Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    23 - ශුද්ධස්ථානය යනු කුමක්ද?

    දෙවෙනි ඊම ගැන බලාසිටි බැතිමතුන්ගේ ඇදහිල්ලෙහි පදනමත්,ප්‍රධානතම විශ්වාසයත් වූයේ දානියෙල් 8:14 හි වු ප්‍රකාශනයයි,එනම් ˝රෑ දාවල් දෙදාස් තුන්සීයයක් පසුවන තුරුය; එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේය˝ යන්නය.කඩිනමින් සිදුවන්නාවූ ස්වාමීන්වහන්සේගේ ආගමනය කෙරෙහි විශ්වාසය රැඳවූ සෑම බැතිමතෙකුගේම මුවෙහි රැව් පිළිරැව් දුන් මෙම වදන් ඔවුන්ගේ අපේක්ෂාව පෙන්නුම් කළේය.තමන්ගේ ඇදහිල්ලෙහි ප්‍රමුඛ පරමාර්ථය ලෙස මෙම අනාවැකිය දහස් ගණනකගේ මුවින් ජනතාවගේ අවධානයට යොමු කරන ලදි.මෙම දිවැසි ප්‍රකාශනයෙහි අනුගත සිදුවීම් මත තමන්ගේ දීප්තිමත් බලාපොරොත්තුවත් ආදරයෙන් හා භක්තියෙන් රැකබලා ගත් අපේක්ෂාවත් රඳා පවතින බව සැමගේ චින්තනය විය.ගණනය කිරීම් අනුව මෙම දිවැසි කාලය 1844 හි සරත් සෘතුවේදී නිමාවට පත්වන බව තීරණය විය.කිතුණු ලෝකයෙහි අනෙකුත් ක්‍රිස්තියානි බැතිමතුන් සමගම ඇඩ්වෙන්ටිස්ත වරුන්ද පිළිගත් මතය වූයේ මේ ලෝකය නැතහොත් එහි කොටසක් ශුද්ධස්ථානය වන බවට වූ අර්ථකථනයයි.ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම යනු ලෝකාන්තිමයේ දවසේදී මෙම පොළෝ තලය ගින්නෙන් දවා පවිත්‍ර කිරිම යයි කිතුණු ලෝකයා විශ්වාස කළෝය.මෙම සංසිද්ධිය ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊමේ දවසෙහිදී සිදුවන බව ඔව්හු ව්ශ්වාස කළහ.මේ අනුව ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊම 1844 දී සිදුවන්නේ යැයි නිගමනය විය.GrHSin 469.1

    නිගමනය වූ දිනය ගෙවී ගියේය,එහෙත් ක්‍රිස්තු සමිඳාණන් මෙලොවට වැඩියේ නැත.දෙවියන්වහන්සේගේ වචනය නිෂ්ඵල නොවන බව විශ්වාසවන්තිකයෝ දැන සිටියහ.ඔවුන් විසින් කරන ලද දිවැසි ප්‍රකාශන අර්ථකථනයෙහි වැරදි නිගමනයක් මත එසේ වූවා යයි සිතීමට ඔව්හූ යොමුවූහ.එහෙත් වැරැද්ද සිදුවූයේ කොතැනද? ගැටළුවට පිළිතුරක් ලෙස බොහෝ අය පැවසුවේ 2300 කාලවකවානුව 1844 දී නිමාවට පත්වීමක් නොවු බවය.මෙයට හේතු සාධක ඉදිරිපත් කිරීම සිදුකළ නොහැකි විය.කෙසේ වුවද,ඔවුන් බලාපොරොත්තුව රැඳවූ ලෙස එම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ නැත.දිවැසි ප්‍රකාශන කාලය 1844 දී නිමාව දැක්කේ නම්,පොළොව ගින්නෙන් පවිත්‍ර කිරීමට,එනම් ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සිදුවිය යුතුමය.එහෙත් උන්වහන්සේගේ පැමිණීම සිදුවුයේ නැතිනම් කාලය සම්පුර්ණ වී නැතැයි බොහෝ දෙනෙක් තර්ක කළෝය. GrHSin 469.2

    මෙම නිගමනය පිළිගන්නවා නම්, දිවැසි කාලවකවානුව ගැන කළ ගණනය කිරීම් අත්හැර දැමීමක් අනිවාර්ය විය. යෙරුසලම ගොඩ නඟා එහි පරිපාලනය ස්ථාපිත කිරීම සඳහා අර්තක්ෂස්තා රජු විසින් නිකුත් කළ ආඥාව ක්‍රියාවට නංවන ලද්දේ ක්‍රි. පූ 457 සරත් සෘතුවේදිය. එය වසර 2300 දිවැසි ප්‍රකාශනයේ ආරම්භය ලෙස ගණන් ගත් විට එම කාල පරිච්ඡේදය පිළිබඳව දානියෙල් 9: 25: 27 හි ලබාදී ඇති විස්තරයෙහි කියා ඇති පරිදි සෑම සිද්ධියක්ම අනුකූල ලෙස ඉටුවී ඇති බවට සැකයක් නොතිබුණ.වසර 2300 කාලවකවානුවෙහි පළමු කොටස සති හැට නවයක් නොහොත් වසර 483ක් විය.එම කාල මෙසියස්වහන්සේ වු ආලේප ලත් තැනැත්තාණන් දක්වා විහිදී යා යුතු විය. ක්‍රිස්තුස්වහන්සේගේ බව්තිස්මයත්,උන්වහන්සේව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අභිෂේක කිරිමත් ක්‍රි.ව 27 දි සිදුවිය. දිවැසි ප්‍රකාශනයෙහි අඩංගු විස්තර කිරිම් අනුව එය අකුරටම සිදුවිය. සැත්තෑ වන සතියේ මැදදි මේසියස්වහන්සේ කපා දමනු ලබන්නට නියමව තිබිණ. බව්තීස්මයෙන් වසර තුන හමාරකට පසුව ක්‍රි. ව. 31 හි වසන්ත සමයේදී උන්වහන්සේ කුරුසිපත් කරන ලදී.සති හැත්තෑව නොහොත් වසර 490 යුදෙව් ජාතිය උදෙසා යොමුව තිබිණ. මෙම කාලයේ අවසානයේදී යුදෙව්වන් විසින් යේසුස්වහන්සේගේ ගෝලයන්ට වධහිංසා පැමිණවීමත් සමගම ඔවුහු මෙසියස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම මුද්‍රා කළෝය.ඒ සමඟම අපෝස්තුළුවරු ශුභාරංචිය අන්‍යජාතීන් වෙත ගෙන යාමට නැඹුරු වුහ. එම සිදුවීම වූයේ ක්‍රි. ව. 34 දිය.2300 ක් වු කාල පරිච්ඡේදයෙන් වසර 490 ක් ගෙවී ගිය කල්හි ඉතිරි වන්නේ තවත් වසර 1810 කි. ක්‍රි. ව. 34 සිට වසර 1810 ගෙවි ගිය කල්හි නිශ්චිත ඉරණම් වසර 1844 ක් දක්වා දිගු වේ.˝ එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය˝යි දේව දූතයා පැවසීය. පවසා තිබූ ආකාරයට දිවැසි ප්‍රකාශනයෙහි අනුයුක්ත වූ සෑම සිද්ධියක්ම නියමිත කාලයේදී සම්පූර්ණ විය.GrHSin 470.1

    ගණනය කිරීම් අනුව, සෑම සිදුවීමක්ම පැහැදිලි ලෙසම පවසා තිබූ ආකාරයෙන්ම ඉටු වී තිබිණි. එහෙත් 1844 දි ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම පිළිබඳව කිසිම සංසිද්ධියක් ක්‍රියාත්මක වූ බවට කිසිම වාර්තාවක් නොවීය. මෙම නිශ්චිත කාලයේදී දිගු කාලීන දිවැසි ප්‍රකාශන වකවානුව නිමාවට පත් නොවූයේ යැයි පිළිගතහොත් එයින් පැන නගින්නේ මහත් වියවුලකි. දිවැසි ප්‍රකාශනයෙහි අනුගත සිදුවීම් නියමිත කාල රාමුව තුළ ඉටුව තිබූ නිසාම මෙම අන්තිම සිද්ධිය පිළිබඳව වියවුලක් තිබීම වසර 2300 පිළිබඳව සැපයූ අර්ථකථනය දෙදරා යෑමක් විය.GrHSin 470.2

    ගරුමය වූ මහා ඇඩ්වෙන්ටිස්ත මෙහෙයුමෙහි මගපෙන්වීම් දෙවියන්වහන්සේගේ අනුදැනුම යටතේ විය. උන්වහන්සේගේ බලය සහ මහිමය මෙම කාර්යයට එකතුව තිබුණේය. එය අඳුරෙහි සහ කලකිරීමෙහි සේදි යාමට උන්වහන්සේ ඉඩ හරින්නේ නැත. එම මෙහෙයුම ව්‍යාජ වූද, ආගමික උන්මත්තකයන්ගේ ව්‍යායාමක් යයිද කියා සමච්චලයකට භාජන වීමට දෙවියන්වහන්සේ අවසර දෙන්නේ නැත. උන්වහන්සේගේ වචනය පිළිබඳව අනුමානයක් හෝ අවිශ්වාසයක් ඇතිවීමට දෙවියන්වහන්සේ ඉඩ නොදෙනසේක. දිවැසි ප්‍රසාදි ප්‍රකාශනය පිළිබඳව ලබා දී තිබූ අර්ථකථනය පිළිබඳව සෑහීමට පත් නොවූ සමහරෙක් තමන් මෙතෙක් දැරූ ස්ථාවරය අත්හැර දමා තම ඇදහිල්ලට ආයුබෝවන් යයි කීහ. තවත් අය තම ඇදහිල්ලෙහි කරුණු අත්හැර දැමීමට කැමැති නොවූවෝය. තමන් දරන්නාවූ ස්ථාවරය ශුද්ධ ලියවිලි මගින්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ සාක්ෂි දැරිම මගින්ද තහවුරුව ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය.දිවැසි වැකි අධ්‍යයනයේදි තමන් තහවුරු කරගත් අර්ථකථන සැපයුමේදි මෙතෙක් සනාථව ඇති සිද්ධින් තරයේ අල්ලා ගෙන සිටිය යුතුය යනු ඔවුන්ගේ තීරණය විය.බයිබලිය කරුණු විමසිම තවදුරටත් එලෙසම කරගත යුතුය යන්න ඔවුන්ගේ නිගමනය විය. අවංක චින්තනයකින් යුතුව ඔවුහු ඉතා උනන්දුවෙන් තමන්ගේ ස්ථාවරය ගැන නැවත වරක් අධ්‍යයනයෙහි යෙදුණෝය. තමන්ට වැරදී ඇත්තේ කොතැනදැයි යාච්ඤාවෙන් යුතුව විමසා බැලූවෝය.දිවැසි ප්‍රකාශනයෙහි කාලවකවානුව පිළිබඳව තමන්ට වැරදි නැත යන චින්තනයෙන් යුතුව එහි සඳහන් ශුද්ධස්ථානය සහ විෂය පිළිබඳව ගැඹුරින් හදාරන්නට ඔවුහු වෑයම් කළෝය.GrHSin 470.3

    ඔවුන්ගේ පරීක්ෂණයන්ගෙන් ඔවුන්ට සනාථ වූයේ ශුද්ධස්ථානය යන්න මෙලෝ භූමිය යයි ශුද්ධ ලියවිල්ලෙන් ස්ථිර නොවන බවය. ශුද්ධස්ථානය යන්නෙහි යථාර්ථ ස්වභාවයත්, සේවයත් එය පිහිටා ඇති ස්ථානයත් පිළිබඳ පුළුල් විස්තර කිරීමක් ශුද්ධ බයිබලීය අධ්‍යයනය මගින් ඔවුන්ට ලබාගත හැකි විය.හෙබ්‍රෙව්වරුන්ට පාවුල් යැවූ ලිපියෙහි නියම ශුද්ධස්ථානය ගැන යොමු කිරීමක් ඔහු විසින් මෙසේ දක්වා ඇත.˝ තවද පළමුවැනි ගිවිසුමට පාවා දේව මෙහෙයේ නියෝගද භුමික ශුද්ධස්ථානයද තිබුණේය. මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදන ලද්දේය, එහි පහන් රුකද, මේසයද,පිදිමේ රොටිද තිබුණේය. ඊට ශුද්ධස්ථානය යැයි කියන ලද මණ්ඩපය තිබුණේය. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානය යයි කියන ලද මණ්ඩපය තිබුණේය. එහි රන් දුම් භාජනයක්ද, මුළුල්ලම රනින් වැසූ ගිවිසුම් පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල් ලෑලිද තිබුණේය.ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගෙන සිටියෝය.˝ හෙබ්‍රෙව් 9:1-5.GrHSin 471.1

    පාවුල් මෙහි සඳහන් කරන පුජ්‍ය ස්ථානය නම් දෙවියන්වහන්සේගේ අණසක යටතේ මෝසෙස් ඉදි කළ ශුද්ධස්ථානයයි; එය මහෝත්මයාණන්ගේ භූමික වාසස්ථානය විය. දෙවියන්වහන්සේ මෝසෙස්ට මෙසේ අණ කළසේක.˝ මා ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධස්ථානයක් සාදත්වා.˝ නික්මයාම 25:8. ඊශ්‍රායෙලිතයෝ කාන්තාරය මැදින් ගමන් කරමින් සිටියහ. ඔවුන් තැනු පුජ්‍ය ස්ථානය වනාහි තැනින් තැනට ගෙන යා හැකි සේ නිමවූවක් විය. එසේ වුවද, එය තේජස්ශ්‍රියෙන් යුත් උත්කෘෂ්ටාලංඛාර නිර්මාණයක් විය. එහි බිත්ති රනින් ආලේප කරන ලද ලෑලි කෙළින් සිටුවා සාදන ලද්දක් විය. එක එක ලෑල්ල එකටෙකට යා කිරීම පිණිස රිදී කුඩුම්බි විය. ගොඩනැගිල්ලේ වහලය තිර ගණනාවකින් සැදුම් ලද්දේ විය. ඉහළින් පිහිටි තිර සම්වලින් වූ අතර ඇතුළත තිරය කටින ලද හණ නූලෙන් නිමකර කෙරුබ් රූප ගෙත්තම් කර තිබිණ.පිටත මළුවේ ගිනි පූජාසනය විය. පුජ්‍ය ස්ථානය මණ්ඩප දෙකකින් සමන්විත විය. එම මණ්ඩප දෙක ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය ලෙසින් නම් කර තිබුණේය. මේ මණ්ඩප දෙක අතර ඉතා අලංකාර තිරයක් විය. ඒ හා සමාන කඩවැස්මක් පළමු මණ්ඩපයට ඇතුළු වන දොරටුවටද යොදා තිබුණේය.GrHSin 471.2

    ශුද්ධස්ථානයේ දකුණු පස පහන් රුක ස්ථානගත කර තිබුණේය. පහන් රුකේ තිබූ පහන් හතෙන් නිකුත් වූ ආලෝකය මුළු ශුද්ධස්ථානයටම දිවා රෑ එළිය ලබා දුන්නේය. පිදිමේ රොටි මේසය පිහිටා තිබුණේ උතුරු පසෙහිය. මණ්ඩප දෙක අතර යොදා තිබූ තිරය ඉදිරියෙහි රනින් ආලේපිත දුම් පූජාසනය ස්ථානගත කර තිබුණේය. ඊශ්‍රායෙල් බැතිමතුන්ගේ යාච්ඤාවන් සමගින් මෙම දුම් පූජාසනයෙන් ඉහළ නැඟුණු සුවඳ දුමාරය දිනපතාම දෙවියන්වහන්සේ ඉදිරියට ළඟා විය.GrHSin 472.1

    අති ශුද්ධස්ථානයේ ගිවිසුම් පෙට්ටිය තබා තිබුණේය. එය අගනා ලීයෙන් සාදන ලද්දේ විය. එහි ඇතුළත සහ පිටතද රන් ආලේප කර තිබුණේය. දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ලියන ලද දස පනත රැගත් ගල් ලෑලි දෙක මෙම පෙට්ටිය තුළ තබන ලද්දේය. පෙට්ටියේ වැසුම් පියන කරුණාසනය විය. එය තනි රනින් සෑදු අගනා කර්මාන්ත භාණ්ඩයක් විය. කරුණාසනය දෙපස තනි රනින් නිර්මාණය කළ කෙරුබ් වරුන් දෙදෙනෙකු සවි කර තිබුණේය. මෙම අති ශුද්ධස්ථානයේ තිබූ කෙරුබ් වරුන් දෙදෙනා අතුරෙහි දේව අභිමුඛය පෙන්නුම් කරන තේජසේ වළාකුළු විය.GrHSin 472.2

    මිසරයෙන් පිටත ආ හෙබ්‍රෙව්වරු කානාන් දේශයෙහි වාසස්ථාන පිහිටුවා ගත්තෝය. තැනින් තැන ගෙන යා හැකි පුජ්‍ය ස්ථානය වෙනුවට සාලමොන් රජතුමා දේව මාළිගාවක් නිර්මාණය කළේය. එය ස්ථිරසාර ගොඩනැඟිල්ලක් වූ අතර ප්‍රමාණයෙන්ද විශාල විය. එසේ වුවද, එය දිගින් පළලින් හා උසින් මණ්ඩපය හා අනුකූල විය. එසේම එම දේව මාළිගාව තුළ තිබූ පුජ්‍ය භාණ්ඩද මුල් ආකෘතිය අනුවම ස්ථානගත කර තිබුණේය. මේ ආකාරයෙන් දේව මාළිගාව ක්‍රි.ව 70 දි රෝමවරුන් විසින් විනාශ කරන තෙක් පැවතියේය. එහෙත් දානියෙල්ගේ කාලයේදි එය නටඹුන් ලෙස පමණක් පැවතියේය.GrHSin 472.3

    මේ භූමි තලයේ පිහිටා තිබූ එකම ශුද්ධස්ථානය මෙය පමණක් විය.ශුද්ධ බයිබලයේ සදහන්ව ඇත්තේද මෙම පුජ්‍ය ස්ථානය ගැන පමණිකි. මෙය පළමු ගිවිසුම අනුව වු ශුද්ධස්ථානය ලෙස පාවුල් ප්‍රකාශ කර තිබේ. අළුත් ගිවිසුම අනුව ශුද්ධස්ථානයක් නැත්තේද?GrHSin 473.1

    සත්‍යතාව සෝයා ගිය බයිබල් ගවේෂකයෝ හෙබ්‍රෙව් පොත වෙත තම අවධානය යොමු කළෝය. එහිදී ඔවුන්ට සොයා ගැනීමට හැකිවූයේ දෙවැනි ශුද්ධස්ථානයක් ගැන, අළුත් ගිවිසුමේ ශුද්ධස්ථානයක් ගැන, පාවුල් පවසා ඇති බවය.˝තවද පළමුවෙනි ගිවිසුමට පවා දේව මෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයක්ද තිබුණේය.˝ ˝ පාවා˝ යන වචනය භාවිතයෙන් පෙනී යන්නේ මෙම ශුද්ධස්ථානය ගැන පාවුල් මීට ඉහතදී සඳහන් කර ඇති විලාශයයි. මීට කළින් පරිච්ඡේදයට අපගේ අවධානය යොමු කරමු.එහි මෙසේ සඳහන් වන්නේය.˝ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනය දකුණු පැත්තේ හිදගත්තාවූ, මනුෂ්‍යයා විසින් නොව ස්වාමින්වහන්සේ විසින් පිහිටුවන ලද ශුද්ධස්ථානයේ හා සැබෑවු මණ්ඩපයේ සේවකයෙක් වු උත්තම පූජකයෙක් අපට සිටින බවය.˝(හෙබ්‍රෙව් 8:1,2).GrHSin 473.2

    නව ගිවිසුමෙහි ශුද්ධස්ථානය මෙහි එළිදරව් කර ඇත. ප්‍රථම ගිවිසුමෙහි ශුද්ධස්ථානය පිහිටුවනු ලැබුවේ මිනිසුන් විසින්ය. එය මෝසෙස්ගේ අධීක්ෂණය යටතේ ඉදි කරනු ලැබීය. නමුත් මෙම ශුද්ධස්ථානය පිහිටුවනු ලැබුවේ මිනිසා විසින් නොව සමිඳාණන් විසින්ය. භෞමික පූජ්‍ය ස්ථානයේ සේවය ඉටු කළේ මිනිස් පූජකයන් විසින්ය. එහෙත් ස්වර්ගීය දේවස්ථානය මෙහෙවර කරන්නේ දෙවියන්වහන්සේගේ දකුණුපස වැඩ හිඳින්නාවු අපගේ උත්තම පූජක ක්‍රිස්තුස්වහන්සේය. ශුද්ධස්ථානයක් පොළොවේ පිහිටියේය. අනෙක ඇත්තේ ස්වර්ගයේය.GrHSin 473.3

    මෝසෙස් විසින් ඉදිකරනු ලැබූ මණ්ඩපය, පෙන්නා දෙනු ලැබූ ආකෘතියට අනුව සාදනු ලැබීය. එහි වැඩකටයුතු දෙවියන්වහන්සේගේ මගපෙන්වීම යටතේ ඉටු විය.˝ මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න. ˝ නැවත වරක්ද තවත් උපදෙස් ලැබිණ.˝කන්දේදි නුඹට පෙන්වන ලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලා ගන්න.˝( නික්මයාම 25: 9,40). පළමු කුඩාරම් දෙව් මැදුර නොහොත් මණ්ඩපය ගැන පාවුල් මෙසේ පවසයි. ˝ ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය.˝ භූමික ශුද්ධස්ථානයෙහි පූජකයන් තුටු පඳුරු ඔප්පු කළේ සගයේ සේවාවන් ආදර්ශයට ගනිමින්ය. ˝මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබැ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල් වුසේක.˝(හෙබ්‍රෙව් 9:9,24). GrHSin 473.4

    අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියෙහි මැදහත්කාරකම් කරන්නාවූ යේසුස්වහන්සේ සේවය කරන්නාවූ සගයේ පූජ්‍ය ස්ථානය වනාහි මුල නිර්මාණය වන්නේය.මෝසේස සෑදූ කූඩාරම් ශුද්ධස්ථානය එහි ආකෘතියක් විය. භෞමික දේවස්ථානය සෑදීමේදී දෙවියන්වහන්සේ එහි ගොඩනැගිමේ නිලධාරීන් මත තමන්වහන්සේගේ ආත්මය තැබූසේක. එම ගොඩනැගිල්ල ඉදි කිරීමේදී පෙන්නුම් කරන ලද නිර්මාණාත්මක නිපුණතාව දිව්‍ය ප්‍රඥාවේ පැහැදිලිවූ දැක්මකි.එහි බිත්ති විශාල රත්රන් කුට්ටියක් විලසින් පෙනී ගියේය. රනින් කළ පහන් රුකෙහි වු පහන් හතෙන් විහිදුවන ලද්දාවූ ආලෝකය බිත්ති මගින් සෑම අතටම පරාවර්තනය වී මුළු ශුද්ධස්ථාන මණ්ඩපයටම එළිය ලබා දුන්නේය. පිදිමේ රොටී මේසය සහ සුවඳ දුම් පුජාසනය ඔප දැමූ රත්රන් මෙන් දිලිසෙමින් තිබුණි. ගොඩනැගිල්ලෙහි සිවිලිම සඳහා යෙදූ අතිශයින් මනස්කාන්ත වූ තිරය නිල් පාට, දම් පාට, සහ තද රතු පාට නුල්වලින් ගෙත්තම් කරන ලද කෙරුබ් රූපවලින් අලංකාර කර තිබිණ. දෙවැනි තිරයෙන් ඔබ්බෙහි දෙවියන්වහන්සේගේ තේජස් මහිමාලංකාරය විදහා දක්වන උන්වහන්සේගේ වැඩසිටීම පෙන්නුම් කරන ෂෙකයිනා නැමැති ශුද්ධවූ ආලෝකය විය. එම ස්ථානයට යෑමට අවසර තිබුණේ උත්තම පුජකයාට පමණකි.උත්තම පුජකයාට පමණක්ම එහි ඇතුල්වී ජීවත්වන්නට පුළුවන් විය.GrHSin 474.1

    දෙවියන්වහන්සේගේ සිහසුන ඉදිරියෙහි අප උදෙසා මෙහෙවරයෙහි යෙදෙන ක්‍රිස්තුස්වහන්සේ සේවය කරන ස්වර්ගීය දේවස්ථානයේ මහිමාලංකාරයෙන් බිදක් භෞමික පුජ්‍ය ස්ථානයෙහි දැකගත හැකි විය. එසේ වුවද, එය ලෝකයේ තිබූ ඉතාමත් අලංකාර නිර්මාණයක් විය. රාජාති රාජ මහෝත්තමයාණන් වැඩ වසන්නාවූ ස්වර්ගීය ශුද්ධස්ථානයේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේට උපස්ථාන කරමින් සිටියෝය. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් උන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය. එම ශුද්ධස්ථානය සදාතනික සිංහාසනයෙහි තේජසින් ඒකාලෝකව තිබිණ. එහි දිලිසෙන මුරකරුවන් වු සෙරුප්වරු තමන් පියාපත් වලින් මුහුණු ආවරණය කරගෙන උන්වහන්සේට වැද වැටෙමින් නමස්කාර කරති.එම තේජාලංකාරයෙන් බිඳක් භෞමික දේවස්ථානය තුළින් දිස් විය. භෞමික පුජ්‍ය ස්ථානයත් එහි තේවා මෙහෙවරත් මගින් අගනා සත්‍යතාවන් ගණනාවක් ඉගැන්විණි. එමගින් සගයේ වු ශුද්ධස්ථානය ගැනත්, මිනිසාගේ මිදීම සඳහා එහි කෙරෙන්නාවූ විශිෂ්ඨතම වු මෙහෙවර ගැනත් මෙලෝ ශුද්ධස්තානය සහ තේවාවන්ද මගින් නියෝජනයක් ඉදිරිපත් විය.GrHSin 474.2

    ස්වර්ගීය පුජ්‍ය ස්ථානයේවූ ශුද්ධවූ ස්ථාන දෙක පෙන්නුම් කරමින් භෞමික පූජ්‍ය ස්ථානයේ මණ්ඩප දෙක නිර්මාණය වී තිබුණේය. සගයේ පිහිටි දෙවියන්වහන්සේගේ දේව මාළිගාව දසුනකින් දැකගැනීමට යොහන්ට අවස්ථාව සලසා දෙන ලදී.තමා දුටු දේ ඔහු මෙසේ වාර්තා කරයි.˝ සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය. ˝( එළිදරව් 4:5). ˝දේව දූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේය.˝( එළිදරව් 8: 3). මෙසේ සගයේ තිබු ශුද්ධස්ථානයෙහි පළමු මණ්ඩපය දැකගැනීමට ප්‍රොපේතවරයාට වරම් ලැබිණ.එම මණ්ඩපය ඇතුළත ගිනි පහන් සතක් සහ රන් පූජාසනයක් ඔහුට දැකීමට හැකි විය. එයින් නියෝජනය වූයේ පොළොවේ තිබූ දේව මාළිගයෙහි වු රන්මය පහන් රුකද, සුවඳ දුම් පූජාසනයද විය. නැවත වරක් ˝දෙවියන්වහන්සේගේ මාළිගාව අරින ල්දේය.˝(එළීදරව් 11:19).තිරයෙන් ඔබ්බෙහි පිහිටි අති ශුද්ධස්ථානය වෙත ඔහුගේ දැස් යොමු විය.දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එම ස්ථානයේ තිබෙනවා ඔහුට දැකගැනීමට අවස්ථාව ලැබුණේය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ලේඛණගත කළ ගල්ලෑලි දෙක බහාලු මෝසස් සෑදු ශුද්ධවු ගිවිසුම පෙට්ටියෙහි මුල් කෘතිය එයින් පෙන්නුම් කරන ලද්දේය.GrHSin 475.1

    විෂය පිලිබඳව අධ්‍යයනයෙහි යෙදුනු ගවේෂකයන්ට කිසිම සැකයකින් තොරව සාක්ෂාත් වුයේ සගයේද ශුද්ධස්ථානයක් පිහිටා තිබෙන බවය. භෞමික පූජ්‍ය ස්ථානය මෝසෙස් විසින් ඉදිකරන ලද්දේ ඔහුට පෙන්වූ ආදර්ශය අනුවය. එහි දර්ශනය වූයේ ස්වර්ගයෙහි වු දේව මාළිගයයි.එය සගයේ තිබූ නියම දේව මාළිගය බව පාවුල් පවසයි. එය සගයේ තිබෙනවා තමා දුටු බවට යොහන් සාක්ෂි දරයි.GrHSin 475.2

    දෙවියන්වහන්සේගේ වාසස්ථානය වූ සගයෙහි පිහිටි මාළිගයෙහි, දමිටුකම හා විනිශ්චය පදනම් කරගෙන උන්වහන්සේගේ සිහසුන පිහිටුවා ඇත. එහි අති ශුද්ධස්ථානයෙහි උන්වහන්සේගේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත. මිනිස් සත මනිනු ලබන්නාවූ උත්තරීතර මිණුම් දණ්ඩ එම ව්‍යවස්ථාව වන්නේය. ව්‍යවස්ථාවේ පුවරු දෙක තැන්පත් කර තිබූ ගිවිසුම් පෙට්ටියෙහි පියන්පත කරුණාසනය නමින් හැඳින්විණි. එය ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තමන්ගේ ශ්‍රී රුධිරය පව්කාරයා වෙනුවෙන් ආදේශ කරමින් මෙහෙවරෙහි යෙදී සිටින සේක. මිනිසාගේ ගැළවීම උදෙසා යුක්තිය, සාධාරණය, සහ මෛත්‍රී- කරුණාව ඒකාබද්ධව ක්‍රියාත්මක වන ආකාරය එමගින් පිළිබිඹු විය. මෙම ඒකාබද්ධතාව නිර්මාණය කිරීමට හැකි වන්නේ අනන්ත වූ ප්‍රඥාවට පමණක්ය. එය ක්‍රියාත්මක කිරීමට අනන්ත බලයක් යෙදවීම අවශ්‍යය. එම ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය මුළු සගයම විශ්මයෙන් සහ ගෞරව භක්තියෙන් පිරී ඉතිරී යාමට හේතුවක් විය. භෞමික දේව මාළිගයෙහි කරුණාසනය දෙස නෙත් හෙළා බලා සිටින්නාවූ කෙරුබ් රූප යුගලක් විය. සමස්ත ස්වර්ගීය දේව දූත සේනාව ගැළවීමේ කාර්යය දෙස ඉතා උනන්දුවෙන් සැලකිලිමත් වන ආකාරය ප්‍රදර්ශනය විය. දේව දූත සේනාව අවධානය දක්වන්නාවූ කරුණා-මෛත්‍රීයෙහි අබිරහස මෙයයි; එනම් පසුතැවෙන්නාවූ පව්කාරයාව දැහැමියෙකු කිරීමෙහිදී දෙවියන්වහන්සේ සාධාරණ ලෙස ක්‍රියාකරමින්, පාපයට වැටී ගිය මිනිස් වර්ගයා සමග අන්‍යෝන්‍ය සබඳතාවක් නැවත ගොඩනගා ගෙන, ඔහුට ගැළවීම දීම සඳහා මාර්ගයක් සම්පාදනය කිරීමය, මෙය දේව දූතයන්ට අභිරහසක් විය. විනාශයේ ආගාධයෙන් ගණන් කළ නොහැකි සංඛ්‍යාත පව්කාරයන් මුදවාලීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ සගයේ රාජශ්‍රීය සැප සම්පත් අත් හැර දමා පාපිෂ්ඨ ලෝකයට පැමිණ දිවි පුදා පාපයට වන්දිය ගෙවීම සකල ස්වර්ගීය දූත කැළගේ විස්මයට සහ භක්ති ගෞරවාදරයට හේතු විය. එම පූජාව තුළින් පව්කාරයාට තමන්ගේම දැහැමිතාව නැමැති කැළැල් රහිත සළු සාදවා, වැටී නොගිය දේව දූතයන්ගේ සමාගමට ඔවුන් එක්සත් කර දෙවියන්වහන්සේගේ අභිමුඛය ඉදිරියෙහි සදහටම වාසය කරන්නට සැලැස්වීම ඉතා විස්මිත අභිරහසක් විය.GrHSin 475.3

    ˝පැළෑටිය නම්වූ මනුෂ්‍යයා˝යි සෙකරියා දිවැසිවරයාගේ මනහර අනාගතවාක්‍ය ප්‍රකාශනයෙහි හඳුන්වා දෙනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ විසින් ඉටු කරනු ලබන්නාවූ මැදහත්කාරකමෙහි සේවාව ගැන දිවැසිවරයා මෙසේ පවසයි.˝ උන්වහන්සේම ස්වාමින්වහන්සේගේ මාළිගාව ගොඩනඟා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩු කරන සේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.˝(සෙකරියා 6:13).GrHSin 476.1

    ˝උන්වහන්සේ (ක්‍රිස්තුස්වහන්සේ) ස්වාමීන්වහන්සේගේ මාළිගාව˝ ගොඩ නගනවා ඇත. තමන්වහන්සේගේ ජීවිත පූජාව සහ මැදහත්කාරකම් කිරීමේ සේවාව නිසා ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සභාවෙහි අත්තිවාරම සහ ගොඩ නගන්නාණන්ද වන බව පාවුල් පවසයි.˝ ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටින සේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරන ලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාලිගාවක්ව සෑදීගන යන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දහුය.˝(එපීස 2:20- 22).GrHSin 476.2

    ˝උන්වහන්සේ තේජස දරනවා ඇත.˝ පාපයට ඇද වැටුණාවූ මිනිස් වර්ගයාගේ මිදීම සලසා දුන් ක්‍රිස්තුස්වහන්සේට ගෞරවය සහ තේජස හිමිය. සදාතනය පුරා ගැළවීම ලැබූවන්ගේ ප්‍රශස්ති ගීතය මේකය. ˝අපට ප්‍රේම කරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ .... තැනැන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා˝ යන්නය.( එළිදරව් 1:5,6).GrHSin 477.1

    උන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩ හිඳ ආණ්ඩු කරන සේක. තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටින සේක. තමන්වහන්සේගේ තේජස්ශ්‍රීය සිංහාසනයෙහි වැඩ හිඳීම දැන් නොව ඉදිරි කාලයෙහිදීය. තේජෝ මහිම රාජ්‍යය තවමත් ආරම්භ වී නැත. ඒ සඳහා මැදිහත් වීමේ සේවාව අවසන් විය යුතුය.˝ උන්වහන්සේගේ පියාවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක. ˝ ˝උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.˝ (ලුක් 1: 32, 33). දැන් පූජකවරයෙකු ලෙස ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ සියසුනෙහි වැඩ හිඳිනසේක. සදාතන ස්වයංභූ මහෝත්තමයාණන්වහන්සේ සමග එම සිංහාසනයෙහි වැඩ හිඳින තැන්ත්තේ වනාහි ´අපගේ දුක් උසුලන්නාවූ අපගේ ශෝකය දරාගත්තාවූ´ තැනැන්වහන්සේම වනසේක. තවද උන්වහන්සේ ˝පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ ˝බැවින් ˝පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්ට උන්වහන්සේට පුළුවන.˝ ˝යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් කිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.˝(යෙසායා 53: 4; හෙබ්‍රෙව් 4:15; 2:18; 1 යොහන් 2:1)උන්වහන්සේ මැදහත්කාරකම් කරන්නේ සිදුරු කරනු ලැබූ බිදී ගියාවු ශරීරයක්ද නොකැළැල් ජීවිතයක්ද ඉදිරිපත් කරමින්ය. තුවාල කරනු ලැබූ දෑත්, සිදුරු කරනු ලැබූ ළපැත්ත, ඇණ ගසනු ලැබූ දෙපා, පාපයට වැටී ගිය මිනිසාට පව් කමාව ලබාදෙන්නට කන්නලව් කරයි; මිල කළ නොහැකි වන්දියක් ගෙවා ලබාගත් මිදීමට හවුල් වන්නැයි උන්වහන්සේ ආයාචනය කරනසේක. GrHSin 477.2

    ˝ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.˝ විනාශය කරා යොමු වූ වැඩී ගිය මිනිසාගේ ගැළවීමෙහි උල්පත වන්නේ පියාණන්වහන්සේගේ ආදරයයි. පුත්‍රයාණන්වහන්සේගේ ආදරයද ඒ හා සමානය. ගෝලයන්ගෙන් සමු ගෙන පිටත්ව යාමට පෙර යේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක.˝නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමියි නොකියමි. මක්නිසාද... පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේම වන සේක. ˝යොහාන් 16:26, 27) ˝ දෙවියන්වහන්සේ... ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන්වහන්සේට සමඟි කර ගනිමින් සිටිය සේක.˝( 2 කොරින්ති 5:19).ඉහළ සගයේ පිහිටි ශුද්ධස්ථානයේ මෙහෙවර කිරීමේදී, උන්වහන්සේලා දෙදෙනා අතරේද ´සමාදාන මන්ත්‍රණය´පවතින්නේය.˝ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදා කාල ජීවනය ලබන පිණිසය.˝(යොහන් 3:16).GrHSin 477.3

    ශුද්ධස්ථාන යනු කුමක්දැයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ශුද්ධ ලියවිල්ලෙහි අන්තර්ගතය.ශුද්ධ ස්ථානය යන වචනය මුලින්ම බයිබලයෙහි භාවිතා කර ඇත්තේ මෝසෙස් විසින් ඉදිකළ කූඩාරම් මණ්ඩපය. එය සගයේ ඇති දේවල ආදර්ශයක් විය. දෙවනුව එම පදය භාවිතා කර ඇත්තේ සගයේ පිහිටි ˝ සත්‍යමය වූ දේව මාළිගාවටය.˝ කිස්තුස්වහන්සේගේ මරණයත් සමගම සංකේතයක් ලෙස වූ තේවාවන් සහ සේවාවන් නිමාවට පැමිණියේය. අළුත් ගිවිසුමෙහි සත්‍ය වූ දේව මාළිගය වනාහි සගයේ පිහිටි ශුද්ධස්ථානයයි. දානියෙල් 8:14 හි සඳහන් දිවැසි ප්‍රකාශනය සම්පූර්ණවීමේදී ශුද්ධස්ථානය පවිත්‍ර කිරිම යන්නෙන් දක්වනු ලබන්නේ අලුත් ගිවිසුමේ ශුද්ධස්ථානය විය යුතුය. වසර 2300 ක කාලපරිච්ඡේදය 1844 දී නිමාව දැක්කේය. ඒ වනවිටත් ශතවර්ෂ ගණනාවක් පුරා භූමිතලය මත දෙවියන්වහන්සේගේ දේව මාළිගාවක් පිහිටා නොතිබිණ. එම නිසා මේ අනාවැකිය එනම්,” රෑ දාවල් දෙදහස් තුන්සීයක් පසුවන තුරුය: එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේය˝ යන්නෙහි අන්තර්ගතය යොමු වන්නේ සගයෙහි ඇත්තාවූ ශුද්ධස්ථානයට බව අවිවාදයෙන් පිළිගත යුතුය.GrHSin 478.1

    එසේ වුවද, මේ හා සම්බන්ධව ඉතා වැදගත් ප්‍රශ්නයකට පිළිතුරක් ලැබිය යුතුය. එය නම් ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යන්නය. භෞමික පුජ්‍ය-ස්ථානය හා සම්බන්ධව පවිත්‍ර කිරීමේ සේවාවක් පැවති බවට පරණ තෙස්තමේන්තුව තොරතුරු සපයා දී තිබේ. එහෙත් පවිත්‍ර කිරීම සඳහා ස්වර්ගයේ කිසිවක් හෝ තිබේද? භූමියේ මෙන්ම සුවර්ගයේද ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමක් ගැන පැහැදිලි වු සඳහනක් හෙබ්‍රෙව් 9 හි ඇත. ˝ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යැයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ.ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත. එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍ර කරන්ට ඕනෑව තිබුණේය. නමුත් ස්වර්ගීය දේවල්ම මේවාට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලබන්ට යුතුය.˝ එනම්, ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් ඒවා පවිත්‍ර කළ යුතුය.(හෙබ්‍රෙව් 9: 22, 23).GrHSin 478.2

    භූමික දේවස්ථානයේ මෙන්ම ස්වර්ගීය දේවස්ථානයේද පවිත්‍ර කිරීම කළ යුතුවන්නේ ලේ මගින් පමණකි. භූමික ශුද්ධස්ථානයේ එය සිදුකළේ සත්ව ලේ වලින්ය. ස්වර්ගීය දේවස්ථානයේ එය කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී රුධිරය කරණකොටගෙනය. මෙම පවිත්‍ර කිරීමේ කාර්යය ලේ මඟින් කළ යුතුවන්නේ කුමක් නිසාදැයි පාවුල් පවසා තිබේ. එනම්, ලේ වැගිරීමක් නැතිව පව් කමාවක් නැති බව ඔහු කියයි.ඉටුවිය යුතු කාර්ය භාරය නම් පාපය ඉවත් කිරීම හෝ පාපයට කමාව දීමය. එසේ නම්, භූමික දේවස්ථානයේ හෝ වේවා,සගයේ ශුද්ධස්ථානයේ හෝ වේවා එම ස්ථාන හා සම්බන්ධව පාප තිබෙන්නේ කෙසේද? සංකේතයක් වශයෙන් භූමික දේවස්ථානයේ සිදුවූ තේවා මෙහෙය හා සිද්ධීන් මගින් මේ ගැන විස්තර ඉගෙන ගැනීමට පුළුවන. එහි සේවය කළ පූජකයෝ ˝ස්වර්ගීය වූ දේවල සටහනක්ව, ඡායාවක්ව තිබෙන දෙයට˝ සේවය කළහ.(හෙබ්‍රෙව් 8:5).GrHSin 479.1

    භූමික දේවස්ථානයේ සිදුකරන ලද සේවාවන් කොටස් දෙකකින් සමන්විත විය. පූජකයෝ දිනපතාම ශුද්ධස්ථානයේ පූජා කටයුතු ඉටු කළෝය. එහෙත් උත්තම පූජකයා වසරකට වරක් අති ශුද්ධ ස්ථානයට පැමිණ සමගි කිරීම නැමැති විශේෂිත පූජා මෙහෙයක් ඉටු කළේය.එය ශුද්ධස්ථානය පාවිත්‍ර කිරීම සඳහාවූ පූජා මෙහෙයක් විය. පසුතැවෙන්නවූ පව්කාරයා තමාගේ පාපය කමාව අපේක්ෂාවෙන් ලේ පූජාවක් සඳහා පූජාවක් ගෙනාවේය. මෙම ක්‍රියාදාමය සැමදාම සිදුවිය. හෙතෙම තම පූජාව සමග දෙව් මැදුරේ දොරටුව වෙත පැමිණියේය. හෙතෙම පූජකයා ඉදිරියෙහි සිට පූජාවෙහි සතාගේ හිස පිට සිය අත තබා තමාගේ පාප කියාදුන්නේය. මෙසේ කිරීමෙන් ඔහු පූජාවට තම පාපය පවරා දුන්නේය. ඉක්බිතිව පූජාවේ සතා මරනු ලැබීය. ˝ලේ වැගිරීමකින් තොරව පව් කමාවක් නැත˝යි අපෝස්තුළුවරයා පවසයි. තවද, ˝මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය˝යි පවසා පවසා ඇත. (ලෙවී කථාව 17:11). යමෙක් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කළහොත් එම පුද්ගලයා තම ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු යැයි එම ව්‍යවස්ථාව ඉල්ලා සිටී. පූජාවක් රැගෙන ආ පව්කාරයාව ඒ පූජාවේ ලේ වලින් පෙන්නුම් කරනු ලැබීය. පව්කාරයාගේ ජිවිතය පෙන්නුම් කරන රුධිරය පුජකයා ශුද්ධස්ථානය වෙත ගෙන ගියේය.ඔහු එම ලෙය අති ශුද්ධස්ථානය වෙන් කරන්නාවු තිරය ඉදිරියෙහි ඉස්සේය.තිරයේ අනෙක් පසෙහි ගිවිසුම් පෙට්ටිය පිහිටුවා තිබුණි.පව්කාරයා කඩ කර ඇත්තේ එහි තබා ඇති ව්‍යවස්ථාවය.මෙම ක්‍රමවේදය මගින් ලෙය කරණකොටගෙන පාපය ශුද්ධස්ථානය වෙත පවරනු ලැබු බවක් පෙන්නුම් කෙරේ.සමහර අවස්ථාවන්හිදි රුධිරය ශුද්ධස්තානය වෙත ගෙන යනු ලබන්නේ නැත.ඒ වෙනුවට පුජකයා එම පුජාවෙහි මාංසය අනුභව කරමින් පාපය දරා ගත්තේය.මේ ගැන මෝසස් ආරොන්ගේ දරුවන්ට මෙවන් නියමයක් ප්‍රකාශ කළේය.˝නුඹලාට දී තිබේ.˝ (ලෙවි කථාව 10:17)මෙම ක්‍රමවේදයන් දෙකින්ම පෙන්නුම් කළේ පසුතැවිලි වන්නාවු පව්කාරයාගේ පාපය ශුද්ධස්තානය වෙත පවරනු ලැබු ආකාරයයි.GrHSin 479.2

    වසර පුරාම දිනපතාම මෙම කාර්යයන් ශුද්ධස්ථානය හා සම්බන්ධව ඉෂ්ට විය. ඊශ්‍රායෙලිතයන්ගේ පාපය මෙසේ ශුද්ධස්ථානයට පවරන ලදි. එම පව් ශුද්ධස්ථානයෙන් ඉවත් කිරිමට විශේෂ ක්‍රමවේදයක් අවශ්‍ය විය. ශුද්ධස්ථානයේ මණ්ඩප යුගලය සදහා සමගි කිරිමක් කරන්නැයි දෙවියන්වහන්සේ අණ කළසේක.˝එසේ ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛ විමේ කුඩාරමටත්, එසේම කළ යුතුය.˝ පුජාසනය උදෙසාද සමගි කිරිමක් කළ යුතු විය.˝ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවිමේ කුඩාරමද පුජාසනයද උදෙසා සමගිකමක්˝ කළ යුතු විය.පුජාසනය මත˝ලේ ඉස ඒක පවිත්‍ර කොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධ කෙරේවා.˝ (ලෙව් කථාව 16:16,19,20).GrHSin 480.1

    විශේෂ දේව මෙහෙයක් වු වාර්ෂික සමගි කිරිමේ දවසෙහිදි පුජකයා අති ශුද්ධස්ථානය තුළට ගොස් ශුද්ධස්ථානය පවිත්‍ර කිරිමේ මෙහෙවර ඉටු කළ යුතු විය.මෙම මෙහෙයත් සමග එකී වර්ෂය සදහාවු මෙහෙවර නිමාවට පත් විය.සමගි කිරිමේ විශේෂිත දවසේදි එළු පැටවුන් දෙදෙනෙකු දේව මාළිගාවේ දොරටුව වෙත රැගෙන එනු ලැබිණ.එම එළුවන් ගැන පස ඇට දමනු ලැබීය.˝ස්වාමින්වහන්සේට එක පස ඇටයත්ය,අශාශෙල්ට එක පස ඇටයක්ය.˝(ලෙව් කථාව 16:8).පස ඇට දැමිමෙන් දෙවි සමිදුන්ට වු එළුවාගේ ගෙල සිදිමෙන් පසුව ඒ සතා ජනතාව උදෙසා පාප පුජාවක් ලෙස ඔප්පු කිරිමට නියම විය.එම එළුවාගේ ලෙය පුජකයා විසින් තිරයෙන් ඇතුළට රැගෙනවිත් එම රුධිරය කරුණාසනය මත්තෙහි සහ එය ඉදිරිපිට ඉසිනු ලැබිය.තවද එම ලෙය තිරයෙන් මෙපිට ඇති සුවද දුම් පුජාසනය මතද ඉසිමට නියම විය.GrHSin 480.2

    ˝ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියාදෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සුදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනානතරයට යැවිය යුතුය.එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය.˝ (ලෙව් කථාවේ 16:21,22).මෙම එළුවා තවත් කිසිම දවසක ඊශ්‍රායෙල් කදවුර වෙත නොපැමිණියේය.ඒ අතර ඔළුවාව දක්කා ගෙන ගිය තැනැත්තා කඳවුරට ඇතුළු විමට පෙර තම සිරුරද ඇදුම්ද සෝදා ගත යුතු විය.GrHSin 481.1

    දෙවියන්වහන්සේගේ අති ශුද්ධතායත්,උන්වහන්සේ පාපයට කෙතරම් දැඩිව පිළිකුල් කරනසේක්ද කියාත් ඊශ්‍රායෙලිතයන් තුළ ධාරණය කිරිම මෙම නමස්කාර මෙහෙයේ අරමුණ විය.තවද,ඔවුන් පාපය සමග යම් සබඳතාවයක් දක්වන්නේ නම් දුෂණය විම වැලැක්විය නොහැකි බවද එම මෙහෙය මගින් අවධාරණය විය.සමගි කිරිමේ මෙහෙය සිදුවෙන්නාවු අතරේදි සෑම මනුෂ්‍යයෙක්ම තමාගේ ප්‍රාණයට පීඩා කරගත යුතු බවට දෙවියන්වහන්සේ උපදෙස් දුන්සේක.සියලු දෛනික වැඩකටයුතු නවතා දැමිමටද නියම විය.මුළු ඊශ්‍රායෙලිත සමුහයා එදින දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත් පහත්ව යාච්ඤාවෙන්,නිරාහාරව හිදිමෙන්,ගැඹුරින් හදවත් සෝදිසි කරගැනිමෙහි නිරත වෙමින් එදින ගතකිරිම නිර්දේශ විය.GrHSin 481.2

    මෙම නියමානුකූල ආදර්ශනිය මෙහෙය මගින් සමගි කිරිම පිළිබඳ අගනා සත්‍යතාවන් උගන්වනු ලැබිය.පව්කාරයා වෙනුවට ආදේශයක් පිළිගන්නා ලදි.එහෙත් මරනු ලැබු පුජාවෙහි රුධිරය කරණකොටගෙන පාපය අවලංගු නොවිය.එම පාපය ශුද්ධස්ථානය වෙත පවරා දිමට මෙසේ ක්‍රමයක් නිර්මාණය කරදෙනු ලැබීය.රුධිරය පුජාකිරිමෙන් පව්කරුවා ව්‍යවස්ථාවේ බලඅධිකාරිත්වය පිළිගත්තේය.ව්‍යවස්ථාව කඩකිරිමේ පාපය උච්චාරණය කළේය.මතු පැමිණෙන්නාවු ගැළවුම්කාරයාණන් කෙරෙහි ඇදහිල්ල රඳවමින් පාපයට කමාව ලැබිමට වු ආශාව පෙන්නුම් කළේය.එසේ වුවද,ව්‍යවස්ථාව කඩකිරිමේ වරදින් ඔහු සම්පුර්ණයෙන්ම නිදොස් කර නිදහස් කර තිබුණේ නැත.සමගි කිරිමේ දවසෙහිදි උත්තම පුජකයා සෙනගගෙන් පුජාවක් ගෙන,එම පුජාවේ රුධිරය සමඟ අති ශුද්ධස්ථානය වෙත පා නැගිය.තිරයෙන් ඔබ්බට ගිය හෙතෙම රුධිරය ගෙන කරුණසනය මත ඉසිය යුතු විය.එම ලෙය ඉසිනු ලැබුවේ සෘජුව ව්‍යවස්ථාවට ඉහළින්ය.ව්‍යවස්ථාව ඉල්ලා සිටි වන්දිය මෙසේ ගෙවා දමන ලදි.මැදහත්කාරයා ලෙස මෙහෙවරය ඉටු කළ පුජකයා සියලු පාප තමා මත දරාගෙන ,ශුද්ධස්ථානයෙන් පිටතට පැමිණෙන දොරටුව වෙත පැමිණියේය.ඉක්බිතිව අශාශෙල්ට කැපවු එළුවාගේ හිස මත දෑත් තැබු පුජකයා තමා දරාගත් පාප සියල්ල එළුවාට පැවරුවේය.පාප රැගත් එළුවා වනාන්තරයට මුදා හරිනු ලැබිය.මෙසේ ,ජනතාවගේ සියළු පාප ඔවුන් වෙතින් සඳහටම ඉවත් කරනු ලැබුවේ යයි සලකුනු ලැබීය.GrHSin 481.3

    ˝ස්වර්ගීය වු දේවල් සටහනක්ව ඡායාවක්ව˝ තිබෙන ලෙසින් පැවැත්වු සමගි කිරිමෙහි මෙහෙය එයාකාර විය.මුලිකාදර්ශයක් ලෙස භුමික ශුද්ධස්ථානයේ සිදුකරනු ලැබු මෙහෙවරය යථාර්ථ වශයෙන්ම සගයෙහි ශුද්ධස්ථානයේ සිදුවන්නේය.සගයට ඔසවා ගනු ලැබීමෙන් පසුව අපගේ ගැළවුම්කාර සමිදාණෝ අපගේ උත්තම පුජකයාණන් ලෙස කටයුතු ඇරඹු සේක.පාවුල් මේ ගැන‍ මෙසේ පවසයි.˝මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශ වන අතින් සෑදු ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල් වුසේක.˝ (හෙබ්‍රෙව් 9:24).GrHSin 482.1

    ශුද්ධස්ථානයේ පළමුවන මණ්ඩපයේදි,වසර පුරාම,පුජකයෝ තේවා කටයුතු ඉටු කලෝය.ඔවුන් එසේ සේවය කළේ˝ තිරය ඇතුළතය˝.මෙම තිරය ශුද්ධ මණ්ඩපය පිටත මළුවෙන් වෙන් කරන දොරටුව විය.ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයට නැගී යාමෙන් පසුව කළ කාර්ය භාර්ය මෙයින් නිරූපණය විය.පුජකයන්ගේ දිනපතා තේවා කටයුතුවලදි පාප - පුජාවෙහි රුධිරය දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කිරිම පුජකයාගේ වැඩකොටසට අයිති වුවකි.ඊශ්‍රායෙලිතයන්ගේ යාච්ඤාවන් සමඟ සගය කරා නගින්නාවු සුවඳ දුම් ඔප්පු කිරිමද ඔහු සතු රාජකාරියෙහි කොටසක් විය.මෙසේම ක්‍රිස්තුස්වහන්සේද පව්කාරයා වෙනුවෙන් තමන්ගේම ලේ ඉදිරිපත් කරමින් ඔහුට කමා වන්නැයි පියාණන්වහන්සේ ඉදිරියෙහි ආයාචනා කළසේක.තවද, පසුතැවෙන්නාවු පව්කාරයාගේ යාච්ඤාවන් තමන්වහන්සේගේම දැහැමිතාව නමැති අගනා සුවදින් නහවා ක්‍රිස්තුස්වහන්සේ ස්වකීය පියාණන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළසේක.සගයේ තිබෙන්නාවු දේව මාළිගයේ මුල් මණ්ඩපයෙහි සිදු කරන ලද මෙහෙවරය මෙයාකාරය.GrHSin 482.2

    ගෝලයන්ගේ දර්ශන පථයෙන් ඉවත්වී සගය කරා ගිය ක්‍රිස්තුස්වහන්සේ සමගම ගෝලයන්ගේ ඇදහිල්ල උන්වහන්සේ සමග සගයට පිවිසියේය.ඔවුන්ගේ බලාපොරොත්තු මෙම සිද්ධින් සමග කේන්ද්‍රගත විය.අපට ඇති බලාපොරත්තුවද මෙය බව පාවුල් පවසයි.˝ ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවු නැංගූරමක් මෙන් අපට ඇත්තේය.යේසුස්වහන්සේ ... සදාකාලේටම උත්තම පුජකයෙක් වී,අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුළ්වු සේක.˝˝එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කරණකොටගෙන නොව,තමන්ගේම ලේ කරණකොටගෙන අප උදෙසා සදාකාල මිඳීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වු සේක.˝ (හෙබ්‍රෙව් 6:19,20;9:12).GrHSin 482.3

    ශුද්ධස්ථානයේ ප්‍රථම මණ්ඩපයේ සිදුවු මෙම තේවා කටයුතු සියවස් දහඅටක් පුරාම අඛණ්ඩව පැවැතියේය. පසුතැවෙන්නාවු පව්කාරයාට කමාව දෙන ලෙස ආයාචනය කළ ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය පව්කරුවාට කමාවත් පියාණන්වහන්සේ විසින් පිළිගනු ලැබිමත් සපයා දුන්නේය.එහෙත් පව්කාරයන්ගේ පාප වාර්තා තවදුරටත් පොත්වල ලේඛණගත කර තිබිණ.මුලිකාදර්ශ මෙහෙයන්හිදී,වසර අවසානයේදි සමගි කිරිමේ මෙහෙයක් ක්‍රියාත්මක විය. මිනිස් වර්ගයාගේ ගැළවිමේ වැඩ සැලැස්ම සම්පුර්ණ විමට පෙර ශුද්ධස්ථානයෙන් පාපය ඉවත් කිරිම සදහා සමඟි කිරිමක් කිරිමට ක්‍රිස්තුස්වහන්සේට නියම වී තිබුණේය.දවස් 2300 දිවැසි ප්‍රකාශන අනාවැකිය අවසානයේදි මෙම සේවය ආරම්භ විය.දානියෙල් දිවැසිවරයා ප්‍රකාශ කර තිබු පරිදි,ඒ අවස්ථාවේදි අපගේ උත්තම පුජකයාණන්වහන්සේ සමඟි කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරිම සදහා සගයේ ශුද්ධස්ථානයේ අතිශුද්ධ මණ්ඩපයට ඇතුළුවී ශුද්ධස්ථානය පවිත්‍ර කිරිමේ කාර්යය ආරම්භ කළසේක.GrHSin 483.1

    අතීතයේදි භෞමික ශුද්ධස්ථාන තේවා කටයුතු සිදුවු සමයේදි මිනිසුන්ගේ පාප ,ඇදහිල්ල කරණකොටගෙන පාප පුජාව මත පවරන ලදි.එහි රුධිරය කරණකොටගෙන සංකේත ලෙස පාපය භෞමික ශුද්ධස්ථානය වෙත පවරා දෙනු ලැබිණ.එසේම අළුත් ගිවිසුම අනුව පසුතැවිලි වන්නාවු තැනැත්තාගේ පාප ඇදහිල්ලෙන් ක්‍රිස්තුස්වහන්සේ මත පවරන ලදි.එහිදි නියමය ලෙස සිදුවන්නේ එම පාප ස්වර්ගීය ශුද්ධස්ථානයට යොමු විමය.භෞමික ශුද්ධස්ථානය තුළට යොමු වු පාප සියල්ල මගින් දුෂ්‍ය වු ශුද්ධස්ථානය,සමගි කිරිමේ දවසෙහිදී පවිත්‍ර කිරිමට භාජනය වු අයුරින්ම ස්වර්ගීය ශුද්ධස්ථානයේදි වාර්තාගත වී තිබු සෑම පාපයක්ම මකා හැරිම සඳහා ක්‍රියාදාමයක් සිදුවීම අනිවාර්ය විය.මෙය සිදුකිරිමට පෙර වාර්තා පොත් පිරික්සා බැලිමක් සිදුවිය යුතුය.කළ පව් ගැන පසුතැවිලි වී ගැළවිම පතා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල රැඳවිම මගින් සමගි කිරිමේ ක්‍රමවේදය තුළින් එහි ප්‍රතිපාදන ලැබිමට සුදුස්සන් වන්නේ කවර අයදැයි තීරණය කරගත යුතුය.මෙසේ පරික්ෂා කර බැලිම නොහොත් විනිශ්චය මේ සඳහාය.තමන්වහන්සේගේ ශුද්ධවු ජනතාව මුදා ගැනීමට පැමිණිමට පෙරාතුව මෙම විනිශ්චය කිරිම සිදුකළ යුතුය.මක්නිසාදයත් උන්වහන්සේ පැමිණෙන විට˝එකිනෙකාට තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ˝ යයි පවසා තිබේ.GrHSin 483.2

    දිවැසි ප්‍රකාශන වචනයෙහි ආලෝකය අනුගමනය කරමින් ඉදිරියට පා තැබු අයට නව ප්‍රවේශයක් දැකගැනීමට අවස්ථාව උදා විය.දවස් 2300ක දිගු අනාවැකි කාලය 1844 දී නිමාවට පත් විය.එකල පැවති පොදු කිතුණු චින්තනය වුයේ එම වසරේ නියමිත දිනයකදී ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණේය කියාය.නමුත් ශුද්ධ ලියවිලි අධ්‍යයනයේදි පසක් වුයේ ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ පැමිණීමට පෙරාතුව සමගි කිරිමේ කාර්ය භාරයේ අවසන් කටයුතු ඉටුකිරිම සදහා සග දෙව් මැදුරේ අති ශුද්ධස්ථානයට ඇතුළු වූ බවය.GrHSin 484.1

    පාප පුජාවක් ලෙස ක්‍රිස්තුස්වහන්සේ තමන් ශ්‍රි රුධිරය වගුල සේක.එසේම උත්තම පුජකයාණන් වු ක්‍රිස්තුස්වහන්සේ මැදහත්කාරයාණන්ද වනසේක.අශාශෙල්ට වු එළුවා සාතන් යයි නිර්දේශ විය.ඔහු වනාහි පාපයේ නිර්මාතෘවරයාය.පසුතැවිලි වන්නාවු සියළු පව්කරුවන්ගේ පාප අන්තිමේදි ඔහු මත තබනු ලබන්නේය.පාප පුජාවේ රුධිරයේ ආනිශංසනය කරණකොටගෙන උත්තම පුජකයා විසින් ශුද්ධස්ථානයේ ගොඩ ගැසී තුබු පාප එතැනින් ඉවත් කර ඒ ස්ථානය පවිත්‍ර කර එම පාප එළුවාගේ හිස මත පැටවීම කළ යුතු විය.ක්‍රිස්තුස්වහන්සේද තමන්ගේම රුධිරයෙහි සද්ගුණය මගින් ස්වර්ගීය ශුද්ධස්ථානයේ එක්රොක් වී තිබු,පසුතැවිලි වු ශුද්ධවන්තයන්ගේ පාප තමන් සේවා කාලයේ අවසානේයේදි සාතන් මත පවරනවා ඇත.එසේම විනිශ්චය අවසන් කර දඬුවම් පැමිණවිමේදි සාතන්ට දඬුවම් දෙනු ලබනවා ඇත.මිනිසුන්ට පව් කරන්නට සැලැස්විම නිසා ඔහු පාපයේ සම්පුර්ණ වගකිම දැරිය යුතුය.ඊශ්‍රායෙල් කඳවුරට නැවත පිටත් කර යවනු ලැබු ලෙසම සාතන්ද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟ ඉදිරියෙන් සඳහටම ඉවත්කර දමනු ලබන්නේය.යුගයේ අවසානේයේදි පාපයත් පව්කරුවාත් විනාශ කර දමන විනිශ්චයේදි සාතන් සදහටම ජීවිතයෙන් තුරන් කර දමනු ලබනවා ඇත.GrHSin 484.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents