Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    1 - යෙරුසලමෙහි විනාශය

    “අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදී වත් නුඹ දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස් වලින් සැඟවී තිබේ. නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස් වැටියක් නඟා, නුඹ වට කොට, සියලු දිශාවෙන්ම නුඹ කොටු කරගෙන නුඹ සහ නුඹ තුල සිටින නුඹේ දරුවන් ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්නට නාරින දවස් පැමිණෙන්නේය.’’ (ලූක් 19:42-44).GrHSin 1.1

    යේසුස්වහන්සේ ඔලීව කන්ද මුදුනේ සිටයෙරුසලම දෙස බැලූ සේක. උන්වහන්සේ ඉදිරියෙහි වූ දර්ශනය පැහැපත්ව සාමකාමීව පැවතුණි. මේ පාස්කු සමය විය. මෙම සුවිශේෂී ජාතික උත්සවය සැමරීම සඳහා යාකෝබ්ගේ දරුවෝ මෙම ස්ථානයට එක්ව සිටියහ. දසත පිහිටි සෑම රටකින් ම ඔවුහූ යෙරුසලමට පැමිණ සිටියහ. උයන් සහ මිදි වතුද වන්දනාකරුවන්ගේ කූඩාරම් විසිරව පැවති කොළ පැහැති කඳු බෑවුම්ද පඩි පෙළක් මෙන් වූ කඳුවැටි ද අතරෙන් ඊශ්‍රායලයේ අගනුවර වූ රජ මාළිගා සහ විශාල ගොඩනැගිලි අහස දෙසට දිස් විය. සියොන් දියණිය තම අභිමානයෙන් උදම් වී මෙසේ පවසන්නට වූවා සේ පෙනේ. “අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය; බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය’’ (ගීතාවලිය 48:1) යනුවෙන් ගීතිකාකාරයා මෙසේ ගායනා කළ අවස්ථාවේ දී මෙන්, සියොන් දියණිය තම අභිමානයෙන් උදම් වී මෙසේ පවසන්නට වූවා සේ පෙනේ. “මම බිසවක්ව වැඩ හිඳ ශෝකයද කිසිසේත් නොදනිමි.’’ ඇය සගයේ වරප්‍රසාදවලට හිමිකම් කී ආකාරයෙන් වත්මන් කලද ඇයට එම ගෞරවණීය ස්ථානය හිමිව ඇතැයි සියොන් දියණිය සිතුවාක් මෙන් පෙනේ. දේව මාළිගයෙහි අනගිභවනීය ගොඩනැගිලි පැහැදිලිව දැකගත හැකි විය. බැස යන හිරුගේ රැස් දහරාවන් කිරි ගරුඩින් තැනූ දේවමාළිගාවේ බිත්ති මත පතිත වෙමින් ඒවා අලෝකමත් කළේය. එකී රැස් දහරා රනින් නිමවූ දොරටු මතද, උස් කුළුණු සහ කොත් කැරැල්ල මතද පතිත වී පරාවර්තනය වෙමින් අති මනරම් සිරියක් මවා පෑවේය. එය යුදෙව් ජාතියේ අභිමානය විය. දේව මාළිගාවේ “පූර්ණ අලංකාරය’’ මෙම දර්ශනය දෙස නෙත් හෙළන්නා වූ සෑම ඊශ්‍රායෙලිතයෙකුගේ ගත සිත ප්‍රීති ප්‍රමෝදයෙන් සහ ජාතික මහන්තත්වයේ හැඟීම්වලින් පිරී ඉතිරී යෑම පුදුමයක් ද! එසේ වුවද, යේසුස් වහන්සේගේ සිත තුළ තෙරපෙමින් තිබුණේ වෙනස් ආකාර සිතුවිලිය. උන්වහන්සේ ලංවී නුවර දැක හැඬූ සේක.(ලූක් 19:41) යේසුස්වහන්සේ ජයග්‍රහන්විත ලෙස නගරයට ඇතුළු වූ සේක. අවට රැස්ව සිටි සෑම අයක්ම ප්‍රීතිය ප්‍රකාශ කළෝය. ඔවුහු තල් අතු වනමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ඔවුන්ගේ හෝසන්නා හඬ කඳු අතර දෝංකාරය දුන්නේය. මෙම සුවිශේෂ පුද්ගලයාණෝ රජතුමා යයි පැවසූ දහස් සංඛ්‍යාත ජනතාවගේ හඬ ගුවනට එක් විය. ඒ ඝෝෂාකාරී ජනතා හඬ මධ්‍යයේ ලෝකයේ ගැළවුම්කාරයාණෝ හදිසි විස්මිත දුකකින් වේදනාවට පත්ව සිටිසේක. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූද, ඊශ්‍රයෙලිතයන්ගේ පොරොන්දුවේ තැනැත්තවහන්සේ වූද උන්වහන්සේ තම බල අධිකාරිය මගින් මරුවා පරාජයට පත්කොට ඒ ග්‍රහණයට හසුව සිටි අය සොහොන් ගෙවලින් පිටතට හඬ ගැසූ සේක. උන්වහන්සේගේ ශ්‍රී දෙනෙතින් ඇද හැලුණු කදුළු දෙකොපුල් දිගේ රූරා ගලන්නට විය. එය ඉතා දැඩිවූ මැඩපැවැත්විය නොහැකි වේදනාවක් විය.GrHSin 1.2

    ක්‍රිස්තුස්වහන්සේගේ නෙතින් ගලා ආ කදුළු තමන්වහන්සේ උදෙසා වගුරුවනු නොලැබීය. තමන්වහන්සේගේ ඉදිරි ගමන් මග පිළිබඳව උන්වහන්සේ මනා ලෙස දැනසිටි සේක. උන්වහන්සේ ඉදිරියෙහි ගෙත්සෙමන පිහිටා තිබුණේය. තමන්වහන්සෙගේ දුක් ගාවිනාවෙන් යුතු ආත්මයේ වේදනාව වැගිරවීම සඳහා එයි දොරටු විවෘතව තිබෙන අයුරු උන්වහන්සේට දැකගත හැකි විය. බැටළු දොරටුවද උන්වහන්සේගේ නෙතට ගැටුණේය. යාග පූජාවන් උදෙසා මරණයට පත් කරනු ලැබීමට මෙම දොරටුව තුළින්, වසර සිය ගණනාවක් පුරා මරණයට බිලි වූ සතුන් ඇතුළට ගෙන යනු ලැබීය. “මරන්ට ගෙන යන බැටළු පැට‍වෙකු මෙන්’’ (යෙසායා 53:7) තමන්වහන්සේද ඉදිරි දිනකදී මෙම දොරටුව තුළින් ගමන් කළ යුතු බව උන්වහන්සේට පැහැදිලි විය. ඒ අතර කුරුසිපත් කරන ස්ථානය වූ කල්වාරියද නුදුරින් පිහිටා තිබුණේය. එහිදී උන්වහන්සේ තමන් ආත්මය පාප පුජාවක් ලෙස ඔප්පු කරන අතර එම පූජාව ඔප්පු කිරීම සඳහා තමා ඉදිරි දිනයක ගමන් කරන්නාවූ මාර්ගය අන්ධකාරයේ ඡායාවලින් වැසී යනවා ඇත. එහෙත් මෙම දර්ශන මෙනෙහි කිරීමෙන් උන්වහන්සේගේ ප්‍රීති ප්‍රමෝද අවස්ථාව යටපත් නොවීය. යේසුස්වහන්සේගේ චින්තනය මහත් සන්තාපයකට පත්ව තිබුණේ මේ දර්ශන ගැන කල්පනා කිරීමෙන් නොවීය. උන්වහන්සේගේ පරාර්ථකාමී ආත්මය තැවුලට පත්වූයේ තමන්වහන්සේට පැමිණෙන්ට තිබුණාවූ වේදනාවන් පිළිබඳ නොවීය. උන්වහන්සේ පැමිණියේ ඔවුන්ට ගැළවීම ලබා දීමටය. නමුත් ඔවුන් අන්ධකාරයේ ගිලී සිටි නිසාද, පසුතැවිල්ල එපා කළ නිසාද, යෙරුසලමේ දහස් ගණන් ජනතාව මත පැමිණෙන්ට යන ශෝචනීය ඉරණම නිසාද උන්වහන්සේ වැළපුණ සේක.GrHSin 2.1

    තමන්වහන්සේගේ තෝරාගත් ජනතාව වෙනුවෙන් දෙවියන්වහන්සේ ඔවුන් මත පතිත කළ විශේෂ වරප්‍රසාද මෙන්ම රැකවරණයද පිළිඳබව වූ අවුරුදු දහසකට වඩා දිගු ඉතිහාසය යේසුස්වහන්සේගේ දසුනට යොමුවිය. මොරියා දේශයෙහි පූජනීය කන්ද උන්වහන්සේගේ දෙනෙතට යොමුවිය. එහි තිබූ පූජාසනයක් මත තරුණයකු හොවා සිටියේය. කිසිම විරුද්ධතාවයක් ඔහුගෙන් නොවීය. ඔහු පොරොන්දුවේ පුත්‍රයා විය. දේව පුත්‍රයාණන්ගේ පූජාව එයින් සංකේතවත් විය. (උප්පතිත් 22; 16-18). එතැනදී, මහිමශ්‍රීය මෙසියස්වහන්සේ පිළිබඳ පොරොන්දුව, ආශිර්වාදයේ ගිවිසුම, ඇදිහිලිවතුන්ගේ පියා සමග ගිවිස ගන්නා ලදී. යෙබූසීය ඕර්ණාන්ගේ කමතට උන්වහන්සේගේ දසුන යොමු විය. එතැනදී ස්වර්ගය කරා විහිදී ගිය පූජාවෙහි ගිනි දැල්, විනාශකාර දූතයාගේ කඩුපහර ඉවතට හැරවීමෙහි සමත් විය. වරදට යටත් වූ මිනිසා වෙනුවෙන් ගැළවුම්කාරයාණන්වහන්සේගේ පූජාවත්, ඔවුන් වෙනුවෙන් වූ උන්වහන්සේගේ මැදහත්කාර සේවාවත් එයින් සංකේතවත් විය. (1 ලේකම් 21). ලොව අන් කිසිම ස්ථානයකට වඩා යෙරුසලම දෙවියන්වහන්සේගේ ගෞරවයට භාජනය වී තිබුණේය. ස්වාමින්වහන්සේ සියොන් තෝරාගෙන සිටි සේක. ස්වකීය නිවාසය ලෙස ඊට ආශා වූසේක. (ගීතාවලිය 132:13). එහිදී යුගයන් ගණනාවක් පුරා ශුද්ධ වූ අනාගතවක්තෘවරු තමන්ගේ අනතුරු ඇඟවීමේ පණිවිඩ ප්‍රකාශ කළහ. එහිදී පූජකයෝ දුම් භාජන ඔසවා ඔබ මොබ වැනුවෝය. එතැනින් අහසට නැගි සුවඳ දුම් බැතිමතුන්ගේ යාච්ඤා සමග මුසුව දෙවියන්වහන්සේ වෙත පැමිණියේය. එහිදී දිනපතාම මරනු ලැබූ බැටළුවන්ගේ රුධිරය පූජා කරනු ලැබීය. දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්ගේ පූජාවට එය පෙර දැක්මක් විය. එතැනදී ගිවිසුම් පෙට්ටියෙහි පියන්පත වූ කරුණාසනය මත වූ තේජසෙහි වලාකුළ මගින් යෙහෝව:වහන්සේ තමන් වැඩසිටීම එළිදරව් කළසේක. අහසත්,පොළොවත් සම්බන්ධ කළ අද්භූත හිණිමඟෙහි දෙපා පිහිටා තිබුණේ එතැනය. එම හිණිමඟෙහි දේවදූතයෝ ඉහලටත්, පහළටත් යමින් එමින් සිටියෝය. (උප්පත්ති 28:12, යොහන් 1:51) ස්වර්ගයෙහි අති ශුද්ධස්ථානය කරා වූ මාර්ගය ඒ මගින් පොළොවේ විවෘත විය. ඊශ්‍රායෙල් ජනතාව ජාතියක් වශයෙන් සදහටම පවතිනවා නිසැකය. යෙරුසලමද වැටී නොයනෙවා ඇත. (යෙරෙමියා 17:21-25). ඉමහත් සැලකිල්ලට පාත්‍ර වූ එම ජනතාවගේ ඉතිහාසය හඬ ගා පැවසුවේ එම සෙනඟ කැරලි ගසමින් දේව පටිපාටියට විරුද්ධව ක්‍රියා කළ කතාන්තරයයි. ඔවුහු ස්වර්ගයේ කරුණාවට එරෙහිව ක්‍රියා කළෝය. ඔවුහු තමන්ගේ වරප්‍රසාද වැරදි ලෙස පරිහරණය කළෝය. තමන් ලැබූ ශුභවාදී අවස්ථාවන් එපා කළෝය.GrHSin 2.2

    ඊශ්‍රායෙල් ජනතාව “දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම් කර, උන්වහන්සේගේ වචන සුළු කර, උන්වහන්සේගේ ප්‍රෝපේතවරුන්ට නින්දා කර’’ (2 ලේකම් 36:16) උන්වහන්සේගේ ආයාචනා නැවත නැවතත් එපා කළද කරුණාවෙන් යුක්ත වන උන්වහන්සේ තවදුරටත් කරුණාවෙන් යුක්තව ඔවුන්ට ආයාචනා කළසේක. ඒ අතර උන්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ වූයේ, “අනුකම්පාවෙන් පූර්ණ වූ, දයාවන්ත වූ, උදහස් වීමට ප්‍රමාද වන්නා වූ, අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තා වූ’’ දේවියන්වහන්සේ ලෙසය. (නික්මයාම 34:6). කරුණාභරිත පියෙකු තම රැකවරණයෙහි වූ පුත්‍රයෙකුට සලකනවාටත් වඩා වැඩි අවධානයකින් දේවියන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කරමින්, (2 ලේකම් 36:15). “ස්වාමින්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා උන්වහන්සේ....... පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක.’’ තරවටු කිරීම් ආයාචනා සහ බැගෑපත් ඉල්ලීම් වලින් ප්‍රයෝජනයක් නොවූ කල්හි පියවූ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහි වූ උත්තරීතර අගනා තෑග්ග ජනතාවට පූජා කළසේක. එසේය, සකල ස්වර්ගයම එකම තෑග්ගකට පොදි බැඳ දෙවා වදාළ සේක.GrHSin 3.1

    පසුතැවෙන්නේ නැති නගරයට අයාචනා කිරීම සඳහා ඔවුන්ට මනුෂ්‍ය පුත්‍රයාවම එවනු ලැබූ සේක. ඊශ්‍රායෙල් දරුවන් මිසර දේශයේ සිට යහපත් මිදි වැලක් ලෙස කැඳවා ගෙන පැමිණියේ ක්‍රිස්තුස්වහන්සේමය. (ගීතාවලිය 80:8). ඔවුන් ඉදිරියෙන් මිසදුටු ජාතීන් පළවා හැරියේද උන්වහන්සේය. උන්වහන්සේ එය “ඉතා සාරවත් කන්දක’’ සිටෙවූ සේක. ස්වකීය ආරක්ෂාව මැද එය රැකබලා ගැනීමට උන්වහන්සේ එය වටා තාප්පයක් ඉදිකළ සේක. එය පෝෂණය කිරීමට උන්වහන්සේ තම සේවකයන් එවූ සේක. මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? කියා උන්වහන්සේ අසන සේක. (යෙසායා 5:1-14). එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇතැයි උන්වහන්සේ බලා සිටි නමුත්, එහි වල් මුද්‍රික ඵල හට ගත්තේය. එසේ වුවද යහපත් ඵල හට ගන්නවා ඇතැයි යන දැඩි බලාපොරොත්තුවෙන් උන්වහන්සේම මිදි වත්ත වෙත පැමිණි සේක. එය විනාශ කර දමන්නේ නැතිව බේරා ගැනීම උන්වහන්සේගේ දැඩි ආශාව විය. උන්වහන්සේ මිදිවත්ත වටා අගලක් කැපූ සේක; එහි මිදි අතු කප්පාදු කර, ආදරයෙන් එය රැකබලා ගත් සේක. තමන්වහන්සේම රෝපණය කළ මෙම මිදිවත්ත බේරා ගැනීමට උන්වහන්සේ මහන්සි නොබලා ප්‍රබල වෑයමක යෙදුණු සේක.GrHSin 4.1

    ආලෝකයේ සහ තේජසේ ස්වාමින්වහන්සේ වසර තුනක් පුරා තම ජනතාව අතරට ගොස් ඔවුන් සමග කටයුතු කළසේක. “උන්වහන්සේ යහපත්කම් කරමින් ද, යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද, හැසුරුණු’’ සේක.(ක්‍රියා 10:38). තවද, උන්වහන්සේ බිඳුණු සිත් ඇති දනන් හට සැනසීම ලබා දෙමින්ද, මඩනා ලද්දවුන්ට නිදහස ලඟා කර දෙමින්ද, කොරව සිටි අයට අවිදීමට සලස්වමින්ද, බිහිරි වූවන් හට ඇසීම උදාකර දෙමින්ද, කුෂ්ඨ රෝගීන්ට සුවය ලබා දෙමින්ද, මළවුන් හට ජීවත්වීම අත්කර දෙමින්ද, දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරමින්ද, ගම් නියම්ගම් සිසාරා සැරි සැරූ සේක. (ලූක් 4:18; මතෙව් 11:5). සෑම තරාතිරමකම අයට උනවහන්සේ දයාබරිත ආයාචනයක් කළ සේක. “වෙහෙස වන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි’’යි යන්න උන්වහන්සේගේ ඉල්ලීමය. (මතෙව් 11:28).GrHSin 4.2

    තමා කළාවූ යහපත් ක්‍රියාදාමයනට උන්වහන්සේට ලැබුණේ නපුරු ප්‍රතිචාරයකි; ප්‍රේමයට ලැබුණේ වෛර කිරීමකි. (ගීතාවලිය 109:5). එසේ වුවද, උන්වහන්සේ ස්වකීය කරුණාවේ සේවය නොකඩවා සිදු කළසේක. උන්වහන්සේගේ දයාව හා අනුකම්පාව බලාපොරොත්තුවෙන් පැමිණි කිසිවෙකු හෝ හිස් අතින් ආපසු හරවා යැවීමක් කිසිවිටෙක හෝ සිදු නොවීය. නිශ්චිත නවාතැනක් නැතිව තැනිත් තැන යමින් දිවි ගෙවීම සමග අවලාදයට ලක්වීම සහ දිළිඳුකම උන්වහන්සේගේ දිනපතා කොටස විය. ජනතාවගේ අවශ්‍යතාවයන්ට සරණ වීම සහ ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම උන්වහන්සේගේ සේවයේ අරමුණ විය. ඒ අතරම ජීවනයේ දීමනාව පිළිගන්නා ලෙස ඉල්ලීමක් කිරීමද ඒ සේවයේ කොටසක් විය. දැඩි නොහික්මුණු හදවත් මගින් ආපසු හරවනු ලැබූ කරුණාවේ රළ පෙළ අනුකම්පාවේ සහ මිණිය නොහැකි ආදරයේ රළ පතර හා එකතුව එම හදවත් කරා නැවත නැවතත් යොමු විය. නමුත් ඊශ්‍රායෙලිතයෝ තමන්ගේ අතිඋතුම් මිතුරාණන්ගෙන්ද, එකම සහනදායකයාණන්ගෙන්ද ඉවත්ව සිටියහ. උන්වහන්සේගේ ආදරබර ආයාචනා සුළුකොට සලකනු ලැබීය. ඔවුහු උන්වහන්සේගේ අනුශසනා ගැරහීමට ලක් කළහ, උන්වහන්සේගේ අනතුරු ඇඟවීමේ අවමානයට ලක් කළෝය.GrHSin 5.1

    බලාපොරොත්තුවේ සහ සමාවීමේ පැය කඩිනමින් ගෙවී යමින් තිබුණේය. බොහෝ කලක් වගුරන්නේ නැතිව රඳවා ගෙන තිබූ දෙවියන්වහන්සේගේ උදහසෙහි කුසලාන පිරී ඉතිරි යෑමට ආසන්න වී තිබුණේය. දේව වචනයට පිටු පා ක්‍රියාකිරීම් සහ කැරලි ගැසීම් විශාල වශයෙන් සියවස් ගණනාවක් පුරා සිදුවෙමින් පැවතිණ. මේ ශෝචනීය කළු වලාව වරදකාර ජනතාව මත පුපුරා යාමට ආසන්න විය. මෙම ව්‍යසනයෙන් එම ජනතාව මුදවා ගැනීමට හැකි එකම තැනැන්වහන්සේව ඔවුහු එපා කළෝය; උන්වහන්සේට නින්දා කළෝය; අපවාදයට ලක් කළෝය. ඉදිරි දවස් කීපය තුළදී උන්වහන්සේව කුරුසියෙහි ඇණ ගසා මැරීමටද නියමිතව තිබුණි. ක්‍රිස්තුස්වහන්සේ කල්වාරී කුරුසිය මත එල්ලනු ලබන සිද්ධිය දේවියන්වහන්සේගේ තෝරාගත් ආශිර්වාදලත් සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය වනු ඇත. මුළු ලෝකයෙහි සියලු සම්පත් ලැබීම ඉදිරියෙහි එක ආත්මයක හෝ විනාශ වීම ඉමහත් අලාභයකි, දැරිය නොහැකි අනන්ත පාඩුවකි. යෙරුසලම දෙස නෙත් හෙළන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවිල්ලට හසු වුයේ මුළු නගරයෙහි, සමස්ථ යුදා ජාතියෙහි විනාශයයි. එම නගරය, එකී ජාතිය, වරක් දෙවියන්වහන්සේගේ තෝරාගත් සම්පත වූවාය, විශිෂ්ටතම වස්තුව වූවාය.GrHSin 5.2

    ඊශ්‍රායෙලිතයන් දේව වචනයට පිටු පා ක්‍රියා කිරීම ගැනද ඔවුන්ගේ පාප නිසා ඔවුන් මතට පැමිණීමට නියමිත වූ දඬුවම, මහත් සෝදාපාළුව සහ ජාතික විනාශය පිළිබඳවද අනාගතවක්තෘවරු වැළපුණෝ ය. දෙවියන්වහන්සේගේ රැල වහල්කමට ගෙන යනු ලැබීය. එම ගැටුමේ දී විශාල සෙනඟක් මරණයට පත්වූහ. මේ ගැන යෙරෙමියා අනාගතවක්තෘවරයා මහත් කම්පාවට පත් විය. තම ජනතාවගේ දියණියන් මරා දමනු ලැබීම ගැන දිවා රෑ වැලපීමට තමාගේ දෑස් කඳුළු උල්පතක් වන්නැයි යෙරෙමියා ඉල්ලා සිටියේය. ( යෙරෙමියා 9:1; 13:17). වසර කිහිපයක් නොව යුගයන් ගණනාවක් දිවැසින් දුටු තැනැන්වහන්සේගේ දුක හා ශෝකය කුමනාකාරයේ එකක් වූයේ ද? කාලයක් පුරා යොහෝව:වහන්සේගේ වාසස්ථානය වූ යෙරුසලම් නගරය විනාශ කිරීම සඳහා විනාශ‍යේ කඩුව ඔසවාගෙන සිටි දූතයාව උන් වහන්සේ දුටු සේක. පසුකාලයේ තීතස් හා ඔහුගේ හමුදාව රැඳී සිටි ස්ථානය වූ ඔලීව කන්දේ සිට නිම්නයට ඔබ්බෙන් පිහිටි ශුද්ධවූ ගොඩනැගිලි දෙස උන්වහන්සේ බැලූ සේක; කඳුළින් බර වූ නෙත් වලින් යුතුව උන්වහන්සේ භයානක ආකාරයකින් බලකොටුව වටා රඳවා තිබූ විදෙස් හමුදාව දුටු සේක. යුද්ධය සඳහා පැමිණෙන්නාවූ සතුරු හමුදාවෙහි පියවර හඬ උන්වහන්සේගේ සවන්හි පතිත විය. සතුරන් විසින් වටකරනු ලැබූ නගරයෙහි සිටි මෑණිවරුන් තම දරුවන්ගේ කුසගිනි නිවීමට රොටී ඉල්ලා කරන්නාවූ ආයාචනාත්මක හඬ, ළතෝනි හඬ උන්වහන්සේට ඇසුණේය. ගෘහ නිර්මාණයේ ශ්‍රේෂ්ඨ කෘතියක් වූ දේව මාලිගාව සහ ඒ අවට පිහිටි ශුද්ධවූ ගොඩනැගිලි ද ගිනිදැල් මඟින් සිප ගන්නා අයුරු උන් වහන්සේ දුටු සේක. තව ස්වල්ප දිනකින් එම ගොඩනැගිලි තිබූ ස්ථානවල ඉතිරිව තිබෙන්නේ ට යන්නේ ගින්නෙන් දැවී ගිය සුන්බුන් පමණක් බව උන් වහන්සේගේ දිවැසට පෙනී ගියේය.GrHSin 6.1

    වසර ගණනාවක් අනාගතයට නෙත් හෙලූ උන්වහන්සේගේ දර්ශන පථයට හසු වූයේ ගිවිසුමේ ජනතාව ලෝ පුරා නන් පෙදෙස්හි විසුරුවා හැර දිවි ගෙවන්නා වූ ආකාරයයි. වැඩි ඈතක් නොවූ දවසක යෙරුසලමෙහි වැසියන් කරා පතිත වන්නා වූ දඬුවම් දීම තාවකාලික විනිශ්චයක් පමණකි. ලෝකය මත පතිත වන්නා වූ අන්තිම විනිශ්ච‍යේ උදහසේ පාත්‍රය අන්තිම බිංදුව දක්වා වගුරුවනු ලබන හැටි උන්වහන්සේ දිවැසින් දුටුසේක. මේ සියල්ල දුටු යේසුස්වහන්සේගේ මුවින් පිටවූ ළයාන්විත වදන් තුළ දිව්‍ය අනුකම්පාවේ සහ ප්‍රේමයේ බැගෑපත් හඬ මුසුව තිබුණේය. ” අනේ අනාගතවක්තෘවරු මරන්නා වූ, නුඹ ළඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් නුඹේ දරුවන් එකතු කරගන්ට මම කී වරක් කැමැති වුණේම්ද?( මතෙව් 23:37). අහෝ! වෙනත් කිසිම ජාතියකට වඩා වරප්‍රසාදයට ලක්වූ ජනතාවෙනි,ඔබ කරා පැමිණෙන්නට යෝජිත දඬුවම ඔබ දැන සිටියා නම්! ඔබගේ සමාදානයට අයිති සම්පත් ඔබ දැන සිටියා නම්! විනිශ්චයේ දූතයාගේ දඬුවම් පැමිණවීම මම නවතාලීමි. මම ඔබට පසුතැවෙන ලෙස ආයාචනා කළෙමි. එහෙත් එම වෑයම නිශ්ඵල විය. ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මා එවූ සේවකයන්, නියෝජිතවරුන් පමණක් නොවේය. ඔබගේ මිදුම්කරුවාණන් වූ ඊශ්‍රායෙලිතයන්ගේ ශුද්ධවූ තැනැන්වහන්සේවද එපා කළහුය. ඔබ විනාශ වන්නෙහි නම් එහි සම්පූර්ණ වගකීම ඔබ භාරගත යුතු වන්නේය. “නමුත් නුඹලා ජීවිනය ලබන පිණිස මා ලඟට එන්න කැමති නැත.” (යොහන් 5:40).GrHSin 6.2

    ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලම තුළ දුටුවේ අවිශ්වාසයෙහි හා කැරලි ගැසීමෙහි සිත දැඩි කරගත් ලෝකයක් ඉක්මණින් දෙවියන්වහන්සේගේ විනිශ්චයට පාත්‍රවන සලකුණකි. පාපයට වැටුණාවූ මිනිස් වර්ගයාගේ දුක් වේදනාවන් උන්වහන්සේගේ ආත්මය තුළ දැඩි තෙරපීමක් ඇති කරමින් උන්වහන්සේගේ තොල්වලින් අති තිත්ත වූ හඬක් නික්මවීමට සැලැස්වීය. පාපයේ කුරිරු වාර්තා මිනිස් වර්ගයාගේ කාලකණ්ණි අත්දැකීම් තුළින්, කඳුළු තුළින් සහ රුධිරය තුළින් ද සනිටුහන් වී තිබුණු බව උන් වහන්සේ දුටු සේක. පීඩාවනට ලක්වූ දුක් විඳීම්වලට ගොදුරු වූ ලෝවැසි ජනතාව උදෙසා උන්වහන්සේගේ හදවත අනන්ත අනුකම්පාවෙන් සසල විය. ඔවුන් සැමට සහනය උදාකර දීමට උන්වහන්සේ තුළ මහත් කරුණාවක් පහළ විය. එහෙත් මිනිසා කරා ලුහුබැඳ එන්නාවූ විපතෙහි බිහිසුණු විපාකය වෙනතකට හැරවීමට උන්වහන්සේගේ ශ්‍රී හස්තය යොමුවන්නේ නැති බව පෙනේ. උපකාර කළ හැකි එකම මාධ්‍ය කෙරෙහි සරණ පතා යන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි. මිනිසුන්ට මිදීම ළඟාකර දීමට තමන්ගේ ජීවිතය පවා පූජා කිරීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටිසේක. එහෙත් ජීවිනය ලැබීමට උන්වහන්සේ ළඟට ඒමට කැමැති වන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.GrHSin 7.1

    ස්වර්ගයේ සර්වබලධාරී උත්තමයාණෝ හැඬූ කඳුළින් සිටිසේක! දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ සිත් වේදනාවෙන් යුතුව, සන්තාපයෙන් තෙරපී පීඩිතව සිටිසේක! මෙම දසුන මුළු ස්වර්ගයම විශ්මයට පත් කළේය. එම දසුන අපට එළිදරව් කරන්නේ පාපයේ ඇති බිහිසුණු පාපිෂ්ඨ ස්වභාවයයි. එයින් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වරදකාරයන් වූ අයව මුදාගැනීම ඉමක් කොනක් නැති දිව්‍ය බලයට පවා අසීරු කාර්යයක් බවයි. යෙරුසලමේ විනාශයට හේතු වූ මුළාවන් ට සමාන මුළාවක ලෝකයේ අවසාන පරම්පරාව පැටලී ඇති බව යේසුස්වහන්සේ දුටු සේක, සර්වඥානය තුලින් ලෝක ඉතිහාසයේ අවසන් යුගයේ දිවි ගෙවන්නා වූ අයව දුටුසේක. යුදෙව් ජනතාව සිදුකළ ඉතා මහත්වූ පාපය වූයේ ඔවුන් විසින් ‍ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම ය. ස්වර්ගයේ සහ පොළවේ උන්වහන්සේගේ රාජ්‍යයේ අත්තිවාරම වන දේව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම ක්‍රිස්තියානි ලෝකයේ මහත් පාපය වේ. යෙහෝව:වහන්සේගේ ශික්ෂා අවමානයට ලක් කර එහි වලංගුභාවය අහෝසි කරනු ලබනවා ඇත. පාපයේ බන්ධනයට යටවූ, සාතන්ගේ වහලුන් බවට පත්ව ඇති මිනිස් වර්ගයා ගණනින් විශාලය. මෙම කෝටි සංඛ්‍යාත මිනිස් ජනකාය දෙවැනි මරණයට ගොදුරු වීමට ඉරණම්ව සිටිති. ඔවුහූ සත්‍යතාවයේ වචන වලට ඇහුම්කන් දීම එපා කරති. කෙතරම් භයානක අන්ධභාවයක්ද! කෙතරම් බිහිසුණු මුළාවකින් මත් වී සිටීමක් ද!GrHSin 7.2

    පාස්කු මංගල්‍යයට දින දෙකකට පෙර ‍ක්‍රිස්තුස්වහන්සේ අවසන් වරට දේව මාලිගාවෙන් නික්ම ආ සේක. එහිදී උන්වහන්සේ යුදෙව් නායකයන්ගේ වංචාකාරකම් දෝෂාරෝපණයට ලක් කළ සේක. ඉක්බිතිව උන්වහන්සේ තමන් ගෝලයන් සමග ඔලීව කන්ද මතට ගමන් කළ සේක. එහි කඳු බෑවුමක එක්තරා ස්ථානයක් තෝරාගත් උන්වහන්සේ එහි බිම වාඩි ගත් සේක. එතැනට නගරය මනාව දර්ශනය විය. නැවත වරක් උන්වහන්සේගේ බැල්ම එහි පවුරු, කොත් සහිත ගොඩනැඟිලි සහ එහි වූ මාළිගාද වෙත යොමුවිය. දේව මාළිගාව අලංකාර ස්වභාවයකින් දීප්තිමත්ව බැබළෙමින් තිබිණ. අලංකාර කිරීටයක්, පැවතියාක් මෙන් වූ ශුද්ධවූ කඳු මුදුන ඔටුනු පැළඳි සිරියාවක් කියාපෑවේය.GrHSin 8.1

    ඊශ්‍රායෙල් සෙනඟගේ ශුද්ධවූ නිවස දෙවියන්වහන්සේගේ වාසස්ථානය බවට පත් කිරීමෙන් ගීතිකා රචකයා විසින් වසර දහසකට පෙරදී තම ජාතිය උදෙසා වූ දේව වරප්‍රසාදය මහත්සේ වර්ණනාවට ලක් කළේය. ඒ මෙසේය:” උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය. උන්වහන්සේගේ වාසස්ථානය සියෝන්හිය.“යුදා ගෝත්‍රය, තමන් ප්‍රේම කළ සියොන් කන්ද තෝරාගත් සේක. උන්වහන්සේ උස් වූ ස්ථාන මෙන්ද සදා කාලෙට තමන් පිහිටෙවූ පොළොව මෙන් ද ස්වකීය ශුද්ධ ස්ථානය ගොඩනැගූසේක.” ( ගීතාවලිය 76:2; 78:68,69). පළමු දේව මාළිගාව සාදන ලද්දේ ඊශ්‍රායෙලිතයන්ගේ ඉතිහාසයෙහි ඉතාමත් සමෘද්ධි කාලවකවානුවේදීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල වස්තු සම්භාරයක් දාවිත් රජතුමා විසින් එක්රැස් කර තිබුණේය. ගොඩනැගිල්ල ඉදි කිරීමේ සැලැස්ම දිව්‍ය ආනුභාවයෙන් ලබා දෙනු ලැබීය.(1 ලේකම්28:12,19) ඊශ්‍රායෙලයේ රජවරුන් අතුරෙන් ඉතාමත් ප්‍රඥාවන්ත රජතුමා වූ සාලමොන් ඉදිකිරීමේ කටයුතු නිම කළේය. ලෝකයේ එතෙක් ඉදිකරන ලද ශ්‍රී විභූතියක් තිබූ විශිෂ්ටම ගොඩනැගිල්ල දේවමාළිගාව විය. ඒත් ස්වාමින්වහන්සේ හග්ගයි අනාගතවක්තෘවරයා මගින් දෙවෙනි දේව මාලිගාව ගැන මෙසේ පැවසූ සේක, ” මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත් වන්නේ ය.” ” සියලු ජාතීන් සොලවන්නෙමි. සියලු ජාතීන් ආසාවෙන් දේද පැමිණෙන්නේය. මේ ගෘහය තේජසින් පුරවන්නෙමි යි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක.” ( හග්ගයි 2:9,7)GrHSin 8.2

    මුල් දේවමාළිගාව නෙබුකද්නෙශර් විසින් විනාශ කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට අවුරුදු පන්සියයකට පමණ පෙර එය නැවත වරක් ගොඩනගන ලදී. ජීවිත කාලයක් පුරා විදේශයක යටත්වැසියන් ලෙස විසූ ඊශ්‍රායෙල් ජනකොටසක් ආපසු සිය නිජබිම වෙත පැමිණියෝය. ඔවුන්ගේ දේශය පාළුව මුඩුබිමක් බවට පත්ව තිබුණේය. ඔවුහු සංවිධානය වී දේවමාළිගාව නැවත වරක් ගොඩනැගීමට ක්‍රියාත්මක වූහ. එම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම දමන විට එහි සිටි වයෝවෘද්ධ සමහර අය සලමොන්ගේ දේව මාළිගාවෙහි තේජශ්‍රීය දැක තිබූ නිසා වර්තමාන ගොඩනැගිල්ල මුල් දේව මාළිගාවට වඩා තේජසින් අඩු බව දැක වැලපෙන්නට වූහ. ඔවුන්ගේ සිත් තුළ තිබූ හැඟීම් ස්වභාවය අනාගතවක්තෘවරයා මෙසේ තදින් අවධාරණය කරයි.” මේ ගෘහය එහි පළමු තේජස ඇතිව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක් මෙන් නුඹලාගේ ඇස් වලට පෙනෙනවා නොවේද? ( හග්ගයි2:3) එවිට දෙවෙනි ගෘහයේ තේජස් මහිමය මුල් ගෘහයේ තේජසට වඩා උතුම් වන බවට පොරොන්දුවක් දෙන ලදී.GrHSin 9.1

    එහෙත් දෙවැනි දේවමාළිගාව අලංකාරත්වයෙන් පළමුවැන්නට සම නොවුනාක් මෙන්ම පළමු මාලිගාව හා බැඳුනු දිව්‍ය වැඩසිටිමේ දෘශ්‍යමාන ලකුණුවලින් ශුද්ධ කරනු නොලැබීය. එහි කැපකිරීම සනිටුහන් කිරීමට දිව්‍යමය බලයක් ප්‍රදර්ශනය නොවුණි. අලුත ගොඩනඟන ලද දේව මාළිගාව තේජසේ වලාකුළකින් පිරී තිබෙන බව නොපෙනුණි. පූජාසනය මත තිබූ යාග පූජාව දවාලීමට ස්වර්ගයෙන් ගිනි බැස ආවේ නැත. අතිශුද්ධස්ථානයෙහි කෙරුබ්වරුන් අතරෙහි ෂෙකයිනා මහිමය වැඩ සිටියේ නැත. ගිවිසුම් පෙට්ටිය, කරුණාසනය, සාක්ෂියේ ගල් පුවරු, අලුත් දේවමාළිගාව තුළ සම්බ නොවීය. පූජකයෙකු විසින් යොහෝව:වහන්සේගේ කැමැත්ත පවසන විට එයට ප්‍රතිචාර වශයෙන් ස්වර්ගයෙන් හඬක් නොපැමිණියේය.GrHSin 9.2

    හග්ගයි අනාගතවක්තෘ තුමා තුළින් දෙවියන්වහන්සේ දෙවා වදාළ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු වී ඇතැයි, පෙන්නුම් කිරීමට, යුදෙව් ජනතාව සියවස් ගණනාවක් පුරා නිෂ්ඵල වෑයමක යෙදුණාහ. අනාගතවක්තෘ තුමාගේ වදන්හි සැබෑ අර්ථය අවබෝධ කරගැනීමට අහංකාරය සහ අවිශ්වාසය ඔවුන්ගේ මනස අන්ධ කළේය. දෙවැනි දේව මාළිගාව යොහෝව:වහන්සේගේ තේජසෙහි වලාකුළ මගින් ගෞරවයට ලක් නොවීය. එහෙත් ශාරීරිකව පැමිණියා වූ පූර්ණ දේවත්වයේ දේව පුත්‍රයාණ්න්ගේ පැමිණීමෙන් දෙවැනි දේවමාළිගාව ඉමහත් ගෞරවයට මෙන්ම මහිමයටද ආශිර්වාදයටද යොමුවිය. නාසරිය මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවැනි මාළිගාවට වැඩම කර එහි උගන්වමින් ද රෝගීන්ට සුවය ලබා දෙමින්ද සේවය කරමින් ද” සකල ජාතීන්ගේ ආශාව” වූ උන්වහන්සේ සැබැවින්ම තම මාළිගාවට පැමිණි සේක. දෙවැනි දේව මාළිගාව පළමුවැනි දේව මාළිගාවට වඩා තේජසින් මහිමාලංකාරයෙන් උත්කෘෂ්ටතාවට පත්වුණේ ක්‍රිස්තුස්වහන්සේ එහි පැමිණීම නිසාය. එහෙත් ස්වර්ගය විසින් දානය කළ අති උතුම් තෑග්ග ඊශ්‍රායෙල් ජනතාව එපා කළෝය. ඒ ඓතිහාසික දිනයේදී නිහතමානී ගුරුතුමාණෝ දේව මාළිගාවේ රන් දොරටු වෙතින් පිටතට පැමිණීමත් සමගම දේව මාළිගාවේ තේජශ්‍රීය මහිමය සදහටම ඇයගෙන් ඉවත්ව ගියේය.” නුඹලාගේ ගෘහය නුඹලාට පාලු කොට අත්හරිනු ලැබේ.” යන (මතෙව් 23:38) ගැලවුම්කරුවාණන්ගේ වදන් සම්පූර්ණ වී තිබුණේය.GrHSin 9.3

    දේව මාළිගාව විනාශ කර දමනු ලබන බවට ක්‍රිස්තුස්වහන්සේගේ අනාවැකිය ඇසීමෙන් තැතිගත් ගෝලයෝ බියටත් විශ්මයටත් පත් වූහ. උන්වහන්සේ පැවසු දෙය වැඩි විස්තර සහිත ව අවබෝධ කරගැනීමට ඔවුන් තුළ ආශාවක් විය. දේව මාළිගා ගොඩනැගිළි අලංකාර ශෝභාවෙන් වඩ වඩාත් මහිමයට පත්කිරීමට විශාල ධනස්කන්ධයක් ද, මහා පරිමාණයේ මිනිස් ශ්‍රමය ද ගෘහ නිර්මාණ ශිල්පයේ සියුම් තාක්ෂණවේදයද වසර හතළිහකට වැඩි කාලයක් පුරා වැය වී තිබුණේය. මහා හෙරොද් රජ රෝම ධනය මෙන්ම යුදෙව් මහ ධන සම්පත් ද නිර්ලෝභීව ඉදිකිරීම සඳහා යොදවා තිබුණේ ය. එසේම, ලෝකයේ රජතුමා විසින් තමන්ගේ පුද්ගලික තෑගි පවා ගොඩනැගිල්ලෙහි අලංකාරය සඳහා දානය කර තිබුණේය. විශාල පරිමාණයේ කිරිගරුඬ කුට්ටි රොමයේ සිට යෙරුසලම වෙත එවා තිබුණේය. එම ගල් කුට්ටි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා භාවිතා විය. ගොඩනැගිල්ලෙහි ශ්‍රී විභූතිය සඳහා යොදාගත් මෙම අගනා දේවල් කෙරෙහි ගෝලයෝ තම ස්වාමියාණන්ගේ අවධානය යොමු කළහ. ” ආචාරිනී, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැඟිලිද!”, කියමින් ගෝලයෝ විශ්මය පළ කළෝය. (මාර්ක්13:1).GrHSin 10.1

    මෙවදන් ඇසූ යේසුස්වහන්සේ එයට පිළිතුරු වශයෙන් මෙම ගාම්භීර වූද, බියජනක වූද ප්‍රකාශය කළසේක: ” සැබෑවක් නුඹලාට කියමි - කඩා දමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේය.” (මාතෙව් 24:2)GrHSin 10.2

    යෙරුසලමෙහි විනාශයත් සමග යේසුස්වහන්සේගේ පුද්ගලික දෙවන පැමිණීමේ සිද්ධීන් එකට සිදුවන බවත්, විශ්වයේ සිහසුන දැරීමට උන්වහන්සේ තේජසින් යුතුව පැමිණ පසුතැවිලි නොවන්නා වූ යුදෙව්වන්ට දඬුවම් කර, රෝම බන්ධනයෙන් යුදෙව් ජාතිය ගළවා ගන්නා බවත් උන්වහන්සේගේ ගෝලයෝ සිතූහ. තමා දෙවෙනි වර පැමිණෙන බව ස්වාමීන්වහන්සේම ඔවුන්ට ප්‍රකාශ කර තිබුණේය. එහෙයින්, යෙරුසලම පිට විනිශ්චය පැමිණෙන බව ඇසූ විට ඔවුන්ගේ සිතුවිලි දෙවැනි ඊමෙහි සංසිද්ධිය කෙරෙහි යොමු විය. උන් වහන්සේ ඔලීව කන්දෙහි වැඩහුන් කළ උන්වහන්සේ වෙතට පැමිණෙන” ඒ දේ කොයි කලෙක සිද්ධ වන්නේ ද? ඔබවහන්සේගේ ඊමටත්, ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක් දැයි අපට කිවමැනව” යි ඔවුහු ඉල්ලා සිටියෝය.(මතෙව් 24:3)GrHSin 11.1

    අනාගතය කරුණාවෙන් යුතුව ගෝලයන්ගෙන් වසන් කර තිබුණි. මිදුම් කරුවාණන්ගේ දුක්විඳීම් සහ මරණයත්, ඔවුන්ගේ නගරයේ සහ දේව මාළිගාවෙහි විනාශයත් යන සිද්ධීන් දෙක පිළිබඳ මනා අවබෝධයක් ඔවුන්ට ලැබුනේ නම් ඔවුන් භීතියෙන් මුසපත් වීමට ඉඩ තිබුණි. කාලයේ අවසානය සිදු වීමට පෙර ඉටුවිය යුතු වැදගත් සිද්ධීන් පිළිබඳව කටු සටහනක් උන්වහන්සේ ඔවුන් ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේ වදාළ වචන ඒ අවස්ථාවේදී ගෝලයින් පූර්ණ ලෙස වටහා ගත්තේ නැත. එහෙත් ඒවායේ තේරුම් දිග හරිනු ලබන්නේ ඒවා ගැන උපදෙස් මහ ජනතාවට අවශ්‍ය වන විටය. ක්‍රිස්තුස්වහන්සේ ඒ අවස්ථාවේදී වදාළ අනාවැකියෙහි අදහස් දෙකක් ගැබ්ව තිබුණේය. යෙරුසලමෙහි විනාශය පිළිබඳ සිද්ධීන් එහි ඇතුළත් විය. තවද, වත්මන් ලෝක ඉතිහාසයෙහි අන්තිම කාලයේදී සිදුවන්නාවූ භයංකාර සිද්ධීන්ද ය එම අනාවැකියට ඇතුළත්ව තිබුණේ ය.GrHSin 11.2

    අසා සිටියා වූ ගෝලයන්ට කරුණු පැහැදිලි කළා වූ යේසුස්වහන්සේ ඔවුන්ට පවසා සිටියේ දේව සැලැස්මට විරුද්ධව ‍ක්‍රියාකළ ඊශ්‍රයෙල් සෙනඟ මත වැටෙන්නා වූ විනිශ්චයන් පිළිබඳවය. ඔවුන් විසින් මෙසියස්වහන්සේ ව එපාකර කුරුසිපත් කිරීම නිසා පැමිණෙන්නාවූ පලිගැනීමේ විපාකය පිළිබඳ විශේෂ සඳහනක් කිරීමට උන්වහන්සේ අතපසු කළේ නැත. එම භයංකාර සිද්ධියට පෙර නොවරදින ලකුණු ඇති වන්නේ ය. එම බියකරු පැය දැනුම්දීමකින් තොරව හදිසියේ පැමිණෙනවා ඇත. තවද, ගැලවුම්කරුවාණෝ තම අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟවීමක්ද කළසේක: ” එබැවින් අනාගතවක්තෘ වූ දානියෙල් විසින් කියන ලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද( කියවන්නා තේරුම් ගනීවා) එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලා යෙත්වා.” (මතෙව් 24:15,16 ලූක් 21:20) රෝම වැසියන් ගේ රූප වන්දනීය ධජය ශුද්ධ භූමියෙහි පිහිටුවා නගර සීමාවෙන් පිටත ඔවුන්ගේ භට හමුදා ආක්‍රමණයට සූදානම් ව සැදී පැහැදී සිටින විට ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් එම දේශයෙන් ඉවත්ව යමින් තම ආරක්ෂාව සලසා ගත යුතු විය. අනතුරු ඇඟවීමේ ලකුණු දැක ගන්නට හැකි වූ වහාම පලායාම කඩිනමින් සිදුවිය යුතු විය. යුදා දේශය පුරාම මෙන්ම යෙරුසලමෙහි ද සිටියා වූ ක්‍රිස්තු අනුගාමිකයින් පමාවකින් තොරව එම සංඥාවට කීකරු විය යුතු විය. එම අනතුරු හඬ නිකුත් වන විට යම් කිසි අයෙකු ගේ උඩ සිටින්නේනම් හෙතම ගේ ඇතුළත තිබෙණ ඉතා අගනා වස්තුව වුව ද ගැනීමට ගේ ඇතුලට නොයා යුතු විය. කෙතෙහි හෝ මිදි වත්තෙහි හෝ සේවය කරන්නා වූ අයෙක් දවසේ උෂ්ණත්වයෙන් පීඩා නොවිදීමට තමාගේ පළඳිනාව, ගළවා තිබූ එම පිටත සළුව ගැනීමට කාලය නොගත යුතු විය. මහත් විනාශයට හසු නොවන පිණිස ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවිය යුතු විය.GrHSin 11.3

    හේරොද්ගේ රාජ්‍ය කාලය තුළදී යෙරුසලම අලංකාරයෙන් ඉතා උසස් මට්ටමකට ගෙනෙනු ලැබ තිබිණ. නගරය පුරා ගොඩනැගිලි මත ඉදිකරන ලද කොත් කැරළි විය. නගරය වටා වූ තාප්ප සහ බලකොටු මගින් එය සුරක්ෂිත කර තිබුණේය. පවුරු බිඳ ඇතුළට පිවිසිය නොහැකි බවක් විද්‍යමාන විය. නෝවාගේ කාලයේ ඔහු විසින් ලෝක විනාශය පිළිබඳ අනාවැකියෙන් පැවසූ කල්හි ඔහුව කතා පතුරුවන්නෙක් යයි හඳුන්වන ලදී. එසේම, මේ කාලයේ දී ද යමෙක් මේ විනාශය ගැන ප්‍රකාශ කළේ නම් ඔහු වැරදි අවවාද ඉදිරිපත් කරන්නාවූ උමතුවෙකු හැටියට සලකනු ලබන්නට තිබිණි. “අහසත් පොළොවත් පහ වන්නේය. නුමුත් මාගේ වචන පහ නොවන්නේය“යි ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළ සේක.(මතෙව් 24:35) ඇයගේ පාප නිසා යෙරුසලම කෙරෙහි උදහස ප්‍රකාශ කර තිබුණේය. තවද, ඇයගේ මුරණ්ඩු අවිශ්වාසය ඇගේ ඉරණම සහතික කළේය.GrHSin 12.1

    මීකා අනාගතවක්තෘ තුලින් ස්වාමීන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක. ” යුක්තියට පිළිකුල් කොට, සියලු යුතුකම් පෙරලා, සියොන් ලේ වලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩ නගන්නාවූ, යකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්‍රයෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න. එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරු ද මිලේට පේන කියති. එහෙත් ඔවුහු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිහිටට විපත්තියක් නොපැමිණේ යැයි කියති.“මීකා 3:9-11.GrHSin 12.2

    යෙරුස‍ලෙමෙහි විසූ ජනතාවගේ දූෂිත ජන දිවිය සහ ඔවුන් තුළ තිබූ තමන් ධර්මිෂ්ඨ යයි යන චින්තනය මෙම වදන් මගින් මනාව විස්තර කර තිබේ. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි නීති රීති අකුරටම පිළිපදින බව අවධාරණය කළ ඔවුහු සත්‍ය වශයෙන්ම ව්‍යවස්ථාවේ සෑම ප්‍රතිපත්තියක්ම කඩකරමින් ජීවත් වූහ. ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙහි නිර්මලතාව සහ ශුද්ධ භාවය ජනතාවගේ පව් සහ දූෂ්‍යතාව එළිදරව් කළ නිසා ඔව්හු උන්වහන්සේට ද්වේශ කළහ. ඔවුන්ගේ පාපවල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට මුහුණදීමට සිදුවූ කරදරවලට මූලික හේතුව යේසුස්වහන්සේ යයි ඔවුහු උන්වහන්සේට චෝදනා කළෝය. උන්වහන්සේ පව් කර නැතැයි ඔවුන් දැන සිටියත් ජාතියක් වශයෙන් තමන්ගේ අනාගතය ආරක්ෂා කරගැනීමට නම් යේසුස් වහන්සේ මරණයට පත්වීම අවශ්‍යයයි ඔවුහු ප්‍රකාශ කළෝය. ” අපි ඔහුට මෙසේ ඉඩ හැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත්, අපේ ජාතියත් පැහැර ගන්නවා ඇත” යි ඔවුහු පැවසූහ. (යොහන් 11:48) ක්‍රිස්තුස්වහන්සේව පූජා කළා නම් ඔවුන් නැවත වරක් ශක්තිමත් ඒකීය ජාතියක් වනු ඇතැයි ඔවුන් තර්ක කළෝය. සකල ජාතියම විනාශයට පත් වනවාට වඩා එක් මිනිසෙකු මරණයට පත්වීම යෝග්‍යයයි පැවසූ තම උත්තම පූජකයාගේ තර්කයට ඔවුහූ එකඟ වූහ.GrHSin 13.1

    මෙසේ යුදෙව් නායකයෝ” සියොන් ලේවලින්ද, ජෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද” ගොඩනැගුවෝය. (මීකා 3:9) උන්වහන්සේ ඔවුන්ගේ පාප පිළිබඳව ඔවුන්ට තරවටු කළ නිසා, ඔවුහු තම ගැලවුම්කරුවාණන් මරණයට පත් කළහ. තමා දෙවියන්වහන්සේගේ වරප්‍රසාද ලත් සෙනඟක් යයි සලකමින් ස්ව ධර්මිෂ්ඨකමින් පූර්ණවූ ඔවුහූ ස්වාමීන් වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගෙන් මුදාගනු ඇතැයි කල්පනා කළහ. ” එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වනවා ඇතැයි අනාගතවක්තෘවරයා තවදුරටත් පැවසුවේය.” (මීකා 3:12)GrHSin 13.2

    ක්‍රිස්තුස්වහන්සේ විසින්ම යෙරුසලමෙහි විනාශය ප්‍රකාශයට පත් කළ සේක. ස්වාමීන්වහන්සේ නගරය මත සහ ජාතිය මත විනිශ්චය පැමිණවීම අවුරුදු හතළිහක් පමණ පමා කළ සේක. උන්වහන්සේගේ සුභාරංචිය එපා කළා වූ අය ගැන, උන්වහන්සේගේ පුත්‍රයාණන් මරා දැමූ අය ගැන, දෙවියන්වහන්සේගේ ඉවසීම පුදුම සහගත විය. ඵල නොදරන ගස පිළිබඳව වූ උපමාව මගින් පෙන්වා දෙනු ලැබුවේ යුදෙව් ජාතිය සමග දෙවියන්වහන්සේ ක්‍රියාකරන ආකාරයයි. ” ඒක කපා දමන්න; පොළොවට බරක් තිබෙන්නෙත් මක්නිසාද?” යන අණ නිකුත් විය. (ලුක් 13:7) එසේ වුවද, දිව්‍ය කරුණාව, එම අණ ක්‍රියාත්මක කිරීම තවත් මඳ කලක් පමා කළේය. ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ ක්‍රියාකිරීම් පිළිබඳව කිසිම දැනගැනීමක් නොතිබූ බොහෝ දෙනෙක් යුදෙව්වන් අතර සිටියෝය. දෙමාපියන් විසින් එපා කළ ආලෝකය ඔවුන්ගේ දරුවන්ට ලැබී තිබුනේ නැත. දෙමාපියන් භුක්තිවිඳි වරප්‍රසාද දරුවන්ට ලැබී තිබුනේ නැත. අපෝස්තුළුවරුන් සහ ඔවුන්ගේ සහායකයන් විසින් මෙම පණිවිඩය ඔවුන්ට දේශනා කරනු ලබනවා ඇත. එමඟින් සුභාරංචි ආලෝකය දරුවන් මත පතිත වන්නට දෙවියන්වහන්සේ ක්‍රියා කරනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ උපත සහ දිවි ගෙවීම පිළිබඳව පමණක් නොව උන්වහන්සේගේ මරණය සහ මළවුන්ගෙන් නැගිටීම පිළිබඳවද පළ වී තිබූ අනාවැකි ඉටු වී තිබෙන ආකාරය දරුවන්ට දැකගන්ට ඉඩහැරීම දේව අභිප්‍රාය විය. දෙමාපියන්ගේ පාප ගැන දරුවන් වරදකරුවන් බවට පත් කරනු නොලැබීය. එහෙත් දෙමාපියන්ට දෙනු ලැබූ මහත් ආලෝකය පිළිබඳව දරුවන් දැනුවත් ව සිටින්නා වූ අතරේ, ඔවුන්ට ලැබුණ අමතර ආලෝකය දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් තම දෙමාපියන් ගේ පාප වලට ද හවුල්කාරයන් වන අතර ඔවුන්ගේ අපරාධ නමැති කුසලානද සම්පූර්ණ වේ.GrHSin 13.3

    යෙරුසලම කෙරෙහි දෙවියන්වහන්සේගේ ඉවසීම යුදෙව් ජනතාවගේ පසුතැවිලි නොවීමේ දරදඬු පටිපාටිය ස්ථිර කළේය. යේසුස්වහන්සේගේ ගෝලයන් කෙරෙහි ඔවුන් තුළ පැවැති වෛරය සහ ද්වේෂය නිසා ඔවුහු තමන් ලද කරුණාවේ අවසාන දීමනාව ප්‍රතික්ෂේප කළෝය. මේ නිසා දෙවියන්වහන්සේ යුදෙව් ජාතිය කෙරෙහි වූ තමන් වහන්සේගේ රැකවරණ ක්‍රියාවේදය ඉවත් කළ සේක; ඊශ්‍රායෙල් ජාතියට එරෙහිව සාතන් සහ ඔහුගේ දූතයන් විසින් එල්ල කළ ප්‍රහාරය නොවැලැක්වූ සේක. එම ජාතිය විසින් තෝරාගත් බලධාරියාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වීමට ඔවුන්ට ඉඩ හරිනු ලැබීය. ඇයගේ දරුවෝ ක්‍රිස්තුස්වහන්සේගේ කරුණා අනුග්‍රහයට ගැරහුම් කළෝය. මෙම ක්‍රියාව කරණකොටගෙන නපුරෙහි චිත්ත පෙළඹවීම් යටපත්කර පාලනය කරගැනීමේ හැකියාව ඔවුන්ට අහිමිවිය. ඒනිසාම මෙම පෙළඹවීම් යුදෙව් දරුවන් පාලනය කරන්නට විය. ඉතා දරුණු ගණයේ පහත් මට්ටමේ රාගාධික හැඟීම් සාතන් විසින් මිනිස් සිත්සතන්හි ඇවිස්සුවේය. මිනිස්සු විචාරණශීලී භාවයෙන් කටයුතු නොකළහ.ඔවුන් විචාරණශීලී භාවය‍යෙන් ඔබ්බට ගොස් ආවේගශීලී හැඟීම්වලින් සහ බලවත් අන්ධ කෝපයකින් යුතුව ක්‍රියා කළහ. ඔවුන්ගේ කුරිරු භාවයෙන් ඔවූහු සාතනික වූහ. සැකය, ඊර්ෂ්‍යාව, වෛරය, ගැටුම්, කැරලි ගැසීම් සහ මරණය පවා සුලබ දෙයක් විය. පවුලේ සාමාජිකයන් අතරේ ද, ජාතියේ වැසියන් අතරේ ද මේ ගුණාංග දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණේය. ඉහළ තත්ත්වයේ අය අතර මෙන්ම සමාජයේ පහළ මට්ටමේ අය අතරද මෙම ගුණාංග එක සේ දැකගත හැකි විය. කිසිම තැනක ආරක්ෂාවක් නොවීය. නෑදෑ හිතමිතුරන් පවා එකිනෙකා පාවා දුන්නෝ ය. දෙමාපියන් තම දරුවන් මරා දැමූ අතර දරුවෝද තම දෙමාපියන් ඝාතනය කළෝය. ජනතාව පාලනය කළ පාලකයන් ට පවා තමාවම පාලනය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. පාලනය කරගත නොහැකි වූ ආශාවන් නිසා පාලකයෝ කුරිරු දුෂ්ඨ අය බවට පත් වූහ. වරදක් නොතිබූ දේව පුත්‍රයාණන් වරදකරුවකු ලෙස තීරණය කිරීමට යුදෙව්වෝ බොරු සාක්ෂි ඉදිරිපත් කළෝය. ඒ අතර දැන් එල්ල වූ බොරු චෝදනා නිසා ඔවුන්ගේම ජීවිත පවා අවදානමට ලක්ව තිබුණේය. ඔවුන්ගේ ක්‍රියාදාමයන් නිසා ඔවුහු බොහෝ කාලයක් පුරා මෙසේ කියමින් සිටියහ.” ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්න” (යෙසායා 30:11) දැන් ඔවුන්ගේ ආශාවට ඉඩ ඇරිණ. දෙවියන්වහන්සේ කෙරෙහි බිය තවදුරටත් ඔවුන්ගේ සිත් වලට බාධාවක් නොවීය. සාතන් ජාතියේ නායකත්වය දැරීය. සිවිල් බලඅධිකාරීහු මෙන්ම ආගමික නායකයෝ ද ඔහුගේ අධිකාරී බලයට යටත් ව සිටියෝ ය.GrHSin 14.1

    එකිනෙකාට විරුද්ධවූ බලසේනාවල නායකයෝ සමහර අවස්ථාවන්හිදී සන්ධාන වී දෙවියන්වහන්සේගේ බැතිමතුන්ට විරුද්ධව ක්‍රියා කරමින්, ඔවුන්ගේ සම්පත් කොල්ලකමින්, ඔවුන්ට වධ හිංසා වේදනා පැමිණවීමට යුහුසුළුව ක්‍රියා කළෝය. ඒ අතරම ඔවුහූ එකිනෙකාගේ පාක්ෂිකයන් සමග සටන් කරමින් තම විරුද්ධවාදීන් අනුකම්පා විරහිතව ඝාතනය කළෝය. දේවමාළිගය හා බැඳි ශුද්ධ තත්ත්වයට පවා ඔවුන්ගේ භයංකාර ක්‍රියාකාරකම් නවතාලීමට නොහැකිවිය. පූජාසනය ඉදිරියෙහි පවා නමස්කාරයෙහි යෙදෙන්නන් මරා දමන ලදි. මරා දමනු ලැබූ බැතිමතුන්ගේ මෘත ශරීරවලින් දේව මාළිගාව දූෂ්‍ය විය. අන්ධ දේව අපහාසාත්මක උඩඟුකමින් යුතුව මෙම භයානක ක්‍රියා කළවුන් දෙවියන්වහන්සේගේ නගරය වන යෙරුසලම විනාශ කර දමනු නොලබනවා ඇතැයි කියා කිසිම බියක් නොමැතිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. රෝම භට හමුදා දේවමාළිගාව වටලා සිටියදී තම බලය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස ඔව්හූ ව්‍යාජ අනාගතවක්තෘන් කැඳවා ඔවුන්ට අල්ලස් දී දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නාවූ ගැළවීම දෙස සෙනඟ බලා සිටිය යුතු යැයි අනාවැකි කීමට ඔවුන්ට උපදෙස් දුන්නෝය. සතුරන් පරාජය කර, ඔවුන්ව මුදවා ගැනීමට මහෝත්තමයාණන්වහන්සේ ඉදිරිපත් වනවා ඇතැයි විශාල ජනකායන් අන්තිම මොහොත දක්වාම බලාපොරොත්තුවෙන් සිටියෝය. එහෙත්, ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේගේ රැකවරණය එපා කළ බැවින් ඔවුන්ට දැන් ආරක්ෂාවක් නොවීය, අහෝ අභ්‍යන්තර කුළල් කා ගැනීම් නිසා භේද භින්නවූ ප්‍රීතියෙන් තොරවූ යෙරුසලම! එකිනෙකාගේ අතින් මරා දමනු ලැබූ ඇයගේ දරුවන්ගේ රුධිරයෙන් වීදි රතු පැහැ ගැන්වී තිබුණේය. ඒ අතර විදේශීය හමුදාව ඇගේ ආරක්ෂක පවුරු බිඳ දමමින් ඇගේ හමුදා භටයන් ඝාතනය කළේය.GrHSin 15.1

    යෙරුසලමෙහි විනාශය පිළිබඳව ක්‍රිස්තුස්වහන්සේ පැවසූ සෑම කරුණක්ම අකුරටම ඉටුවිය. “යම් මිම්මකින් නුඹලා මැන දෙන්නහුද එයින්ම නුඹලාටත් මැන දෙනු ලබන්නේය“යි උන්වහන්සේගේ අනතුරු ඇඟවීමේ වදන්වල සත්‍යතාව යුදෙව්වෝ අත්දැකීමෙන්ම අවබෝධකර ගත්තෝය. (මතෙව් 7:2)GrHSin 16.1

    මහත් විපතක සහ විනාශයක පෙර නිමිති ගෙනහැර පාමින් ලකුණු සහිත අද්භූත දේ දසත පෙනෙන්නට විය. දේව මාළිගාවට සහ පූජාසනයට ඉහළින් අස්වාභාවික එළියක් මැදියම් රැයේදී ආලෝකය විහිදුවන්නට විය. ඉර බස්නා වේලෙහි වලාකුළු මත අශ්ව රථ සහ හමුදා භටයන් යුද්ධයකට එක් රැස්වෙන අයුරු සිත්තමක් ලෙස දැකගැනීමට හැකි විය. රාත්‍රී කාලයේ දේව මාළිගාවේ සේවය කළ පූජකයෝ අභිරහස් ගුප්ත හඬවල් නිසා තැති ගැන්මට පත්වූහ. භූමිය සෙලවෙන්නට විය. “අපි දැන් ඉවත්ව යමුය.’’ යි කියන්නාවු මහත් සමූහයකගේ හඬක් ගුවනට මුසු විය. බලකොටුවට අයිති විශාල දොරටුවක් නැගෙනහිර දිශාවෙහි විය. එය මහත් බරකින් යුතු විය. එය වසා දැමීමට මිනිසුන් විසි දෙනෙකු පමණ අවශ්‍ය විය. කළු ගලින් නිම වූ දොරටුව දෙපස වූ වේදිකාවෙහි ගැඹුරට ගිල්වන ලද විශාල යකඩ පොලු මත දොරටුව සවිකර තිබුණේය. හදිසි හස්තයක් මගින් මැදියම් රැයේදී එම දොරටුව විවෘත කරන ලදී. Milman The History of the Jews book 15.GrHSin 16.2

    වසර හතක් පුරා එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙහි වීදි දිගේ ඉහළටත්, පහළටත් සක්මන් කළේය. එම නගරය මත පැමිණෙන විපත් සහ ඛේදජනක සිද්ධීන් පිළිබඳ ශෝචනීය වදන් පෙළක් ඔහුගේ මුවින් පිටවිය. රෑ දහවල් පුරාම ඔහු මෙම ලතෝනිය නොනවත්වා පැවසීය. “පෙර දිගින් හඬක් නික්ම එන්නේය! අපර දිගින් හඬක් නික්ම එන්නේය! සතර දිග් භාගයේ සුළංවලින් හඬක් නික්ම එන්නේය! යෙරුසලමට හා දේව මාළිගාවට විරුද්ධව හඬක් නික්ම එන්නේය! මනාලයන්ටත් මනාලියන්ටත් විරුද්ධ වූ හඬක් වන්නේය! මුළු මහත් ජනතාවට විරුද්ධව ඒ හඬ නික්ම එන්නේය!’’ (Milman, The History of the Jews book 13). මෙම පුදුමාකාර අමුත්තාව අල්ලා සිරගෙයි දමා කස පහර දෙන ලදි. එහෙත් ඔහුගේ දෙතොලින් කිසිම පැමිණිල්ලක් පිට නොවීය. නින්දා අපහාස මධ්‍යයේ ඔහු දුන්නා වූ එකම පිළිතුර “යෙරුසලමට දුක් වේ. දුක් වේ! එහි වැසියන්ට දුක් වේ. දුක් වේ! යන්න විය. ඔහු විසින් අනාවැකි වලින් පල කළ ආක්‍රමණයේදී ඔහු මරා දමනු ලැබූ මොහොත දක්වා ඔහුගේ ලතෝනිය නැවතුණේ නැත.GrHSin 16.3

    යෙරුසලමෙහි විනාශයේදී එකම කිතුණු බැතිමතෙකු හෝ මරණයට පත් නොවීය. ක්‍රිස්තුස්වහන්සේ උනවහන්සේගේ ගෝලයන්ට අනතුරු අඟවා තිබූ අතර, උන්වහන්සේගේ වචන විශ්වාස කළා වූ සියලුදෙනා එම ලකුණ ඉටුවන දිනය බලා සිටියහ. “එහෙත් යම් කලෙක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳු වලට පළායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුළු නොවෙත්වා” (ලුක් 21:20,21) රෝම හමුදාපති සෙස්ටියස් යටතේ පැමිණි යුද්ධ හමුදාව නගරය වටා කඳවුරු බැඳගත්තේය. එහෙත් බලාපොරොත්තු නොවූ විරූ අයුරින් වහාම පහරදීමට සුදුසු වාතාවරණයක් තිබුණද සතුරු හමුදාව තම ආක්‍රමණය නවතා දැමූහ. වට කරන ලද ජනතාව, තම සතුරන්ට විරුද්ධව නැගී සිටීමේ ශක්තියක් නැති බව තීරණය කරගෙන යටත් වීමට සුදානම්ව සිටියෝය. එම තීරණාත්මක මොහොතේදී රෝම සේනාධිපතියා, දැනගත නොහැකි යම්කිසි හේතුවක් නිසා තම හමුදාව රැගෙන ආපසු සිය රට බලා ගමන් ගත්තේය. මෙහිදී දෙවියන්වහන්සේ තමන් සන්තක සෙනඟගේ යහපත වෙනුවෙන් දේවාරක්ෂාව සලසා දීමට කටයුතු මෙහෙය වූසේක. පොරොන්දු ප්‍රකාර ලකුණක් බලාපොරොත්තුව සිටි කිතුණුවන්ට එකී ලකුණ ලැබුණේය. කැමති සෑම අයෙකුටම ගැළවුම්කාරයාණන්ගේ අනතුරු ඇඟවීමේ වදන්වලට කීකරු වීමට අවස්ථාව උදා විය. රෝමවරුන්ගෙන් හෝ යුදෙව්වන්ගෙන් කිසිම බාධාවක් නැතිව කිතුණුවන්ගේ පලායාම සිදුකර ගැනීමට දිව්‍ය මැදිහත්වීම මගින් කාරණා සිදුවිය. සෙස්ටියස් තම හමුදාවත් රැගෙන ආපසු යන්නාවූ අතරේදී, හදිසියේ තම නගරයෙන් පිටතට පැමිණි යුදෙව් සොල්දාදුවෝ ආපසු යන රෝම හමුදාව ලුහුබැඳ ගියෝය. හමුදා දෙක සටන් වැදී සිටියදී කිතුනුවන්ට නගරය හැර පලා යාමට අවස්ථාව පෑදුණේය. යෙරුසලම වටකරනු ලැබූ මේ අවස්ථාවේ යුදා දේශය සතුරන් ගෙන් තොර ව තිබුණේය. යුදෙව්වෝ තම කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට යෙරුසලමට රැස්ව සිටියෝය. මෙසේ දේශය පුරා සිටි කිතුනුවන්ට කරදරයකින් තොරව දේශයෙන් ඉවත්ව යාමට ඉඩකඩ උදාවිය. ඔවුහු තවත් පමා නොවී යෝර්දානෙන් එතෙර පිහිටි පෙරිය දේශයේ පෙල්ල නම් නගරය වෙත ආරක්ෂාව සොයා පැන ගියෝය.GrHSin 17.1

    සෙස්ටියස් සහ ඔහුගේ හමුදාව පසුපස හඹාගිය යුදෙව් හමුදාවෝ රෝම බලඇණියට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. ඔවුන් සහමුලින්ම විනාශ වෙතැයි බියක් පැතිර ගියේය. රෝම හමුදාව බේරී ආපසු ගියේ මහත් අපහසුවෙන්ය. යුදෙව්වන් අතර සිදු වූ ජීවිත හානිය ඉතා අල්ප විය. ඔවුහු තම යුද්ධ කොල්ලය ද ඇතිව ජයග්‍රාහී ලීලාවෙන් යෙරුසලම වෙත පැමිණියේය. ජයග්‍රහණයක් ලෙස පෙනුණු මේ සංග්‍රාමය යුදෙව් ජනතාව වෙත ගෙනාවේ නපුරක් පමණකි. රෝමවරුන්ට එරෙහිව දරදඬු ලෙස ඔවුන්ට විරුද්ධව ඒකරාශී වීමට යුදෙව්වරු එම ජයග්‍රහණයෙන් උදම් වූහ. එයට ප්‍රතිචාරය වුයේ විනාශයට ඉරණම් වූ එම දේශය කරා පැමිණි කිව නොහැකි ඛේදජනක විපතකි.GrHSin 17.2

    යෙරුසලම ආක්‍රමණය කිරීමේ ප්‍රයත්නය පසු දවසක තීතස් විසින් දියත් කරන ලදි. එහිදී යෙරුසලම මත පතිත වූ විනාශය ඉමහත් විය. පාස්කු මංගල්‍යය සමයේ නගරය සියල්ලෙන් සම්පූර්ණව තිබුණි. එම උළෙල සැමරීමට දශලක්ෂ ගණන් යුදෙව්වෝ යෙරුසලම් කොටුව තුල රැස්ව සිටියහ. එම නගරය තුළ වූ ආහාර ගබඩා නිසියාකාරයෙන් පුරවා තිබුණා නම් එය නගරවාසීන්ට වසර ගණනාවක් පුරා ආහාර සැපයීමේ හැකියාවක් වන්නට තිබුණි.එහෙත් විරුද්ධවාදී කණ්ඩායම් අතර පැවති ගැටුම් නිසා එම ආහාර ගබඩා කුටි විනාශයට පත්ව තිබුණේය. දැන් ඔවුන් සාගින්නේ භයානකත්වය අත් දුටුවෝය. තිරිඟු නැළියක් සඳහා තලෙන්තයක මිලක් ගෙවීමට සිදුවිය. සාගින්න තදින් මිනිසුන් කෙරේ බලපාන්නට විය. කුසගින්න නිවාගැනීම සඳහා මිනිසුන් තම බඳ පටි, පාවහන් සහ පලිහවල් ආවරණය කර තිබූ හම් වැස්ම සපා කෑවෝය. බොහෝ අය රාත්‍රී කාලයේ නගරයෙන් පිටතට ගියේ වල් පැළෑටි යනාදී කුමක් හෝ නෙළා ගැනීමට ය. එසේ ගොස් සිටියදී රෝම සොල්දාදුවන්ට හසුවීමෙන් ඔවුන් තද හිංසා පීඩාවන්ට ලක් කොට මරා දමන ලදී. භයානක තත්ත්වයකින් බේරී මහත් අසීරුවෙන් ආපසු පැමිණියා වූ අය පරෙස්සම් කර ගෙනාවාවූ පැලෑටි නගරය තුළ දී සොරා ගනු ලැබිණි. බලයේ සිටි අය තමන්ගේම යටත්වැසියන් සඟවාගෙන සිටි ආහාර ද්‍රව්‍ය බලෙන් ලබා ගත්තෝය. මෙම කුරිරු ක්‍රියාවන්හි යෙදුණු සමහර අය සතුව කෑම සඳහා ප්‍රමාණවත් ආහාර තොග තිබූ නමුත් අනාගතය සඳහා ආහාර ගබඩා කර තබා ගැනීම ඔවුන්ගේ ආශාව විය. GrHSin 18.1

    සාගතය සහ වසංගතය නිසා දහස් ගණන් ජනයා මරණයට පත්වූහ. ස්වභාවික සෙනෙහස විනාශයට පත්ව ඇති බව පෙනී ගියේය. ස්වාමි පුරුෂයෝ තම බිරින්දන් සතුව තිබු දෑ සොරා ගත්හ; බිරින්දන් සැමියන් සතු දෑ එසේම කොල්ලකා ගත්හ. දරුවෝ තම වයස්ගත දෙමාපියන් මුවට ගත් ආහාර බලෙන් ඩැහැගත්තෝය.” ස්ත්‍රියක් ඇගේම කුස‍යේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්ට ඈට පුළුවන්දැ“යි දිවැසිවරයා ප්‍රශ්නයක් නැඟීය.(යෙසායා 49:15 ) විනාශයට ලක් වූ එම නගරය තුළදීම එම පැණයට පිළිතුරු ලැබුනේය. ” දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත් වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය” ( විලාප ගී 4:10) යනුවෙන් සියවස් දහහතරකට පෙර පැවසූ අනතුරු ඇඟවීමේ අනාවැකිය නැවත වරක් ඉටුවිය.” මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුළ බිම තබන්ට අකමැති වූ නුඹලා අතරේ සිටින මෘදු වූ සිව්මැළි වූ ස්ත්‍රියගේ බැල්ම… ඈ බිහිකරන්නා වූ ළදරුවන් පිළිබඳයෙන්ද ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේ ය. මක්නිසාද නුඹේ සතුරා නුඹේ නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය.” ( ද්විතීය කතාව 28:56,57)GrHSin 18.2

    යුදෙව්වන් භීතියට පත් කොට ඔවුන්ව යටත් වීමට පොළඹවා ගැනීමට රෝම නායකයෝ උත්සාහ දැරුවෝය. සිරභාරයට ගැනීමේදී වධහිංසාවන්ට, විරුද්ධතාවයක් දැක් වූ අයට කසපහර දී ඔවුන් නගරයේ පවුරු ඉදිරියෙහිදී මරා දමන ලදී. මෙයාකාරයෙන් දවස් පතා සිය ගණනක් මරා දමනු ලැබූහ. යෙහෝෂාපාත් මිටියාවතෙහිද, කල්වාරියෙහිද සිය ගණනින් කුරුස ඉදි කර තිබුණේය.කෙතරම් විශාල කුරුස ප්‍රමාණයක් ඉදිකර තිබුණේ ද යත් ඒ කුරුස අතරෙහි මිනිසෙකුට යාමට ප්‍රමාණවත් ඉඩක් ද නොවීය. මෙම මිනිස් ඝාතන අඛණ්ඩව සිදුවිය. පිලාත්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි දී යුදෙව් ජනතාව එක් හඬින් මෙසේ පැවසුවෝය. ” ඔහුගේ ලේ අප පිටද අපේ දරුවන් පිටද වේවා!” ( මතෙව් 27:25 ) මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් දෙවියන්වහන්සේගේ උදහස මෙහිදී මනාව දැකගත හැකි විය.GrHSin 19.1

    මෙම බියකරු දර්ශනය නවතා දැමීමටද යෙරුසලමෙහි සම්පූර්ණ විනාශය තරමක් දුරට අඩුකරලීමටද තීතස් කැමති විය. මිටියාවත්වල ගොඩ ගැසී තිබූ මිනිස් මළ සිරුරු දුටු තීතස් භීතියෙන් මුසපත් විය. භ්‍රාන්තවූ අයකු මෙන් තීතස් තමා සිටි ඔලීව කන්ද මුඳුනේ සිට අති අලංකාර දේව මාළිගාව දෙස නෙත් හෙළීය. එම ගොඩනැගිල්ලෙහි එක ගල් කැටයකට හෝ අත නොතබන ලෙස ඔහු තම සොල්දාදුවන්ට අණ කළේය. මෙම බලකොටුවෙහි අයිතිය තහවුරු කරගැනීමට පෙර හෙතෙම යුදෙව් නායකයන්ට බැගෑපත් ආයාචනයක් කළේය. ශුද්ධ මාලිගාව රුධිරයෙන් අපවිත්‍ර කිරීමට තමාට බලකරන්න එපා යැයි ඔහු ඉල්ලා සිටියේය. ඔවුන් එම ශුද්ධ භූමියෙන් වෙනත් තැනකට පැමිණ සටන් කරන්නේ නම් කිසිම රෝම ජාතිකයෙක් දේව මාළිගාවෙහි පාරිශුද්ධතාව අපවිත්‍ර කරන්නේ නැතැයි සහතික වෙමින් තීතස් තවදුරටත් ඉල්ලීමක් කළේය. ජොසිපස් නැමැති ඉතිහාසඥයා ද චතුර ආයාචනයක් කළේය. යුදෙව් ජාතියෙහි ගැළවීම උදෙසාද, ඔවුන්ගේ නගරය බේරාගැනීම සඳහා ද, ඔවුන්ගේ පූජනීය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා ද යටත් වන්නැයි ඔහු ඉල්ලා සිටියේය. එහෙත්, ඔහුගේ වදන්වලට ලැබුණු ප්‍රතිචාරය නම් කුරිරු ශාප කිරීමක් පමණකි. යුදෙව් ජනතාව උදෙසා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට ඉදිරිපත් වූ අන්තිම මනුස්සයා ජොසිපස්ය. පිළිතුරු වශයෙන් උස් තියුණු ආයුධ ඔහු දෙසට යොමු කරන ලදී. යුදෙව් ජනතාව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආයාචනා ප්‍රතික්ෂේප කර තිබුණේය. අවවාද කිරීම් සහ ආයාචනා මගින් දැන් සිදුවූයේ ඔවුන්ගේ සිත් තව තවත් දැඩිවීමය. අන්තිමය දක්වා සතුරාට විරුද්ධව නැගී සිටීමට ඔවුහු දැඩි අධිෂ්ඨානයක පිහිටා සිටියෝය. දේව මාළීගාව බේරාගැනීමට තීතස් දැරූ වෑයම නිශ්ඵල විය. ගලක් පිට ගලක් රැඳී සිටින්නේ නැතැයි ඔහුට වඩා බලවත් කෙනෙක් විසින් තීන්දුවක් දී තිබුණේය.GrHSin 19.2

    යුදෙව් නායකයෝ අන්ධ හිතුවක්කාර ආකල්පයක පිහිටා සිටියෝය. වටකරනු ලැබූ මේ නගරයේ දුෂිත අපරාධ සිදුවිය. මෙයින් රෝමවරු තැති ගැනීමට පත් වූහ, කෝපයට පත්වූහ. අන්තිමේ දී තීතස් තීරණය කළේ වැරෙන් පහර දී දේව මාළිගාව අත්පත් කරගැනීමටය. එහෙත් හැකිනම් ගොඩනැගිල්ල විනාශ නොකර අත්පත් කරගැනීමට ඔහු තීරණයක් ගත්තේය. එසේ වුවද, ඔහුගේ ආඥා නොතකා හරින ලදී. රාත්‍රිය ළඟා වූ නිසා තීතස් තම කූඩාරම වෙත ගියේය. ඉක්බිතිව දේව මාළිගා දොරටු තුළින් පිටතට පැමිණි යුදෙව්වෝ පිටත සිටි රෝම යුද භටයන්ට ප්‍රහාරයක් එල්ල කළහ. අරගලය පවතින්නාවූ අතරතුරේදී ගිනි හුළක් අතින්ගත් රෝම සොල්දාදුවෙක් ද්වාර මණ්ඩපයේ විවෘත කවුළුවක් තුළින් එය දේව මාළිගාවට එල්ල කළේය. දේවදාර ලෑලි වලින්ඇතුළත සකසා තිබූ දේව මාළිගාව අවට ගොඩනැගිල්ල ක්ෂණයකින් ගිනි දැල්ලෙන් වෙලී ගියේය. තීතස් අනික එතනට දිව ආවේය. ඔහු පසුපස අවශේෂ යුද්ධ නිලධාරීහුද දිව ආවෝය. ගින්න නිවා දමන ලෙස ඔහු සොල්දාදුවනට අණ කළේය. ඔහුගේ වදන්වලට කීකරුවන බවක්, පෙනෙන්නට නොවීය. කෝපයට පත්ව සිටි හේවායෝ ගිනි හුළු ගෙන දේව මාළිගාව වටා තිබූ කුටි වලට එල්ල කළෝය. සිය කඩු සුරතට ගත් සොල්දාදුවෝ එකී කුටි වෙත කඩාපැන හි ලැගුම්ගෙන සිටි විශාල සංඛ්‍යාත යුදෙව්වන් සමූහයක් මරා දැමුවෝය. දේව මාළිගා පඩිපෙළ දිගේ ජල ධාරාවක් මෙන් රුධිරය පහතට ගලා ආවේය. යුදෙව්වෝ ලක්ෂ ගණනින් විනාශයට පත්වූහ. යුද්ධ ඝෝෂා හඬ දෙබෑ කරමින් “ඊකාබොද්” - තේජස පහව ගියේ යැයි යන හඬ ගුවන පුරා දෝංකාරය දුන්නේය. GrHSin 20.1

    “සොල්දාදුවන්ගේ බලවත් කෝපය මැඩ පවත්වා ලීමට තීතස්ට නොහැකි විය. හෙතෙම තම නිලධාරින් සමග ශුද්ධස්ථානය ඇතුලට ගොස් විනාශය පරීක්ෂා කර බැලුවේය. එහි අලංකාර ශෝභාව ඔවුන් පුදුමයට පත් කළේය. ගිනි දැල් තවමත් ශුද්ධස්ථානය ඇතුළට ගොස් නොතිබුණේය. එම ගොඩනැඟිල්ල බේරාගැනීමට ඔහු අන්තිම වෑයම ද ක්‍රියාත්මක කළේය. ඔහු නැවත වරක් ඉතා කඩිනමින් සොල්දාදුවන් වෙත ගොස් ගිනිසිළු පැතිර යාම නවතා දමන ලෙස අණ කළේය. බොහොම හමුදාවේ ශතාධිපතියෙකු වූ ලිබේරාලීස් තමාගේ නිල බලය යොදවමින් කීකරු වන්නැයි හමුදාවේ අයට නියෝග කළේය. එසේ වුවද, අධිරාජයාට වූ ගෞරවය අභිබවා යුදෙව්වන්ට එරෙහිව තිබූ කෝපාග්නිය තව තවත් සොල්දාදුවන් තුල ඉස්මතුව නැගී ආවේය. තමන් අවට තිබෙන්නා වූ සෑම දෙයක්ම රනින් බබළනවා හේවායන් දුටූහ. ගිනිසිළු නිසා රන් ඇතිරිලි වඩාත් දීප්තියෙන් බබළන්නට විය. දේව මාළිගාව තුළ මුදලින් වටිනාකම තක්සේරු කළ නොහැකි සම්පත් ඇති බව ඔවුනට හැඟී ගියේය. ඒ අතර එක් සොල්දාදුවෙක් ගිනි පන්දමක් ගෙන දොරෙහි සරනේරු අතරින් එය ඇතුළට දැම්මේය. ක්ෂණයකින් මුළු ගොඩනැගිල්ලම එකම ගිනි ජාලයක් විය. ගොඩනැඟිල්ල ඇතුළත වූ ගින්න සහ තද දුම, ඇතුළත සිටි නිළධාරීන්ට ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට බල කළේය. මේ මන්දිරය එහි ඉරණමට හසුවිය.GrHSin 20.2

    එම දසුන රෝමවරුන්ට බියකරු තැතිගන්වන සුළු එකක් විය. එය යුදෙව්වාට කුමන සිතුවිලි උදාකරන්නට ඇද්ද? කඳු මුඳුනක් මත ගොඩනඟා තිබූ නගරය ගිනි කන්දක් පුපුරා ගිය ආකාර පෙනුමක් ගෙන දුන්නේය. ගොඩනැගිලි එකින් එක මහත් ශබ්දයකින් යුතුව පොළොවට සමතලා විය. ඒවා ගිනි විල විසින් ගිල ගන්නා ලදී. දේවදාර ලෑලි වලින් තනා තිබූ ගොඩනැගිලි පියසි ගිනි ඇතිරිලි ලෙස දිස්විය. රන් ආලේපිත කොත් කැරළි රතුපාට ආලෝකය විහිදුවන කූරු ලෙස පෙණුනේය. දොරටු හා බැඳි කුලුණු මගින් යැවූ දුම් වළාවන් සහ ගිනි දැල් අහස සිප ගත්තේය. අවට තිබූ කඳු ගින්න නිසා ආලෝකමත්ව තිබුණේය. විනාශයේ වර්ධනය නරඹමින් මිනිස් කණ්ඩායම් එම කඳුවල සිටිනවා පෙනී ගියේය. අවුල් සහ තැවූල් සිතින් යුතුව ඔවුහු එම බියකරු දසුන දෙස බලා සිටියහ. කඳු මුදුනෙහි වූ ගෙවල ජනේල තුළින් මුහුණු විශාල සංඛ්‍යාවක් ශාප කරමින් සිටිනවා පෙණුනේය. තවත් අය බලාපොරොත්තු සුන් වූ වේදනාවෙන් පිරි සිටියෝය. ඔබමොබ සිටියා වූ රෝම සොල්දාදුවන්ගේ කෑකෝ ගැසීම ඝෝෂාවක් ඇති කළේය. ගින්නෙන් විනාශ වන්නාවූ කැරළිකාරයන්ගේ ලතෝනි තවත් පසෙකින් ඇසෙන්නට විය. ගිනිගෙන දැවෙන ශබ්දය සමග ඇද හැලෙන්නා වූ ලෑලි ශබ්දය අනෙක් ශබ්ද සමඟ මුසු වි ඉමහත් ඝෝෂාවක් ඇති කළේය. උස් තැන්හි සිටි අයගේ ලතෝනි හඬ අවට කඳු වල හැපී දෝංකාරය දෙමින් ශබ්ද අතරට එක් විය. මිනිසුන්ගේ යටි උගුරෙන් වන කෑගැසීම් පවුර පුරා ඇසෙන්නට විය. සාගින්නෙන් මියැදෙමින් සිටි අය තමන්ට ඉතිරිව තිබූ ශක්තිය යොදවමින් බලවත් වේදනාවෙන් යුතුව ශෝකබර හඬක් නැගූහ.GrHSin 21.1

    ” පිටතින් දකින්නට ලැබුණු දසුනට වඩා ඇතුළත සිදු වූ මිනිස් ඝාතනය ඉතා භයංකාර විය. පිරිමි අය මෙන්ම කාන්තාවන්ද, වැඩිමහළු අය මෙන්ම බාලයන්ද, කැරැලිකරුවන් මෙන්ම පූජකයන්ද, සටන් කළ අය මෙන්ම අනුකම්පාව යදින්නන්ද කිසිම වෙනසකින් තොරව ඝාතනය කර දමන ලදී. මිනී මැරූ අයට වඩා මරණයට පත් වූණු අය ගණනින් වැඩිවිය. විනාශය සම්පූර්ණ කිරීම සඳහා රෝම සොල්දාදුවන්ට මළමිනි උඩින් ගමන් කරන්නට සිදුවිය.” Milman, History of the Jews, book 16.GrHSin 21.2

    දේව මාළිගාවේ විනාශයෙන් පසුව මුළු නගරයම රෝම හමුදාව අතට පත් විය. යුදෙව් ජන නායකයෝ බිඳ හෙළිය නොහැකි තම බලකොටු අතහැර දැමූහ. එම ගොඩනැගිලි හුදෙකලාව තිබෙනවා තීතස්ට දැකගත හැකි විය. ඔහු පුදුමයෙන් යුතුව එම ගොඩනැඟිලිවල සිරි නැරඹිය. දෙවියන්වහන්සේ විසින් එකී සියල්ලම තමන්ගේ අතට පවරා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මක්නිසාදයත් කොයිතරම් බල ශක්තිය තිබුණ ද, කිසිම යන්ත්‍රයකට එම ගොඩනැගිලි පවුරු බිඳ හෙළිය නොහැකි වූ බව ඔහුගේ කල්පනය විය. නගරය සහ දේව මාළිගාව බිමට සමතලා කර දමනු ලැබීය. අත්තිවාරම් සමහරක් පමණක් ඉතිරි විය. ශුද්ධවූ දේව ගෘහය තිබූ බිම් පෙදෙස ” කෙතක් මෙන් හානු ලැබීය”. (යෙරෙමිය 26:18.) මෙම වටලෑමත් පසුව සිදු වූ මිනිස් ඝාතනයත් නිසා මිනිස් ජීවිත දශ ලක්ෂයකට වඩා විනාශ විය. ඉතිරිව සිටි අය යුද්ධ සිරකරුවන් ලෙස රෝමයට ඇදගෙන ගොස් අධිරාජයාට තිළිණයක් ලෙස ඔප්පු කරන ලදී. තවත් අය වහලුන් ලෙස විකුණා දමන ලදී. තවත් අය රංගන මණ්ඩපවලදී සතුන්ගේ ආහාරය ලෙස එහි මැදට විසි කරන ලදී. ඉතිරි අය නිවෙස් නැති ඔබමොබ යන්නන් ලෙස ලොව පුරා විසුරුවා දමනු ලැබීය. GrHSin 22.1

    යුදෙව් ජනතාව තමන්ගේ විලංගු තමන් අතින්ම නිපදවූහ. තමන්ගෙන් පලිගැනීමේ කුසලාන ඔවුන් විසින්ම පුරවා ගන්නා ලදී. ජාතියක් වශයෙන් ඔවුන්ට හිමිවුණේ අන්ත විනාශයකි. තවද, විසුරුවා හරිනු ලැබීමෙන් පසුව ඔවුන්ට අත්වූ විපත්ති සහ ඛේදජනක සිදුවීම් මහත්ය. මේ සියල්ලෙහි දී ඔවුන් තමන් විසින්ම වැපිරු දැයෙහි අස්වැන්න නෙලා ගනිමින් සිටියෝය. අනාගතවක්තෘවරයා මෙසේ පවසයි: “අනේ ඉශ්‍රායෙල් නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධ ව සිටීමෙන් ය….. මක්නිසාද නුඹේ අයුතුකම් නිසා නුඹ වැටී ඉන්නෙහිය” (හොෂේයා 13:9; 14:1) ඉශ්‍රායෙල්වරුන්ට විඳින්නට සිදුවූ දුක් විපත් දෙවියන්වහන්සේගේ ඍජු දඬුවම් දීමේආඥාව නිසා සිදුවන බව කියනු ලැබීය. මහා රැවටිලිකාරයා මිනිස්සුන්ට මෙසේ සිතීමට යොමු කර වන්නේ තමාගේ ක්‍රියාවේදය සඟවා තබාගැනීමටය. යුදෙව් ජනතාව හිතුවක්කාර ලෙස දිව්‍ය ප්‍රේමය සහ කරුණාව ප්‍රතික්ෂේප කළෝය. එම නිසා එකී ජනතාව කෙරෙහි තිබූ දිව්‍ය රැකවරණය ඔවුන්ගෙන් ඉවත් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස තම කැමැත්ත පරිදි ඔවුන්ව පාලනය කිරීමට සාතන්ට අවසර ලැබුණේය. යෙරුසලමේ විනාශය‍යේ හිදී මහත් භයානක කුරිරුකම් සිදුවිය. සාතන් ගේ බලය යටතට පත්වන්නාවූ අයට අත් වන්නා වූ ඉරණම එමගින් ප්‍රදර්ශනය වන්නේ ය.GrHSin 22.2

    අප භුක්ති විඳින්නාවූ සමාදානය සහ රැකවරණය ගැන අප ක්‍රිස්තුස් වහන්සේට කොයිතරම් ණයගැති දැයි අපට දැනගත නොහැකිය. සාතන්ගේ අධිකාරී බලයට සම්පූර්ණ ලෙසින් යටපත්වීමෙන් වැළකීමට මිනිස් සතහට සරණ වන්නේ දෙවියන්වහන්සේගෙන් මැඩපැවැත්වීමෙහි බලයයි. අකිකරු අය මෙන් ම ස්තුතිවන්ත නොවන්නා වූ අයද දෙවියන්වහන්සේට කෘතඥතාව දැක්විය යුත්තෝය. ඒ සඳහා කරුණු එමටය. ඔවුන් දෙවියන්වහන්සේගේ කරුණාව ගැන ස්තූතිවන්ත විය යුතුය. නපුරාගේ කුරිරු දුෂ්ට බලය ඔවුන් කෙරෙහි යෙදවීමට වූ සාතන්ගේ වෑයම වළක්වාලීමට උන්වහන්සේ ඉවසිල්ලෙන් කටයුතු කරන සේක. එහෙත්, දිව්‍ය ඉවසීම සහ දරාසිටීමේ සීමාව යම් අයකු විසින් පසුකළ කල්හි ඒ වලක්වාලිමෙහි බලය නැති වන්නේ ය. පාපයට විරුද්ධව තීන්දුව ක්‍රියාත්මක කිරීමේ කෙනෙක් ලෙස දෙවියන්වහන්සේ පව්කාරයා ඉදිරියේ පෙනී සිටියේ නැත. එහෙත්, උන්වහන්සේගේ කරුණාව එපා කළ අයට ඔවුන් වැපුරූ දේ කපා ගැනීමට උන්වහන්සේ ඉඩහරින සේක.සෑම ආලෝක ධාරාවක්ම එපා කරනු ලැබූ විට, සෑම අනතුරු හැඟවීමක් ම නොසලකා හැර එපා කළ විට, මිනිසා සදාචාරාත්මක නොවන ක්‍රියාවල යෙදුණු විට, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩකරන විට, මේ සියල්ල වපුරන ලද බීජ වන බැවින් එහි අස්වැන්න කපා ගැනීම අනිවාර්යෙන්ම සිදුවන්නේය. අවසානයේදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේව නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරන්නා වූ අයගෙන් ශුද්ධාත්මයාණන්ව ඉවත් කරනු ලැබේ. එවිට මිනිසාගේ ආත්මයේ නපුරු සිතැඟියාවන් පාලනය කිරීමට බලය ඉතිරිවන්නේ නැත. එකල්හි එම තැනැත්තාට සාතන්ගේ ද්වේෂයෙන් සහ සතුරුකමෙන් බේරී සිටීමට කිසිම ආකාරයක හෝ ආරක්ෂාවක් නොමැත්තේය. දිව්‍ය අනුග්‍රහය සුළුකොට අවතක්සේරු කරමින් දිව්‍ය කරුණාවේ ආයාචනා එපා කරන සියල්ලන්ට යෙරුසලමට අත්වූ භයංකාර වූ ද, සෝචනීය වූද ඉරණම කදිම අනතුරු ඇඟවීමකි. මෙම සංසිද්ධිය තුලින් පාපයට එරෙහිව පවතින දෙවියන්වහන්සේගේ ද්වේශය ගැන කදිම සාක්ෂියක් ලැබෙන්නේය. එසේම වරදකරුවන්ට දඬුවම් අනිවාර්ය බවද එම සිද්ධිය සාක්ෂි දරන්නේය.GrHSin 23.1

    යෙරුසලම කෙරෙහි විනිශ්චය පැමිණවීම පිළිබඳව ගැලවුම්කරුවාණන් ප්‍රකාශ කළ අනාවැකියට තවත් ඉටු වීමක් ද ඇතුළත්ය. යෙරුසලමට අත් වූ භයානක විනාශය සහ පාළුව, හිමිවන්නට ඇත්තාවූ දඬුවමෙහි ඡායා මාත්‍රයක් පමණකි. දෙවියන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය එපාකර උන්වහන්සේගේ ව්‍යවස්ථාව පාගා දමා ඇති ලෝකය කරා පැමිණෙන්නාවූ භයංකාර විනාශකාරී ඉරණම ගැන, තෝරාගත් නගරය වූ යෙරුසලමේ විනාශය තුළින් අපට දැක ගැනීමට හැකිවේ. ලෝක ඉතිහාසය පුරා දරුණු අපරාධ සිදුවී ඇත. මිනිස් වර්ගයාගේ දුක්ඛිත ශෝචනීය තත්ත්වය පිළිබඳ ඉතිහාසගත වාර්තා අඳුරෙන් වැසී ඇත. මෙම සිදුවීම් ගැන සිතන්නා වූ හදවත කම්පාවට පත්වේ. මනස භීතියට පත් වේ. ස්වර්ගයේ ආධිපත්‍ය එපා කළ විට අත් වූ ප්‍රතිඵල ඉතා භයානකය. අනාගතය පිළිබඳව වූ එළිදරව් කිරීමෙහි තවත් අඳුරු දසුනක්ද ඉදිරිපත් කර ඇත. අතීතයේ වාර්තාවන්හි, ඉතිහාසය පුරා සිදුවූ කෝලහල, ගැටුම් සහ විප්ලවීය අරගලවල ප්‍රමාණය ඉමහත්ය.” කෝලාහලයට පැමිණෙන යුද්ධ කාරයාගේ…... ලෙයෙහි පෙඟූ වස්ත්‍ර” පිළිබඳ සටහන් නරකය. එහෙත්,( යෙසායා 9:5) සියලු ආකාර නපුරෙහි ක්‍රියාවන් මර්ධනය කරමින් ඒවා වළක්වාලන දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මේ ලෝකයේ නපුරන් ගෙන් ඉවත්කර ගැනීමෙන් පසුව පොළෝ තලය මත ඇතිවන්නා වූ අති භයානක ක්‍රියාදාමයන් ඉහත කී කාරණා සමග සැසඳිය නොහැක. මෙතෙක් සිදුව ඇති දාමරිකකම්වලට මෙන් තහංචි පැනවීම්වලට හෝ පාලනය කිරීම්වලට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම ක්‍රියාත්මක වන්නේ නැත. සදාචාරය බිඳක් හෝ නොගෑවුණු දූෂිත හැඟීම් සීමාවකින් තොරව ක්‍රියාවට නැගේ. සාතන් ගේ උදහසද සීමාරහිත ව ක්‍රියාත්මක වේ. සාතන් ගේ පාලන තන්ත්‍රයේ රඟ එවිට ලෝකයාට මින් පෙර කිසිදාක නුදුටු ආකාරයට දැකගත හැකි වේ.GrHSin 23.2

    යෙරුසලම විනාශ කර දමනු ලැබූ වකවානුවේදී සිදු වූ ආකාරයට ඒ කාලයේදීද, ” ජීවනය පිණිස ලියැවී සිටින සියල්ලෝ“( යෙසායා4:4) එනම් දෙවියන්වහන්සේගේ සෙනග, මුදවා ගනු ලබනවා ඇත. තමන්වහන්සේට විශ්වාසවන්තව සිටින්නා වූ අය තමන් වහන්සේ වෙතට රැස්කර ගැනීමට තමා දෙවැනි වර පැමිණෙන බව ක්‍රිස්තුන්වහන්සේ ප්‍රකාශ කර ඇත. ” එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය.ඔවුහු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් ද මහත් තේජසින් ද අහසේ වළාකුල් පිට එනවා දකින්නෝ ය. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවන සේක. ඔවුහු අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරන්නෝය.” (මතෙව් 24:30,31) ශුභාරංචි පණිවිඩයට කීකරු නොවන්නා වූ අය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි ඊමේදී උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් දැවී යන්නෝය.(2 තෙසලෝනික 2:8) අතීතයේ සිටි ඉශ්‍රායෙල් සෙනග මෙන්, නපුර කරන්නෝ ද තමන්ව ම විනාශ කර ගනිති. ඔවුහු තමුන්ගේ අපරාධ නිසා වැටී යන්නෝය. පාපයේ ඇලී ගැලී ගතකළ ජීවිත නිසා ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටිති. ඔවුන්ගේ ජීවිත ස්වභාවය නපුරෙන් දූෂ්‍ය වී ඇත. යේසුස්වහන්සේගේ අභිමුඛයෙහි තේජස ඔවුන් විනාශ කරන්නා වූ ගින්නක් වන්නේය. GrHSin 24.1

    ක්‍රිස්තුස්වහන්සේගේ වචන මගින් ගෙනහැර දැක්වූ පාඩම පැහැර නොහරින්න මිනිස්සු වග බලා ගනිත්වා! උන්වහන්සේ ස්වකීය ගෝලයන්ට ජෙරුසලමෙහි විනාශය ගැන පැවසූ සේක, පැමිණෙන්නාවූ විපත්තිය ගැන නිමිත්තක්ද දුන් සේක. ඔවුනට එම ස්ථානයෙන් පිටස්තර පෙදෙසකට පලායාමට එම නිමිත්ත උපකාර වන බවද, උන්වහන්සේ පැවසූ සේක. මෙයාකාරයෙන්ම, ලෝකාන්තිමයේදි සිදුවන විනාශය ගැන ලෝ වාසී ජනතාවට අනතුරු අඟවා පෙර නිමිති ද ලබා දී ඇත. එම සංසිද්ධිය ආසන්නවත්ම, මෙම පෙර නිමිති ගැන අවදියෙන් සිටින්නා වූ අයට, පැමිණෙන්නාවූ උදහසින් පලා යාමට හැකියාවක් උදාවේ. යේසුස්වහන්සේ මෙසේ පවසන සේක් -” ඉර, සඳ හා තාරකාවන් කෙරේ ලකුණු…. නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක් වේදනාද වන්නීය” ( ලුක් 21:25) ” එසේම නුඹලා මේ සියල්ල දකින කළ, උන්වහන්සේ දොරටු සමීපයෙහි බවත් දැනගන්න“. (මතෙව් 24:33) ” අවදිව සිටින්න” ( මාර්ක් 13:35) යන්න යේසුස් වහන්සේගේ අනුශාසනාවයි. උන්වහන්සේගේ අනතුරු ඇඟවීම්වලට අවධානය යොමු කරන්නා වූ අය අන්ධකාරයෙහි නොසිටිනවා ඇත. එම දවස ඔවුන් නොදැනුවත්ව ළඟා නොවන්නේය. එහෙත් ඒ දවස කෙරෙහි අවධානය යොමු නොකරන්නාවූ අයට “රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස” පැමිණෙන්නේය. (1තෙසලෝනික 5:2)GrHSin 25.1

    යෙරුසලම පිළිබඳව වූ අනතුරු ඇඟවීමට අවධානය යොමු කිරීමට යුදෙව් ජනතාව කැමති නොවූහ. එසේම මෙම කාලයට අනිවාර්ය වන්නාවූ පණිවිඩයට වැදගත්කමක් ලබාදීමට වත්මන් ලෝකයා සූදානම් නැත. උන්වහන්සේගේ පැමිණීමේ දවස කවර දවසක හෝ වේවා, දෙවියන්වහන්සේ සමග සබඳතාවක් නැති අයට ඒ දවස සොරෙකු මෙන් පැමිණෙනවා ඇත. සුපුරුදු ලෝක රටාව අනුව යමින් ජීවිත ගෙවන්නා වූ අයගේ ආරක්ෂාවක් සලසා නැති ගෙදරකට සොරකු මැදියම් යාමේ ඇතුළුවන්නා වූ ආකාරයෙන් විනාශය පැමිණේ. එකල්හි මිනිස්සු සැප සෙල්ලම් වල ගිලී සිටිති; වෙළඳාමෙහි නියුතුව සිටිති; ගනුදෙනු සිදු කරති; මුදල් උපයා ගැනීමේ යෙදී සිටිති; ඒ අතර ආගමික නායකයෝ ලෝකයේ දියුණුව ගැන හුවා දක්වති; බුද්ධි ප්‍රවර්ධනය ගැන කරුණු ඉදිරිපත් කරති. මේ අතර ජනතාව ව්‍යාජ ආරක්ෂාවකට යොමු කරනු ලදුව උදාසීනව කල් ගෙවති. “රාත්‍රියෙහි සොරෙකු එන්නක් මෙන් ස්වාමින්වහන්සේගේ දවස හදිසියේම ඔවුන් පිටට” පැමිණේ.” ඔවුහු කිසිසේත් නො ගැළවෙන්නෝය.“(1 තෙසලෝනික 5:2-5)GrHSin 25.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents