සිටින්නා වූ සුදුසුකම් වලට කීකරු වීමට නොකැමැති ජනතාව එහි බලඅධිකාරිය අවතක්සේරුවට පත් කරති. ඔවුහු ශුද්ධ බයිබලය කියන්නේ හෝ එහි අඩංගු ඉගැන්වීම්වලට ඇහුම්කන් දෙන්නේ ශුද්ධ ලියවිල්ලේ වැරදි සොයා ගැනීමට හෝ දේශනාවෙහි අඩුපාඩු සොයා ගැනීමටය. තමන්ගේ අහංකාරකම නිසා හෝ අලසකම් නිසා හෝ ඔව්හු අනුමාන වු ද සැක සහිතවූද ප්‍රඥප්ති අනුගමනය කරමින් අදේවදෘෂ්ටීන් බවට පත්වෙති. තමන්ගේ වගකීම් පැහැර හැරීම නිසා පව්කාර ක්‍රියාවන් යුක්ති සහගත යයි පෙන්වා දීමට හෝ නිවැරැදි යයි කරුණු ඉදිරිපත් කිරීමට හෝ සමහරෙක් වෑයම් කරති. එම නිසාම ශුද්ධ ලියවිලිවල ස්ථිරතාවය අනුමාන කරන්නන්ගේ සංඛ්‍යාව සුළු පටු නොවේ. ගරු බුහුමන් ලබමින් සමාජයේ ඉහළම ස්ථරයක සිටීමට විශාල පරිශ්‍රමයක් සහ ආත්ම පූජාවක්ද අවශ්‍යය. ඒ වෙනුවට ශුද්ධ බයිබලය විවේචනය කරමින් එමගින් තමන් සතුවූ සුපිරි ප්‍රඥාවක් ඇතැයි පෙන්වා දීමට ඔහු උත්සාහ කරති. දිව්‍ය ආනුභාවය නැති සීමිත මනසකට වටහාගත නොහැකි කරුණු බොහෝ ඇත. ඒවා පිළිබඳව ඔහු ශුද්ධ ලියවිලි විවේචනය කරන්නට පටන් ගනිති. දේව වචනය විශ්වාස නොකරන්නා වූ, සත්‍යය අවබෝධ කරගැනීමේ බුද්ධි මහිමයක් නැති අදේව දෘෂ්ටිකයන්ගේ පාර්ශ්වයේ හවුල්කරුවන් වීම භාග්‍යයකැයි බොහෝ අය කල්පනා කරති. තමා අවංකකම නැති වැස්මක් පැළඳගෙන සිටින බව දක්වන්නාවූ ඔවුන්ගේ අභ්‍යන්තරයෙහි ඇත්තේ රැවටිලිකාර ආත්ම විශ්වාසයක් සහ අහංකාරකමක් පමණකි. තවත් අයට, තම සිතුවිලි සහ මනස් ව්‍යාකූල භාවයට ඇද දමන්නට හැකිවන්නාවූ දෙයක් ශුද්ධ ලියවිල්ලක් සොයා ගැනීමට වෑයම් කිරීම් ප්‍රීතියක් වී තිබේ. මෙසේ කිරීමෙන් තමා දඩයක්කාරයාගේ මළපතට අසුවන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. ආරම්භයේදීම යම් යම් විරුද්ධවාදී මත දැරීම නිසා, අවිශ්වාසය ප්‍රකාශ කරන ඔහු එම පදනම දිගටම රැකගැනීම තම යුතුකම යයි කල්පනා කරති. මෙසේ අදේව භක්තීන් සමග අත්වැල් බැඳගන්නා ඔවුහු පාරාදීසයේ දොරටු තමන්ට වසා ගනිති.GrHSin 613.1

    ශුද්ධ ලියවිල්ලෙහි දිව්‍ය ස්වභාවය පිළිබඳව දෙවියන්වහන්සේ තමන් වචනය මගින් ප්‍රමාණවත් සාක්ෂි ලබාදී තිබේ. අපගේ ගැළවීම පිළිබඳව වූ උදාර සත්‍යතාවන් ඉතා පැහැදිලි ලෙස එහි ඉදිරිපත් කර ඇත. සත්‍යය අවංකවම තේරුම් ගැනීමට උදව් කරන බවට පොරොන්දු වී ඇති ශුද්ධාත්මයාණන්ගේ සහාය ඇතිව සෑම අයෙකුටම මෙම සත්‍යතාවන් පුද්ගලිකව තේරුම් ගැනීමට පුළුවන. තමන්ගේ ඇදහිල්ල රඳවා ගැනීමට දෙවියන්වහන්සේ විසින් සෑම අයෙකුටම ශක්තිමත් අත්තිවාරමක් ලබා දී ඇත.GrHSin 613.2

    එහෙත් අසීමිත අනන්ත බුද්ධි මහිමයක් ඇති තැනැන්වහන්සේගේ සැලසුම් සහ අභිප්‍රායන් අවබෝධ කරගැනීමට සීමිත මනසක් ඇති මිනිසාට හැකියාවක් නැත. අපගේ උත්සාහයෙන් අපගේ දෙවියන්වහන්සේ සොයා ගැනීමට අපට කිසිසේත්ම හැකියාවක් නැත. දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ තේජශ්‍රීය මහිමය ආවරණය කරන පිණිස යොදා ඇති කඩතුරාව ඉවත් කිරීමට අපගේ අනුමානයෙන් පිරි දෑත් කිසිකලෙක හෝ එසවීමට අප වෑයම් නොකළ යුතුය. අපෝස්තුළුවරයා මෙසේ ප්‍රකාශ කරයි. “අහෝ! දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් දැනගැම්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද!” (රෝම 11:33) උන්වහන්සේ අප සමග ක්‍රියාකරන ආකාරය ගැන යම් ප්‍රමාණයක දැනුමක් ලබාගැනීමටද උන්වහන්සේට ක්‍රියාත්මක වීමට පොළඹවන්නා වූ අරමුණු පිළිබඳ දැන ගැනීමටද යම් ප්‍රමාණයක එළිදරව් කිරීම් අපට ලබා දී තිබේ. එම දේවල් තුළින් දෙවියන්වහන්සේගේ අසීමිත අනන්ත බලපරාක්‍රමය සමග අත්වැල් බැඳ ගත් සීමා රහිත ප්‍රේමයත් කරුණාවත් අපට දැකගැනීමට පුළුවන. සගයේ සිටින්නාවූ අපගේ පියාණන්වහන්සේ ප්‍රඥාවෙන් සහ දැහමිතාවෙන් යුතුව සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන සේක, සිදුවන්නාවූ දෑ පිළිබඳව අප අතෘප්තියටත්, අවිශ්වාසයටත් පත් නොවිය යුතුය. අප විසින් දේව බිය ඇතිව උන්වහන්සේට යටත් වෙමින් නමස්කාර කළ යුතුය. අපගේ යහපත සඳහා වූ උන්වහන්සේගේ අරමුණු පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයක දැනුමක් උන්වහන්සේ අපට එළිදරව් කරන සේක. ඊට අමතරව අප විසින් උන්වහන්සේගේ සර්ව බලධාරී හස්තය කෙරෙහිත් ප්‍රේමයෙන් පිරී ඉතිරී යන්නාවූ ශ්‍රී හදවත. කෙරෙහි විශ්වාසය රැඳවිය යුතු වෙමු.GrHSin 614.1

    ඇදහිල්ල උදෙසා සාක්ෂීන් විශාල ප්‍රමාණයක් අපට ලබාදී ඇති නමුත් දෙවියන්වහන්සේ අවිශ්වාසය සඳහා වන නිදහසට කාරණා සෑම දෙයක්ම ඉවත් නොකරන සේක. තමන්ගේ සැකය හා අවිශ්වාසය සඳහා කරුණු සොයා ගැනීමට ආශාවන අයට එම දෑ අප්‍රමාණව සොයා ගත හැකි වේ. දේව වචනය පිළිගනිමින් එයට කීකරු වීමට නම් තමන් තුළ දේව වචනය පිළිබඳව ඇති සෑම නොපිළිගැනීමක්ම නිසියාකාරව ඉවත් වන තුරු බලා සිටින්නෝ කවර දිනක හෝ ආලෝකයට නොපැමිණෙති; සෑම බාධකයක්ම පහ වී යන තුරු බලා සිටින්නාවු අයට ආලෝකයේ පිටිවහලක් ලැබෙන්නේ නැත.GrHSin 614.2

    නවෝත්පාදය නොලැබූ හදවතක ස්වභාවික තත්ත්වය වන්නේ දෙවියන්වහන්සේ විශ්වාස නොකිරීමය. එවන් හදවතක් දෙවියන්වහන්සේට සතුරුකමින් පිරී පවතී. ඇදහිල්ල වනාහි ශුද්ධාත්මයාණන්- වහන්සේගේ ආනුභාවයේ ප්‍රතිඵලයකි. එය වර්ධනය වන්නේ එම ඇදහිල්ලට ඇලුම් කරන ප්‍රමාණය අනුවය. ස්ථිරසාර අධිෂ්ඨානයකින් තොරව කිසිවෙකු හට හෝ ඇදහිල්ල තුළ ශක්තිමත් අයෙකු බවට පත්වීමට නොහැකිය. අවිශ්වාසයට දිරි දුන් විට එය ශක්තිමත් වෙයි. තමන් තුළ වූ ඇදහිල්ල රක්ෂා කොට පවත්වා ගෙන යාමටත් එය පෝෂණය කරගැනීමටත් දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති සාක්ෂි මත මනුෂ්‍යයන් යැපෙන්නේ නැති නම්, ඒවා ප්‍රශ්න කරමින් බොරු වැරැදි සොයා යමින් ක්‍රියා කරත් නම් ඔවුන්ගේ අනුමාන කිරීම් වඩ වඩාත් තහවුරු වන බව ඔවුන්ට පෙනී යනවා ඇත.GrHSin 614.3

    දෙවියන්වහන්සේන්ගේ පොරොන්දු සැක කිරීමත් උන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය සහතික වීම අවිශ්වාස කිරීමත් උන්වහන්සේට කරන්නා වූ අගෞරවයකි. එවන් අයගේ අනුබලය හා ක්‍රියාකාරිත්වය මගින් තවත් අයව ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇදගන්නවා වෙනුවට සිදුවන්නේ ඔවුන්ව උන්වහන්සේ වෙතින් පළවා හැරීමය. ඔහු තම අඳුරු අතු ශාඛා සෑම අතටම විහිදු වන්නාවූ ඵල දරන්නේ නැති ගස්වලට සමාන කරනු ලැබේ. එකී ගස් නිසා අවට ඇති වෙනත් පැලවලට පවා අව් රශ්මිය ලැබෙන්නේ නැත. එකී කුඩා ගස් සහ පැළෑටි හිරු එළිය නොමැතිව, ශීත සෙවනැලි නිසා මැරී යන්නේය. මෙම පුද්ගලයන්ගේ ජීවිතය පුරාම කරනු ලබන්නා වූ ක්‍රියාදාමයන් නොනිමි සාක්ෂියක් ලෙස ඔවුන්ට විරුද්ධව පවතිනවා ඇත. සැකය. හා අනුමානය නමැති බීජ වපුරන්නා වූ ඔවුන් අනුමානයේ හා අදෘෂ්ටියේ අස්වැන්නක් බිහි කරනවා ඇත.GrHSin 615.1

    අනුමාන කිරීම් නොමැතිව දිවිය සාර්ථක කරගැනීමට අභිප්‍රාය දක්වන්නා වූ අයට අනුගමනය කිරීමට ඇත්තේ එකම එක මාර්ගයක් පමණකි. තමන්ට තේරුම් ගත නොහැකි කරුණු පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැතිව, අනවශ්‍ය බොරු වැරැදි සොයන්නේ නැතිව ඔවුන් කළ යුතුව ඇත්තේ තමන්ට ලැබී ඇති ආලෝකය අනුව ජීවත් වීමය. එසේ කරන්නේ නම් ඔවුන්ට තව තවත් ආලෝක දහරා උදාවනවා. ඇත. ඔවුන්ගේ දැනුම ප්‍රභාවත් කර ඇති සෑම සරල වගකීමක්ම ඔවුන් විසින් අනුගමනය කළ යුතුය. එවිට ඔවුන් දැන් අනුමාන කරන්නාවූ සැක සහිත කරුණු තේරුම් ගැනීමටද ඒවා අනුව ජීවත් වීමටද ඔවුන්ට පුළුවන් වෙනවා ඇත,GrHSin 615.2

    යථාර්ථයට ඉතා සමීපව නිශ්චිතයට කිසිම අඩුවක් නැතැයි පෙනී යන්නාවූ අයුරින් ව්‍යාජ දෑ ඉදිරිපත් කිරීමට සාතන් අති දක්ෂයෙක් විය. මුළා කරනු ලබන්නට කැමැති අයව එමගින් රැවටීමට ඔහු සමත් වන්නේය. සත්‍යතාව මගින් ඉල්ලුම් කරනු ලබන්නාවූ ආත්ම-පරිත්‍යාගය සහ පූජාවීම් කෙරෙන් ඈත්ව සිටීමටද, එම දෑ කිරීමෙන් වැළකී සිටීමටද කැමැත්ත දක්වන්නාවූ අය පහසුවෙන්ම මුළා කරනු ලබන්නට පුළුවන. එහෙත් කුමන මිලක් හෝ ගෙවා සත්‍යතාව දැනගැනීමට අවංකවම ක්‍රියා කරන්නා වූ අයව තම ආධිපත්‍යය යටතේ තබාගැනීමට සාතන්ට කිසිසේත්ම හැකියාවක් නැත. ක්‍රිස්තුස්වහන්සේ සත්‍යතාවය වෙනසේක. තවද, ජීවනයේ උල්පත එතුමාණෝය. “ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකය” උන්වහන්සේය. (යොහන් 1:9). සියළු මිනිසුන් සියළු සත්‍යතාවන් කරා මගපෙන්වනු ලබන පිණිස සත්‍යතාවේ ආත්මයාණෝ අප වෙත එවනු ලැබ ඇති සේක. මේ පිළිබඳව දේව පුත්‍රයාණගේ අධිකාරී බලය යටත් මෙසේ ප්‍රකාශ කර ඇත. “සොයන්න, එවිට නුඹලාට සම්බ වේ.” “යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්” ඔහු එය දැනගන්නවා ඇත. (මතෙව් 7:7; යොහන් 7:17).GrHSin 615.3

    දෙවියන්වහන්සේගේ අනුගාමිකයන්ට එරෙහිව සාතන් සහ ඔහුගේ බල සේනාව අටවමින් සිටින්නාවූ උගුල් පිළිබඳව එම ජනතාවට ප්‍රමාණවත් දැනුමක් නොමැත. නමුත් තමන්වහන්සේගේ ගැඹුරු අභිප්‍රායන් සාර්ථකත්වය කරා මෙහෙයවීම ස්වර්ගයෙහි සිටින්නාවූ දෙවියන්වහන්සේගේ අරමුණ වන්නේය. උන්වහන්සේ තම අරමුණ ඉටුකරගැනීම සඳහා සාතන්ගේ සෑම මායාකාරී ක්‍රියාවේදයක්ම ව්‍යර්ථ කරන සේක. එසේම පරික්ෂාවේ කුරිරු දැල් මධ්‍යයෙන් යෑමට උන්වහන්සේ තමගේ යටත්වැසියන්ට ඉඩ හරින සේක. උන්වහන්සේ එවැන්නකට අවසර දෙන්නේ ඔවුන්ගේ දුක් විඳීමෙන් සහ විපත්තියට පත්වීමෙන් උන්වහන්සේ ප්‍රීතියක්, මියුරු වින්දනයක් ලබන නිසා නොවේ. මෙවන් පරික්ෂාවන්ට මුහුණ දීම ඔවුන්ගේ ජයග්‍රහණය උදෙසා අත්‍යවශ්‍ය නිසාම උන්වහන්සේ එවැන්නට ඉඩ හරින සේක. තමන්වහන්සේගේ තේජෝ බල මහිමය මගින් නිරතුරුවම තම අනුගාමිකයන් ආවරණය කර ආරක්ෂා කරගැනීම උන්වහන්සේගේ අදහස නොවේ. පරික්ෂාවන්ගේ මුලික අරමුණ වන්නේ නපුරෙහි සියළු ආකර්ෂණයන් සහ පෙළඹවීම් වලට මුහුණ දී ජයගැනීමට බැතිමතුන්ට අවස්ථාවක් ලබාදීමය.GrHSin 616.1

    දුෂ්ට සහ නපුරු මිනිසුන්ට ද, යක්ෂයන්ටද දෙවියන්වහන්සේගේ වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණවිය නොහැක. උන්වහන්සේගේ සෙනඟ කෙරෙහි උන්වහන්සේගේ වැඩසිටීම සහ අභිමුඛය වසා දැමීමට ඔවුහු අසමත් වෙති. උන්වහන්සේගේ සෙනඟ යටහත් පහත් ආත්මයකින් යුතුව, බලවත් පසුතැවීමකින් යුතුව ඔවුන්ගේ පාප කියාදී ඒවා අත්හැර දමන්නේ නම් ඇදහිල්ලෙන් යුතුව ඔවුන්ට උන්වහන්සේගේ පොරොන්දු වලට අයිතිවාසිකම් කීමට හැකියාවක් ඇත. රහසිගත වේවා, විවෘත වේවා සෑම පරික්ෂාවක්ම, සෑම විරුද්ධවාදී බලපෑමක්ම සාර්ථක ලෙස මැඩ පවත්වා ගත හැකි වන්නේය. එසේ කළ හැකිවන්නේ “බලයෙන්වත් ශක්තියෙන්වත් නොව, මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.” (සෙකරියා 4:6).GrHSin 616.2

    “ස්වාමින්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව් දෙසටත් යොමා තිබේ. තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම් නුඹලාට අනතුරු කරන්නේ කවුද?” (1 පේතෘස් 3:12,13). විශාල පරිමාණයේ තෑගි භෝග ලබාදී ඊශ්‍රායෙල් ජනතාවට ශාප කිරීමට බාලාම්ව පොළඹවා ගන්නා ලදී. ඔහු ඒ ගැන ස්වාමින්වහන්සේට පුද පූජා පවත්වා ශාපයක් පැවසීමට වෑයම් කළ අවස්ථාවේදී දෙවියන්වහන්සේ එසේ නොකරන ලෙස ඔහුට අණ කළසේක. එයින් බාලාම් මෙවන් ප්‍රකාශයක් කිරීමට බලකරනු ලැබීය. “දෙවියන්වහන්සේ ශාප නොකළ අයට මම කෙලෙස ශාප කරමි ද? ස්වාමින්වහන්සේ දෙස් නොකිවූ අයට කෙලෙස දෙස් කියම් ද?... “මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවා.’‘ මීට පසුව නැවත වරක් පුද පූජා ඔප්පු කර මේ අදේව භක්ති දිවැසිවරයා මෙසේද ප්‍රකාශ කළේය. “බලව, ආශිර්වාද කරන්ට අණ ලැබීමී. උන්වහන්සේ ආශිර්වාද කළසේක, මට එය වෙනස් කරන්ට නොහැක්කේය. උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දුෂ්‍යකමවත් නුදුටු සේක. ඔහුගේ දෙවි වූ ස්වාමින්වහන්සේ ඔහු සමග සිටින සේක. ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.” “සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍ර කීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේන කීමක්වත් නැත.... දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ට කර තිබේ!’‘ (ගණන් කථාව 23:8, 10, 20, 21, 23). තුන්වන වරටත් පූජාසනයක් ඉදි කරනු ලැබිණි. බාලාම් නැවත වරක් ශාපයක් පැවසීමට වෑයමක් දැරීය. එහෙත් ප්‍රොපේතවරයාගේ අකැමැති දෙතොල් පාලනය කළ දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ තමන් තෝරාගත් සෙනඟ ගේ අභිවෘද්ධිය ප්‍රකාශයට පත්කරමින් සතුරන්ගේ අනුවණ ක්‍රියාවන් සහ ද්‍රෝහිකම් ගැන තරවටු කළසේක. “නුඹට ආශිර්වාද කරන සියල්ලෝ ආශිර්වාද කරනු ලබත්වා, නුඹට ශාප කරන සියල්ලෝ ශාප කරනු ලබත්වා” (ගණන් කථාව 24:9) යි පවසන ලදි.GrHSin 617.1

    මෙම වකවානුවේදී ඊශ්‍රායෙල් ජනතාව දෙවියන්වහන්සේට පක්ෂපාතීව දිවි ගෙවූහ. ඔවුන් උන්වහන්සේගේ ආඥාවන්ට සහ ව්‍යවස්ථාවට කීකරුව සිටින තාක් කල් ඔවුන්ට විරුද්ධව නැගී සිටීමට පොළොවේ හෝ නිරයේ හෝ කිසිම බලවේගයකට නුපුළුවන් විය. දෙවියන්වහන්සේගේ සෙනඟට ශාප කිරීමට බාලාම්ට අවසර ලැබුණේ නැත. එහෙත් ඔහු වංචාකාරී අන්දමින් ඊශ්‍රායෙල් සෙනඟව පාපයට ඇද දැමීමට සමත් විය. එකී ජනතාව දෙවියන්වහන්සේගේ ආඥා කඩ කළ අවස්ථාවන්හිදී ඔවුහු දෙවියන්වහන්සේගෙන් වෙන් වූහ. එවිට විනාශකාරයාගේ බලය යටතට පත්වීමට ඔවුන් ව යොමු කරවනු ලැබීය.GrHSin 617.2

    ක්‍රිස්තුස්වහන්සේ තුළ වසන්නාවූ ඉතා දුර්වල වූ තැනැත්තා වුවද අන්ධකාරයෙහි බල සේනාවන්ට විරුද්ධව නැගී සිටීමට සමත් බවද සාතන් එළිපිටම ඉදිරිපත් වන්නේ නම් ඔහුට එරෙහිව නැගී සිටීමට බැතිමතා සමත් වන බවද ඔහු දනියි. එම නිසා කුරුසියෙහි හේවායන්, ඔවුන් රැඳී සිටින්නා වූ ආරක්ෂිත බලකොටුවෙන් ඉවතට ගෙන යාමට සාතන් වෑයම් කරන්නේය. එසේ පිටතට එන්නාවූ බැතිමතුන්ව තම ග්‍රහණයට ගැනීමට සාතන් සහ ඔහුගේ සේනා බලකාය සැඟවී බලා සිටින්නෝය. තමන්ගේ භූමි ප්‍රදේශයට ඇතුළු වන්නාවූ සෑම අයෙකුම විනාශ කර දැමීමට ඔහු සූදානමින් සිටී. දෙවියන්වහන්සේ කෙරෙහි නිහතමානීව රැඳී සිටීමෙන්ද, උන්වහන්සේගේ සියළුම ආඥාවන්ට කීකරු වීමෙන්ද පමණක් අපට රැකවරණය ලබාගත හැකි වේ.GrHSin 618.1

    කිසිම අයෙකුට දවසක් හෝ පැයක් හෝ යාච්ඤාවෙන් තොරව ආරක්ෂිත වීමට නොහැකිය. විශේෂයෙන්ම අප විසින්, උන්වහන්සේගේ විනය නිසියාකාරව අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළ යුතුය. පරීක්ෂකයාගේ උපක්‍රමශීලී ප්‍රයෝගයන් උන්වහන්සේගේ වචනයෙහි ඉදිරිපත් කර තිබේ. සාර්ථක ආකාරයෙන් ජය ගැනීමේ උපදෙස්ද එහි අපගේ අවධානයට යොමු කර තිබේ. ශුද්ධ ලියවිලි පාඨ ගෙනහැර පෑමට සාතන් සමත්ය. මේ පිළිබඳව ඔහු විශේෂඥයෙකි. එහෙත් එම උපුටා ගැනීම් වලට ස්වකීය අර්ථ කථනයක් සපයමින් ඔහු ශුද්ධ ලියවිලි පාඨ නිදහසේ ඉදිරිපත් කරයි. එමගින් අපව වැටීමට සැලැස්වීම ඔහුගේ පරමාර්ථයයි. නිහතමානී හදවතකින් යුතුව අප ශුද්ධ බයිබලය හැදෑරීම නිර්දේශිත වේ. එහිදී දෙවියන්වහන්සේ කෙරෙහි රැඳී සිටීමට අප අමතක නොකළ යුතුය. සාතන්ගේ උපක්‍රමශීලී මායාවන් පිළිබඳව අප නිතරම අවධියෙන් සිටීම වැදගත්ය. “අපව පරික්ෂාවට නොපමුණුවන්න “යි අප ඇදහිල්ලෙන් යුතුව නිරතුරුවම යාච්ඤා කළ යුතු වෙමු.GrHSin 618.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents