Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    37 පරිච්ඡේදය - ශුද්ධවන්තයන්ගේ මිදීම

    දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟව මුදාගන්ට තෝරා ගත්තේ මධ්‍යම රාත්‍රියකය. දුෂ්ටයෝ ඔවුන්ට අපහාස කරමින් සිටියදී හදිසියෙන්ම ඉර බබළන්නට විය. සඳ නතර විය. දුෂ්ටයෝ මෙම දර්ශනය විශ්මයෙන් බලා සිටියහ. එකිනෙක පුදුම හාස්කම් ඉක්මණින් සිදුවන්ට විය. හැමදෙයක්ම අස්වාභාවික අයුරින් සිදුවන්ට විය. ශුද්ධවන්තයෝද තමන්ගේ මිදීම ලංවී තිබීමේ ලකුණු දෙස ප්‍රීතියෙන් බලා සිටියහ.GCSinh 75.1

    දිය ඇලි ගලා යාම නැවතිණ. අඳුරු ඝන වළාකුළු ඉහලට විට එකිනෙකට ගැටුණි. නමුත් පැහැදිලි මහිමාලංකාරයෙන් යුත් වූ එක් තැනක් විය. එතනින් මහත් ජල ඝෝෂාවක හඬ මෙන් දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන්නට විය. එයින් අහසද පොළොවද සැලෙන්නට වූහ. මහා බලවත් භුමිකම්පාවක්ද විය. සොහොන් ගෙවල් විවර විය. තුන්වන දේව දූතයාගේ පණිවිඩය අසා සබත් දවස පවත්වමින් සිට මළාවූ අය මහිමයට පත්කරන ලද ශරීරවලින් යුතුව සොහොන් වලින් පිටත්ව ආහ. ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වූ අය සමග දෙවියන්වහන්සේ කරන්ට යන ගිවිසුමට සවන් දෙන පිණිස ඔවුන් පැමිණියාහ.GCSinh 75.2

    අහස ඇරෙන්ටත් පියවෙන්ටත් පටන් ගැනිණි. සුළඟින් සෙළවෙන බට ගස් මෙන් කඳු සැලෙන්ට විය. පර්වත පුපුරා කැබලි ඒ මේ ඇත විසිවෙන්ට විය. මහා මුහුද දිය සැලියක් මෙන් උතුරන්ටත් එහි වූ ගල්පර කැබලි වී ගොඩ බිමට විසිවෙන්ටත් විය. දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ පැමිණෙන දවස ද පැය ද දන්වා තම සෙනඟට සදාකාල ගිවිසුම ප්‍රකාශයට පත් කල විට උන්වහන්සේ එක වහන්තියක් කී සේක. එම වගන්තිය ලොව වටා පැතිර යන තුරු බලා සිටිසේක. එවිට දෙවියන්වහන්සේගේ සෙනඟ තමුන්ගේ ඇස් අහස දෙසට යොමු කොට යොහෝව වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචන ගැන බලා සිටියහ. එම වචන ගිගිරුම් හඬ සේ අහසේ ගමන් කරන්නට වූහ. ඒ හඬ භයක් ඇතිකරන තරම් ගාම්භීර ය. මක්නිසාද යත් වගන්තියක් පාසාම දේව සෙනඟ ‘හාලේලුයියා, මහිමය වේවා’ යයි කෑගැසූහ. ඔවුන්ගේ මුහුණද දේව මහිමයෙන් ආලෝකමත් වූහ. මෝසෙස් සීනයි කන්දෙන් බැස එන විට ඔහුගේ මුහුණ බැබලුවාක් මෙන් දෙවිඳුන්ගේ සෙනඟගේ මුහුණු බබළන්නට වූහ. දුෂ්ටයන්ට ඔවුන්ගේ මුහුණු දෙස බලන්ට නොහැකි විය. සබත් දවස ශුද්ධ ලෙස පවත්වමින් දෙවියන්වහන්සේට ගෞරව කළ කෙරෙහි ඉවරයක් නොවන ආශීර්වාදය දී වදාළ විට මෘගයාටද උගේ රූපයටද විරුද්ධව ලබාගත් මහා බලවත් ජයග්‍රහණයේ ශබ්දයක් පැතිර ගියේය.GCSinh 75.3

    ඒ සමාගම දේශය නිවාඩු භුක්ති විඳීමේ ජුබිලි මංගල්‍යය ආරම්භ විය. භක්තිවන්ත වහලා ජයග්‍රහණ ප්‍රීතියෙන් නැගී සිටිනවා මම දුටිමි. තම ස්වාමියා කිසිවක් කරගත නොහැකිව ව්යාකුලව සිටි අතර ඔහු බැඳුම් ගසා දමා නැගිට සිටියේය. දෙවියන්වහන්සේගේ හඬ ශබ්දයේ වචනවල තේරුම දුෂ්ටයන්ට වැටහුණේ නැත. එවිටම අති මහත් සුදු වළාකුල දර්ශනය විය. මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ එහි අසුන්ගෙන සිටිසේක.GCSinh 75.4

    මෙම වළාකුල මුලින් දිස්වූයේ ඉතා කුඩාවටය. ඈතට කුඩාවට දිස්වූ එය දේව දූතයා හැඳින්වුයේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ ලෙසය. වලාකුළ පොළොවට පාත්වෙමින් ලංවූ අතර ඉතා උසස් මහිමයකින් යුත් යේසුස්වහන්සේ ජයගත් තැනැන්වහන්සේ ලෙස අපට දැකගත හැකි විය. දිළිසෙන ඔටුනු පැළඳ ගත දේව දූතයෝ උන්වහන්සේ පිරිවරාගෙන සිටියහ. එම දර්ශනය් වචනවලින් විස්තර කළ නොහැක. උන්වහන්සේ හිසේ දරා සිටියේ කටු ඔටුන්නක් නොව, උන්වහන්සේගේ හිස මත මහිමාලංකාරයේ ඔටුන්නක් විය. උන්වහන්සේගේ වස්ත්‍රයේද කලවයේද ‘රජවරුන්ගේ රජය. ස්වාමිවරුන්ගේ ස්වාමියාය’යන නාමය ලියා තිබුණේය. උන්වහන්සේගේ ඇස් ගිනි සිළුවක් සේය. උන්වහන්සේගේ පාද ඔප නැංවූ පිත්තල මෙන්ය. උන්වහන්සේගේ හඬ ඇසුණේ සංගීත භාණ්ඩ බොහොමයක හඬ මෙන්ය. උන්වහන්සේගේ මුහුණ ඉර මුදුන් වෙලේ සුර්යාලෝකය මෙන්ය. උන්වහන්සේ ඉදිරියේ පොළොව කම්පා විය. යමක් අකුලන්නාක් මෙන් අහස පහව ගියේය. සෑම කන්දක්ද, දුපත්ද ඒවායේ ස්ථානවලින් පහකරන් ලද්දේය. පොළොවේ රජවරුද, උත්තමයෝද, සේනාධිපතියෝද, ධනවන්තයෝද, බලවන්තයෝද, දාසයෝද, නිර්දාසයෝද කඳුවලත් ගුහාවලත් සැඟවූණෝය. ඔවුහු කඳුවලටත් පර්වතවලටත් කථා කොට ‘අප පිට වැටී , සිංහාසනයේ වැඩ සිටින තැනැන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවා ගනිල්ලා. මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුන බැවින් සිටින්ට පුළුවන් කාටද’යි කීවෝය.GCSinh 76.1

    ටික කලකට පෙර දෙවියන්වහන්සේගේ දරුවන්ව විනාශ කරන්ට උත්සහා කල අය දැන් දකින්නේ දිව්‍ය මහිමය ඒ අය මත පතිතව තිබෙන ආකාරයය. ඔවුන්ව මහිමයට පත්කර ඇත. මේ අපගේ දෙවියන්වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගළවන සේක යන ප්‍රීතිමත් හඬ අනිකුත් සියලු හඬ ශබ්ද මැඩගෙන ඔවුනට ඇසිණ. දේව පුත්‍රයාණන් වහන්සේ සැතපී සිටින තම ඇදහිලිවන්ත දරුවන්ට හඬ ගසන ශබ්දයෙන් පොළොව මහත් ලෙස කම්පා විය. කැඳවීමට ඔවුහු ප්‍රතිරාවය දැක්වූහ. ඔවුහු නොදිරන නොමැරෙන ජීවනයෙන් පළඳවන ලදුව පිටතට ආහ. ‘මරණය නුඹේ ජය කොයිද? ජයග්‍රහණය! ජයග්‍රහණය! කියා ඔවුහු කෑගැසූහ. රෝගීව හා දුර්වලව සිට සැතපුණ අය භූමියෙන් නැගිට ආවේ සදාකාල සුවය හා ශක්තිය ඇතිවය. ජීවත්ව සිටි ශුද්ධවන්තයන්ව මොහොතකින් ඇසි පිය හෙලන ක්ෂණයකින් අන්වෙසකට හරවනු ලැබ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ අය සමග අහසට ඇදගනු ලැබ ඔවුන්ගේ ස්වාමින්වහන්සේව සම්මුඛ වූහ. අහෝ! එය කෙබඳු හමුවීමක්ද, මරණය කරණකොටගෙන වෙන් කරනු ලැබූ මිතුරන් හා ආදරය කරනු ලැබුවන් තවත් වෙන් නොවන ලෙස හමුවීමකි.GCSinh 76.2

    වළාකුලක් මෙන් වූ රථයේ දෙපැත්තේ පියාපත් තිබිණ. යට පැත්තෙන් වුයේ ජීවමාන රෝද වැන්නක්ය. රථය ඉහලට ගමන් කරන්නට වූ විට එහිවූ ජීවමාන රෝදද පියාපත්ද ‘ශුද්ධ’ යයි හඬ නැගූහ. දේව දූත සමූහයාද ‘සියලු බලැති දෙව් ස්වාමින්වහන්සේ ශුද්ධය! ශුද්ධය! ශුද්ධය! කියා හඬ නැගූහ. ශුද්ධවන්ත සෙනඟද මහිමය වේවා. හාලේලුයියා කියා කගසූහ. වළාකුළු රථය ශුද්ධ නගරය දෙසට පියාසර කළහ. නගරයට ඇතුල් වෙන්ට පෙර ශුද්ධවන්තයෝ චතුරස්‍රයක් ලෙස සිටගත්හ. යේසුස්වහන්සේ එහි මධ්‍යයට පැමිණ සිටගත් සේක. උන්වහන්සේ ශුද්ධවන්තයන්ටද දේව දූත්යන්ටද වඩා උරහිසේ සිට ඉහලින් සිටි සේක. චතුරස්‍රයේ සිටි හැමදෙනාටම උන්වහන්සේගේ තෙජවන්තභාවයද මුහුණේ අලංකාරයද දැකගත හැකි විය.GCSinh 76.3

    ______________________________________
    බලන්න: 2 රාජාවලිය 2: 11; යෙසායා 25: 9; 1 කොරින්ති 15: 51-55; 1 තෙසලෝනික 4: 13-17; එළිදරව් 1: 13-16; 6: 14-17; 19: 16.
    GCSinh 76.4