Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    6 පරිච්ඡේදය - අන්‍යරූප විලාශ වීම

    යේසුස්වහන්සේ අන් වෙසක් වූ අවස්ථාවේ සිට උන්වහන්සේගේ ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් වූ බව මම දුටිමි. පොරොන්දු වූ මෙසියස්වහන්සේ යේසුස්වහන්සේ බවට බලවත් සාක්ෂියක් උන්වහන්සේගේ අනුගාමිකයන්ට දීමට දෙවියන්වහන්සේ කැමති වූ සේක. පැමිණෙන්ට යන දුක් ශෝක හා බලාපොරොත්තු කඩවීමේදී තමන්ගේ ඇදහිල්ල ඉවත නොදමන පිණිස එවැනි දෙයක් ඔවුන්ට අවශ්‍ය විය. පැමිණෙන්ට තිබෙන දුක් ශෝකය හා මරණය ගැන යේසුස්වහන්සේ සමග කථා කරන්ට දෙවියන්වහන්සේ මෝසෙස් සහ එලියාව එවූ සේක. තම පුත්‍රයාණන් සමග කථා කරන්ට දේව දූතයන් එවනවා වෙනුවට එම දෙදෙනාව තෝරාගත්තේ පොළොවෙහිදි ඔවුන් දුක් දරාගෙන සේවය කිරීමේදී අත්දැකීම් ලබා සිටි නිසාය. අන්‍යරූප විලාශ වීමේදී උන්වහන්සේගේ මුහුණේ දිවය අලංකාරයද තේජසින් බබලන උන්වහන්සේගේ වස්ත්‍රද දකින පිණිසත් ‘මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහුට ඇහුම්කන් දීපල්ලා’ යයි කියන දෙවියන්වහන්සේගේ බලවත් තේජවත් හඬද අසන පිණිස උන්වහන්සේ තෝරා ගත්තේ ටික දෙනෙකුවය.GCSinh 11.1

    එලියා දෙවිඳුන් සමග හැසිරුණ කෙනෙක්ය. ඔහුගේ සේවය ඉතා අසීරු එකක් විය. පව් පෙන්වාදීම සහ අනාවැකි පැවසීම නිසා දිවි ගලවාගැනීමට තැනින් තැන යන්ට ඔහුට සිදුවිය. මරා දම පිණිස සතුරෝ හැම තැනම ඔහුව ලුහු බඳින්ට වූහ. දෙවියන්වහන්සේ ඔහුව අන් වෙසකට හැරවූ සේක. දේව දූතයෝ ඔහුව ජයග්‍රාහී ලෙස ස්වර්ගයට ඔසවාගෙන ගියහ.GCSinh 11.2

    මෝසෙස් දෙවියන්වහන්සේගෙන් ගෞරව ලැබූ කෙනෙකි. ඔහුට පෙර විසු කිසිවෙකුටත් වඩා ඔහු බලවත් කෙනෙකු විය. මනුෂ්‍යයෙක් තම මිත්‍රයෙක් සමග කථා කරන ලෙස ඔහු දෙවියන්වහන්සේ සමග මුහුණට මුහුණ ලා කථා කළේය. පියානන්වහන්සේව වසාගෙන තිබෙන මහිමාන්විත ආලෝකය බලන්ට ඔහුට අවසර දෙන ලදී. දෙවියන්වහන්සේ මෝසෙස් ලවා ඊශ්‍රායෙල් සෙනඟව මිසරයේ වහල්කමින් මුදාගෙන ආ සේක. ඔවුන් උදෙසා මෝසෙස් මැදහත්කාරයෙකු ලෙසද ක්‍රියා කළේය. යම් අවස්ථාවල ඔහු ඊශ්‍රායෙල් ජාතියත් දේව උදහසත් අතර සිට ගත්තේය. ඊශ්‍රයෙල්වරුන්ගේ නොඇදහිල්ලත් කෙන්දිරීම් සහ භයානක පාප ක්‍රියාවන්ද නිසා දේව උදහස මහත් සේ ඇවිලී ගිය විට ඊශ්‍රයෙල්වරුන් කෙරෙහි වූ මෝසෙස්ගේ ප්‍රේමය පරීක්ෂණයකට භාජනය කරන ලදී. ඊශ්‍රායෙල් ජාතිය විනාශ කොට මොසේස්ගෙන් බලවත් ජාතියක් ඇතිකර දෙන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ විට ඔහු ඉල්ලා සිටියේ සෙනඟට සමාව දෙන ලෙසය. නැත්නම් තමාගේ නම උන්වහන්සේ ලියා තිබෙන පොතෙන් මකා දමන ලෙසය.GCSinh 11.3

    ඊශ්‍රායෙල් සෙනඟ කාන්තරයේදී වතුර නොලැබුණු අවස්ථාවක ඔවුහු දෙවියන්වහන්සේටත්, මොසේස්ටත් විරුද්ධව කොඳුරන්ට වූහ. ‘නුඹලා අපවත් අප දරුවන්වත් මරණ පිණිස මේ කාන්තාරයට ගෙනාවෝය’ යයි කියමින් මෝසෙස්ට දොස් කීවෝය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙදිරීම් අසා ඊශ්‍රායෙල් පුත්‍රයන්ට වතුර ලැබෙන පිණිස පර්වතයට සැරයටියෙන් ගසන ලෙස මෝසෙස්ට අණ කළසේක. මෝසෙස් සෙනඟ කෙරෙහි උදහස් වී තමාට ගෞරවය ලැබෙන ආකාරයට පර්වතයට ගැසීය. GCSinh 12.1

    ඊශ්‍රායෙල් සෙනග නිරන්තර කෙඳිරීම් සහ නොමග යාම් මෝසෙස්ට මහත් දුක් ශෝක ඇති කෙරිණි. දෙවියන්වහන්සේ ඔවුන් ගැන කොතරම් ඉවසුවාද කියාත් ඔවුන්ගේ කෙඳිරීම් තමාට නොව දෙවියන්වහන්සේට විරුද්ධව බවත් මෝසෙස්ට මොහොතකට අමතක විය. ඔහු තමා ගැන සිතීය. තම දැක්වූ ආදරයට ඉවසීමට සැලකීමක් නොදැක්වීම ගැන, කළගුණ නොසැලකීම ගැන, ඔහුට ගැඹුරු සිත් වේදනාවක් ඇති විය. GCSinh 12.2

    මෝසෙස් පර්වතයට ගසන විට දෙවියන්වහන්සේට ඊශ්‍රායෙල් ජනතාවගෙන් ගෞරවය ලැබෙන අන්දමට ක්‍රියා කළේ නැත. මෝසෙස්ගේ එම ක්‍රියාව ගැන දෙවියන්වහන්සේ ප්‍රසන්න වූයේ නැත. පොරොන්දු දේශයට ඇතුල් වන්ට ඔහුට ඉඩ දෙන්ට දෙවියන්වහන්සේ කැමති නොවූ සේක. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ දුෂ්කරතා ඇතිවන ස්ථානවලට ඊශ්‍රායෙල්වරුන්ව ගෙනැවිත් දුෂ්කරතා දැඩිව දැනෙන විට, උන්වහන්සේගේ බලය දැනගන්ට සලස්වා ඔවුන්ගේ සිත්වල උන්වහන්සේගේ වාසය කර, තමන්වහන්සේව ගෞරවයට පමුණුවන්ට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සලසා දීමය. GCSinh 12.3

    දස අඥාවන් ලියා දුන් ගල් ලෑලි දෙක රැගෙන කන්දෙන් බැසගෙන එන විට මෝසෙස් දුටුවේ ඊශ්‍රායෙල් සෙනග රන් වස්සාට නමස්කාර කරමින් සිටින ආකාරයය. ඔහුගේ උදහස ඇවිලී ගල් ලෑලි දෙක පර්වතයේ ගසා බිඳ දැමීය. මෝසෙස් මේ කාරණයේදී පව් නොකළ බව මම දුටිමි. ඔහු උදහස් වූයේ දෙවියන්වහන්සේගේ ගෞරවය සහ මහිමය උදෙසාය. නමුත් ඔහු තම ස්වභාවික හැඟීම්වලට ඉඩ දී දෙවියන්වහන්සේට අයිති ගෞරවය තමාටම ලබාගත් විට ඔහු පව් කළේය. එම පාපය නිසා දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු දේශයට ඇතුල් වන්ට ඉඩ නොදුන් සේක.GCSinh 12.4

    මෝසෙස්ගේ යම් වරදක් අල්ලා ගැනීමට සාතන් උත්සහ දැරීය. දෙවියන්වහන්සේ අප්‍රසන්න වන දෙයක් කිරීමට මෝසෙස්ට සලස්වා සාතන් සතුටට පත්ව තම දූතයන්ට කියා සිටියේ මනුෂ්‍යයන් ගලවන්ට යේසුස්වහන්සේ ලෝකයට ආ විට උන්වහන්සේවත් තමාට යටත් කරන්ට හැකිවන බවය. මෝසෙස් කළ වරද නිසා ඔහු මරණයේ බලයට යටත් විය. මෝසෙස් ස්ථිරවම සිටියානම් ස්වාමින්වහන්සේ ඔහුව පොරොන්දු දේශයට ගෙන එන්ටද ඉන්පසු මරණයට පත් නොවී අන් වෙසකට හරවා ස්වර්ගයට ගෙන යන්ටද තිබුණි. ඔහු මරණයට පත්විය. නමුත් ශරීරය කුණු වෙන්ට පෙර මිඛායෙල් තේමා පැමිණ ඔහුට ජීවිතය දුන්සේක. සාතන් මෝසෙස්ගේ ශරීරය ගැන තම අයිතිය පෙන්වීය. තම සිරකරුවාව උදුරා ගැනීම අසාධාරණයක් යයි සාතන් දෙවියන්වහන්සේට දොස් පැවරීය. සාතන් මෝසෙස්ගේ ශරීරය තබාගන්ට උත්සහ කළේය. මෝසෙස් පාපයට ඇසු වුණේ සාතන්ගේ පරීක්ෂාවන් නිසා වුවත් මිඛායෙල් තෙම සාතන්ට තර්ජන නොකර ‘ස්වාමීන්වහන්සේ නුඹට තරවටු කර සේක්වා’යි පවසා මෝසෙස්ව මළවුන්ගෙන් නැගිටුවා ස්වර්ගයට ගෙන ගිය සේක.GCSinh 12.5

    ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව එනවා දකින තුරු මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් මරණය විඳින්නේ නැත’යි යේසුස්වහන්සේ කී සේක. අන්‍යරූප විලාශ වූ අවස්ථාවේදී මේ දේ සිදුවිය. යේසුස්වහන්සේගේ මුහුණ වෙනස් වී සූර්යයා මෙන් බබලන්ට විය උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකය මෙන් දිලිසෙන්ට විය. මෝසෙස් එහි විය. ඔහු සංකේතවත් කළේ යේසුස්වහන්සේගේ දෙවන් ඊමේදී සිදුවන ධර්මිෂ්ඨයන්ගේ මළවුන්ගෙන් නැගිටීමය. එලියාගෙන් සංකේතවත් කළේ මරණයට පත් නොවී අන් වෙසකට හරවා එලියාව ගෙන ගියාක් මෙන් ස්වර්ගයට ගෙන යනු ලබන ධර්මිෂ්ඨයන්වය.GCSinh 12.6

    ගෝලයෝ භයෙනුත් විශ්මයට පත්වීමෙනුත් යුතුව යේසුස්වහන්සේගේ තේජාන්විත භාවය දෙස බලා සිටියහ. උන්වහන්සේට ඉහළින් වූ දීප්තිමත් වලාකුළද දුටු අතර ‘මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහුට ඇහුම්කන් දීපල්ලා’ යයි කියන දෙවියන්වහන්සේගේ තේජවන්ත බලවත් හඬද ඇසුවෝය.GCSinh 12.7

    ______________________________________
    කියවන්න නික්මයාම 32: ගණන් කථාව 20: 7-12: ද්විතීය කථාව 34: 5:2 රාජාවලිය 2:11 ශු. මාර්ක් 9 පරිච්ඡේදය: යුදස් 9.
    GCSinh 12.8